අකුරු මැකී නෑ

Friday, September 6, 2019

මෝස්‌තර එක්ක හත් වසරක් - දහසයවෙනි කොටස

අනීවාරතේ එකේක ගැහැනු ළමුන්ට මගේ නම ඈඳද්දී මගේ කෝපය පිට වුණේ එහෙම ගැඹුර දෙන විදිහටය. ‘කාපියව් දිරච්ච ලණු!’

ඒ කාලයේ අනංගයා - කාමදේවයා -මල්සරා හෙවත් Cupid නිතරෝම අපේ බතික් වැඩපොළ පැත්තේ........
එහෙම ගැඹුර දෙමින් ගතවෙන කාලයේ කාමදේවයා හෙවත්, අනංගයා හෙවත්, මල්සරා හෙවත්, Cupid නිතර-නිතර අපේ දීපානි බතික් වැඩපොළ පැත්තේ සැරිසරුවේය.

ඒ වනවිට අපේ වැඩපොළ ව්‍යාපාරයක් වශයෙන් ලියාපදිංචි කර තිබිණි. නම ‘දීපානි බතික්’ය. රෙජිස්ටර් කළාය කියලා අපට අමුතුවෙන් ලැබුණු බම්බුවක් නම් නැත.

‘දීපානි’ නම දැම්මේ අපේ චූටි නංගිගේ නමෙන්ය. 

අපේ පොඩිම මල්ලී දීපාල්ය. ඒ දෙන්නටම නම් දාන වෙලාවෙත්, අදත් ‘දී’ අකුරට මගේ හිතේ තියෙන්නේ අප්‍රමාණඉඩකඩකි. 

ඒ කරුණ දන්නේ මා පමණකි. මෙච්චර කාලයක් කාටවත් නොකිව් ඒ රහසත් නුදුරු අනාගතයේදී පෝස්ටුවකින්ම හිතාදර රසික ඔබට හෙළිදරව් කරන්නටය මං හිතාගෙන ඉන්නේ.

බඩා මල්ලියා දීපාල් හා චූටි නංගී දීපානි දෙන්නාටම 'දී' අකුරෙන් පටන් ගන්නා නම් දැම්මේ...............
හෝමාගම, කොට්ටාව, පිළියන්දල, ඇරැව්වල, නුගේගොඩ, ඇඹුල්දෙනිය, මාදිවෙල වගේ මහරගම අවට හැම තැන්වලින්ම ළමිස්සියන් පමුණුවේ ‘දීපානි බතික් ආයතනය’ට එද්දී  ‘මාල බැඳන් සුදු යකඩෙන් රෝස මල් වනේ - මාල ගිරව්’ පස්සෙන් ඒම පුදුමයකුත් නොවේ. 

එතකොට මල්සරාටත් වැඩද නැත්තේ?

“අපේ දූට හොඳ මංගල්ලයක් ලැහැස්ති කරලා දෙන්න බලන්නකෝ ගුණපාල අයියේ!” වැඩපොළට ආ එක ළමයෙකුගේ මාතාවක් අපේ තාත්තාට කියලා තිබුණේ ඒ අතරවාරයේය.

දෙතුන් දවසක් යන්නට කලින් තාත්තා මනාලයෙකු හොයලාත් ඉවර කරලාය. 
මට ඒ බව වැටහුණේ තාත්තා ඇසූ ප්‍රශ්නයකිනි. “රංජිට එම්ව ගැළපෙනවා නේද?” 
(ඔන්න දැන්, මේ හරියේදී මට නම්-ගම් -වග වාසගම් එක්ක කතාව කියන්නට ඉඩක් නැති එකට සමා විය යුතුය.)

“තාත්තටත් මොළේ හොඳ නැද්ද? එම් අක්කව මට ජෝඩු කරන්න යන්නේ......”

“කවුද යකෝ ඒ කෙල්ලව උඹට ජෝඩු කරන්න යන්නේ...”

