අකුරු මැකී නෑ

Friday, October 16, 2020

එකෙන්ම ඇති වුණා....

රතීව එයාලගෙ පවුලේ අය ඕනැවට වඩා පාලනය කරලා!

'Looks like you have good friends. I guess Rathee is controlled too much by her family, so she jump on any chance to get bit of freedom. (Wijebahu)'

විජේබාහු මහත්තයා එහෙම කියලා තිබ්බේ  ඩිංගෙන් Hong Kong හිරේ! -පළමු කොටස කියවලා කමෙන්ටුවක් එවමිනි.

'ඔව් විජේබාහු මහත්තයෝ. හැම ජාතියේම අයව අපට හම්බ වෙනවනෙ ජීවිතයෙදී. එයාලා එක එක විදිහයි- එක එක විදිහේ අත්දැකීම් අපට දෙමින් පාඩම් උගන්වනවා.

රතී ගැන ඔයාගේ විග්‍රහය ගොඩක් හරි!’ යැයි මමත් එයට පිළිතුරු දුන්නෙමි. ඒ විතරක් නොවේ.

එංගලන්තයේ ඉඳගෙන කොළඹ ගමයා blog අඩවිය ලියන අජිත් ධර්මකීර්ති හිතවතාත් එහිදීම මෙහෙම ප්‍රශ්නයක් අසා එවා තිබිණි. ‘අර රතී දැන් ඉන්නේ මෙහේද?’.

වැරැද්දත් එක්කලා මිස වැරැද්ද කළ කෙනා එක්ක වෛර බැඳගෙන ඉන්නා සිරිතක් මට නැති හින්දා, ඡායා මාත්තරයකින්වත් රතීට හෝ ඒ පවුලේ උදවියට හෝ අවමානයක් වෙනවාට මං අකමැතිය. ඒ හින්දාමය පෝස්ටුවේදී රතී ඉන්නා රට නොලිව්වෙත්; අජිත් මහත්තයාට ‘නෑ නෑ එංගලන්තේ නෙවෙයි’ කියලා කෙටියෙන් උත්තර දුන්නෙත්.

පළිගන්නට නොයන බව ඇත්ත වුණත්, මට යාන්තම් හරි කෙනෙහිල්ලක් කෙරුණොත් ඒක මගේ මතකයෙන් බැහැර කරන්නට බැරි තරමේ ‘පොළොං ගතියකුත්’ මට තිබෙන බව දැනුත් නොකියාම බැරිය. එහෙම කියන්නේ ‘ඒ මතක තියෙන එක’ අසත්පුරුෂකමක්ය කියලා මටත් හිතෙන නිසාය.

අර කමෙන්ට්ස් අතරට අපේ ප්‍රසන්න, සෑම් පෙරේරා, කට්ටකාඩුවේ ලොකු මල්ලී, Pra Jay වගේ හිතවතුනුත් එවූ කමෙන්ටුවලින් මගේ සමහර දේවල් වහංගන පුරුද්ද ගැනත්; වටේ පඳුරු තැලීමේ පුරුද්ද ගැනත් කියවී තිබිණි. ඒවා ගැන මෙතැනත් ලිව්වේ, මේ අලුත් පෝස්ටුව ලියන වැඩේ ඒ කමෙන්ටු නිසා ඉක්මන් වුණු බැවිනි.

‘ජීවන මේ ගමන සංසාරේ’ ලේබලය යටතේ ලියැවුණු ‘ආදර පූජාසනේ 7’ පෝස්ටුවේ මෙහෙමත් තිබුණා හිතාදර රසික ඔබට මතක ඇති.   

එතකොට පැදුරු පාටි කියන නමවත් භාවිතයේ තිබ්බද මන්දා...

