අකුරු මැකී නෑ

Thursday, July 13, 2023

හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස

හො..ඳ වුණාට මේ කැලේ කො..හෙ..න්ද මි..නි..හො ස..රු..වත්?” නෙවිල් අනුරසිරි කෙඳිරි ගාමින් කොඳුරයි.

අතන දන්සලෙන් අපි බිව්වනේ... පට්ට රහයි!
පලයන් බං බොරු නොකියා...
ඒ නමී... කියනවකො, ඒක බොරුද කියලා.

ගඟක් හෝ ඇල්ලක් හෝ වෙන්නට බැරුව ඇල වෙලා හිටි...

ගඟක් හෝ ඇල්ලක් හෝ වෙන්නට බැරුව මහන්සියෙන් ඇල වෙලා හිටි නමී කට ඇරියේ එතකොටය. “ඇත්ත ඇත්ත නෙවිල්. සරුවත් දෙනව තමයි. ආමි එකෙන්...”

“එහෙනං පසිඳු, හොඳ එකා වගෙ ගිහිං අපටත් සරුවත් එකක් ගෙනෙංකො පුතේ...”
“අනේ මට නං ආයෙම යන්න බෑ, නෙවිල් අංකල්. අපි දැන් ටිකකට කලින්නෙ එතනින් සරුවත් බීලා ආවේ!”
“හරි. එතන cctv හයි කරල නැහැනේ කොල්ලෝ. අනේ නමියෝ, මේ පසිඳුත් එක්ක ගිහිං වරෙන්කො හොඳ එකා වගේ... බෝතලේකට ඉල්ල ගනිල්ලා- නැඟිටගන්න අමාරු ලෙඩ්ඩු දෙතුන්-දෙනෙකුට දෙන්නය කියලා. ඕනි නං ලෙඩාගෙ නමත් කියහං නිමල් දිසානායක කියලා.”

හමුදාවෙන් ඒ ප්‍රනීත සරුවත් දන්සල පවත්වන්නට ඇත්තේ පාද යාත්‍රාවේ පැමිණි දේශපාලක උත්තමයාට ‘දර්ශනය වීම’ පිණිසම වෙන්නටත් ඉඩ තිබේ! සිරි ලංකාවේ දර්ශන එහෙමය...

පසුගිය කොටසට comment එකක් එවමින්, ඒ අපූරු දන්සල පිළිබඳව නමී උන්නැහේ මෙලෙස කියා තිබිණි.
‘සරුවත් දන්සල නම් පංකාදු පහයි. හැබැයි උන්දල වැඩි පිරිසකට ගණන් තියාගෙන නෑ. වේලපහ ඉවර උනා. මට මතත හැටියට ඩොක්ට
, තමීර දෙන්නට සරුවත් ලැබුනෙත් දෙනෙත් මල්ලිල බෝතලේකට ගත්ත එව්වගෙන්.’

ඇත්තය! නමීලා බෝතලයකට අරගෙන ආ ඒ රසබර සරුවත්ය අප රස බැලුවේ. එව්වාට යහමින් අයිස් කැටත්, කස-කසා ඇටත් දමා තිබිණි. කොලිටියත් ටොපේ topය.

අදහස්වලට copy රයිට්ස් ගන්නට පුළුවනිද?
එහෙම ඇහුවේ කෝපි රයිට්ස්වත් ඉල්ලන්නට හෙම නොවේ. පුංචි පහේ පුරසාරමක් කියා පාන්නටය. 2019 අවුරුද්දේ සැප්තැම්බරයේදී ‘
හරෝහරා! අටවෙනි කොටස’ ලියමින් මේ නිමල් දිසානායක භවතාණෝ මෙසේ  සනිටුහන් කර තිබුණාහ.
‘... කස-කසා තියෙනවා. (කස-කසා තියෙනවා නං හොඳනෙ
, නේද. ඒවාත් දමලා බොමුකෝ හොඳ සරුවත් එකක්!)
සහතිකයි, මෙන්න දානපති උත්තමයෙකුට හරි උත්තමාවියකට හරි නියම idea එකක්. දෙන්නකෝ, පාද යාත්‍රාවේ යන අයට හොඳ සරුවත් දන්සලක්!’

“මෙන්න නිමල් අයියේ, අර බත් දන්සලෙන් මං කෑම එකක් ගෙනාවා...” ප්‍රියන්ත තවත් දන්සලක් ගැන කියයි.

“බත් දන්සල open කළාද?”
“දැනුයි පටන් ගත්තේ. එළවලු බිරියානි... නියමයි. මම එකක් කාලා ඔහෙටත් එකක් ගෙනාවේ. නංගිටත් දෙන්න තරමට බත් එක ගොඩයි...”

“හෙණ ලොකු බත් එකක්නෙ. සෑම්ට විතරක් නෙවෙයි, අපි තුන් හතර දෙනෙකුටම ඇති...”
“නමී... යං, බත් එකක් කාලා doctorටයි, තමිරටයි දෙන්නටත් බත් දෙකක් ගෙනත් තියමු.” ප්‍රියන්තට මහන්සි නොදැනෙනවා වගේය.
“චුට්ටක් ඉන්න බලන්න ප්‍රියන්ත. මේක කොලිටිද කියලා...” මගේ කුඩා ගමන් මල්ලෙන් තේ හැන්ද හොයන අතරේය, මං කිව්වේ.
“ආයේ ඒකෙ බලන්න දෙයක් නෑ. සුපිරි.”

