අකුරු මැකී නෑ

Sunday, January 8, 2023

මුරදොල්ලේ හැඩකාරම මිනිහා

මිනිහ හිතාගෙන ඉන්නේ ‘මුරදොල්ල ගමේ ඉන්න හැඩකාරම මනුස්සය’ තමන්ය කියලයි.

“දැන් තමුන්ලා සේරම හොඳට අහ ගන්නවලා...
මේ මිනිහා හිතාගෙන ඉන්නේ ‘මුරදොල්ල ගමේ ඉන්න හැඩකාරම මනුස්සය’ තමන්ය කියලයි. හැබැයි මිනිහ වයසයි. කළුයි; ඒ මදිවට කොරෙක්. එක කකුලක් නොණ්ඩි ගගහ ඇවිදින්නේ... ඒ වුණාට හරි මනමාලයා. (අසන්නෝ හිකි හිකි ගාමින් සිනාසෙති.)  හැබැයි, මිනිහ තමයි ගමේම සල්ලිකාරයා- පොහොසතා!

-ඔය ගම්වල මිනිස්සු, ඒ කාලේ හරියට සලකනවනෙ, සල්ලි බාගෙ තියෙන මිනිස්සුන්ට. ඉතිං, මේ මනුස්සයාටත් එහෙමයි. නැති තැන කොළොප්පම් කළත්, ඇදකුද කිව්වත්- එයා ඉන්න තැනදී මිනිහට නම්බු දෙනවා... තේරුණාද?” ඩන්ස්ටන් සර් ඇහුවේ අපි හැමෝම දිහා බලලා.

එක හඬින් අපට ‘ඔව් සර්’ කියලා කියවෙයි වෙනින් වෙලාවක නං. කට්ටිය වැඩියෙන් ඉන්නකොට එහෙමයිනෙ. ඒත්, අද මෙතැන ඉන්නෙ අපි දහ-දොළොස් දෙනෙක් විතර. Audition එකකනෙ. කවුරුනුත් ඔළු හෙලෙව්වා ව්තරයි.

දන්නකම පෙන්නන්න ඉංගිරිස්වලින් අද එහෙම audition කිව්වට මොකෝ, ඒ කාලේ ඔහොම ඔඩිෂන් කියන එකක් අපි අහලවත් තිබුණෙ නෑ. ඒ තියා ඒකට නළු-නිළිවරණය වගේ සිංහල වචනයක් තියෙන බවක්වත් අපි දැනගෙන හිටියේ නෑ!
ඒකෙත් හැටි. නළු-නිළිවරණය, මැතිවරණය...

වචනය හදා ගනිද්දී වැරදීමක් වෙලාවත්ද?

වරණය කියන්නෙ අතෑරලා දැමිල්ලට නෙව. නැත්තං හළලා දැමිල්ලට...
හරි, හරි! දැනුයි තේරෙන්නෙ... මැති+වරණය = මැතිවරණයම තමයි.

මැති කියන්නේ ගරු කටයුතු උදවියටනේ. නම්බුකාර උදවියටනේ. ඒ උත්තම ගති තියෙන නම්බුකාර ඇත්තන් හළලා; මැතිවරු වරලා; රටේම ඉන්න හොරුන්ට- පාදඩයන්ට අපේ මනාපය පළ කරමින්, රට කරවන බලය දෙන්නට තෝරා ගන්න එක තමයි ‘මැතිවරණෙ!’. ඔය ටික තේරුම් නොගන්න එක නෙව අපේ වැරැද්ද.

නිමලෝ! උඹෙත් වැරැද්ද නිතරෝම පීලි පන්නවා ගන්න එක. වරෙන් ආපහු නළුවරණෙ කතන්දරේට...
හරි හරීඊඊඊඊඊ මේ අව්වා, මේ ආවා!

තබ්ලාව ගහලත් පෙන්නුවේය. ටක ටක බුම්- තකට බුබුම්!

ඔක්කොම කොල්ලො- කෙල්ලෝ දහ-දොළොස් දෙනෙක් විතරයි එතැන හිටියේ. එතැන කිව්වේ- මහරගම විද්‍යාකර විද්‍යාලයට; ඒකෙ වේදිකාවට.

එතකොට විද්යාකරේ මිශ්‍ර ඉස්කෝලයක්. පස්සේ කාලෙකනේ, ඒක බාලිකා පාසලක් කළේ.

මං මේ කියන සිද්දිය වෙච්චි කාල වකවනුව (මට මතක විදිහට) 1969 වෙන්නෝනි.

“දැන් තේරුම් ගත්ත නේද ඔය රාළහාමිගේ චරිත ස්වභාවය. හරි! කව්ද ඉස්සෙල්ලම එන්නෙ ඒ part එක කරල බලන්න. තමන්ට හොඳයි කියල හිතෙන විදිහට අංග චලන දාලා, action දාලා රඟපාල පෙන්නන්න පුළුවන්. හැබැයි මේ තාලේ... තබ්ලාවේ තාලේ අමතක කරන්න බෑ. ඒ තාලේ නිතරම ඔළුවේ තියෙන්න ඕනි... ඒ වගේමයි. ඒ තාලේ සැරෙන්-සැරේ වෙනස් වෙයි.” ඩන්ස්ටන් සර් කතාවෙන් විතරක් නැවතුණේ නැත.

තබ්ලාව ගහලත් පෙන්නුවේය. ටක ටක බුම්- තකට බුබුම්!
(ඔය පදේ කිව්වේ මොට්ට මට හිතුණු විදිහටය. මා දන්නා තබ්ලා පදයක් නැත. පද ගැන දන්නේ එකකි. සමහර දෙනාට තිබෙන; ඒත් මට නැති දෙයකි- පදේට උඩ යෑම.)

ඉතිං, එදා ඉස්සෙල්ලාම රාළහාමි චරිතය රඟපාලා පෙන්නුවේ කවුරුන්දැයි මට මතක නැත. ඩන්ස්ටන් සර් නළුවරණයට කැන්දාගත් පිරිමි ළමුන් හය දෙනා අතර මමත් වීමි. ඉතිං මමත් රඟපා පෙන්වීමි.

