අකුරු මැකී නෑ

Monday, September 9, 2019

Desert Rose, අරවින්ද හා රයිකී - දෙවෙනි කොටස

“අයියාත් ටික දවසකට ලංකාවට එනවා. නිමල් අයියාවත් හම්බ වෙන්න එනවාමය කිව්වා.”

“හැබැයි අරවින්ද මහත්තයෝ අද මම කියන දෙයින් පස්සේ ඔයාලගේ අයියා මගේ මුහුණවත් නොබලා ඉන්නත් ඉඩ තියෙනවා.”

මේකයි. පොතේ තියෙන දේවල් හරීමය කියමුකො..........
හිනාව තවරාගෙන විහිළුවක් විලාශයෙන් මං කියා දැම්මේ පෙරවදනය. අරවින්ද තක්බීර් වුණා වගෙය! “ඇයි නිමල් අයියේ ඒ?”

“මේකයිනේ, පොතේ කියන දේවල් හරිය කියමුකො. හැබැයි ලියලා තියෙන විදිහ හරි නැති නම්.... මං කියන්නේ මට හිතෙන දේ. 
පොතේ සිංහල වැරැදියි නම්.... මේක කෙටිකතාවක් හරි නවකතාවක් හරි නෙවෙයිනේ අරවින්ද. 
අලුත්ම ප්‍රතිකාර ක්‍රමයක්; අලුත්ම දර්ශනයක් වගේ දෙයක් ගැනනෙ කියන්නේ. එහෙම කියද්දී කියන විදිහෙත් වැරැදි නැත්තං නේද හොඳ?”

අපේ සංවාදය දිගට ඇදිලා ගියේය. සංවාදය කිව්වාට කතා කළේ මාය. අරවින්ද කළේ අහගෙන ඉඳීමය.

හිතාමතා ද නැද්ද කියලා නම් අදටත් මා දන්නේ නැත. 

එදාම අරවින්ද අපේ ඔෆිස් එකේ අයගෙනුත්, ටයිප් සෙටින් අංශයේ අයගෙනුත් ලකුණු දමා ගත්තේය. හිස මඳක් ඇලකොට පාන හිනාවෙනුත්, කතාවෙනුත්  විතරක් නොවේ; සංග්‍රහ සත්කාරයෙනුත් කොල්ලා ලකුණු රැස් කළේය. (මා මේවා කියන්නේ දැන්ය.)

කොල්ලා එදාම සෑහෙන්නට ස්කෝර් කළේය!
අපේ කතාබහ යන අතරේ අපටත් තේ අරගෙන ආවේය. අරවින්දටත්.... 

“පොඩ්ඩකට ඉන්න නිමල් අයියේ.” කියාගෙන පිටතට ගිය අරවින්ද ආපහු ආවේ කන්නට මොනවාදෝ අරගෙනය.

“අරවින්ද හරි හොඳයි නේද නිමල් අයියේ?” 
office එකේ ගැහැනු දරුවා පස්සේ වෙලාවක මගෙන් ඇහුවාය. 

ඒ අම්මණ්ඩි ඉන්නෙම ඔරොප්පු මූඩ් එකෙනි; කොක්කකට ලැහැස්ති වුණු ගමන්ය; කාට හරි හොඳයි කියන්නේ හේලිගේ වල්ගා තරුව පායනවා වගේ කාලාන්තරයකටය.

සමහරු එහෙමය; මුස්පේන්තු විදිහට ඉන්නවා මදිවට අනෙක් අයගෙත් දවස මස්තබාල්දු කරති.

“මොකක්ද අරවින්දගේ විශේෂ හොඳේ?”

“බලන්නකො, එයා තේ වෙලාවේ අරන් ආපුවා! සල්ලිනෙ.” ගෙනාවේ මොනවාදැයි යන්තමින්වත් මතක නැතත් ඒ කතාව මට හොඳට මතකය.

ගෙනාවේ මොනවාදැයි මතක නැතත් අදටත් ඒ සිදුවීම.......
ඒක නියම උපායකි. ත්‍යාගශීලී භාවය! ඊට පස්සේ මටත් වඩා අරවින්දට හිතවත් වුණේ අනෙක් පිරිසයි; විශේෂයෙන් ඇයයි. 

“අනේ නිමල් අයියේ, පව්නේ... එයාට support කරන්නකො... 
එයා පොත් ගැන මොකුත්ම දන්නෙ නැහැ වගෙයිනෙ!” (මේ අතීත රහස් කියවලා  අරවින්දගේ ප්‍රිය බිරිය කාංචනා, සපත්නී රෝෂයෙන් නොදැවෙන බව දන්නා නිසාය බය නැතිවම මගේ විස්තර කියාගෙන යන්නේ!)

