අකුරු මැකී නෑ

Thursday, September 26, 2019

මෝස්‌තර එක්ක හත් වසරක් - දහඅටවෙනි කොටස

අපේ ඉසව්වේ වන්දනා ගමන්වලට නම් දරා හිටියේ නැන්සි අක්කාය. මා පළමුවරට සතියක වට වන්දනාවක ගියෙත් ඇය එක්කය. (ගියවර කොටසේදී කියූ සිරියා හිටියෙත් නැන්සි අක්කලගෙ වත්තේ ගෙදරකය.) 

සතියේ වට වන්දනා ගමනට අයකිරීම වුණේ රුපියල් පහළොවක්, හාල් සේරුවක්, පොල් ගෙඩියක්..........
මං හිතන්නේ ඒ 1965-69 අතර කාලයේ වෙන්නට ඕනෙය කියලාය. 

ගමනට අපේ ගෙදරින් ගියේ සීයාත් මාත්ය.  ලොකු එක්කෙනෙකුට අයකිරීම රුපියල් 15ක්, හාල් සේරුවක් හා පොල් ගෙඩියකි. මං ගියේ බාගයකට සල්ලි ගෙවලාය. ඒ වියදම් සේරම දැරුවේ අපේ ආච්චීය. යළිත් පතන්නෙමි. මා වට වන්දනාවේ යැවූ පිනම වුවද ප්‍රමාණවත්ය; දසනායක රත්නවතී උපාසිකා මාතාවට නිවන් සැප ලැබේවා!

බතික් වැඩපොළෙන් වට වන්දනා කතාවකට පීලි පැන්නේ සහේතුකවය. මොළේ කොලොප්පන් වෙලා හෙම නොවේ.

නැන්සි ආච්චිලා හැම අවුරුද්දකම පුරුද්දක් විදිහට සිරීපාදෙත් ගියෝය. ගියේ කුරුවිට පාරෙන්ය. ආවේ රත්නපුර පාරෙන්ය. 

එයාගෙන් ගුරු-හරුකම් අරගෙන, පළමුවෙනි වතාවේ මං නඩේ ගුරාගේ භූමිකාවට අවතීර්ණවී සිරීපාදේ ගමනක් සංවිධානය කළේත් ඒ විදිහටමය. ඒක වෙනම පෝස්ටුවක ලියන්නට වටියි.

මෙතැනට ඒක අදාළ වෙන්නේ එයින් පසු, හැම අවුරුද්දකම අප්‍රේල් මාසයේ, අවුරුදු නිවාඩුව අල්ලා සිරීපාදේ ගමනක් යාම අපේ පුරුද්දක් වුණු බැවිනි.

මේ ෆිෂින් හට්වල ඉඳලා සිරිපා කරුණා කරද්දීය. (foto- අයස්මන්ත පීරිස්)
“අනේ නිමල්, මාත් ඔය පාරවල් දෙකෙන්ම සිරීපාදේ කරුණා කරලා නැහැ. මෙදා සැරේ මායි ටෙරන්ස්සුයි දෙන්නත් සිරීපාදේ යන්න එන්නද?” බෙන්තොටදී සිරිසේන මුදලාලිගේ බිරිය; ඇන්ටි මගෙන් ඇසුවාය.

“කොච්චර එකක්ද? යමු ඇන්ටි යමු!” ගමන තීන්දු විණි.

1976 අප්‍රේල් 16 වෙනිදා පාන්දර 5,00ට තියෙන බදුලු බසයේ නැඟී කුරුවිටට... එතනින් එරත්නට .... එතැන ඉඳලා පයින්ම මළුවට! අපේ සැලසුම වුණේ ඒකය! 

(මතකද? ‘දුන්හිඳ අද්දර මාරකේදී’ කී විදිහට, ගෙදරින් පැනලා යන ගමනේදී සුන්නාත් මාත් බදුලු ගියෙත් ඒ බසයේමය!) 

හැම වසරකම ඒ ගමන යැවෙන නිසා අපේ ගෙදර අයව ඒ ගමනට එක්කාසු කරගෙන ගියේ මාරුවෙන් මාරුවටය. ගමනේ නිත්‍ය සාමාජිකයන් දෙන්නෙකු වුණේ සුනිලුත්, මාත්ය. 

“මේ සැරේ සීයයි, නෝනාවයි එක්ක යමු. ආච්චී ගිය සැරේ ගියානේ. තාත්තත් එක්ක අනිල්ලයි අම්මයි ආච්චියි ඉන්නවනේ!”

