සුනිල්සෝම පීරිස් 1985දී, ඉස්සෙල්ලාම අධ්‍යක්ෂණය
කරපු චිත්‍රපටයෙනුත් වාර්තා ගොඩක් තැබූ අයෙකි. |
එසේ වියෝ නොවිණි නම්, සුනිලුන්හට සිංහල සිනමාවට 2022 ජනවාරි 21 වෙනිදා 75 විය
සපිරෙනවා දැක ගන්නට තිබුණේය.
සුනිල්සෝම පීරිස් 1985දී, ඉස්සෙල්ලාම අධ්‍යක්ෂණය කරපු
චිත්‍රපටයෙනුත් වාර්තා ගොඩක් තැබූ අයෙකි. ඒ චිත්‍රපටය ‘ඔබට දිවුරා කියන්නම්’ ය.
‘.... සිංහල සිනමාවේ බිහි වූ නළුවන් අතුරින්
සිය ප්‍රථම රංගනය තුළින් BOX
Office වාර්තාවක් පිහිටු
වීමට සමත් වූ එකම නළුවා වූයේ ශෂී විජේන්ද්‍රය. දින 138 නොකඩවා ප්‍රදර්ශනය වූ ‘ඔබට
දිවුරා කියන්නම්’ 80 දශකයේ බිහි වූ හින්දි අනුකරණ රැල්ලේ ප්‍රථම චිත්‍රපටයයි. එය ‘තෙරි කසම්’ නමැති හින්දි
චිත්‍රපටය ඇසුරෙන් නිර්මාණය වූවකි.
ඔබට දිවුරා කියන්නම් චිත්‍රපටයේ විශේෂත්ව
කිහිපයකි. අතිශයින් ජනප්‍රසාදයක් දිනා ගැනීමට සමත් වූ මෙම චිත්‍රපටයේ තිදෙනෙක්ම හා
පුරා කියා සිනමාවට පිවිසුණු අයයි. ප්‍රධාන නළු ශෂි විජේන්ද්‍ර, අධ්‍යක්ෂ
සුනිල් සෝම පීරිස් සහ සංගීත අධ්‍යක්ෂ සරත් ද අල්විස් යන තිදෙනාගේම ප්‍රථම චිත්‍රපටය
වූයේ මෙයයි. එපමණක් නොව චිත්‍රපට පසුබිම් ගායනයේ පරතෙරට ගිය අපේ ආදරණීය ගීත
කෝකිළයා එච්.ආර්. ජෝතිපාලයන් ප්‍රථම වරට සිය ගායන කෞශල්‍යය වෙනුවෙන් සම්මානයකට
පාත්‍ර වූයේ ද ඔබට දිවුරා කියන්නම් චිත්‍රපටයේ ‘පාළු සුසානේ ප්‍රේම
පුරාණේ’ නමැති ඔහු
ගැයූ ගීතයටයි. සිනමාව දිග් විජය කළ රංගන ශිල්පීන් වෙනුවෙන් ගී ගැයුව ද ඔහු
සම්මානයකට පාත්‍ර වූයේ ශෂී විජේන්ද්‍ර වෙනුවෙන් ගැයූ මේ ගීතයටය. ආචාර්ය අජන්තා
රණසිංහ මෙම ගීතයට හොඳම ගීත රචකයාට හිමි සරසවිය සම්මානය ද දිනා ගත්තේය....’
ලජ්ජාකාරයෙකු වුණු නිසා
මුලින්ම ‘අලියෙකුගේ හොඬවැලක් වූ’... (මේ ෆොටෝවේ ඉන්නේ නම් විකෘති අලියෙකි.) |
‘.... නැහැ. මම කලාවට
සම්බන්ධ වුණේ නැහැ. මම ලැජ්ජාශීලි කෙනෙක්. නාට්‍ය කලා කටයුතුවලට ඉදිරිපත් වෙන්නේ
නැහැ. බලෙන් ඇදලා දැම්මත් යන්නේ නැහැ. ඒත් මට සිද්ධ වුණා. අකමැත්තෙන් හෝ නාට්‍යයකට
පෙනී සිටීමට. කැඩෙටිංවලට දියතලාවට ගිය වෙලාවේ හැම දෙනාටම එක් වී නාට්‍යයක්
රඟපාන්නට තිබුණා. මම අකමැත්ත පළ කළ නිසා කට්ටිය මාව අලියාගේ හොඬවැලට පෙනී සිටින්නට
තෝරා ගත්තා....
මම පාසලේ ඉගෙන ගත්තේ සිංහල මාධ්‍යයෙන්. මට
සිංහල හොඳට ලිවීමේ දක්ෂතාවය තිබුණා. මම ඒ දවස්වල ලියපු කෙටි කතා පත්තරවල පළ වුණා.