“ඉතින් නිමල් අයියේ ඔයාට බැරිද මට ලොකූ favour එකක් කරන්න. 
අනේ තරහ නැතිව.... මේක හරි ගස්සලා හොඳ විදිහට එඩිට් කරලා දෙන්නකෝ... 
ගණනක් අය කරලා හරි...” අරවින්ද කිව්වේ පරෙස්සමිනි.

“සල්ලි එපා. මං උත්සාහ කරන්නම්.... 
හැබැයි අවසාන තීරණය ගන්න ඕනේ ඔයාලා. මොකද මේක මගේ පොතක් නෙවෙයි, 
මං දන්නා විෂයකුත් නෙවෙයිනෙ.”

අවසාන තීරණ සේරම ගන්න ඕනේ ඔයාලයි!
“අනේ thanks නිමල් අයියේ.”

ආත්මාර්ථකාමීත්වයෙන් තොරව එක හොඳක් කරන්න. තවත් හොඳ දේවල් දාමයක් වෙන්නට මුල පුරනවා නිසැකය!

එදා ‘රයිකී’ පොත සකසා දෙන්නට හිතුණේ, එය මට කළ හැකි නිසාවෙනුත්, අරවින්දට ඒ උදව්ව කළ යුතු යයි හිත කී නිසාවෙනුත්ය. තවමත් මට ඒ පින පළ දෙයි. 

ඒකෙන් අරවින්දත්, අරුණත්, කාංචනාත් විතරක් නොවේ- එයාලාගේ පවුල්වල අයත් මගේ හිතවත්තු වූහ. දැන් එයාලා අපේ පවුලේ අයගෙත් හිතවතුන්ය. 
විශේෂයෙන් අපේ අම්මාගේ! අම්මාට හිතෙන-කියන ඇසිල්ලෙන් ගුවන් ගමන්වලට ලාබ ටිකට් හොයා- දින වෙන් කරදෙන්නේ අරවින්දයි.

පව් අරවින්ද! අපේ අම්මාට හිතවත් වෙනවා කියන්නේ යකෙකු බන්ධනය කරගත්තා වගෙය. (එයාගේ ලොකු පුතා ඊට හපන් එක වෙනම කාරණාවකි!!)

මං වගේම- අපේ පවුලේ අය වගේම- පවුලට බැඳෙන අයත් එක ජාතියක මඤ්ඤං උදවියයි.

අපේ පීයාට ඕනේ වුණේ අලියෙකුගේ පිටේ ඇවිදින්, මුහුදු වෙරළේ ඉදිකළ පෝරුවක් .........
“ලොකූ... පීයාට ඕනෙලු වෙඩින් එක බීච් එකක ගන්න. පෝරුව ගහන්න ඕනෙත් ලස්සන වෙරළකලු. එයාට පෝරුව ළඟට එන්න ඕනේ අලියෙකුගේ පිටේ නැඟලා......” බඩා මල්ලා කිව්වේය.

ඒ මඟුල ගැන වෙනම කියන්නට තරම් දේවල් තිබෙයි. 

හැබැයි කොග්ගල බීච් හෝටලයට කළුතර ඉඳලා අලියෙකු ගෙනියන්නට සූදානම් කෙරෙව්වේ අරවින්දය!

‘රයිකී’ පොතේ කර්තෘ භාගය වශයෙන් ලැබෙන පොත් ටික ගන්නට මරදානේ ගොඩගේ සාප්පුවට අරවින්දත් එක්ක ගිය වෙලේ මම තකතීරු වැඩක් කළෙමි. (වැඩි හරියක් මගේ වැඩ එහෙම තමාය.) 
ගොඩගේ එකේදී ‘අරාබි නිසොල්ලාසය’ පොත් පෙළ දැක අතට අරගෙන පෙරළුවෙමි. 
“හොඳයිද?” 

ඉතින් මට සිද්ධ වුණේ ඒකේ වගතුග කියන්නටය. අරවින්ද ඒ පොත් පෙළම ගත්තේය. මං හින්දා තවත් පාඨකයෙකු බිහිවීම ගැන මට ඇති වුණේ අපමණ සතුටකි. එය නැති වුණේ කාර් එකෙන් බහිද්දීය.

“නිමල් අයියේ, මේක මගේ ගණනේ ඔයාට.... එපා, එපා? ඔන්න තමුසේ මේක නොගෙන හිටියොත් $#@$*$#@$#.” දැන් ඒ පොත් සේරම මගේ ළඟය. 

