අකුරු මැකී නෑ

Monday, October 19, 2020

ඩිංගෙන් Hong Kong හිරේ! -තෙවෙනි කොටස

මම ඇඳෙන් බිමට බහින විටම සල්ලි කවරය....

මට ඇහැරුණේ කවුරුන්දෝ දොරට තඩි බාන සද්දෙටය. මං ඇඳෙන් බිමට බහිනවාත් එක්කම, බිමට වැටුණේ සල්ලි කවරයයි.  අච්චර මහන්සියෙන් ඉඳලාත් මට ඒ කවරය අමතක වෙලා නැත. මං නිදා ගන්නට ඇත්තෙත් ඒක තුරුලු කරගෙනය. ඉක්මනින්ම ඒක කොට්ටය යටට ඔබා, හංගලා ගිහින් දොර ඇරියෙමි.....

“Good Morning friend!” සූට්කේස් දෙකකුත් උස්සාගෙන කාමරයට කඩා වැදුණේ ෆස්ලුල් හක් මහත්තයාය. මිනිහා මොනවා ඇහුවත්, මොනවා කිව්වත් මට උත්තර දෙන්නට වුණේ ඇඳේ හාන්සිවීගෙනය; කොට්ටයට ඔළුව තියාගෙනය. වාසනාවට මනුස්සයා ඉස්සෙල්ලාම ඇහුවේ wash එකක් දාගන්නදැයි කියලාය. මං ‘හා’ කිව්වේ පැනලාය.

ෆස්ලුල් නාන කාමරයට ගියා විතරය, ආපහු එළියට ආවේය. නිකම්මත් නොවේ!

තුවා දෙක, සබන් කැටය හා ෂැම්පු බෝතලයත් අරගෙනය. වෙන දෙයක් තියා ඒ හාදයා ‘ෂවර් කැප්’ දෙකත් තුරුලු කරගෙන ඇවිදින්ය.

(කලින් දවසෙ රාත්තිරියේ වොෂ් room එකට ගියාමය මගේ CCTV කැමරාවට ඒවා අහුවෙලා තිබ්බේ.) “What are you doing?” මට ඇසුණේ නිකම්මය; ෆස්ලුල් ඒවා මිනිහාගේ සූට්කේසයට ඔබද්දීය.

ඒ මිනිහා ළඟ හිනාව නම් අඩු නැතිය.

එයාගේ ළඟ අඩු නැතිවම තියෙන සිනාවය, ඉස්සෙල්ලාම පෑවේ. “Don’t worry! Nimal....” කියලා පටන් ගෙන මනුස්සයා කිව්වේ මේකය. (ඒ හාදයා කීවේ සිංහලෙන් නොවේ. ඉංගිරිසියෙනි. මේ මං තේරුම් ගත්තු හැටියය.)

“හෝටල්කාරයෝ මේවා සේරටම අපෙන් සල්ලි අය කරලා තියෙන්නෙ. දවස ගානේ උන් මේවා සප්ලයි කරන්න ඕනෙ. ඇයි උඹ ගෙදරින් ගෙනාව ටවල් එක යූස් කළේ. අපිට නං මේවා හරියට වටිනවා. උඹට මේවා එපානේ? ඔන්න මම ගන්නවා.”

ඇත්තය! ඒ වෙද්දී නොරටක; එච්චර ලොකු හෝටලයක කටයුතු කෙරෙන විදිහ මං දැනගෙන හිටියේ නැතිය. ඉතින් මං හිතුවේ ‘මට මොකෝ?’ කියලාය.

අනෙක ඒ වාද-විවාද කරමින් ඉන්නට වෙලාවකුත් නොවේ. මුහුණ-කට හෝදාගෙන, Hong Kong Convention & Exhibition Centre එකට යා යුතුය.

අපට දන්වා තිබුණේ නම් ‘හාබර් විව් ඉන්ටර් නැෂනල් හවුස්’ එකේ සිට විනාඩි 10ක පා ගමනින් එතැනට යා හැකි බවයි. එතැනට ගොස් ලියාපදිංචිය තහවුරු කොට වටපිටාවේ ඇවිදින්නටය, මං හිතාගෙන හිටියේ. එනිසාම ෆස්ලුල්ට ඕනෑ නාඩගමක් නටා ගන්නට හැර නිහඬ වීමි.

ඒ යක්ෂයා නාන්න පටන් ගත්තු ගමන්.....

‘ඒ යක්ෂයා නාන සද්දේ හරි ඇඟ සෝදන සද්දය හරි ඇහෙනකල් ඉඳලා තමයි සල්ලි කවරේ තුවායෙන් ඔතාගන්න ඕනි. ඊට පස්සේ නාන්න යනවා!’ මම plan කළෙමි.

ඒ ටික ඒ පිළිවෙලටම කරගන්නට බාධාවක් කෙරුණේ නැතිය. කොයිකටත් කියලා, මිනිහා wash room එකෙන් එළියට එන්නට පෙර මං බෑගයටත් අගුළු දාලා ඉවරය. ඒ වැඩි පරෙස්සමටය. ‘මිනිහා මගෙ බෑග් එකටත් බහිවී නැත්තං!’

නාලා ඇවිදින්,  මං කලිසමට කමිසයට බැහැ ගත්තෙත් සල්ලි කවරය මිනිහාට පෙනෙන්නට ඉඩ නොදෙමිනි.

