අකුරු මැකී නෑ

Monday, March 18, 2024

ප්‍රෝඩාරාමය - නවවෙනි කොටස

නිශාන්ත කිව්වේ දේශපාලනඥ සනත් නිශාන්ත මහතාට නොවේ. මගේ හිතවතෙකු වන යූ.ඩී. නිශාන්ත කුමාරටය. මේ නිශාන්ත තජකයේත් හිටියේය. ඊට කලින් ජාතික තරුණ සේවා සභාවේත් හිටියේය. (මා අමද්‍යප තරුණ පුහුණු මුද්‍රණාලයේ සේවය කරද්දී, කොහුවල ප්‍රියන්ත මල්ලීව එහි පුහුණුවට එව්වේ නිශාන්තය. ඒ ප්‍රියන්ත මල්ලී නුගේගොඩ No Limit සාප්පුවෙදී පිපුරුණු බෝම්බයෙන් මිය ගියේය.)

මේ නිශාන්ත හාදයා ‘ප්‍රෝඩාරාම’ postsවලට ගෑවෙන්නේ පුදුමාකාර අහඹුවකිනි!

ඒ විවාහ මංගල්ලයේ රාජකාරි කිහිපයක්ම අපටත් පැවරිණි. අපටය කිව්වේ... 

නිශාන්තත් නීෂිත් දෙන්නා පති-පතිනි විජිතයේ අබිසෙස් ලැබුවේ 2001 වසරේ ජනවාරි පස්වෙනිදාය. එතකොට නිශාන්ත ගල්කිස්ස (Science College) විද්‍යා විද්‍යාලයයේ ආචාර්යවරයෙකු විදිහට රාජකාරි කරමින් උන්නේය. ඒ ගුරු මණ්ඩලයේමය ශාන්ත කුමාර අපොන්සුත්, තැන්නේකුඹුර අමරකෝන් රාජපක්ෂ වාසල මොහොට්ටිගේ ප්‍රියන්ත සෙනෙවිරත්නත් සේවය කළේ.

කොට්ටාවේ පදිංචිව; ගල්කිස්සේ රැකියාව කරමින් සිටි නිශාන්තට මාතර වැලිගම නීෂිව මුණ ගස්වන්නට ඇත්තේ මහබඹා විය යුතුය. ඒ විවාහ මංගල්ලයේ රාජකාරි කිහිපයක්ම අපටත් පැවරිණි. අපටය කිව්වේ මර්වින් බොතේජු, නෙවිල් අනුරසිරි, අපොන්සු, ප්‍රියන්ත සෙනෙවිරත්න හා මටත්ය.

(අපොන්සු; ශාන්ත කුමාර අපොන්සුගේ විවාහ මංගල්‍යයට කලින් දවසේදීය, නිදි ජීවිතයේ පළමු හා එකම වතාවට ‘කුකුළු මස් කේඳිලා පිසින හැටි’ දැක ගත්තේ!)

මගේ මතකය හරි නම් නිශාන්ත කුමාර මනාලයා එක්කරගෙන යන රාජකාරිය, මර්වින්ටය පැවරී තිබ්බේ. මංගල උළෙලේ ඡායාරූප ශිල්පියා වුණේ අපේ හිතවත් නෙවිල් අනුරසිරිය. නීෂිව මනාලියක ලෙස හැඩ-වැඩ කර අන්දවන රාජකාරිය ගීතා ශ්‍රීමතී සොහොයුරියට බාරවී තිබිණි.
ඒ තිදෙනාමත්, අපොන්සු හා නිශාන්තත් ඒ වෙද්දී ශ්‍රීලංපසංස
තරුණ ජනගහන කමිටුවේ සාමාජිකයන්ය!

“අපි කට්ටියම 4 වෙනිදා රෑ ඉන්දිරා අක්කලගේ අහංගම මහ ගෙදරට යමු. එදා රෑට එහෙ ඉඳලා පාන්දරම නීෂිට head dress එකයි බොකේ එකයි අරගෙන යන්න තියෙනවනෙ.” නිශාන්ත අපට කිව්වේය.
“ඒක අපිට කියල හරි යනවයැ? ඒ වැඩේ කරන්න ඕනි දෙවෙනි මනාලයනේ.”
“ඉඳපල්ලකො යකුනේ, නිශාන්ත මල්ලිට කියන්න දීලා. තවම ඒ මනුස්සයා කතා කරන්න ගත්තා විතරයිනෙ.”
“හැබෑද නිශාන්ත. ඔයා කතා කරන්න ගත්තේ දැන්ද? මෙච්චර කල් teaching කරනකොටත් ඔයා කතා නොකරද හිටියේ?”

