අකුරු මැකී නෑ

Monday, July 13, 2026

මතක මතක - සිව්වෙනි කොටස

මෙච්චර උගතෙක් වෙලත් මේ මනුස්සයා කිසිම ලජ්ජාවක් නැතිව තුට්ටු දෙකට වැටෙන හැටි! පෙනෙන විදිහට නං උන්නැහෙට එච්චර අහේනි පාටකුත් නැති එකේ...’

කොයි තරං දේවල් හිතට ආවත්, මේ ගැන ඊළඟට කරන දේ පරක්කු නොකර කරන්න ඕනිය කියලත් මට කල්පනා වුණා. බොස්ටත් විස්තරේ කියලා, මං ගොඩගේ මහත්තයාට ඇමතුමක් ගත්තා. සේරම විස්තර කිව්වා. එතුමාත් හූමිටි තියමින් මගේ කතන්දරේ අහගෙන උන්නා.
“දැන් මේකට මොනවද ගොඩගේ මහත්තයෝ කරන්නේ?”

යමුද අපිත් එක්ක තන්තිරිමලේ?

“කරන්නෙද?” ගොඩගේ මහත්තයාගේ නිවුණු ස්වරයයි ටෙලිෆෝන් එක දිගේ ගලාගෙන ආවේ.

“අපි ඔන්න ඔහේ ඒ මහත්තුරුන්ගේ කැමැත්තට ඉඩ දෙමු, නිමල්.
අපේ ගොඩගේ ප්‍රකාශන ආයතනය නිසා මට ලංකාවේ හොඳම පොත් කර්තෘවරුන් වගේම හොඳම පොත්කාරයොන්වත් අඳුනා ගන්න හම්බ වෙලා තියෙනවා... අවස්ථා ගොඩක් හම්බ වෙලා තියෙනවා... මොන විදිහේ දහංගැට ගැහුවත් අද ඒ ගොල්ලෝ පොත් ක්ෂේත්‍රයේවත් නෑ. නමුත් මම එදාටත් වඩා ස්ථාවරව තවමත් පොත් ප්‍රකාශන කර්මාන්තයේ ඉන්නවනේ. මට ඒ ඇති!”

ඒ වෙලාවේ ආලවක යක්ෂයා මගේ සිරස මස්තකයට වැඩම කරලා තිබ්බත් මං මුණි වත රැක්කේ ගොඩාක් අසීරුවෙන්. ‘ගොඩගේ මහත්තයාගේ කැමැත්තනෙ. නිමලෝ, තමුසෙ එයා කියනවට ඉහළින් යන්න ඕනියැ? ඒ මඟුලෙන් සිද්ද වෙන පාඩුවක් වෙන්නේ ගොඩගේ මහත්තයටමනේ...’ මගේ හිතුවිල්ලට බාධා කරමින් ගොඩගේ මහත්තයාමයි කතා කෙරුවේ.

“... තව එකක්. මෙහෙම කතාබහක් අපි අතරේ වුණු විත්තිය වෙන කවුරුවත් දැන ගන්න ඕනි නැහැ. අඩුම තරමෙන් ඔය මහාචාර්ය ගොයියයි, එයාගෙ ගෝලයායිවත්. එයාල අහන එකකුත් නැහැ- පොත් 250 ගහන්න ඕනි කරන කඩදහියි බෝඩුයි ගෙනෙන්න කිව්වම...”

ඒ සිද්දිය එහෙම පිටින්ම වැළලී යන්නට කලින් 2001 අවුරුද්දේ දවසක කේ.එම්.අයි. ස්වර්ණසිංහ මහත්තයා මට ආරාධනයක් කළේය.

"...නිමල්යමුද අපිත් එක්ක තන්තිරිමලේ?" ප්‍රෙස් එකේදී ස්වර්ණසිංහ මහත්තයා ඇහුවා. එතකොට 'තන්තිරිමලේපොත අච්චු ගැහෙනවා. මම විස්තර ඇහුවා.
"පොත දොරට වඩන්නේ තන්තිරිමලේ පන්සලේදී... උත්සවයට ගොඩගේ මහත්තයයිනෝනයිජේ. බී. සරුයියනවා- බස් එකක. සුනිල් සර්නන්දා මාලිනී නෝනා එහෙමත් යනවා. තව කට්ටිය ඉන්නවා. සේරම වියදමුත් ගොඩගේ මහත්තයා ගණනේ. යමුද?''

කැමැත්ත දෙන ගමන්ම මං අවසර ගත්තා මගේ හිතවතෙක් වන නෙවිල්වත් ගමනට කැන්දන් එන්න...’

එහෙමයි මගේ මරණය තෙක් ඉතාමත් ආදරයෙන් සිහි කරන්නට ඇහැකි ‘ඉමිහිරි මතකයක්’ මට හිමි වෙන්නට මුල පිරුණේ. ඒ විස්තර ඔක්කොම 2018 අවුරුද්දේ මං ‘නිදිගෙ පංච තන්තරේ’ට ලිව්වා ‘කූචු කුචයියෝ’ post එක ලියද්දී.

(මං කිව්වනෙ අපි ඒ ගමන ගියේ 2001 අවුරුද්දේ කියලා. ඒ ගමන මහාචාර්ය සුනිල් ආරියරත්න මහත්තයාගේ හිතටත් හොඳටම වැදෙන්න ඇතිය කියලා මට හිතෙනවා. ඒ නිසාම 2007 අවුරුද්දේ එතුමා ‘උත්පලවණ්ණා’ ෆිලුම රූගත කරන්නත් තන්තිරිමලේ ප්‍රදේශය තෝරා ගන්න ඇති කියලා මගේ හිත කියනවා!)

සමහරු කියනවා මේවා සැර වැඩියි කියලා...

හැබැයි- අපේ තන්තිරිමලේ ගමනෙදි වුණත් ගොඩගේ මහත්තයා මගෙත් එක්ක කතා කළේ වචන දෙකයි.

ඒ බොහොම හෘදයංගම සිනහවකිනුත් සංග්‍රහ කරන ගමන්... “කොහොමද නිමල්?”
එතුමාගේ ඒ වචන දෙකෙනුත්- නිවුණු හිනාවෙනුත් කතන්දර සීයක්-හමාරක් කියැවුණු බවයි එදා මට හැඟුණේ.

ඒ ගමන පුරාවට මං දැක්කේ තමන් අඩුවෙන් කතා කරමින්- අනුන්ට රිසිසේ කතා කරන්නට ඉඩ හදන ‘අන්තිම සරල මනුස්සයෙක් වගේම ඉතා හොඳ සවන් දෙන්නෙක්’. ඒ අන්‍යයන්ට සවන්දීම පමණ ඉක්මවා ගිය එකක්ද කියලත් මට හිතුනා- පස්සේ දවසක. මගේ ‘හිනා වෙන්න හිනා’ පොත අච්චු ගැස්සෙව්වට පස්සේ.

