අකුරු මැකී නෑ

Wednesday, January 4, 2023

2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!

හිතා ගන්නවත් බැරි පුදුම විදිහටයි, ජීවිතේ සමහර දේවල් සිද්ද වෙන්නේ. සමහර දෙනෙක්; සමහර තැනක්; සමහර සිද්දියක් හිතට වදින්නේ. ඔයාලටත් එහෙම වෙනවද? මට නං එහෙමයි.

දන්නවද? 2022 දෙසැම්බර් 22 උදේ දහය-දහයමාර විතර වෙනකල් විදුරංග කෙනෙක් මගෙ හිතේ හිටියේ නෑ. ඒත් 22 වෙනිදා ඉඳලා අද වෙනකල් ගත වුණු හැම දවසකම මට විදුරංගව මතක් වුණා. මේක කිව්වම, ඔයාලා විශ්වාස කරයිද මන්දා. මං විදුරංග එක්ක එකම එක වචනයක්වත් කතා කරලා නෑ තවමත්! (කතා කෙරෙන එකකුත් නෑ- මයෙ හිතේ. ටිකක් දුර හිට මම ඒ හාදයාව දැකලා තියෙනවා විතරයි.) ඒත් එකම එක වතාවයි.

හතහමාරට හාමුදුරුවරුන් වහන්සේලා වඩම්මලා පිරිත් ටිකකුත් කියවනවා... (foto- සෙරාන් එච්. ගමගේ)

පස්සෙ-පස්සේ විදුරංග එක්කම සඳරුවන්වත්, නාරායනන්වත් විඩෙන් විඩේ මගේ මතකයට එන්න ගත්තාම තමයි, මෙහෙම post එකක් හරි ලියලා හිතේ තියෙන බරෙන් නිදහස් වෙන්න හිතුවේ.

හැබැයි, නාරායනන්ව මට හම්බ වෙලත් නෑ, කතාබහක් කෙරිලත් නෑ කියලම තමයි- මට අද කතන්දරේ පටන් ගන්න  වෙන්නේ.

දන්නවනෙ WAL Constructions එක.

ඊයේ පෙරේදා, ඔයාලා කියවල ඉවර කරපු ‘සීත හිමේ මැඳුරක හිර වුණාදෝ’ blog පෝස්ටුවලින් කියැවුණු සංචාර දෙක සංවිධානය කළ කෙනා. W A L ප්‍රියන්ත ගැන අමුතුවෙන් කියන්න ඕනි නැහැනේ. එයාගේ ඉදිකිරීම් සමාගම තමයි වල් කස්ට්‍රක්ෂන්ස්. මේ බ්ලොගය දිගටම කියවන අයට නම් අමුත්තෙකු නොවෙන නෙවිල් අනුරසිරිත් රාජකාරි කරන්නේ ඒ කොම්පැනියේ; ඉදිකිරීම් සුපවයිසර් කෙනෙකු විදිහට.

විජේරාම හන්දියට නුදුරින්, ඉඩමක් මිලට ගත්තු ප්‍රියන්ත ගොඩ නැඟුවා- තට්ටු හයක ගොඩනැඟිල්ලක්. නේවාසිකාගාර units විදිහට කුලියට දෙන්න. කාන්තා නේවාසිකාගාර සංකීර්ණයක්!

“හොස්ටල් එක ජනවාරි පළවෙනිදා ඉඳල open කරනවා, නිමල්. 22 වෙනිදා උදේ හයකුත් ගාණට කිරි උතුරවන්න තියෙන්නේ. හතහමාරට හාමුදුරුවරුන් වහන්සේලා වඩම්මලා පිරිත් ටිකකුත් කියවනවා. මට උදව් කරපු හිතවතුන් ටික දෙනෙකුයි, යාළුවොයි, නෑදෑයනුයි ටික දෙනෙක් එනවා කිරිබත් කෑල්ලක් කාලා යන්න. නෙවිල් එනකොට ඔයාවත් එක්ක එන්න කියන්නං.” ප්‍රියන්ත කිව්වේ සති දෙක-තුනකට පෙරාතුවය.

Location එක නම් නියමය. උඩම තට්ටුවට නැංගාම හතර දිග් භාගයම බාධා රහිතව දැක ගන්නට ඇහැකිය. නෙළුම් කුලුන වගේම සමනොළ කඳු රාජයාවත් දැක ගන්නට පුළුවනිය.

“ඒවට හපන් මේ හතර වටෙන්ම තියෙන ගෙවල්. සේරම බෝඩින්...” හතර පැත්තෙන්ම මට පෙනුණේ නේවාසිකාගාර බවට හැරවුණු ගෙවල්ය; Hostels ලෙසින්ම ගොඩනැඟුණු හා ගොඩනැඟෙමින් තිබෙන ගෙවල්ය. බැල්කනි පුරා දිවෙන රෙදි වැලවල්ය. ගෙවල් පියැසිවලින් 90%ක්ම වසාගෙන ඇති සූර්ය පැනලයන්ය.

“ඔයා මෙඩිකල් ෆැකල්ටියට එන්න කලින් මනාමා මේක හැදුව නං ඔයාටත් මෙහෙම ඉඳලා විනාඩියෙන් කැම්පස් එකට යන්න තිබ්බනෙ.” තව අවුරුද්දකින් දොස්තර කෙනෙක් වෙන්නට පෙරුම් පුරමින් සිටින චිරන්තට, මම එහෙම කිව්වේ හිනා වෙමිනි.
“මේ හොස්ටල් එකට එන්න නං, මේ කොල්ලට ගවුමක් ඇඳගෙන තමයි මිනිහෝ එන්න වෙන්නේ.” එතැනම හිටි මර්වින් ඉස්සරහට පැන්නේ මගේ වැරැද්ද පෙන්නා දෙමිනි.