‘... ඔහොම තියෙද්දී, අපේ ලොකු මල්ලී සුනිල් සංගීතය ඉගෙන ගන්නට පටන් ගත්තේය. බයිසිකල් රේස් පදින්නටත්, ඒ මාර්ගයෙන්ම බොරලැස්ගමුවේ මල්ලිකා ගල්හේන මෙනෙවිය හොයාගෙන එහාට යන්නට- එන්නටත් පටන් ගත්තේය. මල්ලිකාලගේ හිතවතෙකු වුණු අංකුර සංගීතවේදියෙකු සුනිල්ගේ හිතවත් මිත්තරයෙකු වෙන්නට මඟ පෑදුණේ මල්ලිකාලගේ ගෙදරදීය. ඔහු අපේ ගෙදරටත් ආවේය.

අපේ ගෙදරදී සංගීත භාණ්ඩත් එක්කම පැදුරු පාටිදැමුණේ එතකොටය! ඒ හාදයාගේ උදව්වෙනි. (එතකොට පැදුරු පාටි කියන නමවත් භාවිතයේ තිබ්බේ නැත. ඒවාට කිව්වේ සංගීත සාජ්ජකියලා බවය මං දන්නේ.).......

වතාවක ඔහොම පැදුරක් දැම්මාට පස්සේ, අපේ අයිඩියානන්ද තාත්තාට බ්‍රිලියන්ට් අයිඩියාවක්පහළ වුණේය!

සුනිල්, අර උඹේ යාළුවට කියපංකො අයියටයි, නෝනාටයි එහෙමත් සංගීතෙ උගන්වන්න කියලා.... රංජි, මොකද කියන්නේ? හොඳයි නේද? එතකොට ගෙදරින්ම කට්ටිය ඉන්නවා සංගීත සාජ්ජයක් දාන්න.... පේනවා නේද, පවුලක සහෝදර සහෝදරියෝ ගොඩක් හිටියම ඒකෙ තියෙන වාසිය.”

තාත්තාගේ ඒ අදහසින් පණ ලැබුණු සංගීත පන්තියට හිටි සිසු-සිසුවියන් වුණේ අපේ ලොකු නංගිත්, සුනිලුත්, අනිල් මල්ලීත්, සෝමවීරත් මාත්ය.......

එයින්, මෙයින් අර අංකුර සංගීත ශිල්පියාට ගීත කිහිපයක් ලියා දෙන්නටත් මට හැකියාව ලැබිණි. ඒවාට තනු යොදා, සංගීතවත් කර ගයා පෙන්වූ ඔහුට, ඊළඟට අවශ්‍ය වුණේ වික්ටර් රත්නායක ගායකයාණන්ගේ වැනි ප්‍රසංගයක් පැවැත්වීමටයි.

නිමල් අයියාටම පුළුවන් නේද ඒකෙ ප්‍රොඩියුසර් වෙන්න?” මොට්ට මමත් ලණුව ගිල්ලෙමි.

රසික නෙත් පිනවන්නට නැටුම් කිහිපයකුත්.....
ඒ ප්‍රසංගය ප්‍රතිභා’, හැව්ලොක් ටවුන් ලුම්බිණි රඟහලේදී පවත්වන්නට කටයුතු සූදානම් කෙරුණේ....”

මේ කතාන්දරය කියන්නේ ‘ඉතින් ඊට පස්සේ’ ඉඳලාය. පෝස්ටුව ලිවීමේ පහසුව තකා අර අංකුර සංගීත ශිල්පියාට ‘කොහා’ කියලාත් අද නමක් දෙන්නෙමි.

සංගීත ප්‍රසංගයක් වුණත් රසිකයන්ගේ ඇසුත් පිනවන්නට ඕනෑමය. ඒ නිසා ගීත කිහිපයකටම නැටුම් කීපයකුත් යොදන්නට සිද්ද වුණේය. ඒ රංගනයට ආ යුවතියක් කෙරෙහි කොහාගේ හිත ඇදුණේය. එතකොට අර යුවතියගේ තාත්තා විදේශයක රස්සාව කරමිනි හිටියේ. “කෙල්ලව ඔය වැඩවලට යවන්න එපා!” තාත්තා බර-බරයක් දාලා තිබුණත් කලාකාමී අම්මා ඒකට කන් දුන්නේ නැතිය. දූ සිඟිත්ත නැටුම්වලට එක්කගෙන ආවාය.

