li Item

Friday, January 14, 2022

බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස

වෙනස්ව හිතන්නට පුරුදු වෙන්නැයි මට ඍජුවම කියූ පළමුවෙනියා සේ ටීචර්ය! 

“අනෙ අනෙඃ ගුණපාල ගොයියෝ.... ලෙඩ මරගාතේ එක්තැන් වෙලා ඉන්න ගමන්ම වුණත් උඹ ඔය කරන ජාතකේ මදැයි. දැනටමත් හතක්නෙ... මේ පොඩි එකා නැත්තං මම උඹට කියනවා සුද්ද සිංහලෙන්ම....

උඹ මේක වෙනස් කරන්න යන්න එපා කොල්ලො. මෙහෙමම තියපන්... කවුරු හරි කියනවා නං මේක වැරදිය කියලා- ඕනිම ජගතෙකුට එන්න කියපං, මං ඉන්නවා උඹේ පැත්තට කතා කරන්න.”.

ගොඩාරියක් පිං සේ ටීචර්!
‘විකල්ප චින්තනයකුත් තිබිය යුතු බව- lateral thinking කියා දෙයකුත් තිබිය යුතු බව කියවෙන්නේ අදය. ඒ වදන් පවා අලුත් ඒවා වෙන්නට හැකිය. එහෙත් ඒවා දැනගෙන සිටියා හෝ නොදැනගෙන සිටියා හෝ වේවා, සේ ටීචර් එදා මට කළේ මාහැඟි ඉගැන්වීමකි.
මගේ මතකයේ තියෙන විදිහට, වෙනස්ව හිතන්නට පුරුදු වෙන්නැයි මට ඍජුවම කියූ පළමුවෙනියා සේ ටීචර්ය!     

ලිඛිතව මේ ‘ලැටර්ල් චින්තනය’ ගැන මා පළමු වරට කියෙව්වේ ‘රාවය’ පත්තරයට සමරසිංහ ගුණසේකර මහත්මා ලියූ තීරු ලිපියකිනි. අවාසනාවට ඒ ලිපිය සොයා ගැනීමේ මඟක් නැත!
ඒත් ඒ හිලව්වට මේ කතාව හරි කියවලා ඉඳිමුද?

ඉන්දියාවේ හිටියලු මහ කපටි; මසුරු; නාකි සල්ලිකාරයෙක්. පපුවේ කිසිම තෙතමනයක් නැති අජූත ජූජකයෙක්.
මේ නාකියා කිසිම ලෝස්-බෝස්කමක් නැතිව ගමේ හිටිය අන්ත දුප්පතෙකුට නං මිනිහා ඉල්ලන-ඉල්ලන ගණනක් සල්ලි දුන්නලු ණයට.... දීලා ඒ දුප්පතාව ලොකු ණයකාරයෙක් කර ගත්තාට පස්සේ ගියාලු මිනිහව හම්බ වෙන්න.

අපිට මේ ප්‍රශ්නේ ගොඩින් බේරා ගන්න ක්‍රමයක් ඇත්තෙම නැද්ද?

“තව තවත් නං බලාගෙන ඉඳල බෑ! මොකද කියන්නේ? මගේ ණය සල්ලිත් නෑ, පොලියත් නෑ... මම නඩු දාන්නයි යන්නෙ...” මිනිහා ගෝරනාඩු කළා.

දුප්පතා කට උත්තර නැතිව බලා උන්නා.

එතකොට එයාගේ ලස්සනම ලස්සන තරුණ දෝණියන්දෑ ඉස්සරහට ආවා. “එහෙම නෙවෙයි මහත්තයෝ. අපිට මේ ප්‍රශ්නේ ගොඩින් බේරා ගන්න ක්‍රමයක් ඇත්තෙම නැද්ද?”

එහෙම ප්‍රශ්නයක් තමයි අර නාකි මසුරු සිටාණන්ට ඕනේ කරලා තිබ්බෙත්.
“අන්න හරි ළමයෝ. මෙහෙම කරමු. මේ පෙනෙනවනේ.... ඔන්න මම දැන් පාරේ තියෙන කළු පාට ගල් කැටයකුයි, සුදු පාට ගල් කැටයකුයි අහුලලා මගේ අතේ තියෙන මේ බෑග් එකට දානවා. ගල් කැට දෙකම ගන්නෙ එකම සයිස් එකෙන්... හ..රි..ද?
ඔය ළමයාට කරන්න තියෙන්නේ පොඩි වැඩක්! ඇස්දෙක වහගෙන මේ බෑග් එකට අත දාලා එක ගල් කැටයක් අතට අරගන්න එක...” මිනිහා කිව්වා.

එහෙම කියන ගමන්ම ඒකා හීන් සීරුවේ; හොරාට කළු පාට ගල් කැට දෙකක්ම පාරෙන් ඇහිඳලා අරං බෑග් එකට දාන හැටි අර තරුණිය දැක්කා. ඒත් කෙල්ල ඒ විත්තිය මිනිහට ඇඟෙව්වේ නෑ!

