අකුරු මැකී නෑ

Wednesday, November 10, 2021

පහළොවේදී...- හයවෙනි කොටස

ඉරියව්- හැසිරීම් තේරුම් ගැනීමට නම් වඩාත් සියුම් ඇසකින් බලන්නට වෙයි!
මේ Passive partner යෙදුමේ විරුද්ධ වචනය Active partner ය.

මේ යෙදුම්වල ඉතිහාසය ගැන මා දන්නා දෙයක් නැත. ඒත් අනුමානයක් විදිහට මට හිතෙන්නේ මේවා ඇරඹෙන්නට ඇත්තේ ‘වික්ටෝරියානු පුරුෂෝත්තම සුචරිතවාදය එක්කලා’ය කියන කාරණයයි. මතකයි නේද ‘පුරුෂයා ඉහළින් ඉන්න ලිංගික ඉරියව්ව නිකම්ම 'missionary position' වෙච්ච’ හැටි එහෙම.

Active partner ගැන එහෙම තව ටිකක් හොයා ගෙනයි ඊළඟ කොටස ලියන්නේ.

පසුගිය කොටසේ අන්තිමට එහෙම කිව්වාට ලියන එකය ලේසි නැත්තේ.

ලේසි නැතැයි කියන්නේ බෙහෙවින්ම විවාදාත්මක කරුණු ලියන්නට වෙන නිසාය. කියන්නට අදහස් කෙරෙන දේවල්ම- මගේ වචනවලින් කියැවෙන්නට බැරිවෙතැයි විචිකිච්ඡාවකුත් හිතට එන නිසාය. අනෙක් අතට, මා ලියන වචන කියවන කෙනෙකු ඒවා තේරුම් ගන්නා විදිහත් වෙනස් වෙන්නටඉඩකඩ තිබෙයි.
දැන් ඉතිං මොනවා වුණත් කළ හැකි දෙයක් නැත!
කපා ගත්තා නම් කර තබාගත යුතුය!! මම ලියන්නෙමි!!!

මා ලියන හරුප වචන සියල්ල උඩින්- යටින්- දිගට- හරහට කියවීම හා කියවා තේරුම් ගැනීම ඔබ සතු කාර්යයකි.

(සත්ත්ව මෙන්ම) මානව ලිංගික කටයුතුවලදීත් වැඩියෙන්ම ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නේ පුරුෂයන්ය. එහෙම පෙනෙනවා ඇත්තේ ප්‍රාණවත් පුරුෂ ලිංගය පිටතට දර්ශනය වෙන බැවින් විය යුතුය.
උද්යෝගී කාමාශක්ත ඉතිරියකගේ වුවද ඉරියව්- හැසිරීම් තේරුම් ගැනීමට නම් වඩාත් සියුම් ඇසකින් බලන්නට වෙයි.
තවත් එකක්! ප්‍රීණනය පතා ලිංගික කර්තව්‍යයක යෙදෙන පුරුෂයෙකුගේ කූඨප්‍රාප්තියෙදී ශුක්‍ර තරලය පහවෙන විට එය පිටතට පෙනෙන්නේය. කාන්තාවක උපරිම තෘප්තියට පත් වුවත් එවන් ‘ලක්ෂණයක්’ පිටතට නොපෙන්වයි.

මේ කරුණු පිළිබඳව අද තරම්වත් දැනුමක් එදා මට නොතිබිණි.

මට වැටහෙන විදිහට නම්, එවන් පසුබිමකය- පුරුෂයා ‘ක්‍රියාත්මක තැනැත්තා’ හැටියට නම් කෙරී තිබෙන්නේ.

Porn films බලල තියෙනවාද?
(මං නං බලලා තියෙනවා විතරක් නෙවෙයි; ඒවා බලන්නට ඕනෑම යයි කී මිතුරියන් කිහිප දෙනෙකුට ඒ සඳහා අවස්ථාවද සලසා දී
මහඟු පිනක් සිදු කරගෙනත්  තිබේ.)  

දැනුවත්ව හෝ නොදැනුවත්ව හෝ නිල් චිත්‍රපට වැඩිම සංඛ්‍යාවක ක්‍රියාන්විතවලදී පෙන්වන්නේත් මේ පුරුෂ බල පරාක්‍රමයයි. Gay (පුරුෂ සමරිසි) සබඳතාවකදී වුවත් එකෙකු active partner ලෙස නම් කෙරෙනවා ඇත්තේ මෙවන් කරුණු සැලකිල්ලට ගනිමින් විය යුතුය.

දැන්ම කියන්නට ඉක්මන් නොවිය යුතු කරුණකුත් මෙතනදී නොකියා බැරි වෙයි.
ලද-බොළඳ පෙනුමකින් යුතුවූ පමණකින්ම කෙනෙකු ලිංගික යුගලයක passive partner වෙතැයි අනුමාන කළ නොහැකිය. Macho; හැඩිදැඩි පුරුෂමය පෙනුමකින් යුතුවූ පමණකින්ම කෙනෙක් ‘ඇක්ටිව් පාර්ට්නර්’ භූමිකාවේ නිරත වෙතැයි සිතීම මුලාවේ වැටීමක් වෙන්නටත් ඉඩ තිබේ.

The Man with the Answers ෆිලුමේ වික්ටර් ගැන කලින්ම කීවේ මෙම කරුණට උදාහරණයක් ලෙස ගන්නටය. ඔහු එකදු කාන්තා ලාලිත්‍යයමය ලක්ෂණයකින් යුතු බවක් නොපෙනෙයි..... 

මේ කරුණු පිළිබඳව අද තරම්වත් දැනුමක් එදා මට නොතිබිණි.

අවුරුදු පහළොවේදීත් මා සතුව තිබුණු ළපටි පෙනුම නිසා මා සිටියේ මගේ සැබෑ ලිංගික අනන්‍යතාව නිශ්චය කර ගැනීමේ ගැටලුවකට මුහුණ දෙමිනි.
මට ඒ වෙන විටත් එක සත්‍යයක් නම් පසක් වෙමින් තිබිණි. ‘මා මගේ සමවියේ මිතුරන්ට වඩා තරුණයන්ගේ ලිංගික ආකර්ෂණයට ලක් වෙයි!’ එහෙම වෙන්නේ ඇයි? මට තිබුණු විශේෂත්වය කුමක්ද? වෙනස කුමක්ද?