ඒකෙ වැඩි දෙනෙක් ‘වල් කන්ස්ට්‍රක්ෂන්ස්’ කාර්ය මණ්ඩලයේ උදවිය. මාත් ඒ හුඟ දෙනෙක් අඳුනන නිසා... (වමේ සිට දෙවැන්නා දහනායකය. දකුණේ සිට දෙවැන්නා අජන්තය.)

“මනාමා මේක ලේඩීස්ලට විතරලු දෙන්නේ, නිමල් uncle!” චිරන්තත් මට සිහිපත් කළේ- බොහොම විනීත විදිහට.

ඔහොම කතාවලින් වෙලාව ගෙවලා, පිරිත් සජ්ජායනයෙන් පස්සේ අපි පහළට බැස්සේ සංග්‍රහය භුක්ති විඳින්න සූදානමින්. කිරිබත් කෑල්ලක් කාලා යන්නට කියලා ආරාධනා කෙරුණත්, තිබුණේ කිරිබත් විතරක් නොවේ. කැවුම්, කේක්, රසකැවිලි වර්ග මෙන්ම කොත්තු රොටිත්, ආප්පත් තිබුණේය. කොත්තු, ආප්ප, බිත්තර ආප්ප ලබා ගන්නට නම් ටික වෙලාවක් පෝලිමේ සිටින්නටත් අපට සිද්ද වුණේය.

කෑමෙන් පස්සේ තිබුණේ වැඩ සටහනේ නොතිබ්බ ‘අල්ලාප-සල්ලාප’ අයිතමයය. අපට තරම් විවේකයක් නොතිබෙන උදවිය නම් ඊට සහභාගී නොවී, ඉක්මනින් ප්‍රියන්තට ‘බායි’ කීහ. අනෙක් උදවිය රවුමට රවුමට පුටුත් ඇදගෙන කතාවට වැටුණහ. ඉක්මනටම රවුම් කීපයක් හැදුණේ කාටත් නොදැනිම වගේ...
එක රවුමක් ලොකුයි. ඒකෙ වැඩි දෙනෙක් ‘වල් කන්ස්ට්‍රක්ෂන්ස්’ කාර්ය මණ්ඩලයේ උදවිය. මාත් ඒ හුඟ දෙනෙක් අඳුනන නිසා එතැනම හිටියා, පුරුදු විදිහට රබර් කන් දෙකත් දික් කරගෙන- මගේ cctv කැමරා දෙකත් විවෘත කරගෙන.

“මොකක්ද මචං, අර දහනායක අයියා වටේටම ඇවිද ඇවිද ලියා ගන්නේ?”
“ඒ ලියා ගන්නෙ තාමත් sitesවලට යන්නැතුව මෙතන කයිවාරු ගගහ ඉන්න උඹලගෙ නම්. වරුවක පඩි කපන්න වෙන්නැති!”
“හඃ හඃ හඃ!”

එතකොටමයි උඩ තට්ටුවකින් වයසක කම්කරුවෙකු පහතට එබුණේ.
“දහනායක මහත්තයා. මගෙ නමත් ලියා ගන්න....”

ඒ සද්දෙ ඇහිලා වෙන්නැති, එතැනින්ම පහතට එබුණා අවුරුදු විස්සක විතර ගැටවරයෙක්. කළු; කොණ්ඩේ බොකුටු හාදයෙක්. “අජන්ත මහත්තයා... මමත් මෙහෙ ඉන්නවා.”
“තව කවුද ඉන්නේ විදුරංග?” අජන්ත ඇහුවා.

‘විදුරංග!’

ඒ සිද්ද වෙන වැඩේ මොකක්ද කියලා මට වැටහුණේ නෑ. අපි නොදන්නා වැඩ කොච්චරක් නං ලෝකේ වෙනවද? ඒ මදිවට විදුරංගත්...

ඒකා හැමදාම දවල්ටයි, රෑටයි දෙකටම...

ටිකකින් අජන්තයි, දහනායකයි දෙන්නමත් මගෙ ළඟට ඇවිදින් වාඩි වුණා. එතකොටයි මගෙ කුතුහලය නිවා ගන්න ඇහැක් වුණේ. ඒ ඒ සුපවයිසර්ලා එයාලගේ වැඩබිම්වලින් මෙතනට අනුයුක්ත කරලා ඉන්න සේවකයන්වයි මේ ලැයිස්තුගත කර ගන්නේ. දවසේ ‘වියදම් සල්ලි’ ගෙවන්න!

“දහනායක, ඉස්සෙල්ල අර අජන්තගෙ ගෝලයෙක් කතා කළා නේද උඩ තට්ටුවෙන් එබිලා...” එච්චර වෙලාවක් තිස්සේ මගේ හිතේ කුයි-කුයි ගාමින් තිබුණු කාරණයක් විසඳා ගන්නටයි, මං ඊළඟට හැදුවේ. කොහෙද? පූර්ණිකාව කියන්න ගත්තු සැණෙන්, මට උවමනා උත්තරය හම්බ වුණයි කියමුකො. ඒ තවත් පුරස්නයක් විදිහට- දහනායක හිතවතාගෙන්මයි. “ඔයා අහන්නෙ අපේ විදුරංග ගැනද  නිමල් අයියෙ?”

“හරිම අපූරු නමක්නෙ දහනායක, ඒ හාදයට තියෙන්නේ. විදුරංග! මම දන්න කිසිම කෙනෙකුට ඒ නම නෑ.”

