අකුරු මැකී නෑ

Thursday, August 8, 2019

මෝස්‌තර එක්ක හත් වසරක් - දොළොස්වෙනි කොටස

සිල්ලර වැඩවලට මට වෙලාව නැතිව ගියේ බතික් බිත්ති සැරසිලි කෙරුවාව පුළුල් වුණාමය. ඒක ලෙහෙසි-පාසු එකක්මත් නොවේ. චිත්‍ර කලාව, මෝස්‌තර, වර්ණාවලිය වගේ දේවලුත් දන්නා අයට නම් අමාරු නැති එකකි.
නව නාරි කුඤ්ජරයත් එහෙම ජනප්‍රිය වුණු බතික් බිත්ති සැරසිල්ලක් වුණේය............
ඒ දවස්වල බතික්වල වඩාත්ම ප්‍රචලිත වුණේ සිංහල සැරසිලි මෝස්තරයි. ලංකාවට එන විදේශිකයන් අතර වැඩියෙන්ම අලෙවි වුණේ  ඒවාය. 
නුවර පෙරහර, කරඬුව රැගෙන යන හස්තියා, සීගිරි අප්සරාවන්, හංස පූට්ටුව විතරක් නොවේ; නව නාරි කුඤ්ජරය, සප්ත නාරි පල්ලැක්කිය වගේ දුර්ලභ චිත්‍රත් බතික් බිත්ති සැරසිලිවලට නැඟී හොඳට විකිණුනේය.
මෝස්තරය; චිත්‍රය විතරක් හොඳට තිබුණාට මදිය. නිර්මාණයක් හොඳ වෙන්නේ වර්ණ ගලපා, නිසි ලෙස නිසි තැනට යෙදීමෙනි. දැන් නම් එහෙම දේකුත් තිබෙන බව හැමෝම දනිති.

ඒ හින්දාම ඒවායේ දැනීමෙන් පරප්‍රාප්ත උදවිය යහමින් හම්බ කර ගැනීමටත් සමත් වෙති.

ඉස්සර ගෙයක් හැදුවාම ගෙදරට බඩුමුට්ටු ගත්තේ, දොර ජනෙල් රෙදි දැමුවේ එච්චර හිතලා නොවේ. ගේය පද රචක මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ‘සතය සතය එකතු කරල - රහසේ කැටයකට දමල - නුවරඑළියෙ ටජ්මහලක් හදමු රත්තරං -  සාරි ඉරල ජනෙල්වලට දමමු රත්තරං’ කියලා ලියන්නට ඇත්තේ එහෙම කාලයක් ගැන සිහි කරමිනි. ඒත් දැන් ඒ සමය ගෙවී අහවරය. 

දැන් ගෙදර ඉන්ටීරියර් ඩිසයින් කිරීමට වෙනම ‘විශේෂඥයෝ’ සිටිති. එයාලා වර්ණ, හැඩතල සේරම ගළපා දෙති. අපට තියෙන්නේ ‘ලක්ෂයෙන් බැඳි පියලිවලින්’ ගෙවීම විතරය.

දැන් ගෙයක අභ්‍යන්තර සැරසිලි, ගෘහභාණ්ඩ, තිර රෙදි සේරම තිතට ගළපා හැඩ කරන්නට.........
චිත්‍ර ගැන; colours ගැන තියා ඇඳුමක්-කැඩුමක් ගැනවත් උනන්දුවක් නොතිබුණු අපේ සුනිල්ය, ඊළඟට අපේ ගෙදරින් බිහිවුණු බතික් ශිල්පියා වුණේ.

බතික් කරන්නට කලින්ම සුනිල් කළේ ඉටි කරන උපකරණ; ඡන්ටින්ස් කිහිපයක් හැදීමයි. එහෙම කළේ මගේ ඕනෑකම සපුරන්නටය. එක-එක ප්‍රමාණවලින් ඒ tools කිහිපයක් ඕනෑවෙන බව කිව්වාම සුන්නාම ඒවා හදා බැලුවේය. 

ඔරිජිනල් ඡන්ටින්ස් හදා තිබුණේ තඹ තහඩුවලිනි. සුනිල් ඒවා හැදුවේ හිස් ‘නෝනා මාක්’ ටින්කිරි ටින්වලින් කපාගත් තහඩුවලිනි. වැඩේ හරි ගියේය! මට සෑහෙන මුදලක් ඉතිරි වුණේය!!

එතකොට සුන්නාත් ඕ ලෙවල් කරලා ඉවරය. මිනිහා කොහොමත් පොත-පතේ වැඩට; ඉගෙනිල්ලට හොර ඇම්බැට්ටයෙකි. 

