li Item

Sunday, July 18, 2021

දාහතර වෙද්දී... - පස්වෙනි කොටස

කෙනෙකු දිදුලන්න; කැපී පෙනෙන්න; ජනප්‍රිය වෙන්න පටන් ගනිද්දී

... කැත හිතක් ඇති කර ගන්න හෙම එපා ඔන්න.
කාන්තා රසිකාවියන් කිව්වේ, කොළඹ පාසල්වලින් ගිහින් හිටිය සිසුවියන්ටයි. පෙනුණු විදිහට මගේ කතාව වැඩියත්ම වැදිලා තිබ්බේ එයාලට!

එහෙමයි එදා මේ නිමල් දිසානායක එක රැයෙන් නෙවෙයි; එක පැය කාලෙන් තරුවක් වුණේ.
ඊට පස්සේ වෙච්චි දේවල් කියන්නේ, එහෙම
තරුවක් වගේ දිදුලමින් දවස් කීපයක් ඉඳලයි. කමක් නැහැනෙ... කියලා ගියවර කොටසේ අන්තිමට මම කිව්වා. ඔන්න එහෙම ඉඳලා ආවා, දවස් කීපෙකට පස්සේ... 

ඉතිං, මං අර කිව්වා වගේ කෙනෙකු දිදුලන්න; කැපී පෙනෙන්න; ජනප්‍රිය වෙන්න පටන් ගනිද්දී එක-එක විදිහේ වාසි හම්බ වෙනවා. ඒ වගේම එක විදිහක අවාසනාවකුත් කඩා පාත් වෙනවා.
එයාගේ විවේකය අඩු වෙලා යන්න පටන් ගන්නවා;
පෞද්ගලිකත්වය සීමා වෙන්න ගන්නවා;
නිදහස නැති වෙලා යනවා.

මටත් වුණේ ඒ සංතෑසියමයි. අනෙඃ, නිකං ඉඳපන් නිමල්, මොකෝ... උඹටයි කියලා එහෙම වෙනසක් නොවෙන්න තමුන් මහ බ්‍රහ්මයාගේ මුඛයෙන් ඉපදිච්චි කෙනෙක්යැ. එහෙනං!

ඒකම නේන්නං මං කියන්න ගියෙත්.
විශේෂයෙන්ම අපේ තුන් යහළු කතන්දරේට වැදිච්චි හෙණපතේ ගැන! Trip එක යද්දී මට දීඝායු, වසන්ත එක්කලා, එක සීට් එකේ එකට වාඩි වෙලා යන්න තිබුණු ඉඩත් ඇහිරිලම වගේ ගියා.

පුංචි කථිකයා වුණු ගමන්ම සේසිරි මහත්තයා වගේ සංවිධායක මණ්ඩලේ උදවිය මාවත් බස් එකේ ඉස්සරහ සීට් එකකින් වාඩි කරවා ගත්තා. “නිමල් දන්නවද? අපි ඊළඟට යන්නේ අරහෙට.... ඊට පස්සේ මෙහෙට...” කියලා මට විස්තරත් කිව්වා, විශේෂ සැලකිල්ලක් විදිහට.
ඒ වගේම ඊළඟට ස්තුති කතාව කරන්න වෙන දිහාව ගැන දැනුවත් කරන්නත් පටන් ගත්තා.....

එක-එක විදිහේ එකම වයසේ; එකම පලෝලේ කොල්ලො-කෙල්ලො ගොඩාක් එකතු වුණාම අපායට යන්න වුණත්...

යන්නේ කොහාටද කියන එක නං අපට එච්චර ගණනක් වුණු; අමුතු දෙයක් වුණු කාරණයක් නෙවෙයි. ඒ වයසේ හැටි නෙව ඒ. අපට ඕනෑ වුණේ සතුටු වෙන්නයි..... එකම වයසේ; එකම පලෝලේ කොල්ලො-කෙල්ලො ගොඩාක් එකතු වුණාම අපායට යන ගමනක් වුණත් සතුටෙන් යතහැකිනෙ, වෙන මොනවද?  

අනෙක, කාට හරි ඒ යන-එන තැන් ගැන විස්තර දැනගන්න ඕනෑ වුණා නං ඒකටත් කරන්න තිබ්බේ එක වැඩයි. කාල සටහන පෙරළලා බලන එක.
අපි හැමෝටම ‘අපේ සංචාරයේ කාල සටහන’ක් දීලා තිබුණා. කාල සටහනක් කිව්වාට සමරු කලාපයක්!
ඒ කලාපයේ, ඒ ඒ දවසට අපිව එක්කගෙන යන්නට නියමිත තැන්- වෙලාවල් වගේ දේවල් පවා තිබුණා.

කවුද හිතුවේ අවුරුදු 53කට පස්සේ මේ විදිහට ඒ විස්තර ලියන්න පොටක් පෑදෙයි කියලා.

