අකුරු මැකී නෑ

Monday, October 18, 2021

පහළොවේදී...- තෙවෙනි කොටස

අප දෙදෙනාම එකිනෙකාට එතරම් ප්‍රිය කළා විය යුතුය.

මගේ පව් අනුන්ට විකිණීමට අකමැති නිසාය, මා ‘සැවුළු සංහාරය’ක යෙදී අඩ සියයක් විතර කුකුළන්ගේ බෙලි කැපුවේ!

මේවා නැවත- නැවතත් මතක් කරන්නේ නිකම්ම නොවේ. මොන තරම් නසරානි වැඩ කළත් මා ඒවා කළේ ‘මගේම නීති-රීති සමුදායකට යටත්ව’ බව තහවුරු කරන්නටය.
පැටි වයසේදීම මා ඉගෙනගත් හැටියට ‘හොරෙකුට වුණත් ප්‍රතිපත්තියක් තිබිය යුතුය’.
 

ඔහොම දේවල් එකින් එක- වරින් වර මගේ ජීවිතයට එකතු වෙමින්ය; අද ඉන්නා නිමල් දිසානායක නිර්මාණය වූයේ. ඒ නිසාම කිව යුතු වන්නේ අද මගේ යම්කිසි යහ ගුණයක් තිබේ නම්, එසේ වීම වෙනුවෙන් ‘මගේම තද වැරදි ගණනාවකටම’ මා ස්තුතිවන්ත විය යුතු බවයි.

ඉතිං.... එදවස හැකි හැම වෙලාවකම මං හිටියේ දීඝායු හමු වෙමිනි. විශේෂ දෙයක් තිබුණා නොවූවත් අප දෙදෙනාම එකිනෙකාට එතරම් ප්‍රිය කළා විය යුතුය.

“ඔන්න මීට පස්සේ ඔයා කළුබෝවිල ඉස්පිරිතාලේ ළඟට යන ගමන ටිකාක් වේලාසනින් යන්න වෙනවා.” දවසක් දීඝායු කිව්වේය.
“ඒ ඇයි?”
“මාත් එනවා ඔයත් එක්ක....”

දීඝායුට කට ගන්නටවත් ඉඩක් මගෙන් ලැබුණේ නැත. “පච ගහන්න එපා! මම එච්චර මෝඩ නෑ.... ඔයාට වෙලාවක් තියෙනවද, එහෙම පැය ගාණක් මගෙත් එක්ක ඇවිත් ඉන්න?” මං ඇහුවේ කිසිම-කිසි ඉවසිල්ලක් නැතිවය.

“කවුද ළමයො කිව්වේ පැය ගාණක් ඉන්න කතාවක්.... ඔයාට පැය භාගයක් විතර කලින් එන්න පුළුවන් නම්, අපි දෙන්නට පුළුවන්, නාවින්නේ ස්ටේෂම ළඟට යනකල් පයින් යන්න කතා කර-කර.”
“හැමදාම?”
“හැමදාම නෙවෙයි නිමා... මම ටියුෂන් පන්ති යන දවස්වලට විතරක්...”

එතකොටත් අපේ ගෙදර ඔරලෝසුවක් තිබුණේ නැත.
දීඝ ටියුෂන් පන්තියකට යන්නට පටන් ගෙනය.

සතියකට දවස් තුනක් හෝ හතරක් හෝ අපට පහසුවෙන්ම හමුවීමට පොටක් පෑදුණේ එහෙමය.
එතකොටත් අපේ ගෙදර ඔරලෝසුවක් තිබුණේ නැත. කලින් කියා තියෙන විදිහටම, අප වෙලාව ගණන් තියා ගත්තේ කැලණිවැලියේ දුවන කෝච්චි අනුවය. හරියටම වෙලාව බලා ගන්නට ඕනි වුණාම නං කළේ
‘නුගේගොඩ ඇන්ටිලා’ ගෙදරට දුවන එකය. ඒ නිසා දීඝායුව හමු වෙන්නට කල්වේලා ඇතිව ගෙදරින් පිටත්වීම මට ගැටළුවක් නොවිණි. 

දීඝායු ‘දයාරත්න විද්‍යායතනය’ට සිසුවෙකු ලෙස ඇතුළත් වී තිබිණි. (දයාරත්න කියන්නේ මගේ නමකි. හැබෑ නම ගැන කිසිම මතකයක් නැත. තිබුණු තැන නම් හොඳටෝම මතකය.)

මහරගම, වත්තේගෙදර සිට හයිලෙවල් පාර ඔස්සේ නාවින්නට යන කෙනෙකුට නාවින්න දුම්රිය ස්ථානය දකුණු පැත්තෙන් පෙනෙයි. දුම්රිය පොළත්, හයිලෙවල් පාරත් අතර තිබුණු පාළු හිස් ඉඩමේ සිල්පර කොට තොගයක් ගොඩ ගසා තිබුණාත් මට මතකය. අනිත් හරිය වැසී තිබුණේ පොඩිසිඤ්ඤෝමරං පඳුරුවලිනුත් වතුපාලු වැල්වලිනුත්ය. ඒ හරියෙන් වම් පැත්තේ පල්ලමේ තිබ්බේ ඈතට විහිදෙන වෙල් යායකි.

අර පොඩිසිඤ්ඤෝමරං වනාතේ; පෝර මෝල වත්තේ දැන් තියෙන්නේ ආර්පිකෝ වෙළෙඳ සංකීර්ණයයි; වෙල් යායක් තිබුණු බවට ලකුණක්වත් නැත. එය පස් පුරවා, ගොඩකර ක්‍රීඩා පිටියක් තනලාය. දැන් එතැන බස් නැවතුමකුත් හදලාලු!  

