අකුරු මැකී නෑ

Sunday, January 29, 2023

ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස

ඉස්සෙල්ලාම කිරිකැටියා ගස්සලා යවපු එයාලගේ කසාදෙ එක සාක්කිකාරයෙක් වුණෙත් මං.......

ඒ සිද්ධියට අදාළ කිරිකැටියාත් නොදුටු මව්පියන්ට සාප කරමින් එලොව යන්න ඇති.’

හැබැයි, ඒ තරුණ ජෝඩුව කසාද බැඳලා දැන් සිඟිති දරුවෙකු හුරතල් කරනවා. හරිම ආදරෙයි දරුවට. මැණිකක් වගෙයි දරු සිඟිත්තාව රකින්නේ. මං එයාලට සමීප නම් අහගන්න තිබ්බා නූපන් දරුවා ගැන එයාලා දැන් මොනවද හිතන්නේ කියලා.’ මගෙ අතින් එහෙම ලියැවුණේ 2018.
2022 වෙද්දී ඒ දෙන්නා ඉතාමත් ඉසුරුමත්. දරුවන් දෙන්නෙකුගෙ මව්පියන්.

එහෙම වෙන්නේ ආදරයහරිහැටි වටහා නොගැනීම නිසාවත්දකියලයි...

හැබැයි, මාස කීපෙකට කලින් දෙන්න දික්කසාද වුණා!

‘එහෙම වෙන්නේ ‘ආදරය’ හරිහැටි වටහා නොගැනීම නිසාවත්ද’ කියලයි ලොකු අම්මා කල්පනා කළේ. නිදි තවමත් කල්පනා කරමින් ඉන්නේ...

හිතාදර ඔයාලට ඇත්තම කියනවා නං, මේ posts පෙළ මෙච්චර දිගට ලියන්න කිසිම බලාපොරොත්තුවක් මට තිබ්බෙ නෑ. ඒත්... ඒත් ලියන්න පටන් ගත්ත දවසේ හිට අහන්න; දකින්න; දැනගන්න ලැබුණු දේවල් හිත කීරි ගස්සන එව්වා- හිත සසල කරවන එව්වා.
දැන් අපේ මනුස්ස ජීවිතවලට කිසිම වටිනාකමක් නැතිව ගිහින්ද?
පහුගිය ටික දොහේ අහන්න ලැබුණෙම ඒ විත්තියට සාක්කි.

දවස් පනහක් ඇතුළත හෝමාගම ප්‍රදේශයේ 11 දෙනෙක් සිය දිවි හානි කරගෙන!

අවුරුදු 29ක මෘදුකාංග ඉංජිනේරුවරයෙකු ‘වැඩ අධිකයි, විවේකයක් නෑ’ කියල දිවි හානි කරගෙන!!

පෙම් සබඳතාව නවත්තපු සිසුවියක් උසස්පෙළ විභාගයට ලියන්න, එයාගේ තාත්තත් එක්ක යද්දී පෙම්වතා ඇයට ඇසිඩ් පොවන්න ඇවිත්!!!

තංගල්ලේ තරුණ යුවලක්, එයාලගේ විවාහයට උප්පැන්න සහතිකයක් හරස් වෙන හින්දා මැරෙන්න තීරණය කරලා.

අපේ ආච්චි ඉඩකඩ තියෙන වෙලාවට, අපට ඇහෙන්න ලෝ වැඩ සඟරාවේ කවි සේරම කිව්වේ කටපාඩමින්. (ඒවා කියන එක විතරක් නෙවෙයි එයාලගෙ පරම්පරාවේ උදවිය කළේ. හැකි හැම වෙලාවකම ඒවායින් කියවෙන දේ ජීවිතවලට එකතු කරගත්තු එක.) ඒ වගේමයි, දැන් තේරෙනවා- එහෙම දේවල් අපට නිතර- නිතර ඇහෙන්න සැලැස්වීමෙන් අපේ ආච්චී කරපු දේ. (ඔයා නිවන් දකින්න ඕනි ආච්චියෙ!)
කොයි තරං දැනුමිතිකම් තොගයක් ඔයා මට උගන්නලා තියෙනවද- මටත් නොදැනිම.

  කලකිනි බුදු කෙනෙකුන් උපදින්නේ
  දුකකිනි මිනිසත් බව ලැබ    ගන්නේ
  මෙදෙකිනි මෙසසර දුක් දුර  ලන්නේ
  සුදනෙනි කිම වීරිය    නොකරන්නේ- කියන කවියත් අපේ ආච්චිගේ මුව’ගේ තිබුණු එකක්! ඒ වගේ රත්තරන් කවි නිතර නිතර කාට-කාටත් ඇහෙන්න සැලස්සුවොත්...

අර දිවි හානි කර ගැනීමේ ප්‍රශ්නය සහෝදර blog රචකයන් කිහිප දෙනෙකුවත් අවදි කරවලා. විශේෂයෙන්ම කට්ටකාඩුවේ ලොකු මල්ලී. ලොකු මල්ලී ලියපු post එකේ නමෙන්ම තේරෙනවා අමුත්තක්. ‘ආලයෙන් පාරාජිකා වීම හෙවත් මට නැත්තං තොටත් නෑ’. එහෙම ලියමින්, එයා මේ ප්‍රශ්නය දිහා වෙනස්ම පැති කිහිපයකින් බලන හැටි ඔයාලටත් කියවන්න  ඇහැකියි; රතු පාටින් තියෙන 'මට නැත්තං තොටත් නෑ' අකුරු උඩ ක්ලික් කරලා එහාටම ගිහිං.  

විශ්වාසවන්ත සමීපතමයෙකුගෙන් ලැබෙන සැනසිලිදායක ටිකකින් නැත්තං hug එකක් වගේ දෙයකින් ගෙනෙන සහනය වචන... 

ප්‍රශ්නයක් දිහා බුද්ධිමත්ව බලන්න; ඒක නිවැරදිව තේරුම් ගන්න; නැණවත්ව ප්‍රශ්නයට මුහුණ දෙන්න ඕනියි කියලා කියන්න ලේසියි. නමුත් ප්‍රශ්නයක් පැන නැඟුණ වෙලාවක අපේ අර දැනීම් සම්භාරයෙන්ම වැඩක් නැති වෙන්නත් ඉඩ තියෙනවා. එහෙම වෙලාවට අපේ විශ්වාසවන්ත සමීපතමයෙකුගෙන් ලැබෙන සැනසිලිදායක වචන ටිකකින් නැත්තං hug එකක් වගේ පොඩි දෙයකින් ගෙනෙන සහනය- කෙනෙකුගේ ‘ජීවිතයක් බේරා ගන්න අත්වැලක්’ වීමට තියෙන ඉඩ ඉතා වැඩියි.