“ඔව්වොව්! නිශාන්තගෙ පෙකණි වැල කැපුවෙත් ඊයේලු!”

“නිමල්, පොඩ්ඩක් ඉවසල හිටපංකො මචං. මර්වින් අයියෙ, ඔයත්. නෙවිල්... මේ දෙන්නව දෙපැත්තෙන් වාඩි කරගනිං බං. එතකොටවත් මේ දෙන්නගෙ රණ්ඩු නවතියිනෙ... කියන්න නිශාන්ත මල්ලී...”
ඉන්දිරාගේ කීමට කීකරු වුණු නෙවිල් මර්වින්ටත් මටත් මැද්දෙන් වාඩි වුණේය. නිශාන්ත ආපහු කතාව පටන් ගත්තේය.

“අපේ දිලිප් මල්ලී බොකේ එක අරගෙන යයි. ඒ යන්නෙ නෙවිල්ගෙ කාර් එකේ. ගීතක්කත් ඒකෙමයි එහාට යන්නෙ. බොකේ එක දුන්නට පස්සේ ඔයාලා කට්ටියම නීෂිලගේ ගෙදරයි, මඟුල් මඩුවයි සරසන වැඩේට උදව් වෙන්න ඕනි.
නිමල් අයියේ, ඔයාට පුළුවන් නේද සෙටි බෑක් එකත් හදන්න. නීෂිලා මල්ලිගෙ යාළුවොත් ඉන්නවනේ උදව්වට... සරසන්න ඕනි කරන දේවල් සේරම එහෙ ලෑස්ති කරලා ඇති!”

අපේ ‘කලා පිළිසඳර’ වෙලාවේදී සිසිල් බීම සංග්‍රහයකුත් පිළිගැන්විණි. ප්‍රියන්ත සිසිල් බීම වීදුරුවක් ගත්තේ නැත!

නැකත් යෙදී තිබුණු හැටියට නාස්ති කරන්නට තරම් වෙලාවක් අපට තිබුණේ නැත!

විවාහය ලියාපදිංචි කළාට පස්සේ නම්, දිවාහාරය තෙක් පැය දෙක-තුනක විවේකයක් අපට ලැබිණි. ඒ වෙලාව මට නම් ඉතා රසවත් එකක් විණි. එහෙම වුණේ අපොන්සුත්, ප්‍රියන්තත් හින්දාය.

එතකොටත් අපොන්සු හොඳ කලා රසිකයෙකු වෙලා හිටියේය; එන හැම චිත්‍රපටයක්ම පාහේ නරඹා- ඒවා ගැන පුවත්පත්වලට විචාර ලියන පුරුද්දකුත් අපොන්සුට තිබ්බේය. ඒ මදිවාට පොත් කියවන්නටත්- කවි ලියන්නටත්...
ප්‍රියන්ත සෙනෙවිරත්න එවිටත් ප්‍රසිද්ධ වේදිකා නාට්‍ය නළුවෙකි; රූපවාහිනී නළුවෙකි; විකට නළුවෙකු ලෙසින් ජනාදරයට පාත්‍ර වෙමින් සිටියෙකි.
චිත්‍රපට- නාට්‍ය නරඹන; පොත් කියවන රසික මට ඒ දෙන්නාගෙන් විමසා දැනගන්නට- දහසක් දේ තිබිණි. ඇත්තම කියතොත්, කිසිම කම්මැලිකමක් නැතිවය ඒ පැය කීපය ගෙවුණේ.

එදා මා ප්‍රියන්ත සෙනෙවිරත්න හිතවතාගෙන් ඉගෙනගත් දෙයක් අද වෙනතුරුත් මට උදව් දෙයි. ඔයාට ගොඩක් ස්තුතියි ප්‍රියන්ත!
ඔබ ඒ පාඩම මට කියා දුන්නේ හිතා-මතා නම් නොවේ!

අපේ ‘කලා පිළිසඳර’ වෙලාවේදී සිසිල් බීම සංග්‍රහයකුත් පිළිගැන්විණි. ප්‍රියන්ත සිසිල් බීම වීදුරුවක් ගත්තේ නැත.

ඉහින් කණින් දාඩිය පෙරමින්- දාහයෙන් පෙළෙමින් උන් කෙනෙකු සිසිල් බීම වීදුරුවක් ප්‍රතික්ෂේප කරනවාද? මගෙන් ප්‍රියන්ත වෙත යොමු වුණේ විමංශණාක්ෂියයි. ඒ බව හොඳින්ම පෙනුණු නිසා වෙන්නැති, ප්‍රියන්ත උත්තර දුන්නේ.
“වේදිකා නාට්‍ය නළුවෙක්; එනවුන්සර් කෙනෙක්; ගායකයෙක් වුණාම නිමල් අයියේ, අපිට වෙන එක අවාසියක් තමයි ඒ. කූල් ජාති බොන්න හොඳ නෑ! Cool drinks කියන්නේ අපිට වහ!! කූල් ජාති බිව්වොත් සෙම වැඩි වෙලා කටහඬ සවුත්තු වෙනවා!”

