අකුරු මැකී නෑ

Friday, October 31, 2025

උපන් දිනේ පට්ටන්දරේ - දෙවෙනි කොටස

2015.10.01-
දීපානිලා එංගලන්තයෙන් පිටත් වෙන්නේ අද.

අදයි සර්ප්‍රයිස් පාටියේ හැංගිලා තිබුණු විස්තර එළිදරව් වුණේ... Samගෙනුයි, නෙවිල්ගෙනුයි. ‘ ග්‍රෑන්ඩ් මොනාර්ච් ඉම්පීරියල් එක හොඳයි කියලා recommend කළේ දීපාල්. ඒකේ ජැපනීස් රෙස්ටෝරන්ට් එක තෝරගත්තේ අපි.’
“දන්නවද? ඔයාට නොදැනෙන්න ඔයාව එහාට
ගෙන්න ගන්න plans තුනක් අපිට තිබ්බා.”

කැවුම්, කොකිස්, දොදොල්, කෙසෙල් එහෙම සේරම ගත්තා. ආස්මීත් හැදෙව්වා. චූටි නංගි කිව්වා මැතිව් හරි ආසයි කියලා ආස්මීවලට... (ෆොටෝ- මැතිව්)

“ප්ලෑන්ස් තුනක්?

‘ඔව් හලෝ. Plan A, B, C... එකක් හරි නොගියොත් ඊළඟ එකට...’ නෙවිල් කිව්වා. “පීරිස්ට එන්න බැරි වෙච්ච නිසා plan A අතාරින්න වුණා. Plan B තමයි හරි ගියේ...”
“එතකොට Plan C එක මොකක්ද?” මං ඇහුවා.
“ඒක රහසක් විදිහටම තිබිච්චාවෙ. ඉස්සරහට හරි වැඩක් ගන්න බැරියැ!” කියලයි නෙවිල් කිව්වේ- කෙලින්ම උත්තරයක් නොදී.

2025.10.02-
“ලොකා, අද පාන්දර පහට විතර චූටිලා මෙහාට ආවා.” මානෙල් උදෙන්ම කතා කරලා කිව්වා. “මෙන්න චූටිටත් ඕනලු ඔයාට කතා කරන්න...”
“හායි ලොකූ... ගුඩ් මෝනින්! ඔන්න ලොකූ තව ටිකකින් අපි පන්සලට යනවා. ඊට පස්සේ අපි ඉස්සෙල්ලම ඔයාව බලන්න එනවා...”
“පිස්සුද චූටි? ඔයාට අද දවසේ කී දෙනෙක්ව බලන්න යන්න තියෙනවද? මං හවසට නෙවිල් අයියත් එක්ක ඔහෙට්ට එනවනේ... අනික අද රෑටත් මම ඉන්නේ ඔහෙනේ. එතකොට හම්බ වෙමු. ඒ මදැයි... ඔයාගේ වෙලාව ඉතිරි කර ගන්න ඕනිනේ.”

“නෑ නෑ ලොකූ, I must see you first!”

“It’s up to you... කෝ- රෝසි එහෙම ළඟ ඉන්නවද? ඉන්නවා නං...”
“ඉන්නවා ඉන්නවා... රෝසා, මෙන්න ලොකු මාමට ඕනිලු ඔයාට කතා කරන්න.”
“ඇයි ලොකු මාමේ...”
“මම දන්නවා, ඔයා b’day කේක් එකක් හදවනවා නේද? ඒකේ සුනිල් මාමගේ නමත් දාන්න. අපි දෙන්නම එකතු වෙලා හෙට කේක් එක කපන්නං. සුනිල්ගේ උපන් දිනේ සැප්තැම්බර් 26 වෙනිදනේ...”

මම එහෙම කිව්වේ මට දැනෙමින් තිබුණු පසුතැවිල්ල අඩු කර ගන්නයි. මොන හේතුවකටද මංදා ඒ කාලේ ඉඳලම මගේ උපන් දිනය තරමක් හෝ ජයටම සැමරුනා. අපේ පවුලේ අනිත් අයට ඒ chance එක ලැබුණේ අඩුවෙන්. ඒකයි මට දුක...

ඊට පස්සේ මං මානෙල්ගෙන් ඇහුවේ එයාලගේ සැලසුම් ගැන. “මොනවද මානි ගෙනියන්න ගන්නේ?”
“ඔයා මොකුත් ගන්න ඕනි නෑ. පොඩාලට කිව්වා කිරිබතක් විතරක් හදන්න. කැවුම්, කොකිස්, දොදොල්, කෙසෙල් එහෙම සේරම ගත්තා. ආස්මීත් හැදෙව්වා. චූටි නංගි කිව්වා මැතිව් හරි ආසයි කියලා ආස්මීවලට...”

රෝසිලගේ ‘කල එළි මංගල්‍යය’ තිබ්බෙත් ඔය සමන් දේවාලේදී... (ඉදිරි පෙළේ මැදින්ම සිටින්නේ රෝසියි.)

දෙවෙනිදා හවස අපි මානිල ගෙදරට ගියා.

පහුවදා පාන්දරින් නැඟිටින්න තියෙද්දිත් අපි පරණ කතන්දර සජ්ජායනා කරමින් උන්නේ හරිම ආසාවෙන්. “ලොකාල නිඳා ගන්නෙ නැද්ද? හතරහමාරට වාහනේ මෙහාට එයි.” ගාමිණී මතක් කළාමයි අපේ ආ-ගිය කතන්දර කීල්ල නැවතුණේ.

2025.10.03-
හතරහමාර වෙද්දී වාහනේ ආවා. එතකොටත් අපි සේරමලා ලෑස්තියි.

“බලංගොඩටනෙ යන්නෙ... ඉංගිරියට ගිහිං රත්නපුර පාරේ යමු නේද?” රියැදුරු මංජුල ඇහුවා. නෙවිල් එක පයින්ම කැමැත්ත දුන්නා. මං එයාලගේ තේරීමට විරුද්ධ වෙන්න ගියේ නෑ. ඒත් ඒ (A 8) පානදුර- රත්නපුර පාරට මගේ නං එච්චර කැමැත්තක් නෑ- වංගු වැඩි හිංදා.

