අකුරු මැකී නෑ

Thursday, June 2, 2022

සුප්පා දේවිගේ බඩේ මයිල් - පස්වෙනි කොටස

තිබ්බා නේන්නං!

“රංජි. මං එන ගමන් දැක්කා විජේරාම හන්දියෙත් අච්චු කන්තෝරුවක් තියෙනවා. මේ ගමන්ම එහාටත් ගිහින් බලමු!”

පන්නිපිටියෙන් බස් එකකට නඟින්නට ඉන්නා අතරේ සංජේ කිව්වේය.....
ඉතිං ඊට පස්සේ........ අප ගියේ විජේරාම හන්දියේ ‘ප්‍රසන්න’ අච්චු කන්තෝරුවටය.

‘තමුසෙ යකෙක්නේ නිදි! ස්වනියර් එක ගහන්න ගිය press හතරේම නම් හිට ඔහේට මතකද? හයිලෙවල්, ජයකොඩි, සාහිත, ප්‍රසන්න... එතකොටත් ඔහෙ printing ගැන උනන්දුයිද?’
ඒ විස්තරය කියවද්දී කෙනෙකුට හිතෙන්නට පුළුවනිය.

ඇත්තය, කෙනෙකුට එහෙම හිතෙන එක සාධාරණය. මට මතක තියෙන්නේ සාහිත නම විතරය. එතකොට අනෙත් නම්? එව්වා හොයා ගත්තේ imprint එකෙන්ය. ඉම්ප්‍රින්ට් එකය කියන්නේ, යමක් මුද්‍රණය කෙරෙනවා නම්- එය මුද්‍රණය කළේ කොහේදැයි කියා ‘පුංචියට’ යෙදෙන සඳහනටය. ඒ ගැන මතක් වෙලාය, මං වහන්සේ පාමුල් පෙට්ටිය ඇවිස්සුවේ. පරණ කෑලි-බෑලි, සුන්බුන් අවුස්සලා සාක්කි තිබෙනවාද කියලා හෙව්වේ.

(එහෙම imprint එක නොයෙදීම නීතිය කඩ කිරීමකි.)

අර සුන්බුන් අස්සේ සාක්කි තිබ්බා නේන්නං!
අපේ ජීවිතවල turning point එකක් වුණු
‘අජාසත්ත’ නාට්‍යය කරන්නට දිරි දුන් අනුලා ඇන්ටි... (කිහිප වතාවකදීම ඒ අංගනාව ගැනත් මං හිතාදර පාඨක ඔබට කිව්වා මතකය. JVP නිමල්ගෙ දානෙත් එපා! post එකේදී හෙම.) 1983.09.11 දින සිදු වුණු ඇයගේ අභාවය නිමිත්තෙන් පළ කළ ශෝක ප්‍රකාශය.... 1984.05.17 වෙනිදා වියෝ වුණු අපේ සීයා ඩී.එච්. චාර්ල්ස්ගේ මරණ දැන්වීම.... ඒ හෑන්ඩ් බිල් දෙකෙන්ය හයිලෙවල් හා ජයකොඩි නම් දෙක සොයා ගත්තේ.

අනෙක් hand bill එක ළඟම දිනයකදී; අදාළ තැනට ඔබන්නට ඉතිරි කර ගන්නෙමි.
අපේ වාසනාවට වගේ, ගංගොඩවිල ‘ප්‍රසන්න’ press එකේ ‘බොසා’ අච්චු කන්තෝරුවේ හිටියේය. පෙනුමෙන් නං මට ඒ මනුස්සයාව ඇල්ලුවේ නැත. හතර රියන්- අව පැහැති- පොඩි තට්ටයකුත් තිබුණු කෙනෙකිය, මගේ මතකයේ ඉන්නේ. හැබැයි මනුස්සයාගේ හිනාවත්, කතාවත් දෙකම ප්‍රසන්නය.

දැනටමත් සිංහබාහු එකක් තියෙනවනෙ.... එදිරිවීර සරච්චන්ද්‍රගෙ.... 

“ඔව්, ඔව්. මොකක්ද ඔය පුතාලට කෙරෙන්න ඕනෑ?”

සංජේ මගේ දිහා බැලුවේ උත්තර දෙන්නැයි අඟවමිනි. අපේ කුළුඳුල් ප්‍රසිද්ධ වේදිකා නාට්‍යය ‘සිංහබාහු’ ගැන ඉස්සෙල්ලාම කියලාය, මං සමරු කලාපය ගැන කිව්වේ.
“හරි අපූරුයිනේ. සිංහබාහු.... සිංහබාහු... දැනටමත් සිංහබාහු එකක් තියෙනවනෙ.... එදිරිවීර සරච්චන්ද්‍රගෙ.... ඉතිං...” අර කළු දැවැන්තයා කිව්වේය.

