li Item

Tuesday, December 12, 2023

පාරවයි හද වේදනා... - දෙවෙනි කොටස

නොවැම්බර් 16 වෙනිදා පාන්දර හයාමාරට ගෙදර පැමිණි මම fb එකට පණිවිඩයක් දැමුවෙමි.

"ඊයේ (15 වෙනිදා) රාත්රියේ අම්මා අන්තරා වුණා. අවසන් කටයුතු තීරණය කරන්නට වෙන්නේ අද දහවල්.
කරුණාකර ඒ විස්තර දැනගන්නට නම් අද (16) දහවල් 12න් පසුව ......... අංකයට කතා කරන්න.
ස්තුතියි!
-නිමල් දිසානායක”

ගෙදරදී කෙනෙක් නැති වුණාම ඔහොම තමයි- මිනිය නොකපා දෙන්නෑ! (ඉස්සර ඊජිප්තුවේ අවමඟුලකි මේ.)

උදේ අටහමාරට මං වහන්සේ ආපහු මානිලගේ ගෙදරට යද්දී ‘ඔක්කොම කණපිට’ හැරිලාය!

“හරි වැඩේනෙ ලොකා. අම්මගෙ මිනිය මල්ශාලාවේ ඉඳලා ආපහු කළුබෝවිල ඉස්පිරිතාලේ මෝචරියට ගෙනියන්න ඕනිලු! මරණ පරීක්ෂණ කතාවකුත් කියවුණා...”
“එහෙනං මානි, ඔයාටත් දැන් යන්න වෙනවනේ. ඔයාලගේ ගෙදරනේ අම්ම හිටියේ.”
“මම විතරක් නෙවෙයි, ගාමිණීත් යනවා...”
“මාර වැඩේ! මං මෙහෙ ඉන්න නිසා fb එකට දාපු massage එකේ මම දැම්මේ ඔයාගේ ටෙලිෆෝන් නොම්මරේ. කවුරු හරි කතා කළොත් විස්තරේ කියන්න.”

“හා!” මානෙල් එහෙම කීවා තමයි.
ඒත් දවස තිස්සේ අතැනට- මෙතැනට- එහාට- මෙහාට- අරහෙට නොනවතින රස්තියාදුවක යන අස්සේ; කෑමක්- බීමක්- ඉස්පාසුවක් නැතිව හිටින අස්සේ මානෙල්ගේ ඉවසීම සීමාවත් පන්නලා ගිහින්ය. “ඒ අස්සේ කොහොමද ලොකා කෙළවරක් නැති callsවලට උත්තර දෙන්නේ? එක-දෙකක්යැ. බැරිම තැන ඔන්න දෙතුන් දෙනෙකුටම මං කිව්වා මේක නිමල් අයියගෙ ෆෝන් නොම්මරේ නෙවෙයි කියලත්...” මානි එදා රාත්‍රියේ පසුතැවෙමින් කීවාය.
(ඇගෙන් ඒ උත්තරය ලැබුණු උදවියට කනගාටුව ප්‍රකාශ කරමින් මම මෙලෙස සමාව ඉල්ලමි!)

මානෙල්ලා ගියාට පස්සේ රෝසිත්, සමන්තිත්, මාත් තුන්දෙනාටය නිවනක් නැති වුණේ. සැරෙන් සැරේ සුදු ඇඳගත් ගම්වැසි- අසල්වැසි පිරිස් මළ ගෙදරට එති. එයාලා පිළිගැනීම කරන්නේ රෝසිත් මාත්ය. එයාලාට සංග්‍රහ කරන්නේ Samය.

තවම මිනිය හම්බ වුණේ නැද්ද? / ගෙදරදී කෙනෙක් නැති වුණාම ඔහොම තමයි- මිනිය නොකපා දෙන්නෑ / අනෙක තමයි අම්මා නැති වෙලා තියෙන්නේ රෑනෙ- ග්‍රාමසේවක මහත්තය එහෙම රෑට රාජකාරී කරනවයැ?
ප්‍රශ්න විචාරාත්මක වැඩ සටහනට මුහුණ දීම ලේසි නැත. රෝසිට ඒ වැඩේට එන්නට විදිහක් නැත. දඟකාර හිමන්‍යා දෝනිව ආම්බාන් කර ගන්නට වී තියෙන්නේ එයාටය. ඉතින් අසීරුවෙන් වුණත් දිගු ප්‍රශ්නවලට කෙටි උත්තර හෝ දීම කෙරුණේ මගෙනි. එදා අපට ලැබුණේ ඉතා කෙටි විරාමයන් පමණි!

ඒ අතරේ හේමමාලිත්, නිල්මිණිත් සුපරුදු සහායක තේවාව කරන්නට ඇවිදින්ය. ගාමිණීලගේ අම්මාව පිරිසිදුකොට- සෝදවා- කවා පොවන්නට...

‘ආච්චියෙ, ඔන්න අද නං ඔයා වෙනදට වැඩිය අපිට උදව් වෙන්න ඕනෑ... / ඇයි කියල අහන්නේ? / අද මානෙල් ඇන්ටි ඉස්පිරිතාලේ ගිහිල්ලනේ. ලොකු ආච්චිව බලන්න. / අපි දෙන්නා තමයි අද ලොක්කෝ.’ ඔවුන්ගේ කතාවත්, හිනාවත් නාන කාමරය පැත්තෙන් ඇහෙයි.

ලොකු ආච්චී dead. එයා ආයි එන්නෑ. (පණ්ඩිත හිමන්‍යා තාත්තා සමිත් හා ෆිඩෝ එක්ක.)