නමුත් ගස් නඟින්නට, සයිකල් පදින්නට, බයිසිකල් හදන්නට හපනෙකි. 

කාර්මික පැත්තේ වැඩවලටය සුන්නා  හපනෙක් වුණේ! ඒ එක්කම බටනලාව, වයලීනය වාදනය කරන්නටත් සුනිල්ට හැකි වීම එක අතක පුදුමයකි. මිනිහාට හොඳ ‘ear’ එකක් තිබේ. (මතක හැටියට නම් සුනිල් සංගීතය ඉගෙන ගන්නට ගියේ චම්පා කල්හාරි ජයසේකරගෙ තාත්තා ළඟටය.)

අපේ සුනිලා කර්මාන්තකාරයෙකු වෙලාත්, සංගීතයටත් ලැදියාව ඇත්තෙකු..............
හැබැයි සුනිල්ට සිංදු කියන්නට බැහැ-බැහැ වගේය. අද ඉන්නා ගොඩක් ගායකයන්ට වගේමය.

ඊළඟට අපේ ලොකු නංගී; පුෂ්පා රංජනී දිසානායක. එයාත් s.s.c.වත් පාස් වුණේ නැතිය. ඇත්තම කියතොත් අපේ අම්මා-තාත්තා දෙන්නාම ඉගෙන ගන්නැයි කිව්වාට ඒ ගැන හොයා බලන වර්ගයේ අය නොවූහ. 

අපේ සුනිල් සාපෙ විභාගය ලියන්නට යන දවස්වලත් පාඩම් කරනවා වෙනුවට කළේ  නවකතා පොතක් කියවන එකය!

මෙතැනදී මගේ අසල්වැසි මාපිය දෙපලකගේ චරියාව ගැනත් කියන්නට හිතෙයි. ඒ දෙන්නාම උගත් අය නොවේ. දරුවන් තිදෙනෙකි. දරුවන් හැදෙන්නේ දුටහටය; හැදීමක් කියා දෙයක් නම් ඇත්තේම නැති තරම්ය. හිටි ගමන් ඒ තාත්තාට තරහ ගිය ගමන් කරන්නේ යකා වගේ දරුවන්ට කඩා පනින එකය. “අම්මට haමනෙන්නද බලා ඉන්නේ. පලයව්, ගිහින් පොතක්-පතක් බලාගනිං.” 

නොසරුප් බසින් දරුවන් අමතන ඔහු දරුවන්ට දෙන දඬුවම පාඩම් කරන්නට කියන එකය. එහෙම කිරීමෙන් දරුවා ඉගෙන ගන්නේ ඉගෙනීමට වෛර කරන්නට නේද?

ගිහින් පොතක්-පතක් බලාගනියව්!
ඒ දවස්වල අපේ ගෙදරට ගොඩ වුණු හුඟක් අම්මලාත් ඒ වගේ අයයි; දරුවන්ගේ රුචි-අරුචිකම් නොතැකූ අයයි. 

“ගුණපාල අයියේ, අපේ කෙල්ලත් නිකම්ම ගෙදර ඉන්න එකනේ... රංජිට කියන්නකෝ ඒකිටත් ඔය බතික් කරන්න කියා දෙන්න. සල්ලි නොගෙව්වට කමක් නැහැ. ඒකිගේ අත හුරු වුණත් මදැයි!”

ගමේම අය නිසා අපට එපා කියන්නට පුළුවන්කමක් තිබුණේ නැත. දෙන්නෙකු-තුන් දෙනෙකු බතික් කරන්න එනවිට තවත් අයටත් එන්නට ඕනෑ විණි. අපේ ආච්චිලාගේ ‘අන්ජිසාම් පැකට්’ බිස්නස් එක නිසා මඤ්ඤොක්කා ගෙදරවී හිටි අප ‘පමුණුවේ බතික් ගෙදර’ වුණේ එහෙමය.

“නිමල්, බුදු- පසේ බුදු- මහ රහත් කියලා තුන්තරා බෝධියක් තියෙනවානේ. ගුරුවරුත් ඒ වගෙයි. බුදු කෙනෙකුට දැනීම හොයාගන්නත් පුළුවනි, ඒක තව අයට කියා දෙන්නත් පුළුවනි. පසේ බුදු කෙනෙකුගේ වෙනස තමයි තමුන් හොයාගත් ධර්මය තව අයට අවබෝධ කරලා දෙන්න බැරිකම. අහල තියෙනවද පසේ බුදුවරු බණ කිව්වාය කියලා?....”

