li Item

Sunday, September 27, 2020

ආදර පූජාසනේ - හත්වෙනි කොටස

හරි වැඩේනෙ, සුනන්ද මාව බලන්න කොළඹ එනවලු!

“ඔය ඔක්කොම වෙන්නේ පතාගෙන ආව විදිහටනේ.....” මම කීවෙමි.
සුනන්ද උත්තර දුන්නේ බැරෑරුම් ස්වරයකිනි. “ළඟදීම මම කොළඹ එන්නයි ඉන්නේ... එතකොට මට ඔයාවත් හම්බ වෙන්න ඕනිමයි!”

‘හරි වැඩේනෙ කළු අක්කේ, සුනන්ද කියනවනේ ළඟදීම කොළඹ එනවයි කියලා....” පහුවදා කළු අක්කලාගේ ගෙදරට ගිය වෙලාවේ මම කීවෙමි. ඒකෙන් වුණේ 304 සෙල්ලමේ එදා මගේ පුටුව වෙනින් කෙනෙකුට බාර දෙන්නට සිද්ද වීමය.

“ඔයාලා හැමදාම 304 ගහන එකනේ..... අද නිමල් මල්ලිත් එක්ක මට තියෙනවා දිග කතාවක්...  නිමල් මල්ලිගේ පංගුවට වෙන කෙනෙකුව වාඩි කරවාගන්න එකයි තියෙන්නේ... ඉතින්, ඉතින්.... යංකො අරහෙට.” කියාගෙන කළු අක්කා මාවත් ඇදගෙන පැත්තකට ගියාය. සුනන්දට කොට්ට උර යවන්නැයි උපදෙස් දුන්නාට පස්සේ, කළු අක්කාත් වරින්-වර ‘ඒ පලහිලව්වෙ ප්‍රගතිය’ මගෙන් විමසමිනි හිටියේ. 

“දැන් ඔයා මොකක්ද කරන්න හිතාගෙන ඉන්නේ?

සුනන්ද තැපැල් ස්ථානාධිපති කෙනෙකි...(මේ නුවරඑළියේ මහ තැපැල් කන්තෝරුවයි.)

“දිගටම ඔය වැඩේ කරගෙන යන්න බැහැනෙ කළු අක්කේ. ළමා නිවාසේ ෆෝන් එකෙන්නේ කතා කරන්නෙ.... දහනායක සරුත් මොකුත් නොකියා ඉන්නවා වුණාට එයාලටත් මාව කරදරයක් වෙන්නත් ඇති සමහර විට.... කොහෙද, මේ යක්ෂයෝ දෙන්නම සමහර වෙලාවට රෑ දහය-එකොළහ වෙලාවත් මට ටෙලිෆෝන් එක තියන්න දෙන්නෙ නැහැනේ.”

“අනේ ඇත්තමයි නිමල් මල්ලී, කුලී ගෙදරක නෙවෙයි නං ඉන්නේ - මම කීයක් ගෙවලා හරි ටෙලිෆෝන් එකක් ගන්නවා, ඔයාලගේ කතා පැත්තක ඉඳලා හරි අහගෙන ඉන්න. ඔයා නලෝලා කතා කර-කර, කවි කියලා ඒ මනුස්සයන්ව පිස්සු වට්ටලා ඇත්තේ....” කළු අක්කා කීවාය.

නොකඩවා ‘නිදිගෙ පංච තන්තරේ’ කියවන; comments එවන හිතවත් සෑම් පෙරේරා මහත්තයා, ‘ආදර පූජාසනේ - 6 කොටස’ කියවලා, මෙහෙම ප්‍රතිචාරයක් එවා තිබිණි.

‘ඔය කියන කාලේ ටෙලිෆෝන් එකෙන් පැය ගණන් පැණි හලන්න පුළුවන් වෙන්නේ සුනන්ද වගේ තැපැල් කන්තෝරුවක වැඩ කරන කෙනෙකුට විතරයි. එහෙම නැතිනම් හම්බ කරන ඔක්කොම තැපැල් කන්තෝරුවට ගෙවන්න වෙනවා සිකුරුයි.’

ඇත්තය! සහතික ඇත්තය!!

