කියූ විදිහටම වාගේ වැඩ කටයුතු සිද්ද වුණේය.
බස් එක නම් පැය බාගයක් විතර පමාවී තිබිණි. ඒත්, සහන් එළිය වැටෙන්නටත් කලින්
රත්නපුරයට යාගන්නට අපට පුළුවන් විණි.
කළු ගං ඉවුරේ වැජඹෙන රුවන්පුරයට යන්නට............ |
“කතා කරන්න එපා! මං තනියම හරි බස් එකේ ආපහු යන්න හැදුවේ ඒකනෙ. තමුසෙලා දෙන්නා ඒකට ඉඩ දුන්නෙත් නැහැ. හැබැයි පුතෝ, ඔන්න වචනයක් දුන්න නම් ඒක හරියට ඉෂ්ට කරනවා. හෙට හවසට නම් පුළුවන් තරම් කලින් මට ගෙදර යන්න ඕනේ. ටිකක් නිඳාගත්තේ නැති නං මට යන්න වෙන්නේ කෙඳිරිගගා.”
“නෙවිල්, මෙයා කෙඳිරිගගා ගියාම අපිට කිචිද
මචං?”
“අනේද කියන්නේ. දැන් වැඩ කෑල්ල තියෙන්නේ අපි
දෙන්නා අතේ. තමුසේ ඕනෙවට වැඩිය පාට් දැම්මොත්..... නේද පීරා!” එහෙම රණ්ඩු උදව්
වුණේ අපේ නිඳිමත තුරන් කරගන්නටය. ඇත්තම කිව්වොත් කිසිම නිවනක් නැති වුණේ නෙවිල්ටය.
මහරගමින් මාතර යන බසය තියෙන්නේ උදේ හතරටය. ඉතින් අප අඩුම ගණනේ තුනටවත් පිබිදෙන්නට
ඕනෑය.
එහෙමත් ගිහින්, එදාම රෑ යක්කු ගස් නඟින වෙලාවෙත් drive කරන්නට වුණාම. අනුන්ට
බණ දෙසන අප කවුරුනුත් මේ කරන්නේ වැරැද්දකි! බරපතළ වැරැද්දකි!!
නිඳි මරගාතේ ඉගිලෙන්නටත් ගියාම කෙලවර වෙන්නේ මහා විපත්තියකිනි! |
හරිහමන් නින්දක් නැතිව රිය පැදවීම අනතුරුවලට
අත වැනීමකි. ඉතින්, එහෙම නොකර බැරිවුණු වෙලාවක ඒ වාහනයේ අනෙක් අයගේ යුතුකම රියැදුරා
සමඟ කතාබහ කරමින් යන එකය. ඒ අතින් නම් අපේ ‘දෙවෙනි නසාර්’ වාසනාවන්තය. පීරිසුත්, මාත් දෙන්නාම නිඳා
වැටුණේවත් නැතිම තරම්ය.
නෙවිල් බස්සෙකි! මහ රාත්තිරියේ හරි අවදියෙන්
හිටීම මිනිහාට අමාරු නැත. අමාරු උදෙන් ඇහැරෙන එකය. 24 වෙනිදා නම් මාත් නැඟිට්ටේ
එහෙම නොකර බැරිකමටය. කලින් දවස් දෙකේත් දිග ගමනක යෙදිලා, අදත්.....
හැබැයි, අපරාදේ කියන්නට බැරිය. මගේ වගකීම
පවරාගත් චාන්දනී නංගී ප්‍රමුඛ අංගනාවනුත් හරිම ෂෝයිය! මහරගම ඉඳලා රත්නපුරේට යනකල්මත්
සද්දේ වහලා නං හිටියේ නැත. මගේ අම්මෝ එහෙම විද්වත් මණ්ඩපයක්. කුකරි- බියුටි
කල්චර්- විලාසිතා- මහත්වරුන් එකී;මෙකී;නොකී හැමදේම එයාලගෙන් මඟහැරුණේ නැත. හූමිටි
තියන්නවත් මහන්සි නොවී, දැනුම් සම්භාරයක්ම එකතු කරගන්නට මට හැකියාව ලැබිණි. ඔන්න
දැනුයි කියන්නේ. චාන්දනී, ඔයා ඇතුළු අම්මලා කට්ටියටම පින්!
