අකුරු මැකී නෑ

Monday, January 18, 2021

යුවති කිරිල්ලී - දහතුන්වෙනි කොටස

... ඕං දුවේ, උඹලගෙ අයියණ්ඩිගේ මංගල්ලේ දාට උඹට ඕක දාන්ඩ පුළුවන්....

සිසිලියානාත්, රන් මැණිකාත් බලා සිටිද්දී මාලතී කීකරු වූවාය. 

පන්කොළ පෙට්ටිය පතුලෙන් කිරි අම්මා ඉවතට ගත්තේ ගෙඩි මාලයකි. “ඕක මං මෙච්චර කල් තියාගෙන හිටියේ මේ කෙලීටම දෙන්ඩ... ඕං දුවේ, උඹලගෙ අයියණ්ඩිගේ මංගල්ලේ දාට උඹට ඕක දාන්ඩ පුළුවන්....”

“මාලතී දූගේ වාසනාව! පේනව නේද, අත කණකර එක-එක හරි හම්බ වෙනවා... නේද අක්කේ?”

රන් මැණිකා කුමක් කීවත් ඇගේ දෑසේ නළියන්නේ ඊර්ෂ්‍යාව බව වටහා ගැනීමට සිසිලියානාට අපහසු වූයේ නැත. ගැහැනුන් ස්වභාවයෙන්ම රත්රන්වලට දක්වන ගිජුකම සිසිලියානාද දන්නීය. ‘අම්මා ඕක මාලතීටම නොදී පෙට්ටගමේම තිබුණා නං කවදා හරි ඕක අයිති වෙන්නෙත් රන් මැණිකටමනෙ.... ඉතිං ඉරිසියා නොහිතේයැ, දැන් ඒක මාලතීට දුන්නම...” සිසිලියානා දිගටම සිතුවාය.

‘කොච්චර කළත් අපිට ඉතිං ඔය ටික තමයි!’ රන් මැණිකා පෑරුණු සිතින් කල්පනාවට වැටුණාය.

‘යුවති කිරිල්ලී පොත් කවරය හදලා ඉවර වෙද්දී මං එක තීරණයකට ඇවිල්ලත් ඉවරයි. මේ මගේ පළමු හා අවසාන පොත් කවර නිර්මාණයයි! 

ඕනෑම කෙනෙකුට පුළුවන් වැඩ වගේම බැරි වැඩත් තිබේ. එහෙම නේද?කියලා 12 වෙනි පෝස්ටුවෙදී කීවා මතකයි නේද?

පියසිරි ප්‍රින්ටින් සිස්ටම්ස් එකේ ප්‍රින්ටින් මැනේජර්කම කරන කාලයේදී කිහිප වතාවක්ම කම්පියුටරය ළඟින් ඉඳගෙන...

ඊට පස්සේ මං වහන්සේම පොත් කවර නිර්මාණය නොකළ බව හැබෑය.
ඒත්, පියසිරි ප්‍රින්ටින් සිස්ටම්ස් එකේ ප්‍රින්ටින් මැනේජර්කම කරන කාලයේදී කිහිප වතාවක්ම කම්පියුටරය ළඟින් ඉඳගෙන උදයංගනී සිරිවර්ධන ලවා පොත් කවර කිහිපයක්ම නිර්මාණය කරවා ගන්නට මම සමත් වීමි. ඒ හදිසිම වෙලාවලය.

උදයංගනී! අදත් කියන්නෙමි!!  එහෙම පොත් කවර ගොඩක් හදා දීම වෙනුවෙන් ස්තුතියි!!!

පරිගණක ගැන මෙලෝ හසරක් නොදැන, තාක්ෂණික වචන නොදැන හිටි මා අතිපණ්ඩිත උපදෙස් දෙද්දී ඔයා ‘ඒ රාජකාරිය නියමෙටම කළේ’ හිතෙන් බැන-බැන වෙන්නට නේද? විශේෂයෙන්ම අරවින්ද ඉන්ද්‍රසිංහලාගේ ‘රයිකී’ පොතේ කවරය හදද්දී.... 

එහෙම වුණත් දැනුත් මට හිතෙන්නේ, වැඩ කරනවාට වඩා අනුන් ලවා වැඩ කරවා ගන්නට හැකි හපන්කමක් මට තියෙනවා වගේ කියලාය. ඒත් මදැයි, නේද?

ඉතිං එහෙම නම් මගේ චූර්ණිකාව නවත්තා, යුවති කිරිල්ලී පොතේ 12 වෙනි පරිච්ඡේදයට ගිහිල්ලම ඉන්නටය, හිත.

12

“අනේ අප්පෝ...!”

මැදියම් රාත්‍රියේ සීතලත්, ඝනාන්ධකාරයත් විනිවිදගෙන විහිදී ගිය ඒ අඳෝනා හඬ කඳු මුඳුනේ හැපී දෝංකාර දුන්නේය. රූස්ස පුළුන් ගස්වල ගැට ගෙඩි හප කරමින් සිටි වවුල් රෑනක් බියපත් වී තටු සලා අහසට නැඟුණහ. නිශා සංගීතය නඟමින් සිටි රැහැයියෝ තත්ත්පරයකට නිහඬ වූහ.

ඒ අඳෝනා හඬ කඳු මුඳුනේ හැපී දෝංකාර දුන්නේය. රූස්ස පුළුන් ගස්වල ගැට ගෙඩි හප කරමින් සිටි වවුල් රෑනක්...

