ඒත් මහාචාර්යතුමෙක් බලු වැඩක් කරන්න ගියාම ගොඩගේ මහත්තයා ක්ෂාන්තිවාදී තාපසයා වෙන්න හදපු වෙලාවේ නං මගෙත් මළ පැන්නා! කියලයි මං පහුගිය කොටස නැවැත්තුවේ. ඉතිං, දැන් කියන්නංකො ඒ විස්තරේ.
![]() |
| ඊයේ පාන්දරත් අයස්මන්ත පීරිස් මහත්තයයි, මර්විනුයි, නෙවිලුයි එක්ක තලවතුගොඩ ජොගින් පාත් එකේ කිලෝ මීටර 6.200ක් පැය දෙකෙන් ඇවිදලා... |
වෙනද වගේම නෙවෙයි, එදා මට ඇහැරුණේ පරක්කු වෙලා.
එහෙම නැඟිටලා දොර ජනෙල් ඇරලා, කුස්සියට ගියා තේ එක හදාගෙන ඉන්න.
එහෙම යනකොටත් මට තේරුම් ගිහිං තිබ්බේ ‘දෙපිය නඟා යන්නට බැරි කටු අකුල් කැලේ’
ගතියක්. කකුල තියෙන තැනට නෙවෙයි තියවෙන්නේ. බැරි-බැරි ගාතේ තේ එක හැදුවා. ඒකටත්
විනාඩි දහයක් විතර ගියා. මොකද දන්නවද? සීනි බෝතලේට තේ හැන්ද දාලා- සීනි අරගත්තට
මොකෝ- අත වෙව්ලන නිසා සීනි ඇට ටික බෝතලෙටම වැටුණු හින්දා.
යසට තිබුණු මගේ සරුවාංගයට මක්කැයි මේ වෙලා
තියෙන්නේ? ඇඟට කිසි පණක්- වාරුවක් නැතිව ගියේ කොහොමද? ඊයේ පාන්දරත් අයස්මන්ත පීරිස්
මහත්තයයි, මර්විනුයි, නෙවිලුයි එක්ක තලවතුගොඩ ජොගින් පාත් එකේ කිලෝ මීටර 6.200ක්
පැය දෙකෙන් ඇවිදලා ආපු මට??????
ඉතිං ලොකු හෙයියම්මාරුවක් කරලා තේ එක හදන අතරේ
මට තේරුණා මගේ කකුල් දෙකම සීග්‍රගාමී වේගයකින් ‘අවසඟ’ වේගෙන යන විත්තිය. කොයිකටත්
කියල මං දෑතින්ම කුස්සියේ සින්ක් එක අල්ලගත්තේ එතකොටයි. එහෙම අල්ලගෙන- ඒ විදිහටම
ඉන්න හැදුවත්, ඇඟිලිවල ග්‍රහණය අඩු වේගෙන- අඩු වේගෙන යන විත්තියත් එතකොට මටම
දැනුණා. වැඩි වෙලාවක් යන්න කලින් ඒ සෙල්ලම ඉවරයක් වෙන විත්තියත් හොඳටෝම සහතික...
ඒ තත්ත්පරේදීම අත්වල ඇඟිලි බුරුල් වුණා.
සලං- බලං- දකඩං- බකඩං!!!
ඇස් දෙක තදින් පියාගෙන ඉඳලා ආයෙමත් ඇරලා බලනකොට- නිමල් දිසානායක ජගතා අන්ත අසරණව ‘දොන්ත
පතං බිම!’.
දැන් ඉතිං වෙච්ච දේ වුණා. බලමු, වෙලා තියෙන
දේවල්...
මොනවද වෙච්ච අලාභ හානි? මාව වැටිලා තිබ්බේ ඉන්දිලා. ඔළුව අමතර ගෑස් සිලින්ඩරයට
යන්තමට වැදිලා. ඒත් වැදිල තියෙන්නේ ගෙඩි ගැහෙන තරං තදට නෙවෙයි. ඒ ළඟින්ම තිබුණු
ප්ලාස්ටික් බේසම්, ඇලුමිනියම් සාස්පාන් උඩට මාව පත බෑවෙනකොට තමයි අර ‘සද්ද පූජාව’
නැඟිලා තියෙන්නේ.
