අකුරු මැකී නෑ

Thursday, June 29, 2023

හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස

වැඩියත්ම නංගී, ඇඳුම්වලින්. එයාලගේ ඇඳුම් වැඩි හරියක් හරි colourful! අනෙක බඩු බෑග්ස්... ඒ මිනිස්සුන්ගෙ ෆැෂනබල් ගතිය අඩුයි. ඔයා දන්නවද ඔය විදිහට සරම් ඇඳල බඩු මලු ඔලුවේ තියාගෙන එන අය අතරේ ලොකු jobs කරන මිනිස්සුත් ඉන්නවා. ඒ සේරමලා දැන් එයාලගෙ status ඔක්කොම අමතක කරලයි ඉන්නේ.

කතරගම දෙවියන් ගැනයි, එයාගේ younger brother ගණේෂ ගැනයි, ඉන්දියාවේ දේවයානි බිසව ගැනයි, ලංකාවේ වල්ලි අම්මා බිසව ගැනයි කතන්දර ගොඩකුත්...

මෙහෙව් කාරණා ගොඩ දෙනෙකුට නොපෙනෙන- නොදැනෙන- මීටර් නොවෙන තරම් හින්නිකිතර; හිච්චං ඒවාය. ඒ එයාලා ඕනෑකමකින් යුතුව ඒවා දිහා නොබලන හින්දාය; ගැඹුරට නොහිතන හින්දාය; ඒවා වැදගත් යැයි නොතකන හින්දාය.

විදේශවල නම් ගොඩාරියක් දෙනා ඒ දුර්ගුණවලින් තොරය; ගවේෂණශීලීය. එයාලා වැඩියෙන් හොයන්නේ ඇටිකිති දේවල්ය.
පුරා අවුරුදු හතළිහක් ‘ඉන්ගලන්තයේ’ හැදී-වැඩුණු සමන්ති නංගිත් දැන් හිතන්නේ British කෙනෙකු විදිහටය. 

“ඇත්තටම ලොකූ, God කතරගම ලොකුම දෙයියෙක්ද?”
“සෑම්, දෙවිවරු ලොකු පුංචි කියල නෙවෙයි කියන්නෙ. බලවත්- බලයෙන් වැඩි...”

“Sorry... I know, I know loku, powerful. එහෙම නේද?”
එංගලන්තයේ හිටියත් සිංහලෙනුත් කතා කරන්නට හැකියාව තියෙන සමන්ති කියයි. “Huge God කියනවට වැඩිය ඒක නේද හොඳ.”.
“හරියට හරි.” මගේ වෑයම සමන්තිගේ සිංහල වඩාත් ප්‍රශස්ත එකක් කරන්නටය. “අපේ ඉස්සරෝම පාද යාත්‍රා ගමන්වල blog posts ටිකක්වත් ඔයාට කියවන්න පුළුවනි නං. ඔයා දන්නවද සෑම්... කතරගම දෙවියන්ට කියන
නම්ම 84ක් තියෙනවා. ඒ හරිය ලිව්වට පස්සෙයි මාත් දැනගත්තේ, තවත් නම් හයක්...”
“84 plus 6... මො..න..වා, 90 names එක දෙයියෙකුට?”

“නම් විතරක් නෙවෙයි Sam. කතරගම දෙවියන් ගැනයි, එයාගේ younger brother ගණේෂ ගැනයි, ඉන්දියාවේ දේවයානි බිසව ගැනයි, ලංකාවේ වල්ලි අම්මා බිසව ගැනයි කතන්දර ගොඩකුත් තියෙනවා. මම ඒ postsවලදී එව්වා ටිකකුත් ලිව්වා.”

“චී, චී, චී. එයා ලංකාවට ආවට පස්සේ මෙහෙන් මැරේජ් එකකුත් කර ගත්තද? It’s really bad!”
“පුළුවනි නං කියවලා බලන්න. විස්තර අර postsවල තියෙනවා, සෑම්.”
“අනේ ලොකූ, I can read Sinhala, ඒත් ඔය බර බර wordsවල තේරුම හරියට මතක් වෙන්නෙ නැති නිසයි කියවන්න කම්මැලි!”

“කියවන්න බැරි වුණත් ඔයා කතා කරන ටිකම මදැයි Sam! ලංකාවේ ඉන්න සමහරුන්ගේ සිංහල කතාව ඔයාටත් වැඩිය හපන් එකේ...” බතට මාළුව බඩගින්නය කිව්වා සේ, අපේ පාද යාත්‍රා ගමනේදී හුඟ වෙලාවට වෙහෙස දරා ගන්නට උදව් වුණේ මේ කතන්දර දෝලාවයි!

ප්‍රතිඵලය ගැන නොහිතා හොඳ දේවල් කළාම- දෙවියනුත් උදව් වෙනවා වගෙය.
පානම හිට ඔකඳ දේවාලය තෙක් ගිය අපි කෙලින්ම ගියේ කුමන වනෝද්‍යාන පිවිසුමටය. කුමන වනෝද්‍යානයේ හිතවත්තු දෙන්නෙක්ම දොස්තර අයස්මන්ත මහත්තයා එන තෙක් බලාගෙන උන්නෝය. ඒ චන්දනත්- සේදරත්ය!
කුමන වනෝද්‍යානයේ රාජකාරි කරන කිහිප දෙනෙකුමත් අපේ අක්ෂි ශල්‍ය වෛද්‍යතුමාගෙන් ඇස් රැක ගන්නට උදව් ගත්තවුන්ය. මේ එයාලා කෘතගුණ දක්වන වෙලාවයි!!

රිලව් අදින්න පුළුවන් නිසා අපි හැමෝගෙම bags කාමරේට දාමු.

“මොකුත් හිතන්න එපා සර්. අපේ ගෙවල් සේරම රිපෙයාර් කර-කර තියෙන්නේ. කැඩිච්ච ඒවා හදනවා- paint කරනවා. එහෙම එකකින්ම තමයි ඉතිං සර්ලටත් කාමරයක් දෙන්න වෙන්නේ.”

එහෙම දුන්නෙත් කාර්ය මණ්ඩලයේ අයගේ නිවහනක කාමරයකි. ඒ කාමරයේ සිටින දෙන්නා වෙනින් කාමරයකට ඇහිරිලාය.
“කාමරයක් ඕනි නෑ, චන්දන. අපි මේ කොරිඩෝවේ ඉන්නං.”
“එහෙම බැහැනෙ සර්!”

“හරි! එහෙම නං Sam ඔයයි ලොකු අයියයි room එකේ ඇඳන් දෙකට යන්න. රිලව් අදින්න පුළුවන් නිසා අපි හැමෝගෙම bags ඒ කාමරේට දාමු.”
“...දාලා ඉක්මනට wash එකක් දාගෙන ඔකඳ දේවාලෙට යං. ඔකඳ පර්වතයේ
නොහිඳෙන ගල් කෙම්, කතරගම  දෙවියන්ගේ දේවාලයට ඉහළින් තියෙන තේවානි - වල්ලි අම්මලාගේ දේවාල දෙක එහෙම සමන්තිට පෙන්වන්න තියෙනවා.”

“ඔව් ඔව් ළමයි. අපි ඉක්මනට නසාර්ගේ වාහනෙත් පිටත් කරලා ඉඳිමු. එයා හොඳටම රෑ වෙන්න කලින් තනියම හම්බන්තොට යන්න එපැයි. පාරේ අලි ඉන්නවනෙ, රෑ වෙද්දී.”