මං වහන්සේ දැනගෙන උන්නු තවත් වෙනස්ම කාරණාවකට වඩාත් ගැළපෙන ඉංග්‍රීසි වැකියක් මට කියා දුන්නේ ‘දෙපා අවසඟ පාපන්දු පිස්සා’ රාජමනි අංකල්ය. ‘Variety is the Spice of Life!
ඒ කතාව නං සහතික ඇත්තය; විශේෂයෙන්ම මට.
Film එකක් බලද්දී වුණත්, පොතක් කියවද්දී වුණත් ඒකාකාරී හැඟීමක් දිගටම දැනෙනවාට මං කැමති නැත. ඒවා විවිධ රස දනවනවා නම්ය මා වඩාත් කැමති! ඒ හින්දාමය මගේ post එකකදී පවා තැනින් තැන, වෙන-වෙනස් රස උපද්දවමින් ලියවෙන්නේ.

වැඩේ මෙයින් ඉවර නෑ.....

ඉතිං, මේ දැනුත් ජීවිත ජවනිකා ඡේදනයකොට ලියමින් මං කරන්නේ වෙනස් රසයකින් ඔබ තෘප්තිමත් කරන්නට වෙර දැරීමකි!

වැරදි තැන් සටහන් කරපු දීඝායුගේ ඉලක්කම් ලියුම එදා හැන්දෑවේ මම ආපසු දුන්නෙමි.

“ඔයාට ස්තුති කරන්න වචන නෑ නිමල්... වැඩේ මෙයින් ඉවර නෑ..... ඔයාම තමයි මට දිගටම උදව් කරන්න ඕනි. අනේ බෑයි කියන්න නං එපා. හොඳේ...” දීඝායු මගේ අත් දෙකින්ම අල්ලාගෙන කිව්වේය.
‘වැඩේ මෙයින් ඉවර නෑ?’
අනේ දීඝායු, ඔයාට මගේ හිතේ තියෙනදේ පේනවා නං... මට දැනෙන මේ වේදනාව ඔයාට කියා ගන්න පුළුවනි නං... කවදා හරි මේවා ඔයාටම තේරුම් යනකල් විඳවන්නද මට කියන්නේ...

“ඔයාට දිගටම මගේ උදව් මොකටද දීඝ. දිගටම ලියද්දී ටික දවසකින්ම ඔයාට තනියෙන්ම ඉලක්කම්වලින් ලියුම් ලියන්න පුළුවන් වෙයි, වරද්ද ගන්නෙ නැතිව.” මම කිව්වෙමි.

“එහෙම වෙන්නෙ කොහොමද. තවම මගේ රහසෙ ඔක්කොම ඔයාට කිව්වේ නැහැනෙ නිමා!”
දෙයි හාමුදුරුවනේ! දීඝායු මේ කියන්නට තතනන්නේ මොකක්ද?
“... මම දන්නවා ඔයා කවදාවත් මං කියන දේකට බැහැයි කියන්නෑ. මං මේක හරි ගස්සලා; ආපහු ලියලා ගෙනත් දුන්නම, මේක එයාට ගෙනිහිල්ල දෙන්න ඕනිත් ඔයා!”

“ම් ම්මං... මේ මං?”
“මට උදව් කරන්න පුළුවන් ඔයාට විතරයි නිමා...”

එක සැරේම මගේ හිතට ආවේ ‘ඇයි සැමී ඉන්නේ’ කියලාය. ඒ විත්තියක් කටෙන් පිට කරන්නටත් කලින්ම කල්පනා වුණේ, මෙහෙම වෙලාවක උදව් කිරීමෙන් දීඝායුට මගේ අගය පෙන්නා දෙන්නටත් පුළුවන් වෙන බවයි!

එයා ලෝකේ කොහේ බැලුවත්, එයාගෙම දෙපතුල යට බලන එකක් නෑ.

“මොකද කල්පනා කරන්නේ නිමා... බෑද?”

“ඔයාම දන්නවනෙ දීඝ, මට අපේ ගෙදරින් වෙන කොහාටවත් යාගන්න තියෙන අමාරුව.”
“මොකටද වෙන කොහාටවත් යන්නෙ... එස්. ඉන්නෙ ඔයාලගේ පන්තියෙනේ.”
“... අපේ පන්තියේ?” ඒ මොහොතේ නං එස්. නමෙන් හැඳින්විය හැකි අපේ පන්තියේ කිසිම සිසුවියක් ඉන්නා බව මගේ ඔළුවට ආවේ නැත.

මං හිටියේ ඒ තරමටම අන්ද-මන්දවී, හොඳ සිහි කල්පනාව අවුල් වෙලාය.

ශ්‍රී ලංකාවේ චිත්‍රකතා වංශ කතාවේ පුරෝගාමියෙකු ලෙස ඉතිහාසගතවී සිටින සුසිල් ප්‍රේමරත්න මහතාගේ සිතුවමින් හැඩවුණු ‘හැංගිමුත්තං’ කතාවේ රජ කුමාරියට වෙන්නට ඇත්තෙත් මෙහෙම දෙයකි!

රටේ රජතුමාගේ දූ කුමාරියට අරුමැසි දුර බලන කන්නාඩියක් තිබුණි. ඒකෙන් ලෝකයේ ඕනෑම තැනක් පෙනෙයි. ඇයට නොපෙනී කිසිවෙකුට කිසි තැනක සැඟවෙන්නට නොහැකිය.
‘රජ කුමරියට සොයා ගන්නට බැරි වෙන තැනක හැංගෙමි’යි කියා දුප්පත් ගැටවරයෙක් අභියෝග කරයි.
ඔහු මුලින්ම ඈත අහස් ගැබේ වලාකුළු අතර සරන දැවැන්ත පක්ෂියෙකුගේ පිටේ සැඟවෙයි; දෙවනුව මුහුදු පත්ලේ මාළුවෙකුගේ කුස තුළ සැඟවෙයි. ඒ දෙවතාවේම ඔහුව සොයා ගැනෙයි!

“එයා ලෝකේ කොහේ බැලුවත්, එයාගෙම දෙපතුල යට බලන එකක් නෑ.” කියා ගැටවරයාට උපදෙස් දෙන මිතුරු නරියා ඔහුව ඇයගේ දෙපතුල යට උමඟක හංගයි.
උපාය සාර්ථක වෙයි!

ඒ වගේම වැඩකි මට වුණේත්. පන්තියේ සිසුවියන් ගැන හිතුවා මිස මට වඩාත් සමීප යෙහෙළියන් ගැන මා සිතුවේ නැත.          
“එයා ඔයාගෙත් හොඳම යාළුවෙක්... ස්වර්ණා!” දීඝායු කිව්වේය. ස්වර්ණලා එක්කෙනෙක් නොවේ, දෙන්නෙක්ම සිටිති. අපේ පන්තියේ; අපේ කල්ලියේ හිටි ඒ පස් දෙනා ගැන මං මීට
අවුරුදු තුනකට කලින්; 2018 ජුනි මාසයේදී හිතාදර ඔබට කියා තිබෙයි.

දැන් ඒ දෙන්නා එයාට ගෙයින් එළියට බහින්නවත් දෙන්නෑ....