මම නවකතාවක් ලියුවා. මගේ යාළුවෝ කිව්වා චිත්‍රපටයක් රඟපාන්නට පෙර වේදිකා නාට්‍යයක්
කළොත් ඒ නාට්‍යයේ මට ප්‍රධාන චරිතය රඟපාන්නට කියා. මම ඒ දවස්වල වේදිකා නාට්‍ය බලලා
නැහැ. යාළුවොත් එක්ක ගිහින් වේදිකා නාට්‍ය නරඹලා අදහසක් ගත්තා. මගේ ලිවීමේ හැකියාව
තිබෙන නිසා නාට්‍යයේ පිටපත මමයි ලියුවේ. නාට්‍යයේ නම ‘සහජාත’
අධ්‍යක්ෂණය කළෙත් මම. ප්‍රධාන චරිතය රඟපෑවෙත්
මම. නිතර පුහුණුවීම්වල යෙදුණා. නාට්‍යයත් හා පුරා කියා වේදිකාගත වුණා. වැල්ලවත්ත
රාම ක්‍රිෂ්ණා ශාලාවේදී.
යහළුවෝ හිත මිතුරන්ගෙන් ලද ප්‍රතිචාර ඉහළයි...’
මුස්ලිම් ජාතික අවුෆ් හනීෆා අනෙකෙකු නොව,
සිංහල සිනමාවට ප්‍රවිෂ්ට වෙනකොට ශෂී විජේන්ද්‍ර නමින් කුලවැද්දුණු තරුණයාය.
ඒ විස්තර ‘සරසවිය’ පත්තරයෙන් කියවද්දී මට
මැවි-මැවී පෙනුණේ, ‘බ්‍රොයිලර් මනමේ’ නාට්‍යය
පෙන්නපු අලුත දවස් ටිකයි. මනමේ නාට්‍යයට අපට ලැබුණු ප්‍රතිචාරත් හරි උණුසුම්ය;
සුබවාදීය; පොළඹවනසුලුය.
“සේ ටීචරුත් කිව්ව වගේ නිමල්ට තියෙන්නේ
දැන්මම සිංහබාහු ලියන්න පටන් ගන්නයි.....” අපේ නාට්‍ය කට්ටියේ අය එක-එක විදිහෙන්;
‘වහෙන් ඔරෝ’ බාසාවෙන් පවා මාව උනන්දු කෙරෙව්වේ වරක්-දෙකක් විතරක් නොවේ.
ඒ හිත-මිත්තරයන්ගේ ඉල්ලීම්-පෙරැත්තයන්
හින්දා අපි දෙන්නාම හිටියේ මුරුංගා ගහේ උඩම අතුවලය. අපි දෙන්නා කිව්වේ ‘අපේ
තාත්තාත්, මාත්’ය.
අපි එයාලටත් වඩා අත්දැකීම්
රහිත මොට්ටයන් වුණාම? |
අපේ නාට්‍ය නිර්මාණ උඩ දැමූ නෑදෑ-
හිතමිතුරු- ගම්වාසී හැම කෙනාම පාහේ දැකලා තිබුණේ වෙසක් නාට්‍ය විතරක් වෙන්නැතිය.
ඒවායින් මුල්ම තැන දෙන්නට වෙන්නේ ‘නාවින්නේ ලියනෝරිස් මාමා’ගේ නාට්‍යවලටය.
දෙවෙනි තැන, දෙල්කඳ හන්දියටත්- ගම්සභා හන්දියටත් අතර දැවැන්ත වේදිකාවක පෙන්වූ
වෙසක් නාට්‍යවලට හිමි වෙයි.
තෙවැන්න ඊටත් වඩා අභිමානවත් දැවැන්ත එකකි. එකල වැඩිම ජනප්‍රියත්වයක් ලබාගෙන තිබුණු
ඒ වෙසක් නාට්‍යය දෙහිවල ‘වොලීස් ෆොටෝ’ ආයතනයෙන් ඉදිරිපත් කෙරිණි.
ඉතිං ඊටත් අමතරව නාට්‍යයක් බලල තිබ්බා නං,
ඉස්කෝලෙකට- සමිතියකට ආධාර ලබා ගන්නට පෙන්නූ එකකි. මං මේ කියන්නේ බහුතරයකගේ සොබාව
ගැනයි; අප වටා සිටි බහුතරයක් ගැනයි; අපට හුරේ දැමූවන් ගැනයි.
අපි එයාලටත් වඩා අත්දැකීම් රහිත මොට්ටයන් වුණාම?