එතනදීත් අනිත් පා ගමන්කරුවන්ට නැති වාසියක් අපට තිබිණි. පා ගමනේදී අවශ්‍ය නොවන, කතරගම දෙවොලේ පූජාවේදී අඳින්නට අවශ්‍ය වෙන ඇඳුම් ආදිය ආපහු යවන්නට හැකිවීමයි, ඒ.
“ඔව් ඔව්, පුළුවන් තරං බර අඩු කර ගනිල්ලා. දිසානායකගේ බර අඩු වෙන්නෙ නැති මලු උස්සං යන්න තියෙන බව මතකෙ තියා ගන්නවලා.”
“මේ, තමුසෙලා ඔහොම කිව්වට කමක් නෑ. මතක තියා ගන්නවලා- අද දවල්ටයි, රෑටයි දෙකටම උයන්න plan කර ගෙන ආවේ. දැන් ඒ දෙකම නැවතුණා, ප්‍රියන්තලගේ ගෙදරින් දීපුවා නිසා. මම හාල් කිලෝ 3 ක් ආපහු යවන්නයි හදන්නේ.”

“ඇයි හලෝ, බත් විතරද උයන්න හැදුවේ. බලපංකො මචං...”
“එළවලු, පරිප්පු, පොල් එහෙම යවන්නේ නැද්ද?” තමිරත් නෙවිල්ගේ කතාවට අලගු තියයි. දෙවෙනි වතාවට අප හා එක්වුණු ප්‍රියන්ත, නමී හා පසිඳු තුන්දෙනා ඒ පැත්ත ගන්නේ මට නෑහෙන්නටය.

“සොරි නිමල් අයියේ. ඔයා ගත්තු පොල් ගෙඩිවලින් පහක් මම පූජාවලට ගන්න තිබිච්ච මල්ලට දැම්මා, පොල් මදි කියල හිතුණම. උයන්න තව පොල් ඕනි නං ඔකඳ කඩේකින් අරගමු.”
“පීරා, නියමයි මචං... හලෝ. තමුසෙ පොල් කීයක් ඕනියි කිව්වද?”
“අසංගට කිව්වේ අටක් ගන්න. එයා පොල් පොඩි නිසා දහයක් ගත්තයි කිව්වා. දැන් පහ ඇති!”
“ෂුවර්ද?”

බැතිමතුන්ගේ ඇදහිලි- විශ්වාස ගැන හොඳම උදාහරණයකි ඒ.
‘පිටි කළ පොල් කිරි’ පැකට්ටුවකුත් තිබෙන විත්තිය මම මතක් කළෙමි.
“කොහොමෙන් හරි තමුසෙ කිලෝ දහයක පහළොවක බඩු ආපහු ගෙදර අරං යන්න වැඩේ කරනවකෝ.” නෙවිල් පාරම්  බායි!

අප ඔකඳ දේවාලයට ගියත් හිච්චිලාගේ ලකුණක්වත් නැත.
“ඉන්දිකලත් හැලිලනේ... ඉන්දිකගේ යාළුවෙක් අන්තරා වෙලා. එහෙ ගිය නිසා මේ වතාවේ එයාලා එන්නැහැලු... කිලි කියලා.”
“හිච්චිලත් එන්නැද්ද දන්නෑ.”

බැතිමතුන්ගේ ඇදහිලි- විශ්වාස ගැන හොඳම උදාහරණයකි ඒ. එය තවත් තහවුරු වුණේ පසුවදා උදේය. හිච්චිලා ඇවිදින්ය. නඩයේ එකම පිරිමියා හිච්චිය. “කෝ දෙනෙත්ලා...”
“එයාලා වෙනම නඩේක එන්නෙ... උන් එක්ක බෑ මාමේ. උන්ට බැන-බැන ඉන්ඩයි මට වෙන්නේ!”

“කෝ හිරූ?” දෙනෙත්ලාගේ නඩය හමු වුණු විගසම මම ඇසුවෙමි.
“හිරුත් එන්නමයි ලැහැස්ති වෙලා- පේ වෙවී හිටියේ. ඒත් මාමේ, දවසකට කලින් හිරූ දන්නෙම නැතිව මස් වගයක් කැවිලා. එහෙම මේ ගමන එන්න බැහැනෙ කියලා හිරූ නැවතුණා.” එයාල ඉන්නේ කතරගමමය; එයාලාගේ විශ්වාසයන් එතරම්ම දැඩිය!
දොස්තර මහත්තයා හා මර්වින් පේ වුණේ මාසයකටත් කලින් සිටය. තමීර, නෙවිල් හා මං වහන්සේ සතියක කාලයකි මස්- මාළු- පිළිහුඩු ජාතිවලින් වැළකුණේ.

පේ වීමේ විද්‍යාත්මක සත්‍යයක් තිබෙනවාද?

ඒ ගැන මගේ අතිපණ්ඩිත මතයයි මේ:
‘මස් මාළු ආහාරයට ගන්නා අයගේ දහඩිය ගන්ධය පවා තරමක් වැඩිය. එය දැඩි ඉව කිරීමේ ශක්තියක් ඇති වන සතුන්ට යහමින් දැනෙනවා විය යුතුය.’ ඒ මතය මගේ ඔළුවට ආවේ මේ වතාවෙත් වැඩියෙන්ම ‘කිනිතුල්ලන්ගේ ප්‍රහාරය’ට ලක් වුණේ තමීර, නෙවිල් හා නිමල් තුන්දෙනා නිසාය.

(නමී, ඔහෙට කොහොමද? Comment එහෙකින් අපි හැමෝටම ඔහෙගෙ විස්තරත් කියනව නේද?)

මා දන්නා තරමට අයස්මන්ත, ප්‍රියන්ත, පසිඳු හා සමන්ති කට්ටියගෙම ඇඟේ කිනිතුල්ලන් එල්ලුණේ නැත. එය හුදු අහම්බයකින් සිදු වූවක්ද?

සුපුරුදු විදිහටම ප්‍රධාන ආරාධිතයන්ගේ පමාව නිසා කුමන පිවිසුමේ ගේට්ටුව මෙවර විවෘත කළේත් හොඳටම ඉර පෑව්වාමය.
“මේ යක්කුන්ට නොතේරෙන හැටි, ඉර පෑව්වට පස්සේ පයින් යන අයට කරදර බව...” / “තව අරගල තුන හතරක්වත් කෙරුණා නං පොලිටීෂියන්ලව මෙහෙම විවෘතවලට ගෙන්නන එක නැවතෙයි.” / “අපරාදේ! හතරට ඇහැරිලා බතල තැම්බුවේ. තව ටිකක් නිඳා ගන්නයි තිබ්බේ.” / “තව ටිකක්. දාඩිය පෙරී පෙරී? තමීර දොළහේ හිට ඇහැරිලා.” / “කොහෙද... එකෙක් මදිවට දිසානායකල දෙන්නෙක්ම ඉන්නවනේ. දෙන්නටම උදේට නින්ද යන්නෙ නැහැනෙ trip යද්දී.” / “අපි එහෙම තමයි නෙවිල් අයියේ! නේද ලොකූ.”

වනජීවියේ චන්දන මහත්තයාත් එක්කම කිරිබත් සප්පායම් වෙන්නටය අපටත් සිද්ද වුණේ.

හැබැයි, මේ වතාවේ සුබදායී වෙනසක් තිබ්බා වගෙය. පාද යාත්‍රිකයන් උදෙසා සූදානම්ව තිබුණු දන්සල් සංඛ්‍යාව වෙනදාට වඩා වැඩිය.

