අකුරු මැකී නෑ

Sunday, April 28, 2019

හරි හුරතල්- විනාකිරි- සංග්‍රාමය - තෙවෙනි කොටස

කියූ විදිහටම වාගේ වැඩ කටයුතු සිද්ද වුණේය. බස් එක නම් පැය බාගයක් විතර පමාවී තිබිණි. ඒත්, සහන් එළිය වැටෙන්නටත් කලින් රත්නපුරයට යාගන්නට අපට පුළුවන් විණි.

කළු ගං ඉවුරේ වැජඹෙන රුවන්පුරයට යන්නට............
ඊට දවස් දෙකකට කලින්, 22 වෙනිදා හම්බන්තොට රෝහලට ගිහින්, එදාම අප නාවලපිටියට ගියේ රෑ දොළහත් පහුවෙලාය. ඒ යද්දීත් මඟ දිගටම මට බැනිල්ල අඩු නැතිව කෙරිණි. “නිකං ඉන්න බැරිව මේ සමයමා කොල්ලොත් එක්ක ට්‍රිප් යන්න දාගෙනනේ. දැන් හෙටත් ටිකක් නිදාගන්නවත් නැහැ. පාන්දරම පලයල්ලකෝ ඉතින්!”

“කතා කරන්න එපා! මං තනියම හරි බස් එකේ ආපහු යන්න හැදුවේ ඒකනෙ. තමුසෙලා දෙන්නා ඒකට ඉඩ දුන්නෙත් නැහැ. හැබැයි පුතෝ, ඔන්න වචනයක් දුන්න නම් ඒක හරියට ඉෂ්ට කරනවා. හෙට හවසට නම් පුළුවන් තරම් කලින් මට ගෙදර යන්න ඕනේ. ටිකක් නිඳාගත්තේ නැති නං මට යන්න වෙන්නේ කෙඳිරිගගා.”

“නෙවිල්, මෙයා කෙඳිරිගගා ගියාම අපිට කිචිද මචං?”

“අනේද කියන්නේ. දැන් වැඩ කෑල්ල තියෙන්නේ අපි දෙන්නා අතේ. තමුසේ ඕනෙවට වැඩිය පාට් දැම්මොත්..... නේද පීරා!” එහෙම රණ්ඩු උදව් වුණේ අපේ නිඳිමත තුරන් කරගන්නටය. ඇත්තම කිව්වොත් කිසිම නිවනක් නැති වුණේ නෙවිල්ටය. මහරගමින් මාතර යන බසය තියෙන්නේ උදේ හතරටය. ඉතින් අප අඩුම ගණනේ තුනටවත් පිබිදෙන්නට ඕනෑය. 

එහෙමත් ගිහින්, එදාම රෑ යක්කු ගස් නඟින වෙලාවෙත් drive කරන්නට වුණාම. අනුන්ට බණ දෙසන අප කවුරුනුත් මේ කරන්නේ වැරැද්දකි! බරපතළ වැරැද්දකි!!

නිඳි මරගාතේ ඉගිලෙන්නටත් ගියාම කෙලවර වෙන්නේ මහා විපත්තියකිනි!
හරිහමන් නින්දක් නැතිව රිය පැදවීම අනතුරුවලට අත වැනීමකි. ඉතින්, එහෙම නොකර බැරිවුණු වෙලාවක ඒ වාහනයේ අනෙක් අයගේ යුතුකම රියැදුරා සමඟ කතාබහ කරමින් යන එකය. ඒ අතින් නම් අපේ ‘දෙවෙනි නසාර් වාසනාවන්තය. පීරිසුත්, මාත් දෙන්නාම නිඳා වැටුණේවත් නැතිම තරම්ය.

නෙවිල් බස්සෙකි! මහ රාත්තිරියේ හරි අවදියෙන් හිටීම මිනිහාට අමාරු නැත. අමාරු උදෙන් ඇහැරෙන එකය. 24 වෙනිදා නම් මාත් නැඟිට්ටේ එහෙම නොකර බැරිකමටය. කලින් දවස් දෙකේත් දිග ගමනක යෙදිලා, අදත්.....

හැබැයි, අපරාදේ කියන්නට බැරිය. මගේ වගකීම පවරාගත් චාන්දනී නංගී ප්‍රමුඛ අංගනාවනුත් හරිම ෂෝයිය! මහරගම ඉඳලා රත්නපුරේට යනකල්මත් සද්දේ වහලා නං හිටියේ නැත. මගේ අම්මෝ එහෙම විද්වත් මණ්ඩපයක්. කුකරි- බියුටි කල්චර්- විලාසිතා- මහත්වරුන් එකී;මෙකී;නොකී හැමදේම එයාලගෙන් මඟහැරුණේ නැත. හූමිටි තියන්නවත් මහන්සි නොවී, දැනුම් සම්භාරයක්ම එකතු කරගන්නට මට හැකියාව ලැබිණි. ඔන්න දැනුයි කියන්නේ. චාන්දනී, ඔයා ඇතුළු අම්මලා කට්ටියටම පින්!

අනේ, මිල්ඩ්රඩ් හේයස් නෝනාට නම් එහෙම යෙහෙළියන් රොත්තක් හිටියේ නැත. යෙහෙළියන් තියා එයාගේ පුතාවත් අම්මාට සමීප නැතිය. මියගිය දුවත් එහෙමය. ඇය හැරදමා ගිය සැමියාත් නුහුරටමය. එහෙම වුණාය කියලාවත් හේයස් නෝනා පසු බහින්නේ නැත. වලිය දිගටම ගෙනියන්නේ ‘වලි කිකිළියක’ වගේය.

එබින් පොලිසිය ගිනි තියන්නටත් හෙයස් නෝනා එඩිතර වෙයි!
එබින් පොලිසිය ගිනි තියන්නටත් හේයස් නෝනා game එකට බහියි! එබින් පොලිසියේ ෂෙරීෆ් ‘බිල් විල්ව්බි’ උන්නැහේටත් මේ කරදර මහා හිසරදයක් වෙයි. පැත්තකින් එයාට වැළඳී ඇති පිළිකාවය; පැත්තකින් නීතිය රකින්නට ඇති වගකීමය; තව පැත්තකින් හෘදය සාක්ෂ්‍යය! කෙළින්ම නැතත් හේයස් නෝනාට උදව් කරන්නට බිල් පෙළඹෙන්නේ ඒ නිසාමය.......

නිකාඩෝ සමාගමේ උදවියත් මට උදව් කරන්නට හිතුවා විය යුතුය. පෙබරවාරි 26 වෙනිදා දහවල් 2.43 ට නැවත මට ඇමතුවෝය. හැබැයි වෙනින් දුරකතනයකිනි. කොච්චර එකක්ද? පරහිතකාමීත්වය පෙරදැරි කරගෙන එහෙම කළා විය යුතුය.

වැඩියෙන්ම වෙලාව ගියේ වචන වැඩියෙන්ම පාවිච්චි කරන්නටය; වටේට යන්නටය; ඍජු පිළිතුරු වෙනුවට සවිස්තරාත්මක උත්තර දෙන්නටය. එඩින්බරෝ කතා- සාම්පල් තිබෙන කතා- ඒවා check කළ කතා සේරමත් කියලා අහවරවී, මේ විනාකිරි වැඩි සුදු පාටකින් තිබුණත් ප්‍රශ්නයක් නැතැයි කියැවිණි.

