අකුරු මැකී නෑ

Monday, August 18, 2025

හතලිහේදී... දහඅටවෙනි කොටස

... තත්ත්පරයක් ගල් ගැහිල බලාගෙන හිටි ඒකා එක පාරටම ඉස්සරහට පැනලා මාව බදා ගත්තා.
හීනෙකින්වත් නොහිතපු hug එකක්!
කියන්නත් ලජ්ජයි... ඒ මනුස්සය එහෙම මාව වැළඳගන්න ඇත්තේ සතුටින් උදම් වෙච්ච හිංදා කෙළෙහිගුණය පෙන්වන්න වෙන්නැති.

නළියන හැඩයි මගෙ අමුඩය දැක නුඹව!

ඒත් මං?

වලත්ත මට හොඳටම දැනුණා මාව උණුසුම් වේගෙන යන හැටි... මගේ ඉඳුරන් අවදි වේගෙන එන හැටි... දෙකක් නෑ! එහෙම වෙන්න ඇත්තේ මගේ ඔක්සිටොක්සින් ශ්‍රාවය වීම වැඩි වුණු හිංදා තමයි.

ඇත්තටම මිනිහා කියන සතාගේ හැටි! අනික් හැම සතෙකුම මිනිහා කියන සතාට වැඩිය වෙනස්නෙ. උන් රැලේ වැටෙන්නේ එක කාලෙකට විතරයි. ඒකත් තමන්ගේ වර්ගයා බෝ කිරීමේ අරමුණෙන්...
අපි එහෙමයැ? වෙලාවක් කලාවක් ඕනි නෑ. ඕනිම වෙලාවක- ඕනිම තැනක... ඒ වගෙම අපේ ලිංගික ක්‍රියාවලින් සීයට අනූනවයක්ම වගෙ සිදු කෙරෙන්නෙත් ජනිතයන් බිහි කිරීමේ අරමුණකින් තොරවනෙ; ලිංගික ප්‍රීණනය ලැබීම තමයි අපේ මුඛ්‍ය පරමාර්ථය වෙන්නෙත්.
එහෙව් එකේ පුදුම ලැබීමක් නේද අපට ලැබිල තියෙන්නේ...
ඇඟේ size එකට සාපේක්ෂව ලොකුම
මොළයකුයි, ප්‍රාණවත් වුණාම ලොකුම ලිඟුවකුයි හිමි වෙලා තියෙන එක!

එව්වයින් කමක් නෑ. නිමලෝ. උඹ වහාම අහකට වෙයං... වහාම- මේ දැන්ම- මේ දැන්මම ප්‍රසාද්ගෙන් ඈතට වෙයං!!
ඔලුව ඇතුළේ රතු සීනුවක් මහ හඬින් වැදෙන්න ගත්තා. ඒ අස්සේ මං තැනට ගැලපෙන විදිහට වචන එකතු කරගෙන කතා කරන්න වීරිය ගත්තා. සිංහලෙන් කියල හරි යන්නෙත් නැහැනෙ. ඉංග්‍රීසියෙන් එපායැ කියන්න ඕනි. මං කළේ වෙනදා පුරුදු විදිහටම සිංහලෙන් හිතල ඉංග්‍රීසියෙන් කියා ගත්ත එක.

(ප්‍රසාද්ට නං මට වැඩිය ඉංගිරිස් පුළුවන් විත්තිය එතකොටත් මට තේරිලයි තිබ්බේ.)

“Let me go! Your hug is very tight. I can’t take a breath.”
ඒක කියපු ගමන්ම ප්‍රසාද් මගෙන් ඈත් වුණා. ඒත් මගේ අතක් අල්ලාගත් ගමන්මයි උන්නේ.
ඒ අතත් හෙණ ගොරෝසුයි... ඒ ගොරෝසු අත දිගේ ප්‍රසාද්ගේ උණුහුම මගේ අතට කාන්දු වෙමින් තිබ්බේ.

අපි දෙන්නගෙන් කවුරුවත් අත්වැසුම් දාල හිටියේ නෑ, සමර් එක නිසා. ඒ නිසාම කරුවල වැටිලා තිබ්බෙත් නෑ. (සමර් කාලෙදි අඳුර වැටෙන්නේ රෑ දහය විතර වෙලානෙ. එළිය වැටෙනවා පාන්දර තුනට විතර.)