කුමන ගේට්ටුව ළඟම කිරිබත්- ලුණුමිරිස් දන්සලකි.
ඒත් එක්කම පාන් සීනි සම්බෝල දන්සලකි. පාන් බාගයක් දෙකට පලා- ලෝබ නැතිව සීනි සම්බෝල මැද්දට දමා පිරිසිදු සුදු කඩදාසියකිනුත් ඔතලා... පයින් යන්නන් ඒවා එතනදීම අනුභව නොකර ඔලොගුවලට ඔබාගෙන යන බව දන්සල දෙන පිංවතුන් දන්නවා වගෙය.

අව්ව වැඩි වෙන්නට පෙර හැකිතාක් දුර යන්නටය, පාද යාත්‍රාකරුවන් පුරුදුව ඉන්නේ. ඔවුන් උදේ කෑම ගන්නට නවතින්නේ පැයක්- එකහමාරක් නොනැවතී ගමන් කෙරුවාට පසුවය.
ඒත් වනජීවියේ චන්දන මහත්තයාත් එක්කම කිරිබත් සප්පායම් වෙන්නටය, අපටත් සිද්ද වුණේ. ඒ සුනංගුව අපට ලොකු වාසියකුත් අත්කර දුන්නකි.
“ළමයි, මේ චන්දන මහත්තයා කියනවා අපේ බඩු මලු ටික මඩමෙතොටට ගෙනහින් දෙන්නං කියලා. එයාලා දවල්ට එහාට යනකොට. නිමල් අයියෙ, කට්ටියටම කියලා- අද හවස් වෙනකල් ගන්න ඕනේ නැති මලු විතරක් සේදරගේ වාහනේට දාල යමු.”

“අපේ කිරිබතුයි, පානුයි මල්ලක දාගත්තා... දවල්ටත් ඇති.”
“එතකොට තම්බා ගත්ත බතල? ඒකත් ගන්නං.”

“ඒක ගන්න චුට්ටක්වත් බය වෙන්න එපා. ඒවා දෙන්න ආදරවන්තයෝ ට්කක් නිමල් දිසානායක කොහෙන් හරි හොයා ගනියි.”
“මම හිතුවේ මම පාන්දරම පොල් ගෙඩි දෙකක් ගෑව එකත් අපරාදේ කියලයි.”
“බතල කන්න පොල් ගෙඩි දෙකක්?” / “එහෙම නං නමියෝ, අපි අච්චර ලුණුමිරිසකට ළූණු සුද්ද කළෙත් අපරාදෙනෙ.”
“තමීර අයියේ, අපි ඔය ඔක්කොම කමු!” සමන්ති හිනා වෙවී කියයි.

“අනේ, ඉස්සෙල්ලම අපි කමු චව් චව් ගෙඩි ටික.” පසිඳු යෝජනා කරයි. “... ඒව තියෙන්නේ මගේ bag එකේ.”

“සොරි තමයි. අද නං එව්වා උයවෙන්නේ නෑ.” මම කියමි. පසිඳු මූණ බෙරි කර ගන්නේ එතකොටය.

මෙන්න බොලේ, බාගුරේ කලපුවට සේන්දු වෙනකොටම පැණි කොමඩු දන්සලක්! මීට කලින් ගිය හතර වතාවෙම නොතිබුණු එකකි ඒ. “Very good idea!” සමන්ති ගොඩාරියක්ම impress වෙලාය. “Can I have one more piece, please?”
කැබලි කළ කොමඩු බන්දේසිය අල්ලාගෙන සිටින රූබර දමිළ යුවතිය තව කොමඩු කෑල්ලක් ගන්නැයි මටත් කිව්වාය. “No thanks!”

“මොකද කියන්නේ... තේ බොන්න කලින් අග්ගලාත් දෙන්නද?” එතරම් නූස් ගහක් යට වාඩි ලෑවාම මගෙන් ප්‍රශ්නයක්.

අප එහෙමය- සොක්‍රටීස්ලගේ කාලයේ මෙන් විවෘතව එකිනෙකා විවේචනය කර ගනිමු!

“අනේ කන්නලකො . තේ බඩු මල්ලෙනුත් ටිකක් හරි අඩු වෙනවනේ.”

“ටිකක් නෙවෙයි අඩු වෙන්නේ! කිලෝ එකහමාරක් විතර...”
බැදි හාල් කුඩු, ගාගත් පොල්, සීනි එකට අනා අග්ගලා ගුළි කරන අතරේ ප්‍රියන්තලා වතුර රත් කරති.

“ඇහුවට තරහ ගන්ඩ එපා... මට අග්ගලා කාලා, තද කහටට හදපු කිරි තේ එකක් බොන්ඩ පුළුවන්ද?”  පීරිස්ගේ බබා හුකුම් රංගනයෙන් ඇවිස්සෙන්නේ මං නොවේ. ඊළඟට වෙනස්ම ඇවිස්සීමේ ප්‍රයත්නයක්. “ඇයි මචං අර අග්ගලා ගුළි දෙකක් එක වගේ නැත්තේ? Sam ගුළි කරන එව්වා නං එක විදිහයිනේ...”

එතකොට නං මගේ නොසන්ඩාල කට ඇරෙයි.

“සෑම් නොහිටියා නං මම තමුසෙලට කියල දෙනවා ගුළි දෙක එක වගේ නොවෙන බව!”
මං ගණන් හදාගෙන ගියේ එක අග්ගලා කුඩු බෑගයකින් අග්ගලා ගුළි තිහක් හදන්නටය. එතනදී හැදුවේ එතරම් ලොකු අග්ගලා නොවේ. ගොඩක් ඉතිරිය.
“ප්‍රියන්ත. අනේ තරහ නැතිව මේ ටික අරගොල්ලන්ට දෙන්න. එයාලා අද රෑ මෙතන නවතින්න වගෙයි හදන්නේ. තවම ළිප පත්තු කරන්නවත් බැරි වෙලා.”

“ඔන්න මචං අපේ පිටේ පටවලා උස්සගෙන එන දේවල් නිමල් අයියා දන් දෙන්න පටන් ගත්තා.”
“එපා නං කියනවලා. නොදී ඉන්නං. කෝ තමුසෙලා කිරිබත්- පාන් ටිකවත් කාලා ඉවර කෙරුවයැ මෙච්චර දුර උස්සගෙන ඇවිල්ලත්...” මැසිවිලි කියමිනි, මං වහන්සේ ඉතිරි අග්ගලා මල්ලට දමා ගත්තේ.

කොහොමෙන් වුණත් බාගුරේට එනකොටමත් නමීගේ කකුල්වල උඩුපතුල් තුවාල වෙලාය. ඇවිදිද්දී ඇවිස්සෙන සිහින් වැලි කැට සෙරෙප්පු පටිවලට තෙරපීමෙනි, ඒ. “නිමල් අයියේ, මගෙත් දිය පට්ට ඇවිත් වගේ.” අයස්මන්තත් කියයි.

ඒ වෙලාවේ මම මෞන ව්‍රතය රැක්කෙමි. (දැන් මේවා කියන්නේ දොස්තර මහත්තයාට තරහ නොයන බැවිනි. අප එහෙමය- සොක්‍රටීස්ලගේ කාලයේ මෙන් විවෘතව එකිනෙකා විවේචනය කර ගනිමු!)
දොස්තර මහත්තයා කළේ මුහුණට තරහට නහය කපා ගන්නවා වගේ වැඩකි.

