මගේ නිරීක්ෂණයට අනුව ඒ රියැදුරාට එහි යන පාර නම්........... |
රාජගිරිය
පැත්තේ ගෙදරකට අක්කාවත්, මාවත් එක්කරගෙන ගියේ රාජමනි මිසීගේ රියැදුරාය. මගේ කටාක්‍ෂ
නිරීක්ෂණයට අනුව රියැදුරාට පාර හොඳට මතක තිබිණි. (ඒ කියන්නේ අක්කා විතරක් හරි නිතර
එහාට ආව-ගියා කියන එකය.) බලමුකෝ ගිහින්ම, මල්ලිත් කොහොමද කියලා.
ඒ ගෙදර නම්
ඒ තරමට කල-එළියක් තිබ්බේ නැත. අප හමුවන්නට ගිය අවසඟ රාජමනි මහතා හිටියේ එහෙය. ඒ රෝද
පුටුවක් උඩය. අහිංසක පුංචි මිනිසෙක්....
ඔහු වියපත්ය;
කාරුණික පාටය; සිනහමුසුය. “ආ ඔයාද මිස්ටර් නිමල්.... මගෙ sister in law කිව්වා මගේ
සේවියර් වෙන්න යන කෙනා දැන් මෙහෙට එනවයි කියලා.... ඉතින් නිමල්.....”.
නෙවිල් විස්තර කියන්නේ actions එක්කමය. (foto- උපුල ධර්මප්‍රිය දහනායක මන්දාරම් නුවරදී) |
පුරුද්දක්
විදියටම වගේ මං අනුන්ගෙන් හරස් ප්‍රශ්න අහන්නේ අඩුවෙන්ය; විශේෂයෙන් පුද්ගලික කාරණා
ගැන.
හැබැයි, මට තොරතුරු කියන්නැයි පොළඹවනදේ මගෙන් කෙරෙයි. එවිට කියවෙන දේවලින්,
වටපිටාවෙන් ගොඩක් තොරතුරු මගේ මතක ගබඩාවට යයි. ඉබේම වගේ එව්වා විශ්ලේෂණයත්
කෙරෙයි....
“මොකක්ද
ඕයි, යමක් අහගන්නකොට හරියට විස්තර ඇතිව අහගන්නවකෝ...... ඒ මනුස්සයා රෝද පුටුවකට
වැටිලා තියෙන්නේ accident එකකින්ද කියලවත් තමුසෙ ඇහුවෙ නැද්ද. ඊට පස්සෙද පවුල....”
නෙවිල් හාර-හාරා අහන්නට ගත්තේ එදා හවස මගෙන් විස්තරය කියවෙන්නට ගත්තාමය.
“ඒවා
දැනගත්තය නැතිය කියලා මොකක්ද මට වෙන සෙතේ? මට කියපු ටික මදැයි! ඒ මනුස්සයා හොඳටම අසරණ
වෙලා වගෙයි ඉන්නේ..... අපේ උඩ තට්ටුව කුලියට දෙන්න නෙවෙයිනේ හිතාගෙන හිටියෙත්......”
ඒ මනුස්සයා හොඳටම අසරණ වෙලා වගෙයි ඉන්නේ! |
“ඒක වෙනින්
කට්ටියකට දෙනවා නං ඇතුළෙන් තියෙන පඩි පේළිය වහන්නත් වෙනවා.... මේ මනුස්සයට ඕනේ වුණත්
පඩි පෙළ බැහැලා එන්න බැහැනේ. ඒ විදිහට බලද්දී..........”
“එහෙනම්
ඉතින් තමුසෙට වැඩට නොගිහින් ගෙදරට වෙලා, ඇවිදගන්න බැරි මනුස්සයව බලාගන්න වෙයි!”
එතකොටය
අම්මාගේ කට ඇරුණේ. “නැහැ නෙවිල් පුතා. ඒ මනුස්සයාට රෝද පුටුවෙන්ම බාත් room එකට
එන්න, ටිකක් එහා-මෙහා යන්න පුළුවනි. Walker එකෙන් වුණත් එහා-මෙහා වෙන්න පුළුවන්,
තව කවුරු හරි උදව් කරනවා නං.
මාත් දැකලා තියෙනවානේ! ඒ මනුස්සයට එහා කෙලවරේ කාමරය
දුන්නාම හරිනේ. මං ආවත් එන්නේ අවුරුද්දකට සැරයක් විතරනේ. ඒ ආවත් තව කාමරයක් උඩම
තියෙන්නේ..........”
දැන් තවත්
පැහැදිලිය. සේරම නූලට-රූලට කෙරිලා; තීන්දු වෙලා; මාව බිත්තියටම හේත්තු කෙරිලා
ඉවරය. මට ඉතිරි වෙලා තියෙන්නේ කැමැත්ත දෙන එක විතරය.
එතකොට මා
වැඩ කරමින් හිටියේ නාවල මුද්‍රණ ආයතනකය.
නෙවිල් ‘අමද්‍යප තරුණ පුහුණු මුද්‍රණාලයේ’ය.
ඒ දිනවල නෙවිලුත් නැවතී හිටියේ අපේ ගෙදරමය.