ඊට ටිකාක් එහායින් තිබුණු ගොඩනැඟිලි පේළියේ පළමුවෙනි කාමරයේය, දයාරත්න ටියුෂන් කඩය පවත්වාගෙන ගියේ.
මේ ඉසව්ව කිහිප වාරයක්ම මගේ ජීවිතයටත් බලපෑම් කළේය.
‘දිව්‍ය අංගනි සේ මම සැරසී’ පෝස්ටුවලදී කියූ ටවර්හෝල් යුගයේ ගායක නළුවා; අබරන් මාස්ටර් මතකද? අපේ තාත්තාගෙන් මාව හදා ගන්නට ඉල්ලා ගත් සංගීතඥයා.... 
ඔහු රිය අනතුරකට මුහුණ දී මිය ගියෙත් මේ ටියුෂන් පන්තිය ඉදිරිපිට (පාරෙන් අනිත් පැත්තේ) ඉසව්වෙදීය. (අබරන් මාස්ටර්ට නිවන් සුව අත්වේවා!)
ඔහු එසේ වියෝවුණේ නැති නම් මගේ ජීවිත ගමන කොච්චර වෙනස් වෙන්නට ඉඩ තිබුණේද?

පෙමින් බැඳුණු දෙදෙනෙකුට කතා කරන්නට දේවල් කොච්චර තියෙන්නට හැකිද?

අපේ ගෙදරදී මිතුරු කැලක් හා එක්ව මධු විතෙන් සප්පායම්ව, ඥාති සහෝදරයාව පිටකොටුවට ඇරලවා එන්නට ගිය ‘නීතිඥ සම්පත්’ ‘මොළ කෑලි එළියට ඇවිත්’ අවසන් ගමන් ගිය රිය අනතුර සිදු වුණෙත්, මෙකී ටියුෂන් පන්තියට ටිකාක් මෙහාදීය. 

ඉතිං, අපේ කතාවට ආපහු එනවා නම්- එදායින් පස්සේ දීඝායු ටියුෂන් යන හැමදාමත් අපි හමු වුණෙමු. හමු වුණු වෙලාවේ සිට පන්තිය ළඟට යන තුරුම අපට කතාබහ කරන්නට දේවල් තිබුණේ කොහොමද? මට තවමත් පුදුමය...
(අපට එහෙම නම් පෙමින් බැඳුණු දෙදෙනෙකුට කතා කරන්නට දේවල් කොච්චර තියෙන්නට හැකිද?) කටකමසිරියාවක් නැතිව දොඩවන මගේ පුරුද්දත්, ප්‍රතිඋත්තර දීමේ බුහුටිකමත්- අපේ සංවාද එච්චර දිගට ගෙනියන්නට උදව් කළා වෙන්නැතිය.

දැන් නම් ඒ සේරෝටමත් වඩා වැදගත් තවත් කරුණක් වැටහෙයි!

ඒ තාක් කාලයකටම මට සහෘද මිතුරෙකු හමුවී තිබුණේ නැත.
කොතරම් දෙනා ඇසුරු කළත්; ඔවුන් හා සුහදව සිටියත්, මාත් හොඳ මිතුරෙකු නොවුණා විය යුතුය. හොඳ මිතුරන් ලබන්නට නම් ඉස්සෙල්ලාම තමන් හොඳ මිතුරෙකු විය යුතු යැයි දැනීමක් ඒ කාලයේ මට නොතිබිණි.

ටික දවසකින්ම ඒ ටියුෂන් පන්තියේ සිටි දීඝායුගේ මිතුරන් කිහිප දෙනෙක්මත් මා හා මිතුරු වූහ. එසේ මිතුරු වූවන්ගෙන් කෙනෙකි, ඩග්ලස්.
දැන හඳුනාගෙන දවස් දෙක තුනකින්ම ඩග්ලස් අපේ දුප්පත් ගෙදරටත් කඩා පාත් වුණේය. ඒ හදිසියේම වගෙය... මට තරු පෙනුණේ එතකොටය.
‘මේ යක්ෂයා මොකටද මෙහෙ ආවේ? මගේ මෝඩකම! ගෙවල් කොහෙද කියලා අහනකොට නොකියා ඉන්නයි තිබ්බේ.’ ඩග්ලස් අපේ තාත්තාගේ සම්මුඛ පරීක්ෂණයට අහු වුණෝතින් නම් මං කම්මුතුය!
එතෙක් කාලයක් තිස්සෙම දීඝායු ගැන මොනම දෙයක්වත් අපේ ගෙදර කිසිවෙකුට හෝ ආරංචිවී තිබ්බේ නැත... දැන්.... වැඩේ ‘වකූර්’ වෙන්නට යන පාටය.

ඩගීට තිබුණේ දේවදූතයෙකුගේ වැනි පෙනුමකි.

පෙර ගමන් යන විදිහට අඟවාගෙනය මං ඩග්ලස් ළඟට දිව්වේ.

“දෙයියන්ගේ නාමෙට වැඩි විස්තර එහෙම මොකුත් කියන්න එපා, අපේ තාත්තට..... ඔයා අපේ පන්තියේ ඉන්නව කියලා බොරුවක් විතරක් කියන්න... හොඳේ.” තොල් නොසෙල්වෙන විදිහට කට ඇතුළෙන් කියමින්ය, මං ඩගීව ගෙදරට කැන්දාගෙන ගියේ.

ඩගී මං හිතුවාට වඩා සූරයෙකි!

අපේ තාත්තා වංහුං අහද්දී ඩගී එකක්වත් පටලවා ගත්තේ නැත. ඒකා කිව්වේ ඇත්තද බොරුද කියලා මා අදටත් දන්නේ නැත. නමුත් දීඝායු ගැනවත්, ටියුෂන් පන්තිය ගැනවත් මොකුත්ම නොකියා ඉන්නට පරිස්සං වුණේය. ඒ සේරෝටමත් වැඩියෙන් පුදුමය වුණේ, ඒ හාදයා එක හමුවකින්ම අපේ තාත්තාගෙන් ලකුණු ගොඩාරියක් ලබාගෙන තිබීමය.

