අකුරු මැකී නෑ

Saturday, September 21, 2019

හරෝහරා! - දහවෙනි කොටස

පාද යාත්‍රාවේ අමාරුම හරිය විදිහට මට දැනුණේ.................
පාද යාත්‍රා ගමනේ අමාරුම කොටස විදිහට මට දැනෙන්නේ දෙවෙනි දවසේ කොටසය. මඩමේතොට ඉඳන් ළිං තුන දක්වා කොටස; කිලෝ මීටර් 14ක්.

පළමුවෙනි දවසේ ඔකඳ දේවාලය අසල, කුමන පිවිසුමෙන් ඇතුළු වුණාම බාගුර කලපුවට එනකල් කිලෝ මීටර් නවයක් දුර ගෙවාගෙන එන හැමෝම එතැන නවතිනවා. ඒ දවල් කෑම උයාගන්න; කන්න; කාලා ටිකක් විවේක ගන්න. 

වයසක උදවිය වැඩියෙන් ඉන්න නඩවල සිරිත, එදා රැය එහිම පහන් කිරීමයි.             

බාගුරේ කලපුව ඉසව්වේ තියෙන්නේ වඩා උස ගස් නෙවෙයි....... හෙවණ දෙන ගසුත් නෙවෙයි. ටිකාක් උස පඳුරු වගේ ගස්. 

කලින්ම එතැනට එන අය ඒ ගස් යටට වෙලා ඉවර නිසා, පහුවෙලා එන උදවියට වෙන්නේ මුවාවක් නැති තැනක, තරු විසිරුණු අහස උඩු වියන කරගන්නයි!

බාගුරේ කලපුව ඉසව්ව ගොඩාක් විවෘතයි. හෙවණකට කියලා ලොකු ගස් තියෙන්නෙත්...........(foto- නෙවිල් අනුරසිරි)
ඉතින් හුඟ දෙනෙකු කැමතියි, තව කිලෝ මීටර් 12ක් ගෙවාගෙන මඩමේතොටට යන්න. හැබැයි, එතකොට තුන්මුල්ල බංගලාව, කොටළිඳවල, අන්දරක කලපුව, යාකල කලපුව වගේ තැනුත් පසු කරගෙන යන්න වෙනවා.

පටන් ගත්ත දවසෙම කිලෝ මීටර් 21ක් (මේක 23- 25 කියලත් කියනවා. අනේ, මාත් දුර මැන්නේ නම් නැහැ. හොඳේ. අනුන්ගෙන් අහගත්ත ඒවා තමයි කියන්නේ.) ගිහින් හෙම්බත් වෙලා ඉඳලා, දෙවෙනි දවසේ කට්ට අව්වේ වැඩි හරියක් යන්න වුණාම....

ඊට හපන්, හුඟක් තැන්වල යන්න වෙන්නේ බාගෙට හිඳිච්ච කලපු- ආරවල් හරහා. 
එතකොට තමයි මං වගේ අයට තිස්තුන් කෝටියක් දෙවිවරුන්ම මතක් වෙන්නේ.

පල් මඩ! ගඳයි.... කළු පාටයි. 

මේ සැරේ එහෙම එක තැනකට විතරයි මට බහින්න වුණේ. කකුල්වල නියපොතු හතරක් හැලුණා, ගෙදර ආවට පස්සේ.

පල් මඩ! මිනිරන් පාටයි; ගඳයි! (foto- කසුන් ප්‍රියලාල්)
අපරාදේ කියන්න බැහැ. මේ අසරණයා ගැන අනුකම්පා කරපු කතරගම දෙවියන්නාන්සේ හිච්චි පුතා, ඉන්දික, සුජී ඇතුළු නඩය මඩමේතොට ඉඳලාම අපිත් එක්ක එව්වා.

“හා, හා, මාමා මඩට බහින්න එපා. මං මාමාව උස්සන් යන්නං!” 

ඊළඟට එහෙම තැන්වලදී මං ගියේ ඉන්දිකගෙයි, සුජීගෙයි කරේ- ගෝනිය නැතිවම! 

