li Item

Saturday, May 21, 2022

සුප්පා දේවිගේ බඩේ මයිල් - තෙවෙනි කොටස

ඇයි දෙයියනේ ඇස්-කන් වහගෙන නිස්සද්දව ඉන්න පුළුවන් දේවල්ද පහුගිය ටිකේ වුණේ? තවමත්.... තවමත් වෙන්නේ... 

‘.... ප්‍රසිද්ධ වේදිකාවට මම සම්බන්ධ වුණේ 1972 වර්ෂයේදී නව සිංහබාහු කියන වේදිකා නාට්‍යයෙන්. මේ වෙනකොට මම වේදිකා නාට්‍ය හැට පහක හැත්තෑවක පමණ රඟපාලා තියෙනවා. මේ වෙන තුරුත් මම වේදිකාවෙන් සමු අරගෙන නැහැ....’ මුල අමතක නොකරමින් ඒ විස්තර කියන්නට තරම් ඇය නිහතමානී වී තිබුණු බව මා දුටුවේ පුවත් පතකිනි... ඉන්න, විස්තරත් එක්කම කියන්නංකෝ.

2008 ජුලි 6 වෙනිදා ‘ඉරිදා දිවයින’ පුවත් පතේ ‘මීවිත’ අතිරේකයේ 4 වෙනි පිටුවෙනි....

ඒ විස්තරය ඔයාලට කියලා මාස එකහමාරක් විතර වෙනවා. සුප්පා දේවිටයි, මැංචෝසන් සාමිතුමාටයි දෙන්නටම පැත්තකින් ඉන්න කියන්නයි, මට සිද්ධ වුණේ.
ඇයි දෙයියනේ ඇස්-කන් වහගෙන නිස්සද්දව ඉන්න පුළුවන් දේවල්ද පහුගිය ටිකේ වුණේ? තවමත්.... තවමත් වෙන්නේ...

රට වටේම මිනිස්සු ‘පලයව්’ කියලා බෙරිහන් දෙද්දී, අපේ අප්පුහාමිල්ලා දියවන්නා මන්දිරේට ඇවිදින් කතා සාප්පු දානවා! නිකම්ම නිකං මන්ත්‍රී මයින්ද මාතියා හෙලිකොප්ටරෙනුත් ඔය රැස්වීම්වලට එනවා, මිනිස්සු තෙල් නැතිව පෝලිම්වල ඉන්න අස්සේ. එහෙම තත්ත්වෙක හිටිද්දී තමයි මට පාරෙන් පිට පනින්න වුණේ!

කැමතියි නං මේ සීරීස් එකේ මුල් posts දෙක කියවලාම ඉන්න, හොඳේ. මෙන්න ඒක ලේසි කරනවා.
https://nidigepanchathanthare.blogspot.com/2022/03/blog-post_28.html
https://nidigepanchathanthare.blogspot.com/2022/04/blog-post_06.html
ඊට පස්සේ, ඉතිං අපේ තාත්තා ප්‍රධාන නඩය දෙහිවලට ගියේ රූපවතියක වුණු රූපා හොයාගෙනය.  

ඇය රූපා ගෝමස් නම් වන්නීය. දශක කිහිපයකට පෙරාතුව ශ්‍රී ලංකේය සිනමාවේ ‘සරාගී රූමතිය වූ සුමනා ගෝමස්’ මේ කියන රූපාගේ නැඟණියයි.

“රූපා ගෝමස් කෙනෙක් කොහෙන්ද යකෝ. ඒ ළමිස්සී රූප් නන්දා කියලනේ අපිට එයාගෙ නම කිව්වේ!” අද අපේ තාත්තා හිටියා නං අහනවාට සැක නැත. එසේ වී නම් මගේ උත්තරයත් මෙවැන්නක් වෙනු නිසැකය.
“හරි හරි තාත්තේ. චිත්‍රපටිවලට නාට්‍යවලට එන අය එක-එක විදිහට නම් වෙනස් කරනවා නේන්නං.... ඒ කාලෙ ‘ජයසූරිය ආරච්චිගේ මේරි ඉවෝන් පෙරේරා’ව සිරිසේන විමලවීර මාස්ටර් ‘සන්ධ්‍යා කුමාරි’ කළේ. ඒ වගේ වෙන්නැති.”

රූපා සහ සුමනා ගෝමස් අක්ක-නඟාලා......

ඒ අටුවාව ලියද්දී මගේ සිරසට ආවේ ‘නුවන් නයනජිත් කුමාර’ ලියූ ‘ශ්‍රී ලාංකේය සිනමා වංශය’ පොතේ රූපා ගෝමස් ගැන පළවී තිබේද කියලා බලන්නටය.