බස් ස්ටොප් එක පැත්තට ඇවිදගෙන යන අතරේ මං හීන් සීරුවේ ප්‍රසාද්ගේ ගොරෝසු හස්ත ග්‍රහණයෙන් මිදුණා. මොකද ඒ වෙනකොටත් මං හිටියේ ඒ උණුහුමට ලොල් වෙවී... දිගටම එහෙම ගියා නං...

ඔහොම ‘ඇබැද්දි’ කාට වුණත් වෙතහැකිනෙ. පහුගිය සතියේ දවසක fb එකේ දැක්ක ඒ වගේ හරි අපූරු ශෘංගාරාත්මක අලකලංචියක් ගැන: නටන අමුඩයක් ගැන කවි 4ක්.  R O S H B R O ගේ වෝල් එකේ.

‘මැණිකෝ මගේ හරි පුසුඹයි උඹ ගාව
මොනවැයි හත්තිලව්වේ ඔය ඇඟ ගෑව
තාමත් හැඩයි රත්තරනේ රූ සපුව
නළියන හැඩයි මගෙ අමුඩය දැක නුඹව

ඒ දවස්වල ‘උණුහුම් ලිංගික පහස’ක සුවය පතමින්...
ඉසකේ පැහුන මුත් ගත සිත ඇත සරුව
දරුවන් නිසා නෑ ඉස්සර වගෙ හමුව
ඉක්මන් කර උයා අහවර කර ගනුව
කෝ ගං ගාල දෙන්නට ඔය පොල් බෑව

පිල්කඩ වැතිර නිදියන විට ඔය මූන
අම්මප මතක් වෙනවා බං දැක හීන
නැතිදෝ හිතක් පෙර සේ ආලය පාන
ඉඳහිට වරෙන් බැලුවැකි රෑ හඳ පේන

ගෙවෙනා තනිකමින් සීතල රෑ මැද්ද
උනුසුම ගෙනේ පොරවන උඹෙ මල් රෙද්ද
අදවත් බලන්නට පිරිපුන් මල් ලන්ද
ආසයි මැණිකෙ දරුවන් තව නිදි නැද්ද’

කවි හතරකින්; වදන් අනූ පහකින් මවන ඉතා වර්ණවත් සිත්තමක අපූරුව!
මං කවි ගැන දන්න ඩිංගිත්ත අනුව නං- එළිවැට රැකීම, රිද්මය රැකීම එහෙමත් නියමෙටම සිද්ද කෙරිලා.

බිරින්දෑගේ පහස ලබන්නට පෙරුම් පුරන ඒ සැමියා වගේමයි- මං වහන්සේත් ඒ දවස්වල ‘උණුහුම් ලිංගික පහස’ක සුවය පතමින් උන්නේ.
දන්නවනේ, මං-
කේන්දරේට අනුව අතිධාවන කාම යෝගයක් සහිතව උපන්; ලිංගික හෝර්මෝන ඉතා හොඳින් නිපදවන සිරුරක හිමිකාරයෙක් විත්තිය. ඒ වගේම සිය ගණනක් partnersලත් සමඟින් විවිධාකාර ලෛංගික අත්දැකීම් ලබා තිබුණු කෙනෙක් විත්තිය. එහෙම කෙනෙකුට තට්ට තනියෙන් කෙලෙස් තවමින් ඉන්න වුණාම කොච්චර අසීරුයිද...

එහෙම අසහනකාරී හැඟීම්වලින් ආතුර වෙලා හිටිය වුණත්, එදාත් මගේ පුරුද්ද අතෑරුණේ නෑ. ‘කුඩු කතත් තිරිත්තමක් ඇතිවයි කන්න ඕනේ!’

ඉතිං, ඒ සංයමය ආයෙමත් මතකෙට නඟාගත්තු මං ප්‍රසාද් එක්ක Bus Stop එකට ඇවිදගෙන ගියා. එතැන seats දෙකකට බර දීලයි, අපි දෙන්නා අපේ කතාව කරගෙන ගියේ.