ඒ අතරේය, ෆස්ලුල් මගේ එදින සැලැස්ම ගැන ඇහුවේ. ඒ විත්තිය කිව්වාම, මිනිහා ඇහුවේ ‘උදේ කෑම කන්නේ කොහෙන්ද?’ කියලාය.

“මම නං බිස්කට් දෙක තුනක් කළා ෂේප් කරගන්නයි හදන්නේ....” මට කියැවුණේ නිකම්මය. ‘එතකොටවත් මේ යක්ෂයා කාමරෙන් එළියට යාවිනෙ’.

“ෂා.... ෂා.... ෂා... උඹ ලංකාවෙන් එනකොට එව්වත් ගෙනාවද?”

එවක අමද්‍යප සාමාජිකයන් කොටසක්, කෝට්ටේ ශ්‍රී නාග විහාර බිමේදී... (වමේ සිට 4 වෙනියා නිදිය. දකුණු කෙලවරේ ලාල් අයියා.)

ලාල් අයියා උපදෙස් දුන් විදිහටම ක්‍රීම් ක්‍රැකර්- ජෑම්- මාමයිට් ආදියත් අරගෙනය මං ගියේ. “මිස්ටර් ලාල් මට කිව්වා එහෙන්ම අරගෙන එන්න.... ඒක ලාබයි කියලා.....”

“හරි ෂෝක්.... හරි ෂෝක්... එහෙම තමයි වැඩ කරන්න ඕනි. මිස්ටර් හේවාපතිරණ සේරම හිතනවා.... ඒක නෙවෙයි, උඹ මොකුත් හිතන්නෙ නැහැ නේද, මමත් උඹේ බ්‍රෙක්ෆස්ට් එකම share කර ගත්තට? මම දන්නවා, උඹ ඕවා දවස් ගාණකට ඇතිවෙන්න ගෙනත් තියෙනවා කියලා. මිස්ටර් හේවාපතිරණත් එහෙමයි. මම හරිනේ.... හඃ හඃ හා!”

කන්නට තියෙන පංගුව හරි බෙදාගැනීම මට පුරුදුය.

ඒත්, මෙහෙම ගොනා වෙන්නට? විහින්ම මෝඩයාට ඇඳ ගන්නට.....

එදා මං ඒ මනුස්සයාට ජෑම්, බිස්කට් ආදිය දුන්නු බව ඇත්තය. හැබැයි තාමත් ඒ ගැන තරහවකි, හිතේ ඇත්තේ. ඒ ගැන හිතන වාරයක් පාසා පව් පුරවාගන්නා තරමට මා අසත්පුරුෂය.

මට වෙන්නෙත් පෝය දවසෙ සිල් ගත්තු මාළු මරන්නාට සිද්ද වුණා වගේ දෙයක් තමයි. දන්නව නේද? ඔන්න කොයිකටත් ඉතා කෙටියෙන්... ඒ කතන්දරෙත් කියන්නම්කො....

මාළු බාන්න ගිය යාළුවා දවස තිස්සෙම හිතුවේ.....

ගමක හිටියා මාළු බාන යාළුවො දෙන්නෙක්. පුරා පෝය දවසක එක යාළුවෙක් බිලී පිත්තත් අරගෙන, මාළු බාන්න යද්දී අනෙක් යාළුවා සුදු ඇඳගෙන සිල් ගන්න යනවා. “තමුසෙ අදටවත් ඔය පව්කාර වැඩේ නවත්තන්නෙ නැද්ද? මම නං සිල් ගන්නවා.” කියාගෙන මිනිහ පන්සලට ගියා. සිලුත් ගත්තා.

එදා දවස පුරාම මාළු බාපු යාළුවා පසුතැවිලි වුණා. ‘අනේ, මාත් සිල් ගත්තා නං!’ කියලා.

සිල් ගත්තු යාළුවා අරිටත් වඩා පසුතැවිලි වුණාලු. ‘චෙඃ! මේ ඉලව් සිල් ගැනිල්ලට නෑවිත් ගඟට ගියා නං.... අරූට ලොකු මාළුවෝ අහු වෙන්නැති....’ කියලා.

මටත් එදා කරන්න තිබුණේ ‘ෆස්ලුල්ගෙ ඉල්ලීම’ පිළිකෙව් කරන්න නේද? එහෙම කළා නම් මෙහෙම පසුතැවිල්ලක් ඇති වෙන්නෙ නැතිය.

ඒ කේන්තියට හේතුව එදා උදේ කෑමෙදී විතරක් නෙවෙයි. ඊට පස්සෙත් දිගටම ඒ සිංදුවම කියපු නිසා. මාත් දිගටම ගොනා වුණු නිසා, කෙලින් කතා කරන්නේ නැතිව.... ඒ විඩේ මගේ කොන්ද පණ නැතිව තිබුණ හැටි... චිඃ විතරක්!

හොංකොංවලින් ඇවිත් හිටි තරුණ පිරිසක්....

ඊට පස්සේ ෆස්ලුලුත් මගෙත් එක්කම ආවා, ලියාපදිංචි කෙරෙන තැනට. ඒ වැඩ සටහනට හොංකොං තරුණ-තරුණියන් ගොඩ දෙනෙකුත් සහභාගී වෙන බව පෙනුණේ ලියාපදිංචි කෙරෙන වෙලාවේ. එවෙලේ එතැන හිටි එරට තරුණ පිරිසක් මගෙත් එක්ක කට පුරා හිනා වුණා; කතාවට වැටුණා.