අනේ, මං හින්දා එයාලටයි, අපේ නඩේ අයටයි තිබිච්ච වදයක්! මං ගියේ උපරිම ඉබි ගමනින්. “ඔයාලා යන්න. අපරාදේ.... ඔයාලටත් පරක්කු වෙනවා.” මං කිව්වා.

ඇහුවයැ? 

“පිස්සුද මාමේ. අපි ගමන ඉවර වෙනකල්ම යන්නේ ඔහෙලත් එක්ක. රේස් එකක් නෙවෙයිනේ!” හිච්චි මහත්තයා- ඉන්දික දෙන්නා කිව්වා. අනෙක් අයගෙන් ඇහිල්ලක්- බැලිල්ලක් නැතිවම. 

අපේ අය විතරක් හිටියා නම් මගේ ඒකාධිපති බලතල පාවිච්චි කරලා නවතින්නවත් තිබුණා. දැන් ඒකටත් ඉඩක් නැහැ. ඔහොම කිලෝ මීටර් 12ක් විතර ගියා කියමුකො.

පිස්සුද මාමේ, ගමන ඉවර වෙනකල්ම අපි යන්නේ............ (foto- මර්වින් බොතේජු))
ගිනි මද්දහන නොවුණාට සූරිය දිවිය පුත්තරයා මදිය නොකියන්නම බබලනවා!

මං වහන්සේ පැය 72ක්වත් පේවෙච්ච නැති එකට punishment එකක් දෙන්න කතරගම දෙයියන්ට හිතෙන්න ඇති. එහෙම හිතලම තමා; එව්වයි කියමුකො, වතුර ගෙනියන ලොකු ට්‍රැක්ටරයක්. අපි යන පැත්තටම.

ඉන්දික පාර මැදටම පැන්නා; නවත්තගත්තා ට්‍රැක්ටරේ. බලෙන් නෙවෙයි; යාප්පුවෙන්. 

“අනේ මල්ලී......” මාව පෙන්නලා මුලින්ම හෙමිනුත්, ඊට පස්සේ හයියෙනුත් බාසාව දැම්මා. “...... අපේ මේ මාමාව දාන්න බැරිද ළිං තුන ළඟින්.”

බැලූ කොට ඒ හමුදා සොහොයුරන් දෙන්නා ඇවිත් තිබ්බෙත් ළිං තුනේ ඉඳලා. එතැනින් තමයි වතුර බවුසර් පුරවාගෙන ඇවිත් තිබ්බෙත්. එව්වායේ වතුර පාර දෙපැත්තේ තැනින්-තැන ස්ථාපිත කළ තාවකාලික ටැංකිවලට පුරවලා ඉවරවෙලා මේ ආපහු යන ගමන්. 

එයාලා බොහොම කරුණාවෙන් අපට ඉඩ දුන්නා..... ට්‍රැක්ටරය පදවන හමුදා භටයා ළඟට නැග්ගේ මං. මර්වින්, ජයශංඛ හා ඉන්දිකලගේ නඩයේ තිලකුත් බවුසරය උඩ. තව එක හමුදා සොයුරෙකුත් එතැන.

මේ පාරේ ට්‍රැක්ටරේක යන එක ලේසි නැහැ! (foto- ජයශංඛ දිසානායක)
ඉන්දිකගේ විස්තරේ හින්දාම වෙන්න ඇති ට්‍රැක්ටරය එළවාගෙන ගිය සොයුරා මට පෙන්නුවේ පුදුම අනුකම්පාවක්. “මේ පාරේ ට්‍රැක්ටරේක යන එක ලේසි නැහැ. මං පුළුවන් තරම් හෙමින් එළවන්නම්. ඒත් ඉතින්....”

ගිහින් තියෙනවද පරුවත ට්‍රැක්ටරේක; වළ ගොඩැලි නිමක් නැති පාරක.... මං නම් පළමුවෙනි වතාවටයි එදා ගියේ. මගෙ අම්මේ එහෙම  දුකක්!

ට්‍රැක්ටරයක යන එක එච්චර දුකක් නම් ඇඟ පුරාම තැනින්-තැන කොකු ගහගෙන, ඒවායින් එල්ලීගෙන කතරගම දේවාලයට යන ගමන කොහොම එකක් වෙන්න පුළුවනිද? 

