රාජ-පස්සක් නැති නිදිට එදා වුණේ පට්ට අලකලන්චියකි ............ |
ඒ
දෙකම නොවුණු නිසා............
ඒ ටික තිබුණේ පහුගිය කොටසේය. ඉතින් ඒ
කාරණාවල් ද්විත්වයම ඉටුවී නොතිබීම කෙලින්ම; ඍජුවම බලපා තිබුණේ ‘රාජපස්සක්’ නොවුණු
නිමල් දිසානායකගේ පස්සටය; හරියටම කිව්වොත් ඉකිළි දෙකටය.
එහෙම වුණත් හංවැල්ලේ
පන්සලට යනකල්ම, පටිසන් දෙන්නට යන කරුමය ගැන නිනව්වක් මට තිබුණේ නැත.
කේන්දර
බලන (පළින නොවේ!) උන්නාන්සේ අපේ සුන්නාව සාදරයෙන් පිළිගත්තෝය. අපට ඉස්තරම්
තේ පැන් සංග්‍රහයකුත් ලැහැස්ති කෙරුණේය! “මහරගම ඉඳලාම සයිකල් පැදලා මේ මහත්තයාට
නම් හොඳටම මහන්සියි, අමාරුයි වගේ.”
ඒ වෙද්දී බේරී වුණු මුහුණත් එල්ලාගෙන වාඩිවී හිටි .................. |
ඒ
වෙද්දී මා මිටි බංකුවක වාඩිවී හිටියෙත් පස්ස රිදෙද්දී- මුහුණත් බෙරි කරගෙනය.
රිදුණාට මොකද, හරියටම අමාරුව තේරුම් ගියේ ආපහු සයිකලයට නැඟිලා වාඩිවෙන්නට හදද්දීය.
“ඌයි!”
“මොකද
රංජි අයියේ?” මහතුන් ඇහුවේය.
ඒ පමාවෙන්ම අපේ සුන්නාටත් කතා කළේය. “සුනිල් අයියේ,
ලොකු අයියට අමාරුයි වගේ.”
සුනිල්ටත්
ඉස්සෙල්ලා එතැනට කඩා පැන්නේ සෝමවීරයි.
“හඃ ලොක්කට කෙළවෙලාද?” ඔලොක්කුවට හිනාවෙමින්
එහෙම අහද්දී මට වගේම අපේ සුන්නාටත් යකා නැංගේය.
“නොදකින්
බූරුවා.... මොකද අයියේ.... අමාරුයිද?”
කාටවත් කළ නොහැකියි නම් චීනුන් එය කරනු ඇත! |
“කෙනෙකුට
යම් දෙයක් කළ හැකිද? එහෙනම් ඔබටත් එය කළ හැකිය! කාටවත් කළ නොහැකි දෙයක් නම් ඔබ එය
කළ යුතුමය. - ජපනුන් එහෙම කියනවාලු!
ඉන්දියානුවන්
කියන්නේ මෙහෙමලු: “ කාට හරි යමක් කරන්න පුළුවනි නම්, කරන්න දෙන්න! ඒත් කාටවත්ම
බැරි නම් මං මොනවා කරන්නද?”
ශ්‍රී
ලාංකිකයන් කියන්නේ:
“කාට
හරි යමක් කරන්න පුළුවනි නම් කීයටවත් මිනිහට ඒක කරන්න දෙන්න එපා. හැබැයි කාටවත්
කරන්න බැරි දෙයක් තියෙනවා නං චීන්නු ඒක කරයි!” කියලාලු.
ෂෙහාන් සචිත් share කරගත් පෝස්ටුවක් මගෙත් අවධානයට එවා තිබුණේය. උඩින් එබුවේ එහි මගේ
පරිවර්තනයයි. සෝමවීරත් ශ්‍රී ලාංකිකයෙකු හින්දා වෙන්නැතිය, එදා මට කෙඳිරි ගෑවෙද්දී
සතුටින් ඔකඳ වුණේ.
නොදැන වුණත් සෝමයා එදා මට කළේ ‘නව ජීවයක් දීම’ය.
“මට සයිකලේ
උඩ වාඩිවෙන්න බැහැ වගෙයි සුනිල්. මොනා කරන්නද.... ආවා නං යන්නත් එපැයි.... හැබැයි,
හෙමින් තමයි පදින්න වෙන්නේ.”
රේස් එකක් පදිනවා නෙවෙයිනෙ රංජි අයියේ..... |
පැපිලියානේ
රංජිතුත් ඒ වෙලාවේ හිටියේ කේන්තියෙනි.