'... අපේ කල්ලියේ ගෑනු ළමයි දෙන්නත් එක්කම නම් පස්දෙනෙක්. දෙන්නම ස්වර්ණලා. එක්කෙනෙක් 'ඒ ස්වර්ණා'. අනෙක් එක්කෙනා 'බී ස්වර්ණා'. දෙවෙනියාත් මං වගේම කොටයි. එයා 'බට්ටි'.

බට්ටයි බට්ටියි හින්දා 'කවටකමට ඔබෙයි මගෙයි නම ලියා - යහළු ළමයි විහිළු-තහළු මට කළා' වුණාට එහෙම දෙයක් නම් වුණේ නෑ!’  

දීඝායුත් ඒවා දනියි. එහෙමත් තියෙද්දී ‘කොයි එක්කෙනාද?’ කියලා මං මොට්ට ප්‍රශ්නයක් ඇහුවේ එවෙලේ යමක් කියන්නට ඕනෑ යැයි හිතුණු නිසාවෙනි.
‘ඒ’ ස්වර්ණලාගේ ගෙදර තියෙන්නෙත් දීඝායුලාගෙ ගෙදරට පිටි පස්සෙය. අප දීඝායුලාගේ ගෙදරට ගිය කිහිප විටෙකම මං ගෙයි පිටුපස වැට අද්දරට ගිහින් ‘ඒ ස්වර්ණා’ හා කතා කරමින් ඉඳලාත් තියෙයි.

“අපේ ගේ පිටිපස්සේ ඉන්නේ....” දීඝායු කියන්නෙ දැන්ය.

“ඒකනෙ... මම මොකටද උදව් කරන්නේ... ඔයාලා ඕනි තරං හම්බ වෙන්නේ.... ලේසියෙන්ම.”
“ඒ ඉස්සර නිමල්....” දීඝායු හීල්ලුවේය. “අපේ අක්කට මාට්ටු වුණා! එයා ලෙඩ අදිනවා තවමත්.... ඒ අස්සේ එස්ලගේ අක්කටයි, නංගිටයි දෙන්නටත් අපිව අහු වුණා.... දැන් ඒ දෙන්නා එයාට තනියම ගෙයින් එළියට බහින්නවත් දෙන්නෑ... අපේ අක්කට එහා, එස්ලගේ අක්කගෙයි නංගිගෙයි පොලීසිය....”

ඒ ආදරය පටන් ගන්නට ඇත්තේ කොහොමද?
‘ඒවගෙන් උඹට මොකක්ද ඇති වැඩේ? දැන් තියෙන්නේ උඹේ යාළුවාගේ ප්‍රේම කතාවට support කරනවද නැද්ද කියලා තීරණේ කරන එකයි නිමල්! මහ ලොකු දෙයක් කරන්නත් නැහැනෙ.... ලියුම් එහාට- මෙහාට ගෙනියන එකනේ!’ හිත මුර ගෑවේය.

මගේ අඩු ආත්මාර්ථකාමී ගතියට පිං සිදු වේවා. ඒ ගතිය නිසාම අද මගේ ජීවිත කතාව කීමේදී පසුතැවිලි වෙන්නට තිබෙන තැන් ඉතා අඩුය.
දීඝායු කෙරෙහිවූ ස්නේහයකටත් වැඩි හැඟීමකින් හොඳටම ආතුරව සිටියත් මම ඒ බව ඔහුට නොපෙන්වීමි. පරාර්ථකාමී වෙන්නට වෑයම් කළෙමි.

“ඔයා ලියලා දෙන්නකෝ... හැබැයි පරෙස්සමින්!” දීඝායුට එහෙම කියද්දී මගේ ඇස් දෙක යන්තමින් තෙත් වීගෙන එනවා දැනෙයි. “මට පරක්කු වෙනවා.”

මං හිටියේ හැම දෙයක් එක්කම; හැම කෙනෙකු එක්කම තරහෙනි- නොරිස්සුමකිනි.

උවමනාවටත් වඩා හදිසියක් පෙන්වමින්ය, මං එයාලගේ ටියුෂන් පන්තියෙන් පිටත් වුණේ. වෙනදා නම් මං එහෙම සමු ගන්නේ බසයක් ඈත එනවා පෙනෙන විටය. ඒත් එදා නම් බසයක් පෙනෙන තෙක් මානයේවත් නොවිණි. මා බස් නැවතුමට යද්දී, ඩග්ලස් ඒ අසලම තිබුණු කඩයකින් මෑත් වෙනවා පෙනුණි. මිනිහා දීඝායු ටියුෂන් පන්තිය ඇතුළට යන තෙක්ම බලා හිටියා වගේය.

ඒ එක්කම බස් එකකුත් දර්ශන පථයට....
ඩගීත් බස් නැවතුමට ආවේය. “මං මෙච්චර වෙලා මඟ බලාගෙන හිටියේ, ඔයාව අල්ල ගන්න...”

මං හිටියේ හැම දෙයක් එක්කම; හැම කෙනෙකු එක්කම තරහෙනි- නොරිස්සුමකිනි. වැඩියත්ම දීඝායුත් එක්ක තරහෙනි. අමාරුවෙන් සිර කරගෙන හිටි මගේ තරහව එවෙලේය, එළියට පැන්නේ. ‘මට පරක්කු වෙනවා’ යි කියාගෙන; ඩග්ලස් ගැන තැකීමක් නොකරම මම ඩබල් ඩෙකර් බසයට ගොඩ වීමි.
ඩගීත් බසයේ එල්ලුණේය... මගේ පිටුපසින්ම උඩ තට්ටුවටත් නැංගේය. මගේ ළඟින්ම වාඩි වීමත් කළේය. කොන්දොස්තරවරයා උඩට ආවාම ‘නුගේගොඩට නේද?’ කියා මගෙනුත් අහලා ටිකට්ස් දෙකකුත් ගත්තේය.

දිගටම බුම්මා ගෙන හිටියත්, එතකොට නම් මටත් කට පියාගෙන ඉන්නට බැරි වුණේය. “ටියුෂන් පන්තිය තියෙන්නේ නුගේගොඩද?”

“දවසක් ටියුෂන් නොගියයි කියලා විභාගේ ෆේල් වෙන්නෑ හලෝ... මං අද හිතාගෙනමයි ආවේ ඔයාව අල්ල ගන්න. කොහෙද.... අර භූතයා ඔයාව දිගටම කතාවට අල්ල ගෙන හිටියනේ... මොනවද අප්පේ ඔච්චර වෙලා කතා කළේ?”