සිළිඳු මැණිකාගේ අඳෝනාව වලව්වේ ඇතුළු ගැබින් නැඟී සිසාරා යද්දී දන්තුරේ බණ්ඩාර තිගැස්සී අවදි වුණේය. තත්ත්පරයක් වැනි කෙටි කාලයක් සවන් දී සිටි ඔහු වියන් ඇඳෙන් බිමට පැන කුමාරිහාමිගේ කාමරය දෙසට දිව ගියේය. රාමනුත්, සමරසිරි කොලුවාත් ඒ වන විටත් කුමාරිහාමිගේ කාමරයේ දොර අසලට වී සිටියෝය. ඔවුන්ගේ මුහුණුවල වූයේ තැතිගත් බවකි.

“මොකද රාමන්?” අප්පෝ දුර තියාම ඇසූ ප්‍රශ්නයට රාමන් පිළිතුරු ගොනු කර ගන්නට වෙර දැරුවේය. එතෙක් ඉවසා නොසිටි අප්පො කාමරයට කඩා වැදුණේය.

කුමාරිහාමි ඇඳ මත වැතිර සිටියේ අසරණ ලීලාවකිනි. ඇගේ දෙනෙත්වලින් ගලා යන කඳුළු වැල්, දෙකන් අසලින් කොට්ටය මතට වැටෙයි. සිහින් කෙඳිරියක් පමණක් නඟමින් වැතිර සිටින බිරිඳ දුටු අප්පෝ හිත වාවාගත්තේ අසීරුවෙනි.

ඇඳ පාමුල වැලපෙමින් සිටි සිළිඳු මැණිකා අප්පොගේ රැවුම දරාගත නොහී මඳක් ඈතට වූවාය.

“ඇයි මැණිකේ?”

දන්තුරේ බණ්ඩාර ඇඳේ පසෙකින් වාඩි වී බිරිඳගේ අත අල්ලා ගත්තේය. ඒ සීතල වූ අතකි. දෙවෙනි වරටත් දැනුණු කම්පනය දරා ගන්නට අප්පො වෙර දැරුවේය.

හස්ති රාජයෙක් වගේ හිටිය මනුස්සයෙක්නෙ ඔය මීමින්නෙක් වගෙ වෙලා තියෙන්නෙ.....

කුමාරිහාමිගේ අංශයක අප්‍රාණික ගතියක් පෙනෙන්නට තිබිණි.

ඇයගේ පපුව රිදෙන බව දැනගත් විට, සිළිඳු මැණිකා සිද්ධාර්ථ තෙල් ගා පපුව පිරිමැද්දාය. එයින් සහනයක් නොවුණු තැන ඇය බුලත් කොළයක් රත් කර කුමාරිහාමිගේ පපුව තැව්වාය.

“මාව එළියට එක්ක පලයං සිළිඳු!”

කුමාරිහාමි කියූ විට සිළිඳු මැණිකා ඇගේ සහයට ආවාය. එහෙත් කුමාරිහාමි දර කොටයක් මෙන් නැවතත් ඇඳ මතට ඇද වැටෙත්ම අසරණ මෙහෙකාරිය විලාප දුන්නාය. ඇයට කළ හැකි වූයේ එපමණකි.

දන්තුරේ බණ්ඩාර දුරකතනයෙන් වෛද්‍යවරයාට ඇමතුවේය. කිසිදු දිනෙක නොවූ පරිද්දෙන් ඔහුගේ කටහඬ බිඳී තිබිණි. තමන්ගේ කටහඬ කෙතරම් අසරණ ස්වරයක් ගෙන ඇත්දැයි වැටහුණු අප්පෝ තවත් තැවුණේය. හිසකෙස් ඇද ගනිමින් පුටුව මතට වැටුණු ස්වාමියා දුටු මෙහෙකරුවෝ තවත් බියපත් වූහ.

“අනේ අප්පේ, හස්ති රාජයෙක් වගේ හිටිය මනුස්සයෙක්නෙ ඔය මීමින්නෙක් වගෙ වෙලා තියෙන්නෙ, එක පාරටම.....” සිළිඳු මැණිකා කම්මුලේ අතක් රඳවා ගත්තාය.

හැබැයි, පරිස්සම් කර ගන්න වෙයි. දැනට මේ බෙහෙත් පාවිච්චි කරමු....

කුමාරිහාමිගේ තත්ත්වය එතරම් බරපතළ එකක් නොවෙතියි වෛද්‍යවරයාගේ අදහස විය. එය ඇසූ කවුරුත් සැනසුම් සුසුම් හෙළූහ.

“හැබැයි, පරිස්සම් කර ගන්න වෙයි. දැනට මේ බෙහෙත් පාවිච්චි කරමු. මිස්ටර් බණ්ඩාර කැමතියි නම්, අපි තව දවසකින් විතර මිසිස්ගෙ ෆුල් චෙක් අප් එකක් කරමු!”

වෛද්‍යවරයාගේ මතය අප්පෝ පිළිගත්තේ සතුටෙනි. දුම් දමන කෝපි කෝප්ප දෙකක් තබාගත් බන්දේසිය රැගෙන ආ සිළිඳු මැණිකාත් සිතින් දෙවියන්ට පිං දුන්නාය.

“වලව්වේ හාමුදුරුවනේ, දොස්තර මහත්තය බෙහෙත් දුන්නා..... බය වෙන්න දෙයක් නැහැල්ලු, වලව්වෙ හාමුදුරුවනේ.”

කුමාරිහාමි සිළිඳු මැණිකා දෙස ඇසිපිය නොහෙළා බලා සිටියාය. ඇගේ නෙත් කෙවෙණි නැවතත් කඳුළින් තෙමී යයි. “මයෙ කොල්ලා.... මයෙ කොල්ලා.... මයෙ කොල්ලට කරදරයක් තමා දෙයියනේ!”

“විකාරද මැණිකේ? පුතාට මොන කරදරයක්ද.... ඔය මනස්ගාත හිතලා මැණිකේ ලෙඩ වුණාම හරි යනවද?” දන්තුරේ බණ්ඩාර නොඉවසිල්ල සඟවා ගත්තේ නැත.