අම්මට සිරි!
රූපා ගැන විතරක් නෙවෙයි, අපේ සිංහබාහු ගැනත් නාම මාත්‍ර සඳහනක් එතැන තියෙනවා නෙව! ඒ පොත අවුරුදු 17ක් තිස්සේ මගේ ළඟ තිබිලාත්, ඒ විත්තිය මං දැක්කේ මේ දැන් කෙරුණු- කරුණු හෙවිල්ලේදීය. එයින් පසක් වෙන්නේ, ‘පොත් ළඟ තිබුණාට විතරක් මදිය. ඉඳහිට හරි පොත් පෙරළන්නටත් ඕනෑය’ කියන කාරණයයි.

ඉතිං ඒ පොතේ තියෙන්නේ මෙහෙමය:

‘ගෝමස්, රූපා
(1955)  

පල්ලියවත්තගේ රූපාවතී ගෝමස් 1970 දී ‘නිවන් දුටු නුවන්’නාට්‍යයේ රඟපාමින් කලා ලොවට පිවිසිණ. ඇය ‘නව සිංහබාහු’, සිවම්මා ධනපාල, බෙකට්....... ඇතුළු වේදිකා නාට්‍ය රාශියක විවිධ චරිත රඟපෑවාය. ගුවන් විදුලි වැඩ සටහන් කීපයකටද දායක වූ ඕ දෙහිවල- ගල්කිස්ස රූ රැජන ලෙස හතර වතාවක් තේරිණ...’ (ශ්‍රී ලාංකේය සිනමා වංශය- 526 පිටුව)

මේ පෝස්ටු මාලාවේ දෙවැන්න කියවූ ‘කොළොම්පුරේ’ අසංග රණසිංහආරච්චි සහෘදයා මට ටෙලිෆෝන් කළේය. “නිමල් අයියා, රූපා ගෝමස් ගැන නේද ඔයා කියන්නේ. අපේ ගෙවල් ළඟනෙ ඉන්නේ...” කියලාත් කිව්වේය. රූපාගේ අද වංහුං පවා මට හෙළි කළේය.

නිදිගෙ පංච තන්තරේ බ්ලොගය පටන් ගන්නට අවුරුදු කිහිපයකට කලින්ය, මගේ එක පොත් පෙට්ටියක් සහමුලින්ම වේයන්ට ගොදුරු වුණේ....... එහෙම නොවිණි නම්, මේ බ්ලොගය මීට වඩා සාරවත් මෙන්ම රූපවත් කර ගන්නට තිබුණු බව මට දැන් පෙනෙයි. නව සිංහබාහු නාට්‍යය වෙනුවෙන් පළ කළ සමරු කලාපයත් ‘වේ හමුදාව’ට රස අහරක් වී තිබ්බා නෙව! අපරාදේ!!

මට හොඳටම මතකය. එම සමරු කලාපයේත් ඇයගේ නම සඳහන්ව තිබ්බේ රූපා කියලා නොවේ. රූප් නන්දා යනුවෙනි.

වේදිකාව කියන්නේ රඟපෑමේ පන්තියක්. මම කවදාවත් වේදිකාව අතාරින්නේ නැහැ.

නමට වැඩියෙන් වැදගත් වෙන්නේ කෙරුවාවය. නිමල් කිව්වාට කරන වැඩ පිරිසිදු  නැත්නං... නාමල් කිව්වාට වැඩ ගඳ ගහන ජාතියෙ නම් මොන කෙහෙම්මලකටද.... ඒත් රූප් නන්දා රූපවත් වුණා වගේම රංගනයටත් හපනියක් වුණාය; ඇයගේ නම අර්ථවත් කළාය.

“හොඳයි නේද බං....” පළමුවෙන්ම රූපා අපේ ගෙදරට ඇවිත්, සිංහබාහු රිහර්සල් එකකටත් සහභාගිවී ගියාට පස්සේ, අපේ තාත්තා මගෙන් ඇහුවේය.

“හොඳයි නේන්නං!”
ඉරිසියාව මහ භයානක ලෙඩක් විත්තිය නොදැන හිටියා වුණත්, ඒ මොහොතේ මා එයින් පෙලෙන බව අපේ තාත්තාටවත් නොදැනෙන විදිහටය, මං උත්තර දුන්නේ.

එහෙම කිරීමත් එක්තරා රංගනයකි. වේදිකාවේ රඟපෑමට පුරුදු කෙනෙකුට ඒවා මහ ලොකු දේවල් නොවේ!

රූපා තවමත් වැඩියෙන් ඇලුම් කරන්නේ වේදිකාවට බව, ඇය ප්‍රසිද්ධ රූපවාහිනී නිළියක වුණු පසුත් කියා තිබිණි. 2008 ජුලි 6 වෙනි ඉරිදා ‘මීවිත’ අතිරේකයේ ඒ විත්තිය තිබුණේ මෙහෙමය:
“... වේදිකාව, ටෙලි නාට්‍ය, ගුවන් විදුලිය හා සිනමාව යන ක්ෂේත්‍රයන්ගෙන් ඔබ වැඩිපුරම ඇළුම් කරන්නේ කුමන ක්ෂේත්‍රයටද?