“මේ පාරෙන් යන නිසා රත්නපුරේ සමන් දේවාලෙටත් ගිහිං යමු. දීපානි දන්නවද රෝසිලගේ ‘කල එළි මංගල්‍යය’ තිබ්බෙත් ඔය සමන් දේවාලේදී...”
“මොකක්ද ලොකූ කල එළි මංගල්ලේ කියන්නේ?”
“හොඳටම උඩරට නැටුම් ඉගෙන ගත්තට පස්සේ තමයි පිරිමි අයට වෙස් බඳින්නේ. ඒකට ගුරුතුමා සැටිස් වෙන්න ඕනි. අර ඔටුන්නක් වගෙ වෙස් තට්ටුව බැඳලා තමයි උඩරට නැට්ටුවෝ නටන්නේ... සාමාන්‍යයෙන් ලංකාවේ ගෑනු අයට වෙස් තට්ටුව පළන්දන්නේ නෑ- පාහිම් පත් බඳිනවා විතරයි. නැටුම් ගුරුවරයෙක්ගේ හොඳම ගෝලයන්ට වෙස් බැඳලා- පාහිම් පත් තියලා ප්‍රසිද්ධියේ නටන මුල්ම show එකට තමයි කල එළි මංගල්‍යය කියන්නේ...  රෝසි, තමුසෙ කට වහගෙන ඉන්නේ- කියල දෙනවකො දීපානි පුංචිට ඒ විස්තර...”
“ලොකු මාමා ඔක්කොම විස්තර කිව්වනේ! වෙන මොනවද කියන්නේ?”

“මට තියෙනවා question එකක්... ඇයි ගෑනු අයට අර මොකක්ද- වෙස් තට්ටුව බඳින්නෙ නැත්තේ... It’s unfair...” දීපානි විමසයි.

“මේකනේ පුංචි. ඒක තමයි සම්ප්‍රදාය... ගොඩ කාලෙක ඉඳලම තියෙන tradition එක.” රෝසි විස්තර කියයි. “රැජිනි සෙල්වනායගම් මැඩම් එයාගේ ගෝල ගෑනු ළමයි කීප දෙනෙකුට වෙස් තට්ටුව පළන්දලා වෙනසක් කළා... හැබැයි ඒ trend එක දිගට ගියේ නෑ.”

“රෝසි දන්නවද? අපි දන්න ගෑනු ළමයෙකුත් එදා වෙස් බැන්දා. Show එක තිබ්බේ මහරගම ජාතික තරුණ සේවා සභාවෙ. මතකද නෙවිල්... අපි දෙන්නත් ගියා ඒක බලන්න. හැබැයි එදා මට හිතුණේ සම්ප්‍රදාය මොක වුණත්, ගෑනු ළමයින්ට වෙස් තට්ටුව ගැළපෙන්නේ නෑ කියලයි...”
“ඔව් දීපානි. ඒක දැම්මාම ගෑනු ළමයින්ගේ සියුමැලිකම නැති වෙනව වගෙ!” නෙවිලුත් මගේ පැත්තට...

දීපානි විවේක වේලාවන්වල සුපැතුම් පත් නිර්මාණය කරයි; අන්තර්ජාලය හරහා ඒවා අලෙවි කිරීමත් කරයි. (ෆොටෝ- මැතිව්)

අපේ කතාබහ මැතිව්ටත්, ස්ටෙෆ්නිටත් තේරෙන්නේ නැත. එයාලාට සිංහල තේරෙන්නේ යාන්තමිනි. ඒත් සිංහලෙන් උත්තර නොදී ඉන්නටය ඒ දෙන්නාගේ කැමැත්ත...

අප කිරිඇල්ල හරියට යද්දී වටින්-ගොඩින් එළිය වැටිලාය. මැතිව් හරි බිසිය. ඈතින් පෙනෙන අළු පැහැති කඳු පන්ති අතරින් වලාකුළු මවන නෙක රටාවන් මැතිව් ෆොටෝවලට ගනියි.
“Matthew is a very clever boy! ඔව් මානෙල් අක්කේ- මැතිව්සුත් මං වගෙම greeting cards හදනවා. ඒ ටැලන්ට් එක එයාටත් තියෙනවා...” දීපානි කියන්නේ උද්දාමයෙනි.
දීපානි විවේක වේලාවන්වල සුපැතුම් පත් නිර්මාණය කරයි; අන්තර්ජාලය හරහා ඒවා අලෙවි කිරීමත් කරයි.

“මවුන්ටන්ස්... mountains...!” හිමන්‍යා වාහනය දෙදරවන හඬින් උඩ පනියි. කෙල්ල කඳු පන්ති- වනාන්තර ආදියට හරි කැමතිය. “අපි දැන් බලංගොඩ නේද නෙවිල් සීයේ?”
“ඒකට තව ටික දුරක් යන්න ඕනි හිමා. මේ රත්නපුරේ... සමන් දේවාලේ... එහාට ගිහිං ඇවිත් අපි කෙලින්ම බලංගොඩට යනවා.”

“අනේ! ටෝනි මං එනකං බලාගෙන ඉන්නවා ඇති...” හිමන්‍යා ටෝනි කිව්වේ සුනිල්ලගෙ ගෙදර ඉන්නා පූසාටය!
“ඔව්, ඔව්... සුනිල් සීයා ටෙලිෆෝන් එකෙනුත් කිව්වා ටෝනි ඔයා එනකල් බලාගෙන ඉන්නවා කියලා.”
“මානෙල් ආච්චි බොරුමයි කියන්නේ... පූසොන්ට කතා කරන්න බැහැනෙ.” හිමන්‍යා එක්ක යමක් කියා පිරිමැසීම ලේසි නැත. කතාවේ අං-කොන් සේරම හගිස්සන කෙල්ල අවුරුදු පහක දැරියක් වුණත් වයසට වඩා බුද්ධිමත්ය.

‘ඔන්න හිමා වැරදි වැඩ කරන්නේ බලාගෙන... දෙයියො අහසේ උඩ ඉඳගෙන අපි දිහා බලාගෙනයි ඉන්නේ.’ වතාවක් මානෙල් හිමන්‍යාට කියා තිබේ.

“එතකොට මේ බඩ්ඩ චුට්ටක් කල්පනා කර කර ඉඳලා මගෙන් අහනවා -දෙය්යෝ උඩ ඉඳලා කක්කා දානකොට ඒවා කොහාටද වැටෙන්නේ- කියලා...” ඊට පස්සේ මානි හිමා මිනිබිරියට යමක් කියන්නේ ඉතා පරෙස්සමිනි.