මිනිසා ඉගෙනගන්නේ අත්දැකීම්වලිනි. යම් තරමකට හෝ ඉව; සයවෙනි ඉන්ද්රියයත් එයට උදව්වෙනවා වෙන්නට ඇත. 

අර ටෙලිෆෝන් සංවාදයේදී කෙරුණු පැටලවිලි, වටේ යෑම් හා tone එකත් මට කිව්වේ එකකි. ‘නිමලෝ, ඔය විනාකිරි පාවිච්චියට ගන්න එපා මෝලෝ. මොකෝ ඕක පතා සීයක එකක්ද? ඔන්න ඔය බෝතලේ අහක දාපං!’ මම ඒකට කීකරු වුණෙමි, හැබැයි බාගෙටය. මං ඒක පාවිච්චියට ගත්තේ නැත. පරෙස්සමට අරන් තිබ්බෙමි.

විනාකිරි බෝතලය තවමත් තියෙන්නේ අපේ ගෙදරමය. මේ සාක්කිත්.....
ඒක විසි කරලා, සාක්කි විනාශ කරගත්තාම කොහොමද? දුරකථන සංවාදය අතරේම මගේ මොට්ට ඔළුව ඇතුළේ චනුල්ලාගේ ට්‍රිප් එකේදී වුණු දෙයක් කැරකෙමින් තිබිණි.

ඒත් ශ්‍රී ලංකාවේ දේශීය සමාගමක කීර්ති නාමය විනාශ කරන්නට මට ඕනෑකමක් නැත. කාගේවත් රැකියාවක් නැති කරන්නට මට ඕනෑ නැත. එහෙත් මගේ කතාව සනාථ කරන්නට වුණොත්..... ඒ නිසාය දුරකථන ඇමතුම්වල ෆොටෝ ගත්තේ; විනාකිරි බෝතලය ඉවත නොදැම්මේ! මොනවා නැතත් නිකාඩෝ සමාගමේ පාරිභෝගික සේවාව නියෝජනය කරමින් කතා කළ තිදෙනා ගැනම මට ඇත්තේ පැහැදීමකි!

ඉතින්, මේ එකිනෙකට සහමුලින්ම වෙනස් ‘තුන් ඈඳුතු’ කතාවේ පූර්වාපර සන්ධි ගලපන්නට තවම කල් වැඩිය. ඊට කලින් ගමන ගැන කියන්නට දේවල් තියෙනවානේ.

පාන්දරම එක් යුවතියකට බහීස්රාවී අවශ්‍යතාවක් මතුවිණි. හෝටලයක් ළඟ බසය නැවත්විණි. ‘එක බල්ලෙක් මුත්තරා කරනවා දැක්කම අනෙක් එවුන්ටත් ඒක කරන්න ඕනේ වෙනවා. පිරිමින්ටත් එහෙමයි!’ මං අහලා තිබ්බේ ඒ කියමනයි. 

මොකා ඒක කිව්වත් ඒ කතාව ගෙඩිය පිටින්ම වැරැදිය කියලා මං දැනගත්තේ එදා බසයේ හිටි කාන්තා පාර්ශ්වයට පින්සිදු වෙන්නටය. ඒ මානුෂීය අවශ්‍යතාව නිසා විනාඩි 45 කට වැඩියෙන් වැයවෙද්දී වවුල්පනේ ගමනට වෙලාව නොලැබෙන බව මට පසක් වෙමින් තිබිණි!

කල්තොට දූවිලි ඇල්ල බලන්නට යන ගමනටත් අංචිය ඇදුණේ......
වවුල්පනේ විතරක් නොවේ වැළකුණේ. දූවිලි ඇල්ල බැලීමත්! අපේ බසයේ රියදුරු මහතා කිව්වේ දූවිලි ඇල්ලට යන පාරට ඒ බසය හැරවිය නොහැකි බවය. 

“පාරේ වම් පැත්ත උසයි. හරවන්න ගියොත් යට වදිනවා. අපි පල්ලෙහාට ගිහින් හරවාගෙන ඇවිත් මේ පාරට දමමු!” තවත් කිලෝ මීටර් හයක්ම යනතුරුත් බස් රිය හරවාගත හැකි යැයි ඔහුට හිතුණු තැනක් හමු වුණේ නැත.

“දැන් අපි කල්තොටටම ඇවිත් ඉවරයි. ආයෙමත් කිලෝ මීටර් හය-හතක් ඉහළට යන එක තේරුමක් නැති වැඩක්. දියවින්නට ගිහින් ආපහු එද්දි දූවිලි ඇල්ල බලමු!”

ඒ අතරේ අර සීදේවි අම්මලා මට ලෝකයේ ලොකුම බර්ගර් එකත්, රෝල්ස් එකකුත් තව මොන-මොනවාදත් පිරිනැමූහ. 

“වැඩි නැහැ නිමල් අයියේ, ඔන්නොහෙ යමින් ගමන් කන්න. එතකොට වෙලාව ඉතිරියිනේ. අපි හැමෝමත් බස් එකේදිම කනවා. මට උදේනි කියලම එව්වේ ඔයාට හොඳට කන්න දෙන්න කියලා!” චාන්දනී මගේ පංගුව අඩු කරන්නට ඉඩ දුන්නෙම නැත. ඉතින්, නයිගල සෝමේ මල්ලිලාගේ ගෙදරට සේන්දු වෙන තුරුමත් මං කළේ පාතරාසය වළඳන රාජකාරියයි.

එතනින් සෝමේ මල්ලීත් බස් එකටම නග්ගාගෙන දියවින්නට...

මුළු නඩයම එක හඬින්- හරි සරුවට පටන් ගන්නා ගීතය.............
ම්ම්ම්ම්ම..... මහරගම හිට දියවින්නට යන තුරුමත් එකම රටාවකට සිදුවුණු දෙයක් නොකියා කොහොමද? යොවුන් දරු-දැරියන් පිරිවරාගෙන ගමනක් ගිය කාටත් මේ අත්දැකීම නම් අලුත් එකක් වෙන්නට බැරිය.

“හරි කියමු.” මුළු නඩයම එක හඬින්ම full වොලියුම් එකෙන් ගීයක් පටන් ගනී. පළමුවෙනි පද ටික හරිම සාරය. අත්පොලසන් දීමත්, සමූහ ගායනයත් ‘කොරියාවට ගහන්න යන්නා’ වාගෙය. පළමුවෙනි අන්තරා කොටසේ පද වැඩි දෙනෙකු නොදන්නවා වගේය. ඒක ඉවර වෙද්දී ගායනයත් නැවතිලාය. මුළු ගමනෙදීම එකම එක ගීතයක්වත් සම්පූර්ණයෙන් කියවුණේ නැත!

නව යොවුන් පරම්පරාවේ ධාරණ ශක්තියේ දුර්වලකමක්ද මේ? නැති නං.....

එයාලගෙ විතරක් නොවේ, මගෙත් මතකය දුර්වෙලා වේගෙන යනවාවත්ද? film එක ගැන කියද්දී වැදගත්ම කාරණයක් මඟ හැරිලාය. දරුවන් දෙන්නෙකුත් එක්කම මිල්ඩ්රඩ් හේයස් නෝනාව අතහැර දාලා ගිහින් යොවුන් පෙනිලොපි එක්ක දීග කන චාලි; මිල්ඩ්රඩ්ගෙ කලින් සැමියාත් විශ්‍රාමික පොලිස් නිලධාරියෙකි!