මට ටිකට් එකකුත් අරගෙන, ටියුෂන් පන්තියත් පාඩු කරගෙන එන මනුස්සයනෙ! මට හිතුණේය. ඒ නිසාමදෝ වෙන දවසක නම් මගෙන් ඩගීට ලැබෙනවාට වඩා මෘදු tone එකකිනි, දඟ කෝන්තරයක් කියැවුණේ.
“කොළයක් දෙනවා.... ජාතකේම ලියල දෙන්නං...”

ජ්‍යෝතිශ මර්තණ්ඩ උපාධියෙන් පිදුම් ලබපු කේ.එස්. ක්‍රිෂ්ණමූර්ති පඬිතුමා ඉදිරිපත් කරලා තියෙන ක්‍රමයේ අවධානයට ලක් කළ යුතු පොරොන්දම් දහයක්....

“ඔන්න ඕකනේ හොඳ නැත්තේ.... මනුස්සකමට ඇහුවමත් ඔයා උත්තර දෙන්නෙ නුහුරටමනේ....” ඩගී කළේ උත්තරයක් අත්‍යවශ්‍ය නොවෙන ප්‍රකාශයකි. මගෙන් සද්දයක් නැතිවිට ඩගීම කතා කරන්නට වුණේ, අතකුත් මගේ කකුල උඩින් තියමිනි.

“විහිළුවක් නෙවෙයි.... සීරියස්. වැදගත් වැඩකට මට ඔයාව එක්ක යන්න තියෙනවා ගමනක්....”

තට්ටු දෙකේ බසයේ උඩ තට්ටුව ඒ වෙලාවට සෑහෙන්නට හිස්ය. ඩගීට නිදහසේ කතා කරන්නට හැක්කේ ඒ නිසාය. කතා කරන අතරේ ඩග්ලස් මගේ කකුල මතුපිට නියගින් ඉරි දෙක තුනකුත් ඇන්දේය.

“ඩග්ලස්.... අපේ තාත්තට නොකියා මම කොහෙවත් යන්නෙ නෑ!” පොල්ලෙන් ගහන ස්වභාවයකින් වගේ මට කියවෙද්දී ඩග්ලස් එයාගේ අත ආපහු ඇද ගත්තේය.
“කවුද නිමල්ට කිව්වේ තාත්තට නොකියා යමුයි කියලා.... අපි යන්නෙ තාත්තටත් කියල තමයි... ඔන්නං මමම ඇවිත් තාත්තගෙන් අවසර ගන්න අහන්නංකෝ.... ඉවරයිනේ.” ඩග්ලස් සැහැල්ලුවෙන් සිනා පාමින් කියයි.

ඒ කතාවේ අගමුල පැහැදිලි නැති නිසා, ඔහු දිහා හැරී බලද්දී මට පෙනුණේ ඩගීගේ කැරලි ගැසුණු කෙස් වැටියේ ලස්සනයි.
දීඝායුගේ කොණ්ඩය කැරලි ගැහුණු එකක් නොවේ; දඟකාර එකකුත් නොවේ.... මෙතරම් සිත් ගන්නාසුලු කෙස්සකුත් නොවේ!

එතෙක් දවසක් නොදුටු ආකර්ශනීය බවක් ඩග්ලස්ට හදිසියේම ලැබිලාවත්ද?

දැන් නම් මට අනුර ජිනදාස සහෘදයාගෙන් විමසා දැන ගන්නට දෙයක් තිබෙන පාටය. පොරොන්දම් බැලීමෙන් සොයා බැලෙන ගැළපීම් ගැන මං විස්තර අහලා යැවූ විට අනුර මෙසේ කියා තිබුණේය.

“... ජ්‍යෝතිශ මර්තණ්ඩ උපාධියෙන් පිදුම් ලබපු කේ.එස්. ක්‍රිෂ්ණමූර්ති පඬිතුමා ඉදිරිපත් කරලා තියෙන ක්‍රමයේ අවධානයට ලක් කළ යුතු පොරොන්දම් දහයක් පෙන්වලා තියෙනවා. ඊට අමතරව අපේ ගුරු කුලයෙදී අපි යෝගිනී, ආය වර්ග, චන්ද්‍ර යෝග වගේ හොඳම පොරොන්දම් කීපයක් ගැනත් විශේෂයෙන් හොයලා බලනවා. හැබැයි, මේ හැම එකකටම වැඩියෙන් වැදගත් වෙන තව පොරොන්දමක් තියෙනවා. ඒකට කියන්නේ ‘මන පොරොන්දම’ කියලයි!

Body කෙමිස්ට්‍රිය හිටි ගමන් ඩගී උදෙසා ක්‍රියාත්මක වෙන්නට පටන්ගෙනද?

-ඒ තමා කෙනෙකු මුල් වරට දැකීමේදී ඇති වෙන හිතේ පැහැදීම. අද ‘බොඩි කෙමිස්ට්‍රි’ කියල කියන්නෙත් ඒකටම වෙන්නැති....”

ඩග්ලස්ව මුල් වතාවේ දකිද්දීත් මට හිතුණේ ‘දේව දූතයෙකු දැක්කා’ වැනි හැඟීමකි; පැහැදීමකි. දේව දූතයෙකු දකින්නට කවුරුනුත් පාහේ කැමතිය. එච්චරය!
එදා නුගේගොඩදී ඩබල් ඩෙකර් බසයෙන් බහින්නට සූදානම් වෙන වෙලාවේ නම් මං හිතමින් හිටියේ ‘දේව දූත පෙනුමටත් වඩා යමක්; මගේ හිත ඇද ගන්නා යමක් ඩගී ළඟ තිබෙනවාවත්ද’ කියලාය. 

Body කෙමිස්ට්‍රිය හිටි ගමන් ඩගී උදෙසා ක්‍රියාත්මක වෙන්නට පටන් ගෙනද? එහෙමත් නැතිනම් මටත් හොරා හිතේ කොනක යටපත්ව තිබී, දැන් ඒ හැඟීම හෙමින් ඉස්මතු වෙනවාවත්ද?

ජාගර චිත්තයක සිතුවිලි පහළ වෙන්නේ ඒවා හොඳද නරකද කියා විමසා බලමින් නොවේ. එදා මට එහෙම හිතුණේ මා සිටි ශෝකී- පැතුම් සුන් වුණු මනෝ භාවය නිසා වෙන්නට ඇතැයි පෙනෙන්නේ දැන්ය. පෙරහර ගියාට පස්සෙය.

“දැන් ඔයා කළුබෝවිල ඉස්පිරිතාලේ ළඟටනෙ යන්නෙ? මාත් එනවා....” ඩගී කිව්වේ අප බස් එකෙන් බහිනවාත් එක්කමය.

“එපා!”

