අකුරු මැකී නෑ

Friday, June 28, 2024

ඕන්න ඔහොමලු සුදනෙනි සිංහල...

දැන් දැන් හරි වැඩ රටේම වටපිට - සිද්ද වෙනව එක පෙළට වගේ
නැවකට තොරතුරු එළියට එනවා - වැස්සක් ඇද හැලෙනවා වගේ
ජරමර වැඩිකම හින්දද මන්දා - ඒවත් අමතක වෙනව වගේ
පොඩ්ඩක් සුලමුල අහලා බලමුද - කවියෙන්, එව්වයෙ තියෙන අගේ

ජානවලින්මත් හොරකම උරුමව තියෙනව වාගෙයි...

මුත්තා අපගේ හොරෙකිය උන්නේ හද්දා වනයක හැංගීලයි
යැපුණේ  තවලම් වෙළෙඳුන්ගෙන් හොර-කම් කරගත් දේවලින් තමයි
ජානවලින්මත් හොරකම උරුමව තියෙනව වාගෙයි- කියා හිතෙයි
උණ පුරුකේ හත් වසරක් ලෑවත් - බලු වලිගයෙ ඇද එහෙම්මමයි

මුත්තගෙ පුතුගෙත් ක්‍රියාව නරකයි - දුන්නෙන් විදලා පියා මරයි
වෙනත් ලඳුන් උන්නේ නැතිවද ඔහු - සහේට ගත්තෙත් නැඟණියවයි
රජෙක් වුණත් කරුමය පළ දෙනවා - ඒකෙ දෙකක් නෑ ස්ථීරයි
පුතෙක් උපන්නා නාහෙට නාහයි - දඩබ්බරයි; හොරකමෙත් යෙදෙයි

උපන් රටේ පුතු තියාගන්න බෑ - සමාජෙටම පිළිලයක් වගෙයි
මක් කරලාවත් හදන්න බැරි තැන - මිනිහව අල්ලල හිරේ දමයි
යාළුවො රොත්තත් එක්කම කුදලා - පැත්තක් බූ ගා නැවට දමයි
‘යකාට පලයන්’ කියා හිතාලා - ඒ නැව මහ සයුරට දැම්මයි

ඒ නැව පාවී විත් නවතින්නේ - මිහිබට සුරලොව වැනි රටකයි

ගෙවන්න තියෙනා කරුමය ගෙවන්න - උරච්චි කෙරුවට හරි නොයතෙයි
ඒ නැව පාවී විත් නවතින්නේ - මිහිබට සුරලොව වැනි රටකයි
හොරා දුටු ගමන් ආලෙන් වෙළිලා - ඔහු සැමියා ලෙස පිළිගනිතෙයි
නෑයන් වනසා, හොරාව රජකොට - කිරුළු පලන්දා රජ සැප දෙයි

ඕන්න ඔහොමලු සුදනෙනි සිංහල වරිගෙ ඇති විණියි කියවෙන්නේ
ඉතිං කොහොමදෝ අපහට උදාර - සාඩම්බර ගති හිමි වෙන්නේ
හතර අතේ හොරු, තුච්ඡ නීච හොරු හැකි උපරිමයෙන් දත කන්නේ
හොරා කන්නමයි; තිරිත්තමක් නැත- සීමාවක් නැත උන් දන්නේ

රට පාලනයට ලොකුම සුදුසුකම - හොරකම පුළුවන් වෙන එකද
තනතුරු දරන්න ලොකුම සුදුසුකම - ඒවට උඩගෙඩි දෙන එකද
ඉහළම තැන හිට පහළට යනකල් - ඔක්කොම ඉන්නේ පල් හොරුද
සුදු ඇඳ ගත්තට, අම්මප මහතුනි - මුන් ඉන්නේ හෙලුවෙන් නොවෙද      

පරම්පරා හත-අටකට කෑවත් ඇති වීමක් නං නෑ වෙන්නේ
රසේ දන්න හින්දාමයි තාමත් බලේ අතැරලා නොදමන්නේ
ඔහේ කෑවදෙන් කියලයි නිවටයො - කටු ලෙවකාලා සැනසෙන්නේ
මුන් කන්නේ අපෙ රීරි මාංශෙයි; චුට්ටක් වගතුග හොයමු අනේ

සුදු පිරුවට ඇඳ, පිරිත් නූල් බැඳ, රටට කරන්නලු පේ වෙන්නේ

ඇමතිවරුන් රාජ්‍ය බැංකුවලට රුපියල් කෝටි 65,000කට වඩා පොලු තියලා!

මෙහෙම හොරා කා තියෙන්නෙ මුන්දැල ඔබෙයි මගෙයි වස්තුව නේද
කවුද මෙහෙම පොලු තිබ්බේ කියලා, නම් ගම් එක්කම කියනවද
උන්ගේ වගතුග රට දැන ගත්තම - වරදක් හෙම සිදු වෙනවාද
හොරා කෑව නං, ඒ බව කිව්වම - පැත්තක් යන්නේ නෑ නොවෙද

සුදු පිරුවට ඇඳ, පිරිත් නූල් බැඳ, රටට කරන්නලු පේ වෙන්නේ
සමහර උදවිය බණත් වදාරති; රහත් වෙලා වගෙ පෙන්නන්නේ
කටේ නරි වදන් නිතරම උන්ගේ රෙද්ද පල්ලෙනුයි බේරෙන්නේ
බොක්කේ දඩමස්, හක්කේ බුදුරැස් - අපිමයි උන්හට රැවටෙන්නේ

කෙටිකාලීනලු මතකය අපගේ - සුමාන දෙකයිලු පවතින්නේ
ඇත්තද මංදා, එහෙව් විත්තියත් - හිතා බලන්නට වටිනවනේ
නැත්තං මෙච්චර දේවල් වෙද්දිත් - වගේ වගක් අපහට නැහැනේ
හොරුන්ට දිගටම බලයෙ හිටින්නට - මනාපෙ දුන්නෙත් අපිමයිනේ

අමුතු ඇටේ දැන් නීතිය එහෙමයි - ජහමනයා ඔහෙ බලා හිඳියි

  කටුගෙයි බඩුත් නැති වෙලා!

කෞතුක අයිටම් හත්දාහකටත් වැඩිය නැති වෙලා කටු ගෙදරින්
එහෙම කෙරෙද්දිත්, වගේ වගක් නෑ - හෙවිල්ලකුත් නෑ වගෙයි ඉතිං
රාජකාරි හරි හැටි ඉටු නොකරන - අයටත් දිගටම වැටුප් දෙමින්
නඩත්තු කෙරෙන්නෙ මොකටද අප්පේ - රටේ සල්ලි වියදම් කරමින්

විගණන කෙරෙනව- රිපෝට් කෙරෙනව විතරයි- ඒවා යට ගහතෙයි
ලොකු ලොකු උදවිය ගෑවිල ඇත්තන් - ඒවා කිසිදා උඩ නොඑතෙයි
බඩ ගින්නට පොල් ගෙඩියක් ගත්තත් - දුප්පතෙකුට නං අච්චු කෙරෙයි
අමුතු ඇටේ දැන් නීතිය එහෙමයි - ජහමනයා ඔහෙ බලා හිඳියි

තෙල් බෙදුම්කරුවන්ට රුපියල් මිලියන 31,021.07ක් වැඩිපුර ගෙවලා: බර අපේ පිටට!

මෙච්චර හරියක් වෙනකල් අම්මප - වගකිව යුත්තන් බුදිද බොලේ
නැතිනං සේරම එකතු වෙලා - රහ බලලා වාගෙයි ‘තෙලේ අලේ’
දැනටම දෙන්නෙක් රටත් ගිහිල්ලලු - ලීක් වෙනකොටම ජංජාලේ
අනිත් උනුත් රට ගියාම වහනව - වගෙයි ගේට්ටුව ඉස්තාලේ

බෙදුම්කරුවො මේ රටේ මිනිස්සුද - කාගේ කවුරුද හොයනවද
වැඩිය ගෙවු මුදල් ආපහු ගන්නට ක්‍රමයක් එහෙමත් තියෙනවද
නැත්තං ඒවත් බොල් ණය ගොඩටම දාන්න සැලසුම් තියෙනවද
මෙහෙව් news ගැන හිතන්නෙ කවුරුද - රටකට වෙන්නේ මොනවාද

නිලේ අල්ලලා මුන් දණ ගස්සන කාලය - වැඩි ඈතක නැහැනේ

එක්ස්ප්‍රස් පර්ල් නැවේ දත්ත හිතා මතා මකලා!