ඒ අත්දැකීම නම් මිහිරි එකක් නොවිණි. එහෙත් ඒ ගැන පවා 2021 දී මම ඔබට කීවෙමි.

‘හිනා වෙන්න හිනා’ පළ කරන්නට ප්‍රසිද්ධ ප්‍රකාශන සමාගමක අනුමැතිය ලැබිණි. මුද්‍රණ ආයතනයකම සේවය කළත්, මගේ වැඩ පෙරට දැමීමේ කලාව මා නොදන්නා බැවින් ‘වැඩේ ඇදුණේය’.

අන්තිමට පොත් 100ක් සකසා ප්‍රකාශන ආයතනයට යැවීමි.

පසුවදාම එහි සේවය කරන අයෙකුගෙන් දුරකථන ඇමතුමක් ලැබිණි. “අපේ මහත්තයයි, නෝනයි, තවත් අයයි කැකිරි පළනවා, නිමල් අයියගෙ පොත කියවලා!”
මම ඉමහත් සතුටට පත් වීමි!

ඒ සතුට රැඳුණේ පැය කිහිපයකි. තවත් දුර ඇමතුමක් ආවේය. ප්‍රකාශන සමාගමේ අධිපතිතුමාගෙනි.

“සමහරු කියනවා නිමල්, මේවා සැර වැඩියි කියලා.... ඊටත් මේ දේශපාලන යාං හෑලි. අපිටත් ප්‍රශ්නයක් වෙයිලු මේක ගහන එක...” එතුමෝ කීහ.

“... මං කියන්නම් වැඩක්. පොත් කවරේ පොසිටිව්ස්වලට, ප්ලේට්, ඉම්ප්‍රෙෂන්ස්, බෝඩ්, ලැමිනේටින්, ටයිටල් පිටු.... ඒවාට ගිය වියදම මම දරා ගන්නං. ඒවා අයින් කරලා, අපේ නම නැතිව පොත හදලා විකුණගන්න....”

පසුව ආරංචිවූ අයුරින් ඒ යෝජනාව කරන තැනට එතුමන්ව පත්කොට ඇත්තේ- ‘සදාචාර සම්පන්න, සත් ගුණවත්, බහුශ්‍රුත කිහිප දෙනෙකු’ විසිනි...'

එවැනි අවස්ථාවල තමන්ට සිදුවෙන පාඩුව හෝ අලාභය හෝ ගැන සිරිසුමන ගොඩගේ සිරිමතාණන් කිසිම තැකීමක් නොකළ බවටත් ඒ සිදුවීම හොඳ උදාහරණයකි.
එසේම, කළ යුතු දෙයක් එළැඹි කල්හි- කිසිසේත් නොබා ඒ කාර්යට උර දෙන්නටත් එතුමා පසුබට  නොවූයේය.

එලෙස කටයුතු කළ අවස්ථාවක මහිමය දකින්නටත් නිදි වාසනාවන්ත විණි.

සිංහලෙන් පළ වුණු පළමුවෙනි ‘කොෆී ටේබල්’ පොත වුණු එහි සැලසුම් ක්‍රියාවලියේ කොටසකට දායක වෙන්නටත්...

ඒ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මැතිඳුන් පිළිබඳ රූපාලේඛ්‍යය මුද්‍රණයෙන් පළ කෙරුණු අවස්ථාවයි. සිංහලෙන් පළ වුණු පළමුවෙනි ‘කොෆී ටේබල්’ පොත වුණු එහි සැලසුම් ක්‍රියාවලියේ කොටසකට දායක වෙන්නටත් මට ඉඩ පෑදිණි. (මා ඒ කාර්යය මැනවින් ඉටු කළ නිසාදෝ...) ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාණන්ගේ 85 වෙනි ජන්මෝත්සවයටත්- එදින ගෝල්ෆේස් හෝටලයේ පැවැත්වූ පොත දොරට වැඩුමටත් සහභාගී වන්නැයි ඇරයුම්ද ලද්දෙමි. (බෙහෙවින්ම ස්තුතියි සුනිල් ආරියරත්න මහත්මාණෙනි.)

(වර්ණ මුද්‍රණ කටයුතු පිළිබඳ වැඩි අවබෝධයක් ලබනු රිසි අයට ‘ලෙස්ටර්’ Coffee Table පොතට ගෑවුණෙමි! -පළමුවෙනි පෝස්ටුවත් එහි දෙවෙනි පෝස්ටුවත් ‘නිදිගෙ පංච තන්තරේ’ අඩවියෙන්ම කියැවිය හැකිය.)

මං මේ ‘මතක මතක’ posts ලියන්න ගත්තේ ‘ගොඩගේ මැතිතුමා’ ගැනයි, ‘කරුණාරත්න අමරසිංහ මැතිතුමා’ ගැනයි සම්බන්ධ මගේ අත්දැකීම්වලින් ටිකක් ලියන්න හිතාගෙන.

ගොඩගේ මහත්තය ගැන නං දැනටමත් ටිකක් වැඩියෙන් ලියැවිලා වගෙයි... තව ටිකක් පස්සේ ලියමුකො.

කරුණාරත්න මහත්තයව මට හැබැහින් හම්බ වුණේත් ‘හිනා වෙන්න හිනා’ පොත නිසයි. ඒකට පාර හදලා දුන්නේ ඩී.බී. කුරුප්පු හිතවතායි.

“ඉතිං ළමයෝ, ඒකෙන් මේකෙන් ගහපු පොත් ටික විකුණා ගන්න මරාලෙ ඔය ළමයගෙම ඉහ උඩට කඩා පාත් වුණා එහෙනං.” මට වෙච්චි අකරතැබ්බේ ගැන විස්තර දැනගත්ත කුරුප්පු මහත්තය හූල්ලන සද්දේ ටෙලිෆෝන් එකෙන් ඇහුණා.

“මම දන්න දෙන්නෙක් රේඩියෝ එකේ ඉන්නවා... දෙන්නම හොඳ මිනිස්සු. එයාලට මම පොඩි ලියුම් දෙකක් ලියලා- ඔය ළමයට එවන්නං... එයාලට ටෙලිෆෝන් කරලා වෙලාවක් යොදාගෙන ගිහිං, ඒ දෙන්නව හම්බ වෙන්න. නිමල්ගේ ‘හිනා’ පොතකුත් එයාලට දෙන්න. මම ඒ දෙන්නටම කියන්නයි යන්නේ-මට කරන උදව්වක් විදිහට හිතලා ඔය ළමයාගේ පොතට ගුවන් විදුලියෙන් පොඩි ප්‍රචාරයක් දෙන්නයි කියලා.”