මට වැඩියෙන්ම
දුක හිතුණේ රාජමනි අංකල්ගේ ආයාචනාත්මක බැල්ම හින්දාය. මට පෙනුණු විදිහට නම් ඔහු
නැවතී සිටියේ බාල සොහොයුරාගේ ගෙදරය.
ඒ දෙමාල්ලන්ගෙන්ම පෙනුණේ, ඉක්මනින්ම මේ
උවන්දිරම වෙන තැනකට පටවා යවන්නට තිබුණු
හදිස්සියයි. “දැන් කවදා ඉඳලද මෙයා මූව් වෙන්නේ?”
එක්කෙනෙකු එවෙලෙම මගෙන් ඇහුවාත්
එක්කය.
අංකල්ටත් හැකි ඉක්මනින් එතැනින් නිදහස්වී එන්නට ඕනෑවී තිබුණා වෙන්නට ඇතිය.......... |
“අනේ
කොල්ලෝ, මං උඹට promise වෙනවා. එයා උඹට කරදරයක් නං, මට මාස දෙකක් දීපං. ඕස්ට්‍රේලියාවේ
ඉන්න ලොකු අක්කටත් එන්න කියලා මං මොකාක් හරි කරන්නං.
ඒ අක්කා තමයි මේ මල්ලිගේ
රෙස්පොන්සිබිලිටි එකට කර ගහගෙන ඉන්නෙ.
උඹට තේරෙනවනේ කොල්ලෝ... මං මෙහෙ එක්කෙනෙක්ව
බලාගන්න එකේ තව එක්කෙනෙක්ව දමා ගත්තොත් මේක නිකං elderly home එකක් වෙනවනේ බං!
ඌ
උගේ පාඩුවේ ඉඳියි නිමාාාාාාාාාාල්.”
රාජගිරියට
ගිහින් ආපහු ආවාම රාජමනි මිසී දිවුරා-දිවුරා මට කිව්වේ එහෙමය.
“මට දවස්
දෙකක් දෙන්න හාමු. මම කෝල් එකක් දෙන්නං.”
අර ඌරා බීගෙන කරන කරච්චලේ ඉවසාගෙන ඉන්න හරිම අමාරුලු කොල්ලෝ! |
“අනේ
කොල්ලෝ.... පුළුවන් නං දවසෙන් හරි කමක් නැහැ.
මට positive ආන්සර් එකක් දීපං බං....
මේක උඹ මට කරන ලොකූම ලොකු ෆේවර් එකක් බං..... අර ඌරා බීගෙන කරන කරච්චලේ ඉවසාගෙන
ඉන්න බැරිවයි මේකා එහෙ ඉන්න බැහැයි කියන්නේ.”
ඊළඟ ඉරිදා
රාජමනි අංකල් අපේ ගෙදර උඩ තට්ටුවට ආවේය; ආවා නොවේ, උස්සාගෙන ආවේය. ඒ එක්කම ඇඳක්,
හාන්සි පුටුවක්, පුටු දෙක-තුනක්, ට්‍රාන්සිස්ටර් රේඩියෝවක්, වර්ණ රූපවාහිනියක් හා
මේසයකුත්.....
අංකල්ගෙ පුතාත්, වයසක අක්කාත් අංකල් එක්කම පරිවාරේට ආවෝය.
ඒ පුතණ්ඩියා
අපේ ගෙදරට ගොඩ වැදුණේ එදාත්, තවත් එකම එක දවසකුත් විතරය.
ඊට වසර කිහිපයකට පස්සේ, ගොඩිගමුව
සුසාන භූමියේ තිබුණු තාත්තාගේ මළගමටවත් ඒකා ආවේ නැත!
එයාට කාමරේ අස්-පස් කරගන්න help කරන්නත් එක්කම............ |
“අනේ
නිමාල්, මම අද හවස් වෙනකල් මල්ලිත් එක්ක ඉන්නයි යන්නේ. එයාට කාමරේ අස් කරගන්න help
එකටත් එක්ක. කමක් නැතිද නිමාල්.” අක්කා ඇහුවාය. ඇය ඒ තරමටම ආචාර සම්පන්නය; විනීතය.
එක බඩවැල
කඩාගෙන ආවාය කියන්නේ ඒකය! සහෝදරකම කියන්නේ ඒකය!! එකම මවකගේ උදරයේ දස මාසයක් ඉඳලා;
සහ+උදරයේ වාසය කරලා ආවාම ඇතිවෙන බැඳීම ඒකය!!!
ඒත් ඒ
වියපත් බවලතියට කරන්නට පුළුවන් කෙංගෙඩියක් නම් තිබ්බේ නැත.
අර හාන්සි පුටුව
ගෙනැවිත් තිබුණේ එයාගේ පහසුවටය. හාන්සි වෙලා දවසෙන් වැඩි වෙලාවක් ඉන්නටය.
නෙවිල්
සහ මගේ මිතුරන් දෙතුන්-දෙනෙක් අංකල්ගෙ කාමරය එකලාසයක් කර දුන්හ. “නිමල් මං මේ
කාමරය ගන්නං. මට පාරත් පෙනෙනවානේ....” අංකල් තෝරාගත්තේ උඩ තට්ටුවේ පාරට කිට්ටුවෙන්ම
තියෙන කාමරයයි.