ඒ තියරිය මට පළමුවෙන්ම කියා දුන්නේ ඩී.ඩී. පද්මසිරි හෙවත් පද්මසිරි දෙහිගස්පිටිය හෙවත් කෝට්ටේ (හිටපු) ග්‍රාමසේවක මහත්තයාය. මට පම්මා හමුවුණෙත් FPA එකේදිය.

ගුරුවරයෙකුත් තුන්තරා බෝධියෙන්.....................
“.... මහ රහතන් වහන්සේලා අලුතින් දැනීම හොයාගන්නේ නැහැ. බුදු කෙනෙකු හොයාගත්ත ධර්මය ඉගෙනගෙන ඒ පාරේ යනවා. ඒ වුණාට මොකෝ, එයාලටත් පුළුවන් බුදු කෙනෙකුගෙන් ඉගෙනගත්තු දේවල් තව අයට උගන්වන්න...”

පම්මා අපේ සන්නිවේදන වැඩ සටහනක් අතරතුරේය මට ඔය ටික කිව්වේ. 

ඒ තියරිය ඉගෙන ගත්තේ පසුව වුණත් ප්‍රායෝගිකව නම් යමෙකුට වැටහෙන විදිහට යමක් කියා දෙන්නට පුළුවන්කමක් මට තිබුණා වගෙය. හැබැයි ඒ හැම දැනීමක්ම මාත් කොහෙන් හරි; කාගෙන් හරි ඉගෙනගත් එකක් මිස මගේ නිෂ්පාදනයක් නොවේ.

Wax කිරීම උගන්වද්දී, පදමට උණු වුණු ඉටි ඡන්ටින් එකට ගෙන ඒවායින් රෙද්දක රවුම්-කොටු-දැති අන්දවන්නට ගියාමය; රඟේ තේරුණේ. 

අර ගැහැනු ළමුන්ගෙන් වැඩි දෙනෙකුට ඡන්ටින් එකෙන් තියා පැන්සලකින්වත් ඒවා අඳින්නට බැරි විණි. සමහරුන්ට නම් සති දෙක තුනක් තිස්සෙවත් වැඩේ අල්ලා ගන්නට බැරිවිණි. හොඳකට තිබුණේ මං යමක් කියන්නට කලින් එයාලාම වැඩේ අතහැර දැමූ එකය.

මෝස්‌තර කරනවා තියා සමහරුන්ට ඡන්ටින් එක අල්ලා ගැනීමත්..........
“බලන්නකෝ රංජි... අපේ එවුන්ට පින නැහැ... යමක් ඉගෙනගන්න පින නැහැ. තරහ වෙන්න එපා. ඒකිට කම්මැලියි කියන්නේ, එක තැන වාඩිවෙලා ඉටි කූරු ගගා ඉන්න....”

ගෙදර නැවැතුණු යුවතියන්ගෙන් වැඩි දෙනෙකු අම්මලාට කියා තිබුණේ ඒ වගේ දේවල් මිස තමන්ට ‘කලාව’ බැරි බව නොවේ. “රංජිට නං ඉතින් දෙයියෝ දීලනේ හපන්කම!”

අසහාය සංගීතඥ බීතෝවන් දවසක් පියානෝ වාදනයක් ඉදිරිපත් කළේ ප්‍රේක්ෂක සියල්ලන් මෝහනයට පත් කරමිනි. ප්‍රසංගය අවසානයේ කාන්තාවකුත් ඔහුට සුබ පතන්නට ආවාය.

“අනේ බීතෝවන් මහත්මයා, දෙවියන් වහන්සේ ඔබට කරුණාවන්ත වෙලා ඔය තරම් දක්ෂකමක් දීලා තියෙනවා. උන්වහන්සේ මටත් එහෙම හපන්කමක් දුන්නා නම්....”

දෙවියන් වහන්සේ... කරුණාවන්ත වෙලා? අවුරුදු හතළිහක් තිස්සේ දවසකට පැය අට ගණනේ පුහුණු වෙනවා නම්........... 
(ඒ වනවිටත් බීතෝවන් අන්ධවී හුන්නේලු). 
“දෙවියන් වහන්සේ.... කරුණාවන්ත වෙලා? අවුරුදු හතළිහක් තිස්සේ, හැමදාම දවසකට පැය අටක් ගණනේ පියානෝව වයන්න පුහුණු වෙනවා නම් ඔබටත් මේ හපන්කම කරතෑකි වෙයි.”

