අකුරු මැකී නෑ

Sunday, January 2, 2022

පහළොවේදී...- එකොළොස්වෙනි කොටස

ශ්‍රී ලංකාවේ ගොඩක් පවුල්වල උදවියට එවන් සැනසීමක් උරුම වුණේ නැත. (ඊට පසු 1989 දීත්....)

මට අවුරුදු දොළහේ සිටම ගෙදර උදවියගේ බඩ-කට පිරවීම නොනිල වශයෙන් මගේ කර මත පැටවී තිබිණි. දැන්... කැරැල්ල අස්සේ... ගෙදරටම කොටු වී හිටිද්දී...

මට මතු වුණු ප්‍රශ්නය ඒකය.... පහළොවේදී 10 post එක අවසන් වුණේ එහෙම කියමිනි.

ප්‍රශ්න තියෙන්නේ විසඳන්නටය. ඒ ප්‍රශ්නය විසඳුණු අයුරු (දැනටමත්; ඒ කිව්වේ අවුරුදු දෙකකට කලින් හිතාදර රසික පාඨක ඔබ සැමට) කියා අහවරය. එදා මං කීවේ මෙහෙමය:

රංජි.... See හාමුලගේ ගෙදර ස්මොක් කරන්න ඇඳුම් ගොඩක් තියෙනවා. විකුණන්න හදන ඒවානේ. ඔයාටත් පුළුවන් වෙයි ටිකක් මහනවා නම් ගානක් හොයාගන්න.අපේ අම්මා යෝජනාවක් ගෙනාවාය.

ඒ වෙද්දීත් අපේ ආච්චී මට කොණ්ඩ කැවුම් බැදීම, පොල් අතු විවීම, කතිර මැස්ම, ස්මොක් කිරීම විතරක් නොවේ; රේන්ද ගෙතීමත් උගන්වලා තිබිණි. ආච්චීට හිටියේ එකම පුතෙක් හින්දාත්, ඌ එකා යකා වෙච්චි එකෙක් හින්දාත් තමුන් දන්නා සියලුම ශිල්ප-සාස්තර කියා දෙන්නට උන්දැ තෝරාගත්තේ මාවය!

ආදායමක් ලැබෙනවා නම්....!
මම එකක් ගෙන්වා ගත්තෙමි. ඒ කාලේ ළමා ඇඳුම්වලට ස්මොක් කිරීම ජනප්‍රිය මෝස්තරයකි. මෝස්‌තර
, මල් මහන්නට කලින් රෙද්ද රැලි හිටින විදියට නූල් ඇද ගන්නට වෙයි. ඒකට සෑහෙන වෙලාවක් ගත වෙයි.

වෙලාව ගතවුණත් මට වැඩේ එපා වුණේ නැත. See හාමු මගේ මැහිල්ල ගැනසැටිස් වෙලා බව පෙනුණේ කැපූ ඇඳුම් හා නූල් තොගයක්ම එවා තිබුණු එකෙනි. 71 කැරැල්ල සමයේ ස්වයං නිවාස අඩස්සියේ ඉඳිද්දී මට ගෙදර ඉඳන් කරන රස්සාවක් ලැබුණේ එහෙමය! 

ඒ දිනවල අපේ ගෙදර ප්‍රශ්නය ඒ විදිහට යම් තරමකට හෝ නිරාකරණය වුණත් ශ්‍රී ලංකාවේ ගොඩක් පවුල්වල උදවියට එවන් සැනසීමක් උරුම වුණේ නැත. (ඊට පසු 1989 දීත්....)

තරුණ ජීවිත දහස් ගණනාවක ගමනාන්තයන් වෙනස් වුණේය!

71 කැරැල්ල නිසා තරුණ ජීවිත දහස් ගණනාවක ගමනාන්තයන් වෙනස් වුණේය!

අපේ ගෙවල් මණ්ඩියේම උන් මxxxxx මහත්තයාගේ පුතා හිරෙන් නිදහස්වී එද්දී ඔහුගේ පෙම්වතිය අනෙකෙකුගේ පතිනියවී හමාරය. (අසරණ තරුණියට එහෙම කරන්නට වුණේ අකැමැත්තෙනි. ඒත් පවුලේ වැඩිමල් දෝණිය වුණු නිසා xxක්කාට වෙනින් choice එකක් තිබ්බේ නැත. ‘උඹේ කසාදෙ නොකර කොහොමද නංගිලා දෙන්නගේ මඟුල් ගන්නෙ?’ වැඩිහිටියන් ඇහුවාමය, xxක්කා ඇගේ කුළුඳුල් පෙමට සමුදී තිබුණේ.)
මxxxxx තරුණයා හිරෙන් නිදහස්වී ඇවිත් කාලයකට පස්සේ, xxක්කාගේ බාලම නැඟනිය ආවාහ කර ගත්තේය!

‘රේස්වලින් රේස් එකට පිම්මක්’ postවලින් කියූ RPR යුවලගේ කතන්දරයත් ඊට දෙවෙනි නැත!

කොටුවේ ආච්චිගේ ඕවිටේ වැඩ කරන ගමන්, ‘මාරක කතා චක්‍රවර්ති- ඩීමන් ආනන්ද’ ශූරීන්ව මට හඳුන්වා දුන් චන්දරේ මාමාත් හිරගත වුණේය!!!

දීඝායුගේත් ඉරණම වෙනස් වෙන්නට අනියමින් බලපෑවේ 71 කැරැල්ලයි.

“නිමා, ක්ලෙමන්ට් පව්.... මිනිහට විශ්වාස නෑ පණ බේරගෙන හිර ගෙදරින් එන්න ලැබෙයි කියලවත්....” මාස කීපයකට පස්සේ, අහම්බෙන් හදිසියේ හමු වුණු වෙලාවක දීඝායු කිව්වේය.

“ක්ලෙමන්ට් හිරේ?”