“රේස් එකක් නෙවෙයිනේ රංජි අයියේ, හෙමින් හරි
යමු. සෝමේ අයියට පේන්නත් එක්ක.”
පස්ස ලෙලි ගියත් මහරගමටම සයිකලය පදින්නට හිතාගෙනය, මං
වහන්සේ ඒකට නැඟගත්තේ.
ඒත් ලෙහෙසි වුණේ නැතිය. මේ චණ්ඩි පුතයා ආයෙ ඒකෙන් නොබැස්සේ
නම් ලජ්ජා විඳින්නට බැරි හින්දාමය.
මගේ අම්මෝ එහෙම දුකක්! එහෙම දුකක් විඳගෙන හරි
සයිකලය පැද්දත්, හයිලෙවල් පාරේ දික් හැතප්මට එද්දී මට නිඳිමතකුත් ආවේය. නිදිගෙ නිඳිමත ගැන ඔයාලා දන්නවානේ.....
“අයියේ....
අයියේ... ඇස් වහගෙන කොහෙද තමුසේ ඔය පදින්නේ?” සුනිල්ගේ කෑගැහිල්ල හින්දය මං ඇස්
ඇරියේ.
එතැන ඉඳලා
සුනිල්ලාට මාව ගාඩ් කරගෙන යනවාට අමතරව තවත් රාජකාරියක් පැවරුණේය. ඒ මාව අවදියෙන්
තියාගෙන යන්නටත්ය. කොහොම වුණත් ගෙදර ඇවිත් සතියක් ගිහිල්ලාවත් මගේ ඉකිළි යථා
තත්ත්වයට පත් වුණේ නැත.
කෝකි බාස්ලා තෝරාගන්නට ගිය වෙලාවේ සෝමයාගේ උජාරු ගතිය අපේ වාසියට හිට්ටේය! |
එහෙම පජාති
වැඩ කළත් සෝමවීර නරකම කෙනෙකුත් නොවේ.
හැම කෙනා ළඟම හොඳ- නරක දෙකම තියෙනවානේ. ඉතින්
කැන්ටිමට කෝකි බාස්ලා ගන්නා හැම වතාවෙම ‘ඉන්ටර්විව් බෝඩ්’ එකේ රාජකාරිය කරමින්
සෝමයා අපට උදව් කළේය. එය වඩාත් ලෙහෙසියක් වුණේ උස-මහත සෝමවීරට තිබුණු පොලිස්කාර පෙනුම
හින්දාය.
පොලිසියේ සමහරුන් වගේම, බොරුවට පපුව පුම්බාගෙන උජාරුවට පෙන්නන්නටත් මනුස්සයා දක්ෂ බව මගේ හැඟීමයි.
ඒ මොනවා
කළත් ඒකාට නොගැළපුණු දෙයකුත් තිබුණේය.
එළුවා ආඩතෝඩවලට, පෝටා වැල්වලට තියෙනවා යැයි කියන පෙරේතකම වගේ ආශාවක් සෝමයා ළඟ බුලත් විටට තිබුණු හින්දාය, මිනිහාට ඒ පෙනුම ලැබුණේ.
“කොහේ,
කොහෙද වැඩ කරලා තියෙන්නේ?”
රැකියාව සොයා ආ කෙනාගෙන්, සෝමයා බුලත් විටකුත් හපන අතරේ
ගම්භීර හඬකින් අහයි.
සරමක්,
කමිසයක් ඇඳගෙන- සිමෙන්ති කඩදාසියෙන් තැනූ බෑගයක ඉතිරි ඇඳුම් දෙක තුනත් දමාගෙන
‘රැකියාවක් හොයා පැමිණි මනුස්සයා’ පිළිතුරු දෙන්නේ බයාදු ගතියකිනි. “අතන මෙච්චර
කාලයයි, මෙතන මෙච්චර කාලයයි....”
කුළු හරකුන් වගේ නාහෙට-නාහන.... (foto- විල්පත්තුවෙදී මිෂාන් රන්දික ගත්තකි.) |
සෝමවීරගේ
කරුමයටද, කළු අක්කාගේත් මගෙත් කරුමයටද මන්දා එහෙම බයාදු-නිවට ගති පෙන්නා කැන්ටිමේ
වැඩට එන කෝකියෝ දවසෙන්-දෙකෙන්ම වෙනස් වුණෝය.
තුත්තිරි ගස් අල්ලාගෙනවත් නැඟිටගන්නට
බැහැ වගේ හිටි ඒකලා, සද්දන්ත වනස්පතීන් වුණත් පෙරලන්නට සමත් හස්ති රාජයෝ බවට
රූපාන්තරණය වූහ!