බතික්වලදීත් එහෙමමය. නිරන්තරයෙන් වැඩ කරද්දි; දැඩි උවමනාවෙන් හදාරද්දී දක්ෂයෙකු වීමට හැකි වෙන බව මගේ දැනීමයි. 

හැබැයි විශිෂ්ටයෙකු වීමට නම් උපතින්ම ලද වාසනා මහිමයකුත් අවශ්‍යය.

“දැන් ඔයාලට හොඳට තේරුම් ගන්න වෙනවා.... මතක තියාගන්නත් වෙනවා එක-එක පාටවල් හැදෙන හැටි.... වෝටර්කලර් චිත්‍රයක් අඳිද්දී තැඹිලි පාට ඉවර වෙලා නම් අපි මොකද කරන්නේ. කහ පාට වැඩියෙන් අරන්, රතු පාට ටිකක් කලවම් කර ගන්නවා. එතකොට හැදෙන්නේ තැඹිලි පාට. 
අපි බතික්වලදී ගොඩක්ම වෙලාවට පාවිච්චි කරන්නේ පාට තුනයි. 
කහ-රතු-කළු. හරිනේ... එතකොට රතු පසුබිමේ කහපාට පුංචි dots තිබුණොත් ඒක පෙනෙන්නේ තැඹිලි පාටට. 
කළු background එකක රතු තිත් තිබුණොත් පෙනෙන්නේ දුඹුරු වගේ. 
ඒ වගේමයි.... කළු පසුබිමක සුදු පාටින් dots තිබුණොත්.... මොන පාටටද පේන්නේ?”

බතික් කරද්දී වර්ණාවලිය ගැනත්, පාටවල් හැදෙන හැටි ගැනත් දැනගෙන ඉන්නම වෙයි!
එහෙමය මා අපේ ගැහැනු දරුවන්ව බිත්ති සැරසිලි කරන්නට කලින් පුහුණු කෙරෙව්වේ; වර්ණාවලිය ගැන කියලා දුන්නේ. ඒ හුඟ දෙනෙකුට හොඳින් copy කිරීමේ; අනුකරණය කිරීමේ හැකියාව නම් තිබිණි. ඒකෙන් වැඩක් ගැනීම වඩාත් පහසු වුණේය.

මා කළේ එක-එක වර්ගයේ චිත්‍රවලින් එක බැගින් බතික් කර නිමවීමයි. ඊළඟට ඒවා බලාගෙන ඒ විදිහටම හිටින්නට ඉටි කරන්නට කීමයි!

මේ බ්ලොගය කියවන රසික ඔබ කියවන්නට හුරු-පුරුදු කෙනෙකු විය යුතුය. 

(“මචං, මේකාට අපි නැතිනම් මුගෙ බ්ලොග් එකට ලියන්න දේවල් නැහැ” යි කියලා බාගෙට ඇත්තක් කියන සුමිතුරු නෙවිල් මතක් වෙලාය මං එහෙම කිව්වේ. 
කොච්චර උදව් කළත්, කියවීම අරහං නෙවිල් තවමත් මා ලියන දේවල් කියවන්නේ නැත.) 

ඒ වගේ නැතිව මේවා කියවන ඔබගෙන් අහන්නට ප්‍රශ්නයක් මට තිබෙයි.

කවි- කෙටිකතා- නවකතා- නාට්‍ය- ගීත මේ කුමන නිර්මාණයක් වුණත් කරද්දී කෙරෙන්නේ භාෂාවකුත් යොදා ගැනීමය. සිංහල ගැනම කියමුකො. අපෙන් වැඩි දෙනෙකු පාවිච්චි කරන්නේ එකම වචනය; එකම ව්‍යාකරණ නීති-රීතිය. 
එහෙත් එක-එක්කෙනා ලියන-කියන විදිහ-රටාව වෙනස්ය. එයින් උපදවන රසය කොච්චර වෙනස්ද? ඔයාලා ඒ ගැන කොයියම්ම වෙලාවකවත් හිතලා තිබෙනවාද?

තිරිඟි තලයේ ඇති වක දෙක, ලියපත වගේ හැඩතලවලින්ම නිමවුණු හංස පූට්ටුවක් ......
එකිනෙකාට ආවේණික රටාවන් වෙනස්ය. හරියටම ඒ බව මගේ හිතට වැදුණේ අර විදිහට copy කරලා බතික් වෝල්හැඟින්ස් හදවද්දීය.

මගේ නිමැවුම බලාගෙන, ඒ විදියටම හැදුවත් දහ දෙනෙකු හැදූ ඒවා දහ විදිහක් වුණේය. විශ්වාස කරන්නත් අමාරුයි නේද? ඒත් ඇත්ත ඒකය. 