“මං ගෙදරින් ඇවිල්ලා අවුරුද්දකටත් වැඩියි නිමල්. ඒ ආවෙත් හොරෙන් මිනිස්සුන්ව රට පටවන මිනිහෙකුට ලක්ෂ ගාණක් ගෙවලා. එහෙම ගෙවන්න තරං අපි පෝසත්තුත් නෙවෙයි බ්‍රදර්. අපේ අම්මල ණය වෙලයි මට මේ ගමන එන්න සල්ලි හොයල දුන්නෙත්.” ප්‍රසාද් හරිම දුක්බර ස්වරයකින් කියාගෙන ගියා.
“ඇයි ප්‍රසාද්, ඔයා ඉන්දියාවේදී රස්සාවක් කළේ නැද්ද... IT ඉංජිනියර් කෙනෙක් වෙලත්?”

“ඒ ස්ටෝරීස් සේරම බොරු නිමල්... අර මිනිහමයි අපිව රවට්ටලා, ලොකු ගණනක් අරගෙන ඒවා හදවල දුන්නෙත්. ඌ කිව්වා මෙහෙ ඕනි තරං රස්සාවල් තියෙනවා, කරන්න මිනිස්සුයි නැත්තේ කියලත්. මොන විදිහකින් හරි මෙහාට පැන ගත්තොත් ලේසි job එකක් ලේසියෙන්ම හොයා ගන්න පුළුවනි කියලත් කිව්වා. මාස දෙක තුනක් වැඩ කරපු ගමන්ම අර ණය ඔක්කොම ගෙවල දාන්නත් පුළුවන් වෙයි කිව්වම අපිත් රැවටුණා!”

හොරෙන් රට රටවලට යවන මරුමුසු මගඩි වියාපාරත්....

මෙහෙම blog එකක් ලියන්නට වෙතැයි ඒ දවස්වල දැනගෙන උන්නා නම්... ප්‍රසාද්ගේ කතන්දරය හරියටම විස්තර ඇතිව අසා ගන්නටත්; මතක තබා ගන්නටත් තිබිණි. අපරාදේ!

එහෙම නොවුණු නිසාත්, ඒ සිදුවීම් සිද්ද වුණේ මීට අවුරුදු තිහකට විතර කලින් නිසාත් මට සමහර දේවල් අමතකය. ඒ ගැන පසුතැවෙමිනි, මා අද මේවා අකුරු කරන්නේ.

ඒ දවස්වල අද තරමට වේගයෙන් ලෝකයේ තොරතුරු එහා-මෙහා ගලාගෙන ගියේ නැත. හොරෙන් රට රටවලට යවන මරුමුසු මගඩි වියාපාරත් තිබ්බේ නැතුවා වෙන්නැති. Human Trafficking කියන යෙදුමක්වත් භාවිතයට අවුත් නොතිබුණා විය යුතුය. (කෙරුණා නං කෙරුණේ ‘මරිසි මංගල්ලය’ post එකෙන් කියවුණු ජාතියේ ‘නීතිය නවන වැඩ’ විය යුතුය!)

“අර යක්ෂයා කියපු බොරුවලට මම විතරක් නෙවෙයි, අපේ ගෙදර අයත් රැවටුණා. අපි වගෙම ඌට රැවටිච්ච තව කට්ටියත් හිටිය නිමල්.
ඌත් ඉන්දියාවේම ඉපදිච්ච එකෙක්. තමන්ගෙ රටේම ඉපදුණු- තමන්ගෙ ජාතියේම මිනිස්සුන්ට මෙහෙම කරන්න පුළුවන් මිනිස්සු ඉන්නවයි කියලා අපි හිතුවේ නෑ නිමල්... පූරුවේ පිනකටයි මගේ පණ බේරුණේත්... තව ඩිංගෙන් අතරමඟදීම මාව මැරෙනවා බ්‍රදර්!
මේ බලහං... තවමත් ඒවා මතක් වෙද්දී මාව වෙව්ලනවා.”

එතකොටත් ප්‍රසාද් ගැහෙමින් උන්නේය.