කුළු හරකුන් වගේ නාහෙට-නාහන නුරුස්සන්නෝ වූහ.
“කළු අක්කේ,
ඔයාගෙත් හොඳ හිත වැඩියි. මුගේත් එහෙමයි.... යකෝ... ඔය ඔයා- මෙයා- බාස් උන්නැහේ
යාප්පු කතන්දර උන්ට හරියන්නෙ නැහැ බං. උන් එතකොට කරේ නඟිනවා. තොගේ අම්මට කියලා
ඉඳහිටලාවත් කියනවා නං .....”
සෝමයා උපදෙස් දුන්නත් අපෙන් එව්වා කෙරුණේ නැතිය.
නමුත් බොහොමයක් දෙනාට තේරෙන්නෙත් ඒ බාසාවම වගෙය. අද වටපිට බලද්දිත් පෙන්නේ එහෙම
බවකි!
අලුත්
ජනාධිපතිතුමා පත්වෙනවාත් එක්කම රටේ මිනිසුනුත් අලුතින් විනීත; නීතිගරුක; යහපත්
පුරවැස්සන්-පුරවැස්සියන් වෙලා වගේ නැත්ද?
අලුතින් පත් වුණු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා වැඩ අල්ලන්ටත් කලින්ම රටේ මිනිසුන් වෙනස් වුණේ.... |
“ඒ බයට
යකෝ!” එක මිත්‍රයෙක් කිව්වේය.
“එයාලගෙ
පක්ෂෙන් හිංදා.” තවකෙක් කියයි. මාව කරකවලා අත හැරියා වගෙය. ‘එතකොට මිනිසුන් වෙනස්
වෙලා නැතිද? සතර අගතිය... ඡන්දා- දෝෂා- භයා- මෝහා හරියට හරි නේද?’
වැරැද්ද
විශ්ලේෂණය කරගන්නටවත් අපට ඉඩක් ලැබුණේ නැතිය.
මාස දෙක යන්නටත් කලින් කෝකියන්
පස්-හය දෙනෙකුම රස්සාවට ගන්නට සිදු වුණේය. එකෙකු යනකොට තව එකෙකු.....
ඒ මිනිසුන්
එහෙම රස්සාව දමා ගහලා යන හේතුව අපට තේරුම් ගියේ ටිකෙන්-ටිකය. ඒකෙ කූඨප්‍රාප්තිය;
තේරෙන සිංහලෙන් කියනවා නම් climax එක උදාවුණේ අලුවා හැදිල්ලකදීය!
ආයතන කැන්ටිමක්
කරද්දී බත්-මාළුපිනි-තේ වගේ දේවල් විතරක් විකුණලා හරි යන්නේ නැත. ටෙන්ඩරය ලබාගන්නා
විටම ඒවාට නිශ්චිත මිලකුත් තීරණයවී හමාරය.
ලැයිස්තුවේ නැති, ඉක්මනට යන අයිටම්ස් ටිකකින් තමයි කීයක් හරි ........... |
“කිරි මාළු
නැඟල යනවා.... සව් දොදොල්වලටත් මෙයාලා කැමතියි.
-අලුවා... මසල වඩේ, හැලප වගේ
අයිටම්ස් ටිකක් හැමදාම හදවන්නම වෙනවා නිමල් මල්ලී....ඒවායෙන් තමයි පොඩි හරි ලාබයක්
එන්නේ......” සූර වෙළෙඳ ව්‍යාපාරිකාවක වුණු කළු අක්කා සතියෙන්-දෙකෙන් යෝජනා කළාය.
ඉතින්, එදා
කෝකි බාස් උන්නැහේ අලුවා හදන්නට ගත්තේය.
මනුස්සයා ඉල්ලලා තිබුණු සීනි, හාල් පිටි,
මහදුරුත් ගෙන්වලා දුන් මම ටික වෙලාවක් එතැනම රැඳී උන්නෙමි.
කෝකි බාස් හිටියේ පැණි
උණු කරන්නට සැරසෙමිනි.
ලොකු තාච්චිය රත්වී තිබියදීත් මිනිහා තාවර වෙවී හිඳීම මගේ
හිතට ඇල්ලුවේ නැත. වැඩියත්ම, මිනිහාගේ හොරගල් ඇහිඳීමය!
ඒකා කල්
මරන්නේ මං එතැනින් යන තුරු බව මට හොඳාකාරවම පෙනුණේය. මේකාට මාව එතැනින් යවාගන්නට
ඕනේ ඇයි? මමත් නොගියෙමි. ඒ විතරක් නොවේ නොයන බව පෙන්නුවාත් එක්කය!
