“... හොරාත් හෙණ සිරා පොරක්. එදා කඩ වහන්න කලින් පැය දෙක තුනේදී මූ හාරලක්ෂ අසූ එක්දාහක බඩු අරං... සල්ලි ගන්න හදලා නෑ. ලක්ෂ දෙකක විතරම අරං තියෙන්නේ රත්තරන් බඩු!”
“රත්තරං හොරෙක්!”
“ඔව් ඔව්. දැන් මෙහෙම වැඩකුත් තියෙනවා. මට ඉන්නෙත් රත්තරං නෑනා
කෙනෙක්නේ...” නලින් ඉඟි මරා එහෙම කියනකොට අයන්ති ඔළුව උස්සා කන්දීගෙන හිඳියි.
“ලංකාවට එන්න ඉස්සෙල්ලා අපේ නෑනාත් මගෙ එකවුන්ට් එකටම දැම්මා ලක්ෂ හතරක්. ඒ
සල්ලිනෙ නෝට්ටු ගොඩේ උඩින්ම තියෙන්න ඇත්තේ. හොරා අරගෙන තියෙන්නේ ඒවා. ඉතිං දැන්
නෑනා කියයි -නලින් අයියා පව්. අලාභෙන් බාගයක් මාත් විඳ ගන්නං කියලා!- අන්න නෑනලා!”
සර් ජෝන්ස් බංගලාවේ චාරිකාවට
එකතු වුණු ගැටවර- ගැටවරියෝ... |
ඒත් කලබල වෙන්නේ අයන්ති නොවේ! “ඇත්තමයි, නලින් අයියා වෙනුවෙන් මගෙ ඔක්කොම
සල්ලි වුණත් එපා කියන්න තිබ්බා- මාත් ඕස්ට්‍රේලියාවේ MBBS ඩොක්ටර් කෙනෙක්වත් වෙලා
හිටියා නං. නලින් අයියා කැමතිම නං ඉතිං ඒ ලක්ෂ හතරේ පාඩුව මම විඳ ගන්නං. හැබැයි,
ඔයා පරෙස්සමට මගෙ ළඟ තියලා තියෙන සල්ලි ටික මම අරගන්නවා... එතකොට හරිනේ.” අයන්ති
ටිකිරි මොළේ මෙහෙයවා කියයි.
“ඔය හතර-පහ මොනවද නලින්. ඔය හොරකමත් මොකක්ද?
මේ සරත් අයියා වත්තේගෙදර සණස බැංකුවේ දැම්ම ලක්ෂ 28ක් වතුරේ ගියේ. මම ජපානේ
අවුරුදු පහළොවක් විතර කට්ට කාලා කාලා හම්බ කරගෙන ආව ලක්ෂ 40ක් ඒ සණස පාරෙම මකර කටට
ගියේ. නඩුත් නෑ- බඩුත් නෑ. 2017 ඉඳල තවම
හොරාව හොයනවලු. ගිය අවුරුද්දේ අල්ල ගත්තයි කියලත් කියනවා. තාම අපිට නං සෙතක් වෙන
පාටක් නෑ.
-අහිංසක පෙන්ෂන්කාර මිනිස්සු කී දෙනෙක් නං අන්තිම අඩියටම වැටුණද... දන්නවද, වත්තේගෙදර සණසේ සල්ලි දාපු මිනිස්සු 2146 දෙනෙක්. පිල්ලි ගැහුවේ
රුපියල් ලක්ෂ 9,100ක්! එව්වට උදව් කරපු;
හොරුන් රැකපු එව්වොන්ට හෙණ හතම වදින්න ඕනි. ඒත් ඒ මහ එවුන් ඔය තවම යහතින් ඉන්නෙ.”
ඔය කතන්දර කියැවුණේ මාතලේ බමර කිරි ඇල්ල ළඟදීය.
සිහි කල්පනාවෙන් නිදිගෙ පංච තන්තරේ කියවන කෙනෙකුට නං, මේ වෙද්දී පොස්ටුවේ
ලොකුම අඩුපාඩුවක් අහු වෙලා තියෙන්නට ඕනෑය. දියවන්නාව අසල කිඹුලාවලින් පිටත් වුණාට
පස්සේ, අපි එක පාරටම මාතලේට ගියාද? ඒ අතරවාරයේ මොකුත්ම සිද්ද වුණේ නැද්ද?
වුණා නේන්නං!
මේ ලියන්නේ ඒ ඕපාදූපයන්ය:
ඊට පස්සෙය, හෝටල්
දඩයම ඇරඹුණේ... (ඉස්සර එහෙම දඩයම් තිබුණේ නැත! |
“ඔයාටත් බඩගිනි ඇති නේද නිමල් අයියේ. මේ වෙලාවේ පැණිරස ජාති කන්න බැහැනෙ... සනෝලි.
ටිකිරි මාරි පැකට් එකක්වත් කඩමු... සාන්ත අයියේ, ආ- අපේ එක්කෙනාටත් දෙන්න.”