“මට තේරෙනවා දූලගෙ අප්පච්චි.... අනේ මයෙ කොල්ලා....” බිරිඳගේ වැළපීම තවත් බලා සිටිය නොහැකි තැන අප්පෝ කාමරයෙන් පිටව ගියේ තරහෙන් පිපිරෙමිනි.

අයියගෙ මංගල්ලෙ වෙනකොට ගස්වල මල් පිරිල තියෙයි.

“ගෑනුන්ගෙ මනස්ගාත!”

********

නිවස එතරම් විශාල එකක් නොවූ බැවින් පිළිසකර වැඩවලට වැඩි කාලයක් ගත වුණේ නැත. බිත්තිවල පළුදු වසා, සුදු හුණු ගෑමෙන් පසු, අමුතුම සිරියාවන්ත බවකින් නිවස වෙළී ඇතැයි මාලතීට සිතුණි.

“ඔන්න අපෙ අම්මා මං මල් ගස් ඔක්කොටම ගොම දැම්මා.... අයියගෙ මංගල්ලෙ වෙනකොට ගස්වල මල් පිරිල තියෙයි.” මාලතී දෙඅත් ඉණට තබාගෙන මල් පාත්තිවල හැඩ බැලුවාය. ඔසරිය අඳිමින් සිටි සිසිලියානා ජනේලයෙන් එබුණාය.

“ඔය තියෙන මල් මදෑ... උඹ ඕවා ඔක්කොම කරනවා. තාම අර දොර ජනෙල් රෙදි ටික මහලා ඉවර කළේ නෑ. අර චන්ද්‍රා කෙල්ලටම කිව්වා නං මෙලහටත් ඕවා මහල දීලා...”

“අපෙ අම්මා බය නැතිව ඉන්ඩකො....”

“මං බය වෙන්නෙ මොකෝ? උඹලට පුරුද්දක් නැහැනෙ තියෙන වැඩක් කල්-වේලා ඇතිව ඉවර කරලා දාලා.....”

මාලතී ජනේලය අසලට අවුත් ගෙට එබුණාය. ඔසරි පොට සකසා උරහිස මතින් දැමූ සිසිලියානා, බඳ වට වූ රැලි සකසා ගත්තාය.

“ආයි, ආයි! අපෙ අම්මත් මනමාලියෙක් වගෙ ලස්සනයි!”

අපෙ අම්මත් මනමාලියෙක් වගෙ ලස්සනයි!

“නිකා ඉඳින් කෝලං නොකර....” සිසිලියානා දියණියට සැර වී තවත් වරක් කන්නාඩියෙන් බැලුවාය.

“ගෙදර කවුරුවත් නැද්දෝ.....”
මිදුලෙන් කාන්තා කටහඬක් ඇසුණි. මාලතී බිත්තිය අයිනෙන් ගොස් පිලට එබුණාය. “නැන්දේ, මං අම්මට කතා කරන්නං... අම්මේ... මෙන්න සෝමෙ නැන්දා ඇවිල්ලා.”

ගැහැනිය පිල් කණ්ඩිය මතින් වාඩි වූවාය. සිසිලියානා අමුත්තිය හමුවට ආවේ හිස පීරමිනි. “සෝමෙ නංගියෙ, මං මේ හේනෙ මාමලයේ ගෙදරට ගොඩ වැදිල එන්නෙයි කියලා... දුවේ, මාලතී. ඔය කේතලේ ළිපට තියාපං දුවේ, මේ නැන්දට කහට ටිකක් දෙන්ඩ....”

“සිසිලි අක්කට දැන් යමරෙට වැඩ වගේ.... නේද? තව ඉතිං වැඩි දොහක් තියෙන එකක්යැ...”

“කියන්නෙද නංගියෙ... මෙව්වා ඔක්කොම මමම හොයලා කරන්ඩ එපාය. අරයා වැඩට යනවා. පුතා ඉතිං අන්තිම මොහොතේ එයි. මොනවා කරන්ඩද. ඒ දරුවට නිවාඩු තියෙන එකක්ද?” සිසිලියානා පනාවේ රැඳුණු කෙස් ගස් කිහිපය ඇඟිලි තුඩුවලින් එකතු කොට මිදුලට වීසි කළාය.

“බලපංකො සිසිලි අක්කේ... මං කොණ්ඩෙට පනාව තිව්වොත් කෙස් ගස් දහයක්- පහළොවක් ගැලවිලා එනවාමයි.... අනේ වාසනාවන්! ඒ අතින් උඹට නං එහෙම කරදරයක් නැතුව....”

පිළිතුරක් නොදුන් සිසිලියානා ගෙට වැදී කෙළ ගැසුවාය. තේ කෝප්පයක් රැගෙන එමින් සිටි මාලතී මවගේ හැසිරීම දෙස බැලුවේ විමතියෙනි. “මොකද අම්මේ, තූ තූ ගගා?”

නොදකින් මේකිගෙ හැකර කට!

“අරකිගෙ පැලියාවනෙ. කෝ, මෙහාට දියං.... නැත්තං ඒකි උඹටත් මොනවා හරි කියයි. ඔය දෙනියවත්තේ සෝමා... හරි කටවහකාරි.” සිසිලියානා රහසින් දුවට කියා, තේ බන්දේසියත් රැගෙන ඉදිරියට ගියාය.

“අනේ නංගියෙ.... මං උඹට එන්ඩය කියලා යැව්වේ ලොකූ උදව්වක් ඉල්ල ගන්ඩ.”

“ඒ මොකක්ද සිසිලි අක්කේ? දෙයි හාමුදුරුවන්ගේ පිහිටෙන් අක්කලාට ඉතිං....”