කුරුප්පු මහතා කියූ විදිහටම ඊළඟ සතියේ ඕස්ට්‍රේලියාවේ ඉඳලා මට තඩි ලියුමක් ආවා. ඒ ලියුම ඇතුළේ තව ලියුම් දෙකක්. එකක් සුසිල් සිරිවර්ධන මහතා නමට. අනෙක කරුණාරත්න අමරසිංහ මහතාගේ නමට.

සුසිල් සිරිවර්ධන කිව්ව ගමන්ම මගේ මතකයට ආවේ 1971 ජේ.වී.පී කැරැල්ලට සම්බන්ධ උගතෙකු විදිහට ප්‍රසිද්ධ කෙනෙක්ව. (පස්සේ කාලෙකයි දැන ගත්තේ ‘මහ නඩුවේ 24 වෙනි විත්තිකාරයා’ වුණෙත් එතුමාම බව.)
“සුසිල් සමහරවිට ඔයාගේ පොතට උදව් කරන එකක් නෑ. එයා ගොඩක් දාර්ශනික- සංස්කෘතික අංශවලටයිනෙ බර. ඔයාට උදව් කළත් නැතත් ඒ මනුස්සයව හම්බ වෙලා කතා කරන එකත් නිමල්ට ලැබෙන ලොකු වාසනාවක්. හොඳ එක්ස්පීරියන්ස් එකක් වෙයි. රෙද්ද බැනියම අඳින බොහොම සරල මනුස්සයෙක්- ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේත් ඉගෙන ගත්තු කෙනෙක්ය කියලා සුසිල්ව දැක්කම කෙනෙකුට නොහිතෙන තරං...”

පස්සේ කාලෙකයි දැන ගත්තේ ‘මහ නඩුවේ 24 වෙනි විත්තිකාරයා’ වුණෙත් එතුමාම බව.

කුරුප්පු මහත්තයාගේ ඒ රෙකමදාරුව අහපු ගමන්ම මං තීරණය කළා ඉස්සෙල්ලම සුසිල් මහතාට කතා කරලා ඉන්න.
(මෙතෙන්දි තව හිනා යන කාරණයකුත් තියෙනවා ඔයාලට කියන්න. මං වහන්සේ යම් යම් නම්වලටත් වහ වැටෙනවා... නිකංම නිකං හේතු කාරණා නැතිවත්- හේතු කාරණා ඇතිවත්. සුසිල් නමත් මගේ සිත්ගත් නමක්. ඒ ‘රන් දූපත’ චිත්‍රකතා පොත නිසායි. ශ්‍රී ලංකාවේ මුද්‍රිත පළමුවෙනි චිත්‍රකතා පොතයි ‘රන් දූපත’. ඒක ඇන්දේ සුසිල් ප්‍රේමරත්න මහත්තයා. ඉතිං නිරාසයෙන්ම සුසිල් නමටත් මගෙන් ලකුණු ගොඩක් වැටිලයි තිබ්බේ.)

ඉතිං මං සුසිල් සිරිවර්ධන මහත්තයාට කතා කෙරුවා. එතුමා උත්තර දුන්නු විදිහෙන්ම තේරුණා කුරුප්පු මහත්තයා කෙරෙහි සිතේ තිබුණු සැලකිල්ල.
“බෝල්ඩ්වින් මහත්තයාගේ හිතවතෙක් කිව්ව නම් ඉතිං සුවිශේෂ කෙනෙක් වෙන්න ඇතිනේ... එතුමා ආවට ගියාට කාවවත් රෙකමන්ඩ් කරන කෙනෙක් නෙවෙයිනෙ. කොයි වෙලාවටද නිමල්ට මාව හම්බ වෙන්න පහසු?”

එදා අපේ දුරකථන සංවාදය නිම වුණේ හමු වීමට වෙලාවක් වෙන් කරගෙනය.
“නිමල් තැනකට යනවයි කිව්වම එතෙන්ට යන්නේ චන්ද්‍රිකා නෝනගේ වෙලාවෙන් නෙවෙයි නේද? හඃ හඃ...😃😃😃” වෙලාවක් යොදාගත්ත විස්තර ගැන කිව්වම කුරුප්පු මහත්තය ඇහුවේ පූර්ව දැනුම්දීමක් විදිහට.
“අපොයි නෑ! ඉස්සර නං මම මොන වැඩේට යන්නෙත් පරක්කු වෙලා... හැබැයි 1979 ඉඳලා මම ඒ කැත පුරුද්ද එහෙම පිටින්ම නැති කර ගෙනයි ඉන්නේ.”

“හරි ෂෝක්නේ. ඒ මොකෝ ළමයෝ... 76 ඉඳලා... ඒක පිටිපස්සේ හොඳ කතන්දරයක් තියෙනව වගෙයි.”

තජකයේ ප්‍රේමරත්න මහතා නිසා නිමල් දිසානායකගේ ජීවිතය ගොඩාරියක් ලස්සන කරන පුරුද්දක් ඇති වුණු හැටි මං එදා කුරුප්පු මහත්තයට කිව්වා. ඒ සිද්දිය මට නං අද වගේ මතකයි. (ඒ විස්තරය මුලින්ම මේ විදිහට ලිව්වේ අදට අවුරුදු පහකට කලින්.)

‘... ඒක; පරක්කු වීම මට පුරුද්දටම ගිහින් තිබුණු එකකි.

ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ, තරුණ ජනගහන කමිටුවේ ‘උඩවැඩියා වගා පාඨමාලාව’ හදාරන්නට 1979 අගදී යනතුරුම මගේ වැඩ සේරම කෙරුණේ විනාඩියක් හරි පරක්කු වෙලාය. පළමුවෙනි දවසේ මා ඒ පන්තියට ගියෙත් පැය බාගයක් විතර පරක්කු වෙලාය. තවත් සමහරුන් ආවේ මටත් පස්සෙය!

“... පන්තියට ඇවිත් ඉන්න ඔයාලා සේරම වැඩිහිටි කට්ටිය විදිහටයි මට පෙනෙන්නේ. ඔයාලව ඉන්ටර්විව් කරන වෙලාවේ දකින්න ඇතිනේ පන්තියට සහභාගී වෙන්න හිතාගෙන කොච්චර කට්ටියක් ඇවිත් හිටියද කියලා.

සිංහලයො වුණාම සිංහල විදිහටනෙ වැඩ කරන්නේ.

-එයින් තේරුණු වාසනාවන්ත ඔයාලට මමත් නිසි විදිහටම ගරු කරන්න ඕනෙ.

-ඒ වෙනුවෙන් අද ඉඳලා එක දිගට මාස හයක් උපරිමයෙන් කැපවෙන්න මම ලැහැස්තියි. ඒ කැපවීමෙන් උපරිම ප්‍රයෝජන ගන්න කියල මම බොහොම ගෞරවයෙන් ඔබ හැම දෙනාගෙන්ම ඉල්ලා හිටිනවා, ඉස්සෙල්ලම...