මේ තත්ත්වය හුඟාක් නළු-නිළියන්ට, නාට්‍ය
නිර්මාණකරුවන්ට එදා බලපෑවේය. ඒත් ගෙවල්වල සාලය මැද්දට රූප පෙට්ටිය ආවාට පස්සේ නම්
අපේ රසික නිම් වළලු ටිකාක් පුළුල් වුණා වගෙය.
ඒත් තවමත් කවි, කෙටිකතා, නවකතා රචනය කරන අය අර ‘සුහද බොරු වළවල්’වල වැටෙති.
“මරු කතාව. අච්චු ගහන්නයි තියෙන්නේ.”
“නියම කවි...”
“මං කියවල තියෙන හොඳම කතාව!” වගේ කීම්ය, නවකයෙකුට හිතවතුන්ගෙන් කියවෙන්නේ. එහෙම
කියන සමහර දෙනෙකු මේ සම්මජ්ජාතියේ වෙන කිසිම පොතක් කියවලා නැත. එව්වා හිස මුඳුනින්
පිළිගන්නා නවකයාත් ළිං ගෙඹි මානුස්පයෙක් නං ඒ ප්‍රතිචාරවලින් අම්බානකට චූන් වෙයි;
අන්තිමට බැලුවාම ඒ හුඟ දෙනෙක් අමාරුවෙ වැටිලා තියෙන්නේ දිරච්ච ලණු කාලාය.
ශෂී විජේන්ද්‍ර වගේම පැසසුම්
මිස ගැරහුම් නොලැබීම.... |
අද එහෙම කිව්වාට, ‘ශෂී විජේන්ද්‍ර වගේම
පැසසුම් මිස ගැරහුම් නොලැබීම’ හින්දා එදා මං වහන්සේ හිටියෙත් තරමක මාන්නාධිකකමින්
පෙළෙමිනි. ‘සිංහබාහු නාට්‍යය’ ලියූ කාලයේ මගේ ගොන්කමේ තරමය ඒ.
“සිංහසීවලී පාට් එකට නං හරිම සීදේවී ගෑනු
ළමයෙක් විද්‍යාකර ඉස්කෝලෙම ඉන්නවා!” කවුරුන් හෝ අපේ තාත්තාට කියා තිබිණි.
“උඹ ඒ ළමයව දන්නෙ නැද්ද රංජි?”
“ම්හ්... නිච්චියක් නෑ.... හෙටම හොයල බලන්නංකෝ.”
හොයා බැලුවාම ඒ කතාව ඇත්තය. මට මතක හැටියට
ඇයගේ නම සුජාතාය. වටින්-පිටින් තොරතරු සොයාගෙන ඒ බාලිකාව නාට්‍යයට එවනවාදැයි
විමසන්නට යද්දී, ඇය විවාහ වෙන්නට සැරසිලාය. ඒ ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පයෙක් වූ සීවලී
ඉලංගසිංහ සමඟිනි.
සුජාතා තරම් හුරුබුහුටි නොවූ; පැහැපත් නොවූ
පුෂ්පා රංජනී දිසානායක විතරය, විකල්පයක් ලෙසින් අපට ඉතිරිව තිබ්බේ.
“අපේ එකී තමයි... ඒ වුණාට නෝනාට තියෙන්නේ මහ අහංකාර පාටක්නේ, සිරියාවකට වඩා.”
තාත්තා එහෙම කිව්වත්, ‘ගස් නැති රටේ තුත්තිරි ගහක් වුණු’ අපේ ලොකු නංගීටම සිංහසීවලී
චරිතය සින්න වුණේය.
රාජ සිරිත අනුව රජකම හිමි වුණේ තාත්තාගෙන්
පුතාටය; නැත්තං රජ්ජුරුවන්ගේ සහෝදරයෙකුටය. හැබැයි, තවමත් ‘ඉක-පුරාගෙන ප්‍රශස්ති
ගයන වන්දි භට්ටයන් හිටියාට’ අර රජ යුගේ; වැඩවසම් යුගේ අහවරවී ගොඩාක් කල්ය.
අනේ ඒ විත්තිය නොදන්නා ඇත්තෝ තමන් විහින්ම කිරුළේ උරුමය තහවුරු කර ගනිමින් සිටිති.
ප්‍රධාන චරිතේ ඒක නෙවෙයි!
සිංහයා!! |
“ගුණපාල අයියා, මම නේද සිංහබාහු?” එක දවසක් බන්දුල කෙළින්ම ඇහුවේය.
