li Item

Wednesday, July 29, 2020

මගෙ ඡන්දෙට මිලක් දියෝ!

මේ මහත්තැන්ලා බලන්නේ අහවල් එකක්ද මන්දා....

යකෝ, උඹේ ඡන්දෙත් මේ වතාවේ විකුණන්නද යන්නේ?

මෙච්චර කාලෙකට නං මේ පුතයා එච්චර පිරිහිලා නෑ... කවදාවත් මගේ ආත්මය පාවා දීලත් නෑ; කොන්ද පණ නැති කරගෙනත් නෑ.... එහෙම....

ඒ වුණාට නිමල් ගොයියෝ, තමුසෙගෙ ඡන්දේ විකුණන්න හදන්නෙ නැත්තං මොන බම්බුවකටද, ඒකට මිලක් දියෝ කියලා කියන්නේ?

මගේ හිතයි, අතිපණ්ඩිත මොළයයි බර කයියකය. ‘මොළය’ අහපු ප්‍රශ්නය සාධාරණය. මිලක් දෙන්නැයි කියන්නේ විකුණන්නටය. මා කිව යුතුව තිබුණේ ‘මගෙ ඡන්දෙට වටනාකමක් දියෝ!’ කියලාය. ඒත්, එහෙම කිව්වාම ‘කිසිම කිසි - නෑ කිසි’ වගෙය; කිසි go එකක් නෑ වගේය.  පෝස්ටුවක මාතෘකාව අල්ලලා යන එකක් නොවුණොත් කියවන්නට පෙළඹෙන්නේ නැති අයත් ඉන්නවානේ....

ඉතින් ‘මිලක් දියෝ’ කිව්වම එච්චර පරහක් නැති නිසාත්, නියම පහරක් වගේ පෙනෙන නිසාත් එහෙම ලියුවෙමි.

වෙනස් කරන්නට ඕනේ කාවද ආයිබොවන්?

කොහොමත් අපේ ඡන්දයට තුට්ටු දෙකක හරි වටනාකමක් ලැබෙන්නේ මෙහෙව් කාලයට විතරය. හැමෝටම පෙනෙන- දැනෙන විදිහට අගෝස්තු 5 වෙනිදා මහා මැතිවරණය තියන්නටය බලවතුන් full ඩම් එක දමා තියෙන්නේ.... තව දවස් කීයද?

එහෙම කරන්නට දත කන්නේ ඒ ‘මහතුඟලාගෙ’ ආගම් බක්කිය, ජාතිම පජාති දේශ වාත්සල්‍යය, අදිරාජ්ජ විරෝධී චින්තනය ඔසොවා තබන්නටය. (එව්වා උස්සලා තියන්නේ කොහෙන්ද කියලා මෝඩ හැතිකරයක් වෙන අප කවදාවත් අහන්නේ නැත. එයාලා කවදාවත් ඒක කියලාවත්; කරලාවත් නැත! බටහිර ඇඳුම්වලට, තාක්ෂණයට, සුඛ විහරණවලට හා සංචාරවලට නම් උන්දැලාගේ අර අධිරාජ්‍ය විරෝධය නැතිය. එහෙව් වරදාන දෙනකොට පිළිගන්නේ පැනලා; ඉඹලා බදාගෙන.....)  ඇට නැති දිව හරවා- ලෙළවා පට්ට කෙබර කෙළිල්ල එච්චරටම අමාරු නැත.

අපිදු ඒවා ඇදහීමට සැදී-පැහැදී ඉන්නෙමු. පුදුමේ ඒකය.

ඒකත් හරියට ‘ඇට්ලස් යෝධයා ලෝකය උස්සාගෙන ඉන්නවා’ය කීම විශ්වාස කරනවාක් වැනිය. මිනිහා ලෝකය උස්සාගෙන ඉන්නවා නම්, ඒ යෝදයා හිටගෙන ඉන්නේ මොකක් උඩද කියලා, අපට නිකමටවත් හිතෙන්නේ නැති හැටි!

ක්‍රමේ වෙනස් කරන්න මොකද බැරි? ඒක කරන්න හැකිවෙන්නේ බුද්ධිමත් ඡන්දදායකයන්ට විතරය! 

හිතුවේ නැතත් අපට හිතන්නම දෙයක් තිබෙයි.

‘මෙවර මැතිවරණය සඳහා කෝටි 1000ක් පමණ වැයවෙතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිතුමා සඳහන් කරයි. මෙතරම් විශාල මුදලක් වැය වන්නේ පාර්ලිමේන්තුවේ 225 දෙනාගෙන් මන්ත්‍රීවරුන් එකසිය අනූ හය දෙනකු පත් කර ගැනීම සඳහාය. (ඉතිරි පිරිස ජාතික ලැයිස්තුවෙන් පත් කෙරේ). ඒ අනුව එක් මහජන නියෝජිතයකු පාර්ලිමේන්තුවට පත් කර ගැනීම සඳහා රුපියල් කෝටි 5කට අධික මුදලක් වැය කිරීමට සිදු වේ.’ අපේ හිතවතා ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා ‘දේශය’ට ලියා තිබිණි.