විපත සිදු වෙලා අවුරුදු තුනකුත් ගිහිල්ල ඉවරයි නේද බොලේ
තවමත් වෙන්නේ එහාට-මෙහාට වීසි කරන එකමයි බෝලේ
මෙහෙ වැඩ වෙන්නේ, වෙන රටකදි නං - කවදාවත් නොවෙනා තාලේ
දත්ත මකාලලු හිතා මතාමත්  - පැටලිලාද රට මේ උගුලේ

කමු බොමු නිඳියමු පොංගල් කෙළිනෙමු - මෙව්වා දිගටම සිදු වෙද්දී
කාබාසිනියා කරන්ට උන්හට - තව වැඩියෙන් බදු පනවද්දී 
රටට අපට වෙන සේරම දේවල් - නිරතුරු සන්තානයට වදී
රිදුම් දෙවයි හද, මෙහෙව් කොදෙව්වක උපන්නාට ‘මේ වෙලා මදී!’

මැති ඇමති පනස්හයක් ගෙවල් කුලියට පොලු තියලා

ගෙවල් කුලියවත් ගෙවන්න ලෝබයි - පිනටම ඉන්නයි සැරසෙන්නේ
යටිමඩි ගහ ගහ, බොරු පච කෙළ කෙළ - බලේ රැඳෙන්නයි දත කන්නේ
නිලේ අල්ලලා මුන් දණ ගස්සන කාලය - වැඩි ඈතක නැහැනේ
පන්නමු හොරු ටික මේ වංගියෙ නම් - වරද්ද ගන්නට එපා අනේ   

·        කවි ටික ලියාගෙන එනකොට සෙනෙගාලයේ පාපන්දු ක්‍රීඩක Sadio Mane පිළිබඳව මේ කතන්දරේ දැක්කා. ඔයාලත්
කියවල බලන්නකෝ.

මම මගේ රටේ දුප්පත් දරුවන්ට අලුත් පාවහන්,ඇඳුම් පැලඳුම්,කෑම දෙනවා.
තනිව ජීවත් වෙනවා වෙනුවට ‘සුවපහසු- සුඛෝපභෝගී පාරාදීසය’ මගේ මිනිසුන් සමඟ බෙදා ගැනීමටයි මට අවශ්‍ය!

‘චිත්‍රපටියකට කෝටි 150,200,කෝටි 300 උපයන සෝබන නළු නිළියන් අතරෙ...
32 හැවිරිදි සෙනගාලයේ ලෝක ප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩකයා වන Sadio Mane ලංකාවේ මුදලින් සතියකට රුපියල් කෝටි 60 ක් උපයනු ඇතැයි ගණන් බලා තිබේ.

මෙතරම් මුදලක් උපයා ගත්තද ඔහු බොහෝ තැන්වල දක්නට ලැබුණේ ඩිස්ප්ලේ කැඩිච්ච ජංගම දුරකථනයක් සමඟය.

සම්මුඛ සාකච්ඡාවකදී මේ ගැන විමසූ විට, "මම ඒක හදවගන්නම්.” ඔහු කීවේය.
“ඩිස්ප්ලේ දානවට වඩා ඔබට අලුතෙන් ජංගම දුරකථනයක් මිලදී ගන්න පුළුවන් නේද?” මාධ්‍යවේදියෙක් ඔහුගෙන් ඇසුවේය.

“මට මොබයිල් 1000ක්,ෆෙරාරිස් 10ක්,ජෙට් යානා 2ක්,ගණන් කළ නොහැකි දියමන්ති ඔරලෝසු මිලදී ගත හැකියි... නමුත් මම මේ සියල්ල මිලදී ගත යුත්තේ ඇයි?
මම දුප්පත්කම දැක්කා... කෑමට දුක් වින්දා... කියවන්නවත් බැරි තරම් දුප්පත්කමෙන් වට වෙලා... අඳින්න සපත්තු ගන්නෙත් නැතුව පාවහන් නැතුව සෙල්ලම් කළා... හොඳ ඇඳුම් නැතුව හිටියා... බඩගින්නෙ හිටියා...
ඒත්... අද මම ගොඩක් මුදල් උපයනවා;ඒකයි මම හම්බ කරන සල්ලිවලින් මිනිස්සුන්ට ඉගෙන ගන්න පුළුවන් විදියට ඉස්කෝල හැදුවේ.

-මම මගේ රටේ දුප්පත් දරුවන්ට අලුත් පාවහන්,ඇඳුම් පැලඳුම්,කෑම දෙනවා.
තනිව ජීවත් වෙනවා වෙනුවට ‘සුවපහසු සුඛෝපභෝගී පාරාදීසය’ මගේ මිනිසුන් සමඟ බෙදා ගැනීමටයි මට අවශ්‍ය." Sadio Mane උත්තර දුන්නේය!’

අනේ Sadio වගේ කොලිටි අය - ඇයි මෙහෙ දැක ගන්නට නැත්තේ
දන්සල් දෙන්නන් නං වැහි වැහැලා - හිටියා දුටුවා මේ පැත්තේ
හැබෑම සුදනන්; හැබෑ මිනිස්සුන් - වැඩි වී හොරු අඩුවෙන තත්තේ
උදා වෙන්නෙ කවදාද සිරිලකට - එදාට රට ගොඩ යනු ඇත්තේ෴0෴

Friday, June 21, 2024

‘ලෙස්ටර්’ Coffee Table පොතට ගෑවුණෙමි! - දෙවෙනි කොටස

‘-අර පොරොන්දුව ඉටු කරන්නට- සිනාකමින් රසකතා වගුරන්නට... ඒ හිතවතා; ගුණසිරි කොළඹගේ මහතා දැන් නැත! ඔහු සදාකාලික නින්දට පිවිසීලාය. සුබ ගමන්- කොළඹගේ මහතාණෙනි!

ඔබ හා කෙරුණු; අවුරුදු 5ක් පරණ සාකච්ඡාවක් උදව්වට ගනිමින්- ඔබට බෙහෙවින් ස්තුතිවන්ත වෙමින්, මේ පෝස්ටුවේ දෙවැන්නත් ලියන්නෙමි.’ කියලාය මං වහන්සේ පසුගිය කොටස නැවැත්තුවේ. මේ එතැන් සිටයි:

මහාචාර්ය සුනිල් ආරියරත්න වැන්නෙකුට මිස සෙස්සෙකුට නම් එවන් කාරියක් කළ හැකි වේදැයි මට නම් සැකය.

‘ලෙස්ටර් - ශ්‍රී ලංකාවේ අග්‍රගණ්‍ය සිනමාවේදියා (රූපාලේඛයකි) A Pictorial Biography of Dr. Lester James Peries’ කෘතිය, මට හිතෙන විදිහට නම් දැවැන්ත වැඩකි.

එය අතිශය සැලකිල්ලකින් යුතුව, ලොකු වෙහෙසක් දරමින්, සෑහෙන කාලයක් වැය කරමින් සම්පාදනය කෙරුණකි. ඒ කාරිය අසීරු එකක් වන්නේ, ඈත අතීතයේ තොරතුරු සංරක්ෂණය වී තිබෙන්නේ ඉතාමත් අඩුවෙන් නිසාය.
රූපාලේඛයකට පැරණි ඡායාරූප සපයා ගැනීම තවත් ‘කළුනික සෙවීමක්’ බව ඒ කාරියේ බරපතළකම දන්නා උදවියට නම් අමුතුවෙන් කිව යුතු නැත.

මහාචාර්ය සුනිල් ආරියරත්න වැන්නෙකුට මිස සෙස්සෙකුට නම් එවන් කාරියක් කළ හැකි වේදැයි මට නම් සැකය.

ලෙස්ටර් උපත ලබා තිබෙන්නේ 1919 තරම් ඈත වකවනුවකය. ඒ අතීතයේ...

