අකුරු මැකී නෑ

Monday, August 11, 2025

හතලිහේදී... දාහත්වෙනි කොටස

හචින්සන්ලා- ලෙස්ලි පිගොට්ලා නිසා; රේස් කොළේ කියවන්න උවමනා වුණු නිසා කොඤ්ඤං කොඤ්ඤං ඉංගිරිස් පුළුවන් වෙච්චි අපේ ආච්චි (නියම කඩුව වනන්නියක් වෙලා) මේ gay කතන්දර දැනගත්තා නං... මගේ සමලිංගික අනන්‍යතාව ගැන දැනගත්තා නං... මීන සංහාරය දවසේ යක්ෂාරූඪ වුණාට නොදෙවෙනි හෙයියම්මාරුවක් වෙයි නේද?

හැමෝම එයාගේ මූණට කථා කළේ ලලා කියලා. නැති තැන කොණ්ඩ ලලිත් කිව්වා. සමහර කට කැඩිච්ච එවුන්...

එහෙම කියලයි මං වහන්සේ පහුගිය කොටස නැවැත්තුවේ. එහෙම ලියද්දීවත් මට කල්පනා නොවුණු දෙයක් අපේ සහෝදර පැතුම් හේරත් ‘බිත්තිය’ blog රචකයා comment එකකින් කියල තිබ්බා.
‘නිදි, ඔයාව තේරුම් අරන් ඔයාට ඔය විදියට සලකන පවුලක් ලැබීම ලොකු වාසනාවක්... බොහෝ අයගේ කතා දුක්බරයිනේ...’

ඇත්තටම ඔව්!
කෙනෙකු පොඩි කාලෙදිම මෙහෙම වෙනස් ගතිසොබා පෙන්වනකොට එයාව සමාජයේ සමච්චලයට ලක්වෙන්න පටන් ගන්නවා; හෙළා දකින්නට පටන් ගැනෙනවා. එහෙම ගැරහීම්වලට ඉලක්කයක් වුණු; පවුලෙන් පිටමං කෙරුණු ගොඩක් අයගේ කතන්දර වර්තමාන කාලයේදී නං එළියට එනවා. සමාජ මාධ්‍යවල ඒවාට ඉඩක් තිබෙන හා ලැබෙන නිසා.

නිමල් දිසානායක ඒ post එක; හතලිහෙදී - දහසයවෙනි කොටස publish කරනකොට ලලිත් ධර්මවර්ධන සහෘදයා නොඑන ගමන් ගිහිං. සහෘදයා කිව්වට එයා මං දන්නා හඳුනන කෙනෙක් නෙවෙයි. එයාගේ හපන්කම් සිනමා පටවලින් දැකල තියෙනවා මිස.

‘හෙළ සිනමාවේ වසර 45 කට වැඩි කාලයක් කේෂලාවන්‍ය ශිල්පියෙකු ලෙස කටයුතු කරමින් සිනමාවට අනුපමේය සේවයක් කළ ලලිත් ධර්මවර්ධන පසුගිය (06) වනදා දිවි ගමන නිම කළා...

... එයාගේ සම්පූර්ණ නම ලලිත් ධර්මවර්ධන. හැමෝම එයාගේ මූණට කථා කළේ ලලා කියලා. නැති තැන කොණ්ඩ ලලිත් කිව්වා. සමහර කට කැඩිච්ච එවුන් පො.... ලලිත් කියලත් එයාව හැඳින්නුවා. ඒ වුනාට එයා නෙවෙයි ඔය කිසිම හැඳින්වීමකින් සැළුනේ.

ඔවු මම එහෙම තමයි. ඉතිං කාටත් ඇති රුදාව මොකක්ද?”