එහෙම සිදුවෙන්නේ කතරගමදී විතරක් නෙවෙයි! රට පුරාම.........

අනුරාධපුරයේ සිංහල රාජධානිය පිහිටෙව්වාට පස්සේ ගතවුණු අවුරුදු දාහක කාලය පුරාම නොකඩවා බැබළිලා තියෙන්නේ දෙවිවරුන් තුන්දෙනෙක් විතරය කියලා ‘සිංහල දේව පුරාණය’ පොතේදී කේ.එන්.ඕ. ධර්මදාස - එච්.එම්.එස්. තුන්දෙණිය වියතුන් කියනවා. ඒ උපුල්වන්, සමන්, කතරගම දෙවිවරුන්ලු. 

එයිනුත් වැඩියෙන්ම ව්‍යාප්ත වෙලා තියෙන්නේ කතරගම දෙවිඳු ඇදහීම.

දමිළ බැතිමතුන් කරන්නේ පාප මෝචනයක්ද?
මෙහෙම සිරුරට වධ බන්ධන පමුණුවා ගැනීමෙන් දමිළ බැතිමතුන් කරන්නේ ‘පාප මෝචනයක්’ කියලත් කියවෙනවා. 

වැඩහිටි කන්දේ ඉඳලා ස්කන්ධ කුමාරයා සෙල්ලට වඩින අතරේ මැණික් ගඟ ගලලා තිබුණාලු. එවෙලේ එතැනින් යන්නට ආ දමිළ පිරිසකට ‘මාව එගොඩ කරන්නැයි’ කීවිට ඔවුන් එය නොකොට පිටවී ගියාලු; 
“වැස්සට කලින් ලුණු කඩලා ඉවර කරන්න ඕනේ. එන ගමන් ඔබතුමාව එගොඩ කරන්නම්” කියලා. 

නමුත් ඒ වැඩේටම ගිය සිංහලයන් කඳ කුමාරයාව එගොඩ කරලා හිටියාලු.

සිංහල අය එහෙමමයිනේ. රාජකාරියට කලින් දේවකාරිය විතරක් නෙවෙයි තවත් ඕනෙම කාරියක් කරනවනේ. ගිහින් බලන්නකෝ ඕනෙම රජයේ ආයතනයකට.

ඔන්න එතැනදී නම් මුරුගන් උන්නාන්සේ කරලා තියෙන්නේ හොඳ වැඩක් නෙවෙයි. 

“දෙමළ ලුණු කඩන කට්ටිය එතුමාව එගොඩ කළේ නැති නිසා තමයි දේවාලේ රාජකාරි සේරම සිංහල අයට විතරක් පවරලා තියෙන්නේ..... ඒ වැරැද්දට සමාව ගන්න තමයි දෙමළ මිනිස්ස්සු දුක් විඳ-විඳ පාද යාත්‍රාවේ එන්නෙත්, ඇඟ පුරාම කටු ගහගෙන දුක් විඳගෙන පූජා පවත්වන්නෙත්.”

කතරගම දේවාලේ ඉන්නේ සිංහල කපු මහත්තුරු විතරයි! (foto- අයස්මන්ත පීරිස්)
කන්දස්සාමි උන්නාන්සේ මට මුලිච්චි වුණොත් නම් මං ඔය ගැන අහනවා-අහනවාමයි.

දෙවියන් වුණත් වැරැදියි කියලා හිතෙනවා නම් අහන්න බය වෙන්න ඕනැය? ඒත් දෙයියනේ, අපට උගන්නල තියෙන්නේ ගුරු- දෙගුරු-පූජක- පාලක වගේ උදවිය 100%ක්ම හරිය කියලනේ.

මොන කරුමයක්ද මන්දා, මට එහෙම වෙලාවට හරි කට වහගෙන ඉන්න බැරි ඇයි?

මං එදා කට වහගෙන කෙඳිරි ගගා ගියේ ටික දුරයි. හමුදා සොහොයුරා ට්‍රැක්ටරේ නැවැත්තුවා. “අර පේන්නේ ළිං තුන හරිය. මේ කලපුව හරහා යන්න ඕනේ..... 
මෙතනින් බැහැලා යනවා නං ඔයාට ලේසිද? 
අපිත් එතැනටම තමයි යන්නේ. හැබැයි පාරෙන්. කිලෝ මීටර් දෙකක් විතර යන්න වෙනවා.... සවුත්තු පාරේ. ගොඩක් ගැස්සෙයි.....”