-අද අපි කාටත් පෙනුණා සමහරුන් පන්තියට ආව වෙලාව. ඒ සිංහල වෙලාවට... සිංහලයො වුණාම සිංහල විදිහටනෙ වැඩ කරන්නේ. ඉතින් මටත් සිද්ද වුණා, පන්තිය පටන් ගන්න ඔයාලා වැඩි දෙනෙක් එනකල් බලාගෙන ඉන්න.

-අපි වෙලාව ගණන් ගන්නේ සිංහල විදිහට නෙවෙන නිසා. ඔයාලගෙ ඔරලෝසු ඔක්කොමත් සිංහල ඔරලෝසු නෙවෙයිනෙ. ඉතින්, ඊළඟ දවසෙ ඉඳලා මම සිංහල වෙලාවට නෙවෙයි; හරියටම නියමිත වෙලාවට... පන්තිය පටන් ගන්නවා....

-ඇවිත් ඉන්නේ එක්කෙනාද, ඒත් මම නියමිත වෙලාවට පන්තිය පටන් ගන්නවා. මම ඔයාලට ගෞරව කරනවා වගේ, මටත් කරන ගෞරවයක් වශයෙන්, ඊළඟ දවසෙ ඉඳලා වෙලාව වරද්දන්නෙ නැතිව ඔය හැම දෙනෙක්ම පන්තියට එයි කියලා මට විශ්වාසයි....”

ඒ පන්තියේ අපේ ගුරුතුමා ලෙසින් කටයුතු කළ එම්.ජී. ප්‍රේමරත්න මහතා අහිංසක තර්ජනයක් කරමින් එදා කිව්වේය.

     ‘ගුරු සිත               නොරිදවා
      
වේලාව               නොවරදවා
      
බැති පෙම්                  උපදවා
     
අකුරු උගනී කුමරු සොඳවා’ - කවිය අහලා; කට පාඩම් කරගෙන තිබුණා වුණත් එයින් කියවෙන පාඩම එතෙක්කල් මේ පණ්ඩිත මටවත් වැටහී තිබුණේ නැහැ නේද?

අනෙක් අයට කොහොමදැයි කියන්නට නොදන්නා මුත් ඒ ප්‍රසන්න කතාවත්, සුහද ඉරියවුත්, අධිකාරිවාදී tone එකත් මට නම් බොක්කටම වැදුණේය. මගේ පුරුද්ද ගැන හොඳටම ලජ්ජා හිතුණේය. එදින්-එදායින් පස්සේ නිමල් දිසානායක පුතයා කොයියම්ම වැඩකට යතත් වෙලාවට කලින් යන්නට පුරුදු වුණේය! හිතාමතා නම් පරක්කු වෙන්නෙම නැත. අද, මේ වෙන තුරුම; අවුරුදු 40ක් විතර කල් ගිහිල්ලත්!!

ප්‍රේමරත්න මහතාණෙනි, මා අදටත් එහෙම කරන්නේ ඔබට කෙරෙන උපරිම ගෞරවයක් පරිද්දෙනි!
ගුරුවරයෙකු ලෙසින් ඒ පන්තියේදී ඔබෙන් පළ වුණේ අත්‍යුදාර කැප කිරීමකි; සතිය පුරාම සටහන් ලියාගෙන- ආදර්ශ එකතු කොටගෙන එන ඔබේ වෙහෙස ගැන පන්තියේ සිසු-සිසුවියෝ පුදුම වූහ. ඉතිං, නූතන දිසාපාමොක් කෙනෙකු වූ ඔබට ගරු නොකොට කොහොමද?

ටෙලිෆෝනය දිගේ මට ඇසුණේ අත්පොලසන් දෙන හඬකි. 

කාගෙන් හරි කමක් නෑ, හොඳ පුරුදු ඉගෙන ගත්තොත් අපිටමයි යහපතක් වෙන්නේ...

“හඃ, හඃ, හඃ... එහෙම තමයි ළමයෝ වෙන්න ඕනත්. කාගෙන් හරි කමක් නෑ, හොඳ පුරුදු ඉගෙන ගත්තොත් අපිටමයි යහපතක් වෙන්නේ... පොඩ්ඩක් හොයල බලල- පුළුවනි නං ඔය මිස්ටර් ප්‍රේමරත්නව මටත් මුණ ගස්සනවකෝ ළමයෝ. එහෙම අයව දැකගන්න එකත් වාසනාවක්.

-තව ඩිංගෙන් කියන්න හැදුව දේත් මඟ ඇරෙනවා... සුසිලුත් සුද්දා වගේ- වෙලාවට වැඩ කරන්නේ- රෙද්ද බැනියම ඇන්දට... ඔය ළමයට එන්න කියපු වෙලාවටම යන්න...”

සුසිල් මහත්තයාගේ දැවැන්ත- ගම්භීර මන්දිරය දැක්ක ගමන්ම මං වහන්සේ හේබාලා ගියා. ‘එසේ-මෙසේ පුතයෙක් නොවෙන කෙනෙකුට මෙහෙම තැනක ඉන්න පුළුවන්ද?’

ඒ හැඟීම ඉක්මනින්ම වාෂ්ප වෙලා ගියේ සුසිල් මහත්තය මාව පිළිගත්ත සුහද ලීලාවෙන්. “බෝල්ඩ්වින් මටත් ටෙලිෆෝන් කළා. කෝ නිමල් එයා එවපු ලියුම...” ඒ ලියුම කියවල ඉවර වෙලා, එතුමා මගෙන් ඉල්ලා ගත්ත ‘හිනා වෙන්න හිනා’ පොතත් අතැනින්- මෙතැනින් කියවල බැලුවා.
ඊට පස්සේ මගේ දිහාවට බොහොම සානුකම්පිත බැල්මක් හෙළුවා.😖

“හැබැයි නිමල් මහත්තයෝ- බෝල්ඩ්වින් මහත්තයාගේ මුඛ්‍ය යෝජනාවට නං මට දෙන්න වෙන්නේ නිෂේධනීය උත්තරයක්...”

ඉතිරි හරිය ඊළඟ කොටසෙන්...

43 comments:

  1. හ්ම් හොඳ පෝස්ට් එකක් හැබෑට නිදී මට මතක් වෙනවා ඉස්සර රස සාගර නිර්මාපක යසපාලිත නානායක්කාර හැත්තෑව දශකයේ අධ්‍යක්ෂනය කරනලද "තුශාරා" චිත්‍රපටයේ ෆයිට් සීන් ඒකාල⁣යේදී මිනිස්සුන් නැරඹුවේ චිත්‍රපටශාලාවල හිටගෙන, විසිල් ගසමින් බව ඇතැම් පුවත්පත් ලිපිවල පලවී තිබී පසුකාලයකදී කියවූබව මට මතකයි.

