li Item

Tuesday, February 20, 2024

ප්‍රෝඩාරාමය - සිව්වෙනි කොටස

ඒකට ‘තමන්ගේ තරම නොදන්නා අපේ මිනිහා’ රෙට්ටෙට ගැළපෙන්න ඇති!!මං හිතන්නේ, මිනිහා ස්ව කැමැත්තෙන්ම ඒ දංගෙඩියට බෙල්ල දෙන්නත් ඇති කියලයි!!!

ඒ ගෙදරට මුල්ගල් තියන දවසේ මානෙල්ලයි මායි හොරණට ගියේ නෙවිල්ගේ කාර් එකෙන්.
එහෙම යද්දී පර්චස් අසූවේ මුළු ඉඩමම තට්ටෙ ගෑවා වගේ සුද්ද කරලා- සමතලා කරලා තිබ්බේ හිතක්- පපුවක් නැතුව වගෙයි. ඒ වින්නැහියට අහු නොවී හිටියේ ඉඩමේ තිබ්බ තඩි කළුගල් පරුවත දෙක-තුනක් විතරයි.
මට බැලුණේ එතකොටත් හෙළි-පෙහෙළි නොවී තිබුණු යාබද ඉඩමේ කැලය දිහා...

බැද්ද පුරා සුදු රෙද්ද වගෙයි අද - ඉද්ද පනා මල් කැන් පිපිලා!

දෙයියනේ! එතකොට මං දැක්ක ඒ ආදරේ වෑහෙන කිරිම කිරි පාට සුදු හිනාව...

ඔයාලත් දැකල තියෙනවද, සීතල පිනි වැස්සෙන් නෑවිච්ච ‘ඉද්දමලී’ලා මඳ සුළඟෙ නැලවි-නැලවී, පොකුරු පිටින් රංචු ගැහිලා ඔමරි හිනා පාන ලස්සන...

අනේ, එහෙම සිරියාව වෑහෙන දසුනක්!
ඉද්ද මලේ සුවඳක් නං නැතිම තරං... ඒත් ඒ කිරි සුදු පාට පෙතිවලයි, මකුටයෙයි තියෙන ආකර්ෂණය වෙන හුඟක් මල්වලට නැහැ කියලයි මට හිතෙන්නේ. හොරණ පැත්තේ හරිම සාරෙට ඉද්ද වැවෙනවා වෙන්නැති. ඒ හින්දම තමයි, අර හද්ද කැලේ පුරා මදිය නොකියන්නම ඉද්ද යායක් ඉබේම පැතිරිලා තිබ්බේ!

බැද්ද පුරා සුදු රෙද්ද වගෙයි අද - ඉද්ද පනා මල් කැන් පිපිලා!

මං අහල තියෙන විදිහට නං, පියසිරි විජේරත්න මහත්තයාත් හොරණ පැත්තෙම සරල මනුස්සයෙක්- මිල්ලෑවෙ. කිසිම සැකයක් නෑ, උන්නැහෙත් හොරණ ඉද්ද යායවල අසිරිය දකින්න ඇති. ඒ හින්දම වෙන්න ඇති උන්නැහෙත් හරිම අපූරුවට; කාට-කාටත් feel වෙන විදිහට- ළෙන්ගතු ස්වරයෙන් ‘ඉද්ද පනා මල් කැන්’ ගැන ගායනාවෙ යෙදෙන්නේ.

“හරි හරි මනුස්සයෝ, ඔයාල ආපහු යනකොට ගෙනියන්න ඉද්ද පැල ලොරියක් හොයල දෙන්නං අයියේ... ඔයා ඔය කැලේ අස්සෙ රිංගන්න ඕන්නෑ... දැන් මේ වැඩේ ඉවරයක් කරල හිටිමුකො.” කියල පොරොන්දුවකුත් දීලයි අපේ සුනිල් එදා මාව ඉද්ද කැලෙන් එළියට ඇද ගත්තේ.
සුන්නා ඒ පොරොන්දුව ඉෂ්ට කරපු නිසා, නිමල් දිසානායක එදා ආපහු ආවේ ඉද්ද පැල ගොන්නක් බදාගෙන. ඒවා ගෙදර ගෙනාවා විතරක් නෙවෙයි; හිටෙව්වත් එක්ක. ගෙදර ඉස්සරහ තාප්පයේ අයින දිගට.

අනේ, කිසිම විශේෂ සැලකිල්ලක් නොකෙරුණාය කියලා කිසිම අහිතක් නැතිව එයාලා තවමත් හැදෙනවා. කොයි දවසේ- කොයි වෙලාවේ බැලුවත් ‘ඉද්දමලීලා රොත්තක්’ අපේ ගෙදරට එන හැමෝටම කොමල හිනා පාමින් සංග්‍රහ කරනවා!
ඒ මදිවට හිටි ගමන් ඉද්ද කරල්වලිනුත් වරිගයා බෝ කරන්න හදනවත් එක්ක.