මතකයි නේද ගිය වතාවේ පාද යාත්‍රාවට කලින් අයස්මන්ත මහතා මට අරගෙන දුන් 50,000/- කට කිට්ටු මිලක් වුණු සපත්තු කුට්ටම. මට එය බර වැඩිය. ගිය වතාවේ මා එය දැම්මේ පැය බාගයක් විතර කෙටි කාලයකට පමණකි.

“අනේ අනේ පීරා. උඹ මූට ලේසි වෙන්න කියලා Laptop එක අරගෙන දීලවත් පාඩමක් ඉගෙන ගත්තෙ නැහැනේ. ඒක නිකම්ම පුස් කනවා. මෙයා කබල් කම්පියුටරේම එල්ලිලා ඉන්නවා...
ඒ මදිවට Mountain Shoes දෙකකුත් තෑගි කළා. මෙයා කොහෙද මචං අලුත් දේකට පුරුදු වෙන්නේ? අපි මෙච්චර කියනවා. තවම එක උගුරක රහ බලනවද...”  මධු සාදයකදී නෙවිල් බොහෝ විටක කියයි.

බාගුරේ නවතින්නේ නැතිව තේ හදන්න මෙතනට එන්නයි තිබ්බේ. එහෙම කළා නං මෙතන හීල් හෙවණේ...

“නිමලෝ, උඹ දාන්නේ නැතිනං මම ඔය සපත්තු ජෝඩුව ගන්නද?” මර්වින් ඇහුවේ අරහෙම කියැවුණු වෙලාවකය.

“දොස්තර මහත්තයා මොකුත් කියන්නේ නැත්තං... මං ඔච්චර සපත්තු දෙකක් දමාගෙන මහරගම හන්දියට යන්නද?” ඉතිං, මර්වින් සපත්තු ජෝඩුව ගෙනිච්චේය. හැබැයි, උන්නැහෙත් එකම දවසකවත් ඒවා පැළඳගෙන හිටිනවා අපට පෙනුණේ නැත.
මට හිතෙන්නේ අයස්මන්ත මහත්තයා ඒකට ඔරොප්පුවී අපේ මූණටම අනින්නට 'ස්වයං පීඩක' ක්‍රමයක් හොයාගත් බවයි. ඒ බරැති සපත්තු ජෝඩුව දමාගෙනය, උන්නැහේ පාද යාත්‍රා ගමන පටන් ගත්තේ. ඒවා නිසාම වෙන්නැති අයස්මන්තගේ දෙකකුලේ දිය පට්ට එන්නට ඇත්තෙත්!

කහ කුඩු පොල්තෙල් සාත්තුව කරන්න තිබ්බා නම් මරු. ඒත් දුරු- මිරිස් බඩු මල්ල දැන් කුඩා කැබිලිත්තට ගිහිල්ලනෙ තියෙන්නේ.”
“කමක් නෑ. අපි ඉක්මනට එහාට යන එකනෙ.” මේ ගමනේදී ඉලක්කයන් තබා ගැනීම නොකළ යුතු බව අපට අමතක වී ගොසිනි!

බාගුරෙන් පිටත් වෙනකොටත් පාර ගිනියම් වෙලා තිබ්බේ, අපට රිදවන්නට වගෙය. මඩමේතොට හෙවත් කුඩා කැබිලිත්තට මෙතන සිට කිලෝ මීටර් 12ක දුරක් යා යුතුය; ඒ ගමනේදී අපට තුන්මුල්ල බංගලාව, කොටළිඳවල, අන්දරක කලපුව, යාකල කලපුව එහෙමත් පසු කරන්නට වෙයි.
අන්දරක කලපුව අද්දර වාඩිවී ගිමන් හරිද්දී මගේ හිත ඉරිසියාවෙන් පිරෙන්නට ගත්තා මට මතකය. තරුණ නඩයක් අන්දරක කලපුවේ නාන හැටි දැක්කාමය, මට එහෙම වුණේ.

“අපිටත් බාගුරේ නවතින්නේ නැතිව තේ හදන්න මෙතනට එන්නයි තිබ්බේ. එහෙම කළා නං මෙතන හීල් හෙවණේ...”
“ලබන වතාවේ දිගටම මෙතෙන්ට එමු.”
“අමතක කරන්න එපා, පහුගිය වතාවල්වල මේකෙ මෙච්චර වතුර තිබ්බෙ නැහැනෙ.”
“තව අග්ගලා ඉතුරුයි... කනවද... එපා? එහෙනං මේ ටික අර නඩේට දෙමුද.”

“අපට බෑ ඔව්වා කරන්න ගිහිං කිච වෙන්න... තමුසෙට ඕනි නං තමුසෙම ගිහිං දෙනවකො- අපට කියන්නේ.” එකා දෙන්නා නක්කල් හිනා පාති.
“මට බැහැ කියලද හිතන්නේ?” අග්ගලා ගුළි ටිකත් අරගෙන මම ඒ පිරිස වෙත යන්නට පිය ඔසවමි.
“ඔන්න දිසානායකත් නාගන්නයි හදන්නේ!” හඬ අඩුවෙන් කිව්වේ නෙවිල් වෙන්නැති!

“අග්ගලා ටිකක් දෙන්නං...” මගේ ප්‍රශ්නයට ලැබුණු ප්‍රතිචාර බෙහෙවින් උණුසුම්ය.
“නියමයිනෙ මාමේ... මෙච්චර? මාමලාගේ කට්ටියේ නේද අර foto ගත්තු මල්ලී ඉන්නේ. ගෙදර ගියාම- එයාට මතක් කරනවද මාමේ ඒ ෆොටෝස් internet එකට දාන්න.” ඒ කිව්වේ පසිඳු ගැනයි. “හා,මම කියන්නං!”

ඔයාලා ඉස්සර වෙලා ගිහිං කුරුලු විල්ලුවේ...      

‘මම කියන්නං’ කිව්වාට මොකද, ඒ වෙද්දී මං හිටියේ ‘පාන්’ කියා ගන්නටවත් බැරි තරමේ වෙහෙසකිනි. අප සේරටම වඩා සමන්තිත් දැඩි උණුසුමෙන් හෙම්බත් වෙලාය. “ප්‍රියන්ත, ඔයාලා ඉස්සර වෙලා ගිහිං කුරුලු විල්ලුවේ Bird Watching කුලුන ළඟ නැවතිලා වතුර ටිකක් උණු කරනවද... අපි ටිකක් හෙමින් එන්නං.”

හෙමින් ගියේ පීරිස්, තමීර, නමී හා මං වහන්සේයි. මං නම් හෙමින් ගියා කිව්වත් වැරදිය. වඩාත් සුදුසු ‘ඔහෙ යැවුණා’ කියන එකය. හීන් සීරුවේ ගාටමින් අප කුරුලු විල්ලුවට යනකොට අපේ වතුර සාස්පාන ගොජ දමමින්; උතුරමින් තිබිණි.

“නිමල් අයියේ, බතල තම්බපුවා කමුද? ටිකක් බඩගිනියි.”
එහෙම කාලාත්, බතල බාල්දියෙනුත් තුනෙන් පංගුවක්ම ඉතිරිය.
“අග්ගලා මාමේ. කඩල ටිකක් දෙන්නද?” අතරමඟ ස්නානය කරමින් හිටි නඩේ කෙනෙක් සුහදත්වයේ දෑත දිගු කරයි. එයාලා කඩල තම්බලා ගෙනවිත් තිබ්බේ පොල්, ලුණුමිරිස් මොකුත්ම නැතිවය.