‘කුඩා ලෙස්ටර්ගේ හඳහන බැලූ බොරැල්ලේ ක්ලිෆඩ් පෙරේරා නම් දෛවඥයා කියා තිබුණේ මේ හඳහනේ හිමිකරු කවදා හෝ සිනමාකරුවෙකු වන බව ය. (අදත් ලෙස්ටර් මේ අනාවැකිය සිහිපත් කරන්නේ අනාගත වක්තෘවරයෙකුගේ විස්මිත ප්‍රකාශයක් හැටියට ය. සිනමාවක් නොවූ රටක, සිනමාකරුවෙකු වීමේ සිහිනයක් හෝ දුටු තැනැත්තෙකු නැති රටක මෙවැනි අනාවැකියක් පළ කරන්නා දිවැසිවරයෙක් නොවේ ද?) - පොතේ 12 වැනි පිටුවෙන් ගත් ඒ කුඩා ඡේදය පාඨකයන්ට පෙන්වන්නේ සුනිලුන් සොයාගෙන තිබෙන අප්‍රකට තොරතුරු සමුදායේ තරමයි.
ඒ පිටුවලම අඩංගු ඉපැරණි ඡායාරූප අපට පෙන්වන්නේ ඒවා මතු කර ගන්නට කොතෙක් වෙහෙස ගන්නට ඇතිද යන්නයි.

එවැනි පැරණි ෆොටෝවල කටු-කොහොල් හැරදමා ඒවාට නව පණක් දෙන්නට කොළඹගේ මහතා අපමණ වෙහෙසක් ගන්නට ඇත!
“නිමලුත් දන්නව ඇතිනෙ. සුනිල්ට කෙස් ගහට වැඩේ තියෙන්න ඕනි බව. මට දවස් ගාණක් ගියා නිමල් ඔය වැඩේට. එව්වයේ තියෙන සමහර අඩුපාඩු මොන යකාටවත් හදන්න බෑ. එහෙම එව්වයේ අඩුව වැහෙන්නයි අපි ඒවා two colour පින්තූර විදිහට දැම්මෙ. ඉතිං පුතෝ, පොතේ ප්‍රින්ටිනුත් තිතට තියෙන්න ඕනි ඔන්න. ඔයාලගේ බොස්ටත් කියන්න වෙයි...”

“ඔව් කොළඹගේ මහත්තයෝ. ටූ කලර් පිටු අනූ ගණනක් තියෙනවනෙ. මට අහුවුණු විදිහට නං 4 කලර් පිටුත් පනහකට වැඩියි. හරියටම ඩමිය හදල චෙක් කරන්න වෙයි- ඔයාගෙ කම්පියුටරෙන් බල බලා. පොත මහන නිසයි වැඩේ තවත් ටිකක් අමාරු. පර්ෆෙක්ට් බයින්ඩින් නම් කෙරෙන්නේ පිටු එහා මෙහා කිරිල්ල ලේසියිනෙ...”

“කමක් නෑ, කමක් නෑ. ඇතෙක් කොච්චර වැහැරුණා වුණත් කොරහක නාවන්න කියලයැ. අපට කොච්චර හදිස්සි වුණත් සමහර වැඩවලට වෙලාව යනවනේ. මමත් කොහොම හරි ෆ්‍රී වෙලාවල් හොයා ගන්නං. අපි වැඩේ හොඳට කරමු...”

අපි මේ special colour එක වෙනම තීන්ත හදවලා අරං print කරවමු! (එලෙස මුද්‍රිත පිටුවකින් කොටසකි මේ.)

ඒ නිසාමය, පොතේ පිටුවල (ඒකාග්‍රතාව පවත්වාගෙන යන්නටදෝ) යොදා තිබුණු විශේෂිත වර්ණ කොටස් සියල්ල එකවර මුද්‍රණය කරන්නට තීරණය කෙරුණේත්.

“අපොයි ඔව්! ඇහුවොත් නං මැෂින් මයින්ඩර් ඔස්තාද්ල කියන්නේ 4 කලර්වලින් ඕනිම පාටක් ගහන්නං කියලයි. ගැහුවට පස්සෙනේ නාගෙන වැඩේ කාල තියෙන හැටි පෙනෙන්නේ. කොයිකටත් අපි මේ special colour එක වෙනම තීන්ත හදවලා අරං print කරවමු.”

සුනිල් ආරියරත්න මහාචාර්යතුමා අපේ සැලසුම් ගැන සොයා; විමසා බැලූ බව ඇත්තය. එහෙත්, අනවශ්‍ය පරිදි බලපෑම් නොකොට අපට වැඩ කරන්නටත් ඉඩ ලබා දුන්නේය.

“කොහොම හරි වැඩේ තිතට කෙරෙන්නයි මට ඕනි. අනික පරක්කු නොවී. ලෙස්ටර් මහත්තයට මේ අප්‍රේල් 5 වෙනිදට අසූපහ පිරෙනවා. ගෝල්ෆේස් හෝටලේ වෙන් කරලත් ඉවරයි, උපන් දින උත්සවේට. ඒකෙදිමයි මේ පොත ලෙස්ටර් මහත්තයට පිළිගන්වන්නේ.” කියලත් සුනිල් සර් අවධාරණයෙන් කිවේය.

එතුමාට මේ කොෆී ටේබල් පොත ගැන අදහස පහළ වී තිබෙන්නේත් මෙරටේදී නොවේ. ජපානයේදීය. ඒ විත්තිය මේ කෘතියේම පෙරවදනේ සඳහන්ය.

‘... 2002 ෆුකෝකා අන්තර්ජාතික චිත්‍රපට උළෙලට ලෙස්ටර් පීරිස්ගේ චිත්‍රපටයක් මෙන් ම මගේ චිත්‍රපටයක් ද තේරී තිබුණේ ය. අපි ජපානයට ගොස් ෆුකෝකා නුවර සොලාරියා හෝටලයෙහි සති කිහිපයක් නතර වී සිටියෙමු. මෙබඳු කෘතියක් කිරීම පිළිබඳ අදහස ම සිත පිළිසිඳ ගත්තේ එහි දී අප අතර සිදු වූ කතාබහ ඔස්සේ ය.

ලෙස්ටර්ගේ සිනමා ජීවිතයෙහි පොත් ගණනාවක් ලියන්ට තරම් කරුණු ඇත. එහෙත් මගේ අධ්‍යාශය වූයේ ලෙස්ටර් පිළිබඳ ‘රූපාලේඛයක්’ කරන්ට ය. රූපය මුල් තන්හි තැබූ සංක්ෂිප්ත ලේඛනයක් ඉදිරිපත් කරන්ට ය. කොටින් ම කියනවා නම් ඉංග්‍රීසියෙන් ‘කොෆී ටේබල් බුක්’ යන නමින් හඳුන්වන වර්ගයේ පොතක් සම්පාදනය කරන්ට ය. (Coffee- table book: a large, expensive and profusely illustrated book of the kind one would set out on a coffee - table for visitors to admire)

‘කොෆී ටේබල් බුක්’ ගණයට වැටෙන පොත් සිංහලයේ නැත්තට ම නැති තරම් ය. ඊට එක් හේතුවක් නම් ඒ සඳහා දරන්ට සිදු වන්නා වූ අධික මුද්‍රණ වියදම යි. මේ කෘතිය සම්බන්ධ ඒ මහා බරපැන දැරූයේ දේශබන්ධු සිරිසුමන ගොඩගේ මහතා ය. එය සිනමා පිංකමක් ලෙස ඔහු විසින් සලකන ලදි. පොත මිල කර ඇත්තේ ද මුද්‍රණ වියදම පියවා ගැනීම පමණක් සැලකිල්ලට ගනිමිනි. බරපැනෙහි බර මඳක් සැහැල්ලු කර ගැනීම සඳහා ජනාධිපති අරමුදලෙහි සහාය ලබා දුන් අතිගරු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියටත්, ඒ කටයුතු සංවිධානය කළ එතුමියගේ අතිරේක ලේකම් චිත්‍රා අතුරුගිරිය මහත්මියටත් මාගේ ස්තුතිය පිරිනැමේ...’

1919 වසරේ උපන් මේ සිනමාවේදියාගේ ජීවිතයේ 85 වසරක වැදගත් තොරතුරු සියල්ලම මේ පොතේ අඩංගුය. ඒ ඒ කාල වකවනුවලට අදාළ ඉපැරැණි ඡායාරූපවලින්...