එහෙම වෙන්නට ඇත්තේ ඩග්ලස්ගේ ප්‍රියමනාප පෙනුම හින්දා කියලාය, මං හිතා ගත්තේ. ඩගීට තිබුණේ දේවදූතයෙකුගේ වැනි පෙනුමකි. වඩා උසත් නැති, වඩා මිටිත් නැති, පැහැපත් පෙනුමැති ඩගීට වඩාත් සිත්ගන්නා පෙනුමක් එකතු කළේ එයාගේ කැරලි ගැසුණු කෙස්සයි.

“ඕනිම ජගතෙක් හැරෙනකොටම මේ ගුණපාලට තේරෙනවා බං, මොකාටද එන්නෙ කියලා.... එහෙව් එකේ උඹලා කොහෙද මාව තම්බන්නේ....” වැනි වාගාඩම්බරවලින් අපට පුරසාරම් කියමින් හිටි අපේ තාත්තාත් එදා, ඩග්ලස් ගැන හොඳටම පැහැදිලාය.

ඔයා මට කියපු විදිහට මං ඔයාව බේර ගත්තා!

“අන්න ආස්සරේට හොඳ හාදයෙක්. කෙළින් කතා කරනවා..... වැඩිහිටියන්ට ගරුසරු කරන්නත් දන්නවා!” තාත්තා කිව්වේය. එව්වා නොවේ- මට නං වැදගත් වුණේ! මගේ හිතට වැදුණේ, අපේ තාත්තා එක්ක කෙරුණු දිගු පිළිසඳරේදී ඩග්ලස් දීඝායු ගැන මොකුත්ම නොකියා සිටීම විතරය.

ඒවා එකක්වත් නොකියවෙන විදිහට, සාර්ථකව අපේ තාත්තාගේ ප්‍රශ්න වැලට උත්තර දුන්නාය කියන්නේ ‘ඩග්ලස් නොම්මර එකේ දක්ෂ බොරුකාරයෙකු’ කියන කාරණයයි.

“ඔන්න නිමල්, ඔයා මට කියපු විදිහට මං ඔයාව බේර ගත්තා!
තාත්තා සැරයිද... මට පේන්නෙ නම් ඒ වගේ...” ඩග්ලස් පිටත්ව යද්දී ටික දුරක් පසු ගමන් යන අතර ඔහු මගෙන් ඇසුවේය. “හෙට tuition class එකේදී කතා කරමුකෝ....”

ඩග්ලස් එහෙම කියද්දී මගේ මුහුණ වෙනස් වුණාවත්ද? එහෙම නැත්නම් ඒ යක්ෂයාට එහෙම පෙනුණාවත්ද? “මොකෝ බය වුණේ... මාව විශ්වාස නැද්ද... මම යකෙක් නෙවෙයි හලෝ... ඔන්නං, මං ඔයාලගේ ගෙදර ආවා කියලවත් දීඝේ එක්ක නොකියා ඉන්නංකො... එතකොට හරිනෙ!”

මගෙන් මොනවාවත් නොකියවුණත්, උත්තරය මුහුණේ ලියවී තිබෙන්නට ඇති.
ඒ නිසාමදෝ ඊට පසුවදා දීඝායුට රහසින් ඩග්ලස් මගෙන් ප්‍රශ්නයක් ඇසුවේය. “ඇයි තාත්තාට දීඝායු ගැන හංගන්නේ? දීඝ...”
ඊට වඩා කියවෙන්නට නොදී නුරුස්සන බැල්මකින් ඩගීට සංග්‍රහ කළා මිස, මං ඒකට උත්තර දෙන්නට ගියේ නැත. ඒ බැල්මෙන් මට්ටු වුණ නිසාදෝ, ඩගී ඊට පස්සේ ඒ වගේ දේවල් මගෙන් අහන්නට ආවේ නැත.
මාත් ඩග්ලස් ගැන කිසිම දෙයක් දීඝායුට කියන්නට ගියේ  නැත.

මගේ අත අල්ලගෙන යනකොට...
ඒ අතරේම මරදානේ වසන්තත් ‘ඉලක්කම් භාෂාවෙන්’ අපට ලියුම් එව්වේය. ඒවා දීඝායුට කියවලා දෙන්නට සිදු වුණේ මටය. ලියුම අතේ තියාගෙන, පාරේ ඉස්සරහට යන ගමන් දීඝායුට ඇසෙන්නට ලියුම කියවීමය මං කළේ.

“ඔහොම ලියුම කියවන ගමන් ඇවිදින්න ගිහින් ඔයා බෙල්ල කඩා ගන්නවා, නිමල්.... දෙන්න, මට ඔයාගෙ අත. මගේ අත අල්ලගෙන යනකොට ඔයා පාර දිහා බලන්න ඕනි නෑ.... ආ! දැන් කියවන්නකෝ ලියුම!” මං වැටෙන්නට ගිය වෙලාවක දීඝායු මට කිව්වේය; මගේ අතිනුත් අල්ලා ගත්තේය.

ඒ මොහොතේ මට දැනුණු සතුට! සහනදායී හැඟීම!! ආරක්ෂාකාරී බව!!!

‘සහෘදයෙකුගේ අතින් අල්ලාගෙන යාමකින් පවා කෙනෙක් එතරම්ම්ම සතුටක් ලබති’යි ඔබට සිතාගත හැකිද? අපේ බිලිඳු වයසෙන් පසුව, අපේ අම්මා- තාත්තා දෙන්නාගෙන් එක්කෙනෙකුටවත් ‘දරවන් සිප වැලඳ තුරුල් කරගෙන’ සනසන පුරුද්දක්; ස්පර්ශ කිරීමේ පුරුද්දක් නොතිබුණු බව මා ඔබට කියා ඇත්තේ කලින්මය.   
ඉතිං, හැකි හැම විටකම ඒ නුහුරු සතුට ලබන්නට; දීඝායුගේ අතේ එල්ලීගෙන යන්නට මම පුරුදු වීමි. දීඝ එයට කැමති විණිද- නැතිදැයි යන්න මා සෙව්වේ නැත; තැකීමක් කළෙත් නැත.
එහෙත් ඔහු මගේ ඒ බොළඳ ආශාවට ඉඩ දුන්නා මිස කිසිදු බාධාවක් කළේ නැත.

