පියාණන් වහන්ස, මේ කෙසේවූ දුක්පත් කමෙක්ද? නුඹ සුසුම් ලන්නේ....... |
සිරි සිදුහත් ගෞතමයන් වහන්සේ බුදු බව ලබා පස්වන සතියේ,
අජපල් නම් නුග රුක මුල වැඩ හිඳින වෙලාවේ ‘මාර දිව්‍ය පුත්‍රයා’ හිටියේ හෙණ අවුලකය.
තාත්තා ශෝක mood එකකින් බර කල්පනාවක ඉන්නා හැටි දැකලා, උන්නැහේගේ දූලා තුන්දෙනා
ඇහුවා “පියාණන් වහන්ස! මේ කෙසේවූ දුක්පත් කමෙක්ද? නුඹ සුසුම් ලන්නේ කුමන
ශෝකයකින්ද?” කියලා.
අම්මට සිරි! අද නම් නිදිට හොඳටම වැරදිලා!! එහෙමද හිතුණේ
උඩ ටික කියවාගෙන යද්දී.
එහෙමත් නැත්නං වෙසක් පෝය නිසා මේ පෝස්ටුවෙන්ම බණක් දේශනා
කරන්න යනවා කියලා හිතුවද?
නැහැ හිතවතුනේ, වැරදිලාත් නෙවෙයි, බණක් කියන්න යනවාත්
නෙවෙයි! මතකයි නේද මම ‘දොළහ වෙද්දී -5’ පෝස්ටුව නවත්තපු තැන......
මගේ මෙන්ම අන්‍යයන්ගේත් රුචි-අරුචිකම්, හැඟීම්, ආශාවන් ආදිය ගැන අවිධිමත් අධ්‍යයනයක් .............. |
‘.... ඉතින්, ජීවිතයේ අනෙක් හැම දේකදිම මගෙන් කෙරෙන
දෙයක් මෙතනදීත් කෙරුණේය. ඉගෙනීම! මගේ ආශාවන්; හැඟීම්; අන්‍යයන්ගේ ආශාවන්;
රුචි-අරුචිකම් හා හැඟීම් ආදිය පිළිබඳව අවිධිමත් අධ්‍යයනයක් මගෙන් සිදුවී ඇති බව මට
වැටහුණේ පසු කලෙකය ...............’
ඉතින් ඒ ගැන කියන්න; නියම තැනට එන්න තමයි මේ පාර කපාගෙන
යන්නේ... ඉවසිල්ලෙ කියවාගෙන යන්නකෝ, එහෙනම්.
‘....වසවත් මර කියනුයේ “දරුවෙනි! තෙපි නො දනු ද, මහණ
භවත් ගෞතමයා දශදහසක් සක්වළ දෙවියන් බලා සිටියදී මා මරා ලුහුබඳවා මා මුහුණ දැලි
ගාපී ය, දැන් මාගේ සතුරා බුදු ව ගියේ ය, මට වූ ලජ්ජා නො දනු ද, මාගේ ආත්ම රක්ෂාවට
තුබූ චක්‍රායුධය දක්වා දරුවෙනි! උදුරා ගත්තේ වේදැ”යි කී ය.'
ඔන්න- full story එක දැනගත්තු තණ්හා, රතී, රඟා තුන් දෙනා
පිය මහ රජාණන් වහන්සේ වෙනුවෙන් සටනට අවතීර්ණ වුණා. “තාත්තා බය වෙන්න එපා. අපි තුන්
දෙනා ගිහින් අපේ මායම්වලින් වැඩ පෙන්නලා, ඒ භවත් ගෞතමයන් පටලවාගෙන එන හැටි
බලන්නකෝ!” කෙල්ලන් කීවා.
අපගේ වසවර්ති දිව්‍ය ලෝකයට වඩා කාම භූමියක් ....... |
“පිස්සු කතා නොකර ඉඳපල්ලා. ඒ මනුස්සයා මහා බලවතෙක්,
දහිරියවන්තයෙක්, උත්තමයෙක්...” වසවර්ති මාරයාත් දූලාට මතක් කළා.
