අකුරු මැකී නෑ

Saturday, December 31, 2022

සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස

“එතකොට එන්න ඕනි තැන?”
“හඃ හඃ හඃ. එයාලා නුවරට ආවට පස්සේ මට call එකක් දෙයි. එතකොට තමයි කියන්නේ. ඒ වෙද්දී අපි යන තැනට ගිහිං ඉවර වෙලා තියෙයි!” ප්‍රියන්ත මාරබැද්ද ගැන අපට නොකියා වසංගාගෙන හිටියේ එච්චරට සූක්ෂ්මවය...

එයාලා නුවරට ආවට පස්සේ මට call එකක් දෙයි. එතකොට තමයි, තැන එයාලට කියන්නේ.

වාහන පෙළ ඉදිරියට ඇදෙද්දී, මට සිහිපත් වුණේ හඟුරන්කෙත ‘ගල් බෝලය’ සොයා ගිය ගමනයි.

Pra Jay, රවී අයියා හා එක්ව ඒ ගමන යැවුණේ ඕස්ට්‍රේලියාවේ සිට කෙටි සංචාරයකට ලංකාවට ඇවිත් හිටි ‘සිරිබිරිස්’ පාඨක හිතවතා නිසාය. (මේ හිතවතුන් මා හඳුනාගත්තේ blog අඩවිය හරහාය!)
අවුරුදු 40කට විතර ඉස්සර දවසක, දස්කොන්-ප්‍රමිලා ආදර කතාව ගැන තොරතුරු සොයා තනිවම හඟුරන්කෙතට ගිය ගමනකදීය, මට ඒ ගල් (බරුව) බෝලය දැක ගන්නට ලැබුණේ. එදා ගම්වැසි වැඩිහිටියෙකුගෙන් කියවුණු විදිහට ඒ ගල් බෝලය හමුවී තිබුණේ හඟුරන්කෙත වැව ගොඩ කරන්නට ඉස්සෙල්ලාය. (දැන් එහේ වැවක් තිබුණු බවට ලකුණක්වත් නැත!)

“ඔය ගල් බෝලය කකුලේ ගැට ගහලා තමයි, රජ කාලේ වැරදිකාරයන්ව වැවේ ගිල්ලලා මරල තියෙන්නේ....” ඒ දවස්වල ගල් බෝලය දමා තිබුණු දර මඩුවේ හිමිකාර වැඩිහිටියා මට කිව්වේය.

සුහද කතාබහකදී මගෙන් ඒ විස්තර කියවුණාම සිරිබිරිස් උන්නැහේටත්, Pra Jayටත් ඒ ගල් බෝලය හොයා බලන්නට උවමනා වුණේය. හිමිදිරියේම පිටත්වී එහාට ගියත් ගමනෙන් පලක් වුණේ නැතිය. තොරතුරු ගොඩක් සොයා ගන්නට වාසනාව ලැබුණත්, ගල් බෝලය තිබුණු නිවස සොයා ගන්නට අපට නොහැකි විණි. ඒ වෙද්දී ඒ තරමටම හඟුරන්කෙත සංවර්ධනය වෙලාය.

මේ අතීත විස්තර ටිකකුත් මෙතැන ලිව්වේ ඊයේ- පෙරේදාවක උදේ ඇහැ ගැටුණු ප්‍රවෘත්තියක් හින්දාය.

‘කුණ්ඩසාලේ උඩමළුව පුරාවිද්‍යා රක්ෂිතයේ තිබුණු සඳගල නමින් ප්‍රකට කිලෝ දහසකට අධික බරකින් යුත් ස්මාරකය සොරාගෙන යෑමට ඉකුත් 14 වැනිදා පැමිණි රථයට ආරක්ෂාව සපයමින් ඩිෆෙන්ඩරයක්ද එම ස්ථානයට පැමිණ තිබූ බව විමර්ශනවලින් හෙළි වී තිබේ.

එම ඩිෆෙන්ඩරයේ හිමිකරු ගැන තොරතුරු රැසක් අනාවරණය වී ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. මහනුවර දේශපාලනඥයකුගේ මැතිවරණ වැඩ සඳහාද මේ ඩිෆෙන්ඩරය පරිහරණය කර තිබෙන බවටද තොරතුරු හෙළි වී ඇත.

මේ ඩිෆෙන්ඩරයත් එදා එය පදවාගෙන ගිය පුද්ගලයාත් ඩිෆෙන්ඩරයේ ගමන් කළ පුද්ගලයනුත් සඳගල පටවාගෙන රැගෙන ගිය රථයත් වැඩි කල් යන්නට පෙර අත්අඩංගුවට ගැනීමට හැකිවනු ඇති බවද... ඩිෆෙන්ඩරය සඳගල පැටවූ රථයට ආරක්ෂාව දෙමින් ගමන් කරන අයුරු ආරක්ෂක කැමරා දර්ශන මඟින්ද තහවුරු වී තිබෙන බවද එම නිලධාරියා වැඩිදුරටත් කීවේය.

දෙවෙනි සංචාරයේදී සාන්ත, බබීතා යුවල දෙපුතුන් එක්ක...
ඉකුත් 14 වැනිදා මහ රෑ පැමිණ සොරාගත් මේ පුරාවිද්‍යා ස්මාරකය තිබුණු භූමිය ක්‍රිස්තුවර්ෂ 1707 සිට 1739 දක්වා මහනුවර කුණ්ඩසාලේ රාජධානිය කොටගෙන වසර 32ක් පමණ රජ කළ අවසන් සිංහල රජු වන ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ මාලිගය පිහිටියේ යැයි පැවසෙන ප්‍රදේශයකි. කුණ්ඩසාලේ උඩමළුව පුරාවිද්‍යා රක්ෂිතයේ තිබූ මේ සඳගල අඩි හතරක් පමණ දිගින් හා අඩි තුනක පමණ උසකින් යුක්තය.’

ඒ විදිහට බලද්දී නම් අප සොයා ගිය ගල් බෝලයත් මෙලහකට අතුරුදහන්වී තිබෙන්නට ඇති ඉඩ වැඩිය. (සඳගල කිලෝ දහසක් බර වෙයි නම්, මට හිතෙන්නේ ඒ ගල් බෝලය කිලෝ තුන්සීයක් විතර වෙන්නට ඇතැයි කියලාය.)

මගේ නසරානි චිත්තයා කියන්නේ, තව දුරටත් සඳගල හෝ ගල් බෝලය ගැන හෝ කතාකොට පලක් නැති බවයි. ‘නිකං හිටපං, නිදි. දේශපාලකයො ගෑවිච්ච වැරදි කී දාහක් නං එහෙම්මම යට ගිහිං තියෙනවද බූරුවො?’ එහෙමයි කියනවා හැරෙන්නට- වෙනින් දෙයක් හිතට එකඟව කියන්නට මගෙ දිව නොනැමෙයි!

ඒත්, අලුත් අලුත් විපිරියාස news දකිනකොට අර නොනැමෙන මගේ දිව නැමෙන්නේ නිකම්මය. මානව වර්ගයාගේ කුතුහලය එහෙමය.

සර් ජෝන්ස් බංගලාවේ බිත්ති සරසන ඉපැරණි ඡායාරූප රැසක්ම තිබෙයි. ඒවාට එබිකම් කරමින් යන අතරේ ස්වීට් අතුලටත් ඔය කුතුහලය ඇති වුණේය. අතුල තමා ළඟින්ම හිටි, හිස නිකට පැහුණු වැඩිහිටියාගෙන් ප්‍රශ්නයක් ඇහුවේය. “ඔය සර් ජෝන්ගේ අම්මල තාත්තල ගැන විස්තර මොකුත් දැනගන්න නැද්ද?”

“මොකද නැත්තේ.” හක්ස්ලි බැරෑරුම් විලාශයෙන්, ගම්භීර හඬකින් කිව්වේය. “ ටිකක් විතරයි කියන්නේ... කමක් නැහැනෙ මිස්ටර් අතුල. ඔය සර් ජෝන්ගේ අ.ම්.මා... අම්..මා කසාද බැඳලා හිටියයි කියන්නේ සර් ජෝන්ගේ තාත්තවනේ!”

දෙවෙනි සංචාරයේදී හක්ස්ලිගේ එවන් ඓතිහාසික ප්‍රකාශ ඇසීමේ භාග්‍යය අපට නොලැබිණි.

