අකුරු මැකී නෑ

Monday, October 28, 2024

රහස් නොවන රහස් ටිකක් - තෙවෙනි කොටස

එව්වා දකිනකොට නොවැම්බර් 14 වෙනිදාට තියෙන ‘දියවන්නාව සුද්ද කරන මහා ශ්‍රමදානය’ට මේ තරමින් දායක වෙලා මදි නේද කියලත් හිතෙනවා.

අරහෙන් ගම්මන්පිල උන්නැහෙ කන්දක් විලි ලාලා කරන්න හදන හෙළිදරව්වේ විස්තර- මෙහෙන් ලොහාන් රත්වත්තේගේ පුද්ගලික ලේකම්වරයාගේ අබිරහස් මරණය- ඒ මදිවට රත්තරං උන්නැහෙගෙ බෑණාගේ ගෙදරින් හොයා ගත්තු ‘කෝටි 6ක් වටිනා සැප වාහන’ හුටපටේ...  
එව්වා මෙව්වා මොනවා අහන්න- බලන්න තිබ්බත් ‘නිදිගෙ පංච තන්තරේ’ නොකඩවා කියවන ඔයාලා වෙනුවෙන් ලියන රාජකාරියත් කරන්න ඕනි නෙව.

හීල් දානයක් දෙන්නට කලින් අපි හොයල බැලුවා...

එහෙම කියලා පහුගිය කොටස publish කරල දවසයි ගියේ. තවත් පුවතක්... අද දහවල් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහත්තයත් අත් අඩංගුවට...

රිමාන්ඩ් එකේ- බන්ධනාගාරේ එහෙම සිරගත වෙලා ඉන්න අයගේ කෑම වේල්වලට නිතරම උයාපු අළුකෙසෙල් දෙනවද? කාලෙකට ඉස්සර එහෙම කතන්දරයක් ආරංචි වුණා. ඒ කතාව ඇත්තද- ඇත්ත නං එහෙම කෙරෙන්නේ ඇයි? කියලත් මං හොයල බැලුව.
‘අළුකෙසෙල්වල ශුක්‍ර ධාතු වර්ධනය අඩාළ කරන ගුණයක් තියේලු. ඒකලු හිරකාරයන්ට එව්වා නිතර කන්න දෙන්නේ.” ලු අකුරු දෙකක් එක්කයි මට උත්තර හම්බ වුණේ.

‘රහස් නොවන රහස් ටිකක්’ දෙවෙනි post එකටත් මරු comments ටිකක් ඇවිත්...
‘ලුණුමිරිස්
, දිවුල් ජෑම්, කීරමීන් හොදි, චීස්, අළුකෙසෙල් තෙල්දාල සහ ගොටුකොළ සම්බෝල එක්ක මැකරෝනි කාල තියනවද?’ Pra Jay මහතා විමසල තිබ්බා.

එතකොට මගේ ඔළුවට ආවේ අවුරුදු 45කට කලින් දවසක සිරිපා හිමේදී කන්න වුණු කෑමක්. ඒක උත්තරේට ලිව්වා, comment තීරුවේම. හැබැයි වෙලාව මදි නිසා නොලියවුණු කොටසකුත් තියෙනවා නේද කියලා දැන් හිත කෙඳිරි ගානවා. ඒ වගේම අසංග රණසිංහආරච්චි හා Praසන් හිතවතුන් දෙන්නාටත් ප්‍රතිචාර දැක්වූවා මදි කියලත් කල්පනා වෙනවා. එයාලා මේවයි කියලා තිබ්බේ.
‘‘කොළ කැඳ එකට ගම්මිරිස් කුඩු එකතු කරන එක මමත් කාලෙක ඉඳන් කරනවා... ඒකටම අබ ටිකක් එකතු කරන්නත් කියලා පොතක තිබ්බා මතකයි. හැබැයි ඒක අත්හදා බලා නම් නෑ.
අනික් කාරණේ නම් ‘ගෑනු කවුරුවත් එයාලා උයන පිහින ක්‍රම අපි කිව්වාට වෙනස් කරන්නේ නම් නෑ.’
‘ගොඩ දෙනෙක් කෑම ජාති හදන්නෙ පරම්පරාවෙන් ආපු හැමදාම හදන විදියට මිසක් ඒව පොඩ්ඩක් වෙනස් කරල අත්හදා බැලීම් කරන්න බයයි.’

ප්‍රා, අළුකෙසෙල්, ගොටුකොළ ඇරෙන්න අනික් ඒව නං මැකරෝනිවලට අවුලක් නැතිවෙයි මම හිතන්නෙ.

ගල් යුගයේ, එඬේර යුගයේ මැකරෝනි- දිවුල් ජෑම්- චීස් එහෙම තිබුණද හැබෑටම? ලෝකාරම්භයේ කොහෙවත් ලියවිල තියෙනවද මැකරෝනි හදන විදිහයි, ඒවා කන්නේ මොන මොන දේවල් එක්කද කියල.

වතාවක් මහරගම භික්ෂු මධ්‍යස්ථානයට හීල් දානයක් දෙන්නට කලින් අපි හොයල බැලුවා උන්නාන්සේලා වළඳන්නට කැමති ජාති ගැන. දන්නවද අප‍ට ලැබුණු උත්තරේ?
“උපාසක ඇත්තන් සැදැහැ සිතින් පිළියෙළ කරන දානය මොකක් වුණත්- අපට කැපයි නම් අපි වළඳනවා. ඒත් ගොඩක් අය ගොඩක් මහන්සි වෙලා, බැදලා- තෙල් දාලා හදන කෑමවලට වැඩ අපි ප්‍රියයි සරල- ලෙඩවලට මුල් නොවෙන දානයක් මේ ඇත්තන් හදාගෙන එනවා නං...”

ඕනෑම දෙයක් පෙනෙන්නේ බලන්නාගේ විදිහ හා බලන කෝණයේ විදිහ...

ඒ අදහස හිතේ තියාගෙන දානය හදනවාට අපේ ගෙදරින් හා උදව්වට පැමිණි උපාසක මහත්ම මහත්මීන් මනාපය දුන්නේ නැත. “රංජිගේ ඔය ජේවීපී වැඩ හින්දා තමයි xxxxx ලොකු සාදුත් මෙහෙන් ගේන දානය එපැයි කිව්වේ....” කියමිනි; එයාල කිරිබත්, රොටි, පිට්ටු, ඉඳියාප්ප, තෝසේ වගේ සේරම හැදුවේ.

මං හැදුවේ හොඳට සුවඳ ගහන කිරි හොද්දකුත් නූඩ්ල්ස්තුත් පමණකි. නූඩ්ල්ස් ටිකත් නිකම්ම තම්බා ගත්තා මිස තෙම්පරාදු කළේවත් නැත. අදටත් පුදුමය. එදා ස්වාමීන් වහන්සේලා වැඩිම පිරිසක් වැළඳුවේ ඒවායි.

ෆාස්ටින් කරන්නටත්- පිෂ්ටය සහිත ආහාර ගැනීම සීමා කරන්නටත් පටන් ගත් පසුව මං වහන්සේගේ දිවත්- රසාංකූරත්- රස නහරත් විපර්යාසයකට භාජන වෙලාවත්ද?