“ඒක එච්චර විශේෂ නමක්ද. මොකක්ද නිමල් අයියේ, ඒ නමේ තේරුම”
“හරියටම ඒ නමේ තේරුම කියන්න නං, මං දන්නෑ. මට හිතෙන විදිහට නං විදුර වචනෙට අංග වචනේ එකතු වෙලා වෙන්නැති විදුරංග වචනේ හැදිලා තියෙන්නේ...” මාත් නොදන්නා දේවල් අපමණවත් තිබෙන විත්තිය එළිදරව් වෙනවාට කිසිම බයක් නැති මං, ඒ වෙලාවේ දහනායකට කිව්වා මතකය.
“හරි හරි... නිමල් අයිය දන්න තරමින් කියන්නකො. අපි ඔයා තරම්වත් සිංහල දන්න අයයැ... ඔයා ඕක කිව්වට පස්සේ මාත් යස කතාවක් කියන්නංකෝ.”

“විදුර කියනවා දියමන්තිවලට. වීදුරු කියලත් ගත්තැකි. කුස තණවලට- දෙළුම් ගහට හෙමත් විදුර කියනවලු. අංග කියන්නේ කොටසකට කියලනෙ.”

“... ඒ කියන්නේ දියමන්ති කෑල්ලක්!” දහනායක සිනා වෙමින් කිව්වේය.
“... මිනිහා නං කොහොමත් දියමන්ති කෑල්ලක් තමා. නිමල් අයිය දන්නවද, ඒ හාදයට දවසේ පඩිය මදි තුන් වේල කන්නවත්. විදුරංග ගෝලයෙක්නෙ... දවසේ පඩිය 1,500/-යි. ඒකා හැමදාම දවල්ටයි, රෑටයි දෙකටම කන්නේ Fried Rice විතරයි. එතකොටත් මිනිහට Coca Cola බෝතලයක් නැතුව බෑ... නේද අජන්ත අයියේ?”

අපේ කතාවට කන් දීගෙන හිටි අජන්තත් මුව’ගුලු හැරියේ එතකොටය. “මම දැන් නං, මිනිහට කොකා කෝලා තහනං කරලයි තියෙන්නේ. ඇයි නිමල් අයියේ, මිනිහට දවසේ පඩිය මදි ඒ ටිකටම... ඉතිං site එකේ කාට කාට හරි ණයත් වෙනවා. ඒ ණය බේරන්න කියලා මගෙනුත් සල්ලි ඉල්ලනවා...” (අජන්ත, දහනායක- ඔයාල දෙන්නටම ගොඩක් ස්තුතියි තොරතුරු කිව්වාට. Fotoත් එව්වාට- මම ඒවා නොදැම්මත්...)

මට සිහිපත් වුණේ ‘ගෝඨා go ගමේ අරගල බිමේ’දී දුටු අනුරාධපුරයේ සඳරුවන් ගැටවරයාවයි.

ඇත්තම කියතොත් එවෙලේ මගේ පපුව ‘දාලා’ ගියේය! මට සිහිපත් වුණේ ‘ගෝඨා go ගමේ අරගල බිමේ’දී දුටු අනුරාධපුරයේ සඳරුවන් ගැටවරයාවයි. 

ඒ හිටියෙත්; මේ ඉන්නෙත් ශ්‍රී ලංකාවෙම තරුණ පෙළ නියෝජනය කරන්නවුන් නේද?
දහනායකගෙනුත්, අජන්තගෙනුත් තවත් විස්තර අහද්දී කියැවුණු විදිහට විදුරංගත් රජරට (කිව්වාම ඇතිනෙ?) කොල්ලෙකි. “ගෙදරට සල්ලි යවන්නෙත් නෑ. යවන්න තියෙන්නෙත් නැහැනෙ. සත පහක්වත් ඉතිරි කරන්නෙත් නෑ...”

“එතකොට විදුරංගලගේ අනාගතේ...”
දහනායකටවත්, අජන්තටවත් ඒකට උත්තර දෙන්නට ඉඩක් නොලැබුණේ තවත් කිහිප දෙනෙකුම එතැනට කඩා පාත් වුණු බැවිනි.

එදා නෙවිල් මාව ගෙදරට ඇරලවන අතරමඟදී, මේ විස්තරය නෙවිල්ට කීවෙමි.
“Site එකකට ඇවිත් දවස් තුන හතරක් හිටියොත් ඔයාටම තේරෙයි, ඒ මිනිස්සු ගැන. ඒ ගොල්ලන් ඔච්චර දේවල් හිතන්නෑ. වැඩිම දෙනෙක් කන්නයි බොන්නයි තමයි මුල් තැන දෙන්නේ. ඒ මදිවට ගංජා, කුඩු... මේ ළඟදී මම දෙන්නෙක්ව සයිට් එකෙන් එලෙව්වත් එක්ක. උන් අයිස් ගහන්න අරං. එහෙම එවුන් අන්තිමට හොරු වෙලානෙ ඉවර වෙන්නේ.” නෙවිල් කිව්වේ හිතා ගන්නටවත් බැරි පැත්තක් ගැන කතාවකි.

“උන්ට කොහෙන්ද ඒවා?”
“දෙයියෝ තමයි දන්නේ. ඔය සයිට්ස්වලට එන බාස්ලා- ගෝලයෝ එන්නෙ හද්ද ඈත ගම්වල ඉඳලා. ඉන්නේ site එකේම නැවතිලා. හුඟක්ම වෙලාවට කට්ටිය එකතු වෙලා උයාගෙන කන්නේ. එහෙම ඉන්නවා වෙලත් අර ජරාවල් උන්ගෙ ළඟටම ගෙනත් supply කෙරෙනවයි කිව්වම. අපි සයිට් එකේ ඉන්නෙ නැහැනෙ, හැන්දෑවෙන් පස්සේ.”