මම මුල් තැන දෙන්නෙ වේදිකාවට. ඒ තුලින් අපට ගත යුතු බොහෝ දේ තියෙනවා. වේදිකාව කියන්නේ රඟපෑමේ පන්තියක්. මම කවදාවත් වේදිකාව අතාරින්නේ නැහැ.”

රූප් නන්දා සුප්පා දේවියගේ චරිතයට තෝරා ගැනීම නිසා අපේ ‘සිංහබාහු’ නාට්‍යයේ මට රඟපාන්නට චරිතයක් නැතිව ගියේය. ඒ ගැන වැඩියත්ම කනස්සලු වුණේ සංජේය. “ඔයා මොකක්ද කරන්න යන්නේ?” ඒ හාදයා ඇහුවේය.

“මොනා කරන්නද... මං වගේද සංජේ... රුක්මණී දේවිත් දැන් අම්මලාගේ චරිත කරන්නේ, ඒ කාලෙ එයාත්  කෙල්ලට හිටියට දැන් එහෙම බැරිව ඉන්නේ...”
“රුක්මණී දේවි දැන් වයසට ගිහින් හින්දනෙ ඒ. ඔයාට තවම විස්සක්වත් වෙලායැ රංජි? මට නම් දැන් තමයි ඔයාව වැඩියත්ම අගේ!” සංජේ එහෙම කතා කියන්නටම උපන්නෙකු වගෙය.
එතකොට මං? එහෙම කතාවලට වශී වෙන්නට උපන්නෙක්මි.

ඒ දිනවල මගේ රහසිගත ලෛංගික ජීවිතයත් බෙහෙවින්ම ක්‍රියාකාරී සමයක් පසු කරමිනි තිබ්බේ.

දෙදෙනෙකු අතර සමීප සබඳකම් ලියලන්නේත්, තිබුණු සබඳකම් තර වන්නේත් එකෙකු දුකක්- කරදරයක් වැනි දෙයකට මුහුණ පෑ අවස්ථාවකදීය. ඒ තියරිය මෙතැනටත් සාකල්‍යයෙන්ම ගැලපුණේය. ඒ දවස්වල, සංජේත් මාත් අතර තිබුණු මිතුරුදම වඩාත් ශක්තිමත් එකක් බවට පෙරළිණි.

ඒ මට අවුරුදු 17- 18 විතර කාලයයි! ඒ දවස්වල මට අවබෝධයක් නොවුණත්, මගේ ලිංගික හෝර්මෝන හොඳින් ශ්‍රාවය වෙමින් තිබුණු අවදියයි ඒ.
ඒ නිසාමදෝ ඒ දිනවල මගේ රහසිගත ලෛංගික ජීවිතයත් බෙහෙවින්ම ක්‍රියාකාරී සමයක් පසු කරමිනි තිබ්බේ.

“රංජි, මට ඔයත් එක්ක වැදගත් දෙයක් කතා කර ගන්න තියෙනව. තනියම.....” ඒ වකවනුවේ දවසක සංජේ මට කීවේය.
“ඉතිං කතා කරමුකො සංජේ.”
“එහෙම බෑ රංජි. පටන් ගත්තට පස්සේ නවත්තන්නෙ නැතිව ඔක්කොම කියාගන්න බලාගෙන...”
“හරි. එ...හෙ...නං... අද හවසට අපේ ආච්චිගේ සල්ලි වගයක් අරං ම...ම පතිරගොඩ යනවා. ඔයත් යමු, කතා ක...ර- ක...ර.” මම යෝජනා කළෙමි.

එතකොට අපේ ගෙවල් පල්ලෙහායින් තිබණු වෙල් යාය මැදින්, එගොඩ-මෙගොඩ යා කරන හරස් පාරවල් එකක්වත් තිබ්බේ නැත. (දැන් ඒ ඉසව්වේ වෙල් යායෙන් තුන්කාලක්ම ගොඩ කෙරිලා ගෙවල් ඉදි වෙලාය.) එක්සත් සුබසාධක මාවත, නාගහවත්ත පාර, පතිරගොඩ පාර ආදිය වෙල උඩින් දෙගොඩ යා කළේ පසු කාලයකය. ඒ විතරක් නොව, පමුණුවත් තලපත්පිටියත් සම්බන්ධ කරමින් නව රෝහල පාර තැනුණේත් පසු කාලීනවය.
ඊට පෙර සමයේ පමුණුවේ කෙනෙකු පතිරගොඩට, තලපත්පිටියට හෝ මාදිවෙලට යා යුතු නම් ගියේ වෙල් යායේ නියරවල් දිගේය!

එළිසාච්චීට දෙන්නැයි, අපේ ආච්චී දුන් රුපියල් දෙතුන් සියයත් සාක්කුවේ දමාගෙන මං ගෙදරින් පිටත් වුණේ තනිවමය. වත්තේගෙදර සිට නාගහවත්ත පාර කෙළවර වෙල අද්දරට ඇවිත් තිබුණු සංජේ, එතනදී මට එකතු වුණේය.

