අකුරු මැකී නෑ

Friday, January 15, 2021

පතාගෙන ඇවිත්... -නවවෙනි කොටස

මම අද රෑ කොළඹ එනවා... එන ගමන් බෙහෙතක් දෙන්නම් නිමල් අයියේ. හැබැයි, රෑ වෙනවා... එකොළහ-දොළහ වෙන්නත් ඉඩ තියෙනවා!

අක්ෂි වෛද්‍ය විශේෂඥ දොස්තර අයස්මන්ත පීරිස් මහත්තයාගේ ‘සාදර අනුග්‍රහයෙන් කෙරුණු අසමජ්ජාති වැඩ දෙකක්’ ගැනත් නොකියා බැරිය. වසරාවසානයේ වින්දිතයා වුණේ මං වහන්සේය. ඉස්සෙල්ලාම කියන්නේ ඒ ගැනය! 

“මේ සැරේ කීමෝ ගන්නකොට blood count එක බැහැලා වගෙයි.... ඒ මදිවට ඉක්කාවත් ආවා! ඩොම්පෙරිඩොන් වැඩ කළෙත් නෑ වගෙයි... ඩෙක්සා ගන්න දවස්වලින් තුනක්ම හරිහමන් නින්දක් නෑ මහත්තයෝ!”

රත්නපුරේ ඉඳන් අයස්මන්ත මහත්තයා විස්තර අහද්දී, මම සත්‍ය තත්ත්වය නොවළහා කීවෙමි. ඒ 2020 දෙසැම්බර් 31 වෙනිදා දහවල්ය. 

“මම අද රෑ කොළඹ එනවා... එන ගමන් බෙහෙතක් දෙන්නම් නිමල් අයියේ. හැබැයි, රෑ වෙනවා... එකොළහ-දොළහ වෙන්නත් ඉඩ තියෙනවා!”

“ඒකට නං කමක් නැහැ. කොහොමත් නින්ද නොයා ඉන්න එකනෙ....”

මනුස්සයා ගෙට ගොඩ වැදුණේම බෙහෙත් පෙති වර්ග දෙකක් දික් කරගෙනය. එතුමාම එයින් එක බැගින් ගෙන මට දුන්නේය. “ මොකෝ උගුඩුවා වගේ බලා ඉන්නේ? බීපං...!”

කිව්වත් වාගේ, දොස්තර මහත්තයා එකොළහ වෙද්දී ආවේය. මනුස්සයා ගෙට ගොඩ වැදුණේම බෙහෙත් පෙති වර්ග දෙකක් දික් කරගෙනය. එතුමාම එයින් එක බැගින් ගෙන මට දුන්නේය. “ මොකෝ උගුඩුවා වගේ බලා ඉන්නේ? බීපං...!”

“මොනාද?” හරිහැටි නිඳි නොලබා ඔල්මොරොන්දන් ගතියකින් හිටි මගෙන් ප්‍රශ්නයක් එළියට පැන්නේ නිකම්මය. “.... කෝපි එකක් හදලා දීලා ඉන්නං.... ඔයා එනකල් මාත් කෝපි එකක් බොන්න බලාගෙන හිටියේ....”

“ටෞකන්නෙ නැතිව මේක බීලා හිටපං!” තවත් මොනවා හරි අහන්නට ගියෝතින් එතුමා ජාතිය අමතනවා අහගන්නටය වෙන්නේ. නැතිනං ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ වගන්තිත් උලුප්පන්නට පටන් ගන්නා එකය. 

ඉතිං අකීකරු වෙන්නද? මම පෙති දෙක ගිල්ලෙමි. ඊළඟට කෝපි හැදුවෙමි. විනාඩි පහක් විතර ගියා විය යුතුය.

“හරි මහන්සියි අයියේ. මම යන්නං... අර බේතට සැරට නින්ද යයි!” කියාගෙන අයස්මන්ත මහත්තයා පිටත්ව ගියේය.

මම මිනිහා වගේ නෙවෙයිනේ.... බෙහෙතක් බොන්නේ බැරිම තැන- මං ඉතිං ලෝකෙම ඔළුව උඩ තියාගෙන නෙවෙයිනේ ඉන්නෙත්...

මං ගේට්ටුව වසා lock කරන්නට හදනවා මතකය. ඒ පොඩි වැඩේටත් විනාඩි ගණනාවක්ම තටමන්නට විණි. ඊළඟට දොර.... ඒක කොහොම වැහුවාදැයි තවමත් නිච්චි නැත. ඒත් මාව වීසි වෙනවා; වැටෙන්නට යනවා; පුටු මේසවල හැප්පෙනවා හොඳටම මතකය.

2021 වසර උදාවී මා පිබිදුණේ උදේ හයාමාර විතර වෙද්දීය.

දෙයියෝ සාක්කි! මගේ කෝපි mug එක සාලයේ හැලිලාය; පුටු එහාට මෙහාට වීසි වෙලාය. “යකෝ, දොස්තරයෝ! ඊයේ රෑ වෙච්චදේ හිතා ගත්තැකිද? ..... මට වෙරි වුණා වගෙයි මනුස්සයෝ... මාව පුටුවක පැටලිලා වැටුණා නං තව ඩිංගෙන් ඔළුවත් පැලෙනවා....” හිමිදිරියේම මං වහන්සේ අයස්මන්ත මහත්තයාට කෘතවේදීත්වය පෙන්නුවේ එහෙම පරුෂ වචන සමුදායකින්ම සංග්‍රහ කරමිනි!

“Sorry සොරි නිමල් අයියේ...  ඔයාට පෙති දෙක දෙන්න තිබ්බේ මම යන්න හදනකොට. ඒවා එච්චරට ඉෆෙක්ටිව් වෙයි කියලා හිතුණෙ නෑ. ඔය දෙකක්ම දීලත් තමයි, අර xත්තා නින්ද ගියේ නෑ කියන්නේ!”

