අකුරු මැකී නෑ

Sunday, June 12, 2022

සුප්පා දේවිගේ බඩේ මයිල් - හයවෙනි කොටස

අපි බලමුකො උඹේ වැඩත් කට වගේද කියලා....

“රංජි අයියා, වැඩේට හරි යන තැනක් තියෙනවා.... මම අහලා බලන්නං....” අපේ පිහිටට ඉදිරිපත් වුණු පොඩි මිනිහා අන්දොස් කිව්වේය.

“කොහෙද? තූත්තුකුඩියෙද....” ප්‍රශ්නය මතු වුණේ නිකම්මත් නොවේ. හිටි ගමන්ම; කිසිම හේතුවක් නැතිවත් ගජබින්න ඇද බාන පුරුද්දක් අන්දොස්ට තිබුණු නිසාය; ඒ. මේ යක්ෂ අන්දොස් පැටියා අනීවාරතේ එහෙම දේවල් කරලා- නෝන්ඩිවී; කිචවී පෙර වැරදි සහිත කෙනෙකුව හිටි හින්දාය.
“රංජි අයියේ, ඔයාටයි ගුණපාල මාමටයි මං මෙච්චර කාලෙකට බොරුවක් කියල තියෙනවද... මට එකම එක දවසක් දෙන්න. ඔයාලට හරි යන තැනක් පමුණුවෙන්ම හොයල දුන්නෙ නැත්තං මට ජුඃ ජුඃ කියල කතා කරන්න.” අන්දොස් හැඬුම්බරව වුවද කිව්වේ, විරුද්ධකාරයන් නිරුත්තර කරන තරමේ දැඩි ස්වරයකිනි.

“අපි බලමුකො උඹේ වැඩත් කට වගේද කියලා.... යකෝ, අපිත් මේ පමුණුවේම ඉපදිච්චි එවුන්. උඹල මේ කොහෙද ඉඳන් ඊයේ- පෙරේදා මෙහාට කඩා පාත් වෙච්චි එවුවොනෙ බං.... මෙහෙ කොහෙද අන්දොස් අපි නොදන්න තැන්? කාගෙ ගෙදරද උඹ ඔය කියන්නේ... කියපං බලන්න.” පරම්පරා ගණනාවක් තිස්සේ පමුණුවේ පදිංචිව හිටි කෙනෙක් කොක්කටම කතා කළේය.

“හරි, හරි. අපි xxxටත් චාන්ස් එකක් දීලා බලමුකෝ. නේද තාත්තේ.” මම අන්දොස් වෙනුවෙන් ඉදිරිපත් වුණෙමි. අපේ තාත්තාත් ඔළුව වැනුවේය.

දවසක් ගත වෙන්නටත් කලින්, අන්දොස් ඉහළින්ම score කරමින් වැඩ පෙන්නා සිටියේය.
“වීරේ අයියා* කැමති වුණා රංජි අයියේ.... ඒ විතරක් නෙවෙයි, ගුණපාල මාමේ.... එන කට්ටියටම රෑට කෑමත් හදවලා දෙන්නං කිව්වා. වීරෙ අයියා හොඳට දන්නවයි කිව්වා රංජි අයියා ගැනත්...” අන්දොස් කිව්වේය. “මහ දුරකත් නෙවෙයි... සියෙස්ටා** එකට මෙහායින් වත්ත ඇතුළේ වීරෙ අයියලා ගෙදර තියෙන්නේ. අලුත්ම ගේ. වීරෙ අයියා රට ගිහින් ඇවිත් හදපු ගේ...”

මොන එහෙකටද දැන් ඔයා නාට්‍යයේ වැඩවලට ඔච්චරම නැහෙන්නේ... රූප් නන්දාත් සුප්පා දේවිට ඉන්න එකේ...

(* මගේ මතකය නිවැරදියි නං, පසු කාලයක- පමුණුව පාරේ පදිංචිකරුවන් අතරින් පළමුවෙනි පුද්ගලික බස් රථ අයිතිකරුවා වුණේත් මේ වීරෙ අයියායි.

** පොල්කෙඳි මිශ්‍රිත රබර් මෙට්ට නිෂ්පාදන ෆැක්ටරියක් වුණු ‘සියෙස්ටා’ කම්හල ඒ දවස්වල පමුණුවට ආභරණයක් විණි.)

අන්දොස් තරයේම මට කියා හිටියේ, ඉක්මනින්ම වීරෙ අයියා හමුවීමට යමු කියලාය. “දැන් මාව කිච කරන්න ඕනිකමටම xxx ගිහිල්ලා වීරෙ අයියට උගන්නයි ගේ දෙන්න බෑ කියන්න කියලත්. ඒකයි ඉක්මනටම ඒ මනුස්සයව හම්බ වෙලා වචනෙ ගන්න ඕනි.” අන්දොස් රහසෙන් කිව්වේය.
“වීරෙ අයියා ඔයා පොඩි කාලෙ හිටම දන්නවලු. රංජි අයියත් එක්ක ගිහින් ආවාම පෙනෙයිනෙ, ගුණපාල මාමේ... මේ යක්කුන්ට මාවනේ විශ්වාස නැත්තේ...”