මවකගේ යෝනි මඟ ඔස්සේ නොව- මහබඹාගේ මුවෙන් මෙලොව එළිය දුටු බ්‍රාහ්මණ වංශිකයන් වෙන්නට ගිය නෙවිල්ටත්, තමිරටත්...

එයා කිව්වා හරිය. ගිය වතාවේ කෑමවලට වඩා රසවත්ය; පෙනුමය! ප්‍රියන්ත පළමුවෙන් ගෙනා බත් එකෙන්ම කටවල් දෙක-තුන බැගින් වැළඳූ අපේ ඇත්තෝත් මගේ මතයට එකඟ වූහ.

“කොහොමද චිකන් පලුවකුයි බිත්තරේකුයිත් තිබ්බ නං...” ඒ එක්කම නව අදහසකුත්...
“ඕයි! ලද දෙයින් සතුටු වෙන්න පුරුදු වෙනවා... අපි මේ දවස්වල පේ වෙලා කියල මතක නැද්ද?”

අපේ වාදය අස්සේ ප්‍රියන්ත වතුර බෝතල් තොගයක්; case එක පිටින්ම උස්සා ගෙන එයි.
“නදීක ගෙස්ට් එකේ වාහනෙන්... එයාලා රුපියල් 60,000/-ක වතුර බෝතල් ගෙනැත්, ළිං තුනේදී බෙදන්න...”
“නදීක ගෙස්ට් කිව්වේ අපි ගිය සැරේ නැවතිලා හිටි තැන නේද?”
“දිසානායක, පීරා මට කිව්වා- මේ සැරෙත් අපිට එතනම බුක් කළයි කියලා.”

“පීරිස්ල කතරගම ආවොත් නවතින්නෙම එතැනනෙ!”

“ඒ කට්ටිය අපට බත් පාර්සල් වගයකුත් ඔතාගෙන ඇවිත්. අපරාදේ! පැය ගාණක් අව්වේ තිබිලා රස්නෙට ඒවා නං දැන් නරක් වෙලත් ඇතිලු. දොස්තර මහත්තය එනකල්නේ බලං ඉඳල තියෙන්නේ. අපි මෙහාට එන්නත් කලින් උදෙන්මලු එයාලා ආවේ...”

“අයස්මන්ත මහත්තයල එන්න නං තව සෑහෙන වෙලාවක් යයි. හෙමින් එන්නේ... ඒ මදිවට අමතර වටේකිනුත්නෙ, අද එයාලටත් එන්න වෙන්නේ.”
“මං ගිහිං එයාලට කියන්නං...” පණිවුඩය කියන්නට ගිය ප්‍රියන්ත ආපහු ආවේ තවත් වතුර කේස් එකක් උස්සා ගෙනයි.

“එයාලා දොස්තර  මහත්තයට දෙන්න වතුර කේස් තුනක් ඉතිරි කර ගෙනයි, වතුර බෝතල බෙදල තියෙන්නේ. මම අනිකත් අරං එන්නං. එයාලා යන්නයි හදන්නේ...”
එයාලා පිටත්ව ගිහිනුත් සෑහෙන වෙලාවකට පස්සෙය අයස්මන්තත්, තමිරත් ආවේ.
ඒ එනකොටත් වතුර ළිපේය. දෙනෙත්ලා ගෙනවිත් තිබුණු සරුවත් බීලා, ඒ උඩටම කෝපිත් බොන්නට අපේ පුතයා මැලි නොවුණේය.

මුලින්ම ප්‍රියන්තත්, දෙවනුව සමන්තිත්, තෙවනුව පසිඳු හා නමීත් එතනම තිබුණු විලෙන් ස්නානය කළහ. ඊළඟට මං වහන්සේය. අපි කිලිටි රෙදිත් සෝදා දැමුවෙමු.

මවකගේ යෝනි මඟ ඔස්සේ නොව- මහබඹාගේ මුවෙන් මෙලොව එළිය දුටු බ්‍රාහ්මණ වංශිකයන් වෙන්නට හිතූ නිසාදෝ නෙවිල්ටත්, තමිරටත් ඒ විලේ වතුර ‘හොඳ මදි’ වුණේය.
“... ඒක නේන්නං හලෝ. දෙපාරයි මේ වතුරේ එබුණේ, මීට වැඩිය හොඳයි කියලා අපි දෙන්නා ළිං තුනට ගියා. ඒකෙන් එක බාල්දියයි ඇඟට හලා ගත්තේ. මිස්ටර් තමිර කියපි, ඒ වතුරවල මළකඩ ගතිය වැඩියි කියල- මෙහෙටත් වඩා. කෙළවගත්තයි කියහංකො, වැඩි හොඳ හොයන්න ගිහිං. අපරාද රස්තියාදුව හලෝ!”

