li Item

Friday, February 11, 2022

හොන මුත්තක්ද බලන්නේ?

දිල්හානි ඒකනායක ‘ජංගි හොරා’ චිත්‍රපටයේ.....

‘හිතෙන හිතෙන දේවල් දැන් ඇඟෙන් කර ගන්න බැරි තත්ත්වයක් තමයි තියෙන්නෙ. හිතට නම් මොන තරම් දේවල් එනවද? හැබැයි ඒ දේවල් කරන්න දැන් මේ ඇඟට බැහැ කියනවා. සමහර වෙලාවට කකුල් රිදෙනවා, දණිස් රිදෙනවා, කොන්ද රිදෙනවා වගේ දේවල් දැනෙනවා. ඉතින් මොනවා කරන්නද? මම නිහඬවම ඉන්නවා.

-පුංචි පුංචි නර්තනයන් කළාට ඉස්සර වගේ දඟලලා අපිට ඒ නර්තන කරන්න බැහැ. ඒක තමයි ඇත්ත. ඒ වගේ දේවල් කරන්න ඕනෙ කියන අදහසකුත් දැන් මගේ ඔළුවේ නැහැ.

-ඒ කාලෙදි ඒ නර්තනයන් අපි කළා. නර්තනය කරන්න පුළුවන් නම් ඒක සෞඛ්‍යයට ඉතාම හොඳයි. හැබැයි ඒ මට්ටම්වලින් දැන් නටන්න යන්න බැහැ. ඒවා කරද්දී ලොකු පුහුණුවක් වෙන්න ඕනෙ. ඒ නිසා තරුණ ළමයින්ට ඒ අවස්ථාව ලබා දීලා අපි ඒවා දිහා බලාගෙන ඉන්නවා.....’

‘හිතට හිතෙන දේවල් දැන් මට ඇඟෙන් කර ගන්න බෑ කියලා දිල්හානි ඒකනායක කියලා තිබ්බේ 2021 අගෝස්තු 7 ‘දේශය පත්තරයේ හදසර අතිරේකය’ටය.

පොදුවේ කියලා තිබුණත්, ඒක හරියට මේ ලියන මොට්ටයාටම එල්ලකොට කිව්වා වගෙය. මටත්
ඉස්සර නටාපු නැටුම් දැන් නටන්නට තියා හිතන්නටවත් බැරිය. ඒත් ඒ බව පිළිගන්නට කැමති මොන මැන්ටලේද? ඒ මනුස්ස ස්වභාවයයි.

අපේ මානෙල් නංගිගේ චූටි මිනිබිරිය ‘හිමන්‍යා’ අම්මාගේ කුසේ ඉන්නා කාලයේ ඉඳලාම බෙර තාලයට කන් දෙන්නට ඇත. නැටුම් තාල- වාදන ආදියට හුරු-පුරුදු වෙන්නට ඇත. අවුරුදු එකහමාර වෙන්නටත් කලින්ම දැන් ඒ පොඩි එකී ‘මැන්ඩිය’ පාගන්නට try කරයි. ඒවා දකිද්දී මගේ හිත අතීතයට ඇදෙන්නේ නිරායාසයෙනි;

අම්මාගේ කුසේ හිටිද්දීම නැටුම් ඉගෙනගත් හිමන්‍යා....

ඒවා දකිද්දී සතුටක් වගේම දුකකුත් හිත අද්දර වාන් දමන්නට පටන් ගන්නේ නිතැතිනි. මැන්ඩිය.... මැන්ඩිය....

හරියට මැන්ඩිය පාගන එකේ වැදගත්කම ප්‍රවීන නර්තනාචාර්ය ආචාර්ය චන්න විජේවර්ධනයන් වෙතින් කියවුණු වෙලාවකුත් මට මතක් වෙයි. ආචාර්ය චන්නයන් ඒ ටික කිව්වේ ‘හිරු මෙගා ස්ටාර්ස්’ වැඩ සටහනකදී තරින්දි ප්‍රනාන්දු රංගන ශිල්පිනියටයි.

‘සම්ප්‍රදායික ‘අස්නේ නර්තන නිර්මාණයක් තමයි මේ අප දුටුවේ. ඒ තුළ ඉතාම ලස්සන නිර්මාණයක් දුටුවා. අපි ඉස්සෙල්ලාම හිස නමා ආචාර කරන්න ඕනි ඔබතුමියගේ... ‘ඔබතුමිය’ කියන්නේ දුන්නු ගෞරවයට. ඔබතුමියට හොඳ මැන්ඩියක්  තියෙනවා.  හොඳ base එකක් තියෙනවා... බය නැතිව ඔබතුමිය කියන්න පුළුවන් ඒ හින්දා! ඒ බේස් එක හරියටම හරි!”.

මහරගම බුවෙනකබා විදුහලේ නැටුම් ගුරුතුමා වුණු ‘එඩ්වඩ් ලොකුලියනගේ’ මහත්තයා, මේ නිමල් දිසානායකට ගීත කීපයකට නර්තනයන් ඉදිරිපත් කරන්නට ඉගැන්නුවේය. ඒ මට අවුරුදු දහතුනක්-දාහතරක් විතර වෙද්දීය.
හරියටම එහෙම කියන්නේ චිත්‍රපට ගීත දෙකක උදව්වෙන් කාල නිර්ණය කර ගනිමිනි.

උන්චිල්ලා තොටිලි කොයින්දෝ - රන් සළුපිළි වළලු කොයින්දෝ’ එයින් පළමු ගීතයයි. දෙවැන්නේ පද හරියටම මතක නැතත් දර්ශනය මතකය. ඒ නාට්‍ය ජවනිකාවකි. ලොකුලියනගේ නැටුම් සර් ඒ ගීත දෙකටම නර්තන නිර්මාණයන් කරන හැටි මට ඉගැන්නුවේ, ඒ දවස්වල ඒ සිංදු දෙකම ඉතාමත් ජනප්‍රිය වුණු නිසාය. ඒ සිංදු දෙකම තිබුණේ 1967 දෙසැම්බර් 21 තිරගත වුණු, සිනමාස් සමාගමේ ‘සූර චෞරයා’ චිත්‍රපටයේය. Film එකේදී ඒ ගීතවලට රැඟුවේ සුරූපී සන්ධ්‍යා කුමාරියි.

රුහුණු කලා කවයේ දැන්වීමක් නම් ජාලයෙන් හමු විණි.