දන්නවනෙ නිදිගෙ හැටි. වෘත්තීය නළුවෙක්; එනවුන්සර් කෙනෙක්; ගායකයෙක් නොවුණත් නිමල් දිසානායකයා අර මාහැඟි උපදේශය ක්‍රියාත්මක කරලා බැලුවේය. තමුන්ම ගිනියා පිග් කෙනෙකු; පර්යේෂණාගාර මීයෙකු බවට පත් වෙලා බැලුවේය.
අම්මපා- ප්‍රියන්තගේ කතාව ඇත්ත නේන්නං!

ඒ අතරවාරයේ ගායිකා නිරෝෂා විරාජිනී පත්තරේකට කියා තිබූ දෙයකුත් මේ නිදියාට මතක් වුණේය. ‘උණු වතුර බිබී පැය ගණන් voice ට්‍රේනින් කරන අපි...’

ඉතිං ඊට පස්සේ, නිදි උගේ බෙලෙක්ක කටහඬ පරෙස්සම් කර ගැනීම සඳහා කූල් බීම වර්ග පානය කරන්නේ අඩුවෙනි. සිංදු කියන වෙලාවක නම් උතුරණ උණු වතුර වීදුරු දෙක තුනක්ම බොන්නටත් ඒ හාදයා අමතක නොකරයි!

අල්ලාප-සල්ලාප, උසුළු-විසුළු හා විනෝද සෙල්ලම් අස්සේ කට කැඩුණු කතන්දරත් පිටාර ගැලුවට පස්සෙ...

ඉතිං ආයෙම මඟුල් ගෙදරට ගියොත්...
දිවා භෝජනයෙන් පස්සේ අපි අලුත් ජෝඩුව කොග්ගල බීච් හෝටලයට කැන්දාගෙන ගියෙමු. ඊට පස්සෙත් පැයක් දෙකක් අපට එතැන ලගින්නට සිද්ද වුණේය. ඒ නෙවිල් අනුරසිරි නිසාය...

“ඔන්නොහෙ නෙවිලටත් හෝටලේම ඉන්න කියලා අපි ගෙදර යමුද බං...”
“හා හා එහෙම යන්න බෑ. හැබැයි, ඌ අලුත් ජෝඩුවට අම්බානක වද දෙනවා... ඌ දෙන වදවල හැටියට හවස් වෙද්දී උන් දෙන්නගෙ හොඳ පණ ගිහිං තියෙයි. අර... අර... නෙවිලයා නිශාන්තලව බීච් එකේ ඇවිද්දවනවා... ටිකකට ඉස්සෙල්ලා මේකා උන් දෙන්නව අරලිය ගහක් උඩට නැග්ගෙව්වේ.”
“එහෙම නෙවෙයි මචං. නෙවිලුත් ප්‍රොෆෙෂනල් ෆොටෝග්‍රැෆර්
කෙනෙක් වෙන්ඩයි යන්නේ.”

“මේ, ඒක නෙවෙයි. නිමලෝ- එන වීක්එන්ඩ් එකේ අපි හොරණ ගෙදරට යමුද?” ඊළඟ සති අන්තයේ හොරණ යන්නට යෝජනාවක් ආවේ ඒ අතරවාරයේය. ඒ යෝජනාව ඉදිරිපත් කරන පමාවෙන් ඒකච්ඡන්දයෙන් සම්මත වුණාත් එක්කය. ගමන යෙදුණේ නිශාන්තලගේ home coming එකට පසුවදාය.

“නිශාන්තල ජෝඩුවත් එන්නංලු. කමක් නෑ නේද මචං...”
“ෂෝක්නේ!”

එයාලාත් හොරණ ගෙදරට යන්නට එකතු වුණේ එහෙමය. එයාලය කිව්වේ නිශාන්තත්, නීෂිත්, නිශාන්තගේ නංගි අනුජා තරංජලීත්ය. එහිදී අල්ලාප-සල්ලාප, උසුළු-විසුළු හා විනෝද සෙල්ලම් අස්සේ කට කැඩුණු කතන්දරත් පිටාර ගැලුවට පස්සෙ...
එතකොට සවස තුනට විතර ඇතිය! ඔන්න ඔක්කොම රොත්ත- බුරුත්ත පිටින් තටාකයට--> වතුරට...