එයා හිස රිජුව තබාගෙන, ආඩම්බරෙන් ප්‍රශ්න කළා. ලලිත් කෙලින් මිනිහා. ලලනා ගතිවලින් ආඩ්‍ය වුනාට, වචනේ වෙනස් කරන ජාතියේ කෙනෙක් නෙවෙයි එයා. කිව්වොත් කිව්වම තමයි. හිසේ කෙස් ගානට යාළුවෝ. නීතිඥයෝ, දොස්තරලා, නළු නිළියෝ, දේශපාලඥයෝ ආදී වශයෙන් සමාජයේ විවිධ තරාතිරම්වලට අයිති අය. ලලිත් කියන්නේ වෛරයෙන්, ක්‍රෝධයෙන් පුපුරන, තමන්ගේ මුල් සිඳගත් තුට්ටු දෙකේ දේශපාලඥයෙක් නෙවෙයි. චන්ඩියෙකුත් නෙවෙයි. ඒ වෙනුවට එයා හරීම අහිංසකයා. ඒ වුනත් සමාජ අසාධාරණයේදී හිස නොනනමන, මහ රජ්ජුරුවන්ට වුනත් වචනෙකින්වත් යටත් නොවෙන චරිතේ...

... එයා තමයි මාලිනී අක්කගේ ස්ථාවර කොණ්ඩා මෝස්තර ශිල්පියා. ඇතැම් සුප්‍රසිද්ධ ප්‍රේම වෘතාන්ත ලියලනවා ඇසින් දුටු ප්‍රධාන සාක්ෂිකාරයා.

සබීතා, ගීතා, සංගීතා එහෙමත් විශේෂ උත්සවවලට ගියේ ලලිත්ට කියලා කොණ්ඩේ සරසාගෙන. ගාමිණී, විජේ, රවීන්ද්‍ර, රොබින් ඔය කොයි කෙරුම්කාරයත් ලලිත්ගේ වචනෙට යටයි.

මා ලියූ සාරි ඇඳපු පිරිමි පොතට ප්‍රස්තූතය වුනේ, ලලිත් මට ඥාණනය කළ, මේ රටේ සමරිසි පිරිමින්ගේ ඉතිහාසය.

කොච්චර ආඩම්බරකාර කැමරාමන් වුනත් වාමදේවනුත් එයාට අවනතයි. ඕනෑම වෙලාවක කැමරා විව් ෆයින්ඩර් එකට ඇහැ තියන්න ලලිත්ට ඉඩ දුන්නා...’

උඩින් තිබෙන විස්තරේ මං උපුටා ගත්තේ ‘නික්ම ගිය ලලිත් ධර්මවර්ධන ගැන විෂ්ණු වාසුගේ මතක සටහන!‘ ලිපියෙන්. (කැමති උදවියට මේ ලින්කුවෙන්  ගිහිං ඒ ලිපියම කියෙව්වැකි, හොඳේ.)

ඒ ලිපියේ එන මේ ඡේද තුනත් උපුටා දක්වන්නයි කියලා මගේ කම්පිත හිත තදින්ම මට කියා හිටි නිසයි, මේ:

‘... ලලිත්ලාගේ ගෙදර වැල්ලවත්තේ. මුහන්දිරම් පාරේ. එයාම කියන විදියට පුංචි කාලෙම එයාට පසක් වුනා, එයාගේ පිරිමි ශරීරය ඇතුළේ ගැහැණියක් ජීවත් වෙනවා කියලා. ගෙදර කවුරුවත්ම නැති වෙලාවක් සහතික කරගත් ලලිත්, අම්මාගේ කාමරයට රිංගලා දොර අගුල් තද කළා. අම්මාගේ සාරියකින් සැරසිලා, කරාඹු කුට්ටමක්ද පැළඳ, තොල් රතු කරගත්තු ලලිත්, කණ්නාඩිය ඉදිරියේ රඟපෑවේ මධුබාලා, මීණා කුමාරි, වෛජන්තිමාලා හෝ නාර්ගීස් සිතින් මවාගෙන...’

‘...ඔහු හාර්ට් ටු හාර්ට් නමින් සංවිධානයක් පිහිටුවා ගත්තා. 2011 හාර්ට් ටු හාර්ට් ආරම්භයෙන් වසර 13 ගෙවුනු තැන, මෙරට වෛද්‍ය වෘත්තිකයින්, සෞඛ්‍ය සේවයේ නියුත්තන්, ස්ත්‍රී පුරුෂභාවය පදනම් ව්‍යාපෘතිවලට සම්බන්ධ රාජ්‍ය නිළධාරීන් ආදී, මෙකී නොකී පිරිස, ඉහලින්ම අගේ කරන ආයතනය බවට හාර්ට් ටු හාර්ට් සංවිධානය පත්වුනා...