ඕනි වුණත්, නැතත් ඒ වගේ පැරැණි දේවල්- පත්තර කෑලි- පොත්- ලියුම් එහෙම ගොන්නක් මගේ ලටපට එකතුවේ තිබුණා. වේxා වේයෝ නිකං ඉන්න බැරිවට හිටි-හිටි ගමන් එහෙන්-මෙහෙන් මතු වෙලා ඒවා අනුභව කරනවනෙ. එහෙම වෙන වාරයක් ගණනේ අර ‘වටිනා සමරු සිහිවටන’ ගොන්නෙන් කොටහක් අහිමි වෙලා ගියා.
එහෙම උන්ට බිලි නොවී තිබුණා නම්... ‘ඒ සමරු කලාපය’ විතරක්ම වුණත් කොච්චර වටිනවද?

වේයන්ට හොඳ වැඩේ!

එහෙම කිව්වේ ‘මාතලන්’ බ්ලොග් අඩවියෙන් කියවපු comment එකක් මතක් වෙලා.

අනෙක් අතට වේයො නයින්ට හුඹස් බඳිනවා, නයි අහිකුන්ටිකයන්ට ඕන විදියට නටනවා...

‘.... නයි රජ කරන ලෝකෙ වේයො ඉන්නෙ හුඹස් බඳින්න විතරයි කියල තේරුම් ගන්න පුංචි වේයෙකුට කොහෙන්ද ලොකු මොළයක්...

වේයන් බොහොම වෙහෙසී කොහේ කොතන කොහොම හුඹස් බැන්දත් අන්තිමට නයෙකුට දී යන්න වෙනවමයි.. ලෝකෙ හැටි එහෙමයි පුංචි වේයෝ...

අනෙක් අතට වේයො නයින්ට හුඹස් බඳිනවා, නයි අහිකුන්ටිකයන්ට ඕන විදියට නටනවා... ඒක තමයි ලෝකෙ ස්වභාවය මාතලන්...’  

මාතලන් ලියා තිබ්බ ‘පින්තූරයේ දේශපාලනය’ post එකටයි ඒ කමෙන්ටුව එවලා තිබුණේ!

ඒ trip එකේදී අපිත් හරියට අහිකුන්ටිකයන්ට ඕනි විදිහට නටන නයි වගේ වුණා නේද කියලත්, මේවා කියවනකොට හිතෙනවා.
අපට කියන තැනකට යනවා... කියන වෙලාවට එනවා- කනවා -බොනවා... ෂෙඩූල් එකකට!

ඉතිං, එහෙම දවස ෂෙඩූල් කරලා තිබුණේ එදාම රෑ කීයට හරි- ආපහු බණ්ඩාරවෙලටම එන විදිහටයි. මං හිතන්නේ එයාලා අපට නවාතැන් සූදානම් කරවීමේ අමාරුව ගැන හිතන්න ඇති!

එහෙම එනකොට කාටත් හොඳටම මහන්සියි... හුඟ ළමයි මුහුණ-කටවත් හෝදා ගන්නෙ නැතිවම පැදුරට වැටුණා. කාගෙන් තහංචියක් කියලද?
අපි නං- ඒ කිව්වේ දීඝායුත්, වසන්තත්, මාත් කොහොම පැදුරුවල ඇල වුණත්, සෑහෙන වෙලාවක් වල්පල් කියවමින් හිටියා. අන්තිමට අපිවත් දන්නෙ නෑ එහෙම්ම නින්ද යනකල්.

වසන්ත හරිම ලස්සනට ඒක වාදනේ කළා. එයාලගේ ඉස්කෝලෙන්ම ඇවිත් හිටි තව ළමයෙක් මවුත් ඔර්ගන්එකක්...

මොකද, මාව එයාලගෙන් ඈත් වුණා වගෙමයි, වසන්තටත් දවල් කාලෙදී අපට කිට්ටු වෙන්න ඉඩක් ලැබුණෙ නැති තරම්. එහෙම වුණේ වසන්තගේ ‘බොංගෝස්පෙයාර්’ එක හින්දා. (ඒ වාද්‍ය භාණ්ඩයට වසන්ත කිව්වේ එහෙමයි.)

වසන්ත හරිම ලස්සනට ඒක වාදනේ කළා.
වසන්තලගේ ඉස්කෝලෙන්ම ඇවිත් හිටි තව ළමයෙක් ‘මවුත් ඔර්ගන්’ එකක් ගහන්න ගන්නකොටම, වසන්තටත් ‘කැඳවීමක්’ ලැබෙනවා. එයාටත් සිංදු කියන යාළුවන් ඉන්න- එතනට යන්නම වෙනවා.... බස් එකේ පිටුපස්සෙම සීට්වලට.