පිපිරවීම් මාලාවක්ම කෙරෙන්නට ඉඩ තියෙන බව ආරංචි වෙලාත් අපේ පොලිස්පතිතුමා නින්දේ හිටි බව මේ දවස්වල කියවෙයි. ඒ ආරංචි ලැබී තියෙද්දී තම-තමන්ගේ ආරක්ෂාව වැඩි කරගන්නවා විනා, සැක කටයුතු දිනයේ දේව මෙහෙයයන්ටත් නොගොහින් පරෙස්සම් වෙච්චි එකය අපේ ලොක්කන් හා හතර වරිගේ ඇත්තන් කළේ. එයින් එකෙකුවත් පොදු ජනතාවගේ ආරස්සාව ගැන හිතූ බවක් කොහෙවත් කියවෙනවාද?

ප්‍රභූන් කල්පනා කරන්නට ඇත්තේ තම-තමුන් විතරක් බේරුණාම ඇතිය කියලාය.
 ඒ එයාලගෙ හෘදය සාක්ෂ්‍යයේ දිග-පළලේ තරමය. මානව දයාවේ තරමය. පරාර්ථකාමීත්වයේ තරමය. හැබැයි, පන්සල්- පල්ලි- කෝවිල්- ඉස්කෝල වගේ ඕනෑම තැනක වේදිකා දෙදරවමින්, අණ්ඩ කෝෂ ලොකු කරගනිමින් බෙරිහන් දෙන්නේ නම් රටවැසියන්ට ඇති කරුණාව ගැනය! කටින් බතල!! (ඒ ටික කෙටුවේ සතියකට විතර කලින්ය.)

එබින් පොලිසියේ ෂෙරීෆ් විල්ව්බි එහෙම මිනිහෙක් නොවේ. එයා මිල්ඩ්රඩ් නෝනාට අන්තිම උදව්ව කරන්නට සැරසෙන්නේ ..... ශාන් විමුක්ති, අවසරයි නේද ඔයාගේ මේ උපසිරැසි ටිකත් උපුටාගෙන මෙතනට ඔබන්න?  

“දයාබර මිල්ඩ්රඩ්, මේ කතා කරන්නේ මැරිච්ච විල්ව්බි. මුලින්ම මං සමාව අයදිනවා දුවගේ මිනීමරුවෝ අල්ලන්නේ නැතිව  මැරෙන එක ගැන. ඒක මට ලොකු වේදනාවක්. මට ගානක් නැහැ කියල ඔයා හිතුව එක මට දුකයි. මම සැලකිල්ලක් දැක්වුවා. සමහර සිද්දි තියෙනව කවදාවත් විසඳගන්න ලැබෙන්නේ නැහැ. 

ඊට පස්සේ අවුරුදු දෙක-තුනක් ගියහම බොන තැනකදී හරි, හිරේදී හරි කෙනෙක් තව කට්ටියකට පුරසාරම් දොඩනවා. වැළලුන හැම දෙයක්ම මෝඩ කියවිල්ලෙන් ගොඩ එනවා. ඇන්ජෙලා වෙනුවෙනුත් එහෙම වේවි පතනවා ඇත්තටම. දෙවනුව, මම පිළිගන්න ඕන මිල්ඩ්රඩ්, බිල්බෝඩ් දාපු එක නියම අදහස. හරියට චෙස් ගේම් එකක් වගේ. මගේ මරණයට ඒ සම්බන්ධ කිසිම දෙයක් නැති වුණත් නගරේ හැමෝම හිතාවි මම මැරුනේ ඒ නිසා කියලා. අන්න ඒ නිසයි විල්ව්බි තමන්ගේ ඉත්තව ඇද්දේ.....”

ෂෙරීෆ් විල්ව්බිගේ අවසන් ලිපිය හේයස් නෝනාට ගෙනැවිත් දෙන්නෙත් විල්ව්බි මහත්මියමයි!
විල්ව්බිගෙ අවසන් ලිපිය මිල්ඩ්රඩ්ට ගෙනත් දෙන්නෙත් විල්ව්බිගේ බිරිඳමයි. ඒ මරණයෙන් වෙන්නේ හේයස් නෝනා තවත් ශක්තිමත් වීම; Officer ඩික්සන්ගෙ හෘදය සාක්ෂ්‍යය අවදිවීම!

අපේ රටේ ගොඩක් මිනිසුන් නම් ඇස් තිබුණට බලන්නේ නැහැ; කන් තිබුණට ඇහුම්කන් දෙන්නේ නැහැ; හදවතක් තිබුණට හිතන්නෙත් නැහැ වගෙයි නේද?

“බස් එක මෙතැන නවත්තමු. පාර වැඩිය පළල නැති නිසා යන්න අමාරු වෙයි. විනාඩි දහයක් විතර ඇවිදින්න වෙයි කියලා මං කලින්ම කිව්වේ.” දියවින්න පන්සලට හැරෙන තැන, මකර තොරණ ඉදිරිපිටදි අපේ driver උන්නැහේ මගේ උපදෙස් පිළිපදිද්දීත් දියවිනි කොමළිය විදු පියසේ කට්ටියට කොමළ පාමින් උන්නාය. 

බස් එකෙන් බහින- බහින අය හිටි කියලා සෙල්ෆි ගනිති, වෙලාව ගතවෙන හැටි ගැන; කට්ට අව්ව ගැන කිසිම තැකීමක් නැත. වවුල්පනේ වවුලන්ට මේ බාලක-බාලිකා කිසිවෙකු අද නම් දකින්නට නොලැබෙන බව දැන් පැහැදිලිය!

විජිත හාමුදුරුවෝ මඟ බලාගෙන උන්හ. දායකයෝ අපට දිවාහාර පිසිමින් උන්හ. “චානක සර්, සෝමේ මල්ලී ඔයාලත් එක්ක කන්ද නැඟලා ඇල්ලට පාර පෙන්නයි. එතැන කාටවත් නාන්න දෙන්න එපා. ගල් ලිස්සන නිසා.” මං ඒ උපදේශයම සිසුන්ගේ අම්මලා ටිකටත් දුන්නේ වැඩි හොඳටය.

අප බසයෙන් බහිද්දීත් දියවිනි කොමළිය කොමළ පාමින්............

මා කන්ද නඟින්නට නොගියේ කොල්ලන් කෙල්ලන් එක්ක හරි-හරියට වේගය පවත්වා ගන්නට බැරිවෙයි කියලා හිතාගෙනය. කට්ටිය ආපහු ආවේ කඩින්-කඩය. පළමුවෙනි කිහිප දෙනා ඇවිත් විනාඩි හතළිස්පහක් පහුවෙන තුරුවත් අන්තිමයන් පහළට ගෑටුවේ නැත! එහෙම එද්දී විජිත හාමුදුරුවන් වහන්සේ ඒ හැමෝටම කුරුම්බා සංග්‍රහයක් ලැහැස්ති කරලාය.

“සර්ලා කුරුම්බා බීලා, ටිකක් හති ඇරගෙන කෑම කමු!” විජිත හාමුදුරුවන් වහන්සේ චානක සර් හා අම්මලා එක්ක පිළිසඳරකය.

