අකුරු මැකී නෑ

Monday, March 28, 2022

සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස

දවසකට පැය පහ-හය විදුලිය නැතිය. එහෙම කට්ට කළුවරේ පැය එකහමාරක් කල් මරද්දීය, අයිඩියාවක් සිරසට සැපත් වුණේ!

මේ කතන්දරේට enter වෙන්නේ කොහොමද?
ටික දවසක් තිස්සේ මගේ හිතට වද දෙමින් තිබ්බේ ඒ ප්‍රශ්නයයි. ඒ අස්සේ අපේ රට පුරාමත් ප්‍රශ්නය. ගෑස්- තෙල්- සිමෙන්ති- පෝර ආදී හැම ලබ්බකම හිඟකම්-නැතිකම් එහෙන්ය. බඩු මිල අහසට ගිහින්ය; දවසකට පැය පහ-හය විදුලිය නැතිය.

එහෙම කට්ට කළුවරේ පැය එකහමාරක් කල් මරද්දීය, අයිඩියාවක් සිරසට සැපත් වුණේ!

(කොළ පාට පසුබිම)

සුප්පා දේවී:
අහා, මේ වනය කොතරම් සුන්දරද? රුක් පුරා පිපි මල්. (මලක් කඩාගෙන එය සිප, හිසේ රඳවා ගනී.) මල්වල රොන් ගැනීමට එන බමරුන්ගේ ගුමු-ගුමු නදින් මා සිත පිනා යයි. අහෝ... (කල්පනාකාරීව) මා තවමත් දෙගුරුන් යටතේ නම්... අර එක්ටැම් ගෙයි තනිවම... අඃ... එපා, එපා.ඒ රුදුරු අතීතය සිහිවන විට මහද පැලෙන්නට යයි.
(සෝදුකින් වේදිකාවේ සක්මන් කරයි.)
රටතොට අලංකාරය නොදැක, එසේ සිර ගෙයක් බඳු තැනකට වී... හ්ම්... නිදොස්වම; ඔව්, අසත්‍ය පුහු අනාවැකියක් නිසා මට විඳින්නට වූ ගැහැට.
අහෝ! සතුරෙකුටවත් මෙබඳු විපතක් නම් නොවේවා. (හදිසියේ දුටු දෙයකින් කලබලව, එතැනට දිව ගොස් පක්ෂියෙකු අල්ලා ගෙන ඌ සුරතල් කරමින් එයි.)
අහා! මේ මනහර පක්ෂියාගේ දර්ශනයත්, ඉමිහිරි ගී නාදයත් මගේ නුවන් සවන් පිනවා ලයි!

(පක්ෂියා වීසි කිරීමට වේදිකාවෙන් ඉවතට යයි.)

එහෙම කරන්නේ ආඩම්බරෙන් නං නෙවෙයි; හොඳේ. ලජ්ජාවෙන්. මමය කියන ගොන් වහන්සේ කොච්චරට ඇඳගෙන ඉන්නට ඇතිද?’ කියලා හිතමින්!

මගේ ළඟ තියෙන, කොළ හැලුණා යැයි පෙනෙන ‘සිංහබාහු’ නාට්‍ය පිටපතේ තියෙන විදිහය උඩින් දැක්වූයේ.

එහෙම කරන්නේ ආඩම්බරෙන් නං නෙවෙයි; හොඳේ. ලජ්ජාවෙන්. මමය කියන ගොන් වහන්සේ කොච්චරට ‘ඇඳගෙන ඉන්නට ඇතිද?’ කියලා හිතමින්!

ඒ පිටපත ටයිප් කළ එකකි. මුල්ම පිටුවක් හෝ දෙකක් missingය. අග පිටු කීපයකුත් හැළිලාය. අවුරුදු පනහක් විතර කාලයක් තිස්සේ, මේ ටිකවත් පරෙස්සම් වෙලා තියෙන එකත් පුදුමයක් නෙව.

‘බ්‍රොයිලර් මනමේ- 2’ post එකේදී කිව්වා වගේ, සේ ටීචර්ගේ අයිඩියා එක නිසාය ‘සිංහබාහු’ ලියන්නට කරුණු යෙදුණේ.

‘ගස් නැති රටේ’ post එකේදී කිව්වා වගේ බන්දුල ජයකොඩි ගෙනා යෝජනාව නිසාය, අපේ නාට්‍යයක් රඟහලකදී; ලුම්බිණි රඟහලේදී වේදිකාගත කරන්නට අප ඉටා ගත්තේ. එසේම මගේ කොණ්ඩය දිගට වැවෙන්නට හැරියේ.
ඒ අතරවාරයේ, බොරැල්ලේ YMBA රඟහලේදී ‘ආලකමන්දා’ නාට්‍යයේ හින්නිකිතර චරිතයකට පෙනී සිටි අපූරුවය;
‘හොන මුත්තක්ද බලන්නේ’ post එකෙන් කිව්වේ.

‘ආලකමන්දා’ නාට්‍යය බලන්නට අපේ තාත්තාත්, බන්දුලත්, රංජිත් අයියාත් ඇතුළු කීප දෙනෙක්ම ආවෝය. මගේ දැනීමේ තරමට නම් ඒ හැමෝම වාගේ, කොළඹ රඟහලකට ගිහිල්ලා නාට්‍ය බලා නොතිබුණු අයයි. නාට්‍යය ඉවර වෙලා, මාත් ඇඳුම් මාරු කරගෙන එනතුරු අපේ තාත්තලා බොරැල්ලේ YMBA ශාලාවේම රැඳී සිටියහ.

“ඔන්න දැන් නං ගුණපාල අයියෙ තවත් පරක්කු කරන්න බෑ. රංජි මල්ලිට විතරද, ලොකු හෝල්වල ඇට් කරන්න හොඳ?” බස් එකේදී පළමුවෙනි ප්‍රශ්නය මතු වුණේ, බන්දුලගෙන්.

‘ඔව්, ඔව්ව්ව්. අපිත් කළු නෑෑෑෑනේ ගුණපාල අයියේඒඒඒඒඒ...” බන්දුලගේ කතාවට මුක්කුවකුත් ගැසිණි. ‘මෙයාලට ඉරිසියාවේ!’ මට හිතුණේ එහෙමය.

ගස් නැති රටේ තුත්තිරි ගහත් ගහක්නේ!

‘මේකලා මටත් චැලේන්ජ් කරනවද?’ අපේ තාත්තාට හිතුණා වෙන්නැතිය.

“කෝ, තමුසෙලා සිංහබාහුට කොල්ලෙක්ව හොයාගෙන එනවයි කිව්ව නේද.... ඒක එහෙම්ම අමතක කරලද මහ ලොකුවට සිංහබාහු නටන්න කතා කරන්නේ?” අපේ තාත්තාත් ‘නිල අල්ලා’ උත්තර බැන්දේය.

බන්දුල ජයකොඩිටය ඒ පහර වැඩියත්ම වැදුණේ.
සමරසිරිලා- රංජිත් අයියලා දන්න-කියන
තරුණයන් සේරම ඒ වෙද්දීත් අපේ කණ්ඩායමට හඳුන්වලා දීලා අහවරය. දැන් ඉතිරි වී තියෙන්නේ වැල්ලවත්ත රෙදි මෝලේ වැඩ කරන; රඟපාන්නට කැමති තරුණයෙකු හෙවිල්ලය. එතැන වැඩ කරන්නේ බන්දුලය!
(බන්දුලව එහාට යැවුණු හැටි ‘ඒ නං ඔයාට අපිව විශ්වාස නෑ’ post එකේ සවිස්තරවම ලියා තිබේ.)