රංජිට එම්ව ගැළපෙනවා නේද?
“එහෙනං දැන් ඇහුවේ?”

“උඹට පොට පැටලිලා.... මං ඇහුවේ රංජිත් පී.ට එම්ව ගැළපෙනවද කියලනේ.”

එහෙම පටලැවිල්ලකින් පටන් ගත්තත් රංජිත් පී.ත් එම් අක්කාත් දෙන්නාගේ කතන්දරය ලියලාගෙන ගියේය. ඒ දෙන්නාම එතකොටත් කල වයස ඉකුත් වෙන්ට ඔන්න-මෙන්නය. රංජිත් පී. එම් අක්කලාගේ ගෙදරටත් යන තරමට යෝජනාව පළ දරා තියෙද්දී.......

දනා සර් (නියම නම නොවේ) අහිංසක පාට ගැහැනු ළමයෙකුත් එක්ක අපේ ගෙදරට ගොඩ වැදුණේය!

“ඔන්න රංජි මල්ලී, මෙයාට උගන්වලා ගන්න එක ඔහෙට බාරයි! මං ඔහෙලගෙ තාත්තටත් කියලයි තියෙන්නේ, මේ අපේ නංගි ගැන.” දනා සර් මට කිව්වේය. 

එයා රැකියාවට කළේ ළමුන්ට English ටියුෂන් දීමය. 

මාතර පැත්තේ කෙනෙකු වුණු ඔහුගේ අයියාත්, අක්කාත් අපේ තාත්තාගේ හිතවතුන් ගොඩේය. නමුත් නිතර-නිතරම අපේ ගෙදරට ආවේ දනා සර්ය. “කමලා නංගි, මේ අයියාගෙන් තමයි බතික් ඉගෙනගන්න වෙන්නේ.”

දනා සර්ගේ රස්සාව වුණේ පොඩි ළමයින්ට ඉංග්‍රීසි ටියුෂන් දීමය.
දනා සර්ගේ නංගි කෙනෙකුය කී කමලා සුදු නැතත් පියකරුය; අහිංසකය; චරෝ-බරෝ නැතිය. කමලා බතික් වැඩවලට අත්පොත් තියද්දී රංජිත් පී. පිනුමක් ගැහුවේය.

“හරි වැඩේනේ රංජියො. අරූ.... අර රංජිත් පී. පරයාට දැන් එම්ව එපා වෙලාලුනේ. ඒ මදිවට ඌ දනා සර්ගෙනුත් අහලා එයාලගෙ නංගි කමලා ගැන.....” තාත්තා කියාගෙන ගියේ අවුලකට මැදි වුණු විදිහෙනි.

“හොඳ වැඩේ. ඔය සෙවලයා ඔහොම නොකළා නම් තමා පුදුමේ. 
තාත්තත් දනා සර්වත් අරගත්තනේ බොන සංගමේට.... 
දැන් එම් අක්කලට මොනවද කියන්නේ? ඊටත් කමලායි එම් අක්කයි දෙන්නම මෙහෙ එකටමනේ වැඩ කරන්නෙත්....... 
දනා සර් මොකවත් කිව්වෙ නැද්ද තාත්තට.”

“මිනිහත් මාතර හාදයනේ.... ඇඟ බේරගෙන කතා කරලා තියෙන්නේ. රංජිට කියලා එයාගෙන් නං අකැමැත්තක් නැහැ කියලා. හැබැයි, මටත් කියලා ඉන්න කීවලු.”

ලොකු තොවිලයක් නටලා වගෙයි අර කෙල්ලගෙ අම්මට ගුළියක් ගිල්ලෙව්වේ!
 කොහොම වුණත් අපේ වත්තට කිට්ටුවෙන්ම හිටි එම් අක්කලාව තරහ කරගන්නටත් බැරිය. රංජිත් පී.ගෙ හිත බලහත්කාරයෙන්ම කෙල්ලකට අරගෙන දෙන්නටත් බැරිය. එහෙම අවුලකය ටික දවසක් ගෙවුණේ.