“වෙන්න ඇති.... මම මිනිහා වගේ නෙවෙයිනේ.... බෙහෙතක් බොන්නේ බැරිම තැන- මං ඉතිං ලෝකෙම ඔළුව උඩ තියාගෙන නෙවෙයිනේ ඉන්නෙත්...”

2021 අවුරුද්දේ පළමුවෙනි දවසේම පීරිස්, නෙවිල්, ගවීන් තුන් දෙනාට රසවත් bite එකක් ලැබුණේ…..

ටෙලිෆෝනය තියනවාත් එක්කම අල්ලපු ගෙදර දේවිකා නංගී ගෙට හිස පෙව්වාය. “මොකද නිමල් අයියේ, ඊයේ අමුතු විදිහකට ගේට්ටුව ලොක් කළේ?”

2021 අවුරුද්දේ පළමුවෙනි දවසේම පීරිස්, නෙවිල්, ගවීන් තුන් දෙනාට රසවත් bite එකක් ලැබුණේ එහෙමය!    

අයස්මන්ත පීරිස් දොස්තර මහත්තයා ඔහොම ඉල කැඩෙන වැඩ කරන්නට හරිම සූරයෙකි. මතකයිනෙ? කිලෝ මීටර් දහයක් විතර ඇවිද්දවලා, ස්මූති ගුළිය ගිල්ලලා, නෙවිල්ට පාද යාත්‍රා ගමනට විවරණ දුන්නා.

අප හම්බන්තොට ගිහින් ප්‍රතිකාර අරගෙන එන තරමක් ගමන්වලදී දොස්තර මහත්තයාගේ තාවකාලික රියදුරු රාජකාරිය කරන්නේ; local නසාර් වෙන්නේ මේ පෝස්ටු මාලාවේ කතානායක හෙට්ටිආරච්චිගේ නෙවිල් අනුරසිරි පෙරේරායි.
නෙවිල්ගේ නම නොදන්නවා වුණත් මූණත් තහඩුව නම් Highway එකේ පිවිසුම් දොරටුවලත්, පිටවීම් දොරටුවලත් ප්‍රවේශ පත් නිකුත් කරන; ගාස්තු අය කරන මහත්වරුන් හඳුනනවා විය යුතුමය!

ඒ පිවිසුම් පත ලබා ගන්නා වෙලාවේදීත්, මුදල් ගෙවන වෙලාවේදීත් මේ හාදයා තිගැස්සී ‘බුදු අම්මෝ!’ කියා බෙරිහන් දෙන බැවිනි. හැම විටෙකමත් ඒ සිදුවීම වුණත් නෙවිල් පාඩමක් ඉගෙන ගන්නෙවත්; මතක තියා ගන්නෙවත් නැත.

අර බුදු අම්මෝ එක ඇසුණාම ගැස්සී; සිනාසෙමින් බලන නිලධාරි මහතාගේ මුහුණ දකින නෙවිල් බැන වදින්නට පටන් ගනියි.

“යකෝ, ලැජ්ජාවේ පණ යනවා! අර මිනිස්සු මොනවා හිතනවා ඇද්ද දොස්තරයෝ?” අර බුදු අම්මෝ එක ඇසුණාම ගැස්සී; සිනාසෙමින් බලන නිලධාරි මහතාගේ මුහුණ දකින නෙවිල් බැන වදින්නට පටන් ගනියි. “ඕයි! උන් තමුසෙගෙ වාහනේත් අඳුරනවා නේද?”

පීරිස් අහිංසක මුහුණක් හදාගෙන උත්තර පිණිස අහන්නේ එක වචනයේ ප්‍රශ්නයකි. “ඇත්තට....?”

දවසක-දෙකක නම් පීරිස්ට නෙවිල්ගේ පරම්පරා කුට්ටම මිරිකා, මහා සද්දෙන් බුදු අම්මෝ කියලා කෑ ගහන්නට ඉඩ නොලැබී ගියේය.

“කල්පනාවෙන් ඉන්නවා!” පසුපස අසුනේ සිට මං අනතුරු ඇඟවූ වතාවලය. “xකයො මොකද්ද ඒ කළේ?” පීරිස් මහත්තයා එතකොට මිමිණුවා වගෙ ඇහුණේය. ඒ හින්දා එවැනි Warning දීම් එදායින්ම නවත්තන්නට මේ පින්වතාට සිදු විණි.
ඊටත් වඩා මට හිතට වැදුණේ වඳින්න ගිය දේවාලේ ඉහට කඩා පාත් වීමයි.

“තමුසෙ කේක් ගෙඩිය වගේ වාඩිවෙලා සැපට යනවා! අන්න එහෙම උදව්වක්වත් කරනවකෝ හලෝ. මේ රාස්සයා මගේ කුට්ටම මිරිකලාම, මට වෙනම ලෙඩක් හැදෙනවා නැත්තං....” හොඳක් කරන්න ගිහිනුත් කතන්දර අහගන්නේ මොකටද?
තමන්ගේ වජු බිල්ල පරෙස්සම් කර ගැනීම තමන්ට අයිති දෙයකි! තුනෙන් දෙහෙක බලය ලැබුණත් තව කාටවත් කියලා කර ගන්නට බැරි වැඩවලින් එකකි!!