“ඔව්, ඔව්. කොයිකටත් රංජි උඹ ගිහින් ඒ මනුස්සයාගෙන් වචනේ අරං වරෙන්කො. ඒක වැඩියත් හොඳයිනෙ.” අපේ තාත්තාත් කිව්වේය.

“රංජී මල්ලී, මොන එහෙකටද දැන් ඔයා නාට්‍යයේ වැඩවලට ඔච්චරම නැහෙන්නේ... රූප් නන්දාත් සුප්පා දේවිට ඉන්න එකේ...” අන්දොස් එක්කලා වීරෙ අයියාව හමුවීමට ගිහින් ආවට පස්සේ, සංජේ මට කණු-කුණු ගාන්නට වුණේය. “දැන් ඔය ගමන් ඇති නේද?”
“මේ සංජේ, අපි අතරේ මොන දේ වුණත්... මොන විදිහේ සම්බන්ධයක් තිබ්බත් මං ආස නෑ ඔයා මට ඔහොම නීති දාන්න හදනවට නං.”

“එතකොට ඔයා කියන්නේ, ඔයා කරන ඕනිම දෙයක් දිහා නිකම්ම බලාගෙන ඉන්න කියලද?” සංජේ ඇහුවේය.
“නෑ මහත්තයෝ, මට තේරෙනවා ප්‍රශ්නේ....
හරි! ඔයා මට ඇත්තම කියනවද සංජේ- මම ප්‍රශ්නයක් අහන්න.” හිතේ කැවෙමින් තිබුණු කටුවක් එළියට අදිමින් මං කිව්වා මතකය. සංජේ එක එල්ලේම මගේ දිහා බැලුවේය. “අහන්න ඉතිං.”

දැන් නං මේ යක්කු ඔක්කොමලව මට පෙන්නන්න බැරිව ගිහින් තියෙන්නේ...

“ඔන්න එහෙනම් අ..හ..න..වා. ඇත්තම කියන්නෝනි, හැ..බැ..යි තරහ වෙන්නත් බෑෑෑෑෑ...”
“ඔච්චර ආලවට්ටං නැතුවට කමක් නෑ... අහනවකො බලන්න.” සංජේ කිව්වේ බුකවාගෙනයි.

“ඇත්තටම ඔයාට අන්දොස්ව එච්චර දිරවන්නෙ නෑ නේද?” මම ඇසුවෙමි. සංජේ බිම බලා ගත්තේය. හුස්මක් ගත්තේය. “අන්දොස් විතරක් නෙවෙයි, දැන් නං මේ යක්කු ඔක්කොමලව මට පෙන්නන්න බැරිව ගිහින් තියෙන්නේ...” ඔහු කිව්වේය.
“එයාලා ඔයාට මොන වරදක් කළාටද ඒ?”
“මට මොකවත් කළාට නෙවෙයි හලෝ... උන් තමුසෙට කරන දේවලටයි මට යකා නඟින්නේ.... මම ඔයාට හොඳින් කිව්වනේ, උනුත් එක්ක ආස්සරේ නවත්තන්නයි කියල...” සංජේ කිව්වේ තරහෙනුත්- දුකකිනුත් දැවෙන අතරේ වගෙය.

“අන්න සංජේ ඔයාට හොඳටම වැරදිලා... ඉස්සෙල්ලාම, ඔයා අන්දොස් ගැන එහෙම නරකක් හිතන එක පව්. මට ටික ටික එහෙම හිතුණා ඔයා අන්දොස් දිහාව බලන විදිහෙන්... එයා කොච්චර අහිංසකයෙක්ද කියලා බලන්නකෝ. අනෙක් එක... ඔයා මට කිව්වට පස්සේ..... කි..ව්..ව..ට ප..ස්..සේ, මම පුළුවන් තරං....”

“බොරු විතරක් කියන්න එපා! ඔයාගෙ පරණ යාළුවො එක්කලා දාන සිරික්කියෙ නං කිසි අඩුවක් වෙලා නැහැනෙ තවමත්. පුළුවන් තරං... පුළුවන් තරං තමයි!” කෙළින්ම මගේ දිහා බලමින් සංජේ ගෙරෙව්වේය.
“ඔයාට කැමති විදිහක් හිතා ගන්න.... කාටද පුළුවන් දවසම බුම්මගෙන ඉන්න. අනෙක මං කරන හැම දේම පත්තරේ දදා කරන්නෑ.” මං කිව්වේ ඇත්තය.
සංජේගෙ ඉල්ලීම අනුව, ඒ දවස්වල හැකිතාක් ‘සිල්වත්ව හිටින්නට’ වෑයම් කරමිනි මා හිටියේ. එහෙමත් කරද්දී ඒ යස්ස පැටියාට මාව විශ්වාස කරන්නට බැරි ඇයි?

ඒ දවස්වල මං කොයි තරම් බොළඳයිද.... මෝඩයිද... අපරිණතයිද....?