ලලිත් මුණගැසීමෙන් වසර තිස් හතකට පසුව මා ලියූ සාරි ඇඳපු පිරිමි පොතට ප්‍රස්තූතය වුනේ, ලලිත් මට ඥාණනය කළ, මේ රටේ සමරිසි පිරිමින්ගේ ඉතිහාසය. මේ දූපතේ පාලකයින් සහ බහුතර ජනතාව කතා කරන්නට ලැජ්ජා වෙන, ඒ වචනය ඇහුනාමත් භ්‍රාන්තියෙන් වෙව්ලන, බණ්ඩාරනායක, දහනායක, ලලිත්, මංගල, ටිරෝන්, ඔගස්ටින්, ටානියා සහ මංජුගේ කතාව. මා මගේ සාරි ඇඳපු පිරිමි පොතේ පිදුම ලිව්වේ ලලිත්ට. මෙන්න මෙහෙම...’

ඔයාලට කොහොමද මංදා. මට නං හිතිලා තියෙන්නේ ‘සාරි අඳින පිරිමි’ පොත හොයාගන්න ඕනියි කියල.

ඒ මෙදා... එදා සමන්ති නංගිට මගේ ‘ලිංගික ස්වභාවය’ කිව්වට පස්සේ මට හිතුණු දේ මේ.
Samගෙන් ලැබුණු ප්‍රතිචාරය නිසා මට දැනුණේ ලොකු සතුටක්... ලොකු සැහැල්ලුවක්... ලොකු දහිරියක්. සත්තයි!
කතාවට වුණත් කියනවනේ ‘ඕනිම දෙයක් පළමුවෙනි වතාවට කරනකොටයි අමාරු, දෙවෙනි වතාව එච්චර අමාරු නෑ’ කියල. මට ඒ කතාව මතක් වුණා. ‘හොඳයි නේද නිමලෝ උඹේ ගැන තව එක්කෙනෙකුට කිව්වොත්?’ හිත මගෙන් ඇහුවා. එතකොට මගේ ඉලක්කය වුණේ ‘බඩා’ව.

මෙයාත් ඉන්දියාවෙන්. මෙයාටත් මදින්න ඕනි විදිහ කියල දීලා නිමල් එක්ක...

මට එහෙම හිතුණේ නිකංමමත් නෙවෙයි. බඩා මල්ලියාට ලෝකේ රටේ වෙන දේවල් යස අගේට මීටර් වෙන විත්තිය එතකොටත් මට පෙනී ගිහිං තිබ්බ නිසා.
හැබැයි, බඩා මල්ලාගෙත් මගෙත් අතර වයස පරතරේ අවුරුදු 16ක්.

ඒත් එංගලන්තෙ හැදී වැඩුණු නිසා වෙන්නැති දීපාල් වයසට වඩා මෝරලා, mature වෙලා තිබ්බ බවයි මට ඒ වෙද්දී ඒත්තු ගිහිං තිබුණේ. ඒ හාදයාගේ මැචෝ ගතිය ඒකා කරන-කියන දේවල්වලින් ඕනෑවටත් වැඩියෙන් පෙනුණා. (ඒ හින්දාමයි Dadaට දීපාල්ව දිරෙව්වෙ නැත්තෙත්...)

ම්... තව කාරණයකුත් මෙතැනදී කියල ඉන්න වෙනවා.