“හරි. බොහොම හොඳයි!
හැබැයි action විතරක් තිබිල මදි. ගායනෙත් තියෙන්න ඕනි. කවුරුත් එක්ක ටක් ගාලා මේ කවිය ලියා ගන්නවලා- ඇක්සයිස් පොතක අන්තිම පිටුවේ...” සර් කවිය කිව්වේය. අපි ලියා ගතිමු.

“දැන් මම තබ්ලාව ගගහ, මේ කවිය කියන තාලෙටම- ඔය ළමයි හැමෝමත් කවිය කියනවලා... හා... one, two, three, four... මුරදොල්ලේ හැඩකාරම මිනිහා මමයි කියාලයි සැවොම කියන්නේ. ආයිමත්... මුල් පේළිය විතරක්... මුල එක. මුරදොල්ලේ...”

පැය බාගයක්වත් යන්නට කලින් කොලු නළුවරණය; රාළහාමිගේ චරිතයට සුදුසු පිරිමි ළමයෙකු තෝරා ගැනීම හමාර විණි.

“බට්ටො, තමුසෙව මේ වැඩේට හරි යනවා. ආනන්ද මට කිව්වා තමුසෙ බණ්ඩාරවෙලදී මරු පහට කුවේණිට act කරපු බව නං. මිනිහා කිව්වත් එක්ක නිමල්ව පිරිමි චරිතයකට එච්චර හරි යන එකකුත් නැහැයි කියලා. දැන් බලද්දී තමුසෙට නිළියෙක් වෙන්න වගේම නළුවෙක් වෙන්නත් පුළුවනිනෙ.” ඩන්ස්ටන් සර් කීවේය.

දැන් අපි බලමුකො- නිළියො දෙන්නෙක්ව හොයා ගන්න...
“බලනවලා... සයන්ස්, ආර්ට්ස් පන්ති අටෙන්ම එකතු කර ගෙනත් මෙහෙම දේකට ඇවිත් ඉන්න ටික. මම මීට වැඩිය ගොඩකට එන්න කිව්වනෙ. පිට කොහෙවත් පෙන්නන්න යන එකක් නෙවෙයිනෙ. ඉස්කෝලේ කලා උළෙලට... අපේ ජාතිය ඉස්සරහට යන්නැත්තේ මේ යමකට ඉදිරිපත් වෙන්න තියෙන බය හින්ද තමයි.

-ඔය ළමයින් ටික දෙනාගේ හරි ඉදිරිපත් වීම ගැන මට හරි ආඩබම්බරයි. මේ පුතාල කනගාටු වෙන්න එපා, ඔයාලව තෝර ගත්තේ නැති එක ගැන. මම මුලින්ම කිව්වනෙ- වඩාත් සුදුස්සා තෝරා ගන්න බව... ඒත් ඔයාලගෙනුත් මට වැඩක් ගන්න තියෙනවා. තේරුණානෙ.
-දැන් අපි බලමුකො- නිළියො දෙන්නෙක්ව හොයා ගන්න...”

අපේ ඉස්කෝලේ කලා උළෙලට ඉදිරිපත් කරන්නට යන ‘ගීත නාට්‍යය’කටය, ඒ නළු-නිළියන් තේරීම තිබ්බේ.

“ඉස්සෙල්ලම කියන්න ඕනෑ, ඔය දුවලා හතර දෙනාගෙන් දෙන්නෙක්ව මේ නාට්‍යයට තෝරා ගන්න බැරි වුණෝතින් මම මේ වැඩේ අල්ලලා දානවා. ඇත්තමයි. මම හරියට කලකිරුණා, මෙච්චර ගෑනු ළමයි ගොඩක් ඉන්න ඉස්කෝලෙක සයන්ස්, ආර්ට්ස් පන්ති අටකින්ම ගෑනු ළමයි හතර දෙනාද ඉන්නේ නාට්‍යයක රඟපාන්න කැමති? ඔය ළමයි දන්නව නේද, මේ ඉස්කොලෙන්මනේ කාන්ති ලංකා filmsවලට ගියේ කියලත්... මේ බට්ටලගෙ පන්තියෙමයිනෙ හිටියේ.”

විද්‍යාකර විද්‍යාලයෙන් බිහි වුණු විජය නන්දසිරි ඒ වෙද්දී වේදිකා නාට්‍යවල පමණකි, රඟපාමින් හිටියේ. ඒ නිසාදෝ ඩන්ස්ටන් සර් විජය නන්දසිරි නළුවා ගැන එදා අපට මතක් නොකළේ.

“හරි! මේ දූලා හතර දෙනා මේ තත්ත්වේ තේරුම් අරං, මේ අභියෝගය ජය ගන්නවාමයි කියල හිතාගෙන වැඩ කරනවා නං... අපට පුළුවනි නාට්‍යය සාර්ථක කර ගන්න..” සර් කීවේය.

“මේ නාට්‍යයට තියෙන්නේ චරිත තුනයි. රාළහාමියි, මැංචියි, පිංචියි. රාළහාමිගේ කොටසට අපි බට්ටව තෝර ගත්තනේ.  බලමු මැංචිටයි, පිංචිටයි කවුද ගැලපෙන්නේ කියල...
කතාවේ විදිහට මේ දෙන්නා අක්කයි නංගියි. දෙන්නම ලස්සනයි. කටකාරයි, දඟයි. එක්කෙනෙක් සුදුයි; අනිත් කෙනා කළුයි...”

ඩන්ස්ටන් සර් එහෙම කියද්දී හැමෝම බැලුවේ නීලමණී දිහාවය. එතැන හිටි කෙල්ලන් හතර දෙනාගෙන් අවපැහැ එකියකට සිටියේ ඇයයි.

ඔයාට තියෙන්නේ සිත්කලු කළු පාටක්ය කියල මතකෙ තියා ගන්න.

“හා හා, කළුයි කියන්නේ කැතයි කියන එක නෙවෙයි. ඒකනෙ සිත්කලු කියන්නේ... ඔය ළමයාාාාාාා නීලමණී නේද නම. ඔයාට තියෙන්නේ සිත්කලු කළු පාටක්ය කියල මතකෙ තියා ගන්න.” එදා සර් කී කතාව කොච්චර ඇත්තක්ද? මට අනුව... අදටත් මට නීලමණීව මතකය. නමත් මතකය. පැහැපත් අනෙකියගේ නම පවා මට මතක්කොට ගැනීමට බැරිය. (ඒත් කතාව කියන්නට පහසු වීම සඳහා, මෙතැන් සිට අපි ඇයට වජිරා යැයි කියමු.)