තරමක මාන්නක්කාරයෙකු වූ; අඩු කතාකාර බන්දුල එවෙලේ වෙනින් මොකුත්ම කිව්වේ නැත. එයාගේ මුහුණ බලද්දී මට පෙනුණේ, මිනිහා යටි තොල විකාගෙන හිටින විදිහයි.
මං වහන්සේ දැකලා තියෙන හැටියට නං හුඟ දෙනෙක්ම එහෙමය; මොනවා හරි හිතට ගන්නවා නම්; අධිෂ්ඨාන කර ගන්නවා නම් එක්කෝ යටි තොල විකා ගනිති; නැත්තං ඇස්දෙක පියා ගෙන මොහොතක් සිටිති.

ඒ වතාවෙත් මගේ නිරීක්ෂණේ හරි ගියේය!
දෙදවසක් යන්නට කලින්ම බන්දුල ජයකොඩි ජයග්‍රාහී ලීලාවෙන් ‘handy’ තරුණයෙකු අපේ ගෙදරට කැන්දාගෙන ආවේය.

ඒ හාදයාගේ කෙස්ස බොකුටුය; අඟ-පසඟ පිරිපුන්ය; පෙනුම පැහැපත්ය. ‘සිංහබාහුට නං හොඳයි... තව චුට්ටක් උසත් වුණා නං..’ කියලාය මට හිතුණේ.

‘අනේ නිකං හිටපං. එහෙනං ඉතිං ගාමිණී ෆොන්සේකාත් ගොඩක් උසයිද?’ මගේම යටි හිත මට විරුද්ධව අවි අමෝරා ගත්තේය! ගස් නැති රටේ තුත්තිරි ගහත් ගහක්නේ, මටම දෙසා ගනිමින් මම බලා සිටියෙමි. අපේ තාත්තා ‘සරත් රංචාගොඩ’ එක්ක කතාවට බැස්සේය.

සරත් රංචාගොඩ දෙහිඕවිට, අටුලුගම ඉඳලා කොළඹට ඇවිත් තියෙන්නේ වැල්ලවත්ත රෙදි මෝලේරස්සාව ලැබුණාමය.

"අයිසෙට වෙලාව තියෙනවද නාට්‍ය practiseවලට එන්න එහෙම. මොකද කොච්චර ඇක්ටිං හොඳ වුණත් වැඩක් නැහැනේ, අනිත් අයත් එක්කම ප්‍රැක්ටිස් කරන්න එන්න විදිහක් නැති නං.

අනෙක සිංහබාහුත් මේන් රෝල් එකක්නේ.” (තාත්තාගේ කතා පරෙස්සම බන්දු ළඟම ඉන්නා හින්දාය. නාට්‍යයේ ප්‍රධාන චරිතය තමන් විසින් පණ ගැන්වෙන සිංහයා බවයි බන්දුල නිතර පුරසාරම් කියමින් හිටියේ.)

“මට වෙලාව තියෙනවා....” නිහඬ විරාමයකින් සරත්ගේ කතාවට බාධා වුණු බව හොඳටම පෙනෙයි. තාත්තාට සරත්ගේ ඒ ස්වයං ඇණ හිටිල්ලේ හේතුව තේරුම් ගිහිල්ලාය.
“මං ගුණපාල අයියා! සමහරවිට බන්දුල කියන්ඩත් ඇතිනේ. මට එහෙම කිව්වම ඇති... සරත් කියලා නේද අයිසෙගේ නම කිව්වේ...”
“මට වෙලාව තියෙනවා ගුණපාල අය්යේ. ෂිෆ්ට් එකටනෙ අපි වැඩ කරන්නේ. Night Shift එකක් දාගන්න පුළුවන් ඕනි කරන දවස්වලට. නේද බන්දු..” සරත් එහෙම ඇහුවත් බන්දුල ඔළුව හෙලෙව්වා විතරකි.

සරත් රංචාගොඩ දෙහිඕවිට, අටුලුගම ඉඳලා කොළඹට ඇවිත් තියෙන්නේ ‘වැල්ලවත්ත රෙදි මෝලේ’ රස්සාව ලැබුණාමය. “ගෙදර ඉඳලා වැඩට එන්න- යන්න බෑ ගුණපාල අයියේ, පැය දෙක තුනක් නැතිව. මං රෙදි මෝල ඉස්සරහම lane එකේ බෝඩිමක නැවතිලයි ඉන්නේ. ඉතිං වෙලාව තියෙනවා.”

අවුරුදු පනහක වෙනස; සංවර්ධනය ඒ ගමනට නං බලපාලා නැති තරම්ය. අදටත් දවල් වෙලාවක නම් ඒ ගමනට පැය දෙක-තුනක් නැතිව බැරිය. පාරවල් හැදිලා ඇතත්, වාහන සංඛ්‍යාව ඕසෙට වැඩි වෙලාය.

“අපේ අක්ක කෙනෙක් වැඩ කරනවා පොලිසියේ.... එයා නම් තිඹිරිගස්යායේ පොලිස් flatsවල ඉන්නෙ...” සරත් සංවාදශීලීව කියාගෙන ගියේය. අපේ තාත්තාටත් එයාව හිතට අල්ලලා ගිහින්ය. (ඩග්ලස්ව වගේ!)

“සරත් බෝඩිං වෙලානේ ඉන්නවයි කිව්වේ.... අද දවල්ට තියෙන විදිහට අපේ ගෙදරින් බත් ටිකක් කාලා යං. රංජි, නෝනගෙන් අහල බලපංකො මොනාද හදන්නෙ කියලා.... බන්දු, තමුසෙත් සරත්ව මෙහෙ දාලා යන්න හදන්න එපා... ආඩම්බරේ පැත්තකින් තියලා ඉන්නව මේ යාළුවත් එක්කම.”

ගොටුකොළ වුණාට ඒ වර්ගයේ කොළ තනිකරම සලාද කොළ වගෙය; ඒ පාටය. එයින් පැළ දෙක තුනක් ඉල්ලාගෙන ඇවිදින්....

එදා දවල් අපේ ලොකු නංගී හදමින් හිටියේ බතුයි, පරිප්පු හොද්දකුයි, කරවල බැදුමකුයිය.

‘මොනවා? නිදි ඔච්චර හොඳට ඔව්වා මතක තියාගෙන ඉන්නවද?’ මේ post එක කියවන ඔබට සිතෙනු ඇත. මං කියමින් ඉන්නෙ පනස් වසරකට එහා කතන්දරයකි. ඒ නිසා එහෙම හිතෙන එක සාධාරණය. ඒත් සමහර පුංචි දේවල් අපට මතක හිටින්නේ පුදුමාකාර විදිහටය. විශේෂයෙන් රිදුම් දෙන මතකයන්...

“සරත්ටත් බත් කටක් දෙන එකේ, ගොටුකොළ සම්බෝල ටිහකුත් හදමුද බං...” තාත්තා ‘තොත්ත බබා’ ලීලාවෙන් අහද්දී නං මට තරහය. ඒත් අමුත්තෙකු ඉදිරිපිටදී මගේ තරහව පෙන්වන්නද? ගොටුකොළ සම්බෝලයකට කොළ කඩා ගන්නට වෙන්නේ මගේ ‘සලාද ගොටුකොළ’ පාත්තියෙනි!

අනේ! ඒ දවස්වල මම ඒ පාත්තිය රැක ගත්තු විදිහ. නාට්‍යයකට ආධාර එකතු කරන්නට ගිය වෙලාවකය මට ඒ ගොටුකොළ වර්ගය ඇහැ ගැහුණේ.
ගොටුකොළ වුණාට ඒ වර්ගයේ කොළ තනිකරම සලාද කොළ වගෙය; ඒ පාටය. එයින් පැළ දෙක තුනක් ඉල්ලාගෙන ඇවිදින්ය, මං අර පාත්තියක්ම හදා ගත්තේ. (තවමත් එයින් පැළ දෙක තුනක් හොයමින් හිටින්නේ ඒවාට තිබුණු ආදරය නොමැරී තියෙන නිසාය. අවුරුදු තිහ- හතළිහකින්වත් මට ඒවා දකින්නට ලැබී නැත.)

