අකුරු මැකී නෑ

Monday, September 16, 2019

දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස

“අන්න රාජමනි මිසී ඔයාට එන්න කිව්වා!” අපේ අම්මා ගෙට ගොඩ වැදුණේ එහෙම කියාගෙනය.

‘ඒ මොකටද’ මට හිතුණා විතරය. ඒක සද්දෙන් ඇහුවත් අම්මාගෙන් හරි-හමං උත්තරයක් නොලැබෙන tone එකකිනි අම්මා පණිවිඩය කිව්වේ. මොකාක් හරි උගුලක් වගෙය. අපේ අම්මා එහෙමය. 

එයාගෙත් දායකත්වයෙන් කුණ්ඩවාඩයක් කැරලෙන්නට එනවා නම්, හීන් සීරුවේ පැත්තකට වෙන්නට අම්මා හරිම දක්ෂය.

අපේ අම්මගෙත් දායකත්වයෙන් මොකාක් හරි කුණ්ඩවාඩයක් කැරලෙන්නට එනවා නං.....
ඒ 1992 අප්‍රේල්- මැයි විතර. මගේ ගෙදර හදලා - ගෙවදිලා ඉවර වුණා විතරයි. මගේ අම්මේ! මෙහෙම ලියනකොට තමයි තේරෙන්නේ කල-වයස. මාත් නාකියි; ගෙදරටත් අවුරුදු 27ක්.

“අනේ කොල්ලෝ, තරහ වෙන්න එපා බං.... උඹ දන්නවනේ ඉතින් මට තියෙන වැඩ කන්දරාව.... කොයි වෙලාවේ හරි මාව මැරිලා යනවා මේ ගිලින බෙහෙත් හිරවෙලා. කොහොමද බං මෙච්චර ගොඩක් ගිලින්නේ? 
ඉතින් ඇයි බං නිමල් හිටගෙන ඉන්නේ.... මං වාඩිවෙන්න කියනකල්ද හිටියේ. 
හඃ හඃ හඃ! උඹ තාමත් ඉස්සර වගේමයි බං. අහිංසක එකා.... ඒකයිනෙ අපි කවුරුත් උඹට ආදරේ.”

රාජමනි මිසී පූර්විකාව කියලා ඉවරවී, අතේ තිබුණු බෙහෙත් පෙති කන්ද ගිලින්නට ගත්තාය. ඒ අතරේම සද්දෙන් කතා කළාය.

ඒ ගෙදර හැට-හුටහමාරක් කට්ටිය වැඩට හිඳිති. නමෙනුත් මා හඳුනන්නේ ඇයයි. “නන්දා... නන්දා.”

ඒ ගෙදර වැඩට හැට-හුටහමාරක් දෙනා ඉඳිති............
නන්දක්කා දුවගෙන ආවාය. “ඇයි හාමු.”

“අනේ නන්දෝ, මේ නිමල් ඇවිත්නේ... දන්නවා නේද නිමල්ගේ අම්මා ලීලා. ඉස්සර මෙහෙ ඇවිත් මගේ ජැකට් මැහුවේ හරීඊඊඊ  ලස්සනට. ගෑනි සූරයා... 
එංගලන්තෙට පැනගෙන නාකි සුද්දෙකුත් බැඳලා එහෙ citizen කෙනෙකුත් වෙලා.... 
මේ සැරෙත් මාව බලන්න ආවේ පෙරේදා, විස්කි බෝතලයකුත් අරන්....”

“ඔව් හාමු.”

ඒ විස්තර එකක්වත් නන්දා නොදන්නා ඒවා නොවේ. 

මං සීනුව ගැහුවාම ඇවිත් දොර ඇරියේ නන්දක්කාය; 
මා එක්කම දෙවෙනි තට්ටුවේ මිසීගේ කාමරයට යන අතරේ සැප-දුක් ඇහුවෙත් ඇයමය. ඉතින්, ගහ දන්නා අයට කොළත් කඩා පාන්නට ඕනෑද?   

ගහ දන්නා අයට කොළත් කඩා පාන්නට ඕනෑද?
එහෙත් රාජමනි මිසී එහෙමය. සද්දෙට කතා කරයි. සද්දෙට හිනාවෙයි. හිතලා නොකෙරුවත්, එහෙම හිනාවෙද්දී මුළු ඇඟේම මස් පිඬුත් හෙල්ලෙන්නට; ඇඹරෙන්නට; පෙරළෙන්නට සලස්වයි. 