කොහා කෙල්ලට අදහස කිව්වේය. කෙල්ල ‘බැඃ!’ ගෑවේ දෙවරක් නොහිතාමය. ඒකත් සාධාරණය. කොහා ‘කොහෙකු’ වගේය කියනවා නම් කෙල්ල ‘රණ මොනරියකි’. ජෝඩුව තැඹිලි ගෙඩියට කපුටා වැහුවා වගෙය.

ඒත් මේ කොල්ලා ‘උගුලෙන් බැරි නම් හබකෙන්’ වැඩ කර ගන්නට සමතෙකි. යුවතියගේ ඒ ප්‍රතික්ෂේපය නිහඬවම බාරගෙන, මේ හාදයා අනාගත නැන්දම්මාට ‘ගුළියක්’ ගිල්ලවන්නට පටන් ගත්තේය. වැඩේට full support එක දුන්නේ ප්‍රසංගයේ නැටුම් පුහුණු කළ ගුරුතුමියයි, ඇයගේ සැමියයි දෙන්නාය. ‘මේ කොල්ලාට හොඳ අනාගතයක් තියෙන බවත්, ඉහළම තැනකට ගිහින් මිස පස්ස බලන්නෙ නැති වෙයි’ වගේ පානි talksතුත් එයාලා කෙල්ලගේ අම්මාට ඩිලිවරි කරන්න ඇතිවා නිසැකය.

අන්තිමට බලද්දී නැන්දම්මා නැවතිලා හිටියේ කොල්ලගේ කඳවුරේය.....

අන්තිමට ‘නැන්දම්මා නැවතුණේ කොල්ලාගේ කඳවුරේය’ කියන්නේ ඒ අතිසාර්ථක මිෂන් එකේ ගැඹුර පෙන්නා දෙන්නටය.

ඒත් ඔය මේ දේවල් එකකටවත් මගේ ඍජු සම්මාදමක් නම් තිබුණේ නැතිය. මොකද කියනවා නං, ප්‍රතිභා ප්‍රසංගයේ වැඩ හැමෙකක්ම පාහේ සම්බන්ධීකරණය කෙරුණේ අපේ සුනිල් අතින් හින්දාය. මිනිහත් හිටියේ ‘දියට දාන්නං කිව්වාම’ඉබ්බා හිටියා වගෙ mood එහෙකය. නැටුම් පුහුණු, ගායන පුහුණු කෙරුණේ බොරලැස්ගමුවේදීය. මතකයිනෙ? සුනිලුන්ගේ පෙම්වතිය හිටියෙත් බොරලැස්ගමුවේ පිරිවෙන හන්දියේනෙ.

කොහොමෙන් හරි ‘ප්‍රතිභා ප්‍රසංගය’ දෙවතාවක්ම වේදිකාගත වුණේය. හැව්ලොක් ටවුන් ලුම්බිණි රඟහලේ හා ලයනල් වෙන්ඩ්ට් රංග ශාලාවේ. (නොදැක හිටි මගේ දුරකථන පෙම්වතා(?) සුනන්ද මහත්තයා ආවේ ලුම්බිණියෙ දර්ශනය බලන්නටය.)

ඒ දර්ශනවලින් පාඩුවක්වත්, එහෙමට ලාබයක්වත් ලැබුණේ නැත. ඔව්වායේ සතේට ගණන් තියා ගැනිල්ලක්වත්, ඔව්වා මතක තියා ගැනිල්ලක්වත් නම් මට බැරි බව දැන් ඔබටත් රහසක් නොවේ. එහෙම වුණත්, අදටත් මගේ හිත පාරවන දෙයක් නම් ඒ ප්‍රසංගයේ මංගල දර්ශනය අවසානදී සිදු වුණේය. අර මුලින් කියූ ජාතියෙ කෙනෙහිල්ලක්!

ප්‍රසංගය ඉවර වුණාම කොහා මට අතින් ලියූ බිල්පතක් දුන්නේය. එහි ලියා තිබුණේ ‘...... සිට කාර් එකෙන් පොල්තෙල් පහන ගෙනාවාට කුලී රු....’ කියලාය.

එතකොට ජාතික තරුණ සේවා සභාවේ ‘යොවුන් ගී’ කණ්ඩායම...