එවැනි දේ පිළිබඳව මා වැනි ‘පන්ඩි’න්ගේ (දෙමළ බසින් පන්ඩි කියන්නේ ඌරන්ටලු!) පණ්ඩිතමානී විග්‍රහයන් මෙතැනට උවමනා නැත. එහෙම වුණත් එකම එක කරුණක් විතරක්වත් කියන්නට, මට අවසර දෙන්න.

නාරායන කියන්නේ විෂ්ණුටය. දේව කතා ප්‍රවාදයන්හි විෂ්ණු විවිධ වේෂයෙන් මනුෂ්‍යන් අතරට පැමිණ...

දුප්පත්කම දුරලන්නට නම්, ජනතාවට ලබාදිය යුත්තේ සහන නොවේ; අධ්‍යාපනයයි! ජීවත් විය යුතු ආකාරය පිළිබඳ අධ්‍යාපනයයි.
එපමණක්ම නොව හොඳ ආකල්පයන්ද ඔවුන්ගේ සිත්-සතන් තුළ ඇති කරවිය යුතුය.

ඒ මතය සනාථ කරන්නට මා ඊළඟට උපුටා ගන්නේ ‘නාරායනන් පුන්නියසෙල්වම්’ගේ කතාවෙන් කොටස් ටිකකි. කතාව ලියා තිබුණේ, නුවරඑළියේ නාලක රත්නායක හා තිස්ස ගුණතිලක විසිනි.

දමිළයන්ට නාරායන වචනය වන්දනීයය. නාරායන කියන්නේ විෂ්ණුටය. දේව කතා ප්‍රවාදයන්හි විෂ්ණු විවිධ වේෂයෙන් මනුෂ්‍යන් අතරට පැමිණ දුක් පීඩා විඳින මනුෂ්‍ය ප්‍රජාවන් ඉන් ගලවා ගැනීමේ පෙරළි සිදු කර ඇත. ඒ දෙවියන්ය. මේ නුවරඑළිය ග්ලැස්කෝ වතු යායේ නාරායනන් පුන්නියසෙල්වම්ය. පුන්නියසෙල්වම්ගෙ දෙමාපියන් ඔහුගේ නමේ මුලට නාරයනන් නම තැබුවේ කුමන හේතුවක් මතදැයි අප දන්නේ නැත. ඒත් වතු කම්කරු ප්‍රජාව අතර නාරායන් පුන්නියසෙල්වම් දැන් පෙරළිකාර මිනිසෙක්ය.

තේ ගස් යටට සින්න වන වතු කම්කරුවන්ගේ පරම්පරාවෙන් පරම්පරාවට උරුම ඛේදනීය ජීවන වළල්ලට අභියෝග කරමින් ඉන් පිටතට පය තබා පෙන්වූ නානුඔය වතුයායේ පළමු දරුවා නාරායන් පුන්නියසෙල්වම්ය. වසර එකසිය පනහකට වඩා ඉතිහාසයක් ඇති ග්ලැස්කෝ වතුයායේ දමිළ වතු කම්කරු දරුවන් අතරින් බිහිවූ පළමු උපාධිධාරියා ලෙස ඔහු අද එම ප්‍රජාවගේ ඉතිහාසය අලුතින් ලියමින් ඇත. ඔවුන්ට නව ලෝකයක් විවර කර ඇත.....

අපි අවුරුදු ගානක් පෙරුම් පුරමින් බලා හිටපු වෙනස පුන්නියසෙල්වම් පුතා ආරම්භ කරලා තියෙනවා. අපි හිතනවා මේක ආරම්භයක් පමණයි කියලා. එසේ කීවේ ස්වකීය ජීවිතයේ කිසිදාක වතුකරයෙන් එහා ලෝකයට පය නොතැබූ රාමනාදන්ය.

රාමනාදන්ලා පැවැත එන්නේ වසර එකසිය පනහකට වඩා වැඩි ඉතිහාසයක් ඇති මේ රටේ උඩරට වතු කම්කරුවන්ගෙන්ය.

මෙරට තේ වතු වගාවන්හි කම්කරු සේවයට ස්වදේශිකයන් අකැමැති වීම හේතුවෙන් ඉංග්‍රීසීන් විසින්...

නුවරඑළිය නානුඔය ප්‍රදේශයේ අලංකාර මනරම් පරිසරයකට උරුමකම් කියන වතු කම්කරු දුගී දුප්පත් පවුල් 600ක් පමණ ජීවත් වන යටත් විජිත කාලයේ සිට පැවත එන ඉපැරැණි වතු ගම්මානයක් වන නානුඔය ග්ලැස්කෝ තේ වත්ත ඔහුගේ උපන් ගමය.
නාරයනන් පුන්නියසෙල්වම් නියෝජනය කරන්නේ එම ගමේ තෙවන පරම්පරාවේ දරුවන්ය. තවමත් අනේක දුක් පීඩා විඳිමින් අවම පහසුකම් සහිතව මේ රටේ අපා දුකක් ගෙවන මනුෂ්‍යයන් පිරිසක් වන ඔවුන්ගේ වැඩිහිටි පරම්පරාව තමන්ගේ නම ලියාගැනීමට තරම්වත් අධ්‍යාපන තත්ත්වයක් නැති පිරිසක්ය.

මෙරට තේ වතු වගාවන්හි කම්කරු සේවයට ස්වදේශිකයන් අකැමැති වීම හේතුවෙන් ඉංග්‍රීසීන් විසින් මේ වතු කම්කරු ප්‍රජාව එදා ඉන්දියාවේ සිට රැගෙනවිත් ඇත්තේ තේ ගස් යට උම්බලකඩ මතු වෙනවා යැයි අමුතුම ලෝකයක් මවා පාමින්ය.