එහෙම දුන්නත් සාන්ත, අතුල දෙන්නාම බිස්කට් කෑවේ නැත.
“අයියා කිව්වා කුරුණෑගලින් මොනවා හරි කාලා යමුයි කියලා. මාතලේටම යනකල් ඉන්නේ
නැතිව.”
“ඔව් සාන්ත. මටත් හෙණ බඩගිනියි මචං... ඒක බිස්කට් කාලා හරි යන බඩගින්නක් නෙවෙයි.”
අතුලගේ මනාපයත් ඒ යෝජනාවටය.
නුවර අධිවේගී මාර්ගය තවමත් කුරුණෑගලින් එහාට යන්නේ නැත. යග්ගහපිටිය exit එකෙන්
පිටතට එද්දී අප කවුරුනුත් හිතමින් හිටියේ පාතරාසය වළඳන්නේ කොයි මොහොතේද, කොහෙන්ද
කියලාය.
පාර අද්දරම තිබුණු අවන්හලක් ඉදිරියේ අපේ වාහන හතර ගාල් කර ගන්නටත් පුංචි
යුද්ධයක් කළ යුතු විණි. ඊට වැඩි යුද්ධයක් කරමිනි, කට්ටිය දඩිබිඩියේ වාහනවලින්
බැස්සේ. ඒ අතරේ, ඉස්සෙල්ලම හෝටලය ඇතුළට ගිය ප්‍රියන්තත්- සෙරානුත් මුහුණු
බෙරි කරගෙනය, එළියට ආවේ...
“තිහකට තරං කෑම නැහැල්ලු.”
“නඟිමු, නඟිමු වාහනවලට.”
ඊට පස්සෙය, හෝටල් දඩයම ඇරඹුණේ. අන්තිමේදී ඉඩකඩ සහිත වාහන අංගනයකුත් තියෙන
ආපන ශාලාවකට යැවිණි. එතනදීත් අපේ පක්ෂියා හිටියේ, නීච වුණු ගමන්ය. “බත්, ඉඳියාප්ප
වගේ දේවල් නං නෑලු. Short Eats නං ඇති වෙන්න දෙන්නංලු. මොකද කරන්නේ?”
ප්‍රියන්ත කට්ටියටම බෝලය pass කළේ, තීරණය කිරීම ඔවුන්ටම පවරමිනි.
“අපෝ අපෝ, පාන්පිටි ගුළි ගිලල මේ බඩගින්නට ඔරොත්තු දෙන්නෑ.”
ඔන්න එතැනිනුත් එළියට... “අතුල, ඔයා කැවුමුත් ගෙනාව නේද?” ප්‍රියන්ත අහන්නේ වාහන
අංගණයේදීය.
“ඔව් අයියේ. දෙන්නද?” අතුල ප්‍රියන්තගෙන් අහයි.
“මට විතරක් නෙවෙයි අතුල, ඔක්කොටම දෙමු.
කට්ටිය, අපි මෙතැනම ඉඳලා කැවුමක් කාලා මාතලේටම අදිමු.”
Car Park එකේම ඉඳගෙන කැවුම් කන අපේ දිහාව හැරි-හැරී බලමිනි, යන තරමක්
පදිකයන් හැමෝම යන්නේ. ඒ මොකෝ?
ඒ
අංගනාවන් හය දෙනා බමර කිරි ඇල්ලේ වැල් පාලම උඩ සිටිද්දී ‘මහින්දාගමනය’
සිහි කරවමින් එයාලාට ‘නමස්කාර පූජාව’කුත්
කළේය!) |
“නිමල් අයිය දන්නවද අද මේ සේරම අංජබජල් වැඩ එකපිට එක වෙන්නෙ අපලයක් නිසයි
කියලා. අර මිනිස්සු ඒ අපලෙ දිහා තමයි බල-බලා යන්නෙත්, මේ මොන සමයමක්ද යකෝ කියලා.”
“සමයමක්?”
“ඇයි යකඩෝ, අපේ මහණ වෙන්න යන කට්ටිය දිහා.” සාන්ත අත දික් කරලාත් පෙන්නයි.
ඒ කතාව එල්ල වුණේ කොහාටදැයි මට මීටර් වුණේ එතකොටය. අපේ නඩේ කාන්තාවන් හය
දෙනාම එදා සැරසී සිටියේ එකම පන්නයේ ගවුම්වලිනි. කහපාට ගවුම්වලිනි.
“ඒ මදිවට නෙවිල් අයියයි, සුමිතුයි දෙන්නත් කහපාට T Shirt ගහලා. අම්මප, ඔය අපලේ
තමයි මේ පල දෙන්නේ.”
එහෙම කියූ මනුස්සයා, ඒ අංගනාවන් හය දෙනා බමර කිරි ඇල්ලේ වැල් පාලම උඩ
සිටිද්දී ‘මහින්දාගමනය’ සිහි කරවමින් එයාලාට ‘නමස්කාර පූජාව’කුත් කළේය!