“අම්මෝ, යාන්තම් ඇති. එක ඉසරදයක් ඉවර වුණා බං. තොවිලයක් නටලා වගෙයි එම්ලගේ අම්මට ගුළියක් ගිල්ලෙව්වේ.” තාත්තා අපමණ සතුටකින් දිග හුස්මක් හෙළලා කිව්වේය.

“තාත්ත මොකක්ද එයාලට කිව්වේ?”

“මං අසද්ද බොරුවක් කිව්වා බං. රංජිලගේ පරම්පරාවෙන් එන නුහුගුණ ගතියක් හිටි ගමන් මතු වෙනවය කියලා... 
ළඟකදීය ඒ විත්තිය ආරංචි වුණේ කියලත් මම ඒ අම්මණ්ඩිට කිව්වා. කොයි අම්මද කැමති වෙන්නේ පිස්සෙකුට දුවෙක් දෙන්න....”

රංජිලයෙ පරම්පරාවෙන්ම එන පොඩි නුහුගුණ ගතියක්.............
අපේ තාත්තා එහෙව් අයිඩියානන්ද කෙනෙකි. 

එච්චර සමතාගේ කනෙනුත් රිංගන්නට මාතර කොල්ලෙකුවූ දනා සර්ට පුළුවන්වී ඇති බව පෙනුණේ, ඊටත් මාසයකට හමාරකට පසුවය.

දනා සර්ගේ අක්කා හදිසියේම බතික් වැඩපොළට කඩා වැදුණේ දුම්මල වරම ගත්තා වගෙය. ඇය මුලින්ම අපේ තාත්තා එක්ක නොයිවසිල්ලෙන් කටුකුටු ගානවා මම දැක්කෙමි. තාත්තාගේ හඬ ඇසුණේ ඊට පසුවය.
“රංජි. පොඩ්ඩකට කමලාව මෙහාට එක්ක එනවා!”

අප දෙන්නා ගෙදරට ගොඩ වුණා විතරය.

“මට අදයි ආරංචි වුණේ... තෝ.... තෝ... එහෙනං කොහොම හරි අපේ බූරුවාගේ නාහේ විදගත්තා නේද පරට්ටියේ? 
මේ මනුස්සයාට ගරු කරන හින්දයි මං මෙතැන සද්ද කරන්නැත්තේ. 
නැති නං මං දනී දහඅට පාලියම නටන හැටි.... පේනවා නේද ගුණපාල අයියේ, හෙමිජ්ජි වගේ ඉඳගෙන මේකි ඔයාලවත් රවට්ටලා තියෙන ලස්සන...” 
දනා සර්ගේ අක්කා දත්මිටි කමින් වුණත් වැඩපොළට නෑහෙන තරමේ volume එකකින් බැණ වැදුණාය.

අර යකා හංගොල්ලෙකුටත් අන්ත සෙවලයෙක් නේන්නං!
ඒ සංගදිය කෙළවර වුණේ දනා සර් අපේ ගෙදරට එන එකත් නැවතීමෙනි. 

පණිවිඩයක් යවා එදාම ගෙන්නවා ගත් දනා  සර්ට අපේ තාත්තා කිව්වේ ‘වහාම කමලාව අපේ ගෙදරින් එක්කගෙන යා යුතුය’ කියලාය. 

ඊට පස්සේ දනා සර් අපේ ගෙදරට එන එක නැවතීමෙන් ආයෙමත් වතාවක් මගේ ඉංග්‍රීසි ටියුෂන් ගැනිල්ලත් නැවතුණේය.

“මෙච්චර මගේ කනෙනුත් රිංගුවනෙ බොලේ. නිකංයැ කියන්නේ ඇස් ඇරපු බළල් පැටියෙක්වත් බෙන්තර ගඟෙන් මෙගොඩට ගෙනෙන්න එපැයි කියලා. කපටි යක්කු!” එහෙම කියලාවත් අපේ තාත්තාට හිත හදාගන්නට ඉඩ ලැබුණේ නැත. ඒ රංජිත් පී. හින්දාය.