“පොඩ්ඩක් ඉඳපංකො කියනකල්....” සිසිලියානා සෝමාගේ වාක්‍යය සම්පූර්ණ කිරීමට ඉඩ දුන්නේ නැත. ‘නොදකින් මේකිගෙ හැකර කට!’ ඈ සිතින් ශාප කළාය. “නංගියෙ, උඹේ මනුස්සයට කියලා තේ වත්තෙන් දර ගස් දෙකක් විතර අරගන්ඩ ඕනි අපට. දන්නවනෙ ඉතිං, අපේ ගෙදරත් පුංචි කටයුත්තක් කෙරෙන්ඩ යනවා...”

“ඕකත් මහ ලොකු උදව්වක්ය අක්කේ. මං කියන්නංකො අපේ එක්කෙනාට.... දුවේ, ඔය හෙප්පුව ගෙනෙංකො.... තේ ටිකක් බිව්වාම විටක් නොකෑවොත් කට අපුලයි, අපුලයි වගෙයි අක්කේ!”

මාලතීට හෙප්පුව රැගෙන ඉදිරියට එන්නට නොදීම සිසිලියානා ගෙට ආවාය. ‘මේකෙ තියෙන දුම්කොළ - පුවක් ටික ඔක්කොමත් ඒකි එකතු කරගෙන යයි... මං දන්නවනෙ උන්දෑගේ තරම.’
බුලත් හෙප්පුවේ තිබුණු පුවක්- දුම්කොළවලින් කැබලි කිහිපයක් පමණක් තිබියදී, ඉතිරිවා කනප්පුව මතින් තබන මව දෙස මාලතී බලා සිටියේ සිනහ වෙමිනි.

“ඔක්කොම එකයි! අපෙ අම්මත් උන්ටම හරියන එක්කෙනා!”

********

අපෙ අම්මා නං හැම තිස්සෙම කෙඳිරි ගගා කියවන්නෙ මල්ලිව දකින්ඩ....

අසනීපයෙන් පසු වුණු කුමාරිහාමිගේ ලොකුම ආශාව වූයේ ධනුෂ්කව නැවත දැක ගැනීමය. ඔහුව නැවත ලංකාවට ගෙන්වා දෙන්නැයි ඈ සැමියාට කීවේ වරක් හෝ දෙවරක් හෝ පමණක් නොවේ. එහෙත් එසේ කිරීමට දන්තුරේ බණ්ඩාර අප්පෝ කැමති වූයේ නැත. එසේ කළහොත් ධනුෂ්ක සිය උසස් අධ්‍යාපන කටයුතු අතහැර දමනු ඇතැයි ඔහු සිතුවේය.

“අනේ මන්දා අප්පච්චි!”

එරන්දතී දෙගිඩියාවෙන් පියා දෙසට හැරුණාය. පියාත් තද කල්පනාවක සිටී. ඒ දුටු එරන්දතී නැවත කතා කළේ නැත. හදිසියේ හිස එසවූ අප්පෝ දියණිය දෙස බැලුවේය.

“දුව මොකක්ද කිව්වේ.... මටත් දැන් කිසිම දෙයක් හිතේ රඳන්නේ නැහැ. දුවලගෙ අම්මා ලෙඩ වුණත් හරි, මගෙන් බාගයක් මැරිලා වගෙයි මට දැනෙන්නේ...”

අප්පච්චි මෙසේ ආත්මානුකම්පාවෙන් කතා කරනු එරන්දතී දැක තිබුණේ නැත. මෙතෙක් කලක් ඔවුන් දැක තිබුණේ කිසිවකින් නොසැලෙන, කිසිවකට නොනැමෙන තේජාන්විත හස්ති රාජයකු බඳු අයෙකු පමණි. ‘පව්! අප්පච්චිත් හොඳටම හෙම්බත් වෙලා.... කොච්චර වුණත් අපෙ අම්මනේ හැම දෙයක්ම හොයා බලාගෙන ඔක්කොම කළේ....’ ඈ දිගටම සිතුවාය.

“අපෙ අම්මා නං හැම තිස්සෙම කෙඳිරි ගගා කියවන්නෙ මල්ලිව දකින්ඩ ඕනිමය කියලයි....”

ඕකලා ඔක්කොම හොරු දුව!

“මාත් දන්නවා ළමයෝ! ඒත් මේ වතාවේ ආවොත් ධනුෂ්ක ආයෙම යයිද කියල මට සැකයි.... මට හොඳටම විශ්වාසයි මිනිහා ඔය කලබලේම ආවෙත් මොනවා හරි ජංජාලයක් හින්දා. මට ඒත් තේරුම් ගන්න බැරි මිනිහටම හිතිලා ආපහු ගිය එකයි.”

“මටත් තේරුණා අප්පච්චි. ඔය ගැන මමත් ඇහුව මිලින්ද මල්ලිගෙනුත්. අපේ මල්ලී මිලින්දටවත් ඒ විස්තර මොකුත් කිව්වේ නැහැල්ලු අප්පච්චි....”

“ඕකලා ඔක්කොම හොරු දුව!” දන්තුරේ බණ්ඩාර මඳහසක් නඟා ගත්තේය. “දී කිරට බළල්ලුත් සාක්කිලුනෙ. ඌ ගැන මේකා මොකවත් කියන්නෙ නං නෑ කොච්චර දැන ගත්තත්....”

“හරි එකමුතුයි අප්පච්චි....ගිය ආත්මෙක සහෝදරයෝ වෙන්න ඇති.” කතාබහ කරමින්ම කළුවර කනප්පුව අසලට ගිය එරන්දතී, ඒ මත දබරැඟිල්ලෙන් ඉරක් ඇන්දාය. පෙනෙන නොපෙනෙන තරම් වූ දුහුවිලි තට්ටුව මත යාන්තමින් ඇඳුණු ඉර දුටු ඈ කිපුණාය.