ඉද්ද ගැන වරුණේ කිව්වා මදැයි. නේද? මට ඔව්වා මහ දේවල් වුණාට ‘නිදිගෙ පංච තන්තරේ’ කියවන හිතාදර පාඨක ඔයාලට ඒවා ‘මෝය කටෙන් ගිය පොල් ලෙල්ලක්’ තරම්වත් නොවටින්නත්; ගනිච්චියකට ගන්න තරං දෙයක් නොවෙන්නත් ඉඩ තියෙනවා.

ඒ වුණත් දෙයියනේ, මතක තියෙන දේවල් එපැයි ලියන්න.

වෙච්චි දේවල් ඔක්කොම ඔයාට ආරංචි වෙන්නත් නැතුව ඇති මගෙ හිතේ. මෙච්චර කාලෙකට පස්සේ; දැන් වුණත්...

Plan එක බල-බලා, එහාට-මෙහාට මැන-මැන කූඤ්ඤ ගගහා, ලණු ඇද-ඇද එදා කෙරිච්ච යුද්දේ ගැන නම් කිසිම දෙයක් මට පැහැදිලිව මතක නෑ. සරු මේසයකින් කැවුම්- කිරිබත් කාපු විත්තියත් යන්තමට මතකයි.

එච්චරයි, අපි ආපහු ආවා.

අපේ අම්මගෙ තට්ටු තුනේ මාළිගාව හදලා ඉවර වෙනකල්වත් මං ආයේ ඒ පැත්තට ගියේ නෑ. අරෝවක්- කහටක් නිසා හෙම නෙවෙයි. මගේ තියෙන එක විදිහක උකටලීකම නිසා. ඒ හින්දා ‘ආයේ ඒ පැත්තට යැවුණේ නෑ’ කියල කිව්වත් කමක් නෑ.

තවමත් මගේ ඒ උකටලී ගතිය; (ඒ වචනේ විතරයි මේ වෙලාවේ මගේ ඔළුවට එන්නේ- ගැලපෙන එකක් විදිහට.) එහෙමමයි. ඒ හින්දද මංදා මම අනුන් ගැන තොරතුරු හොයන්නේ අඩුවෙන්. ප්‍රශ්න අහන්නේ අඩුවෙන්.
හැබැයි, මම එහෙම නෑහුවය කියලා කිසි අඩු-පාඩුවක් වෙන්නෙත් නෑ. හුඟක් උදවිය නිකම්ම වගේ මට ඇති පදම් විස්තර කියනවා... මාත් හූමිටි තියමින්; උනන්දුවෙන් අහගෙන නං ඉන්නවා.

ඉතාම කලාතුරකින් තමයි මං වහන්සේ යමක් ගැන වැඩි විස්තර හාරා-පාරා හොයන්න යන්නෙ. ළඟදී දවසකත් මම එහෙම කළා; දයාබර පාඨක ඔබ වෙනුවෙන්. මතකයිද- ප්‍රෝඩාරමය දෙවෙනි කොටසෙදී මම මෙහෙම කිව්ව. ‘... පළමුවෙනි කොටස publish කළාට පස්සේ 2024 පෙබරවාරි 4 උදේ මම සුනිල්ට කතා කළා. කතා කරලා විස්තර ඇහුවා.’

එතකොට තමයි දැන් ලියන්න යන හොඳ අපූරු විස්තර ටික සුනිලා මට කිව්වේ.

“මුල්ගල් තිබ්බට පස්සේම අයියා හොරණ ගේ හදන පැත්ත පළාතේ ආවේ නැහැනෙ. ඒ හින්දා වෙච්චි දේවල් ඔක්කොම ඔයාට ආරංචි වෙන්නත් නැතුව ඇති මගෙ හිතේ. මෙච්චර කාලෙකට පස්සේ; දැන් වුණත් මම මෙව්වා කියන්නේ ඔයා අහපු නිසා. මේවා කාටවත් කියන්නත් ලජ්ජයි අයියේ. උඩ බලාගෙන කෙළ ගැහුවම වැටෙන්නෙ අපේම මූණටනේ.” සුනිල් පටන් ගත්තේ දිග පූර්විකාවකින්.