“නිමල්, හොංකොංවලින්ම සෙමිනාර් එකට එන මනුස්සයෙක්ගෙන් අහගන්න ඊළඟ දවස් ටිකේ ලාබෙට නවතින්න පුළුවන් තැනක් ගැන.” එයාලත් එක්ක කතා කරද්දී, මගේ හිතේ වැඩ කරමින් තිබ්බේ ලාල් අයියා මට කියලා තිබ්බ ඒ වචන ටිකය.

මට මතක හැටියට නම් එතැන පස් දෙනෙක් හිටියෝය. කෙල්ලෝ තුනයි, කොල්ලෝ දෙන්නයි. මගේ ප්‍රශ්නය කිව්වා විතරයි, එයාලා චීන භාෂාවෙන් චින්-චැං-චූං ගගා කතා කරගන්න පටන් ගත්තා.

එයාලත් මම වගෙමයි. එක්කෙනෙකුට විතරයි හොඳට ඉංග්‍රීසි කතා කරන්න හැකියාව තිබුණේ. අනික් අය මං වගේම වචන තෝර-තෝරා ගැට ගහන්නෝ!

“Sorry Nimal... අපට සමා වෙන්න ඕනෙ උඹගෙ ඉස්සරහපිටදී උඹ නොදන්නා භාෂාවකින් කතා කරගත්තට. මෙයාලට මට විතර ඉංග්‍රීසි බෑ. ඒකයි හේතුව. උඹ කැමතියි නම් අපි එක්ක යන්නම් ලාබ තැනකට. මේ හරියේ නම් කොතැනත් ගණන සැරයි. අපි හිතපු තැන ලාබයි, හැබැයි ෆෙරි එකෙනුයි යන්න වෙන්නේ....”

අනේ, ඒ කට්ටිය කොච්චර උපකාරී වුණාද කිව්වොත්, මට යාත්‍රාවේ ටිකට් ගන්නටවත් ඉඩ නුදුන්නෝය.

නාගදීපේ යන්න වෙන්නෙත් ඒ ෆෙරි වගේ යාත්‍රා ........(අපි නාගදීපේ යද්දී....)
එයින් ෆස්ලුල්ටත් වාසි වුණේය. අර මිතුරෝ ෆස්ලුල්ටත් එක්කම ටිකට් ගත්හ. අපේ කතාවට මැදිහත් නොවී හිටි ෆස්ලූල්, අපේ වලිගයේ එල්ලුණේ අන්තිම මොහොතේය. නවාතැන ඇති ඉසව්ව ගැන මටත් වඩා හාරලා ප්‍රශ්න අහන්නට පටන් ගත්තේ මිනිහාය. 

හොංකොං කියන්නේ දූපත් ගොඩකි. ඒවා අතර ගමන් කරන්නට විධිමත් යාත්‍රා සේවාවක් පැවැත්වෙයි.

නාගදීපයට ගිහින් තියෙනවද? නාගදීපේ යන්න වෙන්නෙත් ටිකාක් විතර හොංකොංවල තිබුණු මුහුදු යාත්‍රා විශේෂය වගේ එව්වායේය; Ferry- ෆෙරි. එහෙම කිව්වට ඒ දවස්වලත් හොංකොංවල ෆෙරි, දැන් අපට නාගදීපේ යන්නට තියෙන යාත්‍රාවලට වඩා වැඩියෙන් සැප පහසුය.

අප ගියේ මොන දූපතටදැයි කියලා නම් මගේ මතකයේ නැතිය.

හැබැයි ඒ දූපතෙත් හැමතැනම පාරවල්ය; කඩ සාප්පුය. එහෙන් හැරි-හැරී මෙහෙන් හැරි-හැරී ගිහිල්ලා අප ගියේ තට්ටු නිවාස පේළියකට බව මට මතකය. වයසක ගැහැනු කෙනෙකිය, ඒ නවාතැන් පොළේ හිටියේ.

“නිමල්, මේ කියන විදිහට නං වැඩිය ලාබයිනේ ඩුවල් room එකක් ගන්න එක. අපි දෙන්නට සින්ගල් රූම්ස් දෙකක් ගන්නවට වඩා....” ෆස්ලූල් හැදුවේ තවත් ගැටයක් ගහන්නටය. අපේ අලුත් මිතුරන් නිර්දේශ කළෙත් ඒකමය.

“ඒක ඇත්ත තමයි. ඒත් ගණනක් වියදම් වුණත් මම කැමතියි නිදහසේ ඉන්න. රෑට හරි නිස්සද්දව ඉන්න. උඹට ඕනේ විදිහට ඉන්න නොදී, මම උඹට කරදරයක් වෙන්නෙ මොකටද? උඹට වෙනම කාමරයක් ගනින්... වැඩිය හොඳයි.” මං ෆස්ලුල්ට කීවේ දැඩි ස්වරයක් යොදමිනි.

හොංකොංවල කෑම කඩ කප්පරකි!

හොංකොං මිතුරන්ට වුණත් ෆස්ලුල් ගැන විවේචනාත්මක දේවල් කියන්නට; ඇත්ත කියන්නට ඇහැකිද?