ඒ අරවින්දගේ ජන්ම ගතියය.

මේවා කියන්නේ පම්පෝරියකට නොවේ. නිස්සරණාධ්‍යාශයෙන්; හොඳ හිතින් කෙනෙකුට උදව් කිරීමෙන් කාගෙ-කාගෙන් හෝ අපටත් උදව් ලැබෙන බව කියන්නය. 
ලෝකය ලස්සන වෙන්නේ; කාරුණික වෙන්නේ එතකොට බව කියන්නය.

අච්චු ගහන පොත් කොහොමද බෙදා හරින්නේ?
පොත එඩිට් කරමින්, ලියමින් ඉන්නා අතරේය; අරවින්ද හා මගේ මිතුරුදම ලියලුවේ.
මගේ මිතුරු-මිතුරියන්ගෙන් වැඩි දෙනෙක් ඉතා ඉක්මනින්ම අපේ පවුලේ සමීපතමයෝ බවට පත්වෙති. ඔවුන්ගේ පවුල්වල අයට මාත් නෑදෑයෙකු වෙන්නේ එහෙමය.

“දැන් ඔයාලා පොත අච්චු ගහලා කොහොමද බෙදා හරින්නේ? පොතක් ගහලා ගෙදර තියාගෙන ඉඳලා වැඩක් නැහැනේ.”

අප හමුවී කතාබහ කරන අතරේ මම ඇසුවෙමි. 

“එහෙම දෙයක් නම් අපි හිතලා නැහැ නිමල් අයියේ. ඇත්තම කිව්වොත් අපිට ඕනේ පොත් හැත්තැපහක්-සීයක් විතර අයියලගේ යාළුවන්ට බෙදන්න....”

ලංකාවේ ගොඩක් අය ඒ වගෙය. පොතක් ලිව්වාම ඒකෙ හොඳ නරක මොනවා වුණත්; පලක්-කමක් ඇති-නැතිවා මොක වුණත් අච්චු ගහන්නට try කරති. 
අතින් කාලා හරි හරක් බලන්නටය අදහස. සමහරවිට ඒකවත් හිතන්නේ නැතිය.

“අරවින්ද, මට ඔයාට පොරොන්දු වෙන්න බැහැ.... හැබැයි ඔයාලා කැමතියි නම් පොඩි උත්සාහයක් ගන්න පුළුවන්, මේ පොත ගොඩගේ මහත්තයාට දීලා අච්චු ගස්වන්න. 
ගොඩගේ මහත්තය පොතට කැමති වුණොත් ඔයාලට සතයක්වත් වියදම් වෙන්නේ නැහැ. පොත් දාහක් තමයි සාමාන්‍යයෙන් ගහන්නේ....”

ගොඩගේ මහත්තයා ළඟට 'රයිකී' අරන් ගියේ මහින්ද කුමාර දළුපොත හිතවතාය..........
“එතකොට නිමල් අයියේ, අපිට...?”

“මෙහෙමයි. පොත් දාහක් ගැහුවම කර්තෘට පොත් දහයක් නොමිලේ ලැබෙනවා. 
පොත් ටික විකිණුනාම පොත්වල වටිනාකමෙන් 10%ක් කර්තෘ භාගය විදියට ලැබෙනවා. හැබැයි සල්ලි වෙනුවට රෝයල්ටිය පොත්වලින්ම ගන්නත් පුළුවනි.”

ඒ අදහස අරවින්දගේත්, අරුණගේත් හිතට ඇල්ලූ බවයි පෙනුණේ.

“පොත්වලින්ම ගන්නවා නම්...” (මට මතක හැටියට නම් පොත් 133ක් විය යුතුය.) “...අච්චු ගහපු ගමන්ම ගන්න පුළුවනි.”

ඒ වැඩේට කපුකම කළේ මහින්ද කුමාර දළුපොත මහතාණන්ය. 

ඒ දිනවල දළුපොත මහතා ගොඩගේ ආයතනයේ ප්‍රකාශන වැඩි හරියකට සම්බන්ධවී හිටියේය. නිතර ප්‍රෙස් එකටත් ආවේ ඒ වැඩවලටය. “දළුපොත මහත්තයෝ. මේ පොත කියවලා බලලා හොඳයි කියලා හිතෙනවා නම් ගොඩගේ මහත්තයට කතා කරන්න.”