‘... එබසට දූ කියන්නාහු “ස්වාමිනි, අපගේ වසවර්ති දිව්‍යලොකයට
වඩා කාම භූමියක් නැති බැවු නො දන්නා සේක් ද, ජීවිතයක් ඇති පුරුෂයෙක් ඉදිරියේ
ඇසිල්ලෙක පෙනී ගියමෝ නම් ඔහු කාමයෙන් පොළඹාගැන්මෙහි අපට වඩා දක්ෂ වූ කාමාංගනාවෝ
කාමලොකයෙහි නැත්ම ය”යි මෙසේ පියාණන් ඉදිරියෙහි සිට වහසිබැණ....’ එහෙමයි පොතේ තියෙන්නේ.
එතැනදී නම් මාර දූවරුන්ට වැරදිලා කියලාත් හිතෙනවා.
මෙහෙ,
මනුස්ස ලෝකයේ තියෙන කාම සෙල්ලම් එයාලා හරියට දන්නේ නැතිවා වෙන්නැති.
එහෙම වුණත් අර කොටසට පස්සේ තමයි පූජාවලිය කර්තෘ තැන්පත් ‘මයුරපාද
පරිවෙණාධිපති බුද්ධපුත්‍ර ස්ථවිරයන් වහන්සේ’ගේ දැනුම් සම්භාරය ගැන පුදුම
හිතෙන්නේ.
වයස අවුරුදු 12 ඉඳන් 60 වෙනකල් එක-එක විදිහේ විලාසිතාවන් 600ක හමුදාවක්.......... |
ඔන්න එයාලගේ වැඩිමලා; ලොකු අක්කා නංගිලා දෙන්නට මෙහෙම
කියනවා.
'“නඟිනි, පුරුෂයන් ගේ සිත් නම් නොයෙක් ආකාරය. සමහර කෙනෙක් බාල ස්ත්‍රීන්
කැමැති වෙති, සමහර කෙනෙක් යෞවන ස්ත්‍රීන් කැමැති වෙති, සමහර කෙනෙක් වෘද්ධ ස්ත්‍රීන්
කැමැති වෙති, ඒ සිද්ධාර්ථ කුමාරයාගේ අදහස් නො වරදවා බලා ගනුම්හ”යි මන්ත්‍රණ කොට
ලා.
දොළොස් හැවිරිදි කුඩා කෙලි රූ සියයෙක, සොළොස් හැවිරිදි
පළමුවන යෞවනයෙහි සිටි ස්ත්‍රී රූ සියයෙක, එක දරුවන් ලද ස්ත්‍රී රූ සියයෙක,
දෙදරුවන් ලද උත්තම ස්ත්‍රී රූ සියයෙක, එක දෙ නර දුටු ස්ත්‍රී සියයෙක, විලිකුන්
කෙස් ඇති මැහැලි රූ සියයෙකැ යි මෙසේ සසියයක් වෙස් මවාගෙන “සිද්ධාර්ථයා අප පියාණන්
මුහුණ ගෑ දැලි අද පිස හරිමෝ ම ය, ඔහුගේ සිල් බිඳුමෝ මය”යි කිය කියා .....’
නිකමට හිතන්නකෝ, කොහොමද හාමුදුරු කෙනෙකුගේ දැනුම?
අවුරුදු 12 කෙලි පැංචියන් 100, අවුරුදු 16 යෞවනියන් 100,
එක දරුවෙක් ලැබුණු ගැහැනු 100, දරු දෙන්නෙකු ලැබුණු ගැහැනු 100, එක කෙස් ගහක්
ඉදුණු වයසේ ගැහැනු 100 විතරක් නෙවෙයි- කෙස්සම ඉදුණු වයසක ගැහැනු 100කුත්... මාර
collection එකක්නේ.
මොකටද මේ? බුදුරදුන් කාම පාශයේ පටලවාගන්න.
කොහොමද, බුද්ධපුත්‍ර ස්ථවිර පාදයන් වහන්සේ මේ තරම් සවිස්තරව මේ sex නැමියාවන් ගැන දැනගත්තේ? |
මට නම් හරිම පුදුමයි!
මයුරපාද පිරිවෙනේ බුද්ධපුත්‍ර හාමුදුරුවන් වහන්සේ මෙච්චර
analyse කරන්නට ඉගෙනගත්තේ කොහොමද?
