අකුරු මැකී නෑ

Tuesday, March 26, 2024

ප්‍රෝඩාරාමය - දහවෙනි කොටස

වතු අධිකාරි මහත්තයලව ගෙදරින් යවා ගන්න අපේ අම්මයි, කොහායි විශේෂ plan එකක් ගැහුවා කියලයි මට තේරුණේ.

“ඔයාලටනේ රංජි හොරණ ගෙදර ඔළුවෙ කැක්කුමක් වුණේ. මම ඒක මහ භාරකාර දෙපාර්තමේන්තුවට පැවරුවා පන්සලක් කරන්න.” හිටි අඩියේ අපේ අම්මා කිව්වා.
“අම්මා එහෙම කළා?” මං ඇහුවේ පුදුමෙන්. අපේ අම්මා ඔහොම දේවල් දැනගන්න විදිහක් නෑ- කව්රු හරි ගොඩ පෙරකදෝරුවෙකු ඔපීනියන් දුන්නැත්තං...

හුඟක් මිනිස්සු තමන්ගෙ අතින් වැරැද්දක් වුණ විත්තිය තේරුණාට පස්සෙත්, ඒ බව එළි කරන්න; පිළිගන්න කැමති නෑ. ඒ ඔන්න ඔය අහංකාරකම හින්දයි.

“කවුරු ඔපීනියන් දුන්නත් මොකෝ? ඒක මගේ ගෙදරනෙ- මම මට ඕනි දෙයක් ඒකට කරනවා!” ඒ වෙලාවේ නං අම්මා මට උත්තර දුන්නේ අන්තිම උද්ධච්ච tone එකකින්!

අම්මගෙ අහංකාර ටෝන් එක ඇතුළේ පුංචි පහේ පසුතැවිලි ස්වරයකුත් ගැබ්වෙලා තිබ්බ වගෙයි, මට දැනුණේ. හොරණ ගෙදර ‘අතින් සල්ලි දීලා කරවගත්තු හූනියමක්.’ කියල අපේ අම්මටම ඒ වෙනකොට හිතිල තියෙන්නත් ඇති. ඒත් ඒ විත්තිය නිහතමානීව පිළිගත්තොත් එයාව හෑල්ලු වෙනවනෙ.

හුඟක් මිනිස්සු තමන්ගෙ අතින් වැරැද්දක් වුණ විත්තිය තේරුණාට පස්සෙත්, ඒ බව එළි කරන්න; පිළිගන්න කැමති නෑ. ඒ ඔන්න ඔය අහංකාරකම හින්දයි.
අහංකාර නං රෝගෙන් පිස්සු - තවමත් පෙළෙනව අපේ මිනිස්සු’ කියලා ෆ්‍රෙඩී සිල්වා ගායකයාණන් අපූරුවට ගීයකිනුත් කිව්වේ ආන්න ඒ නිසා වෙන්නැති.

එහෙම අහංකාර පරවශ හැඟීම්වලිනුයි පශ්චත්තාපී හිතුවිලිවලිනුයි පිරිලා හිටිය අපේ අම්මට ‘අල්ලගෙන තිබ්බ කොටි වලිගය අතාරින්න ක්‍රමේ’ කියල දෙන්න ඇත්තේ කවුද?
කවුරුන් ‘ක්‍රමය’ කිව්වත්, ඒ දවස් ටිකේ නම් අපේ Mother Superior ලැබෙන උපදෙස් අකුරටම පිළිපැද්දා වගෙයි. අම්මා දිගටම මහ භාරකාර දෙපාර්තමේන්තුව ගැන එකේක දේවල් එකේක්කෙනා එක්ක කිව්වා. කවුරුන්වත් ඒවා හගිස්සන්න ගියේ නැතත්- අපේ අම්මගෙ ඒ කියුම්වල එකකට එකක් පරස්පර තැන් තිබුණු විත්තිය නං හොඳටෝම පෙනුණා.

‘අර වතු ජෝඩුවට යන්න වුණා! ඒ ඔළුවෙ කැක්කුමෙන් නං යාන්තං නිදහස්!’ / ‘මහ භාරකාර දෙපාර්තමේන්තුවෙන්ම ඔන්න හාමුදුරු කෙනෙකුට ගෙදර පවරලා පන්සලක් කරන්න.’

ඒ කතන්දර වුණත් ඕනැවට වැඩිය ගණන් ගන්න මට හිතුණෙ නෑ. ‘ආයෙත් නං ඔය කෝච්චියට බෙල්ල තියන්නේ නෑ’ කියල මගේ තීරණේ පැහැදිලිවම කිව්වට පස්සේ- මං ආයෙමත් මොකටද ඒවා අස්සේ ගැන්නෙන්න යන්නෙ?
මම එහෙමයි. ‘දොන් නං දොන් - සිමං නං සිමං, දොන් සිමං දෙකම නෑ!’