අනේ, මිල්ඩ්රඩ් හේයස් නෝනාට නම් එහෙම
යෙහෙළියන් රොත්තක් හිටියේ නැත. යෙහෙළියන් තියා එයාගේ පුතාවත් අම්මාට සමීප නැතිය.
මියගිය දුවත් එහෙමය. ඇය හැරදමා ගිය සැමියාත් නුහුරටමය. එහෙම වුණාය කියලාවත් හේයස්
නෝනා පසු බහින්නේ නැත. වලිය දිගටම ගෙනියන්නේ ‘වලි කිකිළියක’ වගේය.
එබින් පොලිසිය ගිනි තියන්නටත් හෙයස් නෝනා එඩිතර වෙයි! |
එබින් පොලිසිය ගිනි තියන්නටත් හේයස් නෝනා
game එකට බහියි! එබින් පොලිසියේ ෂෙරීෆ් ‘බිල් විල්ව්බි’ උන්නැහේටත් මේ කරදර මහා
හිසරදයක් වෙයි. පැත්තකින් එයාට වැළඳී ඇති පිළිකාවය; පැත්තකින් නීතිය රකින්නට ඇති
වගකීමය; තව පැත්තකින් හෘදය සාක්ෂ්‍යය! කෙළින්ම නැතත් හේයස් නෝනාට උදව් කරන්නට බිල්
පෙළඹෙන්නේ ඒ නිසාමය.......
නිකාඩෝ සමාගමේ උදවියත් මට උදව් කරන්නට හිතුවා
විය යුතුය. පෙබරවාරි 26 වෙනිදා දහවල් 2.43 ට නැවත මට ඇමතුවෝය. හැබැයි වෙනින් දුරකතනයකිනි. කොච්චර එකක්ද? පරහිතකාමීත්වය පෙරදැරි කරගෙන එහෙම කළා විය යුතුය.
වැඩියෙන්ම වෙලාව ගියේ වචන වැඩියෙන්ම පාවිච්චි
කරන්නටය; වටේට යන්නටය; ඍජු පිළිතුරු වෙනුවට සවිස්තරාත්මක උත්තර දෙන්නටය. එඩින්බරෝ
කතා- සාම්පල් තිබෙන කතා- ඒවා check කළ කතා සේරමත් කියලා අහවරවී, මේ විනාකිරි වැඩි
සුදු පාටකින් තිබුණත් ප්‍රශ්නයක් නැතැයි කියැවිණි.
මිනිසා ඉගෙනගන්නේ අත්දැකීම්වලිනි. යම් තරමකට
හෝ ඉව; සයවෙනි ඉන්ද්රියයත් එයට උදව්වෙනවා වෙන්නට ඇත.
අර ටෙලිෆෝන් සංවාදයේදී කෙරුණු
පැටලවිලි, වටේ යෑම් හා tone එකත් මට කිව්වේ එකකි. ‘නිමලෝ, ඔය විනාකිරි පාවිච්චියට
ගන්න එපා මෝලෝ. මොකෝ ඕක පතා සීයක එකක්ද? ඔන්න ඔය බෝතලේ අහක දාපං!’ මම ඒකට කීකරු
වුණෙමි, හැබැයි බාගෙටය. මං ඒක පාවිච්චියට ගත්තේ නැත. පරෙස්සමට අරන් තිබ්බෙමි.
විනාකිරි බෝතලය තවමත් තියෙන්නේ අපේ ගෙදරමය. මේ සාක්කිත්..... |
ඒක විසි කරලා, සාක්කි විනාශ කරගත්තාම කොහොමද?
දුරකථන සංවාදය අතරේම මගේ මොට්ට ඔළුව ඇතුළේ චනුල්ලාගේ ට්‍රිප් එකේදී වුණු දෙයක්
කැරකෙමින් තිබිණි.