“ඔච්චර තද වෙද්දී කොහොමද .....” ඩග්ලස් පසු බැස්සේය. මං නුගේගොඩ - දෙහිවල 118 බසයකට නැඟ ගනිද්දීත් ඩග්ලස් බස් නැවතුමේ බලා හිටියේය. (ඒ දවස්වල නුගේගොඩ සිට කළුබෝවිලට බස් ගාස්තුව සත පහකි.)     
එදා ඩගී මගේ ‘එපා’කීමට කීකරු වී බස් නැවතුමේ සිට බලාගෙන සිටි අයුරු තවම මගේ ඇස් දෙකේය. ඔහොම ඒවා මට තදින් මතක හිටියි.
නිදිගෙ පංච තන්තරේ කියවන දයාබර රසික-රසිකාවන්ටත් වෙනවා ඇත්තේ එහෙමද?

ගෙදරින් පැන ගිහින් දුන්හිඳදී ගම්මුන්ට කොටු වුණු වෙලාවේ...

ඒත් ඒ බව කියන්නට සමහරුන් අකැමතිය. අසම්මතයි වගේ පෙනෙද්දීත් මට නම් මගේ ඇත්ත කතන්දරය නොසඟවා ඔබට කිව හැකිය. එතැනදී මට ලොකුම වාසි කිහිපයකුත් තිබෙයි.

පළමුවැන්න මට තිබෙන මොකක්දෝ අධිකාරී බලයකි.
එදා නුගේගොඩදී ඩගීට ‘එපා’ කියා මට කියැවුණේ අකුරු දෙකකින් විතරක් නොවේ;

මගේ උගුරේ ස්වර තන්තුවලින් නිකුත් වෙන කම්පන, ඇස්වලින් නිකුත් වෙන ආලෝක කිරණ (එලෙස වෙතියි මම අදහමි.), මනසින් මුදා හැරෙන බලවත් චිත්ත තරංග වගේ අටෝරාශියක් දේවල සංකලනයක් ඒ ‘එපා’ වචනයේ ගැබ්වී තිබිණි; ඒවා එකතු වුණාම නිදි Super Man කෙනෙකුටත් වඩා බලවත්ය. මගේ ගල් හිතත් ඒ ගතියට හොඳ උත්ප්‍රේරකයකි.

සියදිවි නසාගත් අපේ තාත්තාගේ සිරුර භූමදානය කළ දවසේ මං තනියම ගිහින් ‘ගංගා’ චිත්‍රපටයේ රාත්‍රී 9.30 දර්ශනය බැලුවේ එහෙම හිතක් මට තිබුණු නිසා වෙන්නැති!   

ඒ අධිකාරී බලයටම එකතු වෙන උපාය කෞශල්‍යයත්, දරදඬු මුරණ්ඩු ගතියත්; තන්වැසි නුවණත් දෙවෙනි තැන ගනියි. ඒකත් මීට පෙරාතුව ලියා ඇති නිදසුනකින්ම මතක් කරන්නට පුළුවන්ය. 71 කැරැල්ලෙන් පසු කාලයේ ගෙදරින් පැන ගිහින් දුන්හිඳදී ගම්මුන්ට කොටු වුණු වෙලාව!!  

බ්ලොගය ලිවීමේදී මට තිබෙන තුන්වෙනි වාසිය මගේ නෑදෑ හිත-මිතුරන් ඒවා නොකියවීමයි. කියෙව්වත් ඒවා නොකියෙව්වාසේ සිටීමයි. එසේ කිරීමත් මට කරන මහඟු උදව්වක් නොවේද?

නමියාට මට තරම් වාසි ගොඩක් නැතිවාවත්ද?
‘නමියාගේ වීදිය’ blog අඩවිය ඔහුගේය.

හිතේ මෙතුවක් කල්ම ඇය ඡායාවක් වගේ ඇඳිලා තියෙන නිසාත්...

ඉතා මෑතකදී නමියා ‘මගේ ආදරේ’ නමින් ඉතාම ප්‍රේමාන්විත අත්දැකීමක් ලිව්වේය; ඒ කරලා අන්තිමට පසු වදනකුත් ලියලා තිබුණේය:

'පසු වදන -

ආදරේ ගැන යාලුවෙක් එක්ක කතා කර කර ඉන්නකොට පාසල් ප්‍රේමය... ඒක පාර්ශ්වික පළමු පෙම මතක් උනා. ඒ නිසාත් හිතේ මෙතුවක් කල් ඇය ඡායාවක් වගේ ඇඳිලා තියෙන නිසාත් මේ ලියමන ලියල හරි ඒ හිතේ ගැස්ම නවත්තගන්න හිතුව. ඒකයි අකුරු කරේ එය මෙහෙම.

ටික කලක් මේ ලියමන මෙහෙම තියල අයින් කරන්නයි හිත. යාලුවොත් බ්ලොග බලන්නට සැපත් වෙන්ට පුළුවන් නිසා.’

මගේ නසරානි ගොං එඩිතරකම නිසාද මන්දා, ඒ ටික කියෙව්වාම රතු කටුවත් වැඩ කළේය. ඒ නිසාම වගේ මට ලියැවුණා කවි දෙකක කමෙන්ටුවක්.
ඒකත් මෙතනටම ඔබලා, අදට ඔයාලගෙන් සමු ගන්නයි හදන්නේ...

 පිවිතුරු හැඟුම් උපදින විට       කුළුඳුල්  
 සටහන් වෙයි හදේ
'ගල කෙටු අකුරක්
 අගෙයි නමියො ඒවා ගැන, එක        ලිව්ව
 හිනා වෙන්න කියහං, මිතුරන්ට         තව!

 බොළඳ නොමැති ආදරයක කොහෙද  රහක්
 එහෙව් දේට සම්මතයෙන් නොමැත  වැඩක්
 තනියම පෙම් කළත් ඒකත්           ආදරයක්
 පස්සේ හිතනකොට වගෙයිනෙ මහාමෙරක්

ඊළඟ කොටසේදී යළි හමුවෙමු.....