මේක හරහා යනව නං ඔයාලට ලෙහෙසියි.......... (foto- කසුන් ප්‍රියලාල්)
ඉතින් මොකේදැයි දන් වළඳන්නේ කිව්වලු. අපි ට්‍රැක්ටරේට නඟින නිසා ජයා අතට තව කාගෙ-කාගේද බඩු මලු තුන-හතරකුත් දුන්නා. ඒවත් දැන් අපේ ළඟ. 
ඊටත් කලපුවේ වතුරත් තියෙනවා..... “යං මහත්තයෝ... අමාරු වුණත් යන්නයි වෙලා තියෙන්නේ, බෑග් ගොඩක් අපි ළඟනෙ.” මං කිව්වා.

ළිං තුනටම ගිහින් බලද්දියි දන්නේ, මර්වින් කලපුව හරහා එන එක ට්‍රැක්ටරේ එනවට වැඩිය ලෙහෙසිය කියලා එතැනදී බිමට බැහැලා. 
“අරක උඩ ගැස්සි-ගැස්සී කොහෙ එන්නද නිමලෝ. මං බලාගෙන හිටියේ කොයි වෙලේ හරි නවත්තනකල් බිමට පැනගන්න!” 
මිනිහා අනෙක් අයත් එක්කම ඇවිදින් කිව්වා.

ඒ එනකොට අපි තේ බීලා, ගිය වතාවේ කිව්ව තේ-ඔසුපැන් දන්සලෙන්.

කාලා ටිකක් රෙස්ට් කරලා අං දේවාලෙටත් ගිහින්........... (foto- අයස්මන්ත පීරිස්)
මං බතුත් ළිපේ තියලා, ඉන්දියන් ක්‍රමේට කවලම් එළවලු කරියකුයි, කිරට අල හොද්දකුයි හැදුවා. උදේ ඉන්දිකලා තම්බාගෙන ආව කඩල ගොඩකුත් තිබුණා. ඒකත් තෙම්පරාදු කරලා ගත්තා. 

පීරිස්ලා ආවේ අපි ළිං තුනට ගිහින් පැයකට විතර පස්සේ. කලපුව හරහා එන්නත් එපැයි! ගොඩකරේ එනවට වැඩිය ඒක අමාරුයි.

“අයියේ.... අපි මෙතැන නවතින්නේ නැහැ නේද?..... කාලා ටිකක් රෙස්ට් කරලා අං දේවාලෙට යන්නත් ඕනේ.” කෑම කන අතරේත් යෝජනාවක්.

“ඔව්වොව් මාමේ....... මෙතැන කට්ටිය වැඩියි තමා..... මොකක්ද මාමේ මේ කවලම් කරිය? ඒක එක්ක විතරක් බත් මරන්න බැරිය..... අපි දිගටම යං..... මෙතැන නම් හැමෝම නවතින්න වගෙයි හදන්නේ. මාමා ready නං අපිත් රෙඩි.”

ආයෙත් අර හදිස්සියමය. පුරාණයේ සිට මේ පා ගමනේ යෙදෙන බැතිමතුන්ට කිසිම හදිසියක් නැත. ඒ බොහෝ දෙනෙකු පා ගමනේ තෙවෙනි රාත්‍රිය ගත කරන්නේ ළිං තුනේය. 

මෙතැන ළිං තුනක්ම තිබිලාත් මදි වගෙය; ඒ තරමටම බැතිමතුන්ය. 

නාගන්නට පෝලිමක ඉන්නට වෙයි. එක ළිඳකින් එක වරකට හතර-පස් දෙනෙක් දිය ඇදගනිති; නාගනිති. ඉතින් ළිඳේ වතුර හිඳෙයි; හැබැයි, හීන් සීරුවේ වතුර උණයි!