මං එතැනින් පිටත් වෙන තුරු ඒකා කල් මරමින් ඉන්නා බව හොඳටම පෙනුණේය..... |
“බාස්
උන්නැහේ, තාච්චිය නං රත්වෙලා.... තවත් ළිප උඩම තියෙන්න ඇරියොත් ඒක පිච්චිලා යයි!
සීනි ටික පත්පැණි කර ගන්නනේ තියෙන්නේ.......”
මං එහෙම කිව්වේ මට උන්දෑගෙන් අලුවා
හැදිල්ල ඉගෙන ගන්නට ඕනේ නැති බව පෙන්වන්නටය. අපේ ආච්චිට; දසනායක රත්නවතීට පින්සිදු
වෙන්නට මා ඒවා ඉගෙනගත්තේ අවුරුදු පහළොවක් වෙන්නටත් කලිනි.
“ඔව්
මහත්තයා... මං විටක් කටේ දාගෙන ඉන්නයි හැදුවේ....” කියමින් මිනිහා තාච්චිය ළිපෙන්
බෑවේය. විටක් ඒදා ගන්නට පටන්ගත්තේය.
එතකොට එකට
විතර ඇත. මෙහෙම ගියොත් නං මේ සම්මජ්ජාතියෙදී අද තේ වෙලාවට අලුවා හැදෙන්නේ නැත.
මම කැෂියර් මේසය ළඟට
ගියෙමි. ඒත් එහෙම ගියේ මගේ කන්දෙකම කුස්සියෙන් නවත්තා තියලාය. විනාඩියක් ගියේ
නැත..... අන්න තාච්චිය ළිපේ.... ආයෙමත් ඒක රත්වෙන්නට වෙලාව දීලා නිමල්
කුස්සියට....
බාස්
උන්නැහේ සීනි බෑගය අතට ගත්තා විතරය. මං එතැනය. මිනිහා දැම්මේ නොපහන් බැල්මකි!
එතකොටය මේ මොට්ටයාට ගණ දෙයියෝ නුවණ දුන්නේ! |
ඊළඟට
සීනි ටික සේරම තාච්චියට හැලුවේ මගේ මූණට ගහනවා වගෙය.
දත කාගෙන, මොට්ට අහිංසක මුහුණ පාගෙන එතැනම දැවටුණා මිස මාත් මෑත් වුණේ නැත්තේ හොරයක් ගැන හිත කී නිසාවෙනි.
මිනිහා ආයෙමත් තාවර වෙයි......
එතකොටය මට
නුවණක් පහළ වුණේ.
කැන්ටිමේ තේ
කවුන්ටරය ළඟ තිබෙන කවුළුවෙන් කුස්සියේ සිදුවෙන දේවල් බලාගන්නට පුළුවනිය. මම
කුස්සියෙන් පිටතට විත්, හීන්සීරුවේ තේ කවුළුව ‘සී මැදුරු කවුළුවක්’ කරගත්තෙමි.
එහෙම කළේ කෝකියාට නොපෙනෙන විදිහට පරෙස්සම් වෙමිනි.
වටපිට
බැලුවත් මිනිහාට තේ කවුළුව හරහා බලන්නට කල්පනා නොවිණි.
ඒකා දඩිබිඩියේ පැණි හැඳි
හත-අටක් ළිප ළඟම තිබුණු අළු ගොඩට හැලුවේය. තාච්චිය ළිපෙන් බාලා පිටි කවලම් කරමින්
අලුවා හදන්නට මුල පිරුවේය.
“ඔන්න කළු
අක්කේ වෙච්චි වැඩේ! උන් කියන තරම් ගෙන්නලා දෙනවා මිසක්, අපි ගණන් හිලවු බැලුවේ
නැහැනේ. අද සීනි-පිටිවලට ගිය ගණනත් එක්ක අලුවා හදනවට වැඩිය ලාබයි නොහදා නිකම්
ඉන්නවා නම්..... මොකද මේකට කරන්නේ?”
වෙන මොනවද? පර බල්ලට කණට දෙකක් දීලා........... |
“වෙන මොනවද?
පර බල්ලට කණට ගහලා එළවනවා මිසක්?”
අපේ
සාකච්ඡාව ඇති වුණේ බාස්ලා අපේ කැන්ටිමේ එක දිගට නොරඳන කරුණ ගැනය. කැන්ටිම වඩා විශාල නැති නිසා උන්ට
හොරකම් කරන්නට ලැබෙන්නේ අඩුවෙනි. එයාලා පඩියටත් වැඩියෙන් උපයන බවක් පෙනුණේ
හොරකමෙනි! එයට ඉඩ ඇහිරෙයි නම්.... එය ප්‍රමාණවත් නැති නම්.........