ඉතාම කලාතුරකින් විතරය, ඒ පාත්තියෙන් ගොටුකොළ නෙළා ගැනුණේ. ඒකත් කෙරුණේ මගේ අතින් විතරය.
තවමත් මගේ දෙනුවනේ ඉතා සජීවීව නිධන්වී තියෙන දර්ශනයකි.

‘මාරක හී පහර’ නාට්‍යය දිනවල අපේ ගෙදරට කඩා පාත්වී- යකා නටා; මහරගම මරු සිරාගේ කැති පහරක් කාලා, එයාගේ මස් ඇතිලියකට වැටුණු වඳුරා මතකයි නේද? (ඌව අපට ලැබුණාම- ඌට ලගින්නට ලෑල්ලක් ගහලා උස බංකුවක් හැදුවේ, මේ ගොටුකොළ පාත්තිය කෙළවරේය.)  යට කී දර්ශනයේ, එතැන අපේ සීයා; චාලි නානා කොන්ද නවාගෙන වඳුරාට හිස දික් කරගෙන හිඳී- වඳුරා සීයාගේ හිසේ උකුණන් සොයයි!

අද ඒ හැම දේම gone ය! ගිහින්ය!!

ඉතිං, ඇත්තම කියනවා නං, එදා මං ගොටුකොළ කැඩුවේ- සරත් රංචාගොඩට හිත යටින් බැණ වදිමිනි. ඒ අස්සේ බන්දුල ජයකොඩිත් එතනට ආවේය. “බෑ කියන්න බැරි වුණා නේද, රංජි?”
හොඳටම තරහක් ආවාම මට ඇඬෙයි- කතා කර ගන්නටත් බැරිව යන තරම්ය. මං කළේ පුළුවන් තරම් තදෙන් බන්දුට රැවීමය. ඒ රැවුමේ හැංගී තිබුණු චණ්ඩ තාපය තේරුම් ගියා වාගේ, බන්දු පසු බැස්සේය.

සිංහබාහුත් ඉන්න සීන් එකක්... (ඩී.බී. සුරනිමල විසින් සරච්චන්ද්‍ර මහතාගේ සිංහබාහු නාට්‍යයේ මුල් දර්ශනයේදී ගත් ඡායාරූපයකි.)

ඒ සිදු වීම මට එච්චර හොඳට මතක තියෙන්නේ එදා දැනුණු දුක- තරහ දෙකම ඒ තරම්ම බලවත් නිසාය!

සරත්ටත් මිය යන තුරාවටම ‘එදා මහරගම අපේ ගෙදරට ආ ගමන’ ඔහුගේ මතකයේ තිබුණා විය යුතුය. ඒ තරමටම, ඒ ගමනෙන් එයාගේ ජීවිතයේ වෙනස්කම් ගොඩාරියකට මුල පිරුණ නිසාය.

“හරි! බන්දු තමුසේ සිංහයාගේ කෑල්ල චුට්ටක් කරනවා... රංජි, උඹත් වරෙං..., පොතත් අරගෙන. සිංහබාහුත් ඉන්න සීන් එකක් පුරුදු වෙලා බලමු...” කඩාගත් ගොටුකොළ ටික නෝනාට බාර දීලා ආවාට පස්සේ, අපේ තාත්තා යෝජනා කළේය.
“කියවලා පෙන්නපං රංජි, සරත්ට දෙබසක්....”

සිංහබාහුට හිමි දෙබස් ඛණ්ඩයක් තෝරා ගන්නටත්, කියවන්නටත් මට වරුවක් ගත වුණේය. “මොකද යකෝ... දවස් ගාණක් හාමතේ හිටියා වගේ... පණ ඇතිව කියපංකෝ ඕක....”
මට අමාරුවෙන් තරහව යටපත් කර ගන්නට වුණේය. නැත්තං වෙන්නේ මේ අමුත්තා ඉස්සරහම බැණුම් අහගන්නටය.

සරත්, එදා අපේ තාත්තාගේ පරීක්ෂණ කඩුල්ලෙන් පැන ගත්තේය. මගේ හිතේ නං සරත් ගැන ඇති වෙලා තිබුණේ කෝන්තරයකි. සලාද ගොටුකොළ හින්දා ඇති වුණු ඒ කෝන්තරය ගැන හොඳටම පසු තැවෙන්නටය, කල් යද්දී මට සිදු වුණේ. සරත් ඒ තරමටම ප්‍රියමනාප හාදයෙකි.

“දැන් ඉතිං සිංහබාහු කෙනෙක් හෙව්වා වගේම සුප්පා දේවියෙකුත් හොයා ගත්තා නං හරි.” අපේ තාත්තා ඊට ටික දවසකට පස්සේ කිව්වේ ‘පුංචි සාදයකදී’ය.

එදා භානු යාළු 1 තලගොයි දඩයමක් කරගෙන ඇවිත් තිබුණු දවසකි. මාසයකදී එහෙම දවස් දෙක-තුනක්ම අපේ අහට උදා වෙයි. දැන් වගේ ගෙවල්වලින් විතරක් පිරුණු මණ්ඩියක් නොවුණු එදා පමුණුවේ, කුඹුරු- ඕවිටි- වගුරු- දෙනි- ලඳු කැලෑ- බඩවැටි අඩුවක් නැතිවම තිබිණි. එව්වායේ වාසය කළ ඉබ්බන්, තලගොයන් ආයුක්ෂය වුණු වහාම මුලිච්චි වුණේ ‘පව් පඳුරක් වුණු’ භානු යාළු 1 හාදයාවය. (ලිවීමේ පහසුව තකා අපි මේ යාළුවාව ‘පත්මේ’ යයි නම් කරමු.)

වතාවක විතරය ඒකා, පණ පිටින් ඉබ්බෙකු ගෝනි පඩංගුවක ඔතාගෙන ආවේ.

පාන් ගෙඩි තුනකට සල්ලි ඇති. හැබැයි....

“පත්මේ... ඔය වැඩේ නං කරන්න එපා ආයේ කවදාවත්. තමුසෙ අලියෙක්ව හරි මරාගෙන එනවා... ඒත් පණ පිටින් නං- මෙහෙදී මරන්න නං මොකෙක්වත් ගේන්න එපා. තමුසෙ දන්නවනෙ අපේ අම්මගෙ හැටි. අන්තිමේ තමුසෙලගෙ අම්මවත් හම්බ වෙන්න ගිහින් අහයි ‘මෙහෙමද දරුවෝ හදන්නේ’ කියලා.” තාත්තා භානු යාළු 1 ට එදාම කිව්වේය.

අකල් මරණයකට පාත්‍ර වුණු ඒ සත්තුන්ට හම ගැහිලා, මස් වෙන්නට සිද්ධ වුණේත් අපේ ආච්චීට හොරෙනි. ඒක එච්චර අමාරු නොවුණේ අපේ ඉඩමේ එහා පැත්තෙන් තිබුණු, වනාත වත්තේ කැලය නිසාය. (සුදුම සුදු සමරසිරිත්, කළුම කළු විමලසිරිත් අමු හෙළුවෙන් පුර හඳ දවසක හොර පොල් කැඩුවේ ඒ වත්තෙනි.)  

ඉතිං ඔන්න ඔයාකාරයෙන් අපේ ගෙදරට දඩ මසක් ආවාම, එව්වා හදන්නේ අපේ තාත්තාය.