කහ ගවුම් අදහස කාගෙ එකක්දැයි, මං වහන්සේ අහගත්තේ ‘ජාත්‍යන්තරයට news
සපයනවා’ යැයි විරුදාවලියක් ලබාගෙන සිටින බබිතාගෙනි. (විරුදාවලිය ගැන ලුණු- ඇඹුල්
එක්කම විස්තර කියන්නේ තවත් ඉස්සරහදීය.)
“ඒ අයිඩියා එක අපේ චමනිගේ. එයා කැන්ඩි එකට ෂොපින් ගියාම ඔය කහ ගවුම් දැකලා අපි පස්
දෙනාටම අරගෙන ඇවිත්. අතුලලත් trip එක යන හින්දා, මං ගයාටත් ඒ ජාතියෙන්ම ගවුමක්
ගෙන්නා ගත්තා...”
ඒ ගවුම්වල අපලයක් තිබ්බත් නැතත්- ප්‍රියන්තගේ කැවුම් කෑමේ යෝජනාව අපට
ගෙනාවේ ‘සපල’ සැනසිල්ලකි.
“කැවුම් නොකන අයට කේක් දෙන්නං.”
ලොකු පිරිසකට වුව ‘කෑම පිසීමේ චිත්තම්මාගේ හපන්කම’ 100%ක්ම උරුම කරගෙන හිටින
මැණිකේ නංගි කියයි; කියලා හදාගෙන ආ කේක් එකක් කපයි.
එයිනුත් වැඩි වාසිය අපටය. කැවුම් විතරක් නොව කේකුත්...
“හදිස්සියට කියලා මම හදාගෙන ආව තේ බෝතලයකුත් තියෙනවා. කට්ටිය එක්කම ටික
ටිකවත් බොමු.” අයන්තිත් ලොකු උණුවතුර බෝතලයකින් ප්ලේන් ටී බෙදයි. තේ එපා යැයි කියූ
කිහිප දෙනෙකු හිටියත්, වැඩි දෙනෙක් ඒ ඉස්තරම් ඉඟුරු තේ බිව්වෝය. “පුදුම වැඩේනෙ!
මෙච්චර බෙදලත් ඉවර නැහැනේ.” අයන්ති උදම් අනයි.
ඒ සිදුවීමම අප කුඩා කැබිලිත්ත දේවාලයෙදී මුරුතැන් බතක් පිසූ අවස්ථාවෙදීත්... |
(හොඳ හිතින් කරන දෙයට දෙවියනුත් උදව් දෙනවාද? එහෙම නං නරක චේතනාවලින් යුතු අයට දෙවියන් දඬුවම් නොකරන්නේ ඇයි?)
මෙතනදී මට සිහිපත් වෙන්නේ අයන්තිලා කලින් වතාවක ලංකාවට ආ වෙලාවේ, මට
අත්දකින්නට ලැබුණු දෙයකි. “නිමල් අයියේ, අපි පුංචි කාලේ අපේ තාත්තා මෙහෙ රාජකාරී
කළා. එතකොට තිබ්බ චාරිත්‍රයක් තමයි මේ. අපි මේ වැව් තාවුල්ලේ මුරුතැන් බතක් උයලා
පුල්ලෙයාර් දෙයියන්ට පූජා කරනවා.” Trip එකක් අතරවාරයේදී ඇලයාපත්තුවට ගියාම සුමිත්
කිව්වේය.
එතැන වැව් කණ්ඩියේ තිබුණේ සුවිසල් වෘක්ෂයක් පමණකි. දැල්වූ පහන් පිදූ ලකුණු,
හඳුන්කූරු දැල්වූ ලකුණු විතරක් නොව කොළ අතු කඩා එල්ලූ ලකුණුත් එතැන තිබිණි. ඒත්
දේව රූප- දෙව් පිළිම ආදී කිසිවක් එතැන තිබ්බේ නැත.
“ඉතිං සුමිත් මෙච්චර ගොඩක් දානේ හදලා?” මං ඇහුවේ සුමිත් උයන්නට ගෙනිහින්
තිබුණු පොල් ගෝනිය, හාල් ගෝනිය හා අනෙකුත් කළ-හලමනාත්, පතරංග සාස්පාන් ආදියත්
එයාලගේ වාහනයෙන් එළියට වඩම්මද්දීය.
“අයිය දන්නවද? මේ දානය උයන්නේ අපි විතරයි. පිරිමි කට්ටිය විතරයි. ගෑනු අයව ගාවා
ගන්නේ නෑ.
හැබැයි කොච්චර ඉව්වත් දෙයියන්ට පූජා කරල ඉවර වෙනකොටම, කොහෙන් හරි මිනිස්සුත් එනවා
දේව දානේ ගෙනියන්න. අන්තිමට චුට්ටක්වත් ඉතිරි වෙන්නෙ නෑ.” සුමිත් එහෙම උත්තර
දෙද්දී නම්, මට පුදුම හිතුණු විත්තිය නොකියාම බැරිය. එහෙම පුදුම හිතුණේ, ඒ ඉසව්ව
එතරම් ජනාකීර්ණ නොවුණු එකක් බැවිනි.