ඒ එයාට සද්දන්ත ශරීරයක් තියෙන නිසාය.

ඇමේසන් යෝධියන් ගැන කතන්දර කියවද්දී මගේ සිතේ ඇඳී තිබුණු සිත්තමට ටක්කෙටම ගැළපුණේ රාජමනි මිසීය! 

රාජමනි කිව්වාට එයා දෙමළ නොවේ. වාසගම ඇවිත් තිබුණේ මහත්තයාගෙන්ය; 
හිටපු මහත්තයෙකුගෙන්ය. මහත්තයා දෙමළ හින්දාද මන්දා, රාජමනි මිසීගේ ඉස්සරහපිටදී නම් කට පුරෝලා ‘හාමු’ කියලා කියූ අයත් එයා නැති තැන කිව්වේ මිසී කියලාය.

ඔය වගේ තැන්වලට අදාළ, අපේ ආච්චී කියාපු කවි හරිය; අර්ථාන්විතය. 

          කලේ කල විකලේ -  කළේ කම් නැත මෙකලේ
          බලේ දැක මුදලේ   -  කුලේ රිංගා ගියයි අකුලේ

බලේ දැක මුදලේ - කුලේ රිංගා ගියයි අකුලේ 
කවුරු-කවදා-කොහොම මොන පදනමකින්ද කිව්වේ කියල හොයලා බලන්නට තරම් වටනා පදයකි අර ‘මිසී’ වචනයත්. රාජමනි මිසීත් මිසී කෙනෙකු වුණේ ඉස්පිරිතාලයක වැඩ කළ නිසා නොවේ! නමට විතරය.   

“අනේ ලීලෝ, හරිම සීදේවී මහත්තයා...” 
එයාගේ මහත්තයාගේ වගත්; නමත්; නමේ කතන්දරයත් මගේ කණට වැටී, මතක ගබඩාවට වැටුණේ අපේ අම්මා රට යන්නට කලින් දවසක එහාට ගියාමය. 
බංගලාවේ කුස්සියට යාබද කාමරයක ඉඳගෙන තේ බොන අතරේය. 
වයසක කුස්සි අම්මා කෙනෙකු පරණ පට්ටන්දර දිග හරින වෙලේය.

“උඹට කියන්න ලීලෝ.... 
මේ සද්දන්ත ඉස්තිරී පරාණෙට නං ඔරොත්තු දෙන සයිස් එකේ පිරිමියෙක් ලංකාවේ කොහෙන්ද ලීලෝ.... මෙයාට මහත්තුරු යාදෙන්නේ නැහැ.... ගජබා රජ්ජුරුවෝ වගේ මිනිස්සු දැන් ඉන්නවැයි?”

ඒ වයසක අම්මේ වටපිට බැලූ හැටියෙනුත්, කටහඬ උස්-පහත් කළ හැටියත් හින්දාම මට ගජබා කතන්දරේ හොයලා බලන්නට සිතිණි.

වංකනාසිකතිස්ස රජ්ජුරුවන්ගේ කාලයේදී සොලී රටෙන් හමුදාවක්..........
වංකනාසිකතිස්ස රජ්ජුරුවන්ගේ කාලයේදී සොලී හමුදාවක් ලංකාවට කඩා වැදී නාඹර තරුණයන් දොළොස්  දාහක් කුදලාගෙන  වහල් වැඩට රැගෙන ගියේය.
බෙලහීන; නිවට රජ්ජුරුවන්ගේ අතිජාත (එහෙම වෙන එක ගැන නම් මට සැකය!) පුත්තරයා; ගජබා කුමාරයා රජ වුණාම ඒ පාහර වැඩේට return එක දුන්නේය. 

නීල මහා යෝධයා එක්ක සොලී රටට ගිහින් වැලි මිරිකා දිය අරගෙන පෙන්වලා, අපේ කොල්ලන් දොළොස් දාහයි- හිලව්වට සොලීන් දොළොස් දාහකුයි අරන් ආවේය. එතකොට ඒකෙත් හංගන්න තරම් දෙයක් දෙයක් තිබුණේ නැහැනෙ.