ඒ අතරේ අපේ ගෙදර අතන-මෙතන හැංගිලා තියෙන සිල්ලර කාසි එක තැනකට එකතු වෙයි. ඒ වෙලාවේ අපේ ගෙදරට ඇවිත් ඉන්නා කට්ටියගේ සාක්කුත් හිස් වෙයි. (එතකොටත් ඉස්කෝලේ යන හෝ රස්සාවක් නොකරන හෝ ඒ ගොඩ දෙනාත් අයිති වුණේ empty pocket කාණ්ඩයටය.)

“පාන් ගෙඩි තුනකට සල්ලි ඇති. හැබැයි බෝතලේකට නං...” සල්ලි එකතුවෙ තරම බලන කෙනෙක් ගණන් හදයි.
(එතකොට පාන් රාත්තලක් සත විසිපහක් හෝ තිස්පහක් හෝ බවය මට මතක. කසියා බෝතලයක මිල නං කවදාවත් මගේ කණට වැටිලා නැත.)
“පාන් ගෙඩි තුනක් අරගෙන, තියෙන ටික දීලා, මම ණයට බෝතලයක් ඉල්ලා ගන්නං...” කියන්නේ පත්මේමය.

එහෙම දවසකය, අපේ තාත්තා අරහෙම කිව්වේ.
“පිස්සුද ගුණපාල අයියා.... තව අවුරුදු ගාණක් යනකල් රංජි මල්ලිට කෙල්ලට අඳින්න පුළුවන්. කෙල්ලෙක් ළඟවත් මෙහෙම සිරියාවක් තියෙනවද බලන්නකො!” ඒකා කාටත් හොරෙන් මට ඇහැක් ගසමින් කියයි. (එතකොටත් ඒ හාදයා මාව බිල්ලට අරගෙනය.)
“දැන් රංජි මල්ලිගේ කොණ්ඩේත් ටිකක් දිගට වැවිලනේ...”

හෙටම හරි එක්ක වරෙන්කො! මේ අපිත් වේළි-වේළී ඉන්න එකේ...

“මේ පත්මේ, තමුසේ අපේ එකාව ඕනිවට වඩා උඩ දාන්න එපා. එතකොට තමයි මුංගෙ ඔළුව ඉදිමෙන්නේ...” අපේ හුටපටය ගැන නොදන්නා තාත්තා උත්තර දෙයි.

බන්දුල, රංජිත් ගුණසේකර දෙන්නා හිටියෙත් ‘නිළියක් හොයන’ අදහසේමය. ඒ ගැන ඍජුව මොකුත් නොකී සරත් අපේ තාත්තාට යොමු කළේ ප්‍රශ්නයකි. “රෙදි මෝලෙම වැඩ කරන යාළුවෙක් දවසක කිව්වා, දෙහිවල ඉන්න කෙල්ලෙක් ගැන. වොලීස් එකේ වෙසක් නාට්‍යවල ඇක්ට් කරන.... හොයල බලන්නද ගුණපාල අයියේ?”

“ඕකත් අහ-අහ ඉන්න දෙයක්ද මචං.... හෙටම හරි එක්ක වරෙන්කො! මේ අපිත් වේළි-වේළී ඉන්න එකේ...”
“ඔන්නං මාත් එන්නං එයාව හොයන්න යන ගමනට!”

ඇත්තම කියතොත් එදාත් මට සරත් රංචාගොඩ ගැන තරහක් උපන්නේය. මේ යක්ෂයා නැති කරන්නට යන්නේ, මට හිමිව තිබුණු අවස්ථාවකි.

කිසිම කෙනෙකුට සදාකාලිකවම එකසේ වැජඹිය නොහැකිය. කොතැනක වුව හිණි පෙත්තේ සිටිය හැක්කේ ටික කාලයක් පමණකි. අලුතෙන් කෙනෙක් එතැනට එද්දී, තමන් එතැනින් ඉවත් විය යුතුය; ඒ එතෙක් හිමිව තිබුණු ගෞරවය නොබිඳී- නොනැසී තිබියදීමය. ඒ සත්‍යය මට තේරුම් ගියේ පසුවය.... නොමේරූ වයසේදී කෙනෙකුට ඒවා තේරුම් ගැනීමට බැරි වීම පුදුමයක් නොවේ... පුදුමය; අද හැට-හැත්තෑව පිරුණු බොහෝ දෙනාට පවා ඒ කරුණ දුරවබෝධවී තිබීමය.

මගේ කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් හෝ තාත්තාට වැඩක් නැත. දෙහිවල නිළිය සෙවීමේ project එක දියත් වුණේය! ඉතිං ඊට පස්සේ....

Thursday, March 24, 2022

නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!

අකාරුණික දෛවය ඒ තාත්තාට දකින්නට බිහි කරවලා තිබුණේ ‘අසම්පූර්ණ දකුණතක්’ සහිත පුතෙක්.

‘පෑරෙනා තරමටයි සමහර මතක මිහිරැති
ඒ නිසාමයි සමහරු හිත හදා ගන්න අකැමැති’

මේ කියන්නේ ඇත්තක්ද? එක සැරේම උත්තර දෙන්න අමාරු ප්‍රශ්නයක් නේද?

චුට්ටක් හිතන්නකෝ හොඳටම දුක්මුසු; අසුන්දර අතීතයක් තියෙන කෙනෙකුත් ‘හිත හදා ගන්න’ අකැමැති වේවිද කියලා. නිදිගෙ පංච තන්තරේ නොකඩවා කියපු හිතාදර රසික- රසිකාවන් නම් දන්නවා, නිදිගෙ අතීතය ගැන;
අපේ අම්මාට මාව ලැබුණේ අවුරුදු දාහතේදී බව;
මං අපේ අම්මගේ කුසට ආවාම, බදුල්ලේ ආච්චී- අපේ අම්මාගේ අම්මා, මාව
‘ගස්සලා යවන්න’ යෝජනා කළ බව. ඒ සිදුවීම නිසාම, අපේ තාත්තා නං මැරෙන තුරාමත් බදුල්ලේ ආච්චී ගැන තරහෙන් කතා කළ බව. මට නං කවදාවත් බදුල්ලේ ආච්චී ගැන තරහක් ඇති වුණේ නෑ.... මට පෙනුණේ, වගකිව යුතු මව් පදවිය දරන්නට තරම් දැනීමක් නැති ගැබ්බර යුවතියකගේ මවට පෙනුණු දෙයමයි... එයාගේ ඇසින්! 

ඒ වගේ පුළුල් දැක්මක් ඇති දූලා- පුත්තු තව ඉන්නවා!

බලන්ගොඩ මූලික රෝහලේදී, 1999 සීතල දෙසැම්බරයේ 3 වෙනිදා- අවුරුදු පහළොවේ යුවතියක් දරුවෙකු ප්‍රසූත කළා. දරුවාගේ පියා රෝහලට එන්නට ඇත්තේ දහසක් බලාපොරොත්තු ඇතිව. ඒත්...

අකාරුණික දෛවය ඒ තාත්තාට දකින්නට බිහි කරවලා තිබුණේ ‘අසම්පූර්ණ දකුණතක්’ සහිත පුතෙක්. ආබාධිත දරුවෙකු එක්ක අනාගතයට පිය මනින්නට තරම් ශක්තියක් ඒ තාත්තාට නැති වෙන්නට ඇති. (මට හිතෙන විදිහට ඒ තාත්තාත් එච්චර මේරූ වයසේ කෙනෙකු වෙන්න බෑ.
එහෙමත් නැත්තං හොඳට කරුණු-කාරණ දන්නා කෙනෙක් වෙන්නැති. අවුරුදු 15ක් දැරියක් අපයෝජනය කළා කියන චෝදනාව ඒ මනුස්සයාට එල්ල වෙන්නත් ඉඩ තිබුණනෙ.)