“අයියේ, ඔය වැඩේ වුණේ මෙහෙම වගෙයි මම දන්නෙ.”
අපේ සුනිල් මට කියූ කතාවේ හැටියට නම් නන්ද හාමුදුරුවන් වහන්සේ හොරණ ප්‍රදේශයේම විහාරස්ථානයක අධිපති උන්නාන්සේ කෙනෙකි. “අම්මට කවුරු ඒ පන්සල ගැන කියලද කියන්න නං මම දන්නෙ නෑ. අම්ම දවසක් නන්ද හාමුදුරුවන්ගේ පන්සලට ගිහිං තියෙනවා. ෂුවර් එකටම ඒ වෙලාවේ අම්මා ඔක්කොම පම්පෝරි ටික උන්නාන්සේට කියන්න ඇති...”
වෙන්නට ඇත්තේ එහෙම තමාය. මටත් හිතෙයි.

පන්සලක ලොකු හාමුදුරුවන්ට ගෙදර පවරලා දෙන්නයි හදන්නේ කියල කිව්වේ

විහින්ම බිල්ලක් වෙන්නට කැමැති සතෙක් පළපුරුදු දඩයක්කාරයෙකුගේ ළඟටම ආවාම...

එක දවසෙන්ම හාමුදුරුවෝ අපේ අම්මට ඉනාව දෙන්නට ඇති. ඊළඟ දවසක හාමුදුරුවෝ ගෙදර බලාගන්නට වඩින්නටත් ඇති. වතු අධිකාරීවරයාව හමු වෙන්නටත් ඇති. සමහරවිට උන්නැහේට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරන්නටත් ඇති.

මං එහෙම කියපු ගමන්, පාඨක තමුන්නාන්සෙලා මොකද නිකං කිණ්ඩියට වගේ හිනා වෙන්නේ?
හාමුදුරුවරුන් වහන්සේලා යුද්ධ කරන්නේ නැතෙයි කියලද හිතන්නේ. ඕනි නං ටිකක් හොයල බලන්නකො- පන්සලක අධිපතිකමට (ලේ) උරුමක්කාරයන් හදන හැටි ගැන... සංඝ පරම්පරාවල් ගැන...
ඉතිං නන්ද හාමුදුරුවනුත් බණෙන් හරි අණෙන් හරි වතු අධිකාරි පවුලේ කට්ටියව බංගලාවෙන් යැව්වා වෙන්නැති.

“අයියට කියන්න ඕනි නැහැනෙ අපේ අම්මා හිටි ගමන් කියන උද්දච්ච කතන්දර ගැන. මෙහෙම පන්සලක ලොකු හාමුදුරුවන්ට ගෙදර පවරලා දෙන්නයි හදන්නේ කියල අපි එක්ක කිව්වේ මූණට ගහනවා වගෙයි. ඒකවත් තකන්නේ නැතිව, එතකොටයි මම කිව්වේ කොයිකටත් ගෙදර සාංඝික කරලා පූජා කරන්නයි කියල:
කෙලින්ම තනි හාමුදුරු කෙනෙකුට නැතුව- මහ භාරකාර දෙපාර්තමේන්තුවට පවරන්න. මං තමයි කිව්වේ ඔප්පුව ලියනකොට ‘සිව් දිගින් වඩින මහ සඟ රත්නයට මේ දේපල පූජා කරනවා’ කියල වාක්‍යයකුත් ඒකට දාන්නයි කියල...

-හැබැයි අයියේ, ඒ දවස්වල අම්මා අපේම ගෙදර නැවතිලා ඉන්න ගමන් අපිට පෙන්නපු ගෙම්බර්... අපි හරියට වයිරක්කාරයො වගේ...

-ඒ තරහටම, ඔය ඔප්පුව ලියන්න යනකොටවත් මම අම්මගෙ තනියට ගියේ නෑ. අපේ ලොකු පුතා රජිත්වයි යැව්වේ අම්මත් එක්ක. මොනව කළත් අපේ අම්මනෙ කියල.”

‘එතෙර කරන්නං සතර වරිගයම පෙරුම් පුරා මතු සංසාරේ...’ විශාරද සනත් නන්දසිරි සූරීන්ගේ ගී පදයකිනුත් කියවෙනවා වගේ- දරුවෙකු සසුන්ගත වුණාම ඒ දරුවාගේ හතර වරිගයක නෑදෑයන්ම නිවන් යතැයි විශ්වාසයක් අපේ රටේ තිබෙයි.
ඒ කතාවේ ඇත්ත- නැත්ත කොහොම වෙතත්, ගොඩක් ස්වාමීන් වහන්සේලා සිවුර දරමින්ම
- හතර වරිගයට නොවැටෙන අය එක්කත් පවුල් සම්බන්ධකම් පවත්වාගෙන යති! මට නම් එහෙම උන්නාන්සේලා දැක ගැනීමේ වාසනාව ලැබී තිබෙයි. එයින් එකක් උදා වුණේ - සුනාමි අනතුරු ඇඟවීමක් අස්සෙය...

සුනිල් කියූ විදිහට නං, නන්ද හාමුදුරුවන් වහන්සේත් ඒ අත්තේ කුරුල්ලෙකි.