කොයි සක්කරයා ඉස්සරහදි කොච්චර විවෘත වුණත් යම් තරමක හරි සංවෘත වීමකුත් තබා ගැනීම තමයි නිමල් දිසානායකගේ පුරුද්ද වෙලා තිබ්බේ.
ඒ කිව්වේ ඇත්ත සේරම කිව්වත් ටි..කා..ක් විතර නොකියා ඉතිරි කරගන්නවත් එක්ක.
අදටත් ඒක එහෙමමයි. නිදිගෙ පංච තන්තරේට එයාගේ හැබෑ ජීවනාන්දරය ලියද්දී වුණත් ඒ පුරුද්ද එ.හෙ.ම.ම.යි කියල කියන්නේ ආඩම්බරයකින් නං නෙවෙයි. ඇත්තම කිව යුතු නිසයි.

මගේ රහසිගත විශ්වයේ සාමාජිකයන් වුණු සංජේ වගෙම පද්මේ... ඒත් එක්කම නයනානන්ද වගෙ කිහිප දෙනෙක්ම මට ගොඩාරියක් සමීප වුණා. ගතින් වගෙම සිතිනුත්. එහෙම සමීප වෙච්චි අයටවත් මං සම්පූර්ණයෙන්ම විවෘත වුණේ නැති එකේ... එහෙව් එකේ සිරුරෙන් විතරක් ආකර්ෂණය වුණු උදවිය ගැන කවර කතාද?

මං හිතන්නේ ඒ ස්වභාවය මට උරුම වෙන්න ඇත්තේ උපතින්ම වෙන්නැති කියලයි!
ඒ නිසා වෙන්නැති මං ඉක්මනින්ම දීපාල්ට කතා නොකළේත්.

‘මේ හලෝ, දැන් හෙට අනිද්දම නේද බිමල්ගේ බැචුලර් පාටිය තියෙන්නේ. තමුසෙට ඒකට යන්න වෙන්නෙත් බඩා එක්කනේ. ඊට කලින් මිනිහට මොනවත් කියන්නැතිව ඉන්න එක නේද හොඳ... කවුද දන්නෙ එයාගේ රියැක්ෂන් එක මොන වගෙ වෙයිද කියලා. පැන් තාලියේත් කිඹුලෝ ඉන්න පුළුවනි කියලා පරෙස්සං වෙන එක නුවණක්කාරයිනෙ රජෝ!’
එහෙම හිතුණමයි ටිකක් කල් මරන්න මං ගත්තු තීරණේ මංම ස්ථිර කළේ.

“බල්නූර්... මෙයාත් ඉන්දියාවෙන්. මෙයාටත් මදින්න ඕනි විදිහ කියල දීලා නිමල් එක්ක වැඩට දමමු.” අහීර් මහත්තයා කිව්වේ උස දඬු මානා කෙනෙකුත් එක්ක අපේ ළඟට ඇවිත්.

අපිය කිව්වේ බල්නූර්ටයි මටයි. එදත් අමන් ඇවිත් හිටියේ නෑ. (ඒ යක්ෂ පැටියා එහෙම්මමයි. හිටි-හිටි ගමන් දවස් ගණන් වැඩට එන්නේ නෑ. මොකද මංදා, Mr. Aheer වුණත් ඒ නොපැමිණීම ගැන කෙඳිරි ගෑවේවත් නෑ. එයා අමන්ට ලොකු නිදහසක් දීලයි තිබ්බේ.) ඒකයි එදාත් බල්නූර්ව මගෙත් එක්ක වැඩට දාලා තිබුණේ.

බල්නූර් ප්‍රසාද්ට ඇඳුම් මදින හැටි ටියුෂන් දෙන්න පටන් ගත්තා.

“මොකක්ද උඹේ නම කිව්වේ...” කන්නාඩි කුට්ටම පිස දමමින් අහීර් මහතා නවකයාගෙන් ඇහුවා.
“ප්‍රසාද් සර්.” දඬු මානා උත්තර දුන්නේ ගෞරව පුරස්සරව.

‘මෙයා කී දවසක් මෙහෙ ඉඳියිද දන්නෑ.’ මං මටම කොඳුර ගත්තා. ඒ තරමටම එක එක හාදයන් අහීර් මහත්තයාගේ ගාමන්ට් එකට අලුතෙන් ආවා. ඒ වගෙම ඉක්-ඉක්මනින්; දවසෙන්- දෙකෙන්- තුනෙන් ඒ එන අය නෑවිත් ඇරියා. ඒ ඔක්කොමලම ඉන්දියාවෙන් හොරෙන් ආව උදවිය පාටයි. එහෙම අයගෙ ‘තාවකාලික නවාතැන’ වුණේ ඒ ගාමන්ට් එකද මංදා...