“අපේ අම්මා අන්තරා වුණයි කියලා ගාමිණීලගේ අම්මට නොකියා ඉන්නයි හදන්නේ.” මානෙල් ඊයේ රෑම කීවාය.

“That’s good! නැත්තං එයා shock වෙයි. නේද ලොකූ.” සමන්තිත් එකඟත්වය පළ කළාය.

නිල්මිණිලා අපේ ළඟට ආවේ හිනාව තද කරගෙනය.
“ලොකු ආච්චි නැති වෙලා නේද කියලා පොඩි ආච්චි අහනවා... එයාට කියල නෑ නේද?”
ඒ ප්‍රශ්නයට උත්තර දෙන්නේ රෝසිය. “කියල නෑ? මේ බඩ්ඩත් එක්ක එව්ව කොහෙද? හිමා අද උදේම  ආච්චිගෙ කාමරේට ගිහින් කිව්ව දේ දන්නවද නිල්මිණි අක්කේ? ‘ලොකු ආච්චී dead. එයා ආයි එන්නෑ.’ අපි හිතුවේ ඩෙඩ් කිව්වම ආච්චිට තේරෙන්න නැතිව ඇති කියලයි.”

ට්‍රීන් ට්‍රීන්... ජංගමයෙක් හඬන්නට වෙයි. රෝසි කතාව නවත්තා ටෙලිෆෝනයට උත්තර දෙයි. “...ඉන්න දීපාල් මාමේ. මම ෆෝන් එක ලොකු මාමටම දෙන්නං.”

“ලොකූ. මේ යක්කු එක්කෙනෙක්වත් කරන්න ඕනි දේවල් දන්නෑ වගේ. අම්මා බ්‍රිටිෂ් සිටිසන් කෙනෙක්ය කිව්ව ගමන් මුන් පස්ස ගහනවා. එක එකා අනෙක් එකාට බෝලෙ pass කරලා ඇඟ බේරා ගන්න හදනවා වගේ. ගාමිණී අයිය කියනවා ජරාවක් දෙමු කියලා.
ඒවා කොහෙද මගෙත් එක්ක. වැඩේ කළාට පස්සේ හිතේ සන්තෝසෙන් යමක් දෙන එක වෙනයි. වැඩේ කරන්න කලින් පගා ගහන්න?
අර ඊයේ රෑ ඇවිත් help කරපු xxxට මම දැනුත් call කළා... He will help...”

මල්ලා එක්ක කතා කරද්දී මට මතක් වුණේ මෑතකදී කියවූ ‘ලංකාදීප කතුවැකිය’ක කොටස්ය.

‘... අප සියලු‍ දෙනාටම උපතේ සිට විපත දක්වාම රාජ්‍ය සේවය අත්‍යවශ්‍යය. වෙනත් වචනවලින් කිවහොත් උප්පැන්න සහතිකයේ සිට මරණ සහතිකය දක්වාම රාජ්‍ය සේවය පුද්ගල ජන ජීවිතය හා බැඳී පවතී.

... පාර්ලිමේන්තුවේ දී ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය ගැන සංසන්දනාත්මක ප්‍රකාශයක් කළ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ පුරවැසියන්ගෙන් සෑම 17 දෙනකුටම එක් රාජ්‍ය සේවකයකු සිටින බවය.

එහෙත් අපට වඩා බොහෝ දියුණු ජපානය ගත් කල එම රටේ රාජ්‍ය සේවයේ එක් අයකු ජපාන ජාතිකයන් 300 කට සේවය සලසන බව ද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය... විශේෂයෙන්ම මේ අය වෙනුවෙන් කැප කරන රාජ්‍ය සම්පත් කන්දරාවට සාපේක්ෂව කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් ජනතාවට ලැබෙනවාද යන ප්‍රශ්නය කලක පටන්ම විවාදයට ලක්වූ කරුණක් බවද සිහි කටයුතුය.

අප රටේ රාජ්‍ය සේවකයන්ට කාර්යක්ෂමතා කඩඉම වැනි විභාග පැවැත්වුවද...

ශ්‍රී ලංකා මහ බැංකුවේ 2022 - 2023 නවතම වාර්තාවට අනුව මෙරට දැනට සිටින රාජ්‍ය සේවකයන් සංඛ්‍යාව දහතුන් ලක්ෂ අනූ හතර දහසකි. (13,94,000). මෙම සේවක සංඛ්‍යාව මෙරට මිලියන 23 කට ආසන්න ජනතාවකට සේවය කිරීම සඳහා රාජ්‍ය සේවයට බඳවාගෙන ඇත. ඔවුන්ට වැටුප, විශ්‍රාම වැටුප සහ වෙනත් ප්‍රතිලාභ ගෙවන්නේ ජනතා බදු මුදලිනි...

එහෙත් ජපානය වේවා යුරෝපා රටවල් වේවා ඒ බොහෝ ස්ථානවල රාජ්‍ය සේවයේ ඵලදායකත්වය නිරන්තරයෙන් කිරා මැන බලන ක්‍රමවේදයක් ක්‍රියාත්මකය. අප රටේ රාජ්‍ය සේවකයන්ට කාර්යක්ෂමතා කඩඉම වැනි විභාග පැවැත්වුවද ඔවුන්ගේ සේවා කාර්යක්ෂමතාව ගැන නැගෙන චෝදනා බහුලය...’

මානෙල්ලාගේ ගෙදරදී එදා දහවල් සිද්ද වුණු ඔහොම කතාබහ අපේ අම්මට ඇහුණා නං...