ඒ නිසාමදෝ- ලුණුමිරිස්, දිවුල් ජෑම්, කීරමීන් හොදි, චීස්, අළුකෙසෙල් තෙල්දාල සහ ගොටුකොළ සම්බෝල එක්ක මැකරෝනි කන්නට මට නං ඇහැකිය. හැබැයි ඒ සේරම ජාති එකවර එකම පිඟානකට බෙදාගෙන නොවේ. අපේ සීයා; ඩී.එච්. චාර්ල්ස්  (රජෙකු වගේ) කන දවසට කළ විදිහට, සැරෙන් සැරේ- වෙන වෙනම- එක ජාතිය බැගින් බෙදා ගනිමිනි!

මගේ අදහස නං ඕනෑම දෙයක් පෙනෙන්නේ බලන්නාගේ විදිහ හා බලන කෝණයේ විදිහ අනුව කියන එකය! ගැළපෙනවාද නැද්ද කියන කාරණයත් එහෙම්මය!!

ඒකට හොඳම උදාහරණයක් තමයි ‘ග්‍රන්ථ ලෝලියෙකුගේ නපුරුම සිහිනය’ කියන බස්සා මහතාගේ ඇබින්දං blog post එක. (ඇබින්දං විශේෂණ පදය එතෙන්ට සාකල්‍යයෙන්ම ගැළපෙනවා; post එකේ තිබ්බේ වචන 31යි නෙව. හැබැයි ඒ පෝස්ටුවට ප්‍රතිචාර තොගයක්ම ලැබිල තිබ්බා.) පොත් ගුල්ලෙකුගේ හීනයක් ගැන කියවුණාට ඉවුම්-පිහුම් ගැන හුවමාරු වෙච්චි commentsතුත් ගොඩාරියක් ඒ අතරේ... එහාටත් ගොඩ වැදිලා බලන්නකො ඔයාලට වෙලාවක් ඇත්තන්...

(ලෙමන් ඇස්සෙන් ගත හැකි වැඩ ගැන නරිමොටාගෙ ඔත්තුවයි- ‘අලුත් මස් ජාතියක් ඇවිත් තියේ "පොසේජස්" කියලා. තනිකරම මස් කරල සෑර්’ කතන්දරෙයි දෙකත් ඔයාලට එහෙදි හම්බ වෙයි!).

ඔය පොසේජස් කරල් නෙවෙයි, ඕනිම මසක් උයද්දී රහ වැඩි කර ගන්නට දාගත හැකි මාත්තුවක් කියන්නද? සීනි චුට්ටක්! පැණි රහක් දැනෙන තරමට නෙවෙයි- තේ හැන්දක් විතර... හොඳේ.

ඒ වගේමයි මම කරන තවත් වැඩක්... හරක් මස්- ඌරු මස් උයද්දී කිලෝ එකකට පෙරුම්කායම් ගුළියක් දානවා. (ලංකාවේ බෙහෙත් කඩවල විකුණන්න තියෙන රුපියල් තිහේ පෙරුම්කායම් ගුළියක්. ඉතා හොඳ ඔසුවක් ඒ.) එතකොට මස් මෙලෙක් වෙනවා. ඒ වගේමයි අසමෝදගම් ඇට එකතු කර ගත්තාමත්.

බ්‍රොයිලර් කුකුළු මස් ටිකක්. උයන්න ගොරක ඇඹුල එකතු කරලා. ඔයාලට පෙනෙයි කුකුළු මස් කෑලි දැඩි වෙලා තියෙන හැටි- ටිකක් ගම් කුකුළු මස් ගතියට.

ආාාාාාා, ගොඩ දෙනෙක් දන්නවයි කියලා හිතෙන, ඒත් වැඩිය මතකයේ තියාගෙන ඉන්න විත්තිය නොපෙනෙන කාරණාවකුත් ‘මෙලෙක් වෙන’ කියද්දී මට මතක් වුණා. අපි මස් උයද්දී ඇඹුල් ගතිය ගන්න මොනවා හරි ජාතියක් පාවිච්චි කරනවනේ. එව්වයින් ගොරකා අතිවිශේෂයි. ගොරකවලින් මස් දැඩි වෙනවා! මස් හයිය වෙනවා!!

ඕනි නං පොඩි පරීක්ෂණයක් කරලා බලන්නකෝ.
ගනිමු බ්‍රොයිලර් කුකුළු මස් ටිකක්. උයල බලන්න ගොරක ඇඹුල එකතු කරලා. ඔයාලට පෙනෙයි කුකුළු මස් කෑලි දැඩි වෙලා තියෙන හැටි- ටිකක් විතර ගම් කුකුළු මස් ගතියට.

බ්‍රොයිලර් කුකුළු මස්වලට විනාකිරි, සියඹලා, දෙහි, කාමරංගා, ගැට දිවුල් වගේ ඇඹුලක් දැම්මට එහෙම දැඩි වීමක් වෙන්නේ නෑ!

හරක් මස් උයද්දී මේ ඇඹුල් කතාව අමතක කරන්නම එපා! එහෙම කිව්වේ හුඟක් දෙනා beefවල තද ගතිය නැති කර ගන්න එකේක උපක්‍රම පාවිච්චි කරන නිසා. අපේ තාත්තා නං කළේ අමු ගස්ලබු ගෙඩියකුත් කෑලි කරලා බීෆ්වලට කවලම් කරගෙන උයන එක. (සමහර දවසට තාත්තා ගස්ලබු වෙනුවට හරක් මස් මෙලෙක් කර ගන්න කරියට එකතු කළේ ‘ත්‍රෛලෝක විජය පත්‍ර ඇට චුට්ටක්.)

තාත්තාගේ අම්මා; මහරගම ආච්චී කළේ, මස් ඇතිළිය ළිපේ තියන්න කලින් පොල්කටුවක් කෑලි කරලා හොද්දට දාන එක. ඒ එක්කම ළිපේ තද ගින්දරක් නැතිවයි අපේ ආච්චී මස් ඉව්වෙත්.

මස් වෑංජනේකට සීනි චුට්ටක් එකතු කරනවා වගේ වැඩක් මාළු මිරිසට උයද්දීත් කරත හැකියි. ඒ පොල්තෙල් ටිකක් එකතු කර ගන්න එක. එතකොට රහ වැඩියි!

සෑහෙන දවසක් තිස්සේ මතක් කර ගන්න හැදුවත් බැරි වුණු දෙයක් මේ. (මේ කාරණය ටක්කෙටම දන්න කෙනෙකු ඉන්නවා නං තරහ නැතිව comment එකකින් කියන්න. කාටත් පොරෝජන් වෙයිනෙ...)
තජකයේ කුකරි පාඨමාලාවේ උගන්නපු කුකරි මිස් තමයි මට මේ කාරණාව කියා දුන්නේ. “නිමල්, එළු මස් උයද්දී රම්පෙ- කරපිංචා- සේර ඔක්කොම එකතු කරන්න එපා! එක ජාතියයි දාන්න ඕනි. එහෙම කරලා- එළු මස් කරියට එළඟිතෙල් හැන්දකුත් එකතු කළාම හොඳ රසයක් වගේම සුවඳකුත් ලැබෙනවා.” ඒ ගුරුතුමී කියපු විදිහට කරලත් බැලුව. කතන්දරේ ඇත්ත. ඒත් දෙයියනේ දාන්න ඕනි ජාතිය මොකක්ද කියලා දැන් මතක නෑ. පාවිච්චියට නොගන්නකොට ඒ කාරණා අමතක වෙලා යනවනේ.
ඡායා මාත්‍රයක් වගේ මට මතක හැටියට නං ‘එළු මස් උයනකොට දාන්න ඕනි සේර විතරයි.’