“ලජ්ජා වෙන දේවල්?”
“අයිය වුණත් විශ්වාස කරන එකක් නෑ. අපේම අම්මනේ... අපි හොරණ ගේ හදන්න පටන් අරගෙන වැඩේ කරගෙන ගියානෙ... ඒ අස්සේ අපේ යාළුවා ... ගැහුවා නියම කට්ටක්!” සුනිල් අපේ යාළුවාය කිව්වේ කොහාටය.
2020 ඔක්තෝබරයේදී
‘එකෙන්ම ඇති වුණා’ post එක ලියද්දී එයාගේ නම නොලියා; ඔහුට කොහා යැයි අන්වර්ථ නාමයක් දැම්මේ පෝස්ටුව ලිවීම පහසු වෙන්නටය. ඉඩකඩ තිබේ නං- ඒ පෝස්ටුව නැවත කියවා; ඔබේ මතකය අලුත් කරගෙන සිටින්නැයි ඔබට ආරාධනය කරමි!

කටෙන් බතල හිටවන්න කාටත් පුළුවනිනේ!

කොහා සාර්ථක කෝටිපති ව්‍යාපාරිකයෙකි! බල්ලො මරලා හරි හම්බ කරන සල්ලි කොයි විදිහෙන්වත් බව් බව් ගාලා බුරා පනින්නේ නැති බව හොඳටම දන්නා; තන්වැසි නුවණින් යුතු බුද්ධිමතෙකි- උන්නැහේ. එයා මුලින්ම අපේ සුනිල්ගේ මිතුරෙකු වෙලා අපේ ගෙදරට ආවේය. ටිකෙන් ටික අපේ පවුලේ හිතවතෙක් බවට පත් වුණේය.

“කොහා? එයා කොහෙන්ද එහාට පාත් වුණේ?”
“ඒක නේන්නං අයියේ. මිනිහා අම්මගෙන් පවුම් ඉල්ලගෙන- රුපියල්වලින් අම්මට දෙන්න ගත්තට පස්සේ, අම්මා එයාලගේ පවුලේ  යාළුවෙක් වුණානෙ. අම්මත් හිතුවේ මිනිහා නියමම යාළුවෙක් කියලයි; අම්මව මුරුංගා ගහේ උඩ අත්තටම නග්ගනකොට. අන්තිමට හොරණ ගේ හදන වැඩේටත් මිනිහා අපේ අම්මට උපදෙස් දෙන්න පටන් ගත්තා. ඔයාට කියන්න ඕනි නැහැනෙ අම්මගෙ හැටි... අම්මත් කොහා දීපු ලණුව කෑවා!”

“ඒ වුණාට සුනිල්, ඒ මනුස්සයා ගෙවල් හදන්න දන්නවය? එයාගේ බිල්ඩින්ස් හැදුවෙත් ඔයාම නේද?”
“අනේද කියන්නේ. කටෙන් බතල හිටවන්න කාටත් පුළුවනිනේ. අයියා දන්නවද- හොරණ ගෙදර ෆිනිෂින් වැඩ කෙරෙන දවස්වල අම්මා මට කිව්ව දේ? ඒ වැඩවලින් අයින් වෙලා මට ටික දවසක් විවේක ගන්න කිව්වා!”

සුනිල්ට කතාව නවත්තන්නට වුණේ; මගේ හිනා මනාවට ඉඩ දෙන්න වෙච්චි නිසා. “හඃ හඃ හඃ... ඔයා විවේක ගන්නවා කියන්නෙ සුනිල්, වැඩේ තාවකාලිකව හරි නැවතෙන එකනේ. අම්මට ඒක මීටර් වුණේ නැද්ද?”
“එහෙම නෙවෙයි අයියේ... අම්ම කිව්වා -ඉතිරි වැඩ ටික මට ඕනි විදිහට කරව ගන්න මට පුළුවන්. සුනිල් ටිකක් පැත්තකට වෙලා ඉන්නකො- කියලා. අම්මට ඕනි වුණේ මාව එතනින් අහක් කරන්න.”
“එතකොට අනිලුයි, ඔයාගේ යාළු ගෝල බාලයොයි?”

“බලුකම කියන්නේ ඒකනෙ අයියේ, අම්මා මාව පැත්තකට කරලා එයාලගෙන්ම තමයි ඉතිරි වැඩ ටික කරවා ගත්තේ. මට ගෙවනවාට වැඩිය අඩු ගණනක්නේ ගෝලයන්ට ගෙවන්න ඕනි.” සුනිල් කියාගෙන යද්දීත් අමනාපය වෑස්සෙයි.
ඒත් ටික කාලයකට පස්සේ ගෙය හදන වැඩේ කුරුවල් වෙනකොට- මිනිහා ආයෙමත් අම්මාට උදව් වෙන්නට ගිහිංය.

