අකුරු මැකී නෑ

Tuesday, January 12, 2021

යුවති කිරිල්ලී - දොළොස්වෙනි කොටස

තමාගේ විවාහ මංගල්‍යය ඉතා චාම් එකක් විය යුතුයැයි වික්‍රම තීරණයකට එළඹ....

“ඔක්කොම කාරණා කියල-කියලා අන්තිමට සිසිලියානා දළදා හාමුදුරුවෝ ඉස්සරහත් දිවුරලා කිව්වා ඒකිගෙ වැරැද්දක් නැතිය කියලා.... ඊටත් පස්සේ තමා ඔය පවුල ආයෙම පෑහුණේ! 

විල්මට්, කිරි අම්මාත් දන්තුරේ බණ්ඩාරත් දෙදෙනාවම නුරුස්සන්නේ මන්දැයි චන්ද්‍රා සහසුද්දෙන්ම දැනගත්තේ එදාය.

11

තමාගේ විවාහ මංගල්‍යය ඉතා චාම් එකක් විය යුතුයැයි වික්‍රම තීරණයකට එළඹ තිබිණි. අත්‍යවශ්‍යම නෑදෑ-හිත මිතුරන්ට පමණක් දන්වා නිහඬ උත්සවයක් පැවැත්වීම ඔහුගේ අභිලාෂය විය.

“එහෙම කළොත් මිනිස්සු කතන්දර කියන්නේ අපිට නෙවෙයි... චන්ද්‍රා කෙල්ලටයි. දන්නවනේ මේකෙ එකීලගේ හැටි. බලාගෙන ඉන්නේ කාටද කතන්දරයක් කියන්නේ කියලා.... උඩින් හොඳ මූණ පෙන්නගෙන දත් ටික විලිස්සුවට, දැනටමත් ගොඩක් උන් ඉරිසියාවෙ පැලෙනවා අපේ කොල්ලට හරි ගිහින්ය කියල...”

අවසන් තේ කහට උගුරත් පානය කිරීමට පෙර සිසිලියානා අත්ල මත වූ සීනි ඇට කිහිපය ලෙව කා, චීත්තයෙන් අත පිස දා ගත්තාය.

ඇගේ සමහර කතා හිතළුය. කවුරුන් හෝ නොකීවත්, එසේ කියතැයි සිතන්නට...

“ඕවා ඔහොම තමයි සිසිලි. ඕක තමා මනුස්ස ගතිය. කාටවත් ඕක වෙනස් කරන්න ඇහැකිය?” විල්මට් බිරිඳගේ කියුම් එතරම්ම කණකට නොගනී.
ඇගේ සමහර කතා හිතළුය. කවුරුන් හෝ නොකීවත්, එසේ කියතැයි සිතන්නට ඇය ගජ හපනියකි.

ඉණ බැඳි හම් පටියේ වොලට්ටුවෙන් බීඩියක් ගත් විල්මට් එය මුව’ග රඳවා ගත්තේය. නැවත එය අතට ගෙන මාලතීට හඬ ගෑවේය.
“ගිනි පෙනෙල්ලක් ගෙනෙං දුවේ!”
තවත් යමක් කියන්නට තැතනූ සිසිලියානා දියණිය ගිනි පෙනෙල්ලද රැගෙන ආපසු යනතුරු කල් බැලුවාය.

“චන්ද්‍රා කෙල්ල වැඩ වරද්දාගෙන.... බබෙකුත් බඩට ඇවිත් නිසා අපි කලබලේම මෙව්වා කරාය කියල කියයි. ඔහොම එක පාරටම ගහෙන් ගෙඩි එන්නා වගේ මේවා කළාම මිනිස්සු එහෙම කතා කියනවා!”

ඈ සැමියාට කීවේ හඬ බාල කරමිනි.

ඕනෑ කුදයක් ගහගන්නවා.... හැබැයි, මට නං බැහැ ඕං අපේ සනුහරේට කියන්න යන්න...

“ඕනෑ කුදයක් ගහගන්නවා.... හැබැයි, මට නං බැහැ ඕං අපේ සනුහරේට කියන්න යන්න...”

“එහෙම කොහොමද? ඔයාත් ආතක්-පාතක් නැති කෙනෙක්ය කියලා මීගහපැලැස්සේ අයට පෙන්නන්ඩත් හොඳ වෙලාවනෙ මේ! මොකෝ අපිටම වුණත් ගමට-රටට කියලා දීග-තල යන්ඩ පිනක් තිබුණයැ....”
සිසිලියානා නිමක් නොපෙනෙන ආකාශය දෙස බලා අතීත මතකය සුසුමක දවටා පිට කළේ කනගාටුවෙනි.

“අනේ අම්මපා, මේ ගෑනු අම්මණ්ඩිලාටත් තියෙන තරමින් සැනසිලා ඉන්ඩ බැරි හැටි.... අහක යන කුණු හරි කමක් නෑ, ඇදලා ගෙට දමා ගන්ඩමයි හදන්නේ.... ඔය එක-එකීලා මෙහෙ ඇවිල්ලා පරණ කයි-කතන්දර අවුස්සලා ගඳ ගස්සෝගනිල්ලකෝ පුළුවන් නං....”
කාරා කෙළ පිඬක් ගැසූ විල්මට් නැඟිට මිදුලට බැස්සේය.
“අම්මල පුතාලා වෙච්චි, ඕනෑ කුදයක් ගහගනිල්ලා... හැබැයි මට මගේ පාඩුවේ ඉන්න ඉඩ දීලා. මගෙන් කෙරෙන්න තියෙන යුතුකම් ටික මම කරන්නං.... ඔය ඕනැවට වැඩිය වැඩ නැතිවට.”

“ඔය මනුස්සයා ඔහොම්මමයි. මොනයම්ම දෙයකටවත් ඉස්සරහට ඇවිල්ලා බරක් කරට අරං වැඩක් කරන එකක්යැ? අනේ, මාත් පිරිමියෙක් වෙලා උපන්නා නං දනී කරන හැටි!”

පඩි පෙළ බැස යන විල්මට් දෙස බලා සිටි සිසිලියානා තමාටම කියා ගත්තාය.

‘නැත්තං අප්පච්චිගෙත් එක්කලා තියෙන තරහව මගේ පිටින් යවයි!’

අම්මාගේ කතාව අසා සිටි මාලතී නැඟුණු සිනහව හඬ නඟා පිට කළේ නැත. ‘නැත්තං අප්පච්චිගෙත් එක්කලා තියෙන තරහව මගේ පිටින් යවයි!’ ඇය ප්‍රවේසම් වෙන්නට සිතා ගත්තාය.