“මානෙල්, පොඩ්ඩා ඔයාට ෆෝන් කළාද?”
“ඔව් ලොකා... එයාලා කිරිබත් හදලත් ඉවරයිලු. මං කිව්වා සමන් දේවාලය වැඳලා මෙහෙන් පිටත් වෙනකොට පොඩි අයියට කියන්නං කියලා.”
“ඒ කියනකොට සුනිල්ලට කියන්න පොල් බෑයකුත් ගාල තියන්නයි කියලා.” ඒ විත්තිය ඇහුණු ගමන්ම ඇවිස්සුණේ නෙවිල් උන්නැහේය.

සෑම්- දීපානි අනිල්ගේ කට්ටිය බලන්නට ගිහිං...

“ඒ මොන ලජ්ජ නැති වැඩක්ද හලෝ... කොයි රටේද කැවුම් කිරිබත් එක්ක ගාපු පොලුත් කන්නේ?”

“කවුද කිව්වේ ගාපු පොල් කන කතාවක්... මං අග්ගලා හදන්න හාල් බැදලා කුඩු කරගෙන ආවා. ඒකටයි මනුස්සයො පොල්.”
“නෙවිල් අයියේ... දේවාලෙට ගිහිං ඇවිත් ඔයාලගෙ රණ්ඩුව කරමු නේද? පරක්කු වෙලා බෑ. අපිට බඩගිනිත් එක්ක...” ඒ මානෙල්.
“එහෙනං ආපහු ආවම බිස්කට්ස් දෙන්නං!” මේ දීපානි.

“ලොකු සීයේ... I am going to help you. එන්න... මගේ අත අල්ලගෙන යමු...”
“Thanks Hima. It’s very kind of you!”
“එහාට ගියාම මේ මල්වලින් ටිකකුත් මං ඔයාට දෙන්නංකො ලොකු සීයේ පූජ කරන්න... රතුපාට ඒවයි- සුදුපාට ඒවයි දෙකෙන්ම දෙන්නං. හාද?”

“චූටි, අපි ආපහු ආවාම මං කියන්නං ලස්සන කතාවක්. අපේ මහරගම සීයා ගැන... මට මතක් කරන්නකෝ.”

හිමිදිරි පාන්දර නිසාත්, සතියේ දවසක නිසාත් සමන් දේවාලයේ උන්නේ බැතිමතුන් කිහිප දෙනෙකු පමණි. පමා වෙන බැවින්දෝ අපේ නඩේ සැදැහැවතුනුත් වන්දනාවට ගත්තේ කෙටි කාලයකි. යදමින් බැඳ දමා තිබුණු අලි ඇතුන් වෙත ‘අනිමිස ලෝචන පූජා’ පැවැත්වීමට ඔවුහු ඊට වඩා දිගු කාලයක් ගත කළහ.

“මොකක්ද ලොකු මාමේ මහරගම සීයාගේ කතන්දරේ?” පවුලේ අතීත කතා අහන්නට කැමති රෝසි මතක් කරයි.

”සීයා වැඩ කළේ රේල්ලුවෙනේ. එතකොට එයාලා ඉඳල තියෙන්නේ රත්නපුරේ. මේ කියන කාලේ අපේ තාත්ත පොඩි එකෙක්. ඒ දවස්වල සීයා හෙණ හැන්ඩියාලු. ටීචර් කෙනෙක් එක්ක හුටපටයකුත් තිබිලා ආච්චිලට මාට්ටු වෙලා. ඒ වෙලාවේ සීයා law point එකක් දාලාලු බෙල්ල බේරා ගත්තේ. එච්චරට මොළයක් තිබිච්ච සීයා හිටි ගමන් විශ්වාස කරන්නත් බැරි තරං තකතිරු වැඩත් කරල තියෙනවා... ඒකයි පුදුමේ!”

“අපෝ. ඒකෙ කිසිම පුදුමයක් නෑ... දිසානායකලාගේ හැටි එහෙම්මනේ... මතකනෙ නිමල් දිසානායක සරුංගල් දානයක් දීලා කරගත්ත හුටපටේ...”

“ලොකු අයියගේ කතාව ඉවර කරන්න දෙන්නකෝ නෙවිල් අයියේ. ඊට පස්සේ ඔයා අපට කියන්න ඒ සරුංගල් දානෙ කතන්දරේ...”
“එකට සීයක් කියන්නංකො දිසානායකගේ මෝඩකම් නං...”
“සීයක්? සීයක් නෙවෙයි- පහක්... පහක් කියනවා පුළුවනි නං.”

අපේ නඩේ සමන් දේවාලය ළඟදී...(ෆොටෝ- මැතිව්)

“හරි, හරි. ෂේප් ෂේප්. Silence please... ලොකූටයි දැන් චාන්ස් එක. සීයලා රත්නපුර ඉඳිද්දී මොකද ලොකූ වුණේ?”

“මේ සමන් දේවාලේ අවුරුද්දකට වතාවක් ලොකු පෙරහරක් තියෙනවා... ඒක දවස් ගණනාවක් තිස්සේ තියෙන උත්සවයක්. පළාතේම සෙනඟ එනවලු පෙරහර දවස් ටිකේ. අපේ ආච්චිත් හෙණ බිස්නස් මයින්ඩඩ් අම්මණ්ඩි කෙනෙක්ලුනෙ...”
“අපේ Sam වගෙ!”
“මට කියන්නේ? දැන් තමුසේ නේද චූටි business woman කෙනෙක් වෙලා තියෙන්නේ...”
“ඒ පාර උඹල දෙන්නා පටන් ගත්තද? කට වහගෙන හිටහල්ලකො ලොකාට කතාව කියන්න දීලා.” මානෙල් ස්වේච්ඡාවෙන්ම කතානායක ධුරය බාර ගෙනය. “ඉතිං ඉතිං...”

