අකුරු මැකී නෑ

Monday, July 26, 2021

දාහතර වෙද්දී... - හයවෙනි කොටස

ඔයාලගේ සර්ලා මාරයිනේ...!

“මම තමුසෙලා දෙන්නටම අනුකම්පා කරන  හින්දා මේවා කාටවත්ම කියන්න යන්නෑ. රණවක, තමුසෙත් මේ ගැන කටක් අරින්නෙ නෑ, කා එක්කවත්. කවුරුවත් මේවා දැන ගත්තොත් අපේ ඉස්කෝලවලටයි ලජ්ජා.... බට්ටො, තමුසෙත් හොටු හූරලා දාලා මුහුණ හෝදගෙන ගිහින් කට්ටියට එකතු වෙනවා..... කාටවත් මේවා කියන්න තහනං.

හැබැයි රණවක, මීට පස්සේ බට්ටට කෙළවරේ පැදුරක නිඳා ගන්න දෙන්න එපා. තමුසෙගෙ ළඟින් නිඳි කරවා ගන්නවා!
එතකොට බලමුකො....”
 

“ඔයාලගේ ආනන්ද සර් මාරයිනේ!” දීඝායු එහෙම කිව්වේ ක්ෂේත්‍ර චාරිකාවට යන ගමන්ය; වසන්ත පවා නැති වෙලාවක් බලලාය. මගේ ප්‍රශ්නකාරී මුහුණ දැකලාද කොහේදෝ එයා ඒ ප්‍රකාශය කරන්නට හේතුවත් කිව්වේය.

“කෝ එයා ඔයාගෙන්වත් මගෙන්වත් මොනවත් ඇහුවද? රණවකයා කිව්ව කේලම විශ්වාස කරගෙන තමයි, එයා සේරම තීරණේ කළේ... මම කට වහගෙන හිටියේ ඔව්වා අවුස්සන්න ගියාම ඒකෙන් ලජ්ජා වෙන්නේ ඔයාට හින්දයි....”

මට කියාගන්නට තරම් දෙයක් හිතට ආවේ නැතිය.
“මම මේවා අහනවට තරහ වෙන්න එපා නිමල්.... ඔයාට ඊයේ රෑ මොනවත්ම දැනුණේ නැද්ද.... එහෙමත් නැත්තං බයට....”

මට නින්ද ගියාම සිද්ද වෙන මෙලෝ දෙයක් දන්නෑ.

ඒ දවස්වල මගේ නින්ද වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම ‘මර නින්ද’කි. (දැන් එහෙම නොවීම ගැන නං මට තරහය.) නිඳිමතෙන් ඉන්නා වෙලාවට මට ඕනෑ කරන්නේ කොතැන හෝ වැටී නිඳා ගන්නට විතරය. ඒ පුරුද්ද නිසාමය; 1976දී සිය දිවි නසාගත් අපේ තාත්තාගේ මෘත දේහය ගෙදර තබා තිබියදී මා ඒ පෙට්ටිය යටටවී නිදා ගත්තේත්. 

“මට නින්ද ගියාම සිද්ද වෙන මෙලෝ දෙයක් දන්නෑ දීඝ...”
“මීට පස්සේ එහෙම වෙන්න දෙන්න එපා... මං කියනවටවත්... අද ඉඳන් ඔයාට නිඳියන්න වෙන්නෙත් රණවක ඉන්න තැනමයිනේ.... සිහියෙන් ඉන්න.... කොයිකටත් හෙට උදේට නැඟිට්ට ගමන් සරම දිහා හොඳට බලන්න.... ආ... වැඩිය හොඳයි සුදු සරමක් නැතිව පාට එකක්....” දීඝායු කිව්වත් එහෙම කරන්නේ කොහොමද?
මට තිබුණේ සුදු සරම විතරය.

ක්ෂේත්‍ර චාරිකාව විදිහට අප කැන්දාගෙන ගියේ කොරටු කිහිපයක් පෙන්වන්නටය. බෝංචි, කැරට්, ගෝවා, රාබු වැනි දේවල් වගා කොට තිබුණු තැන්වලට නම් මගේ හිත ඇදී ගියේ නැත.
අපේ ගෙවල්වලට පහළින් තිබුණු කොටුවේ ආච්චිගේ ඕවිටේ උදලු ගාන්නට ගිය මට;
මීන සංහාරය කරන්නට පවා ගිය මට ඒ කොරටුවල විශේෂත්වයක් නොතිබීම අරුමයකුත් නොවේ.

ඒත් බාබටන් ඩේසි කොරටුව නං හොඳටම හිතට වැදුණේය.

කාණු බේරා, පිහිටි පොළොවෙන් තරමක් උඩට උස්සා හදාගෙන තිබුණු පාත්තිවලය, ඒවා වගා කොට තිබුණේ.

මල් වගාවේදී වුණත් එහෙමයි!

“දැක්කා නේද ඔයාලට අපිට කන්න ලැබෙන එළවලු වගා කරන විදිහ... එහෙම කරද්දී මේ ගොවි මහත්තුරු කොයි තරම් මහන්සි වෙනවද කියන එක.... මල් වගාවේදී වුණත් එහෙමයි. හරිම ඕනෑකමින් මල් වගාවත් කරන්නේ....” යායක් පුරා විහිදී තිබුණු මල් කොරටුවෙදී ගුරු මහත්මයෙක් අපට කීවේය.

“දැන් ඔයාලා සේරටම පුළුවන් මේ ගොවි මහත්තුරුන්ට ලොකූ උදව්වක් කරන්න. ඊට ඉස්සෙල්ලා මේ ගොවි මහත්තයා ඔයාලට ඉතාම වටිනා පාඩමකුත් කියලා දෙයි.... ඔයාලගේ ගෙදරවලත් බාබන්ඩේසියා පඳුරු දෙක-තුනක්වත් ඇතිනේ.... නේද? ඒවායේත් මල් වැඩි කර ගන්න පුළුවන් මේ ගොවි මහත්තුරු කියා දෙන ක්‍රමයට කළොත්! ඔන්න.... එහෙනං හොඳට අහගන්නකෝ...” සංවිධායක මණ්ඩලයේ තවත් කෙනෙක් කිව්වේය.

ගොවි මහත්තයා කතා කළේ ඊට පස්සෙය.

“මෙහෙමයි! මේ පොඩි මහත්තැන්ලට පේනවා ඇතිනේ, මල් පඳුරු දැන් සාරෙට හැදිලා තියෙනවා.... මේවා මෙහෙමම තියෙන්න ඇරියොත් අපිට ලබා ගන්න පුළුවන් වෙන්නේ මල් ටිකක් විතරයි. කවුරුවත් මල් මිසක, බාබන්ඩේසි කොළ අර ගන්නේ නැහැනෙ- සල්ලි දීලා... මේ මල් පඳුරුවල නාකි කොළ ගලවලා පඳුරු මුලට අව්ව වැටෙන්න දෙනකොට තමයි වැඩියෙන් මල් පිපෙන්නේ.....”

ඔහුගේ උදව්කාරයන් කිහිප දෙනෙකුම අපට ඒ මේරූ කොළ ගලවන විදිහත් පෙන්නා දුන්නේය. ඊළඟට අපි සියල්ලෝම ඒ මල් පාත්ති වටේ ඇණ තියාගෙන මේරූ කොළ ගලවන්නට වීමු.

ඒ අංගනාවට යවාපු පත්වීම් ලිපිය ආපහු කැඳවලා!

ආයෙමත් කියන්නට වෙන්නේ, ඒ වැඩවලදී කොල්ලොන්ගේ ගති-සුබාව කල්පනා නොකිරීමේ වැරැද්ද ගැනයි. කෙනෙකුට වැඩක් පවරන්නට කලින්, ඒ කෙනාට ඒ රාජකාරිය කරන්නට ඇහැකිද, එයාට ඒ රාජකාරිය ගැළපෙනවාද කියලාත් කල්පනා කරන්නට වෙනවාමය. ඒවා ගොඩාක් සිල්ලර කාරණාවල් විදිහටය සමහරුන් හිතන්නේ.

පන්සීය පනස් ජාතක පොත් වහන්සේ කියවලා තියෙන කෙනෙකුට නං; වරණ ජාතකය මතක තියෙන කෙනෙකුට නං මේ කාරණය කල්පනාවට එනවාට කිසිම සැකයක් නැත.

ඒ කතාවේදී, එක වැඩ බැරි; කම්මැලි බමුණු පුතෙකු නිසා පන්සිය දෙනෙකුට හීල වැරදුණු හැටි මතකයි නේද... ඒ අතීත උදාහරණයක්.
වර්තමාන sample එකකුත් ඕනි නං, හොඳම උදාහරණේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ අතිගරු  අග්‍රාමාත්‍යතුමාගේ අලුත්ම සම්බන්ධීකාරක ලේකම් තනතුරට කෞශි වෙඩිකාරාරච්චිව පත් කිරීම.... එතකොට රට්ටු කියපු කයි-කතන්දර!

දුම ඇවිත් තියෙන්නේ ගිනි පුපුරක්වත් තිබිලය කියලා මගේ මැටි මොළේට ආවේ අද; 2021 ජුලි 26 උදේ.
ඒ අංගනාවට යවාපු
පත්වීම් ලිපිය ආපහු කැඳවලා!

  බොරැල්ලේ  තරම දැනගෙන උඩ  පනිනූ
  ගොඩැල්ලේ තරම දැනගෙන ළිඳ  කපනූ
  කඩුල්ලේ     තරම දැනගෙන කද   බඳිනූ
  තමන්නේ     තරම දැනගෙන     දවසරිනූ
- කියන උපදේශ කාව්‍යය මං නම් නිතරෝම කල්පනාවේ තියා ගන්නවා.
ඒවායින් කවම-කවරදාකවත් වැඩක් මිස අවැඩක් වෙලා නෑ!

මක්කැයි හිනාවෙන්නේ? ජරබරාස් නෙවෙයි, ජර්බරාස්. Gerberas!!

ඉතිං, ඉතිං... මට නං හොඳටෝම විශ්වාසයි අර ගොවි මහත්තැන්ලත් එදා ජීවිතේටම මතක හිටින හොඳම පාඩමක් ඉගෙන ගන්න ඇතියි කියලා. උන්නැහේලා ආයෙමත් නම් උකුණන් ලවා ගල් අද්දවා ගන්න යනේකක් නැතිව ඇති!

දන්නවනේ, එදා විනාඩි තුන හතරක් යනකොටම අපේ කට්ටියට ඒ ‘කොළ ගලවන’ වැඩේ එපා වුණා වගෙයි.
සමහරුන් එක සැරේම කොළ තුන හතරක්, එක පොකුරට අල්ලලා ඇද්දාම බාබන්ඩේසි පඳුරම ඉදිරිලා එන හැටිත් මට පෙනුණා....!
ඒ විතරක් නෙවෙයි, පෙනුණේ. දඩි-බිඩියේ රහසින්ම ඒ පඳුර තිබුණු විදිහටම පසට යට කරන හැටිත්.....

දැන් නං එහෙ කොරටුවල වවනවා ඇත්තේ බාබන්ඩේසි නෙවෙයි. ජර්බරාස්! ....මක්කැයි හිනාවෙන්නේ? ජරබරාස් නෙවෙයි, ජර්බරාස්. Gerberas!!
වැඩි මල් අස්වැන්නක් දෙන; වඩාත් විසිතුරු; කපා ගත්තාට පස්සේ වැඩි දින ගණනක් තියාගන්නට හැකි ජර්බරාස් ඉස්සරහට ඇවිත් තියෙන එක පුදුමයක්යැ?

ඔය බාබන්ඩේසි කොළ ගවන කතාව කියද්දී, තවත් ඒ වගේම කෙරේමයක් ගැන කියන්න හිතුණා.

අවුරුදු දහයකට විතර ඉස්සර හොඳේ. (නෙවිල්ලගේ අම්මා වත්තේ හැදෙන කොළ-පලා ජාති ගස්-පඳුරු පිටින්ම ගලවලා මට එවනවා. 
“කොළ ජාති කන එක ඇඟට ගුණයිනේ ළමයෝ! ඔය ළමයා නං හැමදාම වගේ කොළ කැඳත් හදා ගන්නවනෙ....” කියලා නෙවිල්ලගේ අම්මා greensවල වරුණේත් කියනවා. හැබැයි එයා ඒවා එකක්වත් වළඳන කෙනෙක් නෙවෙයි.)

පැහුණු ගෙඩි කඩන්න ඕනි, නටුවට කොළ දෙක තුනකුත් අහුවෙන විදිහටයි!

අරහෙම පලා වර්ග එවන දවසක නෙවිල්ලගේ අම්මා මට එවල තිබුණා හීන් නාරං පැල දහය-දොළහකුත්, එයාලගේ වත්තේ තිබුණු නාරං ගස් යටින් මතුවෙලා තිබුණු. මාත් මොකද කළේ, අපේ හුණ්ඩු ඉඩමේ වුණත් අයිනේ තැන්-තැන්වලින් ඒවා හිටෙව්වා.

විශ්වාස කරනවද, දැන් අවුරුදු දෙක තුනක් තිස්සෙම අපේ ගෙදරට දෙහි ගෙනත් නෑ. හීන් නාරං ගස්වල හැමදාම ගෙඩි. එහෙම පලදාව ගන්න රහස හැමෝම දන්නෙ නැති නිසයි කියන්න හිතුවේ. පැහුණු ගෙඩි කඩන්න ඕනි, නටුවට කොළ දෙක තුනකුත් අහුවෙන විදිහටයි!
එතකොට අර කඩා ගත්තු තැනින් අලුත් රිකිලි ලියලල මල් හැදෙනවා. ගෙඩි වරන්නෙම නෑ.

ඉතිං, මල් කොරටුවලට ගියදා රාත්තිරියේ, අලුත් රිකිල්ලක පිපුණු නාරං මල් වගේ හිනාවක් හදාගෙන රණවක අපේ ළඟට ආවා.... පැදුරු එළන්න ලැහැස්ති වෙද්දී.  

“ බට්ටො උඹට මෙතැන!” දෙවෙනි පැදුරට එයාගේ කොට්ටය දමා ගන්නා අතරේම රණවක පළමුවෙනි පැදුර මට පෙන්නුවා.
මං කළේ ගස්සලා අහක බලා ගැනීමය.

“මොකෝ.... උඹට තැන පෙන්නන්න ආනන්ද සර්වම එක්කරගෙන එන්නද ඕනි?”

දීඝායු හිටියේ වෙනදා පුරුදු විදිහටම හත්වෙනි පැදුරේය; වාඩි වෙලාය; අපේ දිහාව බලාගෙනය. මට ඒ දිහාව බැලෙනවාත් එක්කම එයා ඇස්දෙකෙන් පෙන්නුවෙත්, රණවක පෙන්වන පැදුරමය.
මම කීකරු වීමි. එහෙම කළේ කරන්නට වෙනත් දෙයක් නොමැති බැවිනි.

යෞවනොද්ගමනය සිදු වෙද්දී ලිංගික ආශාවන් පහළ වීම අරුමයක්....

‘අනේ, දෙයියනේ.... අද නං මට මළා වගේ නින්ද යන්න එපා!’ කොට්ටයට හිස තියාගෙන මා ප්‍රාර්ථනා කළේ එහෙමය. ඒත්.... මොන දෙයියෙක්ද? ආයෙමත් මං ඇස් අරිනකොට එළි වෙලාත් අහවරය.

එතකොටත් දීඝායු පිබිදී ඉවරය. පැදුර හකුළා තියන පමාවෙන් මං ගියේ දීඝායු ළඟටය. ඊළඟට අප දෙන්නාම වැඩිය කවුරුන්වත් නැති ඉසව්වකට....
එහෙම කරන්නැයි දීඝායු මට කියලා තිබ්බේ කලින් දවසේ හැන්දෑවෙමය.
ඉස්සරින්දා ආනන්ද සර් කළා වගේම දීඝායුත් මාව හරවමින්; රවුමට කරකවමින් මගේ සරම පරීක්ෂා කළේය.

“අර පාහරයා!”
දීඝායු දත්මිටි කෑවේය. මටත් කඩා පැන්නේය..... “අච්චර කියලා තියෙද්දී, ඊයේ රෑත් තමුසෙ වෙනද විදිහටම, වගක් නැතිව නිඳා ගත්තා....?”

ඇත්තම ඇත්තත් ඒකය.
“නිමල්.... තමුසෙ සේරටම හපන්... දැන් වෙන කිසිම දේකට කලින් ඔය සරම හෝදලා දානවා.... දැන්මම...” දීඝායු කිව්වේ හංගා ගත්තේ නැති තරහවකුත් එක්කමය.

තවමත් මට ප්‍රහේලිකාවක්ව තිබෙන දෙයක් ගැන කියන්නට සුදුසුම වේලාවකි මේ.

යෞවනොද්ගමනය සිදු වෙද්දී ලිංගික හැඟීම් පහළ වීම අරුමයක් නොවේ. ඒ වකවානුවේදී යම්-යම් ලිංගික චර්යාවන්හි යෙදීමට ආශාවක් පහළ වීමත් පුදුමයක් නොවේ. මෙය මානවයාට මෙන්ම තිරිසන් සතුන්ටත් පොදු දහමකි. මෙලෙස වන්නේ ඒ ඒ සත්ත්ව සංහතියන් නොනැසී පවත්වාගෙන යන්නටය. 
ඒ නිසා රණවක වැනි මිනිස් සත්ත්වයන් අතරෙත් ලිංගික ආශාවන් ඇතිවීමේ අරුමයක් නැත. එහෙත් අනෙකාගේ කිසිදු අනුදැනීමක් නොමැතිව, සහයක් හෝ අනුබලයක් හෝ නොමැතිව ලැබිය හැකි තෘප්තිය කුමක්ද?

ඒ වැඩි දෙනෙකුගේත් පළමු නුවරඑළි ආගමනය එයයි.

ෂර්ලි සය අවුරුදු මා වෙතින් ලබන්නට ඇත්තෙත්, මෙදා රණවක ලබන්නට ඇති වින්දනයට වඩා ‘ඉහළ මට්ටමේ’ ආස්වාදයකි. වඩාත් සිඟිති වයසක සිටියා වුවත් එදා මා සිටියේ නින්දේ නොවේ... 

මෙදා... මා හිටියේ තද නින්දකය. ඒ විදිහට බලද්දී ‘රාගයෙන් ආතුර වූවෙකුට’ මළ මිනියක් සමඟ වුවද රමණය කළ හැකි වීමේ පුදුමයක් නැත!
‘කවුරුන් හෝ ළඟ ඇතැයි අප සිතන සතුට- ප්‍රීතිය- තෘප්තිය සැබවින්ම තිබෙනුයේ අපේම චිත්ත සන්තානය තුළද?’

ඒ නිසාමද විවිධ අයගේ ලිංගික රුචි-අරුචිකම් විවිධාකාර වන්නේ?
(විවිධ ලිංගික ආශාවන් ගැන ‘
පූජාවලියේ තිබෙන හොඳම උදාහරණය’ මීට කලින් ඔබට කියා ඇත.) මගේ මේ සිතුවිලි ගැන කතා කරන්නට වඩාත් සුදුසු තවත් ඉදිරියේදී ලියවෙන postsවලදී බව හැඟෙයි. (මේ පොස්ටුවෙදී කියවෙන්නේ මට දාහතර වෙද්දී වුණු දේවල් ගැනනේ.)

ඒ සංචාරය අතරතුරදීය මා ජීවිතයේ පළමුවෙනි වරට නුවරඑළියට පා තැබුවේ. සීතල මීදුමින් පිරුණු, තුෂර පිනෙන් නැහැවෙන නුවරඑළිය අප දුටුවේ මිහිබට සුරපුරක් ලෙසිනි. අපය කිව්වේ කොළඹ දිස්ත්‍රික්කයෙන් එහි ගොස් සිටි වැඩි සිසුන් පිරිසක් යන අරුතෙනි.

ඒ වැඩි දෙනෙකුගේත් පළමු නුවරඑළි ආගමනය එයයි.

“මේ තියෙන්නේ නුවරඑළියේ වික්ටෝරියා උද්යානය!” සර් කෙනෙකු කියනවා ඇසිණි.

එහිදී විනෝද වුණේ, කැනියන් ආගාධය නරඹන්නට ගියා වාගේ උජාරුවෙනි!

මතක් වෙද්දීත් හතර විලි ලජ්ජාවේ බැරිය.
“නුවරඑළියෙ තියෙන්නේ හග්ගල මල් වත්ත නේද...” අර සර්ගේ කතාව ඇසුණු එක ළමයෙක් මගෙන් ඇහුවේය.

“ඒක නේන්නං... සර්ට වැරදිලා වෙන්නැති... නැත්තං වික්ටෝරියා කියන්නේ හග්ගල මල් වත්තටමද දන්නෙත් නෑ...” පණ්ඩිතමානී වෙමින් මම කිව්වෙමි.

එදා වැරදිලා තිබුණේ මටය. හග්ගල මල් වත්ත තරම් සම්පූර්ණ එකක් නොවූවත්, නුවරඑළිය නගරය මැද්දෙම තියෙන්නේ වික්ටෝරියා උද්‍යානයයි. එදා අරුමයක්ව දුටු ඒ උයන කොතරම් ‘හිච්චි එකක්’දැයි හිතුණේ පසුව හග්ගල නැරඹුවාමය; පේරාදෙණිය මල් වත්තට ගියාමය.

මේ සැසඳීම ජනපද කල්‍යාණියත්, දිව්‍ය ලෝකයේ දිව්‍යාංගනාවත් සසඳන්නට නන්ද තෙරණුවන් කළ උත්සාහය වගේ එකක් නොවේ. ඇත්තම කීමක් විතරය.

ඒ දවස්වල ලංකාවේ ‘වන්දනා ගමන්’ මිස, දේශීය සංචාරක ව්‍යාපාරයක් කියලා දෙයක් තිබුණේම නැති තරම්ය. පළාත් සභා- ප්‍රාදේශීය සභා වගේ ආයතන තිබුණෙත් නැතිය. ඉතිං, ඒ කාලයේදී නුවරඑළියේ වික්ටෝරියා උද්‍යානය වුණත් හොඳින් නඩත්තු කෙරුණු, පවත්වා ගෙන ගිය එකකියි කියන්නට අසීරුය. (දැන් එහෙම නොවේ!)
නමුත් ‘හාවා හඳ දකිනවාටත් වඩා කලාතුරකින්’ trip ගිය, උපන් ගමෙන් පිටතට නොගිය අපට නම් එදා ‘වික්ටෝරියා උයන’ රාජකීය එකක්ම විණි!

ඒ ගමනෙදී අප ගිය තැන් කියන්නට වෙන්නේ මගේ ඡායාමාත්‍ර මතකයේ උදව්වෙනි.

අප එදා එහිදී විනෝද වුණේ, කැනියන් ආගාධය නරඹන්නට ගියා වාගේ උජාරුවෙනි!!

ඒ හැඟීම වඩාත් තීව්‍ර වුණේ, අපේ දිවාහාරයත් එහිදීම ගන්නට සංවිධානය කොට තිබුණු බැවිනි. අපේ හිතවතා වසන්තටත්, එතැනදී එයාගේ වාදන දස්කම් පෙන්වන්නට ලොකු ඉඩක් එතැනදී ලැබුණේය.
(බස් රියවලදීත් ගැහැනු- පිරිමි ළමුන් හිටියේ වෙන-වෙනමය.) උද්‍යානයේදී එහෙම නොවේ. සියල්ලන්ම එක පොදියට- එකට වටවීගෙනය, සිංදු කිව්වේ!

දැන්-දැන් මගේ ළතැවිල්ල තවත් ලියලයි. ඒ ගමනෙදී අප ගිය තැන් කියන්නට වෙන්නේ මගේ ඡායාමාත්‍ර මතකයේ උදව්වෙනි. අනේ, අර වැඩ සටහන් පොත වේයෝ නොකා තිබුණා නම්....
අනෙක් තැවුල, මේ විස්තර කියවන කිසිම කෙනෙකුගේ නෑ-හිත මිතුරෙකුවත් ඒ ගමනට එකතු වූවන් අතර නොවීමය. 
මං හිතාගෙන හිටියේම, මේ posts පළ වෙද්දී ඒ සිසු-සිසුවියන් 150 දෙනාගෙන් එක්කෙනෙකු ගැනවත් තොරතුරු හෙළි වෙතියි කියලාය!

ඒ විදිහට බලද්දී නිදිගෙ පංච තන්තරේ කියවන වැඩි දෙනා හැට පැනපු අය නොවේ.

ඔව්! ..... දැන් ආයෙමත් කොරෝනා නීති-රීති ටිකාක් විතර ලිහිල් වෙලාය. ගිහින් බලන්නම හිතෙයි. හමුවිය යුතු තවත් එක්කෙනෙක් සිටියි!

එදා තිබුණු බොහොමයක් නගර- වීදි දැන් හඳුනා ගන්නටවත් බැරි තරමට වෙනස් වීලාය....

ඩන්ස්ටන්ගෙන් නම් මොනම දෙයක්වත් අහගන්නට බැරි වෙනු ඇත.

එයාත් බුවෙනකබාව නියෝජනය කරමින් මේ ගමනට ගිහින් හිටි ළමයෙකි. අවුරුදු 25 කට විතර ඉස්සර, එයාලා පමුණුව පාරේම රෙදි කඩයක් කරන බව දැක්කෙමි. එහාට ගොඩ වැදී කමිසයකුත් මිලදී ගත්තෙමි. මුදල් ගෙවන්නට වුණෙත් ඩන්ස්ටන්ටය. මුදල් ගෙවා අවසානයේය, මං දැනෑඳුනුම්කම පෙන්නුවේ.
“මතකද.... අපි ඒ දවස්වල trip එකක් ගියා....”

‘මට එච්චර මතකක් නෑ!’ ලැබුණේ වියළි උත්තරයකි.

රාජාත් එහෙම කරයිද? රාජා තවම ඉන්නවාද නැද්ද කියලාවත් දැනගන්නට වෙන්නේ මහරගම හන්දියටම ගිහින් විපරම් කරලාය;
මහරගම ‘ආර්වින්ස් ටේලර්ස්’ ආයතනය තවම තියෙනවාද කියා සොයා බලලාය. ඊළඟ පෝස්ටුව කොටන්නට කලින් එහාට යන එක යනවාමය.....

ඒ වෙළෙඳ ව්‍යාපාරය තිබ්බොත්, රාජා හමු වුණොත්.... ඒ දෙකම වැටෙන්නේ ‘අනියමාර්ථයේ  අසම්භාව්‍ය ක්‍රියා’ ගණයටය. ඒවා හරි ගියොත්, මේ විස්තර ලියන මගෙත්- කියවන හිතාදර පාඨක ඔබෙත් වාසනාවය!

36 comments:

  1. //‘මට එච්චර මතකක් නෑ!’ ලැබුණේ වියළි උත්තරයකි//

    බොහෝ කලකට ඉස්සර, පොදු ආණ්ඩුවේ බස් එකක් යනවිට, පිටි පස්සෙ අසුනින් පුරුදු සිංහලෙන් කතාවක් ඇසුන නිසා බැලුව, පස්සෙ හිනාවෙලා කතා කලාම, ඔය වගේම වියලි උත්තරයක් ලැබුනා. වරදක් කියන්නත් බෑ, ගේම් කාරයොත් ඇති නෙව?

    ඒත් පාඩම ඉගෙන ගත්තා. මට ගල් ආඳා, ලිස්සන බස්සා කිව්වට, ඒ ඇයි කියල දැන් තේරෙනවා නේද?

    ReplyDelete
    Replies
    1. ඕවාට කියන්නේ අවුල් තියරි..

      Delete
    2. බස් ලීඩර් නමෙන් විතරක් නෙමෙයි වගේ. මතක වැඩි හරියක් බස් එකේ
      බස්තුමා තරම්ම ස්කිඩින්, ස්කේටින්, ස්කීන් විශේෂඥ නොවුනත් පලවෙනි රිඇක්ශන් විදිහටම ලිස්සන අය හුඟක් ඉන්නව.

      හැබැයි ඇත්තටම මතක නැති අයත් ඉන්නව. මං ගිය ඉස්කෝලෙ 10 පන්තිම 15ක් තිබුන. ඊට පස්සෙ අධ්‍යාපන, වෘත්තිමය, රැකියා ආයතන හුඟක හිටිය. ඉතිං ටිකක් පුරුදු වගේ පෙනුනත් කොහෙදි කවදා කොහොම හමුවුනාද කියල මතකනෑනෙ.

      Delete
    3. //මතක වැඩි හරියක් බස් එකේ//

      බස් මතක නං සෑහෙන්න තියෙනවා. බකුසු නාම්බා කාලෙ එකක යනකොට, ඉස්කෝල යුනිෆෝම් පිටින්ම හිටි නෑම්බියක් මගෙ අල්ල කැසුවා. මම මූණ බැලුවම. කෝපි මල් හිනාවකුත් දැම්මා. ඇයි දන්නෑ නේද?🤔

      Delete
    4. දැන් ඔය කස්ටිය දැලි ගාන්නෙ, අපි පොඩිකාලෙ ඉඳලම ආරක්සා කොරගත්ත චරිතෙ. කාගෙ වුනත් දරුවෙක් නෙව?

      Delete
    5. https://en.wikipedia.org/wiki/Hand_fetishism

      Delete
    6. හ්ම්..දැං තේරුනා හෑන්ඩ් පැටිස් නේද? ඒත් මට හොඳටම විස්වාසයි, මගෙ අතේ පැටිස් තිබ්බෙ නෑ කියලා.🤔

      Delete
    7. https://www.urbandictionary.com/define.php?term=pastriality

      Delete
    8. හුටා! මේ දැරිවි කුරුමාංන් අල්ල තියෙන්නෙ බකුසු කේක් එකට බැස්ටිය දෙන්න නොවැ?

      Delete
    9. https://www.ordercakefetish.com/

      Delete
    10. බකුස් හිංසනය
      බකුසා අපචාරය
      බකුසා අපයෝජනය

      Delete
    11. කියල තියෙන දේවලුයි, දීලා තියෙන linksවලට ගිහින් දැකපු දේවලුයි හින්දා අන්දොස් වෙලා; කොමිටල් වෙලයි ඉන්නේ!

      Delete
    12. හෑ? මාව නෙව අපයෝජනය කලේ. මට බය හිතුනා බොලං. ප්‍රාජේ උත්තමයා කිව්වැහෙ, අල්ල පහුරු ගාලා කිව්වෙ බඩගිනියි කියලද මන්දා?

      Delete
  2. https://en.wikipedia.org/wiki/Necrophilia

    https://en.wikipedia.org/wiki/Necrophilia_in_popular_culture

    ReplyDelete
    Replies
    1. ස්තුතියි Pra Jay linksවලට.
      ඇත්තමයි, මෙච්චර දේවල් දැනගෙන නෙවෙයි හිතලවත් තිබුණේ නෑ....
      රණවක ගැන ලියද්දී,'හුස්ම' film එක ගැන සඳහනක් කරන්නත් හිතිලා ලිව්වේ නැතිව හිටියා, ටිකක් අප්‍රසන්න නිසා.

      Delete
  3. උදේ පාන්දරම සරමේ තියන ලෝක සිතියම ආනන්ද (සර්) ට පෙන්නුවා නම් රණවකගේ හැටිත් එයාට දැනගන්න ලැබෙනවා .

    මට නිකමට වගේ හිතුනේ, බණ්ඩාරවෙල නැවතිලා හිටියානම්, නුවරඑළියට යනකොට, හක්ගල පහු කරගෙන යන්න එපායෑ. එතකොට ඒ තියෙන්නේ හක්ගල උද්‍යානය කියලා නොකිව්වේ මොකද? ළමයින් දැනගෙන හිටියේ නැති බව නම් පිලි ගන්න පුළුවන්. ඒත් ගුරුවරු??

    නානුඔයට කෝච්චියෙන් ගියා වෙන්න ඇති කියලත් පස්සේ හිතුනා.


    ReplyDelete
    Replies
    1. 1. අදටවත් ඒ පල්ලම ඇති කළේ රණවකමය කියලා ස්ථිරවම කියන්න බැහැනෙ.... ඒ තරම් තදට නින්ද ගිහින් තියෙද්දී එහෙම චෝදනා කරන්න හිතෙන්නේ නෑ. ඒත් අනුමාන කරන්න ඇහැකි.

      2. ඔයා හරි Sam.
      වැරැද්ද තියෙන්නේ ගිය අනුපිළිවෙල මට මතක නැති එකයි. අනෙක මං ලියන්නේ මට මතක තියෙන අත්දැකීම්නේ, හග්ගල මල් වත්තේදී වෙච්චි කිසිම දෙයක් මගේ හිතේ නෑ.... සමහර විට එතකොට වැස්ස තිබුණ නිසා, නමට විතරක් එහාට ගියා වෙන්නත් ඉඩ තියෙනවා.

      3. කෝච්චියෙන් එක්ක ගිය බවකුත් මතක නෑ. හැබැයි වෙන්න පුළුවන්!

      Delete
  4. මේකට කමෙන්ට් එකක් දාල ඉල්ලගෙන කනවද කියල බැලුවේ...

    ReplyDelete
    Replies
    1. ඉල්ලන් කන්නේ නෑ අපි අල්ලන් බොනවා විතරයි.

      Delete
    2. පුදන කොටම කාපි යකා, සොරි වැම්පරයා.

      Delete
  5. මං ඇවිත් කියවන්නැතුව ගියා. හෙට ඇවිත් කියවලා ම කමෙන්ට් එකක් දාන්නං.

    ReplyDelete
    Replies
    1. ආා දොරේ මොන ලබ්බකටද හෙට ? අද ආවා නම් අද

      Delete
    2. ඈ මෙන්න ඒ පාර කොමිටලයෙකුත් ඇවිල්ලා.

      Delete
    3. නැහැල්ලු!
      'අපෙ හිත්වල නෑ ක්‍රෝධේ - විහිලුවටයි විවාදේ' කියලා ජෝති-මිල්ටන් දෙන්නත් සින්දුවෙන්ම කිව්වේ...

      Delete
  6. ආාා... බයි ද වේ, ආං මං ඩබ්ලිව්. ඒ්. සිල්ව ගෙ "වෙඩිල්ල" කෙටිකතාව දැම්මා බ්ලොග් එකේ.

    ReplyDelete
    Replies
    1. අම්මට සිරි! ආං හොඳ වැඩක්!! බලන්නොනි.

      Delete
    2. වෙඩිල්ල වෙඩි වගේ කතාවක්!

      ඒකෙන් අලුත් වචනයකුත් ඉගෙන ගත්තා, 'කල්මලිය'. ස්තුතියි ඩ්රැකී.

      Delete
  7. හරි... කියෙව්ව. මට හිතෙන්නෙ අර රණවකයා කරපු කැත වැඩේ, ඒ උදේම ගිහිං අර තකතිරුවා, ආනන්ද කාරෙයට කියන්ඩ තිබුණෙ.

    ReplyDelete
    Replies
    1. අනේ උබේ මොලේ .. හිනෙන් බඩු ගියාමත් සරමේ සිතියම් ඇදෙනවා

      Delete
    2. හැක් හැක් ඒක ඇත්ත ඩුප්ලිකේටො බලාපං උබේ cloak එකේ සිතියම්

      Delete
    3. සෑම්ටත් කිව්වා වගේ එක එල්ලේම රණවකට චෝදනා කරන්න හිතෙන්නේ නෑ.... බොරු කියන්නය....

      කොමිටල් ඩ්රැකී කියල තියෙන දේත් වෙන්න පුළුවන් නේද?

      Delete
    4. කොමිටලයා මීටරේ, මේකාගෙන් පරිස්සං වෙයල්ලා.

      Delete
    5. නන්රි රොම්බ තැන්ක්ස් බස්සෝ

      Delete
  8. උඹව අපයෝජනය කරල තියනව වැඩියි බං . මට මාර දුකයි නිදි වෙලාවකට . කලින් එක කියවල ආවේ. අනුන්ට හිනා වෙන්න ලියන නිදි නේ මේ කියල.

    ReplyDelete
    Replies
    1. අජිත් මහත්තයෝ, ස්තුතියි!

      එහෙම අපයෝජනයට ලක් වෙලා තියනවා තමයි. ඒත් ඒ හැම දෙයක්මත් එක්තරා විදිහක අත්දැකීමක්. අනෙක ඒ එකක්වත් කුරිරුම; මාරාන්තිකම නොවුණු ඒවා වීම කොච්චර වාසනාවක්ද? මට හිතෙන්නේ ඒ පැත්ත ගැන.

      හිනාවට නං මං හරිම කැමතියිනෙ! දැන් ඒවා සේරම ගැනත් මතක් කරන්නේ සතුටෙන්. තව තියෙනවා මගේ කැත හිත ගැනත් අවංකවම ලියන්න.... ඉස්සරහට..

      Delete