කොහාගේ ගෙදරින්ය සම්ප්‍රදායික පොල්තෙල් පහන ගෙනාවේ. කාර් එක කොහාගේ තාත්තගෙය. පහන ගෙනෙන්නටය කියලා, වෙනමම ගමනක් එයාලා ආවා නං තව කමකුත් නැත. කෙරුණේ, කොහාගේ අම්මා-තාත්තා-මල්ලිලා සේරම ප්‍රසංගය බලන්නට එන ගමන්, පොල්තෙල් පහන ඩිකියේ දමාගෙන ඒමය! අන්න හැදෙන මිනිස්සු!!

කලා කටයුත්තකට නිෂ්පාදන දායකත්වය දීල්ල මට එපාම වුණේ එදාය. මේ සන්තෑසිය මට විතරක් සිද්ද වුණු එකක් නොවේ. ලංකාවේ බොහොමයක් සල්ලිකාරයන්ට අත් වුණු ඉරණමකි. සෝමවීර සේනානායක මහත්තයා ‘මැණික් නදිය ගලා බසී’ නවකතාවේ මෙහෙම ‘මෝරා කර ගැනීමක්’ ගැන අපූරුවට ලියා තිබිණි.

එතකොටත් අපි මහා සල්ලියක් තිබුණු අය නොවේ. ඒ දවස්වල අපේ පොහොසත්කම කොච්චරද කියනවා නම් අපේ ගෙදරට විදුලියවත් අරගෙන තිබුණේ නැති කාලයකි. අදටත් හිතට දුක එව්වා මතක් වෙද්දීය.

ඒ අතරේ කොහා ගුවන් විදුලි සංස්ථාවේ සංගීත ශිල්පියෙක් වුණේය. එතකොට එහි එක වැඩ සටහනකට සහභාගී වෙන ශිල්පියෙකුට ගෙව්වේ රුපියල් 7.50ක් වැනි මුදලකි!

නිල ඇල්ලීමේ, නියම අවස්ථාව හඳුනා ගැනීමේ උපන් හපන්කම තිබුණු ඒ හාදයා දියුණු වුණේ බලාගෙන ඉඳිද්දීය. මනුස්සයා දියුණුවේ හිණිමඟ ඔස්සේ ඉහළටම නඟිමින් හිටි ඒ සන්දියේය, ජාතික තරුණ සේවා සභාවේ සංගීත කණ්ඩායමත් සිරිලක පුරා ජය කෙහෙළි නංවමින් හිටියේ.

වැඩ සටහනක දේශනයක් කරන්න ආවා!

“ලොකු අයියේ, නියම වැඩකට අත ගහන්නයි හදන්නේ....මම SLBC එකට යන නිසා දැන් ගොඩක් මියුසීසියන්ස්ලා මගෙත් එක්කලා යාළුයි. දැන් පීක් එකේ ඉන්න xxx එහෙමත් මගේ යාළුවෙක්.... මං මිනිහව කැමති කරවා ගත්තා කැසට් එකකට සිංදු කියන්න. මිනිහත් කැමතියි.... කැසට් එක කරලා පස්සේ එයාට සල්ලි ගෙවනවට.... අර යොවුන් එකේ අලුත් කෙල්ල xxx, එයත් කැමති වුණා තුන් දාහකට සිංදු ටික කියන්න. හොඳයි නේද? අපි ප්‍රතිභා එකේදි කියපු ඔයා ලියපු සිංදුවකුත් කැසට් එකට ගන්නවා!”

   ‘මල් පිපිලා නික ගස් යට සුවඳේ බැරුවා

    නෑනන්ඩී නික මල් උඹ දැක ඉඟි කෙරුවා

    සීතල උඳුවප් මාසේ උහුලනු බැරුවා

    එක පැලකට වී ඉමු අපි ඇති කල් මැරුවා’ ගීතය ගැනය ඒ කිව්වේ.

මං එපා කිව්වෙත් නැත. හා කිව්වෙත් නැත.