එක බඩවැල කඩාගෙන ආ සහෝදරකමය කියන්නේ............... |
ඊළඟ දින
කිහිපයේම නෙවිල්ට සැරෙන්-සැරේ වැඩ තිබිණි. ඇන්ටෙනාව, ඒරියලය සවි කරන්නට..... plug
බේස් හයි කරන්නට....දාහක් දේවල්ය.
අංකල් ගුවන් විදුලි ඉංජිනේරු රාජකාරියෙන් සමුගන
තිබුණත් ඉංජිනේරු ඥානයට සමුදී තිබුණේ නැත.
ඒ මනුස්සයා හමුවන හැම කඩුල්ලකින්ම
පනින්නට තාක්ෂණය උපයෝගී කරගන්න කෙනෙකි. ස්ටීවන් හෝකින්ග් වගෙය!
හරියටම කියනවා
නම් මට ඉස්සෙල්ලාම ස්ටීවන් හෝකින්ග් ගැන කියා දුන්නේ අංකල්ය!
ගැලිලියෝ
ගැලිලි ප්‍රාඥයා අභාවප්‍රාප්තවී වසර තුන්සීයක් පිරෙද්දී, 1942 ජනවාරි 8 වෙනිදා,
ස්ටීවන් හොකින්ග් උපන්නේය. “නිමල්, ඒ මනුස්සයා ඇල්බට් අයින්ස්ටයින්ට පස්සේ ලෝකෙට
පහළ වුණු බුද්ධිමතා කියලයි කියන්නේ. දන්නවද එයාත් මං වගේ රෝද පුටුවකට වැටිච්චි
කෙනෙක්..... මටත් හපන්.”
මහා
පිපුරුම් වාදය, කාල තරණය, කළු කුහර වගේ දේවල් ගැන ඒ විද්වතාගේ අදහස් රාජමනි ඉංජිනේරුවා
රෝද පුටුව උඩ හිඳගෙන මට කියා දුන්නේය.
මහා පිපුරුම්වාදය කාල තරණය, කළු කුහර වගේ දේවල් ගැන ස්ටීවන් හෝකින් විද්වතාගේ ............ |
ඊට ගොඩක්
කාලයකට පස්සේ ‘බයිස්කෝප් සිංහලෙන්’ අඩවියෙන් ‘The Theory of Everything’ චිත්‍රපටය බලද්දී මට දුක හිතුණේ අපේ ප්‍රාඥයන් ගැන මතකයට නැඟිලාය. (ඒ ෆිල්ම් එකටත් සිංහල
සබ්ස් දීලා තිබුණේ ශාන් විමුක්තිය.)
රෝද පුටුවක් උඩට හිරවී
හිටියත් අංකල්ගේ සිතුම්-පැතුම්-හැඟුම් අනන්ත විශ්වය පුරාම සැරිසරමින් තිබිණි.
“නිමල්, මට
හැමදාම Daily News පත්තරයක් ගන්න ඕනේ. මේ හරියට පත්තරකාරයෙක් එනවද?” සඳුදා උදේ
අංකල් ඇහුවේය. ඒ උදේ කෑමත්, දහවල් කෑමත් එයාගේ මේසය උඩින් තියලා එන්නට ගියාමය.
අංකල්
සිරුරෙන් පුංචි නිසාදෝ කෑවෙත් කුරුල්ලෙකු මෙනි; චුට්ටම චුට්ටකි.
උදේට පාන් පෙති
දෙකක්. කෙසෙල් ගෙඩියක්. පරිප්පු, අල, මාළු, පොල් සම්බෝල වගේ පාන්වලට ගැළපෙන
කරියක්. දවල්ට බත් මාළු-පිනි.
ඒවාත්, උණුවතුර බෝතලයකට කිරි තේත් හදලා තියලා ආවාම
හරිය. හවස් වෙනතුරුම ඇතිය.
අංකල් කෑවේ කුරුල්ලෙකු වගෙය; චුට්ටම-චුට්ටකි! |
බටර්, ජෑම්,
මාමයිට්, චොක්ලට්, බිස්කට් වගේ අමතර ආහාර සංචිතයකුත් අංකල් ළඟ තිබුණේය.
රාජමනි මිසී
කීවා වගේම අක්කා සතියකට සැරයක්වත් නොවරදවාම, මල්ලීව බලන්නට ආවාය. ඒ එනවිට
අඩු-පාඩුත් අරන් එයි. ගොඩ වෙලාවට එහෙම ආවේ ඉරිදාටය.
සතියේ දිනයක ආවත් මහා
පාන්දරමය. “මිසිස් රාජමනිව වැඩට එක්කගෙන යන්න ඉස්සෙල්ලයි නිමල්, ඩ්‍රයිවර් මාව
drop කරලා යන්න ආවේ. හවසට එයි මාව එක්ක යන්න.”