ඒ පෙරවදනේ අවසාන වැකියේ අවසන් කොටසෙහි මෙහෙමත් තිබෙන බව කියන්නේ මගේ හොරණෑව මමම පිඹ ගනිමිනි. ‘... පියසිරි මුද්‍රණාලයේ ප්‍රියදර්ශන සහ නිමල් දිසානායක ආදීන්ටත් ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂතුමා ඇතුළු කාර්ය මණ්ඩලයටත් මාගේ කෘතවේදීත්වය පළ කරමි.’

ඇත්තෙන්ම ‘ලෙස්ටර්’ කෘතිය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහා සිනමාවේදියා වෙත පිදුණු ලොකුම උපහාරයකි. 1919 වසරේ උපන් මේ සිනමාවේදියාගේ ජීවිතයේ 85 වසරක වැදගත් තොරතුරු සියල්ලම මේ පොතේ අඩංගුය. ඒ ඒ කාල වකවනුවලට අදාළ ඉපැරැණි ඡායාරූපවලින් ඒ තොරතුරු වඩාත් ඔප් නැංවෙයි.

පොතේ සිරස්තල පිටුවේ තිබෙන දෑ මෙතැනට බහා ලන්නට මට සිතෙයි. ඒ මෙම කෘතියේදී ‘ශ්‍රී ලංකාවේ අග්‍රගණ්‍ය සිනමාවේදියා’ගේ ජීවන තොරතුරු පෙළ ගස්වා ඇති ආකාරය දයාබර පාඨක ඔබටත් දැන ගන්නට හැකි වෙන පරිද්දෙනි; වැඩිදුර විස්තර සොයන්නෙකුට වුවත් ප්‍රයෝජනවත් වෙතැයි සිතෙන නිසාවෙනි.

‘සිරස්තල
1919 බයිස්කෝප් යන්ත්‍රයෙන් සිතියම් පෙන්වද්දී
1947 පත්තරකාරයා
1949 ස්වයංකථනය
1952 ආණ්ඩුවේ සල්ලිවලින් චිත්‍රපට තැනීම
1956 අත තියයි ලෙඩ මැකෙයි
1960 කෝ හතුරෝ
1963 රත්තරන් මොනරෙක්
1964 ආදර මල් නොමියේ
1966 හදවතට නොවේ බුද්ධියට
1967 නිවී පහන් වී ළය සැනැහේ
1968 ඇයි දම්මි ඔයා මගෙ ජීවිතෙත් එක්ක සෙල්ලම් කළේ?
1970 යළිත් ගම්මානයට
1972 නිධානයක් පහළ වීම
1974 සීගිරිය මුදුනේ දී
1975 ශෛලිගත ශෛලියකට
1976 කොහේද කොහේද අපේ ලොවක්?
1978 ලංකා ඉතිහාසයේ තවත් යුගයක්
1978 තුන්වෙනි ලෝකයේ හොඳම චිත්‍රපටය
1981 ලෙනාඩ් වුල්ෆ් සමඟ
1983 විසි වසක් ඇවෑමෙන්
1985 කතා තුනක අවසානය
1991 ලුසිහාමිට කියන්න ද?
1995 සිනමා තාරකා පෑයුවා පමණයි
2003 ඇන්ටන් චෙකොව් සිහිපත් ව

පසුවදන
ලෙස්ටර් අධ්‍යක්ෂණය කළ චිත්‍රපට නාමාවලිය
ලෙස්ටර් ගැන නිපදවා ඇති චිත්‍රපට
ලෙස්ටර් ගැන රචිත කෘති’         

මෙතැනදී නං දුක හිතෙන කතන්දරයකුත් නොකියා බැරිය.
ලෝකයේ ඉපැරණිම ලිඛිත ඉතිහාසයට හිමිකම් කියන සිරි ලංකාවේ දැන් තත්ත්වයත් මෙයින් හෙළි වෙයි.

සුනිල් ආරියරත්න මහැදුරුතුමා දෑවුරුද්දක් තිස්සේ අසූපස් වසරක තොරතුරු කණිමින්; ඉපැරණි ඡායාරූප මතුකොට ගනිමින්, ඉමහත් වෙහෙසක් දරා සම්පාදනය කළ මේ ‘ලෙස්ටර්’ කොෆී ටේබල් පොතෙන් මුද්‍රණය කෙරුණේ පිටපත් 500ක් පමණි!
ඒ සඳහාත් රුපියල් 9,70,000/-ක්, ඔව්... රුපියල් නව ලක්ෂ හැත්තෑ දහසක් වැය කෙරුණු බව කියැවිණි.

මේ පෝස්ටුව හැඩ කරන්නට සිතාගෙන මම ලෙස්ටර් කෘතියේ foto සොයමින් ජාලය පීරුවෙමි. එකම එකකි හමු වුණේ.

ඉතිං... එවන් තත්ත්වයක් යටතේ මෙම පොතේ නැවත මුද්‍රණයක් ගැන සිතීමත් විහිළුවකි. (පළමු මුද්‍රණයේ පිටපත් මිලදී ගැනීමට ඉතිරිව තිබේදැයි මට අදහසක් නැත.) අවශ්‍ය කෙනෙකුට මේ කෘතිය දැක බලා ගන්නට ලැබෙන්නේ කෞතුකාගාර ලේඛනාගාරය නොඑසේ නම් ජාතික පුස්තකාල ලේඛනාගාරය වැනි තැනකට ගියෝතිනි!

ඒ විතරක්ද?
මේ පෝස්ටුව හැඩ කරන්නට සිතාගෙන මම ලෙස්ටර් කෘතියේ foto සොයමින් ජාලය පීරුවෙමි. එකම එකකි හමු වුණේ.
මේ කෘතිය ගැන සඳහන් එකම එක සිංහල ලිපියක්වත් ජාලයෙන් සොයාගත නොහැකි විණි. ඉංග්‍රීසි ලිපි පවා දෙකකි මට හමු වුණේ...

මටම පුදුමය! ඊටත් වැඩියෙන් දුකය!! අපි වැදගත් තොරතුරු වාර්තා සටහන්කොට තැබීමෙහි ලා අලසයෝ වන්නෙමු!!!

එහෙම පසුබිමක වුණත්... මේ පොස්ටුවේ පළමුවෙනි කොටසෙහි කියැවුණු කරුණක් පිළිබඳව තවත් blogකරුවෙකු වන ‘සූටික්කා’ කමෙන්ටුවක් එව්වේය.
‘ඕකේ පොඩි අවුලක් තියෙනවා.....
//පියෝ බෙවරේජස් කොම්පැනියත් හැදුවා බීමක්- ඔරේන්ජ් ක්‍රෂ් කියලා//
ඔරේන්ජ් ක්‍රෂ් කියන්නෙත් එලිෆන්ට් හවුස් එකේ එකක්.... මම හිතන්නේ ඔය කියලා තියෙන්නේ ඔරෙන්ජ් ෂැරෝනා (Orange Sharona) එක ගැන..... මේකට ෆොටෝ එකක් දාන්න පුලුවන්නං මම මේකට අමුනන්නං...’

ඒත් එක්කම අපේ හිතවත් බස්සා මහතාත් සූටික්කාගේ ප්‍රකාශය සනාථ කර තිබිණි. “ඔව් මටත් මතක විදිහට ඔරේන්ජ් ක්‍රෂ්ක්‍රීම් සෝඩා එලිෆන්ට් හවුස් නිෂ්පාදන. තව තිබ්බා ලිංගුස් කියල එකක්,තනිකරම මස් කරල.😁.

ඉන්පසුව සූටික්කාත් මාත් අතර පණිවිඩ දෙක-තුනක් හුවමාරු වීමේ ප්‍රතිඵලයයි, පහතින් ඔබට දකින්නට ලැබෙන්නේ.

(ඔරේන්ජ් ෂැරෝනා පිළිබඳව මේ ඉපැරණි දැන්වීම සූටික්කාට සපයාදී තිබෙන්නේ එලිෆන්ට් හවුස්හි සේවයේ නියුතුව සිටි රංජිත් ගලගොඩ මහතාණන්ය. සූටික්කාටත් රංජිත් මහතාටත් බෙහෙවින් ස්තුතියි!)