පෙම් කෙළින්නට කියා කීමත් අසාධාරණය!
සුනන්ද වැඩ කළේ xxx තැපැල් ස්ථානාධිපති විදිහටය. මහී, අජන්ත, ජිනසිරි තුන්දෙනාම ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුරකථන ක්‍රියාකරවන්නන් විදිහටය. ඒ නිසා මට වරු ගණන් ටෙලිෆෝන් කරද්දීවත් එයාලට වියදමක් ගියේ නැත.

එතකොට ගෙදරකට දුරකතනයක් ඉල්ලුම් කළත්, සබඳතා කෙරෙනවාට සල්ලි ගෙව්වත්- පොරොත්තු ලේඛනයක, කල්ප කාලාන්තරයක් බලාගෙන ඉන්නට වුණේය! ඒ විත්තිය එදා කළු අක්කාවත් දැනගෙන හිටියා වෙන්නට බැරිය.

“එක අතකට පව් මල්ලී!” කළු අක්කා කිව්වේ සුනන්ද ගැනයි.

“මොන පවක්ද? මම ඇත්තටම කෙල්ලක් නං...? එයාටත් වටිනවද එයාගෙ දරුවෙකුගෙ වයසේ ඉන්න මගෙත් එක්ක......”

මට කියවෙන්නට ආවේ ‘පෙම් කෙළින්නට’ කියලාය. එහෙම කියන එකත් අසාධාරණය. මහී, සුනන්ද, අජන්ත තුන් දෙනාගෙන් කිසිම කෙනෙක් අසැබි කතන්දර කියූ අය නොවේ; ආදරය ප්‍රේමය ගැන වුණත් ඉඟියෙන් මිස කෙලින්ම කියූ ය නොවේ. Love, ආදරය, ප්‍රේමය, lust හෝ වෙනයම් හැඟීමක් හෝ වේවා තිබුණා නම් තිබෙන්නට ඇත්තේ එයාලගෙ ‘හිත යට’ මිස උඩින් නොවේ!

විශේෂයෙන් සුනන්දගේ!!

....අපි පාඩමක් උගනිමු, කුමට කුමරියෙ සිටිනු දුක්වී?

ඇතුළතත් ගැට පිටතිනුත් ගැට, තිබේ හැම තැන ගැට ගොඩක්  වී

එහෙත් එඩිතර වුවොත් ඒ හැම ලෙහන්නට හැක ලෙහෙසියක් වී

මෙවන් වටිනා අදහසක් ඇත අතීතයෙ ඉතිහසට                එක්වී

එයින් අපි පාඩමක් උගනිමු! කුමට කුමරියෙ සිටිනු             දුක්වී

මගේ සිත් තැවුලක් ගැන කියවුණු විටෙක සුනන්ද ලියා එවා තිබුණේ එහෙමය.

   බමරෙකු පරිදි මුමුණන මල් කැකුළ   රැක

   මගෙ ලියමනේ ඇති තොරතුරු හදිනි දැක

   සංගීතවත් වුණු හැටි සිරිඟරය           වැක

   සතුටකි මටත්, ඉන් සොම්නස දැකිය හැක

තවත් විටෙක සුනන්ද ශෘංගාරාත්මක කතන්දරයක් කියද්දී කීවේ එහෙමය. එහෙව් සංවරයක් එදා උදවියට තිබුණේය. නොදන්නා කෙනෙකුට වුව ඇමතීමේදී ඒ සංවරය අමතක නොකරන සමාජයකි එදා තිබුණේ. අවුරුදු 40කදී ඒ තත්ත්වය කොච්චරට වෙනස් වෙලාද?

එන්.ඩී. දෑකුරට ලොතරැයි පත් රැගෙන....

දැන් සුනන්ද කොහේ ඉන්නවා ඇතිද? එතකොටත් විවාහකයෙකු වුවද, උස්-මහත් වුණු දරුවන් සිටින පියෙකු වුවද සුනන්ද හසුන්වල ලියා එවූ අදහස් ලියන්නට ඇත්තේ නිකම්ම නිකංද? මූනිච්චාවටද?