“ඉතිං සමන් දේවාලෙ පෙරහර කාලෙට දාන තාවකාලික කඩවලින් එකක් ආච්චිත් අරං... ඒකෙ සරුවත් කඩයක් දාලා. කඩේ වැඩට කොල්ලෙකුත් අරගෙන. සීය තමයි ඒ කොල්ලත් එක්ක සරුවත් බිස්නස් එක කරගෙන ගිහිං තියෙන්නේ- ආච්චිගේ මැහුම් වැඩත් ගොඩ ගැහිලා තිබ්බ හිංදා.
දවස් දෙක තුනකට පස්සේ දවසක රත්නපුරේ ලොක්කෝ වගයක් සෙනඟකුත් පිරිවරාගෙන ආච්චිව හම්බ වෙන්න ඇවිත්. ඒ මිනිස්සු ඇවිත් තියෙන්නේ හොඳටම කේන්තියෙන්. ‘මොකක්ද හාමිනේ මේ කරන නොහොබිනා වැඩේ තේරුම. චාර්ල්ස් මහත්තයාත් අඩු කුලේ එක්කෙනෙක්ද? අර පදු කොල්ලව සරුවත් කඩේ කැෂියර් කූඩුවෙන් වාඩි කරවලා ඉවර වෙලා උන්නැහේ පක්කලි වැඩ ටික සේරම කරන්නේ... හාමිනේලා ගැන දන්නා හින්දයි කියලා යන්න ආවේ... රත්නපුරේ ඉන්නේ වංශවත් අපි වගෙ උදවිය. හාමිනේ අදම ඒ පද්දාව කඩෙන් එළවලා දාන්න ඕනි. චාර්ල්ස් මහත්තයා කිව්වත් ඌට වටින්නේ නැහැනෙ කැෂියර් පුටුවේ වාඩි වෙන්න. උන් දැනගන්න ඕනි ඇඟිල්ලේ තරමට ඉදිමෙන්න. ඌව එළෙව්වේ නැත්තං අපි අදම හාමිනේලගේ සරුවත් කඩේ කුඩු කරලා ගිනි තියල දානවා.’ කියලලු ඒ මිනිස්සු ගියේ. ආච්චි එවෙලෙම කඩේට යනකොටත් සීයා පරණ හම්පඩයක් ඇඳගෙන වීදුරු හෝදනවලු... අර කොල්ලා කැෂියර් පුටුවෙලු... ආච්චි එවෙලෙම ඌව එළවලා...”

“Sorry loku... I couldn’t understand. Who is පද්දා? What is අඩු කුලේ?” දීපානිගේ මුහුණ විසඳීමට අසීරු ප්‍රහේලිකාවකට මැදි වුණු එකියකගේ වගෙය.
“It is cast... lower cast... Isn’t it loku?”

මේ පාරේ කිලෝ මීටර් හතහමාරක් විතර යන්න ඕනි! (ෆොටෝ- මැතිව්)

“ඔව් සෑම්. ඒ කාලේ ඔය කුල කතන්දරේ ගොඩාරියක් තදේට තිබ්බා. නාට්‍යයක වැඩවලට අපේ  ගෙදරට ආව අඩු කුලයක කෙනෙකුට සැලකුවය කියලත් සැරයක් ආච්චි අපට තඩි දෝස්මුරයක් දැම්මා...”

“මේ දිසානායක... ඔයා ඉස්සරහින් වාඩි වුණේ පාර කියන්න නේද. දැන් අපි බලංගොඩට ඇවිත් ඉන්නේ. ඉතිං පාර වරද්දගෙන ගෝරියක් දාගන්නේ නැතිව හරි පාර පෙන්නනවා මංජුට...”
“නෙවිල් හිතන්නේ මගේ රාජකාරිය මට අමතක වෙලයි කියලද? අතනින්... මංජු. අතනින් වමට; උඩහට තියෙන පාර... බදුලු පාර නෙවෙයි... රාස්සගල පාර. හරි! මේ පාරේ කිලෝ මීටර් හතහමාරක් විතර යන්න ඕනි.”

ඒ දුර ඩිංගිත්ත යන අතරේය, Sam ඉතිරි හරිය සැලසුම් කළේ.

“සුනිල්ලගේ වත්ත ඇතුළට වාහනේ ගන්න කලින් අපිට වාහනෙන් බහින්න වෙනවා... මිදුලේ ඉඳලා පාරට එනකල් ලොකු පල්ලමක්නෙ තියෙන්නේ...” නෙවිල් තත්ත්ව වාර්තාවක් දුන්නා.
“හැමදාම කරනවා වගේ පොඩි අයියා අපිව ගෙදරට යවලා යයි අපේ  bags ටික බාන්න...” මානෙලුත් කරුණු එකතු කළා.
“එතකොට මට තියෙන්නේ වාහනේ පිටිපස්සේ සීට් එකක් අස්සේ ගුළි වෙලා ඉඳලා ‘හග්’ කියලා පොඩි අයියගේ ඇඟට පනින්න. ඔන්න ඕගොල්ලෝ හිනා වෙලා වැඩේ කන්න එහෙම එපා... හොඳේ!”

ඒ විස්මය කොතෙක්දැයි කියන්නට කිසිම කැමරාවක් සමත් නොවෙනු ඇතැයි මට සිතේ! (ෆොටෝ- මැතිව්)  

හැමෝම හිනා වුණා නොව හිනා කෑවෝහ; 😂😂😂😂😂.
ඒත් අප එහෙම කළේ අපේ සුන්නා සමන්තිව දැකලා පුදුමයෙන් අත ඔළුවේ ගසා ගත්තාමය. ඒ විස්මය කොතෙක්දැයි කියන්නට කිසිම කැමරාවක් සමත් නොවෙනු ඇතැයි මට සිතේ!
 

තෙවෙනි කොටස තව දින කිහිපයකින්...

Thursday, October 23, 2025

උපන් දිනේ පට්ටන්දරේ - පළමුවෙනි කොටස

“ලොකා, චූටියත් මේ සැරේ ලංකාවට එනවලු.” මානෙල් කිව්වා. මානි දැන් නිතරෝම එයාගේ පුතා සුරංග, සමන්ති, දීපානි වගෙම බඩා මල්ලියා දීපාල් එක්කත් WhatsApp එකෙන් කතා කරනවා. එහෙම කතා කරලා එකතු කර ගන්න එංගලන්තේ තොරතුරු මටත් කියනවා.

”දීපානි විතරක්? තනියම... ළමයි පස් දෙනාවයි, සුදිත්වයි දාල එයා කොහොමද තනියම එන්නේ?”

එයාලා එන්නේ දවස් තුනකට... ස්ටෙෆ්නි, මැතිව් හා දීපානි (ෆොටෝ- නෙවිල්)

“තනියම නෙවෙයි ලොකා- ස්ටෙෆ්නියි, මැතිව්යි දෙන්නත් එනවා. ඔයාට නොකියම ඉන්නයි හැදුවේ. ඔයාව සර්ප්‍රයිස් කරන්න- ඔයාගේ උපන් දිනේට.”