දීඝායුට නම් ගායනේ- වාදනේ දෙකෙන් එකකවත් හැකියාව දීලා තිබ්බේ නෑ, සරස්වතී දේවින්නාන්සේ! අනේ, ඉතිං දවල් දවසේ එයා බුවෙනකබාවේ යාළුවොත් එක්ක.... බස් එකේ මැද හරියේ!

එතැනදී මගේ ගැනත් කියන්න එපැයි.
එතකොටත් මම සිංදු කියනවා. තාලය නිවැරදිව කිව්වත්, ශ්රුතිය නං ටිකක් කැළේ යනවා (අදටත්). හැබැයි සිංදුව හොඳට මතක තියෙන නිසා, අර අඩුව මැකෙනවා වෙන්නැති.
නමුත් මගේ කටහඬ ඒ තරං ගැඹුරු- බර එකක් නෙවෙයි. ඉතින් බස් එකේ සමූහ ගායනාවලට මාව කැඳෙව්වේ නැතිම තරං.

ඔය සේරටම වඩා හපන් කාරණයක් තියෙනවා. මට වැඩියෙන් ආසා හිතෙන්නේ- හිතට වැදෙන්නේ මහා විකාර පරණ සිංදු. (මතකනේ මං විද්‍යාකර විද්‍යාලයේ සාහිත්‍ සංගමයේ රැස්වීමක් දවසේ රැස්වීම් ශාලාවේ හිටි සේරම ළමයින් ලව්වා ‘පුනගැයිය’ක් ගැයෙව්වා වහලේ උළු උඩ යවමින්....
එදා මං කිව්වේ ‘
ආයි ආයි ආයි ලොව කැරකෙනවා’ සිංදුව- දුප්පතාගේ දුක film එකට ‘ලතා වල්පොල’ ගැයූවක්....) මොකා එක්ක ඒ හද්දා පරණ සිංදු කියන්නද?

හැබැයි, ඒ සිංදුව අහලා බලන්න වටිනවා. ඒත් you tube එකේ නැති නිසා link එක දෙන්න විදිහක් නෑ. යූ බටේට පරණ ගීත ගොඩාක් සපයන I.G. බන්දුල මහත්තයාගෙන් අහලා යැව්වා ඒ ගීතය නැද්ද කියලා. ‘දෙන්නං’ කියලා උත්තර ලැබුණා.... එදාට link එක දාන්නං... ඔන්න බන්දුල මහත්තයෝ, තමුන්නාන්සේට දැන්මම ස්තුතියි කිව්වා!

ක්ෂේත්‍ර චාරිකාවක්ද... (මොන චාරිකාවක් වුණාම මොකෝ- කොහොම හරි රොත්තම එල්ලිලා....)

එයාලා කිව්වේ ‘සැළලිහිණි කොවුල්’, ‘යමන් බණ්ඩො’, ‘ඕලු නෙළුම්’ වගේ නැඟලා යන එව්වනේ... (නැඟලා යන්න පුළුවන් එකක් වුණත් ‘බයිසිකලේ බයිසිකලේ’ සින්දුවවත්, ‘බරබාගේ- බරබාගේ’ සින්දුවවත් එයාලා කිව්වේ නෑ! එතකොට හෙලිකොප්ටරේ ගැන සිංදුවක් තිබුණෙත් නෑ!!)

බුවෙනකබාවෙන් වගේම අපේ විද්‍යාකරයෙනුත් ගිහින් හිටි වෙනින් කවුරුන්වත් ඒ ගමනේදී එච්චර කැපී පෙනුණේ නැති විත්තිය කියන්නෙ නම් ටිකක් දුකෙන්... එයින් පහතට වැටුණේ මහරගමනේ....එතකොට මහරගම තිබ්බ ප්‍රධාන ඉස්කෝල දෙකෙන්ම ගිහිල්ලත්...

ඔහොම දවස් දෙකතුනක් ගියා.... පහුවදා අපට බස්වල යන ගමනක් තිබුණෙ නෑ. ක්ෂේත්‍ර චාරිකාවක් කියලද කොහෙදැයි කාල සටහනේ තිබුණේ...

ඉතිං එදා රාත්තිරියේ, පුරුදු විදියටම අපි පැදුරුවලට වුණා.
පුරුදු විදිහට කිව්වේ ඉස්සෙල්ලාම විද්‍යාකර කට්ටියගෙ පැදුරු හය. ඒ එක්කම බුවෙනකබා ඉස්කෝලෙ ළමයින්ගේ පැදුරු. ඊළඟට වසන්තලගේ ඉස්කෝලේ... පැදුරු දහ අටයි. ඊට වැඩියි පැදුරු පෝලිමේ දිග. මං මේ 18 විතරක් ගැනලා කිව්වේ ලේසියටයි, හොඳේ.
කියන්න යන කතන්දරේ ඔයාලගෙත් හිතේ ඇඳගන්න ලේසි වෙන්නයි.