හොයාගෙන- හොයාගෙන යද්දිනෙ බොලේ ‘දස දහසක් සුර ළඳුන් මැද - පරසතු මල් සුවඳ විඳ-විඳ’ හිටියා වගේ ශෘංගාරාත්මක කතාවක් හම්බ වුණේ.

“සොලී රටට ගිහින් කළ වික්‍රමයට වඩා අසීරු මෙහෙවරක් රට වෙනුවෙන් ඔබතුමාට කළ හැකියි මහ රජතුමනි!” පුරෝහිතයෙක් රජතුමාට කිව්වා.

“ස්ත්‍රීපුරයේ ආරෝහ-පරිණාහ දේහ සම්පත්තියෙන් අනූන ලලනාවන් නිසා රටේ කඩවසම් තරුණ පිරිමින්ට වන්නේ විශාල විපතක්. ඒ ලලනාවෝ ගම් වැදිලා රහසින්ම ශක්තිමත් පුරුෂයන් ඔවුන්ගේ විශාල ගල් ගුහාවට රැගෙන යනවා. ඒ ඔවුන්ගේ නොසිඳෙන කාම ඩාහය සංසිඳුවා ගන්නටයි.”

ඒ ලලනාවන් ගම් වැදිලා ශක්තිමත් තරුණ පුරුෂයන්ව අල්ලාගෙන.........
ඒ පිරිමින් දවස පුරාම ඒ අඟනන් හා සංසර්ග කටයුතුවල යෙදිය යුතු බවත්, බෙලහීන වුණොත් මරා දැමෙන බවත් පුරෝහිතයා රජතුමාට දන්වා සිටියා.

ගජබා රජතුමා වහාම නීල මහා යෝධයාත් කැටුව ස්ත්‍රී පුරය සොයා ගියේල. 
සිටියාලු, දඩෝරි; නාඹර; රුවැත්තියන් සිය ගණනින්. 
“අනේ රජතුමනි. එනු මැනවි, මා හා යහන්ගත වුව මැනවි. මගේ පහස විඳිනු මැනවි.” කියලා අර ස්ත්‍රීන් පොරකකා අඳෝනා දෙන්නට ගත්තාලු.

‘මොවුන් තෘප්තිමත් කිරීම රටේ රජු වශයෙන් මගේ වගකීමයි. එකියක හෝ මඟ හැරීම කළ නොහැකිවා සේම වරෙකට එකියක සමඟ පමණක් යහන්ගත වූවත් ඒ සඳහා අවුරුදු ගණනක් ගතවෙනු ඇති.’ 

එහෙම හිතපු රජතුමා ක්ෂණික සැලැස්මක් හැදුවාලු.

වනිතාවන් සේරටම නිරුවතින් පෙළට වැතිරෙන්නට කියා, කොනක සිට පෙරළෙමින් ....... ඉතිරි හරිය මවා ගැනීම ඔබට අසීරු නැතිය.

ශිව දෙවියෝ ගජබා රජතුමාට අනුග්‍රහය පිණිස 'ශෛලමය ශිව ලිංගයක්' ප්‍රදානය කළා වෙන්ටෑ!
එතෙක්-මෙතෙක් මා අසා ඇති එකම කුණුහරුප කතාවකවත්, කියවා ඇති ගද්‍ය-පද්‍ය නිර්මාණයකවත්, නරඹා ඇති blue film එකකවත් එහෙම සංගදියක් තිබිලා නැත.

සමහරවිට ශිව දෙවියන්ට දුක හිතිලා ගජබා රජතුමාට තාවකාලිකව ‘ශෛලමය ශිව ලිංගයක්’ ප්‍රදානය කරන්නට ඇත. එහෙමත් නැති නම් ඒ කාලයේත් ‘ව්‍යාඝ්‍රා’ වගේ ප්‍රබල වාජීකරණ ඖෂධ තිබුණා වෙන්නට ඇතිය.

ඉතින් ඊට පස්සේ, රටේ තරුණයන් බේරාගැනීම සඳහා අර ස්ත්‍රීන් සේරමලා ගුහාවේ සිටියදී සුවිශාල ගලකින් ගුහාවේ කට වසා දැම්මාලු!