“මාව ලිස්සලා වැටුණත් එක්ක.” “අම්මෝ, හොඳ පණ ගියා.” “ඒ වුණාට දිය ඇල්ල ෂෝක්!” එක-එක්කෙනා comments දෙති. “නිමල් අයියේ, මෙහෙට එන්නම වටිනවා.... අපි ටෙලිෆෝන් නොම්මරෙත් ඉල්ලගත්තා. ආයෙම මෙහෙ එන්නයි හිතුවේ.” ඒ එක අම්මෙකි. 

“සුදු අයියේ, යන ගමන් අපේ ගෙදරත් ටිකක් ඉන්නම වෙනවා. කමක් නැහැනේ. මේ සර්ලා කට්ටියටම රටකජු ටිකක්, දෙහි ටිකක් හෙම හරිගස්සලා දෙන්න කතා කරගත්තා.” ඒ සෝමේ මල්ලීය. “ඇයි මඤ්ඤොක්කා....?”

“ඔයාලට කැමති විදියක්. මං ආවේ ටිකක් පාර පෙන්නන්න විතරයිනේ.” මං එහෙමය. හැම තැනදිම මුදුනා වෙන්නට ගියොත් ‘කිච’ වෙන්නට වෙයි. ඕනෑම නායකයෙක් අවශ්‍ය තැනකදී අනුගාමිකයෙක් වෙන්නටත් උගත යුතුය. මං ඒ පාඩම හොඳටම ඉගෙනගත්තේ 

හැම තැනදීම මුදුනා වෙන්නට යාම මොට්ටකමකි; තකතීරුකමකි...........
චානක සර් වුණත් ෂෝක්ය. කලබල කරන්නේ නැතිය; ඉක්මන් කරන්නේ නැතිය. “මිස්ටර් නිමල්, අපි පන්සලට ආධාරයක් කරනවා කලින් ඔයාට කිව්වා වගේ. දැක්කනෙ.... පුදුම මහන්සියක්නේ වෙලා තියන්නේ.... ලොකු වියදමකුත් යන්න ඇති. ඒ විතරද.... යෝගට්, අයිස්ක්‍රීම් එහෙමත් ගෙන්නලා..... ඔයාම මේක දෙනවද?” ලොකු ලියුම් කවරයක් දිගු කරමින් සර් කීවේය. අම්මලා අලගු තිබ්බෝය.

“ඊට වැඩිය හොඳයි සර්ගේ අතින්ම ඕක දෙන එක, මේ චාන්දනීල කට්ටියත් එක්කම ගිහින්!”

දැන් දිගකතාවක් සාරාංශ කරන්නට වෙයි. විජිත හිමියන්ට සමුදී, සෝමේ මල්ලිලාගේ ගෙදරත් බැහැලා, ආයෙම කල්තොටට එද්දී හතර විතරත් වෙලාය. 

එතැනදී වැඩියෙන්ම වෙලාව ගතවුණේ නාන්නට නොවේ. නානවාද නැද්ද, ඔයාත් නානවාද වගේ කාරණා තීන්දු කරගන්නටය. නාන කාමරවලම නාගෙන පුරුදු නිසාදෝ, විලිබිය ආරස්සාවෙන පරිදි ඇඳුම් මාරු කරගන්නටය. 

පහමාරට විතර දූවිලි ඇල්ල බලන්නට හැරෙන පාර ළඟට ආවත් එහාට යැවුණේ නැත. “යන්න පුළුවන්. ඒත් කොළඹ පැත්තට හරවන්න ගියාම බස් එකේ යට වදින නිසා ආයෙම කල්තොටටම ගිහින් තමයි හරවාගෙන එන්න වෙන්නේ.” ප්‍රශ්නය මතු වුණා විතරය. තීන්දුව ගැනිණි. “රෑත් වෙයිනෙ... ඔන්නොහෙ කෙළින්ම යමු!”

ආපහු එද්දීය අම්මලාගේ හුරතල් පිළිසඳරවල් පටන් ගත්තේ............
එහෙම එද්දීය හොඳම හුරතල් පටන් ගත්තේ. “මේ කොහෙද නිමල් අයියේ?” මට පිටුපසින් වාඩිවී හිටි අම්මා අහයි. ‘මේ කල්තොට’ මගෙන් ඉසව්ව කියවෙයි. ජංගමයන් වැඩ පටන් ගනී. දහ දෙනෙකුට විතර කතා කෙරෙයි. “අනේ ...... දැන් අපි කල්තොට. හරීඊඊඊඊඊ ෂෝක් මෙයා......” හරිම හුරතල්, පැණි වෑහෙන කතා-ලතාවෙන් කියවෙයි. කෝල්ස් දහයට පස්සේ ආයෙමත් ප්‍රශ්නයකි. මේ කොහෙද අයියේ? මේ නවනැලිය. ආයෙත් දහයක්....

අන්තිම හරියේ අයට කියන්නේ පට්ට බොරුය. නවනැලියේ ඉන්නවා කියද්දී, අප බලංගොඩටත් ඇවිදින්ය! දැන් ඉතින් බලංගොඩ බවත් කියන්න ඕනෑය. ඇත්තටම එයාලගෙ මාසික ටෙලිෆෝන් බිල කීයක් විතර වෙනවා ඇතිද?

එහෙව් මුඛරි අම්මලාවත්, සිසු-සිසුවියන්ගෙන් එක්කෙනෙක්වත් එදා රෑ කොත්තු රොටි හෝටලයට පුංචි බර-බරයක්වත් දැම්මේ නැත! 

“හැමෝම වගේ නොකා විසි කළා නිමල් අයියේ. මුඩු තෙල් දාලද කොහෙද. අපරාදේ සල්ලි, ඔයා විතරයි බේරුණේ කන්න ආවේ නැති නිසා!” මට විස්තර කිව්වේ හෝටලයෙන් ඉක්මනටම ආ අම්මලාය. සල්ලිත් ගෙවලා, ගන්නා දෙයක් හොඳ තත්ත්වයේ නැති වුණත් ඒ බව කියන්නට අපි පැකිළෙන්නෙමු.

විදු පියසේ කට්ටිය දියවින්නට ගියේ පෙබරවාරි 24 වෙනිදාය...........
ගමන ගියේ 24 වෙනිදාය. මං Three Billboards Outside Ebbing Missouri ෆිල්ම් එක බැලුවේ 25 වෙනිදාය. එහි උන් හේයස් නෝනා තනියම මාර සංග්‍රාමයක් කරද්දී මගෙන් ප්‍රශ්නයක් නොඅසා අසනවා මට ඇසිණි.

“අර හුරතල් අම්මලත් කට වහගෙන ආවය කියල, මහා ලොකුවට හිතපු තමුසෙත්- විනාකිරි බෝතලේ සුදුපාට වෙලත් සද්ද නැතිව ඉන්නේ?”. ඒකත් ඇත්තය. දහිරිය වඩවාගෙන මං නිකාඩෝ සමාගමට කතා කළේ 26 වෙනිදාය. ඒ ගැන ඔයාලට කියන්නට තීරණය කළෙත් එදා හවසමය.