කතා කෙරුණේය. අනුමැතියත් ලැබුණේය. 
අපටම ටයිප් සෙටින් කරන්නටත්, කවරය හදන්නටත් සිදු වුණේය. එහෙම වුණේ අරුණ ලංකාවට එන්නට කලින් පොතේ මුද්‍රණ කටයුතු හමාරවී තිබිය යුතුවූ නිසාය.

රයිකී හදාරණ කෙනෙකුට විශ්වයේ සැඟවී පවත්නා ....................
රයිකී පාඨ මාලාව හදාරන කෙනෙකුට විශ්වයේ සැඟවී පවත්නා ශක්තිය ගැන දැනගන්නට හැකිවෙයි; එය තමා වෙත ලබාගන්නටත්, ගබඩා කොට තබාගන්නටත් හැකිවෙයි. 
එච්චරක් නොවේ. එය තව කෙනෙකු වෙත සම්ප්‍රේෂණය කරන්නටත් හැකියාව ලැබෙයි!

 “මොකටද එහෙම කරන්නේ?”

“ඒකෙන් ලෙඩ රෝග ගොඩක් සනීප කරන්න පුළුවන්, නිමල් අයියේ.”

“ඒකද මේ පොතට දාන්න ගෙනත් තියන පින්තූරවලින්  කියන්නේ. ඔයාටත් අත් දෙකෙන් ඒ ශක්තිය කෙනෙකුට focus කරතෑකිද? මං ඇහුවේ මේකේ සත්ත බලාගන්නයි!” මම අරවින්දට කීවෙමි.......

“නිමල් අයියේ, අපේ මල්ලි කිව්වා ඔයාට මේකේ සත්ත බලාගන්න ඕනිය කියලා. ඒ හින්දයි මං මෙහෙම කරන්නේ. නැතිනම් ට්‍රීට්මන්ට්ස් කරන වෙලාවක විතරයි මේක කරන්නේ.” අරුණ ඉන්ද්‍රසිංහ නෙදර්ලන්තයේ ඉඳලා ලංකාවට පැමිණි විගසම මා හමුවෙන්නට ආවේ සූදානම් වෙලාමය.

වැඩේ කෙරුණේ ප්‍රෙස් එකේදීමය. 

මුලින්ම අරුණ කළේ මා පුටුවක වාඩි කරවා, පිටුපසින් සිට ගැනීමය. 
ඊළඟට හිත සන්සුන්ව තියාගෙන හිඳින්නැයි කිව්වේය. 
ඊටත් පස්සේ ඔහුගේ දෙඅත මගේ උරහිස් දෙකේ නොගෑවී හිටින විදියට සමීප කරගෙන ඉන්නට වුණේය!

අරුණ ඉන්ද්‍රසිංහ නෙදර්ලන්තයේ සිට ශ්‍රී ලංකාවට ආ හැටියෙම දවසක.............
මා කොලින් විල්සන්ට වහ වැටුණේ අරවින්ද හමුවන්නටත් අවුරුදු විස්සකට ඉස්සෙල්ලාය. එහෙමත් බුද්ධිමත් මනුස්සයෙක්! 

Colin Henry Wilson ඔහුගේ ජීවිත කාලය තුලදී පොත් 100කට වඩා ලියා තිබෙයි!

        පින් මද පුතුන් සියයක් ලදුවත්           නිසරු
        ගුණ නැණ බෙලෙන් යුතු පුතුමය ඉතා  ගරු
        එක පුන් සඳින් දුරු වෙයි ලොව ගන   අඳුරු
        නෙක තරු රැසින් එලෙසට නොම වේය දුරු
- කියලා සුභාෂිතයේත් කියල තියෙනවානෙ.

කොලින්ගේ එකම-එක පොතක් 
හොඳටම ඇති එයාගේ පරිකල්පන ශක්තිය මැනගන්න.

කොලින් විල්සන්ගේ එකම-එක පොතක් වුණත් හොඳටම ඇති එයාගේ පරිකල්පන ශක්තියේ දිග-පළල.....
මිනිසාගේ චිත්ත ශක්තිය උරා බොමින්; ජීවත් වෙන පරපෝෂිතයන් වර්ගයක් මිනිස් විඥානයේ ගැඹුරුම පත්ලේ සැඟවී සිටියි. 
එකදු රටකට-රාජ්‍යයකට හෝ මානව කොට්ඨාශයකට හෝ වඩාත් ශක්තිමත් වෙන්නට ඉඩ නොදී විනාශයන් ඇති කිරීම ඒ පරපෝෂිතයන්ගේ අරමුණයි.

මහාචාර්ය ගිල්බට් ඔස්ටින් අහම්බෙන් මේ සත්‍යය සොයාගනියි.