‘මේ පාළු මණ්ඩියක ඔය තරමට මිනිස්සු කොහෙන් එන්නද?’
මට මතක හැටියට හාල් කිලෝ දහයක් විතර, මුං ඇට කිලෝ දෙක-තුනක් විතර, හකුරු
මුල් හත අටක් විතර ඒ මුරුතැන් බත උයන්නට ගැනිණි. ඒ සීනි, මුද්දරප්පලම්, කජු ආදියට
අමතරවයි. (එදා මාත් එතැන ප්‍රධාන කෝකියෙක් වීමි.) හඳුනන ගම්වැසියන් දෙතුන්-
දෙනෙකුත් අපට සහාය වෙනු පිණිස ආවා මතකය.
ඊළඟට සුමිත්ගේ විශ්වාසය අකුරටම පල දැරූ හැටි ගැන මම අදත්- තවමත් පුදුම වෙමි.
මුරුතැන් බත උයා දෙවියන් උදෙසා කොටසක් (තේක්ක කොළයක තැන්පත්කොට වගෙය- මට
මතක) පූජා කරනවිටත් ගම වැසියන් දහ දොළොස් දෙනෙකු වැව් තාවුල්ලට ඇවිදින් අහවරය.
එක
දෙවියෙක් නොවේ දාහක් එතැන ඇත |
බිඳක්වත් ඉතිරි නොවී ඒ මුරුතැන් බත් කල්දේරමම මිනිසුන්ට බෙදා දෙන්නට අපට හැකි වුණේ
පුදුමාකාර විදිහටය. එවැනි දේ මට තවමත් විසඳා ගත නොහැකි ගැටලුය. ඒ සිදුවීමම අප කුඩා
කැබිලිත්ත දේවාලයෙදී මුරුතැන් බතක් පිසූ අවස්ථාවෙදීත් වුණේය!
විමලරත්න කුමාරගම කිවිඳුන්ටත් මෙවන් ඇදහිලි- විශ්වාසයන් සහිත මිනිසුන් වැව්
සංහිඳේදී හමු වුණා වෙන්නැතිය. එයින් හොඳටම impress වුණු කුමාරගම කවීන්ද්‍රයා
1948දී ‘අයියනායක’ නම් කවි පන්තියක් ලිව්වේය. එයින් අම මිහිරක් ලද මට නම් අදත් ඒ
කවිවලින් ලැබෙන්නේ නොසිඳෙන මිහිරකි. මේ එම කවිවලින් දෙකකි:
බුද ගුරු සනි හිරුට හිමි හැම දවස්වල
මේ සංහිඳේ එළියක් ඇත සවස් කල
ලෙඩ දුක්වලින් මිදුමට බාරයක් කළ
හැම දෙන එතැන රැස්වෙති ගම ගෙවල්වල
වන පෙත දැවෙන විට වැද මළ හිරුගෙ රත
ගනඳුර වසන විට ආලෝකයෙහි නෙත
සඳරැස් ගලන විට තෙරපී සෙවණ මත
එක දෙවියෙක් නොවේ දාහක් එතැන ඇත
ඇලයාපත්තුවේ වැව් සංහිදේදී හා කුඩා කැබලිත්තේදී අප කළ විදිහට අදත් දේව
දානයක් ඉව්වොත්...
දේව දානයක් නොව මළ බතක් ඉවිල්ලවත් අද ලේසියෙන් කරන්නට බැරිය. අවුරුදු 74ක්
තිස්සේ අපේ රට පාලනය කළවුන්ගේ කෙරුවාවට පින් සිද්ද වෙන්නටය; ඒ.
2022 දෙසැම්බරයේ, මේ සටහන අකුරු කරන කාලයේ සිරි ලංකාවේ තත්ත්වයයි ඒ. අද මේ
කොදෙව්වේ ජනතාව එක වේලක් වුවත්- නිකම්ම පිරිමසා ගන්නට ඉඩක් ලැබෙයි නම් එය පැහැර
නොහරිති. ඒ තරමටම ඔවුන් ‘පොහොසත්’ය.
ඉතිං, අන්න- පානයෙන් හරිම පොහොසත් විත්තියක් පෙනුණු හෝටලයෙනුත් හරි පිහිටක්
නොලද අපි, වාහන නැවතුමේදීම කැවුම්- කේක්- ඉඟුරු තේ ආදියෙන් සන්තර්පණයවී මඟට
පිළිපන්නෙමු. ප්‍රියන්තගේ ඉලක්කය වුණේ, මාතලේ අරුණාලෝක අවන්හලයි.
“එහෙ අපිට හරි යන දේවල් තියෙයි.”