උන්වහන්සේ දැනගෙන ඉඳල තියෙනවා ‘එක-එක පිරිමි එක-එක වයසේ,
එක-එක විදිහේ, එක-එක තරමේ අයටයි වහ වැටෙන්නේ’ කියලා. ඒකනේ එක category එකකින් 100
ගණනේ ස්ත්‍රීන් මවාගත්තේ. (හොඳ වෙලාවට ඒ කාලේ බාලාපරාධ නීතිය තිබිලා නැතිව ඇති.
එහෙම නීතියක් තිබ්බා නම් අවුරුදු 12 කෙල්ලන් ගැන කියවෙන එකක් නැහැ, මයෙ හිතේ.)
මගේ ජීවිතයේත් කඩයිම් කිහිපයක්ම පටන් ගත්තේ මට අවුරුදු
දොළහේදීය.
අවුරුදු දොළහේදී ‘දිට්ඨමංගලිකා කතා වස්තුව’ කියවෙන
තොරණක් තනා, අජාසත්ත නාට්‍යයෙන් රඟපෑම පටන් ගත්තෙමි. එයිනි මට අපේ පවුලේ බර කරට
ගන්නා ‘පේව්මන්ට් එකේ රජවෙන’ රැකියාවට මඟ පෑදුණේ.
බෙදුණු නිකටක් ඇති පියසිරිගේ සම්ප්‍රාප්තිය සිදු වුණේ....... |
මගේ හිතට (....හිතටද ජීවිතයටද කියන එක නම් තවමත් මට
අවිනිශ්චිතය... එහෙම කියන්නේ පියසිරි හා
බැඳුණු ඒ කතාවේ ඉතිරි කොටසකුත් පසුව කියවෙන්නට තිබෙන නිසාය.) සුවිසල් බලපෑමක් වුණු
පියසිරිගේ සම්ප්‍රාප්තිය සිදු වුණෙත් ඒ වසරේදීමය.
මගේ හදිසි නිහඬතාව හා ඔහුගේ
බලාපොරොත්තු කඩවීම නිසා පිටවුණු පියසිරිගේ කෝපාන්විත කියුමේ අරුත හොයන්නට ගොස්,
සමරේ සමඟින් ලිංගික සම්බන්ධයක් ඇති වුණෙත් ඒ වසරේමය.
හයටත් කලින් පෝස්ටුවලදී හෙළි කළ පරිදි, ළපටි
වියේදීම මා ෂර්ලි ගැටවරයා අතින් අපයෝජනයට ලක් වුණු මුත් ඒ ගැන වැඩි මතකයක් හෝ
බලපෑමක් හෝ මට නොවීය.
මෙය එහෙම නොවේ.
බටහිර රටවල කේන්දර- හඳහන් වැනි දේවල් ගැන වැඩි තැකීමක්
ඇත්තේ නැත. ඒත් සමහරු අංක විද්‍යාව විශ්වාස කරති. අපට ‘නවය නපුරු’ වුණාට එයාලාට
නපුරු 13 අංකයයි. ඒ අංක විද්‍යාවට අනුව කෙනෙකුගේ ජීවන අංකය; දෛව අංකය ඉතා වැදගත්ලු.
එය හොයාගන්නේ උපන් දිනයේ අංක සියල්ලම තනි අංකයක් ලැබෙනතුරු එකට එකතු කිරීමෙනි.
තවත් සමහරු නමේ ඉංග්‍රීසි අකුරුවලට දී තිබෙන අංක එකතු
කොට මේ ජීවන අංකය සොයා ගනිති.
එකිනෙකාගේ ලග්න අනුව නොයෙකුත් විග්‍රහයන් කියන්නාසේ දෛව අංකය අනුව........... |
අපේ ලග්නය අනුව කෙනෙකුගේ ගති-පැවතුම් කියනවා වගේම එයාලාත්
දෛව අංකය අනුව බොහෝ දේ කියති.
ඔවුන් කියන විදිහට නම් ‘කෙනෙකුගේ ජීවිතයේ වැදගත් දේවල්
සිදු වෙන්නේ’ මේ අංකයට සමාන ඓක්‍යයක්
ලැබෙන වයසේදීලු. එහෙමත් නැතිනම්
එකතුව ඒ අංකය ලැබෙන අවුරුද්දකදීලු.