ආං අර ලියැද්ද මැද්දටලු, ඒ ජපන් බෝම්බ ප්ලේන් එක කඩා වැටුණයි කියන්නේ.

“රංජි, සේරටම කලින් මට පෙන්නන්නකො අර ජපන්නු බෝම්බ දානකොට එකක් කඩාගෙන වැටුණයි කියපු හරිය. මතකද.... කොටුවේ ආච්චී කිව්ව කාඩ්බෝඩ් ප්ලේන් එකක් කඩං වැටිච්චි කතාව...”

“ඒ කෙහෙල්මල බලා ගන්නද ඉතිං ඔයා ආවේ?” ඉරිසියාවක් වගේ දෙයක් මගේ කතාවේ ගෑවිලාය.

“පිස්සු කියන්න එපා ළමයෝ. ඔයාලගේ ගෙදරදී ඒ කතන්දරේ කියවෙනවා ඇහිච්ච දවසෙ ඉඳලම මම හරි ආසාවෙන් හිටියේ එතැන බලා ගන්න.... හා, හා. එහෙනං එතන බැලුවෙ නැති වුණට කමක් නෑ. අපි යං... ඉතිං, ඔයා ඉස්සර වෙන්න.... පාර දන්න කෙනා ඔයානෙ.”
“ඉන්නකෝ එහෙනං එතැන පෙන්නලම ඉන්න. එතැන කණුවක් හිටවලා බෝඩ් එකක් හයි කරල තියෙන එකක්යැ. ඔයාගෙත් ආසාවනේ.... ආං අර ලියැද්ද මැද්දටලු, ඒ ජපන් ප්ලේන් එක කඩා වැටුණයි කියන්නේ.”

කොතැන ඉඳගෙන හරි මේ විස්තර කියවනවා නං- සංජේ, මම එදා මහ නියර උඩ හිටගෙන ඔයාට පෙන්නූ හරියේ දැන් කුඹුරු ඇත්තෙම නැත. ගෙවල් කිහිපයකි තියෙන්නේ!

“මෙතැන නං මරු!” සංජේ පෙන්නුවේ වෙල් යායෙන් එගොඩ වෙන තැනම තිබුණු පොල් ඉඩමකි. ඒ දවස්වල දැන් තරම් හොරු නොහිටි නිසා වෙන්නැති, ඒ පොල් කට්ටිය වටේට හරි වැටක්වත් නොගසා තියෙන්න ඇත්තේ.
“එහෙනං මහත්තයෝ, එළිසාච්චිට සල්ලි දීලා එන ගමන් අපි මෙතැන වාඩි වෙලා කතා කරමුකො.” මම කීවෙමි.

වැඩ සිද්ද වුණේ එහෙමය.
කතා කරන්නටම ඇවිත් තිබුණත් සංජේ හිටියේ ගොළුවෙකු වගෙය. වටේ තියෙන පොල් ගස් පීදිලාද, පොල් වලු බර වැඩි වෙලාද, පැහුණු පොල් කඩාගෙන ගිහින්ද කියලා හොයන්නට වගේ සංජේ උඩ බැලුවේය. වටේ බැලුවේය. හය්යෙන්-හය්යෙන් හුස්මත් ගත්තේය.

“මොකද සංජේ ඔයාට වෙලා තියෙන්නේ... ඔන්න ඔයාම දන්නවනෙ, මට ඕනිවට වැඩිය පරක්කු වෙන්න බෑ කියල.”

ආදරය යනු කුමක්දැයිමම අදටත් නොදන්නෙමි!

එතකොටය සංජේ අතේ තිබුණු කෝටු කෑල්ලෙන් ළඟම තිබුණු පඳුරකට තලමින් කට ඇරියේ.

“රංජි, මං.... ඔයාට ආදරෙයි. හොඳටම ආදරෙයි. කෙල්ලෙකුටවත් නැති තරමට ආදරෙයි... ඒත්.....”
මුල හරිය උද්දාමයෙන් අහගෙන හිටි මං ‘චාං චඃ’ වුණේ ‘ඒත්’ වචනය ඇහෙනකොටය. ඒත්..... මොකද ඒත්...?
“මං හිතන්නේ ඔයත් මට ආදරෙයි....” සංජේම කිව්වේය.

ආදරෙයි! මමත් ආදරෙයි!! සංජේ කියන්නේ ඒකය. ඇත්තටම මමත් ආදරය කළෙම්ද?

පියසිරි වෙනුවෙන්, අභී අයියා වෙනුවෙන්, දීඝායු වෙනුවෙන් හා තවත් කිහිප දෙනෙකු වෙනුවෙන්ම මසිතෙහි එක් එක් මට්ටමින් සෙනෙහස්බර හැඟීම් සමුච්ඡයන් තිබුණු බව ඇත්තකි. එයිනුත් උමතු සෙනෙහසක් මහදේ පැවතුණේ දීඝායු වෙනුවෙනි.
ඒ ආදරයද? කුමක් හෝ වේවා, ඒ සෙනෙහස හදවතේ ඇනුණු කටුවක්ව මට රිදුම් දෙමින්- වසර පහ-හයක්ම තිබුණු බවය, ඇත්ත.