“දැන් ඉතිං එහෙම කරදරයක් නැහැනෙ ප්‍රසාද්. ඒවා සේරම වෙලා ඉවරයිනේ...”
මගේ සැනසිලිදායක වචනවලින් ඒ හාදයා තවත් අවුල් වුණා වගෙය. ප්‍රසාද් ඉස්සරහට නැමී දෑතින්ම එයාගේ කෙස්වල්ල ඇද ගත්තේ කඳුළු පෙරමිනි.
“ඒ වෙලාවේ එහෙම මැරුණා නං ඒත් එකක්, නිමල්. එහෙනං මට මෙච්චර දුක් වෙන්නැතිව ඉන්න තිබ්බ.”

එහෙම වෙලාවට මොනවත්ම නොකියා හිටීම වඩා සුදුසුය. වැරදි දෙයක් කියවුණොත් අනෙකා වඩාත් අපහසුතාවකට පත් වෙනවාට සැකයක් නැත. ඒත් මා ඔහුට ඇහුම්කන් දෙමින් ඉන්න විත්තියත්- ඔහුගේ දුක්බර අත්දැකීම්වලින් සංවේගයට පත් වී හිඳින විත්තියත් ප්‍රසාද්ට ඇඟවීම කළ යුතුය!

හැකිතාක් ප්‍රවේසම් වෙමින් මම ප්‍රසාද්ගේ අත මතින් මගේ අත තැබුවෙමි. එහෙත් ඒ අත පිරිමැදීමෙන් වැළකුණෙමි. මෘදු ලෙස ඔහුගේ අතට තට්ටු කිරීම් පමණක් කළෙමි. අන්තිමේදී එයාමය කතා කළේ.

“මට කියපං නිමල්, මම කොහොමද අම්මලට මේවා කියන්නේ කියලා. මම අපායකට වැටිලයි ඉන්නේ කියලා අම්මලට කියන්න පුළුවන්ද නිමල්? මං අන්තිමට අම්මලට ලියුමක් යැව්වේ අවුරුද්දකට විතර කලින්. ඒකෙ ලිව්වෙත් රස්සාවක් හොයාගන්න හොඳටම අමාරුයි කියලා. ඒ හිංදා තැනින් තැනට යන්න වෙනවා කියලත් මං ලිව්වා...”

තව දේවල් ගොඩක් තියෙනවා. අද නෙවෙයි, අද නෙවෙයි... වෙන දවසක...

ආයෙමත් විරාමයක්! ප්‍රසාද් දහිරිය දාන්නේ වචන එකතු කර ගන්නට වෙන්නැති.

”ඔව් නිමල්. මට හරියටම රස්සාවක් හම්බ වෙලා- දිගටම නවතින්න තැනක් හොයා ගත්තම- පර්මනන්ට් ඇඩ්රස් එකක් කියන්නං කියලත් ලිව්වා...
ඊට පස්සේ... ඊට පස්සේ එයාලා ඉන්නවද- මළාද- මොනවා වෙලාද... මොකුත්ම මං දන්නෑ බං.”

“ඔයාට ලියන්න හිතුණේ නැද්ද?”
“හිතුණට මං මොනවද ලියන්නේ? තවමත් මට එක දිගට කරන්න job එකක් නෑ. ඒ තියා මට ජීවත් වෙන්නවත් විදිහක් නෑ. සමහර දවසකට බඩගින්නේ ඉන්නයි මට සිද්ද වෙලා තියෙන්නේ. මෙව්ව කොහොමද නිමල් අම්මලට ලියලා අරින්නේ... ඊට වැඩිය හොඳයි, මං මැරිල ගිහිං කියල එයාලට හිතා ගන්න අරිනවා... Do you know?
අවුරුද්දකට විතර පස්සේ අද තමයි මෙහෙමවත් මගේ දුක කියල හිතේ බරෙන් ටිකක් අඩු කර ගන්න හම්බ වුණේ, නිමල්. Thank you so much! දැන් මට ලොකු සහනයක් දැනෙන්නේ, සත්තයි!”

මගේ ඇස් අත් ඔරලෝසුවට ගිය හැටි ප්‍රසාද් දැක්කාවත්ද?
“අද මං හිංදා උඹට බස් දෙකක්ම මිස් වුණා. අනේ සොරි නිමල්. මට කියාගන්න තව දේවල් ගොඩක් තියෙනවා. අද නෙවෙයි, අද නෙවෙයි... වෙන දවසක... ටික ටික කියන්නං, උඹ අහගෙන ඉන්නවා නං... උඹට කරදරයක් නෙවෙයි නං.”