ඒත් ශ්‍රී ලංකාවේ දේශීය සමාගමක කීර්ති නාමය
විනාශ කරන්නට මට ඕනෑකමක් නැත. කාගේවත් රැකියාවක් නැති කරන්නට මට ඕනෑ නැත. එහෙත්
මගේ කතාව සනාථ කරන්නට වුණොත්..... ඒ නිසාය දුරකථන ඇමතුම්වල ෆොටෝ ගත්තේ; විනාකිරි
බෝතලය ඉවත නොදැම්මේ! මොනවා නැතත් නිකාඩෝ සමාගමේ පාරිභෝගික සේවාව නියෝජනය කරමින්
කතා කළ තිදෙනා ගැනම මට ඇත්තේ පැහැදීමකි!
ඉතින්, මේ එකිනෙකට සහමුලින්ම වෙනස් ‘තුන්
ඈඳුතු’ කතාවේ පූර්වාපර සන්ධි ගලපන්නට තවම කල් වැඩිය. ඊට කලින් ගමන ගැන කියන්නට
දේවල් තියෙනවානේ.
පාන්දරම එක් යුවතියකට බහීස්රාවී අවශ්‍යතාවක්
මතුවිණි. හෝටලයක් ළඟ බසය නැවත්විණි. ‘එක බල්ලෙක් මුත්තරා කරනවා දැක්කම අනෙක්
එවුන්ටත් ඒක කරන්න ඕනේ වෙනවා. පිරිමින්ටත් එහෙමයි!’ මං අහලා තිබ්බේ ඒ කියමනයි.
මොකා ඒක කිව්වත් ඒ කතාව ගෙඩිය පිටින්ම වැරැදිය කියලා මං දැනගත්තේ එදා බසයේ හිටි
කාන්තා පාර්ශ්වයට පින්සිදු වෙන්නටය. ඒ මානුෂීය අවශ්‍යතාව නිසා විනාඩි 45 කට
වැඩියෙන් වැයවෙද්දී වවුල්පනේ ගමනට වෙලාව නොලැබෙන බව මට පසක් වෙමින් තිබිණි!
කල්තොට දූවිලි ඇල්ල බලන්නට යන ගමනටත් අංචිය ඇදුණේ...... |
වවුල්පනේ විතරක් නොවේ වැළකුණේ. දූවිලි ඇල්ල
බැලීමත්! අපේ බසයේ රියදුරු මහතා කිව්වේ දූවිලි ඇල්ලට යන පාරට ඒ බසය හැරවිය නොහැකි
බවය.
“පාරේ වම් පැත්ත උසයි. හරවන්න ගියොත් යට වදිනවා. අපි පල්ලෙහාට ගිහින් හරවාගෙන
ඇවිත් මේ පාරට දමමු!” තවත් කිලෝ මීටර් හයක්ම යනතුරුත් බස් රිය හරවාගත හැකි යැයි
ඔහුට හිතුණු තැනක් හමු වුණේ නැත.
“දැන් අපි කල්තොටටම ඇවිත් ඉවරයි. ආයෙමත් කිලෝ
මීටර් හය-හතක් ඉහළට යන එක තේරුමක් නැති වැඩක්. දියවින්නට ගිහින් ආපහු එද්දි දූවිලි
ඇල්ල බලමු!”
ඒ අතරේ අර සීදේවි අම්මලා මට ලෝකයේ ලොකුම
බර්ගර් එකත්, රෝල්ස් එකකුත් තව මොන-මොනවාදත් පිරිනැමූහ.
“වැඩි නැහැ නිමල් අයියේ,
ඔන්නොහෙ යමින් ගමන් කන්න. එතකොට වෙලාව ඉතිරියිනේ. අපි හැමෝමත් බස් එකේදිම කනවා. මට
උදේනි කියලම එව්වේ ඔයාට හොඳට කන්න දෙන්න කියලා!” චාන්දනී මගේ පංගුව අඩු කරන්නට ඉඩ
දුන්නෙම නැත. ඉතින්, නයිගල සෝමේ මල්ලිලාගේ ගෙදරට සේන්දු වෙන තුරුමත් මං කළේ
පාතරාසය වළඳන රාජකාරියයි.
එතනින් සෝමේ මල්ලීත් බස් එකටම නග්ගාගෙන
දියවින්නට...