ඒ ගමනේදී හඟුරන්කෙත නගරය පසුකර අපේ වාහන ඉස්සරහට ඇදෙද්දී මං වහන්සේ බලාගෙන හිටියේ දකුණු පැත්තට ඇති පාරක් දිගේ යන තුරුය. මන්දාරම් නුවරට යන්නේ එහෙන්ය.

හැරුණේ වමටය! මාතලේ- රත්තොට පාරෙන් ගිහිං රිවර්ස්ටන් පසුකොට පල්ලම් බහිද්දී ‘සර් ජෝන්ස් බංගලාව’ට යන්නටත් හැරෙන්නට තියෙන්නේ වමටය.

‘මේ වතාවේ රටම බලාගෙන ඉන්නෙත් වමට හැරෙන්නයි!’ සර් ජෝන්ස් මැඳුරේදී ඇති වුණු දේශපාලන සංවාදයේදී කියැවුණේය. වැඩි දෙනෙකු අනුමත කළෙත් ඒ අදහසය.

සර් ජෝන්ස් බංගලාවේ නැවතී ඉන්නා අයට නරඹන්නට යා හැකි තැන් කිහිපයකි. පිටවල පතන වඩාත් කිට්ටු හා පසසුවෙන්ම යන්නට පුළුවන් තැනයි.

“ළමයි, හෙට උදේ කෑමෙන් පස්සේ අපි යමු මානිගල නඟින්න. එන ගමන් පිටවල පතනටත් යං! එහෙම කරන්න වෙලාව නැති වුණොත්, අනිද්දා සේර ඇල්ල බලන්න ගිහිං එන ගමන් වුණත් යතහැකිනේ...” ප්‍රියන්ත ඉදිරි දෙදිනේ plan එක අපට විස්තර කළේ 10 වෙනිදා රාත්‍රියේය.

මේ post එකට වැටෙන මාතෘකාව මගේ සිරසට ආවේ එතකොටය. ඒ ගමන් දෙකටම නොයා, ‘මේ මැඳුරේම විහින් සිරගත වන්නට’ මම තදින්ම ඉටා ගතිමි. ඒ සහේතුකවය. හේතු කිහිපයක්ම හින්දාය.

1. පිටවල පතන නැරඹීමට මා විසි-තිස් වතාවකටත් වැඩියෙන් ගිහිං තිබේ.

2. අවුරුදු විසි ගණනකට පෙර (ප්‍රියන්ත ඇතුළු අප 10 දෙනෙක්) නකල්ස් මං පෙතේ සෑහෙන දුරක් තරණය කොට, (කූඩැල්ලන්ගේ ආක්‍රමණයෙන් බේරෙන්නට උවමනා නිසාම) දිය ඇල්ලක් අද්දර කළු ගල් තලාවක රැයක් පහන් කරන්නට වුණු අත්දැකීමකුත් මට තිබේ. මානිගල මංපෙතට වඩා එය දුෂ්කර- දීර්ඝ එකකි. (ඒ ගමන ගැන වෙනම පෝස්ටුවක් ලියන්නට වටියි. අපේ උගත් මිත්‍රයෙක් නකල්ස් තරණය කොහොම එකක්දැයි නිශ්චය කොටගෙන තිබුණාද යත්, ඔහුගේ ගමන් බෑගයේ බැඩ්මින්ටන් රැකට්ස් දෙකකුත් දාගෙනය ඇවිත් හිටියේ!)

කූඩැල්ලන්ගේ ආක්‍රමණයෙන් බේරෙන්නට උවමනා නිසාම...
3. සේර ඇල්ල කෝමළංගනාවියත් හත්-අට වතාවක්ම ඇයගේ අසිරිමත් රූ-සිරිය මට පෙන්වා තිබෙයි.   

4. මානිගල ගමනේදී සීඝ්‍ර නැග්මක් නඟින්නට සිදු වෙයි. අසනීප වීමෙන් පස්සේත් ඒ ගමන යන්නට ගිහිං, මා ගියේ අඩක් විතරය. සාමාන්‍යයෙන් පැය හතරක්-හතරහමාරක් යන ඒ ගමනට මාත් ගියා නං පැය හත-අටක්වත් යනු ඇතියි මට සිතුණු බැවිනි, ඒ.
“වෙලාව ගියාට මොකෝ. ඔයාත් නඟිමු.” කට්ටියම මට බල කළහ. “මම නඟින්න පටන් ගත්තෙම ඔයාලට කියලනේ, මට අමාරු වගේ තේරුණොත් මම තනියම පහළට බැහැලා බලාගෙන ඉන්නං කියලා.” මගෙ තර්කයට එකඟ වීමටය එයාලට සිදු වුණේ!

එහෙම වුණත් මානිගල එක වතාවක් හෝ තරණය කර දැකගත යුතු තරම් මනස්කාන්ත තැනකි. එසේම ඒ ගමනේදී දුලබ දසුන් කිහිපයක්ම ඔබට හමු වෙයි!

මානිගල මං පෙත පිළිබඳව සවිකොට තියෙන පුවරුවකත් ඒ විස්තර ඇතුළත් වන්නේ මෙලෙසිනි:

# පුළුල් පරාසයක දිවෙන භූ දර්ශනය (දූවිලි ඇල්ල, ලකේගල, තූනිස්ගල)
# හෙල්මළු ක්‍රමයට වගා කළ කුඹුරු
# ගල්පර ආශ්‍රිත වනාන්තර
# අතරමැදි කලාපීය වනාන්තර
# කුරු වනාන්තර
# කළු ගඟ / මොරගහකන්ද ජලාශ
# දිවියා, ගෝනා වැනි ක්ෂීරපායී සතුන්, සමනල විශේෂ
# කඳුලැස්ස, වටැස්ස වැනි ආවේනික මාංශ භක්ෂක ශාක
# නකල්ස් සංරක්ෂිතයට ආවේණික හීන්කොළ ශාක
# වියළි පතන

‘නිදිගෙ පංච තන්තරේ’ ආදරණීය රසික- රසිකාවන්ට, මෙහෙම විස්තර පලිප්පු දමමින් කිව්වත්- මං වහන්සේ විහින්ම; ස්ව කැමැත්තෙන්ම හිරවී සිටීමේ රහස වෙනම එකකි. ඒකත් දැන් මා ඔබට හෙළි කළ යුතුය.

බියෙන් නොසැලී අලි, කොටි හමු වෙන්නට ගියත්- මේ ‘චා ගුණ්ඩියා’ පොඩි සතෙකුට නං පරාණ බයය. ඒකා පොඩි සතෙකු වුණත් ඌට ඇස් යුගල පහක්- දත් 300ක් හා මොළ 32ක් තිබෙනවාලු!

ඒ නැතත්, මගේ ලේ කැටි ගැසීම ඉතා අඩුවෙන් සිදු වෙන බැවින්ය- මා වඩාත් ප්‍රවේසම් විය යුත්තේ. කූඩලු දෂ්ටයකදී මගෙන් ලේ ගැලීම පැය ගණනාවක් තිස්සේ නොනැවතී සිදු වෙයි! ඒ මටම හිරිකිත හිතෙද්දීය.

මේ අඩවිවල තෙත් ගතිය වැඩි; වදුලු සහිත තැන්වල කූඩැල්ලෝ අඟලෙන් අඟලට සිටිති! මා දැක ඇති ඉතාමත්ම විචිත්‍ර, හම පුරා designs සහිත, වේගවත්ම ප්‍රහාරක කූඩැල්ලන් ඉන්නේ නකල්ස් අඩවියේය. ඉතිං බය නොවී කොහොමද?

“කොහෙද? මේ දවස්වල මේ trip එක යන්න plan කළේ බත්තලංගුණ්ඩුවට. නිමලුත් සාක්කි. මං නිමල්ගෙන් ප්‍රියංකරගේ ෆෝන් නොම්මරෙත් ඉල්ලගෙන එයාට කතා කළත් එක්ක. ගිය සැරේ වගේම දවසක් බත්තලංගුණ්ඩුවේ ඉඳලා, ඊළඟ දවසේ ගඟේ යායේ camping කරන්න. ඒ අයිඩියා එක කලින්ම කියපු එකයි වැරැද්ද. කිව්ව දවසේ ඉඳන් අපේ මිනිස්සු ඤං-පචං ගාන්න පටන් ගත්තනේ!” බංගලාවෙදී ඇති වුණු කතාවකදීය, ප්‍රියන්ත හෙළි කළේ.