“ඔය ළමයා අතට ගන්නෙ කළු පාට ගල වුණොත් ඔයා මාව කසාද බඳින්න ඕනි. සුදු පාට ගල වුණොත් එහෙම කරන්න ඕනි නෑ. ඔය දෙකෙන් කොයික කළත්, මම ඔය ළමයාගේ තාත්තා දෙන්න තියෙන ණය සේරම ණය පොතෙන් කපා හරිනවා.... තේරුණැයි?
හැබැයි ඔය ළමයා මේ වැඩේට කැමති නැතිනං අපි මේක අල්ලලා දාමු. මම නීති මාර්ගෙන්....” නාකි මසුරා කිව්වා.

ඒ නුවණක්කාර කෙල්ල නං කළේ මෙන්න මේකයි.

තත්ත්පරයක් නැවතිලා හිතන්නකෝ, මේ post එක කියවන ඔයා ඒ තරුණිය වුණා නං ඒ වෙලාවේ මොකක්ද කරන්නේ කියලා.

ඒ නුවණක්කාර කෙල්ල නං කළේ මෙන්න මේකයි.
බෑග් එකේ තිබුණු ගල් දෙකෙන් එක ගලක් අතට අරගෙන, ඒක එළියට ගන්න ගමන් හනිකට ඒක බිමට වැට්ටෙව්වා, හොයාගන්න බැරි වෙන විදිහට.... වැරදිලා වගේ.
“හරි වැඩේනේ... ආ, ඒත් කමක් නැහැ. ඉතිරි වෙලා තියෙන එකේ පාටෙන් අපිට කියතහැකිනේ වැටිච්චි එක මොන පාට එකද කියලා.” එහෙම කියන ගමන්ම කෙල්ල ඉතිරි ගල එළියට අරං පෙන්නුවා.

“...මේක කළු පාටයි. ඒ කියන්නේ මම මුලින්ම තෝරාගෙන තියෙන්නේ සුදු පාට එක. තාත්තේ, මං මෙයාව බඳින්න ඕනිත් නෑ... ඔයාත් ණයෙන් නිදහස්....” කෙල්ල උඩ පැනලා තීන්දුවත් කිව්වා.

‘දසනායක රත්නවතී’ අපේ මහරගම ආච්චී නං ඔය වගේ එව්වාට කිව්වේ ‘තැනේ හැටියට ඇණේ ගහනවා’ කියලයි. නාමකරණය මොක වුණත් මං ඒ තියරියට නං හරිම කැමතියි!!!

“එහෙම වුණත් සේ ටීචර්, වැඩිය හොඳයි නේද අපි නාට්ටියට මනමේ නොකියා වෙනින් නමක් දාන එක...” තාත්තා ඇහුවේය.

“ඕනි මඟුලක් කර ගනිං බං. උඹ හිතන්නේ ගුණපාලයියේ, ඔය නාට්ටිය බලන්න එන මිනිස්සු නාට්‍යය බලලා, කරල තියෙන වෙනස්කම දැකලා රෙදි උස්සගෙන උඹලට ගහන්න එයි කියලද? අනේ පලයන් බං යන්න. උන්ට ඕනි චූන් වෙලා ඕක බලන්න විතරයි බං...

අපේ රටේ මිනිස්සු තව කල්පෙකටවත් හිතන විදිහ වෙනස් කර ගන්නෙ නෑ බං.....

-අපේ රටේ මිනිස්සු තව කල්පෙකටවත් හිතන විදිහ වෙනස් කර ගන්නෙ නෑෑෑෑෑෑ බං.....” එතකොට සේ ටීචර් කිව්වේ ඒ අනාවැකියයි.

කොහොමින් වුණත් නාට්‍යයට වෙනත් නමක් යොදන්නට අපි තීන්දු කළෙමු. ‘නොනිමි ආශා’ එහෙම යෙදූ නමයි. 1970 ඇසළ පොහෝදාත්, ඊට පසුවදාත් මහරගම නගර සභා පිටියේ, වේදිකාවේදී රංගගත කෙරුණේ අපේ සිව්වෙනි වේදිකා නාට්‍යයයි. (මේ පිට්ටනියත්, පැවිලියන් එකත් දැන් නැත!)

නාට්‍යයට ආධාර එකතු කරන්නට ගිය කණ්ඩායම්වලින් වෙනදා තරම් සල්ලියක් එකතුවී තිබුණේ නැත.