ක්‍රමයෙන් නිවස කාර්ය බහුල තැනක් බවට පත් වෙමින් තිබිණි.

********

“ඉඳා.....”

“මොකක්ද චන්ද්‍රක්කේ?” මාලතී අත පෑවේ පැකිළෙමිනි.

“අරගෙන බලපංකො... බෝම්බයක් නෙවෙයි...” චන්ද්‍රා හිනැහුණාය. මාලතීගේ අත්ල මත තැබුණේ කුඩා කොළ කැබැල්ලකි. එය දිග හැර බැලූ මාලතී දැඩි සෙනෙහසින් චන්ද්‍රා වැළඳ ගත්තාය.

“කොහෙන්ද අක්කා?”

“ඕක මගේ යාළුවෙකුගෙ ඇඩ්‍රස් එකක්... ධනුෂ්ක අප්පොට ලියුමක් එවන්නම ඕනි නං එයාගේ බාරේ උඹේ නමට ලියල එවන්ඩයි කියපං. හැබැයි ඉතිං මගෙත් බෙල්ල ගහලා යයිද දන්නෑ, මේව කරලා... ඔන්න පරෙස්සමින්.....”

“අනේ අක්කා... අක්කට පිං මේ කරන උදව්වලට!”

හැබැයි ඉතිං මගෙත් බෙල්ල ගහලා යයිද දන්නෑ මේවා කරලා. (රුවන්වැලි සෑය ළඟින්ම තිබුණ රූස්ස වෘක්ෂයටත් හෙණ වැදුණානෙ...)

“අපිට ඉතිං පිං තමා ලැබෙන්නේ....හැබැයි ඉතිං මම මෙහාට ආවට පස්සේ උඹ මාත් එක්ක ජල්ලි අල්ලන්ඩ තියා ගනීද මන්දා?”

“අනේ මම එහෙම කරන්නේ නෑ... අක්කට පව් මට ඔහොම කතා කියන්ඩ.”

“මං විහිළුවට බං කිව්වේ. මම දන්නවා ඒ අතින් නම් මම හරි වාසනාවන්තයි. මට හම්බ වෙන්ඩ යන නැන්දම්මයි, නෑනයි දෙන්නම මරු!’ චන්ද්‍රා කීවේ හැඟුම්බර හඬකිනි.

“අපෙ අම්මයි, මායි දෙන්නම අක්කට මෙච්චර කල් සලකපු විදිහටම තමා ඉස්සරහට සලකන්නෙත්... අක්ක දන්නවද, අපි පුංචි කාලේ ඉඳලම තමා අම්මා අපෙ අයියටයි, මටයි ඉගැන්නුවේ අක්කලාගේ තාත්තට; මුදලිහාමි මාමට - හේරත් මාමාට එහෙම සලකන්ඩය කියලා.... එහෙව් එකේ...”

“මම දන්නවා බං... ඒත්... මට වෙලාවකට හිතෙනවා මං මේ උදව් කරන්නෙ උඹේ හොඳකටද- නරකකටද කියලා. ඒකයි මට බය!”

චන්ද්‍රා අවිනිශ්චිත බවකින් වෙළී සිටියාය.

‘මාලතී අහිංසක එකී!’
ඇයගේ කුළුඳුල් පෙම් සබඳතාව මෙය බව චන්ද්‍රා දනියි. එහෙත් මේ දුර-දිග යතැයි සිතිය හැකි එකක් නොවේ.

ඒත්... මට වෙලාවකට හිතෙනවා මං මේ උදව් කරන්නෙ උඹේ හොඳකටද- නරකකටද කියලා.

‘අන්තිමට මේ අහිංසකීට හිතේ ගින්දර විතරක් ඉතුරු වේවිද මන්දා... කෝ, ඒක මේකිට තෝරලා කිව්වට අහන්නෙත් නෑ... ඇස් දෙකේ කඳුළු පුරෝගෙන හූල්ල-හූල්ලා ඉන්නකොට හිතෙනවා පුළුවන් උදව්වක් කරන්ඩ... අනේ මංදා.

********

“අප්පච්චිට කියපං දුවේ කැත්තත් අරං දුම් ගෙට එන්නය කියලා....” සිසිලියානා කුප්පි ලාම්පුව අතට ගත්තාය.

“කැත්තත් අරං...?” මාලතී ඇසුවාය.

විල්මට් නිඳන්නේ පිල මත වූ ලණු ඇඳෙහිය. දිනපතාම ඇඳිරි වැටෙන්නට පෙර ලණු ඇඳේ කොට්ටයට යටින් කැත්ත තැබීම මාලතීට අයත් දෛනික රාජකාරිවලින් එකකි. රාත්‍රියට කැත්තේ අවශ්‍යතාවක් මතු වෙන්නේ සොර-සතුරු බියක ඉවක් හෝ දැනුණු විටෙක පමණි. “අද විතරක් මොකද මේ.... අපෙ අම්මා....?”

“උඹට මං කියපු දේ කරපංකෝ පැහිච්චිකම තියෙද්දී....”  බිරිඳගේ ඉල්ලීම විල්මට්ටද ගැටලුවකි.

“මොකද බං? උඹලගෙ අම්මට පිස්සු හැදීගෙන එනවද?” කැත්ත අතට ගත් විල්මට් දුම් ගෙට පියවර මැන්නේය. සිසිලියානා කියන්නක් නොකෙරුවොත් නිවී-සැනසිල්ලේ පාඩුවේ සිටිනවා බොරු බව ඔහු දනී. පියා අනුගමනය කළ මාලතීද දුම් ගෙට ඇදුණාය.

“මොකද බං? උඹලගෙ අම්මට පිස්සු හැදීගෙන එනවද?” කැත්ත අතට ගත් විල්මට් දුම් ගෙට පියවර මැන්නේය.

“මේං මේ උණ ගහේ පහළම පුරුකේ යටින් පෙත්තක් කපලා අයින් කරපල්ලකෝ....” සිසිලියානා තැනක් පෙන්වූවාය.

කුස්සියේ වූ ළිප් දෙකට ඉහළින් සිටිනසේ දුම් මැස්ස සාදා තිබිණි. දුම් මැස්සේ හරස් ලී ගැට ගසා තිබුණේ කුස්සියේ සිටවූ උණ කණු හතරක් මතය.

“ඔය උණ ගහේ පෙති කපන්න ගියොත් ඕයි, දුමම කඩා වැටෙනවා.... ඔය හැළි-වළං ටිකත් එක්කම. අද ඊයේ හිටවපු උණ ගහක්ද ඔය? මේ ගේත් හරි- ඕවත් හරි නේද? පුදුමයි මෙච්චර කල්වත් ඔය දුම කඩා නොවැටී තිබුණා!”