“පාරේදී ලියුම කියවගත්තා කියමුකෝ නිමා. කොහොමද උත්තර ලියන වැඩේ කරන්නේ? ඔයාට බැරිද අපේ දිහාට ඇවිත් උත්තරේ ලියන්න.... මං දැන් අර පරණ ගෙදර ඉන්න හින්දා ලේසියිත් එක්ක... මොකෝ කියන්නේ. එහෙදි වසන්තට ලියමුද?”

‘එක සැරේට දහස් වාරයක් කැමතියි දීඝ!’ මං හිතුවා විතරය. කිව්වේ නැත.
මට තිබුණු එකම අවුල දීඝායුලාගේ ගෙදරට යාම සඳහා අවස්ථාවක් පාදා ගැනීමය.
දැඩි රැකවල් සහිතව, එක්ටැම් ගෙයක සිරකර සිටි උන්මාද චිත්‍රා කුමරියගේ ප්‍රේමය දිනාගෙන- පහසත් ලබන ඉඩක් පාදා ගන්නට දීඝ ගාමිණී කුමාරයාට හැකි විණිලු.

කාමුක සිහින වැලක අතරමං වෙමින් එහි ගියත්, ඒ එකම දවසකවත්....
හිත ඇතිනම් පත කුඩා නැත!

එහි යන්නට යෙදූ උප්පරවැට්ටි ගැන නම් මට මතක නැත. එහෙත් දහ-දොළොස් වතාවකටත් වඩා මං එහාට ගිය විත්තිය නම් මතකය. ඊටත් වඩා මගේ මතකයේ සනිටුහන් වී තිබෙන්නේ ඒ හැම වතාවකම මා ආපසු ආවේ පුංචි හිත් තැවුලකින් යුතුව බවයි.
මා කාමුක සිහින වැලක අතරමං වෙමින් එහි ගියත්, ඒ එකම දවසකවත් දීඝායුගෙන් කිසිම ‘අමුතු ඉඟිය’ක්වත් පළ වුණේ නැත.  ඒ ගැන ලියද්දී, අදටත් මට නොවැටහෙන ගැටලුව එයයි.... එහෙම නම් මේ යක්ෂ පැටියා පුංචි කෝච්චියේදී, මිතුරන් ඉදිරියේදීම මා සිප ගත්තේ ඇයි?

දීඝායුලාගේ ගෙදරදී ‘ඉලක්කම් භාෂාවෙන්’ වසන්තට පිළිතුරු ලියුවේ මා විසිනි. දීඝායු එයාගේ පණිවිඩ කියවන විට ඒවාත් ලිව්වේ මං වහන්සේමය.

එහෙම වෙලාවට තේ හදාගෙන එන සැමීත් ලියමනට එබෙයි. දීඝායු කියවන දේවල්වලට කන් දීගෙනත් සිටියි. ‘මොකටද නිමල් මහත්තයෝ, ඔය අමාරුවෙන් තටමලා ඉලක්කංවලින් ලියන්නේ....අපේ පොඩි මහත්තයා රහස්යැ කියන්නේ?’ වගේ පණ්ඩිත කතන්දරත් කියයි.

සැමීගේ එවන් කතාවලට ‘උත්තර නොදී සිටීම’ එතකොට මට පුරුදු වෙලාය. ඒ විත්තිය තේරුම් අරගෙන වගේ දීඝායු සැමීට තරවටු කරයි.

“සැමී, දැන් තමුසේ ගාණට වැඩියි... මම කියල තියෙනවා නේද අපේ කතාවලට හොම්බ දාන්න එපැයි කියලා!”
ඒත් එහෙම කියන්නේ හැබෑ කේන්තියකින් නොවෙන බව ඕනෑම ගොබ්බයෙකුට වුණත් පෙනෙයි. ‘ඕනි එකක් කියා ගත්තාවේ. මගේ මොකෝ!’ මටම කියා ගත්තත් මට මාවම රවටා ගන්නට ඇහැකිද? ඒත් අර දෙන්නා රවටන්නට උවමනා නිසා, මම ලියුම ලියාගෙන යන විදිහට රඟපාමි. පෑන විකමි; කල්පනාවේ ගිලෙමි; හිස කසන්නෙමි.....

ඒ මඟුලට හින්දු පූජකවරයෙකුත් ඇවිදිල්ලා වගේ...
2021 සැප්තැම්බර් 30 වෙනිදා මගේ ඇස ගැටුණු අපූරු පුවතක් මට මේ මොහොතේ මතක් වෙයි.

කැනඩාවේදී සිදු වුණු සමලිංගික විවාහයක්. දෙමළ ජාතික යුවතියන් දෙදෙනෙකුයි එලෙස විවාහවී තිබෙන්නේ. එකියක් ඉන්දියානු සම්භවයක් ඇති කෙනෙක්. අනෙකිය ශ්‍රී ලාංකික සම්භවය සහිත යුවතියක්. 

ඒ විස්තරයටත් වඩා මගේ ඇහැ ගියේ එතැන තිබුණු foto කිහිපයටයි.
විවිධ වයස්වල, විවිධ තරාතිරමේ නෑදෑ- හිතමිතුරන් ඒ මංගල්‍යයට සහභාගී වෙලා ඉන්නවා. එහිදී දමිල විවාහ චාරිත්‍ර සේරම වගේ ඉටු කෙරුණු බවකුත් පේනවා.