එයාලා
හැමෝම හෝටලයේදී කිසිවෙකුටත් දෙවෙනි නොවෙන්නට වග බලා ගත්හ! |
අරුණාලෝකයේ උඩ තට්ටුවම අප වෙනුවෙන් සකස් කෙරුණි.
තෝසේ, පරාටා, ඉඳියාප්ප, හොදි මාළු පිණි සූදානං කෙරෙන තුරු මසල වඩේ හා උළුඳු වඩේ
දීසි මේස උඩට සැපත් විණි. දත් තිස් දෙකෙන් විස්සක් විතරම අඩු කටක අයිතිකාරයෙක්
වුණත්, එතනදී නම් පසු බැස්සේ මේ නිදි නොවේ. ඇත්තම කියමි. මම මසල වඩේ පෙරේතයෙක්මි.
පදමට ලුණු ඇතිව, මඳ ගින්නේ බැද තිබුණු ඒ ක්‍රන්චි පරිප්පු වඩේ මසුරං වටී.
කැවුම්, කේක් කෑවාම බඩගින්න නැති වුණාය කියමිනි; අපේ නඩේ වැඩි දෙනෙකු
හෝටලයට ආවේ. නමුත් එයාලා හැමෝම හෝටලයේ අනුභවයේදී කිසිවෙකුටත් දෙවෙනි නොවෙන්නට වග
බලා ගත්හ!
ඊළඟට තිබුණේ සෝඩා, ස්ප්‍රයිට් වැනි බෝතල හා අවුළුපත් මිලදී ගැනීමේ තරගයයි.
දැන් ඒවා මිළදී ගන්නෝත් නොගන්නෝත් ඔක්කොම සාප්පුව ඇතුළේය. සාප්පුවේ සිටින තරම්
සේවකයෝ හා සිකියුරිටි මහත්වරු සාප්පුව පුරාම විසිරෙමින් අපේ අයගේ හැසිරීම
නිරීක්ෂණය කරති.
“ඔන්න කෙඳිරි ගාන්න එපා. මං ලොතරැයි ටිකක් ගන්න නැවතිලයි එන්නෙ.” මගෙන් නෙවිල්ට
කෙඳිරුමක්.
“ඉතිං දැන්මම යන්න හදන්නෙ? ඔහොම ඉන්නවා. තමුසෙ ලෙඩා, තනියම ගිහිං ටවුමේ අතරමං
වුණොත් අපිටයි මළ කරදරේ. අපිත් එක්කම යං.”
“ඇත්තටම නිමල් අයියේ ඔයාට මොකටද ස්වීප්.”
උත්තර දෙන්නේ නෙවිල්ය. “මෙයාට ඇදිල තියෙන ස්වීප් මදිද මචං. අම්මලා
එංගලන්තේ. නංගිලා මල්ලිලා එංගලන්තේ. විදේශාධාර එන්නෙ පවුම්වලින්! ඒ මදිවට ප්‍රියන්තල,
අයස්මන්තල, අපි කරන උදව්... අපි මේ සැරේ පාද යාත්‍රාවේ යන්න කලින් මේකට සපත්තු
දෙකක් ගන්න ගියා, හක්ස්ලි. අයස්මන්ත මූට අරං දුන්නෙ 45,000/-ක සපත්තු කුට්ටමක්.
හැබැයි මෙයා ඒක උස්සගෙන ගියා විතරයි. දැම්මේ කබල් දෙකක්!”
“මගෙ ගැනම හොය- හොයා ඉන්නේ නැතිව ගන්න මඟුලක් අරගෙන ඉන්නවා.” වටේට හිටින
අයට හිනා ඔහොම කතන්දරවලටය!
දැන් හැමදාම
කවුරු හරි එක කට්ටියක්වත් මේ ටවුන් එකේ අරගලයක් කරනවාමයි. |
“සර්ලා අදත් අරගලයක්ද?”
“අරගලයක්...?”
“තරහ වෙන්න එපා සර්. සර්ලගෙ කට්ටියේ ලොකු නෝනලා සේරම එකම පාටින් ඇඳල...”
ඇත්තය, වාහන හතර අතේ නවත්තලා ආවත්- දැන් අපේ කහ ගවුම්කාරියන් පස් දෙනෙකු එක්ව ගමනේ
යෙදෙමිනි, ඉන්නේ. “මේ දවස්වල හැමදාම කවුරු හරි එක කට්ටියක්වත් මේ ටවුන් එකේ
අරගලයක් කරනවාමයි. ඒකයි මම එහෙම ඇහුවේ.”
අපේ ලොකු නඩය දැක්කාම කෙනෙකුට එහෙම හිතුණත් පුදුම නැත!
හැමෝම මෙහෙම ලොකු නඩ පිරිවරාගෙන ගමන් යන්නට ලැහැස්ති නැත. නිදිගෙ පංච
තන්තරේ නිත්‍ය පාඨක ප්‍රා ජේ හිතවතා එහෙම කෙනෙකි.