    හැබැයි නිදී දැන් එහෙව් යසපාලිත, "තුශාරා" ද පරදවන මට්ටමේ තවත් නිශ්පාදනයක් සද්ද නැතිවම රටට දායාද කර ඇති බව රටම දැනගත්තේ ඔහුගේ පුත්‍රයා අර බන්ධනාගාර නිලධාරීන් ගේ මලගෙවල්වල ගොස් අඬන ඇඬිල්ල දුටු පසුවයි.

    ආයෙමත් දෙකක් නැහැ, හැදුවේ යසපාලිත නම්, ඒක රස සාගරයක්. යසපාලිත නානායක්කාරට.... ජයවේවා! 🤣🤣

    ReplyDelete
    Replies
    1. ඔයාට අමතක වුනාද Ano මහත්තයෝ හර්ෂණ නානායක්කාර මහතාගේ සොහොයුරා. රජීව් නානායක්කාර. එයා films කිහිපයකම රඟපෑවා.

      Delete
  2. මේ වගේ අය හමු වී කතාකරන්න ලැබීමේ අත්දැකීමත් රස දනවන එකක් වගේ පෙනෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔව් Litseeker, ඒවා ඉතාම රසවත් වගේම හරවත් අත්දැකීම්. එහෙම පිටින්ම ඇසූ පිරූ තැන් බහුල- විශ්ව කෝෂ!

      Delete
  3. වෙලාවට වැඩකට නොයන ලොක්කෙක්ගෙන් ඒ ගැන ඇහුවම ලැබුන උත්තරේ තමයි , වෙලාවට ගියිත් මිනිස්සු හිතයි අපිට වැඩ නැ කියල කියන එක .

    ReplyDelete
    Replies
    1. ඒකෙන්ම තේරෙනව නේද ලලිත් මහත්තයෝ ඒ ලොක්කගේ මොළේ තරම.

      Delete
  4. Replies
    1. ස්තුතියි ඉයන් මහත්තයෝ.
      ඔබතුමාගේ මෑණියන්ගෙ අභාවය පිළිබඳව බලවත් කනගාටුව ප්‍රකාශ කරන අතරම ඇයට සග මොක් සුව පතන්නම්.

      Delete
  5. කියෙව්වා.
    ++++++++++++++++++++++++🤔

    ReplyDelete
  6. මට තාමත් තේරුම් ගන්න බෑ, මොකක්ද මේ පොත් ගැහිල්ලෙ තියෙන ආතල් එක කියලා. පේන විදිහට නං පූරුවෙ පවක්.🤔

    ReplyDelete
    Replies
    1. ගහල බැලුවා නම් හරි

      Delete
    2. පොත් ගැහිල්ලත් එක විදිහක කැහිල්ලක් බස්සා මහත්තයෝ. කසනකල් සනීපයි - ඉවර වුණාමයි රිදෙන්නේ.....😁

      Delete
    3. එහෙම නේද අජිත් ධර්ම මහත්තයෝ?

      Delete
    4. බොසා හරි බොසා

      Delete
    5. නිදිගෙ අපූරු උපහැරනෙ නිසා දැන් පැහැදිලියි.👌🤣

      Delete
    6. අජිත් ධර්ම, බස්සා මහත්වරුන් දෙන්නාටම ස්තුතියි.

      Delete
  7. රසවත් ලිපියක්

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි අජිත් ධර්ම මහත්තයෝ.

      Delete
  8. Replies
    1. ගොඩක් ස්තුතියි Pra Jay මහත්තයෝ.

      Delete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. සුසිල් සිරිවර්ධන මහතාට උගත්කම වගේම හොඳ පෞරුෂත්වයක් තියෙන බව පේනවා. ඔය කියන හැටියට පරම්පරාගත ධනවතුන් වෙන්නත් ඇති. මේ වගේ අය ඔය කැරැල්ලට සම්බන්ධ වෙන්න ඇත්තෙ අවංක අදහසකින් වෙන්න ඇති නේද? ඔය 71 මුල් කැරැල්ලෙ විත්තිකාරයො වැඩි දෙනෙක් පසුව සම්පූර්ණයෙන්ම දේශපාලනයෙන් අයින් වුනා කලකිරිලා.

    ReplyDelete
    Replies
    1. ඔයා කියන දේ ගැන මට තියෙන පුංචි අත්දැකීම් ටික එකතු කරලා වෙනම post එකක් ලියන්න හිතුණා, බකුසුතුමෝ.

      Delete
    2. සුසිල් සිරිවර්ධන ගැන මම සොයපු තොරතුරු අනුව ඔහු 1971 කැරැල්ලට සම්බන්ධ තරුණ කණ්ඩායමේ අයෙක් වූ අතර, පසුව රාජ්‍ය සේවයේ නියැලී, ජනාධිපති ආර් ප්‍රේමදාසගේ ගම් උදාව වැඩසටහන් වැනි සංවර්ධන ව්‍යාපෘතිවලට සම්බන්ධ වූ දේශපාලනඥයෙක් හා චින්තකයෙක් ලෙස ප්‍රසිද්ධ වුණා. එතුමාගේ පෞරුෂත්වය ගැන ඔබ කියන දේ, එතුමා ගැන ලියැවුණු බොහෝ ලිපිවලත් පොදුවේ ප්‍රකාශ වෙනවා.

      71 කැරැල්ලේ අනෙක් අයවගේම, එතුමාත් ධනවත් හෝ මධ්‍යම පාන්තික පවුලකින් ආවෙක් ලෙස ඉතිහාසඥයන් සඳහන් කරනවා. ඒ නිසා "සියල්ලෝම දුප්පත් ගමේ තරුණයෝ" කියන කතාව සම්පූර්ණයෙන්ම නිවැරදි නෑ - ඇතැම් නායකයෝ, විශේෂයෙන් ශිෂ්‍ය කැඳවීම් හා දේශන කළ අය, උගත් හෝ සාපේක්ෂව හොඳ තත්ත්වයේ පවුල්වලින් ආ අය. ඔවුන් ඒ ව්‍යාපාරයට සම්බන්ධ වුණේ පෞද්ගලික ලාභයක් අපේක්ෂාවෙන් නොව, ඒ කාලේ තිබුණු අර්ථික අසමානතාවය, තරුණ අර්ථහීන අභිලාෂ, සහ ජාත්‍යන්තර වාමාංශික චින්තනයෙන් පොළඹවීමකින් කියලා තමයි බොහෝ දෙනා විශ්වාස කරන්නේ - මොකද ඔවුන්ට පෞද්ගලික වශයෙන් අහිමි වෙන්න තිබුණේ ලාභයක් නෙවෙයි, අවදානමක් විතරයි.