‘බලමු, වැටිච්ච තැනින් නැඟිටගන්න පුළුවනිද
කියලා...’ ම්හු! බෑ!!
‘පුකෙන් තල්ලු වෙවී හරි ටෙලිෆෝන් එක ළඟට යා ගත්තොත්...’ හිතුවා විතරයි. මොන...
ඒකටත් ඇඟේ පණ කඳුළක් නෑ!!!
දැන් වෙලාව අටට විතර ඇති...
අද උදේ නැඟිටලා දොරවල් අරින්න වෙනදට වඩා පරක්කු වුණු නිසා අල්ලපු ගෙදර කට්ටියමත්
ගේට්ටුව ළඟ විපරමෙන් ඉඳලා... කතා කරලයි ගියේ. ඒ නිසා තව පැයකට හමාරකට එයාලා ආයෙමත්
එනේකක් නෑ.
![]() |
මේ විස්තර නිදිගෙ පංච තන්තරේ කියවන සහෘද ඔබ වෙනුවෙන් ලියන්නට ඕනෑය කියා... |
“දෙයියෝ සාක්කි. මොකද ලොක්කා මේ?”
මාව උස්සගෙන ඇවිත් පුටුවක වාඩි කෙරුව අරුණ පට ගාලා නෙවිල්ට call කළා. “අරුණ, මතක
ඇතිව නෙවිල්ට කියන්න මට කිසිම තුවාලයක් නැහැයි කියල. නෙවිල් මෙහාට එනකල් අපේ මානෙල්
නංගිට මොකුත් කියන්නත් එපැයි කියන්න... ගෑනි බය වෙයි.”
“හරිනෙ! මෙච්චෙල්ලා මානෙල්ලට නොකිය හිටිය හොඳටම
ඇතිනේ. තවත් මොන ලබ්බකටද මිනිහෝ වැටිච්ච එක හංගන්නේ. අන්තිමට මටත් බැනුම් අහන්නයි
වෙන්නේ...” මානෙල්ට කලබල නොවන්නැයි කියූ නෙවිල් වැඩට ගියේ මට ඇඟපත දොවා ගන්නටත්
උදව් කළ පසුවය. (ස්තුතියි අරුණ, ස්තුතියි නෙවිල්!)
මේ විස්තර නිදිගෙ පංච තන්තරේ කියවන සහෘද ඔබ
වෙනුවෙන් ලියන්නට ඕනෑය කියා මට හිතිල තිබ්බෙ නෑ.
ඒත්, ඊයේ උදේ බස්සා මහත්තයාගේ මේ comment එක දැක්කාමය ඒත්තු ගියේ ‘ඊළඟ ජවනිකාව’
කොච්චර විසිතුරුද කියලත්; ලියන්නට තරං වටිනවා නේද කියලත්.
‘D.G.M. බස්සා
July 4, 2026 at 10:18 PM
හප්පේ ඇති යංතං.😋
ඔයින් ගියා මදැයි. හදිස්සි වෙන්න එපා. විවේක ගන්න. ඉඳ හිට සවුක්කිය තත්ත්වයේ අප්ඩේට්
එකකට වචන දෙකක් කෙටුව නං හොඳටම ඇති.🙏
හෙහ්,හෙහ්
මානෙල් බලකාය පැනලා, කුදලගෙන
ගියා කිව්වම නං හිනා ගියා.🤣’
ඕන්න එහෙනං ‘මානෙල් බලකායේ හයිජැක්
කිරීමේ වාර්තාව’.
නෙවිල් ගිහින් පැය බාගයක්වත් යන්න ලැබුන්නෑ, මානෙල් කඩාගෙන වැදුණා- ගාමිණීත් එක්ක.