“සිළිඳු මැණිකාවත්, සමරසිරිවත් මෙව්වයේ දූවිලි පිහදලා නෑ වගේ සුමාන ගාණකින්...”

එරන්දතීගේ නෝක්කාඩුව අප්පෝ ගණනකට ගත්තේ නැත. බිරිඳගේ අසනීපය නිසා ඔවුන්ට ඉස්පාසුවක් නැති තරමේ රාජකාරි පැවරී ඇති බව ඔහු දනී.

“උන්ට වැඩ මයෙ දුවේ! දවසකට නෑදෑයෝම නං කී දෙනෙක් එනව කියලද උඹලගෙ අම්මව බලන්න....”

“ඒ වුණාට අප්පච්චි, මේවත් කෙරෙන්න එපාය... හොඳ වෙලාවට මං දවස් දෙක-තුනක් ඉඳලම යන්න බලාගෙන ආවේ. මං කරවන්නංකො ඔව්ව ඔක්කොම....”

 ‘මධ්‍යම සංස්කෘතික අරමුදලෙනුත් පොත් ගන්න project එකක්...’ සෝදුපත් බලන කාලයේම මුදිත කරුණාමුණි...

අප්පෝ දියණියට කිසිවක් කියුවේ නැත. එහෙත් දියණියගේ තරම දන්නා ඔහු පසුව සිළිඳු මැණිකාට අනතුරු ඇඟෙව්වේය.

“එරන්දතී කුමාරිහාමි මොනව කිව්වත් කළත් උඹලා ඒවා ඕනිවට වැඩිය ගණන් ගන්න ඕනෑ නැහැ, තේරුණාද?”

අප්පොගේ නුපුරුදු කරුණාවන්ත බව සිළිඳු මැණිකාගේ විස්මයට හේතු වුවද ඇය ඒ ගැන බෙහෙවින්ම සතුටට පත් වූවාය.

*********

ටයිප් සෙටින් කරන අතරේ දිනපතාම මට සෝදුපත් බලන්නට සිද්ද වුණේය. ඒ සොමිල් ලගත් හැමදාම හවසට print outs ගෙනවිත් දුන් නිසාවෙනි.

“නිමල් අයියේ, දැන් මධ්‍යම සංස්කෘතික අරමුදලෙනුත් පොත් ගන්න project එකක් තියෙනවා. ඔයාත් apply කරලා බලන්න!” මුදිත කරුණාමුණි කිව්වේ ඒ අතරතුරේය. මුදිත ඒ දිනවල සමස්ත ලංකා අමද්‍යප තරුණ සංවිධානය මඟින් කොට්ටේ ශ්‍රී නාග විහාරස්ථානයේ පවත්වාගෙන ගිය ‘කළුකොඳයාවේ ශ්‍රී ප්‍රඥාශේඛර අනුස්මරණ පුස්තකාලයේ’ අධිපති ලෙස සේවය කරමින් උන්නේය.
ප්‍රවීණ කවියෙකුවූ තම ආදරණීය පියාගේ; සව්ලියස් කරුණාමුණි මහතාගේ අත්දැකීම් පවා මට පවසමින් මුදිත නිතරම මා දිරිමත් කළේය.

ජීවිත කාලයක් තිස්සේ මට උදව් කළ අය කොච්චර ඉන්නවාද?
මේවා සිහිපත් කරද්දී මටම පුදුමය. ඒ හැම කෙනෙකුටම අනේක වාරයක් ස්තුති වේවා!

ඔයාගෙ පොතේ උත්සවේ නාග විහාරේදීම ගනිමු. පත්තරේකටවත් ලියල නැති ඔයා...

‘යුවති කිරිල්ලී’ ඩිමයි 1/8 පිටු 208ක පොඩි පොතක් මිස දැවැන්ත එකක් නොවේ. ඒත් ඒ පොතේ වැඩවලදී එක-එක විදිහෙන් මට උදව් කළෝ කප්පරකි; හැට-හුට හමාරකි! සද් භාවයෙන්ම උපදෙස් දුන්නෝත්; අත-හිත දුන්නෝත් එසේමය. එතැනදී උපුල් සාන්ත සන්නස්ගල, ශ්‍රීමත් ඉන්ද්‍රජිත් ලියනගේ, ගිහාන් ශ්‍රීනාත් අල්විස්, මුදිත කරුණාමුණි වගේ නම් වැලක්ම ලියන්නට වෙයි.

“නිමල් අයියේ, පොතේ දොරට වැඩුමකුත් කරමු!”

“පිස්සුද ළමයෝ! මොක්කුද එන්නෙ මං වගේ කෙනෙකුගේ පොතක උත්සවේකට?” අර යෝජනාව ඇහුණු විගස මට කියැවුණේය. ආධුනික රචකයෙකුගේ පොතක් දොරට වැඩුම එතරම් සුවිශේෂී එකක් නොවෙන බව එවිටත් මම දැනගෙන සිටියෙමි.

“එහෙම නෙවෙයි. ඔයාගෙ පොතේ උත්සවේ නාග විහාරේදීම ගනිමු. පත්තරේකටවත් ලියල නැති ඔයා වගේ කෙනෙකුගෙ පොතක දොරට වැඩුම මහජන පුස්තකාල ශාලාව වගේ තැනක කරන්න ගියෝතින් නං වැඩේ අල වෙනවා තමයි. ඒත්, අමද්‍යපේ කට්ටියයි- ඔයාගේ යාළුවො ටිකයි එකතු වුණත් සීයක්-දෙසීයක් නැති වෙන්න බැහැනෙ.
අමද්‍යප ශාලාව පිරෙන්න නං සෙනඟ හිටියි, නිමල් අයියේ.”