වජිරාත්, නීලමණීත් දෙන්නා- මැංචි, පිංචි අක්ක නඟාලාගේ චරිතවලට තෝරා ගැනුණි.   

“ඔය තුන් දෙනා මහන්සිය නොබලා අදයි, හෙටයි දවස් දෙකේදී මේ නාට්‍යය පිටපත් කරගෙන* හොඳට පාඩම් කර ගන්න ඕනෑ. ලබන සඳුදා ඉඳලම අපි රිහර්සල් පටන් ගනිමු. දවස් හතර-පහක් හොඳටම ඇති, අපි මහන්සි වෙලා වැඩේ කරනවා නං...”
(*එතකොට Foto copy කියලා දෙයක් ලංකාවේ තිබ්බේ නැතුවා විය යුතුය.)

ඒ ගීත නාටකය කවුරුන් ලියා තිබුණු එකක්දැයි අප සෙව්වේ නැත. නමුත් හිනා උතුරණ විදිහට එය ලියා තිබිණි. අපි එය පිටපත් කර ගත්තෙමු.

මං වහන්සේ ටියුබ් ලයිට් එකක් බව නැවතත් තහවුරු වීම ගැන තරහෙන්- මටම ටොක්කක් ඇනගෙනය, මෙතැන් හිට ලියන්නේ. මෙතනට එනකලුත්, හිනා උතුරණ කියන ටික පරිගණකයෙන් අකුරු කරන තුරුත් කල්පනා නොවුණු දෙයක්... මේ දැන්ය, නසරානි මට කල්පනා වුණේ.
තවත් මේ වගේ තැන් කොච්චරක් නං ඒ නාට්‍යයේ තියෙන්නට ඇතිද?
මුරදොල්ලේ රාළහාමි = දොරමුල්ලේ රාළහාමි!

නාට්‍යයේ මුල සිට අග දක්වාම මුරදොල්ලේ රාළහාමිට වේදිකාවේ සිටින්නට සිද්ද වෙන විදිහටය, එය රචනාවී තිබුණේ. එහි කතාව කෙටියෙන් කියතොත් මෙහෙමය:

මුරදොල්ලේ රාළහාමි ස්ත්‍රී ලෝලියෙකි. ඔහු දිනක් මැංචි, පිංචි අක්ක නඟාලාගේ නිවසට යයි. ඒ එම ගැටිස්සියන්ගේ දෙමව්පියන් නැති අල්ල-පනල්ලේය. අක්කත් නංගිත් දෙන්නා ගෙදර දොරත් වසාගෙන ගේ අස්පස් කරමින්, වාදයකය. ඒ එකිනෙකා කම්මැලි යැයි අනෙකාට චෝදනා කර ගනිමිනි.
රාළහාමි දොරට කණ තබාගෙන වාදයට සවන් දෙයි.
කුම්මැහි- ලෝබ- නාකි මනමාල රාළහාමිගේ මායම්වලට රැවටෙනවා කියමින් වැඩුමලිය නඟණ්ඩියට චෝදනා කරයි. ‘මං නෙවෙයි, උඹයි එහෙම කරන්නේ, ඒ මිනිහගෙ සල්ලිවලට වාල් වෙලා!’ නංගි අක්කාට කියන්නීය.
ඒවා එකක්වත් තමාට නෑසුණු විලස, රාළහාමි දොරට ගසයි.

ඒවා කාලා මදිව සම+හරක් අපේ රටම කන්නේ!
ඒ අස්සේ කම්මැලි මැංචිත්, පිංචිත් දොර විවර කළ යුත්තේ අනෙකිය යැයි කියමින් දබර කරති.

අන්තිමේදී ගමේ වෙනත් එකියක වඩා හොඳ යැයි කියන රාළහාමි පිටත්ව යද්දී, අක්ක-නඟාලා දොර විවෘත කරති; එසේ කර ‘අනේ නවතින්නැයි’ පෙරැත්ත කරමින් ඔහු පිටුපසින් දිව යති.

දැන් නැණවත් ඔබේ හිතේ විචිකිච්ඡාවක් ඇති වී තිබෙනවාට කිසිම සැකයක් නැත.
මේ තේමාව පාසල් වේදිකාවක රඟ දැක්වීමට උචිත එකක්ද? සාමාන්‍ය පෙළ සිසු-සිසුවියන්ගේ රංගනයෙන් හැඩ ගැන්වුණත්, ඒ නාට්‍යය වේදිකා ගත වුණේ පාසල් දරු දැරියන් අබියසදීය.
එහෙත් එදා නම් කිසිවකුගෙන් ඒ ගීත නාටකයට හෝ එහි තේමාවට හෝ විරුද්ධත්වයක් පළ නොවිණි.

නොමඳ ප්‍රසාදයකුත් ලැබුණේය!      
ඒ ප්‍රසාදයේ විස්තර දැන්ම නෙවෙයි, තව ඉස්සරහදි කියවමුකො.

“උඹ ඉස්කෝලේදී මොන නාට්ටිය නැටුවත් පුතෝ, තුන වෙද්දී ගෙදර වරෙන්. දන්නවනෙ. හතර වෙනකොටවත් උඹ කළුබෝවිල ඉස්පිරිතාලේ ළඟට ගියේ නැත්තං අපිට වෙන්නේ බඩගිනි නාට්ටිය නටන්නයි.” අපේ තාත්තා මගේ ඉස්කෝලේ නාට්‍ය පුහුණුවීම් ගැන දැනගත් ගමන්ම මට කීවේය. ඉතිං, තාත්තාගේ කතාව අනිත් අයට රහසෙන්, ඩන්ස්ටන් සර්ට කියන්නටය මට සිද්ද වුණේ.

ජීවිත සටන ජය ගැනීම සඳහා මා පදික වේදිකාවේ නටන නාටක ගැන, ඒ වෙද්දී විද්‍යාකරයේ ආචාර්ය මණ්ඩලයම දැනගෙන සිටි බැවින්, එතුමාට ඒ බව කීම මට පහසු විණි.