“දැන් කොහොමද ලොකා? ඔයාට උණ ගතියකුත් තියෙනවා. යන ගමන්ම බෙහෙත් ටිකකුත් අරගෙන යමු.”
“කොහෙ යන ගමන්ද?”
“කොහේ යන ගමන්ද කියන්නේ- අපේ ගෙදර යං. ආයෙ පාරක් වැටිලා තුවාලයක් කර ගන්නද ඔයාට ඕනි?
මම ඔයාට කාමරයකුත් ලැහැස්ති කරලයි ආවේ...” කියන ගමන්ම මානෙල් නංගි මගේ අටෝරාශියක් බෙහෙත්
පෙති ජාති දාලා තියෙන ලොකු බෝතල් දෙක bag එකකට දැම්මා. කමිසයකුත් අරගෙන මට දික්
කළා. “...අද නං ලොකාව එක්කගෙන මිසක් අපි දෙන්නා ගෙදර යන්නෑ...”
අල්ලපු ගෙදර සෝමා නංගිලයි, අරුණයි
කට්ටියමත් මානෙල්ට උඩගෙඩි දුන්නා.
‘ඔව්නේ බොසා... අපිට වුණත් බලන්න පුළුවන් දවල්ටනේ. රෑට ඉන්න වෙන්නේ තනියම නේද?’ /
‘නිමල් අයිය මානෙල් අක්කලාගේ ගෙදර යන එක තමයි හොඳ. දවසක් දෙකක් එහෙ ඉඳලා එන්න ඇහැකිනෙ.’
![]() |
ඩෙංගි මදුරුවන් සක්‍රීය වන සහ දෂ්ට කරන කාලසීමාවන්හි පැහැදිලි වෙනසක්
සිදුව ඇති බව... |
“ගාමිණී, අපි යන ගමන්ම කොට්ටාවෙන් ලොකාට
බෙහෙත් ටිකකුත් අරගන යමු. ලොකා දන්නවද, අපේ ගෙවල් වටේම වයිරස් උණකාරයොයි- ඩෙංගු උණකාරයොයි
පිරිලා. මෙනින්ජයිටිස් එකත් වසංගතයක් වගේ වෙලාලු...”
කොට්ටාවට යන ඩිංගට නිමල් දිසනායකයා ඇවිද
ගන්නටවත් පණ නැති හෝන්තුවක් වෙලා ඉවරය. දොස්තර මහතා ළඟට මාව ගෙනිච්චේත්, මානෙල්
නංගිලාගේ ගෙදරට ගෙනිච්චේත් හරහට වඩා ගෙනය.
මානෙල්ගේ අසල්වැසි හිතවත් උදවියත්
කෑම-බීම හදාගෙන ආවෝහ. මදිය නොකියන්නට අවවාදත් දුන්හ. “ලොකු අයියට තියෙන්නේ මෙහෙට
වෙලා නිවාඩුවේ ඉන්නයි.”
“ඒකනේ අනේ... අපේ පොඩි අය්යත් කියනවා ලොකාව මෙහෙ නවත්ත ගන්න නං කොම්පියුටරේ මෙහාට
ගෙනත් දෙන්න වෙයි කියලා. “
එදා රෑ තුනට විතර මට ඇහැරුණේ, සුළුදිය
පහ කරන්නට අවශ්‍යතාවක් දැනුණු බැවිනි. ඉතිං මං ඇඳෙන් බැස්සා විතරකි; අල ගෝනියක්
පොළොවේ ගැහුවා වගේ මං වහන්සේ බිමය. තත්ත්පරයෙන් මානෙලුත් ගාමිණීත් එතැනය.
ඒ වැඩෙන් වුණේ මගේ ඇඳ පාමුලට ප්ලාස්ටික් බාල්දියක් පැමිණීමය. “ලොකා ටොයිලට් එකට
යන්න ඕනි නෑ. මේක පාවිච්චි කරන්න. ටොයිලට් එකටම යන්න උවමනා වුණත් අපිට කතා කරන්න
ඕනි. ලජ්ජා හිතන්න එපා. හොඳද... ඔයා
දන්නවද ලොකූ.... ලොකාගෙ වෙලාව හොඳයි. දෙයියෝ බලල වගේ මේ සැරෙත් ඔයා වැටුණේ
තුවාලයක්වත් නොවෙන විදිහට.”