ඉඟියෙන් කියූ දේ තේරුම් ගන්නට තරම් ෆස්ලුල් නුවණැතියෙක් වුණේය. මං හිතුවේ එතැනින් ඒ කරදරය ඉවරයි කියලාය. මොන? හැමදාමත් හිමිදිරියේම ෆස්ලුල් මගේ කාමරයට ආවේය. Bed Tea එක බිව්වේ නැහැ නේදැයි අහගෙනය. ඊළඟට කන්නට තියෙන්නේ මොනවාදැයි ඇසුවේය; ඉල්ලුවේය. ඒ අතින් ඒ පුතයාගේ ලජ්ජා නහරය එහෙම පිටින්ම කපලා දමලාය.

මිනිහා කඩ කෑම නොකන කෙනෙක්ද? ඒකටත් එක්ක මං!

හොංකොංවල කෑම කඩ කප්පරකි; ඒවායේ විවිධ කෑම ජාතිත් කප්පරකි. එකොළහ වෙන්නටත් කලින්, යෝධ සාස්පාන්වල උණු-උණුවේ දුම් දමමින් තිබෙන කෑම ජාතිවලින් මොන-මොනවා වඩා රසවත්ද කියලා හොයාගැන්මය අසීරු වුණේ. ලොකුම විහිළුවක් වගේ මට දැනුණේ ඒ වෙළෙඳ සැලකම ඉඳගෙන කෑම කෑවාට පස්සේ සිදු වුණු දෙයකි. “බොන්න වතුර?” මම ඇසුවෙමි.

මගේ නුහුරු බව තේරුම් අරගෙනද කොහේදෝ කඩකාරයා කිව්වේ ගණන් හිලවුය. “වතුර බෝතලයක් මෙච්චරයි. ඔරේන්ජ් ජූස් බෝතලයක් මෙච්චරයි. කොකා කෝලා මෙච්චරයි....”

මේක පුදුම ලෝකයක්නෙ කර්තේලිස්!

මේක පුදුම ලෝකයක්නේ කර්තේලිස්!

Coca Colaත් ලාබය; Orange Juice වුණත් වතුරවලට වඩා ලාබය. හොංකොංවල වැසියන්ට බොන්නට වතුර පිටින් ගෙනෙන්නට ඕනෑය!

එහි සිටි දින කිහිපයේදීම මාත් වැඩියෙන් බිව්වේ වතුර නොවේ; කොකා කෝලා හා දොඩම් යුෂය. හැබැයි ඒ දොඩම් යුෂ පැණි රසෙන් අඩුය; තරමක තිත්තකුත් තිබ්බද කොහෙදය.

මට තදම-තද අමතක වීමක් වෙලාය. තරහ නොගෙන ටිකාක් විතර අතීතයට යන්නට අවසර දෙන්න. දූපතේ කාමරය හොයාගත් තැනට. “උඹලට අදම මෙහාට එන්න වෙයි නේද?” හොංකොං යහළුවා ඇසුවේය.

“හ්ම්! නැතිනම් අපිට අදටත් ලොකු ගණනක් එහාට ගෙවන්න වෙනවනේ.”

“පාර මතක තියා ගත්තා නේද? උඹල දෙන්නට මෙතැන හොයාගෙන එන්න පුළුවන්ද? එක්කෝ, මම විතරක් හරි එන්නං උඹලත් එක්ක. හොයාගන්න බැරි වුණොත් අතරමං වෙයි...” අනේ, ඒ හාදයා අපත් සමඟම හාබර් විව් එකට ආවේය. අනෙක් අය guide කාරිය මිතුරාට පවරලා, අපට සමුදී විසිර ගියහ. අපේ බෑග්ස් ආදියත් අරගෙන එතැනින් පිටත් වෙන්නට හදද්දීය, වෙඩිල්ලක් පත්තු වුණේ!

අප එනතුරු පිළිගැනීමේ කවුන්ටරය ළඟ බලා හිටි නිලදරුවෙක්...

“සර්ලා යන්න කලින් ගෙවීමක් තියෙනවා කළ යුතු.....” පිළිගැනීමේ කවුන්ටරය ළඟ හිටි නිලධාරියෙක් කිව්වේය.

“අපි එන්න කලින්ම එක දවසකට ගෙවලා තිබුණේ....” මම ලදුපතේ පිටපත පෙන්වීමි.

“සමා වෙන්න. ඒකට නෙවෙයි සර්. සර්ලා අරන් යන බඩුවලටයි ගෙවන්න වෙන්නේ....”

“අරන් යන බඩු?”

එතකොටම වෙන්නට යනදේ මගේ හිතට ආවේය. වස ලජ්ජාවය! අර හොංකොං මිතුරාත් අප සමඟය. “මේ තියෙන්නේ ඩීටේල්ස්.... ටවල්ස් දෙකයි, bed ෂීට් එකයි.....” නිලධාරියා කියවද්දී මට හිතුණේ පොළොව පලාගෙන ගිහින් හැංගෙන්නටය. “... ප්ලාස්ටික් බේසමයි....” මං හිතුවේ ෆස්ලූල් මටත් හොරෙන් ඇඳ ඇතිරිල්ලක් හා ප්ලාස්ටික් බේසමකුත් උස්සලාය කියලාය.