ඉතින්, හඬ නැගිය යුතු තැනදී; විරුද්ධත්වය පළ කළ යුතු තැනදී නොපැකිළවම ඒක කරමු නේද෴


Thursday, April 25, 2019

පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස

‘දැනගෙන ගියොත් කතරගම - නොදැන ගියොත් අතරමඟ’ අපේ ආච්චී කොතෙකුත් කියූ කතාවකි.
ඒ කතාව නිත්ත-නිරන්තරයෙන් ඇහිලා-ඇහිලාම ..........
ඒක නිත්ත-නිරන්තරෙන් ඇහිලා-ඇහිලාම මට පත්තියම් වෙලා තියෙන්නට ඇත. ඒ හින්දාම මට බොහෝ දේවල් ඇහෙන්නේ නැත; අහගෙන ඉන්නවාය. මට බොහෝ දේවල් පෙනෙන්නේ නැත; බලනවාය. මං දේවල් ග්‍රහණය කරගන්නේ එහෙම කරන අතරතුරේය. සුරංගනී හාමු හැරෙන විටත්, ඡන්ටින් එක අල්ලන විටත්, යමක් කරන විටත්, කියන විටත් මං කළේ කටාක්ෂ නිරීක්ෂණයෙන් යුතුව හිඳීමය.

ඒ නිසාමදෝ ඡන්ටින් එක අරගෙන උණු ඉටිවලින් බෝල අඳිද්දී මට වැරැදුණේ නැත. කිරිබත් කෑලි අඳිද්දී මට වැරැදුණේ නැත. දැති දමද්දී, තිත් තියද්දී .... මේ එකම එක වෙලාවකදීවත් මට වැරැදුණේ නැත.

ඉස්කෝලෙ යද්දී පවා අකුරු, මෝස්‌තර අඳින්නට මට තිබුණේ පුදුම ආසාවකි. (ඔන්න, ඉතිං අහන්න එපා ආසා නොවුණේ මොනවාටද කියලා. ඒ තරමටම මගේ ආසාවන් විවිධය! සැරෙන්-සැරේ ඒවා කියවිලා ඇති නිසා, ආදරණීය රසිකයෙකුට අරහෙම ප්‍රශ්නයක් අහන්නට හිතෙන එකත් සාධාරණය. ඒ මදිවාට වඩා බරසාර ආසාවන් ගැන තවම ඔයාලට අඟවලාවත් නැත!) මගේ එක්සයිස් පොත් හැම එකකම අන්තිම පිටුව පිරිලා තිබුණේ එහෙම ආසාවට ඇන්ද අකුරු හා මොස්තරවලිනි. 

එහෙම හරි ඉගෙන ගන්නා කොයියම්ම දෙයක් වුණත් අපතේ නොයන බව මගේ විශ්වාසයයි!

බ්ලොගර්ස් ඊව් ගැන හැම අල්ප මාත්‍රයක්ම දැන් රසික ඔබ...........
පහුගිය මාසයෙත් එහෙම වැඩක් සිද්ධ වුණේය. බ්ලොගර්ස් ඊව් ගැන හැම අල්ප මාත්‍රයක්ම පාහේ දැනටමත් ඔයාලා දනී. යාල රිලවුන් පැන්නූ පෝස්ටුවලින් ඒකේ අල ගිය-මුල ගිය තැන් සේරම කිව්වත් මේ කාරණාව කියවුණේ නැත.

කවදාවත් දැකලත් නැති, මුණ ගැහිලත් නැති පහළොස් දෙනෙකු ඉස්සෙල්ලාම අපේ ගෙදරට ගොඩ වැදෙන්නට යද්දී ලජ්ජා වෙන්නට ඇහැකිද? බැලූ බැල්මටම අපේ ගෙදර තියෙන්නේ අපිළිවෙලටය. ඒකේ තියෙන පිළිවෙල දන්නේ මං විතරමය.

ඒත්.... චුට්ටක් අස්-පස් කරලා, දූවිලි ගසා-බසා දාන්නවත් ඕනෙය. 

ඔන්න ඒ ටික කරද්දී මාළු ටැංකිය කැපිලා පෙනුණේ කිරි-කිරි ටොයියන් රෑනක් මැද්දේ ඉන්නා එකම බයියා විදිහටය. ඒක නිකං අහස් යාත්තරාවක තියන Black Box එක වගේය. අවුරුද්දකින්වත් සුද්ද කරලා නැතිය. වීදුරු සේරම ඇතුළු පැත්තෙන් දිය සෙවෙල් බැඳී කළු කොළ පාටක් ගැහිලාය.

“අනේ නෙවිල්, මගේ අත උස්සන්න බැරි හින්දා මේක සුද්ද කරගන්න බැහැ. පළවෙනිදට කලින් මේක කරලා දෙන්නකෝ.” 

කනිපින්දම් කිව්වත් වැඩේ කෙරුණේ නැත. නෙවිල් ඒ දවස්වල රාත්තිරියේත් වැඩය. එහෙම වෙලාවට මට හයි-හත්තිය දෙන්නේ කේන්තියයි. අතට හෙණ ගහපුවාවේ! බැරි-බැරි ගාතේ, නවත්ත-නවත්තා වරුවක් අරගෙනය, මං මාළු ටැංකිය සුද්ද කරගත්තේ.

එයාලා අර ක්‍රීම්, මේ ක්‍රීම් ගාති, අතුල්ලති, හම අරිති!
බ්ලොග්කරුවෝ ආවෝය; කා-බී අල්ලාප-සල්ලාපයේ යෙදුණෝය; සිංදුත් කියලා එල fun එකක් ගත්තෝය! හැබැයි ඒ කොයියම්ම කෙනෙකුවත් එයාලා ළඟම මාළු ටැංකියක් තියෙනවාය කියලා වගකට නොගත්හ. 
මටත් වුණේ දැන් ඉන්නා ළමිස්සියන්ට වෙනවා වගේ වැඩකි.

එයාලා අර ක්‍රීම්- මේ ක්‍රීම් උලති. කෙස්ස කපති; නවති; අඹරති; කෙළින් කරති; පුළුස්සති. කොටට; දිගට; හිරට; බුරුලට අඳිති. ඒ සේරම කරන්නේ පාරේ බැහැලා යනවිට හතර වටේම ඉන්නා අයගේ ඇස්වලට වෙන වැඩක් නැහැයි කියලා හිතාගෙනය.

එයාලා හිතන්නේ හැමදෙනාම අනිමිස ලෝචනයෙන් එයාලාගේ සුකුරුත්තන් බලන්නට පේවී ඉන්නා බවය. අනේ, ඒවා බලන්නේ....... මාත් ඒ ගොඩට වැටුණා වගෙය. ඒ බව කල්පනාවට ආවේ මාර්තු දෙවෙනිදා උදේම ගෙය අතුගාද්දීය. එහෙම යාන්ත්‍රික වැඩක් කරද්දී වෙන දෙයක් ගැන හිතන එක මගේ පුරුද්දකි.

අපේ ගෙදර මාළු ටැංකියේවත්, පොකුණේවත් ප්ලේටි වගේ එවුන්වත් බෝවෙන්නේ නැහැනේ. මට සිතිණි. එය ඊට ඉස්සරත් කල්පනා වුණු දෙයකි. ඒවායේ මාළු පැටවු බිහි වෙති. ඒත් ලොකුමහත් වෙන්නට කලින්ම අම්මලා-තාත්තලාටම බිලි වෙති. ඒ විපතින් බේරෙන්නේ එහෙමත් එකෙකු විත‍රය.