“ප්‍රසාද්! ප්‍රසාද්... You have to work with Nimal. නිමල් නං පැයෙන් දෙකෙන් අල්ල ගත්ත වැඩේ කරන ක්‍රමය... හරි නං උඹට ඊටත් ඉක්මනින් වැඩේ පුළුවන් වෙන්න ඕනේ... කිව්ව නේද උඹ ඉංජිනේරුවෙක්ය කියලා.”

“IT ඉංජිනියර් කෙනෙක් සර්!” ප්‍රසාද් කිව්වේ ලජ්ජාවෙන් වගෙයි.
එතකොට අහීර් මහත්තය  හිනා වුණේ ඔලොක්කුවට වගෙ කියලයි මට හිතුණේ.
“ඇත්තටම... දැන් ඉන්දියාවේ IT ඉංජිනියර්ස්ලා හරියට ඉන්නවා නේද රස්සාවල් නැතුව... හා හා ඒකෙන් කමක් නෑ... අපි අපේ වැඩේ කරමුකො.” කියාගෙන එයා ගියා.

බල්නූර් ප්‍රසාද්ට ඇඳුම් මදින හැටි ටියුෂන් දෙන්න පටන් ගත්තා.
ඒ අතරේ ලැබුණු ඉඩකඩෙන් ප්‍රයෝජන අරං මං ප්‍රසාද්ගේ full scan එකක් කරගත්තා.

කොල්ලා උසයි, කෙට්ටුයි. හීනි උඩු රැවුලක් තියෙනවා. ඇඳගෙන හිටිය කමිසයේ උඩම බොත්තමත් පියවලා හිටියේ ටයි පටියක් බඳින්න වගෙ. බඩයි පුකයි දෙකෙන් එකක්වත් නැති පිරිමියෙක්... එයාට හොඳ පිරිමි පෙනුමක් තිබුණට මොකෝ, ප්‍රසාද්ගේ මොකක්දෝ නෝංජල්- ඔතෑනි ගතියකුත් තිබ්බා.
අනෙක, කොල්ලා කියල ටිකකට කලින් මං කිව්වත් එයාට තිස්පහක්වත් ඇති කියලයි මට හැඟුණේ.

බල්නූර්ට සිද්ද වුණා සැහෙන වෙලාවක් ප්‍රසාද්ට උගන්වන්න. ප්‍රසාද් slow coach කෙනෙක්!

මං කලින් ඔයාලට කියල තියෙන විදිහට මොන item එකක් අයන් කළත් ඒක කෙරුණේ කොටස් දෙකකට; දෙන්නෙක්ගේ අතින්. ඉස්සෙල්ලාම කොටස මදින්නේ මං. දෙවෙනි කොටස මදින්නේ මට ඉස්සරහ අයනින් ටේබල් එකේ ඉන්න කෙනා. මං slow වුණොත් තමයි ඉස්සරහ table එකේ ඉන්න මනුස්සයට නිවනක් හම්බ වෙන්නේ. එයා ඒ කොටහ මදින්නේ හෙමින් නං මටත් බලාගෙන ඉන්න හම්බ වෙනවා.

ප්‍රසාද්ට පාඩම් කියා දීලා බල්නූර් පැත්තකට වුණා. ප්‍රසාද් ස්ත්‍රික්කය අතට ගත්තා- අර මං කියාපු ඔතෑනි තාලෙන්... අයිටම් එකේ එයාගේ කොටස මැදලා- hanger එකට දාලා රැක් එකේ එල්ලන්න ප්‍රසාද්ට වරුවක් ගියා.

අපි දෙන්නා මෙයාට උදව් කරමු!