පොලොස් හදද්දි කොට්ට පොල් කෑලි ටිකක් ගලවල දාපුවම හොඳට තෙල් පෑදෙනවා. හුණු ටිකක් එකතු කළාම රතු පාටට තියෙනවා!

සේර (Lemon Grass) නැත්තං දාන්න පුළුවන් ආදේශකයක් මේ ලියන පණ්ඩිතයා හොයා ගත්තු හැටිත් ඉස්සර ලියූ පෝස්ටුවකින් ඔයාලට කිව්වා මතක ඇති නේද?

එදා ඉඳලම නිදිගෙ පංච තන්තරේ ලියද්දී, ඉවුම්- පිහුම් ගැනත්- මගේ හිතට වැදුණු කෑම වට්ටෝරු ගැනත් ටික ටික ලියවුණා. ඒ අතරින් විශේෂයි පූරි...
ජීරා චිකන්... නෑ, නෑ. ඒවා ගැන ආයෙම ලියන්න නෙවෙයි මේ සූදානං වෙන්නේ. fb එකෙනුත් ඒ වගේ දේවල්- tips එහෙම ගොඩාරියක් දැකගන්න ඇහැකි බව ඔයාලටත් කියන්නයි. මෑත දවසක අපේ නමී හිතවතා ඒ වගේ link එකක් එවල තිබුණා. ‘දැනුම් ලොව’ group එකේ ‘ගෘහණියන්ට වටිනා කිචන් ටිප්ස් ටිකක්...’ කියන post එකක.

ගෘහණියන්ට වටිනා කිචන් ටිප්ස් 64ක් එතන තිබ්බා. මේ ඒවායින් සමහරක්.

'5. අඹ, ඇඹරැල්ලා උයද්දි තෙල් ටිකක් ලිපේ තියලා ළූනු, මිරිස් දාලා, අඹ ටික දාන්න කලින් තෙලට සීනි දාන්න. එතකොට හොඳට සීනි අල්ලනවා කෑලි වලට.

6. නූඩ්ල්ස් හෝ එලවළු බත් හදද්දී එලවළු තෙම්පරාදු කරගනිද්දි තෙලට තුනපහ හැන්දක් දාන්න. හරිම රසයි.

7. කට්ලට් හදනකොට පාන් කුඩු ටිකක් දාලා බෝල හදන්න. කැඩෙන්නේ නැහැ. රසත් හොඳයි. (මෙන්න ඒ ටිප් එකට නිදිගෙනුත් කොටහක්: කට්ලට් මිශ්‍රණයට තම්බාගෙන පොඩි කරගත්තු අළුකෙසෙල් ගෙඩි කිහිපයක් එකතු කර ගත්තාමත් වැඩේ හරිම ලේසි වෙනවා.)

10. පොලොස් උයන කොට මුරුංගා ගහේ ඝනකම පොතු කෑල්ලක් (අඟල්  දෙක තුනක් පමණ) දානවා ලස්සන රෝස පාටක් ගන්න හා මෙලෙක් වෙන්න.

11. පොලොස් හදද්දි කොට්ට පොල් කෑලි ටිකක් ගලවල දාපුවම හොඳට තෙල් පෑදෙනවා. හුණු ටිකක් එකතු කළාම රතු පාටට තියෙනවා.

14. බෝංචි තෙල් දාද්දි ආප්ප සෝඩා පින්චක් දැම්මම ලස්සන කොළ පාටට තියෙනව වගේම හරිම මෙළෙක්.

24. පොල් සම්බෝලය කොටනකොට අවසානයට දෙහි බෑවේ ඇට අයින් කර සම්බෝලය සමග කොටාගන්න. පැඟිරි රස හා ඇඹුල් රස මුසු වූ රසයක්. (හම්බන්තොට ඉස්පිරිතාලේ පරුවත කුස්සියෙදී වතාවක් මේ විදිහට දෙහි බෑවල් පිටින්ම දාලා පොල් සම්බෝලේ කොටන හැටි දැක ගන්න ලැබුණා. ඒකෙ රසත් අපූරුයි.)

30. ලුණු මිරිස් හදනකොට පොල්තෙල් ටිකක් එකතු කරලා කෙටුවම දෙහි ඕනත් නෑ.

35. බත් පිච්චුනාම පොල් බෑයක් නවලා වහලා ටික වෙලාවක් තියලා අයින් කරන්න. ගඳ නැති වෙනවා.

පුරුෂයාත් එසේ මෙසේ කෙනෙක් නෙවෙයි- මහා බෝසතාණන් වහන්සේ!!

47. කැකිරි උයද්දි ඇට විසි කරන්න එපා. හොඳින් අඹරගෙන කරි එකට එකතු කරන්න. හරිම රසයක් එනව වගේම මුත්රා සම්බන්ධ රෝග වලට ගුණ දායකයි.

48. නෙලුම් අල උයන්න කලින් සෝදල පෙති කපල baking powder, salt ටිකක් දාල තම්බල උයන්න. (අපි නං නෙළුම් අල හෝදලා හාල් ඇට අහුරක් එක්ක තම්බලා අරගෙනයි උයන්නෙ. එතකොටයි එව්වාට පිටි ගතිය එන්නේ.)

49. පරිප්පු මිරිසට හදනකොට සියඹලා පොඩ්ඩක් දැම්මාම රසයි.

50. ඇඹරැල්ල උයද්දි කිතුල් හකුරු ටිකක් දාපුවාම රසයි වගේම පාටත් වැඩි වෙනවා.

51. කජු ව්යංජනය කිරට හින්දලා හදනකොට, ඒකෙන් කජු ටිකක් අරන් බ්ලෙන්ඩ් කරලා දැමුවිට උකු ගතිය හා රස වැඩි වීමක් වෙනවා.

57. එළබටු උයන විට, ghee මේස හැන්දක් විතර රත් වෙන්න තියලා, ඒකට තලාගත් සුදුලූණු ටිකක් දමා බැදගන්න. ඉන්පසු බටුු ටික දමා පියනකින් වසා විනාඩි 10ක් විතර ගියාම මිටිකිරි චුට්ටක් එකතු කර ගන්න. හරිම රසයි, සුවඳයි.’

ඇත්තමයි- ගිතෙල් ටිකක් එකතු කර ගත්තාම කෑමකට එන්නේ අපූරු සුවඳක්.
කෑමක පෙනුම- සුවඳ- රස කියන කාරණා ත්‍රිත්වයම එකසේ වැදගත්ය කියලා අපි කතා වුණානේ. ඒ කතා සේරම අස්සේ මගේ චිත්තයේ රැව්-පිළිරැව් දිදී තිබ්බ කරුණකුත් කියන්නමයි හිත.
අතිදක්ෂ සූපවේදිනියක වුණු කාන්තාවකට උත්තම පුරුෂයෙකුගෙන් වෙච්චි ලොකුම අසාධාරණයක්. කාන්තාව අමරා දේවි!
පුරුෂයාත් එසේ මෙසේ කෙනෙක් නෙවෙයි- මහා බෝසතාණන් වහන්සේ!!

ඒ සිද්ධිය කියවෙන්නේ ‘උම්මග්ග ජාතකයේ’ ස්ත්‍රී ප්‍රශ්නයේදී.