අපේ බතික් වැඩපොළේ ගැහැනු ළමුන් කිහිප දෙනෙකුත් ඒ සිරිපා ගමනට එකතු.............
බතික් වැඩපොළේ ගැහැනු ළමයි කිහිප දෙනෙක්ද ගමන යන්නට සූදානම් වූහ.

ඒ සේරම වෙද්දීත්, මම ටිකෙන්-ටික බෙන්තොට ගමේ කෙනෙක් බවට පත් වෙමින් සිටියෙමි.

“මෙච්චර කාලයක් මේ ගමේ ඉඳලාවත් මාව නාඳුරණ මිනිස්සුත් දැන් ඔහෙව දන්නවනේ ළමයෝ!” දවසක් මුදලාලි කිව්වේ නම් අතිශයෝක්තියෙනි. 
හැබැයි, සෑහෙන දෙනෙක් මා සමඟ හිතවත් වුණු බව නම් ඇත්තය. 

ඒ හිතවත්කම නිසාම මට හෙළිවුණේ බොහොමයක් මාපියන්ගේ හිත්වල තිබුණු අවුල් සහගත බවයි.

අම්මලා-තාත්තලා වගේ නොවේ. 
දරුවෝ; පිරිමි දරුවෝ වැල්ලටම ජීවිතය දෙන්නට පුරුදු වෙමින් හිටියෝය.

වැලේ වැල් නැතිව හිටි දුප්පත් පවුලක ලාබාල පිරිමි ළමයෙකුගේ ගෙදරක්, සුද්දෙකුගේ වියදමෙන්.........
“උන්ගේ අත-මිටට අපට  හිතාගන්නවත් බැරි තරම් සල්ලියක් හම්බ වෙනවා තමයි, හිටි ගමන්. ඒත් ළමයෝ..... අපේ එකා දැනටම බොන්නත් පුරුදු වෙලා... 
අමරෙගේ තාත්තට හොඳටම තරහ, දැන් අමරෙ රෑටවත් ගෙදර නෑවිත් සුද්දෙක් එක්ක හෝටලේම නැවතිලා ඉන්න එකට. 
අනේ මන්දා ළමයෝ, රටකින් රටකට තනියම එන්න ඇහැකි සුද්දෙකුට හෝටලේ ඉන්නත් ගයිඩ්ලා ඕනය?” එක අම්මෙකු විතරක් නොවේ ඔහොම විස්සෝප වුණේ!

මට දැනුණු විදිහට නම් ටෙරන්ස් වුණත් බීමට ඇබ්බැහි වුණේ ඒ කාලයේය. 

ඒ දවස්වල ටෙරන්ස් ඇතුළු වැල්ලේ කොල්ලෝ ගුරුවරුන් නැතිවම ඉංග්‍රීසි, ප්‍රංශ, ජර්මන් වගේ භාෂා කතා කරන්නටත්, රටට විදේශ විනිමය උපයා දෙන්නටත්, මත්පැන් පාවිච්චියටත් පුරුදු වූහ.

හිටි ගමන්ම සුද්දෙකුගේ ධන පරිත්‍යාගයෙන් ලාබාල පිරිමි ළමයෙකුගේ අබලන් නිවාසය කඩා බිම හෙළිනි. 
ගඩොලින් බිත්ති බැඳ, ඇස්බැස්ටෝස් sheets හෙවිල්ලා අපූරු ගේ පොඩ්ඩක් ඉදිවිණි. 
වැලේ-වැල් නැතිව උන් ඒ පවුලට කඩා වැටුණු ක්ෂණික වාසනාව බෙන්තොට ගමේ බොහොමයක් පිරිමි ළමුන් වැල්ලට අද්දවන කාන්දමක් විණි.

බුද්ධ රූප, අලි වැනි කළුවර ලී කැටයම් කපන කෙනෙකුත් සුසන්ත බතික් වැඩපොළට එකතු වුණේ............
සිරිසේන මුදලාලිගේත්, ඇන්ටිගේත් විරුද්ධත්වය මැද්දෙම ටෙරන්ස් ඇතුළු පිරිමි ළමුන් තුන් දෙනෙකු, කෙටි නිවාඩුවකට සුද්දන් එක්ක ජර්මනියටද කොහෙද ගිහින් ආවෙත් ඒ වකවානුවේය!

ඒ අව්-අස්සේ සිරිසේන මුදලාලි ‘සුසන්ත බතික්’ වැඩපොළට තවත් කොටසක් එකතු කළේය.

රූප කැපීම! වෙස් මුහුණු නොවේ. කළුවර බුද්ධ රූප, දේව ප්‍රතිමා, අලි-ඇතුන් වගේ කැටයම්..... 