එකල ඉන්දියාවේ කොලරාව පැතිරී, නරා වළකට වැටෙමින් පැවැති ජීවිතය හමුවේ ඔවුන්ට ඒ මැවූ ලෝකය සුරපුරයක් සේ පෙනුණේය. එහි ප්‍රතිඵලය වූයේ නැව් පිටින් මෙරටට ගෙනා මේ දමිළ ජනතාව හුස්ම ගැනීමටවත් නොහැකි ලැයිම් කාමරවල ගාල් කර වහලුන් සේ තේ වතු කර්මාන්තයේ කම්කරු රැකියාවල යෙදවීමය.

මේ වනවිට අවු 78 වයසැති පුන්නියසෙල්වම්ගේ පියා වන මානික්කම් නාරායනන්ද, ඔහුගේ පියාගෙන් පසු එම ඉරණමටම ගොදුරු වූවෙකි. දරාගත නොහැකි සීතලේ කඳු හෙල් බසිමින් තේ වතුවල සේවය කළ ඔහු දැන් රෝගාතුරය. මව වන රාමසාමි පුගනලෝචනි වසර 18 ක කාලයක් එම වතුයායේම වතු කම්කරු කාන්තාවක් ලෙසත්, ඉන් අනතුරුව වසර 12ක කාලයක් තිස්සේ එම වතුයායේ තේ කර්මාන්ත ශාලාවේ සුළු සේවිකාවක් ලෙසත් කටයුතු කරමින් හිඳින්නීය.

වේලක් හැර වේලක් හෝ පුන්නියසෙල්වම්ලාගේ පවුලේ බඩ කට පිරුණේද අධ්‍යාපන කටයුතු කෙරුණේද රෝගාතුර වූ පියා රැක බලා ගැනුණේද ඇය ලද සුළු වැටුපෙනි. ඒ කොතරම් අගහිඟකම් මැද්දේ වුව මීට වසර පහළොවකට විස්සකට පෙර වතුකර ජනතාවගේ අධ්‍යාපනය ඉහළ දැමීමට රජය කටයුතු කිරීමේ සීමිත සංවර්ධන ක්‍රියාදාමය හමුවේ අධ්‍යාපනයට පවුල් පසුබිම වැදගත් නොවන බව පුන්නියසෙල්වම් තේරුම් ගත්තේය.

ඔහු ඒ අධිෂ්ඨානශීලී ගමන අරඹන්නේ වර්තමානයේ ගරා වැටී දැනට වෙනත් ස්ථානයක ස්ථාපනය කර තිබෙන ග්ලැස්කෝ දමිළ විද්‍යාලයෙනි.....

ඉගෙන ගන්න අපේ පවුල් පසුබිම වැදගත් වෙන්නේ නෑ. උනන්දුවයි කැපවීමයි තියෙනවා නම් අධ්‍යාපනයේ ඉහළ තැනකට යන්න පුළුවන්!

නානුඔය ග්ලැස්කෝ වතුයායේ වතු කම්කරුවන් වන අපට මේ දරුවා ගෙනාව අභිමානය ඉතිහාසයේ ලියැවෙනවා. අපි මේ දරුවව තමන්ගෙ දරුවෙක් වගේ ඒ අභිමානයත් එක්ක පිළිගත්තෙ ඒකයි.
-හැබැයි ඒ විතරක් නෙමෙයි. මේ දරුවා අධ්‍යාපනය හදාරනවා වගේම, ගමේ ජීවත්වන පවුල් විශාල ප්‍රමාණයක දරුවන්ට සවස් වරුවේ නොමිලේ අධ්‍යාපන කටයුතු වලට උපකාරක පංති කළා. පුන්නියසෙල්වම් අනිත් දරුවන්ටත් ආදර්ශයක් දුන්නෙ එහෙම. වතු කම්කරුවෙකු අප සමග කීවේය....

“... වතු කම්කරුවෙකුගේ දරුවෙක් කිවුවහම බහුතරයකගෙ මතයක් වෙලා තිබුණේ අනාගතයේ දවසක අපේ අම්මා තාත්තා සොච්චම් පඩියට කරපු ඒ රැකියාවම අපිත් තෝරාගත යුතුයි කියලා. පරම්පරා ගාණක් එහෙම වෙලා තියෙනවා. ඒත් එහෙම තෝරගන්න තරමට අපි මෝඩ නොවිය යුතුයි. මොකද ඉගෙන ගන්න අපේ පවුල් පසුබිම වැදගත් වෙන්නේ නෑ. උනන්දුවයි කැපවීමයි තියෙනවා නම් අධ්‍යාපනයේ ඉහළ තැනකට යන්න පුළුවන්.
මම ශිෂ්‍යත්ව විභාගයෙන් ගත්තේ ලකුණු
75යි.

-ඒ ලකුණු ආපු දවසෙ මගේ අම්මා ගොඩක් දුක් වුණා. එදා අම්මා මට කිව්වේ ‘මම ඔයා ගැන ගොඩක් බලාපොරොත්තු තියං ඉන්නවා මගේ පුතේ. ඔයා අනිත් අය වගේ වත්තේ වැඩට යන්න හිතන් ඉගෙන ගන්න එපා. හැමෝම කතා කරන තරමට වත්තෙන් ඉහළට ගිහින් කාර්යාලයක වැඩ කරන්න පුළුවන් තත්ත්වයකට ඉගෙන ගන්න’ කියලා.

-අද මම මගේ අම්මා හිතුවටත් වඩා හොඳ තැනකට යන්න අඩිතාලම හදාගෙන තියෙන්නේ. මේ තැනට මට යන්න ශක්තිය වරම දුන්න මගේ අම්මට බොහොමත්ම පින් සිද්ද වෙන්න ඕන. මගේ ඊළඟ බලාපොරොත්තුව ලෝකේ පිළිගත්ත විශ්වවිද්‍යාලයකින් ආචාර්ය උපාධිය ලබා ගැනීම....