එතකොට අපට පෙනුණේ ඈතින් එන Hounslow තට්ටු දෙකේ බස් එකයි.
“හරි නිමල්. ගොඩක් ස්තුතියි. බස් එක එනවනේ. හෙට හම්බ වෙමු එහෙනං. Good Night!”

මං එච්චර වෙලාවක් ප්‍රසාද්ට සවන් දෙමින් උන්නේ හුදෙක්ම අනුකම්පාව නිසාද? නැත්තං මනුස්සකම නිසාද? ඒත් නැත්තං ඔහු වෙත ආසක්ත වුණු ජාගර චිත්තය නිසාද?

ඩබල් ඩෙකර් බසයේ උඩ තට්ටුවේ ආසනයක වාඩි වුණු මම හිතට එබුණෙමි.
‘අනුකම්පාව! මනුස්සකම!! අනෙඃ පලයං නිමල් යන්න. උඹේ මහ ලොකු අනුකම්පාවයි මනුස්සකමයි... ප්‍රසාද් ටිකක්වත් ප්ලසන්ට් කෙනෙක් නොවුණ නං- අජූව මිනිහෙක් වුණා නං එහෙමත් උඹ මෙච්චර වෙලා ඒ මිනිහ වෙනුවෙන් ඉඳියි මෙන්න කියලා. ඒක හිතපංකො ඉස්සෙල්ලම...’

මං වහන්සේ හවුන්ස්ලෝවලදී බසයෙන් බැස ගත්තෙත්- ගෙදරට ගියෙත් ඒ පුරස්නවලට හරිහමං උත්තරයක් හොයාගෙන නොවේ!

“මොකද රංජි වුණේ? අපි හොඳටම බය වෙලයි හිටියේ. තව ටිකක් බලලා යසිරු පුතාට කතා කරල කියන්නයි හිත-හිතා හිටියේ.” දොර ඇරෙනවාත් එක්කම අම්මා දොරකඩය; අටුවාවක් කියමින්ය.

මමත් ඔරලෝසු කටු එක්කම කැරකෙන්න ඕනියි කියලද අම්මා හිතන්නේ?

“පිං සිද්ද වෙයි අම්මේ, මෙන්න වැන්දා! කොයිම වෙලාවකවත් ඒ වැඩේ නං කරන්න එපා. යසිරු මට මේ රස්සාව හොයලා දුන්නයි කියලා- ඊට පස්සේ සිද්ද වෙන හැම මඟුලකටම ඒ මනුස්සයටම කරදර කරන එක හරිද?

... අනෙක තමයි- වැඩ ඇරෙන වෙලාව ටිකක් එහෙ-මෙහෙ වෙන්න බැරිද?
මට යාළුවෙක් හම්බ වෙලා චුට්ටක් කතා කර-කර ඉන්න බැරිද? මමත් ඔරලෝසු කටු එක්කම කැරකෙන්න ඕනියි කියලද අම්මා හිතන්නේ? මමත් මනුස්සයෙක්නේ අම්මේ... පණ නැති යන්තරයක් නෙවෙයිනේ.”යි උත්තර දීගෙනමය මා කාමරයට වැදුණේ.

ප්‍රසාද් දුටු විගසම මගේ නෙත් පැහැර ගන්නා විදිහේ හාදයෙක් නොවේ. දර්ශන මාත්‍රයෙන්ම මා කැලඹූ කෙළිලොල් අමන් වැන්නෙකුත් නොවේ.
එහෙත් ඔහුගේ ‘උණුසුම් වැළඳ ගැනීමේ මතකය’ එදා රාත්‍රියේ වඩාත් සජීවීව මට රිදුම් දෙන්නට විය. ඒ මතකය ‘නිදි දෙව් දුව’ ඉක්මනින් මගේ යහනට වැඩමවීමත් වළක්වා ලූවේය.
මගේ ඉඳුරන් අවදිව තිබිණි. එය නොතකමින් නින්දට වැටෙන්නට කොතෙකුත් වෙර දරා; වෙර දරා බැරිම තැන
‘කර කර්මයේ පිහිට’ පතන්නටය මට සිදු වුණේ. ඉන් පසුවය, මට නින්දට වැටෙන්නට හැකි වූයේ.