“කමක් නෑ බට්ටො. අපි තුනට දහයක් තියලා රිහර්සල් නවත්තමු. ඉස්කෝලේ නාට්‍ය නැටුවයි කියලා තමුසෙලගෙ ගෙදර අයගෙ බඩ පිරෙන්නෑ නේන්නං. එහෙම කරලත් ඔයාට ගෙදර ගිහිං කළුබෝවිලට යන්න වෙලාව මදි නං මට කියන්නෝනි. හොඳද?” ඩන්ස්ටන් සර් කීවේ මගේ හිස අත ගාමිනි.

අනේ!
එදා මා ඉස්කෝලේ ඇක්සයිස් පොතක ලියාගත් ඒ ගීත නාටකයේ පෙළ, වේයන් රස වින්දේ නැතිනම් ඔබටත් එය කියවන්නට දිය හැකිව තිබිණි. පඩත්තල වේයෝ!
එක අතකට උන් පව්ය. උන් ඉපදී හිටින්නෙම එවැනි දේවල් ආහාරයට ගන්නටය. එනිසා උන්ට බනින එක වැරදි යැයි කියාත් හිතේ. උන් වගෙද? කන්නට දේවල් එමට තිබියදී; ඒවා කාලා මදිව සම+හරක්
අපේ රටම කන්නේ! 

අපි අමුම අමු මැට්ටන් විදිහට...  
සම+හරක් කියද්දීත් පාසල් ජීවිතයේදීම කෙරුණු අපේ හරක් වැඩක් මට මතක් වෙයි!

ඒකත් නාට්‍යයකට සම්බන්ධය. ඒ නාට්‍යය රඟ දැක්වුණේ ‘English Day’ එක නිමිතිකොට ගෙනයි.

නාට්‍යයේ ප්‍රධාන චරිතයට; රජ කුමරියට හිටියේ අපේ පන්තියේ හිටි සරෝජිනීය. කෙටි කොණ්ඩයක් තිබුණු, සුදුම සුදු සරෝජිනීට කිසිම රංගන හැකියාවක් තිබුණේ නැත. ඒත් ඇයට හොඳින් ඉංගිරිසි කතාව පුළුවනිය. ඉංග්‍රීසි බැරි පියසෝම රාජ කුමාරයාට ගැනුණේ, කොල්ලා හැන්ඩියා නිසාය. මීට කලින් ඔබ‍ට හමුවී ඇති රණවකත්, නයනානන්දත්, මමත් ඇමතිවරුන් ලෙස පෙනී හිටියෙමු.

අපේ ඉංග්‍රීසි ටීචර් ඉංග්‍රීසි ගැන විතරය, දැනගෙන හිටියේ; නාට්‍ය ගැන නොවේ.

“ඔයාලා හොඳට මතක තියා ගන්න ඕනි, එක අකුරක් හරි වැරැද්දුවොත් කියන දේ තේරුම ගොඩක් වෙනස් වෙන බව. A king කියන්නේ රජතුමෙක්. The king කියන්නේ රජතුමා. ඉතිං, A කියන්න ඕන තැනට the කියල හරි යනවද? නෑනෙ... ඒ නිසා, එක අකුරක්වත් නොවරද්දා ඔයාලට English දෙබස් කියන්න වෙයි. නැත්තං ඕඩියන්ස් එක අපිට හිනා වෙයි.” සෙල්ලහේවා ගුරුතුමිය දීර්ඝ දේශනාවක් කළේ නාට්‍යයේ මුල්ම දවසේය.

අපි හොඳ ගෝලයෝ වීමු.
තිතටම ඉන්ගිරිස් දෙබස් කටපාඩම් කර ගත්තෙමු. වේදිකාව මතදී ගිරවුන්ටත් වඩා මැනවින් ඒවා පුනරුච්ඡාරණය කළෙමු. කිසිම හැඟීමක් නැතිව; කිසිම අවබෝධයක් නැතිව- කියන්නේ මොනවාදැයි නොදැන- අමුම අමු මැට්ටන් විදිහට ඔහේ දෙබස් කීවෙමු. එපමණි!
රඟපෑමක් කොහෙත්ම නොකෙරිණි.

අපේ ප්‍රේක්ෂකයන් වුණේ අපටත් එහා ගොබ්බයන්ය. ඉංග්‍රීසිත් නොදන්නා, රඟපෑමුත් නොදන්නා අහිංසක ඔවුහු, අපේ ඔලමොට්ටල නාට්‍යය අවසන් වුණු වහාම අත්පොළසන් දී, ඔල්වරසන් දී ප්‍රමෝදය පළ කළහ! ඔවුන් එහෙම කළේ සවිඥානිකව නොවේ!! කරන්නං වාලේය...

අම්මට සිරි!
මං වහන්සේ කියා තියෙන්නේ අපේ ඉස්කෝලේ ඉංගිරිස් නාට්ටිය ගැනද, නැත්තං රටේ ජහමනතාව...

1915 ඇරඹුණු නුගේගොඩ සාන්ත ජෝන් විදුහල මුලින්ම තිබී ඇත්තේ පිරිමි හා ගැහැනු පාසල් දෙකක් ලෙසිනි.

ඒ ගැන කතාව එතෙකින් නවත්තා- ඩන්ස්ටන් සර්ගේ ගීත නාටකයට එනවා නං... එය සාර්ථකව වේදිකාගත කෙරුණි. කොච්චර සාර්ථකවද කියතොත් පිටස්තර ඉස්කෝලයක කලා උළෙලකදීත්, එය වේදිකාගත කරන්නැයි ආරාධනයකුත් ලැබුණේය. ඒ නුගේගොඩ St. John’s විද්‍යාලයයෙනි.

ඒ ආරාධනය ගැන දැනගත් විට, අපටත් වඩා උද්දාමයට පත් වුණේ ඩන්ස්ටන් සර්ය.
“මට හරිම ආඩම්බරයි ළමයිනේ. උඹල හත් දෙනා තිතටම උඹලගෙ වැඩේ කරලා. ඒකයි මෙහෙම ආරාධනාවක් කෙරිල තියෙන්නේ. ඒක හරි පරණ ඉස්කෝලයක්. සෙන්ට් ජෝන්ස් එකේ Sir කෙනෙක් හරි Teacher කෙනෙක් හරි අපේ කලා උළෙල බලන්න ඇවිත් හිටියා වෙන්නැති...
ළමයිනේ, මෙහෙදි කළාට වැඩිය හොඳට එහෙදි වැඩේ දීපල්ලා.” අප හත් දෙනා වට කරගෙන ඩන්ස්ටන් සර් කිව්වේය.

