අකුරු මැකී නෑ

Wednesday, July 3, 2019

දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස

දිසානායක හේවගේ චාර්ල්ස්, CGR හෙවත් ‘ලදුදෙ’ හෙවත් ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ ගොඩක් අය අතරේ ප්‍රසිද්ධ වෙලා හිටියේ ‘අමු කැළේ’ නමිනි. 

එයාගේ එකම පුත්‍ර රත්නය; දිසානායක හේවගේ ගුණපාල අමු කැළයක් නොවුණත් ‘සිරා අයිඩියානන්ද’ කෙනෙක් වුණේය. අපේ තාත්තාම කියපු ආප්තයක් ණයට ඉල්ලාගෙන කියනවා නම් මනුස්සයා ‘නැට්ටට කිරි උනන්නත් කලින් කොටු පනින කුකුළෙකුත් වුණු පෝරිසාදයෙකි!’

 ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ අය අපේ සීයාව දැනගෙන හිටියේ 'අමු කැළේ ' කියන නමෙනි.
ඔහොමත් තියෙද්දී, එයාගේ ලොකුම පුතණ්ඩි හෙවත් දිසානායක හේවගේ නිමල් මැට්ටාගෙන් ඒ පරම්පරාව ඉවරෙටම ඉවර වෙලා යයි!

පරම්පරාව කියන එක හරියටම හරි නැත. අර වාසගම.... පරම්පරා නාමය! “හේවගේ කෑල්ල කැතයි. අපි පුතාට ඒක නොදා ‘නිමල් රංජිත් දිසානායක’ කියල දාමු නේද ලීලා?” අවුරුදු විසිහතේදී අපේ තාත්තා, අවුරුදු දාහතේදීම ගැබ්බරව හිටි රහුබැද්දේ විදානෙලාගේ ලීලාවතී හෙවත් යසවතීගෙන් ඇහුවේය. 

අපේ අම්මාත් “ඔව් අනේ.” කිව්වාය. මට ඔව්වා ඇහුණේ කළලයක් විදිහට ඉන්දැද්දීය. කාට හරි විශ්වාස නැතිනං දිවුරුම් පෙත්සමක් වුණත් ඉදිරිපත් කරන්නට ඇහැකිය.

එහෙම කතාවෙලා තිබුණත්, කුළුඳුල් දරුවා බිහි කරන්නට අපේ අම්මාව බදුල්ලේ ඉස්පිරිතාලයට ගෙනියද්දී තාත්තා හිටියේ සරු බූරු පොළකය. පොලිසිය බූරු පිටියට පැන්න නිසා, ගුණපාල ඇතුළු නඩයම ‘ලකප්’ වුණේය.

කළු-සුදු ෆොටෝව- වමේ සිට පසුපෙළ - සුනිල්, පුෂ්පා, අනිල්, (වාඩිවී) අජිත්, සමන්ති, මානෙල්
වර්ණ ෆොටෝව- මානෙල්, දීපාල්, සුනිල්, අනිල්, සමන්ති හා මං........... 
ඉතින් අපේ අම්මා, අලුත උපන් බිලිඳාට ‘නිමල් රංජිත් දිසානායක’ කියලා නම රෙජිස්ටර් කරන්නට දුන්නාලු. වාට්ටුවටම තේජෝබල පරාක්‍රමය පැතිරවූ බූරු මිසී කෙනෙක් ‘එහෙම කොහොමද. තාත්තගේ වාසගම පුතාට දාන්න එපැයි.’ කියා තනි මතේට; ඒකපාර්ශ්විකවම තීරණය කර ‘රංජිත්’ කෑල්ල හළලා ‘හේවගේ’ කෑල්ල එකතු කර තිබේ!

ගුණපාලගේ අනෙක් දූ-පුතුන් නවදෙනාටම එයාගෙන් ලැබුණේ ‘දිසානායක’ කෑල්ල විතරය. 