එයාලා සේරම දැන් නම් නිදහස් වෙලා ඇවිදින්ය කියල හිතෙන විදිහේ දේකුත් ඊයේ පෙරේදා අහන්නට ලැබුණේය. 

“අයියා දන්නවද, තලවතුගොඩ ඉඳලා කොට්ටාවට යනකල් විතරක් Spa 22ක් තියෙනවය කියලා.... සමහර ඒවායේ කෙල්ලන්ව අනෙක් ඒවායෙන් හයර් කරනවත්ලු, කස්ටමර්ලා වැඩි නං....”

එවෙලේ ‘ස්ටෙලා’වී හිටි අය කියාපු සංඛ්‍යා ලේඛනවලට අනුව නම් තරුණියන්ට කිසිම රැකියා හිඟයක් නැත! හැබැයි, අප හැමෝම ‘අපට මොකද අපි දසසිල් උපාසක’ලාය.

එතැනදී කියවුණු සංඛ්‍යා ලේඛන හැබෑ නම් දැන් කාලේ ගැටිස්සියන්ට .............. 
මගේ අම්මෝ, අද හැරිලා ආව දුර!
වයසක ඇත්තියගේ රහස් කතාවකින්.... ස්පාවල ගැටිස්සියන් දක්වා. 
දැන් එහෙනම් ආපහු යමුකෝ හැරුණු තැනට.

ඒ වයසක ඇත්තිය එහෙ; රාජමනි මිසීලා අහ නැති හින්දාදෝ දැන් සේරම වැඩ කෙරෙන්නේ නන්දක්කා අතින් බවය පෙනුණේ. 

“අනේ නන්දෝ, හොඳ කෙල්ල වගේ මේ නිමල්ට තේ එකක් ගෙනෙන් බං. ආ.... අක්කත් නාලා ඉවර වෙලා ඇති. දැන් මෙහාට එයි. එයාටත් එක්කම, එක සැරේම තේ ගේන්න නන්දා.”

“අනේ නිමාආආල්, හරි නං මමයි ඔයා ළඟට එන්න ඕනේ. ඔන්න ඔයාට එන්නය කියලා, ඔයාගෙන් favour එකක් ඉල්ලනකොට බැහැ කියන්නේ එහෙම නැහැ, හොඳේ. 
හඃ හඃ .... මං හොඳටම දන්නවා උඹ බැහැයි කියන්නෙ නැහැ මේ රාජමනි මිසීට.... 
ආ, මේ අක්කත් එන්නේ. අක්කා... මතකයි නේද? 
මේ ඉන්නේ අපේ ලීලගේ පුතා... නිමල්....”

“කොහොමද නිමල්....” එහෙම විමසූ ඇයත් ඒ ළඟම පුටුවක වාඩි වුණාය. කලින් හමුවී තිබුණත් ඇය ගැන වගතුග එතකොටත් මා දැනගෙන හිටියේ නැත.

මේ අක්කාගේ මල්ලි කෙනෙක්ව තමයි මං මුලින් marry කරලා හිටියේ!
“නිමල් දන්නෙ නැහැනේ... මේ අක්කගේ මල්ලි කෙනෙක්ව තමයි මං මුලින් marry කරලා හිටියේ. එයා ගියාට එයාගේ family එකේ අය මාත් එක්ක ඉතිරි වුණා.... මේ ඉන්නේ එයාගේ අක්කා. තව නංගි කෙනෙක් ඉන්නවා ඕස්ට්‍රේලියාවේ... 
මල්ලි කෙනෙකුත් නාවල ඉන්නවා.... 
කොල්ලෝ, මං උඹට එන්න කිව්වෙත් එයා හින්දමයි!”

රාජමනි අංකල් මගේ ජීවිතයට ආවේ එහෙමය.

ඉන්දියාවේ ඉපිද, ශබ්ද ඉංජිනේරුවකු ලෙස ලංකා ගුවන් විදුලි සේවයට සේවය කරන්නට ලංකාවට ඇවිත්, මහරගම ගොඩිගමුව සුසාන භූමියෙදී මිහිදන් වෙන අවසන් ගමනකට රාජමනි අංකල් මුල පිරුවේ එහෙමය!