විල්මට්ගේ කීමෙන් සිසිලියානා කලබල වූයේ නැත. ඇය කුප්පි ලාම්පුවත් අතැතිව බලා සිටියේ උජාරුවෙනි. විල්මට් ඇය පෙන්වූ උණ ගස අසලට ගොස් එල්ලය බලා කැති පහරක් ගැසුවේය. වියැළී පදම් වී තිබුණු උණ ගසේ වැදුණු කැත්ත පසුපසට වීසි වූවා පමණි.

“මේක පුදුම හයියක් තියෙන උණ ගහක්නේ....”

දවස, වෙලාව අල්ලලා කපාපු උණ ගස්.... කොච්චර කල් ගියත්....
“ඕවා අපේ අප්පච්චි දවස, වෙලාව අල්ලලා කපාපු උණ ගස්.... කොච්චර කල් ගියත් ඔව්වට ගුල්ලෝ ගැහිලි- දිරලා යැවිලි නෑ.... තේරුණාද?”

සිසිලියානා තවත් ආඩම්බර වී ඇතිවා සේය.

“එහෙනං ඉතිං අහවල් දේකටද මේ කණුව කපන්නේ?” විල්මට් හිස ඔසවා බැලුවේ තේරුමක් දැන ගැනීමේ අටියෙනි.

“මම කියාපු දේ කරලා දෙනවකො....” සිසිලියානා කියයි. මාලතී කතා නොමැතිවම බලා සිටියේ ඊළඟට කුමක් සිදු වේදැයි සැකයෙනි. කැති පහර කිහිපයක් වැදුණු පසුව කුඩා උණ පතුරක් ගැලවී ගියේය.
ඒ සමඟම උණ ගසේ සිදුර තුළින් කාසි එළියට ගලා ආවේ මිහිරි හඬක් නංවමිනි.

මව්පිය දෙදෙනාත් දියණියත් එකිනෙකාගේ මුහුණු බලා ගත්හ.

“ඕවා වික්‍රමගේ කසාදයට එකතු කළේ....”

සිසිලියානා රහස හෙළි කළාය. විල්මට් බිරිඳ දෙසට හෙළුවේ සෙනෙහැති බැල්මකි.

සිසිලියානා සෙනෙහැති බිරිඳක් වූවාය; ආදරණීය මවක් වූවාය; ඒ අතරේම උත්සාහවන්ත ගෘහණියක්ද වූවාය.
“ඔය රෑ තිස්සේ නැහීගෙන පන් මලු වියන්නේ අහවල් එහෙකටද?” විල්මට් ඇසූ වාර අනන්තය. “මොකද, මම රස්සාව කරලා ගෙනත් දෙන දේ උඹලට කන්න අඳින්න මඳිද.... ඔය එළවලු රාත්තල් තුන හතරත් විකුණන්න හදන්නේ?”

වත්තේ වැවෙන එළවලුවලින් කොටසක් විකිණීමට සැරසෙන සිසිලියානාට විල්මට් ආඩපාලි කීවේ වරක් හෝ දෙවරක් හෝ නොවේ.
“උඹලා ඔහොම නැහිලා හම්බ කරන සල්ලි කෝ?” විල්මට් නිතර අසන්නටත් පුරුදු වී සිටියේය.

අද ඒ සියල්ලටම පිළිතුරු ලැබී ඇත.

අද ඒ සියල්ලටම පිළිතුරු ලැබී ඇත. කිසා ගෝතමිය සිදුහතුන්හට නිබ්බුත පද කීවාසේ මේ උත්සාහවන්ත ගැහැනිය පසසන්නට නොදත් විල්මට් කළේ එක දෙයකි.
ඔහු අඳුරට මුහුණ හැරෙව්වේ දෑසේ නැඟුණු කඳුළු බිරිඳ හෝ දියණිය හෝ දකිනු නොරිසි නිසාවෙනි.

“උඹත් උඹලගෙ අම්මා වගේ හැදුණොත් නං වරදින්නෙ නෑ දුවේ!” විල්මට් කීවේය. ඔහුගේ හඬ වෙවුළනසුලුය; බිඳී ගොසිනි. ඒ ප්‍රීතිමත් සංවේගයකින් ඔහු නැහැවී සිටි බැවිනි.
“අනිත් උණ ගසුත් කපනවද?” අන්තිමේදී විල්මට්ම නිහඬතාව බින්දේය. සිසිලියානාත් මාලතීත් එක්ව සිනා වූහ.

“ඔය උණ ගස්වල ඇතුළේ පුරුක් අයින් කරලා දුන්නෙත් අපේ අප්පච්චි... සල්ලි එකතු කරන්න මැටි කැටවලට වඩා අපූරුයි. අරක මාලතීට.... අනිත් දෙක.... අපේ වැඩවලදී ඒගොල්ලෝ කපාවි!”

“අපෙ අම්මා!” මාලතී මව බදා ගත්තාය.
“අව කැපෙන කතා කියන්න හොඳ නෑ අපෙ අම්මා....”

වික්‍රම සඳහා වූ උණ කණුව තුළ වූ මුදල් එළියට ගත් පසු සිසිලියානා කොහොල්ලෑ ගුළියක් සිදුරට ඔබා උණ පතුර ඊට ඇලෙව්වාය. ඉන් පසු ඒ උණ කණුවේ උඩින්ම කාසි ඇතුළට දැමීමට සාදා තිබුණු සිදුරටද තවත් කොහොල්ලෑ ගුළියක් එබුවාය.

********

මගේ වසමේ ඉන්නවා ලලිත් පන්නිපිටිය කියලා ෆොටෝග්‍රැෆර් කෙනෙක්...

පොත type setting කෙරෙන අතරේම පොත් කම්බය ගැනත් හිතන්නට, මේ ලියන්නාට සිදු විණි.
“කවරෙට ලස්සන ගෑනු ළමයෙක්ගේ foto එකක්ද දාන්න යන්නේ?” සොමිලුත් ඇසුවේය.

පොත් කවරය හදන රාජකාරියත් මටම කරගන්නට හැකි යැයි ‘මං පොර’ සිතිවිල්ලක් මගේ ඔළුවේ තැන්පත් වෙලා තිබුණු බවත් දැන් හංගන්නට ඕනෑ නැත. “ඇයි? ඉන්නවද කෙල්ලෙක්?” මම සොමිල්ගෙන් ඇසුවා මතකය!