“අයියට කියන්න, ඒ හාමුදුරුවෝ අපේ ගෙදරටත් ආවා සහෝදරයෝ දෙන්නෙකුත් එක්ක. එක්කෙනෙක් පිළියන්දල ලොකු ඉස්කෝලෙක ප්‍රින්සිපල් කෙනෙක්. හැබැයි උගත්තු වුණාට මොකෝ, ඒ ඔක්කොමත් එක වල්ලේ තණ්හාපතියෝ. ඔප්පු ලියලා ගෙදර යතුරු කැරැල්ල බාර දුන්නු ගමන්, අර සහෝදරයෝ දෙන්නා සමහරක් කාමරවල යතුරු වෙනම අරං තියාගෙන.”

එච්චරවත් මොළයක් නැති එවුන් වෙන්න ඇති!

“ඒ කිව්වේ...? ගෙදර බාර දුන්නේ නන්ද හාමුදුරුවන්ටයි කියල ඔයාම කිව්ව නේද, සුනිල්?”

“ඒකනේ අයියේ කියන්නේ. එච්චරවත් මොළයක් නැති එවුන් වෙන්න ඇති. අපේ අම්මමයි කිව්වේ. හාමුදුරුවරුන්ට කොහොම වෙතත්- ඒ අයිය-මලෝලා තමයි ඒ වෙලාවේම පොර කකා ‘මේ කාමරේ මට, මේක මට- මේකත් මට’ කිය-කියා පොර කකා කාමර වෙන් කරගෙන තියෙන්නෙත්.”

‘චක්කංච වහතෝ පදං’ මගේ හිතට තදින්ම වැදුණු උපමාවක්. අපොස සා/පෙළ පන්තියේදීයි මං ඒක ඉගෙන ගත්තේ. බුද්ධ ධර්මය විෂය නිර්දේශයට ඇතුළත් වුණු, ධම්ම පදයේ ගාථාවක තිබිලා. යමක වර්ගයේ පළමු ගාථාවේ අවසන් පදය.

  ‘මනො පුබ්බංගමා ධම්මා - මනො සෙට්ඨා මනොමයා
  මනසා වෙ පදුට්ඨෙන - භාසතී වා කරෝති වා
  තතො නං දුක්ඛමන්වෙති - චක්කංච වහතො පදං-
චෛතසික ධර්මයෝ හෙවත් සිතේ ඇති වන ගතීහු සිත පෙරටු කොට ඇත්තාහු ය. ඒ ගතීහු සිතම ශ්‍රේෂ්ඨ කොට පවතින්නෝ ය. සිතින් ම උපදින්නෝ ය. ඒ නිසා යමෙක් නරක- කිලිටි- සිතින් යමක් කියත් නම්, කරත් නම්, ගැල අදින ගොනාගේ පය අනුව රථ රෝදය යන්නාක් මෙන් ඔහු පසු පස්සේ දුක ලුහුබඳී.’

සමහර දේවල් ‘ගැල අදින ගොනාගේ පය අනුව රථ රෝදය යන්නාක් මෙන් ඔහු පසු පස්සේ’ ලුහු බඳින්නේ කරුමේ හින්දම නෙවෙයි. උරුමේ හින්දයි. හොරණ ගෙදර හුටපටවලින් සම්පූර්ණයෙන්ම ඈත් වෙලා ඉන්නවයි කියල මං වහන්සේ තදින්ම හිතාගෙන හිටියත් - මොන?

ලීලා ශ්‍රෝඩර් මැතිනියගේ ලොකු පුතණ්ඩියා වෙච්ච නිසා; සුනිල් ගෝඨාභය දිසානායකගේ ලොකු අයියා වෙච්ච නිසා; මල්ලිකා (ගල්හේන) දිසානායකගේ මස්සිනා වෙච්ච නිසා...
අකමැත්තෙන් වුණත් හොරණ ගෙදර සිද්ද වෙච්චි අන්දොස් කෙරුවාවල්වලට මං වහන්සේත් නිකම්ම ගෑවුණයි කියමුකො.

වැරදි වෙලාවක වැරදි තැන හිටියත් කරදරවලට ගෑවෙනවා; වැරදි මිනිස්සු එක්ක හිටියත් ඒ සෙතේම තමයි!

“අයියෙ මේ, ඔන්න දැන්මම කිව්වා... අපේ පවුල් දෙකේම මැරිච්ච උදවිය මතක් කරලා එයාලට පිං අනුමෝදන් කරන්න පින්කමක් කරනවා. ඤරු ඤුරු නොගා ඔයාලත් ඒකට දායක වෙන්ඩ ඕනි.” අපේ මල්ලිකා කිව්වා. “ඒක කියල යන්නමයි අපි මේ තකහනියක්ම ආවේ- ටෙලිෆෝන් කරන්නෙත් නැතිවම. නේද අනේ?”
සුනිලුත් කීකරු ගෙදර ප්‍රධානියෙකු වගෙ ඔළුව හෙලෙව්වා!

“හරි! මේ සැරෙත් දානේ බෙදන වෙලාවට ඇවිත් බලාගෙන ඉඳලා- සාදු කියලා- අපිටත් කාලා යන්නනෙ තියෙන්නේ. එන්නං!” මං කිව්වේ නිකංම නෙවෙයි. හේතු ඇතිව. පරණ සිද්දි මතක් කරමින්... පෙර වැරදි මතක් කරමින්...