නොදන්වාම
ආවත් එයාටත් කන-බොන දෙයක් දීම පවා මට කිසිම කරදරයක් වුණේ නැත්තේ, අක්කාත් මල්ලී
වගේම කිරිල්ලියක් වුණු හින්දාය.
“ඩේලි
නිව්ස් පත්තරේ ළඟ කඩෙන් ගෙන්නා ගන්න පුළුවනි. අල්ලපු ගෙදර කෙනෙක් උදේ කඩේට යනකොට.
ඒත් මං දොරවල් වහලා ගියාම අංකල් කොහොමද පත්තරේ උඩට අරගන්නේ?”
අංකල් රෝද පුටුවටවී හිටියත්, සරල ඉංජිනේරු වැඩ කරන්නටත්- කරවන්නටත් දෙයියෙකි! |
මුලදී නම්
මටත් අගක්-මුලක් තේරුණේ නැත.
“නිමල්....
අල්ලපු ගෙදර ශාන්ති පත්තරේ ගෙනාවම ඒක ෂොපින් බෑග් එකක දාලා පහත කෙලවරේ කොක්කෙන්
එල්ලන්න කියනවා.
මට පුළුවනි බැල්කනියේ ඉඳලා ඒක උඩට ඇදලා ගන්න.
දැන් අපේ අක්කට වුණත්
පුළුවන් නිමල් වැඩට ගියාට පස්සේ හරි මෙහෙ එන්න. මට පුළුවන් උඩ ඉඳලා යතුර පහළට යවන්නත්, මේක දිගේ.”
කලින් එහෙම වෙලාවලට යතුර විසි කරන්නට ගිහින්, අංකල් වැඩේ අනාගත් වෙලාවලුත් තිබිණි.
ඒ රාජමනි
අංකල්ගෙ එක සරල ඉංජිනේරු වැඩකි!
යන-යන තැන අරගෙන යන මගේ තේ හැන්දත් මන්දාරම් නුවර කඳු මුඳුනකදී......... |
“නිමල්.....
මගේ කිලිටි ඇඳුම්, bed ෂීට්ස් එහෙම රාජගිරියේදී හෝදාගත්තේ ඩෝබි කෙනෙකුට දීලා. එහෙ
නම් එක bathroom එකනෙ තිබුණේ. දැන් මට වෙනමම එකක් තියෙන නිසා මං try කරන්න හදන්නේ
shorts ටිකයි shirts ටිකයි හෝදාගන්න.
-අක්කා කිව්වා bed sheets එහාට ගෙනිහින්
washing මැෂින් එකෙන් හෝදාගෙන එන්නං කියලා..... ඒත් මට මේ numb ඇඟිලිත් එක්ක සබන්
ගාන්න බැහැනේ නිමල්.
-Try කරන්නත් එක්ක ගෙනත් දෙනවද වොෂින් පව්ඩර් පැකට් එකක්.....”
අංකල්ගේ
අත්වල ඇඟිලිත් කීකරු නැතිව වගෙය, තිබ්බේ. දැන් මගෙත් එහෙමය. කොටින්ම කෑම කට
අනාගන්නට ගියත් බැරි තරම්ය.
ඉතින් ඒ නිසාම මං යන-යන තැන එල්ලාගෙන යන ‘හචා බෑගයේ’
තේ හැන්දකුත් තියෙනවාමය. ඒ කෑම කන්නටය.
ඒ කරුමයත් මන්දාරම් නුවරදී වාසනාවක් විණි.
මේ
සැප්තැම්බර් 13-14-15 දවස් තුනේ අප සිටියේ මන්දාරම් නුවරය.
හිතවත් ‘වල්’ ප්‍රියන්ත
ගමන සංවිධානය කරලා අපවත් ඊට එක්කාසු කරගත්තේය. අප 14 වෙනි සෙනසුරාදා රාත්‍රිය ගත
කළේ පිදුරුතලාගල කඳු මුඳුනේ හෙවණ යට මානයේ කන්දක උඩය; කූඩාරම්වලය.
ගමේ උදවිය
විනාඩි 20කින් නඟින ඒ ටික පැය1 ½ ත් 2ත් අතර කාලයක් අරගෙන නැඟලාත් අපට හතිය.
මල්ලී..... බැරිද අපට තේ ටිකක් හදාගන්න වතුර උණු කරගන්න? |
‘අනේ ටෙන්ට්
ගහන මල්ලී.... බැරිද අපට වතුර ටිකක් උණු කරලා දෙන්න... අපට තේ හදාගන්න?’
කියන
පමාවෙන්ම ඒ මල්ලිලා දෙන්නා ලොකු මුට්ටියකටම වතුර ළිප තැබුවෝය.
තේ හදන්නට ගියේ මැණිකාය.
“සේරම ගෙනාවා.... හැන්දක් ගෙනාවේ නැහැනේ.... ආාාාා නිමල් අයියේ, ඔයාගේ බෑග් එකේ තියෙන හැන්ද දෙනවද
තේ ටික හදාගන්න.”
එදාත්,
පහුවදා උදෙත් තේ හදන්නට පිහිට වුණේ ඒ හැන්දයි. ‘ඔය හැන්ද තම්බලා ගනියෝ!’ එකෙක්
කඩුලු කතාවකුත් කිව්වේ මුහුණ හංගාගෙනය. ඒවා කියන්නේ මාව අවුස්සන්නටය.