එදායින් පසුව ප්‍රසාද් මට වඩාත් හිතවත් විය; සමීප විය. ඒ ටිකෙන්-ටික හෙමින්-හෙමින්ය. ඒ අතරේ ඉඩක් ලැබුණාම ඔහුගේ කතන්දරයත් කොටසෙන්-කොටස මට පැවසුවේය. එය කතන්දරයකැයි කියනවාට වඩා සුදුසු දුක් ගැනවිල්ලකියි කීමය.

ඒ අතරවාරයේ දවසකය, බඩා මල්ලාත් මාත් බිමල්ගේ බැචලර්ස් පාටියට ගියේ.
මගේ මතකය හරි නං ඒ පාටිය තිබ්බෙත් එයාලගෙ ගෙවල් කිට්ටුවම තැනකය. අපි දෙන්නා ඉස්සෙල්ලම ගියේ බිමල්ලගෙ අක්කා ඩ්රුතීලගේ ගෙදරට. එහෙ තමයි සමන්ති නැවතිලා හිටියේ.

“මල්ලා, ඔයා කොහොමද පාටියෙදී බීලා වාහනේ එළවන්නේ?” සමන්ති ඇහුවේ අපට සිසිල් බීමක් පිරිනමන ගමන්.
“නෑ සෑම්. මම අද නොබී ඉන්නයි හදන්නේ!”
“ලොකූ නොබිව්වට කමක් නෑ. ඔයා බොනවා. වෙනද වගේ මෙහෙම නිඳාගෙන ඉඳලා උදේට ගෙදර යන එකනෙ තියෙන්නේ.” බිමල් යෝජනා කරනකොටම මල්ලා බැලුවේ මගේ දිහා.

“ලොකා මොකුත් කියන්නෑ මල්ලෝ. නේද ලොකූ?”
“එතකොට ලොකා කොහොමද හෙට වැඩට යන්නේ? මම ඒ ගැනයි හිතුවේ Sam.”
“ඒක ප්‍රශ්නයක් කර ගන්න එපා දීපාල්. දවසක් වැඩට නොගියයි කියල මිස්ටර් අහීර් මාව අස් කරන්නෑ.”        

“හේ, I told you! හැමදාම දෙන ජාතියේ පාටියක් නෙවෙයිනෙ D. අද විතරනේ...” බිමල්ම එයාගේ යෝජනාව ස්තිර කළේ එහෙමයි.

සාදයක් කියන්නේ යහමින් බොන එකක් වගෙයි නෙව!  

පාටියේ නිමිත්ත මොකක් වුණත්, මොන නමකින් හැඳින්නුවත් සාදයක් කියන්නේ යහමින් බොන එකක් වගෙයි නෙව! කෑමටත් වැඩියෙන් බීම තියෙන එකනේ දැන් සිරිත. එදා පාටියෙත් එහෙමමයි.

හැබැයි, බිමල්ගේ සාදයේ හිටි අයගෙන් එක්කෙනෙකුවත් මං නොබොන කෙනෙක්ය කිව්වම ඤරු-ඤුරු ගෑවේ නෑ. ඤං-පචං කිව්වේ නෑ. බොමු බොමු කියලා පෙරැත්ත කළේවත්- බලපෑම් කළේවත් නෑ! (ඩැඩා එක්කලා හවුන්ස්ලෝ Pub එකට ගිය දවසෙත් එහෙමයි. ඩැඩාගේ හිතවතුන්ගෙන් කවුරුවත් මගේ අමද්‍යප ප්‍රතිපත්තියට අවමන් කළේ නෑ; මට බොන්නයි කියලා බල කළෙත් නෑ.)

අපේ රටේදී නං එහෙම නෙවෙයිනේ. ‘යාළු fit එකටනෙ මචං. අද විතරක් හීනි ෂොට් එකක් දාමු! / දැන් කාලේ කෙල්ලොත් බොන එකේ... පොඩි අඩියක් ගහමු! / පොඩ්ඩක් නොගන්න මිනිහ මොකෙක්ද? / පොඩ්ඩක් නොගත්තොත් ඔලුවේ හලනවා!’ වගෙ කියුම් කොච්චරක් නොබොන කෙනෙකු ඉදිරියේ කියවෙනවද?
බිමල්ගේ සාදයේදී එක්කෙනෙකුවත් එහෙම කිසිම දෙයක් කීවේ නැති එක තමයි ලොකුවටම මට මතක තියෙන්නේ.