ඒවා කළේ දෙල්කඳ හන්දිය හරියේ විසූ, අතිදක්ෂ බාස් උන්නැහේ කෙනෙකි. (නම නම් මතක නැත.) ඒ බාස් උන්නැහේ කළුවර කොට කෑල්ලක් දඬු අඬුවට හිර කරලා අතකොලුවත්, නියනත් අතට ගනියි. පැය කිහිපයකදී ලී කොට කෑල්ල ප්‍රතිමාවක් බවට හැරෙන හැටි බලාගෙන ඉන්නට ලස්සනය.

සුද්දන් විතරක් නොවේ, මාත් ඒ හපන්කම බලාගෙන හිටියේ ‘කටේ මැස්සන් රිංගද්දී’ය.

ඒ වගේම, ලස්සනට- ඇහුණත් ගර්භිනී වෙන ජාතියේ තිත්ත කුණුහරුප කියන්නටත් ඒ බාස් උන්නැහේ හපනෙකි. 
ගැහැනු ළමයින් හිටියා කියලාවත් ඒ මනුස්සයා තැකීමක් කළේ නැත. 
හැබැයි, සිරිසේන මුදලාලි ඉන්න වෙලාවක නම් ඉන්නේ ‘මීක්’ නැතිවය.

'සුළඟ මහමෙරක' ටෙලියේ වසන්තත් ලී කැටයම් කැපුවත් තවම දඬුඅඬුවක් නම් පාවිච්චි කළේ නැත!
මේ දවස්වල මාත් බලන, ‘සුළඟ මහමෙරක’ කියලා ටෙලි නාට්‍යයක් විකාශය වෙයි. (මට නම් එය හොඳය. හැම කොටසකදීම මාව හඬවන තරමට සංවේදීය!)

1989 කාලය පසුබිම් කරගත් ඒ කතාවේ ‘වසන්ත’ උපාධි ගහලාත් රස්සාවක් නැති නිසා, අර වගේ රූප කපන්නට පටන් ගනියි. ලී කැටයම් කරන තැනකට ගිහින් නැති හින්දා හරි, වියදම් අඩු කරගන්නට ඕනෑ හින්දා හරි තවමත් ටෙලියට දඬු අඬුවක් සම්ප්‍රාප්ත වුණේ නැත!  

ඔය කාලයේ; 1976 මුල, අපේ ගෙදර තත්වය තවත් උහුලාගන්නටම බැරි තැනට ඇවිත්ය. තාත්තාට දවසකට අරක්කු බෝතලයකුත් මදිය. 
ඒ දවස්වල මිනිස්සු බිව්වේ ෂැන්ඩි නැතිව වෙන්න ඇති. 
අපේ තාත්තා නම් බිව්වේ අමුවෙන්මය.

එතකොට තාත්තාගේ හැසිරීමේ කිසිම තර්කානුකූලකමක් තිබුණේ නැත.

දවසේ තුන් වේලෙන් එක වේලක්වත් එයා අපේ ගෙදරින් දෙන කෑම කෑවේ නැත. කෑවේ ආච්චිලා ගෙදරින් දෙන දෙයක් විතරය. 

හැබැයි, අරක්කුවලට - සිගරැට්වලට ගෙදරින් සල්ලි වියදම් කරවයි. ඒ සේරමත් හරිය, මට නම් යකා නැග්ගේ අරයා-මෙයා එයාට අඩුක්කු උස්සන් ආවාමය. එයාලා එහෙම කළේ මනුස්සකමටත් වඩා අමනුස්සකමටය; අපේ හොම්බට අනින්නට ලැබුණු chance එක අපතේ නොයවන්නටය.

හොම්බටම අනින්නට ලැබෙන chance එක මිස් කරගන්නට......

වැඩියත්ම එහෙම කළේ රංජිත් පී , නුගේගොඩ ඇන්ටි වගේ අයය. 

“ගුණපාල අයියට කෑම ටිකක් ගෙනාවා රංජි.” එහෙම කියන්නේ ඔලොක්කුවට වගෙය. නුගේගොඩ ඇන්ටි නම් එතැනින් නතර වෙන්නෙත් නැත. 

“එකතැන් වෙලා ඉන්න මනුස්සයට ගෙදරින් දෙන කෑමම කාලා එපා වෙලත් ඇතිනේ.” 

‘එහෙනං ඉතින් ඒ මනුස්සයව එහාට එක්ක ගිහින් නවත්තගෙන කවන එකනෙ ඇත්තේ’ වැනි උත්තර ඒ වෙලාවට මගේ කටට එන්නේ නිකම්මය. 
ඒත් ඒවා පිට නොකර ගල් බිල්ලා වගේ හිටි එක ගැන අදටත් මට මා එක්කම තරහය!