ඔරේන්ජ් ෂැරෝනා පිළිබඳව මේ ඉපැරණි දැන්වීම සූටික්කාට සපයාදී තිබෙන්නේ එලිෆන්ට් හවුස්හි රාජකාරියේ යෙදී තිබෙන රංජිත් ගලගොඩ මහතාණන්ය.

මෙහෙම මෙහෙමවත් අපේ අතීත විත්ති වාර්තාකොට තැබෙනවා නං...

“දැන් මට තේරෙනවා නිමල් කරන්න ලැහැස්ති වෙන සූත්තරේ! නරක නෑ නිමල්ගේ මොළේ...” ගුණසිරි කොළඹගේ මහත්තයා කිව්වේ මා සකස් කළ ඩමිය පිරික්සා බැලුවාට පසුවය. “එතකොට නිමල් හදන්නේ ඉම්ප්‍රෙෂන්ස් ගණන අඩු කර ගන්නයි. ඒත් නිමල්, එතකොට ගැදරින්...? ඒක වැඩි වෙනවනේ...”
(පොත් මුද්‍රණ කටයුත්තේදී ගැදරින් කරනවා කියන්නේ මුද්‍රිත පෝරම අනුපිළිවෙලින් එක්කාසු කිරීමටය. සාමාන්‍ය ප්‍රමාණයේ මුද්‍රණ මැෂිමකින්, ඩිමයි 1/8 ප්‍රමාණයේ පිටු 8ක් එකවර මුද්‍රණය කෙරෙයි. එහි අනෙක් පැත්තත් මුද්‍රණය කෙරුණු විට පිටු 16කි. එය නිසි පරිදි නවා ගත්විට
ඒ පෝරමයකි.
පිටු 64ක පොතකට නම් පෝරම 4ක් සකසාගත යුතුය.

පළමු පෝරමය පිටු අංක 1 සිට 16 තෙක්, දෙවැන්න 17 සිට 32 තෙක්, තෙවැන්න 33 සිට 48 තෙක්, සිව්වැන්න 49 සිට  64 තෙක් වශයෙනි.) එලෙස මුද්‍රිත පෝරම නිසි පිළිවෙලට ගැදර් කරගත් පසුවය, පොත බයින්ඩින් කෙරෙන්නේ.

“ඔව් කොළඹගේ මහත්තයෝ. එහෙම තමයි. මැෂිමකින් print කරන්න යන වියදම හුඟක් වැඩියිනෙ ගැදරින් කරනවට වඩා. ඒ නිසා ගැදරින් වැඩි වුණාට කමක් නැහැනෙ. ”
මගේ සැලසුමේ පදනම වුණේ ඒකය. එකී පදනමේ සිට මා සැකසූ සැලසුම අනුමත කෙරිණි. පොත මුද්‍රණය විණි. පොත දොරට වඩින උත්සවය සඳහා ප්‍රියදර්ශන පෙරේරා මහතාට මෙන්ම මටත් ඇරයුම් පතක් ලැබිණි.

අනේ!
‘චෙම්බාස්සල පීයා ජලා හුකා- හුකා පරියා’ වගේ එහාටත් නැති, මෙහාටත් නැති විකාර දොඩවමින් ‘අන්ජිසාම් පැකට්’ විකුණන්නට කොළඹ වතු- මුඩුක්කු ගණනේ කරක් ගැසූ අපේ මහරගම සීයා; චාලි නානා එදා ජීවත්ව හිටියා නම්... සීයාට පිං සිදු වෙන්නටය අපේ සුනිලුත්, මාත් ඉස්සෙල්ලාම ගෝල්ෆේස් හෝටලය දැක ගත්තේ. ඒ 1965 විතර වෙසක් දවසක අපේ සීයා ගෝල්ෆේස් පිට්ටනියට අප එක්කගෙන ගියාමය.
“අර තියෙන්නෙ ලංකාවේ ලොකුම හෝටල්වලින් එකක්. සුද්දෝ තමයි ළමයෝ ඕකට යන්නේ.” එදා සීයා කිව්වේය. “පොඩි පටු කෙනෙකුට ඔතනට ගිහිං තේකක් බොන්න බෑ. ඕකේ තේ එකකුත් රුපියල් සියගණනක්ලු!”

ඊට අවුරුදු තිස් ගණනකට පසු, ඒ මතකයනුත් රැගෙන- සුද්දෙකු නොවුණු මමත් ගෝල්ෆේස් හෝටලයේ ලෝටස් ලොබියට ගියේ ඉමහත් සතුටකිනි. ඒ වෙද්දී කිහිප වතාවක්ම එහි ගොස් තිබුණත්- මෙවැනි සම්භාවනීය අමුත්තන් රැසක් ඒකරාශී වුණු අවස්ථාවක...
නළු-නිළියන්, ගායක-ගායිකාවන්, සිනමා අධ්‍යක්ෂවරුන්, නිෂ්පාදකවරුන්, කාර්මික ශිල්පීන් හා තවත් ක්ෂේත්‍ර රැසක ප්‍රවීනයන්, ප්‍රභූන් හා දේශපාලඥයන් සපැමිණි අවස්ථාවක...

ලෙස්ටර් ජේම්ස් පීරිස් මැතිඳුන් වෙත...

ඉමහත් හරසර මැද්දේ ඒ මහා සිනමාවේදියාණන්ගේ 85 වෙනි උපන්දින උත්සවය ගම්භිරාකාරයෙන් පැවැත්විණි; සුබපැතුම් වැසි වැටිණි. ඒ අතරතුරේ ‘ලෙස්ටර්- ශ්‍රී ලංකාවේ අග්‍රගණ්‍ය සිනමාවේදියා’ රූපාලේඛය ලෙස්ටර් ජේම්ස් පීරිස් මැතිඳුන් වෙත පිළිගැන්විණි.

“ප්‍රොෆෙසර් අපූරු වැඩක් කරල තියෙන්නෙ වෙනද වගේම. / එයා එහෙම තමයි. මතකද චිත්‍රපට ගීතාවලී පොත්... ගාන්ධර්ව අපදාන පොත්... කාටවත් මතක් නොවෙන වැඩ!”
අපි වාඩිවෙලා හිටිය මේසෙට යාබද මේසයේ හිටි කිහිප දෙනෙක්, තේ පැන් සංග්‍රහය භුක්ති විඳිමින් සුනිල් සර් ගැන කතාවක... ටිකක් සද්දෙන්. “නෑ මචං. පොරට නින්ද යන්නෑ වෙන්නැති. උඹල දන්නෑ, film එකක් ෂූට් කරන්න ගිහිං ඉඳිද්දීත් මනුස්සයා මහ පාන්දර නැඟිටගෙන ලියනවයි- කියවනවයි...”

එයාලා ලෙස්ටර් පොත පෙරළලා බලමින් තව ගොඩක් දේවල් කතා කළා.

‘සුනිල් සර් එහෙම ලියන නිසා තමා ඔයාලටයි අපිටයි අද මෙතනට එන්න ලැබුණෙත්...’ මට එවෙලේ එයාලට කියා ගන්නට බැරි වුණු උත්තරයයි, ඒ. ‘... ඒ විතරක් නෙවෙයි, ඒ හින්දමයි මට නං ලෙස්ටර් මහත්තයා වගේ කෙනෙකුගෙ උපන් දින උත්සවයකට එන්නත් චාන්ස් එක හම්බ වුණේ! දන්නවද- ඔය ‘ලෙස්ටර්’ පොත අච්චු ගහන වැඩේට මාත් ගෑවුණා, සුනිල් සර්ට පිං සිද්ද වෙන්න.’

එදා එයාලට නොකියා හිතේ හිර කරගෙන හිටි ටික මේ post එක අවසන් කරද්දී, ඔන්න ඔයාලට කිව්වා. කමක් නැහැනෙ... නේද෴0෴

Saturday, June 15, 2024

‘ලෙස්ටර්’ Coffee Table පොතට ගෑවුණෙමි! -පළමුවෙනි කොටස

ලජ්ජාවෙන් වුණත් ඇත්තම කිව යුතුය. 2004 වෙද්දී මං ‘කෝපි මේසේ උඩ තියෙන පොත්’ ගැනවත් ‘කෝපි මේස’ ගැනවත් හංකාවිසියක් දැනගෙන උන්නේ නැත! Coffee Table Book කියන වචන ටික පළමුවෙනි වතාවට, මගේ කණට වැටුණෙත් එදා මහාචාර්ය සුනිල් ආරියරත්න මහත්තයා කියල දුන්නාමය.