මගේ සුවදුක් බලන්නට පැමිණි නෑදෑ- හිත
මිතුරන්ට සංග්‍රහ කරන්නට; සලකන්නට වීම මානෙල් කරදරයක් ලෙස සැලකුවේ නැත. බලංගොඩ සිට
එහෙම පැමිණි සුනිල් මල්ලී කාටත් කීවේ ‘ගතවුණු අවුරුදු තිහ හතළිහටම ලොකා දවස් ගණනාවක්
රැවුල නොකපා හිටිනවා දැක්කේ මේ වතාවෙයි’ කියලාය.
මං ගොදුරක් වී සිටියේ වයිරස් උණකටය.
දැන් උණ නැතත්, ඇඟේ මස්පිඬු රිදුම් දෙයි. කිසිම දෙයක් කරන්නට හිත නොදෙයි. මේ
දවස්වල නිදිගේ දවසින් වැඩි හරියක් ගෙවෙන්නේ නින්දටය.
සොබා දහම මිනිසාට දැඩි දඬුවම් දෙන්නට තීරණය
කරලාවත්ද?
ඩෙංගි මදුරුවන් සක්‍රීය වන සහ දෂ්ට කරන කාලසීමාවන්හි
පැහැදිලි වෙනසක් සිදුව ඇති බව නවතම පර්යේෂණ මඟින් අනාවරණය වී ඇතැයි ජාතික ඩෙංගි මර්දන
ඒකකයේ අධ්‍යක්ෂ, වෛද්‍ය
කපිල කන්නන්ගර මහතා නුදුරු
දිනයෙක ප්‍රකාශකොට තිබිණි.
![]() |
ඔය ප්‍රශ්නය නං පොත් ගහන කාටත් තියෙන ප්‍රශ්නයක්. ඒත් මහත්තයෝ ඕකට කරන්නේ
මොනවද කියලා ගොඩගේ මහත්තයගෙන්ම තමයි... |
ඉතිං ඉතිං... ඩෙංගු හඳුනාගන්න එච්චරටම අමාරු
නැතත්... ‘සියොලඟෙහිම විෂ තියෙන ඒත් එකවරම ඒ විත්තිය නොපෙනෙන නපුරු දුදනෙකුගේ’
කතාව කියල ඉන්න ඕනිනේ... පහුගිය කොටසෙන් කියන්න පටන් ගත්ත විතරයිනේ...
හැබැයි රත්තරනේ, මේ මහාචාර්යතුමාව හරි මේ
කතන්දරේ වැදගත් චරිතයක් රඟපෑ එතුමන්ගෙ අග්‍ර පුරෝහිතයව හරි හඳුනගන්න පුළුවන් වෙන
ඉඟි නං කියන්නෙ නෑ. දැන් ලියන විස්තර ටික විතරමයි එළියට දෙන්නෙ... ඒ ගැන හාරලා-පාරලා
මගෙන් විස්තර අහන්න ඔට්ටු නෑ- හොඳේ!
මේ මහදුරුතුමා සිරි ලංකාවම දන්නා හොඳ උගත්
කෙනෙක්; බොහොම අදීන විද්වතෙක් හැටියටත් සම්භාවනාවට ලක් වුණු උගතෙක්. පත්තරවලට
ලියපු- පොත් ගොඩක් ලියපු කෙනෙක්.
එතුමා press එකට ආවේ තව තරුණ හාදයෙකුත් එක්කයි.