කණ ළං කරන්නකෝ මං අනුමාන කරන ‘ලොකූ රහසක්’ කියන්න. මං විශ්වාස කරන විදිහට නම් ඒ කෑල්ලවත් නොලැබුණු ළමයිනුත් දෙතුන් දෙනෙකු ඉන්නවා වෙන්නට තියෙන ඉඩ වැඩිය. ඔව්වා කියන්නත් මොකක්ද වගෙය. ඒ රහස් එක්කම අපේ තාත්තා අඩි හයක් යටට ගිහිනුත් දැන් අවුරුදු 53ක් නිසාය. ඒත් මොකට ඇත්ත වළලන්නද?

“ලොකු මාමා, ඩැඩී මට ඔයාගෙන් අහගන්න කිව්වා අපේ මහරගම සීයාව bury කළේ කොතැනද කියලා.” නිමල් බෙන් ටොමැල්ඩන් දිසානායක 2019 මැයි 18 වෙනිදා හවස තුනහමාරට විතර මගෙන් ඇහුවේය.

ඒ අනිල් ධර්මකීර්ති දිසානායක (අපේ මල්ලි) ගේ භූමදානයට පස්සෙය. මම ඉසව්ව පෙන්නුවෙමි. තාත්තාගේ දේහය මිහිදන් කළ තැන මතක ඇතත් අනෙක් තැන් ගැන මට මතක නැත. අප කිසිම සලකුණක් තියලාත් නැත.


නිදිගෙ අදහසක් ගලේ කෙටූ වගයි!
එහෙම වුණත් තවත් කාලයක් යනතුරුමත් මහරගම කනත්තේ සිහිවටනයක හැංගී නිමල් දිසානායකත් හිඳිනු නිසැකය.

ඩී. පී. පද්මපෙරුම; (මට නම්) පද්මපෙරුම අංකල් 2001.06.22 වෙනිදා සිට මහරගම කනත්තේ නිඳන බව කියන ශෛලමය  සිහිවටන ඵලකයට ‘සටහන’ ලියා දුන්නේ මං වහන්සේය!

          “පීතු පාදං නමාමි-
          කවියෙකි, කථිකයෙකි, පොදු වැඩ කැමැත්තෙකි
          පිය සැමියෙකි විටෙක කරුණාබර          පියෙකි
          නිබඳව සමාජයෙ ගැවසුණු               රසවතෙකි
          මහරගම ‘ගමක්’ කළ ජන               නියමුවෙකි -    
                මෙහි සැතපෙන ඔහු - ඩී. පී. පද්මපෙරුම මහතා”

සිහිකල්පනාවෙන් මේ බ්ලොගය කියවන, නෑදෑකම් ගැන සලකන කෙනෙකුට නම් මේ වනවිට පටලැවිල්ලක් ඇතිවී තිබෙන්නට ඕනෑය. පොඩි නිමල් මට කීවේ ‘ලොකු මාමා’ කියලාය. ඒ මගේ බඩා මල්ලා; දීපාල්ගේ පුතා හින්දා නෑකම වෙන්නේ ‘මහප්පා’ය. 

ගණන් ගන්න එපා! එයාලා එහෙම කියන්නේ අහගෙන ඉඳලා කියන්නට පුරුදු වුණු හින්දාය.

මැද- දීපාල් හා දීපානි, වමේ- දීපාල්ගේ පවුල, දකුණේ- දීපානිලගේ පවුල  
මාර්කෝත්, නිමල් බෙනුත් පොඩි කාලේ ලංකාවට ආවාම වැඩිපුරම හිටියේ මානෙල් නංගිලාගේ ගෙදරය. එයාගේ පුතයි, දුවයි දෙන්නාම මට කීවේ ලොකු මාමා කියලාය. එංගලන්තයේ ඉන්නා සමන්ති නංගිගේ පුතාලා දෙන්නාටත් සිංහල බැරි වුණාට ‘ලොකු මාමා’ කියන්නට පුළුවන්ය. චූටි නංගි දීපානිගේ පස් දෙනාටත් ‘ලොකු මාමා’නම හුරුපුරුදුය. ඒවා ඇහෙද්දී මහප්පේ කියන්නේ කවුද? සුනිල්ගේත්, අනිල්ගේත් දරු පස් දෙනා නම් එහෙම කියති.