ඉතිරිවී ඇති එකම විසඳුම වන්නේ මේ චිත්ත පරපෝෂිතයන් සමූල ඝාතනය කරදමා මිනිස් මොළය ස්වාධීන කරගැනීමයි. 

එය කළ හැක්කේ දැවැන්ත පිරිසක් එකතුවී ‘සාමූහික චිත්ත ඒකාග්‍රතාවකින්’ යුතුව.......

ලොව ඇති බලවත්ම වස්තුව මිනිස් සිත බව මා අදහන්නේ මට මතක නැති අවදියක පටන්ය.

වරින්-වර මගේ විශ්වාසයන්; ඇදහීම්; මත ආදිය වෙනස්වී ඇතත් ‘සිත තමයි බලවත්’ කියන හැඟීම නම් අද වෙනතුරුත් යන්තමින් හරි වෙනස්වී නැත! 

මිනිස් චිත්ත සන්තානයේ ගැඹුරුම පත්ලේ ජීවත් වෙමින්, ඔවුන් විනාශය කරා යොමු කරවන......
එතෙක්-මෙතෙක් මට හමුවී ඇති ලිය-කියවිලි-පතපොත අතරින් ‘චිත්ත පරපෝෂිතයෝ’ තරමට ඒ දහම සනාථ කරන නිර්මාණයක් මා දැක නැත!

1982 සිටම ඒ පොත මා උමතු කරවයි. 
සමහර විට මා උමතුවෙන්ම විය හැකිය. 

මා සන්තකයේ ඇති දහස් ගණනක් පොත් අතරෙන් එකම-එක පොතක විතරය, පිට කවරයේම මගේ ‘හංවඩුව’ කොටා තිබෙන්නේ. 

අද ‘චිත්ත පරපෝෂිතයෝ’ පොතේ foto එක ගත්තාට පස්සේ එයින් මගේ නම කපලා දමන්නටත් විණි.

එහෙම කළේ ඒ රත්තරන් පොත; The Mind Parasites සිංහලට පරිවර්තනය කළ එස්.එම්. බන්දුසීල මහතාට ගරු කළ යුතු බැවිනි.

මා සතු පොත්වලින් එකම-එක පොතක පිටකවරයේ විතරය මගේ හංවඩුව.........
ඉතින් අරුණ ඉන්ද්‍රසිංහ ‘පියසිරි ප්‍රින්ටින් සිස්ටම්ස්’හි ටයිප් සෙටින් කරන කාමරයේදී, මගේ උරහිසේ ගෑවෙන-නොගෑවෙන තරමට කිට්ටුවෙන් එයාගේ දෑත් අල්ලාගෙන හිටියදී, 
නිමල් දිසානායක හිටියේ මනා චිත්ත ඒකාග්‍රතාවකින් යුතුවය; 
ළඹ සිටි සිහියෙන් යුක්තවය; 
සම්මා සතියෙන් යුක්තවය.

විනාඩියක් විතර ගියත් වෙනසක් දැනුණේ නැතිය. 

ඔන්න... එතකොටම පොඩි උණුහුමක්... රත් වීමක් දැනෙන්නට පටන් ගත්තේය. 
ටිකෙන්-ටික එය වැඩිවෙන්නට පටන් ගත්තේය. 
මම වඩාත් විමසිලිමත් වීමි. 
අරුණගේ අත් දෙකට යටින්ය ඒ රශ්මිය තීව්රව දැනෙන්නේ!

එවෙලේ අරුණගේ දෑත් ‘විශ්ව රශ්මි කදම්බ’ නාභිගත කරන කාචයක් වුණේ කොහොමද?

විනාඩි පහක් විතර ගියා වගෙය.

එවෙලේ අරුණගේ දෑත් විශ්ව ජීවන ශක්තිය නාභිගත කරන කාචයක් විණිද?
“ඔන්න නිමල් අයියේ, මං නවත්තන්නයි යන්නේ.” 

ඒ කාර්යය පටන් ගත්තාට පස්සේ අරුණ පළමු වතාවට කතා කළේ එවිටය. 
උරහිස් දෙකට දැනෙමින් තිබුණු උණුසුම අඩු වීගෙන ගියේ ක්‍රමයෙනි.

“experienced රයිකී මාස්ටර් කෙනෙකුට මටත් වැඩිය හොඳට ඒක කරන්න පුළුවනි; ඉක්මනට. අපට පුළුවන් විශ්ව ශක්තිය එකතු කරගන්න. ඊළඟට ඒක එක spot එකකට ෆෝකස් කරන්න. 
දැන් මම කළේ ඒකයි. ගොඩාක් ලෙඩවලට මේ ට්‍රීට්මන්ට් එකෙන් හරි යනවා... 
හැබැයි එක සැරෙන් නෙවෙයි.”