“එහෙනං මේ පොල් දාපු බතලත් ගන්න කලවමට. ලුණුමිරිසුත් තියෙනවා.” දමිළ ගමන්කරුවෙකුටත් බතල පිඟානක් බෙදාදුන් ප්‍රියන්ත කියයි. “Tea or Coffee?” ඒ අස්සේ Sam අහයි.

ඊට පස්සේ ආයෙමත් අපේ නඩය දෙකඩ වෙයි!
“අපි කට්ටිය ඉස්සර වෙලා ගිහිං හොඳ තැනක් අල්ලා ගන්නං. දර ටිකකුත් එකතු කරන්නං!” ඒ අතින් බලද්දී අප කොතරම් ආත්මාර්ථකාමීද? දැන් බෝධිසත්ත කතා කියන නසරානි නිමල් දිසානායකයා පාද යාත්‍රා ගමන් වතාවකදී හොඳටෝම
ආත්මාර්ථකාමී වෙච්චි හැටි ගැන මීට කලින් පාපෝච්ඡාරණය කෙරුවා මතකය.
මිනිස්කමේ හැටි එහෙමය; මනුස්ස සොබාව ඒකය. වැඩි දෙනෙකුම හිතන්නේ තම-තමන්ගේ සැප පහසුව; වාසිය ගැන විතරකි!

‘...ගිනි පිඹිනා වින කරනා මුදලින් නුඹට පඬුරු ලා
හෙණ වදිනා පව් කරලා රහසින් ලොවක් රවටලා
දැන් එන්නේ නුඹගේ සෙත පතලා...’

à ඊළඟ කොටසට...

Saturday, June 24, 2023

හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස

“හරි හරි... මම ඉල්ලන වෙලාවට කිරි තේයි, කෝපියි නොදී හිටියොත් බලමුකෝ, මෙච්චර ගොඩක් ගෙනිහිල්ලත්...- මේ සැරේ තමයි මම එකෙක්ව බාවන්නේ!

උඹලා කතරගම දෙවි හා..මු..දු..රු..වොන්ගේ පිහිටෙන් එහාට එනකොට...

ඒ තර්ජනයට බයේ හෙම නොවෙතත්, ප්‍රියන්තත්- අපේ සමන්තිත් දෙන්නා පොඩි ඉඩක්වත් ලැබුණු හැම වෙලාවකම තේ හෝ කෝපි හදලා දෙන්නට සූදානමින්ය, හිටියේ. ‘Anyone need coffee?’ ප්‍රශ්නය තිස්ස දෙවේලේම සමන්තිගේ මුවගේ රැව් දෙමින් තිබ්බේය. “ඇයි බං එකම පවුලේ අය වෙලත් Sam වගේ වෙන්න බැරි එයාලගෙ ලොකු අයියට?” අයස්මන්ත කීප සැරයක්ම නෙවිල් අනුරසිරිවත් හවුල් කරගෙන මාව අවුස්සන්නට හැදුවේය.

“එ..යා මේ කපේ..දී වෙනස් වෙන කෙනෙක් නෙවෙයි මචං. එයාට හිතුණොත් විතරයි තේ හදන්නේ. එහෙම කරන්නෙත් ඉක්මනට අපිව ගෙදරින් එළවන්න ඕනි වුණාමයි.”

මර්විනුත් හිටියා නං ඔහොම වෙලාවට අර ගොල්ලන්ට sup එක දෙන්නේ උඩ පනිමිනි. එහෙම ‘හිටියා නං’ කියලා කිව්වේ අන්තිම මොහොතේ මර්වින්ට පාද යාත්‍රා ගමන නොඑන තැනට කරුණු යෙදුණු බැවිනි. ඒ යක්ෂ පැටියා ‘ඒ දුක්මුසු ආරංචිය’ අන්තිම විනාඩිය තෙක්ම අපෙන් හංගාගෙනත් හිටියේය.

බඩු මලු ඇසිරීමටත් හවුල් වුණු මර්වින් හොරගල් අහුලමිනි, දිගටෝම හිඳ තිබ්බේ. ඒ ඉඳිල්ල නවතන්නට වුණේ පීරිස්ගේ හෙළිදරව්ව නිසාය. “යකෝ, උඹ අර පණිවිඩේ මෙයාලට කියන්නේ හෙට දවල් අපි පිටත් වුණාට පස්සෙද?”

“නෑ නෑ පීරා! දැන් කියන්නයි යන්නෙ... උඹලා මට සමා වෙන්න ඕනි මචංලා. මට මේ සැරේ ඔයාලත් එක්ක පාද යාත්‍රාවේ එන්න වෙන්නෙ නෑ.”
“ඒ මොකද මචං?” / “හෑ?” / “එහෙනං තමුසෙ අපි ප්‍රැක්ටිස් වෙන්න ඇවිදිද්දීත් ආවේ...” / “ඒ විතරක් නෙවෙයි, මුරුතැන් පූජාවට, අනිත් පූජාවලට ඕනි කරන බඩු එහෙමත් ලැහැස්ති කළේ...”

“ඒවා සේරම කළා තමයි යකුනෙ, ගමන යන්නම හිතාගෙන හිටිය නිසා... ඒත්... අපේ ලලිතට සනීප නෑ. කකුල් දෙකත් ඉදිමිලා. අපේ මාධවටත් office එකේ ගමනක් යන්න වෙලා. ඉතිං ලලිතව විතරක් තනියම ගෙදර දාලා එන්නයැ බං... ඒත් පීරා, මම බස් එකේ කතරගමට ඇවිත් ඉන්නං- උඹලා කතරගම දෙවි හා..මු..දු..රු..වොන්ගේ පිහිටෙන් එහාට එනකොට.”

කතරගම දෙවියන්නාන්සේත් ටිකක් හරි අසාධාරණයි වගේය. අපේ ගමන් නඩයේ ලොකුම දේව භක්තික ‘දේවාල මාමා’ට මෙහෙම වෙන්නට ඉඩ හැරීම අයුතු දෙයකි. “ඉතිං මනුස්සයො, තමුසෙලා ගෙදර වැඩට එන ගෑනු කෙනාව හරි ගෙදර නවත්තගන්න බැරිද?”
“එහෙම බෑ බං! එක දිගට දවස් පහ-හයක්නේ...”

මේ වෙද්දී ඒ ගවේෂකයන් අවාසනාවන්ත විදිහට මිය ගිහින්ය කියලා තීන්දුවකට ඇවිත්ය.

ඔහොම වෙලාවට අප්පරසිද්දියේ කියවෙන කතාවල් දෙයියන්ට වුණත් නෑහෙන තරම් රහසෙන්; හෙමින්ය කියවෙන්නේ. “හුඟක් දෙවිවරු වුණත් ගෙදර අම්මණ්ඩිට යටයිනෙ මචං.” / “අනෙක මචං මූ කතරගම දෙයියන්ගෙ වාහනෙත් මොන්ටෙරෝ එකක හප්පපු එකානේ. ඒකට තමයි දෙයියෝ ඔය තමුසෙට දඬුවම් කළේ!” / “එහෙමත්ම නෙවෙයි ළමයි. සමහර වෙලාවට දෙයියෝ වුණත් අහක බලනවා- වෙලාව නරක නං.”

මේ නම් එහෙම නරක වෙලාවක් වෙන්නැතිය!