අපේ චන්ද්‍රානි ලොකු අක්කවවත් කල් ඇතිව නං අපේ ගෙදරට ගෙන්න ගන්නෙ නෑ ඔන්න. (චන්ද්‍රානි අක්කත්, අපේ අම්මාත් දකුණු කෙලවරේ)

මගේ ලොකු නෑනණ්ඩි තමයි අපේ පවුලේ ලොකුම සැදැහැවන්ති. ඒ හින්දම සුනිල්ලගේ ගෙදර යහමින් පිංකම් එහෙමත් නිතර නිතර සිද්ද කෙරුණා.

හැබැයි, ඒ එක පින්කමකදීවත් පූර්ව සූදානං කටයුතුවලට අපිව වැද්ද ගත්තේ නෑ. අපට අවසර තිබ්බේ අන්තිම හරියට සහභාගී වෙන්න විතරයි.
ඔය විදිහේ පිංකම්වලදි පෙර සූදානං කටයුතුවලට තියෙන වැඩ කන්දරාව ගැන ආයෙ අමුතුවෙන් ඔයාලට කියන්න ඕනි නැහැනෙ. බණක්- පිරිතක්- දානයක් වගේ පින්කමකදී වැඩ පටන් ගන්නෙ දවස් ගණනක ඉඳලනෙ. විශේෂයෙන් පින්කමට කලින් දවසේ රෑ. එහෙම රෑක නිඳි මරන්න ලේසියිනෙ විහිළුවෙන්- තහළුවෙන්- හිනාවෙන් ඉන්නකොට.

ඒත් එහෙම වෙලාවක වුණත් අපේ මල්ලිකාට උවමනා වුණේ අපිත් කෝටියක් සංවර සීලේ රකින උදවිය වගේ බකං නිලාගෙන- බුකවගෙන ඉන්දවන්න. ඒක ඉතිං දැලකින් හුළං බඳිනව වගෙ වැඩක්නෙ!

“තරහ වෙන්න නං එපා අයියේ. මීට පස්සේ නෙවිලුයි, අයියයි විතරක් නෙවෙයි, අපේ චන්ද්‍රානි ලොකු අක්කවවත් පින්කමකදී කල් ඇතිව නං අපේ ගෙදරට ගෙන්න ගන්නෙ නෑ ඔන්න. ඔයාල එකතු වෙලා කියන පව් කතා හින්දා අපේ පුතාල දෙන්නත් මිථ්‍යාදෘෂ්ටිකයන් වෙනවා...” ඒ දානමය පින්කම අන්තිමේ අපේ මල්ලිකා එළිපිටම කිව්වා.
ඒ මල්ලිකාගෙ යහළු උපාසකම්මලා නඩේ රොත්තක්, රැයක් තිස්සේ නිදි වරාගෙන සූදානං කරපු ‘ප්‍රනීත දානය’ ගැන අපි කරපු විවේචන වගයක් හින්දා.

“මොකද නිමල් මල්ලී කෑම බෙදා ගන්නේ නැතුව හිනා වෙන්නේ?” චන්ද්‍රානි අක්කා කෑම මේසය ළඟදී, බට කැලේට ගිනි පුපුරක් වීසි කළා.
“නෑ... මට මේ කල්පනා වුණේ අපේ නෙවිල් මහත්තය ගැන.”
“ඇයි නෙවිල්... මොකක්ද අප්සෙට් එක...”
“මේ උලමට මම කිව්වා චන්ද්‍රානි- මං නෑවිත් ඉන්නං කියලා. කොහෙද, මාවත් ඇදගෙන ආවා. මම දන්නවනේ- මල්ලිකාලගේ ශ්‍රද්ධාව ගැන. දැන් ඉතිං එළුවෙක් වගෙ ගිලපල්ලකො කොළ!”

කෑම මේසය දිහා අපුලෙන් බලාගෙන කියන නෙවිල්ව තවත් අවුස්සන්නේ චන්ද්‍රානි අක්කයි.
“ඇත්තමයි නෙවිල් මල්ලී. අර උපාසක අම්මණ්ඩිලා මුඛවාඩම් එහෙම බැඳගෙන, අපිට කුස්සිය පැත්තටවත් එන්න නොදී උයද්දී- මමත් හිතුවේ නියම කරි ජාති ටිකක් උයනවා ඇති කියල. මෙව්වා උයද්දී කටට කෙළ උනනවයැ මුඛවාඩම් බඳින්නේ. උන්ට පිස්සු.”

“ඒක නේන්නං. හාමුදුරුවරුන්ට උපන් තේකට මෙහෙම වෙජිටේරියන් දාන හම්බ වෙලා නැතිව ඇති!” නෙවිල් කිව්වේ ඇත්තකි. එකේක විදිහට ජාති පහළොවක් විස්සක් විතර හදල තිබ්බත් එයින් වැඩි හරියක් කොළ වර්ගය; ලෙඩ්ඩුන්ට දෙන ජාතියේ දිය එළවලුය. පිළිහුඩු ජාති එකක්වත් නැත!