මම ඉගෙන ගත්ත දෙයින් වතුකරයේ ජනතාවට මීට වඩා යමක් කරන්න පුළුවන්...

-මම ඉගෙන ගත්තේ දේශපාලන විද්‍යාව වුණත් අපේ රටේ දේශපාලනය පිළිබඳව මම ඉන්නේ දැඩි කලකිරීමකින්.

-අපි එදා හිටපු තත්ත්වයෙන්ම තමයි තවමත් ඉන්නේ. වතුකරයේ ජීවත් වන ජනතාවට තනි නිවාසයක් කියන්නේ තාමත් සිහිනයක්. අවුරුදු ගාණක් පොඩි පඩියකට වැඩ කරන්නේ; අපේ මිනිස්සු. හැම ඡන්දයකදී ම දේශපාලකයො ඇවිත් පෙන්නන්නෙ පුදුමාකාර සුරංගනා ලෝකයක්!

-ඡන්දෙ දින්න ගමන් පඩිය වැඩි කරල දෙනවා කියලා කියනවා. ඒත් අපේ මිනිස්සු තාම වැඩ කරන්නෙ සොච්චම් පඩියකට. වතුකරය නියෝජනය කරන දේශපාලඥයන් මට ආරාධනා කළොත්, මම ඉගෙන ගත්ත දෙයින් වතුකරයේ ජනතාවට මීට වඩා යමක් කරන්න පුළුවන් අදහසක් මම ඒ අයට ලබා දෙන්න සූදානම්.....

-වතුකරයේ ජනතාව කිව්වම කවුරුත් ගණන් ගන්නේ නෑ අපිව.
ඒ ඇයි කියලා මම දන්නේ නෑ. අපි හොඳින් ඉගෙන ගත්තම අපිට වටිනාකමක් ලැබෙනවා.

-ඒ නිසා වතුකරයේ අධ්‍යාපනය ලබන සියලුම නංගිලා මල්ලිලා හොඳින් ඉගෙන ගන්න ඕනි. අම්මලා තාත්තලා විඳින දුකෙන් ඔවුන් මුදාගෙන අපි මේ රටට වැඩක් කළ යුතුයි.

-මම වත්තට එනකං හීනෙකින්වත් හිතුවේ නෑ, ඒ වගේ පිළිගැනීමක් මට කරයි කියලා. ඒකෙන් මට තේරෙන්නේ අපි හොඳට ඉගෙන ගත්තම ඒ ගොල්ලන්ට ආඩම්බරයක් ලැබෙන බව. පුන්නියසෙල්වම් කියන්නේය...’

ඉගෙනුමක් ලැබූ උදවිය පහසුවෙන් රවටන්නට නොහැකි වෙනු ඇත.

එහෙම ඉගෙනුමක් ලැබූ තරුණ උදවිය පහසුවෙන් රවටන්නට නොහැකි වෙනු ඇත.

හැට-හැත්තෑව පැනලා, ඇවිදගන්නට පණ නැතිව සිටියදීත් විශ්‍රාම නොයා- බලයට කෑදරව නායකත්වයේ සිටින්නන්, එවැනි උගත්; සවිඥානික පරපුරක් අබියසදී ඉතිහාසයේ කුණු බක්කියටම වීසි වෙනු නියතය.

එදාට, රටේ අනාගතය බාරගෙන නිසියාකාර සැලසුම් කරනු ඇත්තේ උගත් තරුණ පරපුර විසිනි; රටට නායකත්වය දෙනු ඇත්තේ ඔවුන් විසිනි.
එවන් දවසක් ඉතා ඉක්මනින්ම උදා වේවායිද: පුන්නියසෙල්වම් වැනි උගතුන් දස දහස් ගණනින් බිහි වේවායිද පතමින්, 2023 වසරේ මා ලියන පළමු  blog පෝස්ටුව මෙතෙකින් හමාර කරන්නෙමි෴0෴

28 comments:

  1. හිතන්නට යමක් ඉතුරු කරන වටිනා අදහස් ටිකක්!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි Litseeker! අපේ ගොඩක් දෙනා හිතනවා අඩු එක නෙව ප්‍රශ්නෙ.

      Delete
  2. හිතට වැදුණු තිදෙනෙක් ගැන කිව්වාට ලියලා තියෙන්නේ දෙන්නෙක් ගැන නොවැ.

    ReplyDelete
    Replies
    1. ඔයා බාගෙට හරි අසංග මහත්තයෝ.
      මං අදහස් කළ තුන් දෙනා තමයි- විදුරංග, සඳරුවන් හා පුන්නියසෙල්වම්. සඳරුවන් ගැන ලියවුනු තැන link එක විතරයි දැම්මේ.
      මගෙන් වෙච්ච වැරැද්ද මාතෘකාවට 'අන්තිමේ' වචනය එකතු කිරීමයි. සඳරුවන්ව හමු වුණේ 2022 අග නෙවෙයි, අප්‍රේල්වලනේ.

      Delete
  3. අන්තිම ඡේදෙට කලින් ඡේද තුනේ කියල තියෙන දේවල් අපි වලකජ්ජ ගහන්න ඉස්සරවෙලා සිද්ධවෙනව දකින එක තමයි මගේ කාලෙක ඉඳල බලාපොරොත්තුව.
    2023 ඒ බලාපොරෙත්තුව ඉටුවේවා යැයි පතමු.

    ReplyDelete
    Replies
    1. ඔව් ප්‍රසන්න, හැකිතාක් සුබවාදීව හිතමු- පතමු! ඕනි නං ටිකක් ප්‍රමාද වෙයි, ඒත් පෙරමඟ ලකුණු සුබයි වගේ!!