47 comments:

  1. //‘Variety is the Spice of Life!’//
    ඕක මට මුලින්ම හරියටම තේරුනේ පාසලේ ඉඳල උසස් අධ්‍යාපන ආයතනයට ගියාම.
    ඉස්කෝලෙ ඔක්කොම පිරිමි, අති බහුතරය, එකම ආගමේ, ජාතියේ , බාසාවෙ, සෑහෙන්න සමාන සමාජයීය තත්වයේ, පන්තියේ ඔක්කොම එක වයසේ, බහුතරය බස්නාහිරපලාතේ. එහෙම අවු 12 1/2ක් ඉඳලා මං ගිය උසස් අධ්‍යාපන ආයතනයේ ඒ සේරම වෙනස්. වෙන එකක් තියා ඒ කාලයේ වයස් සීමාවක් තිබුනෙත් නෑ අවු තිස් ගාණකට කලින් මගෙ තාත්තගෙ බැච්මේට් (වෙනත් ආයතනයක ) කෙනෙකුත් මගෙ බැච් එකේ හිටිය ! ඒ වර්ගයේ ආයතන ලංකාවට තියෙන්නෙ එකක් නිසා ලංකාවෙ හැම පැත්තෙන්ම ආව. පැහැදිලි ප්‍රාදේශීය බහුතරයක් තිබුනෙ නෑ. ඉස්කෝලෙ සාමාන්‍යයෙන් මට කම්මැලි තැනක් වුනේ මොකද කියල මට තේරුනේ එතකොටයි. (උසස් අධ්‍යාපන ආයතනයෙ පිරිමි විතරක් නොවුන එකත් කම්මැලි නැතිවීමට බලපෑවා :-D . බිලියඩ් කාමරය හා ලිකර් ඔල්මෝස්ට් ස්වයංපෝෂිත බවත් ඉතිං එහෙම තමා)කොහොමවෙතත් අවු 12 1/2 ක් හිටපු ඉස්කෝලෙ මතකයන්ට කීප ගුණයක් වැඩිය මතකයන් අවු 3-4ක් හිටපු ආයතය ගැන තියනව.
    ආගම්, ජාති, භාෂා, ලිංග වලින් සීමා නොවුන පාසැල් තියෙන්න ඔනෙ කියන එක මට අවු 19-20දිම හිතුනා. තාමත් එහෙමයි මගෙ මතය

    ReplyDelete
    Replies
    1. //ආයතනයෙ පිරිමි විතරක් නොවුන එකත් කම්මැලි නැතිවීමට බලපෑවා :-D//

      හ්ම්.... ඉතිං කොහොමෙයි බ්ලොග් ලියන්නෙ, නේද?
      අම්මපා, මේ යක්කුන්ට කොච්චර කිව්වත්. ඕකෙ නොතේරෙන හැටි?🤔

      Delete
    2. Pra Jay මහතාගේ මතයත් එක්ක මමත් එකඟයි. ආගම්- ජාති- භාෂා- ලිංග භේද නැති පාසල්, ආයතන තමයි තිබිය යුත්තේ.

      ටොමී, එහෙම වෙනකොට කොහොමද blog ලියන්න බැරි වෙන්නේ?

      Delete
    3. මේ මට හිතෙන හැටි, සමහර විට වැරදි වෙන්නත් ඇහැකි.

      ප්‍රාජේ, බුරා වගේ අය බ්ලොග් ලියනවා නං, ඔය බල්ලො, බස්සො වගේ ආවට ගියාට වල්-පල් ලියන්න බෑ. ඒකට අවශ්‍ය කාලය සහ ශ්‍රමය සොයා ගන්න අපහසු ඇති. අනික බ්ලොග් නොලිව්වට, දැනටමත් එයාලගෙන් බ්ලොග් දියුණුවට වෙනත් සේවා සැපයෙනවා. ඒ නිසා, මම මෙතනදී කාසියේ වාසිය විත්තියට දෙනවා.

      මේ අදහස ආවෙ බුරාගේ මේ කමෙන්ට් එක දැකලයි:
      http://thattayagekolama.blogspot.com/2021/10/219.html?showComment=1634280796671#c7384413741536636080

      Delete
  2. “ඒකාකාරී හැඟීමක් දිගටම දැනෙනවාට මං කැමති නැත. ඒවා විවිධ රස දනවනවා නම්ය මා වඩාත් කැමති!” - නිදි හිරයක් ගත්තේ නැතිඑක හොදට ගියා.

    ReplyDelete
    Replies
    1. ඉන්තේරුවෙන්ම චමී!
      හිරයක් ගත්තාම හිර වෙන තරම... ඔව්වා ගැන තව ඉදිරියෙයි ලියන්න තියෙන්නේ... තාම පහලොවෙනේ....

      Delete
  3. https://sithsatahan.blogspot.com/2021/11/blog-post.html

    ReplyDelete
    Replies
    1. ගියා. ගිහින් බුරල, බුරල ආවා. මං ඉස්සෙල්ල හිතුවෙ SMS එකක් ගෙනත්, පෝස්ට් එකක අලවලා කියලයි.🤔

      Delete
    2. නියම තැනක් ගැන කෙටිම සටහනක් තිබුනේ....
      අවුරුද්දකට හත්-අට වතාවක්වත් අපිව එහාට යැවුනා දවල් කෑමට- අනුරපුර යන ගමන්.

      Delete
  4. “තවත් එකක්! ප්‍රීණනය පතා ලිංගික කර්තව්‍යයක යෙදෙන පුරුෂයෙකුගේ කූඨප්‍රාප්තියෙදී ශුක්‍ර තරලය පහවෙන විට එය පිටතට පෙනෙන්නේය. කාන්තාවක උපරිම තෘප්තියට පත් වුවත් එවන් ‘ලක්ෂණයක්’ පිටතට නොපෙන්වයි.” - පිටතට පෙන්නන අවස්ථාද නැතිවම නොවේ. පහත ලින්කුව බලන්න .

    ReplyDelete
  5. https://www.news24.com/health24/lifestyle/woman/your-body/the-truth-about-female-ejaculation-20120721

    ReplyDelete
    Replies
    1. බැලුවා චමී.
      බොහොම ස්තුතියි.
      10% -40% ගණන හා 'can differ in appearance, texture and quantity.' වැදගත් වගේ හිතුනා.

      Delete
  6. ජ්‍යේතිශය විශ්වාස නොකරන අය එහෙම ක්‍රිශ්ණමූර්ති පඬිතුමාගෙ පොරොන්දම් ගැන කියන දෙයක් තිබුණොත් විතරක් ආපහු එන්නම්

    ReplyDelete
    Replies
    1. ඔයා කලින්ම ඇවිත්නේ අනුර!
      දෙන සහයෝගය සුපිරි! ස්තුතියි......

      Delete
  7. // ‘Variety is the Spice of Life!’//
    කාමසූත්‍ර පොත ලියන්නත් හේතු වෙන්න ඇත්තේ ඕකම තමයි. ඒ පොත ගැනත් කතාවක් තියනවා ඊළඟ කොමෙන්ට් එකකට ලියන්නම්.

    කොල්ලන්ගේ ආකර්ෂණය දිනා ගත් කතා ලියැවුනාට, ඒ කාලේ ඉතාම ලස්සන කොල්ලෙක් වෙච්ච ඔයාට කෙල්ලන්ගේ ආකර්ෂණය ලැබීමත් අනිවාර්යයෙන් සිදු වෙන්න ඇතියි කියලා මට හිතෙනවා. ඒ ගැන ආසාවක්/උනන්දුවක් ඇති උනේ නැතිද?, එහෙම නැතිනම් ගෙදරට බය නිසා ඒ අදහස හිතේ විතරක් හිර කරගෙන ඉන්න උනාද?