මුළු නඩයම එක හඬින්- හරි සරුවට පටන් ගන්නා ගීතය............. |
ම්ම්ම්ම්ම..... මහරගම හිට දියවින්නට යන
තුරුමත් එකම රටාවකට සිදුවුණු දෙයක් නොකියා කොහොමද? යොවුන් දරු-දැරියන් පිරිවරාගෙන
ගමනක් ගිය කාටත් මේ අත්දැකීම නම් අලුත් එකක් වෙන්නට බැරිය.
“හරි කියමු.” මුළු නඩයම එක හඬින්ම full
වොලියුම් එකෙන් ගීයක් පටන් ගනී. පළමුවෙනි පද ටික හරිම සාරය. අත්පොලසන් දීමත්, සමූහ
ගායනයත් ‘කොරියාවට ගහන්න යන්නා’ වාගෙය. පළමුවෙනි අන්තරා කොටසේ පද වැඩි දෙනෙකු
නොදන්නවා වගේය. ඒක ඉවර වෙද්දී ගායනයත් නැවතිලාය. මුළු ගමනෙදීම එකම එක ගීතයක්වත්
සම්පූර්ණයෙන් කියවුණේ නැත!
නව යොවුන් පරම්පරාවේ ධාරණ ශක්තියේ
දුර්වලකමක්ද මේ? නැති නං.....
එයාලගෙ විතරක් නොවේ, මගෙත් මතකය දුර්වෙලා
වේගෙන යනවාවත්ද? film එක ගැන කියද්දී වැදගත්ම කාරණයක් මඟ හැරිලාය. දරුවන්
දෙන්නෙකුත් එක්කම මිල්ඩ්රඩ් හේයස් නෝනාව අතහැර දාලා ගිහින් යොවුන් පෙනිලොපි එක්ක
දීග කන චාලි; මිල්ඩ්රඩ්ගෙ කලින් සැමියාත් විශ්‍රාමික පොලිස් නිලධාරියෙකි!
පිපිරවීම් මාලාවක්ම කෙරෙන්නට ඉඩ තියෙන බව
ආරංචි වෙලාත් අපේ පොලිස්පතිතුමා නින්දේ හිටි බව මේ දවස්වල කියවෙයි. ඒ ආරංචි ලැබී
තියෙද්දී තම-තමන්ගේ ආරක්ෂාව වැඩි කරගන්නවා විනා, සැක කටයුතු දිනයේ දේව මෙහෙයයන්ටත්
නොගොහින් පරෙස්සම් වෙච්චි එකය අපේ ලොක්කන් හා හතර වරිගේ ඇත්තන් කළේ. එයින්
එකෙකුවත් පොදු ජනතාවගේ ආරස්සාව ගැන හිතූ බවක් කොහෙවත් කියවෙනවාද?
ප්‍රභූන් කල්පනා කරන්නට ඇත්තේ තම-තමුන් විතරක් බේරුණාම ඇතිය කියලාය. |
ඒ එයාලගෙ හෘදය සාක්ෂ්‍යයේ දිග-පළලේ තරමය.
මානව දයාවේ තරමය. පරාර්ථකාමීත්වයේ තරමය. හැබැයි, පන්සල්- පල්ලි- කෝවිල්- ඉස්කෝල
වගේ ඕනෑම තැනක වේදිකා දෙදරවමින්, අණ්ඩ කෝෂ ලොකු කරගනිමින් බෙරිහන් දෙන්නේ නම්
රටවැසියන්ට ඇති කරුණාව ගැනය! කටින් බතල!! (ඒ ටික කෙටුවේ සතියකට විතර කලින්ය.)
එබින් පොලිසියේ ෂෙරීෆ් විල්ව්බි එහෙම
මිනිහෙක් නොවේ. එයා මිල්ඩ්රඩ් නෝනාට අන්තිම උදව්ව කරන්නට සැරසෙන්නේ ..... ශාන්
විමුක්ති, අවසරයි නේද ඔයාගේ මේ උපසිරැසි ටිකත් උපුටාගෙන මෙතනට ඔබන්න?