“උඹ කිව්වා හරි බං. අරකා මහ සෙවලයෙක් නේන්නං, හංගොල්ලෙකුත් තව හොඳයි කියතෑකි ..... දැන් ඌ ආපහු කියනවනේ එම් කෙල්ලට කැමතිය කියලා.”

කසාදයක් බඳින්නේ හිතට එකඟව නේද? හිතෙන-හිතෙන පළියට ජීවන සහකාරිය තෝරාගන්නට-වෙනස් කරන්නට පුළුවන්ද? 
එහෙම කරලා එක ගෙදරක වසන්නට; එක සයනය බෙදාගන්නට පුළුවන්ද? 


එහෙම කරලා එක ගෙදරක වසන්නට, එකම සයනය බෙදාගන්නට පුළුවනිද?
තනිකඩවම හිටියත් මට නම් එහෙම කරන්නට බැරිය! ඒ මට නොවැ.

“පිස්සු හැදෙනවා කිව්වට මං හොයලා බැලුවා.... එහෙමමත් නැහැල්ලු. පොලිස් ගරාජ් එකේ වැඩ කරන හාදයෙකුත් හින්දා නරකද ඒ කටයුත්ත ගැන තව ටිකක් හිතුවොත්. පවුලේ කෙල්ලොත් නැහැනේ, කොල්ලොම විතරයිනේ.” 
අපේ තාත්තා එම් අක්කලාගේ අම්මා ඉදිරියේ තැටිය මාරු කළේය. එයාලාත් රංජිත් පී.ට හපන්ය; කැමැත්ත ලැබුණේය. 

මංගල්ලය කෙරුණේය. පුතාලාම දෙන්නෙකුත් ඉපදුණේය.

නමුත් රංජිත් පී. ටිකෙන්-ටික බීමත්කම වැඩි කරගත් හින්දාදෝ අකාලයේ මියගියේය. දැන් එම් අක්කාත් මළවුන් අතරය!

ඒ මඟුල් හුටපටය කෙළවරටම කියන්නට ඕනේ නිසාය මේ ඩිංගත් ලියන්නේ. “අපේ මල්ලී කමලා කෙල්ලවම බැන්දනේ. ඒකි ඌට  ඉනාවක් ගිල්ලන්න ඇති. අපේ ගෙවල් අහ ඔව්වා හරියට කෙරෙනවනේ.” දනා සර්ගේ අක්කා පසු දවසක වාර්තා කළාය.

අභ්‍යන්තරයෙන්; ඇතුළාන්තයෙන් පිරිපුන් වෙන තරමට මිනිසුන්ට ඍජු ගතිගුණ ඇතිවෙනවා වෙන්නට ඕනෙය. ජීවත්ව හිටියදී මොන තරම් පුම්බාගෙන හිටියත් ‘තමාවම රවටාගන්නට නොහැකි නිසා’ ගොඩාරියක් අය ගොන්කම් කරති. 
මරණයෙදීත් එහෙමය. උජාරු මරණ උත්සවයක්, මහා පරිවාර සේනාවක්, ලොකුම චිතකයක් .... ඇත්තටම මේවා නිස්කාරණ වැඩ නෙවෙයිද?

ඍජු කශේරුකාවක් තිබුණු, ඇතුළාන්තයෙන්ම පිරිපුන් බුද්ධිමතෙක්........
ඍජු කශේරුකාවක් තිබුණු, බුද්ධිමත් විද්වතෙක් පෙරේදා අවසන් ගමන් ගියේය. ඒ සිරිලක වැස්සනට මහඟු ආදර්ශයක් සපයමිනි. 

..... කාලෝ ෆොන්සේකා පසුගිය දිනක රෝගාතුර විය. කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහු ඉල්ලා සිටියේ තමා නිවසට රැගෙන යන ලෙසය.