මක් කරන්නද? වැරැද්ද අපේ මිනිහා ළඟකොට. 
“මුන් මට සලකන්නෙ නැහැ. හරියට වෙලාවකට කන-බොන දෙයක් දෙන්නෙ නැහැ.” තාත්තා එයාලට කියන්නේ අපටත් ඇහෙන්නටය.

උහුලාගෙන ඉන්නටම බැරි  වුණේ මහා හයියෙන් කෙරෙන ශබ්ද පූජාවය!
තාත්තාගේ බීමත්, ගම්මුන් එක්ක අපට අවලාද කීමත් කමක් නැහැයි කියමුකො!

උහුලන්නටම බැරි වුණේ මහ හයියෙන් කෙරෙන සද්ද පූජාවයි. නමෝතස්ස... කරණීය මෙත්ත...... වගේ බුද්ධ වන්දනාවකින් පටන් ගන්නා ඒ පූජාව ටිකකින් රටේ නැති වල්පල්වලට මාරු වෙයි; 
පරණ කතන්දර, දේශපාලන විවේචනවලට ඈඳෙන්නට ගනියි. 

ඒකත් වැඩි වෙලාවක් රඳන්නේ නැත. ඊළඟට රටේ නැති කුණුහරුපය... අවලාදය....

තාත්තාට නොතේරුණාට ඒවා වැඩි හරියක්ම යාදිනි- අඳෝනා ගොඩට වැටුණු වෛර සහගත ලිංගික ශෝකාලාපය!

හිතාදර රසික පාඨකයනට ‘බීභත්ස්‍ය රසයක්’ දැනෙනවා නම් සමා වෙන්න. 
එහෙමත් නැතිනම් මා සුචරිතවාදී නොවෙන එක ගැන සමා වෙන්න. 

කසාද බඳින වයසේ වැඩිහිටි පුතෙකු වුණත්, තමන්ගෙ දෙමව්පියන්ගේ ලිංගික චර්යා ගැන කතා කිරීම අපේ රටේ උපාසකයන්ට ටිකාක් විතර odd වගේ වෙයි නේද?

අවුරුදු 22ක පුතෙකු වුණත්, තමන්ගේ දෙමව්පියන්ගේ ලිංගික චර්යාවන් ගැන ප්‍රසිද්ධියේ කතා කිරීම..........
එතකොට මට අවුරුදු 22කි.

කලිනුත් කියා ඇත්තෙමි. අපේ තාත්තා අවුරුදු දහසය වෙන්නටත් කලින් මදනයා ඔළුවටම ගහපු පුත්තරයෙකි! 
කසාදයක් කරගන්නා තුරු අවුරුදු 11ක්ම හොඳ-හොඳ කෙළි කෙළපු පුත්තරයෙකි!!! 
එයාට විසිහතේදී, (හොරට වයස කියලා) දාහතේ හිටි අපේ අම්මාව බැඳගෙන බාලාපරාධයක් කළ පුත්තරයෙකි!!!

එහෙම මනුස්සයාට එතකොට වයස අවුරුදු 49කි. 
එතකොටත් අපේ තාත්තාට සක්‍රිය ලිංගික ජීවිතයක් අවශ්‍ය වීම එහෙන්ය. 
අපේ අම්මා එංගලන්තයට යන්නට අවසර නොදීම ගැන තාත්තා එක්ක විතරක් නොවේ, තමන්ගෙම දූ-දරු කැලතත් එක්කම තරහෙන් හිටීම මෙහෙන්ය.

ඒ තරහව පිට වුණේ අපේ තාත්තාව ලෛංගිකව ප්‍රතික්ෂේප කිරීමෙන් බවය, තාත්තාගේ ශෝකී විලාපවලින් මට වැටහුණේ.

සුනිල්, ලොකු නංගී, සීයා, ආච්චී ... මේ හැමෝමත් ඒ කතන්දර නෑහුණා වගේ ලජ්ජාවෙන් ......
සුනිල්ටත් ඒවා තේරෙන්නට ඇත; ලොකු නංගීට ඒවා තේරෙන්නට ඇත.... 
ආච්චිට, සීයාට වුණත්... අපි හැමෝම මවුකිරි බීලා හැදුණු අය වීමු. 
මං වගේම ඒ හැමෝමත් මුනිවත රැකගෙන, ලජ්ජාවෙන් ඉන්නට ඇතිවා නිසැකය.

දයා ගමගේ වගේ උගත්, බුද්ධිමත් ඇමතිවරු ඒ කාලයේත් හිටියා නං..... 
ඒත් පවුල් ප්‍රශ්නවලට මැදිහත් වෙන්නට අමාත්‍යාංශයක් තවමත්  නැති බව සිහිවෙනකොට....