වෙලාව ගත වෙන විත්තියක් අපෙන් කාටවත්ම සිහි වුණේ නැත!
ඒ අතරේ...

පිහිනුම් නොදන්නා අනුජා වැරදීමකින් ගැඹුරු තැනකට ගිහිං ගිලෙන්නට ගියාය. පීනන්නට බැරි උදවිය වුණත් දියේ ගිලෙන්නේ බය වුණාමය. එහෙව් වෙලාවක කරන්නට ඕනේ හොඳ කල්පනාවකින් ගත යුතු තීරණ ගැනීමය. මොනරාගල, බඩල්කුඹුරේ පරෙයියන් ඇල්ලට වැටී, දිය පහරට අසුවී පහළට ගසාගෙන යද්දී මං වහන්සේ කළේ ඒකය.
මල්වතු ඔයේ ගිලෙන්නට යද්දී නං මට එහෙම හිතන්නටවත් ඉඩක් නොදී- අනුරාධපුර සෞඛ්‍යදානයේ කිරිල්ලී
හනික දියට පැන මාව බේරා ගත්තාය!

ඉතිං වතුර උගුරක්වත් නොපෙවී තිබියදීත් අනුජා pool එකෙන් ගොඩට ආවේ ‘මට ඇති!’ කියමිනි. ඒත් එක්කම නිශාන්තලාත් ගොඩට...

ඊළඟ තත්ත්පරයේ තවත් කලබලයකි...
නීෂිගේ මංගල මුද්ද විතැන් වෙලාය.

පෙම්වත් දුෂ්‍යන්ත රාජයාණන් සොයා යන ගමනේදී, අහිංසක සකුන්තලාවගේ මුදුව ගං දියට වැටුණේ දුර්වාස සෘෂිවරයාගේ සාපය හින්දාය. ඒත්... නීෂිට?

‘නීෂි, ඔයා ring එක දාගෙනමද pool එකට බැස්සේ?’ / ‘හොඳට මතක් කරලා බලන්න.’ / ‘මුද්ද ටයිට් එකට තිබ්බේ නැද්ද ළමයෝ’ / ‘දැන් මොකද කරන්නේ?’

වතුර ඔක්කොම බහිනකොට, ෂුවර්- කරුවල වැටිල තියෙයි.
හරියට ‘විසි පැන’ වගෙය! (ඉස්සර ගුවන් විදුලියේ ප්‍රචාරය වුණු රසබර වැඩ සටහනකි- විසි පැන. මෙහෙයවන්නා ඉතා කෙටි රුකුලක් උත්තර දෙන කණ්ඩායමට කියයි. ඔවුනට නෑසෙනසේත්, අසන්නන්ට පමණක් ඇසෙනසේත් උත්තරය නිවේදනය කෙරෙයි. ඉන් පසුව පිළිතුරු දෙන කණ්ඩායම මෙහෙයවන්නාගෙන් ප්‍රශ්න අසමින් උත්තරය සොයන්නට වෙහෙසෙයි.)

‘මම කිමිදිලා බලන්නං!’
‘මේ තමුසෙ ඔන්නොහෙ ඉන්නවා. හරියට පීනන්නවත් බැරි එකා කිමිදෙන්න හදනවා. මෙතැන තව මඟුලක්...’ / ‘නෙවිලෝ.  අනේ මචං, හොඳ එකා වගේ ටිකක් වතුර යටට ගිහිං බලමුද?’ / ‘බලමු! හැබැයි පෙනෙන්න තියෙන ඉඩකඩ නං අඩුයි. අව්වත් බැහැගෙන යනවනෙ.’

නෙවිල්ගේ කිමිදීමෙනුත් සෙතක් වුණේ නැත. ඒ හාදයා කිමිදෙන අස්සේය, කතන්දරේ එතරම්ම සීරියස් වෙන හේතු කියැවුණේ.

අලුත් ජෝඩුව ගෙදරට පය තිබ්බායින් පස්සේ පිටතට ඇවිත් තියෙන්නේ එදාය. ‘ඒකත් යන දිහාවක් ගෙදරට නොකියයි නිමලෝ, මුං දෙන්නා අද මෙහෙ ආවේ! ඉස්සෙල්ලම පන්සලකටවත් එපැයි බං යන්න ඕනි.’ / ‘බැඳපු ගමන්ම වෙඩින් රිංග් එක නැති කරගෙන ගෙදර යන්න බෑ කියලයි අර නීෂි අඬන්නේ.’ / ‘අපි පූල් එකේ වතුර අයින් කරලා හිස් කරමුද?’