“... ඇයි ආරංචි වුණේ නැද්ද? ඌ චේ ගුවේරා පන්ති පහටත් ගිහිල්ලා... තව පොඩ්ඩෙන් මාවත් අමාරුවේ වැටෙනවා. හොඳ වෙලාවට අපේ අයියයි, නෑනයි දෙන්නා උන්නු හින්දා බේරුණා.” දීඝායු කීවේය.

ලංසි පවුලකට අයත් වුණු ක්ලෙමන්ට් හිටියේත් පමුණුවේමය. (මගේ මතකය නිවැරදි නම්) ඒ හාදයා 1970 මැතිවරණ සමයේ එක්සත් ජාතික පක්ෂ තරුණ සමිතියක ක්‍රියාකාරී සාමාජිකයෙක් වෙලාත් සිටියේය.   

ඔයා දන්නවනෙ ඌ කොච්චර හොඳ බොක්කද කියලා. එයිටත් වඩා....
“ඇති ඔයින් ගියා!”

“අපේ අයියලා තමයි මැදිහත් වෙලා තමයි ක්ලෙමා ඉන්න දිහාවක් හොයා ගත්තෙත්. ට්‍රින්සිවත් එක්කගෙන අපි ක්ලේමන්ට්ව බලන්නත් ගියා, ළඟදී.....” දීඝායු කියාගෙන යයි; ඒ ලොකු උනන්දුවකිනි.

“ඔය මහත්තයා දැන් ක්ලෙමන්ට්ලට බැහැලා උදව් කරනවා වගේ...” මට කියවුණේ ඉරිසියා හඬකිනි.

“නැතිව බැහැනේ නිමල්.... ඔයා දන්නවනෙ ඌ කොච්චර හොඳ බොක්කද කියලා. එයිටත් වඩා....” දීඝ ටිකක් කල්පනාවට වැටුණේය. “... ඔයාට හින්දා කිව්වට කමක් නෑ... ක්ලෙමා මට කියනවා, ඌට මොනවා හරි වුණොත් ට්‍රින්සිවයි අම්මවයි බලා ගන්නලු.”

‘නිදිගෙ පංච තන්තරේ’ට posts 475ක් සපිරෙන්නට තවත් ලියන්නට තියෙන්නේ හතරකි. මෙතෙක් ලියූ කිසිම පෝස්ටුවකදී මගෙන් නොලියවුණු වචනයක් ගැන මට දැන් සිහි වෙයි. ‘පෙන්දා!’.

එදා දීඝායු ක්ලෙමන්ට් ගැන විස්තර කියාගෙන යද්දී, නසරානි මට හිතුණේ ‘අනේ පෙන්දා’ කියලාය. එහෙම හිතුණේ සිහින් ඉරිසියාවකින් හදවත තෙමී යද්දීය. ට්‍රින්සි කිව්වේ, ක්ලෙමන්ට්ගෙ නංගීටය. රූමතියක වුණු ඇය ගැන විස්තර කියද්දී ඕනෑම කෙනෙකුට පැහැදිලිවම පෙනෙන; දැනෙන තරමට දීඝායු එදා මෝදුවී; හැඟීම්බර වී උන්නේය.

මගේ සිතිවිල්ල නිවැරදි විය.

තමන් ට්‍රින්සි හා පෙමින් වෙළී සිටින බව ඒ හාදයාම පස්සේ දවසක මට කිව්වේය. හැබැයි එතකොටවත් ඔහු කෙරෙහි මේ ලියන්නාගේ හිතේ තිබුණු ආසක්ත ගතිය නැති වුණේ නැතිය!

එනිසාම 1973 ජුනි 6 වෙනිදා උපන් චූටි නංගිට නමක් තියද්දීත්, මං ඒ සඳහා යොදා ගත්තේ ‘දී’ අකුරයි. දීපානි සුනේත්‍රා දිසානායක.

අපේ චූටි නංගිත් දැන් ලොකු දරුවන් පස් දෙනෙකුගේ අම්මා කෙනෙකි!

අපේ කට්ටිය එකතුවී පවුලේ ඕපාදූප- ආගිය විත්ති කතා කෙරෙන කිසිම විටෙකදීවත් මගෙන් නොකියැවුණු ‘දී’ අකුරේ පුරාණය මගෙන් හෙළි කෙරෙන්නේ දැන්ය. (අපේ චූටි නංගිත් දැන් ලොකු දරුවන් පස් දෙනෙකුගේ අම්මා කෙනෙකි!)

මේ posts පෙළ නම්කොට තිබෙන්නේ ‘පහළොවේදී...’ නමිනි. නමුදු දැන්-දැන් මේවායින් කියවෙන්නේ මට වයස 17-19 කාලයේ සිදු වුණු දේවල්ය.
ජීවිත කතාවක් කියද්දී සිද්ද වෙච්ච දේවල් ඒ විදිහටම පෙළ ගස්වන්නට ගියාම හරි යන්නේ නැත. එය පැවසීම සඳහා උචිත ක්‍රමවේදයක් හිතා ගන්නට වෙයි. උචිත පරිදි කාල වකවනුවලට බෙදාගෙන ඉදිරිපත් කරන්නට වෙයි.  හැබෑ ජීවිතයේදී දේවල් සිදු වෙන්නේ අනුපිළිවෙලකට; තියරියකට අනුවම නෙවෙයිනේ!

මගේ ජීවිත කතාව නම් එහෙමය. පැටලුණු නූල් බෝලයක් වගෙය.

ඒ මදිවාට එහි පැටලී තියෙන්නේ එකම නූලකුත් නොවේ. ඉතා කෙටි; කෙටි; දිගු; ඉතා දිගු; එකේක ප්‍රමාණයේ නූල් කැබලි හැට-හුටාමාරක් ‘මේ බෝලයේ’ පැටලිලා තිබෙයි. ලියන මටත්, කියවන ඔබටත් පහසුවක් වෙන්නටය- ඒවා හැකිතාක් පැටලුම් හරිමින් තෝරා-බේරාගෙන මෙලෙස ලියන්නේ; නම් යොදන්නේ; වර්ගීකරණය කරන්නේ.