“ඒකත් එහෙමද?”
“හැබැයි එයාලා එන්නේ දවස් තුනකට. හරියටම කිව්වොත් රෑ තුනයිලු ලංකාවේ ඉන්නේ. ඔක්තෝබර් පළවෙනිදා එහෙන් එනවා. දෙක පාන්දර මෙහෙ... හතර වෙනිදා රෑ ආපහු යනවලු.”
“එහෙම මොකටද යකඩෝ එයාලා එන්නේ? ඔච්චර සල්ලිත් වියදම් කරගෙන... දවස්  තුනකට... කොහාටවත් යන්නවත් වෙලාවක් නෑ වගෙයිනෙ.”
“චූටි නංගිගේ ආසාවනේ ලොකා. ඔයාගේ birth day එකට මේ සැරේවත් එන්නම ඕනි කියලයි එන්නේ. හැබැයි පොඩ්ඩලගේ ගෙදරත් යන්නම ඕනිලු...”
“ඇයි මනුස්සයෝ, බලංගොඩ ගිහිං එන්නත් දවසක් යනවනෙ. මඟටම කාලෙ ගත කරලා අර ළමයි දෙන්නටත් එපා වෙයි. ඊට නරකද සුනිල්ලටත් මෙහෙට එන්න කියනවා.”

“එහෙම බැහැල්ලු... ඒ හිංදා තමයි ඔයාටත් කල් ඇතිවම කියන්නේ- සර්ප්‍රයිස් කෙරිල්ල පැත්තකට දාලා.
දෙවෙනිදා උදේ ඉඳලා හවස් වෙනකල් චූටිට ඔයාවයි, සුදිත්ලගේ නෑදෑයෝයි, එයාගේ යාළුවොයි,
ලාල් අයියවයි බලන්න යන්න ඕනිලු. තුන් වෙනිදායි, හතර වෙනිදා උදේ වරුවයි free... චූටියා කියනවා ඔයාට plan කරන්නලු ඒ දවස් එකහමාර.” මානෙල් ඒ රාජකාරිය මට පැවරුවේ සැප්තැම්බර් මාසයේ මුල හරියේ දවසක.

“සමන්තිත් එනවද?”
“Sam චූටිට කිව්වත්ලු දවස් හතරක් නෙවෙයි, සුමානෙකටවත් යමු. එහෙම කරනවා නං එයත් එන්නං කියලා... දීපානි බැහැයි කියලනේ, ලොකා... ඉතිං සමන්ති එන්නැහැල්ලු.”
“ඕකෙ ආයේ අමුතුවෙන් plan කරන්න දෙයක් තියෙනවයැ මානි. තුන්වෙනිදා උදේ බලංගොඩ යනවා. එදා රෑ එහෙ ඉඳලා හතර වෙනිදා උදේ කෑමෙන් පස්සේ ආපහු එනවා. වෙන දෙයකට වෙලාවක් නෑ... හැබැයි, උදේ කෑමෙන් පස්සේ නෙවෙයි, දවල් කෑමෙන් පස්සෙවත් සුනිල් අපට එන්න දෙයිද කියලයි මට සැක!'

ඔය කතාබහ කෙරෙද්දී හෙට්ටිආරච්චිගේ නෙවිල් අනුරසිරි පෙරේරා හිතවතාත් හිමන්‍යා එක්ක සෙල්ලම් කරමින් එතැනම උන්නේය.

(නෙවිල්ගේ ස්වභාවය නං ඔහොම කතාවලට ඉඩදී, ඒවා කනකටවත් නොගෙන ඉඳීමයි.
එදා නං ඒ යක්ෂ පැටියා එහෙම නොකර අකුරටම ‘ඔත්තුකරුවෙක්’ වෙලාය! Spy කෙනෙක් වෙලාය!!
ඒ විත්තිය හෙළි වුණේ සති කිහිපයකට පස්සේය!!!

මෙතැන් සිට දින වකවනු අනුපිළිවෙලට ලියැවෙන්නේ ඒ කතන්දරයයි.)

xකාරිස් කොහෙද මගෙත් එක්ක. මමම කියන්නංකො නමියට වැදගත් වැඩකටයි- දාපිය නිවාඩුවක් කියලා.

2025.09.18-
මානෙල්ලගේ ගෙදර ගිහිං ආවා. ගාමිණී අපිට බලංගොඩ යන්න වාහනයක් බලලා. 35,000/-ක් ඉල්ලලා. “AC තියෙන එකක් නේද ගාමිණී. එහෙම නං ඒ ගණනට වටිනවා.” කියලයි නෙවිලුත් කිව්වේ.

‘දැන්මම ඇඩ්වාන්ස් එකක් දෙමු’ කියල මං ගාමිණීට කිව්වා. ඕනි නැහැල්ලු. ගාමිණී අඳුනන පොලිසියේ කෙනෙකුගේ වාහනයක්ලු.

2025.09.24-
“නිමල් අයියේ, ලබන අඟහරුවාදා මොකුත් වැඩක් දාගන්න එපා. එදාට මං ඔයාව Internet Cafe එකකට එක්ක යනවා බත්තරමුල්ලේ.”
අයස්මන්ත මහතා ටෙලිෆෝනයෙන් කිව්වා. “... එදාටත් යුෂ්මතා කසිකබල් ෂෝටක් ගහගෙන නෑවිත් දිග කලිසමක් ඇඳගෙන එනවා මතක ඇතිව. එතැනට එන්නේ පොෂ් කට්ටිය.”

“මොකටද එහාට යන්නේ?”
“ඇයි පයන්නො, තමුසෙම නේද කිව්වේ Zoom Meeting එකක් කෙරෙන විදිහ ගැන විස්තර හොයාගන්න ඕනි කියල. එතෙන්ට අපේ දේශාන්ටත් එන්න කිව්වා. මිනිහා ඕවා ඔර්ගනයිස් කරල තියෙන කෙනෙක්... නමියටත් එන්න කියමු.”
“නමී කොහේ එන්නද? මිනිහ off වෙන්නෙත් හතට. අපරාදෙනේ නිවාඩු දාන්න කියන්නේ...”
“ඒ xකාරිස් කොහෙද මගෙත් එක්ක. මමම කියන්නංකො නමියට වැදගත් වැඩකටයි- දාපිය නිවාඩුවක් කියලා. එදාටත් එය නෑවිත් හිටියොත් මං උගේ ඇට දෙකෙන් එල්ලනවා!” පීරිස් 'මහ බයානක😱 කතාවක්' කිව්වම මං පීල්ල මාරු කළා.

“ඒ කියන්නේ 30 වෙනිදා- ලබන අඟහරුවාදා. කීයටද මහත්තයෝ?”
“හයහමාරත් හතත් අතරේ ඔයාව ගන්න මම එනවා.”