ඔය ගොඩක් බණ දේශනාවලදී දෙසන්නෙත් ඔය වගෙ දිවිය ලෝකෙට යන්න බඳින තඩි ඉනිමං ගැනමයිනේ.

“දෙකක් නෑ! හාමුදුරුවරු දානේ වළඳන්න ඇත්තේ මේ උපාසකම්මලගේ අම්මලව විතරක් නෙවෙයි අම්මලගෙ අම්මලවත් මතක් කර කර.”

ඒ අම්මලගෙ කතාව මල්ලිකාගෙ කණටත් ගිහිල්ලයි නතර වුණේ. ඊට පස්සෙයි, අර විදිහේ පින්කම්වල අවසාන භාගයට විතරක් අපිව සහභාගී කරවගන්න පටන් ගත්තෙ. ඒ විත්තිය මතක් වෙලයි මං ‘පින්කමේ අන්තිමට එන්නං’ කියල මල්ලිකාට කිව්වේ.

“මේ සැරේ එහෙම බෑ! දානේ වෙජිටේරියන් එකක් නෙවෙයි, අයියේ. ඔයාලට කැමති කැමති දේවල් හදාගෙන එන්න පුළුවන්. සැලඩ් වගේ ජාති ගෙදරදී කපාගෙන ඇවිත් එහෙදී mix කරගනිමු. හැබැයි එක එක්කෙනා හදාගෙන එන ජාති ටික කලින් කතා වෙන්න වෙයි. මතක හිටින විදිහේ දානයක් දෙන්න එපැයි.”
“මොකද යකඩෝ මේ සැරේ හැබෑ වෙනසක් වෙලා.”

“අයියා දන්නෑනෙ, මේ දා..නේ දෙන්න හදන්නෙ හොරණ ගෙදරදී... නන්ද හා..මු..දු..රු..වෝ තමයි අයිඩියා එක දුන්නේ.” සුනිල් කිව්වේ එතකොටය.

“ලොකා, ඔයා මොනව මොනවද දානෙට හදන්නේ?”
මානෙල් මගෙන් ඇහුවේ වැඩිමනත් විස්තර දැනගන්න ඕනිකමට. “... පින් සිද්ද වෙයි, ඔයා එන්නේ නැතිව නං ඉන්න හදන්න එපා. එහෙම හොඳ නැහැනෙ ලොකා...කවුරු කළත් හොඳ වැඩක්නෙ. පිනකුත් සිද්ද වෙනවනේ... තාත්තවයි, නෝනවයි, ආච්චිලා සීයලාවයි සේරම මතක් කරලා දෙන දානයක්නෙ...”
“ය..මු..කො එහෙනං!”

“අයියේ, දානෙට එකේක ජාතිත් හදාගෙන කට්ටි ගොඩක් එනවා. මම හිතන්නේ පනහක් විතර එවෙයි. ඒ හින්ද අපි හදන ජාති හැටකට විතර හදාගෙන යන්න වෙනවා.” දානයට දින කිට්ටු වෙද්දී, හැමදාම වාගේ අහන්නට හරි කියන්නට හරි දේවල් අපේ මල්ලිකාට තිබුණු හැටි!  
“ඉතිං මල්ලිකා- එහෙම කරන්න වෙන බව කල් ඇතිව ඒ කාට-කාටත් කියන්න වෙයිනෙ!”
“දැනටමත් මම කියල ඉවරයි. කවුරුත් කැමතියි එහෙම හරි සංඝික දානේක කොටස්කාරයෝ වෙන්න. ලොකු පිනක්නේ අයියේ... කෙනෙකුට දෙව්-මිනිස් සැප-සම්පත් ලබන්න- ආත්ම ගාණකටම ඒ පින ඇති!”

“අපොයි ඔව් නේන්නං... මල්ලිකා! ඔය ගොඩක් බණ දේශනාවලදී දෙසන්නෙත් ඔය වගෙ දිවිය ලෝකෙට යන්න බඳින තඩි ඉනිමං ගැනමයිනේ.”

“අනේ අයියේ, මම නං ඔච්චර පණ්ඩිත වෙන්නැතුව ඉන්නයි කැමති! ඒක නෙවෙයි. ඔයා මොනවද හදන්න යන්නේ?”
“මොනවද එකේක්කෙනා දැනටමත් බාරගෙන තියෙන්නේ?”

මල්ලිකා, ඔයා කරපු පින්කම් කොච්චරද? ඔයා එව්වා කළේ දිවිය ලෝකෙ යන්න බලාගෙනමයිනේ. ඒ ප්‍රාර්ථනාව ඉෂ්ට වුණා නං- ඔයා තවමත් දිවිය ලෝකෙ නං- ඔහෙ ඉඳගෙන හරි, මගෙන් ඔයා ගැන ලියවෙන දේවල් එහෙමත් කියවන්නකො.
ඉතිං. ඔයා එදා දානේ වැඩේට වෙච්ච මහන්සිය හින්දම තමයි... පනහක්- හැටක් විතර හොරණ ගෙදරට ඇවිත් හිටියේ! ගොඩක් මහන්සියෙන්; සර්ධාවෙන් පිළියෙළ කරගත්තු දේවල්, පිරිකර එහෙමත් හිස් මුඳුනේ තියාගෙන...

