li Item

Wednesday, February 10, 2021

යුවති කිරිල්ලී - දාහත්වෙනි කොටස

උඹලගෙ.... අ අ අ අම්මලා ආව බස් එක ප් ප් පෙරළිලා දුවේ!

මුදලිහාමි කර මත වූ තුවායෙන් මුහුණ පිස දැමුවේය. චන්ද්‍රා එවර කතා කළේ කෑ ගසන්නාක් මෙනි.

“මොකක්ද වුණේ මයෙ අප්පච්චි?”

“ඔක්කොම ඉවරයි මයෙ දුවේ!” මුදලිහාමි ගොත ගැසුවේය. 

යම්කිසි විපතක් සිදු වී ඇති බව යුවතියෝ වටහා ගත්හ. එහෙත් ඒ කුමක්දැයි ඔවුන්ට සිතාගත නොහැකිය. සිදු විය හැකි බොහෝ දේ ඇත. ඉතිං කුමක් සිදු වී ඇතිදැයි අනුමානයෙන් දැනගන්නේ කෙසේද?

“කියන දෙයක් තේරෙන්ඩ කියන්ඩකො අප්පච්චි....”

“මොකද මාමා වුණේ?”

“උඹලගෙ.... අ අ අ අම්මලා ආව බස් එක ප් ප් පෙරළිලා දුවේ!” මුදලිහාමි කීවේ ගොත ගසමිනි. ඔහුගේ දෙනෙතින් කඳුළු ගුළි ගලා හැළෙමින් තිබිණ.

යුවතියන්ගේ විලාප හඬ නිසල කඳු මුඳුන් දක්වා විසිරී ගොස් දෝංකාර දුන්නේය. පඩි පෙළ පාමුල සිටියෝ, තෙත් වුණු නෙත් පිස ගත්හ.

“ඔහොම විපත්තියක් වාවන්නෙ කොහොමද දෙයියනේ?”

කිරි අම්මාගේ දෑස අනන්ත ආකාශයේ නිවි-නිවී දිලෙන තරු දෙසට යොමු වී තිබිණ. ඒ දෑසින් ගලා ආ කඳුළු වැල් ඇගේ වැහැරුණු දෙකොපුල් තල මතින් ඔහේ ගලා ගියේය.

********

‘මනුස්සයෝනෙ ඔය බල්ලො බළල්ලු වගේ නිස්කාරණේ මැරිලා  යන්නේ...’ මරණයේ දෙවියා අනුබිස්ගේ ගොදුරු ගැන නොදත් ඔවුහු කීවෝය!
“බස් එකේ සෑහෙන්න ඉන්න ඇති මචං!”

“කෑලි තමා එකතු කරන්න වෙන්නේ... බලපංකො, ලෝකාන්තෙන් පෙරළුණා වගේ තමයි!”

“උඹ දන්නෙ නෑ, ඔය බස් එක එළවන පොර නද වෙන්න දාලා ඉන්නේ හැන්දෑ වෙනකොට... ඉතිං ලෑල්ලට පාගනවා!”

“පුදුමේ ඔයිට කලින් ඇක්සිඩන්ට් නොවුණු එක.”

තරුණයෝ කිහිප දෙනෙක් පාර අයිනට වී කතාබහේ යෙදී සිටිති. “අනේ අප්පේ, මනුස්සයෝනෙ ඔය බල්ලො බළල්ලු වගේ නිස්කාරණේ මැරිලා  යන්නේ...” වැඩිහිටියෙක්ද කතාවට එක් වූවේය.

එකා දෙන්නා වශයෙන් එකතු වූ පිරිස ක්‍රමයෙන් වැඩි වෙන්නට විය. ඒ අතර සමහරු පහළට බසින්නට සූදානම් වූහ. “ඔය හුළු අතුයි, ටෝචුයි විතරක් මදි මචංලා... මේ කරුවලේ පඳුරු අස්සෙ පීරන්න. පැට්‍රොමැක්ස් දෙක-තුනක් හොයා ගනිමු.”

මෝටර් බයිසිකල්කරුවෝ කිහිප දෙනෙක් පැට්‍රෝමැක්ස් ලාම්පු සොයා ගියහ.

“නරකද පොලීසියටත් කෝල් එකක්වත් දුන්නොත්...”

“මෙලහටත් පණිවිඩේ ලැබිලත් ඇති සමහරවිට...”

“කොයිකටත් කාව හරි වලව්වට හරි තේ වත්තෙ බංගලාවට හරි යවලා පොලීසියට ටෙලිෆෝන් කරවමු...”

එළි රැගත් පිරිස තේ පඳුරු පීරාගෙන ප්‍රපාතය පහළට බසින්නට වූහ. කැති උදලු රැගත් අය මං පාදා දෙමින් පෙරට ඇදුණහ.
“අනේ පුතේ, මාන්සි නොබලා එහෙනං වලව්වට ගිහිල්ල පොලීසියට ටෙලිෆෝන් කරවපංකො. ඉස්කෝලේ මහත්තයා කිව්වා වගේ ඉස්සෙල්ලාම කරවන්ඩ තිබ්බේ ඒක. දන්නවනේ, අද කාලේ කරන්ඩ යන හොඳම නෙව ඉහ පිට කඩා වැටෙන්නෙ.”

අනේ පුතේ, මේ මැරෙන්ඩ ඉන්න ඩිංගට ඕවයේ යන්ඩ බෑ. උඹලා ගිහින් කිව්වම ඇති නෙව...

“අත්තප්පේ, එහෙනං යං වලව්වට. මේකෙම යමු!”

“අනේ පුතේ, මේ මැරෙන්ඩ ඉන්න ඩිංගට ඕවයේ යන්ඩ බෑ. උඹලා ගිහින් කිව්වම ඇති නෙව.”

රාත්‍රියේ පැමිණි මෝටර් බයිසිකල්කරුවන්ගෙන් පුවත දැනගත් දන්තුරේ බණ්ඩාර පොලීසියට දුරකථන ඇමතුමක් දී විස්තර දැන්වූයේය.
“රාමන්, ගනිං කාර් එක. සිළිඳු මැණිකා, කුමාරිහාමිට වැඩිය වගතුග කියන්ඩ යන්නෙ හෙම නෑ ඕං, තේරුණාද?”

“වලව්වෙ හාමුදුරුවන්ට නින්ද ගිහිල්ලා අප්පෝ!”

“ඒක වැඩියත්ම හොඳයි! අපි එන්ඩ රෑ වෙයි සමහරවිට.... උඹලා නිඳා ගනිල්ලා...”

දන්තුරේ බණ්ඩාරගේ රථය ළඟාවත්ම ගම්මු එතැනට රොක් වූහ. “අප්පෝ!” වැඩිහිටියෙකු ගරු-සරු පා කීවේ, උර මත රැඳි තුවාය දෙඅතින් ගුළි කර ගනිමිනි.

“කට්ටියක් පල්ලෙහාට බැස්සා හාමුදුරුවනේ..”

අප්පෝ පාරේ අයිනට ගොස් පහළට කර පොවා බැලුවේය. ප්‍රපාතය පතුලේ එහා-මෙහා යන ආලෝක ප්‍රභවයන් මිස වෙනත් කිසිවක් පැහැදිලිව නොපෙනේ. ඔහු ආපසු හැරුණේය.

“බස් එකේ සෙනඟ ගොඩක් හිටියලුද?”

“කට කපල හිටියලු අප්පෝ! මේකා ඩිංගිත්තක් එහායින් හෝල්ට් එකේ බැහැලා තියෙන්නේ...”

“එහෙමයි අප්පෝ! ඩයිවර් හොඳටම බීලා හිටියේ...”
පොලිස් ජීප් රියකුත්, ගිලන් රථයකුත් එතැනට ළඟා වෙන විටත් තුවාලකරුවන් ගොඩට ගෙනවිත් තිබුණේ නැත.

ඒ වනවිටත් බස් රියේ සිටින්නට ඇතැයි සැක කළ අය පිළිබඳව තොරතුරු බොහෝ දුරට හෙළි වී තිබිණ.

බලාපොරොත්තු නොවූ සේ හෙණ ගෙඩියක් හිස මත පතිත වී ඇතැයි...

පළමුවෙන්ම උඩට ගෙන ආවේ තුවාලකරුවන්වය.

‘මැරිච්ච අයට ඉස්සෙල්ලා තුවාලකාරයොන්ව අරන් යං, ඉස්පිරිතාලෙකටවත් අරන් යන්ඩ පුළුවන්නෙ.’ කෙනෙකු කියා තිබිණි. සෙස්සෝ ඒ යෝජනාව නැණවත් එකක් ලෙස පිළිගෙන ඒ අනුව කටයුතු කළහ. පළමු තුවාලකරුවන් පිරිස අතර මාලතීගේ පවුලේ කිසිවෙක් නොවීය. පසුව පැමිණි පිරිස්ද පහතට බැස සෙවිල්ලේ යෙදී සිටියෙන් දැන්-දැන් ඉහළට ගෙනෙන තුවාලකරුවන් අතර මළවුන්ද විය.

සිසිලියානාගේ අප්‍රාණික මුහුණ දුටු මුදලිහාමි තුවායෙන් මුහුණ වසා ගත්තේය. බලාපොරොත්තු නොවූ සේ හෙණ ගෙඩියක් හිස මත පතිත වී ඇතැයි ඔහුට හැඟිණි.

“විල්මටුයි වික්‍රමයි දෙන්නත් බස් එකේ හිටියලු අප්පෝ!”

“මේකලා ඔක්කොම කොහේ ගිහිල්ලද පවුල පිටින්ම?”

“වික්‍රමගේ කසාදෙට ඇඳුම් ගන්න ගිහිල්ලා අප්පෝ. හොඳ වෙලාවට මාලතීයි, කිරි අම්මායි නං ගෙදරලු...”

විල්මට්ගේ සිරුර ගොඩට ගෙනෙන විට ඔහු සිහිසුන්ව සිටියේය. “සෑහෙන්ඩ ලේ ගිහිල්ලා. ඇම්බියුලන්ස් එක එනකල් ඉන්න එකත් පරක්කු වැඩිවෙයි වගේ!” ඉන්ස්පෙක්ටර්ගේ වචන දන්තුරේ බණ්ඩාරටද ඇසුණි.

“මගෙ කාර් එකෙත් දාන්න පුළුවන් තරමක් ඉස්පිරිතාලේට යවමු.”

“තෑන්ක් යූ මිස්ටර් දන්තුරේ බණ්ඩාර. අපි එහෙනං අමාරුයි වගේ පෙනෙන කීප දෙනෙක්ව යවමු!”

තුවාල ලබා සිටියවුන් සොයා ගැනීම පමා වෙන තරමට ඔවුන්ගේ ජීවිත අවදානම වැඩි වෙයි. ඒ බව දත්තෝ සෙවිල්ල දිගටම කරගෙන ගියහ; ඒ අඳුරත් සීතල පින්නත් නොතකමිනි. ඔවුන්ගේ උත්සාහය කොතෙක් දැඩි වුවත්, අවසන් මඟියාගේ මළ සිරුරත් සොයා ගන්නා විට පසුවදා දහවල එළඹී තිබිණි.

උගුල ගැන හාන්කවිසියක් නොදැන.....

බස් අනතුර සිදු වූ තැනදීම විසිඑක් දෙනෙකු මියගොස් තිබුණි. ඒ විසිඑක් දෙනාට සිසිලියානාත් වික්‍රමත් අයත් වූහ.

සිහිසුන් තත්ත්වයෙන් රෝහලට ඇතුළත් කළ විල්මට් යළි සිහිය ලැබුවේ නැත. අධික ලෙස රුධිරය ගලා යාම නිසා ඇති වූ කම්පනයෙන් ඔහු මියගොස් ඇති බව මරණ පරීක්ෂණයේදී හෙළි විණි.

********

නෙවිල් අයියේ.. ඔයාට තමයි එහෙනං foto ගන්න වෙන්නේ!
නෑ නෑ, දැන්මම මම කියලා තියෙන්නේ... මං ඉතිං ෆොටෝ ගහන්න නොදන්න මනුස්සයානේ... තමුසෙලගෙ නිමල් අයියා ඒ වැඩේට
අනාගත දොස්තර මහත්තයෙක්ව අල්ලාගෙන ඉන්නේ...නෙවිල් නෝක්කඩුවක් කිව්වා මට තවමත් මතකය. කියලා පසුගිය කොටසේදී මම වාර්තා කළෙමි.

එහෙම වාර්තා කළෙත් නිකම්ම නොවේ; සහේතුකවය!
ඒ දවස්වල තලපත්පිටියේ හුඟක් ගෙවල්වල තිබුණු මොකාක් හෝ function එකක් විණි නම් එතැන ෆොටෝග්‍රැෆර් වුණේ නෙවිල් අනුරසිරි මහත්තයාය.

“මේ නිමල් අයියා කියන්නේ ඇත්තද නෙවිල් අයියේ?” ගිය සතියෙ දවසක මේ විස්තර මතක් කරද්දී තමිර හර්ෂක ඇහුවේ, මා ඇටවූ උගුල ගැන හාන්කවිසියක් නොදැනය. තමිර විතරක් නොවේ. නෙවිලුත් ඒකට අහු වුණේය..... මට උවමනා වුණේ මගේ මතක සංචිතයේ තොරතුරු, වඩාත් නිවැරදිදැයි තහවුරු කර ගන්නටය.
තමිරගේ ඒ ප්‍රශ්නයට අපේ හාදයා උත්තර බැන්දේ මගේ මනෝරථය සම්පූර්ණ කරවමිනි.

පස්සේ කාලෙක නං නෙවිල්, ලාල් හෑගොඩ මහත්තයාගේ කැමරා පාඨමාලාවක් හදාරා...

“පිස්සුද මල්ලී? මෙයා ඉතිං කතන්දර මවන්න සූරයානේ.... අපේ ලොකු අයියා මිඩ්ල්ඊස්ට් ගිහිල්ලා ආව දවස්නේ ඔය කියන්නේ. එයා ගෙනාවා Electro 24 කැමරාවක්.... ඒ කාලේ ඒකත් හරි ලොකු දෙයක්... ඒ හින්දා අඳුරන යාළුවො දෙතුන් දෙනෙක්ගේ ගෙවල්වලදී පාටියක් එහෙම තියෙනකොට මම foto අරන් දුන්නා... උදව්වට.”

“ඉතිං මාත් කිව්වේ ඒකමනේ.... කියනවකෝ මොනවද ඔය පාටි....?”

“තමුසෙ දන්න මිනිහනෙ.... තමුසෙම කියනවා ඉතිං...” නෙවිල් කිව්වේ දිනන්නට බැරි බව පෙනුණා වගෙය.
ඒ දිනවල foto ගත්තා නං ගත්තේ විශේෂ අවස්ථාවක, විනෝද ගමනක් ගිය වෙලාවක විතරය. එහෙම ගත්තත් සමහරු එව්වා ප්‍රින්ට් කෙරෙව්වෙත් නැති වෙලාවල් තිබිණි.

“තමිර, මෙයාට වැඩියත්ම පින්තූර ගන්න වුණේ කොටහළු මඟුල්වල.... නැත්තං engage වෙන එව්වයේ..... ගොඩක්ම එන්ගේජ්මන්ට්ස්වල... ඒ foto print කෙරෙව්වාම මෙන්න බොලේ ඕසෙට තියෙනවා අත් හතරක්... ඇඟිලි විස්සක්... මුද්දක්... තියෙන foto! ඒවා තමයි වැඩියෙන්ම තිබුණේ. අත් කාගෙද කියලා වෙනම ලියලා tags එල්ලන්නයි වුණේ!”

පස්සේ කාලෙක නං නෙවිල්, ලාල් හෑගොඩ මහත්තයාගේ ‘කැමරා පාඨමාලාව’ක් හදාරා ඡායාරූප ගැනීමේ හැකියාව වඩාත් ඔපමට්ටම් කර ගත්තේය. කරුමය, ඊට පස්සේ මනුස්සයා foto ගහන්නේ සොබා දහම් අසිරිය පෙන්වන එව්වා විතරක් වීමය! මගේ අවාසනාව නිසාද මන්දා, ඒ හාදයා වැරදිලාවත් ඒවා මට පෙන්වන්නේත් නැතිය!!
ඔය කෝන්තරය හින්දාය, මගේ පොත දොරට වැඩුමේ foto ගහන රාජකාරියට නෙවිල් උන්නැහේ බැහැයි කිව්වේ!

නලින් හිත හොඳින්; සද් භාවයෙන්ම කළ ඒ උදව්ව ..පදව්වක් වුණේ...

මාත් එයට බල කරන්නට නොගියේ, නෙවිල්ගේ කැමරාවට වඩා නවීන කැමරාවකින් ඡායාරූප ගනිමින් හිටි ‘අංකුර කැමරාකාරයෙකු’ නලින් ප්‍රියදර්ශන (එතකොට වෛද්‍ය සිසුවෙකුවූ නලින් දැන් ඔස්ට්‍රේලියාවේ  වෙසෙයි.) හිතවතා මට හඳුන්වා දුන් නිසාය. නමුදු, නලින් හිත හොඳින්; සද් භාවයෙන්ම කළ ඒ උදව්ව ‘පදව්ව’ක් වුණේ කවුරුන්වත් නොහිතූ-විරූ විදිහටය.

නියමිත දවසේ වෙලාවටත් කලින් ඇවිත් ඒ ‘ඡායාරූප ශිල්පියා’ හැට-හුටහමාරක් පින්තූර ගත්තේය. පොත් අලෙවියට තබා තිබුණු හැටි, පොල්තෙල් පහන් දැල්වීම්, පොත පිළිගැන්වීම්, දෙසුම් පවත්වන කථිකයන්.... ඒ හාදයා හතර අතේ දුවමින්; ඒ සේරම කාචයකින් සටහන් කර ගන්නවා පෙනිණි!
“කෝ මහත්තයෝ අර foto?” කියලා පස්සේ දවසක මං අහද්දී නං, ඒ ශිල්පියා මුලින්ම ‘ග්ලබ් ග්ලබ් ග්ලබ්’ ගෑවේය. කෙළ තළියක් ගිල උගුරකට තෙමා ගත්තේය.

“ම් ම් මං ලබ්බ්බන ස්සතියේ ග්ගේන්නං, නිමල් අයියේ!” කියලාත් කිව්වේය. අපරාදේ කියන්නට බැරිය. කියූ විදිහටම කළේය! අරගෙනත් ආවේය!!
Fotoවල වරුණේ අනෙක් දවසෙම කියමු, නේද?

මනාලයෙකු ලෙස සැරසීමේදී අඳින්නට පිළියෙලකොට තිබුණු වික්‍රමගේ මංගල ඇඳුම ඔහුගේ මළ සිරුරට අන්දවා තිබිණි. නුවරදී මිලදී ගෙන තිබුණු ඇඳුම්වලින් සරසා තිබුණු විල්මට්ගේත් සිසිලියානාගේත් මෘත කලේබරයන් තැන්පත්කොට තිබුණේ එක පෙළටය.

වැල නොකැඩී මළ ගෙදරට ඇදෙන සෙනඟ පෙළට තබා තිබෙන මළ සිරුරුවලට අවසන් ගෞරව දැක්වූහ.

රත් පැහැව ඉදිමී ගිය ඇගේ නුවන් නොකඩවා ගලන කඳුළැල්ලෙන්...

මාලතී පසෙකින් වූ පුටුවක වාඩි වී ඔහේ බලා සිටියාය. රත් පැහැව ඉදිමී ගිය ඇගේ නුවන් නොකඩවා ගලන කඳුළැල්ලෙන් තොර වූයේ නැත. හැඬීමෙන්ම හෙම්බත්ව ගිය යුවතියගේ දසුන කාගේත් නෙතට කඳුළු නැංවීමට සමත් වූවකි.

“පටාචාරාවට වෙච්චි විපත්තිය වගෙයිනෙ දෙයියනේ....”

“පූරුවේ කරපු කරුමයක්ම තමා ඔය නං පඩිසන් දීල තියෙන්නේ... මේ ආත්මේ කරපුවා නං නෙවෙයි.”

“පූරුවේ එව්වා නෙවෙයි බං....” එකියක් කටහඬ අඩු කළාය. “...හෙටානිද්දාම මේ වහලේ යටට එන්ඩ හදපු එකීගේ කාලකන්නිකම.... ඒ මූසලකම තමයි සිසිලියානාගේ පවුලටම විනේට හිටියේ. නැත්තං දෙයියනේ, මෙහෙම තුන් දෙනෙක්ම එක සැරේ මැරිලා යාවිය?”

සමහර ගැහැනුන් රහසේ කොඳුරන දෑ මාලතීටත් නොඇසුණාම නොවේ. චන්ද්‍රා එවැනි දේ ඇසුණත් නෑසුණාසේ සිටියාය. ඇය දිවිහිම් කොට පෙම් කළ මානවකයා අකාලයේ මරු වසඟ වී සිටියදී; ඔවුන්ගේම පියස්ස යට ඒ අප්‍රාණික දේහය වැතිර තිබියදී, කාටවත්ම බැන අඬගැසීම අශෝභන ක්‍රියාවකි. එවැනි කතන්දර ඉවසා සිටිය නොහැකි තැන කුසුමාවතීත් මළ ගෙදර කටයුතුවලට සහභාගි වූයේ අඩුවෙනි.

“කාගේවත් කඩුලු කතා හින්දා උඹලා මෙහෙට්ට වෙල ඉඳලා හරි යන්නේ නෑ කුසුමාවතියේ....රට්ටු මොනවා කිව්වත් විල්මටුයි, සිසිලියයි වෙනුවෙන්ම වුණත් අපි ඔය කටයුතුවලට කරගහලා කරන්ඩ ඕනෑ.... වික්‍රම පුතා ගැන අමතක කළත්!”

හමුදා මනාලයා දෙමවුපියන් හා මරුට බිලි වෙයි!

“මටත් ඇහැකිවට නෙවෙයි, මයෙ කට කොකියනවා අර බොන්ඩිලට දෙකක් කියන්ඩ..... මට කොච්චර කතන්දර කිව්වත් ඉවසතෑකි! මගේ බඩෙන් වදාපු එකී හූල්ල-හූල්ලා අඬා වැලපෙද්දී, ඒකිට කතන්දර කියනකොට කොහොමද කට වහගෙන එතැනම ඉන්නෙ? ඒකයි මං ගෙදර ආවේ....”

විටින්-විට වැලපෙමින්, වික්‍රමගේ ප්‍රාණය නිරුද්ධවී ඇති සිරුර අසලට යන චන්ද්‍රා එයට වැඳ වැටෙයි; හඬා වැටෙයි; ඊළඟ මොහොතේ සිහිසුන්ව ඇද වැටෙයි!
ඒ දකින මාලතීගේ වැලපීම වඩාත් දැඩි වෙයි.
රන් මැණිකාත්, කිරි අම්මාත්, චන්ද්‍රාගේ යෙහෙළියනුත් යුවතියන් දෙදෙනා අසලම සිටිමින්, ඔවුන් සනසාලන්නට කළ වෑයම් ගඟට කැපූ ඉනි සේ වූයේය.

********

විසි එක් දෙනෙකුට එකම තැනදී මරු කැඳවූ මාරක බස් අනතුර පිළිබඳ පුවත සෑම පුවත්පතකම පළවී තිබුණි.

‘මඟුල් ඇඳුම් ගන්නට ගිය හමුදා මනාලයා දෙමවුපියන් හා මරුට බිලි වෙයි!’ එක් පුවත්පතකින් වඩාත්ම උලුප්පා පෙන්වා තිබුණේ වික්‍රමගේ මරණය පිළිබඳවය. හඬා වැටෙන චන්ද්‍රාගෙත්, මාලතීගේත් ඡායාරූප පවා එහි විය. පිටු කිහිපයකම පළවී තිබුණු විස්තරත්, ඡායාරූපත් සහිත පුවත්පත දුටු අප්පෝ එය කාමරයේ සැඟෙව්වේය.

“මේ පත්තර වලව්වෙ හාමුදුරුවන්ට හෙම පෙන්නනවා නෙවෙයි!” ඔහු සිළිඳු මැණිකා ඇතුළු  පිරිසට තරවටුවෙන් කීවේය. ඔවුහු හිස නවා, අවවාදය පිළිගත් බව පෙන්වූහ.

මේ තත්ත්වයේ ඉන්න ලෙඩෙකුට ඒ වගේ කම්පනයක් වුණත් දරා ගන්න බැරි වෙන්න පුළුවන්!
“එක පාරට හිත ගැස්සෙන විදියේ දේවල් - දුක හිතෙන දේවල් එහෙම කුමාරිහාමිට කියන්න එපා. ගොඩක් සන්තෝස හිතෙන දේවල් වුණත් කෙළින්ම කියන්න නරකයි. මේ තත්ත්වයේ ඉන්න ලෙඩෙකුට ඒ වගේ කම්පනයක් දරා ගන්න බැරි වෙන්න පුළුවන්!” වෛද්‍යවරයා දී තිබුණු උපදෙස් අප්පෝ අකුරටම පිළිපැද්දේය; අනුන් ලවාද පිළිපැද්දෙව්වේය.

මාලතීගේ පවුලේ කිසිවෙකු හෝ මළ පුවත කුමාරිහාමිට දැන ගැනීමට ඉඩ නොලැබුණේ එහෙයිනි.

“අප්පෝ, අපටත් මළ ගෙදරට ගොඩ වැදෙන්න ඕනෑ....”

“කමක් නෑ.... පලයල්ලා. හැබැයි ඔක්කොමලම එක සැරේ නෙවෙයි. නැතිනං මැණිකේ බලාවි උඹලා බුරුත්ත පිටින්ම කොහෙද ගියේ කියලා... සැරේකට එකා ගානේ පලයල්ලා...”

මහ ඉහළින්; සංවිධානාත්මකව මළ ගෙදර කටයුතු සිදු වෙන අයුරු දුටු සිළිඳු මැණිකා විස්මයට පත් වූවාය. නව පණක් ලද එකියක ලෙසින් සිටි කිරි අම්මා බොහෝ දෙනෙකුට අවශ්‍ය උපදෙස් දෙමින් එහා-මෙහා ගියේ කඩිසර ගමනිනි.

“ඩිංගිරිට හදිස්සියේම යෝධ බල යෝධ වීරිය ලැබිලා වගෙයි මුදලිහාමි මල්ලියේ!”

“ඕවා ඔහොම තමා සිළිඳු මැණිකෝ... සේරටම වැඩිය හිත ලොකුය කියනවා නෙව... මේ වෙලාවේ උන්දා හිත දැඩි කොරාන ඔය ඉන්න ඉඳිල්ලම කොච්චර නං එකක්ද?”

“ඒක නේන්නං! වලව්වට ආරංචි වෙලා තිබ්බේ ඩිංගිරි නං අදද හෙටද දන්නෙ නැතිය කියලා... අනේ අප්පේ අන්තිමට වෙච්චි දේ... කවුද මෙහෙම එව්වා හිතව්වේ?”

වික්‍රම පුතාගෙ දෙවෙනි මනමාලයට තෝරාගෙන හිටිය ඉලන්දාරියා. හමුදාවෙමයි...

“පැහිච්ච ගෙඩි තියෙද්දී ඇට්ටි ගොබළු වැටෙනවා කියල කතාවටත් කියන්නෙ ඕක තමයි සිළිඳු මැණිකේ!”

“මොනව වුණත් මේ කටයුතු ටික නං අපූරුවට කෙරිලා තියෙන්නෙ....” සිළිඳු මැණිකා හාත්පස සිසාරා යන බැල්මක් හෙළුවාය.

“අපරාදෙ කියන්ඩ බෑ... ගම්මුත් ඔක්කොමලා වගේ ආවා. ඒත් ඉතිං ගමේමය කියලත් තව මළ ගෙවල් කීයක්ද මේ අල්ල-පනල්ලෙම... වික්‍රම පුතාගෙ යාළුවො තමයි, ගොඩක්ම වැඩ කරන්නේ.... චන්දන පුතාලා දැනුත් සොහොනට ගිහිල්ලා වළවල් කපන තැන බලන්ඩ!”

“ඒ කවුද මල්ලියේ?”

“වික්‍රම පුතාගෙ දෙවෙනි මනමාලයට තෝරාගෙන හිටිය ඉලන්දාරියා. හමුදාවෙමයි...”
මුදලිහාමි හා සෑහෙන වෙලාවක් කතා කරමින් සිටි සිළිඳු මැණිකා, වලව්වට ගෙන යාමට මදිය නොකියන්නට තොරතුරු පොදි බැඳ ගත්තාය.

“අනේ, මේ දැරිවියෝ දෙන්නා දකිද්දී නං පපුව හෝස් ගාලා යනවා!” ඈ යුවතියන් දෙදෙනාගේ සෝබර විලාසය දෙස බලා සිටියේ සංතාපයෙනි.

උපන් දා සිටම ආදරයෙන් තමාව හදා-වඩා රැකගත් සදාදරණීය දෙමාපියන් තවත් පැය කිහිපයකින් පසු, මිහිමව තුරුල්ලේ සදහටම නිදන් කෙරෙනු ඇතැයි දැනී මාලතීගේ ශෝකය අලුත් වී; නැවුම් වී තිබිණි.

මයෙ දූ ඩිංගිත්තක් හරි පේන්ඩ නොහිටියොත් ඔය මනුස්සයට සාංකාව වගේ...

කොතෙක් දැඩි බවක් පෑවත් විල්මට් යටි සිතින් වඩාත් ඇළුම් කළේ මාලතීටය. ඒ බව සෙස්සෝත් දැන සිටියහ. ‘අප්පච්චි ඉතිං නංගිට තමයි ඔක්කොම ගෙනැල්ල දෙන්නෙ’ යම්කිසි රස කැවිල්ලක් ගෙනෙන පියා එය නැඟණියගේ අතට දෙනු දකින වික්‍රම ළපටි වියේදී නිතරම නහයෙන් ඇඬුවේය.

“පිස්සුද පුතේ? පුතානෙ කවද හරි අප්පච්චිගේ නම ගෙනියන්ඩ ඉන්නේ... කෙල්ලො ඉතිං පිටට දෙන්ඩම හදා ගන්න අයනෙ...” එවැනි විටෙක සිසිලියානා පුතුගේ පැත්තට කතා කරයි. මාලතීට ඒවා හොඳහැටි මතකය.

“අප්පච්චි ඔය කෝච්චරවත් ගිනි පෙනෙල්ලක් ඉල්ලන්නේ ගින්දර ඕනෑවටම නෙවෙයි... මයෙ දූ ඩිංගිත්තක් හරි පේන්ඩ නොහිටියොත් ඔය මනුස්සයට සාංකාව වගේ... ඒකයි ගිනි පෙට්ටිය ළඟ තියාගෙනත් මයෙ දූට කියලා ගිනි පෙනෙලි ගෙන්නා ගන්නේ!” අප්පච්චිට ගිනි පෙනෙල්ලක් ගෙනගොස් දෙන්නට අදි-මදි කළ තමාට අම්මා පහදා දුන් හැටි මාලතීට මැවී පෙනෙයි.

‘එහෙව් අප්පච්චි! අද නිසංසලේ උඩුබැල්ලෙන් බුදියාන ඉන්නෙ ඇයි මයෙ රත්තරං අප්පච්චියේ..... ආයෙමත් මගෙන් ගිනි පෙනෙලි ඉල්ලන්නෙ කවද්ද බුදු අප්පච්චී.....’ මාලතී වැඳ වැටුණාය....

15 comments:

  1. අංකුරේ රීල් එක සාක්කුවෙ තියාගෙන ෆොටෝ අල්ලල වගේ.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න, ඊළඟ කොටසේ තියෙනවා වෙච්චි දේ සහසුද්දෙන්ම.

      Delete
  2. පොටෝවලට කෙළවුණ හැටි
    ග්ලබ් ග්ලබ් ශබ්දයෙන් දැනේ
    මරණ තුනෙන් හැඩෙව්වෙ ඇයි
    රටේ මහත්තයෝ අනේ

    ReplyDelete
    Replies
    1. කෙළවුණ විට ග්ලබ් කියලා
      තවම කියයි ඒ ගොබිලා
      foto ගහන පුරුද්දෙ නං
      හිණි පෙත්තට ඇත නැඟලා!

      96 පොත ලියද්දි
      රිය අනතුරු වගේ සිද්දි
      හිත කැළඹුව ගොඩාරියක්
      ඒව ගත්තෙ- හිත හඬද්දි

      Delete
  3. නෙවිල්ගේ photographer vest එක කොහෙන්ද?
    ක්ලාස් එකෙන්ම දුන්නද?

    https://www.pinterest.com/pin/105905028711648271/

    ReplyDelete
    Replies
    1. Pra Jay මහත්තයෝ, ඔයා හරි එක්කෙනාගෙන් ඔව්වා අහන්නේ.
      ජැකට් එක තියා ඔය foto එකවත් ඒ හාදයා මට පෙන්වලා නෑ. ඔය foto එක මට ලැබුණෙත් මැද ඉන්න පාලිතගෙ fb එකෙන්. (පාලිත දැන් වෙන ලෝකෙකට ගිහින් නිසා ස්තුති කරන්නැත්තේ.)

      link එක එව්වට ස්තුතියි. ෂෝක් කාටූන් ටිකක් තියෙනවා. මතුවට ප්‍රයෝජනවත් වෙන ටිකක් බාගත්තත් එක්ක!

      Delete
  4. පොටෝ ටිකට මොකද උනේ කියන එක ඊළඟ කොටසෙන් දැන ගමු.
    ඒ කාලේ නෙගටිව් එකක් සලාකා එකට දීලා පහුවදා පින්තුර ටික අරන් බලනකං හිතේ තිබුන ගින්දර ගැන නම් කියලා වැඩක් නැහැ.

    ReplyDelete
    Replies
    1. සෑම් මහත්තයෝ, මතකයිද ඒ කාලේ, ජුබිලි කණුවේ හිට නාග විහාරෙට යන පාරේ, වම් පැත්තේ තිබ්බ ලැබ් එක... (යන්තමට මතක හැටියට සේයා කලර්- මං හිතන්නේ 'සරසවි' එකෙන් කළේ!)

      Delete
  5. සෑහෙන්න දුකයි මේ හරිය, නිදි ගෑණු ලමයව අතරමං කරලම දැම්මනේ , ඒ වුනාට අප්පොගේ දුවද දන්නෙත් නැහැ

    ReplyDelete
    Replies
    1. ජීවිතේ කියන්නෙත් සැප-දුක දෙකේම සංකලනයක්නෙ අජිත් මහත්තයෝ.
      අහඹු දේවල්ම නෙව වෙන්නෙත්. මාලතීටත් වුණේ ඒකමයි.
      බලන්නකො වෙන දේ... දැන් පොතෙන් 2/3 විතරම ඔයාලා කියවලා ඉවරයි!

      Delete
  6. හෑගොඩ කෙනෙක්ගේ මීගමුවේ ගෙදරකට ගිහින් තියනවා. ෆොටෝග්‍රපි කෝස් එකක් කරන කාලේ 1980 හෝ 81.

    ReplyDelete
    Replies
    1. ලාල් හෑගොඩ කියන්නේ ෆොටෝග්‍රැෆි අංශයේ ප්‍රවීණ- පුරෝගාමී වින්සන් හෑගොඩ මහත්තයාගේ පුතෙක්. ලාල්ගේ සහෝදරයෙක් එංගලන්තයේ ඉන්නවා.
      ඒ පුතාලා දෙන්නම කවියෝ.
      මේ මොහොතේ මගේ මතකෙට එන්නෙ නෑ ලන්ඩනයේ ඉන්න කෙනාගේ නම. එයා කවි පත්තරයකුත් පළ කළා, 'ලන්ඩන් කවි' නමෙන්. අච්චු ගැහුවේ අපි.

      Delete
    2. ලාල් හෑගොඩ මහත්තයාත් 'කැමරා' නමින් පොඩි සඟරාවක් සංස්කරණය කළා.

      Delete
    3. Anura Hegoda - Lawyer in London

      https://uk.linkedin.com/in/anura-hegoda-5203227b

      http://www.dailynews.lk/taxonomy/term/368/all/2015-12-13

      Delete
    4. ඔය තියෙන්නේ...
      ස්තුතියි Pra Jay මහත්තයෝ!

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්