සිය බිරියද, දුවද, පුතාද වෛද්‍ය චන්දන අතපත්තුද තමන් ළඟට කැඳවූ කාලෝ ෆොන්සේකා තම අවසන් කැමැත්ත ප්‍රකාශයට පත් කළේ ය. තම අවසන් කැමැත්තට බිරිය අකැමැති වනු ඇති බව කී මහාචාර්යවරයා, තමා මියගිය පසුව අවමංගල්‍ය උත්සවයක් නොපවත්වා රතු ඇඳුමක් අන්දා හැකි ඉක්මනින් මෘත දේහය වෛද්‍ය විද්‍යාලයට භාරදෙන ලෙස කීවේය.

හේතුවාදියකු වූ නිසාම ඔහුගේ අවසන් ඉල්ලීම වී තිබුණේ විප්ලවවාදියකු ලෙස රතු ඇඳුමෙන් සැරසී අවසන් ගමන් යන්නටය. 
එම ඉල්ලීම අනුව මහාචාර්ය කාලෝ ෆොන්සේකාගේ දේහය ඊයේ (02 දා) සවස්වරුවේම වෛද්‍ය පීඨයට භාරදෙනු ලැබීය......

කාලෝ ෆොන්සේකා විද්වතාණෙනි, ඔබ පැතූ සදා සැනසීමක් ඔබතුමාට අත්වේවා!

ඔය දවස්වලමය බෙන්තොට මුදලාලි  තව තුරුම්පුවක් ............
දීපානි බතික් වැඩපොළේදී සිද්ධ වුණු ‘මල්සර’ යුද්ධ කතන්දර සේරම කියන්නට ඕනෑ යයි මට හිතෙන්නේ නැතිය. එහෙත් කියන්නටම හිතෙන කතන්දර වුණත් ලියන්නට වෙන්නේ තැනින්-තැනය. නැති නම් මේ ලියවිල්ලත් එකම ප්‍රේමාලාපයක් වෙනු නිසැකය.

ඔය දවස්වලමය බෙන්තොට සිරිසේන මුදලාලි තවත් තුරුම්පුවක් ඇද්දේ.

“මම දන්නවා ඔහෙලා අර ඔබේවංශ හාදයට හෙමත් තවම රෙදි දෙන බව.....
මං වචනයක් කිව්වොත් කිව්වා. ඔහෙලා හදන තරමක් රෙදි ගන්නවයි කිව්වා. ඒක වෙනස් කරන්නෙ නැහැ. 
හැබැයි, ඔහෙලත් මට උදව්වක් කරන්නම ඕනේ...... 
ඔන්න ගුණපාල උන්නැහේ ඔහෙ තමයි බැහැ කිව්වොත්..... මේ ළමයා නම් බැහැයි කියන්නේ නැතිය කියල මට හොඳටම විශ්වාසයි.”

“හා කියලා හරි, බැහැ කියලා හරි කියන්න ඉස්සෙල්ලා මොකක්ද කියන්නේ කියලත් දැනගෙන ඉන්න එපැයි මුදලාලි.”

දැන් ඉස්සරට වැඩියෙන් සුද්දෝ එනවා.... සාප්පුත් වැඩි වෙනවා. ඉතින් තරගේත්.........
ඔහුට අවශ්‍යවී තිබුණේ බෙන්තොටත් බතික් වැඩපොළක් පටන් ගැනීමටයි. 

“දැන් ඉස්සරට වැඩියෙන් සුද්දෝ එනවා. සාප්පුත් වැඩි වෙනවා..... තරගෙත් වැඩි වෙනවා... සුද්දොන්ට ඕනේ බතික් කරන හැටි බලාගන්න. අපේ හාමිනේ කියනවා එතකොට සුද්දන්ටම ඕනේ විදියට, ඕනේ මෝස්තරවලට බතික් රෙදි හදලා දෙන්නත් පුළුවනි කියලා.....”