ලලිතා,වජිරා, කුසුමා, කුසුම්, ස්වර්ණා, වසන්ති, ආරියවතී, මාලනී-ගමගේ අක්කලා විතරක් නොවේ, අපේ සුනිල් කළ ඒවා පවා වෙනස්ය. කොයි තරම්ද කියනවා නම්, ටික දවසක් යද්දී එකිනෙකා හැදූ රෙදි බැලුව පමණින් ඒ කාගෙ වැඩක්දැයි කීමේ හැකියාව මට තිබිණි!

එහෙම විශ්ලේෂණය කිරීමේ හැකියාව තියෙන බුද්ධිමතුන්ගේ නිගමනයකුත් මෙතැනට ඔබන්නේ, හිතවත් කාන්තා පාර්ශ්වයෙන් තරහ නොගන්නැයි ඉල්ලමිනි!

‘ලෝකයේ ඕනෑම ක්ෂේත්‍රයක ඉහළින්ම වෘත්තීය නිපුණත්වය දක්වා තිබෙන්නේ පිරිමින්ය; කාන්තාවන් නොවේ!’ 

දන්නා හැම පැත්තටම හරවා බැලුවත්, මේ මොට්ට මටවත් ඒ කතාවේ වැරැද්දක් හොයාගන්නට බැරි වුණේය! කෝකියන්, රූපලාවණ්‍ය ශිල්පීන්, ඇඳුම් නිර්මාණය කරන්නන් අතරෙත් cup ගහලා ඉන්නේ කවුරුන්ද?

ලොව පුරාම, ඕනෑම ක්ෂේත්‍රයක හිණි පෙත්තෙම වැජඹෙන්නේ පිරිමින්ය. කාන්තාවන් නොවේ...ඒ ඇයි?
ඒ  අතරේම අපේ තාත්තා තව-තවත් වෙළෙඳසල් හොයා ගන්නටත් cup ගැහුවේය. 

කොටුවෙන්ම සාප්පු දෙක-තුනක් හොයාගත් තාත්තා අපේ සුනිල්වත් කැන්දාගෙන ගිහින් ඒවාට හඳුන්වා දුන්නේය. “කකුලේ අමාරුත් තියාගෙන මට දැන් හැම තැනම කරක් ගහන්න බැහැනේ බං. සුනිල්ට පුරුදු කරවලා ගත්තාම හරි.” 

එතකොටත් අපේ තාත්තාගේ ත්‍රොම්බෝසිස් අසනීපය ටිකෙන්-ටික වැඩි වෙමින් තිබිණි. අත-පයේ ඇඟිලි කපා දමමින් තිබිණි.

“කොහෙද ඉතින්... තොට හොඳ වෙයිද බං. එකක් ඇරෙන්න එකක් සිගරැට් බොන විදිහට... මුන් ටික නැහීගෙන වැඩ කරලා කීයක් හරි වැඩියෙන් හම්බ කරනකොට උඹේ සිගරැට් බීම වැඩි වෙනවා නහුතෙට. යකෝ, තොට ඔය ජරාව නොබී ඉන්න නේද දොස්තරලා කියන්නේ? නිස්කාරණේ සල්ලි පුච්චනවා වගේ නෙවෙයිද බොල ඕකත්?”

මොන... අපේ ආච්චිගේ දොස්-පරොස්වලින්වත් තාත්තා හැදුණේ නැත. 

සල්ලි තිබුණේ, වියදම් කළේ එයාම නිසා, එයාටම සීමා පනවා ගැනිල්ලක් කොහෙත්ම වුණේ නැත. හැම හොඳක් එක්කම නරකකුත්, හැම නරකක් එක්කම හොඳකුත් හැංගිලා එනවා නේද?

ලස්සන දෙයක් අස්සෙත් විසකුරු යමක් හැංගී තියෙන්නට හැකිවෙයි!
ඒ අතරේමය සමහර සාප්පුවලින් තව-තවත් නිමවුම් ඉල්ලලා තිබුණේ. 

“අයියේ... ජෙම් සෙන්ටර් එකේ නම් බතික් කියලා විකුණන්නේ වෝල්හැඟින්ස් විතරක් වුණාට හැම තැනම එහෙම නෙවෙයිනේ. තව තැනකින් ඇහුවා ඇයි ඇඳුම් ජාති කරන්නේ නැත්තේ කියලා. ඒවාත් කරන්නලු. එයාලගෙ ළඟ වැඩිය විකිණෙන්නේ ඒ වගේ දේවල්ය කිව්වා.” සුනිල් වතාවක් සේල්ස්වලට ගිහින් ආවේ එහෙම කියාගෙනය.