“ඒක වගේ නෙවෙයි, අපේ එක නාඩගමක් නෙවෙයිනෙ. දෙබස් තියෙන නාට්‍යයක්...”
“ඔය පුතාලා මීට කලින් නාට්‍ය කරලා තියෙනවද?”
තමං වහන්සේ ගැන දිග පම්පෝරියක් කියන්නට තියෙනවා නම් කට වහගෙන ඉන්නේ මොන පුතයාද? ඉතිං, මේ මොට්ට මෝල් නිමල් දිසානායකයාත් මහරගම පළමු වේදිකා නාට්‍යය කළේ එයාලා බවත්- අජාසත්ත, විධුර, මාරක හී පහර වගේ පොසොන් නාට්ටි සාර්ථකව නටා තිබෙන බවත් කියමින්- දශමයක් අඩු නැති විස්තරයක් කියාගෙන ගියේය.

එච්චර පට්ටන්දරයක් දිගාරිද්දී ‘ඒ මනුස්සයා අහගෙන හිටියේ හිනාවක් හංගාගෙන වගෙයි’ කියලා මට හිතුණේ කතාව අන්තිම කෙරුවාමය.

“මෙහෙමයි. ඔය දරුවන්ට නිකම් ඔහේ මිල ගණනක් කියල වැඩක් නෑ. ස්වනියර් කීයක් ගහනවද- මොන සයිස් එකෙන්ද ගහන්නේ- පිටු කීයද- කවරේ කොහොමද වගේ විස්තර හරියටම මට කිව්වොත් තමයි ‘නියම ගණනම’ කියන්න පුළුවන් වෙන්නේ. මට පේන විදිහට නිමල්ලගේ තාත්තාවම එක්ක එන්න පුළුවනි නං හොඳයි. තාත්තා නේද අන්තිම තීරණේ ගන්නෙ....
තව එකක්.

-ඔයාලා මෙහෙන් ස්වනියර් එක ගැහුවත් නැතත් මම ඔයාලට උදව් කරන්නම්, නාට්‍යය ගැන පොඩි විස්තරයක් ලේක්හවුස් පත්තරේක දෙකක දාලා. නොමිලේ ප්‍රචාරයක්! තව සිංහබාහු එකක් හින්දයි ඒ.”

මොකක්ද යකඩෝ ඒ අප්‍රභංශ කතාවේ තේරුම?

මට නොවැටහුණු දෙයක් ඒ වචනවල තියෙන බව අපේ තාත්තා දැක්කේය.

“මොකක්ද යකඩෝ ඒ කතාවේ තේරුම. තව සිංහබාහු එකක් හින්දයි ඒ- තව සිංහබාහු එකක් හින්දයි ඒ... උඹ ඒ මනුස්සයගෙ නම අහගත්තේ නෑ නේද රංජි.... මෝඩයා, තොට කොහෙන්ද එච්චර මොළයක්? තමුසෙටවත් දැනුන්නැද්ද සංජේ මේ කතන්දරේ.... අමුත්තක් තියෙන බව.” අන්තිමට සංජේගෙ ඇඟටත් ගොඩ වෙලාය, අපේ තාත්තා කතාව ඉවර කළේ.

“..... හරි! ඒ මනුස්සයා කොයි වෙලාවටද අපිට එන්න කිව්වේ?” ආපහු කතාව පටන් ගත්තෙත් තාත්තාය.

“ඕනෙම දවසක උදේ නවයහමාරට ඉස්සර වෙලා එන්න කියලයි කිව්වේ. එයා වැඩට යන්න කලින්....”
“එහෙනං හෙටම යමං. සංජේ, තමුසෙත් එනවද.... තමුසේ නිසාමනේ එහාට යැවුණේත්....”
“හරි, මමත් විජේරාමට ඇවිත් ඉන්නං, ගුණපාල අයියේ!”

1972 එක්තරා දවසක එසේ ගංගොඩවිල ප්‍රසන්න මුද්‍රණාලයට යද්දී, ඊට අවුරුදු 13 කට පසු- ඒ ගොඩනැඟිලි හිමිකරුවන් හඳුනා ගන්නට ලැබෙතැයි මට හැඟීමක් නොවීය. එහෙම වෙන්නේ මුද්‍රණ කර්මාන්තය නිසාය කියලාත් මට හැඟීමක් නොවීය.

වෛද්‍ය බ්‍රයන් වයිස්ගේ පරීක්ෂණ ඇසුරින් ලියන ලද ‘Only Love Is Real’ හා ‘Same Soul, Many bodies’ පොත්වලට අනුව නම් අප නොදැනුවත්වම මුණ ගැසෙන්නේ අපේ පැරණි ආත්ම සගයන්ය. (ඒ පොත් දෙක D.B. කුරුප්පු මහතා ‘පෙම පමණයි සැබෑ වන්නේ’ හා ‘නැතක් රූ ගත් එකත් මූලය’ යනුවෙන් අනුවාද කොට පළ කළේය.)

ඒවායින් කියවෙන විදිහට නම්, අප ජීවිත ගනුදෙනුවල පැටලෙන්නේ අපේ පැරණි ආත්ම සගයන් සමඟිනි. අනෙක් අයට කෙසේ වෙතත් මා සම්බන්ධයෙන් නම් ‘මේ තියරිය’ නිවැරදි යයි කියන්නට තරම් සාධක මට තිබෙයි!