තාත්තාත්, මාත් හිටියේ බැහැයි කියන්නට බැරි මට්ටමකය.

“එහෙම නම් අපේ සුනිල්ව බෙන්තොට......”

“සුනිල්ව....? අපෝ, අපෝ. ඒක හරියන්නේ නැහැ. සුද්දෙක් එක්ක තියා මගෙත් එක්කවත් හිනාවෙන හාදයෙක්ද එයා.... 
එහෙම නෙවෙයි, මිනිහට මෙහෙ වැඩ බලාගන්න කියමු. 
මට නං මිනිහව අල්ලන්නෙම නැහැ. නිමල්ව එහෙට එවන්න..... 
කියන පඩියකුත් දෙන්නම්... අපේ ටෙරන්ස්, අතුල දෙන්නත් මෙයාට හරියන යාළුවො වෙයි. ඔහෙලා හදන තරමක් බතික් මං ගන්නවා. 
ඒකේ වෙනසක් වෙන්නෙ නැහැ, ගොයියෝ.”

මා සිතින් දෙවියන් යැද්දේ.............
‘මුදලාලිට බැහැයි කියන්න තාත්තට බැරි වෙයං දෙයියනේ!’ මම දෙවියන් යැද්දෙමි.

මාත් ගෙවල්වලටම අරක් ගත් ගෙවල ගෙම්බෙකු වගෙය. ඌව අල්ලලා ගෙයින් එළියට දැම්මත් වැඩක් නැත. ආයෙමත් ගෙටම ඇදෙයි. 

කොහෙ ගියත්, මොනවා කළත් මටත් ගෙදර ඉන්නට ඕනෙය. එහෙම ගතියක් තිබිලාත්, ඒ දවස්වල මං හිතුවේ ගෙදරින් පිටත කොහෙ හරි ඉන්නට ඇතිනම් කියලාය. ඒ අපේ තාත්තාගේ ‘ගෝරි’ හින්දාය; බීගෙන නටන ‘ජෝගි’ හින්දාය.

දෙවියන් මගේ ඉල්ලීමට කන් දුන්නා වගෙය. මා බෙන්තොට යවන්නට තීන්දු කෙරිණි.

සෙනසුරාදාත් ඉරිදාත් මට ගෙදර එන්නට ඉඩ ලැබෙනු ඇත. හදිසි අවශ්‍යතාවක් වෙතොත් හවසට ගෙදර ඇවිත් පහුවදා උදෙන් බෙන්තොට යන්නට වුණත් ඇහැකිය. 

වැටුප් ගැනත් කියවුණත් මට ඒවා නම් නිච්චි නැතිය.

අපේ එක්කෙනා අම්ම කෙනෙක් වගේම මේ ළමයව.............
“අපේ ගෙයක් තියෙනවා කවුරුවත් නැති. බෙන්තොට ස්ටේසමේ ප්ලැට්ෆෝම් එකෙන් පැන්න තැනමයි. කෝච්චියට යන-එන ඕනෙම සුද්දෙකුට එතැන පේනවා.... 
ඒකේ තමයි ෆැක්ටරිය දාන්න හිතන් ඉන්නේ. 

-ඔය ළමයා හෙට අනිද්දා දවසක ඇවිත් බලලා ගන්න ඕනේ දේවලුයි, කෙරෙන්න ඕනෑ දේවලුයි කියලා දෙන්න ඕනේ. දන්නවනේ.... මේ සිරිසේන මුදලාලිට ඕනේ දෙයක් කියන්න ඔය ළමයට පුළුවනි.... 

-ආ ගුණපාල උන්නැහේ. මේ ළමයට කෑම-බීම සේරමත් අපේ ගෙදරින්ම දෙනවා.... අපේ එක්කෙනා නිමල්ව අම්මා කෙනෙක් වගේම බලාගනියි!”

එහෙමම වුණේය. සිරිසේන මුදලාලිගෙ බිරියට මා කිව්වේ ඇන්ටි කියලාය. මට හමුවී ඇති ඉතාමත් කඩිසර, තීක්ෂණ කාන්තාවකි; ඈ.