“... ඉක්බිත්තෙන් එක් දවසක් උන් විමසන සේක් "සොඳුර අමරා දේවීනි, සාල් මනාවක් පමණ ඇරගෙන ඉන් මට කැඳත් බතුත් අවුළුත් පිසව"යි වදාළ සේක. අමරා දේවීත් "එක සාල් මනාවෙන් මෙ තෙක් දෑ කෙසේ පිසම්දැ"යි නොකියා "යහපතැ"යි වදාළ බස ගිවිස, ඒ සාල් මනාව පැස මුල් සාලින් බත්ද කඩසාලින් කැඳද සුන් සාලින් කැවුම්ද පිස, ඊට සුදුසු අවුළුත් පිස මහබෝසතාණන් වහන්සේට අවුළු සහිත කැඳ දුන්හ. කැඳ කබලක් මුඛයට ගත් පමණෙකින් ම සියලු රස නහර වැල් පිනා සිට ගත්තේය.

පණ්ඩිතයන් වහන්සේ උන් විමසන පිණිස "සොඳුර, තොප පිසමන් නොදන්නා කල කුමක් පිණිස මාගේ සාල් නසාපූදැ'යි කියා කෙළ හා සමඟ මුඛයට ගත් කැඳ කබල කාරා බිමට දමා පී සේක.

දැනට නං ලෝකෙ ඉන්න අතිදක්ෂ සූපවේදියෝ වැඩිම දෙනෙක් පිරිමි!

අමරා දේවීත් නොකිපීම "කැඳ යහපත් නොවී නම් කැවුම් කැව මැනැව ස්වාමිනි"යි කියා කැවුම් අතට දුන්හ. කැවුම් මුඛයෙහි තුබූ පමණකින් ම රස නහර වැල් පිනා ගියේය.

එයිත් එසේ කාරා දමා පී සේක.

ඊටත් නොකිපීම "එසේ වී නම් බත් අනුභව කරව"යි කියා බත් අත තිබූහ. එයින් ආලෝපයක් මුඛයෙහි තබන්නා ම සියලු රස නහර වැල් පිනා ගියේය.

බෝධිසත්ත්වයන් වහන්සේ "තොප පිසමන් නොදන්නා කල මා දුක සේ සොයා ගත් දෙය කුමට නැසූදැ"යි කිපි කෙනකු මෙන් තුන් වගය ම එක් කොට අඹරා පියා අමරා දේවීන් ඉස පටන් ඇඟ මුළුල්ලෙහි ගල්වා දොර හව්වෙහි ඉන්නට වදාළ සේක.

අමරා දේවීත් ඊට මඳකුත් නොකිපී "යහපත ස්වාමීනි"යි දොර හව්වෙහි හුන්නාහ. මහබෝසතාණන් වහන්සේ අමරා දේවීන් මන් නැති බව දැන "සොඳුර, මෙසේ එව"යි වදාළ සේක. ඔයිත් දෙවිටක් නොකැඳවන තුරු එක බසින් ම සමීපයට අවුය. මහබෝසතාණන් වහන්සේ නුවරින් එන සේක් ම මසු දහසක් හා එක් සීන් කඩක් බුලත් පයියෙහි ලා වැඩි සේක. උන් වහන්සේ ඒ කඩ මෑත් කොට අමරා දේවීන් අත තබා "සොඳුර තොපගේ යෙහෙළියන් සමඟ ගොසින් නා පියා මේ කඩ ඇඳගෙන එව"යි වදාළ සේක. ඔයිත් වදාළ ලෙසැ මැ කළ හ.’

මහෞෂධ පණ්ඩිතයන් අමරා දේවියව test අරන්න එහෙම කරපු බව ඇත්ත.
ඒත්... එයින් අමරා දේවීන් වහන්සේට කොයි තරම් හිත් වේදනාවක් ඇති වෙන්නට ඇත්ද? යන්තම් පොඩ්ඩක් දිව ගෑ පමණින් මහෞෂධයන්ගේ සියලු රස නහර පිනා යන තරම් රසවත්ව කෑම ඉව්වට පස්සෙත්...

කාන්තාවකට එහෙම කිරීම හිංසනයක් විදිහටයි මම නං දකින්නෙ.
ඒ අතරේ කාන්තාවන්ගේ සාඩම්බරයට හේතු නොවෙන දේකුත් කියනවට අමනාප නැහැනෙ.
දැනට නං ලෝකෙ ඉන්න අතිදක්ෂ සූපවේදියෝ වැඩිම දෙනෙක් පිරිමි!

ඉතිං, දැනට මේ ඇති නේද ලිව්වා. ඒත්... මේ පෝස්ටුව හමාර කරන්න කලින් හිතාදර ඔයාලගෙන් අහන්නේ...

   1. කොහොමද අඹ ගොඩකින් හොඳ පැහිච්ච අඹ ගෙඩියක් තෝරා ගන්නේ?
   2. කොහොමද හොඳ පැහිච්ච පොල් ගෙඩියක් හඳුනා ගන්නේ?
   3. මොන ලකුණුවලින්ද හොඳට පැහුණු කොස්- දෙල්- දූරියන් ගෙඩි දැනගන්න ඇහැකි?

මම දන්නවා, එව්වට උත්තරත් ඔයාල ගොඩ දෙනෙකු දන්නා බව.
   1. පැහුණු අඹවල නටුව ළඟ වළ ගැහුණු සොබාවය නැතිම තරම්...
   2. පොල් ගෙඩියේ වතුර අඬනවා නං- බරට දැනෙනවා නං...
   3. ඒ ගෙඩිවල ලෙල්ල තුනීවී; කටුවල තියුණු බව අඩුවී තියේ නං... අපි එව්වා තෝරා ගන්නවා.

එහෙම දේවල් තෝරා ගැනීමේදී හුඟක් පරෙස්සම් වෙන අපි- ඊට වඩා ගොඩාක් පරෙස්සමින් ‘රටේ අනාගත අභිවෘද්ධිය සලසන්නට හැකියාව තියෙන පිරිසක් මෙවර පාර්ලිමේන්තුවට යවන්නට තෝරා පත්කර ගනිමු’ නේද෴0෴

Monday, October 21, 2024

රහස් නොවන රහස් ටිකක් - දෙවෙනි කොටස

   මිට  මිටේ වපුල වී කන්නේ           සේරු
   පිට  රටේ ඇවිත් මොකටද      කයිවාරු
   කට වටේ කොටත් වැට බඳිනෙද කවුරු
   පිට  පටේ නැතිව වැපුරුම නැත      සීරු

කියලා ලොකු ඇත්තක් ‘සද්ද විද්ද පළඟ පතිර’ අන්දරේ උන්නැහේ කවියකිනුත් කිව්වලු.

අන්දරේගේ ඒ කතන්දරේ දැන් expire වෙලා තියෙන්නෙ අද ඉන්න වැඩි හරියක් දෙනා...

ඒ කිව්වැහෙ ‘පිට පොට නොගහා’ වපුරන්නට අසීරු වෙන්නැත්තේ ආදි කාලෙනේ... ඉතිං රාජකීය කවටයා අන්දරේගේ ඒ කතන්දරේ දැන් expire වෙලා තියෙන්නෙ අද ඉන්න වැඩි හරියක් දෙනා කුඹුරට- වෙලට- මඩට බහින්නෙත් ෂෝටක් ගහගෙන නිසයි. කොට කලිසමේ ආයෙ පිටපොට ගහන්න දෙයක් තියෙනවැයි... ඒත් ‘කට වට කර වැට බඳින්නේ කවුද?’ කියන කීම නං අදටත් වලංගුයි.