“අනුර, මෙහෙම වෙන්න පුළුවන්ද? ඒ මඟුලට හින්දු පූජකවරයෙකුත් ඇවිදිල්ලා වගේ... හින්දු අය, දෙමළ අය සිරිත් කඩන්න කැමති නෑ වගේ නේද?” මං අනුර ජිනදාස හිතවතාගෙන් ඇහුවා.

එහෙම කළේ මේ ලියාගෙන යන කාරණය ගැන ජ්‍යෝතිර් විද්‍යාව පැත්තෙන් කරුණු පැහැදිලි කිරීමකට මුල පුරන්නයි. අනුර මගේ හිතවතෙකු වුණේ ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ, තරුණ ජනගහණ කමිටුවේදී. මගේ පළමු එංගලන්ත ගමන ගැන හරියටම හරි ගිය අනාවැකියකුත් අනුර කිව්වා, 1984දී.
එතකොට අනුර ජ්‍යොතිෂය හදාරනවා. දැන් අනුර ඒ ‘ජ්‍යෝතිෂ මාවතේ’ ගොඩාරියක් දුර ගිහින්. දන්නවද? දැන් අනුර ජිනදාස කියන්නේ ‘ශ්‍රී ලංකා ජ්‍යෝතිර් විද්‍යාඥ සංගමයේ -ගරු ප්‍රධාන ලේකම්’.
 

“නිමල් දන්නවද, ඉස්සෙල්ලාම පෝරුව හැදුවෙත් සිරිතක් කඩන්නය කියලා.” මට උත්තර දෙමින්, අනුර එහෙම කිව්වාම මං උඩ ගියා කියලා කිව්වොත් තමයි හරි.

අනුර ජිනදාස කියන්නේ ශ්‍රී ලංකා ජ්‍යෝතිර් විද්‍යාඥ සංගමයේ ගරු ප්‍රධාන ලේකම්....(බිරිඳ හා දියණිය සමඟ) 

“ඒ මොකක්ද යකඩෝ ඒ කතාව?”

“සුද්ධෝධන රජ්ජුරුවන්ට ඕනි වුණා සක්විති රජ කෙනෙකු වෙන්න වාසනාව තියෙන පුතෙක් ලබන්න. ඒ එක්කම ප්‍රජාවක් බිහි කරන්න පුළුවන් පුත්තු ගොඩක් ලබන්නත්. ඔය දෙකම කෙරෙන්න නං බිසෝවරු දෙන්නෙක් ඕනියි කියලා බමුණෝ රජතුමාට කිව්වා. ඒකට අන්තඃපුර බිසවක් තියාගන්න කියන එකයි එයාලගේ උපදේශය වුණේ....

-එතකොටත් සුද්ධෝධන රජතුමා තීරණයක් අරගෙන ඉවරයි.

-පුණ්‍යවන්ත පුත්‍රයා ලබන්නට මහාමායාවනුත්, පුතුන් රැසක් ලබන්නට ප්‍රජාපතියත් බිසොවුන්නාන්සේලා කර ගැනීමයි රජ්ජ්රුවන්ගේ අදහස වුණේ. දන්නවනෙ, ඒ දෙන්නා සහෝදරියො....

-‘එහෙම වෙන්න දෙන්න බෑ! රජතුමා වුණත් ඔබට පුළුවන් එක බිසවක් පාවා ගන්න විතරයි. මේ මිහිකත උඩදී ජන සම්මත රජෙකුට චාරිත්‍රානුකූලව විවාහ කර ගන්නට පුළුවන් එක බිසොවක් විතරයි.’ කියලා අර බමුණෝ කිව්වලු!
‘එහෙනම් ඒ සම්මතය නොබිඳ -එහෙත් මාගේ අභිප්‍රාය ඉටු කරගත හැකි මඟක් සොයනු!’ කියලා රජ්ජුරුවෝ අර බමුණු පණ්ඩිතවරුන්ට challenge එකක් බාර කළාලු.” අනුර දිගටම කියාගෙන යන්න හැදුවත් මම බාධා කළා.

“ඒ කියන්නේ අනුර- ඒ කාලෙත් රජවරු නීති නවලා තියෙනවා තමුන්ට ඕනි විදිහට?”

එතුමා කේන්දර ලක්ෂයකට වඩා බලලා තියෙන ප්‍රවීනයෙක්...

අනුර ජිනදාස හිතවතා රජෙකුටත් වඩා හපනෙකි, උපාය දත් කෙනෙකි. “ඒක තේරුම් ගන්න එක නිමල්, අහගෙන ඉන්න කෙනාට බාර දෙයක්නේ.... මං කාලෙකට ඉස්සර කියවපු මහායාන සංස්කෘත පොතක ඉංග්‍රීසි පරිවර්තනයෙ තිබුණු කතාවක් කියාගෙන යනව විතරයි මේ....

ඉතිං, බමුණෝ යොදා ගත්ත උපාය තමයි, රජතුමාට පොළොවේ පය ගහගෙන නොඉඳ- මිටි රියනක් උඩින් ලෑලි තට්ටුවක් උඩ ඉඳගෙන බිසෝවරු දෙන්නා පාවා ගන්න හදවපු පෝරුව! එතැනිනුයි පෝරු හැදිල්ල පටන් ගත්තය කියන්නේ.”

ඒ විදිහට බලද්දී දූරාතීතයේ පටන්ම සිරිත් කැඩිල්ල සිදු වෙලාය. මගේ ප්‍රශ්න ඉවර නැත.

“එතකොට අනුර, උපන් වෙලාව බලලා කෙනෙකුට කියන්න පුළුවන්ද ඉපදිලා ඉන්නේ ගෑනු ළමයෙක්ද- පිරිමි ළමයෙක්ද කියලා.” මම ඇසුවෙමි. අනුර ජිනදාස හිතවතාගෙන් තනි වචනේ උත්තරයක් ලැබිණි. “බෑ!”