දර ඉපලක් වගේ කෙට්ටු වුණත්- දරුවන් හත් දෙනෙකුට හෝ හය දෙනෙකුටත් (මට මතක හැටියටය ඒ), සැමියාටත්, මටත් තුන් වේලටම කෑම ඉව්වේ ඇයයි.

උයා-පිහා දරුවන් පාසල් යවා හිමිදිරියේම බසාර් එකට යන ඇයට මහ රෑ වෙනතුරුත් නිවනක් තිබුණේ නැත. අනේ, ඇන්ටිගේ තිබුණු මව්වත්කම......!

බෙන්තොටදී සුද්දෙකු පොලරයිඩ් කැමරාවකින් අරගෙන දුන් ෆොටෝ එකක්. වමේ සිට හතරවෙනියා නිදිය. බිම වාඩිවී ඉන්නේ ටෙරන්ස්ය.
සිරිසේන මුදලාලිටත් මම පුතෙක්ම වුණෙමි. ඔවුනගේ ලොකු පුතා ටෙරන්ස්ට, දෙවෙනියා අතුලට කියලාවත්, මට වැඩියෙන් සෙනෙහසක් එයා ළඟ තිබුණේ නැතිවා වගෙය.

ඒ ගෙදර තිබුණේ එකම දින චරියාවකි. 

ටෙරන්ස්ලාගෙන් කවුරුන් හරි ඉස්කෝලේ ඇරිලා ඇවිත් බසාර් එකට යයි. ඇන්ටි හනිකට ගෙදර ඇවිත්, රෑටත් උයලා- නාලා- කාලය ආයෙම රාජකාරි බාරගන්නට බසාර් එකට යන්නේ.

ම්ම්ම්ම්ම්... තව එකක්. මුදලාලිලාගේ ගෙදරදීය පොල්වල අරුමය මං දැනගත්තේ.

බත්, පාන්, ඉඳියාප්ප මොනවා කෑමට තිබුණත්- කිරි හොදි, සුදට හැදූ අල කරිය, පරිප්පු වගේ දේවල් තිබුණත් එයාලාගේ කෑම මේසයේ පොල් දීසියකුත් වරදින්නේ නැත. අනෙක මිරිසට ඉවූ මාළුය.

දකුණේ රිටිපන්න කරුමාන්තේ වගේම උරුමයක් වෙන්ටත් පුළුවනිය. ඒ උදවියට කෑම මේසයේ පොල් ටිකකුත් නැති නම් හිත පිරෙන්නේ නැතිවා වගෙය!

දකුණේ රිටිපන්න කරුමාන්තය වගේම .................
 ඔයාලටත් එහෙමද?

15 comments:

  1. අනික් හැමෝගෙම ලව්, මගුල් ජෝඩු කෙරිලි, අනංගයාගේ ප්‍රොජෙක්ට් ගැන කිව්වාට "නිමල් දිසානායක" මහතා ඒ කාලේ කරපු කියපු දේවල්(මේ කියන්නේ රජවෙච්ච හැටිවත්, බතික් ගැනවත් නොවෙයි කියලා දන්නවානේ ) ගැන මුකුත් තවම ලිව්වේ නැහැ නේද ?? ඒවා ලියන්නේත් නැද්ද ??

    ගාපු පොල්, මිරිස් මාළු සමග හෝ මිරිසට ඉවූ මස් සමග ගැලපුනාට, කිරිහොදි/අලහොදී වැනි දියාරු සැර නැති කෑම එක්කනම් මැච් වෙන්නේ නැහැ. මම සමහර දිනවල ඒ ආකාරයට ඉවූ මස් හෝ මාළු තිබුනොත්, අනිකුත් ව්‍යාංජන කන්නේ නැතිව පොල් (අපිට කොයින්ද පොල්, යන්තමට හරි තියෙන්නේ frozen grated coconut තමයි) සමග කනවිට ගෘහ මුලිකතුමිය පොල් සමග මාළු කෑම "එක්තරා කුලයක" අයගේ කෑමක් බව කියා මට සමච්චල් කරනවා.