ඒ හරිය කෙරෙද්දී අහීර් මහත්තයත් ආපහු එතැනට ඇවිත් උන්නේ. එයා අත ඔලුවේ ගහගත්තා. “ඔය speed එකෙන් වැඩ කළොත් නං මාසයක් යන්න කලින් මට ෆැක්ටරිය වහන්න වෙනව මිනිහෝ. Orders එකක්වත් වෙලාවට දීගන්න බැරිව...” අහීර් මහත්තයා කියාගෙන ගියේ ඉංග්‍රීසියෙන්.

ප්‍රසාද් පව්!
කර බාගෙන, ඔලුව පහත් කරගෙන, යටහත්-පහත්ව අහගෙන හිටියා මිස ‘හ්ම්’ කියලවත් කිව්වෙ නෑ.
“බල්නූර්, තමුසේ නිමලුත් එක්ක වැඩේ continue කරනවා. ප්‍රසාද්- හොඳට බලාගෙන ඉන්නවා මෙයාල වැඩේ කරන විදිහයි, ස්පීඩ් එකයි. මම උඹට පැයක් දෙනවා බලාගෙන ඉඳලා ඉගෙනගන්න. Job එක ඕනි නං...”

අහීර් මහතා ගියාට පස්සේ බල්නූර් එයාලගේ බාසාවෙන් මොන-මොනවදෝ දිග හෑල්ලක් ප්‍රසාද්ට කියාගෙන කියාගෙන ගියා.
‘උඹට පුළුවන් / Don’t වොරි / Try කරපං / අපි උඹට help කරනවා බ්‍රදර්’ වගෙ සමහර ඒවා නං මටත් තේරුණා. ඒවා අහගෙන ඉඳිද්දී ප්‍රසාද්ගේ ඇස් කෙවෙණිවල කඳුළු උතුරන්න ඔන්න මෙන්න කියලා... මං ඒ විත්තිය නොදුටු ගාණට උන්නා. ගොඩක් පිරිමි කැමති නැහැනෙ තමනුත් අඬනවා වෙනින් උදවිය දකිනවට!

“නිමල්, අපි දෙන්නා මෙයාට උදව් කරමු බ්‍රදර්. උඹ කැමතියි නේද?” පැය ගතවෙන්න කලින් බල්නූර් ඇහුවා. මං කැමැත්ත ඇඟෙව්වේ ‘ඔලු බාසාවෙන්’.

“ප්‍රසාද්. දවසක් දෙකක් යනකල් නිමල් බ්‍රදර් උඹ මදින්න ඕනි කොටසෙනුත් ටිකක් අයන් කරලා දෙයි. බොස්ට ඕනි production එක අඩු වෙන්නැතුව තියා ගන්නනේ. මමත් එයාට කියන්නං ටාර්ගට් එක චුට්ටක් අඩු වුණත් ගණන් ගන්න එපැයි කියලා. සමීරාටත් කියන්නං උඹල දෙන්නා මදින මදින ටික ඉක්මනටම අයින් කර ගන්නයි කියලා. එතකොට ෂේප්!”

ඒ ටික ඇහෙනකොට නං ප්‍රසාද්ගේ මූණේ තිබ්බ අඳුරු වලාකුළු ඈතට පාවුණා.
බල්නූර්ගේ සම්‍යක් ප්‍රයෝගය නියමෙට වැඩ කළා. “බොස් කිව්වා ප්‍රසාද්ව වැඩට ගන්නවයි කියලා.” ඒ සතුටුදායක පණිවිඩේ ගෙනාවෙත් බල්නූර්මයි.

එදා හවස වැඩ ඇරිලා ෆැක්ටරියෙන් එළියට බහිද්දී ප්‍රසාදුත් මං එනතුරු ගේට්ටුව ළඟ නැවතිල හිටියා. “ඔයා එනකල් උන්නේ!”
“ඇයි?”
“ඇයි කියන්නේ... බල්නූරුයි ඔයයි දෙන්නා අද මගේ ජීවිතේ බේරුවා නිමල්... මට ජීවිතෙත් එපා වෙලා හිටියේ නිමල්... උදව්වට කවුරුවත් නැතුව, රස්සාවකුත් නැතුව, ජීවත් වෙන්න ක්‍රමේකුත් නැතිව එංගලන්තේ තනි වෙලා හිටිය මට...” ප්‍රසාද්ගේ කතාව නැවතුණේ ඉකියකින්. ඊළඟට ඉකිය වෙනුවට තඩි හීල්ලීමක්. “මට මේවා කියා ගන්නවත් කෙනෙක් නැතුවයි හිටියේ නිමල්.”