මා වෙනුවෙන් කෙරුණු, ඒ නැටුම් පාඩම්වලදී ලොකුලියනගේ සර් මට ‘මැන්ඩිය’ පාගන හැටි කියා දුන් බවක් මට මතක නැත. මට මුලින්ම මැන්ඩිය පාගන්නට කියා දුන්නේ නම් ‘කාලිංග ඔබේවංශ’ නර්තනාචාර්යතුමන්ය. කොටාරෝඩ්හි පිට්ටු බම්බුවේදීය!

පිට්ටු බම්බුව කිව්වේ අපහාසයට නොවේ. යථා තත්ත්වය නිරූපණය කරන්නටය. රුහුණු කලා කවයේ ස්ථිර ගොඩනැඟිල්ල ඒ දවස්වල ඉදිකොට තිබුණේ රවුම් කුලුනක් හැඩේටය!

‘නොමිලේ! රුහුණු කලා කවයේ නැටුම් පන්ති. නර්තන ශිල්පී කාලිංග ඔබේවංශ මහතා යටතේ....’
මට මතක හැටියට නම් ‘රිවිරැස’ පත්තරයේ එවැනි පුංචි දැන්වීමක් තිබුණේය. දැන්වීම පුංචි වුණත්, ඒක දැකපු ගමන්ම ඇවිළුණු මගේ dancing පිස්සුව පුංචි නැත.

“මාත් ගිහින් බලන්නං තාත්තේ... හාද?” අර දැන්වීම තාත්තාටත් පෙන්නමින්, මම නහයෙන් ඇඬුවෙමි. අපේ තාත්තා එකෑවරම යමකට හා කියන්නේ නැත. නිහඬව හිඳියි.  කැමැත්ත දෙන්නේ අන්තිමටය. මේ යෝජනාවටත් අපේ තාත්තාගෙන් විරුද්ධත්වයක් නොවීය.

ඒ සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙනවාය කියලා තිබුණේ බොරැල්ලේ, කොටා පාර දුම්රිය ස්ථානය අසල ‘රුහුණු කලා කවයේ’දීය. එතැනට යන්න ලේසිම කැලණිවැලි පුංචි කෝච්චියෙනි. “රංජි මල්ලී.  තැන හොයා ගන්න අමාරු නෑ. කොටාරෝඩ් ස්ටේෂමෙන් බැස්ස ගමන් රේල් පාරෙන් එහා පැත්තෙ ලොකු පිට්ටු බම්බුවක් වගේ තියෙනවා පේන්නේ එතන.” රංජිත් ගුණසේකර අයියා කිව්වේය. රංජිත් අයියා ඒ දවස්වල උදේ-හවා පුංචි කෝච්චියේ ගමන් කළ මඟියෙකි.

මගේ දැනීමේ හැටියට නං එතකොට ලංකාවේ වෙන කොහෙවත් එහෙම රවුම් ගොඩනැඟිල්ලක් තිබුණේ නැත. (ලංකා බැංකුවේ මූලස්ථාන ගොඩනැඟිල්ල; පිට්ටු බම්බුව හැදුණේ ඊට පසු කාලයකය.)

‘කලාකාරයෙක් වෙලා කාටද බං හරි ගියේ?’ ඒ කාලයට වලංගු කතාවකි. (සීගිරි ඔපෙරාවේ foto- උදේනි අල්විස්)
සම්මුඛ පරීක්ෂණයකින් තෝරා ගන්නා අයව නැටුම් පුහුණුවට බඳවා ගන්නවායයි කියා තිබුණත් කාවවත් හරවා යැව්වේ නැත. මං වගේම නැටුම් ඉගෙන ගන්නට උනන්දුවෙන් ඇවිත් හිටි තිහක්-හතළිහක් විතර දෙනා රවුමට හිටවා, නටවා බලා ‘කාලිංග මහත්තයා’ තෘප්තිමත් හිනාවක් පෑවේය.

කාලිංග ඔබේවංශ මහතා පහතරට නැටුම් ශිල්පියෙකු බව මගේ මතකය කියයි; 1961 ‘ගංතෙර’ චිත්‍රපටයේ නැටුම් අධ්‍යක්ෂණය කළ බව ඉතිහාසය කියයි; ආර්. ප්‍රේමදාස මහතාගේ රාජ්‍ය සමයේදී ඔබේවංශ මහතාට පත්කළ මන්ත්‍රී ධුරයකුත් හිමි වුණු වාර්තා පවසයි.
එච්චර උස නැතත් කාලිංග සර් තරමක් කාළ වර්ණ, පිරුණු සිරුරක් හිමි, ප්‍රතාපවත් පෙනුමක් ඇති අයෙක් වුණේය. ඇන්දේ ජාතික ඇඳුමයි. ගෙල දක්වා දිගුවුණු එතුමන්ගේ කෙස් වැටිය, ඕනෑම තැනෙකදී ඕනෑම කෙනෙකුට කියා පෑවේ එතුමා කලාකාරයෙකු බවයි.

‘කලාකාරයෙක් වෙලා කාටද බං හරි ගියේ? කලාකාරයෝ හිඟන්නොනේ’ අපේ තාත්තාත් කිව්වේය; එයාලගේ පරම්පරාවේ ගොඩ දෙනෙකුත් කිව්වෝය.
ඒ කතාව ඇත්තක් බව සනාථ කරන්නටදෝ කාලිංග සරුත් ඉසුරුමතෙකු බවට පත්වෙලා හිටියේ නැත. අර පිට්ටු බම්බුවට කිට්ටුවෙන්ම වාගේ කුඩා නිවහනකය එතුමා සිය පවුල පිටින්ම පදිංචිවී හිටියේ.

මගේ මතකය නිවැරදි නම්, ඒ පවුලත් අපේ පවුල වගේම ‘පුංචි පවුලකි!’.

අර රවුම් ගොඩනැඟිල්ලට තිබ්බේ එක දොරටුවකි. ජනෙල් තිබ්බේ නැත. බිම් මට්ටමට ටිකක් ඉහළින් බිත්තිය වටේම ඉදිකොට තිබුණු සිමෙන්ති පඩියේය, නටන ගෝලයන් කවුරුනුත් වාඩි වුණේ.
මේවා මෙහෙම බවට; සත්තක ඇත්ත බවට සාක්කි දෙනවා නම් දෙන්නට හැකි එකම එක්කෙනෙක් ගැන විතරය මට කිව හැක්කේ.