කාරණාව මොක වුණත්, පුතාගේ උප්පැන්න සහතිකයෙ ‘පියාගේ නම’ තීරයට තමන්ගේ නම දෙන්නට පවා අකමැති වෙන ඒ තාත්තා රෝහලෙන් පිටව යන්නෙ, ආයෙම කවදාවත් තමාගේ සොඳුරියවයි- සහජාත පුතාවයි හමු නොවෙන්නට කුරිරු තීන්දුවක් අරගෙන!

නිමල් බැලුවද සිහිනයකි රෑවැඩ සටහන, ඒකට ආවෙ මාර ඇම්බිෂස් කොල්ලෙක්...

අන්න එහෙමයි අවුරුදු පහළොවේ අම්මෙක් අසරණ වුණේ; තනි වුණේ. එහෙම තනි වුණු වෙලාවක දැරියක් මොනවා කරයිද?

“... මගේ අම්මට මාව ලැබෙද්දී එයා ගොඩක් චූටි කෙල්ලක්. වයස අවුරුදු පහළොවයි! ඉස්කෝල යුනිෆෝම් එකේ දූවිලි ගාගෙන දුවන කාලෙ. එහෙම කාලෙක මාව ලැබෙද්දී....” ඒ පුතණ්ඩියා; සුමීර ගුණසේකර අම්මා ගැන සිහිපත් කරද්දීත් මම හිටියේ හොඳටම ඉකි ගැසෙමින්; ඇස් දෙකේ කඳුළු පුරෝගෙන.

අපරාදේ කියන්න බෑ. සුමීර, හිතක් පපුවක් තියෙන ඕනිම කෙනෙකුව අඬවයි, එක විනාඩියෙන්. ඒ තරම් සංවේදී; අනුන්වත් සංවේදී කරවන එයා අවුරුදු 23ක හැන්ඩි කොල්ලෙක්!

“නිමල් බැලුවද ‘සිහිනයකි රෑ’ වැඩ සටහන, ඒකට ආවෙ මාර ඇම්බිෂස් කොල්ලෙක්...” හිතවත් මිතුරු වල් ප්‍රියන්ත මගෙන් ඇහුවේ මාර්තු 13 වෙනිදා රෑ, sweet අතුලලාගේ ගෙදරදී. අතුල එදා, අපි කීප දෙනෙකුට ‘රාත්‍රී භෝජන සංග්‍රහයක්’ සූදානං කරලා තිබ්බා. 

“අනේ නෑ ප්‍රියන්ත. මං ඒක බලන්නෙ නෑ. ගොඩක් දිගයිනේ...” මං කිව්වා.

එච්චරකුත් නොවේ; (දැන් ගෙදරින් අයින් කොට ඇති) රූපවාහිනියෙන් එය බලන කාලයේම මේ වැඩ සටහන බැලිල්ල නැවැත්තුවේ, ඒක විකාශය වන්නේ යක්කු ගස් නඟින වෙලාවට හින්දාය.
“අපරාදේ! මම කියනවට ඒක බලන්න. ඒ boy ලැහැස්ති වෙන්නේ ‘ලංකාවේ පළවෙනි ආබාධිත ප්‍රවෘත්ති නිවේදකයා’ වෙන්න....” ප්‍රියන්ත හොඳටම impress වෙලා තිබ්බේ ඒ කාරණේ නිසා. ප්‍රියන්ත ඇල්ලුවේ මගේ හරිම නිලේ.

“ ඔහොම කියනකොට නං ඒක බලන්න හිතුණා!” මම කියන්නත් කලින් ප්‍රියන්ත ඒක හොයාගෙන; මට මොබයිල් එක දික්කළා.
“මේ තියෙන්නේ. පෙබරවාරි 27 වෙනිදා වැඩ සටහන.” ගෙදරදී නිදහසේ ඒ වැඩ සටහනට එබී බලන එකවත් කළ යුතු යයි මට එදා සිතිණි.

කවුද නොසොයාම ගොඩ ලන්න ඉවුරට ආව...

එයට නිදහසක් ලැබුණේ ඊයෙයි. අන්තර්ජාලයෙන් ‘සිහිනයකි රෑ’ වැඩ සටහන බලන්නට පටන් ගෙන චුට්ට වේලාවකින්ම මගේ දෙනයන කඳුළු දියෙන් සේදෙන්නට පටන් ගත්තා මට මතකය!

මේ post එකේ මුලින්ම යොදා ඇති කවි දෙපදය, සුමීර උපුටන විට දිගටම programe එක බලන්නට හිතට ආවා මට මතකය.

මං කවියට මනාප බවත්, පෙම් කවි ලියා, දැන් හොඳ කවි ලියන්නට වෑයම් කරන බවත් ඔබ දැනටම දනියි.

ඉන්ද්‍රා ලියනගේ කිවිඳිය සුමීරට එවා තිබෙන මේ කවි දෙකත් ඒ වැඩ සටහනේදී කියවෙයි:
   අතක් අල්ලන් පාර පනින මව්           ගංගාව
   කොතෙක් අසරණද මං එවන් දසුනක්    ගාව
   කොතක් වගෙ වඳින්නට මවක් නැති සංකාව
   මතක් වෙනවද අම්මෙ දාල ගිය මේ       මාව  

   දුඟද මඩ කළල් දියඹේ ගිලෙද්දී              පාව
   කවුද නොසොයාම ගොඩ ලන්න ඉවුරට   ආව
   සුවඳ දිගු අත්වලට කොහොමට පෙනුණිද මාව
   තවද නොසොයමි නුඹව අම්මේ ආපහු     නාව

සුමියුරු ගීත දහයක් එක්කම, සුමීර ගුණසේකරගේ ජීවිත අන්දරයත් ක්‍රමයෙන් රූපවාහිනී තිරය මත දිග හැරෙද්දී මටත් වුණේ හිතවත් ප්‍රියන්තට වුණු දේමය. අතිශය හෘදය සංවේදී මේ වැඩ සටහන ගැන ඔබ සැමටමත් කියන්නටයි මට හිතුණේ.
ඒ එක්කම පැයකුත් විනාඩි 53ක දිගු වැඩ සටහනක් නරඹන්නට හිත ඇතත්, ඉඩ නැති පිරිසකුත් සිටින්නට පුළුවන් බව මගේ හිත කියන්නට ගත්තේය.

... ඒත් අම්මගෙන් නොලැබුණු ආදරය මට ලැබුණා පර්වතයකින්...

මගේ නිර්දේශය මේකය. ඔබට ඉඩ; වෙලාව හා සම්පත් තිබේ නම් මේ පෝස්ටුව කියවීම මෙතැනින්ම නවතා දමන්න. මේ වදන් කිහිපය උඩින් click කොට ඒ වැඩ සටහන නරඹන්න. 

මගෙන් මේ blog ලියවිල්ල කෙරෙන්නේ එසේ කළ නොහැකි රසවතුන් වෙනුවෙනි.
ඒත් යළි-යළිදු පවසන්නෙමි; සුමීර දනවන හැඟීම් ඔබට දනවන්නට නම් මම අපොහොසත්මි. මට ලියන්නට අවකාශ ඇත්තේත්, සුමීර කියූ දෙයින් අංශු මාත්‍රයක් පමණකි.
අනෙක, ලියා තිබෙන වචනවලට ඇත්තේ අකුරු විතරය. ඒවා උච්චාරණය කරද්දීය, හැඟීම් ඊට මුසු වෙන්නේ. රූපාවලි ඒ හැඟීම් තවත් උද්දීපනය කරයි!