“එතකොට තව
බාස් කෙනෙක් අරගන්න ආයෙම පත්තරේට දැන්වීමක් දාලා, දවස් ගණනක් බලා ඉන්න වෙනවනේ කළු
අක්කේ....”
“හරි... තව
දවස් දෙකක් දෙන්න. වෙස්ලි එකට එළවලු දාන වැඩෙයි, අනිත්වයි පිළිවෙලක් කරලා මමත්
එනවා කැන්ටිමේ නවතින්න.... සුමානෙකට විතර. ඒ අතරෙ නිමල් මල්ලිට උගන්වන්නම් උයන
විදිහ.
-සේපාල, රංජි වගේ කට්ටියට වැඩකුත් නැහැනේ කැන්ටිම වැහුවට පස්සේ.
-එයාලට කියමු
එළවලු සුද්ද කරලා, කපල කොටල දෙන්න. උන් දෙන්නට තව කීයක් හරි දුන්නත් මොකද මල්ලී,
කෝකි පඩිය ඉතිරි වෙනවනේ.....”
අපේ ආච්චිගෙන් කොණ්ඩ කැවුම් හදන්නට පවා ඉගෙනගෙන හිටි .......... |
මේ ලියන
නිමල් දිසානායකයා උයන්නට ඉගෙනගත්තේ එතැන හිටය.
ඊට කලින් අපේ ආච්චීගෙන් කොණ්ඩ
කැවුම් පවා හදන්නට ඉගෙනගෙන තිබුණත්, මං බතක් මාළු-පින්නක් පිසින හැටි අහගෙන තිබ්බේ
නැත. ඉතින්, කළු අක්කේ- ඔයාට පිං, අඩු නැතිව ශිල්ප දුන්නාට!
කැන්ටිමට
අවශ්‍ය ඉඳියාප්ප තැම්බුවේ පැපිලියානේ රංජිය. දවල්ට තේ පැන්ට්‍රියේ වැඩ කරන රංජි
කෝටුකිතයියෙකි.
හැබැයි යකාටවත් බය නැති, කඩිසර, විශ්වාසවන්තයෙකි.
දෙමටගොඩ
කැන්ටිමේ අපේ පාරිභෝගිකයන් අතුරෙන් කිහිප දෙනෙකු කැන්ටිමේම පදිංචිවී හිටියා යැයි
කිව්වත් වැරදි නැති තරම්ය. එයාලා කැන්ටිම අරිනකොටම එති, එහා කොණටමවී හිමිදිරි
පාන්දරම සූස්ති උරති; අටහමාරට විතර වැඩපළට ගිහින් පැය භාගයකින් විතර ආයෙමත් එති.
ඇත්තටම වැඩක් කියලා දෙයක් නම් නොකරපු ගානය.
මා දුටු විදිහට නම් එයාලගේ ලොකුම
රාජකාරිය- දේවකාරිය තිබුණේ ‘ත්‍රෛලෝක විජයපත්‍ර’ එක්කය.
එයාලා කළ ලොකුම රාජකාරිය දවස තිස්සෙම 'මල්'............ |
“අනේ බුදු අයියේ.... අර තේ දාන යකාට කියලා තියන්නකෝ අපිට තේ දාද්දි සීනි ටිකක් වැඩියෙන් දාලා
දෙන්න කියලා.....”
තේ ටෝකන් ගනිද්දී එයාලාගෙන් කියවෙනවාමය. එහෙම වෙලාවට මගෙනුත්
රංජිට උපදෙස් ලැබෙයි. ඉතින්, රංජි කරන්නේ තේ හැන්ද සීනි එකේ ඔබලා එය ජෝගුවට දිය
කිරීමය.
යකුන් පුච්චන; මල් ගහන උදවියට ඒත් මදිය!
“මල්ලී....
තමුසේ සීනි ටිකක් වැඩියෙන් දාන්න ඔච්චර ලෝබ නං වෙලාවක මම තමුසෙගෙ මූණට තේ කෝප්පේ
එවනවා.” බැරිම තැන එකෙක් රංජිට කිව්වේ සපිරිවරින් ඉන්නා වෙලාවකය.
වැඩි
හිනා-කතා නැති රංජි කට කොණක් අද කරලා කිව්වේ මෙච්චරය.
“එතකොට මගේ ගණනේ අයියලගෙ මූණටම එන
පියාඹන පීරිසි බලාගන්න පුළුවන් වෙයි.”