‘ආණ්ඩුවේ කන්තෝරුවල වැඩ කෙරෙන විදිහට බනිනවා තමයි. ඒත් එව්වයේ වැඩ කරන මිනිස්සු ඉන්නෙත් මේ සමාජෙ අපි අතරේමනේ. / ඔතැන වැරැද්ද තියෙන්නේ නීතියේ.’
‘නීතිය ගැන දන්නවා නං- නීතියට වැඩ කෙරෙන හැටි දන්නවා නං මානෙල් නංගිවත්, එයාල අම්මවත් මේ අමාරුවේ වැටෙන්නේ නෑ.’
‘ඒ කිව්වේ?’
‘මුලින්ම අම්මට තිබ්බේ රෑ වෙන්ඩ ඉස්සෙල්ල මැරෙන්ඩ! ඒක වැරදුණා කියමුකෝ. අම්මා ආන්ත්‍රා වෙච්චි සැණෙන් මානෙල් නෝනට තිබ්බේ අම්මගෙ මිනිය ත්‍රී වීල් එකේම දාගෙන ඉස්පිරිතාලෙට ගෙනියන්නයි; අම්මට අන්තිමයි වගේ නිසා ඉස්පිරිතාලෙට ගෙනාවා කියාගෙන. එතකොට ලෙඩාව admit කර ගන්නවා. එතකොට මරණ සහතිකේ ගන්ඩ ලේසියි.’

“ත්‍රී වීල් එහෙක ඉස්පිරිතාලෙට යන්නෙ 119 ඇම්බියුලන්ස් එකට call කළාම හරිනේ.”
“එතකොට වැඩේ බකල්. ඇම්බියුලන්ස් එකේ කට්ටිය ලෙඩා මැරිලද කියල බලලයි පටෝගන්නේ!”

ඒවා සත්‍ය  කරුණුද කියලා මා දන්නේ නැත! ඒත් ඒවායේ යම් දෙයක් තියෙනවත් වගෙය.
ඒ ගැන වැඩි දුරටත් කල්පනා කරන්නට ඉඩ නොලැබුණේ, දීපාල් අලුත්ම තත්ත්වය දන්වා සිටි බැවිනි. “ලොකූ, අපි දැන් ඉන්නේ හයිකමිෂන් එකේ. එහෙන් සහතිකයක් ඕනිලු අම්මගෙ මරණෙ ok කියලා.”
“එව්වට ඕනේ කරන documents?”
“Don't worry. I got them.”
“ඒ අනුමැතිය දුන්නම හරිලුද?”

“මෙහෙන් ලියුම ගේන්න කියලයි අපට කිව්වේ. ඒක කිව්වේ දවල් වෙනකල්ම අපිව එතන තියාගෙන ඉඳලනෙ. දැන් නං මට සැකයි ලොකා, අදත් වැඩේ කෙරෙයිද කියලා...”

හෙට උදේ එන්නයි කියල හැන්දෑවේ අපිව පිටත් කරන වෙලාවෙත් අර රෙජිස්ට්‍රාර්කාරය කියනවා, අද රෑ නවයට එන්නලු සාක්ෂි විභාගයක් පවත්වන්න.

දීපාල්ගේ අනුමානය හරි ගියේය. නොවැම්බර් 16 වෙනිදා අඳුරු වැටීගෙන එනකොටය ඔවුන් ආපහු ආවේ.

“මගේ හොඳ පණ ගියා Sam. මේ මිනිස්සුන්ගෙ ගෙවල්වල කව්රුවත් මැරිලා නැද්ද මන්දා, මේ වෙලාවේ අපට තියෙන දුක නොතේරෙන්නේ...” මානෙල් හිතේ තෙරපෙන හැඟීම් එළියට දමයි.
“දීපාල් මාමේ, දවල් ගෙනාව බත් පාර්සල්වලින් බාගයක්වත් ඉවර නෑ. කනවද?”
“අහ අහ ඉන්න ඕන නෑ රෝසි. තුන් හතර දෙනාටම දෙන්න. හැමෝම බඩගින්නේ ඇත්තෙ.” සුනිලුත් මැදිහත් වෙයි.

අපට දවසේ විස්තර අසා ගන්නට පුළුවන් වුණේ ඊට පස්සෙය. ඒ අනුව ඔවුන්ට සිදුව ඇත්තේ ‘එකම දේ නැවත නැවතත් එක එක නිලධාරීන් ඉදිරියේ වමාරන්නට’ය.

“හිතන්නකෝ ලොකූ පොඩි රස්තියාදුවක්ද කියලා.” දීපාල් තරහෙන් පුපුරයි. “හෙට උදේ එන්නයි කියල හැන්දෑවේ අපිව පිටත් කරන වෙලාවෙත් අර රෙජිස්ට්‍රාර්කාරය කියනවා, අද රෑ නවයට එන්නලු සාක්ෂි විභාගයක් පවත්වන්න.”
“රෑ නවයට... ඉතින් යනවද?”
“පොලිසියෙනුත් එක්කෙනෙක් ආවොත් යන්න වෙනවා. හැබැයි ගියොත් නං මම ඉස්සෙල්ලම අහන්නේ එකයි. ‘අද දවල් තිස්සේ අපිව තියාගෙන ඉඳිද්දී ඔය සාක්කි විභාගේ තිබ්බෙ නැත්තේ මොකද?’ කියලයි. ඒ තරං තරහයි මට.”
(ඒ විමසීම නොකෙරුණේ එදා රාත්‍රියේ අප හා යන්නට පොලිස් නිලදරුවෙකු නොපැමිණි බැවිනි.)

කොච්චර තරහ ගත්තත් සෙතක් අත්වන්නේ නැත. කළ යුතු සුදුසුම දේ තීරණය කිරීමට කලියෙන් එවැනි ආවේගයන්ගෙන් තොර විය යුතුය.