“... අම්ම තාත්තා නැති වෙච්ච එකම කොල්ලා මම නෙවෙයි. දැන් ඔබට මාව පේනවා. රටේ ලෝකේ ඉන්න එකම ආබාධිත කොල්ලත් මං නෙවෙයි. ඒත් අම්මගෙන් නොලැබුණු ආදරය මට ලැබුණා පර්වතයකින්....” සුමීර පර්වතයකියි හඳුන්වන්නේ දැන් 93 වියැති කතෝලික සිස්ටර් කෙනෙකි. අනාථ දරුවෙකු සනාථ කොට, දැනුමින්; ගුණයෙන් පරිපෝෂිත කොට සමාජයට දායාද කර තිබෙන්නේ ඒ පූජක මාතාවයි.

“ප්‍රශ්නවලට දාර්ශනික උත්තර දෙන්න ලේසියි. මට දැන් අවුරුදු 23ක්. දැන් අපේ අම්මටත් අලුත් ජීවිතයක් ඇති. මම හැම තිස්සෙම හිතන්න ඕනි මගේ පැත්තෙන් විතරක් නෙවෙයි.... අම්ම මාව දාලා ගියේ මට අවුරුදු දෙකේදී.
-අම්මා මාව දාලා ගිහින් තියෙන්නෙ, මගෙ උප්පැන්න සහතිකේ හදන්න ඕනි විස්තර අරගෙන එන්නං කියලා...
-අපේ අම්ම වගේම, හෙටත් අම්මලා දරුවන් අතහැර දාලා යයි.
-මං වැඳලා ඉල්ලන්නේ. දරුවන් හදන්න කලින් හිතන්න ඔබ ඒ පදවිය දරන්න තරම් සුදුසු කෙනෙක්ද කියලා... ඔබ බිහි කරන්න යන්නෙ සෙල්ලම් බඩුවක් නෙවෙයි, ජීවිතයක්.” සුමීර දෝත් එකතු කොට වඳින්නේ තවමත් නූපන් දරුවන් වෙනුවෙනි.
‘මට වන් දුකක් තවකෙකුට නොවේවා’යි පතමිනි.

මං ආස නෑ ඒ මං මවා ගන්න හීනය damage කර ගන්න!

සුරත අහිමි පුතෙකු හදා-වඩා ගන්නට වෙර දැරූ අම්මෙකුගේ දිරිය උල්පත එදා සිඳී ගියේ පුතුගේ වාසනාවටද?

“... මාව හදපු සිස්ටර් මට රූපයක් දුන්නා. ඒ සිස්ටර් මට මගේ අම්මව පෙන්නුවා. කතාවක් තියෙනවනේ වදපු අම්මට වඩා හදපු අම්මා උතුම්ය කියලා....”
සුමීර එහෙම කියද්දී ‘සිහිනයකි රෑ’ වැඩ සටහන ඉදිරිපත් කරන මහේෂ් නිශ්ශංක හීන් සීරුවේ කඳුළක් පිස දැමුවා මට හොඳට මතකය.

‘අම්මා
අම්මා යැයි කීමට කෙනෙක් නොමැත සොයමී
පැහැදිලි නැති
එක ඡායාවක් ඇත... ඉන්ද්‍රානි පෙරේරා ගායිකාවගේ ඒ ගීතය කියන්නේ සුමීරගේ ආත්මීය ශෝකාලාපයද? ඒ නිසාම විය යුතුය; සුමීර ඒ ගීතය දෙවැන්න ලෙස තෝරා ගන්නේ.

සුමීර තෝරාගත් ගීත දහය වැඩ සටහනේදී ගායනා කරන්නේ පසිඳු බෝමිරිය හා ඉෂිනි අවිශ්කා බණ්ඩාර තරුණ ගායක - ගායිකා දෙදෙනා විසිනි.

‘ඇයි අම්මව හොයා ගන්න උත්සාහ නොකරන්නේ?’ සමහරුන් විමසනවාලු. සුමීර ඒ ගැන හිතන්නේ මෙහෙමය.
“සමහර විට අම්මා මාව පිළිගනියි, ඒත් ඒකට ඉඩ තියෙන සීයට ගණන හරි අඩුයි... ඒ වගේම මම පරණ තුවාල අවුස්සන්න අකමැතියි...” තේරෙන වයසෙදී දැක නොමැති අම්මාව මනසින් මවා ගන්නා මේ පුතු කියයි.

“... මම එහෙම මගේ අම්මව හොයාගෙන ගියොත්, මගේ එක ආසාවක් සංසිඳෙයි. මොකද මට තියෙන්නේ අම්මගේ බොඳ වෙච්ච රූපයක්නෙ. මම කන්නාඩියක් ඉස්සරහට ගිහින් මවා ගන්නවා මගේ අම්මගෙ කොණ්ඩේ.... මං හිනා වෙනවා. මගේ අම්මත් හිනා වෙද්දී මේ වගේ වෙන්න ඇති, තාත්තත් මං වගේ කඩවසම් ඇති. එහෙම මවා ගැනිල්ල තමයි මගේ ආතල් එක. මගේ බාසාවෙන්ම කියනවා නම් ඒක මගේ ස්‌වයං වින්දනය.
මං ආස නෑ ඒ මං මවා ගන්න හීනය damage කර ගන්න; ඒ අතීතය හොයාගෙන ගිහින්. ඒක වැලලිච්ච අතීතයක්....” එහෙම කියන සුමීරම ඊළඟ මොහොතේ ‘ප්‍රතිවිරුද්ධ අදහසක්’ තෙපලයි. “... නමුත් ඈතින් ඉඳගෙන හරි අම්මව දකින්න ආසයි....”

අප මේ සොයන්නේ ආදරයද/ සෙනෙහසද/ අපේම නැති වුණු අර්ධයද?

ඒ අතරේම තමාව හදා-වඩාගත් අම්මා ගැනත් ශෝක වෙයි. “ඒ අම්මට දැන් 93ක්. ලස්සනට හිටිය ඒ සිස්ටර් දැන් වයසට යනවා; දුර්වලයි. කොච්චරද කියනවා නං මට එයාව hug කරන්නත්  බයයි!”

මගේ ආත්මානුකම්පාව ලියලයි. අපේ අම්මා-තාත්තා දෙන්නාම ඉඩ තිබියදී පවා ‘අපව ආදරයෙන් වැළඳ නොගත් විත්තිය’ සුමීරට කිව හැකි නම්.... අදත් මා ඒ කෝන්තරය පිරිමහන විදිහ සුමීර දන්නවා  නම්....
අප මේ සොයන්නේ ආදරයද/ සෙනෙහසද/ අපේම නැති වුණු අර්ධයද? ඔහු ලුහුබැඳ යන්නේ කුමන වර්ගයේ ආදරයක් පසුපස දැයි ‘සිහිනයකි රෑ’ පූරක මහේෂ් විමසන විට සුමීර උත්තර දෙන්නේ මෙහෙමය. “...
මට තේරෙන්නේ නෑ මං මේ මොනවද හොයන්නේ කියලා....”නමුදු සුමීර තෝරා ගන්නා පළමු ගීතය විමසන ඔබට යම් බඳු අදහසක් ලැබෙයි! ඔහු තෝරා ගන්නේ සුනිල් එදිරිසිංහයන් ගයන මේ ගීතයයි.

 ‘සදාකාලික නොවූ ලෝකේ සදාකාලික ප්‍රේමයක්
  සොයා නෙක ගම් දනව් පීරා ගෙවූ කාලය සිහිනයක්...’

එතනදී සුමීර මෙසේද කියයි: “පළමු ගීතය මං වෙනුවෙන් තෝරා ගත්තේ. මම ප්‍රේමය හොයන- අයදින- ඒ තුළ ජීවත් වෙන මනුස්සයෙක්. හමු නොවුණත් ආදරයට පිපාසිත කෙනෙක්.”