“මං තමුසෙලට කිව්වේ, අපේ එකා නිසා කියනවා නෙවෙයි අයිසේ. මිනිස්සුන්ට හිත දෙන විදිහට කතා කරන්නත් ඉගෙන ගන්න ඕනි! ඒකත් කලාවක්! එතකොටයි මිනිහෙකුට ආධාරයක් වුණත් කරන්න හිතෙන්නේ... බොක්කේ තියෙන දෙයක් වුණත් දෙන්න හිතෙන්නේ...
කමක් නෑ, කමක් නෑ... දැන් ඉතිං අපි බැඳ ගත්තු බෙරේ ගහමුකෝ, කොහොම හරි!” තාත්තා කිව්වේය.

කෙසේ වෙතත්, එවර අපේ නාට්‍ය පුහුණුව කෙරුණේ අඩු වාර ගණනාවකිනි.
“මේ සැරේ අත දිග ඇරලා වියදම් කරන්න තරමට සල්ලියක් ලැබෙන්නෑනේ. එහෙමයි කියලා රංජියො උන් ඉඳිද්දී අපිට විතරක් තේකක් බොන්න පුළුවනියැ... පාන් කෑල්ලක් කන්න පුළුවනියැ. හොඳම වැඩේ තමයි හීන් සීරුවේ practice කරන්න එන කට්ටිය අඩු කරන එකයි, ප්‍රැක්ටිස් කරන දවස් ගණන අඩු කර ගන්න එකයි....”

දේවල් සිද්ද වුණේ එහෙමය!
ඒත් එයින් නාට්‍යයට පාඩුවක් වෙන බවක් පෙනුණේ නැත. ප්‍රධාන චරිත තුනටම හිටියේ අපේ කණ්ඩායමේ හිටි ප්‍රවීනයන් තුන්දෙනා නොවැ.... ඒ කිව්වේ ‘පරවීන’ මාත් ඇතුළත්වය.

වැඩිම පිරිසක් පෙනී හිටියේ වැදි රජු හා පිරිවර වනයේ සරන ජවනිකාවටය. කියන්නට ඕනෑ නැත. වැද්දන්ට ඇඳුම් අන්දවන්නට කිසිම වියදමක් ගියේ නැතිය. අපට හිතේ හැටියට කොළ අතු-ඉති කඩා ගන්නට ලඳු-පඳුරු ඒ දවස්වල මහරගම මුලුක්කාදියේ හැම තැනම තිබිණි.

තමුසෙටත් ලජ්ජාවක් කියලා දෙයක් නැති හැටි....

“ගුණපාල අයියේ.... මටත් කොළ අතුමද අඳින්න වෙන්නේ?” බන්දුල ජයකොඩි ඇහුවේ වැද්දන්ගේ ඇඳුම් ගැන කෙරුණු කතාබහේදීය.

“නෑ, නෑ මචං... උඹට විතරක් දිලිසෙන රත්තරං ඔටුන්නකුත් දාන්නලු යන්නෙ.... උඹත් ඉතිං රජෙක්නෙ වැද්දොන්ට හරි...” සමරසිරි බන්දුට උත්තර දෙද්දී අපේ තාත්තා මුලින්ම රැව්වේය; ඊට පස්සේ හිනා වුණේය.

“තමුසෙටත් ලජ්ජාවක් කියලා දෙයක් නැති හැටි සමරේ! මේකා විධුර එකේදී තමුසෙට නැඟිට ගන්න බැරි වෙන්නම පොළොවේ ගහපු හැටි මතක තියෙනවා නං.... මේ යකාට ඔහොම විහිළු කරන්නෑ!”

“මට බය නැත්තෙ ගුණපාල අයියේ, මේ සැරේ බන්දුයි මායි දෙන්නා stage එකේදී එකට ඉන්න කෑල්ලක් නැති නිසා....” සමරසිරිත් ඉඟි මැරුවේය. “... හැබැයි රංජිත්, උඹ පරෙස්සමින් මචං... උඹටනේ මුගේ කඩු පාර කාලා මැරෙන්න තියෙන්නේ... කොයිකටත් උඹ බන්දුලව තරහ කර ගන්නෙ නැතිව ඉඳින් මචං... මූ උඹට ඇත්තටම දමල අනියි!”

එතකොට අපේ තාත්තාත් ඒ කතාවට පොහොර දැම්මේය. (පොහොරය කිව්වේ දැන් තහනම් කොට තිබෙන රසායනික පොහොර ගැන හෝ මේ වනවිට ඩොලර් ලක්ෂ 69ක් ගෙවා ඇති බව කියවෙන චීනයෙන් ගෙන්නූ අතිවිශේෂ අශූචි පොහොර ගැන හෝ නොවේ.)

“රංජි, පස්සේ මට මතක් කරපං මනමේ කුමාරයාට කඩුව හදන්නේ කාඩ්බෝඩ්වලින් කියලා... ලීවලින් එහෙම නෙවෙයි.... හැබැයි රංජිත්, තමුසෙට බන්දුල එක්ක කෝන්තරයක් පිරිමහ ගන්න තියෙනවා නං මට කියනවා... මං කඩු කොපුව ලීවලින් හදන්නං.”