එහෙම කට වටේට වැට බඳින සමතෙක් නැති නිසා වෙන්නෝනි ගයිස්, මහමැතිවරණයට නාම යෝජනා දෙන දවසේ කටකමසිරියාවක් නැතිව දොඩවපු ‘බික’ පත්තරේටත් වැටුණේ!

‘කොහොමෙන් කොහොමෙන් හරි කෑම ගැන ලියන්න හිතාගෙන හිටි කාරණාවලින් කොටහයි ලියැවුණේ ගයිස්. Take it easy ගයිස්! කියලා පසුගිය කොටස ලිවීම හමාර කරද්දීත් මම ‘බික’ උන්නැහේ ගැන සඳහනක් කළේ ඔයාලට හාස්‍ය රසයත් ටිකක් දෙන්න ඕනි කියලයි.
නව නළු රසයට හාස්‍ය රසය අයිති වුණත්, දිවට දැනෙන ප්‍රධාන රස වර්ග පහට ඒක ඇතුළත් වෙන්නෑ. පැණි රස, තිත්ත රස, ලුණු රස, ඇඹුල් රස හා උමාමි රස කියන රසවර්ග පහ තමයිලු-
(රසාංකුර 10000 ක් විතර පිහිටා තියෙනවය කියන; අඟල් 3ක් විතර දිග) මිනිස් දිවට දැනෙන්නේ.

ඉතිං ඉතිං, සාමාන්‍ය කෑම වේලක් හරි ගස්ස ගන්නකොට මම නං හදන්නේ වෑංජන තුනයි. (එතකොට වුණත්- ඔය අපේ දිවට දැනෙන ප්‍රධාන රසවර්ග පහ ගැනත් මං වහන්සේ කල්පනාවට ගන්නවා.)
ඒ හින්දම පරිප්පු, මුංඇට, අල
, බතල, මඤ්ඤොක්කා, කොස්, දෙල් වගේ පිටි ගතිය තියෙන වර්ගයක් කිරි රහ ඉස්සරහට එන්න හදනවා.
කරවල බැදුමක් වගේ දෙයකින් ලුණු රහ පිරිමැහෙනවනෙ. (ඒ බැදුම වළඳනකොට තරමක් දැවිල්ල දෙන විදිහටයි මං හදන්නේ.) මස් ජාතියක් හදනවා නං- මම ආයෙ කරෝලත් හදාගන්න යන්නෑ.
ඊගාවට හදන්නේ
දෙහි ඇඹුල් ටිකක් යහමින් දැම්ම කොළ සම්බෝලයක්.

මට නං ඔය ජාති තුන තිබ්බම හොඳටෝම ඇති. සමහර වෙලාවට කොළ සම්බෝලේ විස්ථාපනය වෙනවා පොල් සම්බෝලයකින්.
කිරි රහ එන පිපිඤ්ඤා වගේ දිය එළවළුවක් හැදුවොත්- අල බතල වගේ මොනවා හරි තෙල් දානවා- සුදුසු විදිහ බලලා. අමුත්තන් කවුරු හරි ඉන්නවා නං හෙම පපඩම්- මිරිස් කරල් ටිකක් හෙමත් බදිනවා.

හරිශ්චන්ද්‍ර උන්නැහේට පොල් සම්බෝලේ හදන්න නං පත වංගෙඩියකුත් ඕනිමයි!

මිරිස් කරල් බැද්දොත් මට නං එව්වා ‘හං’ නොවී; crunchy ගතියට තියෙන්නයි ඕනි. ලුණු රහ දැනෙන්නත් ඕනි. ඒ වැඩ දෙකම කෙරෙනවා මිරිස් කරල් බැදෙන අතරේ ලුණු කුඩු ටිකක් තෙල්වලට ඉස්සම.

මම බෙහෙත් ගන්න යද්දී, හම්බන්තොට සුජානි නංගිලාගේ ගෙදරිනුයි සමහර දවසකට පාතරාසය ගන්නේ. එහෙම උදේ කෑම සූදානං කරද්දී, සුජානි නංගි කරවල බැදුමකුත් හදනවාමයි. එයාගේ කරවල බැදුම අමුතුයි. මං ඒ ගැන ඇහුවත් එක්ක. මොකද, ඒ බැදුම හරිම ලස්සනයි!
එහෙදි විතරයි මම එහෙම බැදුමක් දැකල තියෙන්නෙත්...

“මම ඉස්සෙල්ලාම කරවල කෑලි ටික බැදලා පැත්තකට කරගෙන ඒ තෙල් ටික අයින් කරලා තාච්චියත් හෝදලයි ඉතිරි හරිය කරන්නේ, නිමල් අයියේ.” ඒ කිව්වේ- සුජානි ආයෙමත් අලුතින් පොල්තෙල් ටිකක් රත් කරලා ළූණු, අමුමිරිස් එහෙම ඒකට දානවාලු. එව්වා යන්තමට බැදෙද්දී කරවල කෑලිත්, කෑලි මිරිසුත්, කරපිංචා කොළත් දාලා ළිපෙන් බාගන්නවාලු.

සුජානි නංගිලාගේ පොල් සම්බෝලේ හැදෙන්නෙමත් ලා රෝසපාටට. මිරිස් රහ අඩුවෙන්- කිරි රස වැඩියෙන් දැනෙන විදිහට.
අපේ සෙට් එකේ මාධ්‍ය ප්‍රකාශක (නාවුක හමුදාවේ හිටිය; දැන් විශ්‍රාමික)
හරිශ්චන්ද්‍ර උන්නැහේට පොල් සම්බෝලේ හදන්න නං පත වංගෙඩියකුත් ඕනිමයි. ‘වංගෙඩියේ දාලා කෙටුවේ නැත්තං සම්බෝලේ රහ නෑ.’ හරිශ් කියනවා. අනෙක තමයි එයා සම්බෝලේ කොටන්නේ සුදුළූණු, ගම්මිරිස්, ඉඟුරු එහෙමත් දාලයි. වෙනස් සැර රහක්!
මම කලිනුත් කියල තියෙනවනේ- පොල් ගෙඩියක සම්බෝලයක් හදනවා නං මම පොල් ගෙඩි දෙකක් බිඳිනවා. පොල් බෑ හතරේම උඩින් තියෙන තෙතමනය හා කිරි රස වැඩි
ලූව හරිය විතරයි ගාගෙන සම්බෝලෙට ගන්නේ.

අනිත් පොල් ටික වෙනම ගාලා; බ්ලෙන්ඩර් කරලා- මිරිකලා කිරි අරගන්නේ හොදි හදන්න. සමහර වෙලාවට, හොඳටම හීනියට blender කරපු පොල් කුඩුත් එක්කම කිරි ටික කරියට එකතු කරන එකත් මගේ පුරුද්දක්. (යාපනේ උදවිය වැඩි වෙලාවකටම එහෙම කරන කතාවකුත් කියවන්න ලැබුණා.)