දූලා-පුතාලා-බෑනලා-ලේලිලා විතරක් නොවේ මුනුබුරු-මිනිබිරියොත් ‘එකුන් විස්සක්’ හෙවත් 21 ක් හිටියත් මං නම් තවමත් එක-එක්කෙනාට නම කියනවා මිස නෑකම කියන්නේ නැත. නොකියනවා නොව කියැවෙන්නේ නැත. (එහෙම කියන්නට ගියොත් මං සීයෙකුත් වෙයි. එහෙම නෑකම් අටවන්නේ නැතිව ඉඳලාත් මා දැන් නිකම්ම සීයෙක් නොවේ. කොකු සීයෙකි!)

ඉතින්, මං කියන්නට හදන්නේ දිසානායක පරම්පරාව හොඳයි; සුපිරියි කියලා විතරක් නොවේ. ටික වෙන්නට මඤ්ඤං කියලාත්ය. අද ලියන දේවල් කියෙව්වාම නම්, රසික හැමෝම ඒ කතාව ඉස මුඳුනෙන් පිළිගන්නවා නිසැකය!

ලාල් අයියාගේ උදව්වෙන් හා උපදෙසින්...........
ලාල් අයියාගේ උදව්වෙන් හා බුද්ධිමත් උපදෙසින් සමන්ති, දීපාල්, දීපානි තුන්දෙනාම එංගලන්තයට ගියෝය. එතකොට ඒ තුන් දෙනාටම අවුරුදු 16 වෙලා නැත. 

එයිට පස්සේ දීපාල් ලංකාවට ආවේ 1987-88 විතරය. 

ඉන්නම නොවේ, ඇවිත් යන්නය. එතකොට කොල්ලාට අවුරුදු දහඅටක් විතරත්ය. මොන කොල්ලෙක්ද, යස නාම්බෙක් මිස! මිනිහාගේ අතේ සල්ලි ටිකකුත් තිබුණේය. එතකොට නොතිබුණේ බුද්ධියයි!

දැන් පරම්පරාව නම් එහෙම නොවේ. මට එහෙම හිතුණේ මේ ළඟදී දවසක චනුල් නේනුක ෂෙයාර් කරගෙන තිබුණු කවියක් දැකලාය. (චනුල්ව මතකද? LTTE යුද්ධය තියෙද්දීත් චනුල් අපිත් එක්ක කුඩා කැබලිත්තට ගියේය. හැබැයි,මව් කුසේ ඉඳිමිනි.) කවිය ගැටවර වයසේ ඉන්නා කාටත් ගැලපෙන්නකි.

          රූපය තිබෙන තුරු ආලය             උතුරාවී
          සල්ලි තිබෙන තුරු යාළුවො වට        වේවී
          බලය තිබෙන තුරු සැලකිලි වැඩි       වේවී 
          තේරුම් ගනින් නැත්නම් තොට කෙළවේවී


තේරුම් ගනින් නැති නම් තොට කෙළවේවී
මට හිතෙන්නේ අපේ දීපාල්ට මෙහෙම උපදෙස් දෙන්නට fb මිතුරන් ඒ කාලේ නොහිටි බවයි.

ඒ වෙද්දී අපේ සුනිල්, අනිල්, මානෙල් තුන්දෙනාම කසාදත් බැඳලාය. අම්මලා තාත්තලාත් වෙලාය. 1985 එංගලන්තයේදී අපේ ඩැඩා මට කී විදිහටම මාත් තනියෙන්ම ‘ඩිපොසිට්’ වෙන්නට පටන් අරගෙනය. 

ලංකාවට ආපහු ආ ගමන්ම මං කළේ වෙනම නවතින්නට කාමරයක් හොයාගත් එකය. 

පමුණුව පාරට හැරිලා ටිකක් එද්දී රේල් පාර හමු වෙයි. ඒක පැනලා විනාඩියක් ඇවිදින විට දැන් හමුවෙන 'ශෂිනි එන්ටර්ප්‍රයිසස්' සාප්පුවේ ගොඩනැඟිල්ල ඉස්සර තිබුණේ ගෙයක් විදිහටය.

‘සංජීව එන්ටර්ප්‍රයිසස්’ වෙළෙඳ සල තිබ්බේ ඒකෙය. එතකොට සංජීව පොඩි කොල්ලෙකි. සංජීවගේ තාත්තා ගාමිණී ඒ ව්‍යාපාරය පවත්වාගෙන යමින් උන්නේය; ගේ කුලියට අරගෙනය. කඩේ  පිටිපස්සේ කාමර දෙකක් වසා දමා තිබිණි. 