මේ හාදයාගේ තව විශේෂත්වයක් තිබෙයි!
ඔහු උපතින් බෞද්ධයෙකි; දෑවුරුදු වියේදී කතෝලික පූජකවරියකගේ පූර්ණ රැකවරණය යටතට පත්වූ පසු කතෝලිකයෙකු වූ කෙනෙකි. සුමීරට අම්මා වුණු ඒ පූජකවරියයි, පාසලේ ගුරු-දෙගුරු රැස්වීමට පවා පැමිණ තිබෙන්නේ.
“ඉස්කෝලේ ගුරු දෙගුරු රැස්වීමට සිස්ටර් ආවා ලෝගුව දාගෙන....” ඔහු ආදරයෙන් සිහිපත් කරයි. එතනදී අනෙක් දෙමාපියන්ට ගැටලුවක් වී තිබෙන්නේ, පූජක ලෝගුවක් හැඳගත් කාන්තාවකට දරුවෙකු සිටිය හැකිද යන්නය.
අපි එහෙමය.

මම අම්මලා ගොඩක්ගෙන් කිරි බිව්වා.... අම්මල ගොඩ දෙනෙකු අතින් හුරතල් වුණු වාසනාවන්ත පුතෙක් මං.

සම්මත ජන සමාජයේ අපි සම්මතයෙන් එහා දකින්නට අසමත්තු වෙමු! සුමීර අභියෝග කරන්නේ දෛවයට පමණක් නොවේ; මුළු මහත් සමාජයටමය.

“... මගේ දුක මොන දුකක්ද?
එක අම්මෙක් අහිමි වුණාට මම අම්මලා ගොඩක්ගෙන් කිරි බිව්වා.... අම්මල ගොඩ දෙනෙකු අතින් හුරතල් වුණු වාසනාවන්ත පුතෙක් මං.
නමුත් තව සුමීරලා ගොඩක් ඉන්නවා ළමා නිවාසවල. මට ලැබුණු හැම අවස්ථාවක්ම ළමා නිවාසවල ඉන්න අනිත් සුමීරලට ලැබෙන්නෙ නැහැ. මම නියෝජනය කරන්නේ ඒ ළමා නිවාසවල ඉන්න ළමයින්ව. තාත්තල අම්මලා දාල ගිහින් ළමා නිවාසවල ඉන්න හැම ළමයෙක්ටම දෙමාපියන් ගැන තියෙන්නේ වෛරයක්  නෙවෙයි. සමාජ සම්මතයක් තියෙනවා එවැනි දරවන් සමාජ අපචාර කරන්නන්; සමාජ දූෂකයන් වෙනවය කියලා.

-ඔබ ළමා නිවාසෙකට ගිහින් බලන්න. එයාල තරම් අම්මා- තාත්තට ප්‍රේම කරන අය නෑ....”

(අඩි දහයේ පාරකින් හා තාප්පයකින් විතරය අපේ ගෙදරත්- පමුණුවේ පිරිමි ළමා නිවාසයත් වෙන්වී තියෙන්නේ. එහි නිවසන ළමුන් පිළිබඳ අත්දැකීමක් ‘නැණ බලේ දිනාවී’ කැටගරිය යටතේ ‘තුම්පනේ බදුල්ල මාතර...’  post එකෙන් ලිව්වෙමි.) 

සුමීරගේ දැක්ම ආදරයෙන් පිරුණු එකකි; සෙනෙහස තැවරුණු එකකි.
‘මගේ දුක මොන දුකක්ද?’ කියා ඇසෙද්දී මට හිතුණේ ඉක්මනින්ම සුමීර ගැන; මේ වැඩ සටහන ගැන post එකක් ලියන්නටය.
(නමී, ඔබ මට සමා විය යුතුය. ටික දවසකින් මගේ අතීත විත්ති පමණක් කියවෙන පෝස්ටුවක් ලියවුණේ නැත.
‘නමියගේ වීදිය’ blog අඩවියේ රචක නමී, මගේ ඒ පමාව ගැන කීප වරක්ම මට සිහිපත් කළේය. ‘ඊළඟට ලියනවා’ මම කීවෙමි. ඒ පොරොන්දුව කඩ කරමිනි; මේ post එක ලියන්නේ.

මෙවන් සමාජ කියවීමක් ඇති කෙනෙකු ගැන සටහනක් තැබීම යුතුකමකි.

මතකයන් එක්කෝ අපව ජීවත් කරවනවා; නැත්තං මරවනවා....

භද්‍ර යව්වන වියේදී යොවුන් ආදරයක් ආරම්භ කළ මේ යෞවනයා, ඒ පෙම පටන් ගත් දවසේ ‘අත පත් වුණු ඒ යුවතියගේ කෙස් ගස් කිහිපයක්’ තවමත් සුරකියි. ඒ දයාර්ද්‍ර ප්‍රේමය අහිමි වුවත් ඔහු ‘ආදරයට ආදරය කරන්නේය’.   

“අපි ආදරේ කරන්න ඕනි ඒ මතකවලට.
අර කියන්නේ... මතකයන් එක්කෝ අපව ජීවත් කරවනවා; නැත්තං මරවනවා. පොතක්-පතක් කියවන්න පෙම්වතෙක් පෙම්වතියක් හුරුවෙච්ච දවසට ඛේදවාචකවලින් මේ ප්‍රේම කතන්දර ඉවර වෙන්නෙ නෑ. කෝච්චියට බෙල්ල තියල මේ ප්‍රේම කතන්දර ඉවර වෙන්නෙ නෑ.
බාල්කයක ලණුවකින් එල්ලිලා මේ ප්‍රේම කතන්දර ඉවර වෙන්නෙ නෑ. අන්තර්ජාලයට ඡායාරූපයක් එකතු කිරීමෙන් මේ ප්‍රේම කතන්දර ඉවර වෙන්නෙ නෑ. ලස්සනට ප්‍රේම කතන්දරයක් පටන් ගන්නවා වගේම, අපට පුළුවන් නම් ලස්සනට ඒක ඉවර කරන්නත්...” සුමීර කියන්නේ අද්‍යතන තරුණ පෙම්වතුන්- පෙම්වතියන් හැම දෙනාටමය.

එහෙම කියන මේ හාදයා විටෙක “මම හරි චූල මනුස්සයෙක්!” කියලාත් අපට කියයි. මට නම් ඒ අනතිමානී ප්‍රකාශය මහමෙරකි. අද මේ රටේ සිටින පාලක පැලන්තියටත් මෙසේ අනතිමානීවී තම-තමන් දෙස බලන්නට හැකි නම්...

ඒ වැඩ සටහන විකාශය වෙලා දැන් සති තුනකටත් වැඩියි. 27,473 දෙනෙක් ජාලයෙන් එය නරඹා තිබෙනවා. ලැබී ඇති comments ගණන 141ක්. නමුත් සුමීර හෙළි කරන මේ කාරණාව නම් තවමත් කිසිවෙකුගේ අවධානයට ලක් වුණු බවක් මට නං හොයා ගන්න නැහැ.

‘මම අද මම විදිහට කතා කරන්න නෙවෙයි මේ වැඩ සටහනට ආවේ... අපි වෙනුවෙනුයි කතා කරන්න ආවේ... මම ආවේ ළමා නිවාස ප්‍රජාවයි, ආබාධිත සමස්ත ප්‍රජාවයි නියෝජනය කරමින් කතා කරන්න...’ යැයි පවසන සුමීර හෙළි කරන්නේ අපේ නීති ක්‍රියාත්මක කරන්නන්ගේ අමනෝඥ මන්ද බුද්ධික ස්වභාවයයි!