අද කාලේ නං ප්‍රශ්න තියෙන අයට එහෙම උපදෙස් දෙන්න; අවවාද දෙන්න ස්ව කැමැත්තෙන්ම ඉදිරිපත් වෙන අය ගොඩයි. ගැටලුව වෙන්නේ ඒවායින් නිවැරදි; බුද්ධිමත් උපදෙස් තෝරා ගැනිල්ල!

ඔයාලට කියන්න යන මේ ප්‍රවෘත්තිය මගෙ ඇහැ ගැටුණේ ජනවාරි 28 වෙනිදා උදේ. සුරංග රාජනායක තමයි සිද්ධිය වාර්තා කරලා තිබුණේ. සිද්දිය කෙටියෙන් මෙහෙමයි:
මේ ජෝඩුව අවුරුදු හතක් love කරලා පසුගියදා ජයටම මඟුල් කාල කසාද බැඳලා. දවස් හතරක මධු සමයකටත් ගිහිං.
එයාගේ පස්වෙනි දවසේ මනාලයාගේ ගෙදරට ආපසු ඇවිත්. ඊට පස්සේ මනාලයා එයාගේ මිතුරෙකුත් එක්ක බැහැරට ගිහිං, බීර බීලා තමයි ගෙදර ඇවිත් තියෙන්නේ- චුට්ටක් පරක්කු වෙලා.

ඊට පස්සේ වෙච්චි සංගදිය ගැන වාර්තාවේ තියෙන්නේ මෙහෙමයි:
‘මින් දැඩි ලෙස කෝපයට පත් මනාලිය මනාලයාට බැණ වැදී පහර දීමට පටන් ගෙන ඇති අතර
, ලේ පෙරෙන තුරු කන ද සපා කා ඔහුගේ ශරීරයද නියපොතු වලින් සූරා තිබේ. මෙම කලබලය නැවතීමට මැදිහත් වූ මනාලයාගේ මවට හා පියාට ද බැණ වැදී ඇති මනාලිය මව තල්ලු කර දමා මනාලයාගේ නැඟණියට ද පහර දී සිය නිවසට දුරකතන ඇමතුමක් දෙමින් තමා රැගෙන යන ලෙස දන්වා ඇතැයි වාර්තා වේ.

ඒ අනුව මනාලියගේ පාර්ශවයේ විශාල පිරිසක් ත්‍රිරෝද රථවලින් මනාලයාගේ නිවසට පැමිණ ඇති අතර, සිද්ධිය පොලිස් හදිසි ඇමතුම් අංශයට ද දැනුම් දී තිබේ. මනාලයා හෝ පාර්ශ්වයේ කිසිවකු මනාලියට පහරදීමක් සිදුකර නොමැති අතර නව යුවළ යළි එක්කිරීමේ අරමුණින් පොලිස් නිලධාරීන් දෙදෙනා දෙපාර්ශවයටම පසුදා ගම්පොල පොලිසියට පැමිණෙන ලෙස දැනුම් දී තිබේ...’

මේ හරක් පැටියා අවුරුදු 7 ක් ලව් කරලා ගෙදර ගෙනත් තියෙන්නෙ... කෙලින්ම කාලි අම්මා මෝඩ් ඔන් වෙලා...

මං වහන්සේ ඒ විස්තරේ කියවනකොට 15 දෙනෙකු ඒකට comment කරලා තිබුණා. එක එක උපදෙස් දෙමින්. මට හිතෙනවා ඔයාලා ඒ කමෙන්ටු ටිකත් කියවන්න කැමති වෙයි කියලා.      

*බැඳල ඉවරනෙ කියල ඔහේ කරබාගෙන ජීවත් වෙනවට වඩා හොඳයි, කොල්ලො දැන්ම අයින් කරල දාල හිත හදාගනින්. දැන්ම ඔහොම නම්, ඉදිරිය පැහැදිලියි.

*මරු බඩුවක් මේ හරක් පැටියා අවුරුදු 7 ක් ලව් කරලා ගෙදර ගෙනත් තියෙන්නෙ... කෙලින්ම කාලි අම්මා මෝඩ් ඔන් වෙලා

*ඔන්න කොල්ලෝ අවුරුදු දෙකකින් විතර පස්සේ හොයා ගන්න තිබ්බ සැඟවුන යකා පලවෙනි දවසෙම එලියට පැන්නා. දැන්වත් ගැලවෙයන් ඉතුරු කන බේර ගන්න ඕනේ නම්. උඹත් වැරදි, හැබැයි කනෙන් කෑල්ලක් පුජා කරන්න තරම් දෙයක් නම් නෙමෙයි මේක. අනික උඹලා අවුරුදු හතක් කනා මුට්ටිද බින්දේ බන්?

*Save your life brother, this women has dual personality. She has been acting nicely to you and your family for last few years (I assume) until you sign on marriage certificate. After that... she will not care anymore. Beast in her is cut loose.
Quit now... or suffer whole life. You and your family members too.
I know as I'm going through the same process. It's too late for me.

*Agreed.... same here.

*මයික් ටයිසන්ගේ නංගි,,

*ගැලවෙන්න හොඳම වේලාව. ගෑණියෙක් කියලා ගෙනත් තියෙන්නේ යක්ෂණියක්. ඕක මිනිමැරුමකින් කෙලවර වෙන්න කලින් අයින් වෙයන්🤦🏻

*තක්කෙටම කියන්නම් මෙතන බියර් බීපු එකේ නෙමෙයි ප්‍රශ්ණෙ තියෙන්නෙ. හනිමූන් එකේ ප්‍රශ්ණයක්, බියර් බීපු එක පිටින් ඇරල තියෙන්නෙ පැහැදිලිවම. හැබැයි නෑ කිව්වට මනමාලයත් මනමාලිගෙ කිහිල්ලට එකක් ගහනව. ඔය අගේට පේන්නෙ.

*මනාලිය නැන්දම්මා මාමණ්ඩියට නැගණියට යම් වරදක් කර ඇත්නම් එහි විපාක ඇය විසින් දරාගත යුතුය. එය බරපතල වරදකි. පැහැදිලිව ම දුරදිග නොයන විවාහයක් බව පෙනේ. මේ එළහරක්ට මෙවැනි දවස්වලවත් බේබදු කමෙන් ඈත්වෙලා ඉන්න බැරිද?

වෙන එකෙක් නම් මනාලියට දත් ටික ගලවල ගැන ගැන ඉන්න අතටම දෙයි...