කතාව ඇත්ත බව මටත් වැටහිලා තිබිණි. 

බිත්ති සැරසිලි කරන්නට ගතවෙන වේලාව වැඩිය. ශ්‍රමය වැඩිය. හැමෝටම ඒවා ලස්සනට හදන්නටත් බැරිය. එහෙත් ඒවාට යන අනෙක් වියදම් අඩුය. රුපියල් 55/- ගණනේ අප මුලින්ම විකිණූ බිත්ති සැරසිල්ලක් රෙදි යාරයකවත් එකක් නොවේ.

“කමක් නැහැනේ රංජි. දැන් දෙයියන්ගෙ පිහිටෙන් අපිට රෙදි ටිකක් වැඩියෙන් ගෙනත් සරොම්-කමිස-ගවුම් ටිකක් කරන්න පුළුවනිනේ.... කොයිකටත් එහෙම කරන එක හොඳයි... මට හිතිලා තියෙන්නේ බෙන්තොට පැත්තටත් ගිහින් එන්න..... එහෙත් බතික්වලට මාර්කට් එකක් තියෙනවය කියලා රංජිත් පී.ට යාළුවෙක් කිව්වලු!”

බෙන්තොට පැත්තේ අලුත් හෝටල් හැදිලා සුද්දෝ එහෙම වැඩියෙන් ගැවසෙනවා කියලත් ..........

රෙදි විතරක් නොවේ; ඩයි- ඉටි වැනි දේවල්වලටත් වැඩි මුදලක් හිර කරන්නට වුණත්, ඒ වෙද්දී අපට ඒකටත් ශක්තියක්; හැකියාවක් තිබිණි. 
එතැනදී රෙදිවලට මෝස්‌තර ඇඳලා දෙන්නට වුණේ මටමය. 

මෝස්තරයේ දළ සැකිල්ලක් විතරය අඳින්නේ, ඉතිරි හරිය යොදන්නේ ඉටි කරන කෙනාමය. 

එකම මෝස්තරය වුණත් එකිනෙකා අතින් නිමවී එනවිට වෙනස්ම නිර්මාණයක් බිහිවන බැවිනි බතික් නිර්මාණ සුවිශේෂ වන්නේ!

එකම මෝස්තරය වුණත් එකිනෙකා අතින් නිර්මාණය වෙන්නේ...........
මා පෝස්ටුව මෙතැනින් නවතා ඊළඟ කොටසට යන එක ගැන රසික ඔබේ හැඟීම් විවිධාකාර වෙන්නෙත් එහෙමමය. 

 

21 comments:

  1. ඔයා කියලා තියන "සතය සතය එකතු කරලා නුවර එළියේ ටජ් මහලක් හදන" සින්දුව මම අහලා නැහැ. හැබැයි මහාචාර්ය තුමාට උනත් හිතුනේ නැද්ද දන්නේ නැහැ සතේ සතේ එකතු කරලා සොහොන් කොතක් හදන්නේ නැතිව වෙන මොකක් හරි ප්‍රයෝජනවත් බිල්ඩිමක් හැදුවානම් ඊට වඩා හොඳ නේද කියලා??

    ReplyDelete
    Replies
    1. සෑම්, ඒ ගීතයේ මුල 'යනවා නං අනේ මං අරන්'. එහෙම නොලියු නිසාමයි පෝස්ට් එකේ 'සාරි ඉරල ජනෙල්වලට දමමු රත්තරන්' වචන ක්ලික් කලාම ගීයට යන්නට පුළුවන් විදිහට ලින්ක් එක දැම්මේ.

      ඒක උපහාසාත්මකව බලන ගීයක්. තනුව-සංගීතය ගැන එහෙමත් අහනකොටම වැටහෙයි.

      Delete
  2. https://www.amazon.com/Lotustraders-Peasant-Dress-Smocked-Batik/dp/B01N0VVAZ2

    ReplyDelete
  3. තාමත් බතික් වෙන්නෙ ඔය විදියමටද?

    ReplyDelete
    Replies
    1. මධු, දැන් බතික් කර්මාන්තයත් ව්‍යාපාරයක් වෙනවාත් එක්කම යාන්ත්‍රික පැත්තකුත් ඇවිත්. ඉන්දුනීසියාව වගේ රටවල (කොකිස් අච්චු වගේ විශේෂිත මෙවලම් උණු ඉටිවල ඔබලා අරන් රෙදි ඉටි කරන බව ජාලයේ පින්තුරවලින්මත් පෙනෙනවා. ලංකාවට ඒවා ඇවිත්ද කියලා මට අදහසක් නැහැ.)