ම්... තව එකක් කියන්න ඕන- පාටියට යන්න කලින් සමන්තිල ගෙදර ෆෝන් එකෙන්ම මං බල්නූර්ට කෝල් කළා. කරලා එයාට පැවරුවා ‘මං ඊට පහුවදා වැඩට නොඑන විත්තිය අහීර් මහතාට කීමේ’ රාජකාරිය.

එහෙම කරලා තියෙද්දිත් තමයි ඊට පහුවදා උදේ බල්නූර් මං වැඩට එනතුරු මඟ බලාගෙන උන්නේ.

“අනේ බ්‍රදර්, බොස් උඹටත් දොස් කිව්වත් මොකුත් නොකියා අහගෙන හිටපං. ඊයේ මාත් බොස්ගෙන් හොඳටම බැනුම් අහලයි ඉන්නේ. ප්ලීස් බ්‍රදර්... මම විස්තරේ පස්සේ කියන්නං. එතකල් උඹ මොකුත් නොදන්නවා වගෙ ඉවසගෙන ඉන්නවනෙ? Please... ප්ලීස්!”

ඉතිරි හරිය ඊළඟ කොටසින්...

13 comments:

  1. මේක කියවද්දි මට මතක් උනේ බොහෝ කලකට පෙර කියවූ විද්‍යා ප්‍රබන්ධයක්. නම මතක නෑ. එකෙදි මිනිසුන්ගේ නළලේ පුංචි සිග්නල් ලයිට් එකක් සවි කරනවා. කෙනෙක් හමු උනාම එයා ගැන ලිංගික හැඟීමක් ඇති උනොත් අර ලයිට් එක රෝස පාටට පත්තු වෙනවා. අවසානයේ මිනිස්සු හරි අපහසුතාවලට ලක්වෙනවා මේ උපකරණය සවිකරගැනීම නිසා.

    ReplyDelete
    Replies
    1. මම ආසම ෂානරයක් විද්‍යා ප්‍රබන්ධ. ඒත් Litseeker ඔයා කියන කතාව මට හමුවෙලා නෑ. ඒක හරි ලස්සන කතාවක් වෙන්නැති!

      Delete
  2. Replies
    1. ගොඩක් ස්තුතියි Pra Jay මහත්තයෝ!

      Delete
  3. Replies
    1. ඔයාටත් ස්තුතියි බස්සා මහත්තයෝ!

      Delete
  4. බටහිර සංස්කෘතියෙ කැමැත්තෙන් හිටි දෙයක් තමයි පබ් කල්චර් එක - දවසම වැඩ කරලා. හැන්දෑවට දෙකක් නමන අතරේ සතුටු සාමචීයේ යෙදීම. වටේම තිබ්බ "පබ්" හෙමීට වැහිලා ගියා, "සීරෝ ඇල්කොහොල් ටොලරන්ස්" ආවට පස්සෙ. එකාතකට ඒකත් හොඳ දෙයක්.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම බකුසුතුමෝ මම දැකපු විදිහට පබ්වල කට්ටිය කළේ බොන එකම නෙවෙයි- මිතුරන් හා සතුටු සාමීචියේ යෙදීම.
      දැන් පබ් නැද්ද?
      "සීරෝ ඇල්කොහොල් ටොලරන්ස්" ඇහුවෙත් අදයි!

      Delete
    2. ආ... සින්දුවේ link එකට ස්තුතියි. අපූරුයි!

      Delete
  5. Uncle, ko Lotus akki? Akki ekka mata පරමෝත්කර්ෂය ganna puluwanda?