2025.09.27
“හෙට මානෙල්ල ගෙදර යංද”
“ඒ මොකෝ?” මං ඇහුවේ නෙවිල්ගේ ප්‍රශ්නයෙන් පුදුම වෙලා. වෙනදාට එහෙ යමු නේදැයි අහන්නේ මමයි. මෙන්න බොලේ මේ හාදයා පළමුවෙනි වතාවට ඒ ප්‍රශ්නේ මගෙන් අහනවා.
“පහුගිය ටිකේම ගාමිණී රෝසිලගෙ ගෙදර රෙපෙයාර් කරන වැඩේට හිර වෙලානෙ හිටියේ. පව්! එයත් එක්ක පොඩි අඩියකුත් ගහන්න එක්කයි හලෝ...”

පුදුම සත්ත කරුණාවක්නෙ අප්පා නෙවිල්ට ඇති වෙලා තියෙන්නෙ... අර උන්නාන්සේට බෙදන්න කියාපු කතන්දරේ මතකෙට ආවත් මං එවෙලේ ඒක කියන්න ගියේ නෑ.
“මම මානෙල්ටත් කියන්නං එහෙනං...”

ඒ විස්තරේ කිව්වම මානිටත් පුදුමයි. “මං ඔයාලාට කන්න මොනවත් හදන්නං.” මානෙල් කිව්වේ වෙනදා වාගෙමයි.
“මම හදපු මස් වගයක් ෆ්‍රීසරේ තියෙනවා. ඒකත් ගේන්නං...’ මාත් කිව්වා.

2025.09.28-
වෙනදට නෙවිල්ගේ වාහනය දකිද්දීම ඉස්සරහට පැනගෙන එන කටකාර;
දඟ මල්ල හිමන්‍යා එදා නං එහෙම කළේ නෑ. අලුතින් හම්බ වෙච්ච සෙල්ලම් අශ්වයෙක් එක්ක එයාගේ පාඩුවේ නිස්සද්දව උන්නා. නිස්සද්දව උන්නා නෙවෙයි- තූෂ්නිම්භූතව උන්නා කිව්වමයි වඩාත් හරි.

කටකාර; දඟ මල්ල හිමන්‍යා එදා නං එහෙම කළේ නෑ. අලුතින් හම්බ වෙච්ච සෙල්ලම් අශ්වයෙක් එක්ක එයාගේ පාඩුවේ... (ෆොටෝ- නෙවිල්)

“මොකෝ, අද හිමාට තද වෙලා වගෙ? මුඛ බන්ධනයක් කරලද...” කියාගෙනයි මම පුටුවකට බර දුන්නෙ. නෙවිලුත් වෙනද විදිහට හිමන්‍යාව අවුස්සන්න නොයා වාඩි වුණා...

එතකොටම මානිගේ කාමරේ ඇතුළෙන් මොකක්දෝ සද්දයක්...
“හායි ලොකූ, How are you?” කියාගෙන සමන්ති කාමරයෙන් මතු වෙච්චි!
සභාවේ සිනා😃😃😃😃😃 ඒ හිනාවල් නැවතුණේ ගොඩ වෙලාවක් ගියාට පස්සේ.

“කොහොමද සෑම්. ඔන්න මේ සැරේ නං අපි සාර්ථක විදිහට නිමල් දිසානායකව සර්ප්‍රයිස් කෙරුවා නේද  එහෙනං.” ඒ නෙවිල්. “ඒක නේන්නං නෙවිල් අයියේ. Thank you very much! හිමා, ඔයාටත් තෑන්ක්ස් මෙච්චෙල්ලා කට වහගෙන හිටියට.”
“විනාඩියයි දෙකයිනේ Sam... ඊට වැඩිය වෙලාවක් නං හිම්මි කට වහගෙන ඉන්න එකක් නෑ.’ මානෙලුත් කිව්වෙ හිනා වගුරමින්.

“මානිත් එහෙනං මට කොළේ වැහුවා.”
“නෑ ලොකා... සමා උදේ ගෙදරට එනකල්ම මම දන්නෙත් නෑ...”
“ඔව් ලොකූ. මේ සැරේ මම එන එක කිව්වේ නෙවිල් අයියට විතරයි. වෙන එකක් තියා දීපානිලවත් දන්නෑ... එයාලා එනකල්ම කියන්නෙත් නෑ. එහෙන් දන්නේ දීපාල් විතරයි.”

“හරිම අමාරුවෙන් මේ පොඩි බඩ්ඩගේ කට වස්සල තිබ්බේ. අස්සයා හිංදා වැඩේ ටිකක් ලේසි වුණා. Sam අපි පොඩි අයියටත් නොකියා ඉඳිමු එහාට යනකල්...”
“අන්න වැඩේ! එයාටත් සර්ප්‍රයිස් එකක්නෙ....”

2025.09.29-
Sam ඉන්න හිංදා මේ ටිකේම හවසට හවසට මානෙල්ල ගෙදර යන්න වෙනවා.

“මමත් මේ සුමානෙම වෙන වැඩ දාගත්තේ නෑ.” නෙවිලුත් කිව්වා. “Sam, ඔයාලත් ඉන්න එකේ හොඳයි නේද ලොකාවත් මෙහෙ නවත්ත ගත්ත නං. එතකො මෙයාව ආපහු ගිහිං දාන වැඩෙනුත් මං නිදහස්...”
“කොහෙද... කොච්චර කිව්වත් ලොකූ ඉන්න එකක්යැ?”
“අනේ... ඉන්නකො ලොකු සීයේ... ඔයාට මගේ ඇඳේ දොයියන්නත් දෙන්නං...” හිමාත් කතාවට මැදිහත් වුණා.

“අද නෙවෙයි හිමා. දෙවෙනිදා රෑට ඔන්න මං මෙහෙ නවතිනවා, එතකොට බලංගොඩ යන්න ලේසියිනෙ...”
“ඇති යාන්තං... ලොකු අයියට එහෙමවත් හිතුණා!”

“ඒක නෙවෙයි ලොකූ, මානෙල් අක්කලවයි, ඔයාලවයි dinner එකකට එක්ක යන්න ඕනි. කවදටද ඔයාලට free?”
“අනිද්දා නං වැඩියත් හොඳයි!” නෙවිල් කිව්වා.
“බෑ බෑ. තිස් වෙනිදා බෑ. පීරිසුයි මායි ගමනක් දාගෙන තියෙන්නේ. බදාදා? ඒත් පීරිස් මහතාට අඟහරුවාදා එන්න විදිහක් නැති නං උදෙන්ම කියනවයි කිව්වා. එහෙම වුණොත් අඟහරුවාදාටම යමු.”
“Sure!”