උඩවලවේ ජලාශය අද්දරදිය ඒ පාඩම මා උගත්තේ!
 ඒ වතාවේ අප හිටියේ උඩවලවේය. අතුරු පාරකිනුත් ගිහිල්ලා, වැව ඉවුරේ තැනකය. නාගැනීමට වතුරට බහින්නට ගියාම මං දැක්කේ නොගැඹුරු වතුරට කපා දමා තිබුණු අතු-ඉති කන්දරාවකි.

“මෙව්වයේ ඉන්නේ මොක්කුද මන්දා. ගස්වල අතු පෑහලා වැවට දාලා. ජරා වැඩ.....” මට කියවුණේ නිකම්මය; හයියෙනුත්ය. එතැනම ඉවුරේ උන් තලත්තෑනි කෙනෙක් මගේ කතාව ඇහිලා හැරී බැලුවේය. කෝචෝක් හිනාවකුත් දාලා මෙහෙමත් කිව්වේය.

“මහත්තයෝ, ඕක කඩප්පුලිකමට කරපු වැඩක් නෙවෙයි. සිදාදියේ අය නොදන්නවට මොකද කරන්නේ? ඔහොම අතු කපල වතුරට දාන්නේ, වැවේ මාළු පැටවුන් බේරාගන්න. එතකොට උන් ලොකු මාළුන්ට අහුවෙන්නෙ අඩුවෙන්. උන්ට ලේසියෙන් පණ බේරාගන්න පුළුවන්, කොළරොඩු අස්සේ හැංගිලා. කොළ අතු දිරනකොට උන්ට කෑමත් වැඩියිනේ.”

මට ඕක සිහිවුණා විතරය. අතුගෑම බාගෙට නවත්තා මදුරුතලා, දෙහි හා palms අතු කිහිපය බැගින් කපාගෙන ඇවිත් මාළු ටැංකියටත්, පොකුණ අද්දරටත් දැම්මෙමි.  

එහෙම කරලා දැන් මාස එකහමාරකි. ඒ ටික කාලයේදී අලුත් මාළු පැටවු සිය ගණනකට අපේ ගෙදර තිඹිරි ගෙදරක් වෙලාය. ඒකෙ සතුටෙන් කොටසක් කණ්ඩා, අටං, කමි ඇතුළු හැමෝටමත් බෙදී යා යුතුය!

මාස එකහමාරක් යනවිට අපේ මාළු ටැංකියේ.......
ඔය ටික කිව්වේ ඉගෙනගන්නා දේවල් කවදා හරි ප්‍රයෝජනවත් වෙන බව කියන්නටය. හැබැයි මං කළා වගේ කල්ප-කාලාන්තරයක් ගිහින් නොව, නිසි තැනදී - ඉක්මනින්ම දැනුමෙන් වැඩ ගන්නට ඕනෙය. (විශේෂයෙන්ම පැටවුන් බෝ කිරීමේදී!)

 “ලීලා. ලීලා...... මෙහාට ඇවිත් බලන්නකො ලීලා. මට මාස ගානක් ගියා මේවා පුරුදුවෙන්න. ඒත් තවම බෑ. ලීලගේ පුතා නම් පැය බාගෙන්, හරියට පුරුදු කෙනෙක් වගේ wax කරනවනේ...” සුරංගනී හාමුට හිතන-පතන දේවල් ඉෂ්ට-සිද්ධ වෙන්නට වෙනින් පිනක් ඕනේ නැත. එදා කළ ටිකම; මට බතික් කිරීමේ මුලකුරු කියා දුන් පිනම ඇතිය.

ඒ විතරක්ද? කිසිම ඉරිසියාවක්; කිසිම කහටක් නැතිව ඇය මට ප්‍රශංසා කළේත් නිර්ලෝභීවය. “මට පෙනෙන විදියට නම් ලීලෝ නිමල්ට කිසිම බයක් නැතිව අද ඉඳලම වුණත්, බතික් කරන තැනකට වැඩට යන්න පුළුවන්!”.

“පුතේ උඹ බුදුවෙයන්!” කියලා අප මහා බෝසතාණන්ට මෑණියන් වහන්සේ විවරණ දුන්නේ සත්සමුදුරු තරණය කරමින් සිටියදීය. හත් දවසක්ම අම්මාව පිට උඩ තියාගෙන පිහිනුවාටත් පස්සෙය. 

පැයක් යන්නටත් කලින්, බම්බලපිටියේ මුහුදෙන් හමන කරිජ්ජ මුසු හුළඟින් නැහැවෙමින් සුරංගනී හාමු මට විවරණ දුන්නාය, ඒ මෙල්බෝන් ඇවිනියු එකේ ගෙදර ඉටි ළිප ළඟදීය. බෝසත් මෑණියන් වහන්සේ වගේම කුලුණුබර හදවතකින් යුතුව හැබෑම කරුණාවකින්ය.

හත් දවසක් තිස්සේ අම්මාවත් පිට උඩ තියාගෙන බෝසතාණෝ සත් සමුදුර............
“අනේ නිමල්, මං ඔයාට තව මොනවා කියල දෙන්නද? දැනටම ඔයා මට වැඩිය හපනෙක්නේ.... ඩයි කරන හැටි බලාගත්තත් ඔයාට  වැඩක් තියෙනවය. ඒකට නං වියදම් යනවා. ඔයා බතික් ෆැක්ටරියක් දාන්න යන්නේ නැහැනේ..... ඔයා කැමැතියි නම් මං අපේ නිxxxට ඔයා ගැන කියන්නම්. එයා දැන් බතික් කරනවා විකුණන්නයි ඕර්ඩර්ස්වලටයි. දිගටම නැතත් ටික දවසක් හරි එහෙ වැඩ කළොත් ඔයාට ඩයි කරන හැටිත් ඉගෙනගන්න පුළුවන්.”

සුරංගනී හාමු කිව්වේ කීයටවත් අප බලාපොරොත්තුවූ දෙයක් නොවේ! මටත් වැඩියෙන් ඒ කතාවෙන් උද්දාමයට පත් වුණේ අපේ අම්මාය.

“සුරංගනී හාමු, මං සීහාමු ළඟත් මහන්න යනවා සමහර දවසට. ඕනෙම දවසක එන්න කියලයි තියෙන්නේ. හැබැයි යන්නේ වෙන කොහෙවත් වැඩ නැත්තං විතරයි. හාමුලා වගේ එයා ගෙවන්නේ නැහැනේ. ඒත් දිගටම වැඩ නම්  තියෙනවා.” අපේ අම්මාත් කිව්වාය. “මෙයාත් එයාලගෙ බේබි සූට්ස්වලට ස්මොක් කරලත් දුන්නා. කතිර මැහුම් වගයකුත් කළා... ගෙවන ගණන තමා....”

“ටේක් ඉට් ඊසි ලීලා. එයා බිස්නස් එකක්නෙ කරන්නේ. එතකොට ඉතින් ප්‍රඩක්ෂන් එක්ස්පෙන්සස් මිනිමම් කරගන්නනෙ හදන්නේ. මං හිතන්නේ නිxxx වුණත් නිමල්ට එච්චර ගෙවන එකක් නැහැ..... අපෙත් රිලේෂන්ලා තමයි. ඒත් ලීලා එක-එක්කෙනා වෙනස්නේ. ඔයාලා කැමැති නැත්තං කමක් නැහැ. මම try කරන්නං නිමල්ව වෙන කොහෙට හරි දාලා දෙන්න.”