එක මන්තිරියෙක් පත් කරගන්නට කෝටි පහක් නම් ඊට පස්සේ...?

මන්ත්‍රීකමක් ඒ තරම් වටිනා නිසාය; ඡන්දාපේක්ෂකයන් ‘වෛරක්කාරී වෛරසයක්’ පතුරුවන්නටත් පටන් අරගෙන තියෙන්නේ.

ආගම්වාදී, ජාතිවාදී, අන්තවාදී වෛරස පතුරුවන අස්සේ එයාල මේ ලෙඩේ බෝ කරන්නේ ‘මනාප’ හින්දාය; එක පිලේම හිටියත් තමන්ගේ ගොඩේ ඉන්නා හෙංචයියන් දිනවන්නට ඕනෑ හින්දාය. තමන්ගේ පක්කලියන් ලව්වා සමහරුන්ට ‘හූ කියවීම’ ඒ විෂබීජයයි.

කැත වැඩක් වුණත් මං ඒකට මනාපය. ඒ පූර්වාදර්ශය අනුගමනය කරමින් උන් හැමෝටම හූ කියන්නට වැඩි දවසක් නොයනු ඇති නිසාය ඒ. ඒ තරමටම ජනතාවට මේ දේශපාලකයන් තිත්තය.

මාක් ට්වේන් කියන්නේ 'පිරිසිදුකම ඕනේ නම් දේශපාලකයනුත් ඩයපර්සුත් නිතර මාරු කරන්න' කියයි.

එහෙත්, ශ්‍රී ලංකාවේ සාක්ෂරතාවය ඉහළ යන තරමට සාපේක්ෂව ඡන්දය දීමේ පරම අයිතිය හිමි අපේ ‘දේශපාලන ඥානය’ වර්ධනයවී තිබේද? ‘රසිකොලොජි’ බ්ලොග් අඩවියේ නම් ඒ ගැන තිබුණේ මෙහෙමය:

‘.... ලංකාවේ සිටින්නේ “අරුං රට කාගෙන කාගෙන කාගෙන කාගෙන ගොස් නැවැත් වූ තැන සිට රට කාගෙන කාගෙන කාගෙන කාගෙන යන්නට මුංට බාර දෙන” ඡන්දදායකයින් පිරිසක් බව අප දන්නේ අද ඊයේ සිට නොවේ. හැම ඡන්දයක දී ම පාහේ සිදුවන්නේ එයයි....’

පහුගිය කාලය තිස්සේ සැරින්-සැරේ එහෙම ‘දේසපාලුවන් ගැන’ කලකිරී සිටින එකේක්කෙනා අහන ප්‍රශ්න වගයක් නිසා මං ඉන්නේත් පැටලිලි වංකගිරියකය!

     1. කොරෝනාවෙන් පරෙස්සම්වී ගෙවල්-දොරවල් අස්සටම හිරවී ඉන්නා අපි, mask දාගෙන- ගෙදරින්ම පෑනකුත් අරගෙන ගිහින්, සමාජ පරතරය රැකගෙන පෝලිමේත් ඉඳලා අපේ ඡන්දය පාවිච්චි කරන්නට පරිප්පු කන්නේ ඇයි?

නීතිය කාටත් එකද? පත්වෙන්නටත් කලින්ම 'ඔක්සිජන්ට' නීතිය ඕනේ නැතිනං.....

      2. මොකා ආවත් කෙරෙන්නේ එකම දේමය. රට අඩියෙන්-අඩිය ප්‍රපාතයට ඇද දැමිල්ලය; අවනීතිය නීතිය කිරීමය. ඡන්දය ඉල්ලන ඔක්කොමලා එක වල්ලේ පොල් නං මොකා ආවත් අපට මොකෝ?

     3. දිනන බව හොඳටම පෙනෙන අයට අපේ ඡන්දේ නැතිවට කමක් නෑ නේද?

     4. අපේ කතිරේ ගහන්න ඕනි එවුන් මේ සැරේවත් දිනන එකක්යැ...? අපේ ඡන්දේ දුන්නත් උන් පරදිනවා.

     5. ප්‍රජාතන්තරේ ආරස්සා කරගන්න ඡන්දේ ඉල්ලන පක්ෂවලින් කොයික ඇතුළෙද ඔය කියන ප්‍රජාතන්තරේ තියෙන්නේ? පොරෝඩාතන්තරේ! උන්ගෙත් හොර හිතනේ...

ඔහොම හැට-හුටාමාරක් ප්‍රශ්නවලට උත්තර දෙන්නට පුළුවන් මොන අප්පච්චිටද? මගේ පැටලිල්ල ඒකය.