ඒවා කුලියට ගත් මං, 1992 අලුතින් ගෙට ගෙවදින තුරුම; අවුරුදු හතක්ම හිටියේ ඒකෙය.

හත් වසරක් මා සිටි කාමර දෙක තිබුණු ඉසව්ව කළු කොටුවෙන් පෙනෙයි.
ටිකක් ඉහළදී කියෙව්වා නේද පද්මපෙරුම අංකල් ගැන? එයාලා හිටියේ ඒ ගෙදරටම යාබද අනෙක් නිවසේය. එතකොට ඒක පරණ පන්නයේ දෙබිඩි- තට්ටු ගෙවල් දෙකකි!

ඉතින්, වෙනම පදිංචි වෙලා හිටියත් දවස් දෙක-තුනකට වතාවක්වත් මහ ගෙවල් පැත්තේ යන පුරුද්දක් මට තිබිණි. මානෙල්ලා හිටියෙත් ඒකෙම නිසා අපේ ඩී නැවතුණේත් එහේමය.

මහ ගෙදර! මුලින්ම තිබ්බේ වරිච්චි ගෙයකි. අවුරුදු කීපෙකින්ම, බිත්ති එල්ලා හැලෙන්නට පටන් ගත් ඒ ගෙදර අපට හදාගන්නට සිද්ධ වුණේ ඒ පර්චස් 17 රුපියල් හයදාහකට, අපේ ආච්චී පතිරගොඩ එළිසාච්චීගෙන් අරගත්තාට පස්සෙය. එතකොට අපේ තාත්තා ලෙඩ වෙන්නට පටන් අරන්ය.


වරිච්චි බිත්තියෙන් ගෙයක් හදා ගන්නා එකත්..........
එනිසා අප හිටියේ බින්දුවටම වැටිලාය. ගෙයක් හදාගන්නට වත්කමක් අපට තිබුණේ නැත. අරපිරිමසාගෙන; නොතෙමී ඉන්නට පියස්සක් අටවා ගන්නටය අම්මලා කතා වුණේ. ඒ අවදියේ, ඒ හරියේ මදිය නොකියන්නම ‘යකඩ මරං’ හෙවත් ‘වල් සපු’ ගස් තිබිණි. වැඩියත්ම ළමා නිවාස වත්තේය. 

“ඕකෙ ලොකු සර්ව හම්බවෙලා ගස් තුන හතරක් කපාගන්නද අහමු. ඕන්නං සල්ලිත් කීයක් හරි දෙන්නං කියමු.” යෝජනාව වැඩ කළේය; සල්ලි ගත්තෙත් නැත. වල්සපු ගස් ටික නොමිලේම ලැබුණේය!

වල් සපු මල් පුංචිම පුංචිය. ගඳපාන මලක් විතර ඇතිය. සුදු පාටය. පොකුරක සිය ගානක් හැදෙයි. පිපුණාම සුවඳේ බැරිය. මට තවමත් මතකය.

අප ආසම කළ වැඩක්..... හිමිදිරියේම බිමට වැටී තියෙන සපු මල් එකතු කිරීම. ඊළඟ පියවර තුත්තිරි ගස් ටිකක් (ගහ පිටින්ම නොවේ- මල් පිපී තිබෙන කොටස පමණකි.) ඇද ගැනීමය. තුත්තිරි ගස නූලක් කරගෙන, අර සපු මල් ඒකෙ අමුණන රාජකාරිය.... එහෙම අමුණන මල් වැල් පූජා කරන්නටවත් ගත්තේ නැත, විසි කර දැම්මා මිස. ඒත් අප කවදාවත් ඒ සෙල්ලමෙන් විඩාවට පත් වුණෙත් නැත. සුවඳ හමන සෙල්ලමක්නෙ....... කොහෙ එපා වෙන්නද?