නීටක්කාත් එහාට ආවාය.... අපත් එක්කම අර සිමෙන්ති පඩියේ වාඩි වුණාය; පුහුණුවීම්වලත් යෙදුණාය....

ඒ නීටා ප්‍රනාන්දු ප්‍රවීන නිළියයි! නීටක්කාත් එහාට ආවාය.... අපත් එක්කම අර සිමෙන්ති පඩියේ වාඩි වුණාය; පුහුණුවීම්වලත් යෙදුණාය....

ඒ විස්තර කියන්නේ තව චූට්ටක් ඉදිරියට ගිහිල්ලය- කමක් නැහැනේ...

පන්ති පටන් ගන්නා දවසේ හිටි සිසු-සිසුවියන් ගණන ටික දවසක් යද්දී අඩු වෙලාය. නමුත් ‘නැටුම් උණ’ තිබුණු මං වගේ ‘උනන්දුවෝ’ විස්සක් විතර දිගටම පන්තිවලට සහභාගී වූහ.
ඒ අතර හිටි එක සිසුවෙකි ‘විනෝද්’.

“මං නං ඉන්නේ මේ ළඟ. කොරියාවේ....”
එතකොට කොරියාව රටක් බව විතරය මං දැනගෙන හිටියේ. “කොරියාව? ළඟ....” මට කියැවුණේ සරුවාංගයෙන්මය.

“අනේ මෝඩයා.... ඔබේසේකර පුර.... අහල නැද්ද.... ඉස්සර මිනිස්සු එහාටත් කිව්වේ කොරියාව කියලා. හැබැයි අපිට ඇහෙන්නේ නැති වෙන්න. පොඩ්ඩ බැරි වෙන්ඩ බෑ මචං... එහෙ උන් කොක්කට එන්ඩමයි ready වෙලා ඉන්නේ.” විනෝද් මට තේරුම් කළේය.
විනෝද් ඉක්මනින්ම මගේ හිතවතෙක් වුණා වගේම නැටුම් පන්තියෙත් ජනප්‍රිය වුණේය. ඒ එයාගේ කඩිසර- මුඛරි ගති හින්දාය.

විනෝද් අපට වඩා පැරණි සිසුවෙකි. (මං හිතන්නේ, අවුරුද්දකට කණ්ඩායම් දෙකක් විතර රුහුණු කලා කවයේ නැටුම් පන්තිවලට බඳවා ගත් බවයි.)

පහතරට නර්තන විලාසයන් වැඩිපුර ‘තාණ්ඩව හා ලාස්‍ය’ ගතිවලින් යුතු යැයි මට හිතෙයි. ඒ නැටුම්වලදී අදහස් ප්‍රකාශනයත් යහමින් කෙරෙන සෙයකි. උඩරට සම්ප්‍රදායේදී මුල්තැන ලැබෙන බව පෙනෙන්නේ නැටුම් ඉරියව්වලටයි. (ඒ මට දැනුණු විදිහය.)

යක් බෙරය වැයෙද්දී නිකම් ඉන්නට බැරිය; ඉබේම ඇඟපත සලිත වෙයි- නැටවෙයි!

ලොකුම විශේෂය ඇත්තේ පහතරට බෙර වාදනවලයි. ඒවා ඇහෙද්දී ඔබ ප්‍රලය වෙයි....; නැටවෙයි.

විශේෂයෙන් යක් බෙරය!
යක් බෙරය වැයෙද්දී නිකම් ඉන්නට බැරිය; ඉබේම ඇඟපත සලිත වෙයි- නැටවෙයි.

එහෙම නැටවෙන වෙලාවකය, නීටක්කා නැටුම් පුහුණු වෙන ඇඳුමකින් සැරසී පන්තියට ආවේ! ඇවිත් කාලිංග සර්ට ගුරු ප්‍රදක්ෂිණා කළේ!!

“පෙනෙනවානේ... කරන දේ හරියට කළාම කොහොමද කියලා....” කාලිංග සර් නීටක්කාව පෙන්නලා ආඩම්බරයෙන් කිව්වේය. එතකොට නීටක්කා චරිතාංග නිළියක ලෙසිනි ප්‍රකටව සිටියේ. ‘ෆිල්ම්ස්වලට එන්න ඉස්සෙල්ලා නැටුම්වලට ගියාද දන්නෙත් නැහැනෙ...’

“අපි ආයෙම වතාවක් ආලකමන්දා නාට්‍යය පෙන්වන්නයි හිතුවේ. මේ නීටා තමයි ඒකෙ ප්‍රධාන නිළිය විදිහට රඟපාන්නේ. ඔයාලගෙනුත් හොඳට නටන කට්ටියව ඒ නාට්‍යයට තෝර ගන්නවා. ඒ නිසා ඉස්සරහට ගොඩක් උනන්දුවෙන් ප්‍රැක්ටිස් කරන්න ඕනි...” සර් නොකිව්වත් ඒ වෙනකොටත් අපේ උනන්දුව කන්දක් තරමට වැඩි වෙලාය තිබ්බේ.

නීටක්කා පුහුණුවීම්වලට ආවේ ඉඳහිටලාය. ‘එයාටයි සර්ටයි මොනවා පුරුදු වෙන්නද? ලස්සනට නටන්නේ....’ සර්ලාගේ නැටුම් දකිද්දී මම සිතුවෙමි.
“ගිය සැරේ නාට්ටියට මාත් හිටියා...” විනෝදුත් කිව්වේය.

“කොහෙද පෙන්නුවේ? ලුම්බිණියේද”
“නෑ බොරැල්ලේ YMBA එකේ. අපේ සර් නාට්‍ය කරන්නේ ඒකෙ විතරයි වෙන්නැති.....” විනෝද් මට කිව්වේය.

බොරැල්ලේ YMBA එකේ පෙන්නන්න යන්නෙ. (මේ එහි අද තත්ත්වයයි!)

ඒ වෙද්දී, අපි ලුම්බිණි වේදිකාවට සිංහබාහු’ කැන්දාගෙන එන්නට සැලසුම් ගහමින් ඉන්නා බව ඒ නැටුම් පන්තියේ කවුරුන්වත් දැනගෙන හිටියේ නැත. මගේ දිග කොණ්ඩයේ රහසත් රහසක්ම වුණේ එහෙමය. ඒ විස්තර විනෝද් එක්කලාවත් කියන්නට මට හිතුණේ නැත.