පොතේ තියෙනවාටත් වඩා හොඳට; සවිස්තරාත්මකව අරුණ ‘රයිකී ක්‍රමවේදය’ මට විස්තර කර දුන්නේය. 
ක්‍රමය අත්දුටුවත් මට රයිකී ඉගෙනගන්නට හිතක් පහළ වුණේ නැත.

රයිකී උපදේශක මිකාඕ උසුයි හා ආරී ලයුරින්ක් දෙදෙනා 
‘බූරුවෙකුගෙ පිටේ හකුරු ගෝනියක් පැටෙව්වත් ඌට පැණි රස දැනෙන්නේ නැහැ’ලු.

නෙදර්ලන්තයේ වෙසෙන අරුණගේ රයිකී  ගුරුන්නාන්සේ Arie Luijerink; ආරී ලයුරින්ක්ය. පොතේ විදිහට නම් එයාගේ ගුරුවරයා ජපන් ජාතික ආචාර්ය මිකාඕ උසුයි; Mikaousui (1865-1926)ය. 

ඒ තොරතුරුවලින් පෙනෙන්නේ රයිකී ගුරු කුල කිහිපයක්ම තිබෙන බවයි.

රයිකී පොත ප්‍රකාශයට පත් කෙරෙන දවස්වලම මහරගම රජමහ විහාරයක ලොකු ‘ආශ්චර්යවත් පින්කමක්’ තිබ්බේය. 
එය මෙහෙයවූයේ දොළුකන්ද පැත්තේ ස්වාමීන් වහන්සේ නමකි. 
‘මහා පිරිත් පැන් බෙදා දීමක්’. පිරිත් කළේ එදාමය. 
වතුර බවුසර් පිටින් ගෙනාවේ බොරලැස්ගමුවේ වැවෙන්ය. 
පිරිත් පැන් ගන්නට තිබුණු පෝලිම හැතපුමකටත් වැඩියෙන් දිගට තිබිණි.

මේවා කිව්වාම මටත් විරුද්ධව සංඝාඥා කෙරේවිද මන්දා. 
ඒත් නොකියා කොහොමද?

රයිකී පොත ප්‍රකාශයට පත් කෙරෙන දවස්වලම..............
තවත් ස්වාමීන් වහන්සේ නමක් ‘ආශීර්වාද සූපයක්’ පතු ගාන හැටිත් ඒ දවස්වලම රූපවාහිනියෙන් දුටුවෙමි! 

බුදුහාමුදුරුවන් වහන්සේ ලෙහෙසියෙන් ප්‍රාතිහාර්ය පාලා නැති බවය බණේ තියෙන්නේ. 
ඒකට දැන්! ......

නසරානි විතණ්ඩවාදියෙකු වෙන මට නම් ‘රයිකී’ ගැන තරම් අත්දැකීමක් මෙතෙක් ලැබී නැතිය! 
ඒ හිලව්වටදෝ අරවින්ද ගොඩගේ එකෙන් ලබාගත් ‘රයිකී’ පොත්වලින් පිටපත් විසිපහක් විතර තාමත් මගේ ළඟය.

එහෙම වුණේත් නිකම්ම නොවේ!

“වැඩක් නැහැ නිමල් අයියේ, බිමට huකපු රිලව් වගේ විරෝගෙන ඉන්න එක දැන් හොඳටම ඇතිවෙලා!” දවසක් අරවින්ද කිව්වේ හොඳටම පසුතැවෙමිනි. 
එයාගේ මූඩ් එකේ හැටියට අර ‘අලුත් කුණුහරුප යෙදුමේ’ රස විඳිල්ලත් මට මඟ හැරුණේය.

නොනිස්සන්ට හිස නවන නිස්සන් පිළිබඳව අරවින්ද හිටියේ කේන්තියෙනි.

හොඳ රස්සාවල් කරමින් හිටි අරවින්දත්, කාංචනාත් දෙන්නාම ඒවා දමා-ගසා එංගලන්තයට.........
“ලංකාව කොන්ද කෙලින් තියාගෙන ඉන්න අයට හරි යන තැනක් නෙවෙයි. 
මුට්ටිය අල්ලන පක්කලියන්ට තමයි හරියන්නේ! 
මගේ බොසා නම් සොමි පොර! We talk only about girls! 
ඒත් සමහරුන්ගේ වැඩ පෙනෙද්දී.............”