ඉතිං, දීඝායු පිළිබඳ විත්තිය අදවත් දයාබර ඔබට පවසා හමාර කළ යුතුය.
එහෙම කරන්නට වෙන්නේ ඒ වකවනුවේම වේදිකාගත කෙරුණු අපේ නාට්‍යයක් ගැනත්, තවත් නාටක දෙක තුනක් ගැනත් කියන්නට ඉඩකඩ පාදාගත යුතු බැවිනි.

හෙනං, ඔන්න ආපහු දීඝ වෙතට.

“ඔන්න නිමල් මල්ලිගෙ යාළුවා ළඟදීම ට්‍රින්සිව කසාද බඳින්න යනවා.” දීඝායුගේ මද්දු අයියා කියන තුරුම ඒ ‘මඟුල් කතාව’ මට ආරංචි වී තිබුණේ නැත. (ඒ වෙද්දී දීඝායුගේ මද්දු අයියාත් නුවරින් මහරගමට පැමිණ බින්න කසාදයකුත් කරගෙන තිබුණේය. ඔහු විවාහ කරගත්තේ අපේ නාට්‍ය හැම එකකම රඟපෑ නළුවෙකුගේ සොහොයුරියයි.)

ඒ සා විසල් ආදරයක්.....

ඒ මංගල ආරංචියෙන් මගේ හිත රිදුණු බව හංගන්නේ මොකටද?

‘ඔයා නේද දීඝ මේවා මට කියන්න ඕනි?’ මට හිතුණේ ඉබේමය.
‘මගේ හිතේ ඔයාට තිබුණු ළෙන්ගතුකමෙන් අරික්කාලක්වත් ඔයාගෙ හිතේ තිබුන්නැද්ද මහත්තයෝ.... එච්චර වැදගත් කතාවක් නිකමටවත් කියන්නට තරමට මං ඔයාට වටින්නේ නැද්ද, දීඝ?’

‘එහෙම නං ඔයා බණ්ඩාරවෙලදී මගේ වෙනුවෙන් අභූත චෝදනාවලට පවා මුහුණ පෑවේ; කැලණිවැලි කෝච්චියේදී අනෙක් සගයන්ට කියලා, එඩිතරව මා සිප ගත්තේ.....
ඒ සා විසල් ආදරයක් මගේ
හිතේ ඉපැද්දෙව්වේ ඇයි දීඝ?’

මට වැරදිලාය. හොඳටම වැරදිලාය. ‘ඒ සා විසල් ආදරයක්’ ඇති කර ගන්නැයි දීඝ මට කියා නැත. පස්සේ බලද්දී, මගේ සිතේ එහෙම ආදරයක් ජනිතවී තිබිලාත් නැත! මං ඉඳලා තියෙන්නේ වල්ගය පාගාගත් ගමන්ය. මටම ඒ බව පසක් වුණේ හදිසියෙනි.

හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස’ට comment එකක් එවමින්, ‘බකමූණු කතා’ blog රචක D.G.M බස්සා මහත්තයා මෙසේ කියා තිබිණි.

‘ඇත්තම කියනවා නං, නිදි සමහර වෙලාවට ලියන කටුක, තිත්ත ඇත්ත මටත් දිරෝගන්න අමාරුයි, ඒත් මේ අවංකකමට මම කැමතියි. මේ ඇති කරන නැඹුරුවට මම කැමතියි. බොරුව, වංචාව, මාන්නෙ උද්දච්චකම සමාජගත වෙච්ච සමාජයකට, මේක විරේක බේතක් වෙයි කියල මට හිතෙනවා. ඒකට නිදිට ස්තූතියි.’

පසුගිය කොටසට කමෙන්ටුවක් ලියමින් Lotusද ඒ කාරණයම තවත් විස්තර කරන්නීය.

ඔය 'සර්' කියන මනුස්සයා ගැන කලින් කොටසක නිමල් කියලා තිබුණු හැඳින්වීම කියවද්දි මට හිතුනා, ඇඳුම් අඳිනවා කොහොම වෙතත් නිමල් ඇඳුම් ගලවනවා බලන්න කැමති කෙනෙක් වෙන්න ඇති කියලා. පුදුමයි නිමල්ගෙ තාත්තට red flag එකක් දැනුනෙ නැති එක ඒ වගේ කෙනෙක් ගැන.

මේ දේවල් ගැන අපේ සමාජයේ openly කතා කරන්නෙ නෑනේ.....

නිමල් ලියන සමහර දේ කියවද්දි පොඩි uneasy ගතියක් දැනෙනවා. ඇත්තටම (බස්සාත් කලින් කියලා තිබුනා ඒ ගැන). ලිවීමෙන් නිමල්ට යම් සහනයක් වගේම, මේ වගේ දේට මුහුණ දෙන පළවෙනි හෝ අන්තිම කෙනා නිමල් නොවෙන නිසා යම් දැනුවත්වීමක් අනිත් අයටත් ලැබෙනවා ඇති. මේ දේවල් ගැන අපේ සමාජයේ openly කතා කරන්නෙ නෑනේ.’

හිතාදර රසික- රසිකාවෙනි. මගේ ජීවිත අත්දැකීම් ලිවීම ‘මගේ හිතේ බර නිදහස් කර ගැනීමක්’ය කියන කාරණයත් නොතකා හැරිය නොහැකි ඉතාම වැදගත් කරුණකි. එසේම එය මවිසින්ම මාව කපා-කොටා-විච්ඡේදනය කර තේරුම් ගැනීමට කෙරෙන උත්සාහයක්ද වෙයි.
නමුදු මමද පුහුදුන් කෙනෙක්මි. සමහර post එකක් ලියද්දී; සමහර දේවල් ගැන පාපොච්ඡාරණයක යෙදෙද්දී මට දැනෙන අපහසුව.... ලජ්ජාව....! එහෙත් මම ලියන්නෙමි, ඇත්තම ලියන්නට අදිටන් අරගෙන පටන්ගත්තා නම් එය එසේම කළ යුතුය!!