*ගෘහස්ථ හිංසනයට නඩු පැවරිය යුතුයි

*අප්පේ මෝඩ ගහක් බැඳලා තියෙන්නේ. ඕකිට කන පැලෙන්න දෙකක් දීලා දැම්මම කීකරුවට හදාගන්න. නැත්නම් පයින් ගහල පන්නන්ඩ

*bandapu alutha ohoma thamai, dishti didin ekak one wela inna aththe, kolla parakku unama mala paninna athi

*Hats off to the bride 👍 අපි මෝඩයො වගෙ ඉවසුව නිසා ලමයිත් හදන් තාමත් දුක් විඳිනවා!! ඔය මනමාලයා ඕක නිසා හැදෙයි එක්කො අතාරියි, ජීවිතාන්තය දක්වා විඳවන්නෙ නෑ......

*පල මෝඩ ගෑණියේ යන්න. මනාලයා ඉවසන එකෙක් නිසා බේරුනා. වෙන එකෙක් නම් මනාලියට දත් ටික ගලවල ගැන ගැන ඉන්න අතටම දෙයි

*සුරාවේ ආදීනව දත් මනාලිය යස පාඩමක් උගන්වා ඇත. නියපොත්තෙන් කඩා ගන්න පුලුවන්ද කියලා බලන්න ඇති. නමුත් නැන්දභ...

ඔය comments ටිකෙන්ම පෙනෙනවනෙ එකේක්කෙනා ප්‍රශ්න දිහා බලන්නෙ නේකාකාර විදිහටය කියල. විවිධාකාර විදිහටයි කියල.
දඟකාර පුංචි දෝණියන්දෑට ලියන ලොකු අම්මට, ඒ දවස්වල දූල-පුතාල ලියල එවපු සමහර ප්‍රශ්නත් විවිධාකාරයි. ඒ සමහර ප්‍රශ්නවලට උත්තර ලියන්න ගියාම- ලොකු අම්මට කටඋත්තර නැති වුණා. නිකමට හිතන්නකෝ, රස්සාවක් නැතිව අන්ත අසරණ වෙලා ඉන්න කෙනෙක්... රස්සාවක් හොයා ගන්න උදව් වෙන්නයි කියල ලියා කිව්වම.
හරි හමන් නිවහනක් නැතිව ඉන්න පවුලකට ගෙයක් හදල දෙන්න කැමති දානපති පරිත්‍යාගශීලී පිංවතෙක්ව හොයා දෙන්න කිව්වම...

එහෙම වෙලාවට ලොකු අම්මා එච්චර බල සම්පන්න කෙනෙකු නොවෙන විත්තිය කෙළින්ම කියන්න මේ ලියන්නාට සිද්ද වුණා. නැති ලොකුකම් අටවා ගන්න ඕනෑයි?

පහුගිය ටික දවසේ නිදිට දෙතුන් වතාවක්ම වාසනාව ලැබුණා, blogs ලියන; ඒවා කියවන; ඒවාට ප්‍රතිචාර දක්වන සහෘද හිතවතුන් කිහිප දෙනෙකු හමු වෙන්න. එහෙම හමු වෙලා රටතොට ගැන; ලෝකය ගැන අදහස් හුවමාරු කර ගන්නත්- දැනුවත් වෙන්නත්. එයින් අතිශයින්ම පලදායී එකක් වුණේ, හක්බෙල්ලාවක ‘Teepee කෑම්පින් Site’ එකට ගිය ගමන. ඒකෙ අයිතිකාරයත් blog ලියන්නෙක්. තට්ටයාගේ කොලම ලියන කෙනා.

හක්බෙල්ලාවක ‘Teepee කෑම්පින් Site’ එකට ගිය ගමන...

ඒ ගැන දැනටමත් blog posts තුනක්ම ලියවිලා. පළමුවැන්න ජනවාරි 25 ‘තට්ටයාගේ කොලමෙන්’. ‘සිරිබිරිස්ගේ ලංකාවතරණය’.

දෙවැන්න ජනවාරි 27 වෙනිදා අසංග රණසිංහආරච්චි ලියන ‘කොළොම්පුරේ’ බ්ලොගයෙන්. සිරිබිරිස්ගේ ලංකාවතරණය හා Teepee Camp ගොඩබැස්ම සබැඳි කතා’.
තෙවැන්න ජනවාරි 29 වෙනිදා පළවුණේ ‘ඩ්‍රැකීගේ අඩවියේ’.
‘සිරිබිරිසාගමනය’ නමින්.

මට නම් මසුරං වටින්නේ එහෙදී බොහොම සුහදව පැවැත්වුණු සාකච්ඡා මණ්ඩපයේ සංවාද. ඒවා එක මාතෘකාවක් යටතේ විතරක් නෙවෙයි කෙරුණේ. එක තැනකින් පටන් ගත්තම, එහාට මෙහාට අතු-ඉති ලියලමින් වැඩීගෙන; පැතිරීගෙන ගියේ අපිවත් බලාපොරොත්තු නොවුණු සශ්‍රීකත්වයකින්. නිකම්ම නෙවෙයිනෙ පුරාණ පඬිවරයෙක් මෙහෙම සොලෝකයකුත් කියල තියෙන්නේ.

  සංසාර විෂ වෘක්ෂස්‍ය
  ද්වෙඵලෙ හ්‍ය’මෘතොපමෙ
  සුභාෂිත රසාස්වාදඃ
  සජ්ජනෙෂු ච සංගමඃ
(
සංසාර නමැති විෂ වෘක්ෂයෙහි අමා වැනි ඵල දෙකකි. එනම්: දැහැමි කතාවන්හි රස විඳීම හා සත්පුරුෂ ආශ්‍රය යන දෙකයි.)

ඉතිං ඒ සජ්ජන ඇසුරු වෙලාවල වැඩියෙන්ම කතාබහ වුණා, සිරි ලංකාවේ වර්තමාන තත්ත්වය ගැනත්.

බුද්ධි ගලනය වෙනදට වැඩියෙන් සිද්ද වෙන්නේ ඇයි / රටවැසියන්ගේ ආතතිය- අසහනය වැඩියිද / දැන් අපේ සහකම්පනය අඩුයිද; මානසික තත්ත්වය කොහොමද / දුර්වල මානසික තත්ත්වයන් සහිත තරුණ පෙළක් ඇතිවී තිබෙන්නේ ඇයි / කුඩා වියේ සිටම දූ දරුවන්ට ඉගැන්විය යුත්තේ මොනවාද / දරුවන් අහන ඕනෑම ප්‍රශ්නයකට ඇත්ත පිළිතුරුම දිය යුතුද... කියන දේවලුත් එහිදී සාකච්ඡා වුණා.

ඒ ගැන ලියද්දී නිදිට මතක් වුණා- ජනවාරි  25 වෙනිදා ‘ඉකොනොමැට්ටා blog අඩවියේ’ පොලී අනුපාතික ප්‍රවණතා... මැයෙන් පළ කෙරුණු පොස්ටුවේ comment එකකින් පොඩි කොටසක්:

‘ඉකොනෝගේ අවධානය පිණිස මේ තියෙන්නේ URBAN .LK විසින් සිදුකරපු සමීක්ෂණයකින් හදපු වාර්තාවක්...