“දයාබර මිල්ඩ්රඩ්, මේ කතා කරන්නේ මැරිච්ච
විල්ව්බි. මුලින්ම මං සමාව අයදිනවා දුවගේ මිනීමරුවෝ අල්ලන්නේ නැතිව මැරෙන එක ගැන. ඒක මට ලොකු වේදනාවක්. මට ගානක්
නැහැ කියල ඔයා හිතුව එක මට දුකයි. මම සැලකිල්ලක් දැක්වුවා. සමහර සිද්දි තියෙනව
කවදාවත් විසඳගන්න ලැබෙන්නේ නැහැ.
ඊට පස්සේ අවුරුදු දෙක-තුනක් ගියහම බොන තැනකදී
හරි, හිරේදී හරි කෙනෙක් තව කට්ටියකට පුරසාරම් දොඩනවා. වැළලුන හැම දෙයක්ම මෝඩ
කියවිල්ලෙන් ගොඩ එනවා. ඇන්ජෙලා වෙනුවෙනුත් එහෙම වේවි පතනවා ඇත්තටම. දෙවනුව, මම
පිළිගන්න ඕන මිල්ඩ්රඩ්, බිල්බෝඩ් දාපු එක නියම අදහස. හරියට චෙස් ගේම් එකක් වගේ. මගේ
මරණයට ඒ සම්බන්ධ කිසිම දෙයක් නැති වුණත් නගරේ හැමෝම හිතාවි මම මැරුනේ ඒ නිසා
කියලා. අන්න ඒ නිසයි විල්ව්බි තමන්ගේ ඉත්තව ඇද්දේ.....”
ෂෙරීෆ් විල්ව්බිගේ අවසන් ලිපිය හේයස් නෝනාට ගෙනැවිත් දෙන්නෙත් විල්ව්බි මහත්මියමයි! |
විල්ව්බිගෙ අවසන් ලිපිය මිල්ඩ්රඩ්ට ගෙනත්
දෙන්නෙත් විල්ව්බිගේ බිරිඳමයි. ඒ මරණයෙන් වෙන්නේ හේයස් නෝනා තවත් ශක්තිමත් වීම;
Officer ඩික්සන්ගෙ හෘදය සාක්ෂ්‍යය අවදිවීම!
අපේ රටේ ගොඩක් මිනිසුන් නම් ඇස් තිබුණට
බලන්නේ නැහැ; කන් තිබුණට ඇහුම්කන් දෙන්නේ නැහැ; හදවතක් තිබුණට හිතන්නෙත් නැහැ
වගෙයි නේද?
“බස් එක මෙතැන නවත්තමු. පාර වැඩිය පළල නැති
නිසා යන්න අමාරු වෙයි. විනාඩි දහයක් විතර ඇවිදින්න වෙයි කියලා මං කලින්ම කිව්වේ.”
දියවින්න පන්සලට හැරෙන තැන, මකර තොරණ ඉදිරිපිටදි අපේ driver උන්නැහේ මගේ උපදෙස්
පිළිපදිද්දීත් දියවිනි කොමළිය විදු පියසේ කට්ටියට කොමළ පාමින් උන්නාය.
බස් එකෙන්
බහින- බහින අය හිටි කියලා සෙල්ෆි ගනිති, වෙලාව ගතවෙන හැටි ගැන; කට්ට අව්ව ගැන
කිසිම තැකීමක් නැත. වවුල්පනේ වවුලන්ට මේ බාලක-බාලිකා කිසිවෙකු අද නම් දකින්නට
නොලැබෙන බව දැන් පැහැදිලිය!
විජිත හාමුදුරුවෝ මඟ බලාගෙන උන්හ. දායකයෝ අපට
දිවාහාර පිසිමින් උන්හ. “චානක සර්, සෝමේ මල්ලී ඔයාලත් එක්ක කන්ද නැඟලා ඇල්ලට පාර
පෙන්නයි. එතැන කාටවත් නාන්න දෙන්න එපා. ගල් ලිස්සන නිසා.” මං ඒ උපදේශයම සිසුන්ගේ
අම්මලා ටිකටත් දුන්නේ වැඩි හොඳටය.