      හැබැයි, බතික්වලට ඉල්ලුමක් ආවේ ඒක හස්ත කර්මාන්තයක් නිසා. අතින්ම ඉටි කෙරුණු නිසා. එක වගේ දෙකක් ලබාගත නොහැකි නිසා.

      දැනට අපේ වෙළෙඳ පොලේ නම් තියෙන සාරි, සරොම්, කමිස ගොඩක් ඒ පන්නයේ ඒවා බවයි මට පෙනෙන්නේ.

      Delete
    2. 2016 මම ඉන්දුනීසියාවේ බාලි දුපතට ගියා. එහෙදී නිමල් විස්තරකරන විදිහට බතික් කරනවා දැක්කා.

      Delete
  4. නිමල්, මේ සින්දුවේ තියෙන නාරි කුංජරී ඔයාගෙ පෝස්ට් එකේ තියෙන "නාරි කුඤ්ජරය"මද.

    අන්දර වැටෙන් එබෙන සුන්දරී
    සුන්දර සුපිපි කුසුම් මංජරී
    මංපෙත සුවඳ කරන රම්බරී
    රන්රසු නගන නාරි කුංජරී

    -සුනිල් එදිරිසින්හ-

    ReplyDelete
    Replies
    1. චමී.
      නව නාරි කුඤ්ජරය කියන්නේ කාන්තා රූප නවයකින් හැදෙන ඇත් රූපය කියන එකයි. කුඤ්ජර කියන්නේ ඇතාටයි.

      ඒක වගේම තවත් මෝස්තරයක් තියෙනවා 'සප්ත නාරි පල්ලැක්කිය' කියලාත්. ඒ මොස්තරයෙදී ගැහැනු රූප හතකින් දෝලාවක් (පල්ලැක්කිය) හැදෙනවා.

      ඔයාගේ ප්‍රශ්නය නිසාම මා ළඟ තියෙන ශබ්ද කෝෂය පෙරළලා හෙව්වා. ඒකෙ නම් තියෙන්නේ ඒ අරුත විතරයි. මට ලාවට මතකයි එක ගැහැනු රුවකින් හැදෙන 'නාරි ඝටය'(කළය) කියලත් මෝස්තරයක් තිබුණා වගේ. ඒ නිසයි හෙව්වේ, කළයටත් කුඤ්ජර කියනවාවත්ද බලන්න.

      ආරාධනා කරමු සිංහල බස හොඳට දන්නා උගතෙකු මේ බ්ලොගය කියවනවා නම් අපිට උදව් වෙන්න.

      Delete
    2. නිමල් ඔයා කියන්නෙ "පංචනාරි ඝටය" ගැන, ඒක නාරි රූප පහකින් හැදෙන්නේ.
      මම දන්න අනිත් දෙක 'සප්ත නාරි පල්ලැක්කිය", "නව නාරි කුඤ්ජරය" , ඊට අමතරව තවත් ඒව තියනවද දන්නෙ නෑ.

      Delete
    3. මේ ගැන හොයන්න හිතුනු නිසාම ගොඩක් දේවල් හම්බුනා.
      චතුර් නාරි පැල්ලැක්කිය, නව නාරි කුංජරය, පංච නාරි ඝටය, ද්වි නාරි රථය, සප්ත නාරි තුරඟා, ෂඩ් නාරි තොරණ.
      මෙතන ද්වි නාරි රථය සහ පංච නාරි ඝටය රූප මං ලඟ තිබ්බ පොතක තිබ්බ ඒක හොයගන්න පුලුවන් වුනොත් දාන්නම්.
      කුංජරයට තවත් නමක්ලු පූට්ටුව. නාරි කුංජර විතරක් නෙවේ පුරුශ පූට්ටුත් තිබිල තියනවා මහනුවර යුගයේ කැටයම් වල.
      පහලින් ලින්ක් එක දානවා පුලුවන් නම් බලන්න සෑහෙන විස්තර ටිකක්.

      http://www.divaina.com/2010/12/01/badada02.html

      https://si.wikipedia.org/wiki/%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93_%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A_%E0%B6%87%E0%B6%AD%E0%B7%8A%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A_%E0%B6%9A%E0%B6%BD%E0%B7%8F%E0%B7%80#/media/%E0%B6%9C%E0%B7%9C%E0%B6%B1%E0%B7%94%E0%B7%80:Pancha_Nari_Ghataya_Ridi_Viharaya.JPG

      Delete
    4. පොඩ්ඩක් හෙම නෙවෙයි, ගොඩක් ස්තුතියි Anonymous!