මට හිතෙන්නේ එහෙම බොරුවට වෙන්න නම් බැරි බවයි. ගුණදාස අමරසේකර වියතාණන් කියා තිබෙන්නේ ‘කවි බස යනු හද බසයි’ කියලාය. ඉතින් කවිකාරයෙකු; කවියට හිතැත්තෙකු හෘදය සංවේදී ළයැත්තෙකු මිස දුර්ජනයෙක් වේවිද?

   ‘එන්.ඩී.’ අකුරු දෙක සටහන්වලට       එන

   ලොතරැයි පත් දෙකක් අද මා මිලට    ගෙන

   සිහිපත් කළ නිසා නොදුටුව කෙනෙකු ගැන

   සැකයක් තිබේවිද? දිනුමක් ලැබුම       ගැන

නොදැක සිටිමින්; දුරක සිටිමින්; වැඩි තොරතුරක් නොදැන හිඳිමින්; හඬින් පමණක් බැඳුනු කෙනෙකු සිහිපත් කරමින්- එයාගේ නමේ මුලකුරුවලට ලොතරැයි පත් ගන්නට ඇත්තේ නිකම්ම නිකං වෙන්නට පුළුවන්ද?

‘අනේ නිකං හිටපං නිමල්! එයා කරපු දේ එයාට. උඹ කරපු දේ උඹට. කොච්චර කුපාඩි වැඩක්ද උඹ කරලා තියෙන්නෙ.... එදා නිකමටවත් හිතුණෙ නැද්ද ඒ මිනිස්සුන්ටත් ටිකක් හරි රිදෙයි කියලා?’ මේ හරිය අකුරු කරද්දී හිත අහයි. සහතික ඇත්තය, සුනන්දගේ ලිපි නැවත කියවමින්, බ්ලොගයට ඔබන්නට ඒ සහෘදයාගේ කවි තෝරද්දී හොඳටෝම දුක හිතෙයි. ලජ්ජා හිතෙයි. ඒ මනුස්සයා ගැන කළු අක්කා එක්කලා වුණත් කතා කිරීම වරදක් බව දැන් හිතෙයි.

ඇතුන් ලවාවත් අද්දන්නට බැරි අමන වැඩ...
හැබැයි, කළු අක්කා එක්ක කදේ ගහද්දී වුණත්, මගෙන් සුනන්දගේ වතගොත කියැවුණේ නැතිම තරම්ය! ඒත් ඒ ප්‍රතිපත්තිය පවා අන්තිමට..... ඒවාට දඬුවමක් ලෙස මා මටම පොල් ටොක්කක් ඇන ගත්තත් මදිය!!

ගිය නුවණ ඇතුන් ලවාවත් නැවත අද්දවා ගන්නට බැරි නම් තැවී පලක් තියෙනවාද?

කෙනෙක් ඉගෙන ගන්නේ වැරදිත් කරමිනි. එදා කළ-කී හැම දෙයකින්ම මම ඉගෙන ගත්තෙමි. ජීවිතය ඉගෙන ගත්තෙමි. ඒ අත්දැකීම් නිසාමය, අද ඉන්නා නිමල් දිසානායක බිහිවී ඇත්තේ. රහුබැද්දෙ විදානේලාගේ ලීලාවතීගේ කුසෙන් බිහි වුණු නිමල් නොවේ අද ඉන්නේ. පේව්මන්ට් එකේ රජ වුණු නිමල් නොවේ අද ඉන්නේ. වස් කවි කියවූ නිමල් නොවේ අද ඉන්නේ.

වැරදි බෝනස් එකක් ලැබුණු නිමල්වත් නොවේ අද ඉන්නේ. කොටින්ම පසුගිය මාසයේ- පසුගිය සතියේ- පසුගිය දිනයේ හිටි නිමල් නොවේ අද ඉන්නේ. 

මා ගැන කිව හැක්කේ එහෙමය!

මම දිනපතාම යාවත්කාලීන වන්නෙමි. (මා හිතන්නේ එහෙමය! මං වැරදි වෙන්නටත් ඉඩ තිබේ!!) මගේ පමණක් නොව අනුන්ගේ  අත්දැකීම්වලින් පවා පෝෂණය ලබමින්, ඒවා විග්‍රහ කරමින්, ජීවිතයට යමක් තවමත් ඉගෙන ගනිමින් සිටින නොදරුවෙක්මි; මම!