එහෙම නොකරන වෙලාවට මං කරන්නේ පොල් කුඩු ටික තැටියකට දාලා, තුනී කරලා- ෆ්‍රිජ් එකේ යට තට්ටුවෙන් තියන එක. දවසකට සැරයක් විතර ඒ ටික ආයෙමත් කවලම් කරනවත් එක්ක. දවස් පහ-හයක් යනකොට ඒ පොල් කුඩු නියමෙට වේළිලත් ඉවරයි. ඊට පස්සේ ඒවා රන්වන් පාට වෙනතුරු බැදලා- හීනි වෙන්න කොටාගෙන තියා ගන්නවා.
මස් උයනකොට ඒවායින් ටිකක් අන්තිමට එකතු කර ගත්තම හොද්දේ උකු ගතිය වැඩි වෙනවා. ඒ වගේම ලස්සන පාටකුත්; රහකුත් ඇති වෙනවා.

අපි එහෙම තමයි! වෙනස් වෙන්න කැමති නෑ... අලුත් දෙයක් පිළිගන්නත්...

හැබැයි, ලංකාවේ ගෘහණියන් වැඩි දෙනෙකු ඒ වැඩේ කරන්න කැමති නෑ. ‘පොල් කුඩු කන්න ගන්නේ කවුද?’ කීප දෙනෙකුම මගෙන් අහලා තියෙනවා- ඒ පාඩම ගැන සඳහන් කළාම. “නිමල් අයියා එච්චරටම ලෝබයෙක්ද?” කියන කෑල්ලකුත් ඒ ප්‍රකාශයට එකතු වෙච්චි වෙලාවලුත් තිබුණා.

අපි එහෙම තමයි! වෙනස් වෙන්න කැමති නෑ... අලුත් දෙයක් පිළිගන්න කැමතිත් නෑ.

Kasun කියලා blogs කියවන පාඨකයෙක් පහුගිය දවසක මෙහෙම (අනගාරික ධර්මපාලතුමාගේ ශෛලියෙන්) අධිකාරිවාදී පන්නයේ comment එකක් පළ කරලා තිබුණෙත්, ඔය වෙනස් වීමේ වැදගත්කම පිළිබඳව කියමින්.
පර හෙලයනි එකතු වෙයව්, මොකාට චන්දෙ දුන්නත් මේ අපේ රට. මේ රට ගොඩ ගන්න තම තමාගේ ආකල්පවල සිටන් වෙනස් වෙමු, එහෙම නැතුව මොන සක්කරයා ආවත් මේ රට ගොඩ ගන්න බෑ, අනුරට බෑ පාරේ විනයගරුක රියදුරෙක් හදන්න, අනුරට බෑ පාරේ කුණු දාන එකාව නවත්තන්න, අනුරට බෑ බෝක්කු උඩ ඉඳගෙන සිකරට් බිබී කාලේ කා දමන එකාව නවත්තන්න, අනුරට බෑ රුපියලක් හෝ හොරා කන පුද්ගලයන්ව නවත්තන්න, අනුරට බෑ කෝච්චි, බස්වල සීට් කපන ඉරන උන්ව නවත්තන්න.
ඉතින් හෙලයනි හැදෙන්න ඕනෙ අපිමයි
, අපි හරියට ආකල්ප හදා ගත්තොත් ඔය කවුරු ජනාදිපති උනත් අපේ රට ටිකෙන් ටික ගොඩ එයි ❤❤

අලුත් අදහස් පිළිගන්නවා තියා ඒවා ගැන හිතන්නවත් අකමැති වීම අපේ ජාතික දුර්වලතාවක්ද?

එහෙම විචිකිච්ඡාවක් හිතට ආවත්- මට දැනගන්න හම්බ වෙලා තියෙන ‘නව අදහස්’ මගේ ආදරණීය පාඨකයන්ට නොකියා ඉන්න පුළුවන්ද?

මාස කීපයකට කලින් දවසක අපේ සිරිබිරිස් උන්නැහෙයි, නමීයි, මමයි ගියා දැවැන්තයන් දෙන්නෙකුව හම්බ වෙන්න.

සිරිබිරිස් හිතවතා ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. ලංකාවට ආව හැම වතාවකම, අර වගේ ප්‍රාමාණික උගතුන්- වියතුන් හමු වෙන්නට යන එක උන්නැහෙගෙ පුරුද්දක්. එහෙම යන්නේ ඒ ප්‍රවීනයන්ගේ අදහස් එකතු කර ගන්නයි... එහෙම ගමනක් යනකොට කල් තියාම අපට කියලා, උන්නැහෙගෙ වාහනෙන් අපේ ගෙදරටම ඇවිත්, අපිව එකතු කරගෙන ගිහිං- ආයෙම ගෙදරට ගෙනවිල්ලත් බස්සන එකේ අපිට තියෙන්නෙ යන්න විතරයි.

(වතාවක් අපි කට්ටිය හඟුරන්කෙතටත් එහෙම ගමනක් ගියා. ප්‍රමිලා බිසව ගිල්ලල මරපු වැවෙන් ගොඩගත්තු කළුගල් බරුවක්  හොයාගෙන.)

“මහත්තයෝ, මාත් ආසයි ඔය දෙන්නවම හම්බ වෙන්න. අතුල අබේරත්න අයියා නං අපේ ගෙදරටත් ඇවිත් තියෙනවා. කරුණාරත්න අමරසිංහ මහත්තයත් මගේ වීරයෙක් එදා ඉඳලම. ඒත් ඉතිං මමත් ඔය ගමනට ආවොත් ඔයාට අවාසියක් වෙයි. ඔයා තරං නිස්සද්දව අහගෙන ඉන්න බැරිව- මාත් ප්‍රශ්න අහයි. ඒකෙන්...” මං කියන්න පටන් ගත්තා විතරයි.

අතුල අයියා ඉතා සාර්ථකව කොළ කැඳ අලෙවි හලක් පවත්වාගෙන යනවා. 

“ඒකට කමක් නෑ මනුස්සයෝ... මට ඒ දෙන්නගෙන්ම අහගන්න තියෙන්නෙ ප්‍රශ්න කීපයයි. ඔයා අහන දේවල් මටත් ප්‍රයෝජනවත් වේවි. ඒකමයි ඔයාටත් යන්න අඬ ගැහුවේ...” සිරිබිරිස් උන්නැහෙ කිව්වා. “... Pra Jayටත් අඬ ගහන්න හිතුණා... සතියේ දවසක යන නිසයි, ප්‍රා සාහිත්‍යය ගැන එච්චර උනන්දු නැති නිසයි කතා කරන්න නොහිතුවේ.”

ඉතිං, අත්දැකීම් බහුල- ඒ දෙන්නගෙත් එක්කම අපි කතාබහ කළ දේවල් නමී පටිගත කර ගත්තා. ඔන්න එව්වයින් එක කාරණයක් තමයි මේ.

අතුල අයියා ඉතා සාර්ථකව කොළ කැඳ අලෙවි හලක් පවත්වාගෙන යනවා. ඒ නිසාම එයා සතියේ දවස් හයක්ම හෙණට බිසි. “මගේ කොළ කැඳ බොන්නම දුර ඉඳල එන කස්ටර්මර්ලත් ඉන්නවා...” අතුල අයියා එහෙම කියද්දී ඔන්න මාත් ප්‍රශ්න අහන්න ගත්තා. එතකොටයි මේ ‘tip’ එක කියැවුණේ.
“නිමල් කොළ කැඳ හදනකොට ගම්මිරිස් කුඩු පොඩ්ඩක් එකතු කරනවද?”