අපේ තාත්තා අපට පුහුණු කළ පරිද්දෙන්ම ‘අම්මව දෙනවයි කිව්වා නම්, තාත්තාව ගස් බැඳලා හරි අම්මාව දිය යුතුය!’. ඉතිං යළි- යළිත් මේ කරුණු මෙසේ සටහන් කර තබන්නේ ‘මටම දීගෙන සිටින මගේ පොරොන්දුව’ මතක් කර ගනිමිනි.
එය ඉටු කිරීමේදී හිතාදර පාඨක ඔබට යම්බඳු හෝ සිත් පීඩාවක් දැනේ නම් ඒ ගැන කනගාටුවත් මෙසේ පළ කරමි.

දන්නවාද? මගේ අකාරුණික නිහීනකමක් ලෙස අදටත් මා තවන හැඟීමක් සහිතවය, දැඩි ආයාසයකින් මේ පෝස්ටුව අකුරු කරන්නේත්.

මොන තරමේ හිත බිඳීම් සිදු වුණත්, මාස කිහිපයකට වතාවක් හෝ දීඝ හමුවීමට යන පුරුද්ද මට අතහැරුණේ නැත.
මද්දු අයියාගෙන් මංගල ආරංචිය ලැබී මාස කිහිපයක් යනතුරුම මම එහි නොගියෙමි. ඒ එයින් දීඝායුට රිදවන්නටය. ඒත් එයින්වත් මගේ හිතට සතුටක් දැනුණේ නැත.
දයාබර රසික ඔබට විශ්වාස කරන්නට අමාරු වුණත් ලියන්නට miss වුණු වැදගත් කරුණකටත් දැන් අවබෝධයේ පර්යාලෝකය පතිත වෙයි.
1968 මා දීඝායු හඳුනාගත් දවසේ සිට අද වනතෙක් කිසිම-කිසි දවසක දීඝායු අපේ නිවහනක පස් පාගා නැත. අතරමඟදී හෝ එහි ගිය විටෙක හෝ මා හමුවී ඇතුවා පමණකි.

අඩ අඳුරේ දීඝායු හිටියේ....

එදා සැරෙත්, එහි නොයන්නට ගෙන තිබූ දැඩි තීරණය වෙනස් කරලා ඒ හාදයාව බලන්නට ගියේ මං වහන්සේමය.
එහෙම යනවිට දීඝායු හිටියේ අක්කලාගේ ගෙදර ඉදිරිපිට පාරෙන් එහා පැත්තේවූ පරණ ගෙදර ඇතුළේය. ජනෙල් දෙක තුනම වසා දමාගෙන, දොරත් අඩවන් කරගෙනය. මම දොරට තට්ටු කළෙමි.

“ක...වු...ද...” ගේ ඇතුළේ සිට අප්‍රාණික කෙඳිරිලි හඬින් ඇහුවේ දීඝායුමය.

“මොකද මනුස්සයෝ මේ මහ දවල් දොරවල් වහගෙන?” යි අසාගෙන මම ගෙට ඇතුළු වීමි.

මගේ නහය හාරා ගෙන ගියේය! ගේ මුලුක්කාදියම ඇසට කඳුළු නංවන තරම් පුස් ගන්ධකේකින් කැකෑරෙයි. අඩ අඳුරේ දීඝායු හිටියේ බූරු ඇඳක වැතිරීගෙන කෙඳිරි ගාමින්ය.
“මේ මොකද යකෝ මේ?” කියමින්ම ජනේලයක් අරින්නටය මං හැදුවේ.

“එපා!”
“මොකද එපා.... ඔයාගෙ නහය කුණු වෙලාද දීඝ, මේ ගඳ තේරෙන්නැත්තේ?”

“මට සනීප නෑ.”

“ලෙඩ හොඳ වෙයිද මිනිහෝ, හුළං පොදක්වත් වදින්නැතිව හිටියම.... ඒ මදිවට ඉහේ හිට පොරෝගෙන....”
දීඝායු එපා කියද්දීම, මං කළේ ළඟම තිබුණු ජනේලය හායි කියලා ඇර දමන එකය. පිට පැත්තේ පොර කමින් තිබුණු හිරු කිරණ මදි නොකියන්නටම එක පොදියට ගෙතුළට කඩා වැදුණේ එතකොටය; ගේ ඇතුළේ තෙරපෙමින් තිබුණු මූසල අඳුරු කැටි පොදි පිටින් ගෙතුළින් එළියට පැන්නේත් එතකොටය.

ඒ ආලෝක දහරාවන්ට මුහුණ පෑමට බයෙන් වගේ දීඝායු පොරවාගෙන හිටි රෙද්දෙන් මුහුණ වහගන්නට තැත් කරද්දී.....

මම දුටුවෙමි; වටහා ගත්තෙමි; අප්‍රමාණ වූ කම්පනයකට ගොදුරු වුණෙමි!

බරණැස බඹදත් රජතුමාගේ පුත් සොත්ථිසේන යුව රජුහට අසාධ්‍ය වූ කුෂ්ට රෝගයක් ඇති....

දීඝායු විරූප වී ගිහින්ය. එහෙම පිටින්ම පිළිකුල් නිමිත්තක් වී ගිහින්ය. මොකක්දෝ කුෂ්ට රෝගයකින් ඔහුගේ සියොලඟම වැසී ගිහින්ය.