ඔය පකෝරිස්ට ගහලා මගේ මල් වගේ සුන්දර අනාගතය අඳුරු කර ගන්න මම කැමති නැහැ. අපේ ආණ්ඩුව තව වැඩි ඈතක නැහැ. එතකොට ඕකව පැය 24ක් දණ ගස්සලා තියනවා

කොහොම වුණත් මේ අනුරසිරි හාදයාට මගෙන් කෙනෙහිලි වෙනවා නං වැඩිම තමාය. ‘අපෙ ගැන මොන බම්බුවද හලෝ තව-තව ලියන්නේ?’ නිතරම අහන මේ මනුස්සයාට පහුගිය posts කීපයක කෑලි හෝ උපුටා දැක්වූ ‘ඊනියා කොටස්’ ඉඳලා තියෙනවා වගෙය. එයාලා fb එකේ මැසෙන්ජර් පණිවිඩ හරහා යෝජනා-අදහස් කීපයක් වපුරන්නටත් පටන් ගෙනය.

'මේක කියවලවත් නිමා කොලුවව punching bag එකකට ගන්නෙ නැත්නම්...’ එක්කෙනෙකු කියලා තිබිණි.

‘ඒකනේ, සද්දයක්වත් නෑ අපේ අනුරසිරි මහතා .....’ තවකෙකු උඩගෙඩි දීලා තිබ්බේ එහෙමය.

බෝධිසත්තව ගුණෝපේත, නෙවිල් අනුරසිරි පින්වතා ඒ පණිවිඩකරුවන්ට පිළිතුරු විදිහට කියා තිබ්බේ මේකය: “ඔය පකෝරිස්ට ගහලා මගේ මල් වගේ සුන්දර අනාගතය අඳුරු කර ගන්න මම කැමති නැහැ. අපේ ආණ්ඩුව තව වැඩි ඈතක නැහැ. එතකොට ඕකව පැය 24ක් දණ ගස්සලා තියනවා.”

මොනම විදිහෙන්වත් නෙවිල් මට අරෝවක් කරතැයි බයක් දැන් මට නැතිය.

කොල්ලා මාව පැය 24ක් දණ ගස්වන්නට යන්නේ එයාලගේ ආණ්ඩුවක් ආවමය. 1971 සිට ඔහොම හීන දැකපු අය ගොඩාරියකි. එයාලගේ ආණ්ඩුවක් එනකොට මට තව ආත්ම ගණනාවක ඉපදිලා ඉන්නට ඇහැකි වෙන විදිහටය, දැන් වැඩ සිද්ධ වෙන්නේ!

මේ හාදයාට පං බඩයක් වගේ නොවැනී, අවුරුදු 800ක් පැරැණි මේ බොන්සායි ගහ වගේ දැඩිව ඉන්න බැරි ඇයි?

හැමෝම මේ හාදයාව නටවන්නේ ඔන්න ඔය දවල් හීන දකිමින්, ඕනාවට වැඩියෙන් යහපත් වෙමින්; පං බඩයක් වගේ පොඩි හුළඟකටත්, හැම පැත්තටම වැනෙමින් ඉන්නා නිසාය.

නන්දා ගියාට පස්සේ, නෙවිල්ලගේ අම්මා මාස කිහිපයක්ම හොඳ සිහියට සැපත්වී හිටියාය. ඒ අතරේ හිටි ගමන් ඈතම-ඈතටත් යන්නට පටන් ගත්තාය.
“-චූටි, ඉක්මනට මොනවා හරි උයා ගන්න ඕනෑ බං- කියලා ආයෙම දවසක අම්මා කිව්වනෙ හලෝ!”
“ඉතිං?” මම ඇසුවෙමි. තවත් හිනා මනාවක් වගෙය, නෙවිල්ගේ හඬ!

“මමත් අම්මගෙන් ඇහුවා මොකද්ද හදිස්සිය කියලා. එතකොට එයාට තරහත් ගියා... -ඇයි බං, පේන්නේ නැද්ද අර අපේ තාත්තයි, අම්මයි දෙන්නම ඇවිල්ල ඉන්නවා. අම්මලට මොනවා හරි කන්න නොදී පිටත් කරන්නද?- කියලා අපේ අම්ම මගෙන් ඇහුවා. ආයෙමත් අම්මගේ කල්පනාව අඩු වේගෙන යනවා වගෙයි....”

ඒ ගැනත් අප කතාවුණේ මානෙල් නංගිලාගේ ගෙදරදීමය. පසුව තවත් උදව්කාරියක් හොයාගන්නට ඇයට හැකි විණි!

“මොකද වුණේ? ඒ මනුස්සයා එන්න කැමති වුණාද?” මම නෙවිල්ගෙන් ඇසුවෙමි.
“ඒ මනුස්සයා කැමති වුණා. අපේ එක්කෙනානේ ලෙඩක් ඇද්දේ... ලජ්ජාවේ පණ ගියා!”
“ඒ මොකෝ නෙවිල්?”

ඒ අම්මණ්ඩි හරි සද්දන්තයිනෙ චූටි. මට බයයි බං!

අපේ නංගිත්, ඒ කාන්තාවත් දෙන්නා නෙවිල්ලගේ ගෙදරට ගියා විතරලු. “අම්මගේ මූණ නරක් වුණා! ඒ ගෑනු කෙනා ආවේ මොකටද කියලත් ඇහුවා. අපේ අම්මට ඒවට නං හොඳට කල්පනාව තියෙනවනෙ, මම ඇත්තම කිව්වා. එතකොටයි අම්මා මාව පැත්තකට කතා කරගෙන ගියේ.

ගිහින් කියනවා හලෝ, -ඒ අම්මණ්ඩි හරි සද්දන්තයිනෙ චූටි. මට බයයි බං!- කියලා”

“ඔයාලගේ අම්මා මොකටද ඒ මනුස්සයගෙ ශරීරෙට බය වෙන්නේ?” මට ඇහුණේ නිකම්මය.