කොතරම් ලජ්ජාවෙන් වුණත් ඒ ඔලමොට්ටලකම්වල විස්තර ඔබ සැමටත් නොකියා හිටින්නට බැරිය. මගේ ඒ අත්දැකීම් සියල්ලම හිතාදර ඔබට නොවලහා හෙළි කරමිනි, මෙසේ ලියන්නේ.
ජීවිතය කියන්නේ හැමදේම එකතුවකි; හොඳ-නරක, සැප-දුක, සුදු-කළු සියල්ලේම සම්මිශ්‍රණයකි. අනෙකුන්ට කෙසේ වෙතත් මට නම් එහෙමය!

ඒ සඳහා මට ගුරූපදේශසැපයුවේ පොත්ය! නිකම්ම නිකම් පොත් නොවේ. ආදර නවකතාය!! එයිනුත් මට වඩාත්ම බලපෑවේ කුමාර කරුණාරත්නත්...

“හිටි ගමන් මොකද රංජි මල්ලී ගණන් උස්සන්නේ?”
“රංජිට දැන් අපිව පෙනෙන්නේ කළුවටද?”
“අරූ තහනං කෙරුවද අපිට දෙන්න එපා කියලා....” වගේ එක-එක විදිහේ ප්‍රශ්න කෙළින්ම මට යොමු වෙමින් තිබුණේ ඒ දිනවලය. ඒ ප්‍රශ්න ඇසූ වැඩි දෙනෙක් ඔවුන් සංජේ හා කේන්තියකින් සිටින බවත් මට වසං නොකළහ.

ඔවුන්ගේත් සංජේගේත් හැසිරීම්, චර්යාවන්; කායික අවශ්‍යතාවන් ඇසුරෙන් ‘ආදරය’ තේරුම් ගැනීමට තැත් කරමිනි මං හිටියේ. ඒ දවස්වල, ඒ සඳහා මට ‘ගුරූපදේශ’ සැපයුවේ පොත්ය! නිකම්ම නිකම් පොත් නොවේ. ආදර නවකතාය!! එයිනුත් මට වඩාත්ම බලපෑවේ කුමාර කරුණාරත්නත්, එඩ්වඩ් මල්ලවාරච්චිත්ය.

කුමාර කරුණාරත්නගේ ‘ආදර රත්නේ’ මට විතරක් නොව, ශ්‍රී ලංකේය ගැටවර- ගැටවරියන්ටම බලපා ඇතැයි මට වැටහෙන්නේ දැන්ය; මේ ලිපිය ලියන්නට කරුණු එකතු කරද්දීය.

ලිපි-ලේඛනවලින් කියවෙන විදිහට ‘නවකතාවක ප්‍රථම මුද්‍රණයේ පිටපත් දෙදාහක්ම දවස් එකොළහක් තුළ අලෙවි වූ වාර්තාවට තවමත් හිමිකම් කියන්නේ කුමාර කරුණාරත්න නවකතාකරුවාය’.

‘... එවකට පුවත්පත් සඳහා කොටස් වශයෙන් නවකතා ලියමින් සිටි කුමාර කරුණාරත්න නමැති තරුණ ලේඛකයාට නවකතා පොතක් ලියා දෙන්නැයි ප්‍රකට පොත් සමාගමකින් ආරාධනයක් ලැබෙනවා. ඒ අනුව ඔහු ආදර රත්නේනමින් නවකතාවක් ලියා ඔවුන්ට බාර දුන්නේ දින හත අටක් ඇතුළතයි....’ 

‘ආදර රත්නේ’ පුස්තකය 1980දී කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරා සිනමාකරුවා සිංහල රිදී තිරයටත් ගෙනාවේය.  සුචරිතවත්; තැන්පත් පෙම්වතා ලෙසින් උපාලි අත්තනායකත්, සෙල්ලක්කාර- චපල පෙම්වතෙකු ලෙස රෝයි ද සිල්වාත් ඒ චිත්‍රපටයේ රඟපෑහ.
ඒ පෙම්වතුන් දෙදෙනා අතර දෝලනයවී, අතරමං වන්නී ලෙසින් රඟපෑවේ සෝනියා දිසා නිළියයි.

ඒ පරමාදර්ශ පිළිගත්තත්, ඒවා අනුව පවතින්නට වෙර දැරුවත්....

‘පේනව නේද? මෝඩ විදිහට ආසාවල් පස්සේ දිව්වොත් වෙන දේ?’ ආදර රත්නේ පොත මගෙන් ඇහුවේය. මට බණ කිව්වේය. අනෙක් යොවුන් නවකතා වුණත් එහෙමය. චිත්‍රපට වුණත් එහෙමය. ඒ හැම නිර්මාණයකින්ම පාහේ උත්කර්ෂයට නැංවුණේ චරිතවත් වීමයි; ආශාවන්ට වහල් වීමෙන් සැපතක් අත් නොවෙන බවයි!