පළමුවෙනි පැදුරේ රණවක.... හයේ මං... හතේ දීඝායු... අටේ වසන්ත. නවයේ ඉඳලා 13 වෙනකල් බුවෙනකබාවේ අනෙක් ළමයි.... මම කලින් කිව්වනේ බුවෙනකබාවේ හාදයන් වසන්තටත් අපේ ළඟට එන්න ඉඩ දුන් විත්තිය.

වෙනදා වගේම අපි තුන් දෙනා කතාවයි, හිනාවයි පටන් ගත්තා.... හෙමිහිට.

“මොකක්ද xත්තො අහන්නේ... තොට කිචිද?”
විනාඩි ගණනක් යනවත් එක්කම (වම් පැත්තේ) මගේ ළඟින්ම, පස්වෙනි පැදුරේ හිටි ළමයා පළමුවැන්නට ගියා. පළමුවෙනි පැදුරේ හිටි රණවක එතැනට; පහට ආවා. ස්ථාන මාරුවක්!

“මේ මොකද මේ?” මට කියවුණා.
“මොකක්ද xත්තො අහන්නෙ... තොට කිචිද?” රණවක ගෙරෙව්වා. “බලපියකො තොගෙ මහ ලොකු යාළුවට එහායින් ඉන්නෙ වෙන ඉස්කෝලෙක xකයෙක්! මම ඉන්නෙ අපේ එවුවො එක්කමනේ..... උඹට අමාරුයි නං ගිහින් කියපං ආනන්ද සර්ට.....”

රණවක ඒවා කිව්වේ මට විතරක් ඇහෙන්නට නොවේ. දීඝායුටත්, වසන්තටත් ඇහෙන තරමේ සද්දෙනි. දීඝායු එයාගේ වමතින් මගේ දකුණත තදින් මිරිකුවේය.
මිරිකලා පුළුවාාාාන් තරං හෙමිහිට මගේ කණට කෙඳිරුවේය. “පාඩුවේ ඉන්න නිමල්... ගෝරියට යන්නෙපා....”

උඩුබැල්ලෙන් වැතිරීගෙනම කල්පනා කරද්දීය, මටත් ඒ යෝජනාවේ නුවණැති බව වැටහුණේ. රණවක හදන්නේ රණ්ඩුවක් අවුළුවා ගන්නටය. පළමුවෙනි දවසේ රාත්‍රියෙන් පස්සේ කොල්ලා මගේ මුහුණවත් බැලුවේ නැත; හැබැයි, දීඝායුට මොකුත් කිව්වෙත් නැත. 
මේ හදන්නේ වෙනින් අංචියක් අදින්නට විය යුතුය.

කතා වෙලා කළා වගේ වසන්තත්, දීඝායුත්, මාත් නිහඬ වීමු. එහෙත් මගේ කල්පනාවන් නම් අනන්තයටම ගිහින්ය.
කල්පනාව මැද්දෙම මට නින්ද ගියේය.
මම කලිනුත් කියා ඇත්තෙමි. මොන තරමේ ප්‍රශ්නයක් ආවත්, දුකක්- වේදනාවක්- තරහක් ආවත්, ඒවා එකක්වත් මගේ නින්දට බාධාවක් නොවේ. එදාත් මට හොඳින් නින්ද ගියේය.

ඉදල වෙන කෙනෙකුට දීලා එනවා මෙහාට!

පසුවදා උදේ පාසල් බිම අතුගෑමේ රාජකාරිය පැවරී තිබුණේ දීඝායුත්, වසන්තත්, මාත් ඇතුළු පිරිසකටය.

ඒ ඒ දිනවල පාසල් බිම- කානු- ශාලාවන් ආදිය පිරිසිදු කිරීමේ රාජකාරි, සිසුන් එක්-එක් කණ්ඩායම්වලට බෙදා භාරදී තිබිණි.

ආනන්ද සර් මගේ ළඟට එනවිටත් මා සිටියේ ඉදලෙන් අතුගාමිනි!
ඒ වෙද්දී අපෙන් කිසිවෙකු මුහුණ-කට හෝදන්නටවත් ගිහින් තිබ්බේ නැත... “නිමල්... ඉදල වෙන කෙනෙකුට දීලා එනව මෙහාට.” ආනන්දයියා කීවේය. එයාගේ කටහඬේ තානය වියළිය; තෙතමනයකින් තොරය. ‘එකත් එකටම රණවක ආනන්දයියාට කේලමක් කියන්නට ඇති!’.
මම නිහඬවම ආනන්දයියා පස්සෙන් වැටුණෙමි.

ආනන්දයියා ගියේ ඈතින්වූ පාසල් ගොඩනැඟිල්ලකටය. ඒ හරියේ වැඩි පිරිසක් හිටියේ නැත. ඒ ශාලාවට ඇතුළු වුණු ආනන්දයියා ගුරු පුටුවක වාඩි වුණේය. “මෙහාට එනවා!”