“අපේ සර් නිමල්ව නං තෝරා ගන්නවා ෂුවර්!”
“අර මොකෝ. මගේ නැටුම් හොඳද?”

“නැටුම්වලට වැඩියෙන් මචං උඹේ පෙනුම හන්දා... විශේෂයෙන් කොණ්ඩේ ටිකක් දිගට තියෙන හන්දා....”

විනෝද්ගෙ අනාවැකිය හරි ගියේය.
ආලකමන්දා මුද්‍රා නාට්‍යයට මාවත් තෝරා ගැනිණි!

“බොරැල්ලේ YMBA එකේ පෙන්නන්න යන්නෙ. මාවත් ඒකෙ කොටසකට ගත්තා...”
“ඒ කොහොමද යකෝ? මාස දෙක තුනකින් උඹටත් ඔච්චර දේවල් නටන්න පුළුවන්ද?” තාත්තා පුදුම වුණේ එතකොටය.

“ප්‍රධාන චරිතයක් නෙවෙයිනේ තාත්තේ... මට තියෙන්නේ දූතයෙකුගේ පාට් එක. මට දෙන පණිවිඩ හසුනක් කාශ්‍යප රජ්ජුරුවන්ට ගිහිල්ලා බාර දෙන්න. නැටුම් පද දෙක තුනයි පුරුදු වෙන්න තියෙන්නෙ....”

“උඹල පන්තියේ ඉන්න ඔක්කොම ළමයින්ව නාට්‍යයට ගත්තනේ. නේද?” අපේ තාත්තා හීනි හිනාවක් හංගාගෙන වගේ අහනවාය මට පෙනුණේ. ඇත්තය. හැම ළමයාම වගේ මොකකට හරි අරගෙන තියෙන බව මට පෙනුණේ එතකොටය.

“එහෙනං ඉතිං ලෑස්ති වෙලා හිටපං ටිකට් පොත් දෙක තුනකුත් විකුණලා දෙන්න.” තාත්තා හිනාව එළියට දැම්මේය. “කමක් නෑ, කමක් නෑ. ඒ මනුස්සයා එහෙම කරන්නේ උඹලට මොනවා හරි කියලා දෙන ගමන්නේ....”
පසුව බලද්දී ඔය වගේ තැන්වල වෙන්නේ ඒ ටිකය. දැන් නම් එය ජයටම කෙරෙනවා දැක ගත හැක්කේ මොන්ටිසෝරිවලය.

ඒ ඒ චරිත රඟපාන නළු-නිළියන්ට ගැළපෙන ඇඳුම්- පැළඳුම්... (සීගිරි ඔපෙරාවේ foto- උදේනි අල්විස්)

අන්තිමේදී නාට්‍යය පෙන්වන්නේ හෙටයි කියා තියෙන දවසත් උදා වුණේය. එදා දවස තිස්සෙම පුහුණුවීම් හා සූදානම් කරවීමේ වැඩ කෙරෙන බව සර් කල්තියාම අපට දන්වා තිබිණි.

ඒ ඒ චරිත රඟපාන නළු-නිළියන්ට ගැළපෙන ඇඳුම්- පැළඳුම් තෝරා; සකස් කොට ලේබල් ගසා අසුරන කටයුතු කෙරෙන අතරේය, කාලිංග සර් විනෝද්ට කතා කළේ.
“විනෝද්, අපිට තව සාරි හත අටක් තිබ්බ නං හොඳයි වගේ. බැරිද ගෙවල් පැත්තෙ දෙතුන් පොළකින් හොයා ගන්න.”
“අයියෝ සර්! දුසිමක්ම හොයාගන්නංකෝ.” විනෝද් කිසිම පැකිළීමක් නැතිව උත්තර දුන්නේය.

“දුසිමක් එපා! එහෙනං මේ නිමල්වත් එක්කන් ගිහිං හයක් හොයාගෙන එනවකො...” සර් කිව්වේය.

“යමං මචං!” විනෝද් සෙරෙප්පු දෙකත් දමාගෙන එළියට බැහැලාත් ඉවරය. මමත් ඒ හාදයාගේ පස්සෙන් වැටුණෙමි. කොටාරෝඩ් සිට පයින්ම ආයුර්වේද රෝහල ළඟට... එතනින් ඔබේසේකරපුරයට. පළමුවෙනි වතාවට මා එවැනි පරිසරයකට ගියේ එදාය.

“මචං, මමත් හා කියල පැනල දුන්නට අපේ සර්ටත් මොළයක් තියෙන්න ඕනිනේ මෙහෙ කොහෙන්ද ඔච්චර සාරිකාරියෝ කියලා.  අපේ ලොක්කිටත් තියෙන්නේ එක වොයිල් සාරියද කොහෙද... කමක් නෑ.... කමක් නෑ... වත්ත පෙරලලා හරි අපි සාරි ටිකක් හොයමුකෝ.....”
පාර දිගේ, අතුරු පාරවල් දිගේ, කානු ගැට්ටවල් දිගේ, පිළිකනු දිගේ එහා-මෙහා යද්දී විනෝද් මට කෙඳිරුවේය.

“මැටිල්ඩා අක්කේ.... අපේ නාට්ටියක් පෙන්නනවා බොරැල්ලෙ වයිඑම්බියේ.... හොඳ සාරියක් දියන්කෝ බං.... අනිද්දා උදෙන්ම රිටර්න් කරනවා පරෙස්සමට....”
“ගුණවතී අක්කේ. ඔන්න බෑ නොකියා උඹේ අර දිස්නේ කඩා වැටෙන සාරිය දීපංකො දවස් දෙකකට... මොකටද ඇහුවා... යකෝ වයිඑම්බියේදි රජ වෙන්න බං... හෙට, හෙට. මම බොරුද කියන්නේ කියලා මේ නිමල්ගෙන් අහපං, විශ්වාස නැත්තං.”

අපිත් බයයි කියල පෙන්නුවොත් විතරයි මචං, තව එකෙක් අපිට ගහන්නේ.... නැත්තං නෑ!

අප එහෙම ඔබේසේකරපුරය පුරා කරක් ගහන අතරේය, පාර අයිනේ හිටි තරුණයන් කීප දෙනෙකුගෙන් එකෙක් මහ හයියෙන් අපට සිනාසුණේ; එකෙක් විසිල් එකකුත් ගැහුවේ.