      කෙටියෙන් ලියනවානම් අපි කවදාවත් අමතක කරන්න බෑ, 71 කැරැල්ලේ බොහෝ අය අවංක අදහසින්මයි ආවේ කියලා. ඒත් ඒක ම හරි විදිහට කිරීමනෙවෙයි - උද්‍යෝගය තිබුණාට උපායමාර්ගයක් තිබුණේ නෑ, ලෝකය ගැන පරිකල්පනීය චිත්‍රයක් තිබුණාට ක්‍රියාවලියක් තිබුණේ නෑ. ඒ නිසා තමයි කැරැල්ලෙන් පස්සේ ඔවුන්ගෙන් සැලකිය යුතු පිරිසක් - ඉවසිලිවන්ත, උගත් අය - දේශපාලනයෙන්ම ඈත් වුනේ. ඔවුන්ට තේරුණා, විප්ලවීය ආවේගය රටක් හදන්න ප්‍රමාණවත් නෑ කියලා. සුසිල් සිරිවර්ධන වගේ අය, පස්සේ රාජ්‍ය සේවයේ නියැලුනේ ඒ පාඩම නිසාමයි කියලා මම හිතනවා - කලකිරීමකින් නෙවෙයි, ප්‍රායෝගික බවකට හැරීමකින්.

      මේක එක් අර්ථකථනයක් විතරයි - මේ මතය ගැන ඉතිහාසඥයන් අතරත් වෙනස් අදහස් තියෙනවා, සමහරු ඒක සැබෑ දේශපාලන පරිණතභාවයක් කියලා දකින අතර, තව අය ඒක අවස්ථාවාදයක් හෝ පෞද්ගලික ආරක්ෂාව සොයාගැනීමක් කියලා විවේචනය කරනවා.

      Delete
    3. ස්තූතියි ඇනෝ. හොඳ විස්තරයක්.

      Delete
    4. මමත් ඔය 71 කැරැල්ලට සම්බන්ධ වෙච්ච බුද්ධිමතුන් ගැන තනිවම හදාරලා තියෙනවා විවේක වේලා වලදී, අපි උපදින්නට දශක දෙකකටත් ඉස්සර කාලෙක තිබ්බ සමාජ තත්ත්වය සහ වටපිටාව ගැන අපට 100%ක්ම අවබෝධයක් නෑ නිමල් දිසානායක මහතාට වගේ ඒ කාලේ ජීවන අත්දැකීම් අපට නැති නිසා, ඒත් අපට යම් තරමකට දළ අදහසක් ගන්න පුළුවන් බවයි මගේ හැඟීම, හැබැයි මම හදාරන්නට පටන් ගත්තාම මට පැහැදිලිවම පෙනී ගිය දෙයක් තමයි, සුසිල් සිරිවර්ධන මහත්මයා කියන්නේ උගත්කම වගේම අතිශය ආකර්ෂණීය සහ ගෞරවනීය පෞරුෂත්වයක් තිබුණු, උපතින්ම පරම්පරාගත ධනය සහ දේශපාලන බලය හිමි ප්‍රභූ පන්තියක සාමාජිකයෙක් කියන එක, මොකද ඔහු හිටපු අගමැති එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහත්මයාගේ ළඟම ඥාති පුත්‍රයෙක් වුණු අතරම, ලෝක ප්‍රකට ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලබා ලංකාවට ඇවිත් එවකට රටේ ඉහළම තනතුරක් වුණු ලංකා පරිපාලන සේවයට (SLAS) බැඳුණු කෙනෙක් වුණත්, තමන් සතු වුණු ඒ සියලු වරප්‍රසාද සහ සැපපහසුකම් අතහැරලා තමන්ගේ මුළු ජීවිතයම අනතුරේ දාගෙන 71 කැරැල්ලට සම්බන්ධ වුණේ කිසිදු පෞද්ගලික හෝ දේශපාලන වාසියක් බලාපොරොත්තුවෙන් නොව, ග්‍රාමීය පීඩිත ජනතාව ක්‍රමයේ අසාධාරණයෙන් මුදවා ගැනීමේ අතිශය පිරිසිදු සහ පරමාදර්ශී අවංක චේතනාවකින්ම පමණක් බවයි මගෙත් අදහස

      විශේෂයෙන්ම ඔය සුසිල් සිරිවර්ධන මහත්මයා කියන්නේ උගත්කම වගේම පට්ට පෞරුෂත්වයක් තිබුණු, උපතින්ම පරම්පරාගත කෝටිපති ධනයක් වගේම ඉහළම දේශපාලන බලයක් හිමි ප්‍රභූ පවුලක කෙනෙක්, ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් ඉගෙනගෙන ලංකාවට ඇවිත් එවකට රටේ තිබුණු සුපිරිම රස්සාව වුණු ලංකා පරිපාලන සේවයට (SLAS) බැඳුණු කෙනෙක් වෙලත්, මෙච්චර සැපපහසු ජීවිතයක් තියෙද්දීත් එයා අනුරාධපුර පැත්තේ සේවය කරද්දී ගමේ දුප්පත් කොල්ලෝ විඳින පීඩනය සහ ක්‍රමයේ අසාධාරණය ඇස් පනාපිටම දැකලා, තමන්ගේ පන්ති වරප්‍රසාද ඔක්කොම කුඩේ කුඩු කරලා දාලා, 71 ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මුල්කාලීන පරමාදර්ශී මතවාදයන්ට එකතු වුණේ කිසිම පෞද්ගලික වාසියක් බලාගෙන නෙවෙයි, දුප්පත් මිනිස්සු වෙනුවෙන්

      ඒ නිසාමයි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ රජයෙන් අත්අඩංගුවට අරන්, 'තමන්ගේ පැලැන්තිය පාවා දුන්නා' කියලා අවුරුදු ගාණක් හිරේ දාලා තිබ්බත් තමන්ගේ ප්‍රතිපත්ති පාවා නොදී හිටියේ

      හැබැයි, හිරෙන් නිදහස් වුණාට පස්සේ, කැරැල්ලෙන් වුණු අතිවිශාල ජීවිත හානියයි, පක්ෂ ඇතුළේ තිබුණු බල අරගලයි දැකලා එයා සක්‍රීය දේශපාලනයෙන් සම්පූර්ණයෙන්ම කලකිරිලා අයින් වුණත්, මිනිස්සුන්ට සේවය කරන්න තිබුණු උණ සනීප වුණේ නැති නිසා, පස්සේ කාලෙක ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයා එක්ක එකතු වෙලා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ප්‍රථම සභාපති විදිහට 'ගම් උදාව' ආදර්ශ ගම්මාන සංකල්පයත්, දුප්පත්කම නැති කරන්න ආපු දැවැන්තම 'ජනසවිය' ව්‍යාපාරයේ ප්‍රධාන කොමසාරිස් ධුරයත් දරමින් දේශපාලන බලය පාවිච්චි කරලා දුප්පත් මිනිහව ආර්ථික වශයෙන් ඉහළට ඔසවා තබන්න සුපිරි ප්‍රතිපත්තිමය මෙහෙවරක් කළා