“ප්‍රසිද්ධ ටයිටැනික් නැවේ මුහුදු පතුලේ සුන්බුන් නැරඹීමට හා ගවේෂණය කිරීමට පුද්ගලයින් පස් දෙනෙකු සමඟ අත්ලාන්තික් සාගරයේ පතුලට ගිය ගිල්විය හැකි සංචාරක නෞකාවක් දින දෙකකට ආසන්න කාලයක් අතුරුදන්ව තිබෙන අතර මෙය සොයා යාමේ මෙහෙයුම් තවමත් ක්‍රියාත්මකය. (මං මේ post එක ලියා අහවර වෙද්දී ඒ ගවේෂකයන් අවාසනාවන්ත විදිහට මිය ගිහින්ය කියලා තීන්දුවකට ඇවිත්ය.)
මෙහි ගමන් කළ බ්‍රිතාන්‍ය ප්‍රකෝටිපති ගවේෂක හමිෂ් හාඩින්, කීර්තිමත් ප්‍රංශ කිමිදුම්කරුවෙකු වන පෝල්-හෙන්රි නර්ජොලට් සහ පකිස්ථාන ව්‍යාපාරික ෂාසාදා ඩාවුඩ් සහ ඔහුගේ 19 හැවිරිදි පුත් සුලෙයිමාන් ඩාවුඩ් යන අය මෙන්ම OceanGate Expeditions හි නිර්මාතෘ ස්ටොක්ටන් රෂ් යන පස්දෙනා ගැන තවම කිසිදු තොරතුරක් නැත.

කැනේඩියානු පර්යේෂණ යාත්‍රාවක් වන Polar Prince නමැති ආධාරක යාත්‍රාව සමඟ ඉරිදා (ජූනි 18) උදෑසන ටයිටන් නමැති ගිල්වන නෞකාව ජලයෙන් යටට ගියේය. පැයකුත් විනාඩි 45කට පමණ පසු ටයිටන් නෞකාව ධ්‍රැවීය ප්‍රින්ස් සමඟ සම්බන්ධතා නැති කර ගත් බව බලධාරීහු පවසති.

Titan නෞකාව දින හතරක හදිසි ඔක්සිජන් සැපයුමකින් සමන්විත වේ.
OceanGate
ටයිටැනික් සුන්බුන් නැරඹීම සඳහා දින අටක මෙහෙයුම් සඳහා එක් පුද්ගලයෙකුට ඩොලර් 250,000ක් අය කරයි.’

ඒ ගණන් හිලවු ටක්කෙටම හරි නං, අර ධනපති ගවේෂකයන් ‘ඉල්ලාගෙන කාලා’ තියෙන්නේ ඩොලර් දෙලක්ෂ පනස්දාහ ගණනේ තම-තමන්ගේ අතින් සල්ලිත් ගෙවලයි.

පාද යාත්‍රාවේ යන පිරිසත් එහෙම යන්නේ තම-තමන්ගේ ධනව්‍යයෙනි. මේ වතාවේ නම් අපේ මුදලින් නඩත්තු වෙන පින්බර දේව භක්තික දේශපාලඥයෙකුත් එතුමාගේ අන්තේවාසිකයන් පිරිවරාගෙන පාද යාත්‍රාවේ යෙදුණේය. කළ පින් ඇති උන්නාන්සේ අනෙක් පා ගමන්කරුවන් වගේ දස වද වින්දේ නැත; හෝහපුටුවන්ගෙන්- මදුරුවන්ගෙන්- කිනිතුල්ලන්ගෙන් පහර කෑවේ නැත.
ඒ එතුමන් වෙනුවෙන් අටවා තිබුණු කූඩාරම්වල සුවපහසු යහනාවන් මදුරු දැල්වලිනුත් ආවරණය කර තිබුණු බැවිනි.

අර සුකුමාර දේහයන්ට තද අව්ව ඔරොත්තු නොදෙන නිසා...

මගේ දැනුමේ හැටියට එතුමන් මේ පා ගමනේ යෙදෙද්දී ආරස්සාවට සහපිරිවර ආරක්ෂකයනුත් පිරිවරාගෙන සිටියේය. පයින් ගමනේ යෙදුණු ඒ ආරක්ෂකයන් අතරේ, නියමිත කාලාන්තරයක් ඇතිව- තාලයකට අනුව ‘හරෝහරා’ කියන්නෙකු පවා හිටි බවය, අපට දුටුවේ!

හත්වලාමේ, එහෙම ආරක්ෂක විධිවිධාන යොදා නොතිබ්බා නම්...
සකල ශ්‍රී ලාංකිකයන්ම ශෝකයෙන් ආතුර වෙන්නට වුණත් ඉඩ තිබිණි. හත්තිලව්වට ගහපු කලාබරේ වගේ එහෙම වුණා නං...

පොත්තන කලපුව අසලදී- ළිං තුනට යන පාර අයිනේදී අසරණ බැතිමතියක ඝාතනය කළ මිනීමරු අලියා අරුන්නාන්සේට වුණත් පහර දෙන්නට ඉඩ තිබ්බේය. ඒ සිද්දියෙන් බය වුණු නිසාද, නැත්තං අර සුකුමාර දේහයන්ට තද අව්ව ඔරොත්තු නොදෙන නිසා වාහනවලින්ම පාද යාත්‍රාවේ වැඩිය නිසාද මන්දා දෙවෙනි දවසෙන් පස්සේ මම නං එයාලාව නොදැක්කෙමි.

“තමුසෙ නොදැක්කට කමක් නෑ, නිමලෝ. උන්නැහේ කතරගම දේවාලෙට ගෙඩි පූජාවක් එහෙමත් කළා, අපේ පූජාව  තියපු දවසෙම.”
“ඉතිං හලෝ, ඔහෙලත් ගෙඩි පූජාවක් නේද තිබ්බේ...”
“උඹ දන්නෑ... දේවාලේ ඇතුළේ මාර කලබලේ වුණේ. අර මනුස්සයා දේවාලේ ඇතුළේ බිම පෙරළිලා වැන්දා කියපංකො. දේවාලෙ ඇතුළේ හෙණට සෙනඟත් තෙරපි- තෙරපි හිටියේ. මේ! කලබලේ අස්සේ අපට ආපහු දුන්නේ එයාලගේ පූජා වට්ටිය. එයාලට දෙන්න ඇත්තේ අපේ එක...”

(අතුරු කතා අඩුකොට ගමනේ විස්තර වැඩියෙන් කියන්නැයි හිතාදර පාඨක විජේබාහු මහත්තයා ඉල්ලීමකුත් කර තිබුණත්- මේවා නොකියාත් බැරිය. අර දේවාලයේ බිම පෙරළි-පෙරළී වැඳුම් පිදූ උතුමාණන්ට හැරෙන තැපෑලෙන්ම දේවාශීර්වාදය ලැබී; වාසනාව පළ දී තිබිණි. තිබ්බාට වඩා උසස් තානාන්තරයක්...)

2023 ජුනි 15 වෙනිදා හවස හයාමාරට කතරගම දේවාලයේ පැවැත්වුණු පූජාවට රොක් වෙන බැතිමතුන් අස්සේ හිර වෙන්නට නොගිහිංය, මං වහන්සේ හිටියේ. ඒ නිසා මට ඒ දේශපාලතුමාගේ වන්දනය දැක ගන්නට ඉඩ ලැබුණේ නැත. ඒත් එතැන සිදු වුණු දේ අඩු නැතිවම අපේ ගමන් සගයන්ගෙන් අපටත් දැන ගන්නට ලැබිණි.
දේවාලය ඇතුළට ගියේ අපේ නඩයේ ලොකුම බැතිමතුන් තිදෙනාත්, පසිඳුත්, තමිරත් විතරකි.
නෙවිලුත්, නමීත් මාත් එක්කම වාඩිවී උන්හ. Samට දේවාල බිමේ සරන බැතිමතුන්ගේ අසිරි බලා ගන්නවාට වැඩි දෙයක් නොතිබිණි.