“දැන් එතකොට බ්‍රිටිෂ් හයිකමිෂන් එකේ approval එක?”
“ඒ මිනිස්සු කිව්වා එයාලගේ පැත්තෙන් කෙරෙන්න ඕනි සේරම කරලා ඉවරයි කියලා. මේ තියෙන්නේ, ඒගොල්ලෝ එවපු ඊමේල්ස්. ලියුම් එවන්න ඕනියි කියපු තැන් තුනටම ඊමේල් කරලා, මටත් කොපීස් forward කරලා. කොයිකටත් මම හෙට උදෙන්ම ගිහිං ඔෆීෂියල් printed copiesම අරගෙන එන්නයි හිතුවේ. නැත්තං මුන් කියන්න ඉඩ තියෙනවා තාම ඊමේල්ස් ආවේ නෑ කියලත්...”

ඒ විස්තර හැකිතාක් පිඬුකොට පහුවදා; 17 වෙනිදා පාන්දරින් ‘නිදි’ fb එකේ පළ කෙරුවේ මෙසේය:

‘ඊයේ 16 වෙනිදා දවස තිස්සේ වෙහෙසිලත් අම්මාගේ දේහය නිදහස් කරගන්න ලැබුණේ නෑ. අපේ රටේ නිලධාරීන් කරන්නේ අපව වටේ යැවීමක්. අම්මා එංගලන්ත පුරවැසියෙක් නිසා, බොහෝ නිලධාරීන් තීන්දු ගැනීමට බයයි වගේ. අද උදේ 9 ට තානාපති කාර්යාලයට යන්න තියෙනවා- ඔවුන් අනුමැතිය දීලා තියෙන්නේ. ඒ ලිපිය අරගෙන කලුබෝවිල රෝහලට- එතනින් රුක්මලේ මරණ ලියාපදිංචි කරන තැනට- පොලිසියට- නගර සභාවට- නැවත කළුබෝවිල රෝහලට ගිහින් තමයිලු දේහය බාරගන්න තියෙන්නේ.

සිරි ලංකාද්වීපයේ කරුම කෙරේමයන්ගෙන් අංශු මාත්තරයක් වාර්තා කිරීමේ මුඛ්‍ය අභිලාෂය පෙරදැරි කරගෙන...

මේ වට වංගුව ගහලා ඉවර වෙනකොට කීය වේවිද දන්නේ නෑ. ඒ අනුවයි අවසන් කටයුතු කරන දිනය හා වෙලාව තීන්දු වෙන්නෙ. ඒ විස්තර හවසට කියන්නම්.

විස්තර විමසා කතා කළ, පණිවිඩ එවූ, පැමිණි, ගොඩක් උදව් කළ; කරන හැමෝටම ගොඩක් ස්තුතියි!’

හෝව්! හෝව්!! හෝව්!!!
හෝව් කියන්න මේක privet bus එකක්යැ, චුට්ටක් ඉන්න කියහං නිදි.
සරි, සරි, ඔන්න ඒම කිව්වා.

මේ posts දෙක ලියන්නේ සිරි ලංකාද්වීපයේ කරුම කෙරේමයන්ගෙන් අංශු මාත්තරයක් වාර්තා කිරීමේ මුඛ්‍ය අභිලාෂය පෙරදැරි කරගෙන නෙව. ඒ හින්දා 16 හැන්දෑවේ ‘මානෙල් විලා’*වේදී කෙරුණු තවත් කතාබහ ටිකකුත් කියන්නට වෙයි.
(* මානෙල් විලා - ඒ නම යෙදුවේ අපේ සුමිතුරු අයස්මන්ත හරි නෙවිල් හරි විසින්ය.)

“මල්ලී, I think මේ විදිහට නං අපි දෙන්නට 18 උදේ England යන්න බැරි වෙයි. මොකද කරන්නේ?” Sam ඇසුවාය. “ඔයාට නං ප්‍රශ්නයක් නෑ. ඒත් I have to go to work on Monday.”
“Bossට call එකක් දීලා කියනවා තව සතියක් නිවාඩු දෙන්න කියලා.” එතකොට දීපාල් Samට කිව්වේ එහෙමය.
“It is not nice. ඒක හරියට මං එයාගේ හොඳකමෙන් advantage එකක් ගන්න හදනවා වගෙයි දීපාල්!”

“සෑම්, මම ඔයා නං කරන්නේ මේකයි.’” මමත් ඒ සංවාදයට මැදිහත් වුණෙමි.
“බොස්ට කියනවා තියෙන ඇත්තම තත්ත්වේ. කියලා බොස්ගෙන්ම අහනවා... මොනවා කරන්නද කියල හිතා ගන්න බැරිව ඔයා confuse වෙලයි ඉන්නේ කියලා... එහෙම කියලා බලනවකො.”
එහෙම කිව්වාම, තවත් දවස් හයක් නිවාඩු ගන්නැයිද- නොවරදවාම ඊළඟ සෙනසුරාදා සේවයට වාර්තා කරන්නැයිද සෑම්ගේ හාම්පුතා පවසා තිබිණි.
සමන්ති එවෙලේම පවන්ට ඇමතුමක් ගත්තාය. ගුවන් ගමන කල් දමා ගන්නටය. ඒ සඳහා එක්කෙනෙකුට පවුම් 125ත් 150ත් අතර අමතර මුදලක් ගෙවන්නට සිදු වෙතියි පවන් පුතු පසුව දන්වා තිබිණි.