“එහෙට ගියා නං මේ වගේ සීතලේ බංගලාව අස්සේ ගුළි වෙලා ඉන්නැතුව අපිට නියම ආතල් එකක් ගන්න තිබ්බා.”
“කොහෙද... අපේ බබිතයි....” නලින් කිව්වේ ඇස් නටවා, ඉඟි පාමිනි. (සභාවේ සිනා!)
“අනේ මේඃ... මාව ඔව්වට අල්ල ගන්න එපා.”
“එහෙම අල්ලගන්න එපයි කියන්නෙ කොහොමද? මම කියන්නංකො වැඩේ වෙන්න ඇති විදිහ. ඔන්න අයියා බබිතට කියනවා trip එක යන්න හදන තැන. පහුවදා උදේ පාන්දරම බබිතා කතා කරනවා අපේ චමනිට. හැමදාම උදේ පැය දෙකක් විතර මේ නෑනලා දෙන්නා ටෙලිෆෝන් එකේනෙ....”
ජාත්‍යන්තරේට news සපයනවා!” (සභාවේ තවත් හිනා.)

“... ඔන්න එතකොට කියනවා ගඟේ යාය නං හරි නෑ මෙයා- එතැන toilet නෑනෙ කියලා. අපේ එක්කෙනාත් කියනවා -හානේ ඇත්තද මෙයා- කියලා.  ලංකාවෙන් කියනවා -ගිය සැරේ බත්තලංගුණ්ඩුවේ ගියාම අපේ සාන්තලා ටොයිලට් ගියේ ඉන්දියාවටම ගිහිල්ලා- කියලත්. ඊළඟට ඔන්න ඒ කතන්දරේ ආයෙත් ඕස්ට්‍රේලියාවෙන් ලංකාවට... රසිකාට- අපේ මැණිකෙට. කාන්තා සංගමේම වැඩේට විරුද්ධ වෙනවා.....” 

(කාන්තා සංගමයේ සාමාජිකාවන් හතර දෙනාම විරෝධය පාන්නට පටන් ගන්නේ එක වරමය.)
ඔය බොරු / අපි ඔච්චර දේවල් කතා වුණාද මෙයා / මඩ ගහන්නේ / අනේ චමනි- අපිට වෙන දේවල් නැහැනේ කතා කරන්න. නේද? / මීට පස්සේ බලා ගමුකො!

අපේ කිසිම ගමනක් බෝරින් වෙන්නේ නම් නැත! (ප්‍රියන්ත, රසිකා දෙපුතුන් සමඟ) 

(එතකොට පුරුෂ මැදිහත්වීමත් එක දිගටම කෙරෙයි.)
හැමදාම උදේ මම වැඩට ගිය ගමන් පටන් ගන්නේ, නෑනලා දෙන්නගෙ ටෙලිෆෝන් ඩියුටිය. හොඳයි නැද්ද? / උදේට චමනිල ගෙදරට call එකක් ගන්න ගියොත් පැය දෙකක්ම එන්ගේජ් / බැලුවම කාන්තාවන්ට සමතැන නෙවෙයිනෙ  තියෙන්නේ / අපි කෑ ගැහුවට කොයි ගෙදරත් ඕක තමයි මචං තත්ත්වේ... පව් අහිංසක අපි!

සභාවෙන් නැඟුණු හිනා හඬ සර් ජෝන්ස් බංගලාව දෙදරවන්නකි. ඒ හිනා හඬ තුනී වෙන්නට නොදෙන්නේ ප්‍රියන්තයි. “ඔන්න ඔහොමයි නෑනලා හතර දෙනා ජාත්‍යන්තර උදව් ඇතිව වැඩක් අල කරන්නේ!”

‘ඒකට ඔයා මීට පස්සේ අපිට කිසිම දෙයක් කියන්නෙපා!’

ඔහොම කතුරු කතාබහ හින්දා අපේ කිසිම ගමනක් බෝරින් වෙන්නේ; නිද්‍රාශීලී වෙන්නේ නම් නැත.

මාරබැද්ද හෝටලයේදී අපට ලොකුම වාසියට හිටියෙත් ඒකය.
අප එතනට යන විට හොඳින් හිරු එළිය වැටී, සැතපුම් ගණනාවක් ඈතට විහිදෙන මනස්කාන්ත දර්ශනයක් අපට දිස් වෙමින් තිබිණි. Welcome ඩ්‍රින්ක් එක පානය කොට වටපිටාව නරඹන්නට පටන් ගත්තා විතරය.

හෝටලය ඉදිකොට තිබෙන්නේ කඳු මුඳුනක, අක්කර 15ක් විශාල භූමි භාගයකය; පිදුරුතලාගල, මහ කුඩුගල, නමුනුකුල, යහන්ගල හා නකල්ස් කඳු පන්තිවල දර්ශන ලැබිය හැකි තැනකය. ඒත්....  

ඇසිල්ලකින්ම තද මීදුමක් හාත්පස සිසාරා පැතිරෙන්නට විණි. ඒ එක්කම දැඩි සීතලකුත් කාන්දු වෙයි. ඒවා පෙරහරක් එන බව කල් තබා කියන කසකාරයන් වගෙය. ඊළඟට පෙරහැර ආවේය; තද වැස්සක්! අපට කරන්නට ඉතිරි වුණේ හෝටලය තුළට වී, එකිනෙනෙකාව අවුස්සා ගනිමින් හිනා වෙන කර්තව්‍යයයි.

අප එතැන හිටි දවස් දෙකෙන් වැඩි කාලයක්ම අප හිටියේ වලාකුළු අතරේය. මීදුමෙන් වෙලිලාය. වැස්ස වැටෙන හැටි බලාගෙනය.
“මේ වහින දවස් වගෙයි!”
ඒ වැස්ස ලොකුම ආශීර්වාදයක් කර ගත්තේ ගමනට එකතු වී සිටි ගැටවර- ගැටවරියන් දහ-දොළොස් දෙනාය. එයාලා එකේක පන්නයේ ගෘහස්ත ක්‍රීඩාවන් කරමිනි, කාලය ගෙව්වේ.

මීට පස්සේ ඒ මහත්තයාට නෙවෙයි trip එකක් යන්න කතා කරන්නෝනි. නෝනට...  

(මට හිතෙන විදිහට-) ඕස්ට්‍රේලියාවේ කෙරෙන ‘මාෆියා’ නම් ක්‍රීඩාවකය, ඔවුන් වැඩියෙන්ම නිරත වුණේ. ඒ සෙල්ලමේ හොඳම දේ, ඕනෑම ක්‍රීඩකයන් ගණනක් එයට සහභාගී කරගත හැකි වීමයි.

ඒ සෙල්ලම නිසා ඔවුන් එකිනෙකා හා මුසු වීම; හඳුනා ගැනීම සිද්ද වෙන හැටි අපට හොඳින්ම පෙනිණි.
(“එයාලා ෆ්‍රෙන්ඩ්ලි වේගෙන එනකොට trip එක ඉවර වෙච්චි එකයි පාඩුව. තව ටික දවසක් හිටිය නං එහෙම අපේ දුවලා ලංකාව දාලා යන්න බැහැයි කියන්නත් ඉඩ තිබ්බා.” නිවාඩුව හමාර වී ඕස්ට්‍රේලියාවට ගියාට පස්සේ නලින් කීවේය.)

ගෘහස්ත ක්‍රීඩාවලට කාලය හා විවේකය ලැබීම සමහර අඹු-සැමියනට සුවිශේෂී වරප්‍රසාදයක් වී තිබුණු විත්තියත් නොකියාම බැරිය. ඒ හෝටලයේ පළමුවෙනි මහලේ බිත්තියක් ඒ ගැන රහසින් කොඳුරනු මට ඇසුණි.
“අර ජෝඩු ජෝඩු අතරේ කැරම් මැච් එකෙන් දිනපු ජෝඩුව- පහක් දාලා කෑ ගහගෙන උඩ පැනපු තරමට හෝටලේ foundation එකත් දෙදරුවා, බොලේ!”