“ඉන්නව ඉන්නවා. හැබැයි එයාලව හරි යන්නේ අපායට ගහන කැලැන්ඩරේකට දාන්න.... අපිට වගේද? නිමල් අයියට කෙල්ලොද නැත්තේ... හැම තිස්සෙම trip එහෙමත් යන්නේ පිරිවරාගෙන....” සොමිල් එහෙමය. හඃ හඃ ගා සිනාසී, ඉඟි මරා hint පාස් කරයි.

“ඇත්තටම අහන්නේ boss. කාවද foto එකට ගන්න යන්නේ...”

“දෙන්නෙක් ගැන හිතේ තියෙනවා.... එයාලගෙන් අහන්න කලින් photographer කෙනෙක්ව හොයාගෙන ඉන්න වෙනව සොමිල්.” සොමිල්ට එහෙම කියන වෙලාවේ උපාලි ජයරත්නත් (මල්වතු ඔයේ ගිලෙන්නට ගිය මාව කිරිල්ලී බේරා ගන්නවා ඇසින් දුටු හොඳම සාක්ෂිය මේ උපාලිය.) අපේ ගෙදර සිටියේය.

“නිමල් අයියේ, මගේ වසමේ ඉන්නවා ලලිත් පන්නිපිටිය කියලා ෆොටෝග්‍රැෆර් කෙනෙක්... ඔන්නං මං මනුස්සයව අල්ලලා දෙන්නං...” උපාලි එවෙලේම කිව්වේය.

දැන් තිලංකා සිරිවර්ධනත් දෙදරු මවකි!

පහුවදාම අප නාවින්නට ගියේ ලලිත්ව හම්බ වෙන්නටය. හරිම සුහදශීලීව ලලිත් fotos කීපයක් අරගෙන දෙන්නට කැමති වුණේය. එතකොට ලලිත් කැමරාවට මිස කලාවට බර විත්තියක් පෙනෙන්නට තිබුණේ නැතිය.
ඊට කාලයකට පස්සේ ‘සංගිලි’ නමින් film එකක් අධ්‍යක්ෂණය කළේ, මේ ලලිත් පන්නිපිටියයි.

“අනේ තරහ වෙන්න එපා නිමල් අයියේ. අපේ එක්කෙනා කැමති නැහැ දුවගේ foto එකක් පොතකට දානවට!” මගේ හිතේ තිබුණු යුවතියන් දෙදෙනාගෙන් එකියකගේ අම්මා කිව්වාය. (මගේ හිතේ තිබුණේ foto එකට ගන්නට මිස, සහේට ගන්නට නොවේ!) “නිමල් අයියට හරි යනවා නං foto අරං බලන්න.” ජිනදාස අයියා කිව්වේය. ඒ අනෙක් යුවතියගේ තාත්තාය; තිලංකා චන්දිමා සිරිවර්ධනගේ තාත්තාය. 

දැන් තිලංකා දෙදරු මවකි!

පොත් කවරයේ සිටින දැරිය, අපේ මානෙල් නංගිගේ දියණිය උපේඛා කෞෂිනී පණ්ඩිතගේයි. එතකොට දඟකාර පුංචි කෙල්ලෙකුවූ ‘රෝසි’ එක තැනක ඉන්දවා, හැඟුම්බර mood එකකින් සිටිද්දී කැමරාවේ හිර කර ගන්නට ලලිත් ලොකු යුද්ධයක් කළේය.

අපේ රෝසි; උපේඛා කෞෂිනීත් එක්දරු මවකි!!

දැන් අපේ රෝසි; උපේඛාත් එක්දරු මවකි!! 

එතෙක් මා වැඩ කළ pressවලදී දැක තිබුණු විදිහටය, මං පොත් කවරය සැකසුවේ. හෝව්! හෝව්!! පොඩ්ඩක් හෝව්!!!

නාගයින් පෙණය කරනවා දැකලා ගැරඬි කැට-කැබිලිති අහුලාගෙන දැඟලුවාට හරි යන්නේ නැතිය. ජීවිතේටම එක පොත් කවරයක් විතරක් හදලා තියෙන නිදි! මතක නැද්ද උඹට වැඩිය දහස් වාරයක් හපන්, අත්දැකීම් තියෙන හපනෙක් පොත් කවර හැදිල්ල ගැන පොඩි පෝස්ට් එකක් දාලා තිබ්බා... මගේ විස්මිත මතකය කිව්වේය. හැබෑය. මේ තියෙන්නේ ඒකය.

ස්තුතියි ප්‍රියන්ජන්!
මේ පෝස්ටුව ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා පළ කළ එකකි. මටම උපුටා ගන්නට කියලා දැමූ එකක් වගෙය. අපි පොත් කවර නිර්මාණයේ හසල අත්දැකීම් ඇති ප්‍රියන්ජන්ගේ වචනවලින්ම ඒ විස්තර කියවමු.
(යුවති කිරිල්ලී දෙවෙනි මුද්‍රණයේදී පොත් කවරය නිර්මාණය කළෙත් ප්‍රියන්ජන්ය.)

‘ඒ කාලෙ පොතකට පිටකවරයක් නිර්මාණය කරන්න අද කාලෙ මෙගා ටෙලි නාට්‍යයක් හදනවට වඩා අපි වෙහෙසුණා. මේ ඒ.පී. ගුණරත්න මහතා පරිවර්තනය කළ ආර්.එල්. ස්පිට්ල් මහතාගේ ‘මැකී ගිය දඩමං’ පොතේ කවරෙ නිර්මාණය කරන්න, ඈත ගල්ගුහාවක් හොයාගෙන ඒක සුද්ධ කරල පිටකවරෙට අවශ්‍ය ඡායාරූපය ගන්න මහන්සි වෙච්ච හැටි.

අපි පොත් කවර නිර්මාණයේ හසල අත්දැකීම් ඇති ප්‍රියන්ජන්ගේ වචනවලින්ම ඒ විස්තර...

-මේකෙ ඉන්න වැද්දා අපේ ජයලාල් රෝහණ... මේක කළේ 1994 විතර. සූරිය ප්‍රකාශන හිමිකරු අතුල ජයකොඩි ප්‍රකාශයට පත් කරපු පළමුවන පොත. මේ පොතින් තමයි ඔහු ප්‍රකාශකයෙක් වුණේ. මේ පොතේ හිමිකම තිබුණේ ඒ.පී. ගුණරත්න පවුලට. ඒ.පී. ගුණරත්න මහතාගේ පුත්‍රයා ඉන්දු මගේ හොඳ මිතුරෙක් වූ නිසා අතුලට අලුත් ව්‍යාපාරයක් අරඹන්නට මම ඉන්දුට කියලා මෙම පොත අරන් දුන්නා. එම පොතට පිටකවරය නිර්මාණය කරල දුන්නෙත් මම. ඒ කාලේ ෆොටෝ ෂොප් තාක්ෂණය ලංකාවේ  තිබුණේ නෑ. අපි අතින් කපලා කොටලා අකුරු ඇඳලා නැත්තම් ලෙට්‍රා සෙට්වලින් තමයි පිට කවර  හැදුවේ.