මුතු බෙල්ලෙකුගේ කුස තුළට ඇතුළු වුණු රොඩ්ඩක් ඒ සත්ත්වයාට දිගු කාලයක් තිස්සේ වේදනා දෙමින්, කැවෙමින් සුසිනිඳු- දිමුතු මුතු කැටයක් වෙන බව හැබෑය. නමුදු මගේ හදවතේ දීඝායු වෙනුවෙන් ජනිත වුණු වේදනාත්මක සෙනෙහස පවා එතරම් බලවත් නොවිණි. කල් යද්දී ඒ ළබැඳියාව පවා ක්ෂය වීගෙන ගියේ, මටත් හොරාමය.
ඒ ආදරයද?

මගේ චරිතාපදානය කියවන ඔබ කෙලෙස- කුමනාකාරයකින් සිතන්නේදැයි නොතකා මෙය කියමි. මා ‘ආදරය යනු කුමක්දැයි’ තවමත් නොදන්නා නොදරුවෙකු බවය, මට හිතෙන්නේ...

සමරිසි සබඳතා පැවැත්වූ බොහෝ දෙනා එවැනි වදන් මගේ කනට කොඳුරා තිබිණි. ආශාවේ ඈත ඉමට සම්ප්‍රාප්ත වෙද්දී ඔවුහු එසේ කීහ.

ඒ වන විටත් ‘මම ඔයාට ආදරෙයි’ වැනි වදන් මගේ දෙසවනට නුහුරු ඒවා නොවීය.

මා හා සමරිසි සබඳතා පැවැත්වූ බොහෝ දෙනා එවැනි වදන් මගේ කනට කොඳුරා තිබිණි. ආශාවේ ඈත ඉමට සම්ප්‍රාප්ත වෙද්දී ඔවුහු එසේ කීහ. සුරතාන්තයට ළඟා වෙද්දී, ඔවුහු මා මිරිකාගෙන; දැඩි ආලිංගනයකින් මා වෙළාගෙන එසේ කීහ.
ඒවා හුදු වචන පමණක් බව මම තේරුම් ගනිමින් සිටියෙමි.

වඩාත් අනතුරුදායක වුණේ, එසේ එක් සත්‍යයක් තේරුම් ගනිමින් සිටියදී වුවද, මාත් එවන් සෙනේබර; ළයාන්විත වදන් වනාන්තරවල අතරමං වෙන්නට පෙළඹීමයි;
ඒ අතරම අනෙකුන් නන්නත්තාර  කරවන්නටත් පෙළඹීමයි. (
ආදර පූජාසනේ postsවලදී කියැවුණේ මගේ ඒ චර්යාව ගැන නේද?)

මිනිසුන් බොරුවට ප්‍රිය කරන බවත්, පූච්චානම් කතාවලට රුචි බවත් මම පසක් කර ගනිමින් සිටියෙමි. විශේෂයෙන් ලිංගික ඇසුරකදී....
‘ඔයා මට ආදරෙයි නේද?’ කියා සහකරුවෙකු විමසන්නේ ආදරය ගැනම නොවෙන බව මම ක්‍රමයෙන් පසක් කර ගත්තෙමි. ‘මගේ වැඩ කොහොමද?’ / ‘මාව හිතට ඇල්ලුවාද?’ / ‘ආයෙම දවසක එනවා නේද?’ වැනි විවිධ අදහස්ය, ඔවුනගේ ‘ආදරය ප්‍රකාශ කිරීම්’ තුළ තිබුණේ.

ඒ හැම ප්‍රකාශනයක් ඇතුළෙම තිබුණේ ආත්මාර්ථය නොවේද? අනෙක ඒ හැම කෙනෙකුම ‘මට ආදරය කළේ’ ලොවට වසං වී ගෙනය!
(එකම වතාවකට හරි, අනුන් ඉදිරියේ මට
ආදරය පෑවේ දීඝායු විතරකි.)

ඉදින්, ‘මං හිතන්නේ ඔයත් මට ආදරෙයි....’ කියා සංජේම කිව්වාම කෙලෙස උත්තර දෙන්නද? මා සංජේට කැමතිය; ප්‍රියය. ඔහුගේ ඇසුර ලබන්නට, ඔහුගේ පහස ලබන්නට කැමතිය. එතැනින් එහාට මං සිතා තිබුණේ නැත.

මිනිහා හදිස්සියේම ගිහිල්ල වගේ... නිකමටවත් කියවුණේ නැහැනෙ.

මගේ නිහඬතාව සංජේ කොහොම තේරුම් ගනීවිද කියා මට කල්පනා වුණේ නැත.