වාහනය තලවතුගොඩ Grand Monarch ළඟ නවත්තද්දී වුණත් මට අමුත්තක් හිතුණේ නෑ!

2025.09.30-
“ඩොක්ටර් පීරිස් අද හවසට අර ගමන යන්න බැරි කතාවක් මේ දැන් කිව්වා සෑම්! අද රෑ කෑමට අපි එළියට යං...” මං උදෙන්ම සමන්තිට පණිවුඩය දුන්නා.

“හරි ලොකූ... මං රෝසි එක්කත් කතා කරලා තැනක් බුක් කරගෙන නෙවිල් අයියට location එක දාන්නං. එයා ඔයාට විස්තරේ කියයි.”

ඒ විදිහටම වුණේය; කියූ විදිහටම හත වෙද්දී නෙවිල් අපේ ගෙදරය.
“දිසානායක ෂෝටක්ද ඇඳගෙන යන්නෙ... හොඳ නැද්ද දිග කලිසමක්...”
“බෑ නෙවිල්... කකුල් දෙකම හිරි වැටිලා. ආයෙමත් කලිසමක් අඳින්න ගියොත් වරුවක් යයි. මේක ඇඳගත්තෙත් අමාරුවෙන්... ඇයි- කොහෙද සමන්තිලා book කරලා තියෙන්නේ...”
“මේ ළඟ...”යි ලුහුඬින් කිව්වා මිස නෙවිල් නමක් කීවේ නැත.

ඒත් කෑම වගෙම බීමත් කෙරෙන්නට යන විත්තිය නං පෙනිණි. ඒ Pick Me වාහනයක් ගෙන්වා ගත්තාමය. දැන් දැන් එයාලා ‘මජ්ජපමා දට්ඨනය’ කරන දවසට ගමනේ යෙදෙන්නේ තමන්ගේ වාහනයෙන් නොවේ, කුලී රථයකිනි!

“සෑම්ලා ඇවිත්ද?”
“ඇවිල්ලලු... ටිකකට කලින් මට call එකක් දුන්නා! වමට හරවලා තව ඉස්සරහට කෙලින්ම යං මල්ලී...” නෙවිල් මට උත්තර දෙනවට වැඩිය උනන්දුවෙන් රියැදුරු මල්ලිට උපදෙස් දුන්නා.
“මල්ලී ඔතන නවත්තන්න.” නෙවිල් කියනකොටවත්, වාහනය තලවතුගොඩ Grand Monarch ළඟ නවත්තද්දී වුණත් මට අමුත්තක් හිතුණේ නෑ.

අපි හෝටලයේ ඉස්සරහට ඇවිදගෙන යද්දී සමන්තිත් බලාගෙන ඉන්නවා පෙනුණා. එයා පෙරගමන් ආවා. “මානෙල් අක්කලා අරහේ... එහාට යමු ලොකූ. එන්න නෙවිල් අයියේ...”

එහෙම ගිහිල්ලා අපි ඇතුළු වුණේ තරමක් අඳුරු ශාලාවකටයි.


....
පාටියට පැමිණි ආරාධිතයන්ගෙන් කොටසක්... (ෆොටෝ- හක්ස්ලි)
ශාලාවේ දොර අරිනවාත් එක්කම මේස වටේට වාඩි වෙලා උන්නු හැමෝම අත්පොඩි ගහලා- සද්දයක් දාලයි අපිව පිළිගත්තේ. ශාලාවේ එළිය වැඩි කළාමයි පෙනුණේ අවුරුදු 50ක මගේ මිතුරු-මිතුරියන්ගෙන් සෑහෙන පිරිසක්  එතැන... 1975 ඉඳලා 2025 වෙනකල් ඇසුරු කරන උදවිය...

තජක යාළුවො, තලපත්පිටියේ හිතවතුන් වගෙම නමී, අරුණ වගෙ මෑතකාලීන හිතවතුනුත් ඇවිදිල්ලා.

“ලොකූ, අද නං ඔයා surprise වුණා නේද?” සමන්ති ඇහුවේ කට පුරා හිනා වෙවී.
“අද නිමල්ට මොකුත් ගෙස් කර ගන්න බැරි වුණා නේද
ගිය සැරේ වගෙ?” ප්‍රියන්තත් හීන් සීරුවේ ඇහුවා.
“කවුද යකඩො මෙහෙම දෙයක් අනුමාන කරන්නේ... උපන් දිනේට තව දවස් කීයක් තියෙනවද? ඇත්තමයි. මෙහෙම දෙයක් නං මට හිතුණෙම නෑ.”

“හරි හරි... එන්න ලොකා අපි කැන්ඩ්ල්ස් blow කරලා චොක්ලට්ස් බෙදමු. B’day එකට කලින් cake කපන්න හොඳ නැහැල්ලුනේ.”
කේක් කැපිල්ලක් නොකර නැවතුණේ එහෙමය.

රන්වන් පැහැති දවටනවල අසුරා තිබෙන Ferrero Rocher චොක්ලට්ස් තොගයක් මැද්දේ ඉටිපන්දමක් දල්වා... (ෆොටෝ- හක්ස්ලි)

ඒ වෙනුවට රන්වන් පැහැති දවටනවල අසුරා තිබෙන Ferrero Rocher චොක්ලට්ස් තොගයක් මැද්දේ ඉටිපන්දමක් දල්වා ගැනිණි. (මෙච්චර විස්තර ලියන්නේ පම්පෝරියක් විදිහට හෝ නයා ඇරීමක් විදිහට හෝ නොවේ. මගේ නෑ හිත මිතුරන්ගෙන් මට ලැබෙන ආදරයට ස්තුතිවන්ත වෙන්නට උවමනා බැවිනි.)

ඔයාල හැමෝටම අනෙක වාරයක් ස්තුතියි, ඒත් එක්කම ගොඩක් පිං මට අනුප්‍රාණය දීම වෙනුවෙන්!

ඉතිං... පිරිස වෙනුවෙන් මට ආසිරි පතමින් ලාල් අයියා කෙටි කතාවක් කළා. ඊට පස්සේ ‘ඛජ්ජ බොජ්ජ’.
ග්‍රෑන්ඩ් මොනාර්ච් කෑම මට නම් ඉස්තරම්.
මිලත් එහෙම වෙන්න ඇති. මට යාන්තමට ඇහුණා service charge එක විතරක් 46,000/-ක් කියලා.