අප බසයෙන් බහිද්දීත් දියවිනි කොමළිය කොමළ පාමින්............ |
මා කන්ද නඟින්නට නොගියේ කොල්ලන් කෙල්ලන් එක්ක
හරි-හරියට වේගය පවත්වා ගන්නට බැරිවෙයි කියලා හිතාගෙනය. කට්ටිය ආපහු ආවේ කඩින්-කඩය.
පළමුවෙනි කිහිප දෙනා ඇවිත් විනාඩි හතළිස්පහක් පහුවෙන තුරුවත් අන්තිමයන් පහළට
ගෑටුවේ නැත! එහෙම එද්දී විජිත හාමුදුරුවන් වහන්සේ ඒ හැමෝටම කුරුම්බා සංග්‍රහයක්
ලැහැස්ති කරලාය.
“සර්ලා කුරුම්බා බීලා, ටිකක් හති ඇරගෙන කෑම
කමු!” විජිත හාමුදුරුවන් වහන්සේ චානක සර් හා අම්මලා එක්ක පිළිසඳරකය.
“මාව ලිස්සලා වැටුණත් එක්ක.” “අම්මෝ, හොඳ පණ
ගියා.” “ඒ වුණාට දිය ඇල්ල ෂෝක්!” එක-එක්කෙනා comments දෙති. “නිමල් අයියේ, මෙහෙට
එන්නම වටිනවා.... අපි ටෙලිෆෝන් නොම්මරෙත් ඉල්ලගත්තා. ආයෙම මෙහෙ එන්නයි හිතුවේ.” ඒ
එක අම්මෙකි.
“සුදු අයියේ, යන ගමන් අපේ ගෙදරත් ටිකක් ඉන්නම වෙනවා. කමක් නැහැනේ. මේ
සර්ලා කට්ටියටම රටකජු ටිකක්, දෙහි ටිකක් හෙම හරිගස්සලා දෙන්න කතා කරගත්තා.” ඒ සෝමේ
මල්ලීය. “ඇයි මඤ්ඤොක්කා....?”
“ඔයාලට කැමති විදියක්. මං ආවේ ටිකක් පාර
පෙන්නන්න විතරයිනේ.” මං එහෙමය. හැම තැනදිම මුදුනා වෙන්නට ගියොත් ‘කිච’ වෙන්නට
වෙයි. ඕනෑම නායකයෙක් අවශ්‍ය තැනකදී අනුගාමිකයෙක් වෙන්නටත් උගත යුතුය. මං ඒ පාඩම
හොඳටම ඉගෙනගත්තේ
හැම තැනදීම මුදුනා වෙන්නට යාම මොට්ටකමකි; තකතීරුකමකි........... |
චානක සර් වුණත් ෂෝක්ය. කලබල කරන්නේ නැතිය;
ඉක්මන් කරන්නේ නැතිය. “මිස්ටර් නිමල්, අපි පන්සලට ආධාරයක් කරනවා කලින් ඔයාට කිව්වා
වගේ. දැක්කනෙ.... පුදුම මහන්සියක්නේ වෙලා තියන්නේ.... ලොකු වියදමකුත් යන්න ඇති. ඒ
විතරද.... යෝගට්, අයිස්ක්‍රීම් එහෙමත් ගෙන්නලා..... ඔයාම මේක දෙනවද?” ලොකු ලියුම්
කවරයක් දිගු කරමින් සර් කීවේය. අම්මලා අලගු තිබ්බෝය.
“ඊට වැඩිය හොඳයි සර්ගේ අතින්ම ඕක දෙන එක, මේ
චාන්දනීල කට්ටියත් එක්කම ගිහින්!”
දැන් දිගකතාවක් සාරාංශ කරන්නට වෙයි.
විජිත හිමියන්ට සමුදී, සෝමේ මල්ලිලාගේ ගෙදරත් බැහැලා, ආයෙම කල්තොටට එද්දී හතර
විතරත් වෙලාය.
එතැනදී වැඩියෙන්ම වෙලාව ගතවුණේ නාන්නට නොවේ. නානවාද නැද්ද, ඔයාත්
නානවාද වගේ කාරණා තීන්දු කරගන්නටය. නාන කාමරවලම නාගෙන පුරුදු නිසාදෝ, විලිබිය
ආරස්සාවෙන පරිදි ඇඳුම් මාරු කරගන්නටය.