අනේ, අද තරං අවබෝධයක්, දැනුමක් එදා මට තිබුණා නම්?

අංකුර සංගීතකාරයෙක් අපේ සුන්නාට හමු වෙලා තිබ්බේ...

“කළු අක්කේ දැන් නම් මට හිතිලයි තියෙන්නෙ සුනන්දව හම්බ වෙන්නම් කියලා කියන්න.” එදා මම කළු අක්කාට කිව්වෙමි.

එතකොටම ඇයගෙන් කෙරුණේ ආයාචනයකි. “අනේ නිමල් මල්ලී, මටත් ඒ මනුස්සයාව බලන්න ආසයි.... ඔයා ඉතින් අපට වැඩිය නුවණක්කාරයනෙ. මොන උප්පරවැට්ටියක් හරි දාලා ඒ මනුස්සයව මටත් පෙන්වන්න ඕනි, ඔන්න. බැහැයි කියන්න නං එපා!”

සුනන්දගේ හිත හොඳටම බිඳෙන්නට ඇත්තේ, කළු අක්කාගේ ඉල්ලීම ඉටු කරන්නට මා යෙදූ උප්පරවැට්ටිය හින්දාම වෙන්නට ඇතිය.

උප්පරවැට්ටිය ගැන කියන්නට නං දිසානායකලගෙ ටිකිරි මොළේ පන්නයේ ගොන්කමක් ගැනත් කියන්නට වෙයි. ඒ කතාව වෙනමම පෝස්ටු කිහිපයකටවත් තරම් වෙන හින්දා, පුංචි විස්තරයක් විතරය මෙතනදී කරන්නේ.

‘වැලේ ගෙඩි වැලට බර නැහැ’, ‘උපදින කිසි කෙනෙක් බඩගින්නෙ මැරෙන්නේ නෑ’ වගේ අතිපණ්ඩිත කතන්දර කියූ අපේ තාත්තාගේ පුරුෂ හෝමෝන වහනය ඉතා මැනවින් සිද්ද වුණු නිසා අපේ පවුලේ දරුවන් දහ දෙනෙකුම උත්පාද වුණු විත්තිය ඔබ දැනටමත් දනී.

ඒකට තවත් රුකුල් දෙන්නට ඇත්තේ, අපේ අම්මාත් ‘පිරිමියෙකුට පැදුර පෑගුණ පමණින් ගැබ්බර වෙන පරම්පරාවකින් පැවතෙන’ අංගනාවක් වීමය.

ඔහොම තියෙද්දී, අපේ ලොකු මල්ලී සුනිල් සංගීතය ඉගෙන ගන්නට පටන් ගත්තේය. බයිසිකල් රේස් පදින්නටත්, ඒ මාර්ගයෙන්ම බොරලැස්ගමුවේ මල්ලිකා ගල්හේන මෙනෙවිය හොයාගෙන එහාට යන්නට- එන්නටත් පටන් ගත්තේය. මල්ලිකාලගේ හිතවතෙකු වුණු අංකුර සංගීතවේදියෙකු සුනිල්ගේ හිතවත් මිත්තරයෙකු කර ගන්නට මඟ පෑදුණේ මල්ලිකාලගේ ගෙදරදීය. ඔහු අපේ ගෙදරටත් ආවේය.

අතුල-ලාලනී සෝමසිරි ගායක-ගායිකා ජෝඩුවෙන් එක්කෙනෙකු අපේ ගෙදරටත්....
අපේ ගෙදරදී සංගීත භාණ්ඩත් එක්කම ‘පැදුරු පාටි’ දැමුණේ එතකොටය! ඒ හාදයාගේ උදව්වෙනි. (එතකොට පැදුරු පාටි කියන නමවත් භාවිතයේ තිබ්බේ නැත. ඒවාට කිව්වේ ‘සංගීත සාජ්ජ’ කියලා බවය මං දන්නේ.)