හිතාදර රසික-රසිකාවනි. සම්බුලා ජාතකය කියවා තියෙනවද? මට මතක් වුණේ සම්බුලා දේවියගේ සැමියා වුණු සොත්ථිසේන රජතුමාවය.
‘බරණැස බඹදත් රජතුමාගේ පුත් සොත්ථිසේන යුව රජුහට අසාධ්‍ය වූ කුෂ්ට රෝගයක් ඇති වූයේය. කරන ලද පිළියම්වලින් ගුණයක් නොවූයේ ශරීරය පැලි-පැලී දිය බසින්ට වන’ කියලයි සම්බුලා ජාතකයෙ කියලා තිබ්බේ.

මට හිතුණේ හැකිතාක් ඉක්මනින් එතැනින් ඈතකට දුවගෙන යන්නටය.
වැසංගිය යුතු නැත. මම ඛේමා බිසවුන් වහන්සේටත් වැඩි තරමින්,
රූප මදයෙන් යුතු අයෙක්මි; පමණටත් වඩා ලස්සන අගයන්නෙක්මි; රෝ දුක් පීඩාවන්ට මුහුණ දීමට අකැමැත්තෙන් සිටි අයෙක්මි.

අපේ ලොකු මල්ලී සුනිල්, කළු පාටය; ඒ දවස්වල මුහුණ-කට හෝදා පිරිසිදුව ඉන්නට උනන්දු නැතිය. එනිසාම මගේ පන්තියේ සිසුන්ට උගන්වා
‘උලමා’ කියමින් සුනිල්ට අවමන් කරවන තරමට කුරිරු වීමි.

එවන් නසරානියෙකු වී හිටි මට, එදා දීඝායු කෙරෙහි ඇති වුණේ නිම්හිම් නැති තරමේ පිළිකුලකි.

පුංචි සන්දියේ සිටම අපේ ගෙදර දරුවන් හැමෝටම වඩාත් බයෙන් හිටින්නට වුණේ කුෂ්ට රෝගයක් වුණු ‘කසානා’ ගැනය. අපි කිහිප වතාවක්ම කසානා හොරි රෝගයට ගොදුරු වීමු. ගෙදරින් එකෙකුට එය හැදුණු විට කම්මුතුය; තව දෙතුන් දෙනෙකුටත් හැදෙනවාමය.

ඉදින්, මගේ හෘදයාභ්‍යන්තරයේ ගැබ්ව තිබිණැයි මා සිතා සිටි සෙනෙහස අර පිළිකුල උපද්දවන දසුනෙන්, මටත් නොදැනීම සුන්නද්දූලිවී ගිහින් තිබ්බේ නිමේෂයකිනි;

ගව්වෙන් ගව්ව දිව මාලිග සෑදේවා!

අවුරුදු හය හතක කාලයක් මුළුල්ලේ මගේ හිතේ තිබුණා යයි හිතාගෙන හිටි ‘උත්තරීතර ආදරයක්’ දැවී; හළුවී; අතුරුදහන්ව ගිහින් තිබ්බේ ඇසිල්ලකිනි.

ඉදින් එපමණය! මේ නිමල් දිසානායක අවසන් වතාවට දීඝායු දුටුවේ- ඔහු ඉන්නා තැනක පස් පෑගුවේ එදාය.

‘මල්ලී ට්‍රින්සිව බැන්දා.’ ඊට පස්සේ දවසක මද්දු අයියා වාර්තා කළේය. නන්නාඳුනන කෙනෙකු ගැන ආරංචියක් ලෙසිනි එතකොටත් එය මට දැනුණේ.
‘ට්‍රින්සි හරි හිතුවක්කාරයිලු.... ලංසි කෙල්ලෙක්නේ. අපේ මිනිහට එව්වා දිරවන්නේ නෑ වගේ....’
ඒ ආරංචිවලටවත් මං උනන්දුවෙන් කන් දුන්නේ නැත.

හිතක ජීවත් නොවෙන කෙනෙකු ගැන අපේ හිතේ තැකීමක් හටගත හැකිද. ඒ වෙද්දී මට දීඝායු මළගිය ප්‍රාණකාරයෙකි. අතීතයකි! සැබවින්ම මා දීඝායු කෙරෙහි එතරම් උකටලී වූයේ කොහොමද?

හැබෑ ආදරයක් එලෙස නිමේෂයකින් නැති වෙනවාද?
රෝග පීඩා, දුක් කරදර අභිමුඛයේ හැබෑ ආදරයට පැවතිය නොහැකිද?

  ‘කැලේ තියෙන කොයි දේවත් රස වේවා
   මලේ බඹරු ලෙස පිරිවර ඇති       වේවා
   අව්වේ තියෙන රැස් මාලා අඩු        වේවා
   ගව්වෙන් ගව්ව දිව මාලිග          සෑදේවා’ - එහෙමයි රංජි පුතේ යශෝධරා බිසවුන්නාන්සේ සිද්ධාර්ථ කුමාරයා දාලා ගියාට පස්සෙත් මයිත්තිරී කරුණා ආදරේ චුට්ටක්වත් අඩු නොකරගෙන හිටියේ....’ අපේ ආච්චී කියූ ඒ කතන්දර කතන්දර විතරක්මද?

දම්මි- සුගත් ආදරේ, අතුල- රෝහිණී ආදරේ, මහානාද- ශීලා ආදරේ වගේ කතන්දර නිකම්ම නිකම් ප්‍රලාපයන් විතරක්ද?

‘හරි නේන්නං. ඇයි නිමලෝ උඹ කෙල්ලෙක්ද? එහෙම ස්ථිර ආදර කතන්දර ඇති වෙන්නේ කොල්ලො-කෙල්ලො අතරෙනෙ... උඹත් කෙල්ලෙක් වුණා නං දීඝායුගේ හිතේ ඔය කියන විදිහේ ආදරයක් උපදින්න තිබ්බා.
ගොනා- තකතිරුවා. එච්චර දෙයක්වත් උඹට කල්පනා නොවුණු හැටි.’ යටි හිත එහෙම අහද්දී.....