මේ ප්‍රසන්න මුද්‍රණාල ගොඩනැඟිල්ල හිමිකාර පවුලේ මාතාව; කාලි අම්මා ටීචර් අපේ බඩා මල්ලියාගේ ගුරුතුමිය වෙයි. ඇයගේ දෙවෙනි පුතණු හටන් ආරච්චිගේ කුමුදුලාල් මගේ හොඳම මිතුරෙකු වීමෙන් නොනැවතී- අභව්‍ය තරමේ සිදුවීම් කීපයකින් පසු නෙවිල් අනුරසිරි පෙරේරා මට මුණ ගස්වයි!
එයින් මුල පිරෙන එක මාවතක් ඔස්සේ WAL ප්‍රියන්ත, අයස්මන්ත පීරිස් ඇතුළු පරම්පරාවක්ම මට මුණ ගැසෙයි.

සිසිර කුමාර මහත්තයා හොඳ ලේඛකයෙකු බවත්, මාර්ටින් වික්‍රමසිංහ- එදිරිවීර සරච්චන්ද්‍ර- ගුණදාස අමරසේකර- නන්දසේන රත්නපාල වගේ වියතුන් හා නිර්භයව පැටලී සිටින්නෙකු බවත්....

කුමුදුලාල්ම මැදිහත්වී මා පියසිරි ප්‍රින්ටින් සිස්ටම්ස් වෙතට ගෙන යයි. ඒ හරහා ‘ගොළු හදවතේ- එක් ප්‍රේමවන්තයෙකු වූ ඩී.බී. කුරුප්පු මහතා මට හමු වෙයි. එතුමා බලහත්කාරයෙන්ම කොම්පියුටරයක් මට තෑගි කරන්නේ ‘අනාගතයේ දවසක නිමල් blog රචකයෙකු වෙයි’ කියලා නොදැනය. එහෙත් “ඔය ළමයාගේ ජීවිත කතාව ලියන්න වටිනවා! ඔය ළමයට ලියන්න බැරි නං මට ටික-ටික කිව්වොත් මම හරි ලියන්නං.” කියලාත් කුරුප්පු මහත්තයා කිව්වේය.
එසේ පියසිරිය හරහා මා ලද අත්දැකීම්, හඳුනාගත්තවුන් ගැන තොරතුරු සමුදායක්ම තව ලියන්නටත් ඉතිරිව තිබේ....

ඉතිං ඒ අටුවාව දැනට නවත්වන්නේ, අපේ තාත්තාත් එක්ක ගංගොඩවිල ‘ප්‍රසන්න’ අච්චු කන්තෝරුවට යන්නටය.

“ගුණපාල නේද නම කිව්වේ.... ගුණපාල උන්නැහේ වගේම තමයි, මාත් බොහොම පුංචි මනුස්සයෙක්. සිසිර කුමාර මානික්කආරච්චි! දිනමිණ පත්තරෙයි වැඩ කරන්නේ....”

(සිසිර කුමාර මහත්තයා හොඳ ලේඛකයෙකු බවත්, මාර්ටින් වික්‍රමසිංහ- එදිරිවීර සරච්චන්ද්‍ර- ගුණදාස අමරසේකර- නන්දසේන රත්නපාල වගේ වියතුන් හා නිර්භයව පැටලී සිටින්නෙකු බවත් එදා මා දැනගෙන හිටියේ නැත. මං ඒ විස්තර දැනගන්නා කාලය වනවිට, සිසිර කුමාර මානික්කආරච්චි මහත්තයා 1979 ජුනි 21 වෙනිදා අවසන් ගමනත් ගිහින් ඉවරය!)

“බොහොම සන්තෝසයි තමුන්නාන්සේ වගේ කෙනෙක් මුණ ගැහුණට. අපේ ලොකු පුතා ඊයේ කිව්වා, තමුන්නැහේ අපේ නාට්‍යයට ප්‍රචාරයකුත් අරං දෙන්න ලෑස්තිය කියලා....” අපේ තාත්තා කිව්වේය.

“ගුණපාල උන්නැහේ. මමත් බොහොම බැරි අමාරුකම් මැද්දේ මේ ගමන ආපු කෙනෙක්. දුප්පත්කම ලජ්ජා වෙන්න ඕනි කාරණයක් නෙවෙයිනේ. අතීතේ හංගන්නේ; මුල හංගන්නේ වංචාකාරයෝ. හොරු! මම මුල අමතක නොකරන නිසයි මේ වගේ ඉස්සරහට එන්න හදන ළමයින්ට උදව් කරන්නේ. හැබැයි එහෙම උදව් කරනවය කියලා මේ අච්චු කන්තෝරුවෙන් පිනට වැඩ කරලා දෙන්නෙත් නෑ. සාධාරණ ලාභයක් තියාගෙන වැඩේ කරලා දෙනවා විතරයි...”

අපොයි ඔව්! බිස්නස් කෙරෙන්න ඕනෑ business විදිහට....

තාත්තා ඔළුව හොලවනවා විතරය. සංජේත් මාත් ‘හ්ම්’ කියලාවත් නොකියා එකත්පස්ව අහගෙන ඉන්නවා විතරය.