ඒ වගේම විදෙස් රටක වඩාත් ස්වාධීනව, සැප පහසු දිවියක් ගත කරන්නටත් අරවින්දලා හිතුවා වගෙය.

‘හොඳ’ රස්සාවල් කරමින් හිටි අරවින්දත්, කාංචනාත් ඊට ටික කාලයකට පස්සේ එංගලන්තයට ගියහ. 

ඒ බුද්ධි ගලනයෙදී මටත් පුංචිම-පුංචි කොටසක් කරන්නට සිදුවිණි! 

මේ කලකිරීම තියෙන්නේ ඔවුන්ට පමණක් නොවේ! ඒ විදිහට අපේ රට නැති වෙන්නේ උගත්; සවිමත් කශේරුකාවක් තියෙන තරුණ පරම්පරාවයි. 
ඉතින් සිරි ලංකාවට ‘තරුවන් සරණයි!’ කිව්වාම මොකද වෙන්නේ?

මේ බුද්ධි ගලනයෙදී පුංචිම වැඩ කොටසක්.......
ඒවා මදිවාට කණ්ඩා කියන Desert Rose, රයිකී වගේ තවත් කතන්දර නම් එමටය. 
ඒවායේ හැබෑ-බොරු ගැන සාක්කි දෙන්නට තරම් මා උගතෙකු හෝ පර්යේෂකයෙකු හෝ නොවේ. මා මෙතෙක් කිව්වේ මා ලැබූ අත්දැකීම්ය. 

හැබැයි ‘රයිකී’ හින්දා අරවින්ද ඉන්ද්‍රසිංහ හඳුනා ගැනීමේ ප්‍රතිලාභය නිදිට ලැබුණේය.

කොටි කලබල නිසා අවුරුදු ගණනාවක්ම වසා දමා තිබුණු විල්පත්තු වනෝද්‍යානය යළි විවෘත කරන දවසේ එහෙ එන්නැයි පුෂ්පානන්ද මහතා අපට ආරාධනා කළේය. 
(පසුව බෝම්බයකට ගොදුරුවී ඔහු අවසන් ගමන් ගියෙත් විල්පත්තුවෙදීමය.)

ඒ ගමනට අරවින්දත් අප හා එක්විණි. 

“මම ලංකාවෙන් කාලකවත් ඇවිදලා නැහැ නිමල් අයියේ...” මේ මැට්ටා ගැන මට පුදුම හිතුණේ එදාය. එහෙම කිව්වාමය.

රට-රටවල ගිහින් තිබුණත් ජන්ම භූමියේ ඇවිදලා නැති තව කොච්චර කෙරුම්කාරයන් අපේ රටේ ඉන්නවාද?..... ඊට පස්සේ නම් අරවින්ද ටිකක් විතර ඇරියස් cover කරගත්තේය!

එදා විල්පත්තුවේ සිට අප කටුනායක ගුවන් තොටුපළ ඉසව්වට එද්දී කළුවර වැටිලාය.

කටුනායක ගුවන් තොටුපලේ ධාවන පථ අපට ආලෝක පූජාවක් කළේ......
“ඔන්න නිමල් අයියලාට මගේ ගානේ උපහාරයක්.” 

කාටදෝ දුරකථන ඇමතුමක් දුන් අරවින්ද අපට ඉසව්වක් පෙන්නුවේය. 
ඔහු කියූ ලෙසටම වාහනයේ සිටි අපි අඳුරු ඉසව්වක් දෙස බලා සිටියෙමු.

කටුනායක ගුවන් තොටුපළේ ධාවන පථ අපට ආලෝක පූජාවක් කළේ ඒ මොහොතේය෴

21 comments:

  1. //සිරි ලංකාවට ‘තරුවන් සරණයි!’ කිව්වාම මොකද වෙන්නේ?
    වැඩිය මුකුත් සිද්ද වෙන්නෑ නිදි, ඊට පස්සේ නිහොන් සැප ලැබේවා යැයි පතලා
    නිර්වස්ත්‍රන් පරමං සුඛං කියලා හෙළුවෙන් යන්ට සිද්ද වෙනවා.

    ReplyDelete
    Replies
    1. සහතිකෙන්ම සිරිබිරිස් උන්නැහේ!

      Delete
  2. ඔය විශ්ව ශක්තිය ගැන හිතන් හිටපු මතවාදේ ටිකක් වෙනස්වුනා මේ ලිපිය බලද්දි. මේ ගැන තවදුරටත් අධ්‍යනය කරන්න හිතුනා. හැබැයි දැන් ඉන්නේ විශ්ව ශක්තිය විකුනන් කන බොරුකාරයෝ නේ.