එතකොටම විනෝද ඉද්ද ගැහුවා වගේ එතැනම නැවතුණේය; අප දෙස ඔලොක්කුවට වගේ බලා හිටි තරුණයන් දිහාවට රැව්වේය.
“හොන මුත්තක්ද බලන්නේ?” කියලාත් ඇසුවේය.

එක තරුණයෙකුට තරහ ගියා වගෙය. අඩියක් ඉස්සරහටත් තිබ්බේය. “හුලන්ඩ බත්තක් තියෙන නිසානෙ xත්තෝ බලන්නේ!” කියලා ඔරොප්පු මූඩ් එකෙන්ම කියලාත් දැම්මේය.
ඒ පද පෙරළි කතන්දර දෙකම, තූෂ්ණිම්භූතව හිටි මට මීටර් වුණේ එතකොටය.

විනෝද් ඒවාට උත්තර බැන්දෙත් කුණුහරුප වැලකිනි. දිග රණ්ඩුවක් ඇවිළෙතියි; ජීවිතයේ පළමු වතාවට නොසෑහෙන්නට ගුටි කන්නට වෙතියි බයේ ගැහෙමින් හිටි මට හුස්ම වැටුණේ ඒ කතාබහ වචනවලට විතරක් සීමා වෙන බව පෙනුණාමය.
“මම නං හිතුවෙම විනෝද්, අපේ ඇටකටු ටික ගෝනියක දාගෙන යන්න තමයි වෙන්නෙ කියලා....” තරුණයන්ගේ දර්ශනය කුඩා වේගෙන යද්දී මං කිව්වා මතකය.

“මේවායේ ඉපදිච්චි අපි මැරෙන්ඩ බය නෑ මචං.... අපිට මොනවද නැති වෙන්ඩ තියෙන්නේ? අපිත් බයයි කියල පෙන්නුවොත් විතරයි මචං, තව එකෙක් අපිට ගහන්නේ.... නැත්තං නෑ!”

එවෙලේ විනෝද් තව මොන-මොනවා කීවාදැයි අද මට මතක නැත;
කාලිංග ඔබේවංශ සර් හා ආලකමන්දා මුද්‍රා නාට්‍යය ගැනත් අද එතරම් ලොකු මතකයක් මට නැත.
නමුත් අර පද පෙරළි කුණුහබ්බ ප්‍රශ්නයත්, කුණුහරුප උත්තරයත් දෙකම නං අද වාගේ මතකය. ඒ ගැන post එකක්ම ලියැවුණේත් ඒ නිසාවෙනි෴

64 comments:

  1. ++++++++++++++++👌🙏😊

    ආයෙ එන්නම් කමෙන්ට් කියවන්න.

    ReplyDelete
    Replies
    1. අඹතලේදි බණ්ඩිය සොරි මැණ්ඩිය අල්ලල නටපු කතා නැද්ද?

      Delete
    2. ළින නාදේ මුද්‍රා නාටකේ තමයි බකුස් මහතුන් නැටුවේ..

      Delete
    3. ලිඳ නෙමෙයි, වෙලේ පොකුණ.😂

      Delete
    4. මම මේ බලාගෙන ඉන්නේ අඹතලේ නාටකය ගැන හරි-හමන් විස්තරයක් කවදා කියවෙයිද කියලා.
      කොහෙද, යාන්තං ඉඟි කරනවා විතරයිනේ.

      Delete
    5. ඒකද මේ... බකුසුතුමෝ. මාත් ඒක නං කියවලා comment කරලත් තියෙනවනේ!

      Delete
  2. ඉස්කෝලෙදි ඉස්සරෝම හය වසරේදී වෙන්න ඕනෑ සෞන්දර්ය විෂයයන් තුනම කරන්න දුන්න. ඒ කරන්න දීලා අපිට කැමති සෞන්දර්ය විෂයක් තෝරගන්න අවස්තාවක් දුන්නා.
    එතකොට ඉස්සරෝම මං තෝරගත්තෙ සංගීතය. හැබැයි පලවෙනි දවසේ මට යන්න බැරි උන හින්දා සංගීත ගුරුතුමී මාව පන්න ගත්තා. මොකද ඉස්සරෝම දවසේ හිටියේ නෑ කියලා. අපිට බර බරේ දාලා. ඊට පස්සේ නැටුම් වලට ගියා. එතකොට මම නැටුම් class එකේ පොඩි තත්වෙක හිටිය, බෙර එහෙම ගහලා. ඒත් මං නැටුම් නොයා සංගීත ගියපු නිසා නැට්ටුවා මාව පන්න ගත්ත. අපිව බාරගත්තේ චිත්‍ර කරපු මිස් විතරයි. ඒත් අපිට 11 වසරෙන් ඉස්කෝලෙන් එළියට එනකම්ම එක චිත්‍රයක් ඇඳ ගන්න බැරුව හිටියේ. අන්තිමේදී චිත්‍ර කරපු මිස් අපිව අත ඇරලා දාලා හිටියේ. අපිට කිව්වේ මොන්ටිසෝරි ළමයි කියලා හිතාගන්න පුළුවන් නේද.

    ඇත්තටම මට අදටත් කණගාටුවක් තියෙන්නෙ මම dancing පැත්තෙන් ගියානම් ගියානම් යම් තත්වයක ඉන්න තිබ්බා. නමුත් ඒ ගුරුවරුන්ගේ තිබ්බ පුද්ගලික අමනාපකම් එදිරිවාදිකම් සහ මහන්තත්ත කම් නිසා අපිට ලැබෙන්න තිබ්බ අවස්ථා නැතිව ගියා. පස්සේ කාලෙක සිංහල කරපු සර් මට පුළුවන් යම් හැකියාවක් දැකලා පොඩි අතදීමක් කළත්, ඒක sharp කරගන්න තරම් කාලයක් මට තිබ්බේ නෑ ඉතිං ඔක්කොම ලක් තැනම ලොප් වෙලා ගියා අදටත් මට කියල පුළුවන් කිසි දෙයක් නෑ මට හිතෙන විදිහට.

    ReplyDelete
    Replies
    1. ඔව් අපේ සමහර ගුරුවරු අතරේ එහෙම කෙනහිලි තිබ්බා. මට නං, හැකියාවක් නැතත් චිත්‍රයි, සූපශාත්‍රයයි ඉගෙන ගන්න අවස්ථාවක් ලැබුන නං කියල හිතෙනවා.