“කොහෙද තමුසෙ ඊයෙ රෑ නිඳා ගත්තේ”
මං හිතුවා හරිය. දෙකක් නැත. ‘රණවක පර බල්ලා’ මොකාක් හෝ කියන්නට ඇති!

“වෙ... වෙ...වෙනදා තැනමයි ආනන්ද සර්!”
“කවුද තමුසෙගෙ ළඟින්ම නිඳා ගත්තේ?”

“රණවක...”
“ඒ පැත්තේ නෙවෙයි. මම ඇහුවේ අනික් පැත්තේ...” ආනන්දයියා සැරෙන් කිව්වේය.
මම ඇත්තම කීවෙමි. හංගන්නට- වසං කරන්නට තරම් දෙයක් නැති නිසාත්, වැරැද්දක් කෙරී නැති බව තහවුරු නිසාත් මට චකිතයක් දැනුණේ නැත. ඒත්....
‘ඒත් දීඝායු...! එයාත් වරදක් කර නැත. නමුත් වසන්ත නම් කර තියෙන්නේ වැරැද්දක් වීමට ඉඩ තිබේ!’ මට කල්පනා වුණේ එවිටය.

ඔය ඉස්කෝල ළමයි අස්සේ, අපේ රංජියාට විතරක් ජංගියක් ඇඳගෙන....

“කෝ බලන්න...” ආනන්දයියා කිව්වේය.

එයා එහෙම කිව්වේ මාව තරමක් කිට්ටුවට ගෙන, හොඳින් එළිය වැටෙන සේ මාව සිටුවමිනි. ඊළඟට ඔහු මාව කැරකෙව්වේය... රවුමට කැරකුවේය. එහෙම කරකවන අතරෙත්, ආනන්දයියාගේ ඇස්දෙක තිබුණේ මගේ යටිකය දිහාවට යොමු වෙලාය. මොනවද මේ මනුස්සයා බලන්නේ?
නැවතත් අර විධාන නිකුත් කෙරිල්ලක්...
“සරම බුරුල් කරලා ආයෙම ඇඳ ගන්නවා බලන්න!”

සරමක් කිව්වාට මං ඇඳගෙන උන්නේ නියමම සරමක් නොවේ.

ඒ වෙද්දීත් මං ගෙදරට ඇන්දේ කොට කලිසමය... හරියටම කියනවා නං ‘ජංගි’ය.

“ලීලා... trip එක ගියාම ඔය ඉස්කෝල ළමයි අස්සේ, අපේ රංජියාට විතරක් ජංගියක් ඇඳගෙන නිඳා ගන්න බැරි වෙයි.... හුඟක් අය පිජාමා එහෙම ගෙනෙයි මං හිතන්නේ. මේ මඟුල්වලට ගියාම ඕක තමයි වෙන්නේ... නිකම් ලජ්ජා වෙන්න වෙනවා.... කොහෙද ... කිව්වට ඇහුව එකක්ය.
ගෙදර නැද්ද බලනවා blue line පොප්ලින් යාරයක් දෙකක්... යාර එකහමාරක් නිකං කොටු කරල මැස්මක් දාලා දුන්න නං හරි යයි. ගමන ගිහින් ආවට පස්සේ ඔන්නං සරමේ මැහුම ලෙහලා කමිසයක් මහන්න ගත්තැකිනෙ!” අපේ තාත්තා එහෙම කිව්වාමය මට ඒ සුදු සරම ලැබී තිබ්බෙත්.

මම සරම බුරුල් කර ආයෙමත් ඇඳ ගන්නට වීමි.
“ඔහොම ඉන්නවා!” විධානයක් කරමින් ආනන්ද සර් මාව ළඟටම ඇද ගත්තේය. මාව පරඬැලක් විදිහට ඇදිලා ගියේ, සරම අත් දෙකින්ම අල්ලාගෙන හිටි නිසාය.
“මොකක්ද මේ?” ආයෙමත් ආනන්දයියා ගුගුරයි. එයා අහන්නේ මොකක් ගැනද... මමත් ආනන්දයියාගේ බැල්ම යොමුවී තියෙන දිහා බැලීමි!

යනවා... ගිහින් එක්කං එනවා අරූව.....

එතකොටය මාත් දැක්කේ.... සරමේ මඳ කහ පැහැයට හුරු ‘ලෝක සිතියම’කි.

“මොකක්ද මේ?” ආනන්දයියා අහයි. එහෙමත් මෝඩ ගහක්. ලජ්ජා නැතිව, ඒ ප්‍රශ්නයට උත්තර දෙන්න ඉදිරිපත් වෙන්නේ මොන මොට්ටයාද? යමක්-කමක් දන්නා එකෙක් නම් නොවේ.