    ReplyDelete
    Replies
    1. යකඩ දාච්ච ගෙයි පුළුන් හොයන්න එපා කියන්නේ ඒකනෙ අසංග.

      Delete
  3. සැහ් මේකාලෙ මාකට් කරානම් විකුනන්න තිබ්බා සට සට ගාල.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත මධූ. දැන් විකුණන්නොත් විකිණෙන කාලේ.

      Delete
  4. Japanese are clever people, I am sure there is something in this. However, in this world there are cheap duplicates for every good thing, so choose carefully. If it is too good to be true, it probably is.

    ReplyDelete
    Replies
    1. ඔව් විජේබාහු මහත්තයෝ, ඒක අදහන්න අමාරු දෙයක් තමයි.

      තාවමත් මම හිතනවා කොහොමද අරුණ ඉන්ද්‍රසිංහ මහත්තයා අත් දෙකින් ඒ focus කිරීම කළේ කියලා.

      හොඳම දෙ තමයි මට ඔය වගේ අත්දැකීම් ගණනාවක්ම වෙලා තියෙනවා. පාද යාත්‍රා ගමනේදී වෙච්ච දෙයකුත් ළඟදීම ලියවෙයි!

      Delete
    2. විජේබාහු මහත්තයා පොත් කියවන කෙනෙක් නම් කොලින් විල්සන්ගේ පොත කියවලා බලන්නකෝ!

      Delete
  5. ඔය විශ්ව ශක්තිය ගැන මට යම්තරමක අත්දැකීම් තියෙනවා. ඔය විදියට ලෙඩ සුව කරන අයව හම්බ වෙලා තියෙනවා. ඕනෙම කෙනෙකුට ඔය හැකියාව ගන්න පුළුවන්. ටිකක් විස්තර වශයෙන් වෙලාවක පොස්ට් එකක් ලියන්නම්. මේ හැකියාව වැරදි විදියට භාවිතා කරලා මුදල් හොයන්න මිනිස්සු රවට්ටන මිනිස්සු ඉන්න හින්ද බොහෝ දෙනෙක් මේවා විශ්වාස කරන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. පැතුම්, තරහවෙන්න එපා මෙහෙම කිව්වට.

      වෙලාවක කිව්වාම නම් ඒ වැඩේ නොකෙරෙනවා වගෙයිනෙ. අද හෙටම ලියන්න. මාත් ආසයි ඒ ගැන දැනගන්න. මට වැඩියෙන් ඔයාට ඒ ගැන අත්දැකීම් තියෙනවා වගෙයිනෙ.

      චිත්ත පරපෝෂිතයෝ පොතට ඔයාත් ආසා වීම ගැන මට හරි සතුටුයි! ඒ එතකොට ඔයාත් සහෘදයෙක් වෙන නිසා.

      Delete
  6. චිත්ත පරපෝෂිතයෝ කියන්නේ මගෙත් කැමතිම පොතක්.

    ReplyDelete
  7. Mn me paththata langadi goda wedune, thama pitu peralan yana gaman, tika tika iwara karan yanawa,kiyawanna asai, samahara then valadi speechless wenawa unath

    ReplyDelete
    Replies
    1. ඉස්සෙල්ලාම ගොඩක් ස්තුතියි ගීතිකා ළඟදී ඉඳලා හරි පංච තන්තරේ පෙරලනවාට!

      ගීතිකා, මේකේ ලියන්නේ මගේ ජීවිත කතාව හා මං ලබන අත්දැකීම්. හැකි නම් මුල ඉඳන් බලන්න.

      Delete
    2. අමතක වුණා. ඇයි සමහර තැන්වලදී ගොළු වෙන්නේ?

      Delete
    3. Hahaaa, Sera wedi then valadi,
      Ow mn mula idan kywana atharathura thma aluth post balannet, lassana jeevitha kathawak,kiyawan ennamko

      Delete
  8. අපි මේ බ්ලොගයෙන් හැමදාම අහන අයෙෂ්මන්ත දොස්තර මහත්තයගෙ නම ඔන්න අද පත්තරෙත් ගිහින්.

    http://divaina.com/daily/index.php/pradeshiya-puwath/33148-2019-09-10-12-58-60

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කසුන්.

      උදේ කොළොම්පුරේ අසංග රණසිංහ ආරච්චි හිතවතාත් පණිවිඩේ කිව්වා, දැකලා.

      Delete