“මම ගුණපාල උන්නැහේට කියන්නං අපූරු උපදේශයක්. නාට්‍යය පෙන්නන්න දින නියම කර ගත්තට පස්සේ  ගිහිල්ලා සරච්චන්ද්‍ර මහත්තයටත් ආරාධනා කරනවා. එතකොට ඒ මහත්තයාට ගුණපාල උන්නැහේලගේ නාට්‍යයට හොඳයි කියලා හරි- නරකයි කියලා හරි දෙකින් එකක් කියන්න වෙනවා. මොකක් කිව්වත් කමක් නෑ, ඒකත් හොඳ ප්‍රචාරයක් වෙයි!”

දිග කතාබහකින් පස්සේ මානික්කආරච්චි මහත්තයා තාත්තාට පෙන්නුවේ, ‘සෑහෙන කුඩා ප්‍රමාණයේ සමරු කලාපය’කි. “ගුණපාල උන්නැහේලට ඕනි අඩු වියදමෙන් කර ගන්නනෙ. මෙන්න ඒකට කියාපු size එකක්....”

“හරි මහත්තයෝ. අපේ වැඩේ මෙහෙන් තමයි කර ගන්නෙ. වැඩේ සූදානං කරගෙන මෙයා එයි. ඇඩ්වාන්ස් එකකුත් දෙන්න වෙනවනේ...” තාත්තා නැඟිට්ටේය.

“අපොයි ඔව්! බිස්නස් කෙරෙන්න ඕනෑ business විදිහට.... ඇඩ්වාන්ස් එක්ක වැඩේ ගෙනෙනකොටම පත්තරේට දාන්න ගැලපෙන විදිහට විස්තරේකුත් ලියල එවනවනෙ එහෙනම්.” 

සංජේ විජේරාම හන්දියෙන්ම කොළඹ යන බස් එකකට නැංගේ වැල්ලවත්ත රෙදි මෝලට යන්නටය. අපි දෙන්නා මහරගමට එන බසයක නැඟී ගෙදර ආවෙමු.

“දැන් නං මහත්තයො, අපිට මේ වැඩේ ඉක්මන් කරන්න වෙනවා.” එස් අයියා අපේ ගෙදරට ආවම තාත්තා කිව්වේය.
“මගේ පැත්තෙන් කෙරෙන්න තියෙන දෙයක් තියනවා නං මට කියන්න. නිමල්ල තාත්තටම තමයි එව්වා තේරෙන්නේ. මට හිතෙන විදිහට නං... නාට්‍යයේ වැඩ අස්සෙම- ඉක්මනට hand bills ටිකක් ගහලා ලුම්බිණියේ, බොරැල්ල YMBA, ලයනල් වෙන්ඩ්ට් එකේ එහෙම බෙදන්න වෙයි.”

අඳිනවා... (ආදරයේ අරගල බිමට මැයි 9 වෙනිදා එල්ල කෙරුණු තුච්ඡ ප්‍රහාරය හෙළා දකිනු පිණිස, සුජිත් රත්නායක හා එශාදි යද්දෙහිආරච්චි එක්ව ලේ හා අඟුරුවලින් අඳින ලද සිතුවම)

“එහෙම කරන්නේ....? අපි නාට්ටිය පෙන්නන්නේ ලුම්බිණි එකේනෙ මිස්ටර් එස්...”

“මේකයි නිමල්ල තාත්තේ. හරියට ගම්වල මිනිස්සු චිත්‍රපටි බලන්න පුරුදු වෙලා ඉන්නවා වගේ, නාට්‍ය බලන්නම පුරුදු වෙච්චි ක්‍රවුඩ් එකක් කොළඹ ඉන්නවා. එයාලා අර හෝල් තුනටම යනවා නාට්‍ය බලන්න. ඉතිං, ඉස්සරහට පෙන්වන්න තියෙන නාට්‍යවල හෑන්ඩ් බිල්ස් ඒ හෝල්වල බෙදනවා ප්‍රචාරයක් ගන්න.... අනික නිමල්, ඔයාට නාට්‍යය ගැන විස්තර දාපු පෝස්ටර් එකක් අඳින්න වෙයි, දැන්මම....” එස් අයියා කියාගෙන ගියේය.
“... තමුසෙ කලාකාරයනෙ... අඳිනවා බ්‍රිස්ට්ල් බෝඩ් එහෙක....
ඒකට ලී frame එකක් හයි කරලා ලුම්බිණියේ ඉස්සරහින් තියන්න ඕනි! දැකල ඇතිනේ අනිත් නාට්‍යකාරයොත් එහෙම තියලා තියෙනවා.”

තාත්තා ඔළුව වැනුවේය. මාත් එහෙම කළේ හිත යටින් හිනා වෙන ගමන්.

‘කවදා කාපු ටකරංද?’ අපෙන් එකෙක්වත් ඒ ශාලාවල නාට්‍ය බලන්නට ගිය අය නෙවේ. අපේ කට්ටියම බොරැල්ල YMBA එකට ගියෙත් මං වහන්සේ act කළ ‘ආලකමන්දා’ නාට්‍යය බලන්නටය. (ඒ විස්තර ‘හොන මුත්තක්ද බලන්නේ?’ පෝස්ටුවෙදී ඔබට කීවෙමි.) ඉතිං, එස් අයියා කියන ඔය හුටප්පර අපි දන්නෙ කොහොමද?