ඔය කතාබතා සේරම ඇවිළුණේ එදා රෑට උයන්නට...

“මොනවද හලෝ ඔය රෑට උයන්නේ?” එදා ඇඳිරි වැටෙද්දී අපේ නඩේ දෙතුන් දෙනෙකුටම තිබුණු ‘දැවෙන ප්‍රශ්නය’ ඒකය.

“ඇයි අහන්නේ?”
දෙතුන් දෙනෙක්ම ම්හුස් ම්හුස් ගාමින් ඉව අල්ලති; සුවඳ බලති. “ඇයි හුයන්නෝ, තමුසේ දවල්ට ඉව්වෙත් නෑ- එළවලු බිරියානි දන්සලේ පිහිටෙන් අපිට කන්න දීලා. කොඳු කඩාගෙන බර උස්සගෙන ඇවිල්ලත් අපිට බඩගින්නෙ ඉන්නද කියන්නේ...”

“බර? බර උස්සගෙන? ඇයි යකඩෝ, ගිය සැරේ තමුන්නැහේලට අමතක වෙලා, කිලෝ හතරක පඬුරුම උස්සගෙන ආවේ කිලෝ මීටර් සීයක්ම...  උයනකං ඉන්න බැරි තරමට බඩගිනි නං, ඔන්න Sam- මෙයාලට කෝපි එකක් හදල දෙන්නද අහන්න.”   

“පේනවනේ, අපේ ලොකූ concerns ඔයාලා ගැන. බඩගින්නෙ ඉඳල කනකොට කෑම රසයිනෙ පීරිස් අයියේ. ලොකා කියනවා අද dinner එක grand surprise එකක්ලු!” සමන්ති කතාවට පොහොර දමයි!!

“ඒ වුණාට නංගී, අපේ powers නොපෙන්නා දිගටම  ඉවසගෙන හිටියමත් මෙයා අපේ කරේ නඟිනවා... අඩෝ- මොකාල ළඟද මෙනූ එකේ කොපියක් එහෙම තියෙන්නේ... ගනියව් ඒකක් එළියට...” අයස්මන්ත ගෝරනාඩු කරන්නේ, සද්ද නැඟෙන්නට පොළොවටත් පාරක් ගසමිනි. “කෝ යකුනේ ඔය lists...”

“Doctor, නිමල් අයිය අපිට foto ගහගන්න දුන්නේ ඒ ඒ bagsවල තියෙන බඩු මොනවද කියලා තියෙන කොළ ටික විතරයිනෙ.” තමිර හිනා වෙවී කියයි. “ඒකනෙ...” නමියාත් අලගු තියයි.
“තමුසෙලා මහ පල් මෝඩයොනෙ බං. විධිමත් සාක්කි නැතිව කොහොමද නෙවිල් අයියේ case එකක්වත් file කරන්නේ... මං හිතන්නේ අපේ ගෙදර උන්දැගෙන් මෙයාට ලීගල් advices හම්බ වෙනවා... මේක නං නිකං අරින්න හොඳ නෑ මචං. මේ..ඒ..ඒ..ඒ..ක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්!”

ඔය කතාබතා සේරම ඇවිළුණේ එදා රෑට කහබතක් උයද්දීය.
“මොන මඟුලක් උයනවද මන්දා පීරෝ, මේ යකා මට කියලා බී ළූණු කිලෝ එකක් විතර කප්පව ගත්තා. අපේ බර අඩු වෙනවනේ කියලයි, මාත් සද්ද වහගෙන හිටියේ.”

“ඒ වුණාට නිමල් අංකල්, තවම චව්-චව් ගෙඩි ටික උයන්න ගත්තෙ නැහැනේ. ගිය සැරේ වම්බටු වගේ මේවත් විසි කරන්න වෙයිද දන්නෑ.” පසිඳුගේ ඔලුවේ තිබුණේ එයාගේ බෑගයේ බර ටිකකින් හරි හෑල්ලු කර ගැනීම ගැනය.

ලෝකය මවන බ්‍රහ්ම- රකින විෂ්ණු- නසන ඊශ්වර ත්‍රිමූර්තියේ තෙවැන්නාගේ ගඩුගුඩාවේ තිබෙන්නේත්...

කොල්ලා එහෙම හිතීමත් වැරදි නැත. එයාගේ කැමරා ආම්පන්න ටික සෑහෙන්නට බරය. ඒවා ගැන විශේෂ සැලකිල්ලක් යොමු කරන්නටත් අපට ක්‍රමයක් නැත. ඒවා උස්සාගෙන යන්නේ එයාටත්, එයාගේ (බාගෙට පිස්සු) මාමාටත් උවමනා නිසාය. (සේරටම වඩා හපන් මේකය. ගමන නිමාවෙලත් දැන් මාසයකට වැඩිය. පසිඳු ගත්තු එකම එක foto එකක හෙවණැල්ලවත් අප නම් තවම දැක්කේ නැත!)

“ඒ නිමල් අයියේ, අද නඩු ගොඩයිනෙ.” ප්‍රියන්තත් හිනාව හංගාගෙන අහන්නේ කතන්දරේ අවුස්සන්නටය.