2004 වෙද්දී මං ‘කෝපි මේසේ උඩ තියෙන පොත්’ ගැනවත් ‘කෝපි මේස’ ගැනවත් දැනගෙන උන්නේ නැත!

එදාය කිව්වේ, අදට අවුරුදු විසි ගණනකට කලින්-2003 අග හෝ 2004 මුල හෝ දවසකටය.

“කෝ නිමල් කළු මහත්තයා?”
පියසිරි ප්‍රින්ටින් සිස්ටම්ස් ආයතනයට සුනිල් සර් එන්නේ හෙමින් හෙම නොවේ. ඊගහ වගෙය. කලාතුරකින් හරි එහෙම ආවෙත් ‘කඩදාසිය ළිපේ දාල වගේ’ කඩිසරකමෙනි. එදාත් එහෙමය.
“කළු මහත්තයා නෙවෙයි සර්, සුදු මහත්තයා...” මං හැකිතාක් සංවරව කිව්වේ සිනාව හිර කරගෙනය.

“එයා කොහෙද සුදු? එතකොට සුදු අයට කොහොමද කියන්නෙ... හැබෑට, කෝ ඒ සුදු මහත්තයා.” සුනිල් සර්ටත් හිනාය.

සුදු මහත්තයා කිව්වාට පියසිරියේ හිමිකරු ප්‍රියදර්ශන පෙරේරා මහතා සුදු නැත. තදම කළු කළුදෑවෙකුත් නොවුණාට උන්නැහේ තද පැහැතිය. මං හිතන්නේ ඒ පවුලේ දරුවන් පස්දෙනා අතරෙන් තරමක් හෝ ළා පැහැති සමකට උරුමක්කාරයා වුණු බැවින්- ඔහු සුදු මහත්තයා වූවා විය යුතුය.

එදා සුදු මහත්තයා එක්ක ටික වෙලාවක් සාකච්ඡා කරමින් හුන් සුනිල් සර්, ඊළඟට මගේ මේසය වෙතට ආවේය. “අපි ලොකු වැඩක් කරන්නයි යන්නේ...” සුනිල් ආරියරත්න මහාචාර්යතුමා කිව්වේ සුදු මහත්තයගේ දිහාවටත් හැරෙමිනි.
“ලංකාවේ හොඳම සිංහල කොෆී ටේබල් බුක් එකක් ගහන්නයි යන්නේ... මම ප්‍රියදර්ශනටත් කිව්වා. මං නිමල්ව එක්ක යන්නං මිස්ටර් කොළඹගේ ළඟට. නිමල්ට තියෙන්නෙ කොළඹගේ මහත්තයත් එක්ක එකතු වෙලා අඩුම ප්‍රින්ටින් කොස්ට් එකකින් මේ පොත ගහන්න පුළුවන් විදිහක් හදල දෙන්න. ඔයාලගේ සුදු මහත්තයාමයි කිව්වේ, ඒ වැඩේට සුදුස්සා නිමල්ය කියලා...”

“හොඳයි, සර්!”
“එහෙනං මම කොළඹගේ මහත්තයත් එක්ක වෙලාවක් දාගෙන කියන්නං. ඉක්මනටම. හෙටම යන්න පුළුවන් වුණොත්...”

මගේ මතකය නිවැරදියි නං, ඒ වෙද්දී ගුණසිරි කොළඹගේ මහතා පියසිරියට ඇවිත් තිබ්බේ නැත. අප ඒ පොත අච්චු ගැහුවායින් පස්සේය, එතුමා පියසිරියෙහි ගනුදෙනුකරුවෙකු වුණේ.

සුනිල් සර් පසුවදාම එන බව කියා- එතුමා සමඟ කොළඹගේ මහතා හමුවන්නට යෑම සඳහා සූදානමින් ඉන්නැයිද මට දුරකථනයෙන් දැන්වූයේය. එවිටත් මා කොළඹගේ මහතා ගැන දැනගෙන උන්නේ කාරණා දෙකක් විතරය.
1. ඔහු චිත්‍රකතාවකුත් ඇන්ද කෙනෙකි. ඒ සරසවිය සිනමා පත්තරයටය. ඒ විස්තරය
‘සතුටේ ‘සතුට’ සොයන ගමන්.... post එකේදී ලියා ඇත.

2. ශ්‍රී ලංකාවට ඕෆ්සෙට් මුද්‍රණ ශිල්පය එන වකවනුවේ; පළමු සිංහල foto සෙටර් යන්ත්‍රයට පරිගණක අකුරු සකස් කිරීමේ පුරෝගාමියා මේ කොළඹගේ මහතාය. (මා ඒ විත්තිය කියවූයේ 1984 නොවැම්බර් ‘කල්පනා’ මාසික සඟරාවෙනි. ඊටත් වඩා විස්තර කොළඹගේ මහතා පසු කලෙක මට කීවේය!)

මං වහන්සේ වැස්ස වෙලාවකටවත් මුද්‍රණ පාසලකට ගොඩවැදී නැත. මා ප්‍රින්ටින්වලට වැටුණෙත් අහම්බෙනි.

පසුවදා උදේ මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා මාවත් නංවාගෙන වාහනය පණ ගැන්නුවේය; විජේරාම හංදියෙන් මහරගම පැත්තට හැරෙව්වේය. වත්තේගෙදර හන්දිය පෙනි-පෙනී තියෙද්දී වමට; පරණ පාරට හැරෙව්වේය. කුඩා කඳු ගැටය නැඟ, නාවින්නේ ආයුර්වේදය ඉස්සරහින්ම වගේ වමට තියෙන අතුරු පාරකට හැරෙව්වේය. ඊළඟට අප උන්නේ ගුණසිරි මහතාණන්ගේ නිවහනේ මිදුලේය.

අප එනතුරු බලා සිටියේ කොළඹගේ මහත්තයා විතරක් නොවේ; ඔහුගේ ආදරණීය පුතණු ප්‍රසන්නත්...
ඒ ගැන වෙසෙසින් කිව්වේ නිකම්ම නොවේ. එදායින් පසු මට කොළඹගේ මහතා හමු වුණේ කොතැනකදීද ඒ හැම තැනකදීම ඒ තාත්තාත්- පුතාත් දෙන්නාම එකට දැක ගන්නට ලැබුණු බැවිනි. ඒ දෙන්නා ඒ තරමටම සමීප පාටය.

“මෙහෙමයි නිමල්. මේක කොෆී ටේබල් බුක් එකක්නේ. වැඩියෙන් තියෙන්නේ පින්තූර. විස්තර ටිකයි. ඉස්සර ගත්ත ගොඩක් පින්තූර black & white. කලර් ෆොටෝසුත් තියෙනවා... අපි ඉස්සෙල්ලම පොතේ විදිහ බලල ඉඳිමුකො...” හමු වුණු පළමු දවසෙම වුණත් ගුණසිරි මහතා මට පෙන්වූයේ දැඩි කුළුපග ගතියකි. එතුමා අතිශය නිහතමානීව පොතේ ඩමිය මට පෙන්වමින් විස්තර කිව්වේය.
එතෙකින් නොනැවතී ඒ වෙද්දීත් සකසා තිබුණු පිටු, විශාල පරිගණකයේ තිරයෙන් පෙන්වමිනුත් තොරතුරු කිව්වේය.

“මේකයි නිමල්, මෙහෙම පොත් සිංහලෙන් අච්චු ගහලා නැතිම තරං. වැඩේ තියෙන්නෙ පොතක් ගහන එකේ නෙවෙයි, මිල කරන එකෙයි. මෙහෙම පොතක් වුණත් දෙන්න ඕනි පුළුවන් තරම් අඩු ගණනකටනේ... එහෙම කරන්න නං පොත print කරන්න යන වියදම අවම කර ගන්න වෙනවා. අපි කොහොමද එහෙම කර ගන්නේ?”