බැරි-බැරි
ගාතේ ගාට-ගාටා කන්ද නඟිද්දීත්, තේ හැන්ද දෙද්දීත් රාජමනි අංකල් හිනැහෙමින් මා ළඟ
හිටියේය.
බැරි වැඩ; එපාවෙන වැඩ කියලා දෙයක් ලෝකෙ නැහැ නිමල්! |
“නිමල්,
බැරි වැඩ - එපාවෙන වැඩ කියල දෙයක් නැහැ.
එහෙම හිතාගත්ත ගමන්ම ඔයාට වැඩියෙන්
එපාවෙන්න ගන්නවා.
මේක ඔයාට කරන්න තියෙන වැඩක් නම් upset mood එකක් හදාගෙන වැඩේ
තවත් අමාරු කරගන්නේ ඇයි? මේකත් තව duty එකක් විතරයි කියලා පටන් ගන්න..... That is
the Life!”
ඇත්තය.
සහතික ඇත්තය. අංකල් එහෙම කිව්වේ මං හොඳටම එපාවුණු මූඩ් එකෙන් හිටි ඉරිදාවකය.
වැඩට යන
නිසා ඒ දවස්වල මං කරන්නේ, සතියකටම අඳින්නට ඇඳුම් මැදලා තියන එකය. හැබැයි ඒක පටන්
ගන්නේ හරකෙකු මස් මඩුවට දක්කනවාට වඩා අමාරුවෙනි.
මට එපා කරපු අනෙක් රාජකාරිය ඉඳුල්
ගඳ ඉහිලීමයි. ඉතින් වළන්-පිඟන් සෝදන රාජකාරියත් පුළුවන් තරම් කල් දමමින් ඉඳලා පටන්
ගැනීමය මගේ සිරිත වුණේ.
දවසක් ඒ ගැන
කියවුණාමය, රාජමනි අංකල් මට අර උපදේශය දුන්නේ!
අමාරුව වැඩියෙන් දැනෙන්නේ අපේ ආකල්පයන් හොඳ නැති නම්ය! හිත ඇති නම්.......... |
දැන් මා
කරන්නේ අප්‍රසන්න- අකැමැති රාජකාරියක් කරන්නට වුණාම, පරක්කු නොකර එය ඉවර කිරීමයි. ඇඳුම්
මැදිල්ලක් නම් මගෙන් කෙරෙන්නෙම නැත්තේ, දැන් මා ටී ෂර්ට්වලට ඇබ්බැහිවී ඉන්නා
නිසාය.
ඒත් මාසයකට
වතාවක්-දෙකක්වත් කට්ටියක් අපේ ගෙදරදී මධු සාදයකට එකතු වුණාම dish washing කරන්නට
වෙයි.
කාලා- ඊටත් වැඩියෙන් බීලා, එයාලා හැම එකාටම ‘බායි’ කියලා (බිව්වාම එහෙමනේ!) සමුගන්නා
අතරේ, මං සේදුම් රාජකාරියෙන් තුන්කාලක් විතරම කරලාත් ඉවරය!
රාජමනි අංකල් අපේ
ගෙදරදී; මා අසලදී තවමත් අමරණීය වෙලා ඉන්නේ එහෙමය!
ඔයාලාට එහෙම
අය හමුවෙලා නැතිද?
නිමල්
දිසානායකට නම් එහෙම මිනිසුන් අනන්තවත් හමුවී තිබෙයි. තවමත් හමුවෙයි. ඒ හැමෝගෙන්ම
ගන්නට යමක් තිබෙයි. ඒ උවමනාවෙන් හොයනවා නම්; උවමනාවෙන් බලනවා නම්; උවමනාවෙන්
ඇහුම්කන් දෙනවා නම් විතරය.
ජීවිතය හැඩ ගැහෙන්නේ ඒවායිනි. අපේ මානුෂීය සබඳතාවලිනි.
ඒවා වැඩිවෙනවාය කියන්නේ දැනුම් ගබඩාවල් වැඩිවෙනවා කියන එකය!
අජිත් ධර්මකීර්තිගේ 'ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ' පොත ගැන මට මුලින්ම කිව්වේ........ |
නිදිගෙ පංච
තන්තරේ නිසාත් මගේ හිත-මිතුරන්ගේ සංඛ්‍යාව ඉහළ යයි. අලුත් මානුෂීය සබඳතා ඇතිවෙයි.
මට නම් ජීවිතයට වටින්නේ ඒවාය; සැබෑ
හිතවත්කම්ය.
කොළඹ ගමයා -
අජිත් ධර්මකීර්ති ඉන්නේ ලන්ඩනයේය. ඉගෙනගෙන තියෙන්නේ සෝවියට් දේශයේය. ‘කොළඹ ගමයා
බ්ලොගය’ ලියා ‘බොග දමන්නෙකු’ වුණු අජිත්ගේ තෙවෙනි මුද්‍රිත කෘතිය ‘ප්‍රථම ප්‍රේමය
ඔබ නොවේ’ ගැන මුලින්ම මට කිව්වේ ‘කොළොම්පුරේ’
අසංග රණසිංහ ආරච්චිය.