මේ දේවාලයට ගොඩනැඟිල්ලක් නැත. තියෙන්නේ බැතිමතුන් වනයෙන් අහුලාගෙනවුත්.... (foto- නෙවිල් අනුරසිරි)
කෑමෙන් පස්සේ අප අං දේවාලයට ගියේ ගිනි මද්දහනේය.

අං දේවාලයේ තියෙන්නේ පාද යාත්‍රාවේ පැමිණි බැතිමතුන් වනයෙන් අහුලාගෙන ඇවිත් මෙතැනට පූජා කළ මුව-ගෝන අං තට්ටුය. මෙතැන තිබෙන්නේ අං විතරය.

තට්ටු පිටින් ඒවා පැළඳගත් උදවියත් දකින්නට ඕනෑ නම් “සුදු ඇඳගෙන එන කළු උදවිය” ඕසෙට ඉන්නා ප්‍රාදේශීය-පලාත්-දියවන්නා වගේ තැනකට යා යුතුය. 

එකම දේ, එව්වයෙදී දැකගන්නට ලැබෙන්නේ ‘මිග’ වංශයේ අයව නොවේ; 
‘මහීෂ - බක’ දෙවංශය දෙමුහුන් වීමෙන් උපන් අයවයි!

දේවාලයක් කිව්වට මෙතැනත් ස්ථිර ගොඩනැඟිල්ලක් නැත: කපුවන්-අතරමැදියන් නැත.

අපේ මර්වින් මහත්තයා දෙවියන්ට කතා කරන්නට දනියි!.............
එහෙම වුණත් අපට නම් ඒකෙන් කිසිම හිඟ-පාඩුවක් වුණේත් නැත. 

මර්වින් බොතේජු මහත්තයා දෙවියන්ට කතා කරන්නට දනියි. අයස්මන්ත මහත්තයාත්, එයාත් දෙන්නා දිගටම ආවේ රතු පිරුවටවල ඔතාගත් කුන්තායුධත් තවත් මොන-මොනවාදෝත් වඩම්මාගෙනය!

අප්පද බොල, රතුම රතුපාට සැවුළු ධජයකුත් අං දේවාලයට පූජා කරන්නට  සූදානං කෙරුණේය. 

“ඇයි? අපි අඩු කුලේ කියලා හිතලද ඔව්වා අපට පෙන්නන්නේ නැත්තේ?”

“පිස්සුද යකෝ. මේ කොඩිය හදවාගත්තේ අපේ ward එකේ හසන්ති... ආසිරිගේ wifeට කියලා. ඒකේ මොකක්ද විශේෂෙන් පෙන්නන්න තියෙන්නේ?”

පොතුවිල් මුහුදු මහා විහාරයේ ගැට ගසා තියෙන පඬුරු........
අපේ පාද යාත්‍රා ගමනට හම්බන්තොට අක්ෂි වෛද්‍ය වාට්ටුවෙන් පඬුරු ගෝනියක්ම ලැබුණේය; මඟදී සප්පායම් වෙන්නට කැවිලි-පෙවිලි ලැබුණේය; ඔකඳ දේවාලය බලා පිටත් වෙන දවසේ උදේ පාන්දරම අපේ පාතරාසයත් ලැබුණේය!

ඒ ‘කොඩි’ලගේ ගෙදරිනි.

“කොඩිලගෙන් බේරිල්ලක් හම්බවෙන්නේ නැහැ පිට පාරෙන්ම ගියොත් නං. අන්න උඹලවත් එක්ක එන්නම කිව්වා. කොඩි මිසී කලින් ඉඳලත් කිය-කියා ඉන්නේ තමුසෙලට කෑම ටිකක් දෙන්න ඕනෙය කියලා. බොතේජු ළමයටත් විශේෂ රාජකාරියක් තියෙනවා, එදා උදේට- කොඩිලගේ අම්මත් එක්ක.”

ඉතින් හිමිදිරියෙන්ම අපි ගියේ එහාටය. 

එහාට පය තියන්නට ලැබුණේ නැත. නසාර් පරණ පත්තර ටිකක් වාහනය යටින් එළලා යටට රිංගුවේය. මනුස්සයාට වාහනයේ ලෙඩක් බව දැනිලා වගෙය. 