ඒ අර්ථ කථන; නිර්වචන; න්‍යාය; සමීකරණ කිසිවක උදව් නැතිවම.....

‘දීඝායු ගැන නෙවෙයිනේ වහු පැටියෝ මෙතන ප්‍රශ්නේ තියෙන්නේ. උඹ ගැන නේද... උඹේ පැත්තෙන් හිතුවොත්...’

ඇත්තය. ආදරයක් ඇති විය හැක්කේ විරුද්ධ ලිංගිකයන් දෙදෙනෙකු අතරේ පමණක්ද? ඔය සේරටම කලින්, නිශ්චය කර ගන්නට වෙන්නේ ‘ආදරය’ කියන්නේ කුමක්ද යන්නයි. එසේම එවන් ආදරයක් මා සතුව තිබිණිද යන්නයි.

ඒ අර්ථ කථන; නිර්වචන; න්‍යාය; සමීකරණ කිසිවක උදව් නැතිවම මවිසින් මා පිළිබඳව ඒ අවධියේදී; අදින් අඩ සියවකට එපිටදී බැසගෙන තිබුණු නිගමනය මෙයයි.

‘නිමල් දිසානායක ආදරය සෙනෙහස ඉදිරියේදී දරුණු චපල කෙනෙකි; වැනෙනසුලු ආත්මාර්ථකාමියෙකි. ’

ඉතිං එතැන් සිට දෛවය මේ ලියන්නාට ලබා දුන් අනෙක-විධ ආදර අත්දැකීම්; ලෛංගික අත්දැකීම් ගොන්නෙන් තෝරාගත් ඒවා තවත් post රැසක ලියවෙනු ඇත. ඒවා හැර තවත් අත්දැකීම් රැසක්ම අකුරු කරන්නටත් තිබේ. ඒ විවිධ මාතෘකා රැසක් යටතේයි. ඒවායින් තුනක් පමණි දැනට හිතේ නින්නාද නංවමින්- දෝංකාර දෙමින් තියෙන්නේ.
‘හොන මුත්තක්ද බලන්නේ?’, ‘සුප්පා දේවිගේ බඩේ මයිල්’ හා ‘ගස් නැති රටේ...’ ඒ මාතෘකාවන්ය

‘නිදිගෙ පංච තන්තරේ’ කියවන දයාබර ඔබ වෙනුවෙන් හැකිතාක් කඩිනමින් ඒවාත් ලියන්නෙමි෴

30 comments:

  1. //ඒ වෙද්දීත් අපේ ආච්චී මට කොණ්ඩ කැවුම් බැදීම, පොල් අතු විවීම, කතිර මැස්ම, ස්මොක් කිරීම විතරක් නොවේ; රේන්ද ගෙතීමත් උගන්වලා තිබිණි.//සිරාවට , නිදි නොකරපු දේවලුත් තියෙනවද ඒ පැත්තෙන්.අපි හැමෝමත් ඒ වගේ තමා නිදි. ගණන් ගන්න එපා.

    ReplyDelete
    Replies
    1. අජිත්ටත් කොණ්ඩ කැවුම් හදන්න පුලුවන්ද?

      Delete
    2. ආනන්දේ ඉගැන්නුවට රෝයල් එකේ ඉගැන්නුවේ නැහැනේ , මොනවා කරන්නද

      Delete
    3. අදත් අජිත්ට කලින්ම මෙහෙ එන්න ලැබිලා!

      කැවුම් හදන්නත් ආනන්දේ සිසුවන්ට ඉගැන්නුවාද?


      අජිත්, Pra Jay .මට වැඩිය හොඳට කොඳ කැවුම් හදන්න ඉගෙන ගත්තේ අපේ ලොකු මල්ලී සුනිල් හා (දැන් එංගලන්තේ ඉන්න අජිත් මල්ලී දෙන්න)

      හැබැයි ඒ දෙන්නාටම නොලැබුණු chance එකක් මට ලැබුණා. මුස්ලිම් යුවතියකගෙන් කොණ්ඩ මෝස්‌තර ඉගෙන ගන්න. ලොකු මාමගේ මංගල්ලෙට ගියාම අන්දවන කෙනා ඇවිත් නොහිටි නිසා මනාලියට double bun මෝස්තරේට කොන්ඩේ දැම්මේ මං.... http://nidigepanchathanthare.blogspot.com/2018/04/blog-post_60.html

      Delete
    4. එංගලන්තේ ඉන්න මල්ලිලා තවම හදනවද ඒවා (මටත් හදව ගන්න අවුරුද්දට) හේ හේ

      Delete
  2. කෙනෙක් තමුන්ගෙ ජීවිත කතාව ඵල කරද්දී ආලවට්ටම්, අතිශෝක්ති ඇතුල්වීම නිතැතින් සිදුවෙනවා. ඒ තමුන් අතීතය දකින්න කැමති විදිහ හා අනෙකාට පේනවට කැමැත විදිහ යන දෙයාකාරය මතම... එතැනදී සත්‍යයෙන් කතාව මදක් හෝ බැහැර වෙනවා. ඒ අතින් නිදිගෙ කතාව අව්‍යාජව ගලා යන්නක්.

    අර බස්සා කිව්වා වගේ අනෙක් අයට විරේකයක් වෙන්න පුළුවන්. නැත්තං ඔහෙටම මේ දේ භාව විරේකයක් වෙන්න පුළුවන්.. ඒ හින්ද දිගටම ලියන්ට ඇහැක් වේවා කියල සුභ පතනවා!

    ReplyDelete
    Replies
    1. ඔව් නමී, මට නං මේක භාව විරේකයක් තමා.
      අනෙක මම ඒ ඒ දේවල් ගැන හිතේ තිබුණු ඒ ඒ සන්දියේ ආකල්ප හා හැඟීම් එහෙමත් මතක විදියට-එහෙමම ලියන්නයි try කරන්නේ සමහර වෙලාවට ලජ්ජාවෙන් වුණත්.
      ස්තුතියි අදහස් කිව්වාට.