“අජිත්ගේ පොත දොරට වඩින්නේ 21.... සෙනසුරාදා හවස,
රසියන් කල්චර් සෙන්ටර් එකේදී. නිමල් අයියත් එනවද?”
අවුරුදු
ගණනාවක්ම ‘අසනීපය නිසා ගෙටවෙලා ඉන්න’ නිදි දැන් එහෙම ඒවාට යන්නට මැලිය. ඒ අතරේ
තවත් කෝල් එකකි.
මට මේ පලදෙන්නේ රාජමනි අංකල් වෙනුවෙන් මා කළ දේවල්වල කුසලයද? |
“නිමල්, ඔයා
අජිත්ගේ පොතේ දොරට වැඩුමට යන්න කැමතියි නං මං ඇවිත් ඔයාව pick කරගන්නම්. ඉවාන්
පවුලූශාත් යනවා. බ්ලොග්කාරයෝ ගොඩක් එනවා... ඔයාට එයාලව අඳුනගන්නත් පුළුවන්....”
අලුතින් හඳුනාගත් Pra Jayට කරදර කරන්නේ කොහොමද කියලාය මට හිතුණේ.
මට මේ
පලදෙන්නේ රාජමනි අංකල් වෙනුවෙන් ඉටු කළ දේවල්වලට හිමිවුණු කුසලයක්ද? එදා එක්තැන්වී
හිටියේ ඔහුය; උදව් කළේ මාය.
අද උදව් අවශ්‍යව ඉන්නේ මාය......
“.....
මොනවද හිතන්නේ? මට කරදරයක් නෙවෙයි, ඔයාව ගන්න එන එක. යන්න කැමතියි නම්....”
ඉතින් Pra
Jay ගෙදරටම විත් මාව කාරයේ නංවාගත්තේය. වාහන තදබදයේත් එක හොඳක් මට තේරුම් ගියේ
එදාය. පැය එකහමාරකට කිට්ටු ගමන අපට ‘එකම ශාස්ත්‍රීය සංවාද මණ්ඩපයක්’ විණි.
'ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ' දොරට වැඩුම දවසේ මා නොහඳුනන බ්ලොග්කරුවන් රැසක්ම... (foto- ප්‍රසන්න මුදුන්කොටුව) |
‘බ්ලොගර්ස් ඊව් ’ හැන්දෑවෙදී හඳුනාගත් පිරිවරෙන් බාගයක්ම එහි වූහ. නාඳුනන හැමෝම මට අඳුන්වා දුන්නේ Pra Jay සහෘදයායි.
“එදා මට
කාටවත්ම පොතක් නොමිලේ දෙන්නවත් ඕනේ වුණේ නැහැ,” පහුවදා හවස අපේ ගෙදරදී අජිත්
කීවේය.
“එහෙනම් ඔයාගේ පොත නොමිලේ ලැබුණු එකම කෙනා මමයි!” මම කීවෙමි.
දොරට වැඩුණු
‘ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ’ පොතක් මිලදී ගැනීමටවත් මට වෙහෙසෙන්නට ඉඩ නොදී ‘ඉයන්ගේ
අඩවියේ’ ඉයන් ඔහුගේ ගණනේම මටත් පොතක් ගෙනවුත් දුන් නිසාය, මං එහෙම කිව්වේ.
වඩාත්ම මගේ
සිත්ගත් අංගය වුණේ විද්වතෙකු- කථිකයෙකු ලෙස පසිඳු ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන
ගිටාරය වයමින් ගැයූ රුසියානු ගීතයයි!
ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනයන් ගිටාරය වයමින් රුසියානු ගීයක් ගයද්දී ...(foto- ප්‍රසන්න මුදුන්කොටුව) |
Pra Jayගෙ
උදව්වෙන් මට වුණු ලොකුම වාසිය කොළඹ ගමයා, ඇවිද්ද පය, තරුරසී, තට්ටයාගේ කොලම,
රසිකොලොජි වැනි බ්ලොග්කරුවන් රැසක්ම මුණගැහෙන්නට, හඳුනාගන්නට අවකාශ ලැබීමයි!
(ඔයාලා දන්නවනේ, වෙලාවකට මාත් ටියුබ් ලයිට් එකක් තමයි. එවෙලේ හම්බවුණු තවත් අය
හිටියත් එයාලගෙ නම් missing; එවෙලේ ලියාගත්තේ නැති වැරැද්ද!)
මටත්
ඩිමෙන්ශියාවවත්ද?
පෙරේදා දේවල් අමතකයි. ඒත් අවුරුදු 30-40 පරණ දේවලුත් අද ඊයේ
වගෙයි. චමිඳුට කොහොමද දන්නේ නැහැ, අවුරුදු
දහයකට විතර ඉස්සෙල්ලා සිදු වුණු දෙයක් මතක හිටලා තිබුණේ?
ජූලි හතයි,
මළ කෙළියයි. ඒක අදම ලියන්න බැරි තරම් දිග- වෙනම කතාවක්නේ.... ඊළඟට ලියන්නම්, හොඳේ!