      තව එකක්, අපේ අය පටලවගත්තට මේ සුසිල් සිරිවර්ධන මහත්මයා සහ අපේ රටේ ප්‍රකට කලා පවුලක් වෙන සුනිල් සිරිවර්ධන, චන්ද්‍රිකා සිරිවර්ධන, මධුමාධව හරි ධනංජය සිරිවර්ධන හරි අතර කිසිම ලේ ඥාතිත්වයක් නැහැ, ඒක හුදු වාසගමේ සමානකම විතරයි

      ඉතින් මෙච්චර සල්ලි බාගේ තිබ්බත් ජීවිතේ අවසානය වෙනකම්ම (2021 අගෝස්තු වෙනකම්ම) සරල ජාතික ඇඳුම විතරක් ඇඳලා, මිනිස්සුත් එක්ක බිම ඉඳන් කතා කරපු සුසිල් සිරිවර්ධන මහත්මයා කියන්නේ මේ රටේ දේශපාලන සහ පරිපාලන ඉතිහාසයේ ලස්සනම සහ අවංකම සලකුණක් කිව්වොත් මම නිවැරදියි

      හැබැයි මෙතන තියෙන ලොකුම ඛේදවාචකය තමයි, ඔහු ඇතුළු ඒ මුල් කැරැල්ලේ හිටපු විත්තිකරුවන් සහ බුද්ධිමතුන් බහුතරයක් සිරදඬුවම් විඳලා නිදහස් වුණාට පස්සේ සක්‍රීය දේශපාලනයෙන් සම්පූර්ණයෙන්ම ඈත් වීම; මොකද තමන් පණ මෙන් ආදරය කළ විප්ලවය තුළින් දහස් ගණනක් තරුණ ජීවිත විනාශ වීම, සිරගතව සිටි කාලයේදී ව්‍යාපාරයේ අභ්‍යන්තර නායකත්වය අතර ඇති වුණු බල අරගල සහ පසුකාලීනව (විශේෂයෙන්ම 87-89 භීෂණ සමයේ) දේශපාලනය තුළ දකින්න ලැබුණු අන්තගාමී ප්‍රචණ්ඩත්වය නිසා ඔවුන් මේ පවතින දේශපාලන ක්‍රමය කෙරෙහි අතිශය කලකිරීමට පත් වුණා. නමුත් සිනිකල් (Cynical) හෝ පරාජිතයන් වෙලා හැංගෙන්නේ නැතුව, සුසිල් සිරිවර්ධන මහත්මයා වගේ අය තමන් තුළ තිබුණු ඒ 'මිනිස්සුන්ට සේවය කිරීමේ අවංක වුවමනාව' මැරෙන්න නොදී, දේශපාලන බල අරගලවලින් බැහැරව ආර්. ප්‍රේමදාස මහතාගේ කාලයේ 'ජනසවිය' සහ 'ගම් උදාව' වැනි ග්‍රාමීය දුප්පත්කම පිටුදැකීමේ දැවැන්ත වැඩසටහන්වල පුරෝගාමීන් වෙමින්, තවත් අය කලාව, සාහිත්‍යය සහ ශාස්ත්‍රීය ක්ෂේත්‍රයන් ඔස්සේ රටට අනුපමේය නිශ්ශබ්ද මෙහෙවරක් ඉටු කිරීමට පෙලඹුණා. ඒත් ඊටත් අමතරව ඔහු සක්‍රීය ලෙස දේශපාලනයට සම්බන්ධ වූණා නම් දැන් මාලිමා ආණ්ඩුවේ ජනපති සහ ඇමතිවරු වගේ විකාර කාරයෙක් නොවී හොඳ දක්ෂ රටට ආදරේ කරන දේශපාලන නායකත්වයක් රටට ලැබෙන්නෙත් ඉඩ තිබුනා කියල හිතෙන්නේ නැද්ද?

      Delete
    5. ගොඩක්- ගොඩාක් ස්තුතියි චානුක මහත්තයෝ,අතිශය වදගත් තොරතුරු රැසක් ඉදිරිපත් කිරීම වෙනුවෙන්.
      ඔයා ජී.අයි.ඩී. ධර්මසේකර- පසුව අනගාරික ධර්මසේකර මහතාව හමුවී තියෙනවාද?

      Delete
    6. හුඟ දෙනෙකු 'ට්‍රාන්සිල්වෙනියා' අඩවියේ 'සුසිල් සිරිවර්ධන මහතා ගැන වු blog ලිපියට මා යොදා තියෙන '24 වෙනි විත්තිකාරයා’ link එකට ගිහින් නැතුවා වගෙයි දැනෙන්නේ.
      මෙතනිනුත් ඒ ලිපියට පිවිසෙන්න හැකියි.
      https://transyl2014.blogspot.com/2021/08/71_23.html

      Delete
    7. ඔය උඩ චානුක මහත්තයා කියල තියනව වගේ ව්‍යාපාරයේ අභ්‍යන්තර බල අරගල සහ ,අන්තගාමී ප්‍රචණ්ඩත්වය කලකිරීමට පත් වුණා කියලයි මටත් හිතෙන්නෙ. නිදි මේ සමහර අයව දැනන් හිටි නිසා, ඔබ දැක්ක දේ ලියන්න.

      Delete
    8. @ All

      මේ සංවිධාන ප්‍රජාතන්ත්‍රවාදය මත පදනම්ව නිර්මාණය වුණු දේශපාලන පක්ෂ නෙවේ බෝහෝ අන්තවාදී (මාක්ස්වාදී හෝ ජාතිවාදී) ත්‍රස්තවාදය ක්‍රියාත්මක කරපු සංවිධාන, ඒ නිසාම හොඳ මිනිස්සුන්ට වැඩිකල් මේ වගේ සංවිධාන වල ඉඩ ලැබෙන්නේ නෑ, අනෙක ඔය අන්තවාදයට දමිලද සිංහලද අදාල නැහැ.

      ඇත්තටම ලංකාවෙ බහුතර සිංහල ජනතාව බලය බෙදීමට විරුද්ධයි. කවුරු මොන දේ කීවත් මහපොලොවෙ යතාර්ථය එයයි. එදා යාපනය පුස්තකාලය ගිනි තැබීම, කලු ජූලිය වලක්වා නොගැනීම පිලිබදව ජේ ආර්ටවත් එජාප රජයටත් ගැලවෙන්න බැහැ. නමුත් මේ ජනවාර්ගික අර්බුදයට සෘජු හෝ වක්‍ර දායකත්වයක් දකුනේ සියලු පක්ෂ වලට තියෙනවා. ඊලමේ පියා අමිර්තලිංගම්ට එදා "අපේ කොල්ලන්" වූද යෝගේෂ්වරන්ට මචංලා වූද ඒ ත්‍රස්තයන්ගේ ගොදුරක් බවට ඔවුන් දෙපලද එකම දිනයේ ගොදුරු විය. 1997 දි වැල්ලවත්තේ සිට යාපනය නගරාධිපති ධූරයට තරඟ කොට ජයගත් සරෝජීනී යෝගේෂ්වරන්ටද තම සැමියාට අත් වූ ඉරනමම අත් විනි.