“අනේ ඕයි, නාට්‍යයේ නම සිංහබාහු වුණාට ප්‍රධාන
චරිතේ ඒක නෙවෙයි! සිංහයා!! මං හිතාගෙන ඉන්නෙ තමුසෙව ඒකට ගන්න. තමුසේ තමයි ඒකට නියම
මිනිහා.
හැබැයි, සේරටම කලින් අපිට සිංහබාහු පාට් එකටත් ගැළපෙන කෙනෙක් හොයාගන්න වෙනවා....” අපේ
තාත්තා බන්දුලට කිව්වේය.
මටත් ඒ බව හිතෙන්නට පටන් ගත්තේ එතකොටය.
“ඇයි ගුණපාල අයියේ, රංජිත් ගුණසේකර- සමරසිරි එහෙමත් ඉන්නෙ...” බන්දුල ඇහුවේය.
“රංජිත්ට තියෙන කෝටු ඇඟත් එක්ක මිනිහාව
සිංහබාහුට හරි යන්නෙ නෑ. සමරේගේ voice එක හොඳටම මදි.... වැල්ලවත්ත රෙදි මෝලේ ඇතිනෙ ඕයි, ඕනෙ තරං
කොල්ලො. දැන් තමුසෙත් එක්ක යාළුවෙලාත් ඇතිනේ ටික දෙනෙක් හරි..... බලනවකො, හරි යන
එක්කෙනෙක්ව අල්ල ගන්න.....
කෝටුකිතයියෙක් නෙවෙයි, ටිකක් ලස්සන- කුමාරයෙකුට හරි යන පෙනුමට පිරිච්ච ඇඟක් තියෙන;
හැබැයි මොළෙත් තියෙන.... ගාමිණී ෆොන්සේකා වගෙ...” තාත්තා කීවේය.
“රෙදි මෝලේ කෙල්ලොත් වැඩ කරනවද?
අපේ රංජිට වැඩිය acting හොඳ කෙල්ලෙක්ව හොයා ගන්න පුළුවන් නං සුප්පා දේවිට...
මෙයාටත් හැමදාම කෙල්ලගේ පාට් එක කරන්න බැහැනේ... දැන් උගුරු ඇටේ එහෙම වෙනස් වෙවී
එන්නේ..... දාසයක්නේ...”
සමරසිරි අර ‘මයිල් බාන’ කතාව අපේ තාත්තා එක්කත් කියලාවත්ද?
ඔහොම කතා-බතා සිද්දවෙන අතරේ තමයි තවත් අලුත්
යෝජනාවකුත් සභාගත වුණේ. යෝජනාව ගෙනාවේත් බන්දුලය.
එහෙයියන් විතරක් කිට්ටු කරගෙන
හිටින විට... |
“තමුසෙත් නාට්‍ය බලන්න ගියාද?”
“එව්වට යන්න වෙලාවක් කොහෙද ගුණපාලයියේ අපට.... කෑම එකක් ගන්න යනකොට මට අර බැනර්
දකිද්දීයි කල්පනා වුණේ, අපටත් බැරිද ලුම්බිණි එකේ අපේ නාට්‍යයක් පෙන්නා ගන්න.”
වෙසක් හෝ පොසොන් හෝ නාට්‍යයක් පෙන්නනවාට වඩා
ගතියක් ප්‍රසිද්ධ රඟහලක නාට්‍යයක් පෙන්වන විට ලැබෙන- දැනෙන බව විතරය අපට වැටහුණේ.
ඒවයේ ඇති තත්ත්වයන් හෝ පරස්පරතා ගැන හෝ දුෂ්කරතා ගැන හෝ අපට හිතුණේම නැත.
“මරු අයිඩියා එක මචං!
බන්දු කියන්නේ ඇත්තනේ ගුණපාල අයියේ.... පෙන්නමුකෝ අපේ නාට්‍යයක් ලුම්බිණියේ.”
සභාවෙන් නැඟුණේ, බන්දුල ජයකොඩිගේ යෝජනාවට පක්ෂ අදහස් පමණකි.
ඒ හැමෝටම අපේ පොසොන් නාට්‍යවලට වඩා දෙයක් තිබ්බේ නැති හැටි!
දැනුම්-තේරුම් නැති ළිං මැඩියන් පමණක්
පිරිවරාගෙන හිටින විට කොහෙදී වුණත් වෙන්නේ ඒකය; එහෙයියන් විතරක් කිට්ටු කරගෙන
හිටින විට කවරදා වුණත් වෙන්නේ ඒකය. ඒ විත්තිය එදා අපට වැටහුණේ නැත.
ඊට අවුරුදු පනහකට පස්සේ බලයේ ඉන්නා අයටත් වැටහෙන පාටක් නැත!