එතකොට මගේ ගණනේ පියාඹන පීරිසි......... |
ඒ කතාවෙන්
පස්සේ කැන්ටිමට ආ-ගිය ගනුදෙනුකරුවෝ කවුරුත් රංජි එක්ක පැටලෙන්නට නොගොස් සිටියහ!
“නිමල්,
මෙච්චර කාලෙකට මෙහේ කැන්ටිම කරපු හැමෝම ගියේ එක සැරයක් හරි කාගෙන් හරි ගුටි කාලා.
-මම දන්නා තරමට නං එහෙම ගෝරියකට පටලැවෙන්නේ නැතිව කැන්ටිම කරලා යන්නේ ඔයාලා
විතරයි!” දෙමටගොඩින් සමු ගනිද්දී, එහෙම කියලා අපට ලැබුණු හොඳම සහතිකය දුන්නේ හිතාදර ටියුඩර්ය.
“මේ යකා
පොල්කුඩු අහක දාන්න නං පුදුම විදිහට ලෝබයි මචං! මං කියන්නේ, මේ ඉඹුල් කිරිබත්
මැද්දේ තියෙන්නෙත් පොල්කුඩුවලින් හදපු පැණිපොල් වෙන්නෝනි.”
ළඟදී දවසක හඟුරන්කෙතට
යන අතරේ නෙවිල් එහෙම කියූ බවට සාක්කි ඕනේ නම්, Pra Jay- සිරිබිරිස්- රවී
තුන්දෙනාගෙන් අහන්න. ඊට වඩා සාක්කිකාරයන් කැන්දන්නට ඉඩ නැත්තේ Pra Jayගෙ කාර් එකේ
ඉඩ නොතිබුණු නිසා මඟියන් සීමා කරන්නට වුණු බැවිනි!
රජ කාලයේ ගල් බෝලයක් හොයාගෙන හඟුරන්කෙතට ගිය ගමනකදී........ |
මගේ කට කොකියද්දී, නෙවිල්ගේ
කීමට ප්‍රතිඋත්තර නොදී, ඒ වෙලාවේ හිනාවෙලා විතරක් මා නිකං හිටියේ නිකම්ම නොවේ.
ඒ
පැණිපොල්වලට පිරිසිදු වතුරේ සෝදා මිරිකාගත් පොල් ටිකකුත් කවලම් කරලා තිබුණු නිසාය.
එවෙලේ ඇත්ත කිව්වා නම් විතරය, අහන අයට බඩේ ලෙඩ හැදෙන්නේ!
ඇත්තම
කිව්වොත් මට ඒ පුරුද්ද ආවේ දෙමටගොඩ කැන්ටිම කරන කාලයේය; මසල වඩේ හදද්දිය.
එළවලු කරි,
කිරි මාළු, අල කරි වගේ එව්වාට කිරි මිරිකාගත්තාට පස්සේ ඉතිරිවෙන කුඩු, වඩේ මිශ්‍රණයට
දැම්මාම වැඩි රසයක් එයි. කැමති නම් ඔබත් ඒ ගුරුකම අත්හදා බලන එක ගැන මගේ කිසිම
අහිතක් නැත.
යාපනේ
උදවියත් ගොඩක් එළවලු ව්‍යංජන හදන්නේ පොල් මිරිකලා කිරි අරගෙන නොවේ. අඹරලා හොද්දට
එකතු කිරීමෙනි. එවිට හොද්ද උකුය. Thick ග්‍රේවි එකක්..... ආටෝපය වැඩි හොද්දක්!
එයින් පොල්
පිරිමැහෙනවා විතරක් නොවේ. ආහාරයට fiber- කෙඳි ටිකකුත් එකතු වෙයි!
එතකොටත් බතික් වැඩ අත්හැරී නොතිබුණු නිසා .......... |
“නිමල්
අයියා හදන වඩේ රහයිනේ!” කියමින්, දවල් දෙකට විතර කැන්ටිමෙන් තේ බොන්නට පැමිණි; ඒවා
අනුභව කළ කවුරුනුත් මගේ ‘රහස් කුකරි වැඩේ’ දැනගන්නේ අදය.
ඓතිහාසික ගල් බෝලයක් හොයන්නට
ගිය අසම්පූර්ණ ගමනකදී, සාර්ථක ලෙස ඉඹුල් කිරිබත් වැළඳුව අයත් මේ පෝස්ටුව කියෙව්වාම
‘නිදිගේ පඩත්තල පුරුද්දක්’ ගැන දැනගනු ඇත.