      ඔයා සොයා දුන් තොරතුරු හුඟක් වටිනවා.

      චමින්දගේ නාරි කුඤ්ජරී සින්දුවේ ගැටයත් ලෙහෙනවා, කුන්ජරයට පූට්ටුව කියලා කියන එකෙන්. පූට්ටුව=ගැටය. ගැහැනු ගැටේ!

      Delete
    5. හැමෝටම ගොඩක් ස්තූතියි.

      Delete
  5. //ඒ කතාවේ වැරැද්දක් හොයාගන්නට බැරි වුණේය
    අවුරුදු දාස් ගාණක් ෆයිට් කරන්නේ පිරිමි.පවත්වාගෙන යන්නේ රැකගන්නේ ගැහැණු.
    කප් ගහන පිරිමි පිටිපස්සෙ සපෝර්ට් එකට රත්තරං ගැහැණියෙකුත් ඉන්නවා නිදි.
    ඕක හින්දු දේව සංස්කෘතියේ මරුවට තියේ.දෙය්යන්ගේ බලය බින්දුවයිලු දේවතාවිය නැත්තං.

    ReplyDelete
    Replies
    1. සිරිබිරිස් උන්නැහේ,
      අනේ සමා වෙන්න ඕනේ මගේ කතාවෙන් ගැහැනු අයව හෙළා දැකීමක් වුණා නම්. මං කියන්න හැදුවේ ස්ත්‍රීන් පහත්ය කියලා නම් නෙවෙයි. එයාලගෙ හැකියාවන්වල තත්වය ගැනයි. ගැහැනු එකම ක්ෂේත්රයකවත් ඉහළම නිපුණත්වයට ළඟා නොවෙන්නේ එයාලගේ මෂ්තිස්කයේ සොබාවය අනුව නේද?

      හැබැයි එකවර වැඩ කිහිපයක් කරන එකේදී නම් ගැහැණියට ළං වෙන්නවත් හැකි පිරිමි මම නම් දැකලා නැහැ. දවසකට දෙන්නාගේ වැඩ මාරු කරගත් ගමරාලගෙයි, ගම මහගේගෙයි කතාව සහතික ඇත්ත වගෙයි මට පේන්නේ.

      හැම සාර්ථක පිරිමියෙක් පිටිපස්සෙම ගැහැනියක් ඉන්නවාය කියන මතයට මාත් 100%ක් එකඟයි!

      Delete
  6. නිදි නාරි කුඤ්ජර චිත්‍ර පන්සල්වලට ආවේ කොහොමද කියලා හෙම දන්නවද

    ReplyDelete
    Replies
    1. මට තියෙන්නේ අනුමානයක් විතරයි. නුවර යුගයේ හින්දු රජ බිසෝවරු එක්ක ඒ ඇදහිලිත් ලංකාවට ආවනේ, එයාලට හදපු කෝවිල් අනුකරණය කෙරෙන්න ඇති කියලයි මං හිතාගෙන හිටියේ.
      සිරිබිරිස් උන්නැහේ, තරහ නැතිව ඒ වග-විතර දන්නවා නං කියන්නකෝ!

      Delete
  7. මාත් හොයනවා නිදි.මෙතන විස්තර ටිකක් තියේ.
    https://divaina.com/daily/index.php/visheshanga3/14720-2018-07-24-11-13-33

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සිරිබිරිස් උන්නැහේ, රසවත්, අලුත් කරුණු ගොඩකුත් දැනගත්තා.

      නරකද Pra Jay, බූෂණ (සිංහලේ) දෙන්නාගෙනුත් ඇහුවොත්.

      Delete
  8. නිමල් අයියේ එන සතියේ දිහා අපි බතික් උපන්න දිහාව වෙන ඉන්දුනීසියාවෙ රවුමක් ගහල එන්න යනව .. සමහර විට ඒ ගැන තවත් මොනව හරි ඉගෙන ගන්න පුළුවන් වෙයි :)

    ReplyDelete
    Replies
    1. ෂෝක්! ජාලයේ දැකපු තොරතුරු අනුව නම් කණ්ඩා, දැන් බතික් වුනත් යාන්ත්‍රික වෙලා වගෙයි මට පෙනුනේ. ෆොටෝවලින්... ගියාම බලලා කියන්නකෝ.

      සුවදායී ප්‍රීතිමත් සංචාරයකට සුපැතුම්!

      Delete