ඔහොම පාටිවලට ගායක අතුල සෝමසිරි මහත්තයා පවා පැමිණි බව කියන්නේ ‘අපේ හොරණෑව මමම පිඹින’ ගමන්ය.

සකුරා මල් චෙරි මල් හිනැහෙද්දී සීතල අතරින් ජපානයේ, උඩහ ගෙදර රන් එතනා දෝතට දිය බොයි- වගේ එතුමාගේ ගීතමත් ඒ පැදුරු පාටිවලදී, අර ගම්භිර පිරිමි හඬින් ගයන්නට අතුල මහතා නිර්ලෝභී වුණු බව කියන්නේ බෙහෙවින් ස්තුතිවන්ත වෙමිනි.

එහෙම කළාට එතුමන්ටවත්, අපේ ගෙදරට ආ සංගීත ශිල්පීන්ටවත් සත පහක ගෙවීමක්වත් කරන්නට අපට සිද්ද වුණේ නැත. අප කළේ සප්පායම් වෙන්නට උවමනා කෑම-බීම හරිගස්සා තිබීම විතරය. 

වතාවක ඔහොම පැදුරක් දැම්මාට පස්සේ, අපේ අයිඩියානන්ද තාත්තාට ‘බ්‍රිලියන්ට් අයිඩියාවක්’ පහළ වුණේය!

“සුනිල්, අර උඹේ යාළුවට කියපංකො අයියටයි, නෝනාටයි එහෙමත් සංගීතෙ උගන්වන්න කියලා.... රංජි, මොකද කියන්නේ? හොඳයි නේද? එතකොට ගෙදරින්ම කට්ටිය ඉන්නවා සංගීත සාජ්ජයක් දාන්න.... පේනවා නේද, පවුලක සහෝදර සහෝදරියෝ ගොඩක් හිටියම ඒකෙ තියෙන වාසිය.”

තාලෙට අප්පුඩියක් ගහගන්න බැරි එකෙක්ද තබ්ලා ගහන්න හදන්නේ? 

තාත්තාගේ ඒ අදහසින් පණ ලැබුණු සංගීත පන්තියට හිටි සිසු-සිසුවියන් වුණේ අපේ ලොකු නංගිත්, සුනිලුත්, අනිල් මල්ලීත්, සෝමවීරත් මාත්ය. සුන්නා වාදනය කළේ වයලීනය හා බටනලාවය. ලොකු නංගී; නෝනාත්, මාත් සිතාරය හා සර්පිනාවය. අනිල් තබ්ලාවය.
අනෙක් ගෝලයා සම්බන්ධයෙන් නම් ලොකුම විහිළුවකුත් සිදු වුණේය.

“ඒයි මචං සුනිල්, මරු මිනිහෙක්වනේ බං උඹලා සංගීත පන්තියට අඬගහගෙන තියෙන්නෙ. සෝමයා කොහොමද බං තබ්ලා ගහන්නේ, තාලෙකට අප්පුඩියක්වත් ගහ ගන්න බැරි එකේ?” සුනිල්ගේ මිතුරු සංගීත ශිල්පියා සෝමවීර ගැන කිව්වේ එහෙමය.

එයින්, මෙයින් අර අංකුර සංගීත ශිල්පියාට ගීත කිහිපයක් ලියා දෙන්නටත් මට හැකියාව ලැබිණි. ඒවාට තනු යොදා, සංගීතවත් කර ගයා පෙන්වූ ඔහුට, ඊළඟට අවශ්‍ය වුණේ වික්ටර් රත්නායක ගායකයාණන්ගේ ‘ස’ වැනි ප්‍රසංගයක් පැවැත්වීමටයි.

“නිමල් අයියාටම පුළුවන් නේද ඒකෙ ප්‍රොඩියුසර් වෙන්න?” මොට්ට මමත් ලණුව ගිල්ලෙමි.

ඒ ප්‍රසංගය ‘ප්‍රතිභා’, හැව්ලොක් ටවුන් ‘ලුම්බිණි රඟහලේ’දී පවත්වන්නට කටයුතු සූදානම් කෙරුණේ, සුනන්ද කොළඹ එන්නට කල්-යල් බලමින් පෙරුම් පුරන කාලයේය.