      Delete
  3. අක්කාට ආදරේ කරල නංගිව කසාද බැඳපු එක ගැන මගේ අත්දැකීමකුත් කියන්න හිතුවා.
    මේ කථාව වුනේ මගේ නම තියන්න මුල් වුණා කියල ජිනාගෙ කොලමෙ පළමු පෝස්ටුවේදි කියපු නෙස්ට්‍රා නැන්දගෙ අවමගුල දවසෙ. නැන්දගෙ ලොකු පුතාගෙ යාළුවො කට්ටියක් එක්ක එයාලා කථා කරමින් හිටියෙ නැන්දගෙයි මාමාගෙයි ආදර කථාවෙ සිදුවීම් ගැනයි.ආදරේ ගැන මහ බරට කථා කරමින්හිටි ජෙරාඩ් ගෙ කට වැහුණෙ එමිල් අයියා කියපු කථාවෙන්.
    "අනේ පලයං යන්න. උඹ අක්කාට ලවු කරල නංගිව කසාද බැඳපු එකා"
    ඒ වෙලාවෙ ජෙරාඩ්ගෙ ඇස් කඳුලින් පිරුණා.
    "මචං මං මේක කියන්නෙ ජීවිතේ පළවෙනි වතාවට.මං ඉන්දියාවෙදි අහපු නාඩි සාත්තරේකට මට කීව මං කසාද බඳින්නෙ ඉවර නෙවෙයි ස්ටෙලා කියල.උඹල කවුරුත් දන්නවානෙ ඉවෝන්ලගෙ ගෙදරින් ඔබ්ජෙක්ශන් එනකොට අපි දෙන්නට සපෝට් කළේත් ස්ටෙලා බව.ඒත් කවුද හිතුවෙ අර විධියට ඉවෝන් නැතිවෙයි කියල.මං හිතාගෙන හිටියෙ තනියම ඉන්න.ස්ටෙලාම තමා එහෙම ඉන්න එක අපරාධයක් කියල කීවෙ."
    එයාගෙ කථාවෙන් පේනවනෙ දෙන්නෙක් විවාහ වෙන්න නියමිත නං ඒ විවාහය වෙනබව හා විවාහ නොවෙන්න නං නියමිත ඒක වෙන්නෙත් නෑ. එහෙම දේවල් කලින්ම දැනගන්න විධිය පසුව බලමු.

    ReplyDelete
    Replies
    1. අනුරගෙන් හොඳ post එකකින්ම ඒ විස්තර දැනගනිමුකෝ ඉස්සරහට. එතකොට මතක ඇතිව, ඔයා මට කියුව 'පතාගෙන එන විවාහ'ගැන සිදුවීම් ටිකත් කියන්න.

      Delete
  4. ඉවර කියා කෙටිලා තියෙන්නෙ ඉවෝන් වෙනුවටයි. සමා වෙන්න ඒ වරද දුටුවෙ පසුවයි

    ReplyDelete
  5. එතෝට දීඝායු මැරුණද.. ???
    නැත්තං මිනිහ ට්‍රින්සි බැන්දද
    මට ඒක ටිකක් අපෑදලියි ඕං..

    ReplyDelete
    Replies
    1. අපොයි නැහැ මහේෂ්, එයාට එහෙම අන්තරාවක් වුණේ නෑ. (එයා මැරුණේ මගේ හිතෙන්.)

      දීඝායු ට්‍ර්න්සිව බැන්දා.... ඊට පස්සේ කසාදෙ දික්වුණු බවකුත් ආරංචි වුණා.

      වැඩේ කියන්නේ පුදුමාකාර විදිහට එයා ගැන මගේ හිතේ තිබුණු ඉඩකඩ සේරමත්- අර කුෂ්ට රෝගය හැදිලා විරූපවී තිබුණු දීඝායුව දුටු මොහොතේ අන්තරස්දාන වෙච්චි හැටියි.

      එයාගේ මද්දු අයියාගෙන් දීඝ ගැන විස්තර වරින් වර කියවෙනකොටත්, සත්තයි- මට ඒ ගැන අහන්න කිසිම උනන්දුවක් හිතුනේ නැහැ. මගේ ඒ නසරානිකම; කුප්පිදුකම ගැන නං නොසෑහෙන්න ලජ්ජයි.

      Delete
    2. මනුස්ස සොබාවය නේ ඉතිං.

      Delete
    3. මිනිස්සු මටත් වඩා නරකයිද මහේෂ්?

      Delete
  6. තමංගෙ සත්‍ය ජීවිත කතාව හංගන්නෙ නැතුව මෙහෙම කියන්න පුලුවන් කියන්නෙත් ලොකු දෙයක්.
    මම හිතන්තෙ ඔබතුමාගෙ පාඨකයො ගැන යම් තක්සේරුවක් මේ වෙනකොට ඇතිකරගෙන ඇතියි කියලයි.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න, මම ඉතිං සේරම විග්‍රහ කර ගන්න මනුස්සයානේ.
      හංගන්න ඕනි න. ඇත්තම කියන්නම්. කියවන අය ගැනත්- මේ ලිවීම එයාලට අල්ලනවද; වදිනවද කියන එක ගැනත් මං දිනවපතාම දැනුවත් වෙනවා, දවසේ පළමු රාජකාරිය විදිහට.

      Comment කරන, ටෙලිෆෝන් එකෙන් කතා කරන හිතාදර පාඨකයන් ගැන ඊට වඩා විස්තර හිතේ ඇඳිලා තියෙනවා. ඒවා ටික-ටික update වෙන්නේ...
      හැබැයි රජෝ, ඔන්න දැන්මම කිව්වා. එව්වා ගැන ඇහුවොත් එහෙම නං ඒ ප්‍රශ්නවලට නිදැල්ලේ යන්න හරිනවාමයි!