මට උපරිමයෙන් උදව් දෙමින් සාස්පාන් ළිපට තියන- ළිපෙන් බිමට බාන, ගිනි අවුළුවන, හොදි හැඳි ගාන ප්‍රියන්තත්, මට උවමනා කලහලමනා සොයා-තෝරා දෙන සමන්තිත් විතරකි, එදා රාත්‍රියට පිසෙන දේවල් දැනගෙන හිටියේ.

“අම්මට සිරි! කහබත්... මෙන්න මෙහෙමනේ දිසානායක ඉන්න ඕනි. කෝ බලන්න මොනවත් එක්කද කන්න තියෙන්නේ කියලා. සීනි සම්බෝල. ඒකත් හොඳයි. පරිප්පු, පපඩම්.”
“අර එහායින් තියෙන ප්ලාස්ටික් පෙට්ටියේ තක්කාලි සලාදේ.”
“නෙවිල් අංකල්... මේ බලන්නකෝ- බත් එකේ කජුයි මුද්දරප්පලමුයි දෙකත් තියෙනවා.” පසිඳුත් උද්දාමයෙන් කියයි.

“මෙහෙම දේවල් නං කොච්චර බර වුණත් උස්සගෙන එතෑකිනෙ!”

කවුරු කවුරුනුත් යහමින් දෙසා බෑවායින් වුණේ, තවත් plan එකක් වෙනස් වුණු එකය.
“මේ සැරෙත් කාලා ඉවර වුණාම හීනියට සිංදු හැන්දෑවක් දාන්න ඕනි.”යි කාගේත් අනුමැතියෙන් සභා සම්මත වී තිබුණු යෝජනාව ක්‍රියාත්මක නොවීමය- ඒ වෙනස් වීම.
“නිඳිමතයි!”
“මටත් එහෙමයි!!”

අපෙන් සමහර දෙනෙකුට නිඳිමත වැඩි වුණේ වෙනත් හේතුවක බලපෑමෙන්ද?
ඒ ජාමේ හතර පැත්තෙන්ම හැමූ පවනේ මුසුවී ආවේ ත්‍රෛලෝක විජයපත්‍රම් පිළිස්සෙන ගන්ධයයි. අපේ නඩේ කිහිප දෙනෙකුත් ඒ ගන්ධය තවත් තීව්‍ර කරන්නට හවුල් වුණාවත්ද?
‘ඕනි මඟුලක්! තමුසේ එයාලගෙ විනය පාලක නෙවෙයිනේ. අනික එයාලා එකෙක්වත් පොඩි ළමයි නෙවෙයිනෙ.’

පාද යාත්‍රාවේ යෙදෙන්නන්ට මස්- මාළු- පිලිහුඩු ජාතිවලින් වැළකී පේ වී සිටින්නැයි කියා තිබෙන තැන් බොහොමයකි. එසේ වුණත් ඔවුනට කංසාවලිනුත් වැළකෙන්නැයි කියවෙන තැනක් මට නම් මෙතෙක් හමු වී නැත.

ලෝකය මවන බ්‍රහ්ම- රකින විෂ්ණු- නසන ඊශ්වර ත්‍රිමූර්තියේ- තෙවැන්නාගේ ගඩුගුඩාවේ තිබෙන්නේත් කංසා බවනෙ කියවෙන්නේ... ඉතින් පුහුදුන් උදවිය ගැන කවර කතාද?
ඒ සිතුවිල්ලත් එක්කමය මං නින්දට වැටෙන්න ඇත්තේ.

සමන්ති, දීපානි නංගිලා දෙන්නා, ඩ්රූ- පවන් දෙපුතුන් හා පවන්ගේ පෙම්වතිය සමඟ...

සමන්ති නංගී නම් නින්දට වැටෙන්න ඇත්තේ ‘පවී’ ගැන කල්පනාවෙන් යුතුව විය යුතුය.

“ලොකූ, දැන් පවන් flight එකට නැඟලා වෙන්න ඕනි!” Sam කිව්වේ නින්දට සැරසෙද්දීය. ඒ කටහඬ තෙත්වී තිබ්බේ උතුරා යන මව් සෙනෙහසිනි.
බිමල් මහේන්ද්‍රභායි පටෙල්, සමන්ති පද්මිනී දිසානායක යුවලගේ ආදරණීය දෙවෙනි පුතණුවන් ‘පවන්’ය. (පවන් පුතාට නම දුන්නෙත් මේ ලියන ගොබිලාමය. දැන් පවන් උසස් අධ්‍යාපනය හදාරා අවසන්කොට රැකියාවකුත් කරයි.)

“හෙට උදේටයි පවන් කටුනායක land කරන්නේ.
Airport එකේ ඉඳලා මම ආව cab එකේ ඩ්‍රයිවර් හරී හොඳයි ලොකූ. මම එයාගේ නොම්මරේ පවීට යවලයි තියෙන්නේ. ඒ ඩ්‍රයිවර් මානෙල් අක්කලගෙ ගෙදරට එන පාරත් දන්නවනේ. ඒ නිසා කරදරයක් වෙන එකක් නෑ.”
“එහෙනං කොහෙත්ම ප්‍රශ්නයක් වෙන එකක් නෑ සෑම්!”
“ඔව් නෙවිල් අයියේ. He can manage! අපි ආපහු යනකල් මානෙල් අක්කලගෙ ගෙදර ඉඳලා පවීට එපා වෙයිද දන්නෑ කියලයි මට බය.”