අවුරුදු ගණනාවක් තිස්සේ සිදු වුණු දේවල් මෙහෙම ඡේද කීපෙකින්....
මෙහෙම ඡේද කිහිපයකින් කියාගෙන-කියාගෙන ගියාට ඒ දේවල් වෙන්නට අවුරුදු කිහිපයක් ගත වුණු බවත් කියන්නටම වෙයි. සංගීත පංති පටන් ගෙන කාලයකට පස්සේ අපේ තාත්තාගේ දිවි නසා ගැනීම සිදු විණි; සංගීත පන්තිය නැවතිණි.
එහෙත් සංගීත ඇසුර දිගටම පැවැත්විණි. අම්මාත් එංගලන්තයට සංක්‍රමණය විණි. ඒ විත්ති කිව්වේ එතකොට මට අසීමිත නිදහසක් ලැබී තිබුණු බව පෙන්වා දිය යුතු බැවිනි.

මගේ ලොක්කා නිමල් දිසානායක මාත්තියාම වුණු බව සඳහන් කළ යුතු බැවිනි.

ඉතින්, සංගීත ප්‍රසංගය හින්දා මගේ විවේකයත් ටිකක් අඩු වෙන්නට පටන් ගත්තේය. ඒ අතරේම වුණත් බතික් වැඩපොළේ වැඩත් කෙරීගෙන ගියේය.

“ඔන්න දහනායක මහත්තයෝ, මම අපේ නොදුටු ආදරවන්තයන් දෙන්නටම බායි කියන්නයි හදන්නේ.”

පිරිමි ළමා නිවාසයේ පාලක දහනායක මහත්තයා පුදුම වුණේ, මං එහෙම කිව්වාමය. “ඒ මොකද නිමල්... සුනන්ද තරහ වුණාවත්ද?”

“අනේ නෑ සර්. සුනන්දට ඕනිලු කොළඹ ඇවිත් මාව බලන්න. ඒ අස්සේ අපේ ප්‍රතිභා සංගීත ප්‍රසංගේ වැඩ හින්දා පැය ගණන් ටෙලිෆෝන් එකේ එල්ලිලා ඉන්න වෙලාවකුත් නෑ. ඉතින් මට හිතුණා රේල්වේ එකේ යාළුවටත් ඇත්තම කියලා වැඩේ ඉවරයක් කරන්න.”

මාත් මහීලා හමු වෙන්නට කොළඹ ගියොත්?
“ඔහෙ පලයන්! සුනන්ද මක්ක හිතාවිද ඔයා ඇත්තම කිව්වම?”

“නෑ, නෑ. එයාට ඇත්ත කියන්නෙ නෑ, ටෙලිෆෝන් එකෙන්. එයාටත් කොළඹ එන්න කියනවා ලුම්බිණියේ අපේ show එක තියෙන දවසට. හම්බ වෙලාම කියනවා.... එතකොට වැඩිය හොඳයිනේ. දැක ගන්නත් පුළුවනිනෙ. රේල්ලුවේ එක්කෙනාට නං ටෙලිෆෝන් එකෙන්ම කියන්නයි ඉන්නේ...”

“ඔහෙ මෙච්චර කල්, පැය ගණන් කතා කරපු යාළුවව නොදැකම?” දහනායක මහත්තයාගේ ප්‍රශ්නයත් එක්කම මගේ ඔළුවේ විදුලි සැරයක් ඇදී ගියා වගේ වුණේය.

ඒකත් ඇත්තය. මා මහීට ඇත්තම කිව්වේ මනුස්සයාව නොදැකමය. අජන්තටත් ඇත්තම කියන්නට හදන්නේ දකින්නෙත් නැතිවමය. එයාලා කොයි වගේද? මහී නම් ඉස්සර තරම්ම නැතත් ඉඳහිට මට කතා කරමින් සිටියි. ඒ වැඩියෙන්ම අජන්ත ලණුව කාගෙන ඉන්නා හැටි අහගන්නටය.

මරදාන- පිටකොටුව කියන්නේ මහ දුරක්ද?