ඇත්තෙන්ම මට තිබුණේ අත්දැකීමෙන් ඉගෙනගත් මුද්‍රණ ශිල්පීය දැනුමකි. මං වහන්සේ වැස්ස වෙලාවකටවත් මුද්‍රණ පාසලකට ගොඩවැදී නැත. මා ප්‍රින්ටින්වලට වැටුණෙත් ඉතාම අහම්බෙනි.
නමුත්, අභියෝගවලට මුහුණ පාන්නට බිය නොවන  ගතියකුත්- තැනේ හැටියට ඇණේ ගහන්නට හැකි නුවණකුත්- යම්කිසි වාසනා මහිමයකුත් මට තිබුණු නිසාදෝ... දසක ගණනාවක් තිස්සේම ප්‍රින්ටින්වලට ඔරොත්තු දීගෙන හිටින්නටත් මට හැකි වුණේය.

“මෙහෙමයි සුනිල් සර්. අපිට කොස්ට් එක අඩු කර ගන්න වෙන්නේ ප්‍රින්ටින් පැත්තෙන්. ඉම්ප්‍රෙෂන්ස් ගණන අඩු කර ගන්න පුළුවනි නං...”

(මුද්‍රණ කර්මාන්තයේදී ඉම්ප්‍රෙෂන් එකක් කියන්නේ එක් මුද්‍රණ වාරයකි. ඕෆ්සෙට් ක්‍රමයේදී ඒ එක වාරයක් මුද්‍රණය කරන්නට වුවත් සාදා ගන්නා මුද්‍රණ තහඩු (plate) සවි කර මැෂින් එක සූදානම් (make ready) කරගත යුතුය. ආදර්ශ කිහිපයක් මුද්‍රණයකොට බැලිය යුතුය. තීන්ත- වතුර ආදිය නිසි පරිදි ලැබෙනසේ මැෂිම සකස් කළ යුතුය. ඒ සඳහා පැයකට ආසන්න කාලයක් ගත වෙයි. එසේ මැෂිම සකසාගත් පසුව කඩදාසි දාහක් අච්චු (ඉම්ප්‍රෙෂන්ස් දාහක්) ගහන්නට පැයක් ගත වෙන්නේ නැත!)

මේ වැඩේ බොහොම ලස්සනට කරන්න වෙනවා

“4 colour පිටු වෙනම print කර ගන්න පුළුවනි නං...”

“කොහොම print කළත් රජෝ, මේ lay out එක නං ආයේ වෙනස් කරන්න බෑ! බොහොම ලොකු කට්ටක් කාලයි මේ තරමට වුණත් ගත්තේ.”
“නෑ නෑ කොළඹගේ මහත්තයෝ. මං හිතුවේ පුළුවන් තරම් 4 කලර් පිටු එකට print කරලා ගන්න විදිහක්... 2 colour  පිටු වෙනමයි ගත්තොත් ඉම්ප්‍රෙෂන්ස් ගණන අඩු කර ගන්න... සුනිල් සර්, පොත සෙක්ෂන් බයින්ඩින් කරල නේද හදන්නේ... මහලා...”

“ඔව්, ඔව්! මහල හාර්ඩ් කවර් කරලා... ජැකට් එකකුත් දාන්න ඕනි!” සුනිල් ආරියරත්න මහත්තයා බරකොට කීවේය. “මම ප්‍රියදර්ශනටත් කිව්වා, මේ වැඩේ බොහොම ලස්සනට කරන්න වෙනවයි කියලා- ඉක්මනටත්. අප්‍රේල් පස්වෙනිදට පොත එළිදක්වන්නත් තියෙනවා, ලෙස්ටර් මහත්තයාගේ උපන් දිනේදී...”

එතකොට මට කොම්පියුටරයක් තිබුණේ නැත. මං ඉන්ටර්නෙට් යන්නට දැනගෙන උන්නෙත් නැත. එහෙම නොවුණා නං එදාමය, මේ නිමල් දිසානායකයා අන්තර්ජාලයෙන් Coffee Table Books ගැන විස්තර හොයන්නේ.
ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්තයා ගැන නම් ගුවන් විදුලියෙන්, පත්තරවලින්, සිනමා සඟරාවලින්, රූපවාහිනියෙන් අනන්තවත් විස්තර අසා; කියවා; දැකලා; තිබුණ එකනෙ!

අන්තර්ජාලයේ තොරතුරුවලට අනුව Coffee Table Books කියන්නේ ෆොටෝස් හා රූප සටහන් වැඩියෙන් ඇති- කියවන්නට දේ අඩුවෙන් ඇති පොත් වර්ගයකටය. ඒවා තබන්නේ නිවසක විසිත්ත කාමරයේ කෝපි මේසය මතය!

සාමාන්‍යයෙන් ‘කොෆී ටේබල් බුක්ස්’ ප්‍රමාණ තුනකින් ඇතැයි ජාලයේ කියා තිබිණි. Square, Portrait හා Landscape.

සුනිල් සර් අදහස්කොට තිබුණෙත් ‘ලෑන්ඩ්ස්කේප්’ වර්ගයේ පොතක් ලෙස ‘ලෙස්ටර්’ කෘතිය අච්චු ගස්සවන්නටය. පොතේ දිග අඟල් 11 ¾ කි. පළල අඟල් 11කි.
“පොත ගහන්නේ  මැට් ආර්ට් පේපර් කඩදාසියේ. පොඩි පොතකුත් නෙවෙයි. පිටු දෙසීයක්!”

මම ඒ වෙලාවේම අවශ්‍ය කෙරෙන දත්ත ලියා ගත්තෙමි.

කළු පාටින් විතරක් print කරන්නට තියෙන පිටු; 1, 2, 3, 4, 5, 6, 7, 9, 15, 16...
4 colour පිටු: 8, 10, 11, 14... 
2 colour පිටු: 12, 13, 17, 18, 19, 20...    

“ඔහොම ලියාගෙන...”
“Press එකට ගිහිං මම ඩමියක් හදා ගන්නයි යන්නෙ, කොළඹගේ මහත්තයෝ. ඊළඟට තමයි බලන්න ඕනි impressions අඩු කර ගන්න විදිහ...”
“මම ඉතිං ඇඩ්වටයිසින් මිසක් printing side එක ගැන දන්න මිනිහෙක් නෙවෙයිනෙ නිමල්. අනිත් දවසේ ඔයා හදාගෙන එන plan එක බැලුවම මටත් බැරිය, රෆ් අයිඩියා එකක් ගන්න.”

ඉස්සර තිබ්බා අලියා ඔරේන්ජ් බාර්ලි කියල බීමක්! (දැනුත් තිබේ!)

“අනිත් දවසෙ නෙවෙයි ගුණේ. නිමල් අද හවස් වරුවෙම වැඩේ කරයි. පුළුවන් නේද? හෙට උදේ ගුණේට ෆ්‍රී නං මම නිමල්වත් මෙහාට එක්කගෙන එන්නං.” සුනිල් සර් කිව්වේය. “... ඇවිත් නිමල්ව මෙහෙට බස්සලා මං කැම්පස් යනවා. මට ලෙක්චර්ස් වගයක් තියෙනවා උදේ වරුවේ. ඒවා ඉවර වුණාම මම එන්නං...”

ඉතිං, එදා හවස් වරුවේදීම මට ඒ රාජකාරියට කර ගහන්නට වුණේය.

“සුනිල් එක්ක ලේ..සි..යෙ..න් බේරෙන්න බෑ, නිමල්. පහුගිය ටිකේම මිනිහා කුකුළත් අතින් අරං මෙහෙ ආවේ. කොහෙන් හොයා ගත්තද මන්දා. කසිකබල් පරණ ෆොටෝස් තොගයක් එහෙමත් උස්සගෙනයි ආවේ. ඇයි, ඉතිං ඒ කාලෙ ගත්තු foto වෙන්න ඇතිනෙ... හැබැයි එච්චර පින්තූර ගොඩක් හොයා ගත්තට සුනිල්ට වෙ..න..ම තෑග්ගක් දෙන්න වටිනවා. පුළුවන් තරං මහන්සි වෙලා ඒවාත් හදල තමයි මේ පොතට ගත්තේ...” නොමසුරුව සංවාදශීලී වෙන කොළඹගේ මහත්තයා පසුවදා මට කීවේය.
ඒ මහාචාර්ය  සුනිල් ආරියරත්න මහතා මාව එහාට ඇරලවා ගියාට පස්සෙය.