සර්වජන ඡන්ද බලය ගැන මට කිසිම පැහැදීමක් නැත. “ඇත්තමයි සිරිබිරිස් උන්නැහේ, මට බලයක් තියෙනවා නං මම සර්වජන ඡන්ද බලය අහෝසි කරනවා. වයස සම්පූර්ණ වෙච්චි පළියට- පුරවැසියෙක් වෙච්චි පළියට හැම කෙනෙකුටම හොඳ බුද්ධියකුත් තියෙනවද පාලකයන්ව තෝරන්න?

අපේ සීයලා, තාත්තලා කළ වැරැද්දම අපත් කළොත් අපේ දරුවන්ට වෙන්නේ....

ඕස්ට්‍රේලියාවේ සිට ටෙලිෆෝනයෙන් මා හා දීර්ඝ සංවාදයක යෙදුණු බ්ලොග් හිතවතාගෙන් මම ඇසීමි.

“හරි නිමල් අයියේ, ඔය සංකල්පේ ගෙනාව ග්‍රීසියේවත් ඒ කාලේ හැමෝටම ඡන්දය දෙන්න ඉඩ දුන්නෑ.”

“අනෙක මේ පක්ෂවලින් නොමිනේෂන් දෙන්නෙ පාර්ලිමේන්තු යවන්න ඕනේ අයටද? උන්ගෙ දරුවන්ට; නෑයන්ට; කකුල ලෙවකන පක්කලියන්ට... අපට ඡන්දෙ දෙන්න වෙලා තියෙන්නෙ උන්ට.”

එහෙම කිව්වට, මේ වතාවෙත් පණ පිටින් හිටියොත් නම් මාත් ඡන්ද පොළට යනවාමය. ඒ ඡන්දය දමන්නටය!

“අයියේ, කාටද මේ සැරේ ඡන්දේ දෙන්න ඕනේ?” මගේ ලොකු නෑනා; මල්ලිකා ගල්හේන (දිසානායක) ඇහුවාය. ඒ අවුරුදු දහයකටත් එහා දවසකය. දැන් නම් එයා ඒ ප්‍රශ්නය අසතොත් අහන්නට වෙන්නේ පරලොව ඉඳලා තමාය. “..... සුනිලුත් කිව්වා ලොකාගෙන් අහන්නයි කියලා.....” මල්ලිකා, එදා වැඩි දුරටත් කීවාය.

අහක යන නයින්ට කිරි පොවන අපි ඊට පස්සේ.....

කෙනෙකුට; පක්ෂයකට ඡන්දය දෙන්නැයි මා එක එල්ලේම කියා තිබෙන්නේ මඩ  ගොහොරුවේ පච වෙන කාලයේ විතරය. එයින් පසු ‘අරයාට- මෙයාට ඡන්දය දෙන්නැ’යි මා කිසිවෙකුට එක එල්ලේ කියන්නේ නැත. 

‘කාටද ඡන්දෙ දෙන්න ඕනේ?’ කියා දැනටත් මගෙන් විමසන කිහිප දෙනෙක් සිටිති. එහෙම අයටත් මා කියන්නේ ‘මගේ තේරීම’ විතරය. සමහර වෙලාවට මා එසේ කරන්නේ මන්ද කියාත් විස්තර කරන්නට සිදු වෙයි. එච්චරය.... ඡන්දය දුන්නේ කාටදැයි ඇහිල්ලත් මට නං අරහංය. රහස් ඡන්දය කියන්නේ නිකම්මද? කැමති නම් කැමති කෙනෙකු කිව්වාවේ.....

ඉතින්, එදාත් මල්ලිකාට මගේ තේරීම කිව්වෙමි.

“ඒකනෙ අයියේ.... මම xxxxxx එකට නම් ඡන්දයක් දෙන්න කැමතිම නැහැ. ඒත් ###### එකෙන් දාලා තියෙන්නේ අමු හොරෙක්... පෙනුමෙනුත් පෙනෙනවා මහා එපා කරපු එකෙක් බව. අයියා කියනවා වගේ පාර්ලිමේන්තුවට යවන්න ඕනි හොඳ මිනිහෙක්නෙ.... ඔන්නොහෙ, හිත හදාගෙන මේ වතාවට විතරක් xxxxxxට කතිරෙ ගහනවා....”

එදාම දහවල් අපේ සුනිල් නැවතත් මට කතා කළේය. “ඔන්න, මල්ලිකා අයියගෙනුත් උපදෙස් අරන් ගිහින් ###### එකේ හොරාටම ඡන්දේ දාලා ආවා!”

සදාකාලික තරුණයෝ... සදාකාලික නායකයෝ.....

එවිටත් මල්ලිකා ෆෝනය සුනිල්ගෙන් උදුරාගෙනය. “පව් කියලා හිතුණා අයියේ... ඡන්දපොළට යන දිගටම මේකාගේ පෝස්ටර්.... හොර බැල්ම දාගෙන; අහිංසක විදිහට හිනාවේගෙන ඉන්නවා දැක්කම ඔන්නොහෙ මනාපයක් දෙන්න ඕනි කියලා හිතුණා!”