30% ක් යන්නේ දේශපාලකයන් ගැන බලාපොරොත්තුවක් නැති නිසා.

මේ සමීක්ෂණයට සහභාගී වූ අයගෙන්;

 රටින් ‍යන්න හදන/හදපු අයගෙන්,
 30%
ක් යන්නේ දේශපාලකයන් ගැන බලාපොරොත්තුවක් නැති නිසා.
 25%
ක් යන්නේ ආර්ථික ප්‍රශ්න නිසා.
 16%
ක් යන්නේ දරුවන්ගේ අනාගතය ගැන බය නිසා.
 10%
ක් යන්නේ අති විශාල බදු බර නිසා.

අයිස්බර්ගරයක් තරම් විශාල වූ ප්‍රශ්නයක ඉතාමත් අංශු මාත්‍රික නිරීක්ෂණයක් මේ. ඇත්ත මීට වඩා ඛේදනීය ඇති....’

මෙහෙම වාතාවරණයක් තියෙන රටක වාසය කරන දුහුනෙක් විදිහටයි, මං වහන්සේ නිදිගෙ පංච තන්තරේ ලියන්නේ. ඒ අතරවාරයේ ආයෙත් වතාවක් ඡන්දයකුත් ළඟ එනවා. රට වෙනුවෙන් මගේ හෘදය සාක්ෂියට එකඟව, මගේ ඡන්දය පාවිච්චි කරන්න කල් බලමින් ඉන්න අතරේ...
‘ටිකක් හිටහන් නිදි.’

ලොකු අම්මත් කතා කරන්න පටන් අරං!

“කතා කරන්න උවමනා තැනදී කතා නොකර ඉන්න පුළුවන්ද? දැන් රටේ දූල-පුතාලට මේවා ලියන්න; කියන්න පිවිතුරු පත්තරේ පළ වෙන්නෙ නැහැනේ.
ඉතිං, නිදිගෙ පංච තන්තරෙන් හරි මේ..න්..න මේ ටික රටේ..ම දරුවන්ට කියන්න ඕනි. ඔව් දූ-දරුවනේ, ඉස්සර තමයි අම්මල තාත්තල ලොකු අම්මල වගේ වැඩිහිටියන් ඔයාලට අවවාද දුන්නේ. පාර පෙන්නුවේ. දැන් ඔයාලා ගොඩ දෙනෙක් වැඩහිටි අපට වැඩිය ඉස්සරහට ඇවිත්...
ඉතිං
අපටත් හොඳ නරක කියා දෙන්න. ඔයාලා ඉස්සරහට එන්න!!

රටට නිදහස හම්බ වෙලා අවුරුදු 74ක්ම නාකි පරම්පරාවකට ඕනි විදිහට තට්ටු මාරු වෙවී රටේ පාලනය කෙරුව හොඳටම ඇති නේද. පහුගිය අවුරුද්දේ සිද්ද වුණු ආදරයේ තරුණ අරගලේට පින් සිද්ද වෙන්න කොක්කු ඉගිල්ලුණා; උන්ගෙ සුදේ තරම ලෝකෙටම පෙන්නමින්.
මෙච්චර කාලයක් තිස්සේ හැංගි හැංගී වෙස් බැඳපු 
ඒ දෙගොල්ලන්ම එක පිලේ උදවිය බව දැන් අපටත් තහවුරු වෙලා අහවරයි.

මෙච්චර කාලයක් තිස්සේ හැංගි හැංගී වෙස් බැඳපු ඒ දෙගොල්ලන්ම එක පිලේ උදවිය බව දැන්...

ඒත් කරකවල අතෑරියා වගේ අන්ද-මන්ද වෙලා ඉන්න කට්ටියකුත් තවම රටේ ඉන්නවා. දේශපාලන සබුද්ධිකභාවයක් නැති ඒ කාට-කාටත් ඔයාලා එකතු වෙලා හරි පාර කියා දෙන්න ඕනි. පරක්කු නොවී අන්න ඒ යුතුකම ඉෂ්ට කරන්න....” ලොකු අම්මා කිව්වා.        

‘මමත් ලොකු අම්මා එක්ක සීයට දෙසීයක් එකඟයි!’
මට කියවෙන්නේ නිරායාසයෙන්.

“එහෙනං කවි කොළයක් හරි ලියන්නයි තියෙන්නේ.” කියලා මට කියාගෙනයි ලොකු අම්මා මගෙන් සමු ගත්තේ෴0෴

Tuesday, January 24, 2023

ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස

ට්‍රීන් ට්‍රීන් ට්‍රීන් ට්‍රීන්...

Call එකක්. නෙවිල්ගෙන්. “අද දවසම ඔයා ගෙදර ඉන්නව නේද? ගවීන් එයි...”. ගවීන් අපට ක්ෂණික ට්‍රීට් එකක් දෙන්නලු හදන්නේ. සතුටයි දුකයි දෙකෙන්ම හිත පිරිලා තියෙන වෙලාවක...
ගවීන්ට නං වැඩියෙන්ම දැනෙනවා ඇත්තේ දුක වෙන්නැති...

කිව්වා වගේම කෙරුණේය. ගවීන් ආවේය- ආවා නෙවෙයි මර්වින් එයාව කැටුව ආවේය.

ඔයාලා තුන් දෙනාම එංගලන්තෙට ගියාම... (ගවීන්, ජනනි හා දරු පැටියා)

දුකයි මචං! / ඒත් බං මේ කාලකන්නි මහ එවුන් ඉන්නකල් මේ රටේ ඉඳල වගතුවක් වෙන්නෑනෙ. /ඔයාලා තුන් දෙනාම එංගලන්තෙට ගියාම ස්වර්ණතිලකයි රානියි? / ජනනිගේ අම්මටයි තාත්තටයි විතරක් නෙවෙයි නිමල් අංකල්, අපේ අම්මටත් මම ගියාම හෙණ ප්‍රශ්නයක්. / ගවීන්ට මේ සැරේ පාද යාත්‍රා ගමන miss වෙනවා. /
බය වෙන්ඩ එපා මචං. අපි යනකොට- කන බොනකොට එහෙම foto ගහල උඹටත් එවන්නං! /තවත් දුක හිතවන්න එපා තමීර.

ගවීන් හිටියේ ජනනිලගේ ගෙදර බින්න බැහැලාය.
ජනනිගේ එකම නංගි රුසිරුව, සම්පත් එයාලගේ ගෙදරට කැන්දන් ගිහින්ය. ඒ ගෙදරත් වෙන කවුරුන්වත් නැති නිසා, ඔවුන්ට ඒ ගෙදරින් එන්නත් බැරිය. ජනනිගේ දෙමවුපියන් දැන් තනිවමය!