“ඒක නේන්නං හලෝ! ඔහොම වෙලාවට මේ මනුස්සයට එන කල්පනාවල්නේ පුදුම. -උඹ තිස්සෙම ගෙදර ඉන්න එකක්ද? මගෙන් මොනවා හරි වචනයක් කියවුණොත් අර ගෑනි මට ගහයි... අනේ බං චූටි, ඒ මනුස්සයව යවහං!- කියලා අපේ අම්මා කිව්වා.
කොච්චර අමාරුවෙන්ද ඒ මනුස්සයව වුණත් හොයා ගත්තේ. ඒ හින්දමයි මම අම්මට කිව්වේ අපි දවස් දෙක-තුනක් එයාව ගෙදර තියාගෙන හොඳයිද කියලවත් බලමු නේද කියලා.
ඒ පාර අපේ අම්මා මටත් ගස්සලා, හැරමිටියත් ඇන-ඇන එයාගේ කාමරේට ගිහින් දොර වහගත්තා...”

“අපරාදේ! ඒ මනුස්සයාට එන්න එපා කිව්වද?”

“නොකියා කොහොමද හලෝ? අපේ අම්මා කිව්වනේ -උඹ ඒ ගෑනිව මෙහෙ නවත්තා ගන්නවා නං මම කාමරේ දොර අරින්නෙත් නෑ, කන්නෙ බොන්නෙත් නෑ, මේක ඇතුළෙම ඉන්නවා මැරෙනකල්- කියලා....”

එදා මෙහෙදී කට්ටිය set වෙලා පාන්දර දෙකට විතර ගියේ ඇඳට වැටෙන්න බලාගෙන. දොර අරින සද්දෙට අම්මට ඇහැරුණයි කියපංකො!

නෙවිල්ට වෙන්නෙම ඔහොම අලකලංචිය. “ඉතිං මොකද කරන්නේ?”

“මොනවා කරන්නද? මට බය ආයෙත් වතාවක් රෙද්දකටවත් ගිනි අවුළුවා ගත්තොත් කියලයි. ළිප් හතරම අරිනවා, ඇතිලියක් ළිපේ තියන්න ගියත්. වතුර කේතලේ ළිපේ තියල උණු කර ගත්තට පස්සේ ළිප off කරන්නේ නැති වෙලාවලුත් තියෙනවා.
බැරිම තැන මම ළිප් තුනකටම සෙලෝටේප් අලවලත් දැම්මා, වැඩට එන්න කලින්.
හවස යද්දී එයා එව්වා සේරම ගලවලා... ඒ මදිවට කියනවා -බලපංකො චූටි. කවුද ඇවිත් ළිප්වලට කරලා ගිහින් තියෙන දේ- කියලත්....”

“මාර ප්‍රශ්නෙනේ!” මට කියැවිණි.

“දැන් ප්‍රශ්නෙ තියෙන්නේ මට ඕයි! මම දැන් හැමදාම උදේට නැඟිටලා තේ හදලා, වතුර උණු කරලා බෝතලේට දාලා, බතුත් උයලා, ගෑස් ළිප disconnect කරනවා බටේ ගලවලා. අපේ එක්කෙනා සීතල වෙච්චි කෑම කන්න කැමතිත් නැහැනෙ. ඉතිං හවසට මොන මඟුල තිබ්බත්, ගෙදර ගිහින් එයාට ආයෙම කෑම රත් කරලා දීලා ඕනි එන්න.”

එහෙම කරලා වුණත් චූටි පුතණ්ඩියා ගෙදරින් එනවාට ඒ අම්මා කැමති නැතිලු! “ඒකට මොකද අම්මා කියන්නේ මම නැති කාලෙක උඹව බලා ගන්නේ කවුද කියලයි! වෙලාවකට මළ පනිනවත් එක්ක හලෝ! එදා මෙහෙදී කට්ටිය set වෙලා පාන්දර දෙකට විතර ගියේ ඇඳට වැටෙන්න බලාගෙන.
-දොර අරින සද්දෙට අම්මට ඇහැරුණයි කියපංකො!
 

-ආ... මම මේ බලා හිටියේ උඹ එනකල්. තේ එකක් බොන්න...- අම්මා කියපි. බනින්නද? තේ එකක් හදලා දුන්නා....”

ඒ මනුස්සයාට ඕනිනේ එයා තේ බොන සැරයක් ගණනේ මටත් තේ පොවන්න....

“තමුසෙත් බිව්වා නේද?” නෙවිල්ල අම්මාගේ පුරුද්ද දන්නා නිසාමය මං ඇහුවේ.

“නැතුව කොහෙ බේරෙන්නද? ... ඒ මනුස්සයාට ඕනිනේ එයා තේ බොන සැරයක් ගණනේ මටත් තේ පොවන්න.... හ්හා... බීලා ගිහින් පාන්දර දෙකට තේත් බොන්නේ මොකාද යකෝ?”

මේ post එක මුලදී මං කිව්වේ අපේ අයස්මන්ත දොස්තර මහතාණන්ගේ අසමජ්ජාති වැඩ දෙකක් ගැන කියනවා කියලාය. මට කළ පළමුවැන්න ගැන දැනටමත් කියලා අහවරය. නැහැනෙ! එහි දෙවෙනි කොටස එළඹුණේ ඊයේ; ජනවාරි 13වෙනිදාය.

මා නොනවතින ඉක්කාවත්, නින්ද නොයාමත් හැදෙන්නේ මාසිකව බෙහෙත් ගන්නා පළමු දවස් හතර-පහේත්, 15-18 වගේ දවස්වලත්ය. ඒ ඩෙක්සා ගන්නා දවස්වලය.

“නිමල් අයියේ, අර එදා දුන්න පෙතිවල ඉතිරි ඒවා ගත්තමවත් නින්ද ගියේ නැද්ද?” අයස්මන්ත මහත්තයා ඊයේ ඇසුවේය.
“අපෝ නෑ! 31 රෑ වෙච්චි හරිය මදැයි!” මම කිව්වෙමි. (අනෙක් කාරණය මා සාමාන්‍යයෙන් බෙහෙත් පෙති ගිලින්නට දක්වන අකැමැත්තයි.)