“රංජි, මට හිතෙන්නේ ඔයත් මට ආදරෙයි. ඒ හින්දමයි මේක ඔයාට කියන්නේ. ඔයා මං එක්ක වගේම... වගේම.....” සංජේ බිම බලා ගත්තේය; වචන හිර කර ගත්තේය. අන්තිමේදී ආයාසයෙන් ඒවා පිටතට දැම්මේය.
“ඔයා... ඔයාට මාව ඕනි වෙන ඕනම වෙලාවක මම එන්නං. ඔයාට මාව ඕනෑම නං ඔයා... ඔයා...ඔයාගේ අනිත් කතන්දර ඔක්කොම අතාරින්න ඕනි....”

සංජේ එහෙම කියද්දී නම් මට අමුත්තක් දැනිණි. ‘මේ මනුස්සය අනිත් අයට වැඩිය වෙනස්ද?’ නමුත් ඒ මොහොතේ මොකවත් කිව යුතු යැයි මට හිතුණේ නැත.
“ඔයාට තරහ ගියාද...” සංජේම නිහඬතාව බින්දේය.

ඔළුව දෙපැත්තට වනන ගමන්ම මං නැඟිට්ටා මතකය. “යමු! පරක්කු වෙනවා.”යි කියා කිව්වාත් මතකය. එතැන සිටම මුහුණ අඳුරු කරගෙන- නිස්සද්දව මගේ පස්සෙන්ම පිය නැඟූ සංජේ අප හමුවුණු තැනදී ආ පාරෙන්ම හැරී ගියාත් මතකය.
එදායින් පස්සේ සති දෙකක් විතර වෙන තුරුමත් සංජේගේ සම්ප්‍රාප්තියක් නොවිණි.

නාට්‍ය පුහුණුවට ආ විටෙක බන්දුල ජයකොඩි කිව්වේ, සංජේ ගමේ ගිහිං කියලාය.

“මිනිහා හදිස්සියේම ගිහිල්ල වගේ... නිකමටවත් කියවුණේ නැහැනෙ. මම හිතාගෙන හිටියෙ සංජේ එක්ක අපේ මිනිහව යවන්න රැඟුම් පාලක මණ්ඩලේට.” අපේ තාත්තා කිව්වේය. “... ටිකට් විකුණලා ප්‍රසිද්ද හෝල්වල නාට්ටියක් පෙන්නනකොට ගම්වල වගේ බැහැල්ලුනෙ. පිටපත පෙන්නලා අනුමත කර ගන්න වෙනවලු.”

“සංජේ අද හෙට දවසක ආවේ නැත්තං ගුණපාල අයියේ, මම එන්නං රංජි මල්ලිත් එක්ක ඔය මණ්ඩලේට යන්න.” රංජිත් ගුණසේකර අයියා ඉදිරිපත් වුණේ එතකොටය.

ඒකි මහ වේස බඩුවක්.... සේරම අඩව්- කස්තිරම් අල්ලපු අම්මණ්ඩියෙක්. තරහ කරගෙනත් බෑ.

“කවුරු වුණාම මොකෝ. වැඩේ කෙරෙන එක නෙව වැදගත්.” තාත්තා ඒ යෝජනාව පිළිගත්තේය.

රූපා එක දිගටම රිහර්සල්ස්වලට ආවේ නැත. “රංජි, උඹට පුළුවනිනේ ප්‍රැක්ටිස් කරන වෙලාවලට සුප්පා දේවිට ඉන්න. ඒ කෙල්ලට දෙහිවල ඉඳලා හැමදාම මෙහෙ එන්නයි කියතහැකිද... අපි සල්ලියක් ගෙවන එකක්යැ? මං ඒ ළමයට කිව්වා සුමාන දෙකකට වතාවක් විතර ආවම ඇතියි කියලත්. අපේ එවුන් වගේ නෙවෙයි! ඒකිට දෙබස් එහෙමත් කටපාඩම් දැනටත්.... මේ යක්කුන්ටනේ, මෙච්චර කල් ගිහිල්ලත් මතක නැත්තේ...” අපේ තාත්තා කිව්වේ බොරුවක් නොවේ.

ඒත් එහෙම වීම අපේ නාට්‍ය කණ්ඩායමේ තරුණ කොල්ලන්ගේ නම් හිත රිදවන්නක් වුණේය.

“බලන්නකෝ රංජි මල්ලී. ඔයාලගෙ තාත්තට කිසිම හිතක් පපුවක් නැහැනේ... මේ වේළි-වේළී ඉන්න අපට චාන්ස් එක්ක ගන්න ඉඩක් දෙන්නෙම නැහැනෙ.” එයාලා කංකෙඳිරි ගෑවේ මගෙත්තෙක්කය.

එහෙම කංකෙඳිරි ගෑමක් අතරේ, සරත් රංචාගොඩ මට රහසක් කිව්වේය.
“ඔන්න නිමල් මල්ලී මේක කාටවත් කියන්න තහනං. සංජේට, බන්දුටවත්.... මල්ලි දන්නවනෙ අපේ බෝඩිම?”