එකේක විදිහට රට හැර යන හිතවතුන්ගේ නම් ලැයිස්තුව තවත් දිග එකකි. මා දන්නා උගත් තරුණයන් තිදෙනෙක්ම මේ සති දෙක තුළ පිටරට ගියහ. මේ රට හැර යන්නට සුදුසුකම් සපුරා ගනිමින් ඉන්නවුන්ගේ නම් ලැයිස්තුව ඊට වඩා ගොඩක් දිගය.
“මානෙල්, රෝසිත් රට ගියොත් තමුසෙලා දෙන්නත් ලංකාවේ තනි වෙනවනෙ...” රෝසිත් සුදුසුකම් සපුරා ගනිමින් සිටින විත්තිය දැනගත්තාමය මං එහෙම ඇහුවේ.

“මොනා කරන්නද ලොකා. එයාලගේ දියුණුව ගැන හිතන්න එපැයි!”

මානෙල් නංගි එහෙම හිතද්දී අයස්මන්ත මහත්තයා හිතන්නේ වෙනත්ම විදිහකටය.
“මම අපේ කෙල්ලෝ තුන් දෙනාටම කියල තියෙන්නේ ඉගෙනගෙන පුළුවන් විදිහකට පිට රටකට පලයල්ල කියලයි. කොච්චර ඉගෙන ගත්තත් මේ රටේ උගත්කමට තැනක් තියෙනවද? මිනිස්සුන්ට නිදහසේ ජීවත් වෙන්න වාතාවරණයක් තියෙනවද... වැඩිහිටියෝ තනි වෙනවයි කියල ඒ ළමයින්ගේ අනාගතේ බිල්ලට දෙන්න බැහැනෙ.”

ශ්‍රී ලංකාව තරුණ තරුණියගෙන් වියුක්ත, මහල්ලන් හා මැහැල්ලන් පමණක් ඉතිරි වෙන මහලු මඩමක් වීගෙන යයි...

‘පතිරූප දේශයක්’ නොවෙන බැවින් ශ්‍රී ලංකාව තරුණ තරුණියගෙන් වියුක්ත රටක් වීගෙන යයි; මහල්ලන් හා මැහැල්ලන් පමණක් ඉතිරි වෙන මහලු මඩමක් වීගෙන යයි...

අන්තිමට සිරි ලංකාවේ ඉතිරි වෙන්නේ මොකුත්ම කර-කියා ගන්නට බැරි පරම්පරාවක්ද? නැතිනම් දුර නොබලන- දුර නොපෙනෙන; නොසිතන පරම්පරාවක්ද?

‘සිතුවිලි රළබිඳුම’ blog අඩවියේ ‘Litseeker’ මේ posts මාලාවේ දෙවැන්නට මෙවන් comment එකක් එවා තිබිණි.

‘සවන්දීම හා සානුකම්පිත වීම හරිම වැදගත්. මට මතකයි මං ගුරුවරයෙකු ලෙස සේවය කළ පළමු පාසැලේ පහ ශ්‍රේණියේ ළමයෙක් සියදිවි හානි කරගත්තා. පසුව දැනගන්නට ලැබුනේ පංතියේ ප්‍රථම ස්ථානය සඳහා තවත් ළමයෙක් සමග ඇතිවුන ගැටුමක ප්‍රතිඵලයක් කියලා.’

සිය දිවි හානි කර ගැනීම ශ්‍රී ලකාවේ ප්‍රශ්නවලට විසඳුමක් වෙමින් තිබෙන්නේද?
ලොකු අම්මාට සදය සිනහවක් පහළ වෙන්නේ මෙන්න මෙතැනදීය. ඇය සිනහ වෙන්නේ තමන්ටමය. හුඟ දෙනෙකු සිනා වෙන්නේ අනුන්ටය. ලොකු අම්මා; නිදි වැඩියෙන්ම සිනා වෙන්නේ එයාටමය. අද මෙතැනදී එහෙම හිනා වෙන්නේ එයාගේ සුපිරි මරි මෝඩකමක් මතක් වුණු බැවිනි.
ජීවිතයේ එකම එක වතාවක් පමණක්- ඔව්, එකම එක වතාවක් පමණක් නිමල් දිසානායකටත් ජීවිතය එපා වී තිබේ. ඒ ගැන මීට
අවුරුදු හතරකට පෙර ‘නිදිගෙ පංච තන්තරේ’ කියවන දයාබර ඔබට මා කෙටියෙන් කියූ බවත් මට මතකය.

එදා මට හිතුණේ ලෝකේ ඉන්න ලොකුම අවාසනාවන්තයා මං කියලයි; පරාජිතයා මං කියලයි. මොකටද ජීවත් වෙන්නේ? මට හිතුණු බව තවම මතකයි. එවෙලේ මම හිටියේ මහවැලි ගඟ අසබඩ. සීතල වතුර කඳ නිසොල්මනේ ගලාගෙන ගියේ ‘එනවා නං එන්න’ කියාගෙන; මාව ඒ ජලකඳට පිළිගන්න බලාගෙන.
ඒත් ඒ මොහොතේ මට මතක් වුණේ අපේ ගෙදර අය...

තව මාස හයක්වත් ජීවත් වෙන්නට බැරි වෙන මට්ටමේ හිටිය අපේ තාත්තා ගෙල වැල ලාගෙන සියදිවි නසා ගත්තෙ පමුණුවටම දැනෙන විදිහටයි. ‘කකුල් දෙකම කපල තියෙන කෙනෙක් කොහොමද බෙල්ලේ වැල දාගන්නේ. මරල එල්ලල වෙන්ඩ ඇති!’ මිනිස්සු කිව්වේ කිසිම දෙයක් නොදැන; අපේ තාත්තාගේ උපායශීලී බව නොදැන. හොඳ වෙලාවට මරණ පරීක්ෂණයෙන් හෙළිදරව් වුණේ තාත්තා සියදිවි නසාගත් විත්තිය.

ඊට අවුරුදු හය-හතකට පස්සේ ලොකු නංගී වස බීල ජීවිතේ නැති කර ගත්තේත් ඒ වගේම කටකතා වැස්සක් පමුණුවට වස්සවමින්. අවිවාහක තරුණ කෙල්ලක් හිටි ගමන් වහ බිව්වම ඒ වගේ කටකතා හැදෙනවා නේන්නං.

හැදිච්ච කටකතා ගමටම ආයෙත් මතක්  කරවන්නද?

‘ඒවා මතක නැතිව වගේ, ඉතිං උඹත් හදන්නේ තවත් කටකතා ගොන්නක් හදවන්නද? හැදිච්ච කටකතා ගමටම ආයෙත් මතක්  කරවන්නද?