නසාර්ට වාහනයේ ලෙඩක් වගේ දැනුණු නිසා පරණ පත්තරයක් හොයාගෙන...........
අන්තිමේදී ඒ ගැන කියවුණු-සොයා ගැනුණු දේවල් කියන්නට වෙන්නේ අනුන්ගෙන් අහගෙනමය.

“කලින් දවසේ වාහනේ සර්විස් කරවන්න යවලා. 
ඒ යක්කු එතැනදී දාන්න ඕනේ ඔයිල් සීල් එක නෙවෙයි දාලා තියෙන්නේ. 
ඒකෙන් තමයි oil කාන්දු වෙන්න අරගත්තේ.....”

නසාර්ට ඒ රාජකාරිය කරවාගෙන එන්නට පැයකටත් වඩා ගියේය. 
ඒකෙන් ඇති-පදම් වෙලාව ලැබුණේ අපේ මර්වින් උන්නැහෙටය; 
ඒ පිරිත් සජ්ජායනාවටය.

“මේකා දැන් රට වටේම වයසක අම්මණ්ඩිලට පිරිත් කිය-කියා ඇවිදිනවද?”

“පිස්සුද නෙවිල්? කලින් දවසක පීරිස් එක්ක කතරගම යද්දිත් මර්වියා මෙහෙ ඇවිත්. එදා කොඩිලගේ අම්මට සනීප මදිවලු හිටියේ. ‘ම’ පිරිත් ටිකක් කිව්වලු. අම්මට සනීප වුණාලු.”

තමුසෙලා ඕකෙ තියෙන පිරිත් ඔක්කොම සජ්ජායනා කරන්න ගියෝතින් නං, මට බඩගින්නේ.........
ඒ ටික කියවුණාම නෙවිල් කිව්වේ එකම එක වචනයකි. තවමත් මට වටහාගැනීමට නොහැකිව සිටින්නේ ඒකේ tone එකයි. 

“අම්මට.....” එහෙම තනි වචනයකින්, ඒ අසමජ්ජාතියා අදහස් කළේ මොකක්දැයි ඔබට හිතාගත හැකි නම් කරුණාකර මට පහදා දෙන්න!

මර්වින් පිරිත් පොත වඩම්මාගෙන ආ ගරුසරුව හින්දා මට බයත් හිතිණි. 

උන්නැහේ උපාසක පාට ඇඳගෙන ආවේ ඇයි කියලාත් මා තේරුම් ගත්තේ එතකොටය. දෙන්නයි යන්නේ දොඹෙන්! 

“බුදු උපාසක මහත්තයෝ... උඹ ඕකේ තියෙන ඔක්කොම සජ්ජායනා කරන්න ගත්තොත් පුතෝ, පා ගමන් යන්න කලින් මං අන්තිම ගමන් ගිහින් තියෙයි ඔන්න බඩගින්නේ.” 

කාටවත්ම නොදැනෙන්නට, අහිතක් නොහිතෙන්නට මං ඒ ටික කිව්වේ කොඳුරලාය.

අරුණත්, කොඩිත් නෑදෑ පිරිවරක් සම්මාදම් කරගෙන හදා තිබුණු කෑම මේසයේ සුවඳ .......
මොන? නසාර් වාහනය හදාගෙන එනතුරුමත් පිරිත් සජ්ජායනයට තිත තැබුණේ නැත. 

පීරිසුත් පිරිත් කියන්නට හවුල් වුණේය. පිරිත අහන්නට හිටියෙත් දෙන්නෙකි. 

අනෙක් සේරමලා ලහි-ලහියේ සරු කෑම මේසයක් පිළියෙළ කළෝය. ඒවායින් සුවඳ හමාගෙන එද්දි මං තැවුණේ එකක් ගැනය.

‘අනේ, අර තරහකාරයෝ අලුත් ජෝඩුවලට මඟුල් දවසේ රෑට ඇලිලම හිටින්න කරන හූනියම වගේ එකක්.... මුඛ බන්ධනයක්.... කට අරින්න බැරිවෙන්නත් කරන්න දන්නවා නං....’ මට හිතුණේය. 