    පසුගිය දිනවල වැඩ වැඩි කම නිසා පංච තන්තරේ පසුගිය පෝස්ට් දෙක තුනක්ම කියවන්න ලැබුනේත් දිනක් දෙකක් හෝ ඊටත් වැඩියෙන් පරක්කු වෙලායි. පිළිතුරක් ලියන්නවත් අවස්තාවක් නොලැබීම ගැන සමාවෙන්න.

    ReplyDelete
    Replies
    1. //නිමල් දිසානායක මහතා ඒ කාලේ කරපු කියපු දේවල් ගැන මුකුත් තවම ලිව්වේ නැහැ නේද//

      නිමල් අයිය මේ බ්ලොග් එක ලියනකල් ඒව මේ කපේදි ලියවෙන එකක් නෑ සෑම් මහත්තය. ඒ ගැන බලාගෙන ඉඳල වැඩක් වෙන එකක් නෑ. හැක්..

      Delete
    2. ඇයි නැත්තේ, ඔය වහෙන් ඔරෝ කියලා මුට්ටිය දාලා බලපු තැන් තිබුණේ. ඒවාත් ලියවෙයි. ඉන්නකෝ!

      කිරට ඉව්ව ඒවාත් එක්ක පොල් යන්නේ නැහැ තමයි. ඒ අපිටද මන්දා?

      සෑම්, වෙලාවත් එක්ක ඔයාලට තියෙන යුද්දෙ ගැන මට නම් තේරෙනවා. හැකි වෙලාවක ගොඩ වෙලා, ඉඩක් තිබුණොත් කමෙන්ට් එකකුත් දාන්න.

      ස්තුතියි ප්‍රසන්න. ඔයා මට ලේසි කරනවා!

      Delete
  2. මාලුයි පොලුයි කියන්නෙනං නියම කෑමක්. හැබැයි කිරිහොඳි එක්කනං ඒක ගැලපෙන්නෙ නෑ.

    සිරිසේන මුදලාලි හොඳ බිස්නස් මයින්ඩඩ් පොරක් වගෙයි.

    ReplyDelete
    Replies
    1. ඇත්තමයි, ප්‍රසන්න. සිරිසේන මුදලාලි මට හමුවුණු නියමම බිස්නස්කාරයෙක්.

      Delete
  3. බිස්නස් එකක් දාල ජොබ් එක්කට යනව? මට නම් හිතාගන්නබෑ.


    අර කියනවයි ක්යපු ඒව කියනකම තමා මේ බලා ඉන්නෙ.

    ReplyDelete
    Replies
    1. බිස්නස් එකක් දාලා ජොබ් එකකට යන්න වෙච්චි හේතු ඊළඟ කොටසේ.
      මධූ, අනෙක් ඒවා ළඟදීම.....

      Delete
  4. මල්සරා සොට් එකක් දාල ඊතල විදලද කොහේදෝ

    ReplyDelete
    Replies
    1. ෂොට් එකක් නොදැම්මත් පැණි රහට නිකම්ම මත් වෙනවා ඇති සිරිබිරිස් උන්නැහේ, දුන්න හදලා තියෙන්නේ උක් දණ්ඩකින් නොවැ!

      Delete
  5. පොල් නැතත් අදනම් හිත පිරුනා. මේ මගේ කැමතිම සීරීස් එක. එක දිගට පෝස්ට් තුනක්.

    ReplyDelete
  6. ඇඹුල් තියල් හෝ හොඳට හින්දවපු මිරිස්මාලු එක්ක කලටි පොල් ගෙඩියක් ගාල දුන්නොත් නැලියක උණු බත් හරි පාන් රාත්තල් දෙකතුනකුයි කන්න බැරිවය :)

    ReplyDelete