ඒ පරමාදර්ශ පිළිගත්තත්, ඒවා අනුව පවතින්නට වෙර දැරුවත් අශික්ෂිත මා 50%ක්වත් සාර්ථක වුණේ නැත. ඌරෙකුගෙන් ගජමුතු පැතුවාට වැඩක් වෙනවාද? හැම හරකා ළඟම ගෝරෝචන කෙහෙන්ද? අමිහිරි ඇත්ත; කැත ඇත්ත මේකය:
‘මීට පස්සේ නං හොඳට ඉන්නවා’යි වරදක බැඳුණු වහාම අදිටන් කර ගත්තත්, ඒ අදිටනේ තරයේම එල්ලී හිටින්නට තරමේ ශක්තියක් නොතිබුණු නසරානියෙක් වීමි; මම.

නමුත් මා වඩාත් ගරු කළේ; සෙනෙහසින් බැඳී සිටියේ; තරමකටවත් සවන් දුන්නේ සංජේට පමණි.
මගේ ආදර රත්නේ වූයේ සංජේය.

පසුගිය කොටසේදී සිසිර කුමාර මාණික්කආරච්චි මහතා ගැන කියද්දී නොකියා ඉතිරි කරගත් කරුණක් දැන් සටහන් කළ යුතුය. අදටත් මා ඉතා ප්‍රිය කරන; සකල ලංකාවාසීන්ම ප්‍රිය කරතියි මට සිතෙන ගීතයක පද රචකයාත් ඒ සිසිර මහතාය. ඒ.ජේ. කරීම් ගයන මේ ගීතය කොතරම් අරුත්බර රචනයක්දැයි කලා රසිකයන්ගේ මතකයෙන් බැහැර නොවෙනවා නිසැකය.

එච්චර රසවත්; හරවත් ගී පද රචනාවක් ශ්‍රවණය කළ විගස- මෙවැනි නිර්මාණාත්මක ගුණයෙන් හීන පද රචනාවක් මෙතනට ඔබන්නට වීම ගැන, ඔබ මට සමාව දිය යුතුය. මේ අපේ සිංහබාහු නාට්‍යයට ‘කලා විකාරද’ නිමල් දිසානායක ශූරීන් රචනා කළ එක ගීතයකි.

අපේ ලොවට රස මුසු වෙනවා....(ලෝකාන්තයෙදී)

   'සිහිල් සුළං රැලි - දසත හමා යයි
   සඳෙහි කැලුම් රැස් පහස මැදින්
   අපේ අනාගත - සොඳුරු ජීවයට
   ගලාවි ආසිරි සුවඳ සඳුන්//

   සරාගි හදවත් අප දෙදෙනාගේ
   සඳ- හිරු ඇති තුරු - පවතිනවා
   තුරු හිස් මුඳුනේ - සඳ රැස් වැටිලා
   අපේ ලොවට රස මුසු වෙනවා//'

ඒ ගීතයට හඬ මුසු කළේ නුවන් ගුණවර්ධන අයියාත්, මල්ලිකා ජයකොඩි අක්කාත්ය. ඒ සිංහයා සහ සුප්පා දේවිය වෙනුවෙන් ගීතවත් වෙමිනි.

යළිත් කියන්නෙමි. මම ‘ගස් නැති රටකට ගසක් වුණු’ තුත්තිරි ගසක් වීමි. ඒ බව දැන හෝ නොදැන හෝ සේ ටීචර් ඇතුළු අපේ නාට්‍ය හිතවහත්තු හා හිතවතියෝ ‘මේ මී හරකා’ව උඩ දැමුවෝය. ඒ බව තවත් සනාථ කරන්නටය, මගේ දෙවෙනි ගීත රචනාවත් මෙතනට යොදන්නේ.

   ‘කුරුලු කොබෙයි ගී නාදෙ නැඟෙනවා
   ඇසුණද පොඩි නැඟනි

   දඟ සමනලයන් පියා සලනවා
   දුටුවද අයියණ්ඩි

   අපේ පියා රජු - මේ වනයේ
   අණසක පතුරයි රජ දහනේ....’

මගේ දැනීම අනුව නම් මේ ගී රචනාවල කිසිම ගත යුත්තක් නැත. ඒවා එකල වෙසක් - පොසොන් නාට්‍යවලට නම් ගැලපුණා විය යුතුය. මගේ දෙබස් රචනය වුණත් එහෙමය. ලොකුම පුදුමය වුණේ අපෙන් එකෙකුටවත් ඒ විත්තිය නොතේරීමයි.

අන්ධයන්ගේ රටකදී කණෙකුට වුණත් ලේසියෙන්ම රජ වෙන්නට පුළුවනිලු නෙව!

“ඔන්න රංජි මල්ලී, මුළු ගෙදරම ඔයාලගෙයි කියලා හිතා ගන්න. මම අපේ ගෙදර කට්ටියවම wifeලගෙ ගෙදරට  යැව්වා. මගෙන් තව මොනවා හරි ඕනි නං අන්දොස් මල්ලිට කියන්න විතරයි තියෙන්නේ... xxx දන්නව අපේ වයිෆ්ලගේ ගෙදරත්... අඩි දහයයි දුර... අර පේන්නේ. අන්දොස් මල්ලියේ,  මොකුත් ඔන්නං ඒ අඩි දහය ඇවිත් මට කියපං... මම පට ගාලා එනවා....” කියමිනි වීරෙ අයියා අපට ගෙය භාර දුන්නේ.