මාරක හී පහරට වගේ පැවිලියන් එකේ කැලයක් හදන්නේ නැද්ද?

“අන්න වැඩේ!”
“අන්න වැඩේ කියල විතරක් හරි යන්නෙ නෑ මිනිහෝ... මට ත්‍රී රෝස් පැකට් එකක්වත් පගාව දෙන්න වෙයි!”

එවෙලේ කෙරුණු විහිළුවලින් කතාව යටපත් වුණත්, වැදි රජ්ජුරුවන්ට කොළ අතු ඇන්දවීම නුසුදුසු විත්තිය තාත්තාගෙත් අදහස විණි.

“කහපාට රෙදි යාරයක් යයි වැඩිම වුණොත්. කළු ලැකර් ටිකකින් තිත් තියලා ගත්තම කොටි හම වගේ තියෙයි... බන්දුටත් ආසා හිතෙන විදිහට අපි වැඩේ කරමුකෝ!”

‘නොනිමි ආශා’ වේදිකාගත කෙරෙද්දී අහඹු අකරතැබ්බයන් කිසිවක් සිදු නොවුණු බවය, මගේ මතකයේ ඇත්තේ.

“ගුණේ අයියේ, මාරක හී පහරට වගේ පැවිලියන් එකේ කැලයක් හදන්නේ නැද්ද?”
“හදමු! හදමු!! හැබැයි එච්චර එකක් නෙවෙයි. මේ සැරේ සිරීත් නැහැනේ, කිංස්ලි රාජපක්ෂ මහත්තයලගේ පුළුන් පුරවපු
කොටියව ඉල්ලගෙන එන්න... හැබෑට මේ යකාට මොනවද වෙලා තියෙන්නෙ... කිසිම ආරංචියක් නැහැනෙ...”

“ගුණපාල අයියා තවම දන්නැද්ද? ඌට බූට් එක වැදිලා... නීලා තරහ වෙලා.... රැවුලත් වවාගෙන full පරාජිත ප්‍රේමවන්තයා වෙලා ඉන්නේ. දිලිප් කුමාර්ට එහා...”

“පව් වැඩේ!” තාත්තා හීල්ලුවේය. “... හිත හොඳ එකා!”

“පව්? ගුණපාල අයියා දන්නැති හින්දයි ඔහොම කියන්නේ... නීලා සිරීට ලියාපු ලියුම් මිටියමත් අරගෙනයි ඌ යන-යන තැන යන්නෙ.... ඒ මදිවට ඌ ඒවා දන්න-දන්න හැමෝටම පෙන්නනවත් එක්ක.”

තමන් ආදරය කළ කෙනෙකුට පසුව ගරහා; අවමන් කළ හැකිද?

“නෑ! ඒ මොන පරවාදී වැඩක්ද?” තාත්තාට කියැවිණි.

මේවා අනුන්ගේ විස්තර වගේ කෙනෙකුට හිතෙන්නට ඉඩ තිබේ. නමුදු මගේ චින්තාවලීන් පුළුල් කළ සිදු වීම් ලෙස මේ සියල්ල මට නම් වැදගත්ය.
තමන් ආදරය කළ කෙනෙකු අමනාප වූ පසුව ඔහුට/ඇයට ගරහා; අවමන් කළ හැකිද?
පෙම්වතා හෝ පෙම්වතිය හෝ
තමන් හා අමනාප වුණු පළියට, තමන්ගේ සිතේ තිබුණු ආදරයත් සැණෙකින් අතුරුදහන් වී යනවාද?

ඒවා සිතන්නට නොවටිනා කරුණුද....

ඉතිං, පසුව කියන්නට තියා ගන්නේ මොකටද. දැන්මම කියමි. ඊට මාස කිහිපයකට පස්සේ සිරි අයියා අපේ නාට්‍යවලට සම්බන්ධ වී සිටි තවත් තරුණියක හා පෙමින් වෙළී ආපසු ප්‍රීතිමත් පෙම්වතෙක් වුණේය.
ටික කලකින්ම ඒකත් අවසන් වුණාම, නොපමාවම තවත් ආදර කතාවක් පටන් ගත්තේය.
ඇයව විවාහ කර ගත්තත් එක්කය. දරුවන් හතර-පස් දෙනෙකු ලැබුණාටත් පස්සේ, පවුලම අතහැර දමා වෙනින් අංගනාවකට පට්ටල් වුණාත් එක්කය.

දරුවන් සමඟ තනි වුණු ඒ තරුණ අම්මා, අසල්වාසී තවත් එක්දරු පියෙකුගේ පවුල කඩා විසිරුවමින් ඒ තරුණයා හා එකතු වුණාය.
සියුස් මහ දෙවියා දෙකට වෙන් කළ පලු දෙක නැවත හමු වුණා වෙන්නැති. දැනටත් ඒ දෙදෙනා එකට එකතු වී කුටුම්භ සංරක්ෂණයේ යෙදෙති!