-‘වන සරණ’ පොතේ කවරේ කළේ නාචිමලේදී. ඒකේ ඉන්නේ හේපති කුලරත්න. ඔහු නාට්‍ය  ශිල්පියෙක්. මෑතක ඔහුගේ පවුලේ සියල්ලන් සමග පැවිදි දිවියට එළඹුනා. මේ තුවක්කුව රොජර්  සෙනෙවිරත්නගේ ගෙදර තිබුණු; නාට්‍යයක් සඳහා හදපු එකක්.

-අද අතුල ජයකොඩි මෙරට පොත් කර්මාන්තයේ දැවැන්තයෙක්. ඒ ගැන මටත් සියුම් ආඩම්බරයක් තියෙනවා. පරිගණක නොතිබුණු ඒ කාලෙට වඩා, අද කාලෙ පිටකවරයක් හදන එක කොච්චර ලේසිද.....’

ප්‍රියන්ජන් වගේ කෙනෙකුටත් එහෙම හිතෙනවා නං, මං වගේ එහෙකුට කියන්න තියෙන්නේ මොනවද?

පසුබිමට යොදන්න පින්තූරයක් පවා හොයා ගත්තේ ඉංග්‍රීසි සඟරාවකින්. ලලිත් අරන් දුන්නු fotos සීරුවෙන් කපලා... අකුරු ඇඳලා... වෙන-වෙනම....

අනේ මාත් වින්ද වදයක්... පසුබිමට යොදන්න පින්තූරයක් පවා හොයා ගත්තේ ඉංග්‍රීසි සඟරාවකින්. ලලිත් අරන් දුන්නු fotos සීරුවෙන් කපලා... අකුරු ඇඳලා... අලවලා... ඒ කවරය හදලා ඉවර වෙද්දී මං එක තීරණයකට ඇවිල්ලත් ඉවරයි. මේ මගේ පළමු හා අවසාන පොත් කවර නිර්මාණයයි!
ඕනෑම කෙනෙකුට පුළුවන් වැඩ වගේම බැරි වැඩත් තිබේ. එහෙම නේද?

සිසිලියානාත් මාලතීත් පාන්දරින්ම පිබිදුණෝය. දෙදෙනාම එක්ව දිවා ආහාර පිළියෙල කරද්දී විල්මට් දුම් ගෙට ඇදුණේය.

“මේං අම්මේ, අප්පච්චිත් ඇහැරලා....”

“දූලගෙ අප්පච්චිට නිඳිමත නැතෙයි නැඟිට්ටේ? දුවේ... එහෙනං ඔය වතුර කේතලේ අර දහයියා ළිප උඩින් තියාපංකො.... ඉක්මනට උණු වෙයි!”

“මොකෝ අද මේ පාන්දරින්? අම්මව බලන්ඩ යන්නද?”

“හ්ම්! උන්දැටත් වික්‍රමගෙ කසාදෙ ගැන කියලා, උන්දැවත් බලල එනවා.... ඉස්සරහට වැඩපළ වැඩි හින්දා වැඩිය අම්මව බලන්ඩ යැවෙන එකකුත් නැහැනෙ......”

උයා හමාර කළ සිසිලියානා මවට ගෙන යාම සඳහා බත් මුලක්ද පිළියෙල කර ගත්තාය.

අක්කලාත් හොඳ දවසේ ආවේ....

ඔවුන් හේරත්ගේ නිවසට යද්දී මිදුලේ වූ ළිපක් මත වතුර හැලියක් රත් වෙමින් තිබිණි. ළිපට පිඹිමින් සිටි රන් මැණිකා කඳුළු පිරි දෑසින් යුතුව නැඟී සිටියාය.

“අක්කලාත් හොඳ දවසේ ආවේ.... මං මේ අම්මව නාවන්ඩ කියලා, අක්කේ. දර තෙතයි....තාම ළිප ඇවිළුණේ නෑ හරියකට.... ඒකයි දුම් ගහන්නේ... යං අක්කේ ගෙට.... පුතාලගේ අප්පච්චිත් හේනට ගිහිල්ලා....”

රන් මැණිකේ සියලුම තොරතුරු කියා දැමුවෙන් අසන්නට දෙයක් නැති තරම් යැයි මාලතීට සිතුණි. “මං ළිප අවුළුවන්නං නැන්දා.....” මාලතී ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වූවාය.

“අනේ.... දූට බැහැ. දුම් කන්ඩ තමයි වෙන්නේ...”

“මට පුළුවන් නැන්දා...” මාලතී ළිප මොලවන්නට වූවාය. ඒ අතරතුරේ සිසිලියානාත්, රන් මැණිකාත් කිරි අම්මා හා කතාවට වැටුණෝය. වික්‍රමගේ කසාදය තීරණය විනැයි ඇසූ කිරි අම්මා බෙහෙවින්ම සතුටට පත් වූවාය.

“අනේ වාසනාවන්! මට එහෙනං මුණුබුරෙකුගේ කසාදෙත් දැකලා මැරෙන්ඩ පුළුවන්!”

“අම්මා මේ මොනව කියනවා? මුණුබුරාගෙ කසාදෙ විතරක් නෙවෙයි, අපෙ අම්මා මී මුණුබුරොත් දකින කල් ඉන්ඩ ඕනා!” සිසිලියානා මවගේ හැට්ටය ගැලෙව්වාය. රන් මැණිකාගේ සහායද ලබාගත් ඈ මැහැල්ලට දිය රෙද්ද අන්දවා මිදුලට කැඳවාගෙන ගියාය.

මතු මයිත්තිරී බුදුන් දැක නිවන් ලබන්ඩම මේ පිං ඇති!

“උඹලාට මතු මයිත්තිරී බුදුන් දැක නිවන් ලබන්ඩම මේ පිං ඇති! .... මයෙ දූලා ජාතිත් වාසනාවන්!!” කිරි අම්මා දිගටම පිං දුන්නාය.

උණු දිය නාවා, කවා-පෙවීමෙන් පසු ඇය වෙතින් දිස් වූයේ ප්‍රාණවත් පෙනුමකි. කිරි අම්මා මාලතීව ළඟට කැඳවාගෙන හැඹිලියේ වූ යතුරක් ඉවතට ගත්තාය.