“ඒ කියන්නේ සුනිල්, එතකොට අම්මා කොහාත් එක්ක තරහ වෙලාද?”
“අරූ මොනවා හරි කඩප්පුලි වැඩක් කරන්න ඇති, අයියේ. ඌත් එහෙව් සතානේ! නැතත් අපේ අම්මත් එක්ක දිගටම ගනුදෙනු කිරිල්ලත් ලේසි නැහැනෙ... Plan එකකට ගෙයක් හදනවයි කියන්නෙත් සෙල්ලමක් නෙවෙයිනෙ!” සුනිල් මයෙත්තෙක්ක එහෙම කිව්වේ 2024 පෙබරවාරි 4 වෙනිදාය.

උන්නැහේ ඇදේට යනවා නං...

එයාටත් මොළේ පෑදිලා තියෙන්නේ දැන්ය. 1990 ගණන්වලදී එච්චර මෝරා නොහිටි සුනිල්ට මේ තරමට මොළේ තිබ්බේ නැතැයි මට හිතෙයි!
ලෝක සොබාවයත් ඒකම නෙව. තෙල් තියෙන්නේ හොඳට පැහුණු පොල්වල මිස කුරුම්බාවල නෙවෙයිනෙ.

පහුගිය කොටසෙදි මං වහන්සේ මෙහෙම ලියල තියපු විත්තිය ඔයාලටත් මතක ඇතිනෙ.
‘...
ඉතිං ‘සියල්ල දත්’ නොවුණත්, ‘ගොඩක් දත්’ කෙනෙකු වුණු අපේ සුනිල් උන්නැහේ තමයි හොරණ ඉඩමේ තෙමහල් මැඳුර ගොඩනැඟීමේ head බාස් වුණේ. පරිවාර සේනාව අපේ අනිල් ඇතුළු සුනිල්ගේ සගයන්...
අපේ අම්මටත් උවමනා වෙන්න ඇත්තේ ‘යාන්තමට වගේ හරි, වැටට උඩින් පන්නවන්න පුළුවන්කම තියෙන තුට්ටු දෙකේ අස්සයෙක්’ විතරයි වෙන්නැති...’

ඒ දවස්වල අපේ සුනිල් හිතාගෙන හිටියේ, ගෙවල් හැදිල්ල ගැන; ගොඩනැඟිලි ඉදිකිරීම ගැන තමන් හොඳටම දන්නව කියලයි. ඒක ලොකු විද්‍යාවක් විත්තිය මිනිහා ගනිච්චියකට නොගත් තරං.
මම එහෙම කිව්වේ මගේ ගෙදර හදද්දී අපේ ලොකු මල්ලියාත්- අනිල් මල්ලියාත්- එයාලගෙම පරිවාර සේනාවත් සමහර වෙලාවලදී දක්වපු අහංකාර ආකල්ප නිසයි.
එයාලා මගේ හිතවත් WAL ප්‍රියන්ත ඉංජිනේරු මහත්තයා දුන්නු සමහර උපදෙස් පවා තැකුවෙ නෑ!

එහෙම තැන්වලට උදාහරණත් තවම අපේ ගෙදර අවලස්සන කරමින් විරාජමානව වැජඹෙනවා.

සුනිල්ලා ඉතිං පළපුරුදු බාස් උන්නැහෙලත් එක්ක වැඩ කරලනෙ, දැනුම ලබා ගත්තේ. හෙඩ් බාස් උන්නැහේ ඇදේට යනවා නං ගෝල- බාලයොත් ඇදේටම යන්න තමයි ගමන පුරුදු වෙන්නේ.
ප්‍රියන්තල එහෙම නෙවෙයිනෙ- වැඩි දුරටත් ඉගෙන ගෙන- හැම දේම විද්‍යානුකූලව හදාරලා තමයි ඉංජිනේරුවන් වුණේ.

මටම පුදුමයි- ඒවා මතක් කර ගන්නට හොයා බලද්දී මතු වුණු facts කීපයක් ගැන.
දැනටම මං blog posts 633ක් ලියලා. මේ ලියන්නේ 634 වෙනි පෝස්ටුව.
144 වෙනි post එකේදි තමයි මම අපේ ගෙදර හැදිල්ල ගැන යන්තමින් සඳහනක් කරල තියෙන්නේ.

‘... ඉඩමක් අරන් ගෙදර හදන්නට සැලසුම් කරද්දී ‘plan’ එක ඇඳලා, උපදෙස් දීලා නොමිලේම ඉංජිනේරු සේවාව සැපයුවේ ලලිත් ප්‍රියන්තය. වැරැදි බෝනස් එක 2 ඇතුළු පොස්ටු ගොඩක කියවෙන ‘WAL කන්ස්ට්‍රක්ෂන්ස්ආයතනයේ හිමිකරුවා ඔහුය. ගෙදරට ප්ලෑන අඳින්නට ඉස්සෙල්ලා ප්‍රියන්ත ඇහුවේ මගේ රික්වයර්මන්ට්ස්මොනවද කියලාය.