    ReplyDelete
  6. සමලිංගිකත්වය කියන්නේ සොබාදහමට අනුවම සමහර මිනිස්සුන්ට ඇති වන හැඟීමක්. ඒක වර්ණයක්, සුවඳක්, නැත්නම් හදවතේ රහසක් වගේ. ඒත්, ලංකාවේ සමාජය බොහෝ වෙලාවට මේ වගේ හැඟීම් දකින්නේ අමුත්තක් විදිහට. විශේෂයෙන්ම ගැහැනුන් අතර ඇති වන ආදර සබඳතා ගැන කතා කරනකොට, සමාජ මාධ්‍ය කියන වේදිකාව හැමෝටම ගල් ගහන්න පුළුවන් තැනක් වෙලා. "පව්කාරියට ගල් ගැසීම" කියන පුරාණ අදහස අද ඩිජිටල් යුගයේ අලුත් මුහුණුවරකින් ඉස්මතු වෙලා.

    මේකට හොඳම උදාහරණයක් විදියට
    මෑතකදී සමාජ මාධ්‍යවල කතාබහට ලක්වුණ වෛද්‍ය මහේෂි විජේරත්න මහත්මියට සිදුවුණ අවාසනාවන්ත අත්දැකීම ගැන ගැන මතක් වුණාම ඒ තත්ත්වය හොඳින්ම පැහැදිලි වෙනවා. ඇයගෙන් ප්‍රතිකාර අරගෙන සුවය ලැබූ අය ගණනින් හුඟක් වැඩියි. සුව නොවූ අය ඉන්නේ ඒකෙන් ඉතාම සුළු පිරිසක් විතරයි. එල්ල වෙලා තියෙන්නේත් සීමිත චෝදනා කීපයක් විතරයි. එහෙත් මේකවත් නොදැන, නීතිය සහ සාධාරණත්වය පැත්තක තියලා, දේශපාලන වාසි, නොදැනුවත්කම සහ වෛරය නිසා දේශපාලන වහල්භාවයෙන් අන්ධ වූ හිතක් පපුවක් නැති අමන මිනිස්සු, ඒ අම්මාට සහ දුවටත් අපහාස කළා. එයාලටත් අපහාස කරන්න පෙළඹුණේ තමන්ගේ වැරදි දැකලා නැති නිසා වෙන්න ඇති.
    ​අනුන්ගේ ජීවිත විනිශ්චය කරන්න කලින් තමන්ගේ හෘද සාක්ෂියෙන් අහලා බලන එක හරිම වැදගත්. වරදක් කරලා තියෙනවා නම් ඒකට දඬුවම් දෙන්න ඕනේ නීතිය සහ හෘද සාක්ෂිය අනුවයි. අනුන්ව හෙළා දකිමින්, බොරු චෝදනා නගමින් සමාජ මාධ්‍යවල හැංගිලා ඉන්න එක නියම මනුස්සකම නෙමෙයි.
    ​අපේ සමාජය ඉදිරියට යන්න නම්, අනුන්ගේ පෞද්ගලික ජීවිත විනිශ්චය කරනවා වෙනුවට, හැම කෙනෙක්ම තේරුම් ගන්න පුළුවන් විදියට කටයුතු කරන්න ඕනේ. පටු දේශපාලන අරමුණු මත අන්ධව විනිශ්චය කරනවාට වඩා, එකිනෙකාට ගරු කරන සමාජයක් හදන එක වඩාත් වැදගත්. අපි හැමෝම වැරදි කරන මිනිස්සු. ඒ නිසා අනුන්ගේ වැරදි විතරක් දකින එක සාධාරණ නැහැ. එහෙම නේද?

    ReplyDelete
  7. //කවුරුවත් මගේ අමද්‍යප ප්‍රතිපත්තියට අවමන් කළේ නෑ; මට බොන්නයි කියලා බල කළෙත් නෑ.//
    ඒක හරිම හොඳ දෙයක්. අපේ මිත්‍රයෝ බොහොමයක් අතර නැති දෙයක්. ඔය බලකිරීමට පටන්ගත්ත සමහරු නවතින්නේ ඇබ්බැහියකින්. කවුද මද පමණකට ඇරගෙන පාලනය කරගන්නේ කවුද ඇබ්බැහියකට යොමුවෙන්නේ කියලා වේලාසනම කියන්න බැහැනේ.ඒක නිසා කිසිකෙනෙකුට බල කරන්න හොඳ නැහැ.

    ReplyDelete