කුරුලු කැදැල්ලක් හදනව වගෙ සැලකිල්ලෙන්ලු ඒ ගේ පොඩිත්ත හැදුවේ. ඒත් එයාලා ඒක හැදුවට... (foto- උදේනි අල්විස්) 

“රංජි, ඔයත් ඇවිත් මෙව්වා හරියට කෙරෙනවද කියල බලන්නකො චුට්ටක්!” හැම තැනටම එබි-එබී යන ගමන් අපේ අම්මා කිව්වෙ, මොනවා හරි කියන්න ඕනි නිසා.

“මං නැතුවට ඔය තව ශ්‍රද්ධාවන්තයො පොකුරක්ම ඉන්නේ, ඒ වැඩේට!” කියලයි මං එතනින් ගැලවුණේ. එහෙම ගැලවිලා ගේට්ටුව හරියට ගියේ ‘අර ඉද්දමලීලගේ සිනහවේ මිහිරියාව සිත්සේ විඳ ගන්න’යි.

එතකොට තමයි මං ඒ දෙන්නව දැක්කේ. මුලින්ම එයාලව දකිද්දී මට හිතුණේ එයාලා දෙන්නා අක්කයි නංගියි කියලා.

“ආනේ... ඔය මහත්තය නං ලීලා ශ්‍රෝඩර් මැතිතුමියගේ ලොකු පුතා වෙන්ඩ ඕනි.” වයසින් වැඩි බව පෙනුණු කෙනා මගේ ළඟට ඇවිදින් කිව්වෙ කිසිම පැකිළීමක් නැතිවයි. “මොකක්ද දුවේ, ලීලාවතී මැතිනිය එදා මේ මහත්තයගේ foto පෙන්නන ගමන් කිව්ව නම...”
දෙයි හාමුදුරුවනේ! එහෙනං මේ අක්කයි නංගියි නෙවෙයි- අම්මයි දුවයි. (අර add එකෙන් අපටත් ගාන්නෙයි කියපු සබන් ජාතිය වෙන්ඩැති ගාන්නේ.)

“අපි ඉන්නේ අර ගෙදර!” අම්මා සිරික්කියක් එහෙම දාලා, පාරෙන් එහා පැත්තේ තිබ්බ පොඩි ගෙදරක් පෙන්නුවා.
“එහෙමද... ඔය හරියෙමයි අපේ මල්ලිලා ගත්තු ඉඩම් කෑලි දෙකකුත් තියෙන්නේ.” මොනව හරි නොකිව්වොත් හොඳ නැති නිසා මං කිව්වා.

මගේ කතාවට ඒ දෝණියන්දෑ හිනා වුණා. නමුත් දුවටත් වැඩියෙන් තොඳොල් වෙවී හිනා වුණේ අම්මයි.

“ඒ ඉඩමක් තමයි අනේ! මල්ලිකා නෝනල කුරුලු කැදැල්ලක් හදනව වගෙ සැලකිල්ලෙන්ලු ඒ ගේ පොඩිත්ත හැදුවේ. ඒත් එයාලා ඒක හැදුවට පදිංචියට ආවේ නැහැනෙ. ඔහෙ නිකං වහල දාලයි තිබ්බේ.
අපේ නන්ද ලොකු හාමුදුරුවන් වහන්සේ තමයි සුනිල් මහත්තයලට කතා කරලා - අපිට ඒ ගෙදර අරන් දුන්නේ- කුලියට. උන්නාන්සේටත් ලොකු හයියක්නෙ දන්න අඳුරන මං වගෙ කෙනෙක් මේ ආරාමෙට ළඟ-පාතින්ම ඉන්න එක! අනික උන්නාන්සේට ඔළුවේ කැක්කුමක් හැදුණත් හිසේ තෙල් අල්ලක් ගල්ලන්නවත්...”

ඒකත් ජයසිරි මංගලම් කිව්වලු. වෙන තැන්වල නං කාන්තාවන්ට සවියක් වෙන්නේ පුරුෂයන්ය. මෙතැන ඒකේ අනිත් පැත්තය.

“මො..ක..ද නිමල් මහත්තය කල්පනාවට වැටුණේ? අවුරුද්දට දෙකට සිද්ද වෙලා තියෙන වෙනස්කං කියලා හිතුණද? ඔය ඊට එපිටින් තියෙන අනිත් ඉඩම් කෑල්ලත් මල්ලිකා නෝනා නිමල් මහත්තයලගේ අම්මටම විකුණුවනෙ!”
එහෙනං මල්ලිකාලට දැන්මම හොරණ බොරලුගොඩ එපා වෙලාවත්ද?

ඒ විස්තර කියන්නංකො එකොළොස්වෙනි කොටසෙන්...

26 comments:

  1. අනිත් වෙලාවට උපාසකම්මට හාමුදරුවෝ ගල්වනවා ඇති නේහ් ලොකා

    ReplyDelete
    Replies
    1. උදාරත් අපායේ යයි පව් කතා කියලා! බලාගෙනයි රජෝ....

      Delete
  2. නන්ද ලොකූ අවශ්‍ය කට්ටියට අහල පහලිංම ගෙවලුත් අරං දීල වගේ.