බොන දේවල් ගැන මං දන්න හරියක් නෑ වගෙමයි- ගෙවල් හැදිල්ලක් ගැනත්...

ගෙට ඇතුළුවෙන්න ඕනේ පඩියක් නැඟලා. සාලේ ලොකුවට ඕනේ. සාලයත් පඩියක් නැඟලා දෙකට බෙදෙන්න තියෙනවටයි මං කැමැති. හොඳට එළිය එන්නයි, හුළං වදින්නයි තිබුණාම හරි! තට්ටු දෙකේ ගෙයක්.මං කිව්වේ එච්චරය.

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවය කරමින් හිටි ප්‍රියන්ත ඉස්සෙල්ලාම ගෙයක් හැදිල්ලට අත ගැහුවේ මගේ ඉල්ලීම හින්දාය.
එහෙම වුණත්, ප්‍රියන්තගේ නිර්මාණාත්මක වැඩේකොච්චර අපූරුද කිව්වොත් අපේ ගෙදර හොඳටම හෝම්ලි.

පැති හතක් ඇති, පර්චස් දහයක්වත් නැති හොල්මන් ඉඩමකට හරි යන්නත්, මගේ ආසාවන්ට ගැළපෙන්නත් ඇඳලා දී, හැදූ ගෙදරට එන කවුරුත් නිදහස් ගතියක්  දැනෙන බව කියති. ගෘහීයබවක් දැනෙතියි කියති. මාර්තු 1 වෙනිදා තිබුණු බ්ලොග් සැඳෑවආ අය සේරම ඒකට සාක්ෂිය!

Plan එක අඳින්නට කලින්ම ප්‍රියන්ත මෙහෙම දේකුත් මට කිව්වේය.
“නිමල්ට මගේ ගැන විශ්වාසයි නං, මෙහෙම දෙයකුත් කරන්න පුළුවන්. තට්ටු ගෙවල් හදන හැමෝම වගේ එහෙම කරන්නේ කොලම්ස් නග්ගලා... නිමල්ගෙ ඉඩමේ පස හයියයි... කබොක්. ඒ නිසා ඔයා කැමතියි නං කොලම්ස් නොදා ගෙය හදමු.”

“බොන දේවල් ගැන මං දන්න හරියක් නෑ වගෙමයි- ගෙවල් හැදිල්ලක් ගැනත් මං මෙලෝ හසරක් දන්නැහැනෙ ප්‍රියන්ත. මම දන්නෙ ඉතිං printingවල තියෙන කොලම්ස් ගැන විතරයි. මොනවද ප්‍රියන්ත ඔයා ඔය කියන කොලම්ස්?”
එතකොටය එයා ඒවා ගැන මට තේරුම් කෙරුවේ. ‘කොලම්ස් කියන්නේ foundation එකේ ඉඳලම ඉහළට අරගෙන යන කොන්ක්‍රීට් කණුවලටයි.’ වගේ දෙයකි එදා ඔහුගෙන් කියැවුණේ. එහෙම කරද්දී තරමක වියදමක් දරන්නට වෙන විත්තියත් ප්‍රියන්ත හිතවතාගෙන් කියැවිණි.

“බිත්තිවලට පුළුවන් slab එකේ බර දරා ගන්න. සමහර රටවල්වල තට්ටු දහය තියෙන බිල්ඩින්ස් පවා හදනවා කොලම්ස් නැතිව... මොකද කරන්නේ? නිමල් කැමතියි නං අපි ඒ risk එක ගනිමු.”
ඒ risk එක අරගෙන බලන්නට මමත් කැමති වුණා. ඒ ගැන අහලා අපේ සුනිල් නං ටිකක් විතර පුදුම වුණත් එක්ක.

නමුත් ගෙට අත්තිවාරම් කපද්දී, වසා දැමූ ළිං දෙකක් අහු වුණාම ප්‍රියන්ත තීරණය කළා, ඒ තැන්වලට විතරක් කොලම්ස් කීපයක් යොදන්න. 
ඒ ඇරුණාම ගෙදර හැදුවේ ප්‍රියන්ත කියාපු පිළිවෙලටයි; කොලම්ස් නැතිව. එහෙම හැදුව අපේ ගෙදරට දැන් අවුරුදු 32ක්. තවම නං කිසිම අවුලක් නෑ!

එයිනුත් අපේ සුනිල් ගොඩක් දේවල් ඉගෙන ගත්තු බවයි මට පෙනෙන්නේ. හැබැයි හෙමි-හෙමිහිට... ඒකත් පස්සෙ පස්සේ!
ඒ නිසා මිනිහා හොරණ ගෙදර හදල තිබ්බේ නං කොලම්ස් දාලා.