නමුත්, ඒ රාජකාරිය ඉක්මනටම කෙරුණි. මේ ලියන ‘සියල්ල දත්- සකල කලා වල්ලභ වෘෂභයා’ දන්නා ශිල්ප සේරම දාලා පෝස්ටරයක් ඇන්දේය! වනමල් කලා කවයේ කොල්ලෝ එකතුවී ඒ බෝඩ් එක වටේට ලී පටි ගහලා, බිම රඳවන්නට හැකි විදිහට සකස් කළෝය.

වනමල් කලා කවය?
එහෙම එකක් අප දන්නා කොදෙව්වක නං තිබ්බේ නැත.

ඒකත් මිහිඳු කලා කවය වගෙය!
ඒ කාලයේ ‘මිහිඳු- මහින්ද’ නම්, අද කාලයේ වගේ අන්තිම කුජීතවී- මස්තබාල්දුවී- කුප්‍රකටවී- සමාජයේ අප්‍රසාදයට ලක්වී තිබුණේ නැත. ඉස්සෙල්ලම මහරගම නගරයේ නාට්‍යයක් පෙන්වන්නට සූදානම් වෙද්දී, ඒ කාරිය කරන පිරිසට ‘නමක්’ ඕනෑයැයි අදහසක් කියැවුණේය.
“අජාසත්ත පෙන්නන්නට යන්නෙ පොසොන් එකටනෙ. පොසොන් පෝය දවසකනේ මිහිඳු හාමුදුරුවෝ ලංකාවට වැඩම කළේ. හොඳයි නේද ‘මිහිඳු කලා කවය’ නම?” 1966 දවසකය ඒ නම ඉස්තීර වුණේ.

වනමල්’ නම ඉස්සරහට ආවේ එතකොටය! (මේ උදේනි අල්විස්ගේ මුරුත මල්ය!)
“ඒ කට්ටියම මේ වැඩේ කරන බව ඇත්ත. නමුත් ‘මිහිඳු කලා කවය’ කිව්වම මදි වගෙයි නේද? ටිකක් අලුත් විදිහේ... කලාත්මක නමකුත් හදා ගමුකො ‘සිංහබාහු’ එකට!” කවුදෝ යෝජනාවක් ගෙනාවේය.

‘වනමල්’ නම ඉස්සරහට ආවේ එතකොටය!

අද අපේ තාත්තා හිටියා නම් ‘හිකෙනුත් පුනා’ වෙනවාට සැක නැත. ‘යකෝ! එකම කට්ටිය දාලා නම් දෙකකින් අපි කලා කව හැදුවා වගේයිමනෙ දැන් කෙරෙන්නෙත්! නං විතරක් වෙනස්.... පරණ නාකි ටිකම දාල අලුත් නමෙන් ආණ්ඩු...’ කියලා අපේ තාත්තාට කියවෙනවාත් ඇත.

මොන නමකින් ආවත්, මොන විනාශයන් කළත්, එදාම එළිවෙන බේගල් ඇද බෑවත් එව්වාට වග කියන කෙනෙක් නැත. පාලකයන් මොන වැරදි තීරණ ගත්තත් ඒවාට දඬුවම් ලැබෙන ක්‍රමයක් අපේ රටේ තියෙනවාද? 

ඔබ පාලක පැලැන්තියට අයත් කෙනෙකු නම්, ඔබේ වැටුප කුමක් වුවත් ‘බැංකු දෙක-තුනකින්ම’ වුවද ණය ගැනීම කජ්ජක් නොවේ.
එකම දේපල බැංකු කිහිපයකටම ඇප ලෙස පෙන්වා ‘මිලියන ගණනින්’ ණය ලබා ගැනීමත් ලොකු මහත්තුරුන්ට හිතවත් නම් කජ්ජක් නොවේ.
අවුරුදු ගණනාවක් තිස්සේ
එබඳු ණය නොගෙවා සිටීමත් ප්‍රශ්නයක් නොවේ. ඒවා පුරස්න වෙන්නේ මේ අපි වගේ පුංචි සිඤ්ඤෝලාටය: ඡන්දදාසලාටය. 

අප්‍රේල් මාසයේ මගේ SLT MOBITEL ටෙලිෆෝන් බිල රුපියල් 2,652.02කි. මාර්තු මාසයේ හිඟ මුදලත් සමඟ එකතුව රුපියල් 5,413.30කි. මහරගම හන්දියට කෙරෙන මගේ ගමන් ඉතා සීමිතය. ඒ නිසාම මං ටෙලිෆෝන්- විදුලි බිල්පත් ගෙවන්නේ ඉදිරි මාසයකට- දෙකකටත් සෑහෙන මුදලක් ඉතිරි වන පරිද්දෙනි; රු.10,000/- හෝ 15,000/-ක් වශයෙනි.

දවස් කිහිපයකට කලින් ටෙලිකොම් ආයතනයෙන් කෝල් එකක් ආවේය. ‘සතියක් ඇතුළත හිඟ මුදල ගෙවලා දුරකථනය විසන්ධි කිරීම වළක්වා ගන්න.’ -කරුණාකර- කියලාත් ඒ නෝනා කිව්වාය. එහෙම පණිවිඩ දෙන්නෙ හාර-පන්දාහක ගණනක් ගෙවන්නට ඇති අපටම විතරද?