“ඔව් නිමල් අයියේ. එදාට පොත් සීයක්-දෙසීයක් විකුණාගන්නත් පුළුවන් වෙයි...”

වැඩේ ටිකෙන්-ටික පුළුල් වුණේ එහෙම යෝජනා හින්දාය.
“ඔයා බය වෙන්න එපා. පොත බෙදා හරින වැඩේ මම කරලා දෙන්නං!” ඒ දවස්වල උපුල් සාන්ත සන්නස්ගල මහතාගේ පොත් බෙදා හරිමින් සිටි ගිහාන් ශ්‍රීනාත් අල්විස් සොහොයුරා කිව්වේය.

මෑතකාලීන අතීතයේ පොතකින් මුද්‍රණය වෙන පිටපත් ගණන....

“කොච්චර විතර ගහන්නද නිමල් අයියා හිතාගෙන ඉන්නේ?”

“උපුල් නං ‘සරසවි දියණියෝ’ පොතෙන් පන්දාහක් ගැස්සුවේ ඉස්සෙල්ලාම.... අපිමයිනේ print කළේ!” මම කීවෙමි. “මාත් හිතාගෙන ඉන්නේ 3,000ක් ගහන්න....” 

අනේ! වර්තමාන පොත් මුද්‍රණ කර්මාන්තයට ගිහින් තියෙන කල!!

1960 ගණන්වලදී මාරක කතා චක්‍රවර්ති ඩීමන් ආනන්ද මහත්තයාගේ පොත් පවා මුද්‍රණයවී තිබුණේ 4,000- 5,000 බැගින්ය.
සාහිත්‍ය කීර්ති ඩබ්ලිව්.ඒ. සිල්වා ශූරීන්ගේ ‘ලක්ෂ්මී හෙවත් නොනැසෙන රැජින’ පොතේ පළමු මුද්‍රණයෙදී පොත් දෙදහසක් පළ විණි. ඒ 1922 අවුරුද්දෙදීය. 1923 දී ‘හිඟන කොල්ලා’ පළ වෙද්දී එකෑවරම පොත් 20,000ක් අච්චු ගස්වලාය!
අද්‍යතන තත්ත්වය මා නොදන්නා මුත්, මෑතකාලීන අතීතයේ පොතකින් මුද්‍රණය වෙන පිටපත් ගණන බොහෝ විට 500- 1,000 අතරේ ගණනක හිරවී තිබුණු බව නම් දනිමි. (එදාට වඩා ශ්‍රී ලංකාවේ ජනගහනය කොතරම් වැඩි වෙලාද?)

මේ කියවෙන්නේ අපේ කියවීමේ රුචිය පල්ලම් බැස ඇති විත්තියක්ද?
එහෙමත් නැතිනම් ජාතියක් වශයෙන්ම අප බුද්ධිමය පිපාසාවකින් නොපෙළෙන බවද....

********

නව එළියක් වැටී ඇති නිවසත්, වත්තත් දෙස වික්‍රම බැලුවේ ආසාවෙනි.

“අම්මේ..... අපෙ අයියා ආවා....”

මාලතී සොහොයුරා ඉදිරියේ පහත් වී වැන්දාය. අත වූ බෑග්-පාර්සල් ආදිය බිමින් තැබූ වික්‍රම ඉදිරියට නැමී, තමාට වඳිමින් සිටින සොහොයුරියගේ හිස තරයේ අල්ලාගෙන පහතට නැමුවේය.  

තව ඉතිං ඉතිරි වෙලා තියෙන්නෙ චන්ද්‍රාව කැන්දන් එන්න විතරයි.... 

“ඔය වැන්දා ඇති නංගියෙ.... නැඟිටපංකො....” මාලතීගේ හිස පහතට තෙරපමින් දිගටම කියවන පුතා දුටු සිසිලියානාට සිනහව නවතා ගත නොහැකි තරම්ය.

“අපෙ අම්මා... මේ බලන්ඩකෝ... අයියා.....” අසරණව සිටි මාලතී නැඟී සිටින්නට දැරූ තැත සඵල වූයේ නැත.

“ඔන්න ඕකිට යන්ඩ දීපං මයෙ පුතේ..... ඉතිං මට කණක් ඇහිලා ඉන්ඩ නැති වෙයි, උඹලගෙ රණ්ඩු බේරනවා මිසක්කා...”

වික්‍රම මවට වඳින්නට පහත් වුවද සිසිලියානා පසෙකට වූවාය.

“රෙද්දෙයි, අත්වලයි ගොම මයෙ පුතා... මං අර දුම්ගෙයි ගොම-මැටි ටිකක් ගාන්ඩ ගත්ත.... මයෙ පුතාට තුනුරුවන්ගෙම සරණයි!”

“අම්මල මට මොකුත් ඉතිරි කරල නෑනේ... තව ඉතිං ඉතිරි වෙලා තියෙන්නෙ චන්ද්‍රාව කැන්දන් එන්න විතරයි වගේ.....” වික්‍රම පිලේ ලණු ඇඳ උඩින් වාඩි වූයේය.

“මෙයාට මේකවත් දෙන්න වටින්නනෙ නෑ මට කරපු දේට....” මාලතී ඇස්ස කැපූ තැඹිලි ගෙඩියක් සොහොයුරාට දිගු කළාය. වික්‍රම උගුරු කිහිපයක් බී, කමිසයේ බොත්තම් ගලවන්නට වූයේය.

“යන්තං සුමාන දෙකක් නිවාඩු හම්බ වුණා. තව ඉතිං මාස කීයද? එයිට පස්සේ මෙහෙ කොහාට හරි ආවාම එච්චර අමාරු වෙන එකක් නැහැ මයෙ හිතේ....”