මේ පෝස්ටු මාලාවේ පළමුවැන්නට comment එකක් එවමින් හිතවත් Pra Jay මහත්තයා මෙලෙස
කියා තිබිණි.
“නිමල්ගෙ ට්‍රිප්වලින් මට නොගැලපෙන එකම කොටස තමයි ඒවා යන පුද්ගලයින් ගණන.
හුඟක් ඉස්සර නම් යාලුවො හුඟදෙනා හෝ පවුල් කීපයක් එක්ක ට්‍රිප් ගියා.
දැන් නම් එහෙම ආසා නෑ. එකම ඉන්ටරෙස්ට් තියන, සීමිත ඉඩක කිසිම අප්සෙට් එකක්
නැතුව දවසක් දෙකක් ඉන්න පුලුවන් අය කීප දෙනෙක් එක්ක විතරයි.
නිමල්ට නම් ඉතිං තරහ ගියාම බැනලා ඉන්නත් පුලුවන්නෙ. :-D මට ට්‍රිප්වලදි එහෙම බෑ.”
නමුත්
එතැනට යන තුරුම ‘යන්නෙ කොහාටදැ’යි අපෙන්
කිසිවෙකුටවත් නොකියන්නට... |
සර් ජෝන්ස් බංගලාවේදී අතුලගෙන් කියැවුණේ තාත්තා රෝහල්ගත කෙරුණු විත්තියකි.
“නිමල් අයියෙ, අපේ තාත්තට දැන් 91ක්. හැබැයි තවම කොණ්ඩේ ඉදිල නෑ. දත් වැටිලා නෑ.
තාත්තා මට වැඩිය කොල්ලා වගේ!” අතුල කියාගෙන ගියේය.
“හැබැයි දැන් හිටි ගමන් මතකෙ නැති වෙනවා. අපි එන්න කලිනුත් තාත්තාව නර්සින් home
එකක නැවැත්තුවා. කල්පනාව තිබ්බේ නැතිව. දැන් call එක ආවේ එහෙන්. තාත්තාට දැන්
කල්පනාව ඇවිත්. එයා fit එකේ ලැහැස්ති වෙනවලු ගෙදර යන්න. අපි බයේ ඉන්නේ ගෙදරදී ඔහොම
වෙලාවක පාරට ගිහින් කල්පනාව නැති වුණොත් කියලා... අම්මා එපැයි කිව්වට අහන්නෙත්
නැහැනේ."
(අපේ ගමන්වලට යන උදවිය එකම ෆ්රීකුවෙන්සිය තියෙන; විනෝදබර අය බව කියන්නටය,
මේවා කියන්නේ.)
එතැනම හිටි හක්ස්ලි බොහොම ගාම්භීර විදිහට අතුලගෙන් ප්‍රශ්නයක් ඇහුවේ
එතකොටය. “ඇහුවට මොකුත් හිතන්න එපා මහත්මයා. දැන් එතකොට ඔබතුමා කවදා වගේද තාත්තගෙ
උත්සවේ ගන්න හිතාගෙන ඉන්නේ?”
හක්ස්ලිට නොදෙවෙනි කටකාරයෙකු වුණු අතුල උත්තර දුන්නේ මහ හයියෙන් හිනා
වෙමිනි. “ අයියේ, සමහර විට ඔයාගේ උත්සවයෙන් පස්සේ!”
මේ trip එකත් සූදානම් කෙරුණේ ප්‍රියන්ත අතෙනි.
නමුත් එතැනට යන තුරුම ‘යන්නෙ කොහාටදැ’යි අපෙන් කිසිවෙකුටවත් නොකියන්නට ප්‍රියන්ත
පරෙස්සම් වුණේය.
මාරබැද්දට
ගියාම කෙනෙකුට දැනෙන්නේ වලාකුළු අතර සිටින බවයි! |
සර් ජෝන්ස් ගමනේ පළමු post එකට Lotus එවූ කමෙන්ට් එකෙන් කිව්වා වගේමය. “...
නිමල්ට ට්‍රිප්ස් යන්න නොඅඩුව අවස්තා ලැබෙනවා නේද. Trip Advisor එකෙත් දාලා තියෙනවා නිමල්ලා ගිය තැන. ලස්සනයි
වගේ...”
ඔව් Lotus! මේ සති අන්තයේ ප්‍රියන්ත අප කැටුව ගිය තැනත් ට්‍රිප් ඇඩ්වයිසර් එකේ දමා
තියෙන තැනකි. ලස්සනයි නොව, අතිලස්සන සුන්දර පාරාදීසයකි!
මාරබැද්දට ගියාම කෙනෙකුට දැනෙන්නේ වලාකුළු අතර සිටින බවයි!
මාරබැද්ද ගාර්ඩ්න්ස් රිසොර්ට් ගමනට අපි 37 දෙනෙක් ගියෙමු.
ඒ ගමනට වෙන් කරගෙන තිබුණේ දෙසැම්බර් 18,19,20 දින තුනයි. දෙසැම්බර් 18
වෙනිදා උදේ අපේ පිරිසත් එක්ක trip එකට පිටත්වී, මඟක් යද්දී අතුලට දුරකථන ඇමතුමක් ලැබිණි.