මේක ගෙදරකුත් නෙවෙයි, බංගලාවකුත් නෙවෙයි. වන්දනාකාරයන් නවතින විශ්‍රාම ශාලාවකට නං හොඳයි!

‘එයාටත් මොළේ පෑදිලා තියෙන්නේ දැන්ය. 1990 ගණන්වලදී එයාට මේ මොළේ තිබ්බේ නැතැයි මට හිතෙයි!’ කියලා මේ post එකේම උඩ හරියේදී කියපු සාහසික කාරණාව ඔප්පු කරන්නත් එක්කමයි, මං ඔය අතීත කතන්දර කිව්වේ; ඊළඟට කියන්න යන කාරණයටත් ඒවා සම්බන්ධයි.

“මගේ ගෙදර හදල ඉවරයි. ගෙට ගෙවදෙන්න නැකතුත් බලලා තිබ්බා සුනිල්ලා. රංජිත් එනවනෙ, වරද්දන්නෙ නැතුව.” ගෙට ගෙවැදීම වෙනුවෙන්ම එංගලන්තේ ඉඳලා ලංකාවට ආව ගමන්මයි, අම්මා මගෙන් ඇහුවේ. “නෙවිල් පුතාටයි, මර්වින් පුතාටයි, ඉන්දිරාලට එහෙමයිත් කියන්න එදාට එන්නයි කියලා.”
“එහෙම කියල හරි යනවද අම්මේ. අම්මම ආරාධනා කරන්න.” එතකොට මං කිව්වා.

ගෙට ගෙවැදිල්ල ගැන ඊට වැඩිමනත් දෙයක් නං මගේ ඔළුවෙ නැත.
ඒත්... ඒත්... ඒත්... නිසලගිරි උයනේ ඉහළින්ම සුදට සුදේ බැබළි- බැබළී තිබුණු තෙමහල් මන්දිරය දැක්ක ගමන්ම...
ඔව්! ඒ තට්ටු තුනේ මාළිගය දැක්ක ගමන්ම මට හිතුණු දේ ගෙඩිය පිටින්ම වාගේ තවමත් මට මතකය.

‘මේකත් ගෙයක්ද යකඩෝ? Plan එකක්වත් අඳින්නේ නැතිවද මේ අටමඟලේ අටවල තියෙන්නේ.
කැතේ උපත! හරියට ගිනි පෙට්ටි තුනක් එක පිට එක තියල වගේ...’
ඒත් මං ඒ ගැන සුනිල්ගෙන් ඇහුවේ නැතිය. පෙරහැර ගිහිං ඉවරකොට අහලා පලක් ඇතෙයි.

කැවුම්, කිරිබත් කෑවාට පස්සෙයි, තව තවත් හොඳ හරිය දැකගන්න ඇහැක් වුණේ. ඒ මාළිගාව ඇතුළේ රවුමක් යනකොට.
කාමර අට නං තිබ්බා වගෙය. ඒවායේ නැවතෙන කෙනෙකුට රෑ රාත්තිරියේ හදිසි ඕනෑකමක් ඇති වුණෝතින් පාවිච්චියට ගන්නට හදා තිබ්බේ wash rooms තුනකි. ඒ එක තට්ටුවකට එක ගණනේය.

“මේ මොන මඟුලක්ද නෙවිල්. මේක ගෙදරකුත් නෙවෙයි, බංගලාවකුත් නෙවෙයි. වන්දනාකාරයන් නවතින විශ්‍රාම ශාලාවකට නං හොඳයි.”
“දිසානායක මේ, තමුසෙ කටවහගෙන ඉන්නවා. ඔහෙට  ඕනි විදිහට නෙවෙයිනෙ අම්මා ගේ හැදෙව්වේ. ඔච්චර උවමනාවක් තිබ්බා නං මේක හදන කාලෙනෙ, තමුසෙ ඇවිත් බලන්න තිබ්බේ.” නෙවිල් වගපල කිව්වේ හුටු-හුටුවෙන්ය.
“මං ඉංජිනේරුවෙක් නෙවෙයිනෙ නෙවිල්, ගේ හදද්දි ඇවිත් බලන්න.”
“එහෙනං දැනුත් සද්ද නොදා ඉන්නවා හලෝ. ඔයා මෙව්වට කර ගහන්න එන්නෑනෙ... අම්මට ඕනි විදිහටනෙ වැඩේ කෙරෙන්න ඇත්තේ.”