“ඔයාද නිමල්? ගොඩගේ මහත්තයා මට කිව්වා පියසිරියට ගිහින් නිමල්ව හම්බ වෙන්න කියලා. මගේ
පොත් ගොඩක් ගහගන්න තියෙනවා... අලුතින්ම ලියපු ඒවා වගේම reprintsතුත්. මගේ වැඩ ටික
බොහොම ලස්සනට, සැලකිල්ලෙන් කරල දෙන්න ඕනි, නිමල්. ඒක ඔයාලටත් හොඳ ප්‍රචාරයක්...
පියසිරියේ වැඩ හොඳයි කියලා කීප දෙනෙක්ම රෙකමන්ඩ් කළ නිසයි අපි මෙහාට ආවේ.”
එතුමා කිව්වේ ඇත්තකි.
එහෙම කියන්නේ අපේ හොරණෑව අපම පිඹ ගැනිල්ලක්
විදිහට නොවේ. බොහොමයක් ප්‍රකාශකයෝ මෙන්ම කර්තෘ ප්‍රකාශකයෝ රැසකුත් ඔවුනගේ පොත්
මුද්‍රණය කරවා ගැනීමට ඒ දිනවල අපේ මුද්‍රණාලය සොයා ආවෝහ. ඒ කටින්- කට කියැවුණු පැසසුම්
ඔවුනගේ සවනට වැටුණාමය.
“නිමල් මාව දන්නවනේ?”
“මං ඔබතුමාව හැබැහින් දැක්කේ නං අදයි... ඒත් ඔබතුමා ලියන දේවල් ගොඩක් කියවල
තියෙනවා.”
“කිව්වා, කිව්වා... ගොඩගේ එකේදිම ආරංචි වුණා නිමල් හොඳ reader කෙනෙක්ය කියලා. එහෙම
පොත්වලට- සාහිත්‍යයට ආදරේ කරන කෙනෙක් ප්‍රින්ටින් මැනේජර් විදිහට ඉන්න එක ඔයාලගෙ
බොස්ටත් ලොකු වාසියක්නේ...”
ඊළඟටය, මහාචාර්යතුමා අර තරුණයා දිහාවට හැරුණේ.
“නිමල්, මේ මිත්තක. මගේ ප්‍රින්ටින් වැඩ සේරම හොයල බලල කරල දෙන්නේ මෙයා... මට
තියෙන රාජකාරිත් එක්ක මේ සුළු වැඩවලට කාලය මිඩංගු කරන එක මහ අපරාධයක්නෙ නිමල්.
ඒකයි! මීට පස්සේ මගේ වෙනුවට මිත්තක මෙහාට එයි.
මිත්තක- නිමල්ට මගේ ටෙලිෆෝන් නොම්මරෙයි මිත්තකගේ නොම්මරෙයි දෙකම දෙන්න. එතකොට
නිමල්ට පුළුවනිනේ හදිසියකදි අපිව contact කර ගන්න.”
![]() |
එහෙම පොත්වලට- සාහිත්‍යයට ආදරේ කරන කෙනෙක්... |
ඊට මාස දෙක තුනකට පස්සේ මිත්තක press එකට ආවා.
මනුස්සයා වෙනදා වගේ නැතිව මගෙත් එක්ක ටිකාක් වැඩියෙන් කතාබහේ යෙදිලා උන්නත් එක්ක.
එයාගේ tone එක ටිකෙන් ටික පහළ ස්වර පරාසයකට බැහැගෙන යනකොට මං විපරමෙන් උන්නේ...
“නිමල් අයියෙ, අපේ සර්ට මාර ප්‍රශ්නයක්නෙ වෙලා
තියෙන්නේ...” මිත්තක කෙඳිරුවා. මං කෙළ තලියක් ගිලල උගුර තෙත් කර ගත්තා.
“පොතකින් දාහක් ගැහුවත් කර්තෘතුමාට 10% රෝයල්ටියත් එක්ක හම්බ වෙන්නේ පොත් දහයයිනේ.