“අනේ හොඳා මයෙ පුතා. අර කෙල්ලත් තිස්ස දෙවෙලෙම ගින්දරෙන් ඉන්නේ. පොඩ්ඩක් හිටිංකො, මං ඉතිරි ගොම ටිකත් ගාලාම එන්නං!”

13 comments:

  1. වර්ථමානයේ ලංකාවෙ විකිණෙන පොත් පිටපත් ගණන අඩුවට එක හේතුවක් වෙනත් එන්ටර්ටේන්මන්ට් මාධ්‍ය හුඟක් තිබීම. තව එකක් පොත් (පිටපත් නෙමෙයි වෙනස් පොත් ) හුඟක් ප්‍රකාශනය. පොත් කඩේකට ගියාම පේනවා හැම ජනප්‍රිය ඉන්ග්‍රීසි පොතේම වගේ පරිවර්ථනයක්. ඒවා කියවන අය කියන්නෙනම් හුඟක් පොත්වල පරිවර්ථන කොලිටි එක ඒතරම් හොඳ නෑ කියලයි. ඒකෙන් ඉන්ග්‍රීසියෙන් රසවිඳීමේ හැකියාව දියුණු කර ගැනීමටත් පාඩුවක් වෙනව (ඒ මගේ පුද්ගලික මතය. )
    කොහොමත් සමහර රටවලට සංසන්දනාත්මකව ලංකාවේ කියවීමේ රුචිකත්වය හැමදාම අඩුයිනෙ

    මට අල්ලල යන්නෙම නෑ දැන් ලංකාවෙ දැන් ඩිසයින්වෙන පොත් පිටකවර නම්.

    ReplyDelete
    Replies
    1. ප්‍රා ජේ සමග එකගයි...අජිත් ධර්මකීර්ති මහතා මතක හැටියට වරක් ලියා තිබුනා ඔහුගේ පොතක පිට කවරය 'මාකට් එකට' ගැලපෙන පරිදි වෙනස් කරන්නට ඔහුට බල කෙරුනු හැටි. ලංකාවෙ කට්ටිය හිතං ඉන්නෙ පරිවර්තනය කියන්නෙ ඉංග්‍රීසි වචනයට සිංහල වචනයක් දාන එක කියල....සමහර පරිවර්තන පොත් කියවන එක මහ වදයක්....ඊට පස්සෙ තමයි පරිවර්තන කියවීම අත් ඇරලා දැම්මෙ!!!

      Delete
    2. ඕව් තවමත් තරයි ඒකට . මගේ දුව මාසයක් විතර කතා නොකර හිටිය එයා ඇන්ද එක ගත්තේ නැතිවට. ඒ පරක්ෂක මහත්මය නම් දැන් හොඳ යාලුවෙක්, ඒත් පිට කවරේ කෑව හේ හේ

      Delete
    3. ඉහත දෙවෙනි කමෙන්ටුව පළ කළේ මා විසින් නොවන බව කරුණාවෙන් සිහිපත් කර සිටිමි. (හැක්!)

      Delete
    4. ඉහත දෙවෙනි කමෙන්ටුව පල කලේ කට්ටකාඩුවේ ලොකු මල්ලී වන මා විසින් බවත් වෙනත් අයෙකු විසින් නොවන බවටත් ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයටත් එහි වැසියන්ටත් දිවුරා පොරොන්දු වෙමි. එම කමෙන්ටුවේ අයිතිය මාගේ අනුදැනුමකින් තොරව ඩ්‍රැකීට පවරා දෙන්නට උත්සාහ කරන අයෙකු වේ නම් ඔහුට හෝ ඇයට විරුද්ධව කිසිවක් නොකරන බවද මෙයින් දැනුම් දෙමි.

      Delete
    5. ඉහත පස්වන කොමෙන්ටුව පළ කළේ මා නොවන බවත්, කට්ටකාඩුවේ ලොකු මල්ලී ම වන බවත්, උන්දෑ මට පොරොන්දු වූ "හිරු දෙවියන් පැරදවීම" පොත ගැන ඉදිරි පියවර නොගත් බවත්, උන්දෑ තරම් නිර්මාණශීලී කමෙන්ට් කොටන්ඩ මටත් පුළුවන් වුණානං ලොකු හයියක් බවත්, අර එක සැරෙයක් නිදි ගේ ගෙදර සිරිබිරිස් ලෑස්ති කරපු හමුවීමට එන්ඩ බැරි වීම ගැන අම්බානක කණගාටු වෙන බවත්, ආයි නං ඒ වගේ අවස්ථා මිස් කර නොගන්නා බවත්, ඒ වගේම අර රවි එක්ක ගල් බෝ(ත)ලයක් හොයන්ඩ හඟුරංකෙත ගිය ගමනක් ගැන රවි ලියා තියෙන බවත්, තව තව දේවල් ලියන්ඩ හිතේ තිබුණත් කී බෝඩ් එක කකියන්ඩ ගත් බැවින් නවත්වන්නට යෙදුන බවත්, දැං ඒකට තෙල් බේත් කරන්ඩ යන බවත්, ගවුරව පුුරස්සරව දන්වා සිටිමි...

      Delete
    6. හොඳ වෙලාවට, වාසනාවට අද පාන්දර ඉඳන් පවර් කට් එකක් තිබුණා. ඒ ඩිංගට වෙලා තියෙන දේවල්, අම්මපා!

      ලොකූ, එක්තරා ආයතනයක වැඩ කරද්දී විශ්ව විද්‍යාල උපාධි අපේක්ෂිකාවක් පරිවර්තනය කළ පොතක හරි-වැරදි බලන්නට වුණා, මෝඩ මට!