හැමෝම එහෙම වැනෙන අය නොවේ. අපේ ආච්චී ‘දසනායක රත්නවතී’ වගේ. එයා කිව්වේ ‘මාව කැපුවත් නිල් තමා’ කියලාය.

ඇයගේ එකම පුතණුවන්; අපේ තාත්තා සමසමාජකාරයෙකුව සිට UNPකාරයෙකු වුණේ මහරගම MPMගේ ඇරයුමෙන් මා ‘අලි’ වේදිකාවල කථිකයෙකු වුණාමය. එහෙම වෙනස් වුණා මදිවාට අපේ තාත්තා ආච්චීට උත්තර දෙන්නට බැරි ප්‍රශ්නයකුත් ඇහුවේය. “හොඳයි, දවසක අම්මගෙ ලොකු මුණුබුරා; මේ රංජියා යූ.ඇන්.පීයෙන් ඡන්දෙ ඉල්ලුවොත් දෙනවද නැද්ද?”

ආච්චී එහෙම වුණත්, මේ තාක් පැමිණි කාලයේදී මගේ ඡන්දය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට, එක්සත් ජාතික පක්ෂයට මෙන්ම, ජනතා විමුක්ති පෙරමුණටත් ලබාදී තිබේ. ස්වාධීන කණ්ඩායම් වෙනුවෙනුත්...

එහෙම කරලාත්, මට සිද්ද වුණේ ‘තැටිය රත් වෙච්ච වෙලාවේ රොටිය පුච්චාගන්න ඕනේ’යි කියූ පූජනීය මාදුළුවාවේ සෝභිත හිමියන් වහන්සේට වුණු දේමය.

බුද්ධිමත් පාලකයන් තෝරා ගත්තොත්.... ගොඩම නේද?

“.... කොයි ආණ්ඩුව ආවත් මට රේඩියෝ එකේ බණ කියන්න ලැබෙන්නේ ටික දවසයි, පින්වත්නි. ආණ්ඩුවේ උදවිය වැරදි කරනකොට විවේචනය කරන්න වෙනවනෙ. ආන්න ඒ ටික කරන්න ගත්ත ගමන්ම මේ සෝභිත හාමුදුරුවන්වත් විපක්ෂෙට දානවා, රේඩියෝ එකේ බණ දෙන එක නවත්තනවා....” එතුමෝ කිහිප වතාවක්ම කීවෝහ. දිගටම වුණේත් ඒකය.

මගේ සමහර හිතවතුනුත් එහෙමය. මා පවතින ආණ්ඩුවේ වැරැද්දක් කිව්වොත් මාව විපක්ෂයේ පන්දම්කාරයෙකු කරයි. විපක්ෂය විවේචනය කළොත් ආණ්ඩු පක්ෂයේ ගැත්තෙකු කරයි. xxxxx පන්සලේ ලොකු සාදු මාව JVPකාරයෙකු කළා වගෙය.

මගේ බලවත්ම ශෝකය මේකය: මේ තාක් කාලයකට ඡන්දය පාවිච්චි කිරීමේදී ‘වඩා සුදුසු අපේක්ෂකයන් අතරින් කෙනෙකු තෝරාගැනීමේ ප්‍රශ්නය’ කිසි විටෙක මට ඇති නොවීමය!

මට සිදු වී තියෙන්නේ දෙවෙනි විකල්පයට යාමටය. පක්ෂ අතරේ; ඡන්ද අපේක්ෂකයන් අතරේ හොඳම කෙනෙකු නැතිනම් කරන්නට වෙන්නේ අඩුවෙන්ම වැරදි තිබෙන පක්ෂය හෝ අපේක්ෂකයා තෝරා ගැනීමය.

පසුගිය අවුරුදු 45කට ආසන්න කාලයක් තිස්සේ මා කර තිබෙන්නේ ඒකය. මොන අවාසනාවක්ද? එහෙමත් නැත්නම් මා අපේක්ෂා කරනවා වැඩිද?

පාලකයන්ටත් අව්ව වැස්ස පින්න දැනෙනවා නම්... දුප්පත්කමේ රඟ දැනෙනවානම් ...

වෙනස් කරගන්නට වෙන්නේ ඡන්දදායක පුරවැසියාද, නැතිනම් පාලකයන්ද?

කවුරුන් කිව්වාදැයි නම් මට මතක නැත. එහෙත් මේ ප්‍රසිද්ධ ප්‍රකාශයකි. ‘රටක වෙසෙන ජනයාට ගැළපෙන පාලකයෙකි, ඔවුනට ලැබෙන්නේ.’

මේ විත්තිය තේරුම් ගන්නා පරම්පරාවක් ලක් පොළෝ තලය මත බිහිවෙමින් සිටී.

මට එහෙම පෙනෙන්නේ මුහුණු පොතේ ‘එකේක්කෙනාට කඩේ යන්නන්’ අඩු වෙමින්, යථාර්ථය වටහාගත් පිරිස වැඩිවෙමින් සිටින බව postsවලින් පෙනෙන බැවිනි. මේ පෝස්ටුවේ සියලුම ෆොටෝත්, මේ කවියත් මා උපුටා ගත්තෙත් fb එකේ සංසරණය වුණු පෝස්ටුවලිනි.