“අක්කා.... මං ඔයාට කිව්වේ... රාජා තමයි ලීලාගේ පාස්පෝට් එක හදද්දී bond එකට සයින් කළේ. පෙරේදා ආව වෙලාවෙත් ලීලා කිව්වේ... ඉතින් ඔයාලගේ මල්ලිට නිමලුත් help කරාවි කියල ලීලා කිව්වේ ඒකයි.”

අපේ අම්මා කතා කරලා තියෙන්නේ බඩේ බිජු හංගාගෙනය!
මුලදීම මං කිව්වා හරිය; අම්මා කතා කරලා තියෙන්නේ බඩේ බිජු තියාගෙනය; සේරම කුත්තු කරලා ඇවිත්ය.

“මේකයි කොල්ලෝ.... මෙයාලගේ මල්ලියි පුතයි විතරයි එයාලගෙ නෑදෑ ගෙදරක නැවතිලා හිටියේ. කාලයක් තිස්සේ. දැන් ඒ relativesලා එයාලගෙ ගෙදර විකුණලා ඈතකට යන්න හදනවා. 
පුතාට නං යාළුවෙකුගෙ එක්ක හරි නවතින්න පුළුවන්ලු. ඌ ලොකු එකෙක් බං... ඌටත් ඕනෑ ඇති නාකි තාත්තා එක්ක ඉන්නේ නැතිව වෙන කොහෙ හරි නවතින්න. 
උඹට තේරෙනවනේ කොල්ලෝ.... කොල්ලෝ වුණාම අපි වගේ නාකි හෝන්තු එක්ක ඉන්න කැමති නැහැනේ. 

-දැන් මට ඕනෑ විශ්වාආආආසවන්ත තැනක්, මගේ brother in lowකාරයාව නවත්තන්න. අනේ නිමාආආආආල්...... බැහැ කියන්න නම් එපා කොල්ලෝ......”

මොන බැහැ කීල්ලක්ද? මගේ කල්පනාවට ආවේ නන්නාඳුනන අමුත්තෙකු හා ගෙදර බෙදාගන්නේ කොහොමද කියන එකය.

මම මගේ පෞද්ගලිකත්වය ඉහළින්ම තකන කෙනෙක්මි. ඊටත්, මටය කියා නිවහනක් හදාගත්තා විතරය. තවකෙකු ඉන්නාවිට එහෙම නිදහසක් කොහෙන්ද? 

අදටත් මා කියන්නේ මගේ ගෙදර මට ඕනෑ විදිහට ඉන්නට නිදහසක්...........
අදටත් මා කියන්නේ තමන්ගේ ගෙදරක් නං, තමන්ට ඕනෑ වෙලාවට ඇඟේ නූල් පොටක්වත් නැතිව  හෙලුවැල්ලෙන් වුණත් ඉන්නට නිදහස තිබිය යුතු බවය.

“මොනවද කල්පනා කරන්නේ? ප්‍රශ්නයක් තියෙනවා නං අපි කතා කරලා බේරුමක් කරගනිමු කොල්ලෝ. උඹ දන්නවනෙ..... මං ඔය හිතේ එකයි බඩේ එකයි තියාගෙන ඉන්න ගෑනියෙක් නොවෙන බව.”

“අම්මා හාමුට සේරම කිව්වා වගේ පෙනුණාට කියපු නැති දෙයකුත් තියෙනවනේ හාමු!”

“ඒ මොකක්ද බං? උඹ දැනටම අප්ස්ටෙයාර් එක වෙන කාටවත් පොරොන්දු වෙලා කියලා නං කියන්න එපා. I will kill you!”

“උඩ තට්ටුවක් තිබ්බට, ගේ plan කරලා තියෙන්නේ වෙනම කට්ටියකට ඉන්න නෙවෙයි. ඉතින් අපි දෙගොල්ලගෙම ප්‍රයිවසි එක....” පැකිළෙමින් වුණත් ඒ ටික කියන්නට ගත්තා විතරය. අර සද්දන්ත ශරීරයම හොලවමින්; ලෙළවමින් රාජමනි මිසී හිනාවෙන්නට පටන් ගත්තාය.

අපේ මල්ලි ඉන්නේ රෝද පුටුවක!
“ඇත්තනේ බං, උඹේ privacy එකත් නැතිව බැහැ නේන්නං. ඒකනේ කොල්ලෝ මං මේ උඹටම කැපෙන ටෙනන්ට් කෙනෙක් අල්ලලා දෙන්න හදන්නේ.... අක්කා... ඉතින් ඔයාම කියන්නකෝ නිමල්ට ඔයාලගෙ මල්ලි ගැන...”