“Let me try something...” දීපාල් මිතුරියකට කතා කළේය. විස්තර කිව්වේය; උදව්වක් කළ හැකිදැයි විමසුවේය.
(සමන්තිලා පැමිණ තිබුණේ ශ්‍රී ලංකේය ගුවන් සමාගමකිනි.) එහාට-මෙහාට කතා කර, අමතර මුදලක් නොගෙවා ගුවන් ගමන කල් දමා ගන්නට හැකි විණි. ඒත් එසේ කෙරෙන්නට කලින් ‘වැදගත් කරුණු කිහිපයක් විමසා බැලීම’ නම් අපට විහිළුවක් විය.
මියගොස් තිබෙන්නේ අම්මා නම් සමන්ති නංගිගේ නම ‘සමන්ති පටෙල්’ වුණේ කොහොමද?

රෙජිස්ට්‍රාර් ඊට හපන්!

(අවුරුදු 23කට ඉහතදී විවාහයත් සමඟය; ඒ වාසගම් වෙනස්වීම සිදුව තිබුණේ. Samගෙ නම එලෙස තිබෙන passport එක ඉදිරිපත්කොටය, ගුවන් ටිකට්පත් රැගෙන තිබ්බේත්. ඒවාට මුදල් ගෙවා තිබුණෙත් ‘Sam Patelගේ බැංකු ගිනුමකිනි’. ගුවන් ටිකට්පත පිළිබඳ විස්තර ටිකක් හෙව්වා නම්...)

අපෙ උන්දැලාට ඇඟිල්ලෙන් ඇනලා මදිය. කෙළමෝලෙන්ම අනින්නට ඕනෑය!

17 වෙනිදා හිමිදිරියේ ෂෙහාන් මානිලගේ ගෙදරට ආවේය. දීපාල්, මානෙල්, ගාමිණී තුන්දෙනාවත් කාරයට නංවාගෙන පිටත් වුණේය. වෙලාව ගත වුණේය. පැයක් දෙකක් තුනක් නොවේ, 17 වෙනිදා රෑ නවයට කිට්ටුවය එයාලා ආපහු ආවේ. එහෙම ආවේ හොඳ පණ ගිහිල්ලා වගේ හෙම්බත් වෙලාය.

බලාගෙන ඉඳලා ගෙදර හිටි උදවියත් හෙම්බත්ය!

“මෙහෙ මැරිච්ච මිනිහෙක්ට respect කරනවා නෙවෙයි, ආයෙත් මරණ විදිහටයි නීති හදලා තියෙන්නේ.” දීපාල් කිව්වේය. මෙතැන සිට ප්‍රකාශයන් මිස ඒවා කළවුන්ගේ නම් එකක්වත් හිතාමතාම නොකියන්නට පරෙස්සම් වන්නෙමි.
අපට උදව් කළවුන්ගේත්; විවිධ අයුරින් මැදිහත් වුණු උදවියගේත් නම් පවා මේ පොස්ටුවලදී මා යෙදුවේ නැත. යොදන්නෙත් නැත. ඒ ඔවුනට යාන්තමින් හෝ හිරිහැරයක් වෙන්නට ඉඩ ඇති නිසාය.
එහෙත් ඒ හැම දෙනාටම මෙතැනදී තුති පුදමි!

“අද දවසේදී... හයිකමිෂන් එකට ගිහිං ලියුම අරගෙන පොලිසියට ආවා. එතනින් ග්‍රාම සේවක ළඟට. ඊළඟට කළුබෝවිල ඉස්පිරිතාලෙට. හොඳ වෙලාවට දීපාල්ගේ යාළුවෙක් මරණ පරීක්ෂණ පවත්වන වැඩේට සම්බන්ධ ලොක්කෙක්ටම අපි ගැන කියල තිබ්බා. එතැනින් ආයෙම පොලිසියට... මරණ රෙජිස්ට්‍රාර් ළඟට. ආයෙත් පොලිසියට... ආයෙත් ඉස්පිරිතාලෙට.
පොලිසියේ ඉඳල උප්පැන්න මරණ රෙජිස්ට්‍රාර් ළඟටයි, එතැනින් කළුබෝවිලටයි. ඒ වටරවුමේ විතරක් අද දවසට තුන් සැරයක් අපිව එහාට මෙහාට යැව්වා.”

“රෙජිස්ට්‍රාර් ඊට හපන්!
A 4 කොළ හතරක වාර්තාවක් ලිව්වා. ලියන ගමන් සැරෙන්-සැරේ එක එක forms දුන්න foto copy ගහගෙන එන්න කියලා.”
“ඒකත් එක සැරේට දීපං. එකක කොපි ගහගෙන ආවම තව එකක් දෙනවා. ඒ ආවම තව එකක්... මහ මූසලයෙක්!”
(ආරංචි වුණු විදිහට නම් ඒ පැත්තේ ‘විවාහ- උප්පැන්න- මරණ  ලියාපදිංචි කිරීමේ නිලධාරියා’ හිටපු උසස් පොලිස් නිලධාරියෙකි. දඬුවම් වශයෙන්ය, මේ තනතුර ලබා දී තිබෙන්නේ.
ලංකාවේ හැටි එහෙමය. වැරදි කළවුන් සේවයෙන් නෙරපා හරින්නේ නැත.
ස්ථාන මාරුවීම්- තනතුරුවලින් මාරුවීම් පමණකි කෙරෙන්නේ!)

No problem! දැන් වුණත් අපේ චූටි නංගිලව contact කර ගන්න පුළුවන්. 

“අඳුරන අය ඉඳලත් මෙහෙම නං...”
“සමහර වෙලාවට එහෙම අය මැදිහත් වෙනවටත් වැඩ කරන අය කැමති නෑ. එතකොට ජරාව කන්න බැහැනෙ.”