“එහෙනං ඔය කියන්නේ...”

“නිමල්, දාර්ශනික ක්‍රිෂ්ණමූර්තිතුමාය කියලා පටලවා ගන්න එපා. ජ්‍යොතිෂය සම්බන්ධයෙනුත් හොඳම විශේෂඥ උගතෙක් හිටියා ක්‍රිෂ්ණමූර්ති කියලා. එතුමා කේන්දර ලක්ෂයකට වඩා බලලා තියෙන ප්‍රවීනයෙක්... ජ්‍යෝතිෂය ගැන පොත් හයක්ම ලියල තියෙනවා.
එතුමා කියල තිබුණා ‘උපන් වෙලාව විතරක් බලලා ඉපදිලා ඉන්න දරුවා පිරිමිද ගෑනුද කියලා කියන්න බැහැ’යි කියලා.....” අනුර ජිනදාස ඉතාම ශාස්ත්‍රීය කාරණයක් මට පහදලා දෙන අතරේ මගේ ජඩ- නසරානි ගතිය ඉස්මතු වෙයි.

Post එකක් නැවත්වීමට කියාපු තැනක්!
හිතාදර පාඨක රසවතුන් කුතුහලය පිරුණු තැනකට ඇද දැමීමක්....!!
Comments ලියන සහෘදයනට උචිතම පරිසරයක්....!!!

ඒ එක්කම blogs ලියන අපේ හිතවතුන් වෙනුවෙන් කෙරෙන මගේ ඉල්ලීමත්ය, යළිත් සිහිපත් කරන්නේ!

සෙස්ස පස්සෙය....

44 comments:

  1. දැන් ලන්ච් වෙලාව, පස්සේ එන්නම්

    ReplyDelete
    Replies
    1. කාපු කෑම වමාරන එක හොඳ චාලිත්තරයක් නෙමෙයි. ඒත් ජීවිතේ වටිනව නෙව,චාලිත්තරේට වඩා. පුළුවන් නං පොඩ්ඩක් කැහැපන් මචං.

      - රොමාගෙ වාසනාවෙ කරෝලිස් අයියා-

      තාම ආවෙ නැති හින්දයි, බැලුවෙ?😊

      Delete
    2. විජේබාහු මහත්තයා විතරක් නෙවෙයි ටොමී, මාත් ආවේ දවස් හතරකට පස්සේ. පොඩි සංචාරේක ගියා!... ඉතිං ඉතිං..

      Delete
  2. අද වැල් වටාරම් අඩුය්. ගල්/කොලු කාරයො අත් අල්ලන් ගියාට අපි ඒ කාලේ ගියේ කරට අත දා ගෙන. අර ෆොටෝ එකේ ලව් කරන දෙන්නා ලග ඉන්න පොඩිඑකා කව්රු/මොනව හිතනවා වෙන්න පුලුවන්ද?

    ReplyDelete
    Replies
    1. පොඩි එකෙක්නෙ විජේබාහු මහත්තයෝ.යමක් තේරෙන වයසේ නං කියාවි 'තල තෙලට වේලේ - මී බෙටි කුමට වේලේ' කියලවත්.

      Delete
  3. අර කිව්වා වගේම, අද කතාව ලියපු රටාව වෙනස්ද? කිසි අමාරුවක් නැතුවම ඔක්කොම, දිගටම කියෙව්වා.🤔

    ReplyDelete
    Replies
    1. ලියාගන්න තියෙන වෙලාව, ඒ වෙලාවේ ඉන්න මූඩ් එක එහෙමත් ලියන එව්වාට බලපානවානේ ටොමී.

      Delete
  4. https://indianexpress.com/article/parenting/blog/storytelling-lgbt-themes-in-hindu-mythology-5273332/

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි Pra Jay මහත්තයෝ. මම මේ තොරතරු දැන හිටියෙම නැති තරම්.

      Delete
  5. ඔය ආර්පිකෝ එක ඉස්සරහ තිබුණෙ කුණු කණ්දක් නේද? ඒක තමයි තුනී කරල පස් පුරවල ඔතන පිට්ටනිය හැදුවෙ කියලයි මට මතක.

    ReplyDelete
    Replies
    1. හරියට හරි ප්‍රසන්න. හැබැයි ඒ කුණු කන්ද හැදුණේ අර වෙල් යායට කුණු ගොඩ කරන්න ගත්තට පස්සේ. නැතිනම් හයිලෙවල් පාර අද්දර රූස්ස මාර ගස් පේලියට යාබදව පල්ලමේ සිටම තිබ්බේ තඩි වෙල් යායක්, වත්තේගෙදර පාර කෙලවරේ විට නාවින්න පැත්තට යන ගුරු පාර තෙක් දිවෙන.

      Delete
  6. එතකොට පෝරුව කියන්නේ වංචාවක්/බොරුවක් වෙනුවෙන් හදාපු දෙයක් නේ. ඒක උඩට නැගලා කසාද බැඳලා මේ තරමින් වත් පණ බේරාගෙන ඉන්නවා හොඳටම ඇති.

    අපි කරන සමහර චාරිත්‍ර වාරිත්‍ර වල ආරම්භය සමහර විට ඊට කොහෙත්ම අදාළ නැති දෙයක් වෙන්න පුළුවන්. මෘත දේහයක් ආදාහනය/භූමදානය කරන්න කලින් වල/චිතකය වටේ රවුම් තුනක් පැදකුණු කරන්නෙත් මියගිය තැනැත්තා මළ යක්ෂයෙක් වෙලා ආපහු ගෙදර හොයාගෙන එනකොට පාර හොයා ගන්න බැරිවෙන්නයි කියලා තමයි මම අහලා තියෙන්නේ. ඇත්තටම නම් ඒක මියගිය තැනැත්තාට කරන අගෞරවයක්.