මගේ පඩත්තලකම එහෙමනේ. පඬුරු - පූජා වට්ටි පුදලා; බාරහාර වෙලා ඉල්ලා හිටියත්, එහෙම දේවල්වලට දෙවිවරු උල්පන්දම් දෙන්නේ නැහැ නේද, යහපත් වැඩවලට මිසක්?

අරත්තන රන්ගම බෙරවායාටත් කන්දස්සාමි උන්නාන්සේගෙ සානුකම්පිත බැල්ම ලැබිලා තියෙන්නේ ‘හොඳ වැඩකට’ය.

රන්ගම බෙර වයන්නා බැරිම තැන කතරගම දේවාලයට ඇවිත්...........
රන්ගම උන්නැහේට වස හමේ ලෙඩක් හැදිලා, දන්නා තරම් වෙද්දුන්ගෙන් බෙහෙත් කරලත් සනීප වෙලා නැහැ. බැරිම තැන රුහුණු කතරගම දේවාලෙට ඇවිත් කතරගම දෙවියන්ට බාරයක් වෙලා.

“මතු බුදුවෙන දේව ස්වාමි දරුවාණන් වහන්ස. 
කතරගම වැඩසිටි කන්දට- කුඩා කතරගමට- මහා කතරගමට- සෙල්ල කතරගමට- ලේනදූවට- මැණික් ගංගාවට- මුතු පන්තියට- කිරි වෙහෙර වහන්සේට-  සිංහාසනයට- චාමර සත් පලිසට අරක් ගත්තාවූ කතරගම දේවයාණන් වහන්ස....” 
කියලා යාතිකාව පටන් අරන් රන්ගම උන්නැහේ දෙවියන්ට දුක කියලා.

“..... මාගේ මේ චර්ම රෝගය හිරු දුටු පිනිසේ දුරින්ම දුරුකොට නිට්ටාවට සුවකර දෙන්නේ නම්, එතැන් පටන් දිවි ඇති තුරාවට 
ගතවෙන අවුරුද්දක් පාසා කතරගම දේවාලයට අවුදින්.....” 

පූජා පවත්වන්නයි උන්නැහේ බාරය වෙලා තියෙන්නේ.

හිරු දුටු පිනිසේ දුරින්ම දුරුකොට නිට්ටාවට සුව කර දෙන්නේ නම් වසරක් පාසා..........
ලෙසටම රෝගය සුව වෙලා! 

රන්ගම උන්නැහෙත් දිගටම කතරගමට ඇවිත් බාරය ඔප්පු කරනවලු. එහෙම වුණත්, මොන දෙයියන්ටවත් ඇහැකිය වයසට යන එක නවත්තන්න? අයෝබලත් වෙන එක නවත්තන්න?

අනේ රන්ගම උන්නැහේටත් දැන් හරි වයසයි. 
දුරු-කතර ගෙවාගෙන කතරගමට එන්නම බැරි ගානයි.

“අනේ, දෙයි හාමුදුරුවනේ.... අසරණ ගැත්තාට අනුකම්පා කොට...” මනුස්සයා දෙවියන්ට දුක කිව්වා.

“එම්බල ගැත්ත, 
තාගේ ග්‍රාමයේදී තොපට විස්මිත දෙයක් ගැන දැනගන්නට ලැබෙනු ඇත. 
ඒ ස්ථානයේ මා නමින් දෙවොලක් තනා, එහි ගොස්, මා වෙනුවෙන් පුද-පූජා පවත්වනු!” 
එදා රාත්තිරියේ හීනෙන් පෙනී හිටි කඳ සුරිඳුන් රන්ගමට කියලා.

අරත්තන ගමේ කදුරු ගහක් කපන්න ගිය වෙලාවේ ඒකෙන් ලේ ගලන්න පටන් අරගෙන!
අරත්තන ගමේ තිබුණු උයනක කදුරු ගහක් කපන්න ගිය වෙලාවේ ඒකෙන් ලේ ගලන්න පටන් අරගෙන. හා-හෝව රට පුරාම පැතිරිලා. 