‘තාත්තා අන්තරා වුණා’...
ඉතිං...
ට්‍රිප් පොස්ට් දෙකම බැලුවා, ට්‍රිප් එක මම ගියා වගේ දැනුනා. මාරබැද්ද මාර තැනක්නේ, යන්නම ඕන තැනක් හ්ම්ම්.
ReplyDeleteමම විජේබාහු
ඇත්තටම විජේබාහු මහත්තයෝ. එහාට ගියාම දැනෙන්නේ වලාකුළු අතර ඉන්නවා වගේ.
Deleteමාරයි නේ මම එක
ReplyDeleteදෙක වුණත් කමක් නැහැනේ!
Delete//හැමෝම මෙහෙම ලොකු නඩ පිරිවරාගෙන ගමන් යන්නට ලැහැස්ති නැත. //
ReplyDeleteට්‍රිප් විතරක් නෙමෙයි කොහෙවත් ලොකු සෙනගක් එක්ක ඉන්න කැමති නෑ පැය තුන හතරකට වැඩිය විශේෂ අවශ්‍යතාවයක් නැත්නම්.
ට්‍රිප්වලදි ඒ ප්‍රශ්නෙ ඊට වඩා සීරියස්. පොඩි ක්‍රවුඩ් එකක් වුනත් එකම ඉන්ටරෙස්ට් තියන ( කූඩැල්ලන්ට බය අය එක සිංහරාජෙ, සත්තුන්ට කැමති නැති අය එක්ක විල්පත්තු යන්න බෑවගේ තමයී) , එකට දවස් දෙක තුනක් ඉන්න පුලුවන්, එකිනෙකාට කැමති අය විතරයි.
රාජකාරිවලට හෝ යුතුකමකට යන ගමන්වගේ නෙමෙයිනෙ. ආසාවෙන්, අමාරුවෙන් වෙලාව හොයාගෙන, රිලැක්ස්කරන්න යන ගමන්වලදි මිනිස්සු ටොලරේට් කරන්නත් ඕනෙ නෑනෙ.
Pra Jay මහත්තයෝ, ඒක තමන්ටම කර ගන්නා challenge එකක් කර ගත්තොත් කොහොමද?
Deleteඅපොයි චැලෙන්ජ් ඕනෙ තරම් තියනව රස්සාවෙ, සල්ලි හොයන එකේ, යුතුකම් කරන එකේ.
Deleteආසාවෙන් තමන්ට කියල ට්‍රිප් එකක් යනකොට මම කැමති චැලෙන්ජ් කොයිතරම් දුර ඇවිදින්න හෝ ඩ්‍රයිව්කරන්න පුලුවන්ද, දුර්ලභ කුරුල්ලෙක් ස්පොට් කිරීම, අමාරු තැන්වලට යාම, තැන් හොයාගෙන යාම වගේ දේවල්. මිනිස්සුත් එක්ක සිටීම වගේ චැලෙන්ජ් ට්‍රිප්ව්වවලදිත් ඕනෙ නෑ. මගෙ ෆේවරිට් ට්‍රිප් මම කැමති හා මම කැමති දේවලට කැමති අය සමග. දෙවනියට ෆේවරිට් තනියම යාම
ඒකෙත් හැටි. ඔය කාරණේදී ඔබතුමාත් මාත් ඉන්නේ ප්රතිවිරුද්ධ කෙළවරවල් දෙකේ. හැබැයි අපි ගිය දීර්ඝ ගමන් දෙකේදීම මට කිසිම අවුලක් දැනුණේ නැහැනෙ. අවුලක් තිබුණු පාටක් දැක්කෙත් නැහැනේ.
Deleteමම නිමල් එක්කගිය ට්‍රිප්නම් ඉතින් ටික දෙනයි. ඔක්කොම හොඳයි. එක දවසෙ ට්‍රිප්නෙ
Deleteමන්දාරම් නුවර නම් කොහොම හරි යන්න ඕනෙ. (මම මුලින් හිතුවෙ ඒක නවකතාවක තියෙන නගරයක නමක් විතරයි කියලා).
ReplyDelete"බිඳක්වත් ඉතිරි නොවී ඒ මුරුතැන් බත් කල්දේරමම මිනිසුන්ට බෙදා දෙන්නට අපට හැකි වුණේ පුදුමාකාර විදිහටය" කොච්චර හොඳයිද. කෑම අහක යන්නෙ නැත්නම් එච්චරයි. මගේ අත්දැකීම නම් ලංකාවෙ සමහර අය දවල්ට කාලා ඉතුරු වුනු දෙයක් රෑට කන්න කැමති නෑ. ඇයි කෑම අහක දාන්නෙ කියලා මම සමහර වෙලාවට ඇහුවොත් මගේ කසින්ස්ලා වුනත් බලන්නෙ මම ඒගොල්ලන්ට ලැජ්ජා හිතෙන දෙයක් කිව්වා වගේ.