කැසට් පටය කෙරුණේය. “අයියේ කැසට් එක ගැන වෙළෙඳ සේවයෙන් වැඩ සටහනක් යනවලු මේ ඉරිදා උදේ දහයට! ඒකෙ තමුසෙගෙ සිංදුවත් තියෙනවලු!’ අපේ සුනිල්ය ඒ පණිවිඩය ගෙනාවේ.

මං හිතාගෙන හිටියේ කැසටය නිෂ්පාදනය කිරීමේ වැඩේ ‘අල වෙලා’ කියලාය. කොහාගෙන්ම කියැවුණු කරුණුවලට අනුවය.

මුලින්ම සංගීතය පටිගත කරලා ඊට පස්සේ සිංදුව......

ඒ කාලේ කැසට් පටිවල ගීතවලට සංගීතය සැපයුණේ වෙනමය. මුලින්ම ඒවා පටිගත කෙරෙයි. ඊට පසුවය ගායක-ගායිකාවන් ඒවාට අනුව ගීත ගයන්නේ. ඒ බව මං දැන ගත්තෙත් එදාය, ශ්‍රී ලංකා පදනම් ආයතනයේදීය; කොහා විස්තර කිව්වාමය.

එදා මා පදනම් ආයතනයට ගිහින් හිටියේ මොකක්දෝ වැඩ සටහනක දේශනයක් කරන්නටය. ලොබියේදී හදිසියෙන්ම මට හමු වුණේ කොහාය. “ලොකයිය මෙහෙ?”

“Programe එහෙක ලෙක්චර් එකක් කරන්න ආවා. ඔයා?”

“අයියෙ, මං ඔයාට දවසක් කිව්වේ, අර කැසට් එකක් ගැන. ඒකෙ music ට්‍රැක් එක කරලා සිංදු ටික කියන්න විතරයි තිබ්බේ. අර ගායකයා දැන් බැහැයි කියනවනේ..... හොඳ වෙලාවට මම artistලත් එක්ක ඇග්‍රිමන්ට් අත්සන් කරවාගෙන තිබ්බේ. මිනිහා කියනවා මියුසික් ට්‍රැක්ස් රෙකෝඩ් කරන්න ගිය වියදමත් මිනිහගේ අතින් දෙන්නං කියලා, වැඩේ නවත්තමුලු... මං ඒත් කැමති වුණේ නෑ..... හඃ, ඒ සෙල්ලං කොහෙද මගෙත් එක්ක... මේක hit වෙනවාමයි අයියේ..... ඒකයි.” කොහා කිව්වේ, හිතේ අමාරුවත් හංගා ගන්නේ නැතිවමය.

“ඉතින් ඇයි මනුස්සයා මුලින් කැමති වෙලා ඉඳලා දැන් බැහැයි කියන්නේ?” මම ඇසුවෙමි.“අරකි, අර පර ගෑනි මේ මිනිහට කියලනෙ ‘ඔය කැසට් එකට ඔයා ඒ කෙල්ලත් එක්ක sing කළොත් එයින් පස්සේ අපේ සම්බන්දෙ ඉවරයි කියල හිතා ගන්න’යි කියලා....” එදා කොහා පර ගෑනි කියලා කිව්වේ තවත් සම්මානලාභී ගායිකාවකටය. මේ ගායකයාත් විවාහකයෙකු වුණත් එකල ඇය හා අනියම් ඇසුරක් තිබුණු බවය, ප්‍රසිද්ධ රහසක්වී තිබ්බේ. “මුන් ඉරිසියාවෙ පැලෙනවා අලුතින් කෙනෙක් ෆීල්ඩ් එකට එනව නම්.... හදන්නෙම කටුව ගහන්න.”

“ඉතින්... ඔයා මොකද අද මෙහෙ...”

“අද මෙහෙදී මිනිහව හම්බ වෙන්න ඇපොයින්ට්මන්ට් එකක් දාගත්තා නිමල් අයියේ. හරි අමාරුවෙන්..... යාළුකම දෙපිටින් ගියාවේ කියලා මම මිනිහට කියන්නයි යන්නේ, වන්දි ඉල්ලලා නඩුවක් දානවය කියලා, සිංදු නොකිව්වොත්....”