      Delete
    2. අනේ සමා වෙන්න ප්‍රසන්න මහත්තයෝ. මං ඔයාට දුන්නු උත්තරේ දෙතැනක් වැරදියි. නෑ වෙනුවට න කියලයි දෙවෙනි පෙලේ තියෙන්නේ.
      තුන්වෙනි පෙලේ 'දිනවපතාම' කියලනේ කෙටිලා තියෙන්නේ දිනපතාම වෙනුවට.

      Delete
  7. ඔය දීඝ ගේ කුෂ්ට රෝගය වගේ කතා දෙක තුනක්ම මටත් තියෙනවා. ගැහැණු ළමයි සම්බන්ධව. දැන් මතක් වෙනකොට දුකයි.

    ReplyDelete
    Replies
    1. මට නං අත්දැකීමෙන්ම හිතාගන්න ඇහැකි අජිත්!

      Delete
    2. මේත් ඒ ලඟින් යන කතාවක්. ඉස්සර ලව් කරපු පූසෙක් ලියපු, හොඳම එකක්.

      ආ ලව්පූස් දැන්, බුකියෙ ෆියුනරල් පාලර් එකක් දාලා. මල් කඩනවා, මල් වඩං විකුණනවා කියලයි, රට්ටු කියන්නෙ.

      Delete
    3. https://iwanpaulooshaa.blogspot.com/2014/06/blog-post.html

      Delete
    4. ලව් පුසාගේ කතා වලට බුකියේ හිට් වැඩියි. ඒකනේ අවශ්‍ය ඉතින්.

      Delete
    5. නිදි, මම ඉගෙන ගන්න ගිය අලුත් ශර්මිලා කියල බංගලි කෙල්ලෙක් හිටිය අපේ පන්තියේ. ලස්සනයි. මගේ උසමයි . ඉතින් හොඳට ගැලපෙනවා. මම එයාගේ කාමරේට පාඩම් කරන්න යනව හෙම. වැඩිය මුකුත් උනේ නැහැ. ලං වෙන්න ගිය වෙලේ තේරුනා කට ගඳයි කියල, මම ශේප් එකේ සම්බන්ධය දුරස් කළා. කෙල්ලට තේරුනාද මන්ද ඊට පස්සේ පන්තියේ ඉන්න වෙලාවටත් දොඩම් (ක්ලෙමන්ට්) කන්න ගත්ත. හැබැයි ඒක එතනින් ඉවරයි. පස්සේ දුක හිතුන. ඒ වගේ දෙකට. සැබෑ ආදරය නම් පහදලා දුන්න නම් ඉවරයිනේ.

      Delete
    6. අජිත්ට වෙලාව තියේ නම් ආයේම කියවන්නකෝ මේකත්.
      https://nidigepanchathanthare.blogspot.com/2021/08/blog-post_26.html

      Delete
  8. 'හැබෑ ආදරයක් එලෙස නිමේෂයකින් නැති වෙනවාද?
    රෝග පීඩා, දුක් කරදර අභිමුඛයේ හැබෑ ආදරයට පැවතිය නොහැකිද?'. නිමල් අහපු ඒ ප්‍රශ්නෙට කවුරුත් කමෙන්ට් කරලා නෑ නේද. මට මතක විදිහට නිමල් කියලා තිබුනා කලින් පෝස්ට් එකක දීඝායු එක්ක කායික එක්වීමක් තිබුනේ නෑ කියලා. කායික සම්බන්දතාවයකදි අපි අපේ ඉතාම ස්වභාවික, සාමාන්‍ය ස්වරූපයෙන් හෙවත් raw form එකෙන් එකිනෙකා accept කරන්න හා අගය කරන්න හුරුවෙනවා. නිමල්ගෙ ආදරයෙ ඒ acceptance එක නොතිබුනා වෙන්න පුලුවන්. දෙවෙනියට සාමාන්‍ය සම්බන්දතාවයකදි ඇතිවෙන බැඳීම් හා වගකීම් (obligations) මේ සම්බන්දයේ තිබුනෙ නෑනේද. ඒ නිසත් නිමල්ට දිඝායු ඒවිදිහට දකිද්දි ඇතිවුනු 'පිලිකුලට' ප්‍රතිරෝධයක් ඇතුලෙන්ම එන්න නැතුව ඇති. කොහොමවුනත් නිමල් කියලා තියෙන්නෙ extreme අවස්තාවක්- සමහරවිට ඔය මුකුත් ඇප්ලයි කරන්න බැරි.

    ආදරය චක්‍රයක් විදිහට ඇතිවෙමින්, නැති වෙමින් යන දෙයක් කියන නිසා නිමල්ගෙ ආදරය චක්‍රයේ පරිනත අවධියකට ඇවිල්ලා තියෙන්න නැතුව ඇති. මොනවා වුනත් වඩා වැදගත් ආදරය කරපු එක මිසක් ආදරයට මොකක්ද වුනේ කියන එක නෙවෙයි කියලා මට හිතෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. හොඳ පිළිතුරක්

      Delete
    2. අපමණ ස්තුතියි Lotus.
      එතකොටත් මං ආදරය මොකක්ද කියලා යන්තමින්වත් තේරුම් අරගෙන නෙවෙයි හිටියේ. ඒ වගේමයි මගේ ආත්මාර්ථකාමී බව ගැන එහෙමත්....
      වඩාත්ම මට කියන්න ඕනි වුණේ ඒ සිදුවීමේදී මං හැසිරිලා තියෙන නරුම විදිහ ගැන.

      Delete
  9. පහුවෙලා හරි සුභ අලුත් අවුරුද්දක් පතන්නම්.
    ගොඩක් අය ආදරය නෙමේ හැම දෙයක්ම ඉදිරියේ ආත්මාර්ථකාමී, එය පිළිගැනීමට තරම් ඔබ නිහතමානි

    ReplyDelete