හත් දෙනා? ඔව්, හත් දෙනා.
රඟපෑවේ අප තිදෙනෙකු බව ඇත්තය. අනෙත් හතර දෙනා ගායන වෘන්දයේ සිටි සිසු-සිසුවියන්ය.

සාන්ත ජෝන් විදුහලේ කලා උළෙල දවසේ, එහි පාසල් කාමරයකදී ඩන්ස්ටන් සර්ම මාව මුරදොල්ලේ රාළහාමිට ඇන්දුවේය; වේශ නිරූපණය කළේය.
“දැන් නං මචං මෙලෝ යකෙකුට කියන්න බෑ උඹ නිමල්ය කියල.” ගායන වෘන්දයේ මිතුරෙක් මට කෙඳිරුවේ අවසානයේදීය.

ඇත්තය!
එතැන උන්නේ නිමල් දිසානායක නොවේ. මුරදොල්ලේ රාළහාමිය.
කොටු සරමක් ඇඳගෙන, අත්කොට සුදු මේස් බැනියමකින් සැරසී හිසේ සුම්බරයකුත් බැඳගෙන... සර් මට ඒ බැනියම ඇන්දෙව්වේ, පුංචි කොට්ටයකුත්- බඩට ගැට ගසා ‘හැල බඩකුත්’ හැඩට හැදුවාට පස්සෙයි. අනෙක් සේරම උහුලාගෙන හිටියත්, මට ඉවසාගෙන ඉන්නට අසීරු වුණේ උඩු රැවුලයි. ඒක තරමක් ඝන කෙඳි වගයකින්ය, සාදා තිබ්බේ. ඉතිං ඒ කෙඳි නහයේ ඇනෙනකොට මට කිතිය!

අපේ පාසලේම ගුරුතුමියක් වජිරාවත්, නීලමණීවත් අපූරුවට හැඩකොට තිබිණි. ඒ දෙන්නගේ ඇඳුම්, එයාලාමය ගෙනවිත් තිබ්බේ. චීත්ත- ඒවාටම ඔබින හැට්ට- ඇට මාල, වළලු...
මුරදොල්ලේ රාළහාමිට ඕනෑ කරන සේරම ඇඳුම්-කැඩුම් ගෙනාවේ, ඩන්ස්ටන් සර්මය.

මීළඟට අපේ කලා උලෙළ රසවත් කරන්නේ අපේ විශේෂ ආරාධනයෙන් මෙහි පැමිණි මහරගම විද්‍යාකර විද්‍යාලයයේ සහෝදර සහෝදරියන්...

“හරි, හරි.. අන්න එනවුන්ස් කරනවා- අපේ අයිටම් එක....”               

“ඔව් ප්‍රියාදර නරඹන්නනි... මීළඟට අපේ කලා උලෙළ රසවත් කරන්නේ අපේ විශේෂ ආරාධනයෙන් මෙහි පැමිණි මහරගම විද්‍යාකර විද්‍යාලයයේ සහෝදර සහෝදරියන්... ආදරණීය ඩන්ස්ටන් ගුරු මහත්මාගේ අධ්‍යක්ෂණයෙන්...” එතකොටත් අප වේදිකාව පාමුලය.

ඩන්ස්ටන් සර් වේදිකාවට නැංගේය. තබ්ලා කුට්ටම රැගෙන වේදිකාවට ගොඩ වුණු ගායක වෘන්දයේ හතර දෙනා තබ්ලාව සර්ට දී, පැත්තකින් පේළි ගැසුණහ.

තක තක බුම්- තකට බුබුම්... සර් තබ්ලාව වයයි!
ගායක වෘන්දය ගයයි.

‘සිරිනා පරසිදු සිරි ලංකාවේ - දකුණු පළාතේ අති සොබනා
මුරදොල්ලය නම් පතල ගමක් විය - ගම්වැසි පෝසතෙකුත් සිටිනා...’ (ම්හු! කොච්චර try කළත් ඒ මුල්ම කවියේ ඉතිරි ටික මතක් වෙන්නේ නැත.) කවි දෙකකි, මුලටම තිබුණේ. ඒවායින් කෙරුණේ රාළහාමිව හඳුන්වා දීමයි.

“... දෙවෙනි කවියේ අන්තිම පදය පටන් ගන්නකොට, අද තමුසෙ stage එකට නඟිනවා. ඊළඟට මම ගහන පදේට ස්ටේජ් එක වටේටම කොර ඇන ඇන යනවා..., උජාරුවෙන් රැවුල එහෙම කරකවලා- දන්නවනෙ බට්ටො, ඕඩියන්ස් එක හිනස්සවල කාරිය... තමුසෙගෙ කවිය කියන්න පටන් ගන්නවා.” එදා වේදිකාවට නඟින්නට ඉස්සරින් ඩන්ස්ටන් සර් මට අලුත් උපදෙස් ටිකක් දුන්නේය.

මමත් එහෙම කළෙමි!
සර් අලුතින් වෙනස්කමක් කළේ මන්දැයි මට වැටහුණේ වේදිකාවට පිවිසුණාමය.

විද්‍යාකර විද්‍යාලයයේදී අපේ නාට්‍යය රඟ දැක්වුණේ පාසල් ගොඩනැඟිල්ලක් ඇතුළේ තිබුණු වේදිකාවකය. (ප්‍රොසීනියම් වේදිකාව; පින්තූර රාමු වේදිකාව කියන්නේ එහෙම එකටය.) එවිට ප්‍රේක්ෂකයන් සිටින්නේ අපට ඉදිරිපසින් විතරකි. මෙතැන එහෙම නොවේ!

1969 වකවනුවේ මෙයාලා ඉපදිලාවත් නැත... (ප්‍රසන්න, දියණිය සෙනුගි, බිරිය උදේනි හා පුතණු චනුල්)

එතෙක්-මෙතෙක් මා සාන්ත ජෝන් විදුහලට ගිහිං තිබෙන්නේ එදා විතරය.

හැබැයි මට හොඳටම මතකය. ඒ වේදිකාව හතර පැත්තෙන්ම විවෘත එකකි. මගේ මතකය නිවැරදි නම්- ඒ වේදිකාව තිබුණේ ගොඩාරියක් ලොකු පිට්ටනියක් වැනි අවකාශයකය. පිට්ටනිය වටෙන්ම පාසල් ගොඩනැඟිලිය.