පිරිස එකතුවී ඒ අඩුම-කුඩුම වරින්-වර කල-එළියට වැඩම්මුවේත් බොහෝම.....

අප එහාට යන්නටත් කලින්ම, වීරෙ අයියා අපේ මුළු නඩයටම සෑහෙන්නට රාත්‍රී කෑම සූදානම් කරවා- තේ හදා ගන්නට අවශ්‍ය සියලුම දේ පිළියෙළ කරවා- අවසන්කොට තිබිණි.

“රංජි මල්ලිලාගේ කට්ටියෙන් කෙනෙකුටම තේ හදා ගන්න වෙලාව නැත්තන් කියල එවන්න. අපේ wifeල කැමැත්තෙන්ම ඇවිත් වැඩේ කරලා දෙයි. ඔයාලට disturb වෙයි කියලයි මං එයාලව අම්මලාගේ ගෙදර යැව්වේ.” (වීරෙ අයියේ, කලාවට කිසිම සම්බන්ධකමක් නැති කෙනෙකුව සිටියදීත්, එදා ඔයා අපට කළ උදව්! අමිලය- ඒ ගැන අද යළිත් ඔබට තුති පුදමි!)

සංගීත භාණ්ඩ හැරුණුකොට අප වීරෙ අයියලාගේ ගෙදරට අරං ගියේ කුඩා කාඩ්බෝඩ් පෙට්ටි දෙක තුනක් විතරය.
එව්වායේ තිබ්බෙත් මට එතරම් ගෝචර දේවල් නොවේ. රංජිත් ගුණසේකර, සරත් රංචාගොඩ, බන්දුල ජයකොඩි ඇතුළු පිරිස එකතුවී ඒ අඩුම-කුඩුම වරින්-වර කල-එළියට වැඩම්මුවේත් බොහෝම රහසෙන් වගෙය.

ඒවා පාවිච්චි කළ උදවියත් එහෙම කළේ එළිපිටම නොවේ. ඊට අදාළ කාමරයේ සිට පමණකි. ‘ඔච්චර හංගන්නේ මොන එහෙකටද?’යි අහනවා වගේ සුළඟක් ඒ කාමරයේ සිට සැරෙන්-සැරේ හමා එමින් අපට රහසක් හෙළි කළේය. විටෙක ඒ සුළඟ ත්‍රෛලෝක විජයපත්‍ර දුමෙන් ගන්ධවත්ව තිබිණි. විටෙක එතිල් ඇල්කොහොල් සුවඳින් බරවී තිබිණි.
“ඔය දෙකෙන්ම කිසි ගාණක් නැතිව නිඳි මරන්න ඇහැක් වෙනවා.” ඇස්දෙකම රත් පැහැ ගන්වාගෙන සිටි සංගීතකාරයෙකු, ඒ නිෂ්පාදන ගැන සහතිකයකුත් නිකුත් කළේ ඒ අතරේය.

“ගුණපාල අයියා. ඔන්න ඔය කාමරේ දොර වහලා යතුර දා ගන්න සාක්කුවේ. නැත්තං මේ මහත්තයාගෙන් වැඩ ගන්න බැරිව යයි...” සරත් ජයරත්න අයියා හීන් සීරුවේ බුලත් විටක් ඒදන අතර, අර ශිල්පියා පෙන්වමින් අපේ තාත්තාට කිව්වේය.

පටිගත කිරීම් පටන් ගන්නට තීන්දු කරගෙන තිබ්බේ රෑ එකොළහෙන් පස්සෙය.

“එතකොට නං මේ පැත්තෙන් යන වාහන නැතිම තරම්.” වීරෙ අයියා සහතික කර තිබිණි.
“මොක්කු යන්නද පතිරගොඩට, යක්කු ගස් නඟින වෙලාවේ. හොර හරකෙක් දක්කන් යන එකෙක් මිස.... ඒ යන්නෙත් වෙල දිගේ නෙව.”

අනේ මචං... එතන out ගියානේ.... මහන්සි නොබලා ආයේ take එකක් ගනිමු!

ඒ සේරම ඇත්තය.

ඒ දවස්වල පතිරගොඩ, පමුණුව දෙකමත් හරක් හොරකම්වලට ප්‍රසිද්ධය; ඇරැව්වලත් එහෙමය. ඊට අමතරව කසිප්පු ජාවාරම්කරුවනුත් ඔය පැති තුනේම ජය කේළි බැඳගෙන හිටි බව ප්‍රසිද්ධ රහසක්ව පැවතිණි.
මහරගම හන්දියේම හොර අරක්කු ජාවාරම පවත්වාගෙන ගිය යකඩ ගැහැනියක ගැනත් මට තවම මතකය. ඇය කුප්‍රසිද්ධව සිටියේ අරක්කු xxxx නමින්ය. ඔබට xxxx නම සොයාගත යුතු නම් ශ්‍රී ලාංකේය රැජිනකගේ ‘අකුරු හතරක නම’ එතනට ආදේශ කරගත හැකිය.
ඇයගේ ජය භූමියේය දැන් මහරගම පරණ පාරේ Rich Look සාප්පුව තිබෙන්නේ.