“බය වෙන්න එපා. ...” ඉතිරිව තිබුණු බෙහෙත් පෙති වර්ග දෙක ඉල්ලාගත් දොස්තර මහත්තයා, ඒවා වෙන-වෙනම මට හඳුන්වා දුන්නේය. “මේ පෙත්ත ගන්න තියෙන්නේ කාලා ඉවර වෙලා... නිඳා ගන්න හිතාගෙන ඉන්න වෙලාවට විනාඩි හතළිස්පහකට විතර කලින්. අනෙක ගන්න තියෙන්නේ ඇඳට නඟින්න කලින් දොර ජනෙල් එහෙම lock කරලද බලලා....”

යක්ෂ පැටියෝ, එදා තමුසෙ අපේ ගෙදරට පය තියපු ගමන් පෙති දෙකම මට ගිල්ලෙව්වේ?

“ඒකද යක්ෂ පැටියෝ එදා තමුසෙ අපේ ගෙදරට පය තියපු ගමන් පෙති දෙකම මට ගිල්ලෙව්වේ?”

“එකෙන් ඔබතුමාට හොඳ එක්ස්පීරියන්ස් එකක් ලැබුණානෙ, කරටිය පාත් වුණාම කොහොමට ඇද්ද කියලා... කොහොමද මගේ සාදර අනුග්‍රහය... ටිං ටිං!”

ඒ මහත්තයාගේම තවත් එවැනිම ‘සාදර අනුග්‍රහය’ක් ගැනය, පොරොන්දු වුණු පරිදි මේ කියන්නට යන්නේ.
එයින් ඇබැද්දියට පත් වුණේ හෙට්ටිආරච්චිගේ නෙවිල් අනුරසිරි පෙරේරා හිතවතාය. ඒ දවසේ ඉඳලා මාස දෙක-තුනක් යනතුරු නෙවිල්ට ගෙදරදී වුණත් ඉන්නට වුණේ උඩුකය වසා ගෙනය. කතාන්දරය පටන් ගන්නට වෙන්නේ මුත්‍ර අමාරුවකිනි.

නෙවිල්ට දෙවෙනි වතාවටත් බඩේ කොරයක් එක්කලාම මුත්‍ර අමාරුවක් ආවේය. රුධිර පරීක්ෂණ ගණනාවක් කරන්නට උපදෙස් ලැබී තිබිණි.

“යුෂ්මතාට එක්සර්සයිස් ECG එකක් කරවලා බලන්නලු. මම කියන්නද වැඩක්? මේ සිකුරාදා නිමල් අයියට හම්බන්තොට යන්නත් තියෙනවනේ... ඒ ගමන්ම අපි එහෙන් test එක කරමු... රස්තියාදුවත් ඉතිරියි; වෙලාවත් ඉතිරියිනෙ....”
නෙවිල් හිටියේ බැහැයි කියන්නට බැරිවය.

ECG එකට කලින් පපුවේ තැනින් තැන shave කරගන්න වෙනව කියල මගේ යාළු කාර්ඩියොලොජිස්ට් කිව්වා...

“ඔන්න නිමල් අයියේ වැඩේ වෙච්චි හැටි. මේ නාම්බා වලස් පැංචා වගෙයිනෙ. ඇඟ පුරා මයිල්නෙ. ECG එකට කලින් පපුවේ තැනින් තැන shave කරගන්න වෙනව කියල මගේ යාළු කාර්ඩියොලොජිස්ට් කිව්වා!”

“අපොයි ඔව්! කිව්වා!! කිව්වා!!! ඒකටද xත්තො මෙහෙම අපරාධයක් කළේ?”

“ඉවසලා අහගෙන හිටපංකො මචං! ඒ විදියට තැනින්-තැන පපුවේ මයිල් ගෑවා නං පේන්නේ, හරියට සිංහරාජෙ මැද්දෙන් පාරක් කපල තියෙනව වගෙයි. එක්කෝ පපුව උඩට UFO එකක් land කළා වගෙයි. ඩිංගක් හිතපංකො මචං...
උඹේම ලේසියටයි මම Veet එකක් ගෙන්නා ගත්තේ....”

අයස්මන්ත මහත්තයා කියන්නේ නම් ඇත්තම වෙන්නට ඇතිය. හැබැයි, හංගාගත්තු හිනාවකුත් එළියට පනින්නට දත කනවා පෙනෙයි.

“ලේසියට....! ලේසිය මටද...” නෙවිලුත් දත් මිටි කයි.

“හරි, හරි. දැන් වැඩේ වෙලා ඉවරයිනෙ... අපි මේ මනුස්සයා කියන දේත් අහගෙන ඉඳිමුකො, බාධා නොකර!” මම සාම හමුදාවේ චරිතයකට ආරූඪ වීමි.
“තමුස ගන්නෙත් මුගෙ පැත්ත තමයි ඕයි! හා, කමක් නෑ... කියල ඉඳපංකො.” නෙවිල් ටිකාක් විතර deposit වේගෙන එයි.

“ඒක මේ ගෑනු ළමයි අනවශ්‍ය රෝම ඉවත් කරගන්නකොට පාවිච්චි කරන ක්‍රීම් එකක්!” ආයෙමත් අර හැංගුණු හොර හිනාව....
“මොනවද පීරිස් Veet කියන්නේ?” මං ඇහුවේ ඒ අතරේය.

“ඒක මේ ගෑනු ළමයි අනවශ්‍ය රෝම ඉවත් කරගන්නකොට පාවිච්චි කරන ක්‍රීම් එකක්!” ආයෙමත් අර හැංගුණු හිනාව.