      Delete
  4. Replies
    1. පළවෙනි එක දකිනකොට මම හිතුවෙ මාමා කියන එක වැරදිලා කියල. ඒත් ආයි පාරක් ඒක එහෙමම තියෙනකොට මටත් කුතුහලයක් ආව ඕක ගැන.

      Delete
    2. ප්‍රියන්තලගෙ අම්මා තමයි චිත්තම්මා. එයාගේ නම චිත්‍රා. එයාට වඩා බාල සහෝදර සහෝදරියන් විතරක් නෙවෙයි වැඩුමල් අයටත් එයා චිත්තම්මා වුණේ- නායකත්ව ගුණාංග නිසා. ඒ ගුණය පුතාටත් ඇවිත්.

      ප්‍රියන්ත තමයි ඒ පවුල්වල දරු පරපුරෙන් බිහි වුණු පළමු උගතා. ඒ පවුල්වල සොයුරු-සොයුරියන්ගේ දරුවන් හැමෝම ප්‍රියන්තට කියන්නේ මනාමා කියලයි. මට හිතෙන්නේ ඒ නම හැදෙන්න ඇත්තේ ප්‍රියන්තගේ 'ගෙදරට කියන නම' මහින්දත් එක්ක මාමා වචනේ කෙටි කරගෙන වෙන්නැති.

      Delete
  5. උදාවූ 2023 වසරට සුභපැතුම් . අවුරුද්දේ පලවෙනියට ඉතාම වටිනා පෝස්ට් එකක් ගෙනාවාට ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. ඔබතුමාටත් සුපැතුම් චමින්ද මහත්තයෝ!
      බලාගෙන ගියාම විදුරංගලා කට්ටිය තමුන්නාන්සේලවත් කම්පනය කරලා වගෙයිනෙ.

      Delete
  6. අම්මා කෙනෙක්ගේ අත්රප්‍රහිත ධෛර්යයෙන් ලොව දිනන දරුවෙක්. හැම අම්මා කෙනෙක්ටම හොද ආදර්ශයක් .

    ReplyDelete
    Replies
    1. අම්මලා, දුක් ගන්නේ පුතුන් හදන්ටා
      පුතුන් රජුන් කරන්ටා!

      Delete
  7. ගුණ-නැණ දෙකම පිරි අනාගත පරපුරක් තමා ඕන. එතකොට සමබරයි.

    ReplyDelete
    Replies
    1. එහෙමයි, එහෙමයි නේද අපේ හාමුදුරුවනේ!

      Delete
  8. නව වසරට සුභ පැතුම්. ලංකාවේ නිදහස් අධ්‍යාපනයත් පෞද්ගලික අධ්‍යාපනයත් දෙකම දියුණු කරන කොට හුඟක් අයට වඩාත් අවස්ථා ලැබේවි ඉගෙන ගන්න

    ReplyDelete
    Replies
    1. ... සහ උගත්කමේ අගය තේරුම් ගන්නා දෙමාපියන් වැඩි වෙන තරමට, අජිත් මහත්තයෝ.
      තවමත් මා දන්නා සමහර දෙමව්පියන් ඉන්නවා- දරුවන් ජනිත කරන්නන්ට දන්නා නමුත්, හදන්නට නොදන්නා. තවත් විදිහකට කියනවා නම් 'වගකිව යුතු මව්පියන්' වීමට නුසුදුසු මව්පියන්.

      Delete
  9. ලංකාවෙ සාමාන්‍ය ආහාර රටාවෙ දවල්ටයි, රෑටයි දෙකටම fried rice කන පුරුද්දක් නෑ නේද. තමන්ට කැමති ඕනෙම විදිහකට කන්න පුලුවන් අයවත් එහෙම දවල් රෑ fried rice කනවා ඇති කියලා හිතන්න බෑ. එතකොට මේ විදුරංග වගේ අය තමන්ට afford කරන්නත් බැරුව එහෙම කරන්නෙ පහසුවටද, එහෙම නැත්නම් යම් කිසි හීනමානයක් නිසාද, එහෙමත් නැත්නම් තමන්ගෙ ප්‍රශ්න යටපත් කරගන්න යම් විදිහක comfort eating/emotional eating වගේ දෙයක්ද. අනේ මන්දා මම විනිශ්චය කිරීමක් තමයි කරන්නෙ හැබැයි නිමල් මේ ගැන ලිව්වෙ කියවන අයට හිතන්න වෙන්න ඇතිනෙ. ඉතින් ඔය විදිහට ලංකාව දැන් තියෙන තත්වය ගැන පුදුම වෙන්න දෙයක් නෑනෙ.

    ReplyDelete
    Replies
    1. දැන් හිතෙනවා වෙලාවක් ගිහිං විදුරංග එක්ක කතා කරලා බලන්නත්. ඔයාගේ විස්තර කියෙව්වම.
      ඇත්තයි Lotus, එහෙම ව්දුරංග වගේ දැක්මක් නැති - නොහිතන අයත් ලංකාවේ ඉන්නවා. එයාලා ගැන (මුල් කාලයේ මේ බ්ලොගයේ නිත්‍ය පාඨකයෙකුව comment කරමින් සිට, ලංකාවට පැමිණි හැම විටෙක හොයාගෙනම ඇවිත් කතාබහේ යෙදෙන ඕස්ට්‍රේලියාවේ ඉන්න සිරිබිරිස් උන්නැහේ ඊයේ) හොඳටම ගැලපෙන ප්‍රකාශයක් කළා.
      "නිමල් අයියේ, ලංකාවේ වැඩි දෙනෙකුට ආර්ථික සාක්ෂරතාවයක් නෑ!" ඒක තමයි කාරණේ!

      මම මේ තුන්දෙනා ගැන එක තැනක ලිව්වේ කියවන අයට සසඳලා හිතන්න සලස්වන්න තමයි!