ලක්ෂ කෝටි ගණන් පොලු තියන ඩේසිගෙ දූලා- පුතාලාට.....
හැම විටෙකම ඉදිරි මාසයකට-දෙකකටත් එක්ක මුදල් ගෙවන ‘පුංචි සිඤ්ඤෝ පාරිභෝගිකයෙකු’ වන මට එහෙම ‘කාරුණිකව තග දමා action ගැනුණත්...

ලක්ෂ කෝටි ගණන් පොලු තියන ‘ඩේසිගෙ දූලා- පුතාලාට’ ඒ විසන්ධි කිරීම්- තහංචි දැමීම්- දේපල පවරා ගැනීම් කෙරෙන්නේ නැත. 
මෝඩයෝ අපිය, අපටත් තියෙන්නේ ‘සමාගමක් අටවා ගෙන විදුලිය- ජලය- දුරකථන- බැංකු ණය පහසුකම් ලබා ගන්නටය!’   

සිංහබාහු නාට්‍යය ඉදිරිපත් කරන්නට මහරගම- වනමල් කලා කවය අටවාගන්න කාලයේ තිබුණේ ‘මේ නුවණ’ බව මට කල්පනා වෙන්නේ අදය.

“ගුණපාල අයියේ, තව කල්පනා කරන්න ඕනිම දෙයක් තියෙනවා... නාට්‍යයේ සිංදු දෙක කලින් රෙකෝඩ් කර ගන්නවා නං හොඳයි. එතකොට කරදර අඩුයි, වියදමත් අඩුයි.” සරත් ජයරත්න අයියා අපේ තාත්තාට කිව්වේය. මට මතක හැටියට නම් සිංහබාහු නාට්‍යයට සංගීතය සැපයුවේ සරත් අයියාය. නැතිනම් සුසිල් පියදාස අයියාය. ඒ දෙදෙනාම අපේ පොසොන් නාට්‍යවලට music දුන්නු අයයි. ඒ දෙන්නාමත් හොඳ මිතුරන්ය.

කවුරුන් සංගීත අධ්‍යක්ෂ රාජකාරිය කළත්, ඒ දෙන්නාමත්, බටනලා වාදක රූපසිංහත් වාද්‍ය වෘන්දයේ සිටි බව මට හොඳින් මතකය. (මේ සුසිල්, රූපසිංහ දෙන්නාම පසුකාලීනව ගුවන් විදුලි වාද්‍ය ශිල්පීන් ලෙස කටයුතු කළ විත්තියත් මෙතන ලියන්නේ ආඩම්බරයෙනි. සරත් අයියා ගුරු වෘත්තියට පිවිසුණේය.)

“කොහෙද ඉතිං ඔය වැඩේ කර ගන්න වෙන්නේ?” අපේ තාත්තා ඇහුවේය.

“අපිට ලොකු studioවලට කිට්ටු කරන්නවත් බැරි බව ඇත්ත... ඒත් ගුණපාල අයියේ කරන්ට් තියෙන, දොර ජනෙල් හොඳට වහගන්න පුළුවන් ගෙදරක් හොයා ගනිමු. නේද මචං...” රංජිත් ගුණසේකර අයියා කතාවට මැදිහත් වෙමින් කිව්වේය.
“ඔව්, ඔව් ගුණපාල අයියේ, ඒ මදැයි.” සරත් ජයරත්න අයියා බුලත් විටක් ඒදමින් කිව්වේය. අවුරුදු විසිපහක්වත් නැති; නළුවෙකුටත් වඩා කඩවසම්; හිතා ගන්නටවත් බැරි තරම් නිවුණු ඇවතුම්-පැවතුම් සහිත සරත් අයියා මත්පැනින්- දුම් බීමෙන් සහමුලින්ම වැළකුණු අයෙකි. නමුත් ඔහුට බත් නැතත් බුලත් විට නම් ඕනෑමය.

එතකොටත් නුවන් අයියා අපේ පොසොන් නාට්‍ය තුනකටම ගායකයා වී අපට අනුග්‍රහය දක්වා තිබිණි.

ඒ ආදර නවකතා පොත්වල දීප්තිමත්ම සමයයි!
සරත් අයියාත්, ඔහුගේ දෙවැනි නැඟණියවූ සුරූපී ස්වර්ණාත් එබඳු නවකතා පොතක පිට කවරයේ ඡායාරූපයකට පවා පෙනී සිටියහ.

“කවද විතරද ඔය වැඩේ දාගන්නේ? රංජිත්ටම තමයි වැඩේට කර ගහන්න වෙන්නේ. ඕනි දවසකට වැඩේ කෙරෙන තැනකට මල්ලිකාවයි, ස්වර්ණාවයි දෙන්නා නං ගෙන්නා ගත්තයි කියමුකෝ. නුවනුත් එයිද?” තාත්තා රංජිත් අයියාගෙන් ඇහුවේය.