“වෙන්න ඇති! ඒත් නෙවිල්, අම්මම කිව්වනේ මේ ඉලව්ව හදන්න ලක්ෂ අසූවක් ගියයි කියලා...”
“ලක්ෂ අසූවේ කතාව නං අම්මා මටත් කිව්වා ලොකා.”
“මානෙල් මේ, ඔයාලගේ ලොකාව තවත් අවුස්ස ගන්නද ඔයාටත් ඕනේ? ඔයාල අම්මගෙ සල්ලි- ඒ මනුස්සයා කැමති විදිහට වියදං කරනවා. ඒකනේ මෙතැන වෙලා තියෙන්නේ. තව මොනවද...”

තව විස්තර ඉදිරියෙදී ඔයාලට කියවන්න පුළුවනි, ප්‍රෝඩාරාමය පස්වෙනි කොටසින්... හොඳේ.

29 comments:

  1. පනා මල් කියන්නේ කොස් ගහේ මල් වලට නේද?

    ReplyDelete
    Replies
    1. ඔව් අසංග මහත්තයෝ.
      හැබැයි මේ ගීතයේ පනා මල් කියල කියන්නේ ඔස මල්වලටද කියලා සැකයි. ඒත් ඒක හොයා ගන්නෙ කොහොමද?
      සිංදුවේ පද රචනය කල හෙන්රි තෙන්නකෝන් මහතා (ලංකාදීප පත්තරේට සමාජ සමයං, පොඩි එකාගේ ලියුම වගේ කාටූන් ඇන්දේ එතුමායි.) අභාවප්‍රාප්ත වෙලානේ!

      Delete
    2. Oh now I understand why Jackson Anthony called himself "pana puthra" i.e pana=jack/kos

      Delete
    3. ඒ විදිහටමයි උන්නැහේ ඇන්තනි වචනේ ant + honey විදිහට බිඳලා අරගෙන කුහුඹු පැණි වුණේ.

      Delete
  2. Replies
    1. ඒ වුණත් බස්සා මහත්තයෝ ලියවෙන posts නොකියවා අත් අරින්නේ නැහැ නේද?

      Delete
    2. නැතුව, නැතුව? ඔක්කොම කියවනවා. සමහර වෙලාවෙට දෙපාර , තුන්පාර පවා. ඉඳලා, හිටලා සමහර කොටස් උඩින්, සුරුස් ගාලා ලිස්සලා යනව නං තමා. 🤭👌🙏

      Delete
    3. ස්තුතියි බස්සා මහත්තයෝ!
      ඔහෙට වැදගත් කොටස් නං මඟ හැරෙන්නෙම නැති විත්තියයි මට හිතෙන්නේ- තමුන්නැහේ comment කරන විදිහෙන්...

      Delete
  3. ප්ලෑන් එකක් නැතුව එක එක්කෙනාට ඕන හැටියට ගේ හැදිල වගේ මටනං පේන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඒ වගේ තමා... ප්‍රසෝ, එක්කෙනාම වුණත් සැරෙන්-සැරේ අදහස් වෙනස් කරන්න ගියාමත් ඔහොම අංජබජල් වෙනවා නේද?

      Delete
  4. Replies
    1. ගෙවල් හදන කොට තමන්ගේ අවශ්‍යතාවය අනුව, අතේ මුදල අනුව තමයි කරන්න ඕනේ..නැත්තං ඉතින් ජීවීතකාලේම ගේ හද හද හරි හදපු ගේ කඩ කඩ වෙනස් කර කර හරි ඉන්න පුලුවන්..

      කොල්ම් නැතුව ගේවල් ගහන්න පුලුවන් බිත්ති උඩ බිත්ති යන විදිහට තියෙනවා නම් හොද පසක් තියෙන ඉඩමක...

      දැන් තියෙන නවීන ගෙවල් එහෙම් නොවෙයි ගොඩක් වෙලාවට.

      Delete
    2. මයියෝ, දැන් කාලේ බහුතරයක් ගෙවල් හදන එක විතරක් නෙවෙයි- ජීවත් වෙන එකත් කරන්නේ තමන්ට ඕනි විදිහට නෙවෙයි, ලෝකයාට ඕනි විදිහට නේද?

      Delete
  5. අපේ ගේත් කිසිම හැඩයක් නෑ පෙට්ටි දෙකක් එක උඩ තිබ්බ වගේ තමා ..ප්ලැන් එකේ බැල්කනියක් නැති නිසා මං ඉස්සරහට බැල්කනියක් හදන්න කිව්වා, පලන් එකේ ඒ කැල්ල තිබුනේ වහලයක්.. දැන් බැල්කනියක් තියෙනවා, ගේ කැතයි...

    ReplyDelete
    Replies
    1. අනේ ලලිත්, කැත ගෙයක් ගැන ලිව්වම හිත රිදුනා නං කනගාටුයි, හොඳේ!
      කැත ලස්සන කොහොම වෙතත් ගෙදරක් ඒකෙ ඉන්න අයට සුව-පහසුව දනවනවා නං- ගෘහීය හැඟීම දෙනවා නං ඇති කියන ඒකයි මගේ අදහස.