“ඒකට නං පොඩ්ඩක්වත් බය වෙන්න එපා. හිමන්‍යා පවන් මාමට පාළුවක් දැනෙන්න දෙන එකක් නෑ.” මං එහෙම කිව්වා විතරය. නෙවිලුත් සාක්කි දෙයි.
“පාලු දැනෙන්න නෙවෙයි,
පොඩි එකී කොල්ලට හුස්මක් ගන්නවත් ඉඩ දෙන එකක් නෑ. අපරාදේ කියන්න බෑ සෑම්. ඕනි කෙනෙක්ව දැපනේ දාගන්න විදිහ නං, හිමන්‍යාත් අඩු නැතිවම ලොකු සීයාගෙන් ඉගෙනගෙන තියෙනව.
මේ පේනවනේ- මෙයා එක්ක යාලු වෙලා අපිට තියෙන මළ වදයක්.”

“ඒක නෙවෙයි නිමල් අයියේ. හෙට අපේ දේවාල මාමා; කපු මහත්තය මහත්තයා කතරගමට එනවයි කිව්වනේ. උන්නැහේ බස් එකේ එන්නේ හම්බන්තොටට. ඇවිත් original නසාර්ලගේ ගෙදර නැවතිලා, එයාත් එක්කම තමයි කතරගමට එන්නේ, අපිව එක්ක යන්න. එනකොට පවන්වත් එක්කගෙන එන්න කියමුද...”  එතකොට අයස්මන්ත මහත්තයා යෝජනා කළේය.

“Really? එහෙම නං හරීඊ..ඊ ෂෝක්!”
අම්මලාගේ හැටි වෙන්නැති ඒ. හැකි හැම විටෙකම තමන්ගේ දරුවන් ඇස් දෘෂ්ටිය වැටෙන මානේ තියා ගන්නටය අම්මලා කැමැති.

“කොහොමද පීරා එයාලට ඔය පණිවිඩේ දෙන්නේ?” නෙවිල් හිතන්නේ මතු විය හැකි ප්‍රයෝගික ගැටළු ගැනයි. “මර්වියා පිටත් වෙන්න කලින් ඕක කියන්නත් එපැයි.”
“ඇයි මචං, පරණ තොටුපල හරියේ ඉඳලා දිගටම සිග්නල් තියෙනවනේ. මතකනෙ, ගිය සැරේ ඉන්දිකව
missing වෙලා හිච්චිලා මිනිහට call කරපු හැටි.”

යාන්තමට බිමට එළිය වැටෙනකොටම අපේ ගමන ආරම්භ කළ යුතුය.

“මර්වින් ලොක්කට ඔය විස්තරේ කියනකොටම නිමල් අයියේ, ඔයා මානෙල් අක්කටත් විස්තරේ කියන්න. මර්වින් දැන් ඉවසිල්ලක් නැතිව ඉන්නව ඇත්තේ, අපි ගැන හිත-හිතා. මිනිහට එන්න බැරි වුණත් හිත තියෙන්නේ මෙහෙනෙ.”

“ඒකම තමයි ප්‍රශ්නෙත්. අපි ඔය පණිවිඩේ කියනකොටම මර්වින් excite වෙන හැටි මට මැවිල පේනවා. ඊට පස්සේ පුක කැඩිච්ච කඩියා වගේ කලබලෙන් මොන ජංජාලයක්...”
“ඒ හින්දම තමයි මිනිහො, යුෂ්මතාට කිව්වේ මානෙල්ටත් විස්තරේ කියන්න කියලා. බලන්නකෝ Sam, ඔයාලගෙ ලොකු අයියගෙ මොළේ තරම.”

“ඒ මොළේ තරම හින්දම තමයි මහත්තයෝ කියන්නේ. අපේ මානෙල් මර්වින්ට හපන්. එයාට යමක් කියනකොට පළවෙනි වචන තුන-හතර විතරයි ගෑනි අහගන්නේ. ඉතිරි හරිය එයාට ඕනි විදිහට හිතා ගන්නවා...”

“ඒක නං ඇත්ත මචං. මානෙලුත් මෙයාගෙම නංගිනෙ, කෙළින්නෙම මඤ්ඤං!”
“නෙවිල් අයියේ!” සමන්ති කියන්නේ තරවටු ස්වරයක් කටහඬට ආදේශ කරගෙනය. “Don’t forget! මමත් ඒ දෙන්නගෙම නංගී.”

ඔහොම හැල-හැප්පිලි කතාවලට හොම්බ දමන්නට තමිර, නමී, ප්‍රියන්ත හා පසිඳු ඉදිරිපත් වෙන්නේ නැත. ඒ එයාලා අපේ රැලට වැටිලා තවමත් එච්චර ලොකු කාලයක් ගෙවී නැති නිසාය. හැබැයි, එහෙම පරිවාස කාලයේය කියලා උන්දැලා නිකංම ඉන්නෙත් නැත. පොඩි පොඩි තල්ලු දීම්- උසි ගැන්වීම් එහෙම කරති! ඒවා මැද්දේ රෑ බෝවෙන තුරුම ගෙවලාය, අප නින්දට වැටුණේ.