“වැල්ලවත්තේ රෙදි මෝල ඉස්සරහම පාරේ තියෙන එකනෙ?”
“අන්න හරි නිමල් මල්ලී! ඒ බෝඩිම කිට්ටුවම ගෙදරක ඉන්න කෙල්ලෙක් මට love!”
“මරුනෙ සරත්!”
“මරු? මරු විතරක් නෙවෙයි මල්ලී- තනිකරම මරණයක්. ඒකි මහ වේස බඩුවක්.... සේරම අඩව්- කස්තිරම් අල්ලපු අම්මණ්ඩියෙක්. තරහ කරගෙනත් බෑ. එහෙමය කියලා කුණු ගොඩකට කර ගහන්නයැ. මම ඒකිට කිව්වා මට girl කෙනෙක් ඉන්නවයි කියලා. විස්වාස නැහැල්ලු! නිමල් මල්ලී මට ආවා මාර අයිඩියා එකක්... ඔයාවත් අල්ලගෙන කරන්න වැඩක්. හැබැයි රහසක්.....”

ඒ රහස් අයිඩියාව හිතාදර ඔයාලට දැන ගන්නට වෙන්නේ ඊළඟ කොටසිනි!

27 comments:

  1. වේදිකාවේ ගැහැණු චරිත නිරූපනය විතරක් නොවෙයි, සැබෑ ජීවිතයෙත් ගැහැණු චරිතයක් නිරූපනය කරන්න යන වගක් තමයි අන්තිම කොටස කියෙව්වාම හිතෙන්නේ.

    අද මම පළමුවෙනියා වෙලා තියෙන්නේ ලංකාවට තවම ඉර පායලා නැති නිසා වෙන්න ඇති. අපි ට නම් අලුත් ඉරක් පායලා විතරක් නොවෙයි , අලුත් අගමැති කෙනෙකුත් ඊයේ රෑ පත් වෙලා.

    ReplyDelete
    Replies
    1. ඔහේට අලුත් කෙනෙක් පත්කරගත්තාට අපේ අම්බරුවෝ හැමදාමත් කරන්නේ පරණ උන්වම මාරුවෙන් මාරුවට ගෙනල්ලා අඩන එක විතරයි
      කොළොම්පුරේ අසංග

      Delete
    2. Sam, අලුත් අගමැති යටතේ හැම දේම අලුත් වේවා කියා පතන්නම්, අපේ වගේ නොවී.
      ඔයා කියලා තියෙන මුල්ම කරුණ ගැන දැනට මොකුත් නොකියා ඉන්නම්.
      අවුරුදු ගණනාවක්ම දිග ඇදෙන කතන්දරයක චුට්ටක් කියෙව්වාම එළඹෙන්නට සිදු වෙන තීරණය ඔයා කියූ විදිහේ එකක් තමයි. මං කොහොමත් කුතුහලය රඳවා ගන්න කැමති නිසයි, ඒ ගැන දැනට උත්තර නොදෙන්නේ.

      Delete
  2. ඒ ගමන නිදි රියල් ගෑණු ළමයෙකුට අඳින්නද යන්නෙ.

    අර කොලොම්පුරේ අසංග වටේ පිටේ ඉන්න ගෑණු පරාන ගැන හොයනව වැඩියි මම හිතන්නෙ. :D

    ReplyDelete
    Replies
    1. අසල්වාසින්ට ප්‍රේම කරන්න කියා මහා සර්වබලධාරි දෙයියන්වහන්සේත් කාටද මන්දා කියලා තියෙනවා. අසල්වාසින් ගැන පොඩ්ඩකට පොඩ්ඩක් වැඩියෙන් විමසිලිමත් වෙන එක නයාටත් ගුණයි.
      කොළොම්පුරේ අසංග

      Delete
    2. ඔව්, වොව් ඒක නං සරීර සවුක්කියට ගුණයි තමා. විසේසයෙන්ම "අසල්වාසීන්" ටෝච් අරගෙන පියාසලා එනවද කියල විමසිල්ලෙන් ඉන්න එක.

      Delete
    3. ප්‍රසන්න, තමුන්නාන්සේගේ ප්‍රශ්නයට අද කෙටි උත්තරයක් දෙන්නෙ නෑ. මොකද ඒ උත්තරේ ටිකෙන් -ටික ලියවෙන දිග එකක් නිසා.

      Delete
  3. ජීවිතයම පංච තන්ත්‍රයක් තමයි!

    ReplyDelete
    Replies
    1. හැබෑමයි! සැබෑව ප්‍රබන්ධයට වඩා හැම අතින්ම ඉහළයි කියනවනේ Litseeker!

      Delete
  4. වෙනසකටත් එක්ක ට්‍රැක් එක මාරුකරපු එක හොඳයි . අරගල කරලා විතරක්ම බෑනේ .

    ReplyDelete
    Replies
    1. ඔව් චමී, මේ කතන්දර ටික ලියලා ඉවර කරන්නත් ඕනිනේ.

      Delete
  5. රූප් නන්දා?
    තේරුම මොකක්ද?