“ඕකෙන් අර පෙට්ටගම ඇරලා.... ඒකෙ තියෙන පන්කොළ පෙට්ටිය එළියට ගන්නිං මයෙ දුවේ”

සිසිලියානාත්, රන් මැණිකාත් බලා සිටිද්දී මාලතී කීකරු වූවාය.

පන්කොළ පෙට්ටිය පතුලෙන් කිරි අම්මා ඉවතට ගත්තේ....

36 comments:

  1. කණුවක් හැටියට හිටවලා තියන උන බම්බුවක පුරුක් අයින් කරලා, සල්ලි දාන්න කැටයක් හැටියට පාවිච්චි කරනවා කියන එක ප්‍රායෝගිකව සිදුවෙන/සිදු උන දෙයක්ද? එහම නැතිනම් ඔයා හිතින් මවා ගෙන කරපු නිර්මාණයක්ද?
    කොහොම උනත් සෙලින්කෝ, ETI, සක්විති, දඬුවම් මුදලාලි වගේ තැන්වල ඉන්වෙස්ට් කරනවාට වඩා උන බම්බුවක් ඇතුලට දාන එක හෝ, (තවම සල්ලි එලියට ආවේ නැති උනාට) පං කොළ පෙට්ටියක දාලා පෙට්ටගමට දාන එක ආරක්ෂිතයි.

    ReplyDelete
  2. සෑම් මහත්තයෝ. දූරදර්ශී ගැහැණියකගේ අත්දැකීමක්. බදුල්ලේ. අවුරුදු හැටපහක් හැත්තෑපහක් විතර ඈත කාලයේ.

    දුම් මැස්ස හදන්න කලින් රිට්ටාව අල්ලලා උණ ගස් කපා ගන්නේ. එතකොට ගුල්ලෝ ගහන්නේ නැහැලු. මට මතක හැටියට නං අව පක්ෂේදී තමයි කපන්න ඕනේ.ඊට පස්සේ යකඩ ඉන්නක් රත් කරලා පුච්චමින් තමා ඇතුලේ පුරුක් අයින් කරගෙන තියෙන්නේ.

    ඊළඟට උඩම කොනේ තමා නොපෙනෙන විදිහට සල්ලි දාන කට කපාගෙන කණු හිටවන්නේ.

    යුවති කිරිල්ලී එකේ තියෙන ගොඩක් ඇත්තම අත්දැකීම්. හැබැයි මට හිතාගන්න බැරි කීයක් විතර එකතුවෙලා තියෙන්න ඇතිද කියලයි. ඒ කාලේ දෙකේ කාසිවත් තිබ්බේ නැහැ වගෙයි නේද? ඒ වුණත් මුදල බාල්දු වෙල තිබ්බෙත් නැහැනෙ!

    ReplyDelete
    Replies
    1. රිදී රුපියලේ කාසි ද? අපේ මහගෙදර එහෙම කැටයක් කෑම කාමරේ බිම වළලලා තිබුණා.

      Delete
    2. අපේ මහරගම ආච්චී ලඟත් රිදී කාසි එකතුවක් තිබුණා. සල්ලියෙ කාසි එහෙමත්. එවාටිකක් මටත් ලැබුණා. අලුක්කාල තිබ්බේ නැති අඩුව ගිය වතාවේ නමෙන් ව්තරක් හඳුනාගෙන හිටි සිරිබිරිස් උන්නැහේ ලංකාවට එද්දී තෑග්ගකට ගෙනත් දුන්නා. දැන් මා ළඟ සත පනහේ, දහයේ, පහේ සල්ලි කොලත්- සතයේ-භාගයේ-කාලේ-අලුක්කාලේ කාසි තියෙනවා!

      Delete
    3. ඔය ටිකයි, පොත් එකතුවයි, අන්තිම කැමැත්තෙන් මගෙ නමට ලියවගන්න මම මොකද කරන්න ඕනෙ?

      Delete
    4. මං එහෙම එකක් ලියන්න සූදානම් වෙනකල් බලං ඉන්න එක විතරයි, ඩ්රැකී කරන්න තියෙන්නේ. දැන්මම මැරෙන්නය? අපොයි බෑ!

      Delete
  3. මම හිතන විදිහට හොඳම සිංහලට පරිවර්ථකයා ඒ පී ගුණරත්න. හොඳම අනුවර්ථකයින් ඒ ආර් එරත්න හා මායා රංජන් (මම දැන් කාලෙ පරිවර්ථන කියවල නැති නිසා මගේ මතයේ අඩුපාඩු ඇති.

    නෙවිල් ගැන මොනවත් නැතුව පෝස්ට් එක අසම්පූර්ණයි වයේ

    ReplyDelete
    Replies
    1. එරත්න මහත්තයා වගේ තව හොඳ පරිවර්තක- අනුවර්තක කතුවරු ගොඩාරියක් ඉන්නවා. නමුත් හුඟක් අයට නිසි තැන ලැබිලා නැහැ.
      ට්‍රිලීෂියා ගුණවර්ධන එහෙම එක්කෙනෙක්, මගේ මතයෙ හැටියට. ඇගේ එකම හා පළමු පරිවර්තනය -සංස්කාර, විභවි ප්‍රකාශනයක්- ඊට හොඳම නිදසුනක්.

      අදාළ නැත්තං නෙවිල් ගැන නෙවෙයි සක්කරයා ගැන වුණත් බැහැනෙ, Pra jay මහත්තයෝ. අනෙක ඒ හාදයා ගැනනෙ අනෙක් පෝස්ටුව.

      Delete
    2. //හොඳ පරිවර්තක- අනුවර්තක කතුවරු
      ඊරියගොල්ල,මුනිදාස සෙනරත් යාපා එහෙමත් ඉන්නවා.නිදිට තව අය මතකද

      Delete
    3. මගේ හිතට වැදුණු අය නම් ගොඩක් ඉන්නවා. එක පාරටම මතකෙට එන අය ගැන විතරක් කියන්නං. සුගතපාල ද සිල්වා- ඇට මැස්සා, චන්ද්‍ර අනගිරත්න- ඩ්රකියුලා, හියුබත් දිසානායක- බළල් බිල්ල, ඩී,සී, රණසිංහ- තෙල්මා, දෙයියෝ සාක්කි, ඩේවිඩ් කරුණාරත්න- කතා සරිත් සාගරය.
      සමහර කතුවරුන්ගේ නම් හොයලා කියන්න නොයා මගේ හිතේ නිදන්ව ඇති පොත් කිහිපයකුත් කියන්නම්.
      කොයිබටද?, මහා ධීවරයාණෝ, අයේෂා හෙවත් නොනැසෙන රැජිණිය, ගැඹුරු මුහුද, චන්ද්‍ර සංචාරකයෝ.