එහෙම වුණාය කියලා, පසුවදා පාන්දර පමාවී අවදි වෙන්නටත් බැරිය. යාන්තමට බිමට එළිය වැටෙනකොටම අපේ ගමන ආරම්භ කළ යුතුය.

“ඔව්වොව්! දැක්කනෙ ගිය සැරේ ගමන ලේසි වෙච්ච හැටි, උදෙන් ගියායින්.” ළිං තුනේදී හවස තේ බොන අතරවාරයේය, පීරිස් කට්ටියටම මතක් කළේ.
“ගියායින්? එහෙම ගියා නං හෙම අපි තාම යනවා- ආපස්සට. හොඳ වෙලාවට
චානක වැරදි පැත්තට යන්න හදන අපිව දැකලා යන්න ඕනි පැත්ත පෙන්නුවේ.” මමත් ප්‍රතිඋත්තර දුන්නෙමි. 

“කවුද මචං ඔය චානක?”
“අර සුදු උස පොර! මෙයා ගිය වතාවේ ප්‍රේමයෙන් වෙළුණේ. එයාගේ හොඳ වෙලාවට, මෙයාට ඒ මනුස්සයාගේ ෆෝන් නොම්මරේවත් ඉල්ල ගන්න බැරි වුණා. නැත්තං ඌත් විනාසයි.”

“ආාාාාාා, එහෙමද හිතුවේ. එක්කෝ ඕනි නෑ.”
“මොකක්ද තමුසේ කියන්න හදලා නැවැත්තුවේ. ඔන්න ඔහෙ කියල දානවා හලෝ.”

“අද එයාලව ආයෙමත් මීට් වුණා. චානකමයි ළඟට ඇවිත් කතා කළේ. එයාලගෙ නඩේ අයවත් මට අඳුන්නලා දුන්නා....”
“ෆෝන් නොම්මරෙත් දුන්නද?”
“දුන්නා නෙවෙයි හලෝ. මමම ඉල්ල ගත්තා. එයා රාජගිරියෙලු ඉන්නෙ.”

එතකොටය හිර කරගෙන හිටි හිනාවක් එළියට පැන්නේ. ඊට පස්සේ තවත් හිනා පොකුරකුත් එළියට...
“ඔය කිව්වේ. දිසානායක කවද්ද මචං කට වහගෙන හිටියේ....”

කොහොමෙන් වුණත් මේ වතාවේ අප වැරදි පැත්තට ගියේ නැත. පරක්කු වුණෙත් නැත. ඉරිමා උදෙන්ම පිටත් වී සෑහෙන මට්ටමේ වේගයකින් පෙරට ඇදෙන්නට සමත් වීමු.
“ළමයි... හැම විනාඩියක්ම අපට වටිනවා. අව්ව තද වෙන්න කලින් පුළුවන් තරං දුරක් ඇදගත්තොත් අපිටමයි වාසි. පේනවනේ.... මේ හරියෙත් වැල්ල...”
“කටුපිල ආර ළඟටම අදින්නද හදන්නේ දිගටම? පරණ තොටුපලටම යනවා නං කිලෝ මීටර් 16ක්!”

“එතෙන්ටම අදිමු. ඇදලා දවල්ට උයමු. ඔන්න දැන්මම කිව්වා. මේ වතාවේ කටුපිලආරේ දන්සල තිබුණත් මම නං ඒකෙන් එක බත් කටක්වත් කන්නෑ.” පීරිස් කියන්නේ පරණ කෝන්තරය මතක් කරමිනි.

“පිස්සුද doctor. ගිය සැරේ දන්සලේ වැඩ කරපු එව්වොම නෙවෙයි මේ සැරේ ඉන්නේ.” ප්‍රියන්ත කියන්නේ අයස්මන්තගේ කේන්තිය සමනය කරවන්නට තැත් දරමිනි!

à ඊළඟ කොටසට...

25 comments:

  1. this is really nice

    ReplyDelete
  2. ඉන්දියාව හඳට පවා රොකට් අරින්නේ
    නොබෙල් ප්‍රයිස් එකොලහකුත් හම්බ වුනානේ
    ඒ වුනාට රජ බඩු නොවැ අපට සිටින්නේ
    චීන යානෙ, ලංකා කොඩිය අපි අලවන්නේ

    https://www.youtube.com/watch?v=7oHAme_c0lE

    ReplyDelete
    Replies
    1. චීන යානෙ සිහ කොඩිය ඇලෙව්වම -
      රන් රස දෙක එක් වුණා වගෙයි
      අමතක කරන්නෙ කෝමද වියතුනි -
      නාග කරඬුවෙත් හණ තිබුණයි
      නොබෙල් ප්‍රයිස් මොකටද මේ අපිලට -
      නෝබල් ඉතිහාසයක් තියෙයි
      අපේ රජාලා රජ බඩු වගෙමයි -
      නඩුත් බඩුත් උන්ගේම තමයි

      Delete
  3. සුපුරුදු ලෙසම අද කතාවත් නියමයි. කිව්වට අමනාප වෙන්න එපා. ඔය ගැන්සියෙ හිටි අය, මොබයිල් ෆොටෝ ගත්තෙම නැද්ද? මේ ලස්සන විස්තරය බැලුවාම, ඒකට ගැලපෙන කොලිටියෙ ෆොටෝ ටිකකුත් තිබ්බ නං කියල හිතුනා.