රාජමනි මිසීලගේ ගෙදරම උන් ‘අක්කා’ සිරුරත් පුංචි, කටහඬත් සිහින් හරිම විනීත වනිතාවකි. කතා කරන්නෙත් ඉවසිල්ලෙන්ය.

“අපේ මල්ලි ඉන්නේ රෝද පුටුවක නිමල්! ඒ වුණාට එයාට තනියෙන් බාත්රූම් එකට යන්න පුළුවන්. හැබැයි එයාට කන්න චුට්ටක් නම් දෙන්න වෙයි. එයාව සන්තෝස කරන්න අමාරු නැහැ නිමල්.... නයිස් ගයි......”

අපේ තාත්තාගේ කකුල් දෙකම දණහිස්වලට උඩින් කපාදමා තිබියදී වුණත්, එකම දවසක්වත් ඔහුව එහා-මෙහා කරන්නට මට සිදුවුණේ නැත. 
ඒවා කළේ සුනිල් හරි අනිල් හරි විසින්ය. 
සීයා අවසන් දවස් කිහිපය රෝහල්ගතවී හිටියදී වුණත් තනි රැක්කේ ඒ දෙන්නා මාරුවෙන් මාරුවටය. නිහඬ සම්මුතියකින්ම නිමල් දිසානායක එවැනි දෙයින් ඈත් කර තිබිණි. ඒත් දැන්.... තනි මගේම කරපිටට කඩා වැටෙන්නට යන්නේ මරාලයකි. 

මොකක්දෝ මරාලයක් මගේ කර මතට කඩා වැටෙන්නට එයි!
රාජමනි මිසීට පරචිත්ත විඤ්ඤාණය තියෙනවාද මන්දා. 

“උඹට හිතෙන්නේ මං මේ උඹේ පිටට ලෙඩක් දාන්න යනවයි කියලද? මං කියන්නං වැඩක්... අක්කා, මං වාහනේ දෙන්නම්. අක්කා යන්න නිමලුත් එක්ක මල්ලිව නිමල්ට පෙන්වලා එන්න.... අනේ කොල්ලෝ.... ඊට පස්සේ බලපන්කො උඹට බැහැයිද කියලා.”

ඇත්තම කිව්වොත් ඒ අතින් නම් රාජමනි මිසීගෙන් ඉගෙනගන්නට තියෙන දේවල් අප්‍රමාණය.

රටකට වුණත් පරිපාලන කටයුතුවලට ඕනේ කරන්නේ ඒ වගේ අයයි! අතිශයින් සූක්ෂ්ම, සූර, කඩිසර, තීරණ ගන්නට නොපැකිළෙන- කෙක්කෙන් හෝ කොක්කෙන් හෝ අවශ්‍ය දේ කරවා ගන්නට හැකියාව ඇති .....

ඒ දක්ෂකම අඩු නැතිවම තිබුණු හින්දාය රාජමනි මිසී ලංකාවේ ප්‍රධාන වෙළෙඳ ව්‍යාපාරික ආයතනයක විධායක රැකියාවකුත් කළේ; සාර්ථකව!

සත්‍යය හෙළි කරන්නට යාමේදී.............
මෙතෙක් කළා වගේම අදත් මා ලියා ඇත්තේ සත්‍යයම පමණකි. එහෙත් මෙසේ ලිවීමෙන් තවත් අයගේ පෞද්ගලිකත්වයත් යම් පමණකට හෝ හෙළිදරව් වෙයි. 
ඒ නිසා හැකිතාක් ඔවුනගේ අනන්‍යතාව සඟවමිනි මා ලියන්නේ. 
නමුත් මෙවන් අය විරලය. එනිසාම හඳුනාගන්නට පහසුය.

ලියන මගේ මෝඩකම නිසා හෝ කියවන පාඨකයෙකුගේ දස්කම නිසා හෝ යම් හෙයකින්වත්, ඈ හඳුනාගන්නට රසිකයෙකුට හැකි වුණොත්..... එතැනදී මට කළ හැක්කේ කාරුණික ආයාචනයක් කිරීම පමණි. 
Please ඒ ගැන කාටවත්ම නොකියා ඉන්න! රාජමනි මිසී මේවා කියවන්නේ නැත. කියවන කෙනෙක් ඇයට කිව්වොත් මිස.