ලියන්නට ඕනේ කොතැනටදැයි අමතක වෙච්චි වැදගත් වගේ පෙනෙන තව දේවල් කිහිපයකුත් ඉතිරිය. ඒවා කොතරම් නං මඤ්ඤංදැයි හිතෙන නිසාමය ලියන්නේ.
‘අම්මාගේ මරණය ගැන කිසිම සැකයක් නැහැයි කියල ළඟම නෑදෑයන්ගෙන් සහතික කර ගන්න වෙනවා!’ නියෝගයක් නොවෙන නියෝගයකි.
(අපේ අම්මගෙ එකම නංගි ඉන්නවා බදුල්ලේ. එයාව වීඩියෝ කෝල් එකකින් සම්බන්ධ කරලා දුන්නම ඇති නේද? කියලා මානෙල් නොදන්නාකමට ඇහුවාට පස්සේ ඒ නියෝගය cancel වෙලා ‘ඕනෑකම’ නැතිව ගියේය.)

ඒ විත්තිය අමතකව ගිහිං හින්දාදෝ, ඊළඟ දවසේ මෙහෙම පුරස්නයක් මතුව ආයේය. “එතකොට මේ අම්මගෙ එංගලන්තේ ඉන්න දරුවො මේ මරණය ස්වභාවික එකක් කියල පිළිගන්නවද?”
“මායි, සමන්ති අක්කයි දෙන්නම එහෙ ඉන්නේ. සති දෙකකට කලින් අපි මෙහාට ආවේ, අම්මට අමාරු වුණු නිසා.”
“එහෙනං එහෙ ඉතුරු වෙලා ඉන්න කෙනෙකුගෙනුත් ප්‍රකාශයක් ගන්න...”
“No problem! දැන් වුණත් අපේ චූටි නංගිලව contact කර ගන්න පුළුවන්.” දීපාල්ගේ උත්තරය පිළිගත්තු නිසාවෙන්දෝ ඒ උවමනාවත් නැතිව ගියේය.

වඩාත්ම හිනා ගැස්වෙන්නේ තුන්වැනි කාරණයටයි. “ඔය මහත්තුරුන්ගේ අම්මගෙ දෙමවුපියන්ගේ මරණ සහතික එහෙම තියෙනවද?”
“ඒ ගැන නම් අහගන්න වෙන්නේ අම්මගෙන්ම තමයි.”
මට හිතුණේ, එතැනදී නම් ඒ ප්‍රශ්නය ඇසූ කෙනා ‘උත්තරයේ tone’ එකෙන්ම සෑහීමට පත් වුණා කියලාය.

කොහොමෙන් හරි ‘පොඩි පහේ යුද්ද ටිකක් අවසානයේ’ 17 වෙනිදා රාත්‍රී අටහමාරට පමණ අපේ අම්මාගේ මෘත දේහය යළිත් මල් ශාලාවට බාර දෙන්නට අපට පුළුවන්කම ලැබුණේය.

ඊළඟ යුද්දය කරන්නට වුණේ අපේ චූටි මස්සිනා සුදිතුත් එක්කලාය. “ලොකු අයියලයි මානෙල් අක්කලයි එකතු වෙලා පුළුවන් තරං චාමෙට funeral එක කළාට නං කමක් නෑ. මටත් ඉඩ දෙන්න ඕනි අම්මා වෙනුවෙන් යමක් කරන්න. මම 200කට කෑම order කරනවා, හෙට දවසේ පාලර් එකට එන අයට.”
“සුදිත්, ඒ එන අය ගොඩක් දෙනෙක් කෑම කන වෙලාවට නෙවෙයි එන්නේ. 200ක් හොඳටම වැඩියි...” පැය බාගයක් විතර (චුට්ටක් අනුමත වෙලා හිටි කෙනෙකු හා) වාද කරලාත් 200 එකසිය හැටකට අඩු කර ගන්නට විතරකි, මානෙල්ට හැකියාව ලැබුණේ. ( ඒ දායකත්වය වෙනුවෙන් සුදිත්ට ස්තුති කරනකොට, හිතවත් ප්‍රියන්තට, අයස්මන්තට හා දයානන්දටත් ස්තුති කරන්නට ඕනෑය. හත් දවසේ බණ පිංකමට සහභාගී වුණු හැමට සංග්‍රහ කිරීමේ බරපැන දැරුවේ ඒ තිදෙනායි.)

අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල හිමිපාණන් වහන්සේගේ සරල; පුහු පම්පෝරි නොමැති නමුත් ගම්භිර අවමංගල්‍ය උත්සව...

ඔයාලා දන්නවාද?

අම්මාගේ  අවමංගල කටයුතු පැවැත්වුණු 19 ඉරිදා ‘මළ බත’ සැපයීම සඳහා ‘කේටරින් ආයතනය’ක් ඒ අවටින් සොයා ගන්නට අපට බැරි වුණේය!
“අද නං කොයි විදිහෙන්වත් බැහැ සර්! අද කඨින පින්කම් කීපෙකම orders බාරගෙන තියෙනවා...” ඒ ආයතනවලින් කියැවුණේය. (මේ කාරණය කිව්වේ දැන් දැන් සිරි ලංකාවේ ‘කඨින පිංකම්’ කෝටිපතියන්ට විතරක් දෙව්ලොව යා හැකි අවස්ථා බවට සංවර්ධනය වී ඇති බව ලියා තබන්නටත් එක්කමය! මෙය වාර්තාගතකොට තැබීමේ පුණ්‍ය මහිමයෙන් සමහරවිට මටත් දෙව් සැප අත් වෙන්නටත් ඉඩ තිබේ!)