සුනන්ද කොළඹ එනවා වගේ, මාත් මහීලා හමුවෙන්නට ගියොත්.... එක්කෙනෙක්ව විතරක් නෙවෙයි... දෙන්නවම! යාළුවො  දෙන්නවම!! යාළුවො දෙන්නවම එක සැරේ හම්බ වුණොත්?

16 comments:

  1. අර උඩිං කියාපු කතාව සහතික ඇත්ත. අපි දිනෙන් දින යාවත්කාලින වෙනවා. ඒ වගේම අපේ චර්යාවත් ඒ අනුව සෑහෙන්න වෙනස් වෙනවා.

    ReplyDelete
    Replies
    1. සියල්ල වෙනස් වෙන සුලුයිනේ ඩ්රැකී!

      Delete
  2. නිදි මගේ බ්ලොග් එකේ එක වෙද්දි, මං මෙහෙ පළවෙනි කමෙන්ට් එක දැම්මා...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි!
      ඩ්රැකී, මම ඉඩ තියෙන වෙලාවට ඔයාලගෙ බ්ලොග්වලටත් ගොඩවෙලා- කියවලා- ප්‍රතිචාර දක්වනවාමයි.... මට පෙනෙන්නේ blog ලියන කවුරු-කවුරුත් ඒ පුරුද්ද අනුගමනය කරනවා.
      එයාලානේ හොඳටම දන්නේ පෝස්ට් එකක් ලියන්න- හදන්න- පළ කරන්න දරන වෙහෙස ගැන... කමෙන්ටුවකින් ලැබෙන උත්තේජනය ගැන. ඒ හින්දා වෙන්නැති, නේද?

      Delete
    2. අනිවාර්යයයෙන්ම... බ්ලොග් නොලිව්වත් ඒකෙ මහන්සිය ගැන තේරෙණ කීප දෙනෙකුත් ඉන්නව අර ප්‍රාජේ, සිරිබිරිස්, ප්‍රසන්න, මෙන්ඩ වගේ උදවිය... ඔයා දැකල තියෙනවද ප්‍රසන්නගෙ බ්ලොග් එක? ගිහිං බලන්ඩ අනිවාර්යෙන්ම...

      Delete
    3. ලොකු මල්ලී මි
      මට ඕන දේ
      ඩ්රැකී ලිව්වෙන්
      නොලීමි

      Delete
    4. කියැවීමි
      තුටින් මත් වීමි
      කෙටියෙන් හෝ ලියූයෙන්
      පසස්නා රිසිමි!

      Delete
    5. ඩ්රැකී, ස්තුතියි ඔත්තුවට.
      ප්‍රසන්න blog එක ලිවීම නවත්තලාද? එතුමා ඉස්සර නම් හැමදාම මටත් කමෙන්ට් කරනවාමයි. වතාවක් මම දෙමල වචන වගයක් ටයිප් කරවාගෙන ගෙන්නා ගත්තත් එක්ක ප්‍රසන්න ලවා.
      ප්‍රසන්නගේ ලියවිලි නිවිහැනේ කියවන්නම්!

      Delete
  3. //මේ හරිය අකුරු කරද්දී හිත අහයි.//
    //කොටින්ම පසුගිය මාසයේ- පසුගිය සතියේ- පසුගිය දිනයේ හිටි නිමල් නොවේ අද ඉන්නේ. //

    ඒත් පේව්මන්ට් එකේ රජ වුණු, චන්ද රැස්වීම්වල කතාකරපු නිමල්ගෙන් කොටසක් ඔය ටෙලිෆෝන් රඟපෑමකල නිමල්ට තියෙන්න ඇති නේද?
    ඔය ඇන්දවීමේ ටැලන්ට් එකෙන් ප්‍රයෝජනය හරියට ගත්තනම් දැන් අඩුගාණෙ කැබිනට් ඇමති කෙනෙක්නෙ

    ReplyDelete
    Replies
    1. පොඩි කාලේ ඉඳලාම එකින්-එක හරි ඉගෙන ගත්තා. ඒවා ගොඩක් හොඳට ධාරණය කරගෙන ප්‍රයෝගිකවමත් අත්හදා බැලුවා.
      Pra Jay මහත්තයෝ, එහෙම තමයි අද ඉන්න නිදි හැදුණේ.