ටිකක් හිතපං නිමල්... එකම පවුලේ තාත්තයි, ලොකු දුවයි, ලොකු පුතයි තුන් දෙනාම සියදිවි හානි කරගත්තය කියල නේද කතාව පැතිරෙන්නේ. එතකොට නංගිල මල්ලිලටත් මොන තරං ලජ්ජාවක්ද වෙන්නේ. උන්ටත් මැරෙන්නද උඹ කියන්නේ...’ ඒ වෙලාවේ මට කල්පනා වුණේ ඒ ගැනමය.
මගේ මරණය මට විතරක් නොවේ බලපාන්නේ.

මැරුණත් මැරෙන්නට වෙන්නේ අපේ හිතාදරයන්ට- සමීපතමයන්ට ප්‍රශ්නයක් නොවෙන විදිහටය! හැබෑ ආදරය කියන්නේ ඒකට නේද?
ඒ සිතිවිල්ල නිසා, නිදි මහවැලි නදියට නොපැන්නේය; නිදිගෙ ජීවිතය බේරුණේ ඒකෙන්ය.

අතිශය ලජ්ජාවෙන් වුවද මේ ටිකත් කිව යුතුමය. එදා මගේ ළතැවිල්ල කොතරම් බොළඳ එකක්දැයි වැටහුණේ මාස කීපයක් යන්නටත් කලින්මය. එහෙම ප්‍රශ්නෙකුත් තිබුණා යැයි දැන් නම් මට මතක් වෙන්නෙවත් නැති තරම්ය.     

"... අද ඔයා විඳවන ප්‍රශ්න තාවකාලිකයි. සමහර ප්‍රශ්න විසඳෙන්න අවුරුදු ගණන් යනව, සමහර ඒව විසඳෙන්නෙ නෑ, ඒවා ඔක්කොම ඔයාව ශක්තිමත් කරනව. අදට වෙනකන් ඔයා ලොකු ලොකු ප්‍රශ්න පහුකරන් ආවා වගේම මේකත් පහු කරනවා... අනිවාර්යයෙන් ඔයා ප්‍රශ්න එක්ක සටන් කරොත් ශක්තිමත් වෙලා දවසක දිනනවා!! ඔයා ගැනම සතුටු වෙයි එදාට ❤❤ "  ****

එහෙම උදානයක් දකින එකත් මට නං ලොකු උත්තේජනයක්. සතුටක්.
දඟකාර පුංචි දෝණිට සතිපතාම ලියුමක් ලියපු ලොකු අම්මත් ඒ සතුට නොඅඩුව වින්දා- ලැබුවා, ප්‍රශ්නවලින් ජය ගත්තු දූල-පුතාල ඒවා කියමින් ලියුම් එව්වාම.

ඉන්නකෝ චුට්ටක්. මේ දැන් ඔයාලා කියාපු උදානය ‘ගෙඩිය පිටින්ම’ ඔයාලටත් කියවන්න දෙන්නයි හදන්නේ.
මං ඒක දැක්කේ
සඳරුවන් තිලකරත්න පුතාගේ fb එකේ තියෙද්දී.

මම වැඩ කරපු ජරාම  තැනක්, නැවතිල හිටියෙ මේකේ BASEMENT එකේ, වැඩ කරේ උඩ LAUNDRY එකේ..,

‘අවුරුදු 12 කට කලින් මගේ මිනිය හම්බ වෙන්න තිබ්බ තැන මෙතන!! 😥😥. (කැමතිනම් කියවන්න) මම වැඩ කරපු ජරාම  තැනක්, නැවතිල හිටියෙ මේකේ BASEMENT එකේ, වැඩ කරේ උඩ LAUNDRY එකේ.., අයිතිකාරයො 2, උන්ගෙ ගෑනු 2යි මාව නොමරා මරල වැඩ ගත්ත Agreement එකක් නිසා... වෙන තැනක වැඩට යන්න බැරි විදියටත්, මට ලංකාවට යන්නත් බැරි වෙන විදියටත් මගේ පඩි සල්ලිත් passport එකත් හිරකරන් හිටියෙ. තව ප්‍රශ්න ගොඩාක් වුනා... මානසිකව සහ ශාරීරිකව මම හොඳටම දුර්වල වෙලා ලෙඩ වෙලා හිටියේ... ඒ වෙලාවේ මගේ තත්වෙ දන්නෙ මම විතරයි...

මම රටටත් අලුත් නිසා අසරණකමට Suicide කරගන්න තත්වෙටම ආවා, අවශ්‍ය දේවල් අතේ තියෙද්දි  මගේ පවුලෙ අයව මතක් වෙලා මම ඒක නැවැත්තුවා... තප්පර ගානක් එහා මෙහා වුනානන් අද මෙහෙම කතාවක් නෑ...

මම හිතුවා කොහොම හරි මගේ  අසරණකම නැති කරගන්නව කියල. මම UK සිවිල් නීතිය සහ තව ගොඩක් දේවල් ඉගෙනගත්තා. අයිතිකාරයො එක්ක රංඩු කරන්න ගත්තා, උන්ගේ නීතිවිරෝදී වැඩ හෙළි කරනව කිව්වා... සාක්ෂි එකතු කරගත්තා. මගෙන් නීති විරෝදී ලෙස වැඩ ගත්තා කියල Complain කරනව කියල අයිතිකාරයන්ට තර්ජණය කරල මගේ පඩි සල්ලිත් අරන් යන තරමට ශක්තිමත් වුනා...

මාව හිරකාරයෙක් වගේ තියාගන්න හදපු මෙතන තිබ්බ මිල අධික Washing machines ඔක්කොම විනාස කරා යද්දි 🤣🤣. (ඒක කරේ ඒ මිනිස්සු තව කෙනෙක්ට මට වගේ වද දෙන්න කලින් ආයෙ දහස් වාරයක් හිතන්න සලස්වන්න).

මම අයින් වුනාට පස්සෙ අයිතිකාරයන්ව නීතියට අහු වෙලා දඩ ගෙවල, උන් උන් රංඩු වෙලා නඩු කියාගෙන... Business එක විකුනන්න වෙලා, අයිතිකාරයන්ගෙ ගෙවල් පවා නැති වෙලා... පාඩු පියවන්න ගිහින්. 🤔🤔🤔... අද මේ business එක අයිති වෙන කෙනෙක්ට.

මේ අත්දැකීමෙන් පස්සෙ කිසිම මනුස්සයෙක් විශ්වාස කරේ නෑ... කාටවත් මාව අන්දන්න බෑ... හැමෝටම නිහතමානීව කතා කරාට, ගරු කරාට කාටවත් බයත් නෑ... හැමෝම කවුද කියල දැනගෙන ආශ්‍රය කරන්නෙ. ජීවිතේ අතහරින්නෙත් නෑ... කාටවත් ඕන විදියට ජීවත් වෙන්නෙත් නෑ...

මීටත් වඩා දරුණු ප්‍රශ්න මැද...