    ReplyDelete
    Replies
    1. ඔය කාරණේ එහෙමනේ බකුසුතුමෝ. අපේ ගොයියලා එයාලගෙ පුද්ගලික කාරනා fb එකෙන් ලෝකෙටම කියන්නේ බොහොම අඩුවෙන්. ඉතින් වැඩිය foto ගහන්නේ නැත්තෙත් ඒ නිසා වෙන්නැති.
      අනෙක ගමන පටන් ගනිද්දිම කීප දෙනෙකුගේම ෆෝන් dead.
      විශ්වාස කරනවද ගමන ඉවර වෙලා foto ගැන ඇහුවම එයාලා තුන් දෙනෙක්ම කිව්ව දේ. 'එක foto එකක්වත් ගැහුවේ නෑ.'
      අයස්මන්ත- ප්‍රියන්ත දෙන්නා අරගෙන තිබුණු foto හත අටක් විතරයි මට ලැබුණේ. ඒවායින් හොඳ; පොස්ට්ස්වලට අදාළ තුන හතරක් තමයි යොදාගත්තේ.

      Delete
  4. පාද යාත්‍රාවේ යෙදෙන්නන්ට මස්- මාළු- පිලිහුඩු ජාතිවලින් වැළකී පේ වී සිටින්නැයි කියා තිබෙන තැන් බොහොමයකි. එසේ වුණත් ඔවුනට කංසාවලිනුත් වැළකෙන්නැයි කියවෙන තැනක් මට නම් මෙතෙක් හමු වී නැත.//
    සවුදියෙත් රහමෙර තහනම් උනාට කංසා තහනම් නෑ කියල කිහිප දෙනෙක්ම කිව්වා.. නීතිමය තත්වය ගැන නම් හරියටම දන්නේ නෑ , ඒත් ආගමේ දුම්පානය තහනම් කියල නැහැල්ලු....
    සුපිරි ගමනක්.....ජයවේවා...

    ReplyDelete
    Replies
    1. හරි වැඩේ නෙව ලලිත් මහත්තයෝ. මේ පොස්ට් එක කියවලා කෙනෙක් ටෙලිෆෝන් කළා. එයා ඇහුවා 'නිදි ගංජා බොනවද?' කියලා.
      ඒකලු මං ඒවා ප්‍රමෝට් කරන්නේ.
      මම ඕවා පාවිච්චියක් නෑ. නොදැනුවත්වම ගංජා කේක් නං වැළඳුවා මිස. ඒකෙන් වෙච්චි අලකලංචි ටික නං කලින් posts දෙකක් ලිව්ව බව මතකයි නේද?
      https://nidigepanchathanthare.blogspot.com/2022/12/snack.html
      https://nidigepanchathanthare.blogspot.com/2022/12/snack_01413892705.html
      ජයෙන් ජයම වේවා!

      Delete
  5. //පළවෙනි වචන තුන-හතර විතරයි ගෑනි අහගන්නේ. ඉතිරි හරිය එයාට ඕනි විදිහට හිතා ගන්නවා// - ඇයගෙ විතරක් නෙමේ අපෙත් අඩුවැඩිව තියෙන අඩුපාඩුවක් විදිහටයි මට පේන්නෙ.

    ReplyDelete
  6. දෙයියො උනත් ඖෂධීය ශාක වලට කැමති ඇතිනෙ. ඉතිං මක්කටෙයි ඉල්ලං කන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔව්නේ ප්‍රසෝ!
      දෙයියෝ විතරක් නෙවෙයි, සුරංගනාවියොත්... ඒ හින්දා වෙන්නැති අර ගංජා කේක් කාපු එක්කෙනෙක් ලඟට චීන සුරඟනක් ආවෙත්.
      (අමතක නං කියවල බලන්න ඇහැකියි. links දෙක ලලිත්ට දුන්නු උත්තරේ තියෙනවා.)

      Delete
  7. https://en.m.wikipedia.org/wiki/Chayote

    ReplyDelete
    Replies
    1. මං හිතාගෙන හිටියේ චව්-චව් මෙහෙ කෑමක් කියලයි, Pra Jay. ඔබතුමාගේ ලින්ක් ඒකට ගියාමනේ තේරෙන්නේ Chayote ගැන. ගොඩාක් ස්තුතියි!

      Delete
  8. නිදි, ඔය චව්-චව් රසට හදන්න පුලුවන් එලවලුවක්ද? හදන්න නොදන්නකමද මන්දා, මට නං ඕකයි,සුකිනියි දෙකම දිය රහයි.