පහමාරට විතර දූවිලි ඇල්ල බලන්නට හැරෙන පාර
ළඟට ආවත් එහාට යැවුණේ නැත. “යන්න පුළුවන්. ඒත් කොළඹ පැත්තට හරවන්න ගියාම බස් එකේ
යට වදින නිසා ආයෙම කල්තොටටම ගිහින් තමයි හරවාගෙන එන්න වෙන්නේ.” ප්‍රශ්නය මතු වුණා
විතරය. තීන්දුව ගැනිණි. “රෑත් වෙයිනෙ... ඔන්නොහෙ කෙළින්ම යමු!”
ආපහු එද්දීය අම්මලාගේ හුරතල් පිළිසඳරවල් පටන් ගත්තේ............ |
එහෙම එද්දීය හොඳම හුරතල් පටන් ගත්තේ. “මේ
කොහෙද නිමල් අයියේ?” මට පිටුපසින් වාඩිවී හිටි අම්මා අහයි. ‘මේ කල්තොට’ මගෙන්
ඉසව්ව කියවෙයි. ජංගමයන් වැඩ පටන් ගනී. දහ දෙනෙකුට විතර කතා කෙරෙයි. “අනේ ...... දැන්
අපි කල්තොට. හරීඊඊඊඊඊ ෂෝක් මෙයා......” හරිම හුරතල්, පැණි වෑහෙන කතා-ලතාවෙන්
කියවෙයි. කෝල්ස් දහයට පස්සේ ආයෙමත් ප්‍රශ්නයකි. මේ කොහෙද අයියේ? මේ නවනැලිය. ආයෙත්
දහයක්....
අන්තිම හරියේ අයට කියන්නේ පට්ට බොරුය.
නවනැලියේ ඉන්නවා කියද්දී, අප බලංගොඩටත් ඇවිදින්ය! දැන් ඉතින් බලංගොඩ බවත් කියන්න
ඕනෑය. ඇත්තටම එයාලගෙ මාසික ටෙලිෆෝන් බිල කීයක් විතර වෙනවා ඇතිද?
එහෙව් මුඛරි අම්මලාවත්, සිසු-සිසුවියන්ගෙන්
එක්කෙනෙක්වත් එදා රෑ කොත්තු රොටි හෝටලයට පුංචි බර-බරයක්වත් දැම්මේ නැත!
“හැමෝම වගේ
නොකා විසි කළා නිමල් අයියේ. මුඩු තෙල් දාලද කොහෙද. අපරාදේ සල්ලි, ඔයා විතරයි
බේරුණේ කන්න ආවේ නැති නිසා!” මට විස්තර කිව්වේ හෝටලයෙන් ඉක්මනටම ආ අම්මලාය.
සල්ලිත් ගෙවලා, ගන්නා දෙයක් හොඳ තත්ත්වයේ නැති වුණත් ඒ බව කියන්නට අපි
පැකිළෙන්නෙමු.
විදු පියසේ කට්ටිය දියවින්නට ගියේ පෙබරවාරි 24 වෙනිදාය........... |
ගමන ගියේ 24 වෙනිදාය. මං Three Billboards Outside Ebbing Missouri ෆිල්ම් එක බැලුවේ 25 වෙනිදාය. එහි උන් හේයස් නෝනා තනියම
මාර සංග්‍රාමයක් කරද්දී මගෙන් ප්‍රශ්නයක් නොඅසා අසනවා මට ඇසිණි.
“අර හුරතල් අම්මලත් කට වහගෙන ආවය කියල, මහා
ලොකුවට හිතපු තමුසෙත්- විනාකිරි බෝතලේ සුදුපාට වෙලත් සද්ද නැතිව ඉන්නේ?”. ඒකත් ඇත්තය. දහිරිය වඩවාගෙන මං නිකාඩෝ
සමාගමට කතා කළේ 26 වෙනිදාය. ඒ ගැන ඔයාලට කියන්නට තීරණය කළෙත් එදා හවසමය.