ඒක කන වැකුණු ගමන්ම මට මතක් වුණේ අතීතේ... මම මටම දීගත්තු පොරොන්දුවක්! මේ ගැන මං කලින් වතාවකත් ඔයාලට කියලා තියෙනවා. චූටි නංගි දීපානි ඉපදුණාට පස්සෙයි මං ඒ අධිෂ්ඨානය ඇති කර ගත්තේ.
‘නංගිලා මල්ලිලා හැමෝටම එක්කෙනාට රුපියල් ලක්ෂය ගණනේ ඉතිරි කරන තුරු මගේ මෙහෙවර ඉෂ්ට කරනවා.’

එහෙව් මගේ උපන් දිනය වෙනුවෙන් සමන්ති නංගී ලක්ෂ කීපයක්ම මේ වතාවෙත් වියදම් කරලා!
චූටි නංගි දීපානිත් ලක්ෂ ගණනාවක් වියදම් කරගෙන මගේ උපන් දිනය වෙනුවෙන් ලංකාවට එන්න සූදානම් වෙනවා!!
ජීවිත ගමනක අරුමය!!!

පාටියට පැමිණි තවත් ආරාධිතයෝ... (ෆොටෝ- හක්ස්ලි)

ජීවිතේ අරුමයි නේන්නං!

දැන් අපේ ගෙදර TV එකක් නෑ. එහෙම වුණේ කොම්පියුටරේ තියෙන නිසයි.
ඩී.බී. කුරුප්පු මහත්තයා තග දාලා, බලෙන්ම කොම්පියුටරයක් එතුමාගේ වියදමෙන්ම අපේ ගෙදරට වැඩම්මෙව්වට පස්සේ වුණත් මං වහන්සේ ඒකෙන් එච්චර වැඩක් ගත්තේ නෑ. ඒ අතරේ (2015 විතර) අපි trip එකක් යන ගමන් ඇඹිලිපිටියේ නන්ද කුමාර හිතවතාගේ ගෙදර රැයක් නැවතුණා.

එදා රූපවාහිනියේ Prison Break කොටසක් පෙන්වනකල් සාන්තයි, එයාගේ බාල පුතණ්ඩියා සෙරානුයි ඉවසිල්ලක් නැතිව හිටියේ. එයාල ප්‍රිස්න් බ්‍රේක් වරුණේ කියලා මාවත් ඒක බලන්න වාඩි කරවා ගත්තා. මාත් ඒකට වහ වැටුණා. “නිමල් අංකල්, ඔය සීරිස් එක ‘බයිස්කෝප් සිංහලෙන්’ සයිට් එකේ තියෙනවා. සිංහල සබ්ස් එක්කම. ඔයාට මුල ඉඳලම ඕක බලන්න පුළුවනි එතනින්.” සාන්තගේ ලොකු පුතා චිරන්ත මට කිව්වා. (එතකොට චිරන්ත A/L කරලවත් නෑ මගෙ හිතේ.)

‘අනේ චිරන්ත, හොඳ ළමය වගෙ ඇවිත් මට ඒක ඩවුන්ලෝඩ් කරගන්න හැටියි, subs හරි ගස්සගන්න හැටියි කියල දෙනවද?”
“හරි නිමල් අයියේ. මං චිරන්තව එක්කගෙන එන්නං.” සාන්ත එවෙලෙම පොරොන්දු වුණා. එහෙමයි චිරන්ත එච්
. ගමගේ පුතණ්ඩියා මගේ මුල්ම කොම්පියුටර් ගුරුවරුන්ගෙන් කෙනෙක් වුණේ. එයා මෙඩිසින් කරන්න ගත්තම සෙරාන් තමයි මගේ සමහර කොම්පියුටර් ප්‍රශ්න විසඳලා දෙන්නෙ. ඒ දෙන්න ප්‍රියන්තලගේ නංගි බබිතගේ පුත්තු; චිත්තම්මාගේ මුණුබුරාලා.

සෙරාන්, බබිතා, චිරන්ත හා සාන්ත 

Grand Monarch එකේ පාටිය වෙලාවේ සාන්ත මට රහසක් කිව්වා.

“අයියේ, මාව මෙහාට ගෙනත් බැස්සුවේ අපේ සෙරාන්. මාව බස්සලා සෙරාන් නොගිහිං ඉන්නකොට මං ඇහුවා ‘ඇයි තව ඉන්නේ’ කියලා. ‘නිමල් අංකල්ට wish කරලා, ඇයි අපිට ඉන්වයිට් නොකළේ කියලත් අහලම යනවා’ කියල කොල්ල කියපි. මම එතකොටයි සෙරාන්ට කිව්වේ ‘මේක නිමල් අයියාවත් නොදන්න සර්ප්‍රයිස් පාටියක් කියලා. එතකොටයි කොල්ල ආපහු ගියේ...”

මට මල්ටිපල් මයෙලොමාව වැළඳුනාම උදව් කරන දොස්තර මහත්වරුන්ගේ ගොන්නට ඊයේ පෙරේදා ප්‍රියන්තලගේ පවුලෙන් තවත් එක doctor කෙනෙක් එකතු වුණා.
චිරන්තත් දැන් වෛද්‍යවරයෙක්!
මේ වෛද්‍ය චිරන්ත මහතාට නිදිගෙ සුබ පැතුමයි:
දිගු කාලයක් සිරිලක වෙනුවෙන් උදාර සේවයක් කරන්නට අවශ්‍ය ශක්තිය, ධෛර්යය හා වාසනාව ඔයාට ලැබේවා!

2015.10.01-
දීපානිලා එංගලන්තයෙන් පිටත් වෙන්නේ අද.

අදයි සර්ප්‍රයිස් පාටියේ හැංගිලා තිබුණු විස්තර එළිදරව් වුණේ... Samගෙනුයි, නෙවිල්ගෙනුයි. ‘ ග්‍රෑන්ඩ් මොනාර්ච් ඉම්පීරියල් එක හොඳයි කියලා recommend කළේ දීපාල්. ඒකේ ජැපනීස් රෙස්ටෝරන්ට් එක තෝරගත්තේ අපි.’
“දන්නවද? ඔයාට නොදැනෙන්න ඔයාව එහාට ගෙන්න ගන්න plans තුනක් අපිට තිබ්බා.”

“ප්ලෑන්ස් තුනක්?
‘ඔව් හලෝ. Plan A, B, C... එකක් හරි නොගියොත් ඊළඟ එකට...’ නෙවිල් කිව්වා.
දෙවෙනි කොටස තව දින කිහිපයකින්...