    ආර්පිකෝ (ඒ කාලේ ඕකට කිව්වේ රිචඩ් පීරිස් එක A. Richard Pieris & Co) එක ඉස්සරහා තිබුනේ ඒ ගොල්ලන්ගෙම නිෂ්පාදන වල ඉවත දාන කොටස් වලින් හැදිච්ච කන්දක් මිසක් "කුණු" කන්දක් නොවෙයි කියලයි මතක. ඒ කාලේ කෝච්චියෙන් බඩු ප්‍රවාහනය කරන්න සමාගම් පරිශ්‍රය ඇතුලට loop line එකකුත් තිබුනා කියලා මතකයි.

    ReplyDelete
    Replies
    1. Sam, ඔය වගේ තාර්කික නොවෙන දේවල් තව තියෙනවානේ, තුන්මාසේ බන යෙදෙන දවස ගැන වගේ.
      රිචඩ් පීරිස් කර්මාන්ත ශාලාව තිබ්බේ රේල් පාරට උඩහින්. පොඩි කසල කඳු දෙක තුනක් තිබුණා වගේත් මට මතකයි. එහෙම තිබුණේ ප්ලාස්ටර් of පැරිස් කැබලි වගෙය කියලාත් තුනී මතකයක් තියෙනවා.

      කුණු කඳු ගහන්න ගත්තේ 80න් පස්සේ විතර. එතකොට ඒ ඉසව්වේ මිනිස්සුන්ට බොන වතුරත් ප්‍රශ්නයක් වුණා, ළිංවල වතුර ජරා වීම නිසා. ඒ වගේම තද දුගඳක් ඒ පළාතේම පැතිරුණු නිසා. මං හිතන්නේ ඒවාට විරුද්ධව කටයුතු කෙරෙනවිට තමයි කුණුවලට උඩින් පස් තට්ටු දැමීම පටන් ගත්තේ. පෙනුණු විදිහට පිට්ටනියක් හදන අදහසක් ආවේ ඊට පස්සේ වගෙයි.

      Delete
  7. http://myhobotales.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ස්තුතියි Pra Jay, 'කාල' හොඳ කතාවක් වෙයි වගෙයි!

      Delete
  8. අපොයි අපට නං කුතුහලයක් නෑ ඔය ක්‍රිෂ්ණමූර්ති මහත්තය කිව්ව දේ ගැන. ඔයා කැමති වෙලාවක ඉතුරු ටික ලියන්ඩ.

    ReplyDelete
    Replies
    1. එහෙම කොහොමද එයාට ඕන වෙලාවට ලියන්නෙ. අපිට ඕන වෙලාවටයි එයා ලියන්න ඕන ඉඳගෙන.

      Delete
    2. මේ උන්නැහේලා සුන්දර වලිසුන්දරලානේ!
      ඊළඟ කොටසත් කලට වෙලාවට වැටෙයි, මගේ අතපය කඳබඩ හොඳට තියෙනවා නං!
      අදත් රෑ ජාමෙ මේ උත්තර ලියන්නේ දවස් හතරකට පස්සේ ගෙදර ආව ගමන්. මං ලියන එව්ව කියවන අයට ගරු කරන්න ඕනි එහෙමයිනේ!

      Delete
  9. “එතකොටත් අපේ ගෙදර ඔරලෝසුවක් තිබුණේ නැත. කලින් කියා තියෙන විදිහටම, අප වෙලාව ගණන් තියා ගත්තේ කැලණිවැලියේ දුවන කෝච්චි අනුවය.” - දැන් කෝච්චි වලින් වෙලාව බැලුවනම් බඩුම තමා.

    ReplyDelete
    Replies
    1. ඇත්තමයි චමී, අපේ රටකට යන කලක්!

      Delete
  10. පෝරුවෙ කතාව කලින් දැනන් හිටියනම් නංගි කෙනෙක් ඉන්න මනමාලියක් හොයාගන්නවා. මොකද අපි හොඳ බෞද්ධයෝනෙ.

    ReplyDelete
    Replies
    1. එහෙම නං චමීටත් ප්‍රජාවක්ම හදන්න පුළුවන් වෙනවනේ!

      Delete
    2. හත්වැන්නේ උප අධිපති ද්විස්වභා රාශියක නැතිනම් ඒ කෙළි හරියන්නේ නෑ

      Delete
    3. චමීටත් අනුරව හම්බ වෙලා තමයි ඔය රාශිවල ඉන්න අය ගැන දැනගන්න වෙන්නේ.

      Delete
  11. මේකට කමෙන්ට් දාන්න එකක් නෑ අද 😒😒😒

    ReplyDelete
    Replies
    1. ඇයි ඔහේගෙ යතුරු පුවරුව බල්ල ගෙනිච්චද?

      Delete
    2. කමෙන්ටුවක් නොදැම්මත්, අපි මහේෂ්ට ස්තුති කරමු නේද ප්‍රසන්න පොස්ට් එක කියෙව්වට.

      Delete
  12. 'හොඳ මිතුරන් ලබන්නට නම් ඉස්සෙල්ලාම තමන් හොඳ මිතුරෙකු විය යුතු යැයි' - හරියටම හරි නිදි ඒ කතාව. අපි හොඳ සගයො, මිතුරො, සහකරුවො හොයන්න කලින් අපි හොඳ අය වෙලා ඉන්න ඕන.

    නිදි වෙලාවකට මාත් ඔයවිදිහට ප්‍රතිපත්ති පස්සේ දුවපු කෙනෙක්. එත් අපි ගමන් කරන මාර්ගයත් අත්හැරිය යුතුයි එක තැනකදී. හරියට බුදුරජාණන් වහන්සේ දහම පහුරකට උපමා කරා වගේ. "ගඟෙන් එතෙරවෙන තෙක් පහුර පරිස්සම් කරගන්න". දැන්නම් මං ඉන්නෙ ඒ මට්ටමේ.