“චනුල්,  ඔයාලගෙ ඉස්කෝලෙට ඇතුළු වෙන තැනම තියෙනව නේද බිල්ඩින් එකක්. ඊට එහායින් තිබ්බ පිට්ටනිය තවමත් තියෙනවද?”
මගේ මතකය තහවුරු කර ගන්නටය, ඊයේ මා
චනුල් නේනුකට කතා කළේ. චනුල් අවුරුදු කිහිපයකට පෙරාතුවය, සාන්ත ජෝන් විදුහලෙන් සමුගෙන- එහි ආදි සිසුවෙකු බවට පත් වුණේ.

“නිමල් අංකල්, ඔයා දන්නවද- අද සමුද්‍රදේවිය කියන්නේ අපේ ඉස්කෝලෙම Girl’s School එකට. පස්සේ කාලෙක තමයිලු ඒක සමුද්‍රදේවිය වුණේ...” චනුල් ඉස්කෝලේ අතීත විස්තර ගොඩකුත් මට කිව්වේය.

මම තවත් ටොක්කක් ඇන ගන්නෙමි!
මා, සාන්ත ජෝන් විදුහලේ අතීතය ගැන විමසන්නට තෝරා ගත්තේ චනුල්වය. 1969 වකවනුවේ චනුල්ගේ තාත්තා ප්‍රසන්න චාමින්ද (නදී)වත් ඉපදිලා සිට නැත!!
අනෙක් අතින් චනුල් නේනුකත් මට දෙවෙනි නැත. ඉස්කෝලේ අතීතය ගැන- ඥාති සොයුරු
ෂෙහාන් සචිත්ගෙනුත් විමසා බලලාය. (චනුල්, ෂෙහාන් දෙන්නටම ස්තුතියි, අර පෝස්ටරයක foto එකකුත් එව්වාට!)

එදා සාන්ත ජෝන් පාසල් වේදිකාවට ප්‍රවිෂ්ට වෙද්දී, මගේ හිතේ සතුට උතුරා පිටාර ගලමින් තිබිණි.

හොඳටම චූන් වෙලා හිටියාය කිව්වාම වඩාත් ගැලපෙයි.
පේව්මන්ට් එකේ කථිකයන් ගොඩක්ම සතුටු වෙන්නේ වැඩියෙන් සෙනඟ පිරුණු විටය. ජන්මයට වඩා ලොකු ඒ පුරුද්ද නිසාදෝ, දේශනයක් පවත්වද්දී හෝ නාට්‍යයක රංගනයක් ඉදිරිපත් කරද්දී හෝ මං වහන්සේ වඩාත් ෆෝම් වෙන්නේ- ප්‍රේක්ෂාගාරය පිරී තිබෙන විටය.

එක කකුලක් සොත්ති කරමින්; කොර ගසමින්; නොණ්ඩි අනිමින් මම තබ්ලා පදයට වේදිකාව වටේ ගියෙමි. තක්ක තකට තක බුම්බුම්- බුම් බුම් බුම්! තරිකිට තක තකට බුබුම්...
නරඹන්නෝ සිනාසෙමින් අත්පොළසන් දෙති. සද්ද බද්ද සංසිඳෙන තුරු දෙබස් කිව යුතු නැත! ශබ්දය තුනී වෙනතුරු හිටලාය, මගෙ කවිය පටන් ගත්තේ.

ලොකු පිරිමි ළමුන් රොත්තක්ම මොහොතකට නයි වෙලා. සූෟෟෟෟෟෟෟ!

“මුරදොල්ලේ හැඩකාරම මිනිහා මමය කියාලයි සැවොම කියන්නේ
චූටි කොණ්ඩෙකුත් ඇත්තේ - නොණ්ඩි කකුලකුත් ඇත්තේ...” (මට නියමිතව තිබුණු දෙබස්වලින් ඔච්චරමය- තවමත් මට මතක!)

සභාවෙන් ලැබෙන උණුසුම් ප්‍රතිචාර තවත් වැඩිය. මගෙ වරුණේ ගැයුවට පස්සේ, මැංචියි, පිංචියි stage එකට... (තක තක බුම්- තරිකිට බුම්- තක්කිට බුම්- තරිකිට බුම්!)
තබ්ලා පදයට අනුව ඒ ගැටිස්සියන්ගේ ගැස්සිල්ල දැක, ලොකු පිරිමි ළමුන් රොත්තක්ම මොහොතකට නයි වෙලාය. සූෟෟෟෟෟෟෟ!

නාට්‍යය ඉදිරියටම ඇදෙයි.
දැන් මැංචියි, පිංචියි දෙන්නා රණ්ඩු කරති. ඒ වාදය ඇවිළෙද්දී මුරදොල්ලේ රාළහාමි ඊට මැදිහත් නොවී හිටියි.
“බට්ටෝ, එතකොට තමුසෙ නිකම්ම ගල් පිළිමයක් වගේ ඉන්නේ නැතිව එහා-මෙහා යනවා. රැවුල කරකවනවා... බංඩි ගෙඩිය අතගානවා... තේරෙනවනේ...” කියලාය, ඩන්ස්ටන් සර් මට උගන්වලා තිබ්බේ.

මුරදොල්ලේ රාළහාමිට ආවේශවී හිටි නිමල් දිසානායක, පුහුණුවී හිටි ඒ අභිනයන් සියල්ලම පාන්නට පටන් ගත්තේය. එහා මෙහා යෑම- රැවුල කරකැවීම...

රැවුල් ගස් නාසයේ පැටලී නළුවාට කිවිසුමක් ගියේ එතකොටය; රැවුල කරකවමින් හිටිද්දීය.
හත්තිලව්වයි!
රැවුල ගැලවිලා!!
ඒ විත්තියක් නොදන්නා අක්ක-නඟාලා දිගටම දබර කරති!!!     

“නෑ නෑ නෑ. මමම තමයි දොර අරින්නෙ.” අක්කා කියයි.
“එහෙම කළොත් මං කියනව - අප්පච්චිල ආව ගමන් මම කියනව.” නංගීත් කෝන්තර කියයි.
“උඹ කියපං - කියල කරයි!” අක්කා ප්‍රතිඋත්තර දෙයි.