     වාසි කාසියට බත් බැලයෙක්     වෙන්ට

     තුට්ටු දෙකට ඡන්දය විකුණං       කන්ට

     සැරසෙන මිනිස්සුනි මෙය දාගනු  හිතට

     කතිරය අපට නොව හෙට උපදින පුතුට

මෙහෙම පුවරුවක් එල්ලන්නට කොහොම කොන්දක් තියෙන්න ඕනිද?

වෙනෙකක් තබා දැන් ප්‍රසිද්ධියේ පුවරු එල්ලා; ඡන්දය යදින්නට නොඑන්නැයි කියන කශේරුකා සහිත ජීවීහුද බිහිව සිටිති! නූතනයට අවශ්‍ය එවැනි ඡන්දදායකයන්ය.

“නිමල් අයියේ, නිමල් අයියේ....” ගියය සතියේ දවසක අපේ ගේට්ටුව ළඟ හිටි තරුණයෙක් කතා කළේය. ඔහුට පරිවාරෙටත් හතර දෙනෙකි. මම හඳුනාගතිමි. සගයෙකුත් කතා කළේය. “නිමල් අයියට මාව මතකද? මම xxxxx , ළමා නිවාසේ හිටියේ.”

මම ඔවුන් ගෙතුළට කැඳෙව්වෙමි.

පළමු තරුණ හාදයා අනෙක් සිව් දෙනාත් මට හඳුන්වා  දුන්නේය. “අපි පස් දෙනාම ළමා නිවාසේ හිටි අය... නිමල් අයියේ, මට ඔබතුමා ලොකු උදව්වක් කරන්න ඕනේ. මේ සැරේ ඡන්දෙදී මාත් කොළඹින් ඉල්ලනවා. මේ පැත්තේ අයට ඔබතුමාත් කියලා මට ඡන්ද ටිකක්....”

“කොහෙන්ද xxxxx, ඔය ඔබතුමෙක් අහුලා ගත්තේ? ඡන්දෙ ඉල්ලන්න එන හින්දද?” මම සැහැල්ලුවෙන් ඇසුවෙමි.

ඒ හාදයා පොට වරද්දා ගත්තේය. “නෑ, නෑ. මම වෙනදාටත් කතා කළේ ඔබතුමා කියලනේ....”

ශ්‍රී ලංකාද්වීපයේ දැනට පවතින මේ යථාර්ථය වෙනස් කරන්නට මුල පුරමුද?

ඒකට අභියෝග නොකර මම කුලතුංග මහත්තයා, අතුල දහනායක මහත්තයා ගැන ඇසුවෙමි. මේ පස්දෙනා හිටි කාලයේ ළමා නිවාසයේ පාලක හා උප පාලක වූයේ ඒ දෙන්නායි. “ඔබතුමාට කියන්න දහනායක සර් මගෙ fb එකෙත් යාළුවෙක්...!”

“හරි ෂෝක්. මාත් හොය-හොයා හිටියේ. කොහොමද ඔයාගේ එකවුන්ට් එක තියෙන්නේ...” මං ඇසුවේ ලියාගන්නට හදමිනි.

“ලියාගන්න දෙයක් නැහැ, ඔයත් මගේ FB ෆ්‍රෙන්ඩ් කෙනෙක්නෙ!”

ඡන්දය ඉල්ලන්නට හොඳම සුදුසුකමක් ඒකාට ලැබිලාය; කිසිම පැකිළීමක් නැතිවය, ඒ හාදයා බොරු ඇද බෑවේ. මට වැරදීමක් වෙන්නට ඇතිවාදෝයි කියලා පසුව පිරික්සා බැලුවෙමි. එයාගේ මිතුරන් අතර අප දෙන්නාගේම නම් නැත.

පමුණුව පිරිමි ළමා නිවාසයේ හිටි ළමුන් අතරින් ඉහළ අධ්‍යාපනයක් ලැබූ, හොඳ රැකියාවකුත් ලැබූ ඒ තරුණයා යන්නට හදන්නේ බොරුවෙන් පිරුණු ගමනකි! හුඟාක් දේශපාලඥයනුත් එහෙමය; රජ කරවන්නේ බොරුවය. වැරැද්ද කොතැනද - කවුරුන් ළඟද?

සිංහලත් බැරි, ඉංග්‍රීසිත් බැරි, වැඩත් බැරි උන්දැලාගේ කෙරුවාවල් මෙහෙමය!

'රාජ්‍ය සේවය වසර ගණනාවක් සේවය කළ නමුත් ඔබගේ දූ පුතුන් සුදුසුකම් ඇතත් තවමත් රජයේ රැකියාවක් සොයා ගන්නට බැරිව ඇත. මේ ගැන මම වැඩි දුරට අවධානය යොමු කරමින් මාගේ ජයග්‍රහණය පසුව මේ ගැන වැඩි දුරට කතා කරමින් එයට අවස්ථාවක් ලබා දීමට මාගේ අපේක්ෂාවයි. එමෙන්ම ඔබේ දරුවන්ගේ ජීවිත යහමගට ගැනීම මගේ මූලික පරමාර්ථයයි.’