    ReplyDelete
    Replies
    1. සත්තයි, අහන්නත් සතුටුයි. පෙළක් දේවල්වලදී මම තාම මෝඩයි නමී. තවම ආධුනික පුහුණු මට්ටමේ.

      Delete
    2. ගණන් ගන්න එපා නිදී අපි හැමෝම අඩු පාඩු සහිත අයනෙ.

      Delete
  13. කෝ මේ නි.දි. ඇතතටම නිදිද?

    ReplyDelete
    Replies
    1. පෝය නිවාඩුවත් අල්ලලා, කට්ටිය 'නිදි' වත් ඇදගෙන කොහේ හරි ගිහිල්ලා ඇති!

      Delete
    2. විජේබාහු මහත්තයෝ, ඔය තියෙන්නේ Sam සහෘදයා හරියටම අනුමාන කරලා!

      Delete
  14. නිමල් මොකද සද්දයක් නැත්තෙ. සනීපෙන් ඉන්නවා නේද.

    'අපට එහෙම නම් පෙමින් බැඳුණු දෙදෙනෙකුට කතා කරන්නට දේවල් කොච්චර තියෙන්නට හැකිද'? ඒ කියන්නෙ දෙන්නා 'පෙමින්' බැඳිලා හිටියෙ නැද්ද.

    නිමල් දීඝායු ගැන හිතපු විදිහටම තමයි අපි හැමෝම වගේ යාලුවො ගැන, හස්බන්ඩ්, වයිෆ්, පාට්න'ස් ගැන බොහෝ වෙලාවට හිතන්නෙ. අපි අනිත් තැනැත්තා අයිතිකරගන්න යන කොට ඒ හා සමාන ප්‍රතිවිරුද්ද බලයකින් අනිත් කෙනා අපෙන් ඈත්වෙන්න පුලුවන්. 'මාත් එක්ක යාලුවෙන්න' කිය කිය පස්සෙන් එන පිරිමි ලමයින්ව ගෑණු ලමයින්ට එපාම වෙන අවස්තා තියෙන්නෙ ඒකයි (ඒ වගේම අනිත් පැත්තට පිරිමි ලමයින්ට). හොඳම දේ අනිත් කෙනාට තමන් වෙන්න ඉඩ දෙන එක. නමුත් පොඩි කාලෙ ඉදලා ඔලුවට දාන දේවල් අනුව, අපේ සංස්කෘතිය අනුව අපි හැසිරෙන්නෙ වැඩිපුර ඔහොමම තමයි. ඒවයින් වෙන්නෙ relationships unhealthy හෝ toxic වෙන එකයි.

    ReplyDelete
    Replies
    1. සනීපෙන් සනීපෙන් Lotus, හොඳ සනීපෙන්. දවස් හතරක් ගෙදර හිටියේ නෑ- සංචාරයක ගිය හින්දා. මේ post එකත් publish වෙන්න ෂෙඩූල් කරලයි ගියේ.

      ඒ දෙන්නා; 'දීඝායු හා නිමල්' අතරේ තිබුණු සම්බන්ධය කොතනටද දාන්න ඕනි කියලා ඔයාලාම තීරණේ කරන්නකෝ, පෝස්ටු කීපය අවසන් වුණාම.

      ඇත්තටම අපේ රටේ වැඩිම පිරිසක් අසතුටෙන් දිවි ගෙවන්නේ- තමන්ගේ ළඟින්ම ඉන්න අයව තමන් වගේ අයවළුන් බවට පත් කරන්න වෙහෙසීම නිසා! අපි හරිම බයයි කෙනෙකුට නිදහස දෙන්න , එයාට කැමති කෙනෙකු වෙන්නට.

      Delete
    2. "ඒ දෙන්නා; 'දීඝායු හා නිමල්' අතරේ තිබුණු සම්බන්ධය":
      දීඝායු හා 'මම' කියලා කියන්නෙ නැතුව දීඝායු හා 'නිමල්' කියලා 3rd person වලින් ලිව්ව එකත් යම් දෙයක් කියනවා.

      හරි එහෙනම් ට්‍රිප් එක ගැනත් ලියයිනේ.

      Delete
    3. බුදු සංතෝ, Lotus! ඔයා නං අපි ලියන තිතක්, කොමාවක්වත් miss නොකර කියවන කෙනෙක්! හරි සතුටුයි ඒ ගැන.

      අනිවා trip එක ගැනත් ලියවෙයි, යථා කාලයේදී.

      Delete
  15. මට මතකයි, නිදි කිව්වා, ජල ප්‍රශ්ණයක් ගැන මණ්ඩලෙත් එක්ක ඔට්ටු වෙන නිසා බිසී කියලා. ටිකක් පහු වෙලා ඒවි.🤔

    ReplyDelete
    Replies
    1. https://en.wikipedia.org/wiki/Pitawala_Pathana

      Delete
    2. කපයට කෙලින්ම ඇමතුවනං හරි. :D

      Delete
    3. ඉරිදා ජල ප්‍රශ්නේ විසඳුනා ටොමී. ඒ නිසාම අඟහරුවාදා උදේ ගෙදරින් බැහැර යන්න නිදහස ලැබුණා.

      ගමනාන්තයට යනතුරුම යන තැන රහසක් විදිහටයි 'මගේ හිතවතුන්' තියාගෙන ඉඳලා තියෙන්නේ. ඒ ගමන ගැනත් ලියන්න තරම් රසවත් දේවල් ගොඩාක් තියෙන නිසා... බලමුකො...

      Delete
    4. Pra Jay මහත්තයා බාගෙට හරි... ඒ ඉසව්වේ සුවිශේෂී තැනකටයි ගියේ.

      Delete
    5. ප්‍රසන්න මහත්තයෝ, ඔයා කියන්නේ කවුරු ගැනද කියලා හිතා ගන්න බැරි වුණා තවම.

      Delete