    ReplyDelete
    Replies
    1. ඒවා දැන්මම ලියන්න විදිහක් නෑ Sam මහත්තයෝ, ඉස්සරහට ලියවෙන්න තියෙන post වලට ලියන්න දේවල් තියෙන්න ඕනිනේ.
      කම නැහැනේ කල් ගන්නවාට...

      Delete
    2. Sam මහත්තයෝ,
      කාම සූත්‍රය පොත ගැන කතාව දැනගන්න මම බලාගෙනයි ඉන්නේ!

      Delete
  8. ඒ කාලෙ කාළෙත් තමන්ට කැමති වුණු කෙලිලන්ව යාළුවන්ට ජෝඩු කරල සන්තෝෂ වෙන එක වෙන්න ඇති නේද?

    ReplyDelete
    Replies
    1. ඔය වහෙන් ඔරෝ අහන ඒවාට උත්තරේ නං මම කලින්ම; 2018දී ලියලා තියෙනවා, අනුර. වෙලාව තියේ නං කියවන්නකෝ, මෙන්න පාර:
      http://nidigepanchathanthare.blogspot.com/2018/07/blog-post_81.html

      http://nidigepanchathanthare.blogspot.com/2018/08/blog-post_8.html

      Delete
    2. ආන්න එහෙමයි මගේ පතළ මහා සත්ත්ව කරුණාව!

      Delete
    3. අනුර, ඔයා 'මගෙන් මංගල යෝජනාවක්' පෝස්ටුවේ link එකෙන් ප්‍රයෝජන අරං... එහාට ගිහින් කියවලා කමෙන්ටුවකුත් දාලා ආවට ස්තුතියි. මොකක්ද අර සුළං ගෙම්බෝ කතන්දරේ?

      Delete
    4. ඇයි මතක නැද්ද අපේ අනුරාධපුරේ මානානේ්රියෙ මිත්‍රයා වැඩමුළුව අවසානෙ සුහද හමුවෙදි කරපු ජෝගි වැඩේ තුන්දෙනෙක්ව හිටවල අපිට අනුලට හුලං ගෙම්බෙක්ව ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරවල.ඒ තුන්දෙනාට විජේත් තෝරගෙන හිටපු එක රහසෙ කරන්න ගිය වැඩේ එළිවෙලාද කියල ඔයාලට ප්‍රශ්නයකුත් වෙලා තිබුණනෙ

      Delete
    5. ඔය මදි විස්තර. හමු වුණු වෙලාවක අහගන්නම්කො. ඔයා කියන්නේ වාරියපොල වසන්ත බණ්ඩාර හරි එයාගේ යාළුවා සුගත් හරි ගැනද.

      Delete
    6. නැහැ අරුණ දිසානායක. මං හොයල බැළුවා. අරුණට තවම මාවත් අතීතයත් තවම මතකයිළු.

      Delete
    7. අරුණ හිටියේ කල්ලන්චියෙ. එයා ගැන ගොඩක්ම ලිව්වා ඉස්සරෝම. පණ බේරපු කිරිල්ලී posts තුනේ. මෙන්න links:

      https://nidigepanchathanthare.blogspot.com/2019/12/blog-post_10.html

      https://nidigepanchathanthare.blogspot.com/2019/12/blog-post_22.html

      https://nidigepanchathanthare.blogspot.com/2020/01/blog-post.html

      Delete
  9. බස් එක, ඩගී, දෙන්නම උඩ තට්ටුවට නැගීම -ඒ ටික නිකන් ෆිල්ම් එකක සීන් එකක් වගේ. තට්ටු දෙකේ බස් (?) නියමයිනෙ.හුඟක් රටවල සංචාරක ආකර්ශණයක් වෙන hop on- hop off බස් තමයි මට මතක් වුනේ.

    'ලද-බොළඳ පෙනුමකින් යුතුවූ පමණකින්ම කෙනෙකු ලිංගික යුගලයක passive partner වෙතැයි අනුමාන කළ නොහැකිය'
    මේක සෑහෙන බරපතල stereotype එකක් නේද විෂම ලිංගිකයින්ටත් අදාල.

    නිමල්ගෙ ඒ වයසෙ ෆොටෝස් වල child-like innocence කියන දේ/පෙනුම තියෙනවා නේද. හුඟ දෙනෙක් ඒ පෙනුමට කැමතියි. අපි හැම වෙලේම අපි තුල ඉන්න lost child හොයන නිසා.

    කොහොමද දීඝායු මේ පෝස්ට්ස් බලලා කමෙන්ට්ස් කරන්න පටන් ගත්තොත්.

    ReplyDelete
    Replies
    1. Lotus, ඒ දවස්වල 138 හෝමාගම-කඩවත, 107 මහරගම-ඇලකන්ද, 112 මහරගම-කඩුවෙල, 123 අතුරුගිරිය-පිටකොටුව කියන රූට්ස් ඔස්සේ දිව්වේ ඩබල් ඩෙකර්. ඒ හැම එකක්ම ගියේ මහරගම හරහා. මුල් කාලීන post එකකත් මම මේවා විස්තර ඇතිව ලිව්වා.
      http://nidigepanchathanthare.blogspot.com/2018/08/blog-post_5.html

      දෙවැනි එක ගැන කියන්න තියෙන්නේ මම මගේ අත්දැකීම් ඇසුරෙන් දැනගත් දේවල්වල පොදු බවක් තිබේද කියලා විමසා බලන බවයි.

      3. lost half විතරක් නෙවෙයි එහෙනං!

      4. ඇත්තමයි මාත් හිතපු දෙයක් Lotus, දීඝායු මගේ මූණ බලන එකක්වත් නැහැ මේවා කියෙව්වොත්.

      Delete
    2. දිඝායු හුඟක් සතුටු වෙන්නෙ නැතිවෙයිද නිමල්ට එයාව කොයි තරම් special වෙලාද කියලා තේරුනාම.

      (මේ පෝස්ට් එකේ අනුර ජිනදාස මහත්තයගෙන් කවුරුත් මුකුත් අහලා නෑ නේද).

      Delete
    3. ඒ පැත්තෙන් නම් ඇත්තයි Lotus, අද වෙනකල්වත් එයා දන්නෙ නෑ අපේ බඩා මල්ලාටයි චූටි නංගිටයි දෙන්නටම නම් දාද්දී මම ඒවා දී අකුරෙන් පටන් ගත්තේ එයා නිසා බවවත්.

      මටත් හිතුනා, කවුරුවත් අනුර මහත්තයව අවුස්සලා නැති එක ගැන.