    ReplyDelete
    Replies
    1. රූප නන්දා කියලා චරිතයක් නං ථේරි ගාථාවල ආවා වගේ මතකයි. ලූෂන් බුලත්සිංහල මහතා හැදුව ටෙලි නාටකයකදිත් කියවුනාද කොහෙදයි.
      ඒ දවස්වල එයාගේ නම එහෙම කිව්වාම තේරුම හොයන ගතියක් අපට තිබුනේ නැහැනේ Pra Jay මහත්තයෝ. ඔහේ පිළිගත්තා. දැන් තමයි එහෙම විමසා බලන්න හිතෙන්නේ.

      අමතර කාරණයකුත් කියන්නම්, ඒ දවස්වල අපේ ලොකු නංගී පුෂ්පා හා එයාගේ ඉස්කෝලේ යෙහෙලියන් රොත්තම එක-එක්කෙනාට හින්දි නිළියන්ගේ නම් ආදේශ කරගෙන හිටිය. එකිනෙකාට කතා කර ගත්තෙත් ඒ ආදේශක නම්වලින්.

      Delete
  6. සිංහබාහු, බෙකට් වලට වඩා හුඟක් පැරණි ටවර්හෝල් යුගයේ නාට්‍යයක් විදිහටයි "සිවම්මා-ධනපාල" ගැන මම අසා තිබුනේ.🤔

    ReplyDelete
    Replies
    1. ඔයා හරි බස්සා මහත්තයෝ. මම දන්නා තරමිනුත් වඩා පැරණි සිවම්මා- ධනපාල තමා. ඊළඟට සිංහබාහු විය යුතුයි. බෙකට් එන්නේ ඊට පස්සේ නේද?
      හැබැයි සිවම්මා-ධනපාල කිහිප වතාවක්ම නව නිෂ්පාදන වසයෙන් වරින්-වර එළි දැක්කා.

      Delete
  7. පිරිමි - කාන්තා ඇසුරේත් වෙනසක් නැහැ නිදි.... අත්දැකීම්, අන් සිදුවීම් හැම එකක් එක්ක බලද්දිත් මට පේන්නෙ ගොඩක් ඒවා කායික සම්බන්ධතා මත පදනම් වෙච්ච ඒවා කියලම තමා. කායිකත්වයෙන් එහා ගිය ආදරය හරි අඩුයි.

    ReplyDelete
    Replies
    1. අම්මෝ නමී!
      පරෙස්සමින්. සමාජයේදී ඔහොම මත ප්‍රකාශ කලාම හුඟක් වෙලාවට වෙන්නේ හෙණ විජ්ජුම්බරයක්.
      මට මතක හැටියට නමී පංච තන්තරේ පෙරලන්න එන කාලෙට ඉස්සෙල්ලයි මේ post එක ලියවුනේ. කියවලා නැතිනං කියන්නකෝ පෙයි පූගේ කතන්දරෙත්.

      හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
      https://nidigepanchathanthare.blogspot.com/2020/06/blog-post_29.html

      Delete
    2. විජ්ජුම්බර..... හාමුදුරුවො කෙනෙක් බණට කියල තිව්න නිදි අනේ කාලේ වනේ වාසේ කියල. කාලෙ අකාලෙ වෙනකොට ඕව ගණන් ගතහැකිද
      පොස්ටුව වෙලාවක බලන්ටම්.....

      Delete
  8. "‘ආදරය යනු කුමක්දැයි’ මම අදටත් නොදන්නෙමි!" දන්න කෙනෙක් ඉන්නවනම් 'අටපට්ටම'ට කියයිනෙ.. බලමු. ඒ දාලා තියෙන ෆොටෝ එක නම් හරි ලස්සනයි.

    නිමල් ගෑනු ලමයෙක් විදිහට රඟපාපු ඒවා කියද්දි මට මතක්වෙන්නෙම ඊට ප්‍රතිවිරුද්ධ දෙය සිදුවූ Shakespeare in Love ෆිල්ම් එක.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම Lotus ඒ වගේ හැඟීම් දනවන- කතා කරන fotoවලට මම හරි කැමතියි!
      ඒ film එක බලලා තියෙනවා.... ආයෙම බලන්න වෙයි වගේ.....

      Delete
  9. පොතක් ලියන්න හොඳ කතාවක්. ලංකාවේ දැනට ලියැවිලා නැතිව ඇති

    ReplyDelete
    Replies
    1. පොත් සීයක් විතර ලිව්වත් ඉවර කරන්න බැරි තරම් කතන්දර දැන් ලංකාවේ සිද්ද වෙන්නේ. එව්වනේ කතා අජිත් මහත්තයෝ!

      Delete
  10. ඇවිත් කියවලා ගියා. මේ දවස්වල හරි බිසී!

    ReplyDelete
  11. ඔයාගේ බ්ලොග් එක අපේ අත්තනායක මහත්තයා කියවනවා වගේ .මේ වීඩියෝ එකේ තියෙන්නේ ඔයාගේ කියමනක්
    https://youtu.be/Elt2j1jcBdk?t=216

    3.36 ඉදන් බලන්න

    ReplyDelete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්