“මේ ෆස්ලූල්! තමුසේගේ ඉලව් බෑග් එකට ඔබා ගත්තු දේවල් ඔක්කොම return කරනවා. දැන්මම.....”

“ඒවා අපට ගෙනියන්න බැරිද? අනේ සොරි. මම හිතුවේ....” ඒ යක්ෂයා බබා හුකුං පාද්දී මම පිටත් වෙන්නට සැරසුණෙමි. මිනිහාගේ බෑගයේ ප්ලාස්ටික් බේසමක් තිබුණේ නැත! Bed sheet එකක් නම් තිබ්බේය!!

අපි ගිහින් හිටියේ ජාත්‍යන්තර තරුණ වැඩ සටහනකටය.........

“Sorry Sir, උඹලා යන්න කලින් බේසම වෙනුවෙන් ඩොලර් විසිපහක් ගෙවන්න වෙනවා.”

ෆස්ලූල් අදිමදි කරමින් කල් මරද්දී මම ඩොලර් 25 ගෙවූයෙමි. ඊළඟට ෆස්ලූල් දෙසට හැරුණෙමි. “දීපන් මට ඒ ඩොලර් 25.” මා සිටියේ කේන්තියෙන් උමතු වෙලාය; ලජ්ජාවෙන් දැවෙමින්ය. අර හොංකොං යහළුවා පැත්තකටවී නෑහුණු ගණනට හිටියා මිස, ඒ පලහිලව්වට හොට දමන්නට ආවේ නැතිය.

“එහෙම නෙවෙයි නිමල්.... අපි දෙන්නමනේ කාමරේ හිටියේ... උඹයි මායි දෙන්නම දන්නවා, අපි ප්ලාස්ටික් බේසමක් ගත්තේ නැති බව. මේක බොරු බ්ලේම් එකක්... බොරුවක් කියලා ගහපු දඩයක්... ඉතිං අපි දෙන්නම එකතු වෙලා නේද ඒ දඩේ ගෙවන්න ඕනි... ඒක නේද සාධාරණ?”

 වෙන තැනකදී නම් ෆස්ලූල් උන්නැහේට ‘සාධාරණය’ උගන්වන්නට තිබිණි. ඒත් ඒකට තැනත්, වෙලාවත් නොවෙන නිසා මම කට පියා ගත්තෙමි.

ඉතිං, ඒවා ඔහොමින් වුණත්- අප ගිහින් හිටියේ නම් ජාත්‍යන්තර තරුණ වැඩ සටහනකටය. ඒත් මගෙන් නම් නොකෙරුණේම එහි රාජකාරිය. ඒ වැඩ සටහනට නොගිහින් හිටි විත්තියක් නොවේ එයින් අදහස් කළේ.

ගියෙමි; හැම සැසියකටම සහභාගී වුණෙමි. බෙදා දෙන කප්පරක් පත්‍රිකා, පොත් පිංචවල් එකතු කර ගත්තෙමි; ඇත්තම කියනවා නම් මගේ සහභාගිත්වය එච්චරක්ම වගෙය. අම්මේ-මුත්තේ කිව්වත් ප්‍රශ්නයක් ඇහුවේ, අදහසක් පළ කළේ මේ පුතයා නොවේ. නොදන්නා දෙමළෙට ගිහින් වරිගේ නහගන්නද?

කොටියා තම වැයික්කිය ලකුණු කරන්නේ තැනින් තැන මුත්‍රා කිරීමෙනි... 

ශ්‍රී ලංකාවෙන් තවත් නියෝජිතයෙක් ඒ International Conference on Youth එකට සහභාගී වෙන්නට ගිහින් හිටියේය. ඒ තරුණ කටයුතු කෙරෙන රාජ්‍ය ආයතනයකිනි.

ඒ මනුස්පයා මොට්ට මට වඩා ඉංග්‍රීසියට හපන් කෙනෙකු වෙලත් හිටියේ නිශ්ශබ්ද විලියම් වගෙය. ඒ මදිවාට හුඟක් සැසිවලට හිටියෙත් නැතිය. පෙනුණේ එයාට සාප්පු සවාරි වඩා වැදගත් වුණු සැටියකි.

ඒ අතින් නම් ෆස්ලුල් උන්නැහේ මසුරන්ය. සම්මන්ත්‍රණයේ හැම දේශනයක්ම පැවැත්වෙන අතරේත්, අවසානයේත් ඒ මනුස්සයා නොවරදවාම ප්‍රශ්න ඇහුවේය. කරුණු කිව්වේය.

කොටි වනාන්තරයේ තම-තමුන්ට වෙන් කරගත් කලාපවලලු, සැරිසරන්නේ! එහෙම සැරිසරන තමන්ගේ සීමාව සලකුණු කරන්නේ මුත්‍රා කිරීමෙන්ලු.

හරියටම ඒ වාගේ සමුළුවේ සංවිධායකයන්ගේත්, සහභාගී වන්නන් සියලුම දෙනාගේත් සිත් තුළ ෆස්ලුල් උන්නැහේ තමුන්ගේ අනන්‍යතාව සටහන් කළේය. ඒ කට අරින්නට නැඟිටින වාරයක් පාසා තමන්ගේ නම, නියෝජනය කරන සංවිධානය, රට, ජාතිය හා ආගම ගැන පූර්විකාව කියා පාමිනි.