‘නිදිගෙ පංච තන්තරේ’ දිගටම කියවූ කෙනෙකුට නම්, ඒ වෙද්දී එවන් දේ පිළිබඳව නිමල් දිසානායක තොත්ත බබෙකු නොවූ බව අලුතෙන් කිව යුතු නැත.

හයටත් කලින්’ පෝස්ටුවලදී කිව්වා වගේ ෂර්ලි වෙතින් මා අපයෝජනය කෙරුණේ මට අවුරුදු හයේදීය. ‘දොළහ වෙද්දී’ය, පියසිරිගේ ප්‍රකෝපකාරී විශේෂ යෙදුමේ අරුත’ වටහා ගන්නට සුදු මල්ලීගෙන් විමසුවේ. එතැනදී ඒ හාදයා මට ප්‍රායෝගිකවම ගොඩාරියක් දේවල් කියා දුන්නේය.
අවුරුදු දහතුනේදී අභී අයියා, භානු, භානු යාළු-1 ආදීන් වෙතිනුත් සල්ලම්වී හිටි මේ ලියන්නාට සරමේ තිබුණු පැල්ලම අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැත. එහෙත් එදා; ඒ වෙලාවේ මට තිබුණු ප්‍රශ්නය ඒ පැල්ලම මටත් හොරෙන් මගේ සරමට ආවේ කොහොමද යන්නයි.
ඊටත් වඩා, එවන් පැල්ලමක් තිබෙන බව කලින්ම දැනුවත්ව හිටියේ නැති නං ආනන්දයියා මෙච්චර සෝදිසියක් කරන්නෙත් නැති විය යුතුය.

මේ සේරම පස්සෙන් රණවක ඉන්නා බවට කිසිම සැකයක් නැත.

“යනවා... ගිහින් එක්කං එනවා අරූව.....” ආනන්දයියා චුට්ට වෙලාවක් කල්පනා කරමින් ඉඳලා තරහෙන් කීවේය.
“කාවද සර්... රණවකවද?” මම හීන් හඬින් ඇසුවෙමි.

“රණවක නෙවෙයි මිනිහෝ... මේ පැල්ලම හදපු එකා.... අර බුවෙනකබාවේ කොල්ලා. තමුසෙගෙ ළඟම නිඳා ගත්තේ....”

ඒක ඇහුණාමය මං ගල් ගැහුණේ!

අනේ! අසරණ දීඝායු චෝදනා සේරම අහගෙන හිටියේය; කර බාගෙන- ඔළුව උස්සා බලන්නේවත් නැතිව...
මගේ ඇස් දෙකෙන් කඳුළු වැක්කෙරෙන්නට පටන් ගත්තේය. ‘මේ මොන සහගහන කතාවක්ද?’ දීඝායු එහෙම කෙනෙකු වෙන්නට බැරිය. මට අද වුණත් ඕනෑම තැනක දිවුරා කිව හැකිය. දීඝායු එහෙම කෙනෙකු වීමට ඉඩක් නැත.....

එහෙම නං කෝච්චියේදී? .... නැත! තවමත් මට ගැටලුවක්ව ඉතිරිවී පවතින ඒ විස්තර කියන්නට වෙන්නේ තවත් පස්සෙය. දැන්ම නොවේ...

මං හෙළවුණේවත් නැත. හිටි පියේම හිටියෙමි, අඬමින්.
දෙන ඕනෑම දඬුවමක් මට දුන්නාවේ. ඒ අහිංසකයාව මෙතැනට කැන්දාගෙන ආ යුතු නැත.

“ආ රණවක... මෙහාට එනවා.... තමුසෙ ගිහින් අර කොල්ලට මෙහාට එන්න කියනවා...” ආනන්ද සර් එහෙම කියද්දීය මං දැක්කේ, රණවකත් ටිකාක් ඈතින් හිටගෙන; එබීගෙන සිටියි. අණ නිකුත් වෙනවාත් එක්කම රණවක පිටත්ව ගියේය....
දීඝායුවත් කැඳවාගෙන ආපහු ආවේය.

අනේ! අසරණ දීඝායු ආනන්දයියා කළ චෝදනා සේරම අහගෙන හිටියේය; කර බාගෙන- ඔළුව උස්සා බලන්නේවත් නැතිව; හිටි පිළිමයක් වගේ නොසෙල්වී අසාගෙන සිටියේය.
“තමුසෙලා ගෙවල්වලට ගියාට පස්සේ ඕනි කුදයක් ගහ ගන්නවා.... ඒකට කමක් නෑ. හැබැයි ඉතිරි දවස් ටිකේ මෙහෙදී, ආයෙමත් එහෙම මේ බට්ටා තමුසෙගෙ ළඟ නිඳාගෙන අහු වුණොත්.... එදාට මම නරක මිනිහයි කියන්න එපා...
එහෙම වුණොත් එදාට මම තමුසෙලගෙ සර්ටත් කියලා, ඉස්කෝලෙට ඇවිත් ප්‍රින්සිපල් සර්ටත් කියලයි දෙකෙන් එකක් බේරා ගන්නේ.... තේරුණාද?