උසට උසේ ඊ ගහ වගේ කෙලින් හැදෙන වල් හපු..........
ජාලයෙන් වල් සපු පින්තූර හොයද්දී දැක්කේ, ඒවාට හවරි ඉග - ගිනිකූරු ගස් කියන නම් දෙකත් භාවිත වන බවයි. Alstonia macrophylla කියන්නේ හවරි නුග වලටද, හවරි ඉග වලටද කියලා නම් විචිකිච්ඡාවක් මට තිබෙයි!

පට-පට ගාලා වැඩෙමින්, උසට-උසේ ඊගහ වගේ අහස සිඹින්නට හදන වල්හපු ගහේ කඳ යකඩ වගේ හයියය. මුදුන් කණු, මුදුන් බාල්ක, පරාල හා රීප්ප වෙනුවට වහලෙට ගත් ලොකු-පොඩි කණු සේරම ළමා නිවාස වත්තේ සපු ගස්ය. වහළයට දැම්මේ සීයා බෝතල්-පත්තර කඩේකින් හොයාගෙන ආ පරණ ටකරං වගයකි. ඒත් මොකෝ. ගෙදර අපේනේ.

අසූ ගණන් වෙද්දී තිබුණේ දෙවෙනියට හදාගත් ගෙයයි. 75 විතර හැදූ ඒකෙ මහන්සියයි, වියදමයි දෙක තනිකරම වගේ අපේ අම්මාගෙය. එය හැදුවේ මෝඩ ගඩොල්වලිනි.

     ‘බෝල බෝල මැටි එක-එක ගෙනෙනව - ගුවන් යානයක් වාගේ පෙනෙනව
      උළුවස්සේ පොඩි ගෙයක් හදනවා - කා කැන්දන් එන්නද කුඹලෝ’ 

සිංදුවෙන් බයිලා චක්‍රවර්ති එම්.එස්. ප්‍රනාන්දු මහත්තයාත් කිව්වේ. අපේ අම්මාත් කෑමට-බීමට පවා හරියට වියදම් නොකර එකතු සල්ලි කරයි; පොදි ගහයි. (ඒ ඉතිරි කරන පුරුද්ද මටත් ඇවිත් තියෙන්නේ නම් අපේ අම්මාගෙනි.) අම්මා එහෙම පොදි ගහන සේසත ලෝබ නැතිව යට කරතොත් ඒ ඉඩමක් ගන්නට හෝ ගෙයක් ගන්නටය.


කාමර කීයද, ගබඩා කීයද, සැලසුම හැදුවෙත්...........
මං කලිනුත් කියා තිබේ; අපේ අම්මා හොඳ ගෘහිණියක නොවේ. එහෙම කියන්නේ ඉවුම්-පිහුම්වලට පස්ස ගහන හින්දාය. ඒත් කම්මැලි නැත. ඒ දවස්වල අපේ අම්මාගේ හොඳම වැඩක් වුණේ මෝඩ ගඩොල් කැපීමය. ගඩොල් මෝඩ වුණත් වැඩේ මෝඩ එකක් නෙවෙයිනේ!

උකුණන් ලව්වා ගල් අද්දවනවා වාගේ ඇඹිටිල්ලන් හැච්චෝ-බැච්චෝ දරු කැලතම කැන්දාගෙන අම්මා වැඩ පටන් ගනියි. 

“සුනිල්, එනවා.... කම්මැලි නැතිව මට පස් ටිකක් කපල දෙනවා.... නෝනා, යනවා. ගිහින් අනිලුත් එක්ක වතුර ගේනවා....” අම්මා කියයි. ඒ අතරේම කැපෙන පස්වලට වතුර දමමින් කවලම් කොට දෙපයින් මැටි පාගයි.

ඔහොම පාගන මැටි ගොඩක් ලෙස මුදුන් කරන්නට ඕනෑය. ඒවා වේළෙන්නේ නැතිවෙන විදිහට පොල් අතු ටිකකින් වහන්නට ඕනෑය. ඒ තැම්බී පදම් වෙන්නටලු. අද අනන මැටිවලින් මෝඩ ගඩොල් කැපුවේ පහුවදාය. ‘365 දවසෙම වැඩ කරන’ මෝඩ ගඩොල් අච්චුවක් ඒ දවස්වල අපේ ගෙදර තිබුණේය.