එහෙම නේන්නං. වැඩක් බාර දුන්නම හරියට පිළිවෙලට කරන්න ඕනිනේ!

“බලනවා නමී. තමිරත් ‘වෙන්ඩ කපු උන්නැහේ’ කෙනෙක් වෙලා. ගෙදරදී වෙනම හින්දලා ගත්තු පොල්තෙල් එහෙමත් පූජාවට අරගෙනයි ආවේ. දැක්කනෙ... අදත් දේවාල මාමා පස්සෙන්මයි. ආන්න ආදර්ශෙට ගන්නවා නං මිනිස්සු!”

“එහෙනං ඔබතුමා මේ bag එකත් අරගෙන එයාගෙ පස්සෙන් යනවද, මටත් ටිකක් මෙහෙන් වාඩි වෙලා rest කරන්න.” තමිරත් හිටි ගමන් පෙරළා පහර එල්ල කරයි.
“මං? මේ ඉන්නේ නමී... මෙයාට දීහං.” එදා පොටේ තව කෙනෙකුත් කතාවට ඇද ගැනෙයි.
“අම්මො අම්මෝ! ගිය වතාවේ මට දුම් කබල අමතක වුණා මතකයිනෙ. අනේ තමීර, මට බෑ...” අවුරුද්දක් තිස්සෙම සිහි ගන්වන කතන්දර අහලා නමිනං උන්නැහෙට ඇති වෙලා වගෙය.

“එහෙම නේන්නං. වැඩක් බාර දුන්නම හරියට පිළිවෙලට කරන්න ඕනිනේ...”

හරියට පිළිවෙලට?
Blog ලිපි ලිවීමෙදී මගෙන් කෙරෙන්නේ නැත්තෙත් ඒකමය. හොඳම උදාහරණය උඩින් ඇති විස්තරයයි. 15 වෙනිදා පූජාව පැවැත්වුණේ අපේ පාද යාත්‍රා ගමනේ අවසාන අදියර විදිහටයි. ගමන පටන් ගත් හරියවත් නොලියාය, මං වහන්සේ ඉස්සරහට පැන තියෙන්නේ.

ඒ හින්දා ඔන්න යනවා 11 උදේට.

10 වෙනිදා රාත්‍රියේ හම්බන්තොට නවාතැන් අරගෙන හිටි අපි උදෙන්ම ගියේ දෙබරවැව කොඩි(කාර) මිසීලාගේ ගෙදරට. ගිය අවුරුද්දෙත් අපිට උදේ කෑම හැදුවේ එහෙ. ඉස්සෙල්ලම පර්සිගෙන් තැඹිලි පූජාවක් අපි වහන්සේලාට. ඊළඟට උදේ කෑම. Fully වෙජිටේරියන්!
කෑම කොච්චර හදලද කියන්න හොඳම මීටරේ තමයි, කොඩි මිසී- නැන්දම්මවත්; පර්සිගේ අම්මාවත් ගෙන්නාගෙන තිබීම. කොඩි අක්කල නංගිලා එක්ක උයන අතරේ ප්‍රියන්ත ඒ පැත්තට ආවෙවත් නෑ.

“ප්‍රියන්ත ඇඳුම් pack කරනවද?”
“නෑ අයියේ. එයා ඔයාලට ගෙනියන්න දවල්ට කෑම උයනවා.”

“එහෙනං දවල්ට විතරක් නෙවෙයි, රෑටත් ඇති තරමට තමයි උයනව ඇත්තේ! අනේ නංගි- ප්‍රියන්තට මතක් කරන්න... ගිය සැරෙත් කෑම ගොඩක් අහක දාන්න වෙච්චි විත්තිය, රෑටත් කෑවට පස්සේ.”
“මෙයා හම්බන්තොට මිනිස්සුන්ගෙ හැටි තවම දන්නෙ නෑ! යුෂ්මතා එපැයි කිව්වට වැඩක් නෑ. මෙහෙ මිනිස්සුන්ගේ හිතට මදි අමුත්තන්ගේ බඩ පැළෙන්න කන්න නොදුන්නොත්. එකට බාධා නොකර පාඩුවේ ඉන්නවා නිමල් අයියේ...” දිග කාලයක් හම්බන්තොටම හිටි පීරිසුත් එහෙ ගති-සොබා හඳුනාගෙනය.

මේ වතාවෙත්...

“මම ඔබතුමාගෙන් ඇහුවනේ, මෙහෙන් දවල්ට කෑම හරි ගස්සනවද කියලා. කොහෙද? කිව්වද, හංගන් හිටියා...” මගෙන් නෝක්කාඩුවක්...

පීරිස් රඟයි. “ඒවා සර්ප්‍රයිස්!”

Surprise තමා! මතක ඇතිවම ගෙනියන්න පටව ගත්තු හාල් කිලෝ තුනක් ආපහු යවන්න ඕනි. වේල් දෙකක්ම උයන්න ඕනේ නැති වෙන විදිහනේ. තව මොන මොනවා හදනවාද- දෙනවාද කියලා අහන්නත් බැරිය. මං හැදූ කෑම සැලැස්ම වෙනස් කළත්, ගෙනියන්නට අරගෙන ආ බඩු?

“Doctor, මෙහෙ පන්සලේ හාල් කිරි දානයක් දෙනවා ගමේ අයට. යාළුවෙක් call කළා, ගෙනියන්න එන්නයි කියලා. ගේන්නද?” තැඹිලි කෝම්බ එකතු කරන අතරේ පර්සි අහයි.
“හාල් කිරි?”
“ඔව් නෙවිල් අයියේ, අර අම්මාවරුන්ගේ දානවලට හදන්නේ.”
“ආ... කිරියා! අපේ පැත්තෙ ඒවාට කියන්නේ කිරියා කියලනෙ...”

ඉතිං, කොඩි මිසීලාගේ අංග සම්පූර්ණ උදේ කෑම මේසයට ‘හාල් කිරි’ත් එකතු වුණේය! ඒවා ඔක්කොම රස වින්දාට පස්සේ...
අපට අතරමඟදී පාවිච්චියට ගන්නට අඹ- බිලින්- පොළොස්- පරිප්පු වෑන්ජනත්, අළුකෙසෙල්- හා මිශ්‍ර බැදුම් වර්ග දෙකකුත්, අච්චාරුත්, කොස් මදුළු තැම්බුමකුත්, තඩි බත් බාල්දියකුත් අපට ගෙනියන්නට ලැබිණි!

“නිමල් අයියෙ, අපේ අම්මත් පොල්කිරි නොදා අලකොළ මාළුවක් හදල දුන්නා. ඒකත් නරක් වෙයිද?” ඒ අස්සේ තමිරත් මට කොඳුරයි.