කවුරුවත් මේවා දැන ගත්තොත් අපේ ඉස්කෝලවලටයි ලජ්ජා.... බට්ටො....    

ආනන්දයියා කරන දෝෂාරෝපණ සියල්ල අහගෙන ඉන්නවා මිස දීඝායු කතා නොකරන්නේ ඇයි? එවෙලෙ මාත් මොකුත්ම කියා ගන්නට බැරිව ගල්බීතවී හිටියා විතරය.
රණවක නම් ආඩම්බර බැල්මක් අපේ දිහාවට දාගෙන හිටියේ උජාරුවෙනි.

“මම තමුසෙලා දෙන්නටම අනුකම්පා කරන  හින්දා මේවා කාටවත්ම කියන්න යන්නෑ. රණවක, තමුසෙත් මේ ගැන කටක් අරින්නෙ එහෙම නෑ, කා එක්කවත්. කවුරුවත් මේවා දැන ගත්තොත් අපේ ඉස්කෝලවලටයි ලජ්ජා.... බට්ටො, තමුසෙත් හොටු හූරලා දාලා මුහුණ හෝදගෙන ගිහින් කට්ටියට එකතු වෙනවා..... කාටවත් මේවා කියන්න තහනං.
හැබැයි රණවක, මීට පස්සේ බට්ටට කෙළවරේ පැදුරක නිඳා ගන්න දෙන්න එපා. තමුසෙගෙ ළඟින් නිඳි කරවා ගන්නවා!
එතකොට බලමුකො....”

ඉතිං ඊට පස්සේ....

17 comments:

  1. //හැබැයි රණවක, මීට පස්සේ බට්ටට කෙළවරේ පැදුරක නිඳා ගන්න දෙන්න එපා. තමුසෙගෙ ළඟින් නිඳි කරවා ගන්නවා!//

    මේ කියන්නේ නරියට කුකුල්ලු බාර දුන්නා කියන එක නේද???

    විද්‍යාකර/බුවනෙකබා විද්‍යාල දෙක ගැන කියැවෙන හැම වෙලාවකම, මට ඔය දෙක ටැපලිලා වෙච්ච අලකලංචියක් මතක් වෙනවා.
    ඒක දිග කතාවක් නිසා පසුව ලියන්නම්.

    ReplyDelete
    Replies
    1. 1986/7 විතර කාලේ, මම යාලු වෙලා හිටපු ගෑනු ළමයා එක්ක ඉඳ හිටලා මහරගමට (චිත්‍රපටි බලන්න) යනවා. ඉන්පස්සේ බුවනෙකබා එක අසලම පරණ පාරේ තියන පිළියන්දල බස් නැවතුමෙන්ම බස් එකට නැගලා, මම එයාව පිළියන්දලට ඇරලලා එනවා.

      මේ කියන දවසේදීත් නැෂනල් හෝල් එකෙන් එලියට ආවිට මට මතක් උනේ, එදින අපේ තාත්තා විද්‍යාකර විද්‍යාලයේ ඉන්නා බවයි.( එකල අපේ තාත්තා ජ'පුරේ බාහිරව ඉගැන්වූවා. මේ කියන දවස් වල ජවිපෙ කලබල නිසා කැම්පස් වසා දාලා තිබුනා. ඒ උනාට හදිසියේම වාගේ, නවකයන්ට පැවැත්වෙන ඉංග්‍රීසි පාඨමාලාව විද්‍යාකර විද්‍යාලයේ පැවැත්වීමට කටයුතු යොදා තිබුනා)

      ආලයෙන් අන්ධ වෙලා පමණක් නොවෙයි මොළෙත් අංග විකල වෙලා හිටපු මට, එකවරම මතක් උනේ අපි බස් එකට නගින්නේ විද්‍යාකරේ ලඟින් (ඇත්තටම නම් ඒක බුවනෙකබා) කියලයි. මේ වැරදීම කිසිවිටකත් වෙන්න පුළුවන් දෙයක් නොවෙයි, මම දිනපතාම යන එන පාරේ තියන හොඳටම දන්නා ඉස්කෝලයක් නේ.