 “..... ඉදිරියේදී රාජ්‍ය සේවකයින්ට සිකුරාදා දිනයේ බතික් ඇඳුමින් සැරසී පැමිණීම අනිවාර්ය කිරීමට ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය දයා ගමගේ යෝජනා කර තිබෙනවා.

පෙරේදා (2019 අගෝස්තු 29) කොළඹදී පැවැති උත්සවයකදි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

රජයේ සේවකයන් සිකුරාදාට අනිවාර්යයෙන් බතික් ඇඳුම් අඳින්නට ඕනේ! 
අමාත්‍යවරයා සඳහන් කළේ මේ සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාවක් තවමත් සකස් කර නොමැති අතර ඉදිරියේදී එම කටයුත්ත සිදු කරන බවයි.

එමෙන්ම මෙරට බතික් කර්මාන්තය දියුණු කිරීම සදහා එම වැඩපිළිවෙල විශාල අත්වැළක් බව එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළා”.

අනේ සාදු!

ළඟකදී මේ පුවත දැක්කාම නං මට ඇතිවුණේ ලොකු චිත්ත ප්‍රීතියක්. දැන් මං බතික් නොකළත් ඒ කර්මාන්තය කරන අයට හරි යහපතක් වෙනවා නං කොච්චර ප්‍රීතියක්ද? 

‘ප්‍රීතිය’ කිව්වාමයි මතක් වුණේ.... 

මේ 15 වෙනි ඉරිදා හවස අජිත් ධර්මකීර්තියි තව බ්ලොගර්ස්ලා කිහිප දෙනෙකුයි අපේ ගෙදරට ආවා එයාලගෙ වියදමෙන්, මගේ අනුග්‍රහයෙන් පොඩි සුහද හමුවකට.
(මං කළේ ඉඩකඩ සපයලා දීමයි, නෙවිල්ව වාදනයට කැඳවලා දීමයි විතරමයි.)

ගායිකාවක් ප්‍රේමාන්විතව ජෝතිට කිව්වලු 'පෙම් සුව විඳිමු අපී' කියලා. එතකොට 'ප්‍රීතියක් ඇත්තෙ නෑ' කියලා....
අපි සිංදු කියමින් හිටියා. ‘හොඳ සිරියාවයි ආකාසේ’ ගීය කියලා ඉවර වුණා විතරයි. එක්කෙනෙක් (නම අහන්න එපා ඔන්න.) අතීත සිදුවීමක් සිහිපත් කළා. 

“ඔය සිංදුව කියලා ඉවර වෙලා ගායිකාවක් බොහොම ප්‍රේමාන්විතව ජෝතිපාලට කිව්වලු ‘පෙම් සුව විඳිමු අපී’ කියල. ජෝතිත් බොහොම sad mood එකකින්, සින්දුවේ කෑල්ලකින්ම උත්තර දුන්නලු ‘ප්‍රීතියක් ඇත්තෙ නෑ' කියලා!”.

එහෙම ප්‍රීතියක් නොව, කිසිම සතුටක් (අම්මට සිරිගජ- පවුල් සංවිධාන සංගමයෙන් ‘සතුට’ත් විකුණන්න තිබ්බනේ.)- 
කිසිම සොම්නස් හැඟීමක් නැතිව, මා මගේ දැවෙන ප්‍රශ්නවලට විසඳුමක් හොයමින් හිටියේ ඒ දවස්වලය!

බෙන්තොට හිටියත් මගේ හිත තිබුණේ ගෙදරය.
මට ඒ මළ-කෝලං දකින්නට වෙන්නේ සති අන්තයේ ගෙදර ගියාම විතරක් බව හැබෑය. 
ඒත් නංගිලා මල්ලිලා....? පවුලේ වැඩුමලා විදිහට, ලොකු අයියා විදිහට මංවත් තීරණයක් නොගත්තොත් - විසඳුමක් නොසෙව්වොත් එයාලා මොනවා කරන්නද?

අන්තිමේදී මා පිහිටක් සෙව්වේ මගේ මිතුරෙකු වුණු 'කොරල සුන්දරී'ගෙනි.............
අන්තිමේදී මා පිහිටක් සෙව්වේ ක්වින්ටස් අල්විස් වීරක්කොඩිගෙනි.

ක්වින්ටස් ගියෙත් විද්‍යාකර විද්‍යාලයටය. අප දෙන්නාම බොහෝවිට වැටුණේත් එකම පන්තියකටය. අපොස සාපෙට ගණිතය ගොඩ දාගන්නට මට උදව් කළෙත් ක්වින්ටස්ය.