“අපිත් සිංහබාහු එක ලුම්බිණියේ පෙන්නමුකො
ගුණපාලයියේ!”
“පෙන්නන්නෙ රෙද්ද උස්සලාද යකෝ.... තාම ලියලා ඉවර වුණා විතරයිනේ.... කෝ බන්දු,
තමුසේ හෙව්වද කොල්ලෙක්ව? සුප්පාදේවිට නිළියෙක්ව....”
සුමානයක් යන්න කලින් අපි
අලුත් කොල්ලෙක්ව ගේන්නං.... |
රංජි මල්ලී, ඔයා ඉස්කෝලේ ගිහිනුත් ඉවර නිසා තව ටිකක් කොණ්ඩේ වැවෙන්න අරින්න....”
ඒ වෙද්දී, මාස ගණනාවකින් මගේ කොණ්ඩය කපා තිබ්බේ නැත.
“සුමානයක් යන්න කලින් අපි අලුත් කොල්ලෙක්ව
ගේන්නං සිංහබාහුට..... උඹට පුළුවන් නේද මචං...”
“එකෙක්ව ගෙනල්ලා මදි ඕයි... තමුසෙලාගෙ හිතට
ඇල්ලුවට මදිනේ... කවුද දන්නෙ තමුසෙලා මොන පඹයෙක්ව ගෙනෙයිද කියලා....” අපේ තාත්තා
විරුද්ධත්වය පෑවේ එහෙමය.
“හරි හරි ගුණපාලයියේ... සැරෙන් සැරේ කීප
දෙනෙක්ව ගෙන්නාගෙන බලමු... ඔයාට හිතට ඇල්ලුවේ නැත්තං තව හොයමු. එච්චරයිනෙ...”
එදා තීන්දු වුණේ එහෙමය.
ඒ අනුව ගැළපෙන නිළියෙකු ලැබෙනතුරු මගේ කොණ්ඩය නොකපා සිටින්නට වෙයි.
කඩවසම්- කුමාර පෙනුමැති හාදයෙක්ව අපේ නාට්‍ය කණ්ඩායමට අලුතෙන් සොයාගෙන ඒමේ වගකීම
බන්දු, සමරසිරි, රංජිත් අයියා ඇතුළු කට්ටියට පැවරෙයි.
ඒ අස්සෙම මගේ කොණ්ඩය දිගට
වැවුණේය.... |
ඔවුන්ගේ වැඩ ගැන කියන්නට මට දැනුමක් නැත.
මා දන්නේ හිටි ගමන් ‘චේ ගුවේරාකාරයන්ගේ කැරැල්ලක්’ පටන් ගෙන තිබුණු බවයි; රට පුරාම
ඇඳිරි නීතිය පැනවුණු බවයි;
තරුණ වියට පා තබමින් හිටි නිසා, මටත් ගේ අස්සටම වෙලා හිටින්නට සිදු වුණු බවයි.
දින නියමයක් නොමැතිව, මහ ඉස්පිරිතාලේ ඉඳියාප්ප විකිණීමේ කටයුත්ත
නවතා දමන්නට සිදු වෙන බවයි.
‘සිංහබාහු’ project එක මාස කීපයකට යට ගියේය.
පවුලේ නඩත්තුව පිණිස අලුත් ආදායම් මාර්ගයක් සොයා ගන්නට වුණේය.
ඒ අස්සෙම මගේ කොණ්ඩය දිගට වැවුණේය....
ඒ නිසාම ‘සුප්පා දේවිගේ බඩේ මයිල්’ post එකට කලින් ‘හොන මුත්තක්ද බලන්නේ?’ නමින් පෝස්ටුවක් ලියන්නටත් කරුණු යෙදුණේය෴
එතකොට දුන්හිද අද්දර මාරකේ උනෙත් මේ දවස්වල නේද්?
ReplyDeleteදුන්හිද අද්දර මාරකේ??
Deleteබකුස්තුමාට කොටහක් මග ඇරිලා. නිදි ලොක්කා ගෙදරින් පැනලාගිය කතන්දරේ.
Deleteහ්ම්...ඔව් එහෙම වෙන්න ඇති. නිදි ලින්ක් දාන්න දෙයියා, දාන්නෙ නැතෑ?🤣😂
Deleteඅසංග, අපි ගෙදරින් පැනලා ගියේ 71 කැරැල්ලෙන් පස්සේ. සිංහබාහු ලියවුනේ ඊට කලින්.