      මම දැන් යන්නේ විද්‍යාකරේ මග ඇරලා යනවා කියලා හිතාගෙන, විද්‍යාකරේ පැත්තටමයි. වැඩි දුරක් යන්න ඉස්සෙල්ලා අරයා මගේ අත මිරිකලා, "ඔන්න තාත්තා" කිව්වා. (එයා අපේ අම්මාගේ ගමේ ගෙදර අසලම නිසා, තාත්තා එයාවත්, එයා තාත්තාවත් හොඳින්ම දන්නවා.) එතකොට තාත්තා අපිට අඩි දහයක් විතර දුරින් අපි ඉදිරියට එනවා. මම පාර පැත්තටත්, එයා පේව්මන්ට් එක පැත්තටත් වෙන්වෙලා ගියාම, තාත්තා මැදින් ගියා. ආන්න එතකොට මට ප්‍රකෘති බුද්ධිය පහල වෙලා, අපි යන්නේ වැරදි මාවතේ කියලා තේරුනා. එතකොට වෙන්න ඕනෑ හරිය වෙලා ඉවරයි. පොලේ සෙනගයි, හෝල් එකේ ෂෝ එක ඉවරවෙලා එන සෙනගයි අතරේ අපිව තාත්තාට දකින්න ලැබුනේ නැති එක ගැන අපි බොහොම සතුටෙන් හිටියා.

      ඒ සිතිවිල්ල කොච්චර වැරදිද කියලා දැනගත්තේ මාසෙකට විතර පස්සෙයි. මගේ හොඳම යාලුවෙක් එයාගේ මගුලට බුලත් දෙන්න අපේ ගෙදර ඇවිත් තිබුනා. මම ගෙදර නොහිටපු නිසා තාත්තා එක්ක කතා කර කර ඉන්නකොට තාත්තා ඇහුවලු, අපේ ලොක්කටත් ගෑනු ළමයෙක් ඉන්නවා වගේ නේද? කියලා. එයා ඒකට කෙලින් උත්තරයක් නොදුන්න කොට තාත්තා කිව්වලු, "මම දැක්කා දෙන්නා නැෂනල් එකේ ඉඳලා එලියට එන සෙනග එක්ක එනවා. දන්නා අඳුනන මිනිස්සුන්ගේ ගෑනු දරුවෙක් හින්දා ඕවා දුර දිග ගෙනියන්න එපා කියලා යාළුවාට (මට ) කියන්න" කියලා.
      රෙදි ඉල්ලේ
      තාත්තාට නිවන් සුව.

      Delete
    2. මරු! හැබැයි දැන් පිළියන්දල බස් නවත්තන්නේ විද්යාකාරය කිට්ටුවනේ......

      Sam, ඔයාලගේ තාත්තා නම් හරිම බුද්ධිමත්ව එදා වැඩ කරල තියෙන බව කියන්නම ඕනි!

      Delete
    3. තාත්තා ඇත්තටම කල්පනාවෙන් ඉඳල ඔයා ගැන . හිතන කොටත් සතුටුයි නේද

      Delete
    4. අපොයි ඔව්! අපේ තාත්තාගෙන් තමයි මාත් මෙච්චර කල්පනා කාරයෙක් වුණේ.... තාත්තගේ අම්මයි- තාත්තයි දෙන්නමත් එහෙමයි. මාර මීටර්...

      Delete
  2. https://www.livescience.com/28697-bisexuality-jealousy.html

    ReplyDelete
  3. ගුරුවරයෙක් නොවූ ආනන්දගෙන්,නියම "කුකුළා" හඳුනා ගැනීමක් බලාපොරොත්තු විය නොහැක.

    ReplyDelete
    Replies
    1. ගුරුවරයෙක් උනත් එච්චර තමයි ඉතිං.

      Delete
    2. අනේ මන්දා... හිතාගන්න බෑ...

      Delete
  4. මේක මෙතෙන්ට අදාළම නෑ. ඒ උනාට,

    "වෙල්කම් ටු ජැමෙයිකා - හැව අ නයිස් ඩේ"

    මතක් වෙනකොටත් හිනා ලොක්කා...!

    ReplyDelete
    Replies
    1. ඔයිට සමානයි "මල්දෙණියෙ සිමියොන්" කතාව. කියහංකො ඩ්‍රැකෝ!

      Delete
    2. බෝ ඒ ගමන පින්තූරෙකුත් එල්ලගෙන ආවද? පල යන්ඩ!

      Delete
    3. අනන්නියතාව පෙන්නන කොට දොස් කියන්ඩ හොඳද මං අහන්නේ?

      Delete
    4. මොකෝ නරක? මේ ලොකු අයිය පැත්තකට වෙන්ඩ. මං මූ එක්ක දෙකෙන් එකක් බේර ගන්ඩ...!

      Delete
  5. මේ කතාව මිස් වෙලා කලින් එක බලල ආවේ. හපොයි උඹට වෙන වැඩ

    ReplyDelete
    Replies
    1. පහු වෙලා හරි කියෙව්වනේ අජිත්!

      මට මෙච්චර දේවල් වෙලා තියෙන්නේ බ්ලොග් එකට ලියන්නම වෙන්න ඇති!

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්