හැම තැනකදීම පාවිච්චි වෙන්නේ එකම හැඩතල- රටා.............
අත් රේන්ද ගෙතුවත්, කතිර මැහුම් කළත්, ස්මොක් කළත්, බතික් කළත්..... ඒ හැම තැනකදීම කෙරෙන්නේ රටා මැවීමය. හොඳින් බලන කෙනෙකුට පෙනෙන්නේ මේ හැම මෝස්තරයකටම; රටාවකටම පාදකවී තියෙන්නේ එකම හැඩතල ටිකක් බවයි. යම් කිසි රටාවකට!

කෑමක් හදද්දී කෙරෙන්නේත් මේකම නේද? 

බතක් ළිපේ තියද්දිත් හාල්වලට උඩින් ඇඟිලි පුරුක් දෙකක් උසට වතුර තියන්නට අපේ ආච්චිලා පුරුදුවී හිටියෝය. 

කිරි දානයකට, එහෙමත් නැතිනම් සංහිඳක දෙන දානයකට, මුරුතැන් පූජාවකට කෑම හදද්දී ඒවා ඉඳුල් කරමින් ලුණු ඇතිදැයි බලන්නේ නැත. පළපුරුදු අය කරන්නේ සුවඳ බලා ලුණු ඇති බව තීරණය කිරීමයි. දැන් නම් ඒක ලෙහෙසිය! රෙසිපිය දෙන්නේ නූලට-රූලට ගණන්-හිලවු එක්කමය.

අර්තාපල් කිලෝ 15, එළඟි තෙල් බෝතල් 2, සීනි කිලෝ 2.500, රාසින් කිලෝ 2, වියළි මිදි කිලෝ 2, කජු කිලෝ 2, කරදමුංගු, කහ යොදා ගනිමින් කිලෝ 25 ක අර්තාපල් පුඩිමක් පිළියෙළ කරන ලදී.
කියලයි රංජිත් රාජපක්ෂ වාර්තා කරලා තිබ්බේ. කුමාර සංගක්කාර, ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු  මහත්වරුන් වගේම නුවරඑළියේ ග්‍රෑන්ඩ් හෝටලයේ සූපවේදීන් 15 දෙනෙකු විතරත් එකතුවෙලා තමයි මේ දැවැන්ත පුඩිම හදලා තියෙන්නේ, අප්‍රේල් 16 වෙනිදා. 

දේශීය අර්තාපල් ගොවීන්වයි සංචාරක කර්මාන්තයයි ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන්. රංජිත්ගෙ වාර්තාව කියවද්දී මට කල්පනා වුණේ අපේ  වට්ටක්කා ගොවීන් ගැනයි!

කුමාර් සංගක්කාර, හරීන් ප්‍රනාන්දු මහත්වරුන් ඇතුළු සූපවේදීන් .................
යුරෝපා රටවල නම් වට්ටක්කා පිටි කරලා, කල් තියාගෙන කෑම හදන්න ගන්නවාලු. එහෙම ලොකු project නැතත් ඇයි වට්ටක්කා ප්‍රවර්ධන වැඩත් නොකෙරුණේ? පස්සෙන් පහු කාලේ කීල්ස් එකෙනුත් වට්ටක්කා මිලදී ගැනිල්ල නැවතුණාය කියලයි ආරංචි වුණේ!

ඔව්වා ඉතින් අපි වගේ ජුන්ඩයියලගේ මට්ටමෙන් එහා දේවල්නේ. නිසි බලධාරීන් වෙනයිනේ!

එදත්; සුරංගනී හාමු නිxxx හාමු ගැන යෝජනාව ගෙනාවමත් මං හිටියේ තීරණයක් ගන්නට පුළුවන් මට්ටමක නොවේ. නිසි බලධරයා ගෙදරය. මා එවිටත් ඔහු අතේ නැටවෙන රූකඩයක් විතරය.

“මං හිතන්නේ ලීලා රංජිව ඔය සීහාමුලගේ දුව ළඟට යවමු. ටික දවසකට හරි. මේකා වැඩේ අල්ලා ගනියි ඉක්මනට. බතික්වලටත් දැන් තැනක් එනවා වගේ තමයි. වැඩේ පාඩුයි නම් ඔන්නොහේ අල්ලලා දාමු!”. තාත්තා කිව්වේ එහෙමය.

සීහාමු කියලා කෙනෙකු හිටියේ නැති බව දැන්මම කියලා ඉන්නට වෙයි. හාමු කෙනෙක් හිටි බව ඇත්තය. මගේ නම බොරුවකි. 

ඇත්ත නම්-ගම් කියන්නේ කොහොමද, ඒ පවුලේ කෙනෙක් දැන් 225 අතරේය. තව ළඟම නෑදෑයනුත් ඒ අතරේය. අර කෙනාත් පහුගිය මාස කිහිපයේ  තුන්- හතර වතාවක්ම එහෙ-මෙහෙ පනිමින් ‘බක’ ජාතකය නැටුවේය! ඉතින් එයා ඉපදෙන්නත් කලින් කතන්දර වුණත් නං නැතිව කියන්නටය කල්පනා කළේ.

ඒ කතාව මා හා බැඳෙන්නේ බතික්වලිනි. නිxxx කිව්වේ සීහාමුගේ දෙවෙනි දියණියටය. මගේ පළමුවෙනි බතික් හාම්පුතා වෙන්නට යන්නේ එයාය. අකුරු කෙටීමේ පහසුව තකා සීහාමු, නිහාමු ආදී වශයෙන් ඉදිරියේදී එයාලාව හඳුන්වන්නෙමි.

නම්-ගම් සහසුද්දෙන්ම නොකියා ඒ කතන්දර කියන්නට වෙන්නේ.............
අපේ තාත්තාගේ කැමැත්ත ලැබුණාට පස්සේ සුරංගනී හාමුම නිහාමුට මාව රෙකමන් කරලා තිබිණි. “අන්න හාමුලා. නොදැක්කා වුණාට ගතිගුණවලින් කියතහැකි, රත්තරන් මනුස්සයෙක්. නැත්තං බං මාසෙකට දෙකකට සැරයක් ගිහින් ඇඳුමක් මහල දෙන උඹේ පුතාටත් මෙහෙම උදව් කරයිද?” අපේ තාත්තා ඒ කැරැක්ටර් සැටිපිකට් එක දෙන්නේ සුරංගනී හාමුටය.

“ඒක නං ඇත්ත. මං ඔය යන තැන්වලින් ඊවා හාමුයි, සුරංගනී හාමුයි තමා ඔහොම. කිසිම මාන්නයක් නැහැ.” අම්මාත් අලගු තිබ්බාය. “ඒ මනුස්සයා ‘රංජිට කීයක් හරි දෙන්න වටිනවා; හොඳට වඩාත් කරාවි’ කියලත් නිහාමුට කියලා. නිහාමුලා කවුරුත් ටිකක් ඉච්චියිනේ!”