වලත්ත මට හොඳටම දැනුණා මාව උණුසුම් වේගෙන යන හැටි... මගේ ඉඳුරන් අවදි වේගෙන එන හැටි...

එතකොටම මට මතක් වුණේ පාලිව.

මං එදා පාලිත් එක්ක ටික වෙලාවක් කතා කෙරුව නං; එයාගේ හිතේ හිර කරගෙන හිටිය දේවල්වලට ඉවසිල්ලෙන් ඇහුම්කන් දෙන්න නැවතුණා නං... පාලි ජීවිතේ නැති කර ගන්නෙ නැතිව ඉන්න තිබුණා කියලමයි අදටත් මං හිතන්නේ.

'වෙනදට නං තමුසේ මෙලහටත් බස් ස්ටොප් එකේනෙ. එංගලන්තේ බස් වෙලාවට වැඩ නෙව. අද නං පුරුදු bus එක miss වෙනවා ෂුවර්!' මගේ හිත මට මතක් කෙරුවා...
ඒත් කමක් නෑ. ප්‍රසාද්ට කන් දෙනවා!!

“අපි bus stop එකට යනකල් ඇවිදගෙන යමුද ප්‍රසාද්? ඒ අතරේ ඔයා මට කියන්නකො ඕනි දෙයක්... බස් ස්ටොප් එකේත් මේ වෙලාවට කවුරුවත් නෑ. අපි දෙන්නට එතැන වාඩි වෙලා නිදහසේ කතා කරන්න පුළුවන්.”
මං එහෙම කිව්වා විතරයි ප්‍රසාද් මගේ අත ඩැහැගත්තා.
“Are you ෂුවර්? උඹට වෙලාවක් තියෙනවද නිමල් මාත් එක්ක කතා කර-කර ඉන්න.”
“No doubt ප්‍රසාද්... මං අහගෙන ඉන්නං... උඹට කැමති තරමක් කතා කරනකං.”

ප්‍රසාද් උන්නු තැනම නැවතුණා. මිනිහට මගේ කීම විශ්වාස නෑ වගේ. තත්ත්පරයක් ගල් ගැහිල බලාගෙන හිටි ඒකා එක පාරටම ඉස්සරහට පැනලා මාව බදා ගත්තා.
හීනෙකින්වත් නොහිතපු hug එකක්!

කියන්නත් ලජ්ජයි...
ඒ මනුස්සය එහෙම මාව වැළඳගන්න ඇත්තේ සතුටින් උදම් වෙච්ච හිංදා කෙළෙහිගුණය පෙන්වන්න වෙන්නැති.
ඒත් මං?
වලත්ත මට හොඳටම දැනුණා මාව උණුසුම් වේගෙන යන හැටි... මගේ ඉඳුරන් අවදි වේගෙන එන හැටි...

ඉතිරි හරිය ඊළඟ කොටසින්...

13 comments:

  1. https://kinseyinstitute.org/news-events/news/2017-12-18-gaydar.php

    ReplyDelete
    Replies
    1. ලින්කුව එව්වාට ගොඩාක්... ගොඩාක් ස්තුතියි Pra Jay මහතාණෙනි.

      Delete
  2. අනේ තෝ වාගේ නාකි වනචරයෙක්

    ReplyDelete
  3. නිදී ඇත්තටම මේ විෂයය ගැන ලංකාවේ ප්‍රවීණ දේශපාලන නායකයෝ එක්ක සජීවී රූපවාහිනී සංවාදයක් කළෝත් නරකද?