කැසට් පටයේ දෙවෙනි පැත්තේ තෙවෙනි ගීතය...

ඉතිං ඊට පස්සේ මොකක්ද වුණේ කියලා මට දැන ගන්නට නොලැබිණි. දේශනයට ගිය බැවිනි. සුනිල් පණිවිඩය දුන්නාමය මට වැටහුණේ, කොහොම කොහොමෙන් හරි එයාගේ අරමුණ ඉටු කරගෙන තිබෙන බව.

ඒ වැඩ සටහන ගුවන් විදුලියෙන් ප්‍රචාරය වෙන දවසේය, සුමිතුරු මර්වින් බොතේජු යුවල මධු සමයෙන් පස්සේ ගෙදරට සම්ප්‍රාප්ත වීමට නියමිතව තිබුණේ. උදේනි අල්විස්, විජිත කිත්සිරි බණ්ඩාර, බී.ඒ.කිංස්ලි පද්මලාල් තුන් දෙනාත්- මර්වින්ගේ මිතුරන් වුණු ගාමිණී සහ තිස්ස- කියන දෙන්නාත් හා එක්ව ගෙදරත්, මඟුල් මඩුවත් සරසමින් හිටි අස්සෙම තිස්සත් මාත් එයාලගෙ ගෙදරට දිව්වෙමු. ඒ අර වෙළෙඳ වැඩ සටහන අහගන්නටය.

ගොඩක් ස්තුතියි තිස්ස! එදා ඔයා නොහිටියා නම් ඒ වැඩ සටහන ඇහිල්ලටත් වෙන්නේ, ‘මා සහභාගිවූ පළමු ගුවන් විදුලි වැඩ සටහන ඇහිල්ලට’ වුණු දෙයමය.

(මේ හරියට ඔබන්නට මර්වින්ලාගේ wedding ඇල්බමයෙන් ඡායාරූප ගන්නට හිතුණු කොටය මතක් වුණේ, ඒවා එකක්වත් නැති බව. මර්වින්ට තියෙන්නේ ස්ටුඩියෝ එකකින් ගත් මංගල ඡායාරූපය පමණකි. මංගල්ලයේත්, දෙවෙනි ගමනේ උත්සවයේත් foto තොගයක්ම ගැනුණේය. හිතවත් ඡායාරූප ශිල්පී මිතුරෙකු ලවාය. “foto නැති වුණත් කමක් නැහැ නිමල්. උස අනුරයාව ආයෙම දකින්න හරි තියෙනවා නම්! යාළුකමනේ සේරටම වැඩිය වටින්නේ.” මර්වින් අදත් කියයි. එදායින් පස්සේ, මඟුල් ෆොටෝ තියා උස අනුරත් missingය.)

මඟුල් ගෙදරට සැරසෙමින් ඉන්නා අතරේ...

එහෙත් ඒ වතාවේ මගේ වාසනාව miss වුණේ නැති හැටි. මා ලියූ ගීතය ගුවන් විදුලියෙන් ප්‍රචාරය වෙනවා අහගන්නට වාසනාව ලැබුණේ එහෙමය, එදාය!

මට ඒ ගීතය ලියන්නට ආවේශය ලැබුණේ ‘සිරිසේන ඒකනායක’ මහත්තයා ‘නවයුගය’ සඟරාවට ලියා තිබුණු ලිපියක් කියෙව්වාමය. ඒ කාලේ සිරිසේන මහත්තයා පත්තර සඟරා ගොඩකටම, රජරට - හේන් පසුබිම් වුණු විත්ති ලිව්වේය.

අර කැසට් පටය කොහාට වාසනාව ගෙනාවේය. ලක්ෂ ගණනාවක ආදායමකුත් ලබා දුන්නේලු!

“නිමල් අයියේ..... මාත් සිංදු ලියනවා..... මාවත් අඳුන්වලා දෙන්නකො කොහා මහත්තයට. මගේ සිංදුවකුත් කාට හරි කියලා කියවාගන්න.” ගීත රචනයට ලැදියාව තිබුණු මහරගම තරුණ හාදයෙක්, ඒ ආසන්න දවසක මගෙන් ඉල්ලීමක් කළේය. ඒ අර කැසට් පටය දැක්කාට පස්සෙය. ඔහු මගේ මිතුරෙකු වුණත්.....