ගල් බෝලයකට
වැඩි බෝලයක් ගිලගෙන, උහුලාගන්නට වුණු කාරණයකුත් කියන්නට දැනටම පරක්කු වැඩිය.
දෙමටගොඩ කැන්ටිමෙන් එතරම් ලාභයක් ලැබුණේ නැත.
අපේ මූලික
අරමුණ වුණෙත් පළපුරුද්ද හා කැන්ටිමක් කළ බවට සහතිකයක් ලබාගැනීම විතරය.
බතික් වැඩත්
ගොඩක් නැතත්, යම් තරමකට හරි කරමින් තිබුණු නිසා, ඉරිදාවක මම මොරටුවට ගියෙමි. ඒ රිකී මහත්තයා හමුවෙන්නටය.
රිකී මහත්තයා යළි නොඑන්නටම ගිහින් තිබුණේ සිරුරට ගිනි තබාගෙනය! |
අපට
ලැබෙන්නට තිබුණු ණයෙන් කොටසක් හරි ඉල්ලාගන්නටය.
සෙවීම
සාර්ථක වුණේය; ගෙදර හමු වුණේය; නෝනා මහත්තයාත් හමු වුණේය; මාව දුටු ගමන් ඇගේ
දෙකොපුල් කඳුළෙන් තෙමෙන්නටත් වුණේය!
රිකී මහත්තයා ගිහින්ය. ඔහු යළි නොඑන්නටම
ගිහින් තිබුණේ සිරුරට ගිනි තබාගෙන බවය ඇගෙන් කියැවුණේ!!
ඉතින්......
බයිසිකල් රේස් පදින අය පොල් ලෙලි කෑල්ලක් තරම්වත් පළල නොවන පටු සීට් එකක් තියා ගන්නේ ඔන්න ඔය ප්‍රශ්නේ නිසයි.
ReplyDelete//ඇත්තටම වැඩක් කියලා දෙයක් නම් නොකරපු ගානය.//
මේක දෙමටගොඩට විතරක් සීමා වෙච්ච් දෙයක් නොවෙයි. රත්මලාන, වේරහැර වගේ විශාලතම තැන් වල ඉඳලා ඉතාම කුඩා තැන ලෙස සැලකෙන වන් මෑන් ෂෝ එකක් වන ග්‍රාම සේවක කාර්යාලය දක්වා රජයේ ආයතන සියල්ලේම හැටි මෙහෙමයි.
""මෝස්‌තර එක්ක 27"" මීට දිනකට දෙකකට පෙර පල කරලා ඉවත් කලාද ? මට වෙරිද ? කොම්පුටරයට වෙරිද ? එහෙම නැතිනම් ඒ දෙකටමද කියලා ෂුවර් නැහැ.
ණය සල්ලි ඉල්ලාගන්න ගිහිල්ලා අතේ තිබුන තුට්ටු දෙකත් රිකී මහත්තයාගේ නෝනට දීලා එන්න උනාද ? නය කාරයන්ට පොල්ල තිබ්බත්, දිවි නසා ගත්තත්, එතුමන් "හොඳ මිනිහෙකු" බවයි මගේ හිතේ ඇඳී තියෙන්නේ!
සෝමවීර සහෝදරයා හොයාගෙන ආව සයිකලයේ සීට් එක කොහොමද කියලා බලන්නවත් කාටවත් මතක් නොවුනා වෙන්නැති!
Deleteඅපේ රටේ ගොඩක් රාජ්‍ය ආයතනවල පඩි කන උත්තමයන් එතනින් සේවයක් කරවාගන්න යන අප දිහා බලන්නෙත් තරහෙන්, සෑම්.
ඔයාට වෙරි නැහැ සෑම්. බාගෙට නිඳිමතෙන් ඉඳලා තියෙන්නේ. ඒ කිව්වේ බාගෙට අවදියෙන්....
මට තවම හොයාගන්න බැරිවයි ඉන්නේ පරණ පෝස්ට්ස්වලට යන්න ලින්ක්ස් දාද්දී සිදුවෙන අප්‍රභන්සයක්. සමහර එව්වා නිල්පාටින් පෙන්වනවා. සමහර ඒවා එහෙම නැහැ. සැකයක් හිතිලා, අනුමාන කරලා දෙයක් ඉගෙනගන්න බැලුවා. ඒකට පෝස්ටුවේ වාක්‍ය දෙක තුනක් දාලා බැලුවා. හැබැයි අත්හදා බැලීමකි කියලත් උඩින්ම දාලා. විනාඩි දෙක-තුනකින්ම ඒක ඉවත් කළා. ඒ පොඩ්ඩට ඒකත් ඔයාලට අහු වෙලානේ.