“ආ ඒකට මොකද? නිමල් සේරම ලියලා තියෙන්නේ බොරු නෙවෙයිනෙ. මගෙ මොකෝ?” රාජමනි මිසී බොහෝවිට කියනු ඇත්තේ එහෙමය. එයාගේ ගතිය එහෙමය. 
නමුත් මෙහෙම වුණත් කියන්නට ඉඩ නැතිවා නොවේ. මිසර රැජනක වගේ ප්‍රෞඪ, විධායක නිලධාරිණියක වන ඇයගේ හැටි ගැන කල් තියා කියන්නට හැකිද?

රැජනක මෙන් ප්‍රෞඪ ඇයගේ හැටි ගැන කල් තියා කියන්නට .............
“මේකා මහ එපා කරපු weස බල්ලෙක්නේ. නන්දා..... ඩ්‍රයිවර්ට කියපං කාරෙක ගන්නයි කියලා.... ගිහින් දෙන්න මූට කණ රත්වෙන්න පාරක්....” 
එහෙම ආවොත් නං මට ඊළඟ කොටස ලියන්නට වෙන්නේ එන අත්භවයේදීය. 
ඒ පරුවත නෝනා මහත්තයගේ දැවැන්ත අතින් පාරක් කාලා කොහෙ ඉතිරි වෙන්නද?

11 comments:

  1. වැල්ලවත්තේ සිට කොල්ලුපිටිය දක්වා වැටෙන මුහුදු මාවතේ (Marine Drive) ස්පා තිස්ගනනක් තිබුනා. ඒ පාරට සම්බන්ද අතුරු පාරවල් වල කියක් තියෙනවාද කියලා ගනින්න බැරිවුනා. හැබැයි නිමල් අයියේ ඔයා පිලිගන්නවාද ඔය ස්පා වලින් කරන්නෙත් හොද සේවයක් බව.

    ReplyDelete
    Replies
    1. මොකද නැත්තේ? පිළිගන්නවා, අසංග. Spa වැඩිම හරියක් ගණිකා නිවාසනේ.

      බුද්ධ කාලෙත් අම්බපාලි, සිරිමා, අඩ්ඪකාසි වගේ පුරඟනන් රාජ-රාජ මහාමාත්‍යවරුන් පවා පිනෙව්වා. ඒවා අමතක කළ වත්මන් පාලකයන් වෛශ්‍යා වෘත්තීය නීතිගත කරන්නට බයයි, නරක හන්වඩුවක් වැදෙයි කියලා. AIDS වගේ ප්‍රශ්නත් නිසා ගණිකා වෘත්තීය නීතිගත කරලා ප්‍රමිතිගත කරන්න ඕනේ කියන එකයි මගේ අදහස.

      Delete
  2. https://www.independent.co.uk/arts-entertainment/books/reviews/the-amazons-lives-legends-of-warrior-women-across-the-ancient-world-by-adrienne-mayor-book-review-9799090.html

    https://www.thesun.co.uk/news/3673560/three-women-rape-man-23-for-three-days-after-kidnapping-man-in-a-taxi-and-force-feeding-him-energy-drinks-in-south-africa/

    https://www.cosmopolitan.com/sex-love/a24557384/amazon-sex-position/

    https://en.wikipedia.org/wiki/Dominatrix

    http://arthistoryresources.net/snakegoddess/aegeanmatriliny.html

    රොබට් ග්‍රේව්ස් ගේ පොතක් තියනවා මාතෘ මූලික මව් දෙවඟන (mother goddess) ඇදහීම පීතෘ මූලික අහස් දෙවියන් (Olympian sky gods )ඇදහීම විසින් යටපත් කිරීම ගැන. Jason & the Golden Fleece කතාවට පැහැදිලි කිරීමක් හෝ පෙරවදනක් ලෙස.


    ReplyDelete
    Replies
    1. Pra Jay මහත්තයා වස නරක වැඩක්නේ කරන්නේ, එක සැරේ මෙච්චර links ගොඩක් දීලා. ඔබතුමාගේ කමෙන්ට්ස්වල යොදන links හැම එකකටම ගිහින් බලන එක මගේ පුරුද්දක්. ඉතින් අදත් ගියා.