ඉතිං, පමුණුව හංදියෙන් වමට හැරී පතිරගොඩට යන පාරේ රෑ ජාමෙ වාහනයක් ගියේ කලාතුරකින් වීම නිසා අපේ recording වැඩේ කර ගැනීම ලේසි වුණේය. බාධාවක් වුණා නම් වුණේ සංගීත වාදකයෙකුගෙන් වරදක් සිදු වුණු විටෙක පමණි.

‘අනේ මචං... එතන out ගියානේ.... මහන්සි නොබලා ආයේ take එකක් ගනිමු නේද....’ කියලා අනෙත් ශිල්පීන්ගේ සිත නොරිද්දමින් කියමිනි, එහෙම වෙලාවට සරත් ජයරත්න අයියා කටයුතු කළේ.

“ඔන්න රංජි ඔයාටත් හොඳක් වෙන කල්පනාවක් මගේ හිතට ඇවිත් තියෙන්නේ... මෙච්චර දවසක් ඒ ගැන කියන්න ඉඩක්නේ හම්බ වුණේ නැත්තේ....” ගීත පටිගත කෙරෙන අතරේ, වීරෙ අයියලාගේ ගෙදරින් පිටතදී නිදහස් කතාබහකට මාව අල්ලා ගත් සංජේ කිව්වේය.

සංගීතය පටිගත කිරීම මුළු රාත්‍රිය පුරාම කරන්නට වෙන විදිහකි පෙනුණේ. මුලදි- මුලදී අපි හැමෝම ඇස්වලින් විතරක් නොව, කටවල්වලිනුත් ඒ රාජකාරිය නරඹන්නට පේවී උන්නෙමු. අපට ගෙතුළදී කතාබහ කිරීම හෝ ශබ්ද නැඟීම හෝ නොකරන්නැයි තරයේ කියා තිබිණි. ඒ නිසාම වැඩි වෙලාවක් හිටි පියේම හිඳ; නිසොල්මන්ව පටිගත කිරීම් බලාගෙන හිටිල්ල ඉක්මනින්ම අපට එපා වී තිබිණි. සමහරු නින්දට වැටුණෝහ. සමහරු තැනින්- තැන කතාවෙන් කල් මරන්නට වූහ. එයිනි, සංජේ ප්‍රයෝජන ගත්තේ.

“කතාව දිග එකක්ද, කොට එකක්ද සංජේ?”
“ඇයි, දැන් රංජි දිග කතන්දර අහන්නෙ නැද්ද.”

“කවුද එහෙම කිව්වේ.... අර- අතන බන්දුලලා සරත්ලා කතා කර-කර ඉන්නවට වැඩිය අපේ දිහා බල- බලා ඉන්නේ. එයාලා හිතයි අපට මොනවද දිගට- දිගට කතා කරන්න තියෙන්නේ කියලා.” සංජේ කෙරෙහි ඔවුන් තුළ ඇති විරෝධය නොකියවනසේ පරෙස්සමින් වචන තෝරා ගනිමින්, මං කිව්වා විතරය.

“සරත්ගේ හැටිත් මට තේරිලයි තියෙන්නේ. පඩයා!” සංජේට කියැවුණේ තරහෙනි.
“ඔයාට පිස්සුද? රංචාගොඩ ඔයාගේ යාළුවා නේද?”
“මට උන්ගෙන් ඇති වැඩක් නෑ. ඔයා උන්ට බයයි නං අපි කතාව නවත්තමු රංජි.”

එහෙනම් මට ලැබී තිබුණු ආරංචිය ඇත්තකි! සංජේ දැනටමත් අපේ ගොඩ දෙනෙකු අමනාප කරගෙන අවසන්ය. ඉතිං....

38 comments:

  1. අප්පට හුඩු සියෙස්ටා. ඔය අනිත් නරි-වාදං නැති ඒ යුගේ, සුපිරි භාණ්ඩයක් තමයි ඕක.

    පරම්පරාගත නිකං කොහු මෙට්ටෙ, ටික කාළයක් යනකොට ඇඳේ පොලු අස්සෙන් ගිලා බහිනවා. හප්පා එතකොට දැනෙන සනීපයක්? රේල්පාරෙ සිල්පර කොටන් උඩ නිදියනවා වගේ. ඒත් අපිට යස අගේට නින්ද ගියා, අපෙ හාංදුරුවනේ.

    දැන් හිතෙන්නෙ, ඇඳ පොලු උඩින් දාන්න තරම් හයිය/විසාල කාඩ්බෝඩ් ඒකාලෙ තිබ්බෙ නෑ වෙන්ටෑ?🤔

    ReplyDelete
    Replies
    1. මට මතක හැටියට බස්සා මහත්තයෝ, සියෙස්ටා තමා පළමු පොල් කෙඳි මිශ්‍රිත රබර් ගුදිරිය.
      ඒ කාලෙ කාඩ්බෝඩ් පෙට්ටියක් කියන්නෙත් හෙණ වටිනා දෙයක්නේ!