බත් ඇති තැනටම කොසුත් හම්බ වෙයි!
මේ වතාවෙත් උස්සාගෙන යන දේවල්වලින් වැඩි හරියක් පොරෝජනයට ගන්නට නොවෙන පාටය. දැන් ආයෙමත් ඒවා ගණන් බලන්නද... ඒ වගෙමයිනෙ, කවුද දන්නේ මොනවා වෙයිද කියලා... යනකොටම තමයි තේරෙන්නෙ... කොච්චර දත කෑවත් ‘පළමුවෙනි වතාවේ
කැබලිත්ත දේවාලයට ගිය ගමනේදී සිද්ද වුණු පරක්කුව’, ‘වල් දඹල බූව ගෑවී කන්නට වුණු පරිප්පුව’ එහෙමත් මගේ හිතින් අහක් කරන්නට බැරිය. ගිනි පෙනෙල්ලෙන් බැට කෑ එකා කණාමැදිරි එළියටත් බය වෙන කතන්දරේ ඇත්තනෙ ඉතිං!

ඊට පස්සේ කෙලින්ම පානමටය. කකුල් දෙකේ හිරි ඇර ගන්නට ඉඩක් ලැබුණේ අරුගම්බේදී plain tea එකක් බොන්නට ගියාම විතරය.

‘ගොඩාරියක් දේවල්වලදී මනු සතාගේත් අනිත් සතුන්ගේත් වෙනසක් නැති හැටි. ඒ හැමෝම අලුත් තැනකට හොම්බ දමන්නේ චකිතයකිනි. ලගින්නට; රිංගන්නට කැමති පුරුදු තැනකටමය.’ මට එහෙම හිතුණේ, “අර තියෙන්නේ... ගිය  සැරේ අපි තේ බීපු අර කඩේටම යමු.”යි යෝජනා වුණාමය.

ඉතිං, ඒ තේ කඩේ තිබ්බ අරුගම්බේ නගරය අපට නොපෙනී ගියේ එයින් පැය බාගයකට විතර පසුවයි.

ඔහොම කිව්වට නිස්සද්දවම ඉන්නෙත් නෑ... තව ටිකකින් අපිට කියයි.

පානමදීත් පුරුදු විදිහටම ‘ශ්‍රී ගණදෙවි දේවාලය’ට ගිහිං, වන්දනා කර- තින්නෝරු තිලක තියාගෙන, සමන්ති නංගීට ආඬියා ළිඳත් පෙන්නුවෙමු.

“ඔයාලා කොහෙද?” මම එතනම හිටි සිංහල නඩයක හාදයෙකු හා සල්ලාපයට වැටුණෙමි. මං ඒ කෙටි කතාබහ හමාර වී වාහනයට එනවිටත් අපේ යක්ෂ පැටවුන් අවි අමෝරාගෙනය.
“හරි, හරි. අද රෑට කන්න දෙන්න කට්ටියක් හොයා ගත්තා.” / “ඔන්න බලන්න සමන්ති නංගී, දැන් ඉතිං ඔයාලගේ ලොකු අයිය අපිට මෙහෙමයි  සලකන්නේ.” අයස්මන්ත දෑතේ ඇඟිලි කතිරයක්සේ ගටා පෙන්නමින් කියයි. / “නමියෝ, නිදිගෙන් අහනවා එයාලගෙ ටෙලිෆෝන් නොම්මරත් ඉල්ලගත්තා නේද කියලා.”

“තමුසෙලා ඕනි මඟුලක් කියා ගන්නවා. ඒ මිනිස්සු ගැන මම තමුසෙලටත් කියන්නයි හැදුවේ... ඔන්න බලනවා. මං එක වචනයක් කියන්නෑ!” මං හිතුවා ටක්කෙටම හරිය. බොරු තරහක් මවාගෙන මං කියුවාට පස්සේ ඇවිටිලි ගොඩක් ඉදිරිපත් වෙයි.

“නෑ, නෑ. දිසානායක. එහෙමමත් කරන්න එපා, ඉතිං.” / “ඔයාට විහිළුවක්වත් තේරෙන්නෑනෙ.” / “නෑ මචං, නිමල් අයිය ඔහොම කිව්වට නිස්සද්දවම ඉන්නෙත් නෑ... තව ටිකකින් අපිට කියයි.” / “පොරට ඔය හිතේ හංගගෙන ඉන්න දේවල් නැහැනේ.”
ඔහොම කියද්දී හිනා නොවී හිටිතෑකිද?
“ඉතිං ඉතිං නිමල් අයියේ?”

“තමීර, එයාලත් රත්නපුරේ.” රත්නපුරයෙකු වෙන තමිරත් ඉතිරි හරිය අහගන්නට එබෙයි.

“කිරිඇල්ලේ... මං කතා කරපු හාදයාගේ දෙවෙනි සැරේ මේ. අනිත් කට්ටිය කෝඩුලා...” නෝක්කාඩු කතන්දර අමතක වෙන මගෙන් සේරෝම විස්තර කියවෙයි. ගිරවෙකු වුණු මගේ ගොන්කම මටම තේරෙන්නේ ඊළඟ මොහොතේදීය.

“මම උඹට රහසෙන් කිව්වා හරි නේද මචං, නිමල් දිසානායකට පුළුවන්ද බං එක විනාඩි පහක් කට වහගෙන ඉන්න? බෑ! බෑ බෑ බෑ!!”
“අහපල්ලකො බලන්න අයෙමත් හෙම මොනවත්... මේ දිසානායකගෙන්...”
ඇත්තක්ම කියමි. අප එකතුව ගත කරන හැම මොහොතක්ම රසබර වෙන්නේ මෙහෙම ‘
ප්‍රණය කලහ’යන් නිසාවෙනි.

“අම්මෝ ලොකූ. හරිම dry zone එකක්නේ... dust එක ඇවිස්සෙන හැටි!”
“Sam, මේ තවම පටන් ගත්තා විතරයි. පානම ඉඳලා ඔකඳ
දේවාලෙට කිලෝ මීටර් 20ක් යන්න තියෙනවා.” අයස්මන්ත මහත්තයා සමන්තිට එහෙම උත්තර දෙද්දී තරමක අඩු වේගයකින් පැදවෙන අපේ වාහනයත්- දමිළ නඩයක් දූවිල්ලෙන් නහවයි.

... ෆැෂනබල් ගතිය අඩුයි. 

“අනේ පව් doctor. ඒ මිනිස්සු මේ දුරත් පයින්මද යන්නෙ?”

“සෑම්, ඔය ගොඩක් දෙනා එන්නෙ යාපනේ ඉඳලා... 45 days වෙනවා එයාලගේ ගමන පටන් අරං... මේ ටිකත් යන එක එයාලට nothing.”

“මේ සැරේ සෑහෙන්න සිංහල අය පාද යාත්‍රාවේ යනවා වගෙයි.”
“ඒකනෙ මචං, මාත් බැලුවේ.”
“ඔයාලා කොහොමද සිංහල අයව අඳුරගන්නේ හරියටම?”
“වැඩියත්ම නංගී, ඇඳුම්වලින්. එයාලගේ ඇඳුම් වැඩි හරියක් හරි colourfull! අනෙක බඩු බෑග්ස්... ඒ මිනිස්සුන්ගෙ ෆැෂනබල් ගතිය අඩුයි. ඔයා දන්නවද ඔය විදිහට සරම් ඇඳල බඩු මලු ඔලුවේ තියාගෙන එන අය අතරේ ලොකු jobs කරන මිනිස්සුත් ඉන්නවා. ඒ සේරමලා දැන් එයාලගෙ status ඔක්කොම අමතක කරලයි ඉන්නේ.”

“Just pilgrims?”
“Exactly!”
à ඊළඟ කොටසට.