ඒ නුවන් ගුණවර්ධන ගැනය!
එතකොටත්
නුවන් අයියා අපේ පොසොන් නාට්‍ තුනකටම ගායකයා වී අපට අනුග්‍රහය දක්වා තිබිණි. සිංහබාහු එකටත් ගායකයාට යෝජනා වෙලා තිබුණේ ඔහුමය.

සිංහබාහු නාට්‍යයේ ගීත දෙකක් තිබිණි. දෙකම ඩුවට්ය. ගායිකාවන් වුණේ මල්ලිකා ජයකොඩි අක්කාත්, ඒ.ඒ. ස්වර්ණලතාත්ය. (ස්වර්ණාගෙ අම්මාත් ටවර්හෝල් නාට්‍යංගනාවකි. දුවටත් පිහිටලා තිබුණේ අම්මාගේ ගායන කෞශල්‍යයයි. ඒ දිනවල අපේ ගෙදරදී පැවැත්වුණු හැම ‘දුප්පත් විදිහේ’ සංගීත සාජ්ජයකදීම ස්වර්ණාගේ අම්මා ‘සිරි ගෞතම සිරිපාද වඳිම් සමනල කන්දේ’ ගීතයට තනුව දුන් ‘අයියා සිරිපු ඒල ඉමෙන්’ දමිළ ගීතය ඇතුළු ගීත කිහිපයක්ම ගයන්නට පුරුදු වී හිටියාය.)

“නුවන්ව එක්කරං එන එක මම කරන්නං. වැඩේට හරි යන ගෙයක් තමයි හොයා ගන්න තියෙන්නේ.”
“ඔව් රංජිත්. ගෙයක් හොයා ගත්තට විතරක් මදිනෙ. අපේ ඔකෙස්ට්‍රා එකයි, උදව්වට එන කට්ටියයි... විස්සක්වත් හිටියිනෙ. ඒ ගෙදර මිනිස්සුන්ට රැයක්ම නිඳි මරන්න වෙයි! කව්ද ඒකට කැමති වෙන්නේ..?” සරත් ජයරත්න අයියා නියම තත්ත්වයම පහදා දුන්නේ එතකොටය.

  දුකකට පිහිට සුළු මිනිහෙකුගෙන්      විතර
  ලොකුවට සිටින අයගෙන් නැත කිසිම  වර
  තිබහට වතුර බොන්නට සුළු ළිඳ       විතර
  කිසිවිට පිහිට නැත ගැඹුරැති මහ        සයුර
පිරුළු කවියෙන් කියනවා වගේ එතැනදී අපට
උදව්වට ආවේ පොඩි හාදයෙකි. ගතින් පොඩි; හිතෙන් ලොකු ‘අන්දොස්’ය.....

26 comments:

  1. සිසිර කුමාර මානික්කආරච්චි මෙන් උපහාසය හා හාස්‍යය විවේචනයට යොදා ගැනීමට සමතෙක් බිහි වන්නේ කලාතුරකිනි.

    ReplyDelete
    Replies
    1. ඒ දවස් වල කියෙව්වා. අර පවුල්ගහත් මෑන්ස් ගේ නිර්මාණයක් නේද

      Delete
    2. ඒක නම් දන්නෙ නෑ. අජිත්, ඔයා ළඟ පවුල් ගස් කාටූන් පොත තියෙනවද? ටික දවසකට කලින් Pra Jay ඒ පොතක් හෙව්වා.

      Delete
  2. සිසිර කුමාර මානික්කආරච්චි ගැන හොයනකොට ඩ්‍රැකියගෙ මේ "සාගරයක් මැද - අමන රටක් ඇත" හම්බවුනා.
    https://drackey.blogspot.com/2016/02/blog-post_25.html

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි බස්සා මහත්තයෝ, Link එකට ගිහින් පොත බාගත්තත් එක්ක. මගේ ළඟ මානික්කආරච්චි මහත්තයාගේ සාහිත්‍ය කොල්ලය, මෙහෙව් රටේ හා අපේ පොතේ ඔහොම නැතේ පොත් තුන නම් තියෙනවා.

      Delete
  3. යකෝ නුවන් ගුණවර්ධන ඒ කාලෙත් සිංහල සින්දු කිවුවද? මමනං නුවන් කියල කෙනෙක් ගැන දැනගත්තෙ එයා කියන හින්දි සින්දු වලින්.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න, නුවන් ගුණවර්ධන මහරගම පුතෙක්. 60 ගණන්වල පාසලෙන් out වුණා වෙන්නැති. හින්දි ගීත කියන්න තමයි මෙහෙ ප්‍රසිද්ධ වෙලා හිටියේ.

      Delete
  4. ටෙලිකොං ගැනනං කතාකරල වැඩක් නෑ. මමනං මගේ ලයින් එක අයින් කරල දැං ගොඩක් කල්. ඔවුවො කෙරෝන අස්සෙත් බිල් ගෙවපු නැති උංගෙ ඒව ඩිස්කනෙක්ට් කළා නේද? ඩයලොග්ලනං ඒ කාලෙ මාස ගානක් යනකල් බිල් ඇරියස් වෙන්න දුන්න ඉන්ටනෙට්, ටීවී දෙකේම.