Deleteබකුසුතුමෝ, මෙන්න 'දුන්හිඳ අද්දර මාරකේ' පළමු පෝස්ටුවේ link එක: (මේක තියෙන්නේ 'ආ ඉන්නා පාපේ ගැලිලා' ලේබලය යටතේ.)
http://nidigepanchathanthare.blogspot.com/2019/05/blog-post_28.html
අර ලිං ගෙබි කතාවනම් හරියට හරි නිදිතුමෝ..
ReplyDelete“පෙන්නන්නෙ රෙද්ද උස්සලාද යකෝ..." - සිංග බාවා තමා පෙන්නන්ට තින්ටේ
ඒ දවස්වල මාත් හොඳම ළිං ගෙම්බෙක් වෙලා පිම්බිලා- ඇඳගෙන හිටිය හැටි මතක් වෙද්දීත් ලජ්ජයි නමී!
Deleteහ්ම්.......
Deleteඔය ළිං මැඩි සීන් එක අපේ ගොඩක් අයට තාම තේරෙන්නෙ නැති දෙයක් හෝ තේරුං ගන්න ඕන නැති දෙයක්.
ReplyDeleteප්‍රසන්න මහත්තයෝ, ඔයාගේ කතාව දිග අටුවාවකුත් ලියන්න තියෙන එකක් වගෙයි!
Deleteහ්ම්.. ළිං මැඩි සීන් එක, තේරුං ගන්න ඕනෙ නැති දෙයක්. ඇත්ත තේරුම් ගන්න එක වේදනාකාරීයි. ඊට වඩා පහසුයි, අපි තමයි හොඳටම කරන්නෙ කියන හීන ලෝකෙක ජීවත් වෙන එක. අනික අපිට නොපුරුදු දෙයක්යෑ, එදාවේල ටුවර්ස් දුවන එක?
ReplyDeleteමැඩියෝ අපි ලිං මැඩියෝ
Deleteලිදේ උපන් අපි ලිං මැඩියෝ
කෙලියෝ අපි කයිවාරු කෙලියෝ
ලිදෙන් එහා ලොවක් නැතියෝ...
බස්සා මහත්තයෝ, මට මතක හැටියට, සොක්රටීස්තුමා කියලා තියෙනවා 'වඩාත්ම වෛරයට පාත්‍ර වෙන්නේ ඇත්ත කියන කෙනා' කියලා. අපේ රටට වෙලා තියෙන ලොකුම හූනියම තමයි, රටවැසියන්ගේ මතකයයි චින්තන හැකියාවයි ශක්තිමත් නොවීම.
Deletehmm
Deleteශශීගේ ඇක්ටින් නම් එච්චර හොඳ නෑ. ඔහු සටන්කලාවක් හදාරා තිබුන වගක් නම් මතකයි
ReplyDeleteඔයා හරි අහස් යාත්රිකයාණෙනි. ශෂී සටන් කලාව හදාරා තියෙන බවක් නම් මගේ මතකයේ තිබුනේ නැහැ.
Deleteනමුත් ඉස්සෙල්ලාම එඅ ශෂී කුයින්ටස් නමින් වේදිකා නාට්‍යවල රඟපෑවා කියලත් චායාමාත්‍ර මතකයක් තියෙනවා. Films වලට එද්දී ශෂී විජේන්ද්‍ර වුණා වගෙයි. ඒ ගැන ඔයාට මතකද?
කෝ මේ නිදි ලොක්කා... සෑම් ඇවිල්ලා හින්දා චාරිකාවක් වත් ගිහින්ද?
ReplyDeleteසෑම් එන්න කලින්ම අපේ හිතවතා ප්‍රියන්ත 'බත්තලන්ගුන්ඩුවේ' යන්න trip එකක් සංවිධානය කරලා තිබුනේ. ජනවාරියේ ගිය ගමනටත් මං නොගිය නිසා මේකට යමු කියලා හැමෝම කිය-කියා මතක් කරමින් හිටියේ. ඉතිං සෑම් ආවයි කියලා නොගිහින් ඉන්න බැරි වුණා. දවස් තුනක් එහෙයි හිටියේ, අසංග.
Deleteඒ එද්දී සෑම්- දීපාල් plan කරගෙන හිටි ගමනක් ගැන කතා කරගන්න අද දවල්ට එනවා. තව දවස් දෙක තුනක්වත් මට අතුරුදහන් වෙන්න වෙන පාටයි!
“ඒත් ගෙවල්වල සාලය මැද්දට රූප පෙට්ටිය ආවාට පස්සේ නම් අපේ රසික නිම් වළලු ටිකාක් පුළුල් වුණා වගෙය.” - මටනම් හිතෙන්නේ රසිකත්වය නැත්තටම නැතිඋනා කියලා. විශේෂයෙන්ම පෞද්ගලික නාලිකා පටන්ගැන්මත් එක්ක.