මිනිස්සු අතපය නැති හෝ අවසඟ වෙද්දි එයාලගේ පරිකල්පන පැත්ත වැඩිවෙනවා. අත් දෙකක් නැති මිනිහා කකුල් දෙකෙන් වැඩ ගන්න බලනවා එත් අත් දෙකයි කකුල් දෙකයි තියෙන අපි මොකද කරන්නේ?
ReplyDeleteඅපේ පොඩියට දාපු බ්ලොග් ගල් හමුව ගැනත් දාමු නේද?
වෙනම නම් ලියවෙන එකක් නැහැ. දැනටම ටිකක් ලියවෙලානේ අසංග.
Deleteඇඳුම් මදින එක ලෝකෙ තියන අමාරුම වැඩක් තමා.
ReplyDeleteබලාගෙන ගියාම තව ඉන්නවානේ Pra Jay.
Deleteඅහසෙන් එන කසුන්ටත් එහෙමලු දැනෙන්නේ.
මට රෙදි හෝදන්ඩ නං පුළුවන් අව්වේ වනන්ඩයි මදින්ඩයි නං අම්මේ...මතක් වෙනකොටත් අප්පිරියයි අප්පා.....ඇත්තටම බ්ලොග් ලියන අයගේ හමුවීමක් තිබ්බනං හොඳයි නේද?
Deleteලොකු, ට්‍රිප් එකක් ගිහින් ආවම විතරයි මට එකවර රෙදි ටිකක් වැඩියෙන් හෝදන්න වෙන්නේ.
Deleteහැමදාම උදේට නාද්දී කලින් දවසේ කිළුටු සේරම හෝදනවා, එකතු වෙන්න නොදී. එතකොට ඉතින් වනන එකත් මහා දෙයක් නෙවෙයි. නාන අතරේ රෙදි හෝදන එකෙන් වතුරත් ඉතිරියි.
අපේ හමුවීමක් තිබ්බා නං හොඳයි තමා. බලමුකෝ තව කැමති අය....
https://www.livescience.com/42891-short-term-memory-loss.html
ReplyDelete//වැඩට යන නිසා ඒ දවස්වල මං කරන්නේ, සතියකටම අඳින්නට ඇඳුම් මැදලා තියන එකය. හැබැයි ඒක පටන් ගන්නේ හරකෙකු මස් මඩුවට දක්කනවාට වඩා අමාරුවෙනි.// මටත් මේ වගේමයි.
ReplyDeleteගොඩාරියක් ස්තුතියි කසුන්!
Deleteබ්ලොග් ලියන ඔක්කොමලම මේ වගේ ඇඳුම් මදින්න කම්මැලි අයද දන්නේ නැහැ.
I think you have met local Stephen Hawking, it is so strange how easy you have taken this disable man into your house/life. These days people abandon their parents in bus stops. I am sure good karma will follow you wherever you go.
ReplyDeleteI wish I was in Sri Lanka to meet some of the bloggers, you met.
Long time ago (in Singapore) friend of mine bought a book called 'Brief History of Time' we had long session of BLOCK GAL about his 'Big Bang theory' this was all like Greek to me at the time in a drinking session. I have seen 2 movies resonantly about hawking's life.
විජේබාහු මහත්තයෝ, ඔබ හරියටම හරි!
Deleteදැනුයි මට පත්තු වුණේ. ලෝකල් ස්ටීවන් හෝකින්! රාජමනි අංකල්ට නියමම ගෞරවයක්. මට දැනෙන්නෙම එයා සසරේ හමුවුණු කෙනෙක් වෙන්නැති, මට උදව් කරන්න හිතුණේ.
මේකේ අවුල තියෙන්නේ උඩ ඉඳල සෑහෙන ස්පේස් එකක් තිබිලා තමයි පොස්ට් එක පෙන්නන්නේ.. මට තවම පෙන්නේ එහෙමයි.. අනිත් අයට කොහොමද දන්නේ නෑ.. මේ සම්භන්දව විසේසඤ උපදෙස් පැතුවේ නැද්ද?
ReplyDeleteආ.. මේ.. මාත් එදා ඇවිත් හිටියා ඈ! :))
කමි, තවම නම් අපි දෙන්නට විතරයි අවුල තියෙනවා වගේ පෙනෙන්නේ.
Deleteඔයාගේ නම නොතිබ්බට ඔය ඉන්නේ මහ කළු සිංහලයා වගේ! ඔයාලා අස්සේ මාව හෙම පෙනෙන්නේ කුරුපුන්චලා ගන්නට.
කමියා මටත් එහෙමයි. මම හිතුවේ පොස්ට් එක නැහැ කියල. තුන් හතර පාරක් ඇවිත් ගියා කලින්.
Deleteස්තුතියි අජිත්,
Deleteකමි- හැමෝගෙම කම්පියුටර්වල මෙහෙම ස්පේස් එකක් නොපෙන්වන එකයි හිතාගන්න බැරි. ලක්මාල් (අටං)හොයා බලන්න එන්නම් කිව්වා. කොහෙද, මේ දවස්වල තිසේම වැහිනවනේ- විදුලි කොටමින්.