මේ කතාවේ ඇත්තක් තිබේදැයි මම තවමත් සොයමින්
හිඳිමි.
උපන් දිනය අනුව මගේ දෛව අංකය 5 ය. නමේ අකුරුවලට දෙන සංඛ්‍යාවල
එකතුවට අනුව එය 3 ය. අංක 3ත් 5 ත් මට යම්කිසි බලපෑමක් කරනවා වගෙය.
හැම තිස්සෙම හැම මඟුලක්ම හොයන-බලන-විමසන නිසාද මන්දා, මට
හිටි ගමන් අපූරු දේවල් හම්බ වෙයි.
මට ගොඩක්ම වැදගත් දේවල් සිදුවී තියෙන්නේ අවුරුදු 12
දීය. 1+2=3 ය.
එයින් දිගු කලකට පසු මල්ටිපල් මයෙලොමා ලේ පිළිකා රෝගය
වැලඳුණේ අවුරුදු 57දීය. 5+7=12, 1+2=3.
තවත් දේ ඇතත්, මේවා සේරම අහඹු වෙන්නටත්
පුළුවන්ය..........
මේ ලියමින් සිටින අතරේ, 1966දී අපේ රටේ සිදු වුණු ඉතාමත් වැදගත් දෙයක් ගැන අද උදේ වාසිතය
බ්ලොග් අඩවියෙන් දැන ගත්තෙමි.
දේවේන්ද්‍ර මූලාචාරි තැනට විරුද්ධව රජුට ගතු-කේලාම් කියා කෙටවූවන් පැතූ ලෙසම මේ දක්ෂයාට ජීවිතයෙන්........... |
'.... නුවර දළදා මාලිගාව වෙත යන ඕනෑම අයෙකුට
විශේෂයෙන් ඇස ගැටෙන ස්ථානයකි පත්තිරිප්පුව. මෙය නිර්මාණය කළේ කීර්ති ශ්‍රී රාජසිංහ, රාජාධි
රාජසිංහ හා ශ්‍රී වික්‍රම රාජසිංහ යන රජවරුන් යටතේ සේවය කළ අති දක්ෂ ඉංජිනේරුවෙක්
වූ දේවේන්ද්‍ර මූලාචාරී විසිනි. පත්තිරිප්පුව සඳහා නම ලැබී ඇත්තේ පාර්තු (බලනවා) +
ඉරිප්පු (ඉඳගෙන) යන දෙමළ වදන් වලිනි. රජතුමාගේ පෞද්ගලික අවශ්‍යතා සඳහා දෙහිගම
දියවඩන නිළමේගේ අදහසකට අනුව අෂ්ටාස්‍රාකාරව පත්තිරිප්පුව සාදා ඇත......
මෙය 1812 වසර වන විට නිමවා
අවසන් කරන ලදි......
දේවේන්ද්‍ර මූලාචාරී පත්තිරිප්පුව පමණක් නොව
මඟුල් මඩුව,
මහනුවර වැව, ජය තිලක මණ්ඩපය, දිය අගල ආදී නිර්මාණ රැසක් කළ නිර්මාපකයෙකි. මේ නිසා ශ්‍රී වික්‍රම
රාජසිංහ රජු විසින් ශිල්පියෙකුට ලබා දිය හැකි උසස්ම ගෞරවය වන රජුගේ නළල් පටිය
දේවේන්ද්‍ර මූලාචාරී හට ලබා දී තිබේ.....’
එහෙමයි මිතිල ලියා තිබුණේ. එදත් අද වගේම ‘අහංකාර නම් රෝගෙන් පිස්සූ - තවමත් පෙළෙනව අපේ මිනිස්සූ’ හිටි නිසා
රජ්ජුරුවන්ට කේලාම් කියලා - කොටවලා මූලාචාරිතුමාට කරවපු විපත්තිය. ඒක ලංකාවේ
රජයට....
ඒ ටික කියවමුකො, මිතිලගේ වචනවලින්ම.
‘.... යටත් විජිත සමයේ දී පත්තිරිප්පුව
මහනුවර කච්චේරිය ලෙස ද භාවිත කොට ඇත. රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයා විසින් මෙය
කාර්යාලයක් ලෙස භාවිත කර ඇති අතර පසුකාලීනව සිරමැදිරියක් ලෙස ද භාවිත විය. පත්තිරිප්පුව
පුස්තකාලයක් ලෙසත් භාවිත වූ අතර 1966 දී මෙය තඹ සන්නසක්
මගින් ලංකා රජයට භාර දෙන ලදි....’