ReplyDeleteචමී, නිකමට මතක් කරගන්නකො ඒ කාලෙ රූපවාහිනියේ ගිය වැඩ සටහන් ගැන. දැන් නේද විකාශන කාලයෙන් වැඩිම හරියක් ටෙලි නාට්‍යවලටම වෙන්වෙලා තියෙන්නේ? ඉස්සර ගිය ටෙලි වුණත් සාරවත් ඒවා බවයි මගේ හැඟීම.
Deleteහැබැයි මං වැරදියි වෙන්නත් පුළුවනි. මොකද අවුරුදු කීපෙකට කලින් මම ගෙදර තිබුණු රූපවාහිනිය අයින් කරලා දැම්මා, මාසෙකට සැරයක්වත් on කෙරෙන්නේ නැතිව ගියාම. ඉතිං දැන් තත්ත්වේ ගැන හරි අවබෝධයක් මට නෑ.
‘හොන මුත්තක්ද බලන්නේ?’ - හූන ඔත්තක් ලියන්න - අපි ඉන්නවා කියවන්න
ReplyDeleteගොඩක් ස්තුතියි චමී. හැබැයි මේ දවස්වල posts ලියාගන්න නං පරක්කු වෙයි. සමාවෙන්නොනි ඒකට නම්.
Deleteචමී, වැදගත්ම දේ මං ලියන ඒවායේ අඩුපාඩු වෙතොත් පෙන්වා දෙන එක. හොඳේ?
Delete'Finding Sinhabahu' නමින් Dr.අජිත් අමරසිංහ පොතක් ලියලා. නිමල්ට පුලුවන්නෙ ඒක සිංහලට පරිවර්තනය කරන්න සලකා බලන්න. උදව් කරන්න බ්ලොග් යාලුවො සහ අනිත් යාලුවො ගොඩක් ඉඳියි.
ReplyDelete'ළිං ගෙම්බෙකු වෙන මනුස්සයෙකුට විය හැකි ලොකුම හූනියම ‘ඒ ළිඳේ ඉන්නා අනෙක් ගෙම්බෝත් ලෝකය නොදුටු ගෙම්බන් වීම’ය!' අවාසනාව නම් ඒ ලිඳ අත් ඇරලා එන අය කරන්නෙත්
ලෝකය දැකීම කෙසේ වෙතත් නැවත නැවතත් ඒ ගෙම්බන්වම සොයාගෙන එකතුවීමයි.
'කවුද දන්නෙ තමුසෙලා මොන පඹයෙක්ව ගෙනෙයිද කියලා' දශක ගණනක එහා අනාගතය තාත්තා දැකලා වගෙයි.
Lotus, අමරසිංහ මහතාගේ පොත ගැන නම් ඇහුවේ ඔයා කිව්වාමයි.
Deleteමනමේ ගැන නම්, සරත් අමුණුගම මහතා 'මනමේ මතක්වී' නමින් පොතක් ලිව්වා. ජැක්සන් ඇන්තනි මහතාත් රසවත් පොතක් ලිව්වා. මේ මොහොතේ නම මතක් වෙන්නේ නෑ.
//ලෝකය දැකීම කෙසේ වෙතත් නැවත නැවතත් ඒ ගෙම්බන්වම සොයාගෙන එකතුවීමයි.// ඌන පූරණයට ගොඩක් ස්තුතියි Lotus. වැඩිපුරම එහෙම වෙන එක කොච්චර අවාසනාවක්ද?
මට අත්වුණු ලොකුම වාසනාව තමයි අවුරුදු විසිපහෙන් විතර පස්සේ; මට වැඩිය හැම අතින්ම උගත්- බුද්ධිමත්- දැනුමින් පොහොසත් අයගේ ඇසුර ලබන්නට ඉඩ ලැබීම. නැත්තන් මාත් තවම අර ළිඳේ තමා.
පඹයන් ගෙනෙන එක නං ඉතිහාසය පුරාම සිද්ද වෙනවනේ.... මඩ ගොහොරුවේ පච වෙන්න ඉස්සෙල්ලාම පය තියද්දීත් මට ඉගැන්නුවේ අපේ තාත්තානේ.
මට තේරෙන දෙයක් තමා, ඔන්න කවුරුහරි ඉස්සෙල්ලම නිර්මාණයක් කරද්දි පුළූවන් තරම් හොඳමට කරනව. පස්සෙ උන්දැට තේරුම් යනව ලංකාවෙ රසිකයන්ට මෙච්චර මහන්සි වෙන්න ඔ්නෙ නෑ කියල. පස්සෙ උන්දැ ඔහෙ ඒහෙං මෙහෙං ගහල දානව. එව්ව බලන අහන අපට දුකයි "මුං අපි ගැන කොයිතරං සිල්ලරට ද හිතාගෙන ඉන්නෙ" කියල.