මහරගම විසූ පැරණිම ගංකාරයෙකුවූ රෝබියෙස් අල්විස් වීරක්කොඩි එයාගෙ තාත්තාය. ඒ ගෙදරදී වුණත්, ඒ තාත්තා හිනාවුණේ නැති මිනිහෙකි.
එහෙත් 1970න් පස්සේ, මං UNP මැතිවරණ වේදිකාවල කථිකයෙකු වුණාට පස්සේ මනුස්සයා මාත් එක්ක හිනාවෙන්නට පටන් ගත්තේය. 

ක්වින්ටස්ගේ ලොකු අයියා විමලසිරිත් තාත්තා වගේම අලියෙකි.

වැඩ කළේ දුම්රිය දෙපාර්තමේන්තුවේ දෙමටගොඩ කර්මාන්ත ශාලාවේය. (දිගටම නිදිගෙ පංච තන්තරේ කියවනවා නම් කරුණාකර මේ නම මතක තියාගන්න.)

අපේ වත්තේ ගෙදරක් නං හිස්වෙලා තියෙනවා තමයි බං, ඒත්.... දන්නැද්ද  අපේ තාත්තා........
“අපේ වත්තේ ගෙදරක් නම් හිස්වෙලා තියෙනව තමයි බං. ඒත් තාත්තගේ හිතට හරි යන කෙනෙකුට මිසක් එයා ගේ දෙන්නේ නැහැ. උඹට ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ එයා ගැන...” 
මගේ අදහසට ක්වින්ටස් ඉස්සෙල්ලාම කිව්වේ එහෙමය.

මහරගම බුවෙනකබා මහා විද්‍යාලයට යාබදව, පරණ පාරේ දැන් තිබෙන කඩ පේළියේ මුල්ම කිහිපය තියෙන්නේ ක්වින්ටස්ලාගේ වත්තේය. 
ඉස්සර ඒ වත්තේ තිබුණේ ක්වින්ටස්ලාගේ ලොකු ගෙදරත් තවත් ගෙවල් කිහිපයකුත් විතරය. ඒ වත්ත ලොකුය. 
මහරගම පරණ පාරේ ඉඳලා රේල් පාර තෙක්ම විහිදුණේය.

“උඹ දන්නෙ නැතිවට දැන් උඹලගේ තාත්තා මගෙත් එක්ක හීනියට හිනාවෙනවා..... උඹේ අකැමැත්තක් නැතිනං, මං උඹලගේ අම්මට කියලා බලන්නද?”

“ඇත්තටම ඇයි බං නිමල්, උඹලගේ ගෙදරයි වැඩපොළයි තියෙද්දී කුලියට තව ගෙවල් හොයන්නේ....” ක්වින්ටස් ඇහුවත් මා ඇත්ත කතාව කිව්වේ නැත.

මං අපේ මහතැනගෙන් අහන්නං නිමල්! හැබැයි ඉතින්......
“මං අපේ මහ තැනගෙන් අහන්නම්. හැබැයි නිමල්... එයා මොනවා කියයිද කියල නම් මං දන්නෑ.... ඔය ළමයත් දන්නවනෙ උන්නැහේගේ හැටි.”

ක්වින්ටස්ලගේ අම්මා එහෙම කිව්වත් ඒ ගෙදර හැමෝගෙන්ම මගේ ඉල්ලීමට කැමැත්ත පළ වුණු නිසා වෙන්නැතිය; මරොබා කැමැත්ත දී තිබිණි; පොඩියට තාවකාලික බතික් මඩුවක් අපේ වියදමෙන් හදාගන්නටත්. 

(පන්තියේ ළමයි ක්වින්ටස්ව අවුස්සන්නට ඕනෑ වුණාම කිව්වේ ‘මරොබාගෙ - මහරගම රොබියෙස් බාප්පගෙ පුතා’ කියලාය. 
ක්වින්ටස්ගේ දෙපාවල එතකොට කොරල පිපී තිබුණු නිසා තවත් නමක් ඔහුට පටබැඳ තිබිණි. කොරල සුන්දරී’!  ඉස්කෝලවල එහෙමනේ.) 

ඊළඟට තිබුණේ අපේ අම්මට කියලා තියන එකය.

“අම්මේ, වැදගත් දෙයක් තියෙනවා කියන්න.... හැබැයි, හොඳ හිතින් කියන්නේ, මෙව්වා කාටවත්ම කියන්න ඕනෙ නැහැ. තව දිගට තාත්තගෙ මේ සමයං බල-බලා මට මෙහෙ ඉන්න බැහැ.... දැනට දැකපු මේ හරිය හොඳටම ඇති.... අම්මගෙයි තාත්තගෙයි ප්‍රශ්නවලට මට අත දාන්නත් විදිහක් නැහැනෙ... මං ගෙයක් කුලියට ගන්නවා අවුරුද්දෙන් පස්සේ.”