ඔහොම තියෙද්දීය දවසක් හරි වැඩක් වුණේ!

අපේ අම්මාට එච්චර හොඳට සිංදු කියන්නට බැරිය; තාලය තියෙද්දී ශ්‍රැතියක් නැත; ශ්‍රැතිය තියෙනකොට තාලය නැත. ඒ දෙකම තියෙන්නේ තව කවුරුන් හරි එක්ක කියද්දීය.

අම්මා දන්නෙත් සිංදු දෙක තුනක් විතරය. ෆේවරිට්ම ‘ලලිත කලා ඔප කරනා, ඉසුරුමුනියෙහී පැතලි ගලක’ දෙකය. ඒ දවස්වල නම් ‘සිහින ලොවේ මිහිර මැවූ මාලී’ ගීතයත් අපේ අම්මාට අල්ලලා තිබිණි; තිස්සෙම කිව්වේ ඒකය.


සිහින ලොවේ මිහිර මැවූ මාලි- (ඊ.එන්.එම්.කේ. සොයිසාගේ සිත්තමකිනි) 
ගඩොල් අච්චුව වතුරෙන් සෝදා, බිම තියලා, මැටි ගුළියක් අතට ගන්නා ගමනුත් අම්මා හිටියේ ‘සිහින ලොවේ’ කියමිනි. 

දෑතින්ම අල්ලා මැටි ගුළිය වැරෙන් අච්චුවට ගසා දමද්දී ඉලක්කය වැරැදිණි. මැටි ගුළිය වැටුණේ අච්චුවේ පැති ලෑල්ලකටය. ‘ජරාස්’! අච්චුව හුචස්-පචස්ය!! ඒ ඉලව්ව කැඩෙන සද්දෙටත් වැඩියෙන් ඇහුණේ පැත්තකින් බලාගෙන හිටි තාත්තගේ හිනා සද්දෙය!

එහෙම, අම්මාට හිනා වුණත් අපේ තාත්තා නම් පස් ටිකක් කපන්නටවත්, මැටි ටිකක් පාගන්නටවත්, ගඩොල් කපන්නටවත් එක්කාසු වුණු බවක් නම් මගේ මතකයේ නැත. ඒ ත්‍රොම්බෝසිස් ලෙඩේ පිට දමලාය. (නැති නං එයාත් මං වාගේ ශරීර හොරෙක් නිසාවත්ද?)

එහෙම වුණත්, එදා ඉඳන් අපේ අම්මා ගඩොල් අච්චුව අතට ගන්නා වෙලාවට තාත්තා කෝචෝක් පාරක් දාන්නට නම් අමතක කළේ නැත. “ලීලා... ගඩොල් කපන ගමන් සිහින ලොවේ නං කියන්න එපා. අච්චුව ජරස් තමයි.... තමුසේ කඩන ගානේ අච්චු හදල දෙන්න නං බෑ ඕං!”

බඩා මල්ලා ලංකාවට එනකොටත් අපේ ගෙදර පිටිපස්සේ මෝඩ ගඩොල් ගොඩක් එකතු වෙලා තිබිණි. ඒ අජිත් මල්ලිගේ වැඩය. මිනිහාත් හුඟාක්ම අපේ අම්මාගේ පලෝළේය. අපේ ගෙදර අයගෙන් ‘සතුන් ඇති කිරීම’ හොඳටම යාදුන්නේ   මිනිහාටය.

(මානෙල් නංගිගේ කසාද බැඳිල්ලෙදී මා බෙල්ල කැපුවේ  ඔහු හැදූ කුකුළන්ගේ හා කළුකුම්ලාගේය.)


මානෙල් නංගිගේ මංගල්ලයේදී ගෙදර හැදූ කළුකුම්ලාත්.......
“ලොකූ, අපි කුකුල් ෆාම් එක එක්ස්පෑන්ඩ් කරන්නයි යන්නේ. ඔයා එනකල් බලා හිටියේ ඔයාට කියන්න.”
“කවුද අපි?”

“අනිල් අයියයි, මායි.”
“එතකොට තමුසේ ආයෙ එංගලන්තෙට යන්නෙ නැද්ද මාසේ ඉවර වෙද්දී?”