ප්‍රියන්ජන් සුරේෂ් හිතවතා කිව්වා සමහරවිට දින කිහිපයකින් මේ අවුල හරියන්නටත් ඉඩ ඇති බව.
දැනට නම් මේ ගැන කිව්වේ අජිත්, ඔයයි කමියි විතරයි. මගෙත් එහෙමමයි- ස්පේස් තියෙනවා.
ආ මද්දාටත් එහෙමලු.
Deleteයකා පොල් කන්නා වගේ මූණ තියෙනවා දැක්කා දාපු පොටෝ එකක.
ReplyDeleteඋඹට විතරක් නෙමෙයි වාගේ මට පේන්නෙක් එගෙම තමයි
යකඩෝ උදාර! යකා පොල් කන්නා වගේ!! මරේ මරුනේ. සත්තයි, පළමු වතාවට හමු වුණේ.....
Deleteයක්කු ගැන නිතරම කියන යහළුවෙකුත් ඉඳහිට හමුවෙනවා. පොරගේ හොඳම යෙදුමක් තමා 'යකා පට ගහගනින්!' මිනිහටත් මේ යෙදුම කියලා දෙන්න ඕනි.ස්තුතියි.
අයියන්ඩි පොඩි අවුලක් උඩ තියන ලින්ක් වෙනුවට තඩි ස්පේස් එකක් ඇවිදින්. ටිකක් බලන්න වෙයි.
ReplyDeleteමධු. මගෙත් ඔහොම තමයි පෙන්වන්නේ. තඩි space එකක් එක්ක. කමිගෙත් (කල්‍යාණ මිත්‍ර) එහෙමලු. ගිය සතියේ ඉඳලා මේක තියෙන්නේ. තවම හොයනවා මේකට මොකක්ද කරන්න ඕනේ කියලා.
Deleteස්තුතියි එදා ඇවිත් ගියාට . ස්තුතියි ඊට පස්සේ දවසේ නියම බ්ලොග් කට්ටිය හමුවේ පාටියට උදව් කලාට , නෙවිල් ටත් එක්කම. නියම සංගීත ලෝලියෙක්.
ReplyDeleteඔයා නිසා විනෝදවත් හැන්දෑවක් කාටත් ලැබුණා, අජිත්. ස්තුතියි හැමෝම වෙනුවෙන්!
Deleteමං මේ අජිත්ගේ පිිහිටෙන් ඇවිල්ල බැලුවා. මොන හුයන්නක්ද තට්ටයට ලින්ක් එක වැරදිලාද කියල කෝකටත් බලන කොට අර සුදු හූනා මහත්මයාගේ පින්තුරේ ලාවට දැක්කේ. මාවත් මතක නෑ කියන්නෙ ඩිමෙන්සියාවේ හොඳ එය ඔවාට
ReplyDeleteගොඩාක් ස්තුතියි අජිත් ධර්මකීර්ති වගේ ප්‍රවීනයෙකු දාලා තිබුණු ලින්ක් එකෙන් ඇවිත් හරි ඔබ වැනි බ්ලොග් හසලයෙකුත් මෙහාට එන්න කාලය වය කළාට. ආයේ මෙහාට ගොඩ වදින්න!
Delete[බැරි වැඩ - එපාවෙන වැඩ කියල දෙයක් නැහැ.
ReplyDeleteඑහෙම හිතාගත්ත ගමන්ම ඔයාට වැඩියෙන් එපාවෙන්න ගන්නවා.
මේක ඔයාට කරන්න තියෙන වැඩක් නම් upset mood එකක් හදාගෙන වැඩේ තවත් අමාරු කරගන්නේ ඇයි? මේකත් තව duty එකක් විතරයි කියලා පටන් ගන්න] මෙන්න මේක අපේ අම්ම නිතර කියන දෙයක්... මොන වැඩේ කරන්න ගියත් අපි කෙඳිරි ගානවනම් අම්ම මේ ටික කියන්නේ මෙහෙමයි ...
"ඔය කෙඳිරි ගගා ඉන්න වෙලාවේ ඕක කළා නම් මෙලහට ඉවරයි... අමාරු වැඩ කියල දේවල් නැහැ .. ඕනේ එකක් තමන්ට කරන්න තියෙන තව එක වැඩක් විතරයි කියල හිතල කරලා දාන්න..." වැදගත්ම දේ තමා ඔහොම කියල අපි මොනවා හරි කරලා ෆේල් වුනත් කියන්නේ .." ආ ෆේල් නම් ආයේ කරන්න ... ෆේල් වෙන එක මහ දෙයක් ද .. " හෙහ් හෙහ්
මාත් අජිත් ගේ ලින්ක් එකෙන් මේක දැක්කේ ... මේවා කියවන්න ආස හිතෙනවා...
ස්තුතියි පැතුම්!
Deleteඔයාලගේ අම්මලා, රාජමනි අංකල්ලා වගේ අය සමකාලීනයෝ වෙන්නැති, ඒ කාලේ අය ළඟ අර වගේ 'උපදේශාත්මක අත් බෙහෙත්' එමට තිබුණානේ!