‘ඒකෙ නං ප්‍රශ්නයක් නෑ. ඒත්... වතුරත් එක්ක මුද්දත් එළියට ගහගෙන ගියොත්...’
‘හරි! මම ඉන්නං වතුර බහින කානුව ළඟ.’ / ‘මර්වින් විතරක් තනියම එතන ඉඳල බෑ. තව දෙන්නෙක්වත්... එක දිගට බලාගෙන ඉන්නකොට එපා වෙයි! මොකද පොඩි බටයකින් තමයි වතුර බහින්නේ. වතුර ඔක්කොම බහිනකොට, ෂුවර්- කරුවල වැටිල තියෙයි.’
“එහෙනං තවත් හිත-හිත ඉඳල බෑ. මම ගිහිං ඇබය ගලවනවා.” නෙවිල් වතුර යටට යන්නට හැදුවේය. “අපි කානුව ළඟට යනකල් හිටපන් බං...” මර්වින් වත්තෙන් එළියට දිව්වේය. තව දෙන්නෙකුත් ඒ පස්සෙන්...

මේ සිදුවීම් ලියද්දී බොහොමයක් දෙනාගේ නම්-ගම් නැතිවය, මං වහන්සේ විස්තර ලිව්වේ. එහෙම කළේ අවුරුදු 23කට පසුවත්; තවමත් සමහර දෙනෙකුට මේ සිද්ධිය රහසක්ව තිබෙතියි මට හැඟෙන බැවිනි.

හොරණ ගෙදර සොබාවික තටාකයේ වතුර සියල්ල බැහැරට යවා, නැට්ටටම හින්දෙව්වාට පසුවය, මංගල මුද්ද අපට හමු වුණේ. ඒ වෙලාවේය, අලුත් ජෝඩුව සැනසිලි සුසුම් හෙළුවේ. “දෙයියෝ බැලුවා!”

එදා; අදට අවුරුදු 23කට කලින්; 2001 සිද්ද වුණු ඔය අලකලංචියේ විස්තර ගොනු කර ගනිද්දී මට සශින් මුණසිංහ සමඟිනුත් කතා කරන්නට ඉඩ සැලසුණේය.
සශින් දැන්, අයස්මන්ත පීරිස් හිතවතාගේ නුගේගොඩ ‘සුඛිත සෞඛ්‍ය මධ්‍යස්ථානයේ ශාරීරික අභ්‍යාස උපදේශකවරයා’ ලෙසින් සේවය කරයි.

සශින් මුණසිංහ Lions Sports Club රගර් කණ්ඩායමේ දක්ෂ ක්‍රීඩකයෙකු ලෙසින් දැනටමත් දිගු ගමනක්…

සශින් ගල්කිස්ස විද්‍යා විද්‍යාලයේදී- නිශාන්ත, අපොන්සු, ප්‍රියන්ත තුන් දෙනාගෙන්ම ඉගෙන ගත්තෙකි. “එතකොට මම පහේ පන්තියේ හිටියෙ, නිමල් අංකල්. නිශාන්ත සර් අපේ අංශ භාර ගුරුතුමා. අපොන්සු සර් මගේ පන්තිය භාරව හිටියේ. අපට DT subject එක ඉගැන්නුවෙ ප්‍රියන්ත සර්.

-හැබැයි ඔයා කියන දෙදාස් එකේ නං මම අවුරුද්දක පොඩි එකෙක්!” සශින් හෙළි කළේ සිනාසෙමිනි.

ඒ විස්තරත් මෙතැනම ලිව්වේ- සශින් ගෝලයා ගැන අපේ ගුරුතුමන්ලා තුන් දෙනාටම ආඩම්බර විය හැකි බැවිනි. සශින් මුණසිංහ Lions Sports Club රගර් කණ්ඩායමේ දක්ෂ ක්‍රීඩකයෙකු ලෙසින් දැනටමත් දිගු ගමනක් පැමිණ ඇත!

“සශින් දන්නවද, සුඛිත staff එකේ නිශාන්ත සර්ගේ කිට්ටුම නෑදෑ දුවෙකුත් ඉන්න විත්තිය?” මගෙන් කියැවුණේ අන්තිමටය.

සශින් පිළිබඳ මේ විස්තර සඳහන් කරද්දී මගේ සිහියට ආවේ බ්‍රයන් වයිස් මහතාණන් ලියා ඇති පොත් කිහිපයකි. ඒවායේ තැනින් තැන කියැවෙන කරුණුවලට අනුව නම් ‘බොහෝවිට අප සසර පුරා සැරි සරන්නේ එකම කණ්ඩායමක් සමඟිනි. ඔවුහු විටින්-විට ඈත් වෙති- නැවත සමීප වෙති. ඒ සඳහා සහය වන්නෝ අහඹු ලෙසින් අපට සම්මුඛ වෙති. ඔවුහු තම-තමන්ගෙන් ඉටු විය යුතු මෙහෙය සිදු කරති.
අපට විණ කටින්නෝද, විපත් පමුණුවන්නෝද, සතුරු වන්නෝද එසේම වෙති...’