අවුරුද්දෙන් පස්සේ මම ගෙයක් කුලියට ගන්නවා............ අරන්.....
“කොහෙන්ද?”

“කොහෙන්ද කියල වැඩක් නැහැනේ.... හැබැයි අම්මව එක්ක යන්නෙ නැහැ. 
අම්මා මෙහෙ ඉන්න එපැයි, මරාගෙන කන්න හරි. ගෑනියි මිනිහයිනේ.... 
මං ගෙදර වියදම දෙන්නං.... ආච්චිලත් ළඟින්ම ඉන්නවනේ! 
නැත්තං වෙන්නේ මේ පොඩිවුන් ටිකට පිස්සු හැදෙන එක!”

එදා මට නොපෙනුණු; නොහිතුණු දේවල් පැහැදිලි වෙන්නේ දැන්ය. 

සුනිලුත්, අනිලුත් මා එක්කම අරන් ගියාම......, කකුල් දෙකම දණහිසටත් උඩින් කපා දමා තිබුණු තාත්තාව එහා-මෙහා ගෙනියන්නේ; නාවන්නේ; පිරිසිදු කරන්නේ කවුද? 
ගෙදර උයන්නේ-පිහන්නේ කවුද?

එතකොටත් අම්මා ඉවිල්ල නවත්තලාය. උකුණන් ලවා ගල් ඇද්දවීම පටන් අරගෙනය. 
උයන රාජකාරිය කළේ ලොකු නංගී පුෂ්පාත්, මානෙලුත් එකතු වෙලාය. 
එදා මට එච්චර දුර පෙනුණේ නැතිය.

මාත් හිතාගෙන හිටි තරම් පණ්ඩිතයෙක් නොවේ; පණ්ඩියෙකු පමණි!
ඒවාට අනුව හිතද්දී, මාත් හිතාගෙන හිටි තරම් smart පොරක් හෝ පණ්ඩිතයෙක් හෝ නොවේ! පණ්ඩියෙක් විතරය!

ඒත්, මම දැනගෙන සිටියෙමි. ක්වින්ටස්ලාගේ ගෙදරට නංගිලා-මල්ලිලා විතරක් යවලා බැරිය. සුනිල්ට සේරම කරන්නට හැකියාවක් නැත. මාත් එතැන සිටිය යුතුය. ඒකට බෙන්තොටින් එන්නට වෙයි; එහෙ රස්සාව අතාරින්නට වෙයි.

මං වැඩි-වැඩියෙන් අපේ ගෙදර තත්වය සිරිසේන මුදලාලිට කියා තිබ්බේ ඕනෑ කරන පසුබිම හදලා තියා ගන්නටය; අවුරුද්දෙන් පස්සේ සේරෝම දේවල් කරන්නට හිතාගෙනය. හරියටම පෙරහර එන්නට කලින් කසකාරයන් එනවා වගෙය.

එහෙම තිබියදීය ඇන්ටිත් ටෙරන්ස්තුත් අපත් එක්කම සිරීපාදේ යන්නට එන බව කිව්වේ!

අදට හොඳටෝම ඇති නේද!

16 comments:

  1. තාම බතික් වලට ඉල්ලුම අඩු උනත් මාකට් එකක් තියෙනවා නේද?

    ReplyDelete
    Replies
    1. අසංග, මට හිතෙන්නේ මිනිසුන් කවුරුත් කැමතියි නේද දුර්ලභ- වැඩියෙන් නැති දේවල්වලට.... unic දේවල්වලට. සල්ලි තමයි එකම ප්‍රශ්නේ....

      Delete
  2. අයියෙ බතික් වලින් පුලුවන්ද අපේ ලෝගෝ එකක් වගේ එකම විදියට පිරින්ට් කැන්න?
    ඔයා කියන ක්‍රමයටටමද තාමත් බතික් වෙන්නේ? ඒක පට්ට විදියට ශ්‍රමය යන වැඩක් නේ කෝමද කඩල් වල පාර අයිනෙ මෙච්චර අඩු ගනන් වලට ෂර්ට් එහෙම තියෙන්නෙ? ඒව ඔරිජිනල් බතික් නෙමේද?