      දකුණේ රෝහණ විජේවීර හිරෙන් නිදහස් වූ පසු රතු පැහැ බෙන්ස් කාරයක් ලබා දී ජවිපෙට නොමසුරුව ආධාර කල හබරාදූවේ නීතිඥ ප්‍රින්ස් ගුනසේකරට අවසානයේ ජීවිතාරක්ෂාව සඳහා බ්‍රිතාන්‍යයට සංක්‍රමනය වෙන්න සිදුවුනා. සර්පයන්ට කිරි පෙවූවද තමන්ට දෂ්ට කරන දිනයක් එන බව පැහැදිලියි. ඒ නිසාම හොඳම දේ සුසිල් වගේ අයින් වෙලා ගියපු අය ගත්ත තීරණය. සම්බන්ධ නොවීම හිටිය අය මීටත් වඩා බුද්ධිමතුන් ලෙස සැලකිය හැකියි.

      Delete
    9. මගේ වැටහීම මිනිසුන් කලු-සුදු චරිත බවයි. මිනිසුන්ට අසීමිත බලය ලැබෙන එක වලක්වන්න ඕනෙ ඒ නිසා යැයි මා සිතනවා. හැම ඒකාධිපතියම හිතන්නෙ තමන් ලෝකයට පහල වූ විමුක්තිදායකයෙක් ලෙසයි. මාවෝ, ස්ටාලින් හිට්ලර් වැනි චරිත දිහා බැලුවාමත් ඒ බව පැහැදිලි වෙනවා.

      Delete
    10. /දකුණේ රෝහණ විජේවීර හිරෙන් නිදහස් වූ පසු රතු පැහැ බෙන්ස් කාරයක් ලබා දී ජවිපෙට නොමසුරුව ආධාර කල හබරාදූවේ නීතිඥ ප්‍රින්ස් ගුනසේකරට අවසානයේ ජීවිතාරක්ෂාව සඳහා බ්‍රිතාන්‍යයට සංක්‍රමනය වෙන්න සිදුවුනා. සර්පයන්ට කිරි පෙවූවද තමන්ට දෂ්ට කරන දිනයක් එන බව පැහැදිලියි. // ඇනෝ මට ප්‍රින්ස් ගේ දුව හමුවුනා නන්දන වීරරත්න ගේ පුතාගේ අවමගුල් උත්සවයේදී . ඔවුන් රටින් පලා ගියේ ආණ්ඩුව කල මරණ තර්ජන නිසා. එයා තමා ජේ ආර්ට විරුද්ධව නඩුව ගෙනාවේ හෙම . එයාගේ චරිතාපදානය ලංකාවේ විකුනන්න තියෙනවා අරන් කියවන්න. .

      Delete
  11. හ්ම්. රස්සාව නිසාම අරවාගෙ දැන උගත්තු හම්බෙන එකම... රස්සාවෙන් හම්බුවෙන bonus එකක් වගෙ!

    ReplyDelete
    Replies
    1. ඔහොම හිතන අය නෙවෙයි නමී අද කාලේ වැඩිපුර ඉන්නේ.

      Delete
  12. මේ මම 71 ගැන ලිව්ව මතකයක් . මෙතන මේ පොලිසියේ පහර දීම පොඩි කාලෙදිම දැකපු එක මට 71 හා කැරැල්ල හා එහි නායකයන් සොයා යාමට හේතු වුනාද කියලත් හිතෙනවා . ඒ ගුටි කා මල තරුණයා ගුරුවරයෙක් , අනික මිනිසුන්ට ට අගහන එක පිදි ළමයින්ට බලන්න දෙන්න හොඳ නැහැ කියන එකවත් ඒ දාස් වල ගණන් ගැනුනේ නැහැ . https://kolambagamaya.blogspot.com/2014/03/1971.html

    ReplyDelete
    Replies
    1. දවල්ට කියවන්නම්. ලින්කුවට ස්තුතියි අජිත් මහත්තයෝ.

      Delete
    2. අජිත් ධර්ම මහත්තයෝ, ගොඩක් ස්තුතියි වැදගත් කරුණු රැසක් තියෙන post එකකට පාර කිව්වට.

      Delete
  13. හැමන්හිල් සිර අකන්දවරට ගහල විජේවීර බේරන්න ගිය බර්ටි මහත්තය හෙවත් ජර්මනියේ ජිවත් වෙන බර්ටි හෙන්නායක හැමන්හිල් අත්දැකීම් ගැන පොතක් ලියල තියනව HB ගුණරත්න (71 කැරැල්ලේ හිරේ හිටි දෙන්නෙක් ) සංස්කාරක . එයාල ජවිපෙ ට විරුද්ධ සවාදයක් ගියා . හැබැයි මම ඒ ගොල්ලන්ට කියන්නේ ඒ ගොල්ලෝ ඒ පොතේ ඉජෙවිරට විරුද්ධව කියන දේ තමා දැන් මාලිමා ආණ්ඩුව හා අනුර කරන්නේ . ඉතින ජර්මනියේ ඉන්න බර්ටි තවමත් විරුද්ධ ඇයි කියන කුතුහලය මට තිබෙනවා .

    ReplyDelete
    Replies
    1. එකෙක්කෙනා එයාලගෙ දෘෂ්ටි කෝණවලින් තම තමන්ගේ මතවාද තහවුරු කරන්න ලියනවා- කියනවා. ඉතිං සමහර වෙලාවට ඇත්ත යට යනවත් එක්ක. තව අදහස් පළ කෙරේවි කියලයි මම මේ බලාගෙන ඉන්නේ, අජිත් ධර්ම මහත්තයෝ.

      Delete
    2. බාගදා විධායක බල සහිත ජනාධිපතිකම තාම තියාගෙන ඉන්නව වගේ දේ වෙන්න නිසා බැරිද?

      සාපේක්ෂව හොඳම ක්‍රමයයි කියල කියන,(ඇමරිකන්) ප්‍රජාතන්ත්‍රවාදයේ ලස්සන දැන් පේනව නේද ට්‍රම්ප් දිහා බැලුවාම? ජනාධිපති සමාව, ධවල මන්දිරයේ වෙන්දේසි දාන්නෙ මිලියනය ගානෙ.

      Delete
    3. 'බලය දූෂණය කරයි - වැඩි බලය වැඩියෙන් දූෂණය කරයි' කියනවනේ බකුසුතුමෝ.

      Delete