“හවසටයි වැඩේ කරන්න හිටියේ.... කවදාවත් දවල්ට නිඳා ගන්නෙ නැති එකා එදා මෙන්න බොලේ උඩුබැලියන් අතට දපලා බුදි!
දන්නවනේ, මම වරදට පෙළඹුණා.
සම්පූර්ණ වැරැද්ද යුෂ්මතා අනාරක්ෂිත විදිහට පපුව පුම්බාගෙන වැතිරී සිටීම! ගත්තා Veet එක. ක්‍රීම් ටිකක් අතට අරං මේකගෙ පපුවේ උලාගෙන-උලාගෙන ගියා. එතකොට ඉතිං මට වැරදිලා, බඩ හරියෙත් ටිකක් වැඩිපුර ගෑවුණා තමයි!”

“ඒකෙන්ද මේ කුකුළා හම ගැහුවා වගේ වුණේ?” හිනාව නවත්තා ගන්නට, අත කොනිත්තා ගත් ගමන්මය මං ඇහුවේ.

“By mistake! ක්‍රීම් එක ගාලා විනාඩි පහක් තිබ්බම ඇති.
ටක් ගාලා නැඟිටින්න බලාගෙන මමත් මගේ ඇඳට වැටුණා.
මාත් පාන්දර ඉඳලම වැඩනෙ, නිමල් අයියෙ. මටත් නින්ද ගියා..... මයෙ හිතේ විනාඩි විස්සක් විතර. ඒත් හිටි ගමන් මට ඇහැරුණා!
මට දෙයියො සිහි වුණා. මම පොරටත් කීද්දුවා. බුවා එතකොටත් සැපට නිඳි!!
වරෙන්, වරෙන් මචං... ඔය ටික ඉක්මනට හෝදලා දාපං!”

“මං නෙවෙයි... මං නෙවෙයි. මෙන්න මෙයා, මෙයා තමයි කිව්වේ නියම ෂොට් එකක් ගන්න කියලා.” පීරිස් පෙන්නුවේ මාවය.

“උඹට යකෝ ඕනි වුණේ මේකෙදිත් මාව ගිනියාපිග් කෙනෙක් කර ගන්න. නැත්තං අහවල් එහෙකටද උඹත් wash room එකට එබීගෙන හිටියේ?” නෙවිල් අසයි.

“ඒ ඉතිං foto එකක් ගන්ඩනෙ....” දොස්තර මහත්තයා හෙමින් කියයි.

“Fotoත් ගත්තද?”

“මං නෙවෙයි... මං නෙවෙයි. මෙන්න මෙයා, මෙයා තමයි කිව්වේ නියම ෂොට් එකක් ගන්න කියලා.” පීරිස් පෙන්නුවේ මාවය.
“ලියපංකො බලන්න! කම්පියුටරේ කුඩු කරනවා මේ සැරේ නං.....”

නෙවිල්ගේ සැර හොඳටම බාල වෙනතුරු, පපුවේ මයිල් සේරම ආයෙමත් වැවෙනතුරු මෙව්වා ලියන්නට පරක්කු කළේ නම් හිතාමතාමය. “හැබැයි පීරිස් මහත්තයෝ! Fotos දෙකම ලස්සනයි!”

“ලස්සනයි නේන්නං. සාදර අනුග්‍රහය: දොස්තර අයස්මන්ත පීරිස්ගෙන්! හැබැයි, පොරගෙ ඔරොත්තු දීමේ හැකියාවත් ඉතා ඉහළයි! ඒවා ගාලා විනාඩි 20ක් විතර තිබිලත් ඇලර්ජික් වුණේ නෑ. විනාඩි 5න් හෝදන්න ඕනි හරි නම්. ටිකක් වැඩියෙන් හම රතුපාට වුණා විතරයි. නිමල් අයියට හොඳම හරිය miss වුණත් එක්ක.
Wash Room එකේ ෂවර් එකට ඇල්ලුවා විතරයි, බස-බස ගාලා මේ බුවාගෙ පපුවේ මයිල් සේරම ගැලවිලා හැලුණනෙ!”

“ඉත්තිං....”

25 comments:

  1. ඩොම්පෙරිඩොන් කියන බෙහෙත අවුරුදු ගානකට පෙර වයිෆ් ට දුන්නා මට හොඳට මතකයි. හැබැයි ඒක අපේ හාමිනේට දුන්නේ දරුවෙකුට කිරි එරෙනවා මදි වෙලයි. මේ කොමෙන්ට් එක ලියන්න ඉස්සෙල්ලා ගූගල් කරලා බැලුවාම තමයි දැන ගත්තේ ඒක අට අනූවක් රෝග වලට දෙන කෝකටත් තෛලයක් කියලා.
    ඔයා සැර බීම බොන්නේ නැති නිසා බෙහෙතකින් වත් 'වෙරි' කියන්නේ මොකක්ද කියලා අත්දැකීමක් ලැබීම වරදක් නොවෙයි. ඒ උනාට, තට්ට තනියම ගෙදර ඉන්න ඔයාට මේක දෙන්න ඉස්සෙල්ලා අයස්මන්ත දොස්තර මහත්තයාට ටිකක් දුර දිග හිතන්න තිබුනා.

    නෙවිල්ගේ පපුවේ මයිල් ඉවත් කරන්න "වීට්‌ ක්‍රීම්" පාවිච්චි කළා කියලා කං කෙඳිරි ගානවා නම් ඊළඟ පාර "වීට් ස්ට්‍රිප්" පාවිච්චි කළා නම් හරි. එතකොට වෙනස තේරෙයි.