අවංකවම කිව්වොත්- එහෙම කරන විත්තියක් මං අහලවත් තිබ්බේ නෑ!
(හැබැයි පැණිපොල් හදද්දී නං මම ගම්මිරිස් කුඩු ටිකක් එකතු කරනවා.)
“නැහැනෙ අතුල අයියේ. පොල් කිරි කැඳ හදනකොට නං ගම්මිරිස් ඇට ටිකක් දාලමයි හාල් ළිපේ තියන්නේ...”

“මම කිව්වට ඊළඟ දවසේ ඒ විදිහට කරලා බලන්නකෝ.”
ස්තුතියි, ගොඩාරියක් ස්තුතියි අතුල අයියේ!
ඔයා කිව්වා හරියටම හරිය. ඊට පස්සේ කැඳ හදන හැම වතාවකම අපේ ගම්මිරිස් කුඩු බෝතලයෙන් චුට්ටක් අඩු වෙයි- කැඳවල රසය වැඩි වෙයි!!
ඒ ගම්මිරිස් කුඩු මාත්තුව කිතුල් පිටි කැඳ හා කුරක්කන් පිටි කැඳවලටත් වැඩ කරන්නකි!!!

පහුගිය කොටසට comments එවමින් හිතාදර පාඨකයන් කෑම ගැන එක-එක විස්තර ගොඩාරියක් කියල තිබ්බා.
නරිමොටා එවා තිබුණු කමෙන්ටුවකින් ඇතිවුණු සංවාදයක් මේ.

‘නරිමොටා: මහරගම ආච්චීගේ අදහස හරි. කෑමක රස පෙනුම වගේම විශේෂයෙන්ම සුවඳත් එක්ක සම්බන්ධයි.
කලාවකට පරිප්පු රොස් කිරීම

නිදි: ස්තුතියි නරිමොටාණෙනි, වීඩියෝව බැලුවා.

කෑමක සුවඳ ගැන දෙවෙනි කොටසෙදී තව ලියන්න ඉන්නේ.

රොස් කිරීම කෑමකට වෙනස්ම ලස්සනක් වගේම වෙනස්ම සුවඳකුත් වෙනස්ම රසයකුත් දෙනවා. හැබැයි- රොස් කරන එකත් ගණනකට කරන්න ඕනි; රොස් කරනවා කියන්නේ ඔහේ පිච්චෙන්න අරින එකට නෙවෙයි, හොඳේ.

මෙන්න මේ වෙලාවේ මගේ ඔළුවට ආව උදාහරණය. අපි සමහර හොදි ජාති උයල තෙම්පරාදු කරනවනේ. එතකොට මුලින්ම සුදුළූණු- ළූණු එහෙම උණු තෙලට එකතු කරලා බැදෙන්න අරිනවනේ. ඒවා රන්වන් පාට වෙනතුරු බැදුනාම තමයි සුවඳ එන්නේ. යන්තමට බැදුනට මදි. ඒ වගේමයි- කළු පාට ගහන තුරු පුච්චා ගත්තොත්... රසය වැඩි වෙනවා වෙනුවට තිත්ත රහකුත් එයි!

පත්තිනි මෑණියන්ට පූජාවක් විදිහට කරන කිරි දානෙකට ගාණට ලුණු දාලා, ඉඳුල් නොකර කිරිබත උයන හැටි...

... ඒ වගේමයි නරිමොටෝ, වීඩියෝවේ තියෙන විදිහට බර්ගර්- ටෝස්ට් එහෙම පදමට රෝස්ට් කරගැනීම ඉතා වැදගත්.

මස් කරියක් උයා ගත්තම- එයින් මස් කෑලි ටිකක් බේරලා අරගෙන නන්ස්ටික් තාච්චියකට දාලා (පෙරලමින්) යාන්තමට දුඹුරු පැචස් හිටින්නට රොස් කරලා ආපහු කරියට එකතු කරගෙන බලන්නකෝ.

... ඒ වගේමයි- අපේ ගෙදරට රෝස්පාන් ගෙනාවමත් කන වෙලාවට ඒවා නන්ස්ටික් බඳුනක දාලා ආයෙමත් (කර කර ගාලා හැපෙන තරමට) රෝස්ට් කරලා උණු උණුවේමයි කෑමට ගන්නේ!
(අන්ත්‍රාවයි! වෙනදාට එක රෝස්පාන් එකක් කන කෙනෙක් මෙවිට දෙකක් කන්නට ඉඩ තිබේ.)

D.G.M. බස්සා: //...මස් කෑලි ටිකක් බේරලා අරගෙන...යාන්තමට දුඹුරු පැචස් හිටින්නට රොස් කරලා...//
අහා! ආන්න ජංසං. ඒ වැඩේ කරලා බලන්න ඕනෙ ඊළඟ බ්ලැක් පෝක් කරියට. මට හිතෙන්නෙ මේකට වඩා ගැලපෙනවා ඇත්තෙ බීෆ්
, පෝර්ක් වගේ තෙල් සහිත මස කියල.🤔

කෑමක සුවඳ ගැන මේ කොටසෙදි ලියනවයි කිව්ව නිසා ඒ ගැනත් කියලම ඉන්නං.

පළමු කොටසෙදි මම කිව්වනේ අපේ ආච්චිගෙ කුකරි හපන්කම් ගැන. ඒ හින්දම සමහර දෙනෙක් ‘කිරි අම්මාවරුන්ගේ දානය’ උයනකොටත් අපේ ආච්චිව චෙෆා හැටියට එක්කං ගියා. (එහෙම දවසට කිරි අම්මල හත් දෙනාගෙන් ලොක්කි වුණේ නැන්සි ආච්චි. නැන්සි ආච්චි කිරි දානේ උයන්න ගිහිං තිබ්බොත් ලොකුම කිරි අම්මා වෙලා- පිං දෙන රාජකාරී එහෙම පැවරුණේ අපේ ආච්චිට.)

ආච්චි කිරි දානයක් උයපු දවසට, දානේ වැඩ අහවරක් වෙච්චි ගමන්ම ‘කැවුම්- කිරිබත්- කිරියා- කෙසෙල් ගෙඩි- හකුරු කෑලි’ තියෙන ලොකු පාර්සලයක් අපේ ගෙදරටත් ගෙනෙනවාමයි. එහෙම ගෙනෙන උදවිය ආච්චිට ස්තුති කරමින් පිං දෙනවත් එක්ක.
“මයියොක්කා ආච්චියෙ, හැමෝම කිව්වා කිරිබතට හරි ගණනටම ලුණු තියෙනවයි කියල. ඒ වැඩේ වුණත් අපිට නං කර ගන්න බෑ ආච්චියෙ. අපිට නං ඉඳුල් කරලා බලන්නම වෙනවනේ ලුණු ඇද්ද කියලා.” දානේ ගෙදරින් එන අමුත්තිය එහෙම කියූ හැම වතාවකම අපේ ආච්චීගෙන් පාඩමක් කියැවෙයි.
“පත්තිනි මෑණියන්ට පූජාවක් විදිහට කරන කිරි දානෙකට ගාණට ලුණු දාලා,
ඉඳුල් නොකර කිරිබත උයන හැටි දැනගෙන ඉන්න එක ඔහෙලටත් පොරෝජන්....”