      පොතේ එක තැනක් තිබුණා, වහල් කෙල්ලකට මිරිස් කරල් ගෝනියකම නැටි කඩන්නට වීමක් ගැන. ඒක කරලා ඇයගේ අත පිච්චුණා කියලයි ලියලා තිබුණේ. Burn වචනය තමයි අර ළමයා පිච්චුණා කියල පරිවර්තනය කරලා තිබ්බේ. මිරිස් කරල්වල නැටි කැඩුවාම අත දන්න (දැවිල්ල හැදෙන්නට) පටන් ගන්නවා කියන අපේ වහර එයා දැනගෙන හිටියේ නෑ!
      එහෙමයි සමහර අයගේ පරිවර්තන.

      ඩ්රැකී, තෙල් බෙහෙත් කරන්ඩ ඕනි නෑ, එන්ජින් ඔයිල් වලටත් අමාරුව හරි යයි වගේ නේද!

      Delete
  2. මම හිතන්නේ අතින් අකුරු අමුණලා පොත් අච්චු ගහපු කාලේ එක මුද්‍රණයකට අය කරන මුදල අද කාලෙට සාපේක්ෂව බොහොම ඉහළ නිසා, ණය වෙලා හරි පිටපත් වැඩි ප්‍රමාණයක් මුද්‍රණය කිරීම ලාභදායී වෙන්න ඇති.
    ඩීමන් ආනන්ද මහත්තයාගේ පොත් වලට ඉහල ඉල්ලුමක් තියෙන්න හේතුව, ඒවාට සමහර ගුරුවරු, සමහර දෙමව්පියෝ අකමැති වීම නිසා කියලයි මට හිතෙන්නේ. අපිට ඒ පොත් කියවන්න පූර්ණ නිදහස තිබුනා නම් ඒවා එතරම් අගයක් නැති වෙන්න ඉඩ තිබුනා. ඒ හැර, ඒ පොත් හදලා තිබුනෙම පාඩම් පොතක් ඇතුලට දාලා හොරෙන් කියවන්න පුළුවන් වෙන ආකාරයටනේ!

    ReplyDelete
    Replies
    1. ඔයා හරි සෑම් මහත්තයෝ.
      ප්‍රින්ටින්වලදී, ලෙටර් press - offset දෙවිදිහෙදීම අකුරු ඇමිණීමට හෝ plates සැකසීමට යන වියදම යනවාමයි. ඒවා මුද්‍රණයට සැකසීමේදී (make ready) යන ශ්‍රමය, වෙලාව හා වියදමත් එහෙමමයි. ඒ පියවරෙන් පස්සේ මුද්‍රණය ඉක්මනින් වෙනවා.

      ඉතිං ඊට පස්සේ 1000ක් නම් ගහන්නේ අර වියදමට එකතු කරලයි ගණන බැලෙන්නේ. තවත් විදිහකට කියනවා නං ඒ මූලික වියදම 1000කට බෙදෙනකොට එකකට වැය වැඩියි. තුන්දාහක් ගැහුවොත් මූලික වියදම 3,000කට බෙදෙනවා.

      හුඟ වෙලාවට වැඩි ඉම්ප්රෙෂන්ස් ගණනක් ගහනකොට එකකට වියදම අඩු වෙනවා.

      ඩීමන් ආනන්ද මහත්තයාගේ පොත් 1/8 ට වඩා කුඩායි. බොහොමයක පිටු 96යි තිබුණේ. කවරයත් ආර්ට් පේපර්... ඒ නිසා පොතේ පරිමාව - අහුපෑවත අඩුයි. කලිසං සාක්කුවේ හංගා ගන්ඩ ලේසියි.

      ඇත්තද මන්දා, කතාවට කිව්වේ ඩීමන් මහත්තයා film එකක් බලලා පොතක් ලියන්න වාඩි වුණාම, එක පිම්මට ලියල ඉවර කරනවලු. එහෙම ඉවර වෙනකොට ලියපු-ලියපු ටික අකුරු අමුණලාත් ඉවරයිලු. ඒ අස්සෙම අච්චු ගැහෙන වැඩෙත් කෙරුනාලු! එක රෑට එක පොතක් ගැහුනාලු!!

      Delete
  3. මේ වචනය මතක නැහැ කලින් අහල තියෙනවා කියල. "පැලියාවනෙ". අලුත් වචනයක් ඉගෙන ගත්ත. පොත 3000 නෙමේ අපට පලවෙනි 1000 විකුණා ගන්න බැරුව ඉන්නේ. 700 විකිණිලා තියෙන්නේ තවම.

    ReplyDelete
    Replies
    1. ඒ අතිනුත් අජිත් මහත්තයෝ, මං වාසනාවන්තයි, පළමු වතාවේ. පොත් තුන්දාහම ටික-ටික විකිණුනා.

      එන්න-එන්නම පොත් අලෙවිය පමා වෙවී තමයි දැන් යන්නේ. 700ක් ගිහින් කියන්නෙත් හොඳ පුවතක්!

      Delete
  4. නෑනල අම්මලා කුහකයි ලොවට යටින්
    කටවහ කාරියොත් ඕනෑ වෙයි යහමින්
    අයියයි නගයි දක්වන යස ලෙංගතුවෙන්
    ජීවන සුවඳ වෑහේ ඔබෙ කතාවෙන්

    ReplyDelete
    Replies
    1. නෑකම් නෙවෙයි පුහුදුන් ගති මතු වෙනවා
      පරහිතකාමී බව එතකොට යට යනවා
      එහෙමට නැති තැනුත් ඇත්තට පවතිනවා
      මනුසත් සුවඳ ලෝකෙට එළියක් වෙනවා!

      Delete