    ReplyDelete
    Replies
    1. දොස්තර මහත්තයට බෙහෙත වැඩ කරන වේගය ගැන එච්චර කල්පනා වෙලා නැත්තෙත් අපේම යාලුවෙක් හින්දයි සෑම් මහත්තයෝ.

      එය ඉන්නේ ලෝකෙම ඔළුව උඩ තියාගෙන. හෙණ stress එකකින්. මනුස්සයට නින්ද යන්නේ නැතිලු. හැබැයි රෑකට ගොරව-ගොරවා හිටියත් උදේට කියන්නේ නින්ද ගියේ නැහැ කියලයි. එයාට දෙන ඩෝස් එකෙන් බාගයයි මට එදා දීලා තිබ්බේ. මම පහුවදාත් නිඳිමතෙන් හිටියේ.

      වීට් ස්ට්‍රිප් ගැන මතකේ තියාගෙන ඉන්න කියන්නං, ඕනි වුණොත් ගන්න.

      Delete
  2. නෙවිල් ගැන නිමල් මේ ලියන පෝස්ට්ස් හරිම entertaining. නමුත් ඒ අතරින් මට නම් මතු වෙලා පේන්නෙ තමන්ගෙ අම්මව ඉතාම ආදරයෙන් බලාගන්න පුතෙක් ගැන heartfelt කතාව. අපේ ලොක් ඩව්න් කාලෙ එක ටීවි චැනල් එකක පෙන්නුවා ඩිමෙන්ෂියා තත්වෙ ඉන්න තමන්ගෙ අම්මව ඔය විදිහට බලාගන්න ඇයගෙ පුතා, ලේලි සහ පවුලේ පිරිස. ඒ පුතා එක තැනක කියනව 'ඒ හැසිරිම අපේ අම්ම නෙවෙයි- ඒ ඇයගෙ රෝග තත්වය, නමුත් එතන කොහෙ හරි තැනක අපේ අම්ම ඉන්නව' (It's not her, it's the disease, but she is there somewhere in it) කියලා.ඒ වගේ දුවලා පුතාල (නෙවිලුත් ඇතුලු) මේ ලෝකයේ unsung heroes.

    ReplyDelete
    Replies
    1. Lotus, ඔයාගේ අතිශය හෘදය සංවේදී සටහනට ගොඩාරියක් ස්තුතියි!
      මගේ ඇහැට නම් කඳුලුත් ආවා.

      ඒත් එක්කම මතකයට ආවා- ආනන්ද අබේනායක මහත්තයාගේ 'ජීවිතයට ඉඩ දෙන්න' ටෙලිය.

      Delete
  3. අල්ලපු ගෙදර දේවිකා දෙසැම්බර් 31 හිතපු දේ....අ...අර මොකද එහා ගෙදර වාහෙ අමු හෙලුවෙන් මිදුලට පැනල කරන්නෙ මේ මහ රෑ? නාකි විසේ ගෙටත් උසේ කියනව වගෙ නිරුවස්තරෙන් ඉදගෙන මොකද මේ අපේ ගෙදර දිහා බලාගෙන වැනවෙන්නෙ...චීයා මුගෙ වැඩ...
    දේවිකා ජනේරු දා උදේ හොදවැයින් දෙකක් #මන්නන්නට ආවත් සාලෙ මැද්දෙ දපනෙ දාල වමනෙ දාගෙන හිටපු හැටි දැක්කම පව් කියල හිතිල කියල තියෙන්නෙ වෙන දෙයක්...අයස්මන්ත මහත්තයා එයාට බොන්ඩ ගෙනාපු වියාග්‍රා පෙති දෙක ලොකාට දීල ගෙදර ගිහිං වැඩ පෙන්නන්ඩ හිතාගෙන නිදි පෙති දෙකක් බීල පහුවදා වැඩට යන්ඩත් බැරි උනා කියලයි රට්ටු කතා වෙන්නෙ...ඕං මං දන්නෙ නෑ මං ඉතිං කේලමක් කිව්ව කියලහෙම හිතන්ඩ එපා ලොකා....

    ReplyDelete
    Replies
    1. අම්මපා ඩ්රැකී, ඔබතුමා සහේට අරන් ඉන්නේ අංජනම් දේව්න්නාන්සේව වෙන්ටැ!

      Delete
    2. ඩ්‍රැකී හෝ ලොකා හෝ මා හෝ......මොකද්ද මේ ඩ්‍රැකීගෙයි මගෙයි ලොකා දකින සම්බන්ධේ??? අඩු ගානෙ ලස්සන නම්කි කෙනෙක්වත් මට සම්බන්ධ කරානං හිතට දුකක් නෑ....

      Delete
    3. ලොක්කා ඕක ලියන වෙලාවෙ මං උන්දැට ආවේස වෙලා උන්නෙ...

      Delete
    4. ලොකූ, ඇත්තමයි හිතා ගන්නවත් බෑ, ඔයාගෙම නම වරදින එක. දහස් වරක් සමා වෙන්න.

      ඩ්රැකී කියන්නා වගේ ආවේශයක්ද මන්දා...

      අපි තුන් දෙනා එකිනෙකාව දැකලවත් නැති එකේ පුදුම පැටලිල්ලක්නේ වෙන්නේ, කතන්දරේක වගේ!