එහි ඊළඟ කොටස මට අමතකය. (හාල් සේරුවක කිරිබතකට දැමිය යුතු ලුණු කැට අහුරු ගණනය, එයින් කියැවුණේ.) “... හැබැයි ගොයියෝ, ඒකත් වරදින වෙලාවල් තියෙනවා. මොකද සමහර ලුණුවල සැර ගතිය අඩුයි. ඒ හින්දා කිරිබත තුනී කරන්න කලින්; උණුවෙන් තියෙද්දිම සුවඳ හරියට එනවද කියලත් බලන්න ඕනේ. ලුණු අඩුයි නං කොයියම්ම වෙලාවකවත් කිරිබතේ සුවඳ එන්නෙ නෑ...”

කොයි දෙයක් වුණත් කනකොට කන්න ඕනි මළ පෙරේතයෝ වගේ නෙවෙයි. තිරිත්තමක් ඇතුව...

ඒ න්‍යාය ඕනෑම හොද්දකට- මාළුවකට වුණත් වලංගුය.

හැබැයි එහෙම වෙන්නෙ ඒ වෑංජනයට අවශ්‍ය තරමට රතුළූණු හෝ බොම්බයි ළූණු දමා තිබෙනවා නම්ය... විශ්වාස නැද්ද? Test එකක් කරලාම සත්ත බලන්නැයි මම ඔබෙන් ඉල්ලමි.

(මේ මගේ නිරීක්ෂණයකි.
මාළු ඇඹුල් තියල්වල සුවඳක් නැතිම තරම්ය. නියම ලෙසින් ඇඹුල් තියල් හදද්දී ළූණු- සුදුළූණු දාන්නේ නැත! ගොරකා හා ගම්මිරිස් පමණි යොදන්නේ.
සමහර උදවිය මාළු මිරිසට ඉවීමත් ඇඹුල් තියල් සෑදීමත් එකක් ලෙසින් ගනිති.)

මේ සුවඳට ගෑවෙන තව කාරණයක් ගැන ගිය වතාවේ මං ලියපු බව ඔයාලට මතක ඇති. ඒ ගැන උනන්දු වෙලා තිබ්බේ නමී උන්නැහේය.

'නමී: //කරිය ළිපෙන් බාලා- ටික වෙලාවක් ගියාම; මඳ රස්නේ තියෙද්දී කරපිංචා කොළ එකතු කරන්නේ// ගොඩක් අය කරන්නෙම මුලින් ඕව ටික දාන එකනේ. මටත් හිතුනේ ඒ වැඩේ වැරදි කියල.

ඒ වගේම තව කතාවක් තියෙනව කරපිංච කැවෙන්න ඕන කියල. එපා කියන කතාවත් අහල තියේ. මොකක්ද හරි නිදිතුමෝ.

නිදි: නමී, කරපිංච- රම්පෙ- සේර- කුරුඳු පොතු- කරාබු නැටි- එනසාල් (කරදමුංගු) වගේ සුගන්ධකාරක ජාති හැම එකකම සුවඳ විහිදුවන තෙල් තමයි තියෙන්නෙ. ඒවා වාෂ්පශීලීයි.
ඉතිං හිතා ගන්න පුළුවන් නේද ඒවා මුලින්ම එකතු කළාම සිද්ද වෙන දේ.

කරපිංච කෑ යුතුද කියන ප්‍රශ්නෙට නං නමී විද්‍යාත්මක උත්තරයක් මට නෑ. විශ්වාසයක් හා අනුමානයක් විතරයි තියෙන්නෙ.
විශ්වාසය ඇති වුණේ
'යාපනයේ උදවිය හොදි මාළු පිනිවල තියෙන කරපිංචා කොළ අහක දාන්නේ නැතිව කන්නේ' කියන කතාවෙනුයි මුලින්ම...
දෙවනුව මුස්ලිම් උදවිය මස් උයද්දී කරපිංචා වගේ ජාති අඹරලා ගන්න බව ඇහුවාම...

අනුමානය 'කෙඳි- ෆයිබර් සහිත දේ ආහාරයට එකතු කර ගැනීම ඉතා සුදුසුයි' නම් හොදිවල තිබෙන කරපිංච කොළ කෑමත් හොඳ වෙන්නෙපැයි!'

නමීට එහෙම උත්තර දුන්නත් මගේ හිතට මදි මදි වගෙයි දැනුණේ. ඉතිං සෑහෙන වෙලාවක් අන්තර්ජාලයේ කරක් ගගහා ඒ ගැන විස්තර හෙව්වා. වඩාත්ම පිළිගත හැකි හේතු හමු වුණේ විනාඩි 6 තත්පර 8ක වීඩියෝ එකකින්. ඒක නම් කරලා තිබුණේ ‘පෙරේතකමට හොද්දේ තියෙන රම්පේ, කරපිංචා කන්න එපා’ කියලයි.

කොයි දෙයක් වුණත් කනකොට කන්න ඕනි මළ පෙරේතයෝ වගේ නෙවෙයි. තිරිත්තමක් ඇතුව... එහෙම නොකර- වගේ වගක් නැතුව කාගෙන කාගෙන ගියොතින් දිරවා ගන්න බැරි වෙන්නත් ඉඩ තියෙනවනෙ. හිටපු ලොකු-ලොක්කෝ එහෙම කාපුවා ගැන දැන් දැන් එළි වේගෙන එනවා, පෝලිමේ...

නොවැම්බර් 14 වෙනිදාට යෙදිලා තියෙන ‘දියවන්නාව සුද්ද කරන මහා ශ්‍රමදානය’ට මේ තරමින් දායක වෙලා මදි නේද...

එව්වා දකිනකොට නොවැම්බර් 14 වෙනිදාට යෙදිලා තියෙන ‘දියවන්නාව සුද්ද කරන මහා ශ්‍රමදානය’ට මේ තරමින් දායක වෙලා මදි නේද කියලත් හිතෙනවා.

හෙට උදෙන්ම publish කරන්න හිතාගෙන මේ අන්තිම හරිය කෙටුවෙත්- නවත්ත නවත්තා... වැස්සෙන්, අකුණු සරවලින් බාධා වෙද්දී.

ඒ වගේමයි, උණුහුම් තොරතුරු දැන ගන්න තියෙන නොඉවසීමත් මැඩගෙන... අරහෙන් ගම්මන්පිල උන්නැහෙ කන්දක් විලි ලාලා කරන්න හදන හෙළිදරව්වේ විස්තර- මෙහෙන් ලොහාන් රත්වත්තේගේ පුද්ගලික ලේකම්වරයාගේ අබිරහස් මරණය- ඒ මදිවට රත්තරං උන්නැහෙගෙ බෑණාගේ ගෙදරින් හොයා ගත්තු ‘කෝටි 6ක් වටිනා සැප වාහන’ හුටපටේ...

එව්වා මෙව්වා මොනවා අහන්න- බලන්න තිබ්බත් ‘නිදිගෙ පංච තන්තරේ’ නොකඩවා කියවන ඔයාලා වෙනුවෙන් ලියන රාජකාරියත් ඉෂ්ට සිද්ද කරන්න ඕනි නෙව.
ඒ නිසා තවත් දවස් කීපෙකින්- තවත් අත්දුටු සූපවේද රහස් ටිකකුත් අරගෙන තුන්වෙනි කොටස ලියන්නම්. මේ සීරීස් එක ඉවර කරන්න බලාගෙනම.
ඔන්න එහෙනං, ඔයාලා හැමෝටම එතකල් ආයුබෝවන් කිව්වා!