මාව පල්ලෙහාට දාපු උන්ට වඩා සෑහෙන්න උඩට ආරක්ෂාකාරීව නැග්ග 😉😉.

මම අද මෙතනට ගියේ මට එදා තිබ්බ මූසල හැඟීම ආයෙත් එයිද බලන්න. නෑ...
මට අද සතුටුයි අවුරුදු 12කට පස්සෙ මෙතනට එන්න මම ජීවත් වුන එක ගැන.
🙂🙂🙂 මම අද සෑහෙන්න දේවල් ජීවිතේ දිනල තියෙනව. අද මම ගෙවන ජීවිතේ එදා මට Dream එකක් වෙලා තිබ්බ ජීවිතේටත් වැඩිය හොඳ එකක්. (අවුරුදු ගානක් ගියා මේ තත්වෙට එන්න).

එදා මම ලංකාවෙ IT කරල UK වලට ඇවිත් ඉගෙනගන්න ගමන් අනුන්ගෙ ඇඳුම් හෝදපු එකෙක්. අද UK Degree 2ක් තියෙන 3 වෙනි එකත් කරන ගමන් ඉන්න UK Professional Qualifications ගොඩක් ‍තියෙන Skilled  Specialist Engineer කෙනෙක්.

මේ හැමදේමත් කරගත්තෙ ප්‍රශ්න ගොඩාක් මැද, දියුණු වෙන්න අමාරු රටක ඉඳන්. මීටත් වඩා දරුණු ප්‍රශ්න මැද. අලුත් ප්‍රශ්නත් එක දිගට එනව, නවතින්නෙ නෑ... මට මේ දේවල් කියන්න ලැජ්ජාවක් නෑ... බොරු මාන්නය, සෝබනය නෑ.  ලැජ්ජ වෙන දේවල් මම කරල නෑ... තමුන් විඳපු දුක ගැන කාටවත් කියන්න ලැජ්ජ නම් තමුන් ලෝකෙන් Reject වෙයි කියල හිතන භය, දුර්වල චරිතයක්.👎

මම මේක දැම්මෙ ලොකුකමකටවත් අනුකම්පාව ගන්නවත් නෙමෙයි. මට ඒ කිසි දෙයක් වැඩක් නෑ. මට ඕන වුනේ ප්‍රශ්නවලින් ඉන්න හැමෝටම කියන්න!!’
(මරණාසන්න රෝගීන් ඉන්නවා
, ඔයාටත් වඩා ප්‍රශ්න තියෙන ජීවිතයක් හරි කමක් නෑ ඒගොල්ලොන්ට දෙන්න කියල දෙවියන්ගෙන් ඉල්ලන්න...😥😥😥 ) ඒක නිසා ජීවිතේ අතාරින්නෙපා!! 🙏🙏🙏

තව දෙයක්,
අනේ ඇයි මට විතරක් මෙහෙම ප්‍රශ්න කියල හිතන්නෙපා! ලෝකෙ බලවත්ම මිනිස්සුන්ටත් ප්‍රශ්න තියෙනව ඔයා නොදන්න...

කාටවත් ඊරිසියා කරන්න එපා, හානිය ඔයාගෙ මනසට විතරයි වෙන්නෙ!
මිනිස්සුන්ට ලොකුකම් පෙන්නන්න එපා! දවසක පොඩි මිනිස්සු අතින් සමච්චල් වෙයි.

නරක කරල හොඳ බලාපොරොත්තු වෙන්න එපා!

කාවවත් පහතට අදින්න එපා, ඔයාව පහතට වැටෙයි.
නරක කරල හොඳ බලාපොරොත්තු වෙන්න එපා!

"හොඳ" වපුරන්න, අස්වැන්නත් "හොඳ"ම වෙයි.. "
ජය වේවා!

- සඳරුවන් තිලකරත්න’

සඳරුවන් පුතේ, ඔන්න ඔහොම තමයි ඉන්න ඕනි. ප්‍රශ්නයක් මතු වුණාම එඩිතරව ඒකට මුහුණ දෙන්න ඕනි.
‘දඟකාරී..’ විශේෂාංගයට තවමත් ලියනවා නං ලොකු අම්මා එහෙම ලියාවි, අනිවාර්යයෙන්ම. ඒ වගේ ධනාත්මක සජීවී උදාහරණවලටයි වැඩි-වැඩියෙන් ප්‍රචාරය දිය යුත්තේ. පරාජිත කතන්දරවලට නෙවෙයි.

සමහරුන් කරනව වගේ ප්‍රශ්නයකට බයේ පැනල ගියාම හරි යනවද- ඒ ප්‍රශ්නෙට උත්තර ලැබෙනවද? නැහැනේ. මොන අවාසනාවක්ද මන්දා. දැන් ලංකාවේ ඉන්න ගොඩාරියක් ගැටවර-ගැටවරියන් හිතන විදිහ කොයිතරම් පටුද?

ජනවාරි 19 වෙනිදා උදේ දැකපු ප්‍රවෘත්තියකින් කියැවුණේ- මාතලේ, ආඳාවල පාලු නිවසක එල්ලෙමින් තිබියදී හොයා ගත්තු මළ සිරුරු දෙකක් ගැන. එකක් අවුරුදු 17ක් වයස ගැටවර ප්‍රේමවන්තයාගේ. අනෙක අවුරුදු 14ක පෙම්වතියගේ.  ඒ දෙන්නගෙ ප්‍රේම සම්බන්ධයට ගෙවල්වලින් විරුද්ධ වුණාලු!

තමන්ව ප්‍රතික්ෂේප කළ පෙම්වතියව ඝාතනය කරපු විශ්ව විද්‍යාලයීය සිසුවෙකු ගැන පුවතත් තවම උණුසුම් එකක්!
මෙයාල
ආදරය තේරුම් ගත්තු අයද?
ආදරයට නිර්වචන ගොඩයි; අටුවා ටීකා ගොඩයි; තව ඉස්සරහට ඒ ගොඩ තවත් ලොකු වේවි!

ඒ එක්කම යොවුන් හිත්වල ආදරය උපදින්නත් පුළුවන්. ඒත්...

යව්වන වයස එළැඹෙද්දීම ගැහැනු-පිරිමි සිරුරුවල ඊස්ට්‍රජන්- ප්‍රොජෙස්ටජන්- ටෙස්ටස්ටරෝන් වගේ හෝර්මෝන නිපදවීම ඇරඹෙන බව කවුරුනුත් දන්නවා. ඒ හෝමෝනවල බලපෑම නිසා ද්විතීයික ලිංගික ලක්ෂණ පහළ වීම පටන් ගන්න බවත් දැන් පරපුර දන්නවා. ඒ එක්කම යොවුන් හිත්වල ආදරය උපදින්නත් පුළුවන්. ඒත් ගොඩාරියක් වැඩිහිටියන් දකින්නේ ඒක බරපතල වැරද්දක් විදිහටයි.