      Delete
    2. සිරිබිරිස් කියලා තියෙන financial (il)literacy කාරණයට අමතරව එතන health (un)consciousness තියෙනවා නේද.

      Delete
    3. නිදි මචෝ සහ ලෝටස්, මේකට යමක් කියන්න අවසර දෙන්න. මම නම් ඔය විදුරංග සහ තරුණයෝ කන එක ගැන මුකුත් කියන්නේ නැහැ. ඒකෙ වැරැද්දක් නැහැ, ඒ හැටි ඔය වයසේ. කොපමන කෑම තිබ්බත් මගේ ටීනේජ් දුවලා කෑවේ පොට් නුඩ්ල්ස් , ලංකාවේ එයාගේ කසින් ල කන්නෙත් ඔය මල ජරාව. කාලයක්ම කෑවේ ඒවා. විශේෂ නුඩ්ල්ස් පැකට් තියනවා, කව්ගුමි , මන්ගුමි , ලෙච්චමී වගේ (මම නම් දන්නේ නෑ ) ගෙනල්ල බිත්තරයක් බැදලා සෝස් ජරාව දාගෙන කනවා. මගේ මල්ලිගේ පුතා අවුරුදු ගානක්ම කෑවේ එහෙම. දැන් යන්තම් දුවල දෙන්න වෙන කෑම කනවා. මේ හොඳට හදපු ළමයි දෙන්නක් එළවලු, බත්, වෙනත් ඕනද යුරෝපියන් ආහාර පොඩි කාලේ කාපු ළමයි. පොඩි දුව එක කාලයක් අවුරුද්දක් විතර යනකන් මැක් එකේ චිකන් නගට් විතරයි කෑවේ. ඕක මග හැරිලා යනවා පස්සේ. ඔය තරුණයා ඉගෙන ගනියි මූලික ආසාව නැති වුනාට පස්සේ. වයසට එන දෙයක් කියල මම හිතන්නේ.

      Delete
    4. ඔව් Lotus, එවනි කෑම වර්ග නිසා ඇතිවෙන ලෙඩ රෝග වෙනම කතාවක්.
      අජිත් මහත්තයෝ. තරුණ කාලේ යකඩ කෑවත් දිරවනවා තමයි; රුචියත් විවිධයි තමයි. මට මතු කරන්න උවමනා වුණේ විදුරංග වැනි අයගේ අනාගත දැක්මක් නැතිකම ගැනයි.

      Delete
    5. අවුරුදු 21 දී අනාගත දැක්මක් හැමෝටම ඇති වෙන්නේ නැහැ. අපි ඉගෙන ගෙන යුනි ගිය නිසා එක්ක ආව. කාර්මික විදුහලකට ගියානම් එනවා. එහෙම නැතිව ලනක්වේ අධ්‍යාපනයේ තියෙන හිල් නිසා එහෙම එකක් හදන්නේ නැහැ. නිදිට තියෙන්නේ කුඩා කාලයේ සිටම වැඩිහිටියෙක් ලෙස හැසිරෙන්නට වීම නිසා ඇතිවූ අසාමාන්‍ය දැනීමක්. ඒක අවුරුදු 21 වෙනේ කොට අනිත් ලංකාවේ තරුණයන්ට එයි කියල හිතන්න අමාරුයි.

      Delete
    6. මට කිසිසේත්ම නොහිතුණු පැත්තක් පෙන්නා දුන්නාට ස්තුතියි අජිත් මහත්තයෝ.
      නමුත් අද ඉන්න තරුණයන් අතරේ අනාගතය plan කරන- දැක්මක් ඇතිව වැඩ කරන- risks ගන්නා 20-25 තරුණයන් කිහිප දෙනෙකුම මම දන්නවා. හැබැයි ඔබ කීවා වගේම එයාල උගතුන්!
      ඒ නිසාමයි මම හිතන්නේ 'අපේ රට මේ නරා වළෙන් ගොඩ ඒමට නම් පුරවැසියන්ට නිසි අධ්‍යාපනයක් ලබාදිය යුතුම'ය කියලා.

      Delete
  10. පුන්නියසෙල්වන් දේශපාලනයට බහින්න සෑහෙන්න ඉඩ තියෙනව.

    දෙමල අයගෙ නම හැදෙන්නෙ කොටස් දෙකකින්. තාත්තගෙ නම සහ පෞද්ගලික නම. ඒ අනුව නාරායනන් කියන්නෙ තාත්තගෙ නම.

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකී, එහෙම නැති-බැරි මට්ටමේ ඉඳල දේශපාලනේට එන අයගෙන් එයාලගේ ජනතාවට සෙතක් වෙයිද?
      එහෙම ඇහුවේ මෑත කාලීන වතුකර දෙස්පාලුවන් ගැන මතක් වෙලා. හමු වුණු වෙලාවක ඒ ගැන කථා කරමු. post එකකින්වත් ඉවර කරන්න බැරි තරම් දේ අසා තිබෙනවා.

      දෙමළ අයගේ නම හැදෙන හැටි ගැන කිව්වට ගොඩක් ස්තුතියි!

      Delete
  11. ජීවත් වෙන විදිය උගන්න එක ලේසි නෑ නෙ....

    ඒක ජීවත් වෙලාම නෙමෙද ඉගෙන ගන්න ඕනි?

    අනිත් එක මිනිස්සුන්ගෙ ජීවිතෙ ආතල් එක ගන්න පුලුවන් වෙන්න නම් හොඳ ආර්ථිකයක් තියෙන එක ගොඩක් වැදගත් අනිත් ඒවට වඩා...
    එහෙම නැද්ද?

    ReplyDelete
    Replies
    1. මොකද නැත්තේ, නවීන්. එහෙම නේන්නං!

      Delete