      අලුතින් පැමිණි හොඳ පරිවර්තකයනුත් ගොඩක් ඉන්නවා, චූලානන්ද සමරනායක වගේ!

      Delete
    4. කේ.ජී. කරුණාරත්න මහත්තයාත් මම කැමතිම පරිවර්තකයෙක්. ඒ වගේ නම් ගොඩක් මඟ හැරෙනවා... මාත් ළඟදී පරණ පොත් අත නොගාන නිසා. එහෙම කළොත් blog එක ලිවීම පරක්කු වෙනවනේ...

      Delete
    5. කේ.ජී. කරුණාරත්න - මාත් කැමතියි , බිම්ගෙයි සිරකරුවා හරි කවුන්ට් ඔෆ් මොන්ට ක්‍රිස්ටෝ එයාගේද

      Delete
    6. ඔය හරි අජිත් මහත්තයෝ. සිටුවර මොන්තක්රිස්තෝ - අසංක්ෂිප්ත පරිවර්තනය කේ. ජී. කරුණාරත්න මහතාගේ.
      නමුත් මුලින් ගුණසේන එකෙන් පළ කළ 'දේව හස්තය' කේ. බී. සුගතදාස මහතාගේ වගෙයි මතක. එය අනුවාදයයි. මොන්ත ක්රිස්තෝ පොතේ.

      Delete
  4. මුල් පොතේ චිත්‍රයක් පිට කවරෙට ගත්තෙ නැත්තෙ ඇයි?
    සමන් ප්‍රෙස් එකන් මුද්‍රණය කරපු මැකී ගිය දඩමං එඩිශන් එකේ නම් තියෙන්නෙ එහෙමයි.
    වන සරණ මුල් පොතෙත් එහෙමයි. ප්‍රකාශකයාගෙ නම මට දැන් මතක නෑ

    ReplyDelete
    Replies
    1. දෙවැනි හෝ ඕනෑම මුද්‍රනයකදී ප්‍රකාශකයාගේ රුචියනේ ඉස්මතු වෙන්නේ. මෙතැනදී වෙන්න ඇත්තෙත් ඒකම වෙන්නැති කියලයි මට හිතෙන්නේ. ඒ ගැන හරිම තොරතුරු දන්නෙ ප්‍රියන්ජන් මහතා තමයි. මම කළේ උපුටා ගැනීම විතරයි. ඒකත් කවර නිර්මාණය ගැන හොඳට කියැවුණු නිසා.

      Pra Jay මහත්තයා අහන්නේ යුවති කිරිල්ලී නැවත මුද්‍රණය ගැන නම් එතැනදීත් ඒ කවරය කෙසේ විය යුතුද කියන තීරණය ගැනීමේ අයිතිය තිබුණේ ගොඩගේ මහතාටයි.

      Delete
    2. මං කිව්වෙ වන සරණ සහ මැකී ගිය දඩමං ඔරිජිනල් පොත්වල තියන චිත්‍ර. පරිවර්තන වල මුල් මුද්‍රණ පිටකවරවල තියෙන්නෙ ඒ චිත්‍ර. එහෙම කරන්න තිබුනා. මං කොහොමත් පොත් පිටකවරවලට ෆොටෝවලට වඩා චිත්‍ර ගැලපෙනවයි කියලයි හිතන්නෙ

      Delete
    3. Pra Jay මහත්තයො, අපි එක-එක්කෙනාගේ රුචි-අරුචිකම් වෙනයිනේ. විදෙස් සම්භාව්‍ය කෘතිවල වුණත් පිටකවර වෙනස් වෙවී නේද ගොඩක් reprints ඇවිත් තියෙන්නේ.
      මට හිතෙන්නේ වෙළෙඳ පොළ ගැන හිතලා වෙන්නැති එහෙම වෙනස් වෙන්නේ.
      මගේ අදහස නම් මොන විදිහෙන් කෙරුණත් හොඳ දේවල් හොඳයි. අතින් ඇඳපු ජරා චිත්‍ර තියෙන පොත් කවරත් ඕනි තරම් තියෙන්නේ...

      Delete
  5. ඔක්කොම කොටස් කියෙව්වේ නැති උනත් මේ කොටස කියෙව්වා. ඔහොම පිට කවර හදල පොත ප්‍රින්ට් කරන වැඩේ කරද්දී කොහොමද වෙන්නේ ? මට ඇත්තටම හිතා ගන්න බැහැ. අපේ ඔලු දැන් වැඩ කරන්නේ කොම්පියුටර් ක්‍රමේට හින්දා ඊට කලින් කොහොම කරන්න ඇත්ද කියන එක හිතා ගන්න ටික ටික අමාරුයි වගේ හෙහ් හෙහ් ...

    මම මගේ පොතේ පිට කවරේ හැදුවා තනියම ෆොටෝෂොප් ඉගෙන ගෙන. මම හිතන්නේ ෆොටෝෂොප් 5.5 වර්ෂන් එක. ඊට වඩා ලස්සනට කවර ඩිසයින් කරලා දෙන්න ප්‍රින්ට් කරපු තැනින් සහ අන්තිමට පොඩි පොඩි එඩිට් කරපු තැනින් ඇහුවත් මට ඕනේ උනේ මම හදපු එකම දාන්න හෙහ් හෙහ් ...

    පොත එතරම් සාර්ථක නොවුනට මගේ හිතට ෆිට්. මම හැමදේම කරපු හින්දා..

    ReplyDelete
    Replies
    1. පැතුම්, වරින් වර ටික-ටික මුද්‍රණ කෙරුවාව ගැන ලියවුනා. ලෙටර් press ක්රමෙදී අකුරු අතින් අමුණලා, පිටු බැඳලා මුද්‍රණය කෙරුණේ. ඊට පස්සේ ටයිප් සෙටින් කරලා, ප්‍රින්ට් outs අරන් ඒවා කපලා අලවලා පිටු හදලා ඒවා කැමරාවෙන් කොපි කරලා පොසිටිව්ස් (වචනේ හරිද මන්දා) අරන් ප්ලේට්ස් හැදුවා. ඊටත් පස්සේ කම්පියුටරෙන්ම පිටු හදලා ට්‍රේසින්ස් අරගෙන plan කරලා ප්ලේට්ස් හැදුවා. එක plate එකකට පිටු 8යි. මුද්‍රිත පෝරමයකට පිටු 16යි. ඒ කියන්නේ 1/8 සයිස් පිටු 16ක් මුද්‍රණය කරන්න plates 2ක් ඕනි.