ඔයා දන්නවනෙ නිමල් අයියේ, අපේ සර් වගේ
කෙනෙක්ට දන්න- අඳුනන අය කොච්චර ඉන්නවද කියල. ඒ වැඩි දෙනෙක්මත් අපේ සර්ගෙන් පොත්
නිකං ඉල්ල ගන්න බලා ඉන්නේ. ඉතිං පොත් දහයක් හම්බ වෙලා මොනව කරන්නද? සීයක් හමාරක් ඕනි
කරන කෙනෙකුට...”
එනපොට හොඳ නැති විත්තියත්, වහාම කෙල්ලව ගෙට ගත යුතු
විත්තියත් මේ නිමලයාගේ සයවෙනි ඉන්ද්‍රියයට එදා වැටහිණි. අනෙක් අතට මේ ඉතා
පරෙස්සමින් හසුරවා ගත යුතු තත්ත්වයකි. මා පියසිරියේ මුද්‍රණ කළමනාකරුවා මිස
හාම්පුතා නොවේ. ඒ සීමාවේ සිටගෙනය, කළ යුතු දෙයක් කරන්නට වෙන්නේ.
‘ගොයියෝ, කරන දෙයක් පරිස්සමින්... හැම
විජ්ජාවටම වැඩියෙන් ලොකුයිලුනෙ ගැලවිජ්ජාව... අන්තිමට වඳින්න ගිය දේවාලේ ඉහ මත කඩා
වැටෙන්නත් බැරි නෑ...’
කොහොමටත් මා මට නැති බලතල ආරෝපණය කර ගන්නෙකු නොවේ.
“අනේ මිත්තක මහත්තයෝ... ඔය ප්‍රශ්නය නං පොත්
ගහන කාටත් තියෙන ප්‍රශ්නයක්. ඒත් මහත්තයෝ ඕකට කරන්නේ මොනවද කියලා ගොඩගේ
මහත්තයගෙන්ම තමයි අහගන්න වෙන්නේ. ඔයාලගෙ සර්ටම කියන්නකො වෙලාවක ඔය ගැන කතා කරන්න.”
“වැඩක් නෑ... අපේ සර් ඒ ගැන ගොඩගේ මහත්තයගෙනුත් අහලා... එතකොට කිව්වලු අත්පිට
මුදලට පොත්වලින් ඕනි තරමක් කොපීස් දෙන්නං කියලා... 50% මුදලට.”
වැඩිමනත් කතාබහේදී කියැවුණේ මහැදුරුතුමාත්,
ගෝලයාත් දෙන්නාම එහෙම කරන්නටත් මනාප නැති බවයි!
කොයිකටත් කියා ඒ සිද්දිය සුදු මහත්තයාටත්
කියන්නට අමතක නොකළෙමි. ඔහුගේ ප්‍රතිචාරය වුණේ මඳ සිනහවක් හා කෙටි ප්‍රකාශයකි. “හොඳ
විදිහක් බලල කරන්න!”
ඊළඟ වතාවේ පොත මුද්‍රණයට අරගෙන ආ මිත්තක ‘ඒ ප්‍රශ්නය’
ආපහු මතු කළේ ඇඟට-පතට නොදැනෙන ගණනටය.
“අපේ සර් මගෙනුත් ඇහුවා මේ ප්‍රශ්නය විසඳන විදිහක් ගැන. නිමල් අය්යලා support
කරනවා නං අපිට පුළුවනි මේක ලේසියෙන්ම විසඳගන්න...”
“ඒ කිව්වේ?”
![]() |
බෝලය පාස් කළේ... |
“දෙසිය පනහක්?”
“එච්චරවත් නැතුව මදි නිමල් අයියේ. ඔයා බය වෙන්න
එපා. ඒවා අච්චු ගහන්න යන වියදමයි, අනිත් වියදමුයි අපි ඔයාලට වෙනම ගෙවනවා... ආ තව
එකක්. ඒ පොත් දෙසිය පනහට ගොඩගේ ප්‍රකාශනයක් කියල දාන්නත් එපා. අපෙත් තියෙනවා පොඩි
පබ්ලිෂින් කම්පැනියක්. ඒකේ නම ඒවාට දාමු.”