‘නොනිමි ආශා’ නාට්‍යය බලන්නටත් අතිවිශාල ප්‍රේක්ෂක පිරිසක් රැස්ව සිටියහ.

ඒ හැන්දෑවේ, පැවිලියන් එකේ දකුණු කෙළවරේ කාමරයේ නළු-නිළියන්ට ඇඳුම් අන්දවන්නට පටන් ගැනිණි.
“ගුණපාල අයියේ.... රංජි මල්ලිට සාරිය කොටට අන්දවමුද?” සමරසිරි ඇහුවේ ඔලොක්කුවටය. විධුර නාට්‍යයෙදී නිහාල් අයියාට ‘රෝමක’ විලාසිතාවට සාරිය අන්දවලා, නාග
මාණික්‍යය ප්‍රේක්ෂකයන්ට ප්‍රදර්ශනය වුණු හැටි මතකයට නංවමිනි.

මගේ පෙනුමට මක් වේවිද?

“සමරේ... මගෙන් කුණුහරුප නාහා ඕකට දෝතිය අන්දවපං මිනිහෝ... වැඩ කලබල අස්සේ බම්බු ගහන්න අහනවා.” තාත්තා හිනාව තද කරගෙන කියයි.

සාරියේ රැලි නංවා, ඉනට ගැට ගසා ඇති පටියට යට කරන්නට යද්දී සමරසිරි දැමුවේ හොර බැල්මකි. මිනිහා වටපිටත් බැලුවේය. ඒකා මොකක්දෝ කියන්නට මානයි.
‘මොකෝ?’ මං ඇහුවේ අභිනයෙනි.
සමරේ ඇස් නටවා, ඉඟියෙන් පෙන්නුවේ මගේ යටිකය පෙදෙසයි... කියන්නට හදන්නේ මොකක්දැයි දැනගන්නට ඕනෑය. මම ඔහු වෙතට නැඹුරු වීමි.

වටපිට බැලූ සමරසිරි හෙමිහිට කෙඳිරුවේය.
“හෝ ගාල එනවා වගේ!” සමරේ කීවේය.
“මොනවද?” මම ඇසුවෙමි.

“මයිල්! ලබන සැරේ නාට්ටිය වෙද්දී රංජිගෙ මයිල් බාලා ඉන්න වෙයි.”

‘නොනිමි ආශා’ නාට්‍යය වේදිකාගත කෙරෙන දවසේය, ඒ සත්‍යය මට පැහැදිලිවම පසක් වුණේ. මගේ සිරුරේ රෝම වැවෙන්නට පටන් ගෙනය. ටිකක් හෙම නොවේ. යහමින්!

මනමේ කුමරිය ලෙසින් රඟපාන අතරේත් ඒ කාරණය වරින්-වර මගේ හිතට වද දුන්නා මතකය. ඛේමා බිසව මෙන් රූප මානයෙන් උදම්ව සිටි මට; අන්‍යයන්ගේ ආකර්ෂණයට ලක්වෙන මගේ අහිංසක පෙනුමෙන් උදම්ව සිටි මට ඇති වුණේ බියකි. මගේ පෙනුමට මක් වේවිද?

සේ ටීචර් කියූ විදිහටම ‘මනමේ කතන්දරය වෙනස් කර තිබීම’ කාටවත්ම ගැටලුවක් වුණේ නැත.

අප වාගේම දුප්පත් කණ්ඩායමේ අයත්, සාදයට එද්දී...

මනමේ කුමරිය කලබලෙන් කඩුව කුමාරයාට දික් කරද්දී වැදි රජු එය උදුරා ගනියි; එයින් පහර දී කුමරා ඝාතනය කරයි. කුමරිය වැද්දාට දොස් පවරන්නීය.

‘මටම දොස් පවරන්නේ කිමද? ඔබේ පතියා මා සමඟ බාහු බල සංග්‍රාමයකට එළඹී අතරමඟදී කඩුව ඉල්ලීම සාධාරණද? එය බියගුළුකමක් නොවේද.’ වැද්දා තර්ක කරයි.

කුමරිය ඒ බව පිළිගනියි. “ඒත් එයින් වුණේ මා අස්වාමික වීමයි!”

එතැනදීය, මා අලුතින් කතන්දරයට එකතු කළ රුක් දෙවියා වේදිකාවට ප්‍රවිෂ්ට වන්නේ. ඔහු පූර්වාපර සන්ධි ගළපාලයි. ‘මේ පළ දෙන්නේ පෙර කළ අකුසලයක් බවත්, මනමේ කුමරියගේ නමට පවා දිගින්-දිගටම අවමන් කෙරෙනු ඇති බවත්’ වෘක්ෂ දේවතාවා කියා සිටී.