ඉතිං... අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල හිමිපාණන් වහන්සේගේ සරල; පුහු පම්පෝරි නොමැති නමුත් ගම්භිර අවමංගල්‍ය උත්සව වැඩි-වැඩියෙන් අපේ රටේ පැවැත්වෙනවා නම්...

අපේ අම්මාගේ අවමඟුල තරමක් හෝ සාටෝපකාරී වුණු බව මගේ අදහසයි.  

අවුරුදු කිහිපයකට කලින් අපේ අම්මාත් සහභාගී වුණු ‘අපේ පවුලේ වරිග සභා රැස්වීමක’දී මතු වුණු කතාවකුත් කියලාමය, මේ පෝස්ටුව අවසන් කරන්නේ.
එදා අප කතා වුණේ මරණය හා මළගම ගැනයි.
“මම කැමති බදුල්ලෙදී මැරෙනවට.”
“ඒ මොකද අම්මේ?”
“එතකොට ගොඩක් අය  මළගමට එයිනෙ.”

“එයි, එයි! අම්මේ- දැන් බදුල්ල විතරක් නෙවෙයි ලංකාවම වෙනස් වෙලා. බදුල්ලේ ඉන්න නෑදෑයන්ගෙන් කී දෙනාද අම්මේ ඉතිරි වෙලා ඉන්නේ. ඉන්න ගොඩක් දෙනාත් ලෙඩ්ඩු. ඒක තමයි සංසාරේ හැටි.”
“අනේ ඔයාගේ පණ්ඩිත කතා. මම නං කැමතියි රංජි- ගොඩ දෙනෙක් මගේ මළගමට එනවට!” එදා අපේ අම්මා කිව්වාය.

අම්මාගේ ඒ පැතුම නම් ඉටු වුණේය!
වැසිබර බවවත් නොතකමින් ලොකු පිරිසක් එදා අම්මාගේ මළගමට සහභාගී වූහ෴0෴

28 comments:

  1. අම්මපා, බලාගෙන ගියාම මැරෙන එකත් පණ යන වැඩක් නෙව?

    මේ නිකරුනේ රස්තියාදු කරවීම, අම්මාගේ දෙමව්පියන්ගේ මරණ සහතික සෙවීම වැනි වැඩ, සම්තින් එකක් හෙවත් ගතමනාවක් බලාපොරොත්තුවෙන් කල නාටකයක් වෙන්න බැරිද?

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි අපටත් හිතුණේ, බකුසුතුමෝ. ඒත් ඒකටත් සීමාවක් තියෙන්න ඕනිනේ...

      Delete
  2. මැරෙන එකත් සෑහෙන්න ප්ලෑන් කරල කරන්න ඕන වැඩක් වගේ මේ විදියට.
    මටත් පේන්නෙ බ්‍රිටිෂ් සිටිසන් කිවුව ගමං ගානක් කඩාගන්න කරපු නාට්‍යයක් වගේ මේක.

    ReplyDelete
    Replies
    1. ප්‍රසෝ, මොන සිටිසන් වුණත් අපි ලංකාවේ උපන් අයනේ.

      Delete
  3. ශනිදා දහය බ්ලොග් වැඩපිළිවෙලේ නිර්මාතෘ අජිත් ධර්මකීර්ති මහතා ඉලක්ක කොට මඩ ප්‍රහාර එල්ල කිරීම හෙලා දකිමු.

    ReplyDelete
    Replies
    1. හොරාගෙ අම්මගෙන් පේන අසමු.🤭

      Delete
    2. කරුණාකර හොඳින් සොයා බලන්න. අජිත් ධර්මකීර්ති මහත්මා ශනිදා දහය බ්ලොග් වැඩපිළිවෙලේ නිර්මාතෘ නොවේ.

      Delete
    3. ඕක ඔය ලියන අය දන්නවා නිදි. පිළිතුරු දීල වැඩක් නැහැ. හැමෝම දන්නවා ඒක තට්ටයාගේ කොළම ගේ අදහසක්, ක්‍රියාවට නැංවූයෙත් තට්ටයා මහතාමයි , ඩ්රකි සහ නමියා ගේ සපෝර්ට් එකත් ඇතුව යන එකක් කියල. ඒක මම ඇතුළු දෙතුන් දෙනෙක්ම ලීවා. දැන් මේ යන්නේ ප්‍රශ්න , ව්‍යකුලතා ඇති කිරීමේ වැඩ සටහනක්. ඒක හරි ගියේ නැති වුණාම තව මොකක් හරි එයි. 😀

      Delete
    4. ඔයාල තරම් මට අත්දැකීම් නැහැනෙ අජිත් මහත්තයෝ. ඒකයි නිවැරදි කරුණු ලියන්න හැදුවේ. ස්තුතියි.

      Delete
  4. ශනිදා දහයෙන් යළි ඇරඹුනු සිංහල බ්ලොග් රැල්ල නැවැත්විමට සිංහල බ්ලොග් විනාසකෙරුවන් යළිත් අනවශ්‍ය මඩ ගැහිලි හිංසාකාරි හා ප්‍රකෝපාකාරි කෙමෙන්ටු දැමිම පටන්ගෙන ඇත. රංග තේනුවර හා අජිත් ධර්මකුමාර නමින් හා වෙනත් ඇනෝ නම් වලින් පෙනි සිටින්නාවු දුර්ජන සිතුවිලි පිරුන මානසික ලෙඩුන් පිරිසක් අපගේ බ්ලොග් අතර මළපහකරන්නට සැදිපැහැදි ඇත. ඔවුන්ගේ ඉලක්ක වන්නේ යළිත් සිංහල බ්ලෙග් කලාව විනාස කිරිමයි. එවාට ගොදුරු නොවන්න.