රිකී මහත්තයා නැතිවුණු බව කියද්දී ඒ නෝනා මහත්තයාට ඇඬුණු හැටි හින්දා ආයේ ඒ පැත්ත පළාතකට ගියේ නැහැ. මමත් ඔයා එක්ක එකඟයි සෑම්. රිකී මහත්තයා හොරෙක් නෙවෙයි. හොඳටම හිරවෙන්න ඇති අනෙක් ණයකාරයන්ට.
ඔය කියන එක ඇත්ත. මිල ප්‍රමාණ පත්‍රවල තියෙන කෑම විතරක් විකුණලා කැන්ටිමකින් ලාභ ලැබෙන්නෙ නෑ. අපේ ඔපීසියෙ කැ්නටිමේ හිටපු එක කණ්ඩායමක් ආප්ප, වෙල්ලවැහුම් හැදුවා. තව කණ්ඩායමක් බිත්තර රොටියටත් බිත්තර බාගෙයක් දාලා වංචා කරල, එළවලා දැම්මා...
ReplyDeleteකැන්ටිම්වලම කෙරෙන දේවල් තව කිහිපයක් තියෙනවා, පස්සේ කියන්නම්.
Deleteඔබට කිසිවෙකු ෆෘට් සැලඩ් එකක් පිළිගන්වනවා.
ReplyDeleteමේකෙ අඹ, ගස්ලබු, ඇඹුල් කෙසෙල්, අතරින් පතරින් මිදි ගෙඩි පළුවක් දෙකක්, ඇපල් ඝනක, ඒ මදිවට සීනි ටිකකුත්!
ආ! වැනිලා රසයකුත් එක්ක!
දැන් මේක දුන්නු එකා බලා ඉන්නවා ඔබ පවසාවි කියලා එක් එක් පලතුර හෝ පලතුරු හැන්ද කන කොට දැනන රසය!?
මොකද අඹ කෑල්ලක ගස්ලබු රසයත් තැවරිලා. ඇඹුල් කෙසෙල් ගෙඩි කෑල්ල අඹ රසත් එක්ක කලවම් වෙලා. ගස්ලබු කෑල්ලේ රසය සීනි වලින් ඔපවත් වෙලා. ඒ සියල්ල වැනිලා රසෙන් තීව්‍ර වෙලා.
ඔන්න ඔය මගුලම තමයි මටත් වෙන්නේ නිදි මහත්තයා ඔයාගෙ බ්ලොග් ලිපි කියවලා කොමෙන්ට් ලියන්න ගියාම.
ඉතින් ලේසියෙන් පහසුවෙන් ඒ වෙලාවට ෆෘට් සැලඩ් එක ගැන දෙන තනි වචනෙ කොමෙන්ටුවට තව තනිවචනෙ නාම විශේෂනයක් යොදලාම කොමෙන්ටුවක් ලියන්නම්!
එළම එළ!
ස්තුතියි මහත්තයෝ.
Deleteෆ්රුට් සැලඩ් උපමාව ගැන කියවනකොට ක්ලික් වුනේ. මගේ විදිහත් ඒ වගේ නේද කියලා. ඒකම තමයි මගේ කියුම්කෙරුම්- ලියුම් සේරටම පදනම වෙලා තියෙන්නෙත්..... මම මේ තවම ඒ ඔස්සේ හිතමින් ඉන්නේ!
ජිවත් වෙලා තියෙන්නේ ‘ත්‍රෛලෝක විජයපත්‍ර’ එක්කම වගේ . මේ උඹේ මේ බ්ලොග් හලන පිළිවෙල මට තේරෙන්නේ නැහැ නිදි. අර එංගලන්ත කතාව ඉවරද? මට කලින් කියවපු තැන හොයා ගන්න බැහැ
ReplyDeleteඅජිත් මහත්තයෝ, මම හැම ජාතියේම අයව ඇසුරු කරලා තියෙනවා. තවමත් එහෙම හිතවතුන් ඉනවා. කුඩ්ඩන් පවා. හැබැයි මම සෙල්ලමටවත් ආඩතොඩ බීඩියක්වත් බීලා නැහැ. නමුත් ගංජා තහනම විකාරයක් විදිහටයි දකින්නේ.
Deleteඑංගලන්ත කතාව ලේසියෙන්ම හොයාගත්තැකි පිටුවේ උඩින්ම තියෙන නැණ බලේ දිනාවී කැටගරිය ක්ලික් කරලා බැලුවාම.