    ReplyDelete
    Replies
    1. අපට ඩයලොක් වලින්වත් ඒම පාසුකන් හම්බුනෙ නෑ.... සංතෝ

      Delete
    2. මට නං කියන්න දන්නෙ ටෙලිකොම් ගැන විතරයි! අලුතින්ම වෙච්චි දේකුත් ලියන්න හිතෙනවා, ප්‍රසන්නගෙයි, නමීගෙයි comments දකිද්දී.

      Delete
    3. හරි හරී... ලිහන්ට ලිහන්ට

      Delete
  5. " සාගරයක් මැද......" & "යනු කී හෙයින්"
    ප්‍රකාශක හා මුද්‍රණාලය ?

    ReplyDelete
    Replies
    1. Pra Jay මහත්තයෝ, ඒ පොත් දෙක නම් මගේ ළඟ නෑ.
      සාහිත්‍ය කොල්ලය පොත වංශනාථ දේශබන්ධු නමෙනුයි 1961 ඔක්තෝබරයේ මරදානේ ගුණසිරි ප්‍රකාශකයෝ මඟින් පළවී තිබෙන්නේ.
      ඒ කාලයේ තිබුණු ගුරුකුල වන්දනාවට පහර දෙමින්, කීරිතිමත් පුද්ගලයන් ගණනාවකගේ අපකීර්තිමත් කෙරුවාවල් ගැන ලියවුනු නිසා වෙන්නැති ඒ පොත නැවත පළවී නැත්තේ.
      පිටු 144ක මේ පොතේ එවක මිල රුපියල් දෙකකි.

      මෙහෙවු රටේ පිටු 124ක පොතක්. නාට්‍ය පිටපතක්.
      ඒකත් අපේ පොතේ ඔහොම නැතේ පොතත් සීමාසහිත ඇම්.ඩී. ගුණසේන සමාගමෙන් 1960 හා 1965 පළවී තිබෙන්නේ.
      මෙහෙව් රටේ = රු.1/50.
      අපේ පොතේ = රු.2/=
      අපේ පොතේ ඔහොම නැතේ කෘතියේ අන්තර්ගත වෙන්නේ, මානික්කආරච්චි මහතා 'සිදරන්' නමින් ජනතා පත්තරේට කවියෙන් ලියූ 'කලින් කලට' විශේෂාංග 101ක්.

      Delete
  6. වහා මුදල් ගෙවන්නෙයි කියන්නෙ නිදි... ලොකු උන්දලා තරම් සටට අපි වැදගත් නැතිකොම නෙව

    ReplyDelete
    Replies
    1. මාත් මේ තවම කල්පනා කොරන්නේ නමී උන්දැලගේ මොනවද ලොකු කියලයි.....

      Delete
  7. මානික්කආරච්චි මහත්තයගෙ පොත් කවුරුවත් ඇයි ගහලා නැද්ද?

    ReplyDelete
    Replies
    1. කුමාර, ඒ ගැන මගේ අදහස උඩින් Pra Jay මහත්තයාට දුන්නු පිළිතුරේ තියෙනවා. චුට්ටක් බලන්නකෝ.

      Delete
  8. සමාජයේ උප-සංස්කෘතියක - බජාර් එකෙන් වචන දෙකන්: ලප්රි සහ සයිස්
    https://jmaraya.blogspot.com/2022/06/blog-post_3.html

    කම්මැලි නැතිව කියවිය හැකි ලිපියක්.

    -බකුස්-

    ReplyDelete
    Replies
    1. බකුස්, එහාට ගිහින් සයිස් කරන්න බැලින්නම් දන්නා කෙනෙක්ගේ පොතක් ලප්රි කරන් නෙවේද කියලා හිතුනා. මම මම සහ මම නැවත මුද්‍රණයේ හිට මොහාන් රාජ් මඩවල සහෘදයාගේ සියලු පොත්වල සෝදුපත් බැලීමේ ආඩම්බරයත් මතකෙට සයිස් වුණා!
      http://nidigepanchathanthare.blogspot.com/2018/09/colombo.html

      Delete
  9. අද උනත් ලයිට් තියෙන 20-25 ට ඉඩ තියෙන ගෙයක් හෙවිල්ල ලේසි වෙන්නේ නෑ.

    ReplyDelete
  10. අද උනත් ලයිට් තියෙන 20-25 ට ඉඩ තියෙන ගෙයක් හෙවිල්ල ලේසි වෙන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඔව්, ගෙයක් තිබ්බත් එයාලගේ කැමැත්ත ගන්න එක...... අන්දොස් කර ගැහුවේ ඒ වැඩේටයි .... චමී.

      Delete
  11. ඊළඟට කට්ටිය බොල් ණය තියෙන කස්ටිය අල්ල ගෙන සයිස් කරල ගනීද? මාර ලප්රියක් වෙන්නේ

    ReplyDelete
    Replies
    1. අජිත් මහත්තයෝ, එහෙම සයිස් කෙරෙනවා නං කොච්චර ෂෝක්ද?

      Delete
  12. යකූ... හිතුවාට වඩා දිගයි නේ. හිමීට බලන්නම් ඈ.. ගෙදෙට්ටම ගිහිල්ලාම

    ReplyDelete