    ReplyDelete
    Replies
    1. යකඩෝ- දිවැස් තියෙනවද ප්‍රසන්න මහත්තයෝ?

      Delete
  3. එහෙනම් අපි හිතුවා හරිය, අම්මා ගෙදර පූජ කරලා ය...
    අන්තිම ජේදයේ තියෙන ආකාරයට හාමුදුරුවෝ තමන්ගේ දු දරුවනුත් පන්සලට ලගින්ම නවත්වා ගෙන වගේ,

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් Lotus!
      හුඟක් උන්නාන්සේලා ගිහි උදවියට වඩා පවුල්- පන්සල්වලට ලැදියි...

      Delete
  4. අර කිව්වත් වගේ එහෙනං ඒකත් ජයසිරි මංගලම් කිව්වලු. පවුල්-පන්සල් වෙනවා කියන්නෙ මේකට වෙන්ටෑ?
    "අපේ අම්මගෙ මව්වත්කම අඩුයි" කියල නිදි කිව්ව එක දැනුයි හරියටම තේරුනේ.

    තව කමන්ට් වැටුනාම ආයෙ එන්නං.

    ReplyDelete
    Replies
    1. එන්න එන්න බස්සෝ!
      ඒ ආවමත් සාදරයෙන් පිළිගන්නවා.

      Delete
  5. ඉස්සරට වැඩිය දැන් හාමුදුරුවන්ගෙ විනය පිරිහිලා කියනව. ඇත්ත වෙන්න ඇති. හැබැයි පංසල් දේපල ගැන ආරවුල්නම් හාමුදුරුවන් අතර ඉංග්‍රීසි ආණ්ඩු කාලෙ ඉඳන් තිබුන. පංසල් නඩුවලින්ම තමන්ගෙ මූලික ආදායම හදා ගත්ත ලෝයර්ස්ලා එදත් හිටිය, දැනුත් ටිකක් ඉන්නව.

    මං දන්න පංසලක දැනට සෑහෙන කාලෙකට ඉස්සර දේපල ප්‍රශ්නෙකට එක හාමුදුරුකෙනෙක් තව හාමුදුරුකෙනෙකුට තැඹිලිවල්ලකින් ගැහුවා, එයා අනිත් එක්කෙනාට පිහියෙන් ඇන්නා.

    ReplyDelete
    Replies
    1. පන්සල් නඩුවලින්ම? එහෙම තමයි Pra Jay මහත්තයෝ. ඒකනේ පන්සල්වල ඉන්න උන්නාන්සේලා අපිට පන්සිල් රකින කියලා දේශනා කෙරුවට - උන්නාන්සෙලා නොරකින්නේ...
      රකින්න වෙලාවක් තියෙන්න එපැයි!
      තමුන්නාන්සේ කෝල් එකක් දුන්න වෙලාවක මතක් කරන්නකෝ- ඔය වගෙ ලොකු පන්සලක අධිපතිකමට කෝටි ගණන් එහා-මෙහා වෙච්චි හැටි ගැන දැනුමැත්තෙක් ගැන ඔත්තුවක් දෙන්න.

      Delete
  6. //වැරදි වෙලාවක වැරදි තැන හිටියත් කරදරවලට ගෑවෙනවා; වැරදි මිනිස්සු එක්ක හිටියත් ඒ සෙතේම තමයි// සැටිපිකැට් ඇත්ත!

    ReplyDelete
    Replies
    1. සෑර්ටත් ඩාං-ඩූං ගොඩක් වෙලා වගෙ!

      Delete
    2. ඇත්තම කිව්වෝත් මට ඔය සංතෑසිය වෙලා තියෙන්නෙ අඩුවෙන්ම.
      ඒත් වෙන ඈයොන්ට ඔය දේ හොඳාකාරවම වෙනව... දැකල අහල තියේ.

      Delete
  7. "ඔයාල එකතු වෙලා කියන පව් කතා හින්දා අපේ පුතාල දෙන්නත් මිථ්‍යාදෘෂ්ටිකයන් වෙනවා... ඒ දානමය පින්කම අන්තිමේ අපේ මල්ලිකා එළිපිටම කිව්වා". දාන පාරමිතා පිරුවට අනිත් අයගෙ මත ඉවසන්න පුරුද්දක් නෑ වගේ. නිමල්ගෙ අම්මා out of desperation කරන දේ හා මල්ලිකා ශ්‍රද්ධාව ඉහ වහා ගිහින් කරන දේ අතර ලොකු වෙනසක් නෑ.

    "උන්නාන්සේටත් ලොකු හයියක්නෙ දන්න අඳුරන මං වගෙ කෙනෙක් මේ ආරාමෙට ළඟ-පාතින්ම ඉන්න එක!" නැතුව නැතුව! ඔය නිමල්ලා වගේ අයට තේරුනේ නැති වුනාට ඒ උන්නන්සෙලත් මනුස්සයොනෙ. How sad.

    ReplyDelete
    Replies
    1. අනේ Lotus, අමනාප වෙන්න නං එපා. ඔයාගේ කමෙන්ටුව කියවද්දී හිතට ආව පළමු හිතුවිල්ල අකුරු කරනවා.