“අන්නා කියනවා එයා බලාගෙන වැඩ ටික කරන්නං කියලා. මට profit එකක් බලාගෙන නෙවෙයි ලොකූ. අනිල් අයියට ඉන්කම් එකක් එන්නයි ඕනෙ.”

“කරන දෙයක් හරියට ප්ලෑන් කරලා, හිතල-බලලා කරනවා.” මං කීවේ එච්චරය. එහෙම කිව්වේ අනිල්ගේ සෙල්ලක්කාර; වගකීම් රහිත වැඩ නිසා ඒ වනවිටත් මං මට්ටුවී හිටි නිසාය; එතකොටත් අනිලා බීමට ඇබ්බැහිවී හිටි නිසාය.

නිතර මහ ගෙදරට නොගියත්, දීපාල් හිටි නිසාම මං පහුවදාත් එහාට ගියා මතකය. අනිලුත්, දීපාලුත් දෙන්නාම දහඩිය- මුගුරු පෙරාගෙන ගෙදර පිටුපස්සේ පොළොවත් එක්ක හැපෙමින් හිටියෝය.


බවුන්සඩේමක් කපනවා ලොකු!
“මේ මොකද හලෝ?”

“Foundation එක කපනවා ලොකූ!” දීපාල් කිව්වේ රටක්-රාජ්‍යයක් දිනාගෙන ඉන්නා විදිහටය. එතකොටත් මගේ කට කොකියමින් තිබිණි. 

අපේ තාත්තා කියා තිබුණු කතාවකුත් ඒ එක්කම සිහියට ඇවිත්ය. “රංජි.... උඹ මොනව හරි කියද්දී පරෙස්සමෙන්.... මොකද මන්දා, උඹ කියන එව්වා ගොඩක් වරදින්නේ නැහැ....”

‘සපත සාපත සා දිසාපති බමුණු බ්‍රාහ්මණ අබේකෝන් විජේසුන්දර විජේකෝන් මුදියන්සේලාගේ බිසෝ මැණිකේ විජේකෝන්’ මාතාවට වගේ දීර්ඝායුෂ විඳීමේ වාසනාව අපේ තාත්තාටත් තිබුණා නම්...... දැනුත් මට අවවාද වැසි වස්සවනවා ෂුවර්ය! 

අපරාදේ, මිය යන්නට ඔන්න-මෙන්න කියා තියෙද්දී වුණත් අපේ තාත්තා සිය දිවි හානි කරගත්තේය! ඒවා පස්සේ කියමුකො, නේද?   


සපත සාපත සා දිසාපති බමුණු බ්‍රාහ්මණ අබේකෝන් විජේසුන්දර විජේකෝන් මුදියන්සේලාගේ බිසෝ මැණිකේ විජේකෝන්.. 
කුරුණෑගල, අබලව පදිංචි බුලුවල නෝනා මහත්තයාගෙ නමය, කලින් ඡේදයේ මුලින්ම ලිව්වේ. දිගම නම තිබෙන, වයස්ගතම කාන්තාව විදියට ගිනස් වාර්තා පොතටත් යන්නට ‘බිසෝ මැණිකේ විජේකෝන්’ අම්මාට වාසනාව ලැබේවා! 

(1909 සැප්තැම්බර් 10 වෙනිදා උපන් මේ අම්මා ගැන මා දැනගත්තේ 2019 මැයි 19 වෙනිදා ඉරිදා ලක්බිම සංග්‍රහයෙනි.) උන්දෑට දැන් වයස අවුරුදු 110කි.

හදවත පතුළෙන්ම සුබාසිරි ප්‍රාර්ථනා නැඟී එද්දී විජේකෝන් අම්මාට සුබ පැතුවත්......  එදා අපේ සූර පප්පලා ටික කුකුළු කූඩුව හදන්නට, අත්තිවාරම කපනවා දැකලා නම් සුබ පතන්නටවත්; ආසිරි පතන්නටවත් විදිහක් තිබ්බේ නැත. 

එක විඩේම මට පෙනුණේ මොකක්දෝ වරද්දාගෙන තියෙන විදිහයි!