උඹලගෙ රටෙත් නයිට් මාර්කට් තියෙනවද?

ෆස්ලුල් කියන ඒවා තේරුම් ගත්තත්, දේශන පැවැත්වූ බොහොමයක් දෙනාගේ බරසාර ඉංගිරිස් දෙසුම් වටහා ගන්නට තරම් මම නුවණැති ඉංගිරිසිකාරයෙක් නොවීමි.

හරියටම ඒ දෙසුම් පැවැත්වූ වැඩි දෙනෙකුත් අපේ පණ්ඩිතමානී උගතුන් වගේමය. එතුමන්ලාගේ විනෝදාංශය හැකිතාක් වැඩි දෙනෙකුට නොතේරෙන විදිහට ලියන එකය; කියන එකය. පණ්ඩිතකම දිදුලන්නේ වැඩිම දෙනෙකුට ඒවා අජීරණය වුණාම වෙන්නැති!

අර අපේ ලාංකිකයා හිටියෙම ස්ත්‍රී යෝනියකින් නොව මහ බඹාගේ මුඛයෙන් මෙලොව උපන්නා වැනි උදාරම් ගතියකිනි. ඉතිං උන්නැහේගෙන් නොතේරුණු මොකවත් අහගන්නයැ.

අර හොංකොං මිතුරු- මිතුරියෝ නම් හිතා ගන්නටවත් අසීරු තරමට දිගටම මට සුහදත්වය පෑවෝය. ඒ සමහරවිට මගේ ගොබ්බකම වටහාගෙන වෙන්නත් ඇති!

“උඹලගේ රටෙත් night මාර්කට් තියෙනවද?”

එක දවසක් දහවල් කෑම විවේකයේදී අර පස්දෙනා මගෙන් විමසූහ. ඒ වෙද්දී ලංකාවට ‘ලෝක වෙළෙඳ පොළ’ ඇවිදින් බව නම් මතකය. නයිට් බසාර් ඇවිත් තිබිණිදැයි මට නිච්චි නැත. “මං ආසයි ගිහින් බලන්න.”

“අද රෑට අපිත් එක්ක යං!”

කොරෝනා දෙවෙනි රැල්ලත් පටන් ගෙන අහවරය... එය සුනාමියක් නොවෙන්නට නම්...
“ආපහු යන්න කලින් මගේ යාළුවන්ට තෑගි දෙන්න පොඩි-පොඩි ස්වනියර් ටිකුත් ගන්න ඕනි....”

“ඒකට අපි පස්සේ උඹව එක්ක යන්නම් හොඳ පැත්තකට. මේකේ වැඩියම තියෙන්නෙ කෑම කඩ..... ගිහිල්ලම බලමුකෝ... හැබැයි උඹේ පාස්පෝර්ට්, සල්ලි එහෙම පරෙස්සමෙන්.... හොඳ කල්පනාවෙන් ඉන්න වෙයි!”

අද; 2020 ඔක්තෝබරයේ එදාටත් වඩා කල්පනාවෙන්ය; මට ඉන්නට සිදුවී තිබෙන්නේ. මට විතරක් නොවේ; මේවා කියවන ඔබ හැමටත්. දැන් කොරෝනා දෙවෙනි රැල්ලත් ගහන්නට පටන් ගෙන අහවරය. අප හැම දෙනාටම සැකයෙන්; අවිනිශ්චිත භාවයෙන් අවදානම් සහගත කාලයකට මුහුණ දෙන්නට වෙලාය. ඉතිං.... අපි එය කරමු. සමාජ දුරස්තභාවය රැක ගනිමින්; මුහුණු ආවරණ පලඳිමින්; අනවශ්‍ය ඒකරාශිවීම් වළක්වා ගනිමින් කටයුතු කරමු!

එසේ කරමින් ඊළඟ කොටස ලියන්නටය මේ විරාමය ගන්නේ...

26 comments:

  1. ෆස්ලුල් අහන්න ඇති නියම ප්‍රශ්න ටිකක්. ඔය ඉන්දියන්, පකිස්තාන්, බන්ග්ලදේශ් අය සාමාන්යෙන් off the track තමයි. ඒගොල්ල අහන ප්‍රශ්න ඒගොල්ලන්ටවත් තේරෙන්නෙ නැහැ. මගේ අත්දැකීම නම් (විශේශයෙන් ඉන්දියන් අය එක්ක) ඒගොල්ල ප්‍රශ්න අහන්නෙ යමක් දැන ගැනීමට වඩා session එක facilitate කරන කෙනා අපහසුතාවයට පත් කිරීමට, විශේශයෙන්ම facilitator කාන්තාවක් නම්. මොනවා වුනත් එහෙම කතා කරන්න, ප්‍රශ්න අහන්න ඒ රටවල මිනිස්සුන්ට තියෙන ආත්ම විශ්වාසය අගය කරන්න ඕනෙ, අපේ සමහර අය වගේ අනිත් අය මොනවා හිතයිද කියල ඇඹරෙන්නෙ නැතුව.

    ReplyDelete
    Replies
    1. ඔව් Lotus මහත්තයෝ.
      ඒ ප්‍රශ්න එකක්වත් ෆස්ලූල් උත්තර බලාපොරොත්තුවෙන් ඇහුව ඒවා නෙවෙයි. නැඟිටලා තමන් ගැන කියන්න අහපුවා.