      නැතුව- නැතුව, මොකද උන්නාන්සේලට නාඩි වැටෙන්නේ නැතිවය? ඉටිපන්දම්ද තියෙන්නේ......

      Delete
  8. //ඕනි නං ටිකක් හොයල බලන්නකො- පන්සලක අධිපතිකමට (ලේ) උරුමක්කාරයන් හදන හැටි ගැන... සංඝ පරම්පරාවල් ගැන.// මම අපේ මව්තුමි අරන් ඉන්දියාවේ ගිය වෙලේ හාමුදුරු ගොල්ලෝ සෙට් එකකුත් ආව කෝච්චියේ. අර රාජස්ථාන් යන එකේ. එක හාමුදුරුනමක් මම අඳුර ගත්ත සෝවියට් දේශයේ ඉගෙන ගත්ත කෙනෙක් කියල. එහෙට ඉගෙන ගන්න ආපු හුඟක් හාමුදුරුවරු රුසියානු මාර දුතිකාවන්ට අහුවෙලා සිවුරු ඇරියට මෙයා සිවුරු ඇරියේ නැහැ. ඉතින් මේ හම්බ වෙච්ඡ වෙලාවේ මම ඇහුව ඇයි සිව්රු ඇරියේ නැත්තේ කියල. මෑන් කියනවා , අජිත් පන්සල අපේ ලොකු මාමගේ. අක්කර ගණනාවක් ගොඩ මඩ ඉඩම් අයිතියි පන්සලට. ලොකු දාන ශාලාවක්, ඔක්කොම පහසුකම් ඇති විහාරස්ථානයක් තියනව. මාව මහණ කලේම පන්සලේ අයිතිය ඊලඟට මට එන නිසා කියල. ඉතින් මම ඇහුව දැන් ඇවිල්ලද කියල. මාම තවම ඉන්නවලු වයසයි ලු. එයා බලවත් පොඩි හාමුදුරුවෝ ලු . මම ඉතින් කීව රුසියාවේ ඉඳලත් ඉතින් ලොකු දහිරියක් ඒක , හොඳයි හොඳයි. මෑන් කියනවා, රුසියාවට යන්න කලින් ඉඳන් දහම් පාසැල් ආපු නංගි කෙනෙක් එක්ක යාලු වෙලානේ හිටියේ. එයා තමයි තවමත් ඉන්නේ කියල. - පන්සල ගැන ලියන්නේ නැහැ. ටිකක් දැන් ප්‍රසිද්ධ එකක්. සාදු සාදු (වැඩේ කියන්නේ ඕව ඔක්කොම කීවේ එතන තව තරුණ හාමුදුරුවරු කීප නමක් ඉන්දෙද්දී)

    ReplyDelete
    Replies
    1. ගොඩාරියක් ස්තුතියි අජිත් මහත්තයෝ, ඔයාගේ අත්දැකීම අපේ පාඨක රසිකයන් එක්ක බෙදා ගත්තට.
      හුඟක් පන්සල්වල ලොකු උන්නාන්සේලා තමන්ගේ නෑදෑ වෙන ළමයෙක්ව තමයි මහණ කරවලා උරුමේ දෙන්න ලැහැස්ති කරවන්නේ!

      Delete
    2. නෑදෑයෝ කිව්වාට නෑදෑයෝම නොවයි නේ තමන්ගේම සහජාත (අවජාත) දරුවෙක්

      Delete
    3. Must have adopted the Christian tenet "go forth and multiply" lol

      Delete
    4. Ano, මම නං ඔය සහජාත, සුජාත, අවජාත සංකල්ප එච්චර තකන්නේ නෑ.
      ශුක්‍රාණුවක් හා ඩිම්බයක් එකතු වීමෙදී ඒවා දන්නවයැ - එව්වයේ හිමිකාරයෝ කසාද බැඳලද කියලා.

      Delete
  9. අපි කවුරුත් එක එක ජාතියේ ලොකු පොඩි භේදයක් නැතිව වැඩ කරන්න පටන්ගන්නවා. වැඩේ යද්දිත් කවුරු මොනා කීවත් ඒ දේවල් සැලකිල්ලට ගන්නේ නෑ. මගක් කරගෙන යද්දී මේක අවුලක් කියලා තේරුනත් වැඩේ අතරමග නතර කරන්නේ නැ. වැඩේඉවරවෙලා බලද්දී තමයි තේරෙන්නේ තමං කරලා තියෙන්නේ මහ පලකට නැති අමුම අමු බොරු වැඩක් බව..එත් ඒකෙන්වත් පාඩම් ඉගෙන නොගෙන ආයෙත් අර මෝඩකම් වෙනත් විදිහටම කරනවා.. මේවා අපේ ජානීය ලක්ෂෂණයක් වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. ඕක අපේ ජාතියේ විතරක් නෙවෙයි, අසංග මහත්තයෝ- මනුස්සකමේත් සොබාවය වගෙයි. නෙවෙද?

      Delete
  10. +++++++++++++ස්තුතියි මයියා+++++++++++++

    ReplyDelete