මට හොඳටම මතකයි, මගෙ ඥාති දියණියකගේ පාසල් ප්‍රේමය දැනගත්තු ගමන් අම්මෙක් කුලප්පු වුණු තරම. දන්නවද? ඒ අම්මාත් පාසල් වියේදීම දඩබ්බර පෙම්වතියක් වුණු කෙනෙක්; පස්සේ යෝජිත විවාහයකට එළඹුණු කෙනෙක්. ඒ අම්මට මතක් වුණේ නෑ ‘මාත් ඉස්කෝලේ යද්දී මෙහෙම කළා නේද’ කියන කාරණාව. ‘දුවගේ වයසේ  හිටිද්දී මං හැසිරුණෙත් මෙහෙමම නේද’ කියන කාරණාව.
කොහොමෙන් හරි අපට ඉස්සෙල්ලාම calm down කරවන්නට; සංසිඳුවන්නට වුණේ පරල වෙලා හිටි ඒ අම්මාවයි.

ඒකේ ප්‍රතිපල පෙනෙන්නේ දැන්.
අර දියණියගේ පාසල් ප්‍රේමය දිගටම පැවතුණා. නීති-රීති යටතේ; සොයා බැලීම් යටතේ. දැන් ඒ දෙන්නා එක්දරු මාපියන්. මං දන්නා තරමට ඉතා සතුටින් ඉන්න පවුලක්.

එයාලට හරි ගියාට හැම යොවුන් පෙමක්ම සාර්ථක වෙන්නෙ නැහැනෙ.
‘ගස්සලා යවමුද 4’ post එකේදී මම කිව්වා ජෝඩු දෙකක් ගැන. එකක් a ගැන. ඒ දෙන්නා ගොඩක් දුර ගිහිං හිටියේ.
"නිමල්, අපට දැන්මම බඳින්න බෑ. ඒකට තව කල් ඕනේ නිසා අපි බබාව නැති කරන්නයි යන්නේ. මගේ ළඟ සත පහක් නෑ. ඔයාගෙන් සල්ලි ඉල්ලාගන්නයි මං අද ආවෙත්." එයා කීවා.

මම කර අරින්න හිතුවේ නෑ, සල්ලි දුන්නා. ඊට මාස ගණනකට පස්සේ එයාලා කසාද බැන්දා. එක සාක්කිකාරයෙකුට අත්සන් කළෙත් මං. දැන් එයාලට කරදඬු ලොකු වුණු දරුවොත් ඉන්නවා.

හැබැයි වරින්වර මට හිතෙනවා 'සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයකට' මාත් හවුල් කියලා. ඒ ගැන පසුතැවිල්ලක් නම් නෑ. 

ඒකෙන් මං කියන්නේ නැහැ එහෙම 'නූපන් බිළිඳුන් නසා දැමීම' හොඳ දෙයක් කියලා. ඒත් මොකද කරන්නේ, වෙන විකල්පයක් නැත්තම්? කියලයි එදා මං ලිව්වේ.

තවත් ජෝඩුවක් ගැනත් ඒ post එකේදිම ලියවුණා.

මගේ ළඟම ඥාති සහෝදරයෙක් කරදර මූණකුත් එක්ක මාව හොයාගෙන ආවා. "හරිම ප්‍රශ්නයක් අයියේ.... අපේ ලොකු පුතා ගෑනු ළමයෙක් එක්ක යාළු වෙලයි ඉන්නේ. ඒ ගොල්ලන්ගේ ගෙදර අයත් මේ සම්බන්දෙ දන්නවා. අවුරුද්දකින් දෙකකින් විතර දෙන්නා බඳිනවාලු.

තීරණය ඔයාලමයි ගන්න ඕනේ. හැබැයි මොනවා තීරණය කළත්...

-ඒත් දැන් ගෑනු ළමයා ප්‍රෙග්නන්ට්. පුතාලා හදන්නේ දරුවාව නැති කරන්න.

අයියා දන්නවනේ අපේ එක්කෙනාගේ හැටි. උපාසිකාවනේ... එහෙම තියෙද්දිත් ඒ අම්මංඩි මේකට කැමතියි, නැත්තං ලජ්ජාවේ බැරිවෙයිලු. මගේ හිතට නම් හරි මදි එහෙම කරන එක. පාපයක්නේ, ඒකයි ප්‍රශ්නේ." මිනිහා මට කිව්වා.

එයාගෙ කතාවෙන්ම මට තේරුණා මං මොන උත්තරය දුන්නත් එයාලා 'ඒ කරුමෙට' කර ගහන්නයි යන්නේ කියලා. මාව හම්බ වෙන්න ඇවිත් තියෙන්නේ එක විදියක පාපෝච්චාරණයකට.

"තීරණය ඔයාලමයි ගන්න ඕනේ. හැබැයි මොනවා තීරණය කළත් පහු කරන්න එපා. ඕනේ මංගල්ලයක් කියලා කසාද බඳිනවා නම් ඒක කරවපල්ලා ඉක්මනින්ම. එහෙම නැතිව බබාව නැති කරනවා නම් ඒකත් දඩ-බඩ ගාලා කරන්න වෙයි. පහුවෙන තරමට ගෑනු දරුවා අන්තරාවේ!"

ඉස්සෙල්ලාම කිරිකැටියා ගස්සලා යවපු එයාලගේ කසාදෙ එක සාක්කිකාරයෙක් වුණෙත් මං.......

ඒ සිද්ධියට අදාළ කිරිකැටියාත් නොදුටු මව්පියන්ට සාප කරමින් එලොව යන්න ඇති.’

හැබැයි, ඒ තරුණ ජෝඩුව කසාද බැඳලා දැන් සිඟිති දරුවෙකු හුරතල් කරනවා. හරිම ආදරෙයි දරුවට. මැණිකක් වගෙයි දරු සිඟිත්තාව රකින්නේ. මං එයාලට සමීප නම් අහගන්න තිබ්බා නූපන් දරුවා ගැන එයාලා දැන් මොනවද හිතන්නේ කියලා.’  මගෙ අතින් එහෙම ලියැවුණේ 2018.

2022 වෙද්දී ඒ දෙන්නා ඉතාමත් ඉසුරුමත්. දරුවන් දෙන්නෙකුගෙ මව්පියන්.
හැබැයි, මාස කීපෙකට කලින් දෙන්න දික්කසාද වුණා!

‘එහෙම වෙන්නේ ‘ආදරය’ හරිහැටි වටහා නොගැනීම නිසාවත්ද’ කියලයි ලොකු අම්මා කල්පනා කරන්නේ. නිදි තවමත් කල්පනා කරමින් ඉන්නෙත් ඒ ගැන...