මේ කතන්දරේ රංගම උන්නැහේගෙන් ගියා, ඒ උයන අයිති ‘හෙණකඳ බිසෝ බණ්ඩාර බිසව’ ළඟට. බිසොවුන්නාන්සේ තමුන්ගෙ සැමියාට; ‘සෙංකඩගල වික්‍රමබාහු’ රජ්ජුරුවන්ට කියලා, අර කදුරු ගහ ළඟ හැදෙව්වා දේවාලයක්.

අදටත් ඒ දේවාලය ප්‍රසිද්ධයි, ඒකේ තියෙන පුදුමාකාර ලී කැටයම් හින්දා. 

ඒකත් හැදුණේ කතරගම දේවයාණන් වෙනුවෙන්ය කියන එක ‘ඇම්බැක්ක’ බලන්න යන ගොඩ දෙනා දන්නෙ නැහැ.

ඉතින් ආයුබොවන්ලා, අවසර. වැඩි කැටයම් දාන්නෙ නැතිව ඊළඟ කොටසට යන්නට!


12 comments:

  1. //“අම්මට.....”
    හැක්,කිව්ව ටෝන් එක අනුවනං නෙවිල්උන්නැහැ පුරස්නයක්නේ අහල තියෙන්නේ.
    බොගේ නරක හිතට වෙන ඒවා ආවට.

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්නේ සිරිබිරිස් උන්නැහේ මගේ කුපාඩිකමට වෙන්නැති, නේද?

      Delete
  2. https://en.wikipedia.org/wiki/Megophrys
    https://en.wikipedia.org/wiki/Ceratophrys

    ReplyDelete
  3. ඇම්බැක්කේ දේවාලයේ පිටුපස දකුණු පැත්තේ කාමරයක තියෙනවා ලොකු මොණරෙක්ගේ වර්ණ ගන්වපු පිලිමයක්. සමහරවිට ඒක දැවයෙන් කරපු එකක් වෙන්න ඇති. ඒක දැක්කේ වහපු දොරේ තිබුන හිඩැසකින් කැමරාව රිංගවලා ගත්තු පොටොවෙන් තමයි.

    ReplyDelete
    Replies
    1. අම්මපා අසංග, ඔහෙත් රිංගන තැන්! ඒ මදිවට හිල්වලිනුත් බලනවද?

      Delete
    2. //දැවයෙන් කරපු එකක්
      අසා, ඔය මොණරා හදල තියෙන්නේ අර ලේ ආපු කදුරු ගහෙන් කියලයි කියන්නේ.

      Delete
    3. ස්තුතියි සිරිබිරිස් උන්නැහේ, මාත් ඒක දැනගත්තේ දැන්!

      Delete
  4. ගිහින් තියෙනවද පරුවත ට්‍රැක්ටරේක\\ ආයෙත් අහල

    ReplyDelete
    Replies
    1. මධු, බයික් එකත් පටවගෙනද ට්‍රැක්ටරේ යන්න වුණේ?

      Delete
  5. ටැට්ටර් වල සස්පෙන්ෂන් සිස්ටම් එකක් නැති හින්ද වලවල් තියෙන පාරක ඕව එහෙක යනව කියන්නෙ ඉතිං බොකු බඩවැල් බ්‍රේක් ඩාන්ස් දාන සීන් එකක් තමයි. කුඹුරු හාන මගුලකට සස්පෙන්ෂන් හයිකරල එවන්න ඕව හදන උංට පිස්සුයැ.

    මේ කියනකල් මාත් ඇම්බැක්ක ගැන ඔහොම දෙයක් දැනං හිටියෙ නෑනෙ.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න, මේ මෝල් වහන්සේ දන්නා සස්පෙන්ෂන් එකක් නැහැ. යන්න විතරයි මං දන්නේ.... හැබැයි ඒ එක පාර හොඳටෝම ඇති.

      මුලුන්ම මටත් පුදුම හිතුණා, ඇම්බැක්කේ කැටයම් මිස දේවාලය ගැන උලුප්පන්නේ නැතිම ගානද මන්දා?

      ප්‍රසන්න, යාපනයේ නල්ලූර් කෝවිල වුණත් කතරගම දෙවිඳු හා සම්බන්ධ බව කැපිලා පෙනෙන්නේ නැහැ වගේ කියලයි මට හිතෙන්නේ.

      Delete