‘මීට පස්සේ ඒ මහත්තයාට නෙවෙයි trip එකක් යන්න කතා කරන්නෝනි. නෝනට... මහත්තයට කතා කරපුවමනෙ පස්ස ගහන්නේ. නෝනට කතා කරමු. මහත්තයව දාලා හරි ගමනට එයි!’ ඒ යුවලේ ඒ ප්‍රහර්ෂය දුටු හිතවතෙකුට ඉබේම කියැවිණි. (නෝනා මහත්තයා කියලා වාර්තා කරන්නේ, නම් වනම් නොකියන්නට පරෙස්සම් වෙමිනි.)  

එහෙම වාසි තිබිලාත්, දෙවේලක් යනවිටම අපේ පිරිසට හෝටලයේ ආහාරපාන ‘ඇති වී’ තිබිණි.
‘එකම වගේ කෑම හින්දද මන්දා. දැන් ඒවා ඇති වගේ. කරවල තෙල් දාලා පොල් සම්බෝලයක් එක්ක උණු බත් ටිකක් කන්න ආසයි.’ කෙනෙක් කිව්වේය. ‘අපිට පුරුදු ඉතිං බතුයි, පරිප්පුයිනෙ.’ තවකෙක් උත්තරත් දුන්නේය.

“ඒකටත් එක්ක මෙන්න මිනිහා. යකෝ, තමුසෙ ලෙඩෙක් නේද? මම අහන්නේ තමුසෙට ඔහොම හැම දේම ගිලින්න හොඳයිද, මොකාද වගේ?” අයස්මන්ත මහත්තයා කෝන්තර අහද්දී, හතරපස් දෙනෙක්ම ඊට උඩගෙඩි දුන්හ. ඔහොම වෙලාවට තවත් ප්‍රශ්නයක් අහන එකය, මගේ පුරුද්ද.
“ප්‍රියන්ත අපිව මේ වගේ තැනකට එක්ක ආවට පින් දිදී, ඒකෙන් උපරිම ප්‍රයෝජනේ ගන්නැතුව ඉන්න තරම් මෝඩයෙක්ද මං?”

එකේක සූපවේදීන්ගේ ක්‍රම; රස හා ඉදිරිපත් කරන විධි වෙනස් බැවින්, එයිනුත් යමක්...

හැම විටම කොහෙට; කොතැනට ගියත් එතැන තිබෙන විවිධාකාරයේ ආහාර වර්ග හැම එකක්ම රස බලන පුරුද්දක් මට තිබේ. එහෙම කරන්නේ ඉගෙන ගත හැකි නිසාය.

මාරබැද්ද හොලිඩේ රෙසොර්ට් එකේ අනෙක් කෑම හොඳ වුණත්, ලුණුමිරිස- පොල් සම්බෝලය හා තෝසේ සම්බෝලය කියන තුන් වර්ගයටම මගෙන් ලැබෙන්නේ ‘රින’ ලකුණුය. ඒ වගේ දෙයක් කිව්වාම පළමුවෙන්ම පැටලෙන්නට එන්නෙ නෙවිල්ය.
“තියා ගන්නවා තමුසෙගෙ points. කවුද හලෝ තමුසෙ කියන ඒවා ගණන් ගන්නේ?”

“ගණන් ගත්තත් නොගත්තත් මට කමක් නෑ. මට තේරෙන ඇත්ත මම කියනවා. නිකමට ගිහිං බෙදාගෙන එනවකො තම්බපු මුං ඇට හැන්දක්. බාගයක් තැම්බිලා නෑ- යක් ඇට. මෙච්චර ලොකු හෝටලේක චෙෆ් දන්නැති හැටි, යක් ඇට නැතිව මුං ඇට තම්බන හැටි!”

“එතකොට මොනවද තමුසෙට හොඳට තිබුණේ?”
“හොඳට තිබ්බෙද... සුප් ජාති හොඳයි. ආප්ප හොඳයි...සැලඩ්ස් හොඳයි!”
“ඇති තමුසෙ එව්වටවත් හොඳ කිව්වා!”

“සමහරු ඉන්නවා තමයි, නරක විතරක් දකින- විවේචනය කරන්න විතරක් පුරුදු වුණු. මට ඒ ලෙඩේ නෑ කියලයි මං හිතන්නේ. මං මට තේරෙන ඇත්ත කියනවා. සමහර වෙලාවට නොකිව යුතු තැනදීත්... ඒක නං ඉතිං- මගෙ තකතිරුකම. හැබැයි, මම තදින්ම විශ්වාස කරනවා ‘විවේචනය රාත්තලකට වැඩියෙන් ප්‍රශංසාව අවුන්සයක් වටිනවා’ කියන කියමන.”

බීපු බෝතල් ගාණනෙ! (පටන් ගත්තේ මෙතැනිනි.)

එහෙම කිව්වාටත් පස්සෙය, මට මේ වැදගත්ම පුරස්නය අහන්නට හිතුණේ. “නෙවිල්, මොකක්ද මේ ගමන්වල තිබිච්ච හොඳම දේ?”

ලැබුණේ අවංක පිළිතුරක් නොවේ, මාව ඇවිස්සෙන; මගෙ සිරසට යකා  නංවන උත්තරයකි. “බීපු බෝතල් ගාණනෙ!”

ඉතිං, ඉතාමත් විනෝදජනක; සතුටුදායක සංචාර දෙකකටම මා කැටුව ගියාටත්, posts හතරක්ම ලියන්නට තරම් කරුණු සපයා දුන්නාටත් සැම කෙනෙකුටම තුති පුද දෙමිනි, මෙතෙකින් මේ පෝස්ටුව හමාර කරන්නේ.

ඒ සමඟම කිව යුත්තේ 2022 වසරට ස්තුති පූර්වකව සමු දෙන බවයි; එසේම, එළඹෙන 2023 වසර සකල ලෝකවාසී සියලු සත්ත්වයාටම වඩාත් යහපත්; වඩාත් ප්‍රසන්න; වඩාත් ප්‍රමෝදය දනවන වසරක් වේවා යැයි පතන බවයි෴0෴ 

Monday, December 26, 2022

සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස

දෙසැම්බර් 18 වෙනිදා උදේ අපේ පිරිසත් එක්ක trip එකට පිටත්වී, මඟක් යද්දී අතුලට දුරකථන ඇමතුමක් ලැබිණි. තාත්තා අන්තරා වුණා’...ඒ දුක්බර ආරංචිය ලැබෙනකොට අතුලලා හිටියේ මීරිගම ප්‍රවේශයට කිට්ටු වෙමිනි.

සරත්ගේ වාහනයේ අපි කට්ටිය හිටියේ කඩුගන්නාවට නුදුරෙනි!

අපේ දෙවෙනි සංචාරයටත් පිටත් වෙනවා කියලා තිබ්බේ...
අපේ දෙවෙනි සංචාරයටත් පිරිස පිටත් වෙනවා කියලා තිබ්බේ හරියට පහටය. ‘හරියට වෙලාවට පෙර එහාට යමු’යි කියා කියන්නට ගිහිං කොතරම් බැනුම් ඇහුවත්, පරක්කු වෙන්නට මගේ හිත ඉඩ දෙන්නේ නැත. සතියකට කලිනුත් නෙවිල්ගෙන් ඔය කාරණාවෙදී බැනුම් අහගෙනය මං හිටියේ.

අප දෙදෙනාම එක වගෙය. හෝද-හෝදා මඩේ ඔබන්නෝ වෙමු. මගේ ‘නොපමා ප්‍රතිපත්තිය’ මම දිගටම රකින්නෙමි. අනිත් අය වගේ වෙන්නැයි නෙවිල් මට කියයි. ඒත්, මට බැන වැදෙමින් හරි මේ වතාවෙත් නෙවිල් මගේ මතයට ඉඩ දුන්නේය. මාව නංවා ගැනීමට පාන්දර 4.35ට අපේ ගෙදරට ආවේය.

ඒ මගේ බල කිරීම නිසාමය.
අවුරුදු 26ක් වෙන තුරුමත්, වෙලාවට වැඩ නොකිරීම පුරුද්දක් කර ගෙන සිටි මොට්ටයෙකි- මං වහන්සේත්. මා ඒ කැත පුරුද්ද අත්හැර ගත්තේ පුදුමාකාර විදිහටය. 1980දී පටන්ය. තජකයේ උඩවැඩියා පාඨමාලාවේ
ආචාර්ය එම්.ජී. ප්‍රේමරත්න මහතාව ආදර්ශයට ගනිමිනි!