නන්ද ස්වාමීන් වහන්සෙත් අප සමඟින්ම සංසාර සංචාරයේ යෙදෙන්නෙක්ද...

“ශ්‍රෝඩර් නෝනා. ඕක තමයි ලෝක ස්වභාවේ. ඔබතුමීත් මේ නිමක් නැති සංසාරේ සැරි සරමින් යන ගමනෙදි... මීට කලිනුත් අපට හම්බ වෙලා ඇති. ඔබතුමී අනන්ත අප්‍රමාණ වතාවක් ලෝභය මෝහය දුරු කරලා, මේ වගෙම දාන-මානාදී පිංකම් කරලා ඇති. මට නම් ඔබතුමීව පෙනෙන්නේ මේ උපාසිකා මාතාව කියනවා වගේ- එංගලන්තෙ මහ රැජිනිය වගේ නෙවෙයි. රැජිනක් වුණත් ඒ උත්තමාවිය මිථ්‍යා දෘෂ්ටිකයිනෙ.
ඔබතුමී එහෙමද? ලෝකෙ තියෙන උතුම්ම ආගම; බෞද්ධාගම අදහන පින්බර උපාසිකාවක්නේ. ආන්න ඒ නිසා, ඔව්- අන්න ඒ නිසා- මට ශ්‍රෝඩර් මැතිනියව පේන්නෙ විශාඛා මහෝපාසිකාව වගේ; එහෙමත් නැත්තං බන්ධුල මල්ලිකා උපාසිකාව වගේ...” කියලයි නන්ද හාමුදුරුවන් වහන්සේත් කිව්වේ.

නන්ද කියන නමෙන් ඒ හාමුදුරුවන් වහන්සේව හැඳින්නුවේ මගේ ලෙහෙසියටයි.

උන්නාන්සේ අපේ කතන්දරේට enter වෙච්චි හරිම- හරි විදිහ නං සුදෝ, මං දන්නෙත් නෑ. මම දන්නෙ අපේ අම්මයි; සුනිලුයි, සුනිල්ගෙ හාමිනේ මල්ලිකායි මට කියපු හරියක් විතරයිනෙ.
ඒ කියවෙච්ච දේවල් සමහරක් එකිනෙකට පරස්පරයි. එහෙම වෙන්න ඇත්තේ ඒ කවුරුන්වත් ඇත්ත හංගන්න try කරපු හින්දා වෙන්න බෑ. එයාලට පෙනිච්ච විදිහ වෙන්නත් පුළුවනි- එයාලට මතක තිබ්බ විදිහ වෙන්නත් පුළුවනි.

මේ මඟුල් සක්වලට වැඩිය

කවුද දෙයියනේ හිතුවේ, දවසක මේ නිමල් දිසානායකටම මේවා මෙහෙම ලේඛනාරූඪ කරන්න වෙයි කියලා.

නිදිගෙ පංච තන්තරේ ලියන්න පටන් ගන්නකොට වුණත් මං වහන්සේ හිතුව එකක්යැ, ලෝකෙ හතර දිග් භාගයේම ඉන්න ආදරණීය පාඨක පිරිසක් උනන්දුවෙන් මේ විස්තර කියවාවි කියලා. එහෙම හිතුවා නං... අපේ අම්මට ඩිමෙන්ෂියාව හැදෙන්න කලින් මේ විස්තර අහලා- ලියලා- ගබඩා කරලා තියාගන්නවනේ.

අපේ නෑනා මල්ලිකාවෝ 2013 ‘මේ මඟුල් සක්වලට වැඩිය දිවිය ලෝකෙ හොඳයි’ කියල එහාට ගියා. අපේ අම්මත් ඒ පාරේම ගියේ 2023 නොවැම්බරයේ.
ඉතිං, නන්ද උන්නාන්සේ ගැන දන්න උදවියගෙන් තව ඉතිරි වෙලා ඉන්නේ කොහායි, සුනිලුයි, මායි විතරමයි. ඒ නිසා මට කරන්න පුළුවන්කම තියෙන්නෙ එකම එක දෙයයි. මගේ කන්වලට වැටිච්ච දේවල්වලින්, මම විශ්වාස කරන දේවල් තෝරලා- බේරලා- ගරලා- පෙරලා අරගෙන තමුන්නාන්සේලට කියන එකයි.
පොඩිත්තක් එහෙන්-මෙහෙන් අඩු වෙයි තමා. ඒත් කතන්දරේ තේරුම් ගන්න ඇහැකියි නෙව.
‘I provide. You decide!’