“අනේ xxxx මහත්තයෝ, ඒ වැඩේ නං කරන්න හිත දෙන්නෙ නෑ. ඒ මනුස්සයා ඒ කැසට් එකෙන් ලක්ෂ ගාණක් හම්බ කරගෙනත්, මට එක කැසට් එකක්වත් ගෙනත් දුන්නු කෙනෙක් නෙවෙයි.... මෙච්චර අඳුරන මටත් කළේ එහෙම නං, සමහර විට ඔයාගෙන් සල්ලිත් ඉල්ලයි සිංදුව කාට හරි කියලා කියවන්න....” මම xxxxට ඇත්තම විත්තිය කීවෙමි.

පසු කාලයක ‘කොහා’ අර සුරූපිනිය විවාහ කර ගත්තේය...   

ඉන් මනත මට ගී පද බඳින්නට හිතුණෙම නැත. එකෙන්ම වැඩේ ඇති වුණේය.

මහරගම xxxxත් ඔහුගේ සොහොයුරා xxxත් දෙන්නාම ඊට කාලයකට පස්සේ, කැසට් ආයතනයකට සම්බන්ධ වූහ. ජනප්‍රිය ගී රැසක්ම පබැඳුවාහ. දැන් ඔවුන් ටෙලිනාට්‍ය නිපදවීමටත් සම්බන්ධය. දෛවය එහෙමය!

ජාතක කතාවකදී නම් අන්තිමට පූර්වාපර සන්ධි ගලපමින් ඒ ඒ තැනැත්තා හෝ තැනැත්තිය ගැන පහදා දීමක් කෙරෙයි. ඒත් මේ සිදුවීම්වලට සම්බන්ධ උදවිය ගැන පැහැදිලි කරනවා තියා, හැබෑ නම්-ගම් එකක්වත් මා කියන්නේ නැත. ඊට හේතු බුද්ධිමත් ඔබටම වැටහෙනවා ඇත. (කැමති නම් මේ කවුද කවුදැයි අනුමාන කර ගත්තත් කමක් නැත. එහෙත් ඒ අයගේ නම් කමෙන්ටුවක හෝ සඳහන් කිරීමෙන් වළකින්නැයි ගෞරවයෙන් ඉල්ලා සිටිමි. මේ සමහර දෙනෙක් දුරින් හෝ තවමත් මා ඇසුරු කරන බැවිනි.)

තවත් එකක් කියන්නට අමතක විණි.

කොහා මහත්තයා පසු කාලයක අර සුරූපී නාට්‍යංගනාව විවාහ කර ගත්තේය. ඉතා සමෘද්ධිමත්ව; කෝටිපති ව්‍යාපාරිකයන්ව සිටින ඒ යුවලට දැන් ලොකු මහත් වුණු දරුවනුත් සිටී෴

20 comments:

  1. අද කාලේ ඉන්න "කලා කාන්" ලට සාපේක්ෂව ඔයා හොඳ කලා කරුවෙක්නේ. පොත් ලියලා තියනවා, සින්දු ලියලා තියනවා, රඟපාලා තියනවා. අපි සලකනවා මදි!

    ReplyDelete
    Replies
    1. සෑම් මහත්තයෝ, දෙකයි-දෙකේ පොලුවලින්ද, මහජනතාව වැඩට යනකොට අරගෙන යන ලී වලින්ද, එහෙමත් නැත්තං කුරුඳු පොලුවලින්ද සලකනවා මදි කිව්වේ?

      ඔයාලා වගේ අය, ඩේටා පුච්චගෙන- කාලය වැය කරගෙන මගේ ලියවිලි කියවලා ප්‍රතිචාර දක්වමින් කරන සැලකිල්ලම කොච්චර වටිනවද?

      අනේ. මට ලැබුණු තරම්වත් ඇගයෙන්නට වාසනාවක් නොලැබුණු කොතරම් දක්ෂයෝ අපේ අතරේම ඉන්නවද?