අද දක්වාම වඩාත් ජනප්‍රිය මතය වී තියෙන්නෙත්, මනමේ කුමරිය වැදි රජුගේ හැඩිදැඩි සිරුරට ලොබින් පතිද්‍රෝහී වුණු බවයි.

(හඩ්සන් සමරසිංහයන් රචනා කොට, ඔස්ටින් මුණසිංහයන් විසින් සංගීතවත් කෙරුණු මේ ගීතයත් ඊට හොඳම සාක්ෂියකි. ගැයුම විජේරත්න වරකාගොඩ හා අනුලා බුලත්සිංහල දෙපළගෙනි.)

අපේ හැම නාට්‍යයක්ම පෙන්නා අවසන් වුණාට පස්සේ දවසක, සේරමලා එකතු කරගෙන පොඩි පහේ විනෝද එකමුතුවක් පැවැත්වීම පුරුද්දක් වශයෙන්ම කෙරුණේය. කොස් ගෙඩියක්-දෙකක් තම්බාගෙන; කරවල කටු හොද්දක් උයාගෙන; යහමින් කොච්චි දැමූ පොල් සම්බෝලයක් තලාගෙනය- ඒ දුප්පත් සාදය පටන් ගන්නේ.

අප වාගේම දුප්පත් කණ්ඩායමේ අයත්, සාදයට එද්දී පුළු-පුළුවන් විදිහට පාන් ගෙඩියක්, බිස්කට් කාලක් හෝ තම්බා ගත් මඤ්ඤොක්කා වැනි දේකුත් අරගෙන ආවෝය. සාමූහිකත්ව හැඟීම වැඩි දුප්පතුන් අතරේද කියා හිතෙන්නේ ඒවා මතක් වෙනකොටය.

භානු යාළු 1 මතකයි නේද?
සාදයට ‘කසිප්පු’ බෝතල දෙක-තුනකුත් ගෙනෙන්නේ එයාය.

හදහං පුෂ්පා කෙල්ලේ, සුපිරි ප්ලේන් ටී කේතලයක්ම, ඉඟුරු කෑලි දෙක තුනකුත් තලලා දාලා!

අනේ, ඒ තරම් උත්කර්ෂවත් සාදයක්!

සේ ටීචරුත් එවර සාදයට පැමිණියාය.
“හා, එහෙනං උඹලගෙ ‘බ්‍රොයිලර් මනමේ’ට මෙන්න මගෙනුත්....” කියා සීනි-තේ කොළ පාර්සලයක් අපේ ලොකු නංගී අතට දුන්නාය. “හදහං පුෂ්පා කෙල්ලේ, සුපිරි ප්ලේන් ටී කේතලයක්ම, ඉඟුරු කෑලි දෙක තුනකුත් තලලා දාලා!”

“මොකක්ද ටීචර්, අර බ්‍රොයිලර් මනමේ කියලා අපේ නාට්‍යය දෙකේ කොළේට දැම්මේ?” රංජිත් ගුණසේකර අයියා සේ ටීචර්ගෙන් ඇහුවේ, ඒ අස්සේමය.

“මොන දෙකේ කොළයක්ද කොල්ලෝ. ඒක නේද ඇත්ත.... මේ සැරේ උඹලගෙ නාට්‍යය කළේ සුමාන හයකටත් අඩු කාලෙකින්නේ... ඉතිං බං, ඒකට බ්‍රොයිලර් මනමේ කිව්වම මොකද?” සේ ටීචර් සද්දෙට හිනාවෙමින් කීවාය. ඊළඟට මගේ පැත්තට හැරුණාය.

“රංජි.... කොල්ලො උඹ අහලා තියෙනවානෙ ‘සිංහබාහු කතාව’. ඊළඟට කරපල්ලා ඒ නාට්ටිය!”
“සිංහබාහු?”
“ඔව් සිංහබාහු. එදිරිවීර සරච්චන්ද්‍ර මහත්තයාත් මුලින්ම මනමේ නාට්‍යය කරලා, ඊළඟට කළේ සිංහබාහු. උඹලටත් ඒක අල්ලලා යයි! මේ වගේ කලබලේ නෙවෙයි, හොඳට වෙලාව අරං.... නිවිහැනේ...”

‘ඒ අල්ලලා යෑම’ ගැන කතන්දරය කියන්නට වෙන්නේ තවත් කෙටි posts කීපයක්ම ලිව්වාට පස්සෙය.
එහෙම කරන්නට වෙන්නේ ඒ වකවානුවේ එකකට-එකක් සම්බන්ධව ගොඩාරියක් වෙනස් දේවල් ගොඩාරියක් සිදු වුණු නිසාය.
එව්වාත් හිතාදර රසික ඔබට කියලා ඉන්නට එපැයි෴

29 comments:

  1. මහරගම නගර සභා පිටිය කියන්නේ අර බෝ ගහ ගාව ත්‍රිකෝණේ තිබුණු පිට්ටනිය නම්, ඒක මං ඒ පැත්තේ ආ ගිය 1989-95 කාලයේත් තිබුණා මතකයි. එතැන දේශපාලන රැස්වීම් පවා තියෙනවා. වාමාංශික පක්ෂවල. ලොකු පක්ෂ නම් පසු කාලෙක කලේ නගර සභා ගොඩනැගිල්ල ඉස්සරහාම වේදිකාව ගහලා පාර වසා දැමීමයි.