“ඔහොම තමයි බං, හාමුලා වුණත් රොඩී වැඩ කරනවා. ඔය අපේ අම්මාත් තිස්සෙම කියන්නේ මොකක්ද ‘කම්මනා හොති’ කතන්දරයක්......” තාත්තා එහෙම එව්වා ගෙඩි පිටින්ම කිව්වේ කලාතුරකිනි. අපේ අම්මාට නම් ඔහොම කතන්දර ‘නෙළුම් කොළ උඩට වැටෙන දිය බිංදු’ය.  

ඔවැනි කතා-බතා මැද්දේ මං හිතාගෙන හිටියේ වැඩි දවසක් සීහාමුලාගේ ගෙදර ගියත්, වැඩි කලක් අල්ලන එකක් නැතැයි කියලාය. 
ඒත් ඒ හිතිවිල්ල වැරැදුණේය. යකා හිතූ තරම් කළුපාට නැති වුණේය!

යකා හිතූ තරම් කළු පාට වුණේ නැත!
ඉතින් පත්තෑයට පෙත්ත රේන්දයෙන් පටන් ගත් කතන්දරේ දැන් වෙනස්ම ඉසව්වකට ගෙන යා යුතුය.

දැන් ආයෙමත් මුළු රටමත්, රටවැසියනුත් නොහිතූ ඉසව්වකට ගිහින්ය. මේ පෝස්ටුව දාන්නට හිතාගෙන හිටියත් වෙනින් කෙටි පෝස්ටුවක් ඉක්මනින් ලියන්නට වුණෙත් ඒ නිසාය. එවැනි වෙලාවක පවා, හිතේ තෙරපෙන හැඟීම් පිට කරගන්නට මඟක් තිබීම වාසනාවකි. ඒ හැඟීම් බෙදා-හදාගන්නට රසික ඔයාලා වැනි පිරිසක් හිඳීමත් වාසනාවකි. 

මා ඒ වෙනුවෙන් කෘතවේදී වන්නේ ඔබ සැමට අවංක වීමෙනි!

ඉතින්, බතික් කලාවෙන් යන්නට පටන් ගත් ඒ ගමනට කියන්නට සුදුසු නමක් තවම නං මගේ හිතට ආවේ නැත. ඒත් හෙටානිද්දාම; නොපමාවම එය නිදිගෙ ඔළුවට එනවා නිසැකය෴


Monday, April 22, 2019

දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!



දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!

අපේ රටේම; අපි වගේම; පුරවැසියන් සිය ගණනක් මෙහෙම මරුමුවට පත්වීම ගැන හොඳටම දුකයි! මේ සුන්දර රට බලන්නට නොරට ඉඳන් ඇවිත් විපතට පත් විදේශිකයන් ගැනත් දුකයි!

මෙහෙම විනාශකාරී දේවල්වලින් ශ්‍රී ලංකාව සමාජ, ආර්ථික, දේශපාලන..... හැම පැත්තකින්ම අගාධයකට අද වැටෙන බව හිතෙන නිසා තවත් දුකයි. තිරිසනුන් වගේ වැඩ කරන.... (එහෙම කියන එක තිරිසන් සතුන්ටත් නින්දාවක්. උන් තව සතෙකු ඝාතනය කරන්නේ ආහාරයට ගන්නට විතරයි. මේ?) ම්ලේච්ඡයන් ටිකක් හින්දා, හැම මිනිහෙක් දිහාම සැකයෙන් බලන්නට සිදුවී ඇති නිසා අන්තිම දුකයි!!

මෙහෙම දේවල් වෙන්න කලින් මේවා දැනගෙන හිටියයි කියලා ගරු අමාත්‍යවරුන් පම්පෝරි කියනවා. තව අයගේ තාත්තලාත් එයාලගෙ සහජාත පුතුන්ට කියලා දේව මෙහෙයට යන්න එපැයි කියලා. 

අනෙක් අයට ලැබුණු අනතුරු ඇඟවීම් ගැන තවම හරියට කියවෙලා නැහැ. හැබැයි, වෙනදාට දේවමෙහෙයවලට යන ප්‍රභූන් ගොඩ දෙනෙක් මේ අවාසනාවන්ත ඉරිදා දවසේ වාසනාවට පල්ලි ගිහින් නැහැ. තම-තමුන්; හතර වරිගේ ඇත්තන් විතරක් ආරස්සා වුණාම ඇතිනෙ.

ඒ වගේම ප්‍රභූ ආරක්ෂාව නං තර කරපු කතන්දරත් දැන්-දැන් ප්‍රසිද්ධියේම කියනවා. 

එතකොට මේ සේරටම පළි අහිංසක රටවැසි අපිද? තමුන්නාන්සේලාට ලක්ෂ ගණනින් පඩි ගෙවන්න, පෙන්ෂන් ගෙවන්න, තීරු බදු රහිත මිලකට හොඳම වාහන දෙන්න නොසෑහෙන විදිහට බදු ගෙවන අපිද මේවටත් පළි? පොඩි මිනිස්සු මේවාට බිලි වුණාට කමක් නැතිද?

රාජකාරි පැහැර හැරපු පොලිස්පතිතුමා ඉල්ලා අස්වෙන්නේ නැතිනම් තව එක්කෙනෙක් පත් කරමුය කියලත් ඇමතිතුමෙක් යෝජනා කරලා. හොඳ වැඩේ. ඒකම තමා වෙන්න ඕනේ. එතකොට අපටම තව දඬුවමක්. දැනටත් අපි වියදම් කරන හැම රුපියලකින්ම සත අසූවක් විතර ගෙවන බද්ද තව ටිකක් වැඩි වෙච්චාවේ!

එදිනෙදා කරන රස්සාවල්- වෙළහෙළඳාම්- කුලීමලී වැඩ කරගන්න විදිහක් නැතිව ඉන්න පොදු මහජනතාවටම කෙළවුණාවේ.

කන එකයි, xන එකයි දෙකම එකම කටෙන් කරන මුඛ පූට්ටුවී ඉන්නා................
හැබැයි, එකම එක උත්තම පුතෙක්වත් සිරි මුඛයෙන් වදාරන්නේ නැහැ ‘වගකීම් හරියට ඉටු නොකරපු මැති-ඇමැතින් ඉල්ලා අස්වෙනු!’ කියලා. 

කොච්චර කෙළගත්තත් උන් සේරම එතැනදී එක අත්තේ. මුඛ පූට්ටු වෙලා. මට හිතෙන්නෙම ඒ මූට්ටුවීම නිසා මුන්දැලාත් වවුලෝ වගේ සිරි මුඛවලින්ම පහරනවාත් වෙන්නැති.

ඒක ගැන හිතද්දීත් උන්දැලා ගැන මට නම් සත්තෙන්ම හිරිකිතයි!!!


පසුවදන 

2019 අප්‍රේල් 24 - පෙරවරු 8.40  

අලුත් ප්‍රවෘත්ති බලද්දී මේ දැන් අපූරු පුවතක් දකින්නට තිබිණි. එයින් තහවුරු කෙරෙන්නේ 'සියලුම මැති-ඇමතිවරුන්ගේ ප්‍රභූ ආරක්ෂක නිලධාරීන්ට මෙම ප්‍රහාර ගැන කලින් අනතුරු අඟවා තිබුණු බවයි. ඒ අනුව කිසිදු ප්‍රභූවරයෙකු දේව මෙහෙයයන්ට සහභාගී නොවුණු බවයි.'
පුවත බලන්නට අවැසි නම් මෙතැනින් යන්න!