      Delete
  2. ඔය බොළඳ, මෝඩ, අපරිණත වෙන එක හැම එකාටම යම් කාලෙකදි වෙන එකක් කියලයි මටනං හිතෙන්නෙ.

    සියෙස්ටා කියන්නෙනං ඒ කාලෙ තිබ්බ නො. 01 බ්‍රෑන්ඩ් එකක්නෙ.

    ReplyDelete
    Replies
    1. එක යුගයකදී හරි අපි මෝඩ වෙනවා කියලා අපට මතක හිටින්නේ නැහැනේ ප්‍රසන්න මහත්තයෝ... එහෙම මතකයි නං අපේ රට වුණත් මීට වඩා යහපත් වෙන්න තිබුණා නේද?

      Delete
  3. රැජිණ මේ වෙන්නැති . https://en.wikipedia.org/wiki/Lilavati_of_Polonnaruwa. හැබැයි ඔයවගේ නම් අපේ අය අකුරු දෙකට කොට කරනවානේ .

    ReplyDelete
    Replies
    1. මටත් හිතුනා ඒ නම වෙන්න ඇති කියලා😁

      Delete
    2. චමී, ඔයාලා රහසක්වත් රැක ගන්න දෙන්නේ නැහැනේ....
      නවීන් කාලෙකින්!

      Delete
  4. බොරුකියන නමුත් ඉතා හොද ගතිගුණ ඇති මිනිස්සු මටනම් හම්බෙලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. චමී, බොරු කියන අය වුණත් හැමෝටම බොරු කියන්නේ නැහැ. සමහරුන්ට අවන්කවම ඇත්ත කියනවා- හිතට ඇල්ලුවොත්. හොරු වුණත් එහෙමයි. අන්තිම පාදඩයන් වගේ පෙනෙන ගොඩක් අය ළඟත් හරිම වටිනා ගතිගුණ තියෙනවා. එහෙම අයව හඳුනා ගැනීමේ තමයි අඩුවක් තියෙන්නේ....
      දැන් රටටම එපා වෙලා තියෙන දෙස්පාලුවෙක් ගැන, (මාතර කෙනෙක් අවුරුදු 15-20 විතර ඉස්සෙල්ලා මට කියපු දෙයක් මතක් වෙනවා, චමී මෙතනදී.
      "xxxx මහත්තයාගෙන් එක බැනුමක් අහගත්තා නං ගොඩ තමයි නිමල් අයියේ. පස්සේ ඒ මහත්තයාම මට එන්න කියලා ලක්ෂ ගණනක ප්‍රින්ටින් වැඩක් දෙනවා! ඒක තමයි එයාගේ හැටි. මිනිස්සුන්ව හොඳට මතකයි."

      Delete
    2. Chaminda DissanayakeJune 14, 2022 at 1:44 AM

      එකඟයි

      Delete
  5. නිමල්ට පුලුවන්ද මහරගම ස්කෙච් එකක් කරන්න ඒකාලෙ තිබුන විදිහට? ලස්සනට අඳින්න ඕනෙනෑ. මිනින්දෝරු ප්ලෑන් එකක් වගේ පාරවල් හා ඉඩම් ඒකාලෙ තිබුන ස්ථානවල නම් සමග

    ReplyDelete
    Replies
    1. Pra Jay, ඒ පැවරුම නං සිත් ගන්නා එකක්! කාට හරි වැඩක් වෙයිනෙ!
      අසංග මහත්තයෝ, අපටම ලෙඩ වැටෙනකොට උඩගෙඩි දෙන්නෙ මොකුත් ලියන්නෙ නැතෙයි?

      Delete
    2. //අපටම ලෙඩ වැටෙනකොට උඩගෙඩි දෙන්නෙ මොකුත් ලියන්නෙ නැතෙයි?//

      නැතුව, නැතුව? අර ඩැයිවර්ලා වංගුව කෙලින් කරන්, වෙල හාන්න යන නාන ලිඳ එහෙමත් දාන්න,ඈ?

      Delete
    3. අප්පද බොල, එතකොට ඇරැව්වල- පන්නිපිටිය හෙමත් සිතියමට ගන්න වෙනවනේ!

      Delete
  6. හුග කාලෙකින් ආවෙ නිදි මාමෙ, මුල එකක්වත් කියෙව්වෙ නැතුව මැදින් පැනල කියෙව්වෙ. වැඩියෙ තේරුනේ නෑ. ඉතින්.

    ReplyDelete
    Replies
    1. නවීන්, මූදේ කොතනකින් බින්දුවක් අරං දිව ගෑවත් ලුණු රස දැනෙනවා තමයි. හැබැයි සංකීර්ණ කතාවකට ඒ තියරිය වලංගු නෑ නේද?

      Delete
    2. ලුණු වලත් කොච්චර වෙනස් ප්‍රභේද තියෙනවාද?
      ඔක්කොම ගැන අපිට අදහසක් ගන්නත් බෑ නෙහ්.