      අපි දන්නා ඉංජිනේරු මහත්තයෙකුට ඕනි වුණා පැදුරු පාටියක් දාන්න. සේරම ජයට සූදානම් කෙරුණා- ආරාධිතයොත් ආවා. වැඩේ පටන් ගන්න යද්දියි තේරුනේ, තට්ටු කිහිපයකින් යුතු ඒ ගෙදර එක තැනක්වත් තිබ්බේ නෑ- දහයකට පහළොවකට එකතු වෙලා එකට වාඩි වෙන්න!

      Delete
    2. කැත ගෙයක් ගැන ලිව්වම හිත රිදුනා නං කනගාටුයි, හොඳේ!// හිතරිදුනේ නෑ අය්යේ, මගෙ ගේ මතක් උනා .......... ඒත් මං ඒ වෙනස නොකළ නම් ගෙට බැල්කනියක් නැතිවෙනවා, එලියට් වෙලා හුලන් ටිකක් වැදි වැදි ඉන්න...

      Delete
  6. මොනවා උනත් ගේ හදලා ඉවර උන එක ගැන සතුටුයි
    මම විජේබාහු

    ReplyDelete
    Replies
    1. ගෙදර හදලා ඉවර වුණාට පස්සේ වෙච්ච දේවල් තමයි විජේබාහු මහත්තයෝ, ඊළඟට කියන්න තියෙන්නේ.

      Delete
  7. "දෙයියනේ! එතකොට මං දැක්ක ඒ ආදරේ වෑහෙන කිරිම කිරි පාට සුදු හිනාව..." මම හිතුවෙ නිමල්ට එතෙනදි අලුත් ප්‍රේමවන්තයෙක් හම්බවුන එක ගැන විස්තරයක් පටන් ගන්න යන්නෙ කියලා. ඉස්සර ලියලා තිබුණා නේද තොරණක හෝ වෙසක් කූඩුවක් සම්බන්ද උත්සවයක නිමල් කවි කියන අතරෙ දවස් ගානක්ම පාර ඉස්සරහට වෙලා කවි අහගෙන හිටපු කෙනෙක් ගැන. මට ඒක මතක් වුනා.

    ගෙවල් ගැන නම් මට හිතෙන්නෙ හුඟක් අයගෙ ගෙවල් වලින් පෙන්නන්නෙ ඒගොල්ලන්ගෙ ego එකේ විශාලත්වය කියලා. නමුත් ඉතින් නෙවිලුත් කියලා තියෙනවා වගේ අම්මට ඕනෙ විදිහටනෙ වැඩේ වෙන්න ඇත්තෙ.

    ReplyDelete
    Replies
    1. Lotusට තවම මතකයිනෙ 'තිහේදී' posts පෙළ. මම කවි කිව්වේ වෙසක් කූඩුවක් ළඟ, දේමිත්ත තමයි කවිවලට වසඟ වුනේ,

      එබිකම් කරයි සඳ කොමළිය නිල් අහසේ
      ළං වෙයි සුබ මොහොත, ආසිරි මල් වැස්සේ
      ආරාධිත අමුත්තනි පෙළ සැදී මෙසේ
      දල්වමු පහන්, කූඩුවෙ වැඩ ඇරඹෙන සේ

      අපි හැමෝම දැනුවත්ව හරි නොදැනුවත්ව හරි කරන- කියන හැම දෙයින්ම අපේ අභ්‍යන්තරය ලෝකෙට ප්‍රදර්ශනේ කරනවා නේන්නං...

      ටික දවසකින් නේද ඔයා බ්ලොග්ස් කියවන්න ආවේ.

      Delete
  8. //රටවල්වල තට්ටු දහය තියෙන බිල්ඩින්ස් පවා හදනවා කොලම්ස් නැතිව// අදයි දැන ගත්තෙත්. තාකසනේ අරැම තමා!

    ReplyDelete
    Replies
    1. නමී, අවුරුදු දෙක-තුනක් තිස්සේ අපේ ගෙදරට ආවා-ගියා වෙලත් කොලම්ස් නැතිකම ගැන දැක්කේ නැහැනෙ!

      Delete
  9. මීළඟ සැරේ ලංකාවට ආහම ඔතනට යන්න ඕනේ බලන්න. මමත් ඒ ළඟ ඉන්නව හිටපු ගමන්.

    ReplyDelete
  10. its the road next to TPS International

    ReplyDelete
    Replies
    1. ඔව් මහත්තයෝ., TPS එක දෙපැත්තෙන් තියෙන පාරවල් දෙක තමයි.

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්