එවෙලේ මගේ මොළය හරහා පණිවිඩ අනන්ත-අපරිමාණ සංඛ්‍යාවක් ගමන් කරන්නට ඇත. ගණන් හැදීම්, අනුමාන කිරීම්, උපකල්පනය කිරීම්.... ගොඩාරියකට පස්සේ මම මුවගුලු හැරියෙමි. ඒ හිතකින් නොවේ!

මගේ මොළයේ අගුලු විවරවී.............
ඊළඟ කොටසට යන්නෙත් එහෙමමය, හිතකින් නොවේ!!

13 comments:

  1. +++++++++

    මේ කතාව ඉවර කරලා අනිත් ඒවාත් ඉවර කරන්න නිදි.

    ReplyDelete
    Replies
    1. මියුරු, මේ කතාව එච්චරට ඇදෙන එකක් නෙවෙයි!
      ස්තුතියි, අදහස් දැක්වුවාට.

      Delete
  2. ඒක නම් නියම කතාවක්. අපිත් foundation එක කපන තැන නතර වෙලයි ඉන්නේ...

    ReplyDelete
    Replies
    1. ඊළඟ කොටසත් බලන්නකෝ එහෙනම්!

      Delete
  3. "Tomeldon" කොටස ෆිලිපීනයෙන්ද??

    ReplyDelete
    Replies
    1. ඔව් Pra Jay, අපේ බඩා; Dගෙ බිරිය PIA පිලිපීනයෙන් ඇවිත් එංගලන්තයේ ඉන්න පවුලකින්. ටොමැල්ඩන් කෑල්ල එයාලාගෙන් තමයි.

      Delete
  4. //සිහිකල්පනාවෙන් මේ බ්ලොගය කියවන, නෑදෑකම් ගැන සලකන කෙනෙකුට නම් මේ වනවිට පටලැවිල්ලක් ඇතිවී තිබෙන්නට ඕනෑය. පොඩි නිමල් මට කීවේ ‘ලොකු මාමා’ කියලාය. ඒ මගේ බඩා මල්ලා; දීපාල්ගේ පුතා හින්දා නෑකම වෙන්නේ ‘මහප්පා’ය.//

    මටත් ඒක අහු උනා. නමුත් එංගලන්තයේ අංකල් ලා හා ආන්ට් ලා මිසක් බාප්පලා, මහප්පලා, ලොකු/පුංචි අම්මලා නැති නිසා ඔයාත් අංකල් කෙනෙක් නේ. ඉතිං අංකල් කියන එකේ සිංහල පරිවර්තනයෙන් මාමා කියලා අමතනවා කියලයි මට හිතුනේ!

    ReplyDelete
    Replies
    1. එක නම් එහෙම තමයි සෑම්. ඔඋආගේ කමෙන්ටුව කියවද්දී තමයි මීටර් වුණේ එහෙ හිටියත්, එයාලා කවුරුන්වත් මට 'අංකල්' කියලා නොකියන බව. ලොකු මාමා මිස!

      Delete
  5. Replies
    1. එහෙම නොකර ඔයාගේ බ්ලොගය ලියන්නේ කොහොමද කසුන්?

      Delete
  6. අම්මාවගේ සල්ලි එකතු කරනවා කිව්ව නේද? සල්ලි නිකං තියාගන්ඩ එපා. මං වගේ ආයෝජන උපදේශකයෙක් හයර් කරන්ඩ. වැඩි ගානක් නෑ. මුල් මුදලෙන් 50% ලාබෙන් 50%. මොකද කියන්නෙ අදම වැඩේට බහිමුද?

    ReplyDelete
    Replies
    1. ලොකූ, වැඩේට කැමතියි. හැබැයි අර මුවන් පැලැස්සේ ආරච්චිල මහත්තයට වගේ මගේ සල්ලි ආපහු ගන්න බලන් ඉන්න වෙයිද කියලා බයයි. අනිත් අයත් දාන සල්ලිවලට මගේ සල්ලි යටවෙන නිසා.

      Delete
    2. අනිවා....ටිකක් කල් ඒ කියන්නෙ මාස තුන හතරක් විතර ඉන්ඩ වෙයි...ආ...සල්ලි නැති උනාට ලොකු ප්‍රශ්නයක් නෑනෙ...

      Delete