    ReplyDelete
    Replies
    1. ඔව් බස්සා මහත්තයෝ චව්-චව් ඉතාම රසවත් එළවළුවක්. තනිකර හදනවට වඩා රහයි, අර්තාපල් හරි පරිප්පු හරි එක්ක හදපුවම- කිරට. පොල්කිරි ටිකක් යහමින් දාලා- වැඩිය හොද්ද නොහිටින්න හදන්නකෝ.
      සමහර වෙලාවට මම නං අබ කුඩු ටිකකුත් දානවා.
      වෙලාවකට තෙම්පරාදු කරලත් ගන්නවා.
      ගමනකට ගෙනියන්න හොඳම දෙයක් විදිහටයි මං චව්-චව් දකින්නෙ. සතියක් වුණත් තියා ගන්න පුළුවන්- තැලෙන්නේ නරක් වෙන්නේ නෑ.

      Delete
  9. "එසේ වුණත් ඔවුනට කංසාවලිනුත් වැළකෙන්නැයි කියවෙන තැනක් මට නම් මෙතෙක් හමු වී නැත". I will reserve my comments.

    දවල්ට නැවතිලා කෑම කාපු තැනමද රෑටත් ඉන්නෙ, නැත්නම් අව්ව බැස්සට පස්සෙ ආයෙත් ඇවිදිනවද. අද කොටසින් ඒ වගේ අදහසක් එන නිසයි ඇහුවෙ.

    ReplyDelete
    Replies
    1. ඔව් ලලිත් මහත්තයෝ. කුඩා කැබිලිත්තෙන් පිටත්වී යන උදවිය ළිං තුනට ගියාම එතන නවතිනවා. ඊළඟ රැය ගෙවන්න එයාලා තෝරා ගන්නේ පරණ තොටුපල- වරහන අතර ගං ඉවුරේ තැනක්. ඒ හරියට කිලෝ මීටර් 16ක් ආයෙම යන්න වෙනවනේ.
      එහෙම නොනැවතී එක දිගට අදින 'fitness' චෙක් කරන ඇම්ම තියෙන උදවියත් ඉන්නවා.
      වැඩි ප්‍රතිශතය රැයක් ගෙවන්නේ වතුර තියෙන ආරක්ෂාකාරී තැනක විතරයි.

      ගමනේ පළමු කොටසේදී; කුමන පිවිසුමේ සිට කුඩා කැබිලිත්ත දක්වා කොටසේදී නම් අතරමඟ නවතින්න හැකියාව තියෙන්නේ බාගුරේ කලපුව ළඟ විතරයි. නැත්තන් කුඩා කැබිලිත්ත හෙවත් මඩමෙතොටටම යන්න වෙනවා.
      වන සතුන් නිසා වෙන්නැති-
      අතරමඟ නැවතී සිටින; අමාරුවෙන් යන වියපත් උදවියව වනජීවී එකෙන් ට්‍රැක්ටර්වල පටවාගෙන මහ රෑ ගෙනත් දානවා දෙපාරක් විතර අපි දැකලා තියෙනවා.

      Delete
    2. නිමල් පාද යාත්‍රාව ඉවර කරනකොට මම මහත්තයෙක් වෙලා... මදැයි.

      Delete
    3. අනේ, සිය දහස් වාරයක් සමා වෙන්නෝනි Lotus!
      වස වැරද්දක් වෙලා තියෙන්නේ.

      Delete
  10. මේක පොඩි යෝජනාවක්. හැකි නං සලකා බලන්න. ලිපි අතරට,
    ඔබේ රසවත්ම කෑම රෙසිපි එක ගානෙ ඇමුණුවොත් කොහොමද?🙏

    ReplyDelete
    Replies
    1. කාලා වරෙංකො නිදි!
      බකුසාණෙනි, හැකි විදිහට ඔබතුමාගේ ඉල්ලීමත් ඉටු කරන්න බලන්නන්.

      Delete
    2. බොහොම ස්තූතියි. අපේ පාරම්පරික සූප සෑස්තරෙත් අභාවයට යන කලාවක් දෝ කියලත් හිතෙනවා.

      මේවා ගැන ලියවෙනවත් අඩුයි. ඉන්ද්‍රනාථ තේනුවර මහත්තයා මේ ගැන අපූරු ලිපි දෙකක් ලිව්වා, "අපේ දිව්‍ය භෝජන" කියලා.

      Delete
    3. අපේ දිව්‍ය භෝජන හොයාගෙන ගියාම මෙහෙමයිනේ වැටෙන්නේ, බස්සා මහත්තයෝ.
      //Sorry, the page you were looking for in this blog does not exist.//

      Delete
    4. ඔව්, නිදි ඒ ලිපි ටික මේ ලඟකදි ඉඳලා අතුරු දහන් වෙලා.😮😒. ඔය අන්තර්ජාල ලිපි සදාකාලික නෑ කියල බුරා මට කියල තියෙද්දිත්, මම ඒවා බාගත නොකල එකයි මට දුක.

      මාරයගෙ අපූරු ගමේ කෑම සහ එදිනෙදා ඉවුම්-පිහුම් උපදේස ටික නං, බුරාගෙ පිහිටෙන් ලැබුනා.

      Delete