      මොන ටැලන්ට් එක තිබ්බත් මට දේශපාලඥයෙක් වෙන්න නං ඕනිම නැහැ. එයාල අනුනුත් රවට්ටලා, තමනුත් තමන්ටම රැවටිලා ඉන්න අසරණයෝනේ!

      Delete
  4. ඉන්ග්‍රීසි බාශාවෙ ලස්සන වචනයක් තියෙනවා 'move on' කියලා. නිමල් කියනවා වගේ හැම දේකින්ම ඉගෙනගෙන ඉස්සරහට යන එක. ඒක තමයි හරි attitude එක.

    'ආදරය ප්‍රේමය ගැන වුණත් ඉඟියෙන් මිස කෙලින්ම කියූ ය නොවේ'
    ඒ එකක්වත් 'දැනෙන' දේවල් මිසක් 'කියන' දේවල් නෙවෙයිනේ.

    ReplyDelete
    Replies
    1. ඔයා හරි කියලා විතරක් නවතිනවා.
      අඩුවක් නිසා නෙවෙයි, Lotus මහත්තයෝ.
      උත්තරයකට ලියන්න බැරි තරම් දේ හිතට ආව නිසා.

      Delete
  5. අම්මල තාත්තල ගැන මේ මනුස්සය කියන දේවල් අම්මපා :)

    ReplyDelete
    Replies
    1. අජිත් මහත්තයෝ, අම්මල තාත්තල ගැන වුණත් මම කිඋආ තියෙන එකක්වත් බොරු නෙවෙයි.
      ඒත් මට ජීවය දුන්නු අය හැටියට- ගොඩක් දේවල් ඉගැන්වූ අය හැටියට මම එයාලට ආදරය කරනවා; ගෞරව කරනවා. කළ හැකි තරමට විතරයි; අසීමිතව නම් නෙවෙයි. ඒ එක්කම එයාලව වුණත් විවේචනයත් කරනවා.
      මොකද කරන්නේ, උපන් හැටි එහෙම කොට!

      Delete
  6. අද කාලේ ටෙලිෆෝන් කෝල් එකකට යන වියදම, මීට වසර තිහ හතළිහකට කලින් අපි හීනෙන්වත් නොහිතපු තරම් අඩුයි. මම මෙහි ආ කාලේ ලංකාවට විනාඩියකට ඩොලර් 1.40 යි. දැන් මාසෙටම, ඕනෑම තරමක් කතා කරන්න පැකේජ් එක ඩොලර් 5 යි. ඒ කාලේ හැම මාස දෙකකටම සැරයක් ටෙලිෆෝන් බිල ඩොලර් 300-400 වෙනවා. ඒ කාලේ(1990 මුල විතර ), ටෙලිෆෝන් වියදම කොතරම් ඉහලද කියනවානම්, ලංකාවේ බොහොම ප්‍රසිද්ධ ගංගොඩවිල සෝම හාමුදුරුවන්ව මෙහෙ ස්ප්‍රින්ග්වේල් පන්සලෙන් ඉවත් කරන්න වෙච්ච සිදුවීම් දාමය පටන් ගත්තේත් ඩොලර් 800ක විතර ටෙලිෆෝන් බිලක් එන එක ගැන ඇතිවෙච්ච ප්‍රශ්නයකුයි. හැම මාස දෙකකම ටෙලිෆෝන් බිල $800 විතර උනේ කොහොමද කියලා හොයන කොට, එයාව පතාගෙන ආපු ගැහැණු කෙනෙක් ලංකාවේ ඉන්නවා කියලා, එයත් එක්ක මෙයා පැය ගණන් මල් කඩලා. එයාගේ සීලේ තරම දැනගත්තු දායක සභාව එයාව පන්සලෙන් අයින් කළා.

    ReplyDelete
    Replies
    1. කාලයෙ වැලි තලා යට ඇති දේ හැංගී
      ඉඳහිට මුත් මතුව හෙමිහිට උඩට නඟී
      තතු සටහන් කෙරුම කාටත් වාගෙ අගී
      ලියමුකො සෑම්! හිටියා ඇති නෙව හැංගී

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්