      ඔයා කියන ඒ අයගේ ආත්ම විශ්වාසය ගැන කතාවත් 100%ක්ම හරි.

      ඔයාත් ගොඩක් සම්මන්ත්‍රණවලට සහභාගී වෙච්චි කෙනෙක් වගේ!

      Delete
  2. මේ වගේ රට කාපු හොරෙක් එක්ක ඉඳලා හිරේ නොගිය එකම තමා පුදුමේ???

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත සෑම් මහත්තයෝ!

      ඔයාලා දන්නවා නං අර සල්ලි කවරේ පරෙස්සන් කරගන්න වින්ද මහන්සිය ගැන.... ඒක පොලිතින් කවරෙකත් දාලාම තිබුණු නිසා හොඳට ගියා... දිගටම හංගගෙන තිබුණු තැන නිසා...

      Delete
    2. අමතක වුණා! හිරේ වැටෙන්න ගියේ ෆස්ලූල් හින්දා නෙවෙයි...

      Delete
  3. මට ඉතාම හොඳ මිනිසුන් නොයක් ජාතීන් අතරින් හමුවී ඇති නමුත්, හොඳයි කිවහැකි පකිස්තානුවෙක් මෙතක් හමුවී නැත. සටකපටකම සහ ආත්මාර්ථකම ඔවුන් තුල ඇති නිසඟ ලක්ෂණයකි.

    කෙලින්ම නෑ, බෑ කීමට දිව නොනැමීම සිරිලාංකික අපගේ අඩුපාඩුවකි. ඉන් පල නෙනලාගන්නේ කපටීන්ය.

    ReplyDelete
    Replies
    1. මට වෙනත් පකිස්තානු ජාතිකයන් එක්කලා වැඩ කරන්න ලැබිලා නැහැ.

      හැබැයි මහත්තයෝ, හොඳ-නොහොඳ මිනිසුන් හැම ජාතියකම; හැම රටකම ඉන්නා බවයි මගේ හැඟීම.

      කෙළින් කතාව අපේ ගොඩක් උදවිය දකින්නේ නපුරු දෙයක් විදිහටනේ. එයාලා තිත්ත ඇත්තට වඩා මිහිරි බොරුවට ආදරෙයි!

      Delete
  4. ඔච්චර අයිඩියානන්ද කෙනෙක් වෙච්ච නිමල්ට ජාපාලයි ඇන්ටිපායි අමතකවෙච්ච හැටි.

    ReplyDelete
    Replies
    1. අනේ චමී, ඕනි තරම් පණ්ඩිතටන්ට වැරදිලා තියෙන්නේ. මං වගේ සොක්කෙකුට වරදින තැනුත් තියෙනවා තවමත්....

      Delete
    2. කා හටත් වරදී - දොස් කීම වැරදී
      මට නොවරදී - සිතන අයටත් නිතර වරදී

      Delete
  5. අපට, දිස්ත්‍රික්කෙටම ඇඳිරි නීතිය සඳුදා වෙනකං... ඒ නිසා මං මෙහෙ ආවෙ නෑ.

    ReplyDelete
    Replies
    1. පරෙස්සමෙන්!
      මෙහෙත් හතර වටෙන්ම ලෙඩ්ඩු හමුවෙලා. ආයෙමත් මාස ගාණක් නිවාස අඩස්සියට වැටෙයිද මන්දා ඩ්රැකී මහත්තයෝ!

      Delete
  6. හොඳ පකිස්තාන් කාරයෙක් මටත් හම්බ වෙලා නැහැ. අන්තිම කපටියි. අර යකාගෙන් ඔයින් බේරුනා ඇති. තේරෙන්නේ නැතිව බොරුවට ප්‍රශ්න අහන එක (කැපිල පේන්න) අපි එක්කල හිටපු ඉන්දියන් කාරයොත් කළා.

    ReplyDelete
  7. අජිත් මහත්තයෝ, බලාගෙන ගියාම රට-රටවලට යන ඔක්කොම පකිස්තානු ජාතිකයෝ 'පකියෝ' කියන එක වැරදියිනේ.

    ඒ නමේ මැද අකුරේ ඉස්පිල්ල අයින් කරලා ඉස්සරහටත් 'xරි' විශේෂණයවත් එකතු කළොත් හරි යයිද?

    ReplyDelete
    Replies
    1. මොනවත්ම නොලියුවොත් මගේ හොදම යාලුවෙක්ට කරන අසාධාරණයක්. සෞදියේදි මට බොහොම උගත් වගේම ගුනවත් පකිස්තානුවන් බොහෝ දෙනෙක් හම්බෙලා තියෙනවා.

      Delete
    2. ඔයා හරිම වාසනාවන්තයෙක් බවයි චමී පෙනෙන්නේ!

      මම හරිම කැමතියි ඔහොම සාධාරණව මිතුරන් වෙනුවෙන් පෙනී හිටිනවාට.