    මං කියන මේ ස්ථානයේ දැන් තියෙන්නේ බස් නැවතුම් පොළ නේද?

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් රසික මහත්තයෝ, ඒක තමා. එතන ඔය කියන පැවිලියන් එක හැදුවේ පස්සේ. වේදිකාව තිබණු හරිය දැන් හයිලෙවල් පාරයි පරණ පාරයි යා කරන හරස් පාරට යට වෙලා.

      දැන් බස් නවත්තනවා ඉතිරි කොටසේ.

      Delete
  2. මනමේ නාට්‍යයෙ තිර පිටපත මාර ඇඩ්වාන්ස්ඩ් වැඩක් ඈ.

    ReplyDelete
    Replies
    1. සිරාවට ඩ්රැකී?
      මේ ලියන්නෙ මෙතෙක් ලියන්නට බැරි වුණු සිල්ලර කරුණු වගේ කියලා හිතුණු ටිකක්. ඊළඟට ලියවෙන දේවලට ඕනි වෙන නිසා.

      Delete
  3. ඔන්ට ආව.. ආයේ සම්පූර්ණයෙන් කියවලා එන්ටම්....නිදි

    ReplyDelete
    Replies
    1. කියව්වා.. ඉක්කනට ඊළඟ එකත්, ඊළඟ එකත්, ඊට පහු එකත් දාන්ට..

      Delete
    2. ඊළඟට දාන්නෙ මේ post එක වගේම මඟ හැරී තිබුණු සිද්ධියක්, තමයි නමී. හැබැයි පසු කාලීනව සිදු වුණු ගොඩක් දේවලට මුල පිරුමක් වුණු දෙයක්.

      අනිත් අයගේ blogs කියවන්නත් අපේ රසිකයන්ට වෙලාව දෙන්න ඕනිනේ. ඒ නිසා හදිසියේ හදිසියේ නං මගේ posts පළ කෙරෙන එකක් නෑ, නමී. කමක් නැහැ නේද?

      Delete
  4. ඔව් ඔව් නිදි එකට මක්ක වෙනවද..

    ReplyDelete
  5. නාට්ටෙ අස්සෙ නිදි ට බිග් බෝයි පාටියත් ගන්න තිබ්බ.

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙ ටීනේජ් පාටිවත් තිබ්බේ නෑ ගම්වල. දැන් තමයි ප්‍රසන්න ඔය හැමදේම... අපේ ගෙදර නං උපන් දිනවත් ගණන් ගැනුණු එව්වා නෙවෙයි.

      Delete
  6. පෙම්වතා හෝ පෙම්වතිය හෝ තමන් හා අමනාප වුණු පළියට, තමන්ගේ සිතේ තිබුණු ආදරයත් සැණෙකින් අතුරුදහන් වී යනවාද? - “ප්‍රේමයයි වයිරයයි අතරේ වෙනස කෙස්ගසකට සමයි“ ලු නේද?

    ReplyDelete
    Replies
    1. චමී, ආදරේ කියනේ එකටද කියන එකයි මට තියෙන ප්‍රශ්නේ.

      Delete
  7. Replies
    1. අදහස කොහොම වෙතත් මගෙත් ඉතා ප්‍රියතම ගීයක්, චමී මේ.

      Delete
  8. ලැටරල් තින්කින් කතාව මරු. //කොස් ගෙඩියක්-දෙකක් තම්බාගෙන; කරවල කටු හොද්දක් උයාගෙන; යහමින් කොච්චි දැමූ පොල් සම්බෝලයක් තලාගෙනය// හොම්බ තලන්න ඕනේ මේකට දුප්පත් පාටියක් කීවට

    ReplyDelete
    Replies
    1. හා හා කලබල වෙන්න එපා අජිත්.
      දුප්පත් පාටියක් කිව්වේ 1970 විදිහට. ඒ කාලෙ ගමේ ඕනෙම ගෙදරකින් කොස් ගෙඩියක් ඉල්ලා ගන්න පුළුවන්. කරවල කටු ගන්නෙ කරවලවලට වඩා ගොඩාක් ලාබ නිසා. පොල් සම්බෝලෙත් ලක්ෂරි අයිටම් එකක් වෙලා තියෙන්නේ දැන් නෙව.

      Delete
  9. ඈ නිදි, අර ෂේක්ස්පියර් ගේ කාලේ වගේ ඔයාලගෙත් නාට්‍ය අල ගැහැණු චරිත වලට ගත්තේ පිරිමිද? නැත්නම් හැමෝම හිතන් ඉන්දල තියෙන්නේ ඔයා විලාසිතා නයනා කෙනක් කියලද?