      Delete
    2. ඇත්තටම අපේ සමහර ගුරුවරු ළමයි ගැන හැබෑ ආදරයකින් ඉන්නේ නෑ නේද කියලා හිතෙනවා..... අදත් ඇහෙන සමහර කතාවලින්.

      මට නං හමුවුණු ගොඩාක් ටීචර්ලා මසුරන්. විද්‍යාකර විද්‍යාලයේදී එන්.එම්. පෙරේරා, බෝධිපාල, වීරසිංහ, වගේ ටීචර්ලා ගැන තවම මතකයි. වැඩිම බලපෑමක් කළ මංගලජීව ටීචර් ගැනත්- සිංහල විෂය ඉගැන්වූ.... (දෙයි හාමුදුරුවනේ, මේ දැන් ඒ නම මතකයට එන්නෙම නැතිව ගියානේ...) ටීචර් ගැනත් මගේ හිතේ තියෙන ගෞරවය කියන්න බැරි තරමේ එකක්!

      Delete
    3. දෙවෙනි දවසෙ හරි ලමයෙක් ඉගෙනගන්න ආපු එක අගය කරන්න ඕනෙ නේද. හරි පුදුමයි මේ සමහර ගුරුවරුන්ගෙ තියෙන ඊගො එක. 'අදටත් මට කියල පුළුවන් කිසි දෙයක් නෑ මට හිතෙන විදිහට'- වඩාත් හොඳ නැද්ද 'මට හැමදේම පුලුවන්, බැරි දේ මම කොහොම හරි ඉගෙනගන්නවා' කියලා හිතන එක.

      Delete
    4. ඔයා බ්ලොග් ලියනවනේ මල්ලි , හැකියාවන් දියුණු කර ගන්න , නටන්න. සින්දු ලියන්න තවම පරක්කු නැහැ. ඔය මම කරන්නේ නෝන්ඩි වෙවී .

      Delete
    5. අජිත් මහත්තයෝ. මම ඔය වගේ ඒවා දාන්නෙ තමන්-තමන්ටම දීගන්නා ට්‍රීට්ස් ගොඩටයි. මම හිතන්නේ තමන්ටම එහෙම සලකන එක කළ යුතුම දෙයක්.

      Delete
    6. ලෝටස් කියපු කථාව හරියටම හරි¡ අර කියාපු ආත්මාභිමානයත් ආත්ම විශ්වාසයත් තමා කෙනෙක්ව ඉහළට ගෙනියන්නේ කායලයි මාත් හිතන්නෙ¡
      හැබැයි ළමයි ගැන හිතල වැඩ කරන ගුරැවරැත් නැතිවම නෙවෙයි¡අපි දහම් පාසලේදි පෘතුග්‍රීසි කෝට්ටේ දී කරපු ආගමික විනාශය පෙන්වන්න නියපු වෙලාවෙ ඒ් ළමයි කරල තිබුණේ උසාවියක අහන නඩුවක් නාට්‍යයක් වගේ කරපු එක¡ඒ්කෙ චරිත වුණේ පැමිණිලි පක්ෂයේ මහාචාර්‍ය්‍ය පරණවිතාන හමිදුම්මා සහ කුටිඤ්ඤෝ පියතුමා¡ විත්ති පක්ෂයේ ලසර්දා¡එක නිවාසාන්තර තරගයක් හැටියට කෙරැණු ඒකක්¡ එදා නාට්‍යම හතරක් තිබුණා කොහොම හරි කවදාකවත් නාට්‍යයක රගපෑමක් නොකළ ළමයි 70 ක් පළමුවරට නාට්‍යයක රගපාන්න සලස්වපු එක ගුරුවරු වුණු අපිට ලොක= සතුටක් ගෙනාවා

      Delete
    7. නිර්මාණාත්මක දෙයක් සාමූහිකව තරගයකට කරද්දී පිරිසක අය අතර ඇතිවෙන වෙනස හරිම පුදුමාකාරයි තමා අනුර. මතකයිනෙ තජක වැඩ සටහන්වලදී කණ්ඩායම්වලට බෙදලා තරග ස්වරූපයෙන් කෙරුණු දේවල්.

      Delete
    8. මාටත් ඔහොම උනා නෙහ්😅 චිත්‍ර වලට ගිය ඔන්න දවසක්, ඒක හරියන්නෙ නැ වගේ. ඊට පස්සෙ සංගීතයට ගියා, ගියපු දවසෙම මිස් මොකක්ද ප්‍රශ්නයක් ඇහුවා, මං දන්නවයැ ඒක 😂. ඊට පස්සෙ ආයෙ චිත්‍ර වලටම ගියා එදාට පස්සෙ.
      චිත්‍ර හැර වෙන විකල්පයක් තිබුනෙමෙ නෑ. ඔන්න 9 වසරෙ ඉදලා නාට්‍ය තිබුනා ඒක නම් ටිකක් අල්ලල ගියා😁😁😊

      Delete
  3. //කාලිංග ඔබේවංශ සර් හා ආලකමන්දා මුද්‍රා නාට්‍යය ගැනත් අද එතරම් ලොකු මතකයක් මට නැත.//
    එතකොට ආලකමන්දා නාට්‍ය පෙන්නුවේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. නෑ නෑ පෙන්නුවා. ඒ ගැන මතකේ තියෙන හරිය නං මදි නිසයි අසංග එහෙම කිව්වේ.

      Delete
  4. ම්... හිමන්‍යා බබා හරි ම අපූරු බබෙක්. තව ටික වෙලාවක් මම උන්න නම් එයාගෙ නැටුම් බලන්න තිබුණා.

    ReplyDelete
    Replies
    1. දුරබැහැර ඉදන් අල කොමසාරිස්ව බලන්න ආපු නිදි උන්නැහැට බැහැපු අල ගෝනියක් වත් දුන්නේ නැතිය?

      Delete
    2. අල? අල වගේද ගෝවා.
      ඩ්රැකී ආදිපාදතුමා ගෙනත් දුන්නු ජාති ගැන නොකියන්නේ එතුමාට තියෙන ආදරේට. නුවරඑලියට යන හැමෝටම එහෙම සලකනවාද කියලා දන්නෙ නැහැනේ. වෙන එකක් තියා උන්නැහේ අපේ හිතවතා නෙවිල්ටත් තෑග්ගක් ගෙනාවා. නෙවිලුත් ගමනට සහභාගී වුණා කියලා හිතන්නැති.