අපේ මිනිස් ගති මෙන්ම තිරිසන් ගති පිළිබඳවත් මේ අධ්‍යයනයේදී වටහා ගන්නට............. |
ඉතින් ඉරිසියාව; අහංකාරය ගැන විතරක් නොවේ; 1966 සිට පටන් ගැනුණු
මිනිස් ආශාවන්; චර්යාවන්; හැසිරීම් ගැන විමසිලිමත් වීම මට ගොඩාරියක් දේවල්
ඉගැන්නුවේය.
ඒ ඉගෙනගත් දේවල් අභ්‍යාස කරන නිසා; භාවිතයට ගන්නා නිසා මට බොහෝ දේ
ලැබිලාත් තිබේ.
අහවල් දේ යැයි උලුප්පා නොකීවත් ‘නිදිගෙ පංච තන්තරේ’ කියවූ ඔබට ඒවා
රහසකුත් නොවේ.
තවමත් මේ කියාගෙන යන්නේ ඒවාය.
පූජාවලිය පොතේදී බුද්ධපුත්‍ර ස්ථවිරපාදයන් වහන්සේ ‘මාර
දුහිතෘව’ගේ මුවින් පිට කළ වදන් කොතරම් සත්‍යද?
මම මා ඇසුරෙන් සිතන්නෙමි. අවුරුදු හයක් වෙන්නටත් කලින්
‘ෂර්ලි’ නිසා කාකි පාටට ඇතිවුණු ලැදියාව තවමත් එහෙමමය.
දොළහ වෙද්දී පියසිරි නිසා හිතට වැදුණු ‘බෙදුණු නිකට’ තවමත් මගේ හිතේ හොල්මන් කරයි.
අපේ තාත්තාගේ තර්ජනයට බයෙන්, කීකරුවී හිටි ගමන් පියසිරි
හා කතාබහ පවා නැවැත්තූ බව ඇත්තය. ඒත් ඔහු ගැන හිතන්නටවත් එපාය කියා තාත්තා මට
කිව්වේ නැත. එහෙම කළත්, කරන බව කාටවත් පෙනෙන්නෙත් නැත.
සහතිකය. ඒ දිනවල මා දුටු
ශෘංගාරාත්මක සිහින රැසක ඒ හාදයා උන්නේය!
මේ කියන්නේ ඒ දවස්වල සිදු වුණු හා සිදු
වුණු බව මට මතක දේවල් විතරකි.
හදවතත් මොළයත් දෙකම සමබර කරගෙන කඹයක යන්නාසේ මම ඒ පොරොන්දුව රැක්කෙමි....... |
නමුත් මම දැඩිව මගේ පොරොන්දුව රැක්කෙමි.
ඊට අවුරුදු 10
කට පසු 1976දී අපේ තාත්තා සිය දිවි නසාගන්නා තුරුමත් පොරොන්දුව
රැක්කෙමි. ඊට පසුත් අවුරුදු කිහිපයක්.... රැක්කා නොව ඉබේම රැකුණේය.
කැත ගැහැනියකගේ
පතිවත ඉබේ රැකෙනවා වගේ මා දුන් ප්‍රතිඥාවත් රැකුණේය.
1966න් පස්සේ පියසිරියෙක් අපේ ඉස්කෝලේ උන්නාද නැද්ද යන
කාරණයවත් මට වැදගත් නොවිණි. අහම්බෙන් හෝ ඔහුව දැක්කත් අහක බලා ගන්නටය මා පුරුදුවී
හිටියේ.
මට මතක හැටියට නම් යළි ඔහු මුණ ගැසුණේ 1983දීය.
පියසිරිගේ බෙදුණු නිකට එහෙමම තිබුණේය.
ආරෝහ-පරිණාහ සම්පත්තිය තවත් වැඩිවී තිබුණේය. මාත් එක්ක තිබුණු සියලුම තරහ-මරහ
අමතකවී තිබුණේය. මං මහරගමින් නැඟලා තිබුණේ ඔහු හිටි බස් එකකටය.