    ReplyDelete
  5. රොත්ත පිටිං ඡන්ද බලාගෙන පත්වීම් දුන්නම ඔහොම තමා. (අපේ උන්දලත් යනවනෙ දේසපාලකයො පස්සෙන්). හැටහුයාමාරක් එක වැඩේට හිටියට ඒ ආයතනවල කාර්යක්ෂමතාවක්
    ඇත්තෙම නැති තරම්.

    කෙනෙක් මැරැනම දැන් අනික් අයට ඒ කටයුතු කරන්න නොමැරි මැරෙන්න වෙන සයිස්... 💔

    ReplyDelete
  6. //අම්මාගේ අවමඟුල තරමක් හෝ සාටෝපකාරී වුණු බව මගේ අදහසයි// ඇයි එහෙම කියන්නෙ. මටනං විසිතුරැ වැඩිබවක් දැනුනෙ නෑ. අනික යමක්කමක් තියෙන උදවිය ඒ අයගෙ විදිහට විශේෂ අවස්ථාවක් සමරණ එකේ ඇති වරදක් මං දකින්නෙ නෑ. හම්බකරන්නෙ වියදන් කරන්නත් එක්ක නෙවෙද

    ReplyDelete
    Replies
    1. අවමංගල්‍යය ගැන මගේ අදහසයි කිව්වේ. අනෙක් අයගේ අදහස්වලටත් ඉඩ දෙන්න වුණානෙ නමී.

      Delete
  7. අජිත් ධර්මකීර්ති මහතා ඉලක්ක කොට මඩ ප්‍රහාර එල්ල කරන්නේ ජේවීපීයට කඩේ යන සයිකල්කාරයෙක් නේද?

    ඒ මිනිහා ලේලී ඇඳුම් මාරු කරනවා බලං ඉදලා මාට්ටු උනයි කියනවනේ.
    මැයි 9 වෙනිදා ලංකාවේ ගෙවල් කඩලා මංකොල්ල කාලා ඔසී පැන්න.
    එහෙන් එලෙව්වා ලේලී ට බැල්ම දාන්න ගිහින්.

    ReplyDelete
  8. පුදුම වැඩනේ මේවා, සමහර නීති දාල තියෙන්නේ අපේම හොඳට කියල හිතමු.
    මම විජේබාහු

    ReplyDelete
    Replies
    1. ඔව් විජේබාහු මහත්තයෝ, දැන් කෙරෙන අපරාධ එක්ක නීති නැතුවත් බැහැ තමයි. ඒත් ඒවා ක්‍රියාත්මක කරන නිලදරුවන් පොඩි දරුවන්ට වැඩිය බුද්ධිමත් වෙන්නත් ඕනිනේ.

      Delete
  9. ලංකාවෙ අවමගුල් සහ මගුල් දෙකම පණ යන දේවල්. අවමගුල් දවස්වල පවුලෙ උන්ගෙ පණ යනවා. මගුල් හැමෝටම වගේ මලකරදරයක්.
    බටහිරින් වෙන මොන දේවල් ගත්තත් simplicity නම් ගන්නෙ නෑ මෙහෙ අය

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත Pra Jay මහත්තයෝ. සරල බව විතරක් නෙවෙයි අපි බටහිරින් නොගන්නේ. හොඳ දේවල්!
      අපි බටහිරින් ගන්නෙම නොගත යුතු දේවල්!

      Delete
  10. ඇතැමුන්...
    ඉන්න ටිකේ දුක සැපවත් කිසි නොබලා
    යන්න ගිය පසුව වැලපෙයි තැන නොබලා
    දෙන්න හදයි දානද ඉහළින් කරලා
    පන්න ගන්නෙ කොහොමද ගතිගුණ සිඳලා...

    ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. අල්ලක් දෙනකොටත් මල්ලක පුරසාරම්
      ලෝකෙට පෙනෙන්නයි ඔක්කොම ගුණවත්කම්
      පිරුවටයෙනුයි වහගන්නේ දස බලුකම්
      නැති හැටි වැඩි දෙනා ළඟ 'ගුණ යහපත්කම්!'

      Delete
  11. ලංකාවේ මැරෙනවට වඩා මෙහෙ මැරෙන එක හොඳයි වගේ. ඔය හුඟක් එව්වා මුදලක් දීලා කරගන්න ඕනේ නිසා වෙන ඒවා මම හිතන්නේ

    ReplyDelete
  12. මෙහෙ වැඩි දෙනා 'ජරාව'ට පුරුදු අයනේ අජිත්.

    ReplyDelete
  13. ග්‍රාම සේවකයාට මොකක්ද කරන්න තියෙන රාජකාරිය මිනියක් එක්ක

    ReplyDelete
    Replies
    1. මරණය සිද්ද වෙච්ච වසමේ ග්‍රාමසේවකට තමයි ඉස්සෙල්ලම දන්වන්න ඕනි. සමහර ග්‍රාමසේවකයෝ හොයාගන්න දැල් දාන්නත් වෙනවා, ඉවාන්!

      Delete
    2. හප්පා එහෙම සීන් එකක් ඇත්තටම දන්නෙ අද 🤦‍♂️

      Delete
    3. ඉවාන්, වැදගත්ම කාරණයක් මට මඟ හැරිලා වගෙයි- ඔය කරදර ඔක්කොම තියෙන්නේ කෙනෙක් ගෙදරදී මළාම තමයි.
      ඔය වගේ නීති නිසා තමයි පාරකදී කෙනෙකු ඇක්සිඩන්ට් වෙච්චි වෙලාවකත් මිනිස්සු එයාව ඉස්පිරිතාලෙට එක්ක යන්න ඉදිරිපත් නොවෙන්නේ.

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්