ReplyDeleteහොඳම උදාහරණය :-
ඔන්න ඉස්සෙල්ලම සන්ෆ්ලවර්ස් ගහපු සලාදෙ අරං බලන්ඩ. ඒකෙ මියුසික් ඇත්තටම ඇමරිකන් බෑන්ඩ්වල කොලිටියට යනව. පස්සෙ පස්සෙ තමා කොත්තු මියුසික් පටං ගන්නෙ. පසුකාලීනව ලංකාවෙ "සන්ෆ්ලවර්ස් ශෛලිය"කියල දියුණූ වුනේ ඒ කොත්තු මියුසික්.
ටෙනිසන් කුරේ ඉස්සෙල්ලම ලියපු ෆිල්ම් එක, මට මතක හැටියට "රජවැඩකාරයෝ" (අර කාජොල් ගෙ අම්ම රඟපෑවෙ) ආං ඒකෙ කතාව, සහ ස්පෙෂල් ඉෆෙක්ට් ඉතාම සුපිරියි. පස්සෙ පස්සෙ ඌ දැනගත්ත ලංකාවෙ කාඩ රැළ හිනස්සන්ඩ කුණූහරප දෙපාත්ත හරවල කිව්වම පුළුවං කියල.
ඔය සුනිල් සෝම පීරීස්, හරබට් රංජිත් පීරිස් ආදී උදවියත් ඒ් විදිහයි. අන්තිමේ, වැඩ බැරි ටාසන් ෆිල්ම් එක හැදුවෙ ජෝජ් ඔෆ් ද ජංගල් කොපිකරල, හිරිකිතයක් නැතුව ඒකෙ සමහර කෑලි කපල අරං මේකට පුරුද්දල.
අර කියපු එක ඇත්ත. ළිං ගෙම්බන් වීමට වඩා නරකයි, වටේ ඉන්න අනික් අයත් ළිං ගෙම්බො ම වීම.
ඩ්රැකී, ගොඩක් ස්තුතියි දිග comment එකකින් හොඳ විස්තරයක් කියා දුන්නට. ඔබතුමා කියන film එක පෙරළිකාරයෝ නේද? තනුජා act කලේ ඒකෙ වගෙයි මට මතක.
Deleteඋත්තරේ පරක්කු වුණාට හේතුව දන්නවනෙ, නුවරඑළියේදී හම්බ වුණු නිසා. කදමලුත් අරගෙන Oasis එකටම ඇවිත් හමුවීම ගැන ස්තුතියි ගොඩක්.
අපේ නංගිලා මල්ලිලාත් මතක ඇතිව ඔයාට ස්තුති කරන්න කිව්වා!
https://www.postoast.com/muslim-actors-who-adopted-hindu-screen-names/
ReplyDeletelink එකට ස්තුතියි Pra Jay මහත්තයෝ. ලංකාවෙත් ගොඩක් අය කලාවට බරවෙද්දී නම් මාරු කර ගන්නවානේ!
Deleteඉස්සර සුනිල් සෝම පිරිස් කිව්වම වීරයෙක් වගේ අපිට හිතුනේ... ඒ කාලෙට ගැලපෙන්න හොඳ ෆිල්ම් කලාට පස්සේ පස්සේ නම් වැඩකට ඇති දෙයක් කලාද කියල මතක් වෙන්නේ නැහැ..
ReplyDeleteයකඩ දාච්ච ගෙයි පුළුන් ඉතිරි වෙයිද පැතුම්?
Deleteගස් නැති රටේ ඔබ තුත්තිරි ගහක් ද, ගස් ලබු ගහක් ද, මෝල් ගහක් ද නැති නම් කොහොඹ ගහක් ද?
ReplyDeleteමේ post එකෙන් කියන කාලෙ නං මමත් තුත්තිරි ගහක්, රසික මහත්තයෝ.
Deleteඒක කාලෙන්-කාලෙට වෙනස් වුණා වගෙයි මට පෙනෙන්නේ.
සුනිල් ල දෙන්න නෑයොද
ReplyDeleteසුනිල් ටී සහ සුනිල් සෝම
ඒත් එක්කෙනෙක් යම් දුරකට හොඳ අනෙකා ගන්න දෙයක් නැති කක්සි ගොඩක්.. 😒😒
මම දන්නා විදිහට නං මේ සුනිල් මහත්තුරු දෙන්නා අතරේ කිසිම නෑදෑකමක් නෑ, මහේෂ්.
Delete