      බලනකොට අද පැයකට වැඩිය ගිහින්.

      ඈත අතීතයේ වගේම මෑත කාලීන ලෝකයේත් විචිත්‍ර සංචාරයක නිරත වුණා වගෙයි! හියොවුරක් පළඳින්නට පියයුරක් කපා දැමුවේ යැයි කියවෙන ඇමේසන් ළඳුන්ගේ ලිංගික චර්යා, විධි ආදිය ඉතිහාසගත තොරතුරුත් එක්කම ඒ ලින්ක්ස්වලින් කියවෙනවා.

      කතුන් තිදෙනෙකු අතින් තෙදිනක් තිස්සේ දූෂණය වුණු 23 හැවිරිදි තරුණයා ගැන කියවද්දී මට හිතුනේ ඒ පුවත fb එකේ තිබ්බා නම් කියලයි. එහෙනම් අපේ තරුණයන්ගෙන් කාලක්වත් ඒ රටට යන්න බලයි.

      මං හිතාගෙන හිටියේ BDSM නූතන ප්‍රවනතාවක් කියලයි. ඇත්තම කිව්වොත් මං ඒ ගැන දැනුවත් වුණේ ඉංග්‍රීසි films හා නිල්වලින්. ඒත් ඇරිස්ටෝටල්ගේත් බිරියගේත් නිරුවත් සිතුවම දැක්කාම වැටහුණා මං වැරදි බව.

      මව් දෙවඟන ගැන නම් මට කලිනුත් ටිකක් කියවන්න ලැබුණා. ඒ වුණත් මේක නෙවෙයි.

      ගොඩක් ස්තුතියි! මෙවන් දැනුවත් කිරීම්වලින් නිදිගෙ පංච තන්තරේ තවත් හැඩවෙන බවයි මගේ විශ්වාසය!

      Delete
  3. Replies
    1. කසුන් මහත්තයෝ, මට මතක හැටියට කලින් වතාවකත් ඔයාගේ කමෙන්ට් එක නැතිව නම විතරක් ලැබුණා.

      එක වැරදීමක් නම් ඒ ගැන හොයලා බලන්න.

      එහෙම නැතිව ඔයා පැමිණි බව දන්වන්නට මෙහෙම කළා වෙන්නත් පුළුවනිය කියල හිතෙනවා. කොහොම වුණත් ස්තුතියි, සපැමිණීම ගැන.

      Delete
  4. ඔය කියන ස්ත්‍රී පුරේ කොහෙද තියෙන්නේ හැබෑට....නෑ මට නෙවෙයි මේ යාලුවෙකුට....ගජබා පුවත ගැන මහැදුරු ගනනාථ ඔබේසේකර විශිෂ්ට නිබන්ධනයක් කරල තියෙනවා...

    ReplyDelete
    Replies
    1. ලොකු. ගජබා රජතුමා එයා විතරක් සැප විඳලා ඉවර වෙලා ගල් ගුහාවේ කට නැවත අරින්න බැරිවෙන්න වහලා මමා කියලයි කියැවෙන්නේ, ඉතින් කොහොමද ඉසව්ව දැනගත්තත් ඔයාගේ යාළුවා යන්නේ.

      අනෙක තමා වික්ටෝරියා - රන්දෙනිගල ජලාශ පුරවද්දී ස්ත්‍රී පුරය තිබුණු ඉසව්ව ජලයෙන් යට වුණා කියලා කියවුණු එක. මාත් එක කියෙව්වේ කාලාන්තරේකට කලින්.

      Delete
  5. Parana pawakata kara gahanna wage neda? Karana kalata paw mihiriya mee se. (SPA giyata paw ne, it's a win win deal)

    ReplyDelete
    Replies
    1. විජේබාහු මහත්තයා පරණ පවක් කියලා කිව්වේ Spa ගැන වෙන්ට බැහැ. අංකල් අවසඟ වුණාට දැනුම්, අත්දැකීම් ආකරයක්! ඒවා ගැන ඉක්මනින්ම ලියනවානේ, එතකොට බලන්නකෝ!

      Delete
  6. ඒ පාර මොකක්ද කැරකෙන්න යන්නෙ

    ReplyDelete