මොන තරම් අප්‍රභංස ලියවිල්ලක්ද?

ඒ එක ඡේදයක් විතරකි. මේ වතාවේ කොළඹ දිස්ත්‍රික්කයට තරග වදින ‘දේශබන්දු’ අපේක්ෂකයෙකුගේ ලියවිල්ලක තියෙන හැටියෙන්මය.... එහි තිබෙන පැටලිලි- අක්ෂර- ව්‍යාකරණ දොස් එකක්වත් මා ඇති කළ ඒවා නොවේ.

අප පාර්ලිමේන්තුවට- රටේ ප්‍රතිපත්ති සම්පාදනය කරන්නට යැවිය යුත්තේ මෙහෙව් නූගත් අයද?

මෙහෙව් අයට නාම යෝජනා දෙන්නේ කවුරුන්ද? ඡන්ද අපේක්ෂකයන් ලෙස බූරුවන් ඉදිරිපත් කර ‘පාර්ලිමේන්තුවට අස්සයන් තෝරා එවන්නැ’යි කිව්වාම එය කළ හැක්කේ මොන අප්පච්චිටද?

අන්තෝ ජටා - බහි ජටා!

එකේක හේතු නිසා හෝ දැන්-දැන් හරිම ලස්සනට මේ  මජර ක්‍රමේ විවේචනේ කෙරෙයි. ඒවා බලන; අහන; share කරගන්නා පිරිස පොඩි නැත. බලන්නං වාලේ ඒවා බලලා විතරක්ද, ඔලුව ඇතුළටත් ඒවායේ හරය වද්දාගෙනද කියා වටහා ගන්නට වෙන්නේ ඡන්දයක් වැනි දෙයක උදව්වෙන් විතරය! 

ඉතින් එහෙම වෙලාවක ඡන්දේ දෙන්නම ඕනෑය!!!

ඔන්න එරෙන තැන! බරපතළම ප්‍රශ්නය කාටද දෙන්නේ කියන එකයි.

ඇත්තය, අපේ කැමැත්ත පරිදිම අපේ ඡන්දය ලබා දෙන්නට තරම් වටිනා අපේක්ෂකයන් ඡන්දාපේක්ෂක ලැයිස්තුවල නැත. පක්ෂවල ප්‍රතිපත්ති ප්‍රකාශනවල තියෙන්නේ ලස්සන වචන විතරය; මෙලෝ පුතයෙකුට ඉටු කරන්නට බැරි පොරොන්දු විතරය.

ඒත් මා කීයටවත් මගේ ඡන්දය කුරුටු ගා දමන්නේ නම් නැත!

මගේ ඡන්දෙට මිලක් ගහන්නැයි කියූ එකත් ඇත්තය. ඒ උනහපුලුවාට උගේ පැටියා මැණිකක් වෙනවා වගේ මගේ ඡන්දයත් ඉතාම වටිනා එකක් වගේ මට දැනෙන නිසාය.

මගේ ඡන්දය දෙන්නේ සුරංගනා කතන්දර කියන, මවන, රඟන....

මා ඡන්දය දෙන්නේ අපේ පාරට ලයිට් හෝ වතුර හෝ දුන් කෙනා බලලා නොවේ; පාරට තාර දැමූ හෝ සිමෙන්ති ගල් ඇල්ලවූ කෙනා බලලාත් නොවේ; ගමට පෙර පාසලක්- සොහොන් පිට්ටනියට ආදාහනාගාරයක්- ටවුමට පොදු වෙළෙඳ සංකීර්ණයක් වගේ දෙයක්  දුන් අය බලලාත් නොවේ. එයාලා එව්වා කරවන්නේ අපේම සල්ලිවලිනි! එයාලාට ලොකුම කොමිස් කුට්ටියක් කඩා ගන්නට පුළුවන් වෙන විදියටය.

එයාලා පත්වෙන්නේ ඒවා කරන්නටය.

අනන්තප්ප්‍රමාණ පහසුකම්- වාහන පර්මිට්- දීමනා- වැටුප් විතරක් නොවෙයි.... අවුරුදු පහක් හිටියාම පෙන්ෂනුත් ලබන්නේ ඒවා කරවන්නට කැපවෙතියි හිතලාය.

ඔය මොනවා නැතත් එයාලා කන ජරාවක තරම නොදන්නා කෙනෙක් මේ සිරි ලංකාද්වීපයේ නං නැත්තේය; ඒවා එවුන්ගේ මූණටම කියන්නට විදිහක්; වේදිකාවක් නැති එකය වැරැද්ද..... කිව්වා කියලත් වැඩක් නැත. උන්ට ලජ්ජාවක් නැත. ලැජ්ජ බීටි ගාලා වෙන්නත් පුළුවනිය. සමහර විට කොන්දත් ලෑටි ගාලා වෙන්නැති...

මොළේ නැතොත් සදා වළේ!

මගේ ඡන්දය දෙන්නට මා තෝරා ගන්නේ හොඳම පක්ෂය හෝ හොඳම අපේක්ෂකයා හෝ නොවේ. එහෙම පක්ෂයක් හෝ එවුන් හෝ නැති නිසාය ඒ.

හොඳම කට හැකර වාචාලයන් ඉන්නා පක්ෂය-

ඔලුවේ ගූ තියාගෙන මං සුදනාය කියන ඉස්සන් වැන්නවුන් ඉන්නා පක්ෂය-

අනුන්ගේ වැරදි මිස තමන්ගේ වැරදි නොදකින්නවුන්ම ඉන්නා පක්ෂය-

වැඩිම ජාවාරම්කාරයන්- බාර්කාරයන්- පරිසර නාශකයන් සිටින පක්ෂය-

අප ගිනිකන වට්ටන්නට; අපේ හැඟුම් දඩමීමා කරගෙන අප මුලා කරවන්නට නිපුණයන් ඉන්නා පක්ෂය මොකක්දැයි මගේ නැණ පමණින් විමසා බලන්නෙමි. 

එතකොට නම් අවුරුදු 50කටත් එහා අතීතයක් හරි, අවුරුදු 25කට- 15කට එහා අතීතයක් හරි කාල් ගෑම පලක් නැති බව හිතා ගන්නෙමි.

මැර- තක්කඩි- නූගත්- නොහැදුණු අයට බලය නොදෙමු!!!

‘මට නොව- අපට නොව- රටට; රටේ අනාගත පරම්පරාවට සෙතක් වේවා’යි එක හිත් හිතාගෙන, වැරදි අඩුම පක්ෂය තෝරා ගන්නෙමි! (ඔවුන් දිනනවාද නැද්දැයි මම නොසිතමි. තරගයකදී ජය පරාජය දෙකම පොදුය. එහෙත් මගේ හිතට එකඟව, මගේ වටනා ඡන්දය දිය යුත්තේ, අඩුවෙන්ම වැරදි කර තිබෙන; අඩුම දූෂිතයන් සිටින; බලයක් ලද විට රටේ අභ්‍යුදය තකා වැඩ කොට ඇති පක්ෂයටය.)

ඉතින් ඊට පස්සේ, මගේ අමිල ඡන්දය ඒ පක්ෂය වෙනුවෙන් දෙන්නටනොවරදවාම ඡන්ද පොළට යන්නෙමි!

‘නිදිගෙ පංච තන්තරේ’ කියවන හිතාදර රසික-රසිකාවනි. ඔයාලා කරන්නෙත් ඒකම බව මට හොඳටම විශ්වාසය෴ 

14 comments:

  1. අමුතු පොටකට එනවා වගේ.. ඔබගේ වටිනා චන්දය වැඩියෙන්ම රට විනාශ කරපු එවුන් අතරින් අඩුම විනාශය කරපු එකාට දෙන්න නේද හදන්නේ මල්ලි.

    ReplyDelete
    Replies
    1. ඔව් අයියේ!
      එහෙම නේද කෙරෙන්න ඕනිත්...

      Delete
  2. අමිලට චන්දෙ නෑනෙ

    ReplyDelete
    Replies
    1. එයා ඕස්ට්‍රේලියාවේ ඉඳලා ආවත් දවස් 14ක් නිරෝධායනේ වෙලා නේද ඡන්දේ දෙන්න එන්න වෙන්නේ?

      අනෙක මේ වෙලාවේ දේශප්‍රේමී කවුරුන්වත් පිටරට ඉඳලා බුරුතු පිටින් ඡන්දෙට එන රැල්ලකුත් නැහැනෙ. ඒක නං සාධාරණත් එක්ක...
      රටට වැඩ කරන්න එන්න ඡන්දෙ ඉල්ලන සමහරු 'මෝටර් සයිකලේ යද්දී හෙල්මට් දාන්න ඕනි' කියලා නීතියක් තියෙන බව නොදන්නා බබ්බුනේ! ලක්ෂ ගණන් වියදම් කරගෙන ඇවිත් ඒ වගේ අයට ඡන්දේ දෙන්නය!

      විදේසෙක හිටියත් සිරිබිරිස් උන්නැහෙ හොඳට මෙහෙ තොරතුරු ගැන දන්නවා!

      Delete
  3. //එහෙත් මගේ හිතට එකඟව, මගේ වටනා ඡන්දය දිය යුත්තේ, අඩුවෙන්ම වැරදි කර තිබෙන; අඩුම දූෂිතයන් සිටින; බලයක් ලද විට රටේ අභ්‍යුදය තකා වැඩ කොට ඇති පක්ෂයටය.//
    එහෙම පක්ෂයක් මේ මැතිවරණෙට ඉදිරිපත් වෙන බව ඇහුවේ ඔයාගෙන්ම විතරයි.
    නොමළ ගෙයකින් අබ ටිකක් හොයා ගත්තත් ඔය කියන ආකාරයේ පක්ෂයක් නම් හොයා ගන්නවා බොරු!
    එහෙමයි කියලා චන්දෙ නොදා ඉන්න එකත් අනුමත කරන්න බැහැ.
    කොටින්ම, මොනවා කරන්නද, මොනවා නොකරන්නද කියලා හිතාගන්න බැහැ .
    අන්තෝ ජඨා බහි ජඨා

    ReplyDelete
    Replies
    1. නෑ නෑ සෑම් මහත්තයෝ, කොහෙත්ම නෑ.

      හැමදාම වගේ මෙදා සැරෙත් මං ඡන්දය දෙන්නේ හොඳම පක්ෂෙට නෙවෙයි.
      වැරදි අවම අපේක්ෂකයන් වැඩියෙන්ම ඉන්නා;
      බලලෝභීකම අඩුවෙන් තිබෙන බව පෙනෙන;
      නායකත්වය බදාගෙන ඉන්නා හැට-හැත්තෑව පැනපු නාකි පරාණ අඩු:
      දූෂණ චෝදනා පවා අඩු පක්ෂේකටයි මගේ ඡන්දෙ දෙන්නේ!

      Delete
  4. අඩුවෙන්ම වැරදි කරලා තියෙන සහ රටට අඩුම හානියක් කරයි කියලා හිතෙන කණ්ඩායම තෝරාගන්න එකනම් එච්චර අමාරු දෙයක් නෙවෙයි කියලයි මට හිතෙන්නෙ. සැලකිය යුතු පිරිසක් මේ වතාවේවත් හරි තෝරාගැනීම කරොත් ඉදිරිය ගැන සුභවාදීව හිතන්න පුලුවන් වෙයි. අවාසනාවකට 2005න් පස්සේ චන්දයක් පාවිචිචි කරන්නවුනේ නෑ.

    ReplyDelete
    Replies
    1. ඔව් චමින්ද මහත්තයෝ,

      දුරාතීතේම නොඉඳ, නොදුරු අතීතය බලලා තමයි අපට හරි තීරණය ගන්න වෙන්නේ!

      Delete
  5. නිමල් වහෙන් ඔරෝ භාෂාවෙන් කියන අය අපි නම් දන්නවා. හැබැයි අනිත් එවුන් බලයෙන් මත් වෙලා පිස්සු කෙලින්ඩ හදන එක නවත්වන්න පුළුවන් එහෙම තමයි.

    ReplyDelete
    Replies
    1. වැඩි බලය වැඩියෙන් දූෂණවලට හේතු වෙයි!

      ඔව් කුමාර.
      විශේෂෙන් අපේ රටේ... වැඩි බලයක් එකම තැනකට ඒකරාශී වුණෝතින් රටට විනාශයක්මයි වුණේ..

      අද ඡන්දෙ ඉල්ලන ලොකුම පක්ෂ ඇතුළේ තියෙන යුද්ද දැක්ක ගමන්ම තේරෙනවා නේද උන්ගේ තියෙන බලලෝභී කෑදර තණ්හාව..

      Delete
  6. මන් පරිප්පු කතාව ලිව්වේ මොකටද කියල නිමල් ට විතරයි තේරිලා තියෙන්නේ , හෙටනිද්දට පරිප්පු බව තමා කීවේ

    ReplyDelete
    Replies
    1. ඒක ප්‍රශංසාවක්නේ අජිත් මහත්තයෝ. ස්තුතියි!

      Delete
  7. NiDi, Whatever said and done, two party system will continue. No alternative to democracy either, you must participate in it (I will miss this time after long time)

    Once upon a time JVP was an alternative, then came JHU see the status now. Nandana Gunathilaka was JVPs candidate for President. Pa Cha Ranawaka looking for the UNP leadership. Lot more like Ven Soma, Ven Sobitha came and went.

    Eventually they all want to eat the 'Pol Pale' nothing else. (Wijebahu)

    ReplyDelete
  8. විජේබාහු මහත්තයෝ, ඔබතුමා හරි.
    මොන බලවේග ආවත්, මොන-මොන කෙරුමෝ ආවත් ඒ හැමෝම වගේ අන්තිමට නැවතිලා තියෙන්නේ එකම ගොඩකයි; පිල් වෙනස් වුණත්. බොරුකාර - අන්තිම ආත්මාර්ථකාමී බලලෝභී ගොඩේ! ඒ මට පෙනෙන හැටි.

    පුදුමේ උගතුන්, සබුද්ධිකයන් හා වස්තුකාරයන් වුනත් එහෙම වෙච්ච එකයි. උන් පක්කලි වෙන විදිය තමයි හිතාගන්නවත් බැරි! පොල් පැලේ නෙවෙයි වතු යායක්ම එක දවසෙන් කන්න උන්ට හදිසියි!

    ReplyDelete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්