    ඒත කොට ඒක තමයි සංචාරයන්ගේ ආරම්භය ඒ කතා ටිකත් (අ)පිලිවෙලට දාමු

    ReplyDelete
    Replies
    1. මධු, ඔයාලගේ (හරිම වර්ණ තියෙන) ලෝගෝ එකක් එවන්න. එතකොට ඒක බලලා මම අදහසක් දෙන්නම්. ඕනෙම දෙයක් බතික් වලදීත් කරන්න පුළුවන්. හැබැයි වියදම ගැනත් බලන්න වෙනවනේ.

      අනෙක කැපු රෙදි වෙන්න ඕනේ.

      සංචාරක කර්මාන්තය ගැන මගේ දැනීම අඩුයි. නමුත් මාස කිහිපයකදී, එහෙදී දුටු දේවල් ටික තමයි මේ කියැවෙන්නේ. (බෙන්තොට යන්න කලින් වස් කවි කීම- පෝස්ට්ස්වලදී කී තැනටත් ගොඩක් විදේශිකයන් ආවා. ඒ කියන්නේ) සංචාරක වැඩේට වුණත් සෑහෙන අතීතයක් තියෙනවානේ.

      මහත්තයෝ, දැන් බතික්වල මිල ගැන නම් මගේ දැනීම නිල්!

      Delete
  3. ඔය ලොකා සිරීපාදේ යන කාලේ මේ සිරි ලංකාදීපේ හුගක් දෙනා බොහොම දුක් විඳපු කාලයක්. ඒ අය උදේ දවල් රෑ නැතුව දෙවියන්ගෙන් ඉල්ලුවා මේ අකරහනි කාලයෙන් බේරලා දෙන්ඩ කියල. කිව්වම මොකද ලොකා මං ආතල් එකේ දිව්‍ය ලෝකේ ඉන්න එක නවත්තලා මෙහෙට්ට ආවේ ඊට පස්සේ...ඔය ලකා ගහගෙන ඉන්න එක වෙලාවකට මට එහෙමත් හිතෙනවා ලොකා....මොකද හිතන්නේ ඒක මානසික රෝගයක්ද?

    ReplyDelete
    Replies
    1. වාසනාවන්! මෙච්චර කාලෙකට බෝධිසත්වයන් වහන්සේ ඇරුණාම, පස් මහ බැලුම් බලලා ඉපදුණු උත්තමයෙක් දැකලා තිබුණේ නැහැ, අහලා තිබ්බෙත් නැහැ. මෙන්න බොලේ... එක්කෙනෙක්. කතා කරලා තිබුනට තවම අඳුනා ගත්තේ නැහැනේ.... ඊට පස්සේ නිගමනේ කරමු!

      Delete
    2. https://www.nationalgeographic.com/culture/2018/09/religion-psychic-medium-extraterrestrial-sunrise-dawn-valley-brasilia-brazil/

      Delete
    3. ලොකූ ඔහෙත් 76 ද?

      Delete
    4. සභාපතිතුමා අර ග්‍රීක කථාවල කියවෙන ඇට්ලස් යෝධයා වගේ මේ ලෝකෙ දරාගෙන ඉන්නෙ 76 ඉපදුනු අය තමා...හා නැද්ද කියන්නෙ?

      Delete
    5. @ලොකූ, අන්නේකයි.

      Delete
    6. Pra Jay.

      බ්‍රසීලය, ඇමෙරිකාව වගේ රටවල්වලත් සමහරුන්ට ආගමික උමතුව මේ තරමට තියෙන්නේ මානසික අසහනය හින්දද?

      Delete
  4. නිමල් අයිය සිරීපාදෙ යන්න ලෑස්ති කරල තියෙන්නෙ මම ඉපදුන අවුරුද්දෙනෙ දෙයියනේ.

    ඔය වගේ ගෙදර කචල් වෙලාවල් වලදි ඇඟිල්ලෙන් ඇනල සතුටුවෙන්න ලෑස්ති වෙලා ඉන්න මිනිස්සු නෑදෑයො අතරත් ඉන්නව.

    ReplyDelete
    Replies
    1. මොකද කරන්නේ. ඉපදෙනකොට අපි දන්නවය ඉස්සරහදී දැනහඳුනාගන්න අය ගැන.

      මිනිස්සු එහෙම තමයි ප්‍රසන්න. අනුන්ට රිද්දන්නම කැමති අයත් ඉන්නවනේ.

      Delete
  5. හිතට දුක් දෙන කතාවක් මේක

    ReplyDelete
    Replies
    1. මට මතක් වෙන්නේ චිත්‍රපට ගීතයක්, අජිත් මහත්තයෝ.

      ජීවිතේ ගංගාවකී - දෛවේ එහි දිය පාරකී
      ඒ ගඟෙහි පාවෙනා - පිදුරු කැබලිය ලෝ දනා.....

      Delete