"අද මේ කොදෙව්වේ ජනතාව එක වේලක් වුවත්- නිකම්ම පිරිමසා ගන්නට ඉඩක් ලැබෙයි නම් එය පැහැර නොහරිති". නුදුරු අනාගතයෙදී සමහර අයට කියන්න පුලුවන් වෙයි 'මගේ කාලෙදි ජනතාවට එක වේලක් කන්න තිබුනා' කියලා.
Lotus, අවුරුදු කීපයකට කලින් අපි මන්දාරම් නුවරට ගිය ගමනක විස්තර ටිකක් ලියවුණා, මගෙන්.
Deletehttps://nidigepanchathanthare.blogspot.com/2019/10/blog-post_14.html
ඔයා කියනවා වගේ අපේ නායකයන් පුරසාරම් කියන්නත් ගනීවී 'මං රටේ ජනතාවගේ ස්ථුලතාව අඩු කළා' කියමින්.
//ලංකාවෙ සමහර අය දවල්ට කාලා ඉතුරු වුනු දෙයක් රෑට කන්න කැමති නෑ.//
Deleteලංකාවේ ගැහැනු අය හුඟ දෙනෙක් කුස්සියටම හිර වෙන්නත් ඒක එක හේතුවක් Lotus,
මාරබැද්දනං මාර ලස්සනයි වගේ. ලොකු උනාමවත් යන්න බැරියැ.
ReplyDeleteඑහෙනං එහෙනං ප්‍රසන මහත්තයෝ!
Delete++++++++++++++++
ReplyDeleteකියවලා හිට කොමෙන්ට් කරන්න හදනකොට යාලුවෙක් ඇවිදින් කීබෝර්ඩ් එක අරන් ගියා. හෙහ්හෙ.....
ReplyDeleteඇත්තක්. නිදිලොක්කට හතරඅතින් සුයිප් ඇදිල තියෙද්දී මොකට බොරුවට ගන්නවාද මන්ද 😂😂
"වන අතු කඩා ගස් දෙබලක දැවටී ම
මා නොකෙරුවත් නොකෙළෙමි එය ගැරහී ම" ඒ කයි සෙට් එකේ හිතට වැදුන දෙපදයක්. මේ ආගමික- නිරාගමික... පොඩි අවිස්සීමක් තියෙන කාලෙට හොඳ අදහසක්.
සම්පූර්ණ අයියනායක කවි කොලේ මෙතැනින්...
http://kavimuthumal.blogspot.com/2012/07/blog-post_5.html
ස්තුතියි නමී. බැරිද ස්වීප් එකක් අද්දවලා දීලා මං මොනවා කරයිද කියලා බලන්න.
Deleteඅයියනායක කවි පන්තියටත් වඩා සංවේදී- හිත පාරවන කවි පන්තියක් තමයි කුමාරගම කවියාගේ -හේරත්හාමි- කවි පෙළ. නමී, ඒක කියවලා තියෙද?
Deletenaa....
Deleteහමු වුණු වෙලාවක මතක් කරන්න.
Deletehttp://kavimuthumal.blogspot.com/2011/08/blog-post_29.html
Deletehttps://www.lankadeepa.lk/features/%E0%B6%B8%E0%B6%B8-%E0%B6%B8-%E0%B7%80%E0%B6%B1%E0%B6%9A%E0%B6%A7-%E0%B6%B8%E0%B7%85-%E0%B7%83%E0%B6%BB%E0%B6%BB-%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%84%E0%B6%9A-%E0%B6%9A%E0%B6%B4%E0%B6%BD-%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%80/2-509039
Deleteගොඩාක් ගොඩාරියක් ස්තුතියි ඩ්‍රැකී, සුපිරි links දෙක වෙනුවෙන්....
Deleteබල්නවාකු ඒකෙත් හැටි. මන් දෑව ලින්ක් එක වෙනුවට මට ස්තූතියක් නෑ
Deleteඒක නමියො ලැබීම
Deleteඇට් යුව සර්විස් නිදි...
වස අත් වැරද්දක් නමී. ගොඩාරියක් ස්තුතියි ඔයාටත්.
Delete😄😂😂.......
Deleteආාාහ්... මේක දාපු දවසෙම කියෙව්ව. කමෙන්ට් එකක් දාන්න හිත එකලාසියක් උනේ දැං.
ReplyDeleteනිදි අයියට සුභ නත්තලක් ම වේවා!
ඩ්‍රැකී මලයා ඇතුළු ආදරණීය පාඨක හැමටාත්, සකල ලෝක වාසීන්ටත් සතුට සාමය සපිරි සුබ නත්තලක් වේවා!
Deleteඔන්න මාත්.... හැමදෙනාටෝම සුබ නත්තලක් කියල කියාණෝ!
Deletehttps://youtu.be/Gvr0YNJwE0c
Deleteස්තුතියි!
Delete