මේ ‘කැත පුරුද්ද’ ඊයේ පෙරේදාවක ශ්‍රී ලංකාවේ නමටත් කැළලක් එක් කළ බව වාර්තා වී තිබුණේ මෙහෙමය:

ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදය හමුවේ සහය ලබා දීමට ඇති හැකියාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට  ඊයේ (21) සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යංශයට පැමිණි කොරියානු ආපදා සහන පදනමේ සභාපතිවරයා රාජ්‍ය අමාත්‍ය අනූප පැස්කුවල්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව විනාඩි 30ක් ප්‍රමාද වීම හේතුවෙන්  අමාත්‍යවරයා ඇතුළු නිලධාරීන් දැඩි දෝෂ දර්ශනයට ලක් කළේය. මෙම රැස්වීම විනාඩි 30ක් ප්‍රමාද කිරීම පිළිබඳව ලජ්ජා විය යුතු බවත් බවත් රජයේ නිලධාරීන් සහ ඇමතිවරුන් මීට වඩා වගකීමකින් වැඩ කළ යුතු බවත් ඔහු අවධාරණය කරමින් සිය නොසතුට පළ කළ බව වාර්තා වේ.

සු චෝ ලි සිය අදහස් දැක්වීම කොරියානු භාෂාවෙන් සිදු කළ අතර එය පරිවර්තකයකු විසින් සිංහලයට පරිවර්තනය කරන ලදී. එහිදී ඔහු තවදුරටත් ප්‍රකාශ කළේ මෙවැනි ප්‍රමාදයක් දකුණු කොරියාවේ සිදු වූයේ නම් එවැනි නිලධාරීන්ගෙන් ප්‍රශ්න කර විනය ක්‍රියාමාර්ග ගැනීමට පවා ඉඩ තිබුණා යනුවෙනි.

බොරු කීම බොරු පොරොන්දු දීම සාමාන්‍ය දෙයක් වෙලා.

අපේ රටේ රැස්වීමකට විනාඩියක් පරක්කු වුණා නම් ඉවරයි. ඒක ලජ්ජා විය යුතු දෙයක්. ශ්‍රී ලංකාවේ ඒක අතිශය සාමාන්‍ය දෙයක් වෙලා. බොරු කීම බොරු පොරොන්දු දීම සාමාන්‍ය දෙයක් වෙලා. විදේශිකයෙක් ඇවිත් මේ දේ ශ්‍රී ලංකාව ගැන කීම පිළිබඳව ජාතියක් ලෙස ඔබ ලජ්ජා විය යුතුයි. දැන් මේ තත්ත්වය ඔබේ සංස්කෘතියක් බවට පත් වෙලා. මේක වෙනස් කර ගන්න බැරි වුණොත් බිස්නස් ඉවරයි. විදේශ සම්බන්ධතා ඉවරයි. මෙම තත්ත්වය වෙනස් විය යුතුයි.

-තවත් ඉතාම වැදගත් කාරණාවක් තමයි අප ඉතාමත් අවංකව සාධාරණව වැඩ කරන්න ඕන. අප සත්‍යවාදී විය යුතුයි.

-ඊළඟ කාරණාව තමයි තමන්ට යම් යුතුකමක් වගකීමක් පැවරී තිබෙනවා නම් ඒ වගකීම සියයට සියයක් අවංකව නිවැරදිව ඉටු කළ යුතුයි. යම් කිසි වැඩක් බාර දුන්න නම් නම් ඒකට වග කියන්න අප දැනගත යුතුයි. අපිට වෙලා තිබෙන්නේ ඒ පිළිබඳව වගකීමක් අපි බාර ගන්නේ නෑ. එවැනි වෙලාවක නිදහසට කරුණු කීම සාධාරණීකරණය කිරීම අපි සාමාන්‍ය දෙයක් කරගෙන. මට යම් වගකීමක් දීල තිබෙනවා නම් මගේ ජීවිතය කැප කරල හරි ඒක රක්ෂා කරන්න වැඩ කළ යුතුයි.

-ශ්‍රී ලංකාවෙන් කොරියාවට ගිය සමහර තරුණයන් වැඩ කරන්නෙත් එහෙමයි. ඔවුන් වැඩ කරන තැන ප්‍රධානියා ඉන්නකොට යටහත් පහත්ව වැඩ කරනවා. ඔහු එතනින් ගිය ගමන් ඔහේ ඉන්නවා. එහෙම අය අප ඉවත් කරනවා. ශ්‍රී  ලංකාවේ රාජ්‍ය නිලධාරීන් ඉන්නේ රජවරු වගේ. මේ රටේ ආකල්ප වෙනස් විය යුතුයි. ඒ සඳහා මේ රටේ අධ්‍යාපන ක්‍රමය සම්පූර්ණයෙන්ම වෙනස් විය යුතුයි.

-එබැවින් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ සහ මිනිසුන්ගේ චින්තන රටාවේ වෙනසක් සිදුවිය යුතුයිලී වැඩිදුරටත් පැවසීය.

ඉතිං, පාන්දර 4.35ට අපේ ගෙදරට ආ නෙවිල් පුදුම වුණේ මගේ ඇඳුම් බෑගයට අමතරව තිබුණු ලොකු බෝතල් මල්ල දැක්කාමය.
“මෙච්චර ගොඩක් බෝතල්? තමුසෙ අපිට ෂැන්ඩි දෙනවද මේ සැරේ?” මෙගා බෝතල් හතරක් දැමූ බෑගය දුටු නෙවිල් ඇහුවේ කට පුරා හිනා වෙමිනි.
“මට එච්චර කැසිල්ලක් නෑ!”

“එහෙනං මොනාද මේ?”
“කොළ කැඳ!”
“කවුද හලෝ මේ පාන්දර කොළ කැඳ බොන්නේ...”

“තමුසෙට බැරි නං නොබී නිකං ඉන්නවා. ගිය සැරේ ගමනෙදී මං සාන්තලට කිව්වා කරපිංචා කැඳ ටිකක් හදාගෙන එනවයි කියලා.”
“ඉතිං මේ ටිකයිද හලෝ?” නෙවිලුත් කොකම් පෑම නවත්තන්නේ නැත.

“මං බබිතා නංගිගෙන් අහගත්තනෙ. මේ සැරෙත් තිහක්ද කොහෙද trip එක යනවා. එක මෙගා බෝතලයකට කැඳ වීදුරු අටක් නවයක් විතර අල්ලනවා. එතකොට හරිනේ... දන්නවද, අතුල හකුරුත් අරං එනවයි කිව්ව හලෝ!”

එතකොටමය- ප්‍රියන්තගේ බාල නැඟනිය මැණිකේත්, සරතුත්, දියණිය මිත්මාත් එහාට ආවේ.

“ආාාාාාා! තමුසෙ මේ ප්ලාස්ටික් වීදුරු ගත්තේ කොහෙන්ද කියනවා එතකොට.” නෙවිල් ඒවාත් දැකලාය. මං එව්වා ගත්තේ එයාලගෙ ගබඩාවෙනි. Plastic වීදුරු- කොක්ටේල් බීම හදන බඳුන් වගේ නෙවිල්ලාගේ අඩුම-කුඩුම ගබඩාව තියෙන්නේ අපේ ගෙදරය. ඒ මදිවාට ගමනකට පෙර ‘බෝතල්’ එහෙම මිලදී ගත්තොත් ඒවාත් තැන්පත්කොට තියන්නේ අපේ ගෙදරය.

“මං ඒවා ගත්තේ තමුසෙලගෙ ගබඩාවෙන්. එව්වා පරෙස්සමට තියාගෙන ඉන්නවට බිම් කුලිය ගත්තම මොකද වෙන්නේ?”

එදා හරිශ්චන්ද්‍ර වෙලාවටම ලැහැස්ති වී උන්නායින් 4.55 වෙද්දී අපි තිදෙනා ප්‍රියන්තලගේ ගෙදරය.
“බලපං හරිශ්... මේ බූරු මෝඩයෙක්ගෙ කරච්චලෙන් බේරෙන්න ඕනි හින්දා, අදත් පාන්දරින් නැඟිටගෙන ආවා. දැන් බලනවා. අපි විතරයි... අපි තුන්දෙනා විතරයි, ඇවිත් ඉන්නේ. පලයංකො දැන් තනියම. ගෙදර මිනිස්සුවත් තවම ලෑස්ති නෑ.”
එහෙම කියනකොට මං ඉන්නේ බීරි වෙච්චි ගණනටය.