වතු අධිකාරි මහත්තයලව ගෙදරින් යවා ගන්න අපේ අම්මයි, කොහායි විශේෂ plan එකක් ගැහුවා වගේ කියලයි මට තේරුණේ.

“ඔයාලටනේ රංජි හොරණ ගෙදර ලොකු ඔළුවෙ කැක්කුමක් වුණේ. මම ඒක මහ භාරකාර දෙපාර්තමේන්තුවට පැවරුවා- පන්සලක් කරන්න.” හිටි අඩියේ අපේ අම්මා කිව්වා.
“අම්මා එහෙම කළා?” මං ඇහුවේ පුදුමෙන්. අපේ අම්මා ඔහොම දේවල් දැනගන්න විදිහක් නෑ- කව්රු හරි ගොඩ පෙරකදොරුවෙකුගේ ඔපීනියන් හම්බ වුණේ නැත්තං...

“කවුරු ඔපීනියන් දුන්නත් මොකෝ? ඒක මගේ සල්ලි වියදං කරලා හදවපු මගේම ගෙදරනෙ- මම මට ඕනි දෙයක් ඒකට කරනවා!” ඒ වෙලාවේ නං අම්මා මට උත්තර දුන්නේ අන්තිම උද්ධච්ච tone එකකින්!

‘හෙනං, විරාමයක් අරගෙන ‘ප්‍රෝඩාරාමය නවවෙනි කොටසෙදී’ නැවත හමු වෙමු!’ කියලයි මං පහුගිය කොටස අවසන් කළේ. අදත් ඒකම කියන්නං ‘නවවෙනි’ වචනය වෙනුවට ‘දහවෙනි’ වචනය replace කරලා. ඒකට කමක් නැහැනෙ?


24 comments:

  1. රසවත්මැයි, අතීත මතක මුසුවකි. ❤ 💘 ❤

    ReplyDelete
    Replies
    1. අනේ එවන් කලක්, ඉඩක් හා අවස්ථාවන්....
      දැනුවත්වීම්, දැනුවත් කිරීම් හා රසබර අත්දැකීම්, නොවේද අපොන්සුවාණෙනි?
      ස්තුතියි!

      Delete
  2. සිංදු කියන්න බැරි වුනාට ඉඳල හිටල අයිස්ක්‍රීම් ටිකක් කෑවත් උණුවතුර ටිකක් බොනව, චිල්ඩ් බීමෙන් වැලකෙනව පුලුවන් තරම්. හැබැයි නුවර එලියෙ හෝ සීතල රටක අයිස් ක්‍රීම් එකක් කෑවාම උගුර අප්සෙට් වෙන්නෙ නෑ. උෂ්ණත්වය එක පාරට වෙනස් වෙන එක තමයි මට ප්‍රශ්නෙ කියල හිතෙනව.

    ReplyDelete
    Replies
    1. අඩේ... හරිම තර්කානුකූල නිරීක්ෂණයක් Pra Jay මහත්තයෝ. අත්හදා බලා කියන්නං.

      Delete
  3. කොළොම්පුරයාත් සයන්ස් කොල්ලෙක් උනාට ඔය කට්ටිය අපේ කාලේ හිටියේ නෑ..
    ප්‍රියන්ත එක්ක රොඩ්නි වර්නකුල රගපාපු "හා හා ලදේ " ජනප්‍රිය ගීතය තියෙන බිසෝ වේදිකා නාට්‍ය පාසලේදි වේදිකා ගතඋනා ඒක බලන්න කොළොම්පුරයාත් ගියා. ඔය කාලේ ප්‍රියන්ත පාසලේ උගන්වන කාලේ..

    ReplyDelete
    Replies
    1. අසංගත් ගල්කිස්සේ හාදයෙක් නේන්නං! හැබැයි මොන ඉස්කෝලේද කියලා අපිත්තෙක්ක කියවිලා නැහැනෙ- මීට කලින්.

      Delete
    2. those days wasn't that Sattissara and Hena Road Junior ?

      Delete
    3. ඒ ගැන නම් මට කිසිම දැනුමක් නෑ මහත්තයෝ.

      Delete
  4. අපේ නම් කට හඩ අවදි වෙන්නෙම හොද අයිස් කැට එක්ක විස්කි ටිකක් ඇල්කොහොල් ටිකක් උගුරෙන් පල්ලෙහට ගියාම තමයි..අහන එවුන්ගෙත් කන් වලට ඇල්කොහොල් උත්තේජනය එන හිනදම ඔය කඩ හඩ ප්‍රශ්ණ ඇතිවෙන්නෙම නෑ...