අන්න එතකොටය, මුරදොල්ලේ රාළහාමිට අවසන් වතාවටත් දොරට තට්ටු කරන්නට තිබ්බේ.
මොන තට්ටු කෙරිල්ලක්ද? උන්නැහෙ තක්කු-මුක්කු වෙවී ගැලවුණු රැවුල මට්ටු කරන්නට වලි කමින් සිටියි. මගේ පරක්කුව ගැන මැංචියි, පිංචියි දෙන්නා හොඳටෝම බිරන්තට්ටු වෙලාය. රාළහාමි දොරට තට්ටු කළාට පස්සෙනේ, ඊළඟ action එක දාන්න තියෙන්නේ.

නාට්‍යය දිගටම රඟ දක්වා අවසන් කරන්නට; තඩි හූවක් නොකා බේරෙන්නට අපට ඉඩ ලැබුණේය.

ඒ අලකලංචිය මැද්දේ කලබල නොවුණේ ඩන්ස්ටන් සර් විතරක් වගෙය. එතුමා දිගටම තබ්ලාව වැයුවේය. ටක ටක බුම්- තකට බුබුම්... තක තක බුම්- තකට බුබුම්... තක්ක තකට තක බුම්බුම්- බුම් බුම් බුම්! තරිකිට තක තකට බුබුම්...
පද වෙනස් කරමිනුත්...
ඒ වයන අස්සේ, අඩු සද්දෙන් මටත් උපදෙස්, තාලෙටම....
“දොරට තට්ටු- තට්ටු බට්ටො... දොර... දොර.. දොර... දොරට තට්ටු!”

සර් හිතලා තියෙන්නෙත් මට අමතක වෙලා කියලාය!

වාසනාවට වගේ එතකොටමය, ගැලවුණු රැවුල ආයෙත් යන්තමට හයි කරගන්නට මට ඇහැක් වුණේ. මං දොරට තට්ටු කළේ ඊට පස්සෙය.
හොඳටම බය වෙලා හිටි මැංචියි, පිංචියි ඊළඟ දෙබස කිව්වේ එතකොටය.
“අපි දෙන්නම එකට අරිමු - ඔව් ඔව් ඔව්, එහෙම කරමු!”

එහෙම කළායින් නාට්‍යය දිගටම රඟ දක්වා අවසන් කරන්නට; තඩි හූවක් නොකා බේරෙන්නට අපට ඉඩ ලැබුණේය; එච්චරකුත් නොවේ.
මුරදොල්ලේ රාළහාමිට ‘ඉතා ආඩම්බරෙන්’
මේ ඉතිහාස කතාව ‘නිදිගෙ පංච තන්තරේ’ කියවන ආදරණීය රසිකයන්ට කියන්නටත් ඉඩ සැලසුණේය෴0෴

18 comments:

  1. තව පොඩ්ඩෙං රැවුලක් හින්ද ලොකු අවුලක් වෙන්න තිබ්බ. හැක්..

    ReplyDelete
  2. Replies
    1. Pra Jay මහත්තයලට 'හෙහ්' හිනා! එදා සංගදිය මතක්
      වෙද්දීත් විළි ලැජ්ජයි!

      Delete
  3. වරණය කියන වචනෙන් තේරීම, තෝරා වෙන් කිරීම වගේ අදහසකුත් තියෙනවා නේ නිදිතුමෝ. වරණය වචනෙ විද්‍යාවෙත් පාවිච්චි කරනවා නේ. ඔතන හැටියටනම් මේ අදහස වෙන්න ඇති ඇත්තේ.

    ReplyDelete
    Replies
    1. කතාව කියවන් යද්දීම හිතුන මොකක්හරි දැන්වෙයි දැන්වෙයි කියලා. ඔයින් ගියා මදෑ...
      නිදි ලොක්කත් කරන වැඩ 😂

      Delete
    2. කරන වැඩ කිව්වම හරි යනවද නමිනං උන්නැහේ? ඕවා සිද්ද වෙන වැඩ නෙව.

      Delete
  4. මුරදොල්ලේ කියන කොටම ඕක පද පෙරලියක් කියල හිතුණා , ඉස්සර සීනි භාෂාව මතක් උනා , හැම වචනයක් ඉදිරියෙන් සීනි කියල දාලා පද පෙරළා කියන්නේ...

    ReplyDelete
    Replies
    1. ඇත්තමයි ලලිත්, වෙලාවකට මං කොච්චර ටියුබ් ලයිට්ද කියලා හිතෙන වැඩත් වෙනවා. මේ පෝස්ටුවේ මඟක් හරිය කොටද්දී තමයි මට දොර මුල්ල මීටර් වුණේ!

      ඉස්කෝලේ OL පන්තියේ හිටිද්දීත් ඔය වගේම වැඩක් වුණා. "අපි trip එකක් යනවා. උඹත් එනවද?" සගයෙක් මගෙන් ඇහුවා.
      "කොහෙද යන්නෙ..."
      "දිය ඇල්ලක් බලන්න. වැඩි දුරකත් නෙවෙයි බං. ළඟමයි තියෙන්නේ. යමුද?"
      "මොකක්ද නම?"
      "වට ඇල්ල!"
      අනේ, ඒක නොතේරුණු මං හාරහාර ප්‍රශ්න ඇහුවා. දවස් තුන හතරක්ම කොල්ලො රෑනම ඉන්ටර්වල් එකට මාව වට කරගෙන වට ඇල්ල මෙහෙමයි-අරහෙමයි කියලවත් මොට්ට මට තේරුණේ නෑනෙ. එකෙකුටම ඇති වෙලා තමයි, මට කිව්වේ 'හරවලා බලපන්' කියල.

      Delete
    2. වැව් පහ මතකද

      Delete
    3. ඒක කොහොමද අමතක වෙන්නේ උදාර.
      යාළුවෙකුටත් ඒක යැව්වා. මිනිහට එක විඩෙන්ම වැඩේ අහු වෙලා. 'වනචර කතා!' මිනිහා උත්තර එව්වේ එහෙම කියල දොස් පවරමින්.

      Delete
    4. ඔය කියන ඇල්ල තියෙන්නෙ බේකර්ස් ඇල්ල ගාවින් හැරිල යන්න තියෙන අඩිපාරක මීටර් පන්සීයක් විතර ගියාම. අපි ඔය ඇල්ලෙ පොටෝත් ගැහුවා...