එදාත් මට පළ දුන්නේ ‘හොඳින්  සවන් දෙන්නෙකු වීමේ පුණ්‍ය මහිමය’යි.
ලෙස්ටර් පොතේ මුද්‍රණ සැලසුම ගැන සාකච්ඡා කරනවාට වඩා වැඩි වෙලාවක් ගත වුණේ ඉතා රසවත් අතීත සැමරුම් හෙළිදරව් කරන්නටය!

‘”ඒ කාලෙ නිමල්, advertising කියන්නේ හොඳ field එකක්. හොඳට ගෙව්වා, වැඩක් කෙරෙනකොට හොඳට වියදම් කළා. ඔයා අහල ඇතිනෙ xxxx xxxxx ගැන... හරි ෂෝක් කැමරාමන්!”
“ඔව් කොළඹගේ මහත්තයා. ඔය කිව්වේ xx xxxxxගේ අයියා නේද? මට එයාව හම්බවෙලත් තියෙනවා.”

“අන්න මි..නි..හා! මරු ෆොටෝග්‍රැෆර්... එයාට දැන්වීමකට ගන්න ඕනේ වෙලා තිබ්බලු කතරගම පූජා කෙරෙන මල් වට්ටියක ෆොටෝ එකක්. ඕක මෙහෙදීම ගන්න තිබ්බනේ නිමල්. ඒ මනුස්සය වාහනයක් දාගෙන කතරගමටම ගිහිල්ලා තමයි මල් වට්ටියේ foto එක අරගෙන තියෙන්නේ! ඔන්න ඒ කාලෙ වැඩ....” කොළඹගේ මහත්තයාට හිනා වෙන්නට එක කටක් මදිය!

“මං කියන්න හැදුවේ වෙන දෙයක්... කිව්වේ එක දෙයක්... ඒකත් ඔයාට කියල ඉන්නංකො... ඊට පස්සේ අපේ වැඩේ...” ඔළුව හොලවලාය මං එකඟත්වය පෙන්නුවේ.

“ඉස්සර තිබ්බා අලියා ඔරේන්ජ් බාර්ලි කියල බීමක්. ලංකාවේ ඈත ඈත පලාත්වල හිට ස්ථාපිත වෙලා තිබ්බ බීම ජාතියක්...”
“එලිෆන්ට් හවුස් එකෙන් ගැහුවේ...”

ඒ කාලෙ ගමේ මිනිස්සු ගෙදරට බඩු ගන්න පොළට ගියාම අලියා බීම බෝතලයකුත් බීලයි ගෙදර එන්නේ...

“අන්න හරි නිමල්! ඉතිං... ඒ කාලෙ ගමේ මිනිස්සු ගෙදර බඩු ගන්න පොළට ගියාම අලියා බීම බෝතලයකුත් බීලයි ගෙදර එන්නේ. ඔය දවස්වල පියෝ බෙවරේජස් කොම්පැනියත් හැදුවා බීමක්- ඔරේන්ජ් ක්‍රෂ් කියලා. ඔරේන්ජ් බාර්ලි එකට තරගෙට. ඒකට පබ්ලිසිටි එක දෙන්න වැඩත් පටන් ගත්තා. ඒ වැඩේ බාර දුන්නේ ඔලිවර් පෙරේරාගේ කොම්පැනියට. එතකොට ඒ කොම්පැනියේ Art Director නොයෙලින් හන්ටර්ගේ තාත්තා... ඔන්න මිනිහ plan කළා වැඩේ...

-ඒ දවස්වල මිනිස්සු පත්තර කියවනවා අඩුයිනෙ. ලොකු බෝඩ් ගැහුණෙත් බොහොම කලාතුරකින්. වැඩියෙන්ම කෙරුණේ පොඩි ටින් plate එකක් කඩවල්වල හයි කරන එක. ඒ ටින් ප්ලේට් එකේම පැත්තෙන් අඟලක විතර තීරුවක් නවල තියෙනවා, ඒක කඩේ බිත්තියට තියලා ඇණ ගහන්න.

-ඔය plate එකේ දෙපැත්තේම විකුණා ගන්න ඕනි කරන ජාතිය ගැන කියන දැන්වීම print වෙලා තිබ්බා.”
නොඉවසිල්ලෙන් වුණත් මට තවත් ටික වෙලාවක් කොළඹගේ මහත්තයාගේ හිනාවට ඉඩ දී බලා ඉන්නට වුණේය. දැන් එයා වචනයෙන් විස්තර කරනවා විතරක් නොවේ. දෑතිනුත් අභිනය පාමින් පෙන්වයි.

“අර ටින් ප්ලේට් එකේ තියෙනවා Orange ක්‍රෂ් බෝතලයක්... ලස්සනට කහ පා..ට..ට. ඒ බෝතලේ උඩ ඉඳලා පහතට යනකල් බෝතලය ව..ටේ..ට එතිච්ච ලස්සන දොඩම් ලෙල්ලක්. බොහොම ආර්ටිස්ටික් වැඩක්!
ඉතිං, ඒ ටින් ප්ලේට්ස් ගම්වල කඩයක් කඩයක් ගානේ හයි කරගෙන ගියා. වැඩේ කියන්නේ නිමල්, සිංහයා බීම විකිණි විකිණී තිබිච්ච ටිකත් පාත බැහැලා...

-මොකක්ද දන්නවද වෙලා තිබුණේ?
ගම්වල මිනිස්සු කියන්න පටන් අරං ‘ඒ බීම හදල තියෙන්නෙ දොඩම් ලෙලිවලින්... කිසි ගුණයක් නැති ඒක සල්ලිත් දීල අරගෙන බොන්න ඕනයැ’ කියල.”

ඒ දවස් කීපයේ පාදා ගන්නට ලැබුණු ‘පැරණි මිණි මුතු’ කොතෙක් රසවත්ද? ඒ නිසාම ‘නිදිගෙ පංච තන්තරේ’ ලියන්නට පටන් ගත්තායින් පසුව යළිත් වතාවක් මම (2019 අප්‍රේල් මාසයේ 5 වෙනිදා) කොළඹගේ මහතා හමුවීමට ගියෙමි. (හිතවත් ගවීන් මා හා එහි ගියේය. පැය දෙකහමාරකටත් වඩා දිගු වූ අපේ රසබර සංවාදය ගවීන් පටිගත කළේය. එයින් කොටසක් ‘සතුටේ සතුට...’ posts ලියද්දී ප්‍රයෝජනයට ගත්තෙමි.
කෝපි මේස පොත ගැන මේ posts කිහිපය ලියනවිටත් ඒ සාකච්ඡාවෙන් කොටසක් උපයෝගී කර ගන්නා විත්තිය 2022දී කොළඹගේ මහත්තයාට කීවෙමි.

සුබ ගමන්- කොළඹගේ මහතාණෙනි!

-”ඒක ලියන්න කලින් අපි ආපහු හම්බ වෙමු නිමල්, එතකොට මම තව කතන්දර ගොඩක් ඔයාට කියන්නං.” කොළඹගේ මහතා එවිට පොරොන්දු වුණේය.

-අවුරුදු ගණනාවක් තිස්සේ ලියන්නට පෙරුම් පුරමින් හිටි, මේ පෝස්ටු දෙක-තුන හදිසියෙන්ම මෙසේ ලියැවෙන්නේ ඉකුත් සතියේ දවසක දැනගත් ශෝකජනක පුවතක් නිසාය.
අර පොරොන්දුව ඉටු කරන්නට- සිනාකමින් රසකතා වගුරන්නට... ඒ හිතවතා; ගුණසිරි කොළඹගේ මහතා දැන් නැත! ඔහු සදාකාලික නින්දට පිවිසීලාය.
සුබ ගමන්- කොළඹගේ මහතාණෙනි!

ඔබ හා කෙරුණු; අවුරුදු 5ක් පරණ සාකච්ඡාවක් උදව්වට ගනිමින්- ඔබට බෙහෙවින් ස්තුතිවන්ත වෙමින්, මේ පෝස්ටුවේ දෙවැන්නත් ලියන්නෙමි.