      Delete
  2. නිමල් මහත්තය ඕල් රවුන්ඩර්, දීර්ඝායුෂ ලැබේවා!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි සුබ පැතුම වෙනුවෙන්, බන්දුල මහත්මාණෙනි!

      Delete
  3. //පළිගන්නට නොයන බව ඇත්ත වුණත්, මට යාන්තම් හරි කෙනෙහිල්ලක් කෙරුණොත් ඒක මගේ මතකයෙන් බැහැර කරන්නට බැරි තරමේ ‘පොළොං ගතියකුත්’ මට තිබෙන බව දැනුත් නොකියාම බැරිය. //මට ටිකක් කොමෙන්ට් දාන්නත් බය හිතුන .

    ReplyDelete
    Replies
    1. පොළඟා වුණාට නයා වගේ සාධාරණයි, අජිත් මහත්තයෝ. දන්නවනේ නයි=පොළොන් වෛරයේ කතන්දරේ.....

      Delete
  4. කොහා කියන නම හොඳටම ගැලපෙනවා. කොහා බිත්තර දාන්නෙත් අනුන්ගේ කූඩුවලලු නේ. නිදි එක වැරැද්දක් කරලා තියනවා. කොහා ගීතය ගන්නවා කියපු වෙලේ එවෙලේම රෝයල්ටි ඉල්ලලා ගිවිසුමක් අත්සන් කරන එක. 10% කොහෙද නේද.

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නං අජිත්...
      ඒ කාලේ තියා දැන්වත් මම බිස්නස් mind එකක් නැති එකෙක්නෙ..

      Delete
  5. "එහෙම කියන්නේ ‘ඒ මතක තියෙන එක’ අසත්පුරුෂකමක්ය කියලා මටත් හිතෙන නිසාය." - මේක නම් කොහෙත්ම අසත්පුරුෂකමක් නෙවෙයි. Forgive and Forget කියන අදහස අද සමාජයේ ප්‍රායෝගික නෑ. Forgive but never Forget.

    ReplyDelete
  6. රතී අල්ලලා ගිහින් තියෙන්නෙ මට විත්රක් නෙවෙයිවගේ

    ReplyDelete
    Replies
    1. මේ, මේ. චමින්ද මහත්තයා. එක-එක්කෙනා අල්ලපු දේවල් ගැන; අල්ලලා ගිය දේවල් ගැන ප්‍රසිද්ධියේ කතා කරන්න හොඳද?

      Delete
    2. හොඳ නෑ නේන්නම්. මාත් කරන ගොන්කම්.

      Delete
  7. Looks like sometimes you worked in dog eat dog businesses? Karma will pay you/them back.

    Once I read a story about R Randeniya's ungratefulness (Kage Kage killota walath hunu thibe) Wijebahu

    ReplyDelete
    Replies
    1. මිනිස්සු ඔහොම තමයිනේ විජේබාහු මහත්තයෝ. කාලා බලන්නය? ඒ ඒ අවස්ථාවන්හිදී කරන දේවල්වලින් තමයි එයාලව තේරුම් ගන්න තියෙන්නේ!

      Delete
  8. මාත් අමතක කරන්නෙ නෑ, මොකද, අනාගතයට ඔය අත්දැකීම් වටිනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් ඩ්රැකී මහත්තයෝ. ඒක නේද වෙන්න ඕනේ... අතීත අත්දැකීම් තුලින් ඉගෙනීම....

      Delete
  9. //එවූ කමෙන්ටුවලින් මගේ සමහර දේවල් වහංගන පුරුද්ද ගැනත්; වටේ පඳුරු තැලීමේ පුරුද්ද ගැනත් කියවී තිබිණි.//
    පුරුද්ද එහෙමම තමයි. හැබැයි සිලෙක්ටිව්. තෝරාගත් සීමිත විෂයයන් සම්බන්ධයෙන් විතරයි. අනිත් ඒවා ෆුල් ඕපන්

    ReplyDelete
    Replies
    1. Pra Jay මහත්තයාත් රහස් එළි කරවන්නම්යි හදන්නේ....

      Delete