      Delete
    3. මේ මට වෙච්ඡ දේවල්. මම රස්සාවට ආ අලුත පකිස්ථාන නෙට්වර්ක් ඉංජිනියර්ස් ල දෙන්නෙක් හිටිය. මම කෙලින්ම development ටීම් එකට ආපු එක උන්ට ඇල්ලුවේ නැහැ. මොකද අපි කියන ඒවා අක්රන්න් ඕනේ නිසා. උන් දෙන්න අස් වෙලා ගියා. දැන් එකෙක් ඉන්නව ඌට කියන්නේ ඔෆිස් ස්පයි කියල හිත .පොර ප්‍රමෝෂන් ගත්තේ බොස්ට කේලම් කියල. තව දෙන්නෙක් ඉන්නව ප්‍රොග්‍රමින්. උන් අපේ ලංකාවේ ටීම් එකට කැමතිම නැහැ. මොකද ඒ ගොල්ල මේ දෙන්නට වඩා හොඳයි. ඒකෙන් මම වටහා ගත්තේ පකිස්තාන් කට්ටිය ලංකාවේ ඉන්දියාවේ අය තමන්ට ඉහළ තැනක් හෝ තමන්ට වඩා හොඳට වැඩ කරනවනම් කැමති නැහැ .

      Delete
    4. අමතක වුනා. තව එකෙක් ඉන්නව. ට්‍රේනින් ඩිපාට්මන්ට්. දැන් සාමාන්‍යයෙන් අපට ටයිම් ෂිට් දෙන්න ඕනේ නැහැ. අපි හරියට වෙලාවට වදපටන් ගන්න ඕනෙත් නැහැ. flexible time. මු මගෙන් උදව්වක් ගන්න කතා කරපු වෙලාවක මගෙන් ඇහුවා ටයිම් ෂීට් ගැන. මම කරන්නේ නැහැ කීවම මු ඒක අහගෙන ඉඳල බොස්ට කියල අඩව්වක් ඇල්ලුවා. ඇයි සමහරුන්ට විතරක් කියල. අන්තිමට බෝස නියෝගයක් එව්වා හැමෝටම කරන්න. මාස පහක ඒ වදේ වින්ද. මෙහෙ යාලුවෝ දෙන්නෙකුට මම පකිස්ථාන ට්‍රැවල් ajent ල හොර ටිකට් විකුණලා ආපහු සල්ලි ගන්න උදව් කරලා තියනවා. කෝට් යන්න ලියුම් හදල දීල. තව තියනවා ලිස්ට් එකක්. ඉතින් මට එපමන පහන් හැඟීමක් නැහැ ඔවුන් ගැන. එකම දේ 1996 ක්‍රිකට් කුසලානය වෙලාවේ අපට සපෝර්ට් කරපු එක. ඒත් ඒකත් කලේ ඉන්දියාව පැරදිලා, උන් ඔස්ට්‍රේලියාවට කැමති නැති නිසා.

      Delete
    5. ඔව්වා ඔහොම තමයිනේ අජිත් මහත්ටතයෝ.

      අපේ අවාසනාවට වගේ අපට වැඩියෙන්ම හමු වෙලා තියෙන්නේ නරක පකිස්තානුවෝ. කට්ටකාඩුවේ ලොකූට ඒකෙ අනෙක් පැත්ත.

      කොයි රටෙත්, කොයි ජාතියේත් හොඳ අය වගේම එපා කරපු නසරානියොත් ඉන්නවානේ.

      Delete
  8. හැක් හැක්.. තව ටිකක් කල් හෝටලේ හිටියනං අර මනුස්සය නිදි මහත්තයත් උස්සල බෑග්එකේ ඔබාගනියි.

    ReplyDelete
    Replies
    1. හැබෑමයි ප්‍රසන්න මහත්තයෝ... එකා එහෙව් මනුස්සයා!

      Delete
  9. මට හම්බ වෙලා තියෙන දකුණු ආසියානුවන් අතර මගේ කැමැත්තේ දෙවෙනියට ඉන්නේ පකිස්ථානුවන්...ඔවුන්ගේ මං අකමැතිම ගුණය දවල් වනතුරු නිදා ගැනීම පමණයි...

    ReplyDelete
    Replies
    1. ඔය ඉන්නේ!
      ලොකූ.... ශ්‍රී ලාංකිකයන් අතරෙත් ගොඩක් ඉන්නවනේ දවල් වෙනකල් නිඳා ගන්න අය.

      අපේ බඩා මල්ලා; දීපාල්ට පුතාලා දෙන්නයි. එයින් මාර්කෝ ඇහැරෙන්නේ පරක්කු වෙලා. නින්දට යන්නෙත් පරක්කු වෙලා; කොල්ලාට නිඳි මරන්නත් පුළුවනි.
      අනෙකා නිමල් බෙන් රෑ නවය දහය වෙද්දී නිඳි කිරා වැටෙනවා. හැබැයි පාන්දරින් නැඟිටිනවා කිසිම කෙඳිරියක් නැතිව.

      එහෙම මිනිස්සු දෙවර්ගයක් ඉන්නවයි කියලා මට කිව්වේ නම් අපේ 'ටිකිරි මොළකාර බඩාමයි!' ඇත්තද මන්දා.

      කොයිකටත් කියලා, ඒ තියරිය මම දන්නා අයට දාලා බැලුවාම කතාව ඇත්ත වාගේ. නෙවිල්, ගවීන් නිමල් බෙන්ගේ ගොඩේ.
      පීරිස්, මර්වින්, මානෙල් නංගී, මං එහෙම මාර්කොගේ පිලේ වගෙයි

      Delete