      ඩ්රැකී, ඔන්න නෙවිල්ට ඒක දුන්නා, ඊයේ හැන්දෑවේ.

      Delete
    3. ඔරිජිනල්,
      අල ගැන කතාවකුත් ගියා එදා. දැන් මෙහෙ බහින අල නිකං ඉන්නල වගේ.

      නිදි,
      නෙවිල් සහ ඔබේ රසවතුන්ට. කවුද අප්පේ දන්නෙ නිදියා පවුල් පිටිං ඇවිත් ය කියලා. මම ආවෙ නිදිගෙ යාලුවො ඇති කියල හිතලා. කොහොමවුණත් මරු කෝපි එකක් බිව්ව ඈ. ඒක හදල දීපු අක්කට ස්තූති කරන්න අමතක වුණා. ඒ මම එදා දවසෙ බීපු පළවෙනි කෝපි එක.

      Delete
    4. නෙවිල්ට නම්... සුවර් බෝතලයක් තමා..

      Delete
    5. බැල්කනි හරි ඔ්ඩීසී හරි කියල ගහල තිබ්බ බැරැන්ඩියක්.

      Delete
    6. ඩ්රැකී. නෙවිල්ට දුන්නේ මොනවද කියලා හෙළි කලේ ඔයයි ඔන්න. ඒ හාදයා කිව්වා ඒක අරගෙන තියන්න කියලා ඔයා ආපහු එන දවසකදී ගැන.

      අදත් දවසම නංගිලා එක්ක සාමීචියෙන් ගෙවන්නයි යන්නෙ. හෙට උදේට නංගී පිටත් වෙන නිසා. ඔයාගේ ස්තුතිය ගැනත් එයාට කියන්නන්.

      Delete
  5. මං කල්පනා කළේ... නිදි මේ ටික කාලෙට කොයිතරං දේවල් නං කරල තියෙනවද කියල.

    ReplyDelete
    Replies
    1. ඒකම නිසා තමයි, මුන්දැගෙ බතික් සාත්තරෙයි, තව ඔය මුද්‍රණ/සාහිත්‍ය හරහා එන අත්දැකීම් ටිකයි ලියවව්වන්නම ඕනෙ.🤔

      Delete
    2. ආ පොල් අතු විවිල්ල නං නැතත්, සූප සාත්තරෙත් වටිනවා. ඒ දවස්වල මාරයා ඕක ලෙසටම කලා. අපි සරලයි කියල හිතාගෙන ඉන්න, ඒත් අනිවාර්‍යයෙන්ම ඇනගන්නා, නිවැරදි "මිරිස් බැදිල්ල" ගැන සුපිරි පෝස්ට් එකක් ලිව්වා. අහෝ! උන්දෑ පැදුරත් අරං වාෂ්පවූ සේක.

      Delete
    3. හැබෑටම මටත් දැන් පුදුම හිතෙනවා කොච්චර අත්දැකීම් ලබන්න වාසනාව තිබිලද කියලා.

      බදුල්ලේ ගියාම අපේ සෝමා පුංචි දවස ගෙවාගන්න කරන වූල් ගෙතීම දැකලා, මට හිතුනනේ ඒක ඉගෙනගන්න බැරි වුණු බව.

      බස්සා මහත්තයෝ, මට හිතෙන්නේ ඕනිම කෙනෙක් උයන්න නං ඉගෙන ගත යුතුමයි කියලා. ඒක හරිම රසවත් අත්දැකීමක්!
      මොඅක්ද අර මිරිස් බැදිල්ලේ කතාව. නැද්ද link එක?

      Delete
    4. මොන ලින්ක්ද නිදි? දැන් උන්දැගෙ බ්ලොග් එක පෙන්නන්නෙ ආතර් සහ වටමේසෙ නයිට්වරුන්ට විතරයි කියන්නෙ.😡

      Delete
    5. කෝ... බතික් සාස්තරේ දාන්න කිව්වාට අමතක වෙලාවද්ද?

      Delete
    6. අමතක වෙලා නෑ අසංග. ඒකට ටිකක් කල් ඕනි. හරියට හොයලා බලන්න වෙනවනේ අලුතින් කෙරෙන දේවල් ගැන හෙම.

      Delete
  6. බලාන යද්දී නිදියත් නොකරපු මගුලක් නෑ නෙව...

    ReplyDelete
    Replies
    1. මටත් හිතුනේ ඒකමයි

      Delete
    2. නමී, අජිත්.
      හැම දේම ටික ටික හරි කරන්න ගිය නිසා වෙන්නැති මට එකකවත් කෙළවරටම ඉගෙන ගන්න නොලැබුණේ. ඒක තමයි හැමදේම කරන්න යනකොට තියෙන වැරැද්ද.

      Delete
    3. හ්ම් එහෙම එකක් තියෙනවා තමා.. ඒත් ඒ අත්දැකීම්, ඒ ඇසුර... හරි වටිනවා

      Delete
    4. හැමදේම කරන්න ගියාම කිසිම දෙයක් හරියටම කරන්න බැරි වෙන කේස් එකක් තියෙනවා නේද කෝමත්🤔🤔

      මං අහල තියෙනව එක දෙයක් හැමදේමයි, ගොඩක් දේවල් ගැන ටික ටික හරි දැන ගන්න ඕනි කියලා

      Delete
    5. මගේ අදහස නම් නවීන්, හැම දේම ටික ටික හරි දැනගෙන ඉන්න එක වැදගත්. හැබැයි ඒ වගේම වැදගත් තමන් දන්නෙ ටිකයි කියලා දැනගෙන ඉඳීමත්.

      Delete
    6. සහතික ඇත්ත නිදි මාමෙ😁👌

      Delete
  7. මම පහේ පන්තියේදී ගියා කොරියාව ළඟ පාසලකට. ඔයා දන්නවද දන්නේ නැහැ. ඉස්සර් බේරේ වැව ගව සීමා මලකේ පැත්තේ තිබ්බ කොරියාව. සිරිමා ගේ කාලේ සෙන්ට් මයිකල් එක ජනසතු කලාට පස්සේ ඒ පාසලට හැතැප්ම දෙකේ සීමාවට ඔය කියන කොරියාවේ ළමයි දැම්මලු. ඇති හැකි දෙමාපියෝ ළමයි වෙන ඉස්කෝල වලට දැම්මලු. ඒ දවස් වල කොරියාවයි දැන් කොරියාවයි කොහොමද ? අපට රස්සාත් දෙනවා

    ReplyDelete
    Replies
    1. මේ ඒ ලිපිය
      https://kolambagamaya.blogspot.com/2015/10/blog-post_29.html

      Delete
    2. ගොඩාරියක් ස්තුතියි අජිත්. ඒ post එකයි comments ටිකයි කියෙව්වාම 2015 blogs ගැනත් අවබෝධයක් ලැබුවැකි!