    ReplyDelete
    Replies
    1. අපට නං වුණේ රඟපාන්න පුළුවන් ගැහැණු ළමයි හිටියේ නැති එක.ආව අයත් හැඩරුව අතින් එච්චර පොහොසත් අය නෙවෙයි.
      ඒ ප්‍රශ්නා හැම දිහාවකම වගේ තිබුණා.

      අපි එක්කෙනෙක් හොයාගන්න ගත්ත මහන්සිය හා ප්‍රතිඵල ගැන ළඟදීම ලියන්න යන posts; (සුප්පා දේවිගෙ බඩේ මයිල්) කීපයකට පූර්විකා විදිහට තමයි මේ පෝස්ටු කීපය ලියාගෙන යන්නෙ.

      ඊළඟ ප්‍රශ්නෙට නං කියන්න තියෙන්නේ මට කවුරුවත් එහෙම බවක් කියලා නැති බවයි!

      Delete
  10. මේකත් හොඳ රසවත් සීරීස් එකක් වගේ. එතකොට 'බ්‍රොයිලර් මනමේ' නාට්‍යයේ අන්තිමට රුක් දෙවියා වැඩලා, පූර්වාපර සන්ධි ගැලපුවට පස්සෙ මනමේ කුමරිය හා වැදි රජු lived ever happily after වුනාද.

    'මේ පළ දෙන්නේ පෙර කළ අකුසලයක් බවත්, මනමේ කුමරියගේ නමට පවා දිගින්-දිගටම අවමන් කෙරෙනු ඇති බවත්’ වෘක්ෂ දේවතාවා කියා සිටී'. එතැන නම් ලැටරල් තින්කින්' නැත. නමුත් ඉතිං නිමල් පොඩි ලමයෙක් විදිහට මේ ලියලා තියෙන දේ විශිෂ්ටයි.

    ReplyDelete
    Replies
    1. Lotus, මේ සිදුවීම් ලියන්නෙ ටිකක් දිග, posts කීපයකින් ලියන්නට වෙන 'සුප්පා දේවිගෙ බඩේ මයිල්' පෝස්ටුවලට පෙරවදනක් විදිහටයි. ඊළඟ post එකත් ඒ විදිහමයි.

      වැද්දා මනමේ බිසව එක්ක සතුටෙන් ජීවත් වුණා කියල කතන්දරේ කණපිට ගහන්න නං හිතුනේ නෑ, ඒ දවස්වල. එහෙම කළා නං අපේ ආච්චිගෙන් තමයි මට විසුමක් වෙන්නේ නැත්තේ.

      Delete
  11. //තැනේ හැටියට ඇණේ ගහනවා//

    ඇණ කියල නේද කිව්වෙ?🤔

    ReplyDelete
    Replies
    1. සම වෙන්නොනි. ඇන - ඇණ දෙක එක-එක උගතුන් දෙවිදිහකට ලියන වචනයක්. ඒක අවුල්ද?

      තමුන්නාසේගේ ප්‍රශ්නයත් ප්‍රශ්නයක්. ඒකෙන් තව අරුතක් දෙනවා මට නං. හැබැයි, හැබෑටම ඇණයක් වෙන කෙනෙකුට වුණත් ඒ බව කෙලින්ම කියන්න මගේ දිව නැවෙන්නේ නෑ.

      Delete
    2. මොන නයන්නක් වුනත් බස්තුමා හීනෙනුත් බයවෙනව

      Delete
    3. න-ණ භීතිකාව කියලා එහෙකුත් තියෙනවා එහෙනම්. දැනුවත් කළාට ස්තුතියි Pra Jay!

      Delete
  12. නිදිට කළා හැකියාව උපතේ සිට තිබිල වගේ. කෙටි කලක් උනත් වැඩේ හොඳට කෙරිලානෙ

    ReplyDelete
    Replies
    1. මොනවා අහනවද අහස යාත්‍රික මහත්තයෝ, අලි කලා රිටක් එක්ක මං ඉපදිලා තියෙන්නේ.
      ඊළඟට නිදි වුණා. ඉතිං පොඩි වචන එකතුවක් කරලා ගත්තම නිදි කලානිදි!

      Delete
  13. පිරිමි අය ගෑණුන්ට ඇන්දෙ එදා විතරක් යැයි.? ඇයි මතක නැද්ද තජකෙදි අපි කරපු රාස්සයින් කන පරාස්ස.
    බුදු අම්මෝ යකෙක් නේද බයේ බෑ...

    ReplyDelete
    Replies
    1. මොකද අනුර මතක නැත්තේ.... මම මේ අහුමුලු පීරමින් ඉන්නේ ඒකට මං ලියපු පිටපත රැකිලා තියෙනවද කියල...

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්