      දැන් තාක්ෂණය තවත් දියුණුයි. කම්පියුටරෙන්ම අර පිටු plan කරලා plates සකසනවා. මැෂිනුත් ලොකුයි. පිටු 16ක් එකවර මුද්‍රණය කෙරෙනවා. ඊටත් වඩා ලොකු ඒවාත් ඇවිත් තියෙනවා.

      කොහොමත් පැතුම්, තමන් විසින්ම වැඩක් කළාම හෙණ සැටිස්. හැබැයි වැඩේ නියමෙටම කෙරෙන්න නං දැඩි උවමනාවකින් කරන්න වෙනවා, කැපවීමකින්.

      Delete
    2. පැතුම් ගේ පොත මොකක්ද?

      Delete
    3. අජිත් මහත්තයෝ, ඔයා අහල තියෙන්නේ මටත් පැතුම්ගෙන් අහන්න හිතුනු ප්‍රශ්නයක්... බලමුකො පැතුම් දෙන උත්තරේ...

      Delete
    4. මෙන්න මේක
      https://biththiya.blogspot.com/2009/12/blog-post_27.html

      Delete
    5. වැඩි විස්තර මේකෙත් තියෙනවා
      https://biththiya.blogspot.com/2014/09/blog-post.html

      Delete
    6. ස්තුතියි නිදි, මට තේරුනේ නැත්තේ කොහොමද ඔය හදන පින්තුරේ ප්ලේට් වලට ගන්නේ කියල. ෆොටෝ එකක් අර එකේ නෙගටිව්/පොසිටිව් එක ප්ලේට් එකට ප්‍රින්ට් කරනවා ද ? පාට එන්නේ කොහොමද එතකොට ?

      Delete
    7. පැතුම්, මටත් පොතක් ඔ්නෙ... තියෙනවද එකක් ගන්න? කර්තෘගෙ අස්සනත් එක්ක

      Delete
    8. පැතුම්, මම links දෙකටම ගිහින් කියෙව්වා. සතුටුයි. සේරටම වඩා මං තවමත් සතිපතාම විදුසර මිලදී ගන්නවා, මට කියවන්න තියෙන්නේ පිටු 5-6 වුණත්. විශේෂයෙන් විද්‍යා ප්‍රබන්ධය කියවනවා. ඔයාගේ කතාත් කියවෙන්නම ඕනි.

      ඕනිම වර්ණ මුද්‍රණයක් කෙරෙන්නේ වර්ණ හතරක් එකතු වෙලා. Cyan-ලානිල්, Majenta-රෝස, Yellow-කහ හා Black-කළු වර්ණ හතරෙන්. විශේස අවැසියා අනුව ඒවා වෙනස් වෙන වෙලාවකුත් තියෙනවා.

      කැමරා ආධාරයෙන් අවශ්‍ය චිත්‍රය අර වර්ණ හතරට බෙදාගෙන- පොසිටිව්ස් හතරක් අර ගන්නවා. ඒවා offset plates හතරකට තියලා එක්ස්පොස් කරලා රසායනික දියරයකින් සෝදා හරිනවා. යන්තමට විස්තර කිව්වේ.

      ඒ plates උපකාරයෙන් තමා එක මත එක සිටිනසේ (හරියටම රෙජිස්ටර් වෙනසේ) වර්ණ හතරෙන් පින්රතූය ප්‍රින්ට් කර ගන්නේ.
      එහෙම කෙරුණේ එක සැරයකට එක වර්ණයක් විතරක් මුද්‍රණය කෙරෙන යන්ත්‍රවලින්. නමුත් දැන් ලංකාවේ ප්රෙස්ස්වලත් එකවර පාට හතරම මුද්‍රණය කල හැකි මැෂින්, පාට 6 මුද්‍රණ කල හැකි මැෂින් තියෙනවා.

      මේ විස්තර ටිකෙන් යන්තම් පින්තූරයක් හදාගත හැකියි නේද?

      ඔයාගේ පොත ගන්න බලාගෙන සිටින ලැයිස්තුවට මාවත් දමා ගන්න.

      Delete
    9. මම පොත ගැන දන්නවනේ .අමතක වෙලා.ලන්ඩන් වලට ගෙන්න ගන්නත් ඇහුවනේ. හැබැයි මේවා පරණ වුනත් තියන් ඉන්න එක හොඳයි. අර ගන්න පුළුවන් ලින්ක් එක වැඩ කරන්නේ නැහැ.

      Delete
    10. ස්තුතියි නිදි විස්තරේට, මම ඕක යු ටියුබ් එකේ හොයල බලන්නම්. මම ආස වැඩක් ප්‍රින්ටින් කියන්නේ. ගෙදර තියෙන ප්‍රින්ටරෙන් ප්‍රින්ට් වෙලා එන එකත් ආසාවෙන් බලන් ඉන්න ජාතිය හෙහ් හෙහ් ... පොත නම් එවන්න පුළුවන් වෙයිද කියල ෂුවර් නැහැ. එකක් මම ලංකාවේ නැති කම. අනිත් එක ගෙදර තියෙන පොත් ඔක්කොම හොඳටම පරණයි දැන්. අවුරුදු 20ක් වෙනවනේ මේ අවුරුද්දට..

      අජිත් ඔව් 2014 ලියපු එකට අජිත් කමෙන්ට් එකකුත් දාල තියෙනවා.

      Delete
    11. සමහර ප්‍රශ්නවලට කාලය විසින්ම උත්තර දෙයි, පැතුම්! බලමුකො, ඔයාලට ආයෙ මව්බිමට එන්න ලැබෙනකොට...

      Delete
  6. නිදි ඊළඟ සැරේ ලංකාවට එන්න පුළුවන් වුනොත් මට ගන්න පොතක් තියන්න අත්සන එක්ක.

    ReplyDelete
  7. ගොඩ ගහගෙන හිතේ ගළපා ලියනවනේ‍‍
    ආපහු කියවමින් අඩු වැඩි පුරවමිනේ
    කතාව ලියනා එක නං මොකද අනේ
    කවර හැදිල්ලයි පණයන වැඩක් උනේ

    ReplyDelete
    Replies
    1. පණ යන ඉල කැඩෙන වැඩ වුව කළ යුතුය
      සතුටක් ලැබෙන්නේ ඒවා කළ පසුය
      ඒවට මොළය ඇත්තෙත් මිනිසා ළඟය
      ඔබ මා කියන්නෙත් ඒ වගෙ දෙන්නෙක්ය!

      Delete