      Delete
    5. පොරණ දඹදිව් තලෙහි බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙනෙකුන් රාජ්‍ය කරන සමයෙහි එක්තරා කෙළඹි ගමක කුමාරවරු දෙදෙනෙක් වාසය කරන්නාහ. මේ කුමරුවන් දෙදෙනා සියලු ශිල්ප ශාස්ත්‍රයෙහි නිපුන් ව සුදුසු කළ වයසට එලඹෙන්නේ ඔවුනගේ දෙමාපියන්ගේ බලවත් පෙරැත්තය නිසාම සරණ බන්ධනයන්ට ඇතුලත් වීමට සිතා තම්න්ට සුදුසු රූප ශ්‍රීයෙන් අගතැන්පත් පංච කල්‍යාණියන් දෙදෙනෙකු සොයා දුන මැනවැයි එක්තරා ධූර්තයෙකු හට වස්තු දී ඉල්ලා සිටියෝය.....
      ..
      ...
      .....
      එකල කුමාරවරු නම් මෙකල ඩ්‍රැකී හා ලොකු මල්ලී වන මම ම වම්හ. එකළ ධූර්තයෙකුව සිට පංචකල්‍යාණියන් මාරු කොට කරකාර බන්දවා දුන් හෙයින් මෙකල එම ධූර්තයානෝ රහමෙර දෙස බැලීමෙන් පවා අපුලක් ඉපදවෙන නොනිළ වශයෙන් කෙසේ වතුදු නිළ වශයෙන් තනිකඩ ජීවිතයක් ගෙවන ලොකා මහතා වීය. මෙසේ එක් වැරද්දකින් පවා සසර තුල මහත් අනිටු ප්‍රතිපල වලට ගොදුරු විය හැකි බැවින් සසරට භය ඇතිකරගෙන වාසය කල යුතු වන්නේය.
      (ඔය මැද්දෙ හිස් තියෙන්නෙ ඩ්‍රැකීටයි, ලොකාටයි තව ඕන කෙනෙකුටයි පුරවා ගන්ඩය.)

      Delete
    6. ලොකූ, සසරට භය කියන්නේ හීනෙනුත් බය වුණා....

      පව් සමා කරගන්ඩ විදිහක් නැහැනෙ, ගෙවලම දානවා මිස.

      Delete
  4. මාත් තාම ඔය හොඳටම වෙරි වීම කොහොමද කියල අත්දැකලා නෑනේ .. හෙහ් හෙහ් ...

    නිදි දාන වේගෙට ඔක්කොම කියවන්න වෙන්නේ නැති හින්දා , පුළු පුළුවන් ඒවා කියවල දානවා මම. සමහර චරිත ඉතින් අඳුරන්නේ නැහැ... හෙමිහිට කියවල බලන්නම්... කියවන්න ආස හිතෙනවා මේ කතා

    ReplyDelete
    Replies
    1. රුසියාවේ ඉන්න තිබ්බේ. වැරදි රටවල් වලට ගිහින් තියෙන්නේ.

      Delete
    2. පැතුම්, අජිත්.
      මම ටිකක් වේගයෙන් ලියනවාද?

      කියාගන්න තියෙන දේවල් එන්නෙන්නම වැඩි වෙනවනේ. යාවත්කාලීන තොරතුරුත් ලියන්න ඕනිනේ.
      ඉතිං, මට කොයි වෙලාවේ යන්න වේද කියලත් අන්විශ්වාසබල් නිසයි දවස් තුනකට වරක් post එකක් දාන්න උත්සාහ ගන්නේ.

      කැමති කෙනෙකුට පස්සේ හරි කියවන්න ඇහැකිනෙ.
      අද ඉන්න අපට තියෙන වෙලාව අඩුකම ගැන මට නොදැනෙනවා නෙවෙයි, හොඳේ.

      Delete
  5. නෙවිල්තන්ත්‍රය.

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නං Pra Jay!
      මම කීයටවත් හිතුවේ නැහැ, ඒ හාදයා ගැන මෙච්චර දේවල් ලියන්න තියෙන බව... ලියනකොටනේ මතක් වෙන්නේ....

      Delete
  6. කුළුණු ගුණින් යුතු උතුමන් සිත මහරු
    දුදන බසින් නොයෙදෙයි කරනට නපුරු
    නව රුවනින් පිරි මහ සමුදුර ගැඹුරු
    තණ සුලකින් හුණු කළ හැකි වෙයි කවුරු

    ඔබේ අඹ යහලු නෙවිල්ටත් කියන්න තියෙන්නේ සුභාෂිතයේ කවිය තමයි.

    ReplyDelete
    Replies
    1. ඔන්න මහත්තයෝ, ඔයාගේ පණිවිඩය කියනවා නෙවිල්ට.

      අසංග, මනුස්සයා ඔයාට බැන-බැන ඉන්නේ. එයා වෙනුවට මගේ ගැන ලියන්නන් කියලා ඔයා පොරොන්දු වුණාලු, වස්ගමුවෙදී. ඊට පස්සේ සද්දෙ වහගෙන ඉන්නවාලු!

      Delete
  7. මචං උගුඩුවා මොකද අර හැම වෙලේම පෙත්ත පෙත්ත කියන්නේ මිනිසුන්ට?
    ඔය පෙත්ත මොකක්ද මටත් හොයා ගන්න, නින්ද යන්නේ නැහැ මේ දවස් වල

    ReplyDelete
    Replies
    1. අජිත් මහත්තයෝ, පෙතිවල නම් හොයා ගත්තට එංගලන්තේදී ඒවා ගන්න බැහැනෙ වෛද්‍ය නිර්දේශ නැතිව!

      Delete
  8. යාලුවන්ට ගහනා නෙක දහං ගැට
    කරකැවිලා එනවිට යලි තමන් හට
    හොඳ වැඩේ ය හොඳ වැඩේය කියන් නට
    කාලකන්ණි සතුටක් එයි හිතෙන් නට

    ReplyDelete
    Replies
    1. මාත්‍රා ගණන හරියට හරි ගොසිනී
      එළිවැට වුවද ගැලපීලා බව පෙනුනී
      මොන ජාතියෙ වුවද සතුටක් ලැබු හෙයිනී
      මමත් සතුටු වෙමි ඔබලට ඉන් දෙමිනී

      Delete