      අනෙක් අතට එහෙම අහයිද, අනුර මහත්තයාම කමෙන්ටුවකින් කල් ඇතිවම කොන්දේසියක් දාලා තියෙද්දී.

      Delete
  10. සැමදා වගේම රසවත් ලිපියක්!

    ReplyDelete
  11. Replies
    1. බස්සා මහත්තයෝ, වැටෙන් පැනලා ඇවිත්... දවස් තුනකින් හිනා වෙනවද?

      Delete
  12. තමාට තමාගෙ ලිංගිකත්වය පිළිබඳව සැක ඇතිකෙරෙන ප්‍රබල කාරණයක් වෙන්නෙ උපතේදි ආත්මකාරක ග්‍රහයා අශුභයකුගේ ලත්තා දෝෂයට ලක්වීමයි.ඒක පෙර භවයකදී චරිතවත් කෙනෙකුට දුශ්චරිතයෙන් කළ උපවාද්‍යයක් නිසා අසහනයට පත්වූ ඒ චරිතවත් පුද්ගලයා කළ ශාපයක් නිසා වන බවයි පැවසෙන්නේ.
    මේ කාරණය මේ භවයට නොවී පෙරභවයට අයත් එකක් නිසා හිත රිදවාගන්නෙ නැතිවෙයි කියා හිතනවා

    ReplyDelete
    Replies
    1. අපොයි නෑ අනුර මහත්තයෝ. එහෙම හිත රිද්දාගන්නේ මොකටද? මම තවමත් උත්සාහ කරන්නේ යමක් ඉගෙන ගැනීමේ අභිලාෂයෙන් තොරතුරු දැනගන්නයි- ඒවා විශ්ලේෂණය කරන්නයි. මාවම ගිනියාපිග් කරගෙන!

      Delete
  13. මට ටිකක දුක හිතුන ලිපියක්

    ReplyDelete
    Replies
    1. ජීවිතේ එහෙමනෙ අජිත් මහත්තයෝ!

      Delete
  14. අවසාන කවි දෙකෙන් පළමුවැනි කවිය දොස් සහිත එකක්. ඒකෙ ආධුණික කවියකට පවා නොකරන්නට උපදෙස් දෙන යවහන් දෝෂය නිසා දූෂිතයි. අදහස හොඳයි.කී හැටි හරි නෑ

    ReplyDelete
    Replies
    1. අනුර මහත්තයෝ, මාර සතුටුයි ඒ විවේචනයට. මම කවි හැදීම ගැන ඉගෙනගත් කෙනෙක් නෙවෙයිනේ. කවිවලට ආසා කළත් කවි ලියන්න එච්චර උනන්දුවක් තිබ්බේ නෑ.

      'ආදර පූජාසනේ' පොස්ට්ස්වලදී කියවුණු; මට දුරකතනයෙන් පෙම් කළ තැපැල් ස්ථානාධිපති පෙම්වතා තමයි මට කවි ලියන්නයි බල කළේ.

      යවහන් දෝෂය ගැන හොයා ගන්නන්. එක එක හරි හදාගන්න ඕනිනේ.

      Delete
    2. ඒක ඔයතරම් හොයන්න දෙයක් නෙවෙයි. කවි පදයක අවසාන අකුර ය-ව-හ-න් කියන අකුර වීමයි. ඒක කවිවල විශේෂයෙන් සෙත්කවිවල නොයෙදියයුතු ආධුනිකයින් පවා වලකාගතයුතු දෝෂයක් හැටියටයි කියවෙන්නෙ
      එතකොට කලල්ඇල්ලේ ආනන්ද සාගර හෙවත් කේයස් සුදෝසුදු පොතේ පළමුවෙනි කවියම
      ගොඩ මඩ දෙකම සරුසාරය පලබරය කියල ලීවෙ ඒක නොදැනද කියල අහයි කියල හිතුණු නිසාම මෙතැනම ඒගැනත් කියන්න හිතුවා. ඒ දෝෂය මගහරවා යවහන් අකුරකින් යතිය තියන්න පුළුවන් ව්‍යතිරේකය තමා හැම පදයකම අවසාන පදයට පෙර පදය එකම අකුරක් වන සේ යෙදීම. රන්වන් පාටින් දළුලන බෝධිය වගේ.

      Delete
  15. වැරදීමක් වුණා. අවසාන පදයට පෙර පදය නෙවෙයි කවියේ හැමපදයකම පදයේ අවසාන වචනයේ අවසාන අකුරට පෙර අකුර එකම අකුරක් වනසේ යෙදීම කියල නිවැරදි වෙන්න ඕනෙ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ස්තුතියි අනුර වැඩේ හොඳටම ලේසි කළාට... හැබැයි ඉතිං සෙත් කවි නොලියන නිසා ඉස්සරහටත් යවහන් දෝෂය එක්ක ලියවෙන්නත් ඇහැකියි.

      වස් කවි ලියන්න උපදෙස් ටිකක් ඔයාගේ fb එකේ දාන්නකො රටටම වැඩ ගන්න.... රටට ආදරේ මිනිස්සුන්ට වස් කවි ගෙතුවහැකි නේද එතකොට... මාත් පබ්ලිසිටිය දෙනවාමයි!

      Delete
  16. නිමල් වස්කවි ලියන කියන එක මහහා පව්කාර වැඩක්.
    මගේ ශාන්තිකාව්‍ය උපදේශක වුණු ශාන්තිකාව්‍ය විශාරද කිවිපති සම්මානලාභී වේරහැර කරුණාතිලක මැතිතුමා කියපු විධියට එතුමාට කළ අවමානයක් නිසා තරහින් නිවසක් හදමින් සිටි අයකුට එය කරගත නොහැකි වනසේ සකසා කී වස් කවියට එතුමාට ඉන්නට සිදුවුණේ ටකරං මඩුවක. එතුමාට ගෙයක් හදාගන්න නැකතක් හොයාගන්න බැරිවුණා. පසුව මංම එතුමා සමග ජීවත්වුණු එතුමාගෙ නංගීගෙ හඳහන අනුව නැකතක් හදල දුන්නා.ඒ ගෙදරට ගියදා සිට එතුමා අසනීපෙන් සිට හදිසියේ මියගියා.ඔන්න ඔහොමයි වස්කවිවල කෙරුවාව

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ රටකටම වින කරන අය වෙනුවෙන්වත් නපුරක් පැතීම නරකයි?

      Delete
  17. අම්බලට්ඨික රාහුලෝවාද සූත්‍රය බලන්න

    ReplyDelete
    Replies
    1. යෝජනාවට ස්තුතියි අනුර මහත්මාණෙනි, අපේ උත්තරීතර ආර්ලිමෙන්තුවේ කෙරෙන පරිදි එය හමස් පෙට්ට්ට්ට්ටියට දමා ගත්තෙමි!

      Delete