    ගෙදර පන්සලක් වෙන හැටි ඊලග කොටසින් දැන ගමු.

    ReplyDelete
    Replies
    1. මයියෝ, බීල සින්දු කියන්න ගත්තට පස්සේ වෙන්නේ මේක නේද? එතකොට හැමෝටම ඕනි වෙන්නේ අනෙකාට වඩා තමන්ගේ කටහඬ ඇහෙන විදිහට කෑ ගහල සිංදු කියන්නයි. හරියටම කියනවා නං 'සිංදු කියන්න- ගයන්න නෙවෙයි'. එතකොට හඬ උස් පහත්වීම්- වේරියේෂන්ස්- හැඟීම් දැනවීම් තියා තාලෙත් නැතිව යනවනේ; බොහෝවිට.

      ඔව්වොව්, ඊළඟ කොටසෙන්...

      Delete
  5. මං හිතුවේ හොයන්න කියලා කිමිදුන වෙලාවේ මුද්ද ගිල්ලා කියලා

    ReplyDelete
    Replies
    1. ඇත්තමයි ඉවාන්, එහෙම අපතයොත් ඉන්නවා නේන්නං...

      මේ, ඊළඟ post එකත් මර්ඩර් කේස් එකක්ද?

      Delete
  6. Didn’t I predict that it’d be Schroederamaya lol

    ReplyDelete
    Replies
    1. ඔයා මේ ගැන හොඳට දන්න කෙනෙක් වගෙයි මහත්තයෝ!

      Delete
  7. කියෙව්වා. අර "කේඳිලා පිසින හැටි" පෝස්ට් එකත් ඒ ගමන්ම කියවලා දැම්මා.👌💐😁

    ReplyDelete
    Replies
    1. වෙලාව ගත වෙනවා වුණත්, ඒ විත්තිය නොතකා ඔය පරණ ලියවෙච්ච තැන්වල links දාන්නෙ ඔයා වගේ අයට ප්‍රයෝජනයක් ගන්නනේ. හරි සතුටුයි- බස්සා මහත්තයෝ ඒවායින් පලක් ගන්න බව පෙනෙනකොට.

      Delete
  8. මං අහල තියෙ ලතා මංගෙෂ්කාර් හිට වයසකම අවදියෙ පවා හඬ අභ්‍යාස, උනුවතුර බොන එක දිනපතා කඑනව කියල හිටං!

    ReplyDelete
    Replies
    1. අපිනං කූල් නොබී හිටිය කියල වැඩි හොඳක් වෙන්නෙ නෑ නොවැ 🤭🤭

      Delete
    2. නමී, ඔය කිව්වට ඔබතුමාත් කටහඬ පරිස්සන් කර ගන්න ඕනි. නැතුව කොහොමද නෙවිල්ලා එක්ක 'අලුත් ජෙනරේෂන් එකේ ගීත' ගැන වාද කරන්නේ?

      Delete
    3. Ano මහත්තයෝ, ඔයා කියන කතාව පිළිගත්තා. අයස්මන්ත පීරිස් මහතාගෙන් අහල බලන්නන්කෝ. මේ ගැන.
      ස්තුතියි, අදහස දුන්නට.

      Delete
  9. ඔන්න ඔතැනදී නං අපේ අම්මා වැඩ කරලා තියෙන්නේ 'පිටගම් ගිහිං නම්බුව හොයන්නෙපා' කියන අදහසට මුල් තැන දෙමින් වගෙයි. අම්මා හවුන්ස්ලෝවලින් නිශ්චල දේපල මොකුත්ම ගත්තු බවක් අපි දන්නෙ නෑ, මහත්තයෝ.

    ReplyDelete
  10. හපොයි අම්මා බංගලාව පන්සලකට පූජ කරන්න වගේ යන්නේ....
    පන්සල්වල ඉන්න හාමුදුරුවරුන්ට අදික සැප විදීම අකැපයි මන් කියවල තියෙන හැටියට....

    ReplyDelete
    Replies
    1. ලලිත් මහත්තයෝ, අධික සැප අකැප පන්සල්වල ඉන්න උදවියටනේ. ආරාමවල ඉන්න යට නෙවෙයිනෙ.
      ඉස්සර පන්සල්වල (පර්ණ ශාලාවල; කොළ සෙවිලි කළ ගොඩනැඟිලිවල) වැඩ සිටියේ සසරින් එතෙර වෙන්න හිතාගෙන සසුන්ගත වුණු සිල්වතුන්. දැන් එහෙමද? අද සසුන් ගත වෙන උත්තමයන් හදන්නේ අපිව නිවන් දක්කන්නනෙ.....

      Delete