      Delete
    3. නියම ලිපියක් අජිත්. ඒක කියෙවුවට පස්සෙ තාමත් මේ රටේ ඉන්න ඒ වගේ ළමයි ගැන කණගාටුවක් ඇතිවෙනව.

      Delete
    4. ඇත්තටම ඒ සර් නැත්තම් අර පෝරිසාදයින්ගේ ගොඩටම වැටිලා නැත්තටම නැතිවෙන්න තිබුනා..

      Delete
    5. අජිත්ගෙ පෝස්ට් එක රසවත්, නමුත් කතන්දරේ දුකයි. 'ලමයින්ට තමයි හොඳම දේ' කියමින් වැඩිහිටියන් කරන්නෙ තමන්ගෙ ප්‍රශ්ණ, දුක් පීඩා, ආවේග මුදා හරින්න ලමයින්ව පාවිච්චි කරන එක. හැම ගෙදරටම punching bag එකක් දුන්නොත් සමහරවිට ලමයින්ට ගහන එක අඩුවෙයි. අවාසනාව ඒ ලමයින්ම පස්සෙ කාලෙක 'ගහපු නිසයි අපි හැදුනේ' නැත්නම් 'ඒවගේ ගුරුවරුන්ගෙ ගුටි කාපු එකත් නම්බුවක්' කියමින් ඒක සාධාරණීය කිරීම.

      Delete
    6. @ප්‍රසාන්, තාමත් එහෙම ළමයි ඉන්නව කියන එකත් ෂොක් එකක්. මේ 1975 කතාවක්. කොරියාව කියපු කොටසත් නැහැ දැන් . ඒ වල හිටි අයට ෆ්ලැට්ස් දුන්නලු.
      @කොලොම් මටත් හිතෙන දෙයක් තමා ඒක , එවුන්ගේ දෙතුන් දෙනෙක් රටම දන්නා කුඩු මුදලාලි/දේශපාලන අඥයෙකු ගේ ෆුට් සෝල්ජර්ස් ල වෙලා මැරුම් කෑව කියල මල්ලි කීව.
      @ලෝටස් - ඒක ඇත්ත

      Delete
  8. විනෝද්ගෙ කතාව හරි. ඔය වගේ තැනක බයයි කියල පෙන්නුවොත් තමයි ඇඟට ගොඩවෙන්න එන්නෙ. නැත්තං අතේ දුරින් තමයි වෙන දෙයක්.

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නං ප්‍රසන්න.
      නිවට ඇම්බැට්ටයා දකිනකොට 'කපපිය රැවුල' කියලා එළුවත් නිකට පානවය කියන්නේ.

      Delete
    2. එලුවගෙ කතාව පොඩ්ඩක් කියන්නකො නිදි මාමෙ😁

      Delete
    3. ඒකේ එච්චර ලොකු කතාවක් නෑ නවීන්. උපහැරනෙට කියන්නේ, මම දන්නා තරමට. නොන්ජල් කරණවෑමියාව දකිනකොට (එළුවානේ රැවුල තියෙන සතා; නිවටයා.)එළුවත් කියනවලු 'කපපිය මගේ රැවුල'කියලා.

      Delete
  9. අර මාතෘකාව වගේ එකක් ගහමු කියලා මගේ කොන්ත්‍රාත් කරු මට යෝජනා කළා, මගෙ ගේ හදන දවස්වල ගේ ඉස්සරහ. “ප*ද බලන්නෙ?“ කියලා.

    ReplyDelete
    Replies
    1. යෝජනාව ක්‍රියාත්මක කරව්වේ නැද්ද ඩ්රැකී?

      Delete
  10. හොඳ හොඳ සෙල්ලම් එලිවෙන යාමෙට කිවුවලු . ඉස්සරහට රාජ් කපුර්, ලතා මංගේෂ්කාර් එහෙමත් සීන් එකට එන්ටර් වෙයිද දන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. චමී, ඔයා හරි. රාජ් කපූර්- ලතා තරම් ලෝක ප්‍රසිද්ධ නැතත් ලංකාවේ ප්‍රසිද්ධ නිළියෙක්ව සබේට ගෙන්නවන්න තියෙනවා!

      Delete
    2. චමී, දැනට ඉයන්න ඇහැකි මෙච්චරයි, කලා පව්ලක කෙනෙක්, අහෝදරියන් දෙන්නෙක්ම නිළියෝ.

      Delete
  11. නීටා තමා කරන දේට උපරිම කැපවෙන කෙනෙක්. ඇය පීනන්න ඉගෙන ගත්තේ පාංශු චිත්‍රපටයේ බබානෝනාගෙ චරිත්ය වෙනුවෙන් කියලා අහලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඒ වගේමයි චමී, නීටාගේ දක්ෂකම. මතකද පවුරු වළලු?

      Delete
  12. නිමල් ඇත්තටම Jack of all trades නේද. Master of some හැබැයි.

    ReplyDelete
    Replies
    1. නැහැනේ Lotus, කාර්මික- යන්ත්‍ර-සූත්‍ර දේවල් ගැන සාමාන්‍ය දැනිමවත් නෑනේ මට. යාන වාහන ව්ර්ගවත් මං අඳුරන්නේ නෑ කිවම විශ්වාසද?

      Delete
  13. හැමදා වගේම අමතක නොවන සටහනක්!

    ReplyDelete
    Replies
    1. තට්ටයා මහත්තයෝ, ස්තුතියි.
      6 වෙනිදා නුවරඑළියේ හිට එනකොට හක්බෙල්ලාවක හරියේදී පාර දෙපැත්ත බලමින් ආවේ ඔයාලගේ කඳවුරු බිම මතක් වෙච්චි නිසා. බෝඩ් එක දැක්ක නං නිකමට හරි ගොඩ වැදෙන්න බලාගෙන. කිරා වැටෙමින් ආව නිසාද මන්දා බෝඩ් එක දැක්කේ නෑ!

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්