ඒ අත්දැකීම ඔබත් දැනගත යුතුම එකකි: මේ දැරිය අපොස/ උසස් පෙළ විභාගයෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ 3 වෙනියා ලෙස සමත් වුණාය.
“ඒත් එයාට විශ්ව විද්‍යාලයට යන්න බැරි වුණා. හේතුව ස්ථිර පදිංචියක් නැතිකම.”

අපේ නීති ක්‍රියාත්මක කරන්නන්ගේ අමනෝඥ මන්ද බුද්ධික ස්වභාවය...

“ඔබ වගකීමෙන්ද කියන්නේ?” සුමීරගේ හෙළිදරව්වෙන් පුදුම වෙන මහේෂ් නිශ්ශංක අසයි!

“එයා කෑගල්ලේ ළමා නිවාසේදී පළමු වරට උසස් පෙළ ලියන්නේ. දෙවෙනි වර ලියන්නෙ පුත්තලමේ තැනක නතර වෙලා...” යැයි කියන සුමීර ළමා නිවාස ක්‍රියාත්මක වෙන ස්වභාවය හා ඒවායේ පවත්නා නීති-රීති ගැන අපට පෙන්වා දෙයි.

“කිසිම ළමා නිවාසයක ඒ පළාතේම; ඒ ගමේම ළමයෙක් නේවාසිකව තියා ගන්නෙ නෑ. ඈතක තියෙන නිවාසෙකට තමයි යවන්නේ. එහෙම කරලත් එකම ළමා නිවාසයක එක දිගටම ළමයෙක්ව තියා ගන්නෙත් නෑ. වෙන එකකට මාරු කරනවා. එතකොට කොහෙන්ද ළමයෙකුට ස්ථිර පදිංචියක්...

-තවත් එකක්!
ළමා නිවාසෙක ඉන්න ළමයින්ගේ ලෝකය සීමා වෙන්නේ ඉස්කෝලේටයි, නිවාසේටයි විතරයි. අපි නිවාසයෙන් එළියට එන්නේ පාසල් යන්න. ඉස්කෝලේ ඇරුණු වහාම ආයෙමත් නිවාසෙට.
එහෙම කොටු වුණු ළමයි අවුරුදු 18 වෙච්ච ගමන් නිවාසයෙන් බැහැර කරනවා. ලෝකයත් එක්ක ගනුදෙනු කරන්න අත්දැකීම් නැති මේ ළමයින් වෙනුවෙන් හඬක් නඟන්න මට ඕනි!”

අත්තුක්කංසනය හෝ පරවම්භවනය හෝ අහිංසකයන් වෙනුවෙන් අකුරටම නීතිය කරවන්නට හෝ පුහුණු කරන බහුතරයක් දෙනාය අද මෙරටේ ඉන්නේ. බලැත්තන් වෙනුවෙන් පමණි නීතිය නැවෙන්නේ. එවන් රටකය සුමීර මේ හඬ නඟන්නේ.
මුලින්ම ජාතක කළ පියා වෙතින් ප්‍රතික්ෂේප වුණු/ ඊළඟට වැදූ මව වෙතින් අතහැර දැමුණු/ ළමා නිවාසවල හැදී-වැඩුණු මේ 23 හැවිරිදි/ සුරත අහිමි තරුණයාගේ පරාර්ථකාමී අධිෂ්ඨානය වැඩි දෙනෙකුට ආදර්ශයක් වේවා!

(ලජ්ජාවෙන් වුණත් කියන්නට වෙන්නේ, මට නම් මේ කපේදී සුමීර තරමටම පරහිතකාමී වෙන්නට බැරි විත්තියයි.)

මේ ‘සිහිනයකි රෑ’ වැඩ සටහනෙන් හෙළිදරව් කෙරෙන ඉතාම වැදගත් ලෙස මා සලකන තවත් කරුණකි: ‘අවංක වීම’.
“... එක අතක් නැතිව උපන්නට මොකද, දැන් මට ප්ලාස්ටික් අත් හතරහමාරක් තියෙනවා. අද එද්දී එයින් එකක් දාගෙන ආවේ නැත්තේ ඔබට අවංක විය යුතු නිසයි.
ඒත් මට ඕනෑ, ඔබ මාව අත නැති එකා විදිහට මතක තියා ගැනීම නෙවෙයි; මගේ නම නිසා හඳුනා ගැනීමයි; මගේ අදහස් නිසා මාව මතකයේ රඳවා ගැනීමයි.”

මිනිහෙක් සම්පූර්ණ වෙන්නේ අවයව ඔක්කොම හොඳට තිබුණොතින් විතරද?

උදාර අදහස් නිසා; කාටවත් යහපතක් සිදු වෙන වැඩ කිරීම නිසා කෙනෙකුගේ නම බැබළීම ගැන මං ඉතා කැමතිය. ඒ නිසාමය නන්නාඳුනන/ හමුවී හෝ කතාබහ කොට හෝ නැති සුමීර ගැන මෙසේ පෝස්ටුවක් ලියන්නේ.

දැනටමත් ඔහු ලංකාවේ ලාබාලම සන්නාම තානාපති කෙනෙකු ලෙසින් කටයුතු කරයි. මාධ්‍ය ක්ෂේත්‍රයට එන්නට සිහින දකිමින් අධ්‍යාපනයේ නියැලෙයි.

‘සිහිනයකි රෑ’ වැඩ සටහනෙන් හා සුමීරගේ වත් පොතෙන් දැනගත් කරුණු ඇසුරු කරමිනි, මං වහන්සේ මේ පෝස්ටුව ලිව්වේ; මගේ අත්දැකීම් හා තොරතුරුත්- දැක්මත් මුසු කරමින්. එනිසාම සුමීරට අගතියක් වන්නටත් ඉඩ තිබේ. එබැවින් ‘මා මෙවන් ලිපියක් ලියන බවත්- එය පළ කරන්නට පෙර ඔහුට අදාළ කොටස් පෙන්වා ඔහුගේ අදහස් දැන ගන්නට කැමති බවත්’ සුමීරට දන්වා යැවීමි.

“නෑ නිමල් ප්‍රශ්නයක් නෑ. ලියන්නාට ඇති නිදහස් අයිතිය උදුරා ගැනීමට මම සූදානම් නෑ. ඒ නිසා කොහොම ලිව්වත් ප්‍රශ්නක් නෑ.” සුමීරගේ වචන 19 උත්තරය ‘බොහෝ දේ’ කියන්නේය.
එයින් එකක් විතරක් මම මෙහිලා සඳහන් කරමි. ‘ඔහු දැන්මම සැබෑ මාධ්‍යවේදියෙකු ලෙස සිතයි!’

රූපවාහිනී නාලිකාවක news කියන ‘ලෝකයේ පළමුවෙනි ආබාධිත නිවේදකයා’ වෙන්නට පෙරුම් පුරන සුමීර ගුණසේකර අපෙන් මෙහෙම අහයි.
“මිනිහෙක් සම්පූර්ණ වෙන්නේ අවයව ඔක්කොම හොඳට තිබුණොතින් විතරද?”

ඉතිං, පරිපූර්ණයෙකු නොවන මගේ මේ ලියවිල්ල සුමීරගේ වදන් තරම් හැඟුම්බර නැත; සවිස්තරාත්මකත් නැත. මං කළේ ‘සයුර මෙබඳුය’ කියා කීමක් විතරය. සාගරය කෙබඳුද කියා තත්ත්වාකාරයෙන්ම දැන ගනු රිසි නම් ඔබ මුහුදු වෙරළකට යා යුතුමය!
සුමීර සහභාගී වුණු
‘සිහිනයකි රෑ’ වැඩ සටහනටත් ඒ තියරිය සාකල්‍යයෙන්ම අදාළය෴