එයාලා නටන්නට හදන්නේ පුංචි පහේ මගඩි නාට්‍යයක්
හෙම නොවේ!
‘ෂුවර් එකටම මහාචාර්යතුමාටත් හොරෙන් මිත්තක
ගහන්න හදන ගේමක් තමයි මේ.’ මට හිතුණේ එහෙමය. ‘මොකද කරන්නේ? පොල්ලෙන් ගහනවා වගේ එක
විඩේම බැහැයි කියන්නත් බැරිය; හායි කියන්නත් බැරිය.’ හොඳම දේ ටිකක් හිතා බලන්නට කල්
ගැනීමය.
“මිත්තක මහත්තයෝ, මොන දේ කළත් කරන්න වෙන්නේ සුදු මහත්තයටත් කියල. නැත්තං මගේ හිතට
හරි නෑ...”
“අයියෝ, ඕක එච්චර සීරියස් ගන්න එපා, නිමල්
අයියේ. අපි මහ ලොකු වංචාවක් කරන්න හදනවා නෙවෙයිනෙ, නිමල් අය්යේ... පොඩි දහම්ගැටයක්නෙ.
අද කාලේ ඔහොම දේවල් හැම තැනම වෙනවනෙ.”
“හරි, හරි... මට දවස් දෙක තුනක් දෙන්නකො මිත්තක. මම ඔයාට call එකක් දෙන්නං- බොසුත්
එක්ක කතා කරලා.”
ඒ වතාවෙත් මගේ හාම්පුතා මටම බෝලය පාස් කළේය.
“ඔයාට තේරෙනවනෙ කරන්න ඕනි මොකක්ද කියලා. ඕන්නං ගොඩගේ මහත්තයට කියන්න මටත් මේ ගැන
කිව්වයි කියල.”
හිතලා හිතලා අන්තිමේදීය මා විසඳුමකට ආවේ. ඒ අනුවය මා පළමුවෙන්ම මහාචාර්යතුමාට ඇමතුවේ.
“සමා වෙන්න සර්, මේ කියන්න යන දේට... මිත්තක
මෙන්න මෙහෙම යෝජනාවක් ගෙනාවා. මට විශ්වාසයි, එයා එහෙම යෝජනා කරන්න ඇත්තෙ ඔබතුමාත්
නොදැනුවත්ව. මේකට මොකද කරන්නේ කියලා ඔබතුමාම කියනව නං...”
මහැදුරුතුමා සාවධානව අහගෙන උන්නා. ඊට පස්සේ බොහොම සැහැල්ලු ස්වරයෙන් උත්තර දුන්නා.
“නෑ නිමල්. මිත්තක ඔයාට එහෙම කිව්වේ මටත් කියලා
ඉවර වෙලයි. කොහොමෙන් හරි අපේ ප්‍රශ්නයට උත්තරයක් හොයා ගන්නත් එපැයි.”
ඒ වෙලාවේ නං මට ඇති වුණේ මහා පිළිකුලක්.
‘මෙච්චර උගතෙක් වෙලත් මේ මනුස්සයා කිසිම ලජ්ජාවක් නැතිව තුට්ටු දෙකට වැටෙන හැටි!
පෙනෙන විදිහට නං උන්නැහෙට එච්චර අහේනි පාටකුත් නැති එකේ...’
කොයි තරං දේවල් හිතට ආවත්, මේ ගැන ඊළඟට කරන දේ පරක්කු
නොකර කරන්න ඕනිය කියලත් මට කල්පනා වුණා. බොස්ටත් විස්තරේ කියලා, මං ගොඩගේ මහත්තයාට
ඇමතුමක් ගත්තා. සේරම විස්තර කිව්වා. එතුමාත් හූමිටි තියමින් මගේ කතන්දරේ අහගෙන
උන්නා.
“දැන් මේකට මොනවද ගොඩගේ මහත්තයෝ කරන්නේ?”
ඉතිරි හරිය ඊළඟ කොටසෙන්...






No comments:
Post a Comment