    හැබැයි අර ආණ්ඩු පක්ෂයේ ලක්මාලි හෙවත් බුකියේ කියන විදියට ලැට්මාලි කක්කුස්සි කටී වගේ උන් නැතුව ලාල් කාන්ත සහෝදරයා වගේ කෙලින් කතාකරන හොඳ මිනිස්සුන්ව ගෙන්නන්න ඕනේ මේකට ඇත්තටම බන් නිදී මට වෙලාවටක හිතෙනවා ජාතික ජන බලවේගය දැන් නාමල්ව ඉස්සරහට ජනාධිපති කරවන්න මෙව්පාර බලෙ ගත්තද කියල රාජපක්ෂ කල්ලියේ දිගුකාලීන සැලසුමකට අනුව. මොකද හතරගාතෙන් වැටිලා හිටපු නාමලා ඔලුව ඉස්සුවෙ මේ ආන්ඩුව ආවාම . ඇත්තම කිව්වොත් කපටි රනිලගෙ කාලෙ පවා ඌට කෙලම වෙලා තිබ්බෙ. නමුත් දැන් මේ JVP එකේ උන් දිනපතාම තරගෙට කරන මරි මෝඩ තකතීරු වැඩ කරන හැතිකරේ කරන ගොන් වැඩ වලින් අරූ එන්න එන්න පොර වෙනවා. . අනික මේ ලක්මාලි මෙ වගෙ මලහෝන්තුවක් ටීවී එකට එන හැම පාරම අඩුම ජන්ද 1000ක්වත් කැඩෙනවා. එහෙම එකෙ මෙකිවම හැමදාම ගෙන්නන්නෙ ඇයි බන් නිදී 🥲🥲. දෙරණේ උන් පැන පැන ඒකිටම ආරාධනා කරනවා හිරු එකත් එහෙමමයි මේක කුමන්ත්‍රණයක් වෙන්න ඕන නේද?

    ReplyDelete
    Replies
    1. කවුරුන් එක්ක- කුමක් ගැන වුණත් සංවාද කිරීම හොඳ දෙයක් විදිහටයි මං හිතන්නේ. එතකොට අහගෙන ඉන්න අයටත් යාමක් ඉගෙන ගැන ඇහැකියිනෙ.

      Delete
  4. යතාර්ථය, සමාජ සම්මත වලට වඩා වෙනස් වුනාම නොයෙක් බාධක, අපහාස, කෙනහිලි වලට මුහුණ දෙන්න වෙනවා. විශේෂයෙන්ම ගතානුගතික සමාජ වලදී

    At 17, I Gave My Baby Up

    ReplyDelete
    Replies
    1. වෙනස් විදිහට යමක් කෙරෙනකොට ඒක විවේචනය කිරීම ලෙහෙසියි නෙව බකුසුතුමෝ. හැබැයි එහෙම කරන සමාජයම වාලම්පුරිය ශුද්ධ වස්තුවක් ලෙස දකිනවා.

      Delete
    2. ඔයා එවා තිබෙන link එකට ගියා- කියෙව්වා. අනුවේදනීය කතාවක්.
      පුදුම වැඩේ කියන්නේ බස්සෝ- ඊයේ රෑ මං බලපු ෆිල්ම් එකත් උපන් ගමන් බිලිඳුන් දෙන්නෙක් මාරු වීම පිළිබඳ කතාවක්නේ. Samshayam (2025)

      Delete
  5. ඒ මනුස්සයට උදව් කරපු එක ලොකු දෙයක් . කෙනෙකුට තව කෙනෙක් කියන දේ අහගෙන ඉන් පුළුවන් කැමති ලොකු දෙයක් .

    ReplyDelete
    Replies
    1. අහගෙන ඉඳීමේ පාඩම මම ඉගෙන ගත්තේ පාලිගේ මරණයෙන්. ඒකයි මට තවමත් දුක අජිත් මහත්තයෝ.

      Delete
  6. සාරි ඇඳපු පිරිමි කියවලා බලන්න ඕනේ. ඒගොල්ලන් අතරත් පංති භේදයක් තියන පාටයි. ඉහල පංතියේ අය ඒ බව වහගෙන හිටියා ලලිත් වගේ අය සමච්චලයට ලක්වුණා.

    ReplyDelete