      Delete
    5. කළු සුදු fotos ද ඩ්‍රැකී?

      Delete
  5. නිදී මුරදොල්ල මොනවා වුණත් පේන විදියට නම් ලංකාවේ සංස්කෘතිය අනුව ආගම ආර්ථිකය හා දේශපාලනය කියලා කියන්නේ එකිනෙකට වෙනස් ඉතාමත් සංකීර්ණ වෙනස් විෂයයන් වුණත් ලංකාවේ සංදර්භය (context) තුළ මේ සේරම ඉතාමත් බරපතල විදිහට එකිනෙක හා සම්බන්ධ වී තියෙනවා, බොහෝ දුරට ඉන්දියාවේ උනත් එහෙමයි.

    නමුත් ලංකාවේ දේශපාලනික කරළිය තුළ 2023 වසර ගැන සාකච්ඡා කරද්දී මූලික වශයෙන් පේන්නේ මේ 2023 අවුරුද්ද දේශපාලන වශයෙන් ඉතාමත් සංකීර්ණ තත්ත්වයක් ඇති වියහැකි බව, ලංකාවේ පාලන බලය හිමි ආණ්ඩුවේ කණ්ඩායම් හැර අන් හැමෝම මැතිවරණ ඉල්ලතත් මැතිවරණය පැවැත්වූවොත් තත්වය මෙසේ වනු ඇති බවයි පේන්නේ;

    ආණ්ඩු බලය හිමි රජය මෙහෙයවන පොදුජන පෙරමුණ සහ එජාප සංදානය දිනුවොත් වැඩි සංදර්ශන නැතිව රට මේ ලෙසම කෙටි කාලීන වශයෙන් ඇමරිකානු ඉන්දීය ආධිපත්‍යය තහවුරු වෙමින් ලංකාව තුල පතෝල වැටකොළු ආකාරයට පවතිනු ඇත. නමුත් අධික බදු බර නිසා සහ උද්ධමනය වෙනත් ප්‍රශ්න දුබල කළමනාකරණය ආදී කාරණා නිසා ජනතාව කුපිත වී ආණ්ඩුවේ ජනප්‍රියතාවය ඉක්මනට ඉවර වනු ඇත.

    ආණ්ඩුව පැරදුනොත් රාජපක්ෂ කල්ලියේ පිරිස් එජාපය හැර දමා වෙන්වී ගොස් ටික කලක් නිහඬව සිට නැවතත් කෙමෙන් කෙමෙන් විපක්ෂයේ සිට හිස ඔසවා ලංකාවේ නැවතත් අරගලයක් ආරම්භ කිරීමට කටයුතු කරනු ඇත.

    සජබෙ දිනුවොත් මහජනතාව සජිත් ප්‍රේමදාස රට ගොඩ ගනී යන විශ්වාසයෙන් මාස කීපයක් බලා සිට එය එසේ නොවී මහා වියවුලක් වූ සඳ සජිත්ට අමු තිත්ත කුණුහරුප කියමින් පලු යන්න බැන වදිමින්, සජිත්ව දේශපාලණ අනාතයෙකු ලෙස නන්දසේනට අන්ත අසරණ විදියකට පන්නා දැමීමට බොහෝ දුරට ඉඩ ඇත.

    ඔහු පැරදුනොත්, මෙතරම් විපක්ශයට වාසි වන කලෙක මැතිවරණයක් දිනාගැනීමට හැකියාවක් නැතැයි චෝදනා කර එම පක්ෂයේ උන්නතිකාමී වෙනත් කණ්ඩායම් ඔහුව පක්ෂයේ නායකත්වයෙන් පන්නා දමනු ඇත!

    ජාජබ දිනුවොත් මහජනතාව අනුර කුමාර දිසානායක රට ගොඩදාන අන්දම කෙටි කලක් බලා සිට එය එසේ නොවූ කල ඔහුවද එලෙසම දේශපාලන අනාත මඩමට යවනු ඇත.

    පැරදුනොත්, මෙතරම් විපක්ශයට වාසි වන කලෙක මැතිවරණයක් දිනාගැනීමට හැකියාවක් නැතැයි චෝදනා කර බොහෝ දුරට අනුර වත් නායකත්වයෙන් පන්නා දමනු ඇත!

    මේ නිසා ලංකාවේ දේශපාලනය දෙස පිටින් දකින පරිදි මට නම් පැහැදිලි වශයෙන් කිව හැක්කේ මේ වසරේ ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ශ නායකයන් සියලු දෙනා "මග හිටියොත් තෝ නසී, ගෙදර ගියත් තෝ නසී" ක්‍රමයට කෙලවාගන්නා බව තමයි.

    අලුත් අංකුර දේශපාලන පක්ෂ වලට යම් තරමකින් හෝ අවශ්‍ය සරුපස ඉන් පසුව නිර්මාණය වනු ඇත. එම අලුත් කණ්ඩායම් වලට සුදුසු සමාජ ආර්ථික දේශපාලනික ප්‍රතිපත්ති කුමන ආකාරයක විය යුතු ද සහ ලංකාවේ ආර්ථිකය ගොඩ දාගන්න සුදුසු කුමන වැඩ පිළිවෙළක් ද යන්න පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද ඔබට?

    ReplyDelete
  6. මම නම් බලාගෙන ඉන්නේ ශ්‍රී ලංකාවාසීන් මේ වතාවේ හරි තට්ටු මාරු ක්‍රමයෙන් වෙන ක්‍රමයකට මාරු වෙන තුරුයි. එය කෙසේ වේදැයි කියන්නත් කල් වැඩියි. එහෙම වෙනසක් වුණොත් ප්‍රතිපලය යහපත් වෙතැයි සුබවාදීව හිතනවා!
    ඒ 2023 වසරේදී.
    එයින් එහා කාලය ගැන අනාවැකි කියන්න තරම් දැනීමක් මට නැහැනේ මහත්තයෝ.

    ReplyDelete
  7. Replies
    1. කියවලා නිකංම මාරු නොවී comment කළාට ස්තුතියි නවීන්.

      Delete
    2. මං ඉතින් හැමදාම කොමෙන්ට් කොරනවා නොවැ🤗

      Delete