      මැද්දෙන් ආවොත් ඉතින් ගොඩක් දේවල් තේරෙන්නෙ නෑ නෙහ්

      ඒ තියා පිල්ලම්, විරාම ලක්ශන වෙනස් උනාමත් තේරුම් ගන්න බැරි වෙනවා නෙහ්

      Delete
    3. https://naveensandeepakumara.blogspot.com/2022/06/system-change.html

      මේ පැත්තෙත් ඇවිත් යන්ටෝ🤗

      Delete
    4. ගිහින් ආව නවීන්. comment එකකුත් කොටලා. උණුසුම් සුබ පැතුම්, blog ලෝකයට සාදරයෙන් පිලිගන්නවා!

      Delete
    5. ආදරෙයි පැලෙන්නම😁❤🤗

      Delete
  7. තවුද කියන්නේ නිදි ලොක්කාගේ ගීත පදරචනා හරි නෑ කියලා.... දැන් ගීත ලියන උන්දෑලාගේ පදරචනා මිටත් වඩා චාටර් නෙව.. කරුණාරත්න අබේසේකර හා ප්‍රේමකිර්ති ද අල්විස් ඇතුලු ප්‍රවිනයින්ගේ මුල්කාලේ ඒවත් මේවාගේ වෙන්නැති. දිගටම ගිත ලිව්වා නම් අද නිදි ලොක්කාත් නමගිය ගේය පදරචකයෙක් වෙන්න තිබුනා....

    ReplyDelete
    Replies
    1. මේ කාලෙට පස්සේත් ගීත කීපයක් ලිව්වනේ අසංග. කැසට් එකකටත්. හැබැයි, එකෙන්ම ඇති වුණා.
      https://nidigepanchathanthare.blogspot.com/2020/10/blog-post_16.html

      Delete
  8. 'ශ්‍රී ලාංකේය රැජිනකගේ' නම කියපු නිසා මම ලංකාවෙ beauty queensලගෙ නමුයි, නිලි රැජිණියන්ගෙයි නමුයි හිත හිත කියෙව්වා. කමෙන්ට්ස් දැක්කම තමයි නිමල් කියලා තියෙන්නෙ ඓතිහාසික රැජිනක් කියලා තේරුනේ.

    ReplyDelete
    Replies
    1. පුදුමයි Lotus, ඔයා හොඳ මීටරයක්නේ.

      Delete
    2. මීටර් දෙකක් විතර උස නම් තියෙනවා, නිමල්.

      Delete
    3. හඃ හඃ හඃ හා! කියලායි මෙහෙම වෙලාවට ඉස්සර චිත්‍ර කතාවල තිබ්බේ.

      Delete
  9. මෙතන රඟපෑම ගැන වගේම සිංදු ගැනත් කියවෙන නිසා ඔලුවට ආවෙ දැන් ඉන්න අති දක්ෂ නිලියක් කියලා මම හිතන දිනුපා කෝදාගොඩ. වැඩිපුර රඟපාන්නෙත් නෑ මම හිතන්නෙ. නිමල් පීතෲ ටෙලිඩ්‍රාමා එක බලනවා කිව්වා නේද. ඒකෙ දිනූපාගෙ රඟපෑම කොහොමද. ඒ වගේම තමයි වීරයා ගෙදර ඇවිත් ටෙලි ඩ්‍රාමා එකෙත්.

    ReplyDelete
    Replies
    1. මේ දවස්වල බලන්නේ පීතෘ ටෙලිය විතරයි. දිනූපා කෝදාගොඩ අතිදක්ෂයි! Lotus කියනවා වගේම, වීරයා ගෙදර ඇවිත් එකෙන් හොඳටම මතු වුණා. මම දකින විශේෂත්වය දිනූපගේ කතා කරන ඇස්!

      Delete
  10. http://maathalan.blogspot.com/2022/06/blog-post_13.html

    ReplyDelete
    Replies
    1. සමහර වෙලාවට comment නොකලත් මාතලන්ගේ ලිපි මම නොකඩවා කියවනවා, නමී. මගේ බ්ලොගය පටන් ගත්තු කාලෙ හිටම ගොඩක් දෙනෙක් මෙහාට ආවේ ඒ හරහා.

      Delete
    2. .... තවමත් මාතලන්ගේ සින්ඩිය හරහා එන පිවිසුම් වැඩියි.

      Delete
  11. සුප්පා දේවිගේ මයිල් ගැලවුනේම නැත්ද එතකොට 😄

    ReplyDelete
    Replies
    1. මම කිව්වේ බඩේ මයිල් ගැන ඈ

      Delete
    2. එව්වා එහෙම එක පාරටම කියන්න බැහැනේ අජිත් මහත්තයෝ! අවුරුදු කීපෙක විස්තරනෙ, ඒකයි.

      Delete
  12. ඒ සින්දුව ල අවුලක් නැහැ . ඒ වගේ නාට්‍ය වල පාඩම් කරගන්න ලෙහෙසි සරල සින්දු තමා ලියැවුණේ

    ReplyDelete
    Replies
    1. නමුත් අජිත් මහත්තයෝ, ගල්ලෙන බිඳලා- අන්න බලන් සඳ- මුහුදු පතුල යට ඉඳලා වගේ ගීතත් එක්ක සංසන්දනය කරද්දී...

      Delete