එතකොටමය- ප්‍රියන්තගේ බාල නැඟනිය මැණිකේත්, සරතුත්, දියණිය මිත්මාත් එහාට ආවේ.

“අයියෝ, නිමල් අයියලා විතරද තවම ඇවිත් ඉන්නේ? අපේ පොඩි අක්කලා එහෙමත් කලින් එනවයි කිව්වනෙ, අපේ van එකේ යන්න... අපට සරත්ලගේ මහ ගෙදරටත් ගිහිල්ල එන්න වෙනවා, අයියේ... අපි වේලාසනින් පිටත් වුණේ නැත්තං, අනිත් අයටත් බලාගෙන ඉන්නයි වෙන්නේ, නුවරට ගිහිං. ඔයාල තුන් දෙනා අපේ van එකේ යමුද- නුවරට යනකල්වත්.” මැණිකේ නංගි ඇහුවාම ‘බැහැ’ කියන්නද?

අප තුන්දෙනා, ඒ තුන් දෙනාත් එක්ක (පළමුවෙන්ම) පිටත් වුණේ පිළිමතලාවට යන්නටය.

ගමනට ගිය අයගෙන් ජංගම දුරකතනයක් නොතිබ්බේ මට විතරකි! අනෙක් හැම දෙනාගේම අතේ ඒවාය!!
ඒ මෝබයිල් ෆෝන් මඟින් අනිත් වාහන ගැන- ඔවුන්ගේ ගමනේ ප්‍රගතිය ගැන තොරතුරු හුවමාරුව අඛණ්ඩව සිදු වුණේය.

“පීරිස් මහත්තයලා මර්වින්වත් අරගෙන කටුනායක පැත්තෙන් ගිහිං, දැන් සම්පත්වත් ගන්න යන ගමන්. එයාලා නුවරදී අපිව හම්බ වෙනවලු.” මුල්ම දැනුවත් කිරීම හරිශ්ගෙනි. (වළන් කඩේ සම්පත් ඉන්නේ මීගමුවේය.)
“මචං, ඔය ගමන්ම පෝල්ටත් call එකක් අරං බලපංකො, කොයි හරියෙද කියලා.”
“මට බෑ! ඇයි නෙවිල්- ඔයාටත් ෆෝන් එකක් තියෙන්නේ..”
“ඇයි යකෝ, උඹට වගේ පිනා උපහාර ෆෝන් එකක් තියෙනවද මට?” නෙවිල් අහයි. ඉතිං, කීකරු වෙන හරිශ්චන්ද්‍ර අංක ඔබයි; කතා කරයි.

පෝල් මහත්තයල කෙළින්ම පිටත් වුණාද බොරැල්ලේ ඉඳලා... හා, හා. මම මැණිකෙට කියන්නං, රවීලගේ ගෙදර location එක එවන්න කියලා.”

රවීලගේ ගෙදරදී අපි සේරම එකතු වෙලා, එහෙන් උදේට කාලයි පිටත් වෙන්නේ.

සරත්ගේ බාප්පාගේ පුතණු කෙනෙකු වෙන රවීලාගේ ගෙදරින්ය, මෙවර අපේ උදේ කෑම සූදානං කෙරුණේ.

ගමනට යන වාහන හයෙන් තුනක්ම පිටත් වුණේ එකිනෙකා හමු නොවීමය. විටින්-විටය. “රවීලගේ ගෙදරදී අපි සේරම එකතු වෙලා, එහෙන් උදේට කාලයි පිටත් වෙන්නේ.” ප්‍රියන්ත කිව්වේ අපේ ගමනාන්තය ගැන හෙළිදරව් නොකරමිනි. “එතැන ඉඳලා ඔක්කොමලම මාව follow කරපුවම හරි!”

“අපි තමයි පරක්කු වෙන්නේ කියල හිතුවට, අපේ අයියලා පරක්කු වෙයි වගේ. එයාලත් අලව්වට ගිහිං රසිකලගේ අම්මවත් එක්කගෙන එපැයි එන්න.”
“එහෙමත් තියෙද්දිනෙ මැණිකේ, මේ මෝඩයා පාන්දර එකේ ඉඳලා ඇහැරිලා ඉන්නේ!”
“ඈ? එකේ ඉඳලා.. ඇත්තද නිමල් අයියේ මේ නෙවිල් කියන්නේ?” වාහනය පදවන සරත්, නෙවිල්ගේ කතාවට පොහොර දමන්නේ යන්තමට හැරී බලමිනි.

“මමමයි එයාට ඒක කිව්වේ... හරි වැඩේනෙ මට වුණේ. දෙකට ඇහැරෙනවයි කියලා හිතාගෙන නිඳා ගත්තා. රෑ මැද්දේ ඇහැරිලා අත් ඔරලෝසුව දිහා බලනකොට දෙකයි. ඉතිං ඉක්මනට නැඟිටලා කැඳ හදන්න පටන් ගත්තා... පැයකට විතර පස්සේ වෙලාව බලද්දි එතකොටත් වෙලාව දෙකයි. මං නිඳි මරගාතේ දෙකයි කියලා නැඟිටල තියෙන්නේ එකට!”

“පව් නෙවිල් අයියේ! එහෙනං එච්චර මහන්සි වෙලා ඔයා හදාගෙන ආව කැඳ බොමු, නිමල් අයියේ.” මැණිකේ නංගි සැනසිලි වදන් කියයි.

“හැබැයි හකුරු ගන්න බැරි වුණා. ඒවා ගේන්නේ අතුලනෙ.”
“හකුරු ඕනේ නෑ, අයියේ.”
ඉතිං බෝතලයෙන් වීදුරුවලට කැඳ වත්කොට දුන්නේ නෙවිල්ය. “පිරෙන්නම දැම්මේ නැත්තේ හැළෙයි කියලා. තව ඕනි නං කියන්න නංගි. මචං, උඹට...”

“මට බෑ. සරත් යන්නේ හෙමින් නෙවෙයිනෙ. Colour ලයිට් එකක් ගාවදි slow වුණාම බොමු.” හරිශ් උත්තර දෙයි. ඒ ගමන්ම මටත් අවවාද කරයි. “ඔයාත් චුට්ට වෙලාවක් ඉන්න නිමල් අයියේ.”

අතුලයියා යනකොටම කියලලු ගියේ, ගමන කඩාකප්පල් කර ගන්න එපැයි කියලා...

“නිමල් අයියා උඹ වගේ බබෙක් නෙවෙයි බං...” නෙවිල් වීදුරුවකට කැඳ දමමින් කිව්වේය; මට ඒ වීදුරුව දුන්නේය. වාහනය එවිටම පාරේ තිබුණු ගැට්ටක් උඩින් ගියේය. කැඳ වීදුරුවෙන් බාගයක්ම මගේ කමිසයේත්- කලිසමෙත්ය.

“ හඃ හඃ හඃ පේනවද... ඕකනෙ මං ඔයාට කිව්වේ... කෝ ඇහුවද.” හරිශ්චන්ද්‍ර උදම් අනයි.
“අපරාදේ... නිමල් අයියගේ සුදු කමිසේ. පැල්ලම් හිටියි. ටිෂූ එකක් තෙමල පිහදාමු.” මැණිකේ විස්සෝප වෙයි.

“පේනවනෙ නංගි. මේ යක්ෂයා ඔයාලගෙ වීදුරුවලට බාගෙ- බාගෙ දාලා මට දාද්දි පෙත්තටම දැම්මා. තරහටත් එක්ක.”
“එහෙම අසාධාරණ කතා කියන්න එපා මිස්ටර් දිසානායක. බෝතලේ ඇල කරනකොට අනිත් වීදුරුවලට වැඩියෙන් ටිකක් වැටුණා. මට කැල්කියුලේට් කරගන්න අමතක වුණා, ඔයාගේ අත වෙව්ලන එක. ඒකෙනුයි වැඩේ වැරදුණේ... ඒ වුණාට කැඳ එක නං කොලිටි!”
නෙවිල් මගේ ලේන්සුව තෙමා කමිසයේ ඉහිරී තිබෙන කැඳ පිස දමමින් 😉😊 ඉංගිතයක් පායි.

ඒ අතරේය, මැණිකේ නංගිට අතුලගේ පියා ගැන දුක්මුසු ආරංචිය ලැබුණේ.
“හරි වැඩේ වෙලා තියෙන්නේ... අතුල අයියගේ තාත්ත නැති වෙලා... අතුලලා ආපහු හැරිලා යනවලු. ඒකෙ හිටිය පොඩි අක්කලාව වෙන වාහන දෙකකට නැග්ගෙව්වලු...” මැණිකේ විස්තර කරයි.

“එතකොට trip එකට තව තුන් දෙනෙක් අඩු වෙනවනේ මැණිකේ.”
“ඒක නේන්නං හරිශ් අයියේ. Doctor ශිරන්ත අයියලත් ඊයේ රෑ තමයි එන්නෙ නැතෙයි කියලා තියෙන්නේ.”
“දැන් එතකොට අපිත් දවස් දෙකෙන් ගමන නවත්තලා මළගමට සහභාගී වෙන්න එනවද?”
“එහෙම කෙරෙන එකක් නෑ. අතුලයියා යනකොටම කියලලු ගියේ, ගමන කඩාකප්පල් කර ගන්න එපැයි කියලා...”

“හරිශ්... දැන්මම call එකක් දීපන් මචං, හක්ස්ලිට! එයානේ ගිය සතියේ අතුලගෙන් ඇහුවේ -උත්සවේ කවදද- කියලා.”
“අනේ මට බෑ නෙවිල්, උදේ පාන්දරම බැනුම් අහන්න. හක්ස්ලි තාම නිදි ඇති.”

“ඇයි මිනිහෝ. එයා trip එක එන්නෙත් නැතිව ගෙදරනේ ඉන්නේ. හරි, උඹට බැරි නං මම කතා කරන්නං. උඹ call එක අරගෙන මට දීහංකො.” හරිශ්චන්ද්‍ර හක්ස්ලිට ඇමතුමක් ගත්තේ නෙවිල් එහෙම කීවාමය.
“ආ නෙවිල්... ආ. Rings යනවා.”
“යනව නං උඹම කතා කරපංකො.”

විටෙක ඒ දබරයන් අතිශය කටුක; රළු බවටත් පත් වෙයි. ඒ දේශපාලන මාතෘකාවට ආවාමය. එහෙම...

පැකිළෙමින් කතාව පටන් ගත් හරිශ් ආලවට්ටම් දමමිනි, කතාව කරගෙන ගියේ. “මේ නෙවිල් තමයි කිව්වේ ඔයාට කියන්නය කියලා. හඃ හඃ හඃ! අනේ හක්ස්ලි... ඔන්න ඔයා අපි සේ..ර..ම නියෝජනය කරමින් අවමංගල්ලෙට සහභාගී වෙන්න ඕනි. එහෙම නැතිව හොඳ නැහැනේ. ඒ යන ගමන් අපේ මල්කාන්තිවත් එක්කගෙන යනවද තරහ නැතිව? මම මල්කාන්තිටත් කියන්නං.”

හරිශ්චන්ද්‍ර කතාව ඉවර කරන්නත් පෙරාතුවය, මැඬවීම පටන් ගැනුණේ.
“බලනවා සරත්, මූ වගේ මිනිහෙක්. මල්කාන්තිවත් එක්කගෙන යන්න වෙන මිනිහෙක්ට පවරනවා... යකෝ. උඹේ
bestman වෙච්ච මටවත් කියල තියෙනවද මල්කාන්තිව ඔහොම කොහෙවත් එක්කං යන්න කියලා?”

“හරිශ්චන්ද්‍ර අයියේ. ඔයා ඔය කතන්දර ගණන් ගන්න එපා...”
“මේ පිස්සොන්ගේ පිස්සු කතා කව්ද මැණිකේ ගණන් ගන්නේ. මෙයාලා මහ මෝඩයොනෙ.” හරිශ්චන්ද්‍ර කියන්නේ හිනා පාමිනි! “හැබැයි නෙවිල්, පරිස්සම් වෙලා හිටපං මචං. වාහනෙන් බැස්ස ගමන් මම උඹට හොඳ ගුටියක් දෙනවා.”

අද මට කියන්නට හැක්කේ, මා අබියස කෙරෙන මෙවන් කතාබහ ගැන විතරය. අපේ කට්ටිය බෙදී, වෙන වෙනම වාහනවල නැංගාම සිදු වෙන එක අවාසියකි; ඒ ප්‍රණය කළහ සීමා වීම.
අප දහ-දොළොස්දෙනා එකම වාහනයක යන විට කෙරෙන කතාබහ, විහිළු-තහළු, රණ්ඩු-දබරවලින් සීයට එකක්වත් මෙවැනි විශාල පිරිසක් එක්ව යද්දී සිද්ද වෙන්නේ නැත.

සමහර විටෙක ඒ දබරයන් අතිශය කටුක; රළු බවටත් පත් වෙයි. ඒ දේශපාලන මාතෘකාවට ආවාමය. එහෙම වෙන්නේ ලංකාවේ තියෙන ප්‍රධාන දේශපාලන ධාරාවන් කිහිපයම නියෝජනය කෙරෙන පිරිසක් අපේ මිතුරු සංසදයේ සිටින බැවිනි. ඔවුහු නිතර ගැටෙති. නමුත්, තිබෙන ලොකුම හොඳේ, ඒ ගැටෙන්නේ ‘මති මතාන්තර සමඟ මිස පුද්ගලයන් සමඟ නොවෙන අපේ ප්‍රතිපත්තිය’ට මුල්තැන දෙමින් වීමයි.

ඒවාත් හරියටම මුතුසිරිත්, අප්පච්චිත් අතර ඇතිවෙන ඝට්ටන වැනි තියුණු ගැටුම්ය.

සිරි මාමා, තම අප්පච්චිත් එක්ක ගැටෙන ඒ ජවනිකාව තත්පර 38ක එකකි. තිබ්බේ එයා දැන් බැඳලා’...

සිරි (මහේන්ද්‍ර පෙරේරා): ඇයි? උඹට ඕන මනමාලය වෙන්ඩද? අප්පච්චි මේ, අවුරුදු හතළිස්පහක් උඹ නටපු නාඩගම් මං බලන් හිටිය. දැන්වත් මට මගේ ජීවිතේ ගත කරන්ඩ ඉඩ දීපන්.

අප්පච්චි (සරත් කොතලාවෙල): දැන් එතකොට අර ඉන්නෙ සීතාදේවි වෙන්නැති.

සිරි: මගේ ගෑනි අම්බපාලි වෙන්ඩ පුළුවන්. උඹ ජීවිත කාලෙම කළේ සීතා දේවිල ගෙනල්ල අම්බපාලිලා කරලා පාරට දාපු එක. උඹ මගෙ අම්මට කරෙත් ඒ ටිකමයි.

වෙසඟනක වූ සුද්දිව විවාහ කරගෙන එන සිරි මාමා, තම අප්පච්චිත් එක්ක ගැටෙන ඒ ජවනිකාව තත්පර 38ක එකකි. තිබ්බේ ‘එයා දැන් බැඳලා- 5’  කොටසේ විනාඩි 15 තත්පර 10 සිටයි.
මේ සති අන්ත දෙකේදී කෙරුණු අපේ ගමන්වලදී, දෙතුන් වතාවක්ම එවැනි උද්වේගකර (දේශපාලන) ගැටුම් අපේ පිරිස අතරෙනුත් මතු වුණේය! මතුවී පැයකින් දෙකකින් ඒ සටන් සමහන් වෙලාත් ගියේය.

වාද-විවාදවලට වඩා වැඩිම වෙලාවක් අපේ ගමනේදී වැය වුණේ සංගීත සාජ්ජයන් සඳහාය.
“මම තැන book කරනකොටම මේ ගැන ඇහුවත් එක්ක. අපට එක floor එකක්ම වෙන් කර ගන්න නිසා ඒකේ සිංදු කිව්වට කමක් නැහැල්ලු. හැබැයි රෑට කාගෙන් හරි complain එකක් ආවොත් නං නවත්තන්න වෙයි කිව්වා.” ප්‍රියන්ත කල් තියාම අනතුරු ඇඟෙව්වේ මාරබැද්ද රිසොර්ට් එකේදීය.

සර් ජෝන්ස් බංගලාවම වෙන් කරගෙන හිටි නිසා, සද්දෙ වැඩිය කියලා පැමිණිලි කරන්නට කවුරුන්වත් හිටියේ නැත. එතනදී අපේ සංගීත සාද වඩාත් රසවත් කරන්නට සාන්තගේත් අතුලගේත් රැඟුම් ලීලා සමත් වුණේය. ඒ දෙන්නා වටේ හිටි පිරිසගේ ඉල ඇට කැඩෙව්වේ නැති ටික විතරකි; කළේ.

“මර්විනුත් හිටිය නං තමයි මරු!” කවුදෝ එදා දැනුණු අඩුවකුත් සඳහන් කළේය.

“ලබන සතියේ trip එකට මර්වින්, සම්පත් දෙන්නම එනවය කිව්වා.” ප්‍රියන්ත කීවේ එතකොටය.
ඒ කිව්වා වගේම සම්පතුත්, මර්විනුත් ආවෝහ. සම්පත් වෙනම ගමන් මල්ලක දර්බග් එකත්, පොල් කේක් කීපයකුත්, බයිට්වලට ‘යහමින් කට දන මුරුක්කු’ කිලෝ දෙක-තුනකුත් පුරවාගෙන ආවේය.

Congo drum එකට වඩා කාගෙන යන සද්දය නිසා සම්පත්ට දර්බග් එක වයන්නට වුණේ අඩුවෙනි.

මියැසි සාදය තවත් ඔප ගැන්වුණේ (ප්‍රියන්තගේ දෙවෙනි පුතු) වෙනුජ ඉලන්දාරියාගේ ගිටාර් වාදනයෙනි. ‘කොල්ලා ඉක්මනින්ම වැඩේ අල්ල ගන්නවා. ගිය සුමානෙට වැඩිය මේ සතියේ ගොඩක් දියුණු වෙලානේ!’
මමත් ඒ මතයට එකඟ වීමි. “මට තේරෙන විදිහට වෙනුජට හොඳ කණකුත් තියෙන පාටයි, හපන්කම වගේම.”

“අපේ ලොක්කා කවිජටත් ඔය වගේම ගිටාර් එක ගහන්න පුළුවන්. දෙන්නම එකටනෙ, ගිටාර් class යන්නෙ. ඒත් මිනිහා ලජ්ජාකාරයා. කාමරේට වෙලා හොඳටම සද්දෙ අඩු කරගෙනයි play කරන්නේ.” ප්‍රියන්ත කිව්වේය. “එයාලා එහෙම වෙන එක හොඳයි... මට සිංදුවක්වත් කියන්න බැරි එකේ, ඒ දෙන්නා හරි කියයිනේ...”
“බාප්පා වගේ...” එහෙම කියැවුණේ නලින්ට ඉඟි කරමිනි.

මියැසි සාදය තවත් ඔප ගැන්වුණේ (ප්‍රියන්තගේ දෙවෙනි පුතු) වෙනුජ ඉලන්දාරියාගේ ගිටාර් වාදනයෙනි.  

අපේ නඩේ පළමු ගමනේ මාතලේ දක්වා කොටසත්- දෙවෙනි සංචාරයේ නුවර දක්වා විස්තරත්ය, දැනට කියා තියෙන්නේ. මේ තවත් ටිකකි.

දෙවෙනි සංචාරයේදී, සරත්ලගේ මහ ගෙදරටත් ගිහිං අප මහයියාවට යන තුරුමත්, අපේ කට්ටියේ එක වාහනයක්වත් එතැනට ඇවිත් තිබ්බේ නැත. “බලාගෙන ගියාම අපිනෙ ඉස්සර වෙලා තියෙන්නේ.”
“පීරිස් මහත්තයලා ළඟ එනවලු. තව විනාඩි පහෙන් මෙතනලු.”
“එතකොට පෝල්ලා....”
“මම හැමෝටම location එක යැව්වා නෙවිල් අයියේ. අපේ අයියලයි පොඩි අයියලයි තමා පරක්කු වෙන්නේ. ඒ දෙගොල්ලෝ තාම high way එකේලු.” මැණිකේ කියද්දී සරත් නිගමනයකටත් බැස්සේය. “මේ දෙගොල්ල මෙතෙන්ට ආවට පස්සේ අපි රවී අයියලගේ ගෙදරට යමු.”

රවීලාගේ පවුලේ කීප දෙනාම අප හා එක්ව සංචාර කීපයකටම ගොස් තිබේ. එයින් එක අයෙකු මට හමු වුණු දුර්ලභ කෙනෙකි. “ඔව් නිමල් අයියේ, මහින්ද මහත්තයා මට අතට අත දුන්නම මං සුමානයක් යනකල් ඒ අත හේදුවේ නෑ!” අවුරුදු පහළොවකට විතර කලින් දවසක එයා මටම කිව්වේ, හෝර්ටන් තැන්නේ නවාතැනේදීය.

අපේ වාහන තුනක් රවීලාගේ ගෙදරට යනකොටත් එයාලා මඟ බලාගෙනය.

“අනේ, දැන් කට්ටියටම බඩගිනිත් ඇතිනෙ. අනිත් කට්ටිය එනකල් ඔයාලා කෑම කන්න.”
ඒ යෝජනාවට නම්, අපි බැහැයි නොකීවෙමු!

මං හිතාගෙන හිටියේ පෙරේතකම තියෙන්නේ මට විතරක් කියලාය. නැත. එහෙම උදවිය තවත් සිටිති. මට එහෙම හිතුණේ එක-එක්කෙනාගේ ප්‍රතිචාර කණට වැටෙනකොටය.
ඉස්මුරුත්තාවටම කෑවා. මිරිස් මාළු හොද්ද නිසාම. / ඇයි ලුණුමිරිස? / කිරිබතටත් පදමට ලුණු. / නුවර පාන් වුණත් කොළඹ එව්වට වැඩිය හොඳයිනෙ මචං.

මං හිතාගෙන හිටියේ පෙරේතකම තියෙන්නේ මට විතරක් කියලාය. නැත. එහෙම උදවිය... (සර් ජෝන්ස් බංගලාවෙදී)

“මට නං ඉස්තරම්ම මාළු හොද්ද!”

“රවී අයියල කේටරින් සර්විස් එකකුත් කරනවනේ නිමල් අයියෙ. හෝටලේකුත් තියෙනවා.” මැණිකේ නංගි කිව්වේ සතුටින් ඔද වැඩුණු විත්තිය හංගාගෙනය. එහෙම ආඩම්බර වෙන්නම ඕනිය. සරත්ගේ බාප්පා, රවීලා- ගීතලා හා දූරුන් සියල්ලෝම අපට කළ සත්කාර- දැක්වූ අව්‍යාජ සෙනෙහස ඒ තරම්ම උණුසුම්ය!

ඊළඟටය ප්‍රියන්තගේත්, නලින්ගේත් වාහන දෙක එහාට ළඟා වුණේ.

“නිමල්ටත් පීරිස්ගේ වාහනයට යතෑකි නේද? අතුලලගේ වාහනේ හැරිලා ගිය නිසා අපේ ඩිෆෙන්ඩර් එකේ දොළොස් දෙනෙක් හිර වෙලා ආවේ. පෝල්ගෙ කාර් එකටත් දෙන්නෙක් දැම්මම...” ප්‍රියන්ත කෑම බෙදාගෙන ඇවිත් හීන් සීරුවේ සැලසුම් හදයි.

“ඔයා දන්නවද, අතුලලා හැරිලා ගිය ගමන්ම මම සුමිත්ලට කතා කළා. එයාල අට දෙනෙක්ම එන්න ඕනියි කිව්ව නිසානේ හැලුණේ, ඉඩ නැතිව. දැන් ඉඩ තියෙනවයි කිව්වා විතරයි, එයාලත් එන්න ලෑස්ති වෙනවා. Van එකකුත් කතා කරගෙන. දහයමාරට කලින් පිටත් වෙනවයි කිව්වා.”

“එතකොට එන්න ඕනි තැන?”
“හඃ හඃ හඃ. එයාලා නුවරට ආවට පස්සේ මට call එකක් දෙයි. එතකොට තමයි කියන්නේ. ඒ වෙද්දී අපි යන තැනට ගිහිං ඉවර වෙලා තියෙයි!” ප්‍රියන්ත මාරබැද්ද ගැන අපට නොකියා වසංගාගෙන හිටියේ එච්චරට සූක්ෂ්මවය...-->