“බට්ටො... කොහොමද ඉතින්?”
“සැපෙන්, සනීපෙන් ඉන්නවා පියසිරි!”
මේ 1990 මරදානයි! එකල තිබුණු බසයකදීය මට පියසිරි යළි හමුවුණේ........ |
මගෙන් කියවුණේ තවත් කතා කරන්නැයි ඉල්ලන ස්වරයකිනි.
දැන්
තාත්තා නැත. තාත්තාට දුන් පොරොන්දුව රකින්නට ඕනැත් නැත. එතෙක් කල් හිතේ ඇනී- හිත
පාරමින් තිබුණු කටුව ගලවා දැමිය හැකිය. පියසිරිගේම ලියුම නිසා සිදු වුණු දේ ගෙඩිය
පිටින්ම ඔහුට කියා දමා හිත නිදහස් කරගත හැකිය.
එහෙත් වුණේ වෙනකකි.....
66 සිට 83 තෙක් අවුරුදු 17කි. එකම කතාවක ආ චරිත දෙකක්වූ
අප හමු නොවුණු කාලය තුළ කොතෙක් දේවල් සිදුවී තිබිය හැකිද?
පියසිරි ගැන නම් මා
දන්නේ නැතිය. මගේ ගැන කියනවා නම් කප්පරක් දේවල් සිද්දවෙලාය. 66 සිටි නොමේරූ දොළොස්
හැවිරිදි කොලුවා දැන්...... ඒවා නොකියා පියසිරි ගැන කියන්නට විදිහක් නැත.
ඉතින් දැන් කළ යුත්තේ, මේ කතාවට සමුදී- මගේ අනෙක් ජීවන
අංකය 5ටත්, මේ කතාවටත් සබැඳෙන තවත් කතාවක් පටන් ගැනීමය. කෙනෙකුට සොයා ගන්නට පහසුව
තකා මෙසේ වෙන් කොට ලියනවා වුණාට, මේ මගේ ජීවිතයේ එක සැඟවුණු පැති කඩක කතාවයි.
එතකොට මට අවුරුදු 14කි! |
එතකොට මට අවුරුදු 14කි. අවුරුද්ද 1968ය.
මෙයට සබැඳෙන ඉදිරි පෝස්ටුවේ නම: ‘දාහතර වෙද්දී....’ ය෴
චරිතාවලෝකනයක් මේ තරම් අවංකව කරන්න කෙනෙකුට විශාල ආත්මශක්තියක්, නිරවුල් මනසක්, ලෝකයාගේ ප්‍රතිචාර දෙස උපේක්ෂාවෙන් බැලීමේ (ඇතිකර ගැනීමට ඉතාමත්ම අමාරු) හැකියාව සහ තවත් උත්කෘෂ්ඨ ගුණාංග ගොඩක් අවශ්‍ය වෙනව. එහෙම තියෙන අයෙකුට ලිවීමේ හැකියාවත්, සාකච්චා වට බඳුන් කිරීමේ අවශ්‍යතාවයත් ඇතිවීම බොහොම අඩු සම්භාවිතාවක් සහිත දෙයක් කියලයි මට හිතෙන්නේ.
ReplyDeleteඒ නිසාම, සිංහල භාෂාවෙන් මෙවැනි කතිකාවක් ප්‍රසිද්දියෙ සිදුවෙන පළමු අවස්ථාව මේක කියල හිතෙනව. පාඨකයන්ව නව මානයකට ගෙනයාම ගැන ඔබට ස්තුතියි.
ගොඩාරියක් ස්තුතියි මහත්තයෝ.
ReplyDeleteබ්ලොගය ලියන්න පටන් ගනිද්දී 'ඇත්තම කියමි' කියන චේතනාව ඇතිවනේ පටන් ගත්තේ.
ඔයාලා වගේ මැදහත් සිතින් බලන අය ඉඳීවිද කියලා නම් පොඩි සැකයක් තිබ්බා. දැන් ඒකත් නැහැ! තවත් ෆිට්!!
හොදට පැහැදිව ගලා යන ආකාරයෙන